ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, June 30, 2012

නිශාචර ජායාරූප...Night photography


ජායාරූප ගැනීම එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් ෆොටෝග්‍රැපි,  කරන එක මට නම් මගේ විනෝදාංශයක්ම විතරයි. මොකද ජායාරූපකරනය තමන්ගේ වෘත්තීය ජීවිතය වෙච්ච කොට්ඨාශයක් ඉන්න නිසාම මම ඇයි ෆොටෝ ගහන්නෙ කියන එකට මමම දීලා තියෙන පැහැදිලි උත්තරය ඒක තමයි. මේක විනෝදාංශයක් වීම නිසාම තාමත් මන් අරගෙන තියෙන්නෙ ෆොටෝ දෙතුන් සීයයි .වගේම ඒ ෆොටෝ අතරින් මගේ හිතට අල්ලපු සහ මූනු පොතේ දමපුවහම එන කමෙන්ට් වලින් වගේම මගේ මේ විනෝදාංශයට අත හිත දීපු කෙනාගෙ අදහස අනුව තියෙන්නෙ ෆොටෝ 3-4ක් විතරයි හොඳ ෆොටෝ කියන ගොන්නට දමන්න පුළුවන් ඒවා තියෙන්නෙ..


ඔව් ඒ ෆොටෝ 4-5න් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..සමහර විට ඒ වෙලාවෙ ගන්නකොට තේරුනෙ නැහැ..මේ වෙලාවට මේ සෙටින්ංග්ස් තමයි හොඳම කියල නම්..ෆොටෝ ගත්තට පස්සෙයි දැක්කෙ හොඳයි කියලා..ඒ නිසා ඒ ෆොටෝ 3-4 අහඹුවට වැදිච්චා කියමුකො..


ෆොටෝ ගන්න අය එක එක කැමති අනු අංශත් තියෙනවනෙ ඔය එක්කම..


මාත් කල්පනා කලා දැන් මන් ගන්ඩ යන්නෙ මොනාද කියලා..මල්ද ? සමනලයොද ? ගස් කොලද ? මිනිස්සුන්ද ? අනේ මන්දා ? ඔහොම කල්පනා කර කර ඉන්න කොට මන් දවසක් දැක්කා ලස්සන රාත්‍රී දර්ශන ටිකක් තියෙන ෆොටෝ වගයක්..හ්ම්ම්ම් අහල පහල වනාන්තර නැති නිසා ගස් වැල් ගන්ඩ බෑ..මේ කොන්ක්‍රීට් වනන්තරේ එහෙන් මෙහෙන් දැන් නම් ගහක් කොලක් මලක් තියෙනවා උනාට ස්වාභාවික හෝර්ටන් තැන්න වගේ නෙවෙයිනෙ..ඒ උනාට රෑ වෙන එක කොහෙටත් පොදුයි..මොකෝ වෙන්නෙ රෑ ජාමෙ ෆොටෝ ගත්තොත්..
ඔහොම හිතපු මන් තීරණය කලා රාත්‍රී ජායාරූප ගන්නවයි කියලා..ඉතින් ඒක සාර්ථක උනාද ?


කෝකටත් තෛලය වගේ ගියා අන්තර්ජාලෙට..කියෙව්වා තිබ්බ ලිපි කීපයක්ම..හෆොයි හිතුවට වඩා දරුණුයි..මහා දිග හොම්බක් තිබ්බට කැමරා ලෙන්ස් එකේ f/4.5  පටන් ගන්නෙ ඉඳන්..සාමාන්‍යෙන් කියන්නෙ f/ 3.5 තමයි හොඳම රාත්‍රී ජායරූපවලට කියලයි..ඔය සේරම හරි යන්ඩ බෑ..ඕන් ඔහෙ තියෙන එකෙන්ම ගන්නවා කියලා හිතලා..මාත් වැඩේට බැස්සා..


ඔහොම බැහැලා ගත්ත ෆොටෝ ටිකක් තමා මේ තියෙන්නෙ..









රාත්‍රී  ජායාරූප  ඉතින් දවල්ට ගන්න ඇහැකියැ ..මේකෙ තියෙන වාසිය තමයි ඔෆිස් ඇරුනහම මට කෙලින්ම වැඩේට බහින්න පුළුවන්..හැබැයි ආරක්ශාව අතින් එච්චර හොඳ නැති හරියවල් වල නම් මේක කරන්න බෑ.ඒ නිසා මන් කරන්නෙ ජනාකීර්න නගර වලයි..එහෙම නැත්නම් අහලක පහලක පොලීසියෙන් ඉන්නව නම් බහිනවා ගේමට..නැත්නම් ඔහේ මගේ පාඩුවෙ යනවා.


පහු ගිය දවසක මන් ඔහොම රෑ 10ට විතර ඇති බැස්සා බඩු ටිකත් අරන් එලියට..දැන් ටවුන් එකේ ෆොටෝ 2-3ක් අරන්..හෙමින් හෙමින් ඉස්සරහට ගියා..හඳ පළුවෙන් එන එලියයි..විදුලි ආලෝකයෙන් එලිය උනු අවට පරිසරයේ රූස්ස ගොඩනැගිලි වල පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම බලමින් මන් යනවා මගේ ගමනෙ..හෙමිහිට නැවතී නැවතී..


තරමක් පාළු, අතඇරලා දමපු බිල්ඩින් එකක්.... සහ දැනටමත් අළුතින් හදන බිල්ඩිමක්..හරියටම ඔය මැද අතු පතර විහිදිලා ගිය මාර ගහක්..විදුලි එලිය බිඳක් නැති පාළු බිල්ඩිම හඳ එලියෙන් බබලනවා..අළුතින් හදන බිල්ඩිමේ විදුලි එලිය අර මාර ගහේ අතු අතරින් පෙරිලා ඇවිත් ලස්සනට රටා වලට හෙවනැලි ඇඳිලා..මගේ හිත එකපාරටම කීවෙ..ටොප් ෆොටෝ එකකට හොඳම තැන කියලයි..ඉස්සරහට ගීයා..ආපහු ආවා..බැලුවා කැමරා ඈන්ගල් කරන්න හොඳම තැන..මේ එලියට හරියන්න සෙට් කරන්න ඕනි සෙටින්ග්ස් ගැන හිතමින්ම..


"ස්ස්ස් ....ස්ස්ස්ස්..."


මගේ දැහැන බිඳුනා සැනකින්ම...


මාර ගහ යට පාළු අඳුරෙන් මෑත් උනේ ජායාවක්..එලියයි අඳුරයි අතරේ මාරුවෙන් මාරුවට පුළුල් තීර විදියට ඇහැ යොමු කරපු මට මේ පුංචි රුව දෙනෙතට හසු කර ගන්න මදක් අපහසු උනා..ඒ කාන්තා රුවක්.. මගේ හිත මට කිව්වා..


"අනේ එක්ස්කියුස් මී අයියෙ.. මගෙ පර්ස් එක මග වැටිලාද කොහෙද ..අතේ සල්ලි නෑ කීයක්වත් ගෙදර යන්න.. තියෙනව නම් මට රුපියල් 150 දෙන්න අයියෙ.ලොකු උදව්වයි.."


මිහිරි හඬකින් ඈ කීවා.. අනේ පව්.. මේ රෑ..කරදරේ වැටිච්ච ළමෙක්..මගේ බඩ පපුව දාලා ගියා.


"නංගි කොහෙද ඉන්නෙ"


"පිලියන්දල ඉන්නෙ අයියෙ..මන් අයියට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් ..ණයට දුන්නා කියලා හිතා ගෙන දෙන්න අයියෙ.. මන් ආපහු ගෙනත් දෙන්නම්"


ගින්දරට අහු උන වෙඬරු පිඬක් වගේ මගේ හිත ආයිමත් උනු උනා..තාමත් උඩ බිම බලලා නිලංකාර වෙච්ච ඇස් හරී ගියේ නැති නිසාත්. මේ තරුණිය ඉන්නෙ ආලෝකයට පිටුපාලා නිසාත්.. මට ඈගෙ රුව හරියටම පෙනෙනෙ නෑ..


"රුපියල් 150 ඇතිද නංගි මෙතන ඉඳන් ත්‍රීවිල් එකක පිළියන්දලට යන්න?"


මන් මගේ පර්ස් එකේ තියෙන සීයෙ කොල හය හිතින් ගනිමින්ම ඇහුවා.. ඔන්න ඔහේ 200කම දීලා දාපන් කියලයි මගෙ හිත දැන් කියන්නෙ..


"ඇති අයියෙ වෙනදටත් බස් නැති උනහම මේ හරියෙන් මන් ත්‍රීවීල් එකේ යන්නෙ රුපියල් 150ටම තමයි.."


"ආ අංගි වැඩ කරන්නෙ මේ ළඟමද ? හැමදාම යන්නෙ මේ වෙලාවටද ?"


"ඔව් අයියෙ..නෑ අයියෙ..මන් වැඩ කරන්නෙ අර එහා ගාමන්ට් එකේ.. අද නයිට්  එක ඉවර උනේ මේ වෙලාවෙ. අයියත් ඉන්නෙ මේ ළඟමද?"


"ඔව් මන් ඉන්නෙ අර ටවුන් එකෙන් ටිකක් ඇතුලට  හැරිලා යන්න ඕනි"


මන් පර්ස් එක අදින ගමන්ම කීවා
"මන් ළඟ පනහෙ කොල නම් නෑ.. දෙසියක්ම දෙන්නම්..ඔයා පොලියත් එක්ක ආයි හම්බ උනහම දෙන්නකො"


මන් හිනා වෙවී කීවා..


"අයියෙ ත්‍රී වීල් එකක් එනවා වගේ..පොඩ්ඩක් ඉන්න මන් ඒක නවත්තනකන්.. තනියෙන්ම ඉඳන් ත්‍රී වීල් වලට නගිනවට වඩා අයියා එක්ක ඉඳන් නැග්ගහම ආරක්ශාවට හොඳයිනෙ අයියෙ"


මම පිටුපාලා ඉන්න පැත්තෙන් මට ඇහුනා ත්‍රීවීල් එකක් එන සද්දෙත් මන් ඒ පැත්තට ඔළුව හරවනවාත් එක්කම..නංගි මගේ ඇඟේ ගෑවී නොගෑවී මාව පහු කරන් අඩි 2-3ක් ඉස්සරහට යන කොටයි දැක්කෙ..ඈ සැබවින්ම සුරූපී තරුණියක්..මේ වෙලාවෙ ත්‍රීවීල් එකක තනියෙන් යනවා කියන්නෙ මෑගේ ..මට මගේ මනසේ මැවිලා පෙනුනෙ ටීවී එකේ , පත්තර වල තියෙන දහසකුත් එකක් අපරාධ..මට තාම පේනවා ත්‍රී වීල් එක ඈතින් එනවා..


"නංගි ඔයාට තනියෙන් ත්‍රීවීල් එකේ යන හොඳ නෑ වගෙයි. මන් ඔයාව ගෙදරට ගිහිල්ලා අරලවන්නම්..මට ආපහු එන්න බැරියැ"


"අනේ අයියා හරිම හොඳයි. නන්නාදුනන මට සල්ලිත් දුන්නා..මන් කොහොමද තව ඒ වගේ උදව් ඉල්ලන්නෙ අයියගෙන් කියලයි මන් එහෙම ඇහුවෙ නැත්තෙ"


ඈ මට තවත් ලංවෙමින් කීවා.. ත්‍රී වීල් එක අපිට වඩා අඩි 50ක් විතර ඈතින්..ඊට ඉස්සර වෙලා ආපු වෑන් එකක් පාර අයිනෙ නැවැත්තුවත් කවුරුවත් බැස්සෙ නෑ..


"අනේ අයියෙ එහෙනම් මාව ගේ ළඟට ගිනින් දමලා එන්න අයියෙ..මට ඇත්තටම බයයි..මේ වෙලාවෙ ත්‍රීවීල් එකට නගින්න තනියෙන්ම" 


ඈ මගේ අතින් අල්ලා ගත්තා..නහය කඩා ගෙන යන තරමෙ උනත් ඉමිහිරි සුවඳක් මගේ නාසය තුලට රිංගුවා...


ඈ ත්‍රී වීලයට අත දැම්මා.. බ්‍රාස් ගාලා ඒක නැවැත්තුවෙ අපි හිටි තැනට අඩි දෙක තුනක් ඉස්සරහින්...


ඈ මගේ අත තවත් තද කරලා අල්ලා ගනිමින්ම මාත් එක්කම මාර ගහේ අඳුරු සෙවනැලි වලින් අර හදමින් තිබ්බ බිල්ඩිමේ එලිය වැටිච්ච ආලෝකමත් උනු ප්‍රදේශයට ආවා..


පාරෙන් එහා පැත්තෙ තිබ්බ වෑන් එකේ පැත්තක වීදුරුව ඇරෙනවා එක්කම යම් රතු පාට අඳුරු දීප්තිමත් ආලෝක තිතක් ඒ තුලින් මන් දැක්කෙ මගේ ඇහේ කොනකින්..මෙච්චර වෙලා හොඳ ප්‍රානවත්ව මගේ සිරුරේ සමබරතාවය රඳවා ගෙන හිටි කකුල් දෙකේ ප්‍රධානම පුරුක දනිස් දෙක පණ නැති උනේ ත්‍රී වීල් එකේ පිටි පස්සෙ අඳුරු සීට් එකේ ඉඳලා අපි හිටපු ඉස්සරහට බැහැපු දෙන්නා දැක්ක විගසමයි. ඒ එක්කම ත්‍රී වීල් එක ඔවර් ටේක් කරලා නවත්තපු ලොකු වාහනෙ දුටුවහම මන් රෑට කාපු කෑම පවා දිරවන එක නවත්තලා බඩ ඇතුලෙම කැරකෙන්න උනා..


"අනේ අයියේ.."


හොඳටම බියපත් උනු මුව පොව්වෙක් වාගේ ඈ මගේ අත තවත් තදින් අල්ලා ගෙන මාව තුරුල් කර ගත්තා අනිත් අතින්...


------------------------------------------------------------------
මතු සම්බන්ධයි...
ලියන්නා තව දුරටත් තම විනෝදාංශය කර ගෙන යයිද ?

Friday, June 29, 2012

භූමි කම්පා...


පොඩි කතන්දර දෙකක් හදිසියෙම කොටන්න හිතුවෙ පහු ගිය දවස් ටිකේම නිඔහිතුව විදියට මට පට්ට බිසි වෙන්ඩ උනු නිසාමයි. මන් සාමාන්‍යයෙන් මෙච්චර බිසි වෙන්නෙම නෑ..ඒත් ළඟ ළඟම වැඩ ගොන්නක්ම ඩෙඩ් ලයින්ස් එක්කම ආපු නිසාද මන්දා..
මේ කතන්දර දෙක තුනම භූමි කම්පා ගැනමයි..


ඉතාලිය කියන්නෙ පහු ගිය දවස් කීපය පුරාවටම භූමි කම්පා නිසා හෙලවෙච්ච රටක් වෙච්චි..අපේ ආදරණීය සොයුරියක් ඉන්නවනෙ එහෙ..චැට් කරන වෙලාවට අපි කියන්නෙ අනේ පරිස්සම් වෙන්ඩ දෝනා කියලයි..ඒතකොට එය කියන්නෙ අපි ඉන්නෙ උඩ තට්ටුවක කොහෙ පරිස්සම් වෙන්ඩද මුලින්ම කඩන් වැටෙන්නෙ පහලට බහින්න තියෙන තරප්පු පේලි තමයි කියලයි..අපේ ඇඟත් කිලිපොලා යනවා ඔය වෙලාවට මොකද බලලා තියෙන ච්ත්‍රපටි වල තියෙන සීන් එහෙම මතක් වෙලා..අනෙ මන්දා මන් ප්‍රාර්ථනා කරන්නෙ දන්න කියන අය විතරක් නෙවෙයි..කාවවත්ම මොනම විපතකටවත් පත් වෙන්න එපා කියලයි..
ඉතින් ලංකාවෙත් පොඩි පොඩි භූමි කම්පා 2-3ක්ම ඇති උනානෙ පහුගිය දවස්වල බිල්ඩින් වල හිටි අයට දැනුනලු.. ඔය කියන වෙලාවල් වල මන් හිටියෙ බස් වල.. ඉතින් කොහෙ දැනෙන්නද?



ඉතින් ඔය අපේ ඉතාලි සොයුරිය ලංකාවට ආපු මේ දවස් ටිකේම එක දවසක අපේ හමුවක් තිබ්බා.. හරිම සොඳුරු හමුවක්..සොයුරි සොයුරියො ටික තව පොඩ්ඩෙන් ගාළු මුවදොර භූමි කම්පාවක් කරන්න ගිය වගක් තමයි ආරංචෙ වෙන්නෙ..




එතෙන්දි අපිට තෑග්ගක් විදියට ලැබිච්ච ග්‍රීන් එක තාමත් මන් ළඟ සුරක්ශිතව තියෙනවා..හැබැයි කොයි කාලෙකටද මන්දා ?ඉවසුම් නැතුව මන් ළඟදිම ඕක ඕපන් කරනවා..


ඔය බෝතලේ ගැන මන් මගෙ යාළුවො ටිකක් එක්ක කියෙව්වා..ළඟදි දවසක,


"මචන් අර ග්‍රීන් එක ගහමුද?"


"බෑ බෑ ඒක ගහන්න වෙනම සෙට් එකක් ඉන්නවා"


"ඉතින් බන් උන්ට කියමු ඒ බෝතලෙ බිම වැටිලා බිඳුනා කියලා"



"පිස්සුද බන් එහෙම කවුද විශ්වාස කරන්නෙ ?"


"මොකෝ නැත්තෙ අර බෝතල් දෙකට උන විදිය මතකද ?"


"ඒ මොකද්ද බන්?"


කට්ටිය හිනා කනවා..සිද්ධිය මතක් වෙලා.. මන් දන්නෙ නෑ එහෙම බෝතල් ඩෙකකට වෙච්ච දෙයක් ගැන..


"කියකො කතාව"


"අර පාටිය ඉවර වෙලා බෝතල් දෙකක් ඉතුරු උනා"


"ඉතින්?"



"ඒ ඉතුරු වෙච්ච දෙක ගැන ඇහුවා මේ ළඟදි ..මන් කිව්වා අර භුමි කම්පාව වෙච්ච වෙලාවෙ මේසෙ හෙල්ලිලා ඒක වැටිලා බිඳුනා කියලා"


"ඇත්තටම එහෙම උනාද ? එච්චර හෙල්ලුනෙ නෑනෙ බන්"


"පිස්සුද බන් ඒ වෙනකොට ඒවයෙ මූඩිවත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ ආන්න ඒවගේ හොඳ පිලි ගන්න පුළුවන් උත්තරයක් දෙමු බන් උඹගෙ යාළුවන්ට"


ඔහොම භූමි කම්පා කතාව යන අතරේ තව එකෙක් ඇහුවා..






"අර භූමි කම්පාවට බෙහෙත් බීපු කතාව දන්නවද ?"



"නෑ.. මොකද්ද වෙලා තියෙන්නෙ?"


"ඔය මිස් හිටියෙ ඒ වෙලාවෙ තුන් වෙනි තට්ටුවෙ..භූමි කම්පාව වෙලා..ටිකකින් හැමෝම කලබල වෙලා තම තමන්ගෙ සෙක්ශන් වලට ගිහින්.. මෙයාගෙ යාළුවෙක් යන කොට මෙයා බෙහෙත් බොනවළු..යාළුවා අහලා ඇයි බෙහෙත් බොන්නෙ කියලා.. එයා කියලා අනේ මාව විසික්වෙලා යනව වගේ කලන්තයක් ආවා..ඒකයි මන් බෙහෙත් බීවෙ කියලා"


හැමෝම හිනා කනවා..


"වෙලා තියෙන්නෙ අර කම්පනයට එයා වීසි වෙනවා දැනිලා තියෙන්නෙ එයාට කලන්තයක් හැදිලා විසි උනා කියලයි"


ඔහොම කියලා හිනා වෙලා අපි ආයිමත් අපි කරමින් හිටි අපේ වැඩ ගොඩ දිහාවට  හැරුනා..


හම්මේ හොඳ පණ යයි මේ ටික ඉවර වෙන කොට...




Wednesday, June 27, 2012

තහනම් ෆොටෝ ගැහිල්ල.. තහනම් නැත..


මගේ සිත්තර වලටත් තියෙන ඉල්ලුම වැඩි වෙන නිසා ඕන් අදත් ඇන්ඳා අද කතාවට සරිලන එකක්..






ඔයිට ඉස්සෙල්ලා දවසක මන් දැක්කා බත්තරමුල්ල හරහා යනකොට ඔය දියවන්නා හරියෙ හොඳ ලස්සනට හදලා බංකු හයි කරලා හවස් ජාමෙ ගත කරන්න කදිමට සකසලා තියෙනවා. ඔතන දකින කොටම මට මතක් උනේ කාලෙකට ඉස්සර ඔය හරියෙ ගොල්ෆ් ගහන්න පිට්ටනියක් හැදුවා..ඊට පස්සෙ පෙම් උයනක්දෝ මොකද්ද එකකුත් කරලියට ආවා.. දැන් හරි ගස්සලා තියෙන්නෙ ඒ පෙම් උයනමද මන්දා..පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙම ඉතින් මට මෙතන පහු කරන් යනකොට හිතුනා දවසක හවසක එන්ඩ ඕනි මෙතනට... පෙම් කෙලින්ඩ කියලද නෑ පිංවතුනි..ෆොටෝ ටිකක් ගන්ඩ කියලා.. අපි ඔහොම පෙම් කෙලිය කාලෙ ගියා නොවැ..කබාය ඉරිලා කවුරු දකින්නද මා දැන් මහලු වියේ ..කිය කියා ඉන්න අතරෙ ඉතින් දැන් හොඳ ෆොටෝ ගන්න තමයි මේ වගේ තැන්..ඉතින් මමත් කැමරාව සහ ට්‍රයිපොඩ් රාජයාත් එල්ල ගෙන ගියා ඔතනට.. බංකු නම් ගොඩාක්ම වගේ හිස් මොකද එතකොටත් එතන අව්ව නිසා..මන් දැන් අවට තියෙන දේවල් මට වැඩක් නැති ගානට..ෆොටෝ ටිකක් ගන්නවා..


"කොහෙද ඉන්නෙ ?"


කියලා මගෙන් අහන සද්දෙකට මමත් ඔළුව උස්සලා බැලුවා. හෆ්ෆට සිරි පොලීසියෙ මල්ලි කෙනෙක් Environment Pilice Unit.. කියලා කබායකුත් දමා ගෙන..මන් ඉන්නෙ කොහෙද කියලත් මට අමතක උනාද මන්දා.. 


"මන් ඉන්නෙ අහවල් තැන ..."


කියලා කීවා. 


"ෆොටෝ ගන්ඩ අවසර අරන්ද තියෙන්නෙ ?"


හුටාහ් මෙතන මේ පොදු ස්ථානයේ ෆොටෝ ගන්ඩ අවසර ගන්නත් ඕනිද කියලා හිතපු මන්..


"නෑ..මෙතන ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ ඕනිද ?. මන් දන්නෙ නෑ..කාගෙන්ද අවසර ගන්ඩ ඕනි?"


මන් ඇහුවා,


"ඔව් නාගරික සංවර්ධන අධිකාරීයෙන්" 


ඒ එක්කම මට මතක් උනා ඔය හරියෙ මොකද්ද බෝඩ් එකක් ගහලා තිබ්බා නාගරික සංවර්ධන අධිකාරියේ අයිතිය ප්‍රකාශ කරල නම් නමුත් ඒ බෝඩ් එකේ ෆොටෝ ගැනීම තහනම් කරලා නම් තිබ්බෙ නෑ..


"මන් ඒ වගක් දන්නෙ නෑ. මන් විනෝදාංශයටයි ෆොටෝ ගන්නෙ..මන් හිතුවෙ ඔය පාර්ලිමේන්තුව අවට වගේ ගන්නවනම් තමයි අපිට අවසර ගන්ඩ ඕනි කියලයි. මොකද මන් ඊළඟ දවසෙ එන්න ඉන්නෙ ඒ හරියට..මන් හොයලා බලන්ඩ හිටියෙ ඒ හරියෙ ෆොටෝ ගන්නවනම් ආරක්ශක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනිද කියන එක. මේ හරිය පොදු තැනක් නිසා මන් හිතුවෙ අවසර ගන්ඩ ඕනි නෑ කියලයි"


මන් කියෝනවා..පොලිස් මල්ලි අහන් ඉන්නවා..


"මන් වැඩ කරන්නෙ අහවල් තැන මන් හොයලා බලන්නම්".


"අනික මෙච්චර ලස්සන තැනක් දැක්කහම අපරාදෙ ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩත් වෙලා තියෙන්නෙ.. බලන්ඩ අවුරුදු ගානකට ඉස්සෙල්ලට වඩා මෙතන පරිසරය කොය්තරම් ලස්සනද ?"
 මන් උවමනාවෙන්ම එයාගෙ පරිසර කබාය දිහා බලනවා පෙන්නුවා. 


"මන් දැන් ෆොටෝ ගන්ඩ එපාද ?"


මන් අන්තිම තුරුම්පුව ගැහුවා,


"නෑ ෆොටෝ ගන්ඩ ආයි ගන්න කොට අපිට කියලා ගන්ඩ "


බළලා මල්ලෙන් පැන්නා එලියට.. 


"ඕ මන් දැක්කෙ නෑ ඉස්සෙල්ලා..මේ ලස්සන වලාකුලු ටික නිසයි මන් ටක් ගාලා ෆොටෝ ගන්ඩ හිතුවෙ" 


එයා ගියා..මන් මගේ ෆොටෝ ටික අරන් ආවා ගෙදර..


එන ගමන් සහ මේ වෙනකම්ම මට මතක් උනේ ලංකාව කියන්නෙ ලස්සනම රටක්..හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ අපිට ඕකෙ ලස්සන පේන්නෙ නෑ. ඒත් පිටරට ඉඳලා මෙහෙ එන අය කියන කතා කියද්දි සහ ඒ අයගේ ඇහෙන් ඒ ලස්සන දකින්න උත්සාහ කරද්දි අපිට පේනව ඒ ලස්සන කොයිතරම්ද කියලා. ඒත් මේ ලස්සන අපිට ජායාරූප ගන්න තනම්ද ? මේක අපේ රට අපි ලාංකිකයො විදියට මේ ලස්සන ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරෙ හිඳෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට තමයි. ත්‍රස්තවාදී කලබල තිබුනු කාලවලදි අධි ආරක්ශිත කලාප වල ෆොටෝ ගත්ත එක තහනම් උන එක හරියි කියමුකො. ඒත් දැන් ? 
සමහර විට තාම ආරක්ශක අංශ ඉන්නෙ සැකෙන්ද මන්දා ? එහෙනම් ඒ සැකේ ඉවත් කර ගන්ඩ දැන් හොඳටම කාලෙ ඇතිනෙ කියලත් තිබුනා..රටේ ලස්සන තැනක් දැක්කහම ෆොටෝ ගන්ඩ පොලීසියෙන් අවසර ගන්න ඕනිද කියන නීතිමය තත්වය හොයලා බලන්ඩ ඕනි..හැබැයි එතකොටත් තව ගෑණු ලමයි දෙන්නෙක් සාමාන්‍ය කැමරාවකින් ඒ අයගේ ෆොටෝ ගන්නවා මන් දැක්කා. ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාතිකයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි.  කොහොම උනත් එතන මාත් එක්ක කතා කල පොලිස් නිළධාරියා බොහොම ආචාරශීලීව කතා කල බව නම් නොකියාම බැහැ. ඒ නිසාම කීව කතාව එච්චරම සැරට මට දැනුනෙත් නෑ. ඒත් අවට ස්වභාව සෞන්දර්‍යය ජායාරූප ගත කරන්න පොලීසියේ අවසරය ඕනිද කියන ප්‍රශ්නය මගේ හිත ඇතුලෙ කැකෑරෙනවා තදටම...


ඉතින් ඔන්න එතෙන්ට ගිහින් ගත්ත ෆොටෝ 2-3කුත් ..











බලන්ඩකෝ..හවසක නිවාඩු පාඩුවෙ බංකුවක් උඩ ඉඳ ගෙන ඉන්ඩ කියාපු පොට් එක..


ප.ලි. 
මන් මේ ගැන ඇහුවා පොලීසියෙ ඉහල නිළධාරියකුගෙන් ඔහු කීවෙ ඒ ප්‍රදේශය ගැන ටිකක් ආරක්ශාව අතින් තදයි..ඒ නිසා ඔයා එතන හිටිය අයට පොඩ්ඩක් කතා කලා නම් ඒ අයට වැටහෙනවා ඔයා ෆොටෝ ගන්නෙ මොකටද කියලා. අරමුණ පැහැදිලීයි දෙගොල්ලන්ටම.. එතන අවසර ගන්නවා කියන අර්ථය නෙවෙයි තියෙන්නෙ..දෙගොල්ල අතර හදා ගන්නවා කියන එකයි..මගේ වැරැද්ද එහෙම නැත්නම් අතපසු වීම උනේ එතන..ඒක නොවුන නම් පෝස්ට් එකක් ලියන්න දෙයක් උනත් නැති වෙනවා..ඊළඟ සැරේ මන් දන්නවා කොහොමද පටන් ගන්න ඕනි කියලා..

Monday, June 25, 2012

සමහරක් පෙරහරක් බැලූ හැටි..


මන් සතියකට විතර ඉස්සෙල්ලා ඉඳන්ම මූනු පොතේ පොඩි ප්‍රචාරයක් දුන්නත් මේ පෙරහැර බැලුවෙ මන් විතරයි තට්ට තනියෙන්ම..
මේ ජීවිත කාලෙටම පෙරහැරවල් කොයිතරම්ම නම් බලලා ඇද්ද කියලා කම්මැලි කම පෙර දැරි කරගෙන ගෙදර ඉන්න මට නම් හිත දුන්නෙම නෑ. ඒ නිසාමත් කොහොමත් මගේ ප්‍රියතම රාත්‍රී ජායාරූපකරනය නිසාමත් මම සහ කැමරා රාජයා ඔය පෙරහැර බැලුවා..



කවුද මන්දා කතන්දරයක් හදලා තිබ්බා මන් හොඬේ වන වනා පෙරහැරේ යනවා දැක්කා කියලත්..ඒක අමූලික ඔරුවක් කියලා මන් මේ වෙලාවෙ වගකීමකින් ප්‍රකාශ කරන්ඩත් කැමතී..
ඒ අතරේ අපි කවුරුත් දන්න කියන පාල මාමා දුමී බබාට  සහ පැට්ටා  බබාට කිරි බොන්ඩ ඕනියි කියලා තිබිලා ඕන්න ඔය රාජකාරියත් එදාම දමා ගෙන තිබුනට මට ඔය කිරි බොන මංගල්‍යයට යන්ඩ බැරි උනා..ඒ ගැන දුකක් හිතුනත් මොනා කරන්නද ඉතින්..


ඒකටත් එක්ක අර මඩ කියන වචනෙ එක්කම කියවෙන කෙනා සහ හා පැටවුන් දෙදෙනෙක්ගෙ සාඩම්බර හිමිකාරී... මන් කවදක්කවත් බාබාලා කිරි බොනවා සහ බබාලට කිරි පොව්වනවා දැකලා නෑ කෝමත් ඔය වගේ ඒවා අනාගත්ත දවසකට..නෑ නෑ අනාගතයේ දවසකට හරි පොරෝජනයි කියලා එතෙන්ට ගියාය කියලනම් ආරංචියක් ආවා..


ඒ අතරේ මඩ ගහනවා කියලා තුන් හිතකවත් නැති සුපේශල , ශික්ෂකාමී මට තැන් කීපෙකම මඩ ගහලය..ඒ මඩ වල තිබ්බ ගල් කැට වලට මගේ හඳ වගේ  මූණ හීරිලාය කියන ආරංචියට මට දුරකතන ඇම්තුම් දීලා දුක සැප හොයපු අයට මගේ අවංක, ආදර, රාගනීශ්‍රිත (පොතක තිබිලා අහුලගත්ත වචනෙ තාම තේරුම නම් දන්නෙ නෑ. වචනෙ ලස්සන නිසා මෙතනට එබුවා ) ස්තූතිය..
































අපි දකින්නෙ පෙරහැරේ ලස්සන මේ අන්තය විතරක් උනාට..මේ ලස්සන පෙරහැරේ සංවිධානය කටයුතු වල ඉඳලා අවසන් වෙලා තවත් දවස් ගනනාවක්ම යන කම්ම ඇදිලා යන භාරදූර වැඩ ගොන්න පිටුපස්සෙ හිටිය බාල තරුණ මහලු මිනිසුන් රාශිය ආදරයෙන් සිහිපත් කරන ගමන්ම මන් මේ ෆොටෝ ටිකත් බෙදා ගන්නම්..




ආයි ඉතින් මේ වගේ පෙරහරක් බලන්න ඊළඟ අවුරුද්දෙ මේ කාලෙ වෙනකම්ම ඉන්න වෙනවා..

Friday, June 22, 2012

රාජයියගෙ පෙත්ත...

මම පහුගිය දවසක පොඩි අසනීපයක් වෙලා බෙහෙත් ගන්න ගියා. මන් එතනට යනකොට අපේ අසල්වැසි රාජයියත් බෙහෙත් ගන්න ඇවිත් හිටියා.


පොඩි අසනීපයක්ය කීවහම මේක ගැන රටේ ලෝකයා අනීවාරතේ එක එක කතන්දර හදන්න ඉඩ තියෙන නිසාම කියන්නම් මොකද උනේ කියලා. මේ කතාවෙ කිසිම චරිතයක් බ්ලොග් ලෝකෙ හා සම්බන්ධ නැති නිසාත්..මේ බ්ලොග් කියවන්නෙ නැති නිසාත් බය හැක නැතුව කියලා දැම්මැහැකි... මන් පහු ගිය දොහක ගියා අඳුරන මල්ලි කෙනෙක්ගෙ මල ගෙදරක. බස් එකෙන් බැහැලා කිලෝමීටරයක් විතර පාරෙ ඇතුලට යන්න සිද්ධ උනා. යනකොට තුන් රෝද රියක ගියත්...ආපහු එනකොට තුන් රෝද රියක් හොයා ගන්න වෙච්ච අපහසුව නිසාම..එතකොටත් ඒ මල ගෙදරට ගිහින් හිටපු අපේම යාළුවෙක් අපේ බලවත් නමුත් පිටතට නොපෙන්නපු අකමැත්ත විරෝධය හමුවෙ එයාගෙ බයික් එකේ අපිව පාරට ගෙනත් දමන්න දත කෑවා. අකමැති වෙන්න හේතුව තමයි අපි හැමෝටම ආපු මරණ බය නිසායි..එක්කෝ බයික් එකේ තිබ්බ මොනාහරි පාර්ට් එකක් ඇඟේ ඇනිලා පැය දෙක තුනක් ඇතුලත පිටගැස්ම හැදෙන්න ඉඩ තිබ්බා..නැත්නම් ඉතින් තමන් බයික් එකේ යන්නෙ මාරයා එක්කයි කියලා ලොකු ජීවිත බයක් හිතට එන්න තිබ්බා..ඔය සේරම මධ්‍යයේ ඉස්සෙල්ලාම ඔය අවදානම ගත්ත මල්ලි මාව එතනට ගෙනත් දමන කොටත් තමන්ගේ කොන්ද අත ගගා බස් හෝල්ට් එකේ ඉන්නවා..එහෙමට අතවරයක් වෙන්න කාලයක් නොතිබ්බ නිසාත් මන් ඇහුවමයි කතාව තේරුනෙ..බයික් එක ඇවිත් තියෙන්නෙ පාරෙ වලවල් වලින්මයි..ඔය වලවල් වල වැටිලා ශොක්ස් බින්දුවටම බැහැපු බයික් එකක පිටිපස්සෙ එන කෙනාගෙ ශෝචනීය තත්වය ඕනිම කෙනෙකුට හිතා ගන්න ඇහැකිනෙ..මටත් උනේ ඔය ඇබැද්දියමයි..වලවල් 2-3ක වැටිලා ඇමැට්ටි වෙච්ච කොන්ද ආයි ඇදුම් කන්ඩ වෙච්ච නිසා ඒකට බෙහෙත් ගන්නයි මන් ඩොක්ටර් ළඟට ගියේ...


මමත් ගිහින් ඩොක්ටර් හම්බ වෙන්න පෝලිමේ රාජයියා ළඟින් වාඩි උනා..


"මොකද රාජයියෙ?"


"උන හැදිලා දැන් දවස් 4-5ක්ම වෙනවා"


"ඉස්සෙල්ලා බෙහෙත් ගත්තෙ නැද්ද?"


"අනේ නෑ මල්ලි"


"මේ දවස්වල ඩෙන්ගු අරෙහෙම මෙහෙම තියෙන කාලෙ එහෙම උන නොසලකා ඉන්න එපා රාජයියෙ"


මන් හිතේශිවන්ත කමට උපදෙසකුත් දුන්නා.


"ඔව් ඔව් මල්ලි ඒක ඇත්ත..මේ පහු ගිය දවස් වල සල්ලි පොඩ්ඩක් අමාරුකම් තිබුනා. ළමයි සල්ලි එව්වෙත් නෑ. ඉතින් පැන්ශන් පඩිය හම්බ වෙනකන් ඉන්න උනා"


මට ඇත්තටම දුකක් ඇති උනා. රාජයියගෙ දූලා පුතාලා ඔය අරාබිකරයෙ තමයි වැඩ කරන්නෙ. ඒ ගොල්ලො රාජයියට සහ හාමිනේට සල්ලි එවනවා කාලෙන් කාලෙට. ඒ වගේම ඔය පැන්සන් එකෙන් තමයි ඒ ගොල්ලො ජීවත් උනේ.


"ඉතින් රාජයියෙ ඒ වගේ වෙලාවක අපිට කියන්න. අපි අතේත් සමහර දවසට සල්ලි නෑ..සමහර දවසට සල්ලි තියෙනවා..උදව් කරන්න පුළුවන් වෙලාවක ඉතින් කරන්නම්කො"


කෘතඥපූර්වකව ස්තූති කල රාජයියා ඩොක්ටර් ළඟට ගියා. ඊළඟ වාරෙ තිබ්බෙ මට. මගේ පොඩි කොන්දෙ කැක්කුමක් අල්ලලා ඒකට බෙහෙත් ගේන්නයි ගියේ..ඩොක්ටර් නියම කරපු බෙහෙත් ටික අරන් ඒ බෙහෙත් සාප්පුවටම  අල්ලපු ෆාමසියට ගියා මගේ ටැබ්ලට් එක වර්ගයක් ගන්න. එතකොටත් රාජයියා එතන බෙහෙත් ගන්නවා. රාජයියගේ බෙහෙත් වල බිල දැක්කහමයි මට තව දුක හිතුනෙ..එතන රුපියල් 1500 ක් විතර..මන් කල්පනා කලා යකඩෝ උණ බෙහෙත් වලට යන වියදමක් කියලත්. 
ඔහොම මගේ බෙහෙත් ටිකත් අරන් දැන් අපි දෙන්නා කතා කර කර එනවා ආපහු ගෙදරට.


"ඈ රාජයියෙ රු.1500 ක බෙහෙත්ම ඔය උණටද?"


"නෑ මල්ලි මගේ මේ අනිත් ප්‍රෙශර් වලටයි හාර්ට් වලටයි ගන්න සේරම බෙහෙත් ගත්තෙ"


"අයියට ඉන්සුවරන්ස් එකක් නැද්ද ? ඕවා ක්ලේම් කරන්න"


"නෑ මල්ලි"


"මන් නම් මේ බිල් ටික සේරම සල්ලි ගන්නවා ඉන්සුවරන්ස් එකෙන්"


"මල්ලි ඔය ටැබ්ලට්ස් වලටත් ක්ලේම් කරන්න පුළුවන්ද?"


"ඔව් අයියෙ"


"අනේ මල්ලි එහෙනම් දැන් එකම දවසෙ එකම තැනින් ගත්ත නිසා ඔය බිල් ටික එක්ක මගේ බිල් ටිකත් දමලා මට සල්ලි අරන් දෙන්නකෝ..මල්ලිත් ගානක් තියා ගන්න"


ඇත්තටම මගෙන් එන්න ඕනි යෝජනාවක් වෙච්ච ඒක රාජයියගෙන් ආපු එක ගැන මට පොඩි පහේ ලැජ්ජාවකුත් නො ආවාම නෙවෙයි.


"ඔව්නෙ රාජයියෙ..මට ගානක් ඕනි නෑ..එහෙනම් ඔය ප්‍රෙස්ක්‍රිප්ශන් එකත් එක්කම මට දෙන්න බිල් ටික. මන් මගේ ක්ලේම් එකට ඒ ටිකත් දමන්නම්"


රාජයියා ආයිමත් කෘතඥතාපූර්වකව ස්තූති කරලා බිල් ටිකයි ප්‍රෙස්ක්‍රිප්ශන් එකයි මට දුන්නා.


"රාජයියට මේ ප්‍රෙස්ක්‍රිප්ශන් ටික ආයිමත් ඕනිද?"


"එපා මල්ලි මන් ළඟ වෙන ටිකක් තියෙනවා"


ඇත්තටම අපි ඉන්සුවරන්ස් එකක් ගන්න කොට නම් අලි දෙන්නම් කොටි දෙන්නම් කීවට ඒවයින් මොනා හරි ක්ලේම් කරන්න ගියහම තමයි හම්බ වෙන්නෙ හා බෙටි කියලා තේරෙන්නෙ. මගේ මෙඩිකල් ඉන්සුවරන්ස් එකත් එමමයි. මොනා හරි වෙලා බිලක් දැම්මහම තියෙන ආරලු බූරලු සේරම චෙක් කරලා නොගෙවා ඉන්න දඟලන එකක් මිස ගෙවන එකක් නම් නෙවෙයි. ඔය ගැන හිතේ එකතු වෙච්ච කේන්තිය මන් පිරි මහා ගන්නෙ මේ වගේ දේවල් වලින්ම තමයි. 
පස්සෙ දවසෙ මන් සේරම බිල් ටික එකතු කරලා ක්ලේම් එක රුපියල් දෙදාස් ගානක් තිබ්බාමයේ හිතේ..ඒක දැම්මා මගේ ඒජන්ට් හරහා..
ඊයෙ පෙරේදා දවසක එනවා මිනිහගෙන් කෝල් එකක්.


"හරිද මගේ ක්ලේම් එක ? කවද්ද සල්ලි ගන්න පුළුවන්"


"සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර බිල් වලට නම් ගෙවන්න බෑ සර්. මන් කතා කලෙත් ඒක කියන්ඩයි. රුපියල් හයසිය ගානක් තමයි සර්ට ක්ලේම් කරන්න පුළුවන්"


මට පහු ගිය තිබ්බ කෝන්තර සේරම එකතු වෙලා ඔළුවට යක්ශයා ආරූඨ උනා..


"මොනාද අයිසෙ බලනවා මන් ප්‍රීමියම් එකම මාසෙකට කීයක් ගෙවනවද කියලා. ඉන්සුවරන්ස් එක ගන්න යන කොට නම් ඔය ක්ලේම් කරන්න බැරි ඒව ගැන කීවෙ නෑ..දැන් බිල් දානකොට තමයි මේ සේරම. මට දැන් ඇති වෙලා තියෙන්නෙ තමුසෙලාගෙ මේ ඉන්සුවරන්ස් එක..ඉන්නවා මන් කන්සිඩර් කරලා තියෙන්නෙ මේක නවත්තලා වෙන එකකට යන්න"


"සර් සර් පොඩ්ඩක් ඉන්න මම අපේ බොස්ට දමන්නම්."


මන් බොසාටත් කීවා මගේ සේරම කේන්තිය පිට කරලා.


"මේකයි මිස්ටර් ලියන්නා මන් ආයිමත් ඔබතුමාගෙ පොලිසි එක චෙක් කරලා බලලා රිකන්සිඩර් කරන්නම් ඔය කියන ක්ලේම් එක කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සෙ පසන් (මගේ ඒජන්ට්) අතේ විස්තරේ කියලා එවන්නම් අදම."


අදම ???!!! එවයි අදම බම්බුව ! මන් හිතෙන් බැන බැනම ෆෝන් එක තිබ්බා. පව් දැන් මන් රාජයියගෙ සල්ලි දෙන්නෙ කොහොමද ? මගේ බිල් ටික රුපියල් හාරසීය ගානයි. එහෙනම් රාජයියගේ බිල් වලින් එකක් විතරයි පාස් වෙලා ඇත්තෙ..
මාව පුදුමයට පත් කරමින් හවස මෙන්න පසන් එනවා මාව හම්බ වෙන්න. මිනිහාගෙ මූනෙ තිබ්බෙ අමුතුම හිනාවක්.
වැඩේ හරි ඇති..මමත් යන්තම් සැනසුම් සුසුමක් හෙලුවා..


"සර් මෙන්න සර්ගෙ චෙක් එක"


මිනිහා හිනා වෙවීම කිව්වා.
මමත් හිනා වෙමින් චෙක් එක තිබ්බ ලිපි කවරය අරන් කඩලා බැලුවා..


"කෝ චෙක් එකේ තියෙන්නෙ රුපියල් හයසීය ගානයිනෙ..?"


මන් ඇහුවා පසන්ගෙන්.


"සර් ඔය අපේ පොලිසි එකෙන් සර්ට ගෙවන්න පුළුවන් කවර් වෙන ගාන කීවා. අපේ බොස් මෙන්න මේ ලියුම සර්ට දෙන්න කීවා. ඒ එක්කම මේ අනිත් ලියුම් කවරේ තියෙනවා සර්ගෙ ක්ලේම් කරන්න බැරි බිල් ටිකයි ප්‍රෙස්ක්‍රිප්සන් ටිකයි... බායි සර්"


පසන් හිනා වෙවීම තමන්ගෙ අතේ තිබ්බ හෙල්මට් එකත් අරන් වන වනා යන්න ගියා.


මට ආපු කේන්තියක්...


රහසිගතයි කියලා ගහලා තිබ්බ ලියුම් කවරේ මන් ඇරලාඅ බැලුවා. ඒකෙ තිබ්බෙ මගේ පොලිසි එකේ පිටපතක් සමහර ලයින් හයි ලයිට් කරලා..
ලියුමේ තිබ්බ එක වාක්‍යයක් දැක්කහම...




...Your insurance policy will not be covered prescribed medicine for impotency...


.....මෙම දුර්වලතාවයට ලබා ගන්නා ඖශධ සඳහා මුදල් ගෙවීම ඔබගේ රක්ෂණය මඟින් ආවරණය නොවන බව කාරුණිකව සලකන්න..


රාජයියගෙ බෙහෙත් වල ක්ලේම් කරන්න කියලා මට දීපු   බිල් ටික මන් ආයිමත් හොඳට චෙක් කරලා බැලුවා..


හත් දෙයියනේ...


දැන් නම් ආයි ඒ ඉන්සුවරන්ස් ඔෆිස් එකට ගිහින් හමාරයි.. පසන්ගෙ මූණෙ තිබ්බ අමුතු හිනාවෙ තේරුම මොකද්ද කියලා තේරුනෙ ඒ වෙලාවෙයි..


වතුර වීදුරුවකට දමපු ඩිස්ප්‍රීන් පෙති දෙක දිය වෙලා යනවා වගේ මගෙ මනසෙන් ඒ ඔෆිස් එකේ ඉන්න ඇහැට කනට පෙනෙන දැරිවියන්ගේ මූණු ටික දිය වෙලා ගියා.




මෙම චිත්‍රයද මා විසින්ම අරකෙන් අඳින ලද්දකි..
ඒක පිළිබඳ පෝස්ට් එකක් ළඟදීම..

Thursday, June 21, 2012

නැගිල්ලේ අමාරුව..


ඔන්න නගින එක ගැන පොඩි අදහසක් දෙන්න මන් අරකෙන් පොඩි නිර්මානයක් කලා.. මේක පොඩි වංඥාවක් වගේ එකක්ම තමයි..ගූගල් දෙයියන්ගෙන් ගත්ත කටු සටහන් දෙකක් මන් පාට කලා..ඊට පස්සෙ ඒ දෙක එකට මික්ස් කලා.. ළඟදිම අරක ගැන විස්තරයක්ම දමන්නම්..

හොර බොරු මොකටද මේ තියෙන්නෙ ඔරිමජිනල් දෙක..





අළුත් දෑ නොතනන, නොතකන ජාතිය නොනඟී කියලා තියෙන කතාව සම්පූර්නයෙන්ම ඇත්ත. මොකද එච්චර නැග්ගෙ නැති ජාතියක් වෙච්ච අපි දිහාවෙම බැලුවොත් නවෝත්පාදන, නව නිර්මාණ වලට තියෙන අඩු උනන්දුව හොඳටම පේනවා. අතීතයේ යම් කාලයක මුළු ලෝකයටම දෙවෙනි නොවූ අපටම නෛසර්ගිකවූ තාක්ශනයක් තිබ්බ අපි අද ඉන්න තැන ගැන නම් හරිම කනගාටුයි. වෙනත් තැන් වලින් ගෙනාපු දේවල් ගෙඩි පිටින්ම පැල කරන්න ගිහින් තිබිච්ච හොඳ දේවලුත් නැති කරගෙන තමයි අපි ඉන්නෙ..ඔය අතරේ සුළුතරයක් වූ නවෝත්පාදන නැතිවාමත් නෙවෙයි. නමුත් බාහිර පරිසරයෙන් මේ නව නිර්මාණවල බිහිවීමට සහ පැවැත්මට කොයි තරම් පන්නරයක් දෙනවාද කියන එක නම් කතා කරන්න වෙන්නෙ නැවතත් කනගාටුවෙන්ම තමයි.


මේ වගේ ප්‍රවේශයක් ගත්තෙ මන් පහු ගිය ඉරිදාවක ගියා BMICH එකේ ඔය කර්මාන්ත පිළිබඳවූ INCO 2012 ප්‍රදර්ශනය බලන්න. ඔව් ඔව් අපේ රන් මාලු මලයට මේ කියන ඇබැද්දිය උනෙත් ඔතැනදීම ඔය දවසෙමයි. තමන්ගේ වෙන්ඩ ඇඹේනියට ගත්ත බෑග් එක ගෙදරට අහුවෙලා අර තමන් එක්ක ගිය අනිත් කෙනාව සහ එයාගෙ නංගිව පාවලා දීලා ගැලවුනාළු කියලයි ලෝකයා කියන්නෙ..අනේ මන් එහෙම නම් නෙවෙයි ඕම කතා කියන්නෙ......මටත් උදෙන්ම කෝල් කරා ප්‍රදර්ශනයට එනවද අහන්න. ඒත් මන් යන්ඩ හිටියෙ හවස නිසා..උදේ ගියේ නෑ.. මන් ගියා නම් එහෙම ඉතින් මේ ගොල්ලො ගත්ත තව තව දේවල් ගෙදරට අහු උනාම මාවත් අල්ලන්න ඉඩ තියේ.. මාව දන්නෙ නෑ කීවොත්..ඕන් මේ වගේ පෝස්ට් එකක් පෙන්නලා ඒක සහසුද්දෙන්ම විශ්වාස කරවන්නත් තිබ්බා..මගේ හොඳ වෙලාවට මන් උදේ  ගියේ නෑ..







ඉතින් ඕනිම ප්‍රදර්ශනයකට ගියහම මගේ ප්‍රධානම ප්‍රියතම අංගයන්ගෙන් එකක් තමයි ඔය නව නිර්මාණ බලන එක..මෙන්න මේ ප්‍රදර්ශනයෙ තිබ්බ නව නිර්මාන කීපයක්ම..





මේ වෑල්ඩින් කණ්නාඩිය හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක්.




 එක අතකින් වෑල්ඩින් කන්නාඩිය අල්ල ගෙන අනිත් අතින් වෑල්ඩින් කරපු කාලෙ ඉවර වෙයි. මේක සාමාන්‍ය හෙල්මටයක් වගේ අඳින්න පුළුවන් වගේම වෑල්ඩින් කරන්න පටන් ගන්නකොටම ඒක සම්බන්ධවෙලා තියෙන පරිපථයකින් ක්‍රියාත්මක වෙලා අර කළු කන්නාඩියක් විදියට ඒකෙ දෑස් ආවරනය වෙනස් වෙනවා. ඒ කියන්නෙ වෑල්ඩින් නොකරන වෙලාවට සාමාන්‍ය කන්නාඩිය එන නිසාම සැරින් සැරේ  මේක ගලවන්න , දමන්න ඕනි වෙන්නෙ නෑ.. වෑල්ඩින් කරන මුළු කාලය පුරාවටම පැළඳ ගෙන ඉන්න පුළුවන්..






මේ පයිප්ප පද්ධතිය අතින් ක්‍රියාකරවන එකක්. සාමාන්‍ය විදුලියෙන් වැඩ කරන මෝටරයක් වෙනුවට ක්‍රමානුකූලව යොදපු වෑල්ව් පද්ධතියක් මඟින් අතින් වතුර පම්ප් කරන්න පුළුවන් මේ වගේ උඩක තියෙන ටැංකියකට..මේකත් හොඳ නිර්මානයක්..


මේක ස්වයංක්‍රීය පාපිස්සක් අපි පාපිස්සෙ කකුල් පිහින්න මහන්සි වෙන්න ඕනි නෑ. අපි පාපිස්ස උඩට ආවහම ඒකෙ යට තියෙන පාපිසි රෝල කැරකැවිලා කකුල් පිහ දමනවා. මේක සපත්තු සහ සෙරෙප්පු දමා ඉන්න කොට හොඳයි. කොහොමද නිරුවත් යටි පතුලක මෙහෙම උනොත් නම් කිති කැවිලා එහෙ මෙහෙ පැනලා බෙල්ල කඩා ගන්නවා..



මේක ස්වයංක්‍රීයව ගොයම් පැල හිටවන යන්ත්‍රයක්. මේ වගේ ඒවා අපේ වෙළඳපලේ තියෙනවා උනත් මේකෙ මොනා හරි විශේෂත්වයක් ඇති මයෙ හිතේ..සෙනඟ වැඩි නිසා මට අහ ගන්න බැරි උනා..

මෙතන ස්වයංක්‍රීයව බෙහෙත් පෙති නිකුත් කරන මැශින් එකක් තිබුනා..ඒක නිතර අමතක වෙන වයසක අය ඉන්න තැනකට හොඳයි. නියම වෙලාවට එලාම් එකක් වදිනව. ඒ වෙලාවට නියමිත බෙහෙත් පෙති ටික එලියට දෙනවා. ගත්තෙ නැත්තොත් දීලා තියෙන නම්බර් එකකට මෙසේජ් එකක් එවනවා..ඒක නම් මටත් ප්‍රයෝජනවත් වෙයි කාලෙකදි..



මේ බස් එක නම් මාර ප්‍රයෝජනවත් කරන්න පුළුවන් නම්.. ඒක විශාල බස් එකක් වගේ.. ඕනිම ට්‍රැෆික් ඒකක් තිබ්බට ඒකෙ තියෙන රෝද පාරෙ සාමාන්‍ය ලේන් වලින් පිටින් යන නිසා කිසිම බාධාවක් වෙන්නෙ නෑ.. අනික අනිත් වාහන වලට වඩා උස නිසා කිසිම ට්‍රැෆික් එකකට අහු නොවී යන්න පුළුවන්..



මේ මදුරු දැල ඇතුලෙ තියෙන ෆෑන් එකත් පට්ට.  සාමාන්‍යෙන් අපි මදුරු දැල දමන්න අකමැති රස්නෙ නිසයි. මේ ෆෑන් එක සහිත නෙට් එක ඇතුලෙ එහෙම රස්නෙයක් නැති බවයි විකුනන අය කීවෙ..



ගොඩක් තිබ්බ නව නිර්මාන අස්සෙ මට බලන්න උනු ටික ඔච්චරම තමයි..
ඉතින් අපිත් මේවා බලලා අපි රැඳිලා ඉන්න ක්ශේත්‍රයේ මොනා හරි අළුත් දෙයක් හදන්න හිතනවනම් අපිටත් නඟින්න පුළුවන්. නව නිර්මාණ විදියට ළමයි හදන්න විතරක් හිතා ඉන්න ඔබලාත් අදම හිතා ගන්න මොනා හරි නව නිර්මාණයක් කරන්නෙ..!

ඒ ළඟම තිබ්බ පොලිස් අපරාධ අංශයෙන් ඉදිරිපත් කරලා තිබ්බ අපරාධ ස්ථානයක කොහොමද ඒ ගොල්ලො ඒ අපරාධය අනාවරනය කර ගන්න කරන ක්‍රම සහ විධි පිළිබඳ ප්‍රදර්ශන කුටිය හැමෝගෙම ආකර්ශනය ඇද ගත් තැනක් උනා. බලන්නකො ඒකෙ ෆොටෝ ටිකක්.






මේ ක්‍රම සහ විධි රාශිය හොඳටම අධ්‍යයනය කරපුවහම කෙනෙකුට හැබෑවටම නව නිර්මාණශීලීත්වයෙන් යුතුව තමන්ගේ කරන්න ඉන්න යම් කටයුත්තක් කරන්න ලොකු ඉඩ හසරක් ලබා දෙනවා නේද කියලා හිතමින් මන් ඉතින් ගෙදර ආවා..ගෙදර කීවටම ගෙදරටම නෙවෙයි..