ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, August 1, 2012

පිස්සු පෙති...


වීදි පහන් කණු සියල්ලම ලැජ්ජාවෙන් මුකුලිතව බිම බලා ගත් වනම සිටින්නේ වෙනදාට තම අවට රජ කරන  අඳුර පලවා හැර තම ආලෝක බල පරාක්‍රමය පතුරුවන්නට තමන් සමත් නමුත් අද නම් ඊටත් වඩා ලෝකයටම ආලෝකය දීමට සැදී පැහැදී සිටින සඳ රාජිනිය තම කිරණ දසත විහිදන බැවිනි. විටින් විට සඳ රාජිනියගේ කදම්බ රැස් සැඟවීමට පහන් කණු වල ඔවදන් අසා වලාකුළු රැසක් පාව ආවත් සඳට ආදරය කරන සුළං රැල් අඳුරු අළු පැහැ වලා කැටි සඳවතින් ඉවතට තල්ලු කරමින් තව තවත් වීදි පහන් කණු වලට සම්ච්චල් කරන්නේදැයි සිතුනි.






 හොඳ පාවහන් යුගලය පිළිබඳ ඇති කරගත් ලෝභ මූලික සිත නිසා පැළඳ ගෙන ගිය කසි කබල් සෙරෙප්පු දෙක සිතේ සැනසිල්ලෙන් ගලවා පසෙකට දමා තැබූ මුල්ම අඩිය..


මදක් රත්වූ සිහින් වැලි කැට නිරුවත් පාදයේ ස්නායු අග කිතිකවමින් ලැබෙන මෙම ආහ්ලාදජනක වින්දනයට තව තවත් සිත පොළඹවන්නට වූයේ මෙය විඳින්නෙ කලකට වරක් බැවිනි. සුදෝ සුදු වතින් සැරසී විවිධ වයස් කාණ්ඩවලට අයත් ස්ත්‍රී පුරුශයන් ශාන්ත දාන්තව ඔබ මොබ යද්දී මාද සෙමින් සෙමින් පියගැට පෙල වෙත පිය නැගුවෙමි.


 බෝ ගසේ සිලි සිලිය සවනට ගෙන එන්නේ සුවදායී  හඬකි. අසල වූ ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් ජීවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ විග්‍රහයක් ඇසේ. විහාරය, චෛත්‍ය හා බෝධිය වැඳ ගැනීමෙන් අනතුරුව මා සෙමින් විශාල චෛත්‍යය ගැබ තුලට යාමට වූ පිය ගැට පෙල දිගේ උඩට ගියෙමි. එය තුල දෝංකාර දෙමින් සවනට ගලා ආවේ එහි වූ සැදැහැතියන්ගේ මුවින් පිටවන ගාථා සහ කවි වල මිහිරි නමුත් යම් ශාන්තමය ශබ්ද රසයකි. කුඩාවුන් ඒ තුල වූ දෝංකාරය නිසා ඇතිවන අපැහැදිලි ශබ්ද සමූහය නිසා වඩ වඩාත් ශබ්ද නගන්නට වූයේ මුත් එම ශබ්දයන්ද නින්නාද වෙමින් අමුතුම ගැඟීමක් ජනිත කරන්නට වීය.


 මදක් ඉසිඹු ලනු රිසියෙන් මාද එහි අයිනක හිඳ ගත්තේ..මදකට දෑස වසා ගතිමි.  අරුමයකි.. නිහඬ පාළු භාවනා පියසක හිඳිමින් සිත ඔස්සේ සත්‍ය ගවේශනය කිරීමට උත්සාහ දැරූ කාලයේ දැනී තිබුනු යම් හැඟීමක් මසිතට දැනෙන්නට වූයේ මෙම නාද නින්නාද වන මුත් කිසිත් අරුතක් සිතට නොනැගෙන ශබ්ද දසදහසක් මැද්දේය. අරුමය නම් මේ අනපේක්ශිත හැඟීම් ධාරාවයි.


එය තුල පිය මනින්නට වූ මා ඉපදෙමින්, පවතිමින්, මිය යමින් මගේය කියා ඒකරාශී කරගත් සියල්ල , අට ලෝ දහමට මුහුණ දෙමින් කාලයේ අවකාශය හරහා මේ දැන් මෙතනට විත් නැවතත් නැවත නැවතත් උත්පාද ථිති, භංග වන පංචස්කන්ධයේ වූ නියම ස්වභාවය සිතින් විමසන්නට වූයෙ කොතරම් වේලාවක්දැයි නොදනිමි. 


එක් කාලයක නැති වන්නට කිසිත් නොමැතිව සැහැල්ලුවෙන් සිටි මා අද දමා යන්නට බැරි තරමේ බහුභාන්ඩිකව ගෙවන මේ දිවියේ අර්ථය කුමක්දැයි මසිත මගෙන් විමසද්දී මා නිරුත්තර වීය. සිත රවටා ගත්තේ මා ගිහියකුය යන අර්ථකතනය මා හටම දෙමිනි. 


කෙසේ වූවත් මෙම සිතුවිලි වලින් හට ගන්නා සුවදායී හැඟීම ඊළඟ පොහෝ දින වන තෙක්ම පවතින බව නොඅනුමානය. 


එය ඊයේ දිනයේ දුටු ජීවිතය අද දිනයේ නවරුතකින් බලන්නට ලබා දෙන්නේ මහඟු පිටුවහලකි.


 සැමදා මාගේ බ්ලොග් ලිපි ඔබ දෑසට යොමු වන්නට පෙර යොමු වන මගේ සහෘදයා - ඔහු ආදරය දිනා ගත් කටුක විවේචකයෙකි - මගෙන් මෙවන් ප්‍රශ්ණයක් විමසුවේ මා නැවතත් නිරුත්තර කරමිනි..


"හරි මචන් උඹ දන්නවද පිස්සන් කොටුවෙ ඉන්න පිස්සන්ට පෝය දවස් වල දෙන පිස්සු පෙතිවල ඩෝසේජ් එක වැඩි කරන්නෙ ඇයි කියලා?"



ප.ලි -අප්පා ගියෙ මොන පන්සලටද කියලා නෑ නොවැ.. මේ තියෙන්නෙ කළුතර බෝධියට තමා ගියේ..


 මේ තියෙන්නෙ මන් කීව අපූරු චෛත්‍යයේ ඇතුළු ගර්භය





59 comments:

  1. පෝය දවසට ධාර්මික සිතිවිලි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිත් පහන් වෙන්න ඕනිනෙ !

      Delete
  2. //නිහඬ පාළු භාවනා පියසක හිඳිමින් සිත ඔස්සේ සත්‍ය ගවේශනය කිරීමට උත්සාහ දැරූ කාලයේ දැනී තිබුනු යම් හැඟීමක් මසිතට දැනෙන්නට වූයේ මෙම නාද නින්නාද වන මුත් කිසිත් අරුතක් සිතට නොනැගෙන ශබ්ද දසදහසක් මැද්දේය. අරුමය නම් මේ අනපේක්ශිත හැඟීම් ධාරාවයි.//

    මේ කියන්නෙ කොයි කාලෙ ගැනද වෙනී?
    අපි මේ ගැන කියවලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. ආ මන් ඒ කාලෙ භාවනා මධ්‍යස්ථානවල ගිහින් සතියෙ දෙකේ භාවනා වැඩසටහන් වලට සහභාගි වෙලා තියෙනවා රූ... ඒ 90-2002 කාලෙ විතර..මන් ඒ කාලෙ ගැන ලියලා නෑ තාමත්.. හැබැයි ඒ කල්ලෙ ගත්ත හරයන් නම් සමහර කතා දිගේ ඇදෙනවා..

      Delete
  3. හඳ දැක්කම සඳ මෝල් වෙන නිසා නේ???

    ReplyDelete
  4. පිස්සන් කොටුවේ අයට ඩෝස් එක වැඩි කරලා දීල වැඩක් නැහැ.උන්ගේ අතටම දීල යන එක වැඩි දෙනා හංගගෙන විසි කරනවා.. දැකීමෙන් කියන්නේ සතියක්ම එතනට ආ ගිය නිසා... :). ගවේෂණය කරල ලියන්න දේවල් හරි ගොඩක් එහේ තියෙනවා නේ...

    ReplyDelete
    Replies
    1. ඒක බොහෝ දුරට ඇත්ත. ඒකට හේතුව තමයි භින්නෝන්මාදය වගේ තියන අය විශ්වාස කරන්නෙ නෑ තමන්ට ලෙඩක් තියෙනවා කියලා. ඒ වෙනුවට දැන් එන්නතක් දෙන්න පුළුවන් මාසෙකට සැරයක්.

      Delete
    2. ඔව් රාමා ප්‍රදීප්ගෙ පැහැදිලි කිරීමත් එක්ක ඒ කරුන පැහැදිලී..

      Delete
  5. ඇත්තටම පොහොය කියන එක මානසිකව දැනෙනව...!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම වී මට නම් හොඳට දැනෙනවා..

      Delete
  6. කළුතර බෝධියට ගිහින් වගෙයි.

    මමනම් පොහොය දවසක සෙනග එකතු වෙන තැනක ඉන්න අකමැතියි. ඒත් හිත සැහැල්ලුවෙන් තියාගන්න හුරුවක් තියෙනවනම්, එහෙම තැනක වුණත් මේ කියනවා වගේ "අවදියෙන්" ඉන්න පුළුවන්. ලියන්නට එහෙම හුරුවක් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මටත් පුදුම මන් හිතුවෙත් නිහඬ තැනකදි තමයි එහෙම අවදියෙන් ඉන්න පුළුවන් කියලා.. ඒත් මේ චෛත්‍ය ගර්භය තුලදී මන් අත්දැක්කෙ වෙනස්ම අත් දැකීමක්..

      Delete
  7. "බල්ලො බුරති සඳ පායති...."
    වෙනී අයියට ඔන්න බල්ල කිව්ව නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. පිසාචයො එලියට එන්නෙත් ඒ වෙලාවටනෙ මලයා.. අපොයි බල්ලෙක් තරම් හොඳ නෑ මන්..

      Delete
  8. වෙනි අයියා, එතකොට අද මිලි ග්‍රෑම් කීයද ?

    ReplyDelete
  9. කොහොමත් මානසික රෝග සහ පෝය අතර සම්බන්ධයක් තියෙනවා කියන එක අවුරුදු සිය දහස් ගානක ඉදලා එන මතයක්. කවුරුවත් ඒක ඔප්පු කරලා නෑ. නමුත් එහෙම වෙන බව අත්දැකීමෙන් ගොඩක් අය දන්නවා. ඒකයි මානසික රෝගීන් Lunatics කියලා හැදින්වුවේ. Luna කියන්නෙ හදට. හද මෝරන කාලෙට ගැබ්බර අම්මලාට දරුවො ලැබෙනවා වගේ මානසික රෝගත් උත්සන්න වෙනවා වගේ පේනවා. නමුත් බේත් වල ඩෝස් එක වැඩි කරන්නෙ නම් නෑ. මොකද ඒ බෙහෙත් වෙනස් කරන්න කලින් ගොඩක් වෙලාවට ලේ එහෙම පරික්ෂා කරල බලන්න ඕන. අනික මානසික රෝග අඩු වැඩි වීම කොයි වෙලාවෙ වෙනවද කියලා කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ප්‍රදීප් මල්ලි මන් කීවෙ යාළුවා කීව කතාව ගෙඩි පිටින්ම...එහෙම කතාවක් තිබ්බට ඇත්තටම එහෙම වෙන්නෙ නෑ කියලා හැමෝටම තේරෙයි ප්‍රදීප් මලයගෙ පැහැදිලි කිරීමෙන්.. ස්තූතියි...

      Delete
  10. පෝය දවසට පන්සල් ගිහින් ඈතින් තියෙන ගල් තලාවේ හාන්සි වෙලා රන් පාටින් දිදුලන හඳ දිහා බලන් ඉන්න එක තරම් නිස්කලංක දෙයක් තවත් නෑ. ඒත් අද එහෙම නිදහසේ ඉන්න පන්සලක් කෝ. ආලෝකයෙන් හිත් පුරවන්න කියලා පන්සල පුරාම ෆ්ලෑෂර් ගහලා. ධර්මාවබෝධය දෙන්න කියලා බැඳපු ලවුඩ් ස්පීකර් වලින් ආසියාවේ ලොකුම බුදු හාමුදුරුවෝ හදන්න, එහෙමත් නැත්නම් පිට රටින් ගේන කිසිම හැඩයක් නැති රන් පිළිමයක් ගන්න කියලා හිඟා කනවා. මහා පාර අයිනේ තියෙන සල්ලිකාර හාමුදුරුවරුන්ගේ පන්සල් වලට වඩා ඈතට වෙන්න තියෙන දුප්පත් පන්සල හොඳා.

    ඔන්න වෙනී අයියේ මාත් අයන්න කියන්න පටන් ගත්තා ඕන්. (sorry series comment අස්සේ add දාපු එකට.)

    ReplyDelete
    Replies
    1. කොළඹ ඉඳන් ඈතට යන්න බෑ මේ දවස්වල නිවාඩුත් නැති නිසාත්.. කතාව ඇත්ත..

      Delete
  11. පෝයට ගොඩක් හොදට ඉන්න උන්ටත් පිස්සු හැදෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා මල්ලි මේ පේන්නෙ නැද්ද ?

      Delete
  12. හඳ දැක්කම එහෙම වෙනවා ලූ..

    ReplyDelete
    Replies
    1. මන් නම් විනාඩි පහෙන් පහට බලනවා හඳ කොයි කියලා !

      Delete
  13. අද පන්සල් ගිහින් වගේ... අද අන්තිම සිල් පදෙනුත් වැලකිලා ඇත්තේ එහෙනම් වෙනී අයියා.. :)

    ReplyDelete
    Replies
    1. පහම රැක්කා දිනේශ් මල්ලි..

      Delete
  14. ලස්සන ලියවිල්ලක්. මම ආසා සෙනඟ නැති දවස්වල පන්සල් යන්ට. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දවස් වලට නිවී හැනහිල්ලෙ බලතහැකි.. සෙනඟ ඉන්න දවස් වල ගියහම ෆොටෝ ගන්න ඇහැකි..

      Delete
  15. මේ විදිහට තමුන් ගැන හිතන්න පුරුදු වෙන එක හොඳයි අපි කාට කාටත්.. එතකොට අට ලෝ දහමට මුණ දෙන්න ටිකක් පහසු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියෙ එහෙම නැත්නම් ජීවත් වෙන්ඩ අමාරුයි අද වෙන දේවල් වල හැටියට...

      Delete
  16. අපූරු ලියවිල්ලක් සහෝ..:)
    අපෙ අම්මත් එක දවසක් මට ඔහොම කතාවක් කිව්වා තමා..:)

    ReplyDelete
    Replies
    1. ඔව් වැඩිහිටියො වෙනකොට හිතෙන දේවල් මේ තමයි !

      Delete
  17. කැමරා උස්සගෙන පංසල් ගානෙ යනකොට ඔහොම වෙනව.

    ReplyDelete
    Replies
    1. තෙල්, මල් , පහන් අරන් යන්ඩෝනි ඊළඟ සැරේ මල්ලි

      Delete
  18. හඳ පෑව්වොත් ඉතින් පෝය දවසක තමා...

    ReplyDelete
    Replies
    1. ඔව් හඳ මෝරා ගෙන එනකොට තමයි පටන් ගන්නෙ..

      Delete
  19. ඇයි බෝ කොලේකට මුවා නොවුනේ?

    ReplyDelete
    Replies
    1. බෝ ගහ වේලිලා මල්ලි..

      Delete
  20. සබ්බේ පුථග්ජනා උම්මත්තකා.....!

    ReplyDelete
  21. පෝය දවසට පිස්සු වැඩි වෙනවා කියලා මාත් අහලා තියෙනවා.
    ඉස්පිරිතාලේ ඉන්න අයට විතරක් නෙවේ හැමෝටම .:D

    ReplyDelete
    Replies
    1. හැමෝටම හැමෝටම ...

      Delete
  22. පහන් කණුවල උපදේශන සේවය ලබාගන්නා වලාකුලු මෙනෙවියෝ... :)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මෙනවියෝ කීවට මෙනවියොමත් නෙවෙයි ...

      Delete
  23. උඹ මොකෑ හැමතැනම තරුදදා යන්නෙ? ටයිප් කරන්න කම්මැලිද?

    ReplyDelete
  24. මටත් පෝය දවසට පිස්සු හැදෙනවා අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ඩ ඕනි..නැත්නම් අනිත් දවසට කෙලින්න පිස්සු කෝ ?

      Delete
  25. //එක් කාලයක නැති වන්නට කිසිත් නොමැතිව සැහැල්ලුවෙන් සිටි මා අද දමා යන්නට බැරි තරමේ බහුභාන්ඩිකව ගෙවන මේ දිවියේ අර්ථය කුමක්දැයි මසිත මගෙන් විමසද්දී මා නිරුත්තර වීය. සිත රවටා ගත්තේ මා ගිහියකුය යන අර්ථකතනය මා හටම දෙමිනි. //

    මෙන්න මෙතන මම සෑහෙන්න අතරමංවුනා වෙනි අයියේ... මුලින් හිතුනේ ලියන්නා ගැන කියනවා කියලා ඒත් මෙතනදි හිතුනේ ලියන්නා පැවිදිවෙලා පෝය දවසේ අතීතය මෙනෙහි කරනවා කියලා ආයෙ අන්තිමට වෙනි අයියා කතා නායකයා වෙලා කතාව ඉවරකලා... පැහැදිලි කිරීමක් අත්‍යාවශ්‍යයි... වචන සෑහෙන්න බර වුනාට එලට ලියලා තියෙනවා ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ආ ඒ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච කාලෙ සිද්ධ උනු දෙයක් ගැමියා..

      Delete
  26. හඳ පායන දවස් වලට පිස්සු වැඩි වෙනවලු. එහෙම බලපෑමක් නැති වෙන්නත් බැහැ.
    පුළුවන් නම් මඳුනාගල අරණ්‍ය සේනාසනයට ගිහින් බලන්න. නතර වෙන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. කෝ එච්චර පිනක් තාම.. දවසක යනවා අනිවා..

      Delete
  27. වෙසක් දවසේ ගියා කළුතර බෝධී..හප්පේ සෙනඟ පිරිලා...

    ReplyDelete
    Replies
    1. වෙසක් , පොසොන් වලට නම් හැරෙන්න වත් ඉඩක් නෑ..

      Delete
  28. සිරාවටම.. මොකද උඹ තරු කොටන්නේ?

    ReplyDelete
  29. ඇත්තටම අන්තිම හරිය වෙද්දී තේරුනේ අද මාත්‍රාව වැඩියි කියල. :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කාලෙක ෆුල් ඩෝසෙජ් දෙන්න වෙයි වගේ !

      Delete
  30. අටම් ගෙ කීබෝඩ් එකේ ඒ කී එක විතරලු වැඩ මේ දවස්වල..

    ReplyDelete