ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, April 29, 2012

ක්ෂිතිජයේ ඉම සොයා...

මා ප්‍රිය සුහද, සුහදිනිය, මෙම නිර්මාණය මා මීට පෙර ක්ෂිතිජයේ ඉම සොයා රේඛා සහ සඳලී නමින් පල කර ඇති නිර්මාණයම සුළු වෙනස් කම් කීපයක් කිරීමෙන් අනතුරුව පල කරන්නක් බව කාරුණිකව සලකන්න. මෙම නිර්මාණය පිළිබඳ නැවත යම් අදහස් ලබා ගැනීමක අවශ්‍යතාවය ඇති බැවින් මෙලෙස නැවත පල කිරීමට අදහස් කලෙමි.
===================================================================

"රේඛා..... රේඛා... කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."




සමුදුරෙන්  නිරන්තරයෙන්ම නැගෙන හෝ හෝ හඬ ජීවිතයේ ජය හමුවේ නැගෙන විජයග්‍රහණයේ සංගීතය මෙන්ම, අනන්ත දුක්ඛ දෝමනස්සයන් හමුවේ හඬන හංස විලාපය වැනිය. සමුදුරේ හඬ දෙසවන් වැකෙන්නේ කොයි මොහොතේද එතැන මගේ දිවියේ සියලු භාවයන් ක්ෂණයකින් වැසීමට නොහැකිවූ පැන්ඩෝරාගේ පෙට්ටියේ වූ සියල්ල මෙන් මගෙන් නික්මී මා සමීප අවකාශයේ සැරි සරන්නේ නැවතත් , නැවත නැවතත් මා කිසිම වගකීමක් නැති සරල සැහැල්ලු කුඩා දරුවකු බවට පත් කරමිනි. මෙම විශ්මිතය තුළ කාලයේ බාධකයන් නොතකමින් මගේ සරල සුගම ධ්‍යානයන්ට සම වැදීම මගේ කිසිදා නොසන්සිඳුණු පිපාසයක්ම විය.


"කෝ මයෙ පුතා ඔය පොත් පාඩම් කරනවද නැත්නම් මුහුද කරේ බලන් හූල්ලනවද?"


කුස නොදැරුවත්, ලේ කිරි කර නොපෙව්වත්, වචනයේ පරිසමාප්ත අරුතින්ම අම්මා වූ මේ ආදරබර ගැහැනියගේ උණුසුම් අත මා හිස මත පතිත වන තෙක් මා මුනිවත රකින්නේ..මා කුමක් හෝ ඊට පෙර දෙඩුවොත් ඈ ගේ මේ උණුසුම, ආදරය, ආදරණීය ස්පර්ශය, අහිමි වෙතැයි සැලෙන බියෙනි. 

"මයෙ පුතා ඒ අම්මයි තාත්තයි ගැනද හිතන්නෙ? හිත හිතා හූල්ලන්නෙ ?  මායි තාත්තයි කතා කරගත්තා ඒගොල්ලන්ව හොයන්න..ඉන්නකො තාත්තා මේ සැරේ මූදුකරේ ගිහින් ආවහම අපි හොයල බලමු මයෙ පුතේ"

"අම්මට නම් පිස්සු..ඕවා දමන්න එපා තාත්තයෙ ඔළුවට එහෙම"

මා ආරුඪ කර ගත් නොරිස්සුමකින් පවසමි.
මාළු ඇල්ලීම සඳහා මාස ගණන් මූදුකරයට ගොස් විඩාබර ගතින් ආපසු පැමිණෙන පියාගේ සෙනෙහසින් දිදුලන දෑස මාගේ මනැසේ ඇඳෙන්නේ ක්ෂණයකිනි.
මා ජාතක නොකළත් එතරම් පිය සෙනෙහසක් මා සම වයසේ සිටින කිසිවකු නොලබන බව මා දන්නේ අත්දැකීමෙනි.

"මන් මාව දමලා ගිය අය ගැන හිතන්නෙ නෑ මයෙ අම්මෙ.. මන් මේ  ඉස්කෝලෙ උගන්නපු පාඩමේ තියෙන කරුණු ටිකක් පත්තරවල තිබ්බ දේවල් ටිකක් එක්ක ගළපලා ඒ ගැන හිත හිතා උන්නෙ.."

"මට ඕවා දැනෙන්න මන් ඉස්කෝලෙ ගිය එකක්යැ? ඉන්න මන් මයෙ පුතාට තේ එකක් හදන් එන්නම්"

මව හා පියා කිසිම දිනෙක මා හට නිකම්ම පුතා යැයි අමතන්නේ නැත. ඔවුන් සැමදා මා ආමන්ත්‍රණය කරන්නේ "මයෙ පුතා" යන ආදරණීය වදනිනි.
ඉන්න හිටින්නට  මහ විශාල මාලිගාවක් නොවූවද සුව පහසුව , සෙනෙහස පිරුණු කැදැල්ලක් අපට තිබුණි. පියා මූදු රස්සාවද, පියාගෙ දැඩි අකමැත්ත නොතකා මව අසල සංචාරක හෝටලයක පිරිසිදුකරන්නියක් විලස සරි කර ගත් සියල්ලම වියදම් කළේ මගේ අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහායි.
කුඩා කල සිටම සමුදුර දිවියේ කොටසක් වූයේ සමුදුරු දිය මා හට මගේ හොඳම කල්‍යාණ මිතුරු තෙම වූයේ..මා පිහිනීමේ, රළ මත ලිස්සා යාමේ සහ කිමිදීමේ ශූරයකු කරමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ මා දෙමාපියන්ගේ සාඩම්බරය ඉහළ නංවමින් පාසල් කාලය තුළදීම ජාතික පිහිනුම් සූරතා කීපයක්ම දිනා ගැනීමත්, මා තව තවත් මහ මුහුදට ආදරය කිරීමත්ය. එකිනෙක පරයා නැගෙන රළ ගෙඩි අතික්‍රමණය කර පිහිනීම සහ ජයග්‍රහණය කරා යාම මගේ එකම අදිටන වූයේ මෙන්ම එසේ නොවන කල මා මහත් කැළඹීමකට පත්වීම නිරාකරණය කර ගැනීමට කෙසේවත් නොහැකිවිය.

"ඇයි පුතේ දිනුවහම වගේම පැරදුනහමත් හිත හදා ගන්න මයෙ පුතා පුරුදු වෙන්න ඕනි "

විටෙක බෝට්ටුව පුරවා මාළු රැගෙන එන තවත් විටෙක එම උපේක්ෂා සිතින්ම හිස් අතින් ගෙදර එන පියාගේ ජාන මට නොතිබිණි. ඔහු මා ජාතක කළා නම් කෙතරම් මැනව දැයි සිතුණ වාර අනන්තය. 

"මයෙ පුතා දිනුවම සතුටු වෙනවා වගේම මේ වගේ පොඩි පොඩි පරාජයන් වුණත් මැදහත් හිතින් ඉවසන්න පුරුදු වෙන්න..ඉන්න අපි තව පාරක් විභාගෙ කරමු"

සරසවි සිහිනය ලකුණු දෙක තුනකින් බිඳ වැටෙද්දී බිඳ වැටුණු මාගේ හිස අත ගාමින් පියා දෙඩූ වදන් දින කිහිපයකින් මා නැවතත් සතුටට පත් වූයේ මා ජයගත් ජාතික ක්‍රීඩා නිසා විශේෂ සරසවි පිවිසුමකට් මා ලක් වීම නිසාය. මාගේ ප්‍රියතම පරිසරය අත හැර නගරයට ආගමනය එසේ සිදු වුවත් ඉඩකඩ ලද හැකි හැම විටකම මා දිවගියේ මගේ ජන්ම භූමිය වෙතටයි.
සයුර නිසාම දිවිය දිනූ මා පසුව ජාතික තලයක ක්‍රීඩා උපදේශකයකු වීමේ භාග්‍යය ලද්දේ අග නගරයේ ස්ථීර පදිංචියට ඒම අකමැත්තෙන් වූවද සිදු වීය. කෙතරම් වද කළත් මව හෝ පියා කිසි දිනයක නගරයේ ස්ථීර පදිංචියට නොආවේ නමුත් මා හැකි හැම විටම ඔවුන් හා රැඳෙන්නට පසුබට නොවීමි. රේඛාගේ ආගමනය මගේ ජීවිතයට නව අරුතක් ගෙන ආවේ දිවිය තව තවත් යහපත් අතට පත් කරවිමිනි. 

"මොනවද ඔට්ටු පුතෙක්..හරියටම ඔයා වගේ පුතෙක් තමයි මට ඕනි"

රේඛා අපහසුවෙන් වූවද මහත් උද්දාමයෙන් පවසන්නී,

"මට නම් දුවෙක් නම් වැඩිය හොඳයි..එතකොට පස්සෙ අක්කා මල්ලියෙක්ව බලා ගනීනේ හොඳට"

"මල්ලියෙක්..හිතලා තියෙන දුර.." 

ඈ සිනා සලයි.

"පුතෙක් හරි දුවෙක් හරි..බලමු බලමු.."

අවසානයේ මගේ අනාවැකිය නිවැරදි කරමින් අපගේ දිවියට සඳලී දියණිය පැමිණියේ පරිපූර්ණ දිවිය යන්න කුමක්ද යන්න අප හට පසක් කරවමිනි. මිනිපිරිය සමඟ කාලය ගත කරන්නට මා මව හා පියා වැඩිපුර කාලයක් ගත කළත් සමුදුර හා බැඳුණු ගෘහය ඔවුන් කිසි දින අමතක කළේ නැත. ඉසුඹු ලද අඩියේ අප තිදෙනද වහා දිව යන්නේ..අපගේ ක්ෂේම භූමියක් වන් සයුරු අබියස අපගේ මාලිගයටයි. මුලින් අකමැත්ත දැක්වූවද පසුව රේඛාද මුහුදට ආලය කරන්නට වූයේ..පිහිනීමටද යම් දස්කමක් දැක්වූවාය.සඳලීට අවුරුදු තුන පිරෙද්දී අප තවත් දරුවකු ලබා ගැනීමේ උත්සාහය නිරර්තවූයේ අපගේ දිවිය යම් කිසි කම්පනයකට පත් කරවමිනි. ගැබ පීහිටා තුන් මස යද්දී ඇගේ ශරීරය එය ප්‍රතික්ෂේප කළේ..ඈ මහා විශාල ජීවිත අනතුරකට පත් කරමිනි.

"මිස්ටර් ලියන්නා අපිට රේඛාගේ වූම්බ් එක අයින් කරන්න වෙනවා..වෙන ඔප්ෂන් එකක් නෑ. සතුටු වෙන්න දුව ඉන්න එක ගැන..ඕනිම නම් පුතෙක්ව ඇඩොප්ට් කරගන්නත් පුළුවන් පහු කාලෙදි"

මෙන්න මේ ආකාරයට අප දෙදෙනාගේම පුත් සිහිනය බිඳ යද්දී..

"පුතේ අපි ළමයි වැදුවෙ නෑ..ඒත් හැදුවා පුතාව.. වෙන අම්මලා පුතාලා පහු කාලෙක දෙගොල්ලො ගැනම පසුතැවිලි වෙන කාලෙක බලන්න අපේ දිහා..අපි මේ ඉන්නෙ සතුටින්ම..ඕක එච්චර දුර හිතන්න ඕනි නෑ..හිත හදා ගෙන කාලෙක අපි පුතු පැටියෙක්ව අරන් හදා ගමු"

මගේ දෙමව්පියන්ගේ සහ රේඛාගේ අදහස මෙය වූවත් මාගේ නියම ජාතක පියා හා වැදූ මව මෙන් කිසිදා පුතකු තම නියම දෙමාපිය තුරුළින් ඉවත් නොවිය යුතුයි යන මතයේ දැඩිව සිටි මා නිසා ඔවුන්ද පුතකු අරන් හදා ගැනීම පිළිබඳ අදහස අත් හැරියෝය. කාලයත් සමඟම සඳලී අපගේ මහාර්ඝ වස්තුව බවට පත් වූවා සේම අප දෙදෙනාගේම දිවියේ විශාලම පංගුව ඈ අත් කර ගත්තාය.

මේ හේතුව නිසාමදෝ සඳලීගේ කුඩා අසනීපයකදී පවා අප දෙදෙනාම ඉතා සැලකිලිමත් වීමු. ඇයද මා මෙන්ම මහත් ලෙස සයුරට ඇලුම් කළාය. රන්වන් පැහැ වෙරළේ කුඩා රැළි නැගෙන වාර වල ඈ සිනා නගමින් සිටින්නේ..මා මෙන්ම ඈද දෙපා කිතිකවමින් යටි පතුල් යටින් සිහින්ව ඇදී යන දිය රැළ සහ වැලි කැට වල සියුම් පහස විඳ ගනිමිනි. කුඩා කල සිටම මා දවසක් වූවද මෙලෙස වෙරළේ සිට ගෙන සිටීම ප්‍රිය කළේය. ගන හිරුරැස් වල දැඩි බව මැකීමට නිරන්තර ව නගන සුළං රැල් සහ එම සුළං රැල් සමඟ තොලේ දැවටෙන සිහින් ලුණු රසය කිසිදා එපා නොවන කුඩා සංසිද්ධීන් සමූහයකි. එසේම දෙසවන හරහා මනස තුළට  කා වදින සයුරේ නොනවතින සංගීතය කිසිදා එපා නොවන මහා රස ගුලාවක් වීය.




"ඔයාගෙම පොඩ්ඩීනෙ ඉතින් කොහොමද බීච් එකෙන් එහෙ මෙහෙ කරන්නෙ ? බීච් එකෙන් ගෙදර එක්කන් එන්න හදන කොටත් අඬනවා.."

රේඛා නිතරම මවාගත් නොරිස්සුමක් මා වෙත පල කළාය. 
අපගේ නගරයේ නිවසේ සිටි මෙහෙකාරිය නිවාඩු ගිය සතියක මා හට හදිසි කැඳවීමක් ලද්දේ මාගේ සහායක උපදේශකවරයාගේ හදිසි අසනීප තත්වය නිසාමය. පුහුණු වාරයන් සියල්ලම යොදා තිබුණේ නගරයෙන් පිට ස්ථාන වල නිසා මා රේඛාට යෝජනා කළේ ඈ සඳලී සමඟ මා දෙමාපියන් වෙත යායුතු බවයි. මන්ද යත් රේඛාගේ මහ ගෙදර සිටීමට වඩා ඈ ප්‍රිය කළේ මෙම සයුරු පරිසරයට වීමයි.

"රේඛා ඩාලිං මන් ට්‍රේනිං එක ඉවර කරපු ගමන්ම එන්නම් එහෙ..අපි වීක් එන්ඩ් එකත් එහෙ ඉඳලම ආයි එමු.  ඊට පස්සෙ වීක් එන්ඩ් එකේ අපි ඔයාලගෙ අම්මලගෙ ගෙදර යන්. එතකොට හරිනෙ"

අහේතුක මද නොරිස්සුමක් මධ්‍යයේ වූවද ඇය මගේ අදහසට එකඟ වූයේ..අපගේ දෛවයේ කුරිරු සරදමට එරෙහි වන්නට ඈට සිත් පහළ නොවුයේ මන්ද යන මගේ පිළිතුරු නොමැති ප්‍රශ්නය අදටත් ඉතුරු කරමිනි.
පුහුණුවාර කීපයක් අවසන මා හට හදිසි ඇමතුමක් ලද්දේ..මා වහාම මගේ දෙමාපිය නිවස වෙත යායුතු බවට ආ පණිවිඩයත් සමඟය. සඳලී අසනීපව ඇත. පියා කිසිවිටක දුරකථනය රේඛාට නොදුන්නේ මාගේ සිත මදක් කෝපයෙන් මුළුගන්වමිනි.

"මයෙ පුතා එන්නකෝ ගෙදර හනික..ඇවිත් අපි කතා කරමු"

"තාත්තා මන් එනකම් ඉන්නෙ නැතුව සඳලීව එක්කන් යන්න චැනල් සර්විස් එකට රේඛත් එක්කම. මන් කෙළින්ම එතනට එන්නම්.. මන් ගෙදර එනවට වඩා එතනට එන එක ලේසිනෙ.. ෆෝන් එක දෙන්න  රේඛා ට"

"පුතා ගෙදර එන්නකො"

මා කෝපයෙන් මුත් කිසිත් නොකියා දුරකථනය විසන්ධි කළෙමි. 
මා කෝපයෙන් යුතුවම වාහනය ගෙදර මිදුලේ නැවතූයේ..නිවස අවට සිටි පිරිස දැක තරමක් මවිත වූයේ..

"කෝ රේඛා..අම්මේ..?"

මව හඬමින් උන්නාය. 

"මොකද මේ කෝ රේඛා ? කෝ සඳලී ?" 

මා කෝපයෙන් හා වික්ෂිප්තයෙන් ගැහෙයි.

"මයෙ පුතා ඒ දෙන්නවම අද උදේ බීච් එකේ සෙල්ලම් කර කර ඉද්දී දියඹට ගහ ගෙන ගිහිල්ලා තවම හොයනවා "

ඒ පියාගේ කටහඬද ? 

කිසිවකු මා නවත්වන්නට හදනවාත් ඔහු පසකට විසිවනවාත් සමඟම මා ඊළඟ මොහොතේ සිටියේ දිය රැළි අතර පිහිනමිනි. .. මා වටා කරකැවෙන බෝට්ටු රැළ වදෙන් පොරෙන් මෙන් මා එක් බෝට්ටුවක නංවා ගත්තේය.එහි වූ අයකුගේ කිමිදුම් කට්ටලය ඇඳ ගත් මා සිහිය විකල් වූවකු මෙන් එහි වූ ඔක්සිජන් ටැංකිය අවසන් වන තුරුම මුහුද පතුල පීරා බැලුවේ රේඛා හෝ සඳලීගේ ජායාවක් වත් නොදිටිමි..මෙය කෙලෙස විණිද යන්න ගැන කිසිවකු විටින් විට කියවයි. ඒ මගේ මවද,පියාද මට මතක නැත. 

රේඛා මාව දමලා ගිහින්..

රේඛා ඇයි මාව මෙහෙම දමලා ගියේ.. මට පිස්සු හැදෙයි..

ඇයි රේඛා සඳලිවත් එක්කරගෙන ගිහින්..

ඇයි සඳලීව එක්ක ගෙන ගියේ ?

කෝ රේඛා...

කෝ සඳලී ?

දිවිය පුරාවටම සයුරු දිය රළට මා පරාද කල නොහැකි විය.. හුස්ම ගැනීමට නොහැකි වනතුරුම දිය රැළි අතර සෙවුවද ඔවුන් ???

මෙය සිහිනයක්ම විය යුතුයි. බියකරු සිහින මා දැක නොමැත. නමුත් මෙය මා දිවියේ දකින මුල්ම බියකරු සිහිනයයි. මා මෙම නින්දෙන් අවදි වන්නේ කුමන වෙලාවෙද යන්න සිතමින් මා බලා සිටියෙමි. නමුත් බියකරු ගොර බිරම් සිහිනය මට තවමත් පෙනෙයි. වියරුවෙන් මෙන් බදා ගත් රේඛාගේත් , සඳලීගේත් සිරුරු දෙක ගොඩ ගසා ඇත..චාම් මල ගෙයක් මා දෑස අබියස මැවෙයි.යහළුවන්, සේවාස්ථානයේ සිටින්නන් හා නොහඳුනන මහා පිරිසක් එයි.. යයි..ඔවුන් මා සනසන්නටදෝ මොනවාද කියයි...සිහිනය තවම මා අවදි කරන්නේ නැත..කවුරුන් හෝ මා තදින් සොලවා අවදි කල යුතුයි.. ඒ කවුද රේඛා ම විය යුතුයි.

මා සෙමෙන් දෑස හැර බැලුවෙමි..අත පය බැඳ දමා ඇති සේය. මා තවමත් දකින්නේ සිහිනයද නැත්නම් මා සැබවින්ම ඇහැරී ඇත්ද? මුළු ශරීරයම වේදනාවෙන් ඇදුම් දෙයි. සිහියත් අසිහියත් අතර කිසිවකු, කුමක්දෝ නොදන්නා හේතුවකට  මා හට වේවැලකින් දැඩිව පහර දුන් බවක් හැඟේ. ඒ මා මේ සිහිනයෙන් මුදවා ගැනීමට විය යුතුයි. වේදනාවෙන් තැවෙන තැන් අත ගා ගැනීමට දෙ අත ඔසවා ගත නොහැක. හිස මදක් හරවා බැලීමි. මා අසලම අත පොව්වන මානයේ සඳලී නිදා ගෙන සිටිනු පෙනේ. ඇගේ ලා රෝස පැහැ කම්මුල් රන්වන් පැහැ කෙහෙරැළි වලින් වැසී ඇත. මදකින් ඈ අවදි වනු ඇත. රේඛා ඇයගේ යෙහෙළියක් සමඟම මා නිදා සිටි ඇඳ අසලම කතා කරමින් සිටිනු පෙනේ. 

"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
-------------------------------------------------------------------------------
"ආ මිසී කමලා මේ ලියන්නා ඇහැරලා දැන්..බෙහෙත් ටික දෙමුද ? "

"පොඩ්ඩක් ඉන්න චාට් එක බලන්න ඊයෙ රෑ ඉන්ජෙක්ෂන් එක දුන්නෙ එකොළහ හමාරට නේද? දැන්ම එපා. තව පැයකින් දෙමු.පහු ගිය දවස් ටිකේම සද්ද බද්දයක් නැතුව හිටි මිනිහට ඊයෙ මොකද වුණේ රම්‍යා ?"

"ලොකු මිසී මන් කේලම් කියනවා හෙම නෙවෙයි. ලියන්නා කොහොමත් ඔය බෝනික්කා ළඟ තියෙන කම් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා. ඊයේ අර සිරිපාල මරුමුස් ඇටෙන්ඩන් කාරයා බෝනික්කව බලෙන්ම අරන් වහල උඩට වීසි කළා. හොඳ පාරක් වැදුණා සිරිපාල කාරයාට..ඊට පස්සෙ තමයි ඔය කලබල සේරම"

"ලොකු යුද්ධයක් කළාලු නේද කන්ට්‍රෝල් කර ගන්න?"

"ඔව් ඔව් ඔය අත් කකුල් වලට බෙල්ට් දැම්මෙත් බොහොම අමාරුවෙන් ඩියුටි හිටි සේරම අල්ලලා..පවු ලොකු මිසී  කන්ට්‍රෝල් කරන්න බැරි තැන අර මරුමුසා අන්තිමේ වේවැලෙනුත් ගැහැව්වා හොඳටම, මන් බලා ඉන්න බැරි තැන යන්න ගියා. ඩොක්ටර් ඇවිත් තමයි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ.. එතකොට නින්ද ගියා..මම සේනට කියලා වහලෙන් අරගෙන බෝනික්කව ඔන්න ළඟින් තිබ්බා. ඇයි මිසී ලියන්නට මොකද වෙලා තියෙන්නෙ ? කවුද රේඛා කියන්නෙ ? මට කතා කරන්නෙ රේඛා කියලයි. කවුද මිසී සඳලි කියන්නෙ?"

"වයිෆුයි, දුවයිනෙ. දෙන්නම මුහුදෙ ගිලිලා මළා.ඒ නිසයි ලියන්නට පිස්සු හැදුණෙ, දන්නවද රම්‍යා ලියන්නා කියන්නෙ නම්බර් වන් ස්විමින්ග් කෝච් කෙනෙක්.  එහෙම වෙලත්  එයාට එයාගෙ නෝනවයි, දුවවයි බේරා ගන්න බැරි උණා. ඔළුව අවුල් වෙන එක අහන්න දෙයක්යැ? ඔයාට රේඛා කියනව නම් පරිස්සම් වෙන්න රම්‍යා මතකනෙ ඉස්සෙල්ලා සුසිලාට වෙච්ච දේ අර සුනිල් කියන පිස්සා මුළු ඇඟම හපාකාලා තිබුණා."

"අනේ නෑ ලොකු මිසී මගේ අතින් අල්ලන් රේඛා රේඛා කියලා එක එක දේවල් කියවනවා..සඳලී ගැනයි සඳලීගේ අනාගතය ගැනයි.මේ බෝනික්කා සඳලී කියලා තමයි හිතන් ඉන්නෙ. ලියන්නව සනීප කරන්න බැරිලුද මිසී ?"
"බෑයි කියලයි කියන්නෙ.මොළේ කෙමිකල් ඉන්බැලන්ස් එක ස්ට්‍රෝන්ග්ලු. බැලන්ස් කරන්න ස්ට්‍රෝන්ග් මෙඩිසින් දුන්නොත් සයිඩ් ඉෆෙක්ට්ස් වැඩීලු.ඒත් දිග කාලයක් බෙහෙත් දුන්නොත් හරි යන්නත් පුළුවන්ලු. රම්‍යා එහෙනම් පැයකින් බෙහෙත් ටික දෙන්න. මන් කිව්වා කියලා කියන්න සිරිපාලට ඔය බෝනික්කව ලියන්නගෙන් උදුර ගන්න එපා කියලා..ඒ පිස්සට බෙහෙත් දෙන්න ඕනි ඉස්සෙල්ලම"
--------------------------------------------------------------------------
" රේඛා... රේඛා...අනේ සඳලිව මගේ උකුලෙන් තියන්න රේඛා.. රේඛා ඔයයි , සඳලිවයි නැතුව මට පිස්සු හැදෙයි රේඛා .."

-නිමි-

Friday, April 27, 2012

xx වගේද xxx ? එහෙම නැත්නම් VGA වගේද HDMI ?


"අපෝ ඒ ටීවී එකේ බුබුළු හරියට පේන්නෙ නෑ.."


"කතාවෙ භාගයක් බලන කොට බිබිලි වැඩි උණා ටීවී එකේ"


රූපවාහිනී ආපුම කාලෙ ගමේ තිබුණු ටීවී දෙක තුනක් වටේට එක් රැස් වෙච්ච අපි ඔහොමයි ටීවී එකේ රූප වල කොලිටිය ගැන ඒ කාලෙ කතා බහ කළේ..ටීවී එකේ බුබුළු සහ බිබිලි වලින් කීවෙ පින්තූර හරි හැටි නොපෙනුන එකම තමයි..






වත්තෙ තියෙන උසම පොල් ගහේ හරි කොස් ගහේ හරි ඉඳන් තව අඩි 20ක් 30ක් උඩට උණ බම්බුවක ගැට ගහපු ඇන්ටනාව දිගේ ආපු සිග්නල් හරිම දුර්වලයි..අපී ඒ කාලෙ ටීවී බැලුවා කීවට වැඩියෙන්ම බැලුවෙ ටීවී එකේ යන්තම් ඇඳෙන රූප ජායා මාත්‍රයක් විතරයි..ඒ ටීවීත් කළු සුදු අඟල් 12 සහ 14 විතරයි ඒ කාලෙ තිබ්බෙ..ඒ උණාට දැන් අඟල් 60 සහ 70 හොඳම හොඳ ටීවී ගම පුරාම..ටීවී චැනලුත් අහු වෙනවා ඕසෙට..ඒවයෙ කොලිටිත් එමමයි..සමහර ඇන්ටනා ගෘහස්ථ ඒවා..එළියෙ තියෙන ඇන්ටනා උණත් අඩි 10ක් නැත්නම් 15ක් උස නෑ..අපි ඒ කාලෙ ටීවී බලපු හැටි ගැන කීවහම අද කාලෙ ඉන්න ළමයි ඒවා පිලි ගන්නෙත් නෑ..ඒ ගොල්ලො කළු සුදු ටීවී දැකලම නෑ..ටීවී එකේ වර්ණ බින්දුවට ට දමලා කළු සුදු කරලා පෙන්නුවහම කියනවා එහෙම බලනවට වඩා හොඳයි නිකන් ඉන්නවා කියලා..


ඉතින් ඒකාලෙ උණත් ගමේ තිබ්බ ටීවී 2-3න්ම හොඳටම පෙනෙන ටීවී එක බලන්න තමයි මන් පුරුදු වෙලා හිටියෙ..


"මෙහෙම කතා ලියලා ආයි අහ ගනින් කට්ටියගෙන් මේන් නයා.. මේන් දිග කියලා එහෙම..මට එහෙම කනු කුනු ගානවා නෙවෙයි"


මගේ බ්ලොග් ලියන ඒවා පල කරන්නත් ඉස්සෙල්ල කියවලා ඒවාට විවේචන දෙන මගේ යාළුවා කීවා..
ඕනි පුකක් ශත දහයයි කියලා දමනවා.
පුක කියන්නෙ කුණුහරුපයක් නෙවෙයිනෙ..


ඉතින් මට තියෙන එක ලෙඩක් තමයි ටීවී හරි කම්පුටර් එකේ හරි මොනවා හරි බලනවනම් තියෙන්න ඕනි එළ කිරි පහට..නැත්නම් බලන්න හිතෙන්නෙ නෑ..වීසීඩී (VCD) බල බලා ඉඳලා ඩීවීඩී (DVD) බලන්න ගත්තා.. දැන් බ්ලූරේ (BlueRay) බලන්න පටන් ගත්තා..ඒත් දෙයියනේ බ්ලූරේ බලල හිඟමනට පත් වෙන්න බැරි නිසාත්..ගත්ත එකම බ්ලූරේ ෆිල්ම් එක පෙනෙන්නෙ නැති නිසාත්..දැනට මන් ඒක නැවැත්තුවා..ඒ වෙනුවට මගේ යාළුවෙක් බාගත කරපු බ්ලූරේ කොලිටි ෆිල්ම් ටික බලනවා..ඔය ටික බලන් යන අතරෙ මට පෙනෙනවා..සමහර අයගේ තියෙන මොනිටර් එකේ පේනවාට වඩා මගේ මොනිටරේ පේන්නෙ කොලිටි අඩුවෙන් කියලා. හොයලා හොයලා හොයලා..වීජීඒ කාර්ඩ් (VGA CARD ) එකත් දැම්මා ඒ මදර් බෝඩ් එකට දමන්න පුළුවන් හොඳම එකක්..ඒත් අවුල එමමයි..ටිකක් කොලිටි වැඩි උණාට..එතනින් එහා යන්නෙම නෑ..ආයිමත් හොයා හොයා ගෙන යනකොට අහු උණේ ආ වීජීඒ කේබල් (VGA Cable) එක තමයි අනිත් බාධකය කියලා.. දැන් ඉතින් ගනුකො ඩීවීඅයි කේබල් (DVI Cable ) එකක්..


මමත් සුපුරුදු පරිදි මන් කම්පියුටර් පාට්ස් ගන්න යුනිටි ප්ලාසා එකේ ප්‍රිටෙක් සිස්ටම්  (Pretec Systems) එකට ගියා..


මේ සේරම කට්ටෙ කන්නෙ දැනටමත් හොඳට පේන කම්පියුටරේ ෆිල්ම් බැලිල්ලයි.ඒකට ගහලා තියෙන යූඑස්බී ටීවී ගැජට් එකෙන් බලන ටීවී බැලිල්ලයි නිසා කියලා මතක් වෙනකොට මගෙ හිත ආයිමත් ගියේ අතීතය වෙතට..අපි ටීවී බලන කොලු ණඩයෙ හිටිය සුදුම කොල්ලා තමයි සුනිල්..


අපි ටීවී බලපු ගෙවල් තුනෙන්ම හොඳටම ටීවී පෙනුණෙ ගුණපාල මාමලගෙ ගෙදර ටීවී එක තමයි..ගුණපාල මාමයි නැන්දයි විතරයි ගෙදර හිටියෙ එයාගෙ පුතාලා දුවලා සේරම ගමෙන් පිට වෙල ගිහින්..ඒ නිසාම ඒ දෙන්න අපි කොලු රැළට හරිම ආදරෙයි..ටීවී බලන්න ගියහම තේ එකක් මන්වහරි හපන්න දෙයක් වරදින්නෙම නෑ..ඒත් ඒ සැලකිලි ටික සේරම එකපාරටම නැතිවෙලා ගිහින් අපි කොලු රැලටම ඒ ගෙවල් පැත්ත පළාතෙ යන්න තහනම දැම්මෙ ගුණපාල මාමගෙ නැන්දමයි..
අපි කාටවත් නැති සැලකිල්ලක් ගුණපාල මාමා දැක්වුවෙ සුනිල්ට..සමහර දවස් වල අපි මහ රෑ ජාමෙ ටීවී බලන්න එහෙට යනවනම් අපි කොහොම හරි සුනිල්ව එක්කන් යන්න පුරුදු උණේ අපි විතරක් හිටිය දවස්වල මාමා ටීවී එක කැඩිලා.. ඇන්ටනාව එහෙ මෙහෙ වෙලා වගේ මොනවහරි බොරුවක් කියලා අපිට දොර නාරින වෙලාවල් තිබුණා..සුනිල් කොහොමත් අපිටත් වඩා ටීවී පිස්සා නිසා අපි හැමදාම ටීවී බැලුව බව නම් මතකයි.. ඒත් එක දවසක්..මාමයි නැන්දයි අපි ටීවී බලද්දිම රණ්ඩු උණා.. අපිත් එක්ක ආපු සුනිල් එතකොට ටීවී බලන්න අපි එක්ක හිටියෙ නෑ කියලත් දැක්කා..


"උඹලා එකෙක්වත් ටීවී බලන්න මේ පැත්ත පළාතෙ එන්න එපා"


කියලා නැන්දා කෑගහපු හැටි අපට තාම මතකයි..ඊට පස්සෙන් පහු අපිවත් සුනිල්වත් එහෙ ටීවී බලන්න ගියේ නෑ.. පුංචි උන් උණ ඒ කාලෙ අපිට ඔය සිද්ධිය මොකද්ද කියලා නොතෙරුණා විතරක් නෙවෙයි..ඒ ගැන වැඩිපුර හොයන්න ගියේත් නෑ.. අදටත් සිද්ධිය ඔළුවෙ රැඳිලා තිබ්බට අපි සුනිල්ගෙන් ඕක අහන්නෙත් නෑ..


"මට කේබල් එකක් දෙන්න"


මන් ගිය ගමන්ම එතන හිටි මල්ලි කෙනෙකුට කිව්වා.. ඒක අහන් හිටි වැඩි වයසක් නැති තව මල්ලි කෙනෙක් ඇහුවා


"සර් මොකද්ද මොනිට එක ? මොකද්ද වීජීඒ කාර්ඩ් එක ?"


මන් ඒ දෙකේම මොඩල් නම්බර්ස් කිව්වා..ඒත්


"පොඩ්ඩක් ඉන්න පින් ගාන මතකද සර්ට ?"


ම්හ් මට මතක නෑ සහ මන් එච්චරම දැනන් හිටියෙ නෑ පින් ගාන වෙනස් වෙන බවක්..මන් හිතා හිටියෙ ඔය සාමාන්‍ය වීජීඒ කාර්ඩ් වගේ හැම එකම එක වගේ ඇති කියලා..


"සර් බලන් එන්න ටයිප් එක.. පුළුවන් නම් ෆොටෝ එකක් ගහන් එන්න.. අපි ගාවා තියෙනවා කේබල් එතකොට දෙන්නම්"


මන් ඉතින් ආයිමත් ඔය මොනිටරයේ සහ වීජීඒ කාර්ඩ් එකේ තියෙන ෆොටෝ දෙකක් අරන් ගියා.. එතකොට තමයි ඔන්න කේබල් එකක් ගන්න පුළුවන් උණේ..



හොඳම සිද්ධිය උනේ එතනට ගියහම හිටිය ඇසිස්ටන්ට මන් පෙන්නුවා මන් ඒ වෙනකොටත්  ඇඳ ගෙන ගිය කොලේ ඇඳලා තිබ්බ මගේ පීසී එකෙයි මොන්ටරෙයි කනෙකටර් වල පින් ගනන.. ඒක දිහා බලලා මිනිහා ගත්තා කනෙක්ටර්ස් දමලා තියෙන පෙට්ටියක්.. දමා ගෙන තෝරනවා කනෙක්ටර්ස් වගයක්..


"මට ඕනි කේබල් එකක්"


මන් කටහඬ අවදි කලා.. 


මිනිහා නැගිට්ටා අර පෙට්ටිය පැත්තකින් තිබ්බා..


"මේ ජාතිය නෑ.."



කියපි..කෙලියා නේද තාප්පෙටම.. ඒ එක්කම අර එදා කතා කරපු මල්ලි මොනවද මන්දා පෙට්ටියක් අරන් ඇවිත් මට එක්ස්කියුස් කරලා ඒක පැත්තකින් තිබ්බා..මන් අරයට කීවා මගේ අවශ්‍යතාවය..
මිනිහා ගත් කටටම කියපි


"දෙන්න අර එච්ඩීඑම් අයි  (HDMI) කේබල් එක "


කියලා ඊට පස්සෙ මිනිහා කියනවා 



"සර් අපිට ඩීවීඅයි අයි DVI -I කේබල් එක එන්නෙ නෑ..තියෙන්නෙ ඩීවීඅයි ඩී DVI -D කේබල් එකම තමයි..ඒක 100% සුවර් වැඩ කරනවා..අපි දින 2කක රිටර්න් වරන්ටියක් එක්කම දෙන්නම්"


කියලා..
මට සුවර් ඒ කතාව හරි කියලා..
මමත් අරන් ආවා ඉතින් ඕනි එකක් කියලා.
හැබැයි මගේ වෙලාවට ඒ පොඩි එකා එක්ස්පර්ට් පොඩි එකා ශොප් එකට නො එන්න මන් තාම හොයනවා කේබල් එකක්..



ඉතින් පොඩ්ඩක් මන් වගේ ඔය කේබල් හොයන්න යන කෙනෙකුට කියන්නෙ ඉස්සෙල්ලාම තමන්ගෙ කනෙක්ටර්ස් වල ෆොටෝ එකක් ගහලා තියා ගන්න..එහෙම නැත්නම් ඒ කනෙක්ටර්ස් අඳුරා ගන්ඩ හොයන්ඩ යන්න ඉස්සෙල්ලා.. 



මේ තියෙන්නෙ ඒ කනෙක්ටර් අඳුනා ගන්න පොඩි ගයිඩ් එකක් ඉස්සුවා විකිපීඩියා එකෙන්..




මන් තාම මේ කේබල් එක මගේ පීසී එකට ගහලා බැලුවෙ නෑ..ඒත් තව ටිකකින් ගහනවා..ඊට පස්සෙ කියන්නම්කො කොහොමද කියලා තත්වය..








ශාහ්... වැඩේ ගොඩ..කොලිටි උපරිමයි..අන්තර්ජාලයේ කියලා තිබ්බ විදියටම හොඳ කොලිටියක් තියෙනවා..නිල් පාට වීජීඒ කේබල් එක වීසි කරලා දැම්මා.. මේක නියමයිනෙ..
යාන්තම් ඒ වැඩෙත් ඉවරයි..
අන්තිමේ ගන්න තියෙන හරය තමයි..
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..
අනිත් එක තමයි මගෙ පීසී එකටයි මොනිටරයටයි හරියටම ඕනි වෙලා තිබ්බෙ මොනිටරයට DVI -D කේබල් කනෙක්ටරයක් සහ වීජීඒ කාර්ඩ් එකට  DVI -DA කනෙක්ටරයක් තමයි..ඒත් මන් පාවිච්චි කරලා තියෙන්නෙ දෙපැත්ත DVI-D කනෙක්ටරයක්...ඒක වැඩ කරනවා..


දැන් ඉතින් බ්ලූරේ ෆිල්ම් ටිකක් හොයා ගෙන පටන් ගන්න ඕනි වැඩේ..








Monday, April 23, 2012

සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...


සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...






සිහිනයක් නොවූ මුත් සොඳුරුම සොඳුරු සිහිනයක මතකයක් හිත මුල රන්දලා තියලා අවසන් වුනත් අවසන් නොවුනු ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුනු හෝරා නවයක් දහයක්...


හඳුනා ගන්න...එකම එක වචනයක් හරි කතා කරලා හිත සතුටු කර ගන්න තිබ්බ ඒ හෝරා කීපය නම් ඊළඟ අවුරුද්ද වෙන කම්ම අමතක වෙන්නෙ නෑ..


ගත වෙන හැම තත්පරේම සිදු වන සොඳුරු නිමේශය කැමරා කාචයේ රඳවාගන්න උත්සාහ දරපු මට හොඳටම විශ්වාසයි ගොඩාක් අය එක්ක දොඩමලු වෙන්න බැරි වුනු බව..


ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා..


හිනා වෙන්න නම් ඇති...ඒත්..අර මුලින් කීව සතුට මැද්දෑවෙ ගුලි ගැහෙන්නෙ පොඩිම පොඩි දුකක්..
මන් කැමරාව නොගෙනිච්චනම් හරි කියලා නොහිතෙනවමත් නෙවෙයි..ඒත්..


කැමරා කාචය හරහා මතක පතේ රැඳිලා තියෙන ජායාරූප 564 න් එකක කොහේ හරි ඔබ රැඳිලා ඉන්නවා...


සමාවෙයල්ලා.....
මට එකම එක වචනයක් හරි කතා කරන්න බැරි වෙච්ච සහෘදයිනේ..මට දුකයී ඒ ගැන දැන්..

Thursday, April 12, 2012

ජීවිතය මේ වගෙයි...


ජීවිතය ගැන මට හිතුනු දේ මන් ඊයෙ ලිව්වා..එහෙම ලිව්වෙ ඊයෙ මගේ උපන්දිනේ නිසා බව මූනු පොතේ අය දැනන් හිටියා.. සියළුම සුබ පැතුම් වලට ස්තූතියි...හැමෝටම..


දැන් හිමිදිරි පාන්දර තුනයි වෙලාව..
මගේ ෆෝන් එක හඬ තලන සද්දෙට උඩ ගිහින් බිම වැටිච්ච මන් බැලුවා..කවුද කියලා.
කෝල් එක අපේ ගෙදරින්..
අපේ ලොකු අක්කගෙන්..
අවුරුදු ගානක් එක් තැන් වෙලා හිටි අම්මා රැක බලා ගෙන හිටි ලොකු අක්කගෙන්.. පහු ගිය සතියෙත් අම්මා අසනීප වෙලා රෝහල් ගත කරලා ඉඳලා ගෙදරට එක්කන් ගියේ..මන් හිතුවෙ අම්මට ආයිමත් අසනීප වෙලා වෙන්න ඇති..කියලයි..


ඒත් අම්මා අපිව සේරම දමලා යන්න ගිහිල්ලා..


මගෙ පහු ගිය නිර්මාන වල හිටිය ඈ ගැන අතීතයෙන් මතකයන් විතරයි මට ආයි ලියන කොට ලියන්න පුළුවන් වෙන්නෙ..


...



වෙනී / ලියන්නා..


ප.ලි. 2012.04.15 -



සතුටින් ඉන්න කොට දුවගෙන ඇවිත් නැත්නම් කෝල් එකකින් හරි පනිවිඩේකින් හරි  ඒ සතුට දෙගුණ තෙගුණ කරන...


දුකක් සිද්ධ උනහම දුවගෙන ඇවිත් හරි කෝල් එකකින් හරි මෙසේජ් එකකින් හරි..ඒ දුකට කර ගහලා ඒ දුක අඩු කරන..


මිතුරු මිතුරියො..සහෘදයො...


පිළිගන්න ඔබලාටයි මේ මගේ හෘදයාංගම ස්තූතිය!
උහුලගන්න උනු මහමෙරේ බර පුළුන් රොදක් කලේ ඔබලායි..

Tuesday, April 10, 2012

ජීවිතය...



ජීවිතය කියන්නෙ,
දුක
සැප
නින්දා
ප්‍රසංශා
යස
අයස
ලාභ
අලාභ

කියන  අට ලෝ දහම එක්ක ගැටෙමින් පවතින පංචස්කන්ධයන් මම, මගේ කියලා ගොඩ නගා ගත්ත සිතුවිලි ගොන්නක් අරන් තත්පරෙන් තත්පරේ කාලය ගත කරන එක තමයි කියලයි මට හිතෙන්නෙ..මට දැනෙන්නෙ..මේ අට ලෝ දහමේ විචලනයන් හමුවේ සැලෙන සිත අස්වසන්න උපකාරී වෙන්නෙත් මේ සිතුවිලි ගොන්නමයි..එකිනෙක බැඳී පවතින මේ අට ලෝ දහම..අනිත් සත්වයන්ට වගේම මටත් බලපානවා..සතුටින් ඉන්නවා වගේම දුකිනුත් ඉන්නවා.. ඒ වගේම තේරෙනවා දැනෙනවා..මේ සියල්ලම ඉතා වේගයෙන් වෙනස් වෙනවා..


ඇසි පිය හෙලන අතරවාරයේ, සිය දහස් වාරයක් වෙනස් වන මේ පංචස්කන්ධය..ඇතිවෙලා..පැවතිලා..නැතිවෙලා...යන අතරතුරේ..මන් හිතන කොට මේවා ස්ථීරයි කියලා..ඔන්න දුක හිතෙනව..දුක හිතෙන කොට හිතන්න ගන්නවා... ඇයි දුක හිතුනෙ කියලා..බැලින්නම් ඉස්සෙල්ලා තිබ්බ එක වෙනස් වෙලා..ඒකයි..වෙනස් වීම තමයි ස්වභාවය කියලා හිතපුවහම ආයිමත් හිත තැන්පත් වෙනවා...


අනේ මන්දා අද වගේ දවසක...හැම දාම මන් හිතන්න පුරුදු වෙලා හිටියෙ මෙන්න මෙහෙමයි..


කොහොමත් මේ ඌෂ්ණ කාලෙ ඔය වගේ විකාර ඔළුවට එනවා තමයි කියලා මගේ යාළුවො කීප දෙනෙක්ම කිව්වා..


ඒත් දවසක මේ ඇතිවෙන එක නැති උනා නම්..පැවතීම නැතිවෙනවා.. නැතිවීම නැති වෙනවා..


එය විය හැකියි අපට ලබන්න පුළුවන් සුවදායකම සුවය..විමුක්තිය..සාමය..සතුට..


ඒත් මේ ඉපදීම කවදා නැති වෙයිද ?




යමක් මගෙන් ගිලිහිලා යද්දි, නැතිවෙයි කියලා හිතෙන කොට..දුකක් ඇති වෙනවා..බයක් දැනෙනවා...යමක් ලැබෙද්දි , ලැබෙයි කියලා හිතන කොට සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් දැනෙනවා...ඒත් මේ දක්වා ගොඩ ගැසුනු අත්දැකීම් රාශිය නිසාම හිත කියනවා දුක වගේම සතුට..තාවකාලිකයි..ආයිමත් ඒකත් ලෝක ස්වභාවයටම නතු වෙනවා කියලා..එතකොට දැනෙන්නේ උපේක්ශා සහගත හැඟීමක්..
මේකද මන් ජීවිතෙන් මෙච්චර කල් බලාපොරොත්තු උනේ ?
ඔව්..ඔව්..ඔව්..
කියලා හිත කෑ ගහනවා..


අද වගේ දවසකත් මට ඕනි එච්චරයි...


Saturday, April 7, 2012

පුනීලයට ශත පහ දැමීම..


ඩිස්ක්ලේමර් එක - මෙහි ඇති කතා කිසිම අයුරකින් ආදර්ශමත් ඒවා නොව..එක අතීත ආවරජනයක් ලෙස මනසට හමු වූ එක් කාලයක කරන ලද දැන් තරමක අප්‍රසාදයක් දනවන ඒවා වේ..


දැන් නම් බෝ පැල වගේ ඉන්ඩ උත්සාහ කළාට අපි හැමෝටම ළමා කාලයක් තිබුණා..
දැන් වැටහෙන විදියට බොහොම නරක සහ හොඳ ආදර්ශයන් සපයන්නෙ නැති විදියේ වැඩ කරපු..
ඒවයින් අපි ඒ කාලෙදි බලාපොරොත්තු උණේ මොනවද කියල නම් අදටත් හරියටම හිතට 
ආවර්ජනය කර ගන්න බෑ..සමහර විට අහිංසක විනෝදයක් වෙන්න ඇති..


ඒත් අවසානය සිද්ධ උණ දේ කල්පනා කරන කොට බලාපොරොත්තු වෙච්ච අහිංසක විනෝදය 
වෙනුවට ජීවිත කාලයම විඳවන විදියේ පසුතැවිල්ලක් විතරයිද මන්දා ඉතුරු උණේ මෙහෙම සිද්ධ වෙච්ච එක දෙයක් තමයි මන් ඉස්සෙල්ලා ලිපියෙන් කීව අපේ කොලු රැලව පෙන්නන්න බැරිව හිටි බලු රැලේ නායකයට අපි කළේ..මගේ ආදරණීය කමෙන්ට් කරුවන් සහ කාරියන් සැමගේ අප්‍රසාදයට ලක් උණා ඒ සිද්ධිය නම්..ඒ අප්‍රසාදය ලබන්න මන් සුදුසුයි..මම ඔය වැඩේට කෙළින්ම සම්බන්ධ උණේ නැතත්..මන් එතන කළයුතුව තිබූ යමක් නොකළ නිසා..මම සහ අනිත් අය ඒ වැඩේට සම සහකරුවො තමයි..අතීතය සහමුලින්ම අමතක කරලා එය තෙරුම් අරන් රහත් උණා නම් අංගුලිමාල..මට බැරි වෙන එකක් නෑ අඩුම තරමේ සසර කෙටි කර ගන්න මගේ එක පියවරක් හරි ඉස්සරහ තියන්න මේ පොඩි කාලෙ කරපු පව් වැඩ තේරුම් අරන් අමතක කරලා දමලා..




අපි ගම් තුලානෙ මල ගෙයක් හරි මඟුල් ගෙයක් හරි තියේ නම් ඉතින් ඕකෙ නිදි මරා ගෙන් වැඩ කරන එක තමයි තියෙන ෆන් ම වැඩේ..ඒක අදටත් ඉතින් එමමයි..ඒත් දැන් නම් නිදි වරන තියෙන කම්මැලි කම නිසාත් වැඩ අධික කම නිසාත් මේක මගහැරෙනවා වැඩී..හැබැයි චාන්ස් එකක් ආවොත් අත හරින්නෙත් නෑ..


නිදි වරන්න කියන නා නා ප්‍රකාර කතන්දර එක්කම තියෙන එක එක චැලෙන්ජ් හරිම විනෝදජනකයි..
මල ගෙයක් අවසානෙ බනෙන් පස්සෙ පහුවදා තියෙන දානෙ ගෙදරට අපි සපෝට් එක දෙන්නෙ උයන්න පිහන්න ඉන්න අයට පොඩි පොඩි සපෝට් එක දීමෙන් තමයි..රතුලුනු ශුද්ධ කිරීම, අල පොතු හැරීම, එළවළු කපා දීම වගේම බොහොම වෙහෙසකාරී වෙන පොල් ගෑම් ඒවා අතරින් ප්‍රධානයි..ඔය අතරට ගමේම ඉන්න කෙළි පැටික්කියොත් එන නිසාම අපි ඒවට සහයෝගය දුන්නෙ කිසිම මසුරුකමක්, කම්මැලි කමක් නැතුවමයි.. ඒ කාලෙ පොල් ගාන දැන් වගේ ඔය විදුලියෙන් ක්‍රියාන්ත්මක වෙන මැෂින් තිබ්බෙ නෑ..ඔන්න මන් පහළ ඈඳලා තියෙන කටු සටහනේ වගේ පොඩි ඉඳ ගෙන ඉන්න
බංකුවකට හයි කරපු හිරමන් තලයක් තමයි තිබ්බෙ..පොල් ගාන එක ඉතින් කොහොමත් කාන්තා පාර්ශ්වය අතින්ම තමයි කෙරුණෙ

















ඒ උණාට ඒකම මහා පරිමාණයෙන් කෙරෙන කොට අපිට තමයි භාර වෙන්නෙ..


"අනේ මල්ලියෙ මෙන්න මේ පොල් ටික ගාල දියන්කො..උඹල ඉස්කෝලෙ ගියත් පංති වල පේල් වෙවී වෙවී කරන්නෙ පොල් ගාන එකනෙ"


කියලා ඒ ගොල්ලන් ඒකත් අපිටම භාර දීලා යනවා..තේ හදන්න වගේ භාර ධූර රාජකාරී වලට.අපි සෙට් එක ඉතින් පොල් ගාන රාජකාරිය කරන අතරතුරේ එක එක චැලෙන්ජ්..ඉක්මනටම පොල් ගෙඩිය ගාලා ඉවර කරන ඒවා..
ඒ අතරෙ ජොළිම ගේම් එක ඉල්ලීම තමයි..


"මචන් මොකද කියන්නෙ උඹ පුච්චපු කොස් ඇට හතක් කාලා ඉවර කරන්න ඉස්සෙල්ලා මන් පොල් ගෙඩි හතක් ගාල ඉවර කරනවා ඔට්ටුද ?"


මේක බැලූ බැල්මට ඕනි කෙනෙක්ට හිතෙන්න පොල් ගාන කෙනා එක පොල් බෑය ගාලා ඉවර වෙන කොට අනික් ඔට්ටුව භාර ගත්ත කෙනාට දිනන්නත් පුළුවන් කියලයි ඒත් පරදින්නෙ කොස් ඇට කන්න ඔට්ටුව භාර ගත්ත කෙනා කියලා කීවොත් ඔබ විශ්වාස කරනවද ?
කොහොමද ඒක එහෙම වෙන්නෙ ?
දැන් කොස් ඇට හත පුච්චලා දෙනවා කන්ඩ චැලෙන්ජ් එක භාර ගත්ත කෙනාට..අනිත් කෙනා පටන් ගන්නවා පොල් ගාන්න..කොස් ඇට කන කෙනා එකක් කනවා.. දෙකක් කනවා..තුන හතර වෙන කොට තමයි..හිර වෙන්නෙ.. මතකද මේවා පුච්චපු කොස් ඇට..කොස් ඇට වල තියෙන තනිකරම පිෂ්ඨයනෙ..පුච්චන කොට ඒකෙ තියෙන සියලුම ජලය නැත්තටම නැති වෙනවා..කොස් ඇට දෙක කනකොට කටේ තියෙන කෙළ ටික කොස් ඇට වල තියෙන වේලිච්ච පිටි වලට උරා ගෙන..කටේ කෙළ හිඳෙනවා..කොස් ඇට කටේ කෙළ උනන්න තරම් ප්‍රියජනක රසවත් ආහාරයක් නොවන නිසා, හතර වෙනි කොස් ඇටේ කාලා වතුර නොබී නම් ඊළඟ එක කන්න බෑ..මේකෙ එක කොන්දේසියක් තමයි වතුර දෙන්නෙ නෑ..ඉතින් පොල් ගෙඩි හත ගාන කෙනාට බොහොම ලේසියෙන් හෙමින් සීරුවෙ පොල් ගාලත් දිනන්න පුළුවන්.හැබැයි අපේ එක නසරානියෙක් කොස් ඇට හත කාලා දිනලා වීරයෙක් වෙලා උන්නා..පස්සෙ යි දැන ගත්තෙ මේකා කල් ඇතුවම ලුණු කැටයක් හක්කෙ හංගන් තමයි කොස් ඇට කන වැඩේ පටන් අරන් තියෙන්නෙ..


තවත් බොහොම ජනප්‍රිය ගේමක් තමයි..පුනීලයට ශත පහ දැමීම..දැන් බෙහෙතකට වත් හොයා ගන්න නැති උණාට ඒ කාලෙ ශත පහේ ඒවා ඕනි තරම් තිබුණා..මේකට අහුවෙච්ච එකෙක් ආයි අහු වෙන්නෙ නෑ..ඒ නිසා හැම වෙලාවෙම මේ ට්‍රික් එකට අහු නොවෙච්ච කෙනෙක්වම තමයි අල්ල ගන්න ඕනි..
මොකක් හරි ලොකු දෙයක් ඔට්ටුවට තියලා අහනවා


"උඹට පුළුවන්ද පුනීලයට ශත පහ දමන්න?" 


කියලා.. හා කීවොත්..උඩ බලා ගන්ඩ කියලා තියනවා ශත පහක් නලල උඩින්


පුනීලයක් අරන් ඒක ගහනවා ඇඳන් ඉන්න සරමෙ හරි කලිසමේ හරි බුරිය ළඟින්ම..දැන් කෙනා මූණ උඩ අතට හරවන් ශත පහ නළල උඩ බැලන්ස් කරන් ඉන්නවා හරි කියන සංඥාව දෙනකන්..ඒ අතරෙ තමයි එතකොටත් සෙට් කරගෙන ඉන්න වතුර ජෝග්ගුවක් තව කෙනෙක් අර පුනීල කටට හලන්නෙ..
හිතා ගන්නකො වතුර ජොග්ගුවක් ඇඳන් ඉන්න ඇඩ්දුම අතරින් වැටෙන කොට දැනෙන නීපය..හැබැයි ඔය විහිළුව අවස්ථා කීපයකම ඇස් රතු වෙලා තිබ්බා සමහරුන් අතින්..එක අවස්ථාවක ඇල් වතුර එක කියලා තමන් බිබී හිටපු උණු තේ එක පුනීලෙන් හළලා තිබ්බා..තව අවස්ථාවක වතුර වෙනුවට භූමිතෙල් හළලා තිබුණා..ඒ දෙකේදීම පීඩිතයා රෝහල් ගත වෙලා තමයි විහිළුව නැවතුණේ..
මේකටත් පොඩි පහේ චිත්‍රයක් ඇන්ඳා තමයි ඒත් පුනීලෙ ගහන් ඉන්න එකාගෙ චිත්‍රයෙ හැටි දැක්කහම මට හිතෙන්නෙ ..ඒක ටිකක් සභ්‍යත්වයෙන් එහා ගිය පෙනුමක් එන නිසා ඒ චිත්‍රය දැම්මෙ නෑ මෙතනට..


ඔය වගේ විහිළු වලින් ඇස් රතු වුණ අවස්ථාත් නැතුවම නෙවෙයි..



ඔය වගේ නිදි වරණ ගමන් එන නිදිමත මග හරවා ගන්න කරන වැඩ අතරෙ කරන බලු වැඩ ඇතුවාමත් නොවෙයි.. අහල පහළ වත්තක තියෙන ගහක් කොළක් පාළු කරන එක..අහල පහළ ගෙයක සිද්ධ වෙන මොනව හරි අසම්මත දෙයක් වැඩිදුර නිරීක්ෂණය කරන එක වගේ දේවල් එක්කම..
අපිට පාට් දමපු බළලෙක්ව අල්ලලා උගේ වලිගෙ අර සිලි සිලි බෑග් එක ගැට ගහලා අතඇරියහම ඌ කඟවේනා වගේ දුවන හැටි බලන් ඉන්න එක වගෙ දේවල් නොකෙරුණාම නෙවෙයි. ඕන්න ඔහොම මල ගෙදරක නිදිවරලා නිදි වරලා ඉන්න දවසක තමයි සේන අපේ කනට මේ ආරංචිය ගෙනාවෙ..


"අර දාස අයියත් රිංගනවලු නේද ලතා අක්කලයෙ ගෙදර රෑට රෑට ?"


නෑ ? අර මේ ළඟදි ගමට ආපු පුන්චි කුඩම්මගෙ පුතා ?"


"නෑ නෙවෙයි ඔව්..උඹල දන්නෙත් නැද්ද ? එහෙනම් ලිස්ට් එකට මිනිහගෙ නමත් දමාපන්"


ලතා අක්කාගෙ මහත්තයා ගමෙන් පිට වැඩ කළේ..මාසයකට සැරයක් විතර ගමට ආවෙ...
මුලු ගමේම අස්සක් මුල්ලක් නෑර පීරලා හොයන අපිට ලතා අක්කලයෙ ගෙදරට යන එන අය ගැන අමුතුවෙන් කියන්න ඕනි කරලා තිබුණෙ නෑ..ඒ නම් ලිස්ට් එකේ ඉන්න දහ පාළොස් දෙනාටම් ළඟදි ගමට ආපු දාස අයියවත් දමා ගත්තා..හැබැයි නම කන්ෆර්ම් කරන්න නම් ඒක අපේ දෑහින් දැක ගන්නම ඕනි..කවුරුවත් කීව පලියට එහෙම යමක් දෑසට නොදැක පිලි නොගන්න ගතියක් තිබ්බා අපේ සෙට් එකටම..


එතකොට රෑ දහය විතර වෙන්න ඇති..


"ගිහින් බලමුද?"


කාගෙන් හරි යෝජනාවක් ආවා..හැමෝම අනුමතයි..


"අද ලතා අක්කෑ මහත්තයාද දන්නෙ නෑ ඉන්නෙ?"


"නෑ නෑ එයා එන්නෙ 25න් පස්සෙ.."


අපේ අය කොයිතරම් සැලකිලිමත්ද කියනවනම් සතියෙ ඒ ඒ දවසට එන්නෙ කවුද කියලා අනුමාන වශයෙන් කියන්නත් පුළුවන් කම තිබුණා..


දැන් කට්ටිය හෙමින් හෙමින් ඒ ගේ දිහාවට ඇදෙනවා..ගම් ගොඩැල්ලෙ කෙළවරක තිබ්බ මේ ගේ මැටි වරිච්චි කරපු ටකරන් වහලක් එක්ක තිබ්බ ගෙයක්..ඒ ගොල්ලන්ට මහ ලොකු සල්ලියක් තිබ්බ අය නෙවෙයි.. ගෙදර ලාම්පු එළියක් පත්තු වෙනවා දැක්කෙ වරිච්චි බිත්තියෙ හිල් සහ දොරේ ලෑලි අතරින්..


"කෝ බන්ස් සමීරයා එනවා කීව නේද අපි එක්ක?"


"ඌ එයි බන් අම්මවයි නංගිවයි ගෙදරට දමලා"










වේලිච්ච කොළ ගොඩක් උඩින් උණත් සද්ද නොකර ඇවිදින්නෙ කොහොමද කියලා දැනන් උන්න අපි..හෙමිහිට හෙමිහිට දොර ළඟට කිට්ටු කළා..ඇතුළෙ ඉන්න අයට නොදැනෙන්න හෙමිහිට අපි තුන් හතර දෙනා දොරෙ ලී අතරෙ තියෙන හිඩැස් අතරින් එබිලා බලනවා. ලාම්පු එළියෙන් පේනවා සිමියොන් මාමා පුටුවක් උඩ ඉඳන් විට කනවා ලතා අක්කා පැදුරක් වියනවා..අපේ සෙට් එක හතරක් නැත්නම් පහක් එකෙකුට එකෙක් හේත්තු වෙලා ගේ ඇතුළෙ ඊළඟට වෙන්නෙ මොකද්ද බලනවා..


ඒ එක්කම අපි පිටිපස්සෙන් ආපු තල්ලුවක් එක්කම දොර ළඟම හිටි දෙන්නා දොරට හේත්තු උණා..ඇතුළෙන් ලොක් නොකරපු දොර ඇරෙනවත් එක්කම අපි පස් දෙනෙක් ගේ ඇතුළට පෙරලගෙන එකා පිට එකා වැටුණෙ නිකන් ෆිල්ම් එකක වගේ..කුණුහරුපයක් එක්කම ඉඳ ගෙන හිටිය පුටුවෙන් නැගිටපු සිමියොන් මාමා අපි දිහා බැලුවා..සූස් ගාලා කුප්පි ලාම්පුව නිව්වා අපිවත් පෙරළා ගෙන දිව්වෙ..ලතා අක්කා හූ තියලා කෑ ගහනවා අපිට ඇහෙන කොට අපිත් ඇල පැනලා කුඹුරු යායෙ භාගයක් විතර දුවලා ඉවරයි..ටික කාලයක් යනකම්ම සිමියොන් මාමයි අපියි එකට මුණ ගැහුණම හිටියෙ නිකන් ගල උඩ රීපු බළල්ලු රංචුවක් වගේයි.
වෙලා තිබ්බෙ අම්මවයි නංගිවයි ගෙදරට ඇරලපු සමීරයා දුව ගෙන ඇවිත් බ්‍රේක් නැති වෙලා..


"ගේ හරියෙ හොරුන්ට ගන්න දෙයක් නම් නෑ අක්කෙ..කවුරු හරි කුපාඩියෙක්ම තමයි ගෙට පැන්නෙ"


ලතා අක්ක කම්මුලෙ අත තියන් කඩේ ළඟ අයට කීවෙ.. 





Wednesday, April 4, 2012

රෙද්ද අස්සෙ ගිය අහස් ගුණ්ඩුව සමඟ අවුරුදු කතා...


සිංහල අළුත් අවුරුදු කාලෙ කියන්නෙ ඉතින් සතුට, ප්‍රීතිය සපිරුණු හැමෝම සැහැල්ලුවෙන් ගත කරන කාලයකට තමයි. ඒක ගම් ගොඩැලි වල වගේම නගරෙත් එක වගේමයි. ගම්වල ඉතින් කුඹුරු කපලා අස්වනු ගෙට අරන්, බව බෝග වලින් සරුසාර වෙලා වගේම නගරේ රස්සාවල් කරන අයට අවුරුදු දීමනා, බෝනස් වගේම මාර්තු , අප්‍රේල් දෙකේම පඩි එකළඟ ම ලැබිලා අතමිට සරු වෙලා සතුටින් ඉන්න කාලයක් තමයි මේ..


"වෙසක් මාසෙ දන්සල් වලින් තමයි ෂේප් වෙන්ඩ වෙන්නෙ .. මොකද මාස දෙකේම පඩි සල්ලි ඉවරයි අප්‍රේල් 20 ගණන් වෙන කොට..මැයි මාසෙ රිම් එකෙන් යනකොට තමයි කාපු අවුරුදු වල රඟේ තේරෙන්නෙ"


මෙහෙම කීවෙ ජොබ් එකක් කරන මගේ යාළුවෙක්..මේ කතාවෙ ඇත්ත හැමෝම දන්නවා..මැයි මාසෙ වියහියදම් ෂේප් කරගෙන තමයි ගත කරන්ඩ වෙන්නෙ..


"මොන අවුරුදුද මල්ලි අපිට ? පොඩි උන්ට අවුරුදු ඕනි නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්නෙ"


එහෙම කීවෙ බිත්තිවල තීන්ත ගගා හිටපු සෝමෙ අයියා..


හ්ම්ම්ම්ම් පොඩි උන් කාලෙ අපිටත් දැන් වගකීම්, බර වලින් ඔළුව ඔද්දල් වෙන්ඩ ඉස්සර නම් අවුරුදු කියලා ලොකුවට දැනුණා තමයි. ඒත් දැන් නම් ඒකත් තවත් දවස් දෙකක් තමයි කියලා නොහිතෙනවාත් නෙවෙයි. එහෙම හිතුවත්..හැම අවුරුද්දෙම අර පොඩි කාලෙ වගේම අවුරුද්ද එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ..අළුත් ඇඳුම් පැළඳුම් ගන්නෙ..ගෙදර ඉන්න බල්ලො ටික බය නිසා රතිඤ්ඤා නොගෙන නිලා පැකට් එකක් හරි බඹර චක්‍ර පැකට් එකක් හරි අර ගන්න එක නොවරදවාම කෙරෙනවා. අවුරුදු කාලෙට ගමේ අසිරිය ගැන කියන එක ටිකක් කම්මැලි දෙයක් වෙන්නෙ..බලන අයට උණත් ඒක වෙනත් මාධ්‍ය වලින් දැකලා , කියෝලා , අහලා එපා වෙලා නිසා මන් හිතුවෙ මතක පොත අවුස්සලා බලද්දි අවුරුදු කාලවලට සිද්ධ වෙච්ච ටිකක් හාස්‍යජනක, දුක්බර , ශෝක ජනක කියන රසයන්ගෙන් යුත් කතා කීපයක්ම එළියට දමන්නයි..


--------------------------------------------------------------------------------








ගමේ වතුවල වගේම කැලෑවල් වල වල තියෙන ගස් වල පලබර වෙන කාලයක්නෙ මේක..විශේෂයෙන්ම කජු ගස් තමයි මේ කාලෙට ගෙඩි හැදෙන්න පේවෙලා ඉන්නෙ.. කජු ගස් වල අතු පාමුල ඉඳන්ම විසිරිලා පැතිරිලා තියෙන නිසාම මන් වගේ ගස් නගින්න බැරි අයට දනි පනි ගාලා කජු ගහකට නගින එක කජු කනවා වගේ වැඩක් තමයි..මන් ඒ කාලෙ ඉඳන්ම උඩ ඉඳන් බිම බලන්න බයයි..ගහකට නැග්ගත් එච්චර උසකට නගින්නෙ නෑ මේ හේතුව නිසාම..කොල්ලො සෙට් එක එක්ක සෙට් උණහම තරඟෙට වගේ ගහේ උඩට යනවා උණත් මන් නගින්න පුළුවන් සීමාවෙන් උඩට යන්නෙම නෑ..එච්චර උඩට ගිහින් බිම බැලුවහම මගේ ඔළුව කැරකෙන්න ගන්නවා..කකුල් දෙක වෙව්ලනවා..එහෙම ඉඳන් ආයි බිමට බහින්නෙ අමාරුයි. කජු පුහුලන් කහ පාට වෙන කාලෙට අපි කරන්නෙ පොඩි බෑග් එකක්, ලුණු කැට දමපු මල්ලක් එක්ක පොඩි පිහියක් අරගෙන කජු ගහ උඩට නැග්ගහම ඉතින් දවසම ඒක උඩ තමයි..කජු පුහුලන් කාලා කාලා හවසට ගහෙන් බිමට බහින කොට උගුර බැරෑණ්ඩි වෙලා කජු කහට වලට..ඔහොම එක දවසක් අපි යාළුවො සෙට් එකත් එක්ක නැග්ගා කජු ගහට..මම යන්ඩ පුළුවන් උසම අත්තට නැගලා..අහල පහළ තියෙන කජු පුහුලං කකා ඉන්නවා..අනිත් උඩට යන්න බය නැති උන් ගහේ උඩටම ගිහින් හූ තිය තියා කජු පුහුලං කන්නෙ..ටීවී ගමට ආපුම කාලෙ ඔය වෙනකොට අපි ටාසන් ටෙලි කතා මාලාව බලමින් ඉන්න කාලෙනෙ..හිතින් ටාසන් නොවෙන්නෙ මොන පොඩි එකාද ? අපි ඔහොම ඉන්න කොට ගහ යටට එනවා ළඟ ගෙවල් වල ඉන්න කෙළි පොඩිත්තො රංචුවක්ම..ඔය අතරෙ අපේ අල්ලපු ගෙදර ඉන්න බෝනික්කි වගේ නිලන්ති නංගිත් ඉන්නවා ඇහෙන්නෙ මට කටහඬින්මයි..


"අයියේ අවුරුද්දට හත් මාළුව හදන්න අපිටත් කජු ටිකක් කඩලා දෙන්නකො.."


උන් ගහ යට ඉඳන් කන් කෙඳිරි ගානවා.. මමත් ඒ වෙන කොටත් මගේ බෑග් එකේ තිබ්බ කජු ගෙඩි 20-30න් 10ක් විතරම දුන්නා..අනිත් අයත් එහෙම දුන්නා..කෙල්ලන්ටත් හරි සතුටුයි..මේ සෙට් එකේ කීප දෙනෙක්ම මගේ පන්තියෙත් අනිත් අය අපිට වඩා පහළ පන්ති වලත් හිටපු අය..එහෙන් මෙහෙන් අපි කඩලා දුන්න කජු පුහුල සූප්පු කර කර මේ සෙට් එක දැන් අපිට ගහ යට ඉඳන් අපි ඉඳගෙන ඉන්න අතු වලට නොපෙනෙන කොළ වලින් වැහිලා තියෙන කජු පුහුලන් ගැන ඔත්තු දෙනවා..හිතා ගන්නකො රැහැයියො වගේ කෑ ගහන පොඩි කෙල්ලො තුන් හතර දෙනෙක් ගහ යට ඉඳන් උඩ ඉන්න අපි හතර දෙනාට කජු පුහුලන් තියෙන තැන් ගැන කිය කියා කෑගහන කොට තියෙන සනීපෙ...


"අයියෙ අයියෙ ඔය ඔයා ඉඳ ගෙන ඉන්න අත්තට උඩ අත්තෙ හොඳ පුහුලමක් තියෙනවා.."


මන් උඩ බැලුවා..ම්හ්හ් එහෙම එකක් පේන්න නෑ..


"ඔය උඩ, උඩ අයියෙ නැගිටින්නකො..එතකොට පෙනෙයි"


මම ඉඳ ගෙන ඉන්න අත්ත ළඟ උඩ අත්ත තිබ්බෙ ටිකක් උඩින්..ඉඳ ගෙන ඉන්න අත්ත උඩ නැගිට්ටත් අත ටිකක් උස්සලා තමයි ඊ ළඟට තියෙන අත්ත අල්ලා ගන්ඩ ඕනි..ඒ නිසයි මම මේ අත්තෙන් උඩට නැග්ගෙ නැත්තෙ..මේ කෙළි පොඩිත්තන්ට මගේ බය පෙන්නන්න ලැජ්ජයිනෙ..මම කොහොම හරි දනි පනි ගාලා ඉඳ ගෙන හිටි අත්ත උඩින් හිට ගත්තත් අත් දෙකෙන්ම උඩ අත්ත අල්ලගෙන වටේ පිටේ ඔළුව හරවලා බැලුවා..ම්හ්හ්හ් පේන්ඩවත් නෑ පුහුලම..


"ඔය ඔය අයියගේ ඔළුව ළඟම තියෙන්නෙ.. මේ මන් පෙන්නන දිහාවෙ බලන්න"


කියලා පොඩි එකී බෙරිහන් දුන්නත්..මන් බිම බැලුවෙ නැත්තෙ..පොඩි බයක් තිබ්බ නිසාමයි..ඒත් එක්කම,
..මට අදහසක් ආවා..


"ඉන්ඩ නංගි මෙතන ඉඳන් ඒක කඩන්න මගේ අත දිග නෑ.. මන් කඩපු එකක් දෙන්නම් ඊට වඩා හොඳ එකක්"


මන් ඇහැ මානෙට නොගෑවුණු කජු පුහුලම දෙකේ කොලේට දමලා හැදුවෙ ආයිමත් ඉඳ ගෙන හිටි අත්ත උඩම වාඩි වෙලා ඒ අත්තෙ පොඩි කරුවක එල්ලා තිබුණු මල්ලෙන් හොඳම කජු පුහුලමක් දීලා මගේ ජාමෙ බේරා ගන්ඩයි..
උඩ අතු ටික සර බර ගාන සද්දෙත් එක්ක.. මට උඩ අත්තක හිටපු ජගත් මන් ඉන්න අත්තට ආවා..


"කෝ එහාට වෙයන් මන් ඒක කඩලා දෙන්න" 


මූ ඉතින් කෙල්ලො ඉස්සරහා ලකුණු දමා ගන්ඩමයි හදන්නෙ..දැන් ගහ පාමුල වැඩි සද්දයක් නැත්තෙ නිලන්ති නන්ගිත් එක්කම සෙට් එකම මේක දිහා බලා ගෙන ඇති..


මන් පොඩ්ඩක් හෙමිහිට හෙමිහිට අත්තෙ එහාට උණා..එතකොටයි දැක්කෙ මගේ කන ළඟින්ම එල්ලි එල්ලි තිබුණු ලොකු කහපාට කජු පුහුලම..එතකොටත් ජගත් ඒකට අත දික් කරනවා..


"හිටින් මන් කඩලා දෙන්න"


කියලා කීවත් ජගත් මට වඩා ඉස්සර උණා මැණික් ගලක් ගන්නවා තරම් සතුටකින් කජු පුහුලම කඩා ගත්ත ජගත්..


"ඔන්න අල්ල ගන්න.. බිමට දමා ගන්න එහෙම එපා..තැලුණොත් වැඩක් නෑ"


බිම බලාගෙන මානලා මානලා කජු පුහුලම බිමට අතෑරියා..මමත් ඉබේටම බිම බැලුනෙ නිලන්ති නන්ගිද කජු පුහුලම හරියටම අල්ලා ගත්තෙ බලන්න..
බුදු අම්මෝ..මම ඉන්න උඩ..බොක්ක හීතල වෙලා..යද්දි කකුල් දෙක ගැහෙන්ඩ පටන් ගත්තා..


"මන් උඩට යනවා"


කීව ජගත් නිකන් අත පය තියා ගෙන නෙවෙයි ආයිමත් ගහ උඩට නැග්ගෙ..මන් ඇඳ ගෙන හිටි සරමේ ගැටෙන් හයියෙන් ඇද ගෙනමයි..හෆොයි සරම් ගැටේ බුරුල් උණා..මන් වවුලෙක් වගේ අත් දෙකෙන්ම උඩ අත්ත අල්ලන් හිටියත් ..එක අතක් අල්ලගෙන ගිලිහෙන සරම් ගැටෙන් අල්ල ගන්ඩ ගියත් ..මන් පරක්කුයි..සරම ලිස්සලා ගියා..අපි ඉස්කෝලෙ හතරෙ පහේ උන් ඒ කාලෙ ඉස්කෝලටවත් යටට අඳින්නෙ නැති කාලෙ..දැන් සරම රූටලා ගිහින් කකුල් දෙක පාමුල ගහෙන් පල්ලහැට එල්ලෙනවා.. මන් හෙලිකොට්ටෙන්..බඩ ළඟට විතරක් තියෙන කමිස පොඩිත්ත මදි අත්‍යාවශ්‍ය දේවල් වහ ගන්න..ඊට වඩා බය අල්ලන් ඉන්න අත්ත අත හරින්න..උඩ ඉන්න සෙට් එක්ක මේක දැක්ක විතරයි..තිබ්බෙ නැද්ද ගම දෙවනත් වෙන්න හූවක්..


පහළ ඉන්න කෙළිත්තො රොත්තම උඩ බැලුවා දැක්කෙ ඇහේ කොනකින්..මුන් ටික හූ කියන්නෙ ඇයි කියලා බලන්න..ලැජ්ජාවට වඩා තවත් දෙයක් තියේද..මගේ බය කොහෙන් ගියාද මන්දා..මන් අල්ල ගෙන හිටි අත්ත අත් දෙකෙන්ම අත ඇරල..කකුල් දෙක ඉස්සරහට දමලා..ඉඳ ගෙන හිටි අත්තෙ ආයිමත් ඉන්ඳවෙන වෙන විදියට පැන්නෙ ටුක් ගාලා ආයිමත් සරම අල්ල ගෙන ඇඳ ගන්ඩ හිතා ගෙන..ඉස්සරහට දමපු කකුල් දෙකෙන් නිදහස් වෙච්ච සරම පා වෙලා ගියේ ගහ යටට..


"අයියො අයියා ගහෙන් වැටුණෝ"


කට්ටියම කෑ ගහනවා..


'නෑ නෑ සරම විතරයි බිමට වැටුණෙ..දුවමු දුවමු..අපි දුවමු.."


සේරම අවු අස්සෙ මට ඇහුණා නිලන්ති නගාගෙ කටහඬත්..
කියන්න ඕනි නැහැනෙ ඒ අවුරුද්ද මට එච්චර සරු උණේ නෑ.ටික දවසකින් අත්තෙ එකපාරටම ඉඳවෙච්ච එකට සීරිච්ච පස්ස පැත්ත සනීප උණත්.යන යන තැන මගේ වයසෙ උන් ඔය කතාවට අතින් පයින් දමලත් කියලා තිබුණා..ටික කාලයක් යනකම්ම මන් ඒ කෙල්ලො සෙට් එකේ මූණවත් බැලුවෙ නෑ...
---------------------------------------------------------------------------------




කුඩා උන් වූ අප ගිනි කෙළි පාවිච්චියේදී නම් වඩාත්ම ප්‍රවේසම් වූයේ කුඩා කල සිටම ගිනි කෙළි වලින් සිදු වූ අනතුරු පිළිබඳ ඇස දුටු සාක්ෂි කරුවන් වූ නිසාමය..නමුත් කොලු කම් හා බලු කම් අතර වෙනස ඉතා සුලු බව අපේ පන්සලේ හාමුදුරුවන් බණට කීවේ අප කොලු රන්චුව දෙස බලා බව නම් නිදිමතේ වූවද ඉඳුරාම කිව හැක..
මුල්ම කාලෙ බොහොම පරිස්සමට ගහක හරි අත්තක හරි අහස් ගුණ්ඩුව රඳවලා ගිනි පෙනෙල්ලකින් තමයි ඒකේ සේවා නූලට ගිනි තිබ්බෙ..යන්තම් පත්තු වේගෙන එනකොට පොඩ්ඩක් එහාට දුවනවතෙක්ක..පහු පහු වෙනකොට කොයිවත් කොහු කොහු වෙනවා කීව අපේ ගමේ හිටි සොපි ආච්චි එක සැරයක් ළඟ තිබ්බ උදලු කොටෙත් උස්සගෙන අපිව මරලම තමයි පස්සෙ බලන්නෙ කියලා ගම පුරා එලෙව්වෙ ඔය කියනා අවුරුදු කාලෙ පත්තු කරපු අහස් ගුණ්ඩුවක් නිසාමයි..ඒක උණේ අපි අත්හදා බැලුවා අහස් ගුණ්ඩු අහසට යවනවා වගේම හරහට පාර දිගේ යවන්නත් පුළුවන් නේද කියලා,


"මේ පාහර කොල්ලෙ මොට වාහේ වෙන්ඩ..වරත්තුවො අහස් කූර එව්ව මගෙ රෙද්ද අස්සටමයි..හතර පෝයට සිල් ගන්න පිනටද මන්දා ඒක පිපුරුවේ නෑ"


අතින් කට වහගෙන හිනා වෙද්දි සොපි ආච්චි පිපුරුනේ ඔහොමයි..අපි හිතා මතා කල දෙයක් නොවන මෙය උණේ..සැබවින්ම වැරදීමකින්..අහස් කූර අපි දැක්ක විදියට සොපි ආච්චි ළඟට ගියා තමයි..ඉතුරු ටික බලන්ඩ අපි හිටියේ නෑ..පණ එපා කියලා දිව්වා..ඔළුව හැරිච්ච හැරිච්ච අතේ..


"නැත්තෙ මොකෝ මේ මගේ තණ්ඩිය (කකුලේ දණිස්සෙන් උඩ හරිය ) පිච්චිලා මේ බලපන් මැගියො"


සොපි ආච්චි චීත්තෙ එහා මෙහා කරලා මැගි ආච්චිට පෙන්නුවහම තමයි අපිත් දැන ගත්තෙ..වෙච්ච සිද්ධිය..


"හැදුනයින් හැදුණෙ නෑ මේ වගේ පාහරයි ටිකක් ගමට " 


මැගී ආච්චිද කම්මුලේ අත තබා ගෙන විස්සෝප වූවාය.. 
එම අවුරුද්දේ අප සියල්ලන් හටම අහස් ගුණ්ඩු තහංචිය පැනවීය..එම නිසාමදෝ රතිඤ්ඤා නිලා සඳහා වෙන අවුරුදු වල කරන සියලු වියදම් කළේ අහස් ගුණ්ඩු සඳහාම විය..


"මුන් ලව්වා මොනවා හරි කරවා ගන්ඩ් ඕනි නම් ඒක කරන්ඩ එපා කියලම කියන්ඩ ඕනි අක්කෙ"


ඒ ඇසෙන්නෙ අපේ මාමාගේ කටහඬයි..






---------------------------------------------------------------------------------






ගිනි කෙළි වලින් මා දුටු ඇඟ හීතල වන අනතුර දුටුවේ තවත් වසරකය..
ඒ නම් දුර දිග නොබැලීම, මත් පැන් පානය නිසාම සිදු වූ දෙයකි.. 
අවුරුද්ද දින දෙකේ කැට පොළවල් වල දවසම ගත කිරීම අපගේ එකම රාජකාරියයි..


සේන මාමා තරමක් වෙරි මතින් සිටියද..රතිඤ්ඤා කරල් කිහිපයක් ගෙන විටින් විට පත්තු කරමින් සිටියේය..එක් රතිඤ්ඤා කරලක් අත මිට මොලවා ගෙන කැට පොළේ කැට ගසන දෙස බලා සිටි අතර චන්දරේ මාමා තම අතේ වූ සිගරැට්ටුවෙන් සේන මාමාගේ අතේ වූ රතිඤ්ඤා කරලේ සේවා නූලට ගිනි තැබීය..මෙම අමන තකතීරු බූරු වැඩේ දුටු අයෙක් කෑගැසූවෙන් සේන මාමා මෙය නොදැන තම අතවූ රතිඤ්ඤා කරල තවත් තද කරගෙන් ඇත..අත මිට මෙළවූ අත තුළම එය පුපුරා ගියේ..අප දුටුවේ පපඩමක් මෙන් පිම්බුණු සේන මාමාගේ අත්ල පමණි..සති කිහිපයක් පමණම ඔහු බොහෝ දුක් වින්දේය..ඉන් පසු චන්දරේ මාමාත් එවන් තකතීරු වැඩ නොකළ බවට මතකය..


---------------------------------------------------------------------------------
එක් අවුරුදු දාක අප කොලු රංචුව කල තිරිසන්ම වැඩේ නම් ..මා මෙයට සහභාගී නොවූවද මා එහි පංගු කාරයෙකු වූයේ මෙහි ප්‍රතිඵලය නොසිතා එය වැළැක්වීමට උත්සාහ නොකිරීමයි..මෙම සිද්ධිය නම් මා ඉතා විස්සෝපයට පත් කල එකක් වීය..මා කිසිදා එයට මාඅ හට සමාව දෙන්නේ නැත..


ගමේ සිටි කොලු රංචුව හා සැමදා ආරෝවට සිටි බලු රංචුවක්ද වීය..සාමාන්‍යෙන් මා බල්ලන්ට ප්‍රිය නිසා මාගෙන් ඔවුන් කිසිදා වද හිංසා වලට භාජනය නොවූවේය..


එහි සිටි බලු නායකයා අල්ලා ගත් අප කොලු රංචුව කළේ රතිඤ්ඤා පෙට්ටියක් වලිගයේ ගැට ගසා එය පත්තු කිරීමයි..හෙණ හඬ මෙන් දැනෙන්නට වූ මේ රතිඤ්ඤා වැල පිපිරෙන විට කෑ ගසමින් ඔළුව හැරුණු අතේ දිව ගිය මේ බල්ලා පසුව ළිඳකට වැටී මිය ගොස් සිටියේය.අප කිසිදිනක මෙය බලාපොරොත්තු නොවීය.. අප සිතා සිටියේ මෙයින් හොඳටම බිය වන බල්ලා අපට කිසිම දිනයක බුරා නොපනිණු ඇතැයි කියාය...මේ සිද්ධිය සම්බන්ධයෙන් නම් මා තරම් තිරිසනෙක් මේ ලොව නැතැයි තවමත් මගේ සිතට ගෙනෙන්නේ පසුතැවිල්ලකි..


"ඕක නම් උඹලා මැරෙන්ඩ ඉස්සර කවදාම හරි පල දෙනවා දෙනවාමයි පුතේ"


එසේ කීවේ පන්සලේ මාමායි..


එය නම් නිසැකය. 

Monday, April 2, 2012

නැට්ට බලන්ඩ කලිසම ගලවන්ඩම ඕනිද ?


"කෝ චූටි, මල්ලි ?"


අම්මාගේ කටහඬ ඈතින් ඇසේ.


"ටොමී..ටොමී..ටොමී..ඉජූහ්...ඉජූහ්...ඉජූහ්..."


චූටි අක්කා බෙරිහන් දෙයි.


"මොකද්ද බන් ඕකෙ තේරුම ? උඹ මල්ලිගෙන් ගුටි කන එක හරි එක අතකට.. ඌට බල්ලගෙ නම කියලා ඉජූහ් ඉජූහ් ගෑවහම ඌට කේන්ති යන එක අහන්ඩ දෙයක්ද ?"


"අම්මා පොඩ්ඩක් ඉන්ඩකෝ... ටොමී ටොමී ටොමී"


"බුහ් බුහ්.බුවෑආආආඅ"


ගස යට සිටි ටොමියා ප්‍රතිචාර දක්වයි.


"ආන් බලන්ඩ මල්ලි රඹුටන් ගහ උඩ ඇති"


"අනේ උඹේ කම්මැලිකම මෙතනට පේනවද රඹුටන් ගහ උඩ ඉන්න ඈයො? කම්මැලි නොවී පොඩ්ඩක් ගිහින් බලහන් මල්ලි පහළ වෙලේ කොල්ලො එක්ක බෝල ගහනවද කියලා ?"


අම්මා චූටි අක්කාට දෙහි කපයි..


"අම්මා මන් කියන දේ අහලා බලන්ඩකෝ රඹුටං ගහ උඩ, මල්ලි කොතනද ටොමී එතන ඇති"


මා ඉඳගෙන සිටි අත්තෙන් බිමට බැසීමට නැගී සිටි වහාම ටොමීද කන්පට ගසමින් ලැග සිටි වියළි රඹුටන් කොළ ගොඩින් ඈත් මෑත්විය.
චූටි අක්කාගේ කීම ඇත්තකි..මා වැසිකිළියට ගියද මා පසු පස විත් එයින් එළියට එනතෙක් වාඩි වී බලා සිටීමට තරම් ටොමියා මා සමඟ කුළුපගය.තාත්තා කුඹුරේ සිට පැමිණෙන දිනයක තාත්තා සමඟ අප නිවෙසට පැමිණෙන විට ටොමී ඉතා කුඩා බලු පැටියෙකි. දුඹුරු සහ කළු සමේ තැනි තැන සුදු පැහැ පුල්ලි වලින් සමන්විත ඌට ටොමී යන නම තැබුවේ මා විසිනි. මේ සුදු පුල්ලි නම් සෑමදාම සුදු නොවූයේ මා පාසලේ අත්වැඩ සඳහා සූදානම් කරන විවිධ කුකුල් සායම් යන නමින් හැඳින්වූ වර්ණ වලින් ඒවා විටින් විට සිත්තම් වූ නිසාය. 


"බල්ලට වද නොදී හිටින් උගේ ඇඟේ ඔය සායම් තවරන්නෙ නැතුව"


තාත්තා විටින් විට දොස් නැගුවද ටොමියා කිසිදිනක ඒ පිළිබඳව උරන නොවූයේය. සැබවින්ම ටොමියා එයට කැමති බව සැමවිටම පෙන්නීය.
ටොමියා මා පාසල් යන එක දිනයක පමණක් පාසලට පැමිණි නමුත් මා වැනි වූ තවත් කොල්ලන් කෙල්ලන් රාශියක් සිටීම නිසාදෝ ඉන් පසු කිසිදිනක නොපැමිණියත් ඌ පාසල් ඇරෙන වෙලාව හොඳින්ම දැන සිටියේ හරියටම ඒ වෙලාවට වැට අසලට වී බලා සිටියේය. 
එක් කාලයක මා හට තිබූ විශාල ප්‍රශ්නය වූයේ ටොමියා අප මෙන් කකුල් දෙකෙන් ඇවිදින්නෙ නැත්තේ මන්ද යන්නයි. මා බොහෝ වාරයක් එලෙස කකුල් දෙකෙන් ඇවිද්දවන්නට උත්සාහ කළත් එය නිරර්ථක වූයේ මා වඩාත්ම ලේසි ක්‍රමය වූ මා ටොමියා මෙන් ඇවිදින්නට හා දුවන්නට පුරුදු පුහුණු වීය. 


"අනේ අම්මෙ ලැජ්ජවෙ බෑ මල්ලි එක්ක නම්, අර ටොමියා එක්ක කකුල් හතරෙන් ඇවිදිනවා දුවනවා"


"අපි මල්ලිගෙ කලිසමක් අන්දවමු ටොමියට, උඹට ඔච්චර ලැජ්ජා නම්" 


අම්මා මගේ පැත්ත ගනී.


"මල්ලිට නම් පිස්සුම තමයි මගේ ඉස්කෝලෙ යාළුවො ආවහමත් කකුල් හතරෙන් යනවා ටොමියා එක්ක, මට හිනා වෙනවා ඒ ගොල්ලො"


"මට නෙවෙයි පිස්සු ඔයාගෙ අක්කා කෙල්ලොන්ටනෙ.. මන් ටොමී එක්ක ඇවිදින කොට අම්මෙ මගේ කලිසම ගලෝනවා නැට්ට තියෙයිද බලන්ඩ.ඔන්න ඊළඟ දවසෙ එහෙම කළොත් මන් ඉන්නෙම කලිසම නැතුව ටොමී වගේම තමයි"


"අම්මේ මට නම් බෑ මෙයා එක්ක මේ ගෙදර ඉන්න"


චූටි අක්කා චුරු චුරු ගායි.


"ඇත්තමයි දෙන්නවම ගිහින් දානවා මග්ගොනට" 


අම්මා අන්තිම තුරුම්පුව ගැසුවාය. අප දෙදෙනාම හේතු විරහිතව මග්ගොනට බිය බව ඈ දැන සිටියාය. කවුරුන් හෝ වැඩිහිටියන් බාලාපරාධ කරන්නවුන් රඳවා තබා ගන්නේ මග්ගොන බව කියා අප හොඳටෝම බිය කර තිබුණි. 


ඉතින් ටොමී මාහාම අවුරුද්දෙන් අවුරුද්ද වයසට යන්නාසේම අප දෙදෙනාගේම බැඳීමද ඉතා දැඩි විය. කොල්ලෙක් බල්ලෙක්ට ආදරය කරන්නේ කෙසේද හා බල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන්නේ කෙසේද යන්නට හොඳම නිදසුන අප දෙදෙනා විය. කීපවාරයක්ම මාගේ ජීවිතය සර්පයින්ගෙන් බේරූයේ ටොමීය. එකවරක් මා ඉඳ සිටි ගල් බැම්ම අසලින් ගිය නාගයකු කීතු කීතු කොට දැම්මේය..එදින නම් තාත්තා ටොමියා හොඳින් පරීක්ෂා කළේ කොහේ හෝ නාඝයාගෙ දල පහරවල් ඇත්තේද යන්නයි. බියෙන් බිරාන්තවී සිටි මා ඉන්පසු ගල් බැමි උඩ වාඩි වී සිටින්නේ නම් ඊට පෙර ඉතා දැඩි සැලකිල්ලෙන් පිරික්සීමට පුරුදු වීමි.


අපට අයත්ව තිබූ කුඹුරු කිහිපයකම ගොයම් එකවර කපන්නේ නම් එම ගොයම් සියල්ලම අපේ ගෙවත්තට ගෙනවිත් පාගා වී සුළං කිරීම සාමාන්‍ය සිරිතක් විය. එවන් කාලයන් මා හා ටොමීට ඉතා සතුටුදායක වූයේ..වී මැඩුවන් කිරීමෙන් අනතුරුව වත්තේ ඉතුරුවන විශාල පිදුරුකන්ද හා බොල් වී කන්ද අපගේ ස්ථීර වාසස්ථානය වන බැවිනි. ඒ මත පිනුම් ගසමින් පිදුරු කන්ද තුළ සැඟවී සිටීම තරම් ප්‍රියජනක තවත් ක්‍රීඩාවක් නොවීය. දිනය අවසානයේ අම්මා,

"කොල්ලත් එකයි මේ බල්ලත් එකයි..දෙන්නම පිදුරු කාටුව නාලා..බලහන්චූටි දෙන්නම දුඹුරු පාටයි..ඉක්මනට මේ පිදුරු ගොඩ කුඹුරුවලට ඇදලා දමන්න කියන්න ඕනි.." 


කියමින් මා ඇද ගෙන යන්නෙ ළිඳට නෑවීමටයි..


"අම්මේ ඔය මල්ලි කියලා ඇද ගෙන යන්නෙ ටොමියවනෙ, මේ ඉන්නෙ මල්ලි තාම පිදුරු ගොඩේ"


චූටි අක්කා ඔලොක්කුවට කියයි.


"ඔන්න ඔය ටොමියවත් අල්ලන් වරෙන් බන් නාවන්න මූ නාවන වෙලාවට විතරයි ටොමියත් සද්ද නැතුව නාන්නෙ, මුන් දෙන්න නම් ගිය ආත්මෙ සහෝදරයො දෙන්නෙක් වෙන්ඩම ඇති"


එතරම්ම ආදරණීය බැඳීමක් තිබූ මා හා ටොමියාගේ සෙනෙහස සොබාදම් මෑණියන් මා හට විශාල පාඩමක් කියා දීමට රුකුලක් කර ගත්තේය. 


දිනක් පාසල අවසන්ව එනවිට වැට පාමුල පාළුය. ටොමියා නැත. අද කාලයේ මෙන් පාරෙ යන බල්ලන් සුරැකීමට නීති රීති නොතිබුණු යුගයක විටින් විට ගමට පැමිණෙන බලු වෑන් එක ටොමියා අල්ලා ගෙනගොස් තිබුණි..


"අනිත් බල්ලො පැනලා දුවද්දි ටොමියා නැට්ට වන වනා ඒ යස්සයා ළඟටම ගියා"


ටොමී වෙනුවෙන් මා හෙළූ කඳුළු කොපමණදැයි මා නොදනිමි. මාස ගණනාවක් තිස්සේම රෑ සිහිනයෙන් පවා පෙනෙන්නේ ටොමියායි..විටෙක මැරී වැටී සිටිනු දකින මා නින්දෙන් අවදි වන්නේ හඬා ගෙනය..


"තව බල්ලෙක් ගෙනෙමු පුතේ " 


ඒ තාත්තාගේ කටහඬයි. 


"එපා එපා ඒකටත් ඔහොමම උණොත් මටමයි දුක"


"පුතේ ඕනිම දේකට හරි ඕනිම කෙනෙකුට හරි ඕනිවට වඩා ආදරය කරන්න එපා..බැඳීම් ඇති කර ගන්න එපා.. ඒ වෙනුවට ආදරය කරන්ඩ, බැඳීම් ඇති කර ගන්ඩ ඒ හැම දේකම තියෙන ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යන ස්වභාවය තේරුම් අරගෙනම, එතකොට තමයි ඔය දුක තේරෙන්නෙත්" 


ඒ පන්සලේ මාමායි. 


"පොඩි එවුන්ට උඹේ ඔය බණ තේරෙනවැයි මල්ලි " 


අම්මා බුලත් වට්ටිය මාමා අතට දෙමින් කීය.


"තේරෙන්ඩ හරි නොතේරෙන්ඩ හරි කියන්න එපාය"


ලොකු පොඩි කෙසේ වෙතත් මා හට පන්සලේ මාමා කී දෙය වැටහුනේය. ඉන්පසු මා මගේම කියා කිසි දිනක බල්ලකු ඇති නොකළත් බොහෝ බල්ලන් මා හා මිතුරු විය. නමුත් මා සැමවිටම එම මිතුරු කම අතේ දුරින් තබා ගත්තේ අදටත් ටොමී මතක් වනවිට මාගේ උගුර තුළ යමක් හිර වී නෙතින් කඳුළක් ගලා යන බැවිනි..එය මාසඟවන්නේ නැත. 


"ගෑනියෙක් වගේ අඬන්න එපා බන්..පිරිමියෙක් වගේ හිත දැඩි කර ගෙන හිටින්"


මා ගේ දෙනෙතේ වූ කඳුළු දැක මගේ මිතුරකු කීවේ එක මල ගෙදරකදීය. ඒ මාගේ සොයුරකු මෙන් සිටි අයියා කෙනෙකු රිය අනතුරකින් අකාලයේ අප අතරින් වෙන්වු දිනයේය. ගල් වගේ හිතක් තියෙනවාට වඩා තවකෙකුගේ දුකක් වියෝවක් ඉදිරියේදී තෙමෙන දෑස මට නම් ලැජ්ජාවට කාරණයක් නොවේ.


මීට පෙර කතා වලදී බොහෝ විට මා හඳුන්වා දුන් මා නිවෙස් හිමිකරුගේ බැල්ලන් තිදෙනාද මා හා බොහෝ මිතුරුය.. නමුත් මා ඒ මිතුරු කම තරමක් ඈතින් තබා ගන්නේ මා මෙන්මාවට සියලු දෑ දෑසට නොපෙනන මානයක් වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවිනි..









ටොමීගේ මතකය මා ආවර්ජනය වූයේ පෙර දිනයක මා හෝමාගම නගරයේදී දුටු දසුනක් නිසාය. මා ආපසු කොළඹට පැමිණෙමින් තිබූ බසය හෝමාගම නගරයේ රථ වාහන තදබදයක හිර වීය.. පාර අයිනේ කිරි පැණි විකුණන කඩයකි. ඒ අසළවූ මදක් ඈතින් කෙසඟ බල්ලෙකු විය. බැල්ල දෙස මොහොතක් බලා සිටි එක තලතුනා මහතකු එම කිරි පැණි කඩයෙන් පොඩි ප්‍රමාණයේ කිරි හට්ටියක් ගෙන ඒ බැල්ලට දුන්නේය. දුවන්නට ගොස් මදක් නතර වී විමතියට පත් බැල්ල වලිගය වනමින් සතුටින් එම කිරි හට්ටිය කා එම මිනිස දෙස කෘතඥපූර්වකව බලා සිටියාය.


දෙවන සිදුවීම නම් මා කාර්යාලයට යන අතුරු පාරක සැමදා සිදුවන ඉතා සංවේදී සිදුවීමකි.. 






එය මොනවට මේ ජායරූපයෙන් පැහැදිලි වේ..


මෙම උතුම් පුරුෂයා සෑම දිනකම මා මෙය දැනට වසර 2ක් පමණ දැක ඇත. මෙම අතුරු පාරේ සිටින සෑම බල්ලකුටම සහ පූසකුටම මෙසේ කෑම සපයයි. මා එක් දිනක් ඔහු හා වචනයක් දෙඩීමට නතර වූයේ මා කී දෙය නොතේරුනා සේ මද සිනහවක් පා ඔහු නිහඬව තමන්ගේ කාර්යයේ නියැලීය. මා සිතුවේ එක්කෝ මොහු ගොළු බිහිරි තැනැත්තකු විය හැකි බවයි.. නමුත් එය එසේ නොවන බව මට නොබෝ කලකින් තේරී ගියේ ඔහු එම බල්ලන් හා කතා කරන බව ඇසීමෙනි..මා සෑම දිනකම මෙම මිනිසා දෙස සිනහා මුසු බැල්මක් හෙලුවත් ඔහුගේ එතරම් ප්‍රතිචාරයක් නැත. ඔහු නොමැති විට මෙම බල්ලන් හා පූසන් ඔහු එනතෙක් මඟ බලා සිටින බව මා දැක ඇත. 


යම් දිනක මොහු නැති වූ කල මේ බල්ලන් බොහෝ දුක්වනු ඇතැයි මට සිතුනත් මේ ලෝක සත්‍යය බල්ලන්ට තේරෙන්නේදැයි මට ඇත්තේ සැකයකි.