ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 25, 2015

නුවර එළි සංචාරේ...අතරමඟ කලබැගෑනි.. Tour to Nuwa Eliya - Troubles on the way

අප්‍රේල් මාසෙ ඉතින් යනවා නම් යන්ඩ ඕනි නුවර එළියෙම තමයි කියලා හැමෝම කියන නිසාම මමත් පෙරුම් පුරලා පෙරුම් පුරලා තමයි මේ ගමන යන්න සේරම සැලසුම් හැදුවෙ...

මේ වගේ සංචාරෙකට පස් මහ බැලුම් ම බලන්ඩ වෙන නිසා...ඒ කිව්වෙ ඔෆිස් එකෙන් නිවාඩු ගන්ඩ ඕනි..වැඩ බලන්ඩ කෙනෙක් දමන්න ඕනි..අප්‍රේල් මාසෙ හැමෝම නිවාඩු වැඩියෙන්ම ගන්න මාසෙ හින්දම..මේක හරි අමාරුයි..නුවර එළියෙ නවාතැන් අප්‍රේල් මාසෙ හොයන එක ට වඩා ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු හොයන එක..අවුරුදු පස්සෙ දින 3ම මම වැඩ කරන්නම් කියලා ඔෆිස් එකේ අනිත් අයව යොමු කළා මම නිවාඩු ගන්න දවස් දෙකට.. ඒක හරි

දැන් නවාතැන් ?

අපේ ඔෆිස් එකේ නවාතැන උණත් ඉතින් බොහොම බරපතල විදියට පාවිච්චි වෙන්නෙ අප්‍රේල් මාසෙ..හැමෝම වෙන් කරගන්න දඟලන මාසෙනෙ...වාසනාවකට වගේ ආයතනය තීරණය කරලා තිබුණා නවාතැන වෙන් කිරීමේදී ආයතනයේ අයට ප්‍රමුඛතාවය දෙන්න. ඒ නිසාම මට අවශ්‍ය දින දෙක අප්‍රේල් 18 සහ 19 දෙක මම මුලින්ම වෙන් කර ගත්තා. දැන් ගමන යන්න ඉන්න අනිත් අය ගැන බලන්නත් ඕනිනෙ..අක්කයි ඒ අයගේ පවුලයි, මල්ලියි ඒ අයගෙ පවුලයි..සේරම 8 දෙනෙක්.. ඒ අයගෙත් නිවාඩු සේරම සැලසුම් කරගෙන...ඒ අය නම් පිටත් වෙන්නෙ ඉස්සෙල්ලා බණ්ඩාරවෙල, බදුල්ල අනිත් ඥාතින්වත් බලලා කරලා එන්නයි ලෑස්තිය දැන්..මම හිටියෙ සෙනසුරාදා මෙහෙන් පිටත් වෙලා ඒ අයට එකතු වෙන්න..

ඒත් අන්තිම මොහොතේ වෙච්ච එක සිදුවීමක් නිසා අපිට සිද්ධ උණා අපේ සංචාරය තව දවසක් එහාට තල්ලු කරන්න. ඒ කියන්නෙ 19 සහ 20.. ඒකත් අමාරුවෙන් හරි එහෙ මෙහෙ කර ගත්තා කියමුකො...

මට යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැතිනම් ට්‍රේන් එකේ..

කෝච්චි කාල සටහන් බලද්දි මුල්ම එක 5.55 ට පටන් ගත්තහම උදේ වරුවෙ 7 කුත් ගානට සහ 8 කුත් ගානට තව දෙකක් තිබුණා. යනවා නම් 5.55 එක නැතිනම් බෑ කියලා හිතුණ නිසා බස් එකේ යන්න තීරණය කළේ ඔච්චර උදෙන් නැගිටින්ඩ පුළුවන් කාටද කියන නොරිස්සුම් සිතුව්ල්ලත් එක්කම තමයි..

ඉස්සර වෙලා වාහනේක ගිය අක්කලා නිසා මගේ මගේ ගෙනියන්ඩ තිබුණු ඇඳුම් කැඩුම් බොහොමයක් වාහනේම පටවලා ඇරපු නිසා මට ගෙනියන්ඩ තිබුණෙ කැමරා බෑග් එකයි තව පොඩි පොඩි කළමනා කීපයකුයි විතරයි... රෑ නිදියනකොට උණත් හිතුවෙ බස් එකේ තමයි යන්නෙ කියලා..මගදි කන්නයි බොන්නයි කියලා බිස්කට් පැකට් එකකුයි අර ශක්ති ජනක පානය කෑන් දෙකකුයි දමා ගත්තා. බස් එකේ යන නිසා උදෙන්ම නැගිටින්ඩ ඕනි නැහැනෙ එලාම් එක තිබ්බා උදේ හයට..

පාන්දර ඇහැරුණා...හය වෙන්ඩ ඇති කියලා හිතුවත් හත් වලාමයි පාන්දර හතරයි..අනිත් පැත්ත හැරිලා නිදියන්න හිතුවත්..ම්ම්හ්හ්හ් නින්ද නම් පැත්ත පළාතකටවත් එන්නෙ නැහැ..හතර හමාරට නැගිටලා මූණ කට සෝද ගෙන ලෑස්ති උණා..4.45 යි. පාරට බැස්සා..හයිලෙවල් පාරට එනකොටම බස් එකක් තිබුණා. කොටුව ස්ටේෂන් එකට එනකොට 5.30 යි...එතකොට මතක් උණා කෝච්චිය තියෙන්නෙ 5.55 ට කියලා. වෙනස් කළා තීරණය මෙන්න කොල්ලා කෝච්චියෙ දෙවැනි පංතියෙ..

අසුන් බොහොමයක ජනේලෙ ළඟ අසුන පිරිලා තිබුණත් අනිත් අසුන හිස්...මමත් හොයලා හොයලා එක අසුනක ඉඳ ගත්තා එතන ජනේලෙ ළඟ අසුනෙ හිටිය තරුණයා නුවරින් බහිනවා කිව්ව නිසා මට එතනට යන්න පුළුවන් කියන සිතුවිල්ලත් තිබුණා..ඒත්...

කෝච්චිය අදින්න ඔන්න මෙන්න තියා මෙන්න හාමුදුරු නමක් වඩිනවා බොහොම වේගයෙන් සීට් හොය හොයා...අනේ සුපිංවතුණි මගේ ළඟ හිටිය හාදයගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වැඩිලා දුන්නා කියහංකො අර සීට් එක හාමුදුරුවන්ට..දුන්නා නෙවෙයි පූජා කළා ...

මට එසැනින්ම මතක් උණේ දුමියගෙ කට කහන කතාව..හෆොයි පස්ස උස්සලා බෙල්ල අනිත් පැත්තට කරකවලා බැලුවා පිටිපස්සෙ සීට් එකක් වත් හිස් නෑ..මගේම වෙලාව.. ඕ.පු කියලා හිත ශ්‍රද්ධාවෙන් පුරවා ගෙන මමත් ආයිමත් මගේ ආසනේ වැඩ හිටියා..වැඩ හිටියා නෙවෙයි ඉන්ද උණා...

මහත්තයා වඩින්නෙ කොහාටද ?

මම නානු ඔයට හාමුදුරුවො යන්නෙ ?

මම නම් නුවරට

හම්මේ ආයිමත් හිත නිවුණා...ඕනි එකක් නුවර විතරයිනෙ කියලා හිත හදා ගත්ත මම.. කොයිකටත් කියලා දන්න ධර්ම කරුණු සියල්ලම මතකෙට ගත්තෙ..එන ඕනිම ප්‍රශ්නෙකට නොබියව මුහුණ දෙනවා කියලා..කරුමෙයක් තියේ නම් ගෙවෙන්නම එපාය...

ඔය අතරේ තමයි මගේ අහෝසි කර්මය පල දෙන්න ගත්තෙ...

අර හාමුදුරුවන්ට සීට් එක දීපු...දීපු නෙවෙයි පූජා කරපු හාදයා එක්ක හාමුදුරුවො අල්ලාප සල්ලාපයක් පටන් ගත්තා. අර හාදයා මම ළඟ හිට ගෙන මගේ උරහිස්සට හේත්තු වෙලා,  ..හාමුදුරුවො මගේ අනිත් උරහිස්සට හේත්තු වෙලා.හේත්තු වෙලා නෙවෙයි සැතපිලා  .....ගිරේට අහු වෙච්ච පුවකෙ වගෙ..හාමුදුරුවො රට රට වල් වල ගිය - ගිය නෙවෙයි වැඩපු - විස්තර අර තරුණයට කියනවා. ඒ හාදයත් නිකන් ඉඳලා නෑ. රට වටේ වැඩපු , වැඩපු නෙවෙයි ගිය විස්තර කියවනවා..නරකමත් නෑ..මමත් සමහර සමහර කරුණු හිතේ ධාරණය කර ගනිමින් හිටියා...

අතරමඟදි බිස්කට්, කෑම බීම වගේ දේවලුත් හුවමාරු උණා. මම පුරුද්දක් විදියටම යන ගමන් බිමන් වලදි අනුන් දෙන කෑම නොකන නිසා ස්තූති පූර්වකවම ඒවා ප්‍රතික්ෂේප කළා...

කොහොමින් කොහොමින් හරි අට හමාර වෙනකොට කෝච්චිය නුවරට වැඩියා. වැඩියා නෙවෙයි ගියා. හාමුදුරුවො එළියට  ගියාද වැඩියද ? අනේ මන්දා !. මට අයිනෙ අසුන හිමි උණා. ..මම ළඟ කවුරු හරි ඉඳ ගන්නවා දැනුනත් මම හොඳ නින්දක් ගහන්ඩ හිතා ගෙන ..

මේ මහත්තයා අර අතෙන්ට යන්ඩ බැරිද ?

නිකන් අණ දෙන ස්වරූපයකින් ආපු කටහඬ එක්කම මගේ අත අල්ලපු නිසයි මම ඇහැරලා බැලුවෙ..මම ළඟ හිඳ ගත්ත හාදයා මට කියනවා..කියනවට වඩා ඒක අණ දීමේ ස්වරූපයක් තිබ්බෙ. මිනිහගෙ පෙම්වතිය විය හැකි තරුණියක් ඉස්සරහ අසුනෙ ජනේලෙ ට මෑතින් තිබුණු අසුනෙ ඉඳන් මට ඔරවනවා..

සොරි

එහෙම කිව්ව මම ආයිමත් ඇහැ කන පියා ගෙන මගේ අසුනෙ හොඳට හරි බරි ගැහුණා...

මම සාමාන්‍යෙන් එහෙම කරන කෙනෙක් නොවුණත් ඒ තරුණයගෙ කට හඬේ තිබ්බ අකාරුණික බව නිසාමයි මම එහෙම කළේ..

පැයක් දෙකක් යන කොට මිනිහා බූරු ඇඳ දිගෑරියා වගේ කකුල් දෙක ඈත් කර ගෙන නිදි. එක කකුලක් මගේ සීට් එකේ සීමාවෙන් පැනලා මගේ කකුල උඩ..මම දෙසැරයක් මගේ කකුල අයින් කර ගත්තත්...වෙනසක් නෑ..කියනවද නැද්ද ... මේ හලෝ ඔය බූරු ඇඳ අකුල ගන්නවද මගේ සීට් එකෙන්...

ඕනි නෑ..තව වැඩිම උණොත් පැය දෙකයි...කියලා හිතා ගත්තු මම... බිස්කට් එකක් කාලා අතට ගත්තා අර මගේ ශක්තිජනක පානය..වෙන මොකක් වත් නෙවෙයි බන් රෙඩ් බුල් කෑන් එකක්...අම්මපා මගේ පාඨකයො හිතන්නෙම හරහට නෙ...

කෝච්චියෙ සෙලවි සෙලවි ඇවිල්ලද කොහෙද..මේක විවෘත කරන්න ගිහින් සූස්..ගාලා හැළුණා කලිසමෙ...අර තරුණයත් ඇහැරලා බලනවා මම දුටුවා ඇස් කොනින්...

මම ලේන්සුව අරගෙන ඒක පිහිදලා අනිත් ටික බීලා...වේගයෙන් පහු කර ගෙන යන කඳු, නිම්න මිටියාවත් දිහා බලාගෙන උන්නා. පට්ටිපොළ ට ඉස්සෙල්ලා හරියෙ ස්ටේෂන් එකක කෝච්චිය තරමක වැඩි වෙලාවක් නවත්තලා ඉන්නවා. ඔය අතරේ මම දකිනවා ගේ කුරුල්ලො ජෝඩුවක් එතන බැම්ම උඩ ඉඳන් දාන සෙල්ලම්...බැම්මත් එකම පාට..කුරුල්ලත් එකම පාට..

උකුළෙ තිබ්බ කැමරා බෑග් එකෙන් කැමරාව ගත්තා..සැකසුම් ටික හදා ගෙන අවශ්‍ය ඡායාරූප 2-3ක්ම ගත්තා. අරගෙන පස්සෙ පොඩ්ඩක් බලන් කොට..



කැමරාව මොකද්ද කැනන් ?

අර හාදයා..

බලාගෙන යද්දි මෙයා කුරුණෑගල පැත්තෙ මඟුල් ඡායාරූප ශිල්පියෙක් වෘත්තිය ඒක..එහා පැත්තෙ අසුනෙ ඉඳලා තියෙන්නෙ බිරිඳ..
මම නම් පොඩ්ඩක් ඡායාරූප ශිල්පය ඉගෙන ගත්ත..වෘත්තිය වෙන ක්ෂේත්‍රයක් වෙන විනෝදාංශය ඡායාරූප ගැනීම වෙන අයකු කීවට පස්සෙයි මිනිහා තමන්ගෙ වෙඩිං ෆොටෝ ගැන කියන එක නැවැත්තුවෙ...

නානු ඔයෙන් බැහැලා පරිසරයට විනාඩියක් කරලා එන්ඩ ගිය හින්දම නුවර එළියට යන්න තියෙන බස් එක මිස් උණා මගේ වාසනාවකට..
තුන් සක රියක් කුලියට ගත්ත මම..මෙන්න නුවර එළියට ඔන්න මෙන්න කියලා වහලා තියෙන පාරක් ඉස්සරහ හෝරාවක් විතර ටැග් ගැහෙන්ඩ සිද්ධ උණා. මෝටර් රේස් තරඟ නිසා බොහොමයක් පාරවල් වහලා. විඩින් විඩේ තමයි පාරවල් විවෘත කරලා වාහන වලට යන්න ඉඩ දෙන්නෙ . පැය බාගෙන් එන්න තියෙන ගමනට පැය එක හමාරක් වැය කරලා...තුන් සක රිය හිමියගෙ ඈඬියාව නවත්තන්න තව රු. 200කුත් වැඩියෙන් ගෙවලා..මම බැස්සා මගේ නවාතැනින්..එතන මොන තරම් සුන්දරද ? ඔය තියෙන්නෙ සාක්කි..

නවාතැනේ මිදුලෙ සිට පිටත දර්ශනය...ඉස්සරහ තියෙන්නෙ ග්‍රෙගරි වැව






අදට ඔය මදැයි..ඊළඟ කොටසින් බලමුකො මහ රෑ...නුවර එළිය ටවුන් එකේ බඩු හොයපු...පොලීසිය කන ළඟින් ගියපු තවත් රස බර විස්තර ටිකක්...

Friday, April 10, 2015

ප්‍රශ්ණ, ඔබට ප්‍රශ්ණයක් වන තුරු ප්‍රශ්ණ , ප්‍රශ්ණ කර ගත යුතුද ?

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප්‍රකාශනයක්, එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ ) අන්තර් ක්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන්  කරන කාරියක්, එසේම බ්ලොග් රචකයන් ප්‍රසිද්ධිය සොයා නොයන, සමහර විට ආරූඨ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරි හැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.



බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නෙ මෙයයි.ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරි සරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත්‍රත්වය සහ ගති සොබා හඳුනා ගන්න. එසේ ප්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමන වලට එළැඹෙන්න.

උපුටා ගැනීම - සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ. - සිවු මංසල කොලුගැටයා, නාලක ගුණවර්ධන, රාවය, 2015.04.12 පිටුව 06.



 බ්ලොග් කියවීම සඳහා අළුතෙන් පැමිණේ යැයි සිතන නව පාඨකයන් සඳහා හොඳ ආරම්භයක් ප්‍රවේශයක් මේ ලිපිය හරහා ලැබෙනවා. මොකද රාවය පුවත් පත කියවන  පාඨකයන් සමූහය බ්ලොග් වෙත ආකර්ෂණය වේ යැයි උපකල්පනය කරමු. 

බ්ලොග් රචකයන් මේ පාඨකයන් බ්ලොග් කියවීම තුල රඳවා ගැනීමට සූදානම්ද ?


නව පාඨකයන් හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ බ්ලොග් තුල ඇති හොඳ දේ පමණක් උකහා ගනීද ? 


බ්ලොග් වල ඇති සහජ ගති ලක්ෂණ සහ ජීවමය ගුණය මේ නවාගමනය නිසා රැකෙයිද ?


වැඩියෙන් හිට්ස් ලැබෙන , ජනප්‍රිය වේ යැයි සැක හිතෙන බ්ලොග්, කමෙන්ට් දමා අල කිරීමට නිදා සිටින ඇනෝ සෙට් එක නැවතත් පැමිණෙයිද ???

සංවාදය සඳහා විවෘතයි..
බලන්න සහෘදය ඇඟිල්ල දෙස නොව සඳ දෙස... !






Thursday, April 9, 2015

අයිස් කියුබ් වලට ලෑලි...

මේ සිදුවීම් මාලාවම උණේ රටේ බොහොම ප්‍රසිද්ධ, කවුරුත් ක්ෂේත්‍රය කිව්වහම හොඳින්ම නම දන්නා අයෙක් ආශ්‍රිතව තමයි..විශේෂත්වය වෙන්නෙ අර වී කරල මෝරන්න මෝරන්න නැවෙන්නෙ බිමට කියන්නැහේ මේ සුවිශේෂී චරිතය ප්‍රසිද්ධ වෙන්න ප්‍රසිද්ධ වෙන්න..තව තව නිහතමානි වෙන එක ! මීට වඩා හොඳ කියන්ඩ ගිහින් වැඩ අධිකව තිබුණත් මේ සටහන ඇහැ ගැටුනොත් අනිවාර්‍ය්යෙන්ම කියයි..
ගුණ කථන කියන්ඩ එපා බොලව් මල ගෙවල් මතක් වෙන්නෙ
කියලා..



විටෙක දෙමව්පියන්ට වඩා අපිට ආදරේ...විටෙක එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයෙකුටත් වඩා ලෙන්ගතු..විටෙක හොඳම යහළුවෙකුටත් වඩා මිතුරු...අපූරු මනුස්සයෙක් ! මගේ වාසනාවකට කොහෙන්දෝ මන්දා ඔහුගෙ සෙවනෙ ඉන්න මම පින් කරලා තිබුණා...


ඔයිට වඩා මම කියන්නෙත් නෑ..ඒ කවුද කියලා කියන්නෙත් නෑ..
කියවලා බලන්ඩකෝ මේ සිදුවීම් කීපය...


ඊළඟට මම සර් කියලා කියන්නෙ මේ අපූරු මනුස්සයට තමයි !
දවසක් හැන්දෑවෙ මමයි තව යාලුවෙකුයි සරුයි යනවා සුපර් මාර්කට් එකට..ඔන්න ඔය බීම වගයක් හදන්න අඩුම කුඩුම ටික ගන්ඩ..අවශ්‍ය බඩු ටික අරගෙන එහෙම..


අපි දෙන්නා දැන් අයිස් කැට හෙවත් අයිස් කියුබ්ස් හොයනවා.. ෆ්‍රීසර් දෙකේම හෙව්වත් හොයා ගන්න බැරි උණා..තියෙන්න පුළුවන් හැම තැනම බැලුවත් ම්හ්හ්හ්..


මොනවද බලන්නෙ කෝ අයිස් කියුබ්ස් ?
සර් අයිස් කියුබ්ස් නැහැ වගෙයිනෙ


අපි අහල බලමු වෙළඳ සහයක කෙනෙක් ගෙන්..


අයිස් කියුබ්ස් හෙව්වට වඩා හොයලා ඕන් වෙළඳ සහයක කොළුවෙකුත් හොයා ගෙන අපි ඇද ගෙන ආවා ඌව..


අයිස් කියුබ්ස් නැද්ද ?


අපි හොයපු හැම අස්සක් මුල්ලක්ම හොයපු මූ අන්තිමේ පරාජය පිළි අරගෙන..


අයිස් කියුබ්ස් නම් නැහැ වගේ සර්


මමයි යාලුවයි දෙන්නා දැන් සොරි ඩොට් කොම් වෙච්ච දෙන්නෙක් වගේ ඉන්න අතරේ සර් අර වෙළඳ සහයකගෙන් අහනවා
ලෑලි තියෙනවද ?


මමයි යාළුවටයිත් වඩා තුෂ්ණිම්භූත වෙච්ච වෙළඳ සහයක දහ අතේ කල්පනා කරනවා ලෑලි කොහෙද තියෙන්නෙ කියලා වෙන්ඩ ඇති...මමයි යාලුවයි කල්පනා කරනවා..බීම හදන්ඩ ලෑලි මොකටද ? තව අඩු...අයිස් කැට විතරයිනෙ..


සර් ගෙ මූණ දිහා බැලුවත්...ම්හ්හ්හ් අර උගන්වන කොට තියෙන සීරියස් මූනම තමයි...විහිළුවක් කරලත් නෙවෙයි...


කුතුහලය වැඩි වෙච්ච තැනම මම සර්ගෙන් ඇහුවා


මොකටද සර් ලෑලි ?


අර වෙළඳ සහයකත් සැනසුම් සුසුමක් හෙළුවා ඇහුණා..


අයිස් කැටයක් නැති මේ මඟුල වහලා දාන්ඩ !


කිව්ව සර් යන්ඩ ගියා..මටයි යාළුවටයි හිනාව නවත්තා ගන්න පුළුවන් උණේ සල්ලි ගෙවපු කවුන්ටරෙත් පහු කළාට පස්සෙ..අර වෙළඳ සහයක කොලුවට නම් සෝපාහාසය තේරුණාද මන්දා...


ඔය වගේ බොහොම දුර දිග බලලා අමුතු විදියෙ කතාවල් කියන නිසාම අපිත් සමහර වෙලාවට සර් ඉන්න වෙලාවල් වලට කරන කතාවල් අහගෙන ඉන්න ආසයි..


ඔන්න අනිත් සිදුවීම උණේ..


මහ රෑක සුහද හමුවක් තිබිලා..රෑ ජාමෙ දොළහට විතර දැන් බලා ගෙන ඉන්නවා ටක්ශියක් හරි ත්‍රී වීල් හරි එකක්..එකක් කිව්වට එකක්ම නෙවෙයි..දෙක තුනක්ම එනකන් බලාගෙන ඉන්න අතරෙ..අපේ එක් කෙනෙක් තමන්ගෙ අතේ තිබුණු ෆෝන් එකෙන් කැබ් සර්විස් එකකට කතා කළා...වෙලාවෙ හැටියට පාරෙ වෙන ත්‍රී වීල් ඇත්තෙත් නැති නිසා..ඒක හොඳ විකල්පයක් නිසාත් හැමෝම දැන් තම තමන් දන්න කැබ් සර්විස් වලට කතා කරනවා..


සරුත් දැන් කතා කරනවා..පොඩ්ඩක් කතා කරලා මේන් එක සිය ගානට බනිනවා..මෙන්න මෙහෙම..


වහලා දාන්ඩ කියනවා ඔය කෑබ් සර්විස් එක..කැබ් තියෙන්න ඕනි රෑකට මිනිස්සුන්ට යන්න මිසක් වෙන මොකටද ...
වගේ ඒවා කිය කියා..


අපි තේරුම් ගත්තා ෆෝන් එකේ අනිත් පැත්තෙ ඉන්න කෙනා මොනා හරි ජල්බරි උත්තරයක් දීලා තමයි කියලා..පස්සෙ ඇහුවහමයි සර් කිව්වෙ..


එහා පැත්තෙ හිටපු කෙනා කියලා මේ මහ රෑ නම් කැබ් එකක් එවන්න බෑ කියලා..හැබැයි සර් ගෙ උත්තරේ ඇහැව්වට පස්සෙ නම් කැබ් සර්විස් එකේ අය ඒ උත්තරේ නම් ආයි එන කෝල් වලට දෙන්න නැතුව ඇති...
ඊළඟ සිද්ධිය නම් තව කීප තැනකමත් කියවෙලා තිබුණා..


ඔහොම ආයි දවසක..සුහද හමුවක් තිබිලා..අපි ආපහු එනවා තුන් ශක රියක..පොලිස් මුර පලක් කිට්ටු වෙන්ඩ එන කොටම...සර් කෑ ගහනවා පොලිස් කාරයින්ට..


ඒයි හූ හූ..අපි බීලා ඉන්නෙ..ඔය ඇල්ලුවදෝ..හූ හූ...


මගේ නම් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ..මූලග්ගය තියෙන පොලිස් මාමා කෙනෙකුට හෙම ඕක ඇහුණා නම්..වීල් එකෙන් මුලින්ම ඇදල අරගෙන සලකන්නෙ සර් ට නෙවෙයි..මට නිසයි... 


ඔහොම ඉන්න තැනක අපි සිහියකින් පතකින් හිටියොත් ඉතින් කතා සාගරයක් මැවෙන හමුවක් තමා තියෙන්නෙ.. අපේ අවාසනාවට ඉතින් අපිත් ඉන්නෙ ඔයවා ඇහුනත් ඒ වෙලාවට හිනා වෙලා ආතල් එකක් ගන්නවා මිසක් හිතේ රඳා පවතින තරමේ සිහියකින් නොවන නිසා...
ඒ කතා සරිත් සාගරයෙන් දැනට මතක් වෙන්නෙ ඔච්චරයි ආයිබොවන්ඩ

Wednesday, April 8, 2015

වසන්තයට පෙට්ටි කතා ...

වසන්තය නෙවෙයි ඉතින් වසන්ති ආවත් කෝ ලියන්ඩ වෙලාවක් කලාවක්..තේමාවක්...අනික ලියන එක කොලිටියටම ලියන්ඩත් ඕනිලුනෙ..

ඕන් පටන් ගත්තා අදත් බැරි බැරියාවෙන්ම..

එහෙම නෙවෙයි ඔන්න අපිත් දැන් කෝච්චි වල යන්ඩ පටන් ගත්ත හින්දම එදිනෙදා හිරවෙලා මිරිකිලා තෙරපිලා යන අතරතුරේ සිදු වන..ඇහෙන දකින දේවල් කීපයක්ම බෙදා හදා ගන්ඩයි හිතුවෙ...ඇයි හැබෑටම බස් වල ගිහින් ගිහින් හිටපු ගමන්ම කෝච්චි වලට මාරු උණේ ?


මෙහෙමනෙ බස් වල ගාන අඩු කළත්..දවසකට රුපියල්ම 80 කට කිට්ටු වෙන්ඩ පර්ස් එකෙන් පූජා කරන්ඩ වෙන නිසාමත්ම..

සහ....

බස් වල යන්ඩ ගියහම එන්ඩ එන්ඩම ට්‍රැෆික් බ්ලොක් එක වැඩි වෙලා දවසෙන් බාගයක්ම බස් වලම ගත කරන්ඩ වෙන නිසාමත්ම,

බස් වලට වඩා ට්‍රේන් එකේ කිටි කිටියෙ හිර වෙලා...යන්ඩ... එක්කො ඒක ඕනි නැහැ..

මුල්ම කතාව පහු ගිය කාලෙ අර ඕනිම කෙනෙක්ගෙ මුවග මුවග රැඳෙන වචනයක් උණේ වෙලේ සුදා කියන එක..ආන්න එහෙම වෙච්ච කාලෙක උණ දෙයක්..

දැන් කෝච්චිය පෙට්ටියක අපි පොල් පැටෙව්වා සේ හිර වෙලා යන අතරෙ...

නාවින්න පහු කරලා උඩහමුල්ල ස්ටේෂන් එකට කෝච්චිය නැවැත්තුවහම මතක අයට මතක ඇති බොහොම ලස්සන වෙල් යායක්, කිව්වට වෙල් යායක්ම නෙවෙයි එළවළු එහෙ
වවපු වෙලක් මැද ලස්සන විශාල බෝඩ් එකක් තියෙනවා බුදු හාමුදුරුවන්ගෙ..ඒක එතනට කොයිතරම් ගැලපෙනවද මන්දා..අර ගමයි පන්සලයි හැමදාම ඇහැ ගැටිච්ච මට නම් ඒක බොහොම සුන්දර දසුනක්...


දැන් පහුගිය දවසක ඔහොම හිරවෙලා, මිරිකිලා තෙරපිලා චූන් එකේ යන අතරතුරේ ඔතන ස්ටේෂන් එක පහු කරපු ගමන්ම එතන හිටි තලතුනා වයසෙ මහත්තයෙක් එකසිය ගානට බනිනවා...බනිනවා බනිනවා..බනින්නෙ එතන හිටිය කොල්ලො සෙට් එකට..මුන්ට හැදියාවක් කියලා එකක් ඇත්තෙම නෑ..ආගමක් දන්නෙ නෑ..දහමක් දන්නෙ නෑ...එක අඳොවැඩියාවයි...බොහොම අමාරුවෙන් තනි කකුලෙන් හිටගෙන..උස්ස ගත්ත අත පහළට දාන්න වත් බැරුව ඔහොම යන කොට වෙනසකටත් එක්ක ඔය වගේ සීන් බොහොම විනෝදය සපයන එව්වා වෙනවා..

ඔයින්ට ඉස්සර දවසකත් ඔහොම කොල්ලො සෙට් එක එතන ජැක ගහ ගෙන ගිය අන්කල් කෙනෙක්ගෙ * මිරිකලා හයියෙන්..ඔය අන්කලුත් මාර සද්දෙට කොල්ලන්ට බැන්නා..ඉවසගෙන ඉන්න බැරිම තැන ඉස්සරහ හිටිය නන්ගි කිව්වා

"අන්කල් හොඳට හේත්තුව දාගෙන ආවනෙ මෙතනට එනකන්..දැන් සද්ද නොකර ඉන්ඩ"

 
කියලා..අපිත් මුලින් හිතුවෙ වගේ සීන් එකක්වත්ද කියලා..

මෙන්න ඊළඟට බුද්ධ දේශනාවක් ඇදලා ගත්තා මේ මනුස්සයා..එතකොටයි මම ළඟම හිටි කොල්ලගෙන් ඇහුවෙ

"මොකද මල්ලි සීන් එක ?"

කියලා..

"නෑ අයියෙ අර වෙල මැද හයි කරලා තිබ්බ බුද්ධ පිළිමෙ දැකපු මේ අපේ සහනයා ගත්ත කටටම කිව්වනෙ
ආන් වෙලේ සුදා ! "

කියලා

ඒකටයි ඔය අන්කල් සද්දෙ දාන්නෙ කියලා..

ආම්මපා අද හැදෙන කොල්ලන්ගෙ කටවල් තමයි කියලා කේන්තියක් හිතට ආවත්..මටත් හිනා ගියා..මුන්ගෙ වැඩ කියලා නම්...



ඔය සිද්ධියෙන් පස්සෙම මෙතනින් එන හැම දාකම මට මතක් වෙන්නෙ ඔය සීන් එකම තමයි...අනිත් සිද්ධිය උණේ අපේ ඔෆිස් එකේ නන්ග් කෙනෙකුට..

එයාලා ඔෆිස් එන කෝච්චිය අපිටවත් වඩා දරුණුවට සෙනඟ..රඹුක්කන ඉඳලා එන එක...සාමාන්‍ය සිරිත ඉතින් පොඩි දරුවො සෙනඟ අතරෙ හිර වෙලා ඉන්න කොට වැඩිහිටි අය අයව උකුලට ගන්න එක...විශේෂයෙන් ලේඩිස්ලා තමයි මේක කරන්නෙ..මොකද පොඩි දරුවෙක් සෙනඟ අතරේ හිර වෙලා ඉන්න කොට මුලින්ම හිත උණු වෙන්නෙ අයගෙ නිසා...

ඔහොම දවසක මෙයාට පේනවලු පොඩි දරුවෙක් සෙනඟ අතරේ මිරිකිලා තෙරපිලා ඉන්නවා.. හිත උණු වෙච්ච පාර සෙනඟ අතරේ කකුල් අස්සෙන් අතදමලා ඇදලා අරගෙන අර පොඩි එකාව උකුළෙ වාඩි කර ගත්තලු..


අතින් අල්ලලා අදිද්දිම වෙනසක් දැනුනත්...අහල පහළ අයගෙ ප්‍රතිචාර එක්ක ආයිමත් මෙයා අර උකුළෙ වාඩි කරවා ගත්ත කෙනා දිහා හොඳින් බලන කොටළු දැක්කෙ..


හුටා..මේ හොඳට වැඩිච්ච..කුරු පිරිමි කෙනෙක් කියලා...


දැන් ඔනවා කරන්නද මේ මනුස්සයත් හොඳට වාඩි වෙලා යනවලු..මෙයා කරලා තියෙන්නෙ අනේ නැගිටලා එහෙනම් ඔයා වාඩි වෙන්න කියලා හෙමිහිට ඉස්සරහට යන එක තමයි..


ඕන් ඔහොම වෙන්නෙ..


ඔය උඩ තිබෙන ෆොටෝ එක ඉස්සුවෙ නම් දමින්ද ප්‍රසන්ගිකා...

"ඈ ප්‍රසන්ගිකා ??? කවුද බන් ඒ ලස්සන කෑල්ලක්ද ? උඹත් ලස්සන කෑලි වල එව්වා උස්සන්න.."


"කෑල්ලක් නෙවෙයි බන් ප්‍රසන්ගික මල්ලි ?"


"කවුද බන් ඒ ඩයල් එක ?"


"අර බුකියෙ ඉන්නෙ බන්..ඌව නොදන්න එකෙක් නෑ  කෝච්චියා කියන්නෙ ?"


"ඌව නම් දන්නවා...අම්මට සිරි උගේ නම දමින්ද ද ?"


"ඔව් ඇයි ?"


"මම හිතුවෙ උගේ උප්පැන්නෙ නම කෝච්චියා වෙන්න ඇති කියලා..."

Monday, March 30, 2015

බ්ලොග් වසන්තයා කියන්නෙ කවුද බන් ???

බ්ලොග් වසන්තයා කියන්නෙ කවුද බන් ???


කළුබෝවිල දුමියා වගේ තගෙක්ලුද ???

දන්නෙ නෑ..ඔව්වා හොයන්න වෙලාවක් නෑ මේ දවස් වල බිසි...බිසි...බිසි...


ඔය එකම වචනෙ තුන ගානෙ දාන්ඩ කතන්දරගෙන් කොපි රයිට් ගත්තද ?


දැන් කතන්දර කියලා කෙනෙක් නැහැල්ලු..


එහෙනම් ?


රසිකලොජික් කියලා අංකල් කෙනෙක්ලු ඉන්නෙ


රසිකලොජික් නෙවෙයි ගොනෝ ..ඒකෙ නම රසිකොලොජි... රසිකොලොජි..


ඔව්වා හොයන්න වෙලාවක් නෑ මේ දවස් වල වැඩ...වැඩ...වැඩ...

බ්ලොග් වසන්තයා කියන්නෙ සිංහල බ්ලොග් ලියපු උන්ව සු...වෑන් වලින් උස්සන කල්ලියක ලොක්කලු...

නෑහ්...  අපොයි එහෙනම් මාතලන්... පව්...


ඇයි මාතලන් පව් ?


ඊයෙ පෙරේදා හැම ටීවී එකකම චැනල් වලින් පෙන්නුවෙ මූන..
නාකි..


ස්...කට කට..


ඇයි ?


වසරේ හොඳම බ්ලොග් එක ලිව්ව මාතලන් මහත්තයට අරවා මෙව්වා කියලා මෙතන ආයි...


හා හා...


අර වුරුදු උත්සවෙ මේ සැරේ තියන්නෙ නැහැලුද ?

දන්නෙ නෑ..ඔව්වා හොයන්න...


අම්මපා අනිනවා හොම්බට ඔය කතාව ආයි කිව්වොත් එහෙම..


හා හා...


බුකියෙ ඉන්න මේකද දන්නෙ නෑ...බ්ලොග් වසන්තයා කියන තගයා ???
දන්නෙ නෑ ඔව්වා හොයන්න..


https://www.facebook.com/groups/693226280782347/


චටාස්..


අම්මෝ මගේ පණුවො කාලා තිබුනු හක්කෙ දත ගැලවුනාද කොහෙද ???!!!