ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, June 6, 2014

නවමු අත්දැකීමක පහස ... ආලෝක පින්තාරු..

මවකගෙ කුසින් බිහිවෙලා මුල්ම වරට ඇස් ඇරලා බලන වෙලාවෙ ඉඳන්ම අපි අපේ අවසන් හුස්ම වාතලයට එකතු කරලා දෙඇස් පියා ගන්නා තුරුම ලෝකය දකින්නෙ ආලෝකය හා අඳුර අතරෙ ඇති වෙනස තුලින් කියලයි මට හිතෙන්නෙ..මේ වෙනසේ ඇති  ගණනය කල නොහැකි තරමේ විවිධත්වය තමයි අපි ජීවිතය කියලා පින්තාරු කරන්නෙ...අනේක වාරයක් දුක් වේදනා විඳින අතරෙ සොබා දහම අපේ ජීවිත සමබර කරන්න හිත සතුටු කරන්න දීලා තියෙන එක අවස්ථාවක් තමයි කලා නිර්මාණ කියන්නෙ...නිමා කල නොහැකි තරමේ නිර්මාණ අපගේ ඇස තුලින් මනසට ගෙන එන්නෙ සතුටක්..ඒ සතුට පස්සෙ දිවියටම වෙනත් අරුතක් එකතු කරනවා..ජීවිතේ ඉස්සරහට යන්නෙ මේ අරුත් මතින්..

මම මෙහෙම ප්‍රවේශයක් ගත්තෙ...මගේ එක විනෝදාංශයක් තමයි ෆොටෝ ගන්න එක..මගේ ඇස අඳුර ආලෝකය අතරේ විඳින සුවය මට කොහේ හරි සටහන් කර ගන්න ඕනි උනා. ඇයි ඒ සතුට තව කෙනෙකුට මෝදු කරන්න අවස්ථාවක් ලැබුනොත්...කියන කාරණයත් එක්ක... අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ මොකෙන්ද කියන ප්‍රශ්ණය ඕනි කෙනෙකුගෙන් ඇහුවොත්... උත්තරය වෙන්නෙ අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ තව කෙනෙකුට ළඟා කරන සතුටකින් කියලයි මගේ පුද්ගලික අදහස.. ඒ නිසා වෙන්න ඇති..අපි විඳින සතුටක සේයාවක් අපි අන් අය සමඟ බෙදා ගන්න කැමති.


කැමරාවක් හම්බ උන නිසා සහ කැමරාවකට ආදරය කරන කෙනෙකු සමඟ ජීවිතය බෙදා හදා ගන්න උනු නිසා අවුරුදු ගණනාවකට උඩ ඉඳලම මමත් ෆොටෝ ගත්තා. එහෙන් මෙහෙන් කියවලා
එහෙන් මෙහෙන් යමක් දැන ගත්තා. එහෙම දැන ගත්තත් නිසි හැදෑරීමක් නම් කරලා තිබ්බෙ නෑ..මම මේ වෙනකම් මේ බ්ලොග් එකේ බෙදා හදා ගත්ත ෆොටෝ එහෙම ගත්ත ඒවා..ඒ නිසාම කෙනෙක් හිතලා තිබ්බා මම ඡායාරූප ශිල්පියෙක් කියලා. එහෙම කිව්ව හැම තැනකම මම ඒ අයව ප්‍රසිද්ධියෙම නිවැරදි කලා, මම කැමරාවක් අත දරන්නෙක් මිසක ඡායාරූප ශිල්පියෙක් නොවන වග. බුකිය පුරාම මම සිය වාරයක් එහෙම ලියලා ඇති.

ඔය අතරේ පහුගිය මාසෙක මම පුල පුලා බලා හිටිය ඉන්ද්‍රනාථ තේනුවර ෆොටෝ ඇකඩමිය (ITPA)  මට යන්න පුළුවන් නිවාඩු දවස වෙච්ච ඉරිදාවක ඒ ගොල්ලන්ගෙ අළුත්ම පාඨමාලාව පටන් ගත්තා. මම ආයි දෙසැරයක් නොහිතා එතනට සහභාගි උනා. දැන් තමයි ඡායාරූපකරණය ගැන පිළිවෙලට යමක් ඉගෙන ගන්නෙ අපේ තේනු සර්ගෙන්...ඔය පාඨමාලාවට ගිය හැමෝම සහ දන්න අය කියනවා වගේ..ඡායාරූපකරණය වගේම ඒ හා බැඳිච්ච ජීවන රටාවක් අපූරුවට අපේ මනසේ සිත්තම් කරනවා මේ ආදරණීය ගුරුවරයා..


තේනු සර්ගෙ ඡායාරූපකරණයේ නව මානයන් සොයා යාමේ නවතම එළි දැක්ම ජූනි 14 , 15 , 16 කියන දිනවල කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී. ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනවා ඉන්ද්‍රනාථ තේනුවරගේ ආලෝක පින්තාරු කියන නමින්..


මේක ගැන මේ වෙනකොට හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වෙන නිසා ගොඩක් අය ඇහැ ගැටිලා ඇතියි කියලා හිතනවා. 


මේ ලිපියෙනුත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්.. 


http://nethfm.com/article/17243

මේ ප්‍රදර්ශනය ගැන අපේ සර් මෙහෙමයි බුකියෙ කියලා තියෙන්නෙ

උපුටා ගැනීම
ආලෝක පින්තාරු හෙවත් Light Painting යන්න මීට බොහෝ වසර ගණනකට ද පෙර අත්හදා බලන ලද්දකි. හිස් අවකාශය තුළ ආලෝක පුංජයක් මගින් විවිධ චිත්‍ර ඇඳීම එහි මූලාරම්භයයි.
දෙවනු ව කුඩා ආලෝක කදම්බයක් මගින්, යම් පමණක් වස්තූන් ආලෝකවත් කරන්නට පටන් ගැණිනි. මෙම ක්‍රමය ආලෝකය වත් කිරීම හෙවත් Light Pumping යනුවෙන් ශ්‍රී ලංකාවේදී හැඳින්වුව ද, ජාත්‍යන්තර ව එය භාවිත තාක්ෂණික වචනයක් නොවේ.
පටල පට කැමරා භාවිතයේදී මෙය තරමක් පහසු මෙන් ම අපහසු ද කාර්යයකි. පටල පට කැමරාවේ ආකාරයට එහි ද්වාරය සකසා, කේබල් රිලීසයක් මගින් ද්වාරය ඇර තබා, බොහෝ වේලාවක් ගත කරමින්, එක් හෝ දෙකක් හෝ විදුලි පන්දම් ආධාරයෙන් වස්තූන් ආලෝකවත් කර ගැණිනි. එහිදී අවට ඇති ආලෝකයන් සියල්ල නිවා දැමීම මගින් අධික අඳුරක් ලබා ගැනෙන අතර, පන්දම් එහා මෙහා ගෙන යන විට, කාච වැස්ම මගින් පරෙස්සමෙන් කාචය වැසීමෙන් ඒවා අනාවරණය වීම වැළක්වා ගත හැකි විය.


නමුත් ඩිජිටල් සෙන්සරය මෙවන් අධික කාලයක් නිරාවරණය කර තැබීමේදී, එහි උෂ්ණත්වය ඉහළ ගොස් අනවශ්‍ය විශාල නොයිස් ප්‍රමාණයක් සෑදෙන්නට පටන් ගනී. එනිසා පටල පට ක්‍රමවේදය ඩිජිටල් සෙන්සරයට ආදේශ කළ නොහැකි වෙයි.


නමුත් ඩිජිටල් කැමරාව සමග සමගාමී , මෘදුකාංග භාවිතයෙන් පටලයට වඩා ඉහළ නිර්මාණ කර ගන්නට පුලුවන.


මා භාවිතා කලේ ද නිශ්චිත ස්ථාවර රාමුවක කැමරාව රඳවා, තත්පර 20 හෝ 30 හෝ අනාවරණ කාල යොදමින් ඡාවාරූප 30 - 40ක් හෝ විටෙක 60 - 70ක් පමණ හෝ ඊටත් වැඩියෙන් හෝ අනාවරණය කොට ගෙන, ඒ සියල්ල ෆොටෝෂොප් හි ලේයර් බ්ලෙන්ඩින් මෝඩ් හි ඇති විශේෂතාවයන්ගෙන් ප්‍රෙයා්ජනයෙන් එකට එක්කාසු කිරීමයි.
අප ආලෝක පින්තාරු පසුතලය මත සූදානම් වන්නේ හිරු බැස යන්නට පෙර ය. කැමරාව ස්ථාවර ව රඳවා, හිරු බැස ගිය ඔන්න මෙන්න තිබියදී පළමු රාමුව අනාවරණය කර ගනු ලැබේ. ඉන්පසු හාත්පස දැඩි අඳුර ගාල් වන තෙක් සිට, කෙළවරෙක සිට පියවරෙන් පියවර, කොටසින් කොටස විදුලි පන්දම් දෙකක් ආධාරයෙන් ආලෝක ගන්වමින් ඉදිරියට පැමිනෙන්නෙමු.


ඩිජිටල් සෙන්සරයේ වර්ණ උෂ්ණත්ව පරාස අනුව කෙල්වින් අංශක ප්‍රමාණය වෙනස් කිරීමෙන්, ටංස්ටන් බල්බයේ එළිය කහ පාටටත්, LED පන්දමේ ආලෝකය නිල් පාටටත් -සටහන් කර ගන්නෙමු. පසු සංස්කරණයේ දී මේ වර්ණ වෙනස තවත් වැඩි කර ගැනීමෙන් ඡායාරූපයට නාටකීය ස්වරූපයක් එකතු වෙයි.


අප ප්‍රධාන වශයෙන් මේ ආලෝකවත් කිරීම සඳහා භාවිතා කළේ විදුලි පන්දම් හතරකි.


අඩු බල ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත්, වැඩි ආලෝක බලයක් සහිත ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත් වශයෙනි. කැමරාවට කිට්ටු, විශාල ප්‍රෙද්ශ ආලෝකවත් කිරීම සඳහා විදුලි පන්දමේ මුහුණතට ආලෝක විසිරුමක් Diffuser යොදා ගතිමු.


කැමරා ක්‍රියාකරු සහ ආලෙක කරණය අතර සම්බන්ධිකරණය සඳහා අපි වෝකි ටෝකි 4ක් ද යොදා ගත්තෙමු.


මගේ මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු සහ එක ම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනයයි. නමුත් එය ලෝකයේ මුල් ම ආලෝක පින්තාරු ප්‍රදර්ශනය නොවන වග අවධාරණය කරන්නට කැමැත්තෙමි. නමුත් මා භාවිතා කළ තාක්ෂණය වෙනත් කිසිවකු භාවිතා කර නැති වග පමණක් දනිමි.එපමණක් ද නොව තව අවුරුදු ගණනාවක් ම යන තෙක් වෙන කෙනෙකුට තඉා මටවත් යළි මෙවැන්නක් කළ නොහැකි වනු ඇති. මන්ද එය එතරම් ම අධික මුදලක් වැය වන කාර්යයක් නිසා ය.


එමෙන් ම මවිසින් ඡායාරූපයට නගන ලද මේ දැවැන්ත පසුතලවල, විදුලි පන්දම් එළියෙන් නිර්මිත පළමු සහ එක ම ඡායාරූප සමුච්ඡය මෙය පමණක් ම වන්නේ ය..!!


විවිධ ජනමාධ්‍යයන් හි පළවන සමහර යෙදුම් අතිශයින් සාවද්‍ය ය. ඒවා ලියූ ලේඛක ලේඛිකාවන්ගේ ඡායාරූප ගැන දැනුම අල්ප වීමත්, මා කියන දෙය වෙනත් මානයකින් වටහා ගැනීමත් නිසා, සමහර කරුණු අමු අමුවේ ම වෙනස් වී තිබිණි.


නමුත් ඔවුන් ඒ සියල්ල කළේ මා වෙනුවෙනි. මට උදව් කිරීම සඳහා ය. රට පුරා සිටින ජනතාවට මගේ ප්‍රදර්ශනය ගැන කීම සඳහා ය.
එනිසා යම් පමණකින් හෝ එය නිවැරදි කරනු සඳහා මේ සටහන මෙසේ ලියා තබමි.


උපුටා ගැනීම අවසන්.


(ඉන්ද්‍රනාථ තේනුවර , ජූනි 01)




මේ තියෙන්නෙ බුකියෙ සර් හැමෝටම කරපු ආරාධනාව..

අපි නම් දවසම එතන ඉන්නවා. හැමෝම එන්න. ඇවිත් නවමු අත්දැකීමක පහස විඳ ගන්න එහෙනම්...

Monday, June 2, 2014

කුරිරු සොබාදහමද ? පැරණි කතාවක ආවර්ජනයක්

ඊයෙ දවල් පටන් ගත්ත වැස්ස මහ අනෝරා වැස්සක් වෙලා නතර උනේ අද උදේ පාන්දර තමයි..මම කාර්‍යාලයට එන්නෙ පාර දිගේ කිලෝමීටරයක් විතර ඇවිද ගෙන..භාගයක් විතර අස්වද්දපු කුඹුරු යායක් මැද්දෙන් මම එන ගමන නොහොම හෙමිහිට..දවසින් දවස නිලට නිලේ දශමෙන්ට් දශමෙ උස් වෙන ගොයම් ගස් දිහා බලා ගෙන හිත නිවා ගෙන එන මේ ගමන හරිම රසවත්..

අදත් සුපුරුදු විදියට වෙල් යාය දෙපැත්තම බැලුවහම මගේ බඩ පපුව පිච්චිලා ගියා...හිතෙන් මවා ගෙන ආපු කෙටි ගොයම් පැළ සේරම වහ ගෙන ගලා බහින වතුර  පාර මාව ඇඬෙව්වා..


මොහොතක් බලා ඉඳලා ජංගම දුරකතනය අතට ගත්තෙ ෆොටෝ එකක් ගන්න උනත්..මට ඒ දේ කරන්න වාරුවක් හිතට තිබුනෙ නෑ.. අද දවසම අඳුරු වෙලා තිබ්බා වගේ මගෙ හිතත් දවසම අඳුරින් බර වෙලා තියන්න මේ දර්ශනය හොඳටම ප්‍රමාණවත් උනා. මගේ ළඟම සහෘදයෙක් ගෙ කුඹුරු කෑල්ලත් එතන වතුරට යට වෙලා තිබ්බා උනත් පොදුවේ ගොවිතැනින් දිවිය සරි කර ගත්තෙ මගේ පවුලෙ අය කී සැරයක් මේ වගේ කුඹුරු ගං වතුරට අහුවෙලා ඊ ළඟ කන්නෙ එනකන් දුක් වින්දද කියන අතීතය මගේ හිත ඇතුලෙ සක්මන් කිරිල්ලත් එක්ක මට මේ කුඹුරු කරපු අයගෙ අද උදේ ඇතිවෙච්ච වේදනාවට සංවෙදී වෙන්න ලොකු දුර යන්න ඕනි උනේ නැ.


ඔය එක්කම මට මතක් උනේ ගිය අවුරුද්දෙ සිද්ධ වෙච්ච අලකංචියක් එක්ක මම ලියපු මේ ආත්මකථනය..මේකෙ ලියවෙන ප්‍රධාන සිද්ධියට මූලික උනෙත් මේ වගේම ගං වතුරකින් අපේ කුඹුරු යායම විනාශ වෙලා..බොහොම අමාරුවෙන් ගත කරපු කාලයක් තුල ම තමයි...

මතකද මම එදා ලියපු ඒ කතාව ?

------------------------------------------------------------------
මම කැමරාවද රැගෙන ඔහේ ඉබා ගාතේ යමින් සිටියෙමි. සිතට දැනුන යම් සිත්තමක් කැමරා කාචයේ තවරා ගනිමින් මා හෝරා ගනනාවක් ඇවිදිමින් සිටියෙමි. තිබහද දැනේ..කුසගින්නක්ද කොහේ හෝ සිට හිස ඔසවා ගෙන එනු දැනේ.


ස්වාභාවිකව ගලා ගිය දිය දහර හරස් කොට කෘතීමව තැනූ පොකුණ දැන් කාලයක් තිස්සේ පැවති නිසා එය අවට පරිසරයටම බද්ධ වී ඇතුවාක් මෙන් පෙනෙන ඉදිරියේ වූ උද්‍යානයේ පොකුණ අසලම වූ බංකුව මත මා හිඳ ගතිමි. කැමරා ආම්පන්න සහිත මල්ල පසෙක තැබූ මා හට පෙනුනේ මා අසලම තණ ගොල්ලේ හිඳ සිටින තරුණ වියේ පිරිසකි. අවුරුදු 15ත් 25ත් අතර විය හැකි යැයි සිතිය හැකි සමනල් රෑනක් බඳු ඔවුන් ඉතා ප්‍රීතියෙන් කෙලි දෙලෙන් හිනා වෙමින් කාලය ගත කරයි. ඔවුන්ගෙන් කීප දෙනෙක් අසල වූ පොකුණෙ නාමින් සිටී.


ජීවිතයේ සොඳුරුතම ඉසව්ව වූ යෞවනය...මේ පිරිසට කෙතරම් නම් ප්‍රීතිජනකද යන්න මා හට ඔවුන්ගේ කතා බහින් දැඟලිල්ලෙන් පෙනේ..ඇසේ..දැනේ..


දුප්පත් කමින් බර වූ පවුලකට හිමි කම් කී මාගේ යෞවනය ගෙවී ගියේ බොහෝ විට අධ්‍යාපන කටයුතු සඳහාත්..එයින් ඉඩක හසරක් ලද විටෙක යම් කුලී වැඩක් හෝ පතල් ගොස් කීයක් හෝ හම්බ කර ගැනීමට මිස...යහළු යෙහෙලියන් හා මෙසේ විනෝද  වීමට නොවේ.  ගමේ ගොඩේ දුවේ පැන ගිය සොඳුරු ළමා කාලයක් තිබුනත්...අඩුලුහුඬු කම් දැනෙන්න ගන්නා කාලය වන විට ජීවිතය කෙතරම් නම් අමාරුද යන්න මා වටහා ගත්තේ ඉතා ලාබාල අවදියේය. ඒ නිසාම අධ්‍යාපනය කෙරෙහි  මා තැබූ අති විශ්වාසය මා අධ්‍යාපනයේ කෙළවර කරා ගෙන යන්නට සමත් වූ බව ඉඳුරාම කිව හැකිය. නමුත් එය ආ මඟ... කිසිදා රෝස මල් ඇතුරූ මඟක් නම් නොවීය.  එහි වූ කටු පඳුරු වලින් තුවාල වූ තැන් බොහොමයක් අදටත් ලේ ගලන බව මා දැක ඇත්තෙමි..


එවන් කාලයක් ලද මා මේ තරුණ පිරිස ගැන හිතන්නේ කුමක්දැ යන්න මාගෙන්ම මා විමසූයෙමි.


ඉරිසියාවකි..


එය පැහැදිලි ඉරිසියාවකි.


අනේ මටත් මෙවන් තරුණ කාලයක් තිබුනා නම්...


එය ඉතා කෙටි කාලයකට මා සිත දරන සිතුවිල්ලයි. මා අද වන විට ගෙවා දැමූ 42 වසරක ජීවිතයේ ලද අත්දැකීම් රාශිය මත මා මෙවන් ඉරිසියාවක් වැනි ලද බොළඳ සිතුවිල්ලක් මා සිතේ ස්ථාපනය වීමට ඉඩ දෙන්නේ නැත.


සියල්ලම ඇතිවී , පැවතී, නැතිවී යන ලෝකයක..මා යනු පඤ්චස්කන්ධයක් තුලින් සිත තුල ගොඩ නඟා ගත් ඉහත කී උත්පාද, ඨිති, භංග වන ශර්‍රීර කූඩුවකි. තවත් මා යැයි සිතමින් ලොබ බැඳ ගැනීමේ චේතනාව හැකි උපරිමයෙන් ඉවත් කිරීමට වෙර දරන මා හට තවත් බැඳීම් , දුක් වේදනා අවශ්‍ය නොවේ..


ඔවුන් මට වඩා ඉතා වාසනාවන්තය..


පොකුණින් නාගෙන ආ පිරිස තණ පිස්සේ හිඳ වුන් පිරිස හා එකතු වෙයි. හීන්දෑරි හාදයකු ගිටාරයක් ගෙන වයන්නට පටන් ගනී. මට සිහින මලයා සිහි වේ.  මට සිනහවක් නැගෙන්නේ අප කෙලෙස විහිළු තහළු කලත්...වෙනී මාමේ කියා අමතන ඔහුගේ ප්‍රියශීලී බාවය මතක් වීමෙනි..


මා මොහොතකට දෑස පියාගෙන සුළඟ හා මුසුව එන ගිටාරයේ තත් හැඬවෙන නාදයට සිත යොමු කලෙමි..


ඉක්මනින් අසල වූ කඩයට ගොස් යමක් කා බඩගින්න මඟ හරවා ගෙන දවසේ ඉතිරියද කැමරාව තුලින් අවට දැකිය යුතුයි... නමුත් අපූරු තත් සර මාගේ කැළඹුනු සිතුවිලි නිවා දමයි...


මා කොතරම් වේලාවක් සිටියාදැයි නොදනිමි..


"එක්ස්කියුස්මී අංකල්"


මා තිගැස්සී දෑස විවර කලේ..සමහර විට මා සිටි බංකුවට තවත් අයකු පැමිණ ඉඳගැනීමට අවසර පතනවා වන්නට පුළුවන්ය යන සිතුවිල්ලත් සමඟය. මන්ද මාගේ කැමරා බෑගය බංකුවේ සෑහෙන ඉඩක් ගෙන තිබුනි. මේ සිතුවිල්ලත් සමඟම දෑස හරින ගමන් මා බෑගයද උකුලට ගතිමි.


"අංකල් අපි ගෙනාපු සැන්විචස් වගයක් තියෙනවා..අද අපේ ක්ලාස් එකේ අන්තිම දවසෙ පාටිය. මෙන්න අන්කල්ට සැන්විචස් ටිකකුයි ඩ්‍රින්ක් එකකුයි..."


අර තරුණ පිරිසෙන් මිදුනු තිදෙනකු මා අසල සැන්විචස් දීසියක් සමඟ සිසිල් බීම බෝතලයක් මා වෙතට දිගු කරමින් සිටී.


ස්තූති කර මා එය අනුභව කර එතනින් පිට වූයේ..කුමන අහ්ලාදජනක සිතුවිල්ලකින්ද යන්න මට තවමත් සතුටින් ආවර්ජනය කල හැක.


ජීවිතයේ කිසිදා නොදුටු නන්නාඳුන අයෙකුට වූවද ඔවුනට පෑ හැකි අමුතුම සෙනෙහසක් ඔවුන් තුල තිබුනි...


මේ අද කාලයේ ලයාදර තරුණයින්ගෙන් පිරිසකි..


ඔවුන් කල දේ ඉතා සුළු දෙයක් වූවත්...එහි ගැඹුර...ඔවුන් දනී නම්...

එය එසේ අවසන් වීය.


මා ඉදිරියේ ඇත්තේ විශාල ජල තලාවකි... විටින් විට නැගෙන මදනලෙන් පැන නගින රල පහරක් හැර අන් කිසිම තරංගයක් ජල තලය මත නොනඟී.. නිසල දිය ගැඹුරු බව මා අසා ඇත්තෙමි..එය එලෙස බව අවබෝධ කරගෙනද ඇත්තෙමි. ..


හිඳ සිටි තැනින් නැගී සිටි මා අසල වූ කැට කැබැල්ලක් ගෙන ජල තලය මතට වේගයෙන් දමා ගැසීමි. කැට කැබැල්ල ජල තලයේ ලිස්සා යමින් ඈතට ඇදෙන්නට වීය. ජල තලයේ එහා කෙළවර පිරිසක් යම් කාර්‍යයක් කරමින් සිටී. ඔවුන් මා හට අත වනන බව මා දෑස අගින් දුටුවෙමි. කැට කැබිලිත්ත අවසානයේ ජල තලයේ වැදී යටට යන ස්ථානය කෙරෙහි මා දෙඇස යොමු වෙද්දී...හරියටම එම ස්ථානයෙන් මහා ජල කඳක් පැන නැග්ගේ මුළු ජල තලයම කළඹිමිනි. මාගේ කුඩා කැට කැබැල්ල කලේ කුමක්ද යන්න සිතා ගන්නටත් පෙරම මාගේ ඉන තරමට ඉහල නැග ආ ජල කඳ මා නැගිට සිටි ස්ථානයෙන් මා ඔසවා බිම දැමූයේ කිසිම හිතක් පපුවක් නැති සේය. මා සියොළඟම තෙත බරිතව ඇත..


සිදු වූයේ කුමක්ද යන්න මා හට තවමත් සිතා ගත නොහැක.

සෙමින් සෙමින් නැවත ජලකඳ ජලාෂය තුල ඇදේ...එය නිසල වීමට කාලයක් ගත වනු ඇත..


එම කාලය තුල අවු රශ්මියට ගොස් මා හට තෙත බරිත වූ ගත වියලා ගත හැක..


මා සිත නැවතත් අතීතයට දිව යයි.


සැමදා මෙන්ම අකමැත්තෙන් වූවද රොටී කෑල්ලක් ලුණු මිරිස සමඟ ගිල දමන්නට එදාද උදෑසන සිදු විය... අකල් ගං වතුරින් අපට බත සරි කල කුඹුර විනාශ වී තිබූ කාලයක..කට දවන ලුණු මිරිසේ රසට කිසිම රසක් නොදැනෙන රොටී කෑම කුඩා මා හට ඉතා නීරස වීය. කෑවාද නැද්ද යන්න මතකක් නැතත්..ඒ ඉරිදා උදෑසන දහම් පාසලට ගියේ එය සැමදා කරන කාර්‍යයක් මිස වෙන වැඩි වටිනාකමක් නොදැනය.  සෙමින් සෙමින් කුසගින්න වැඩි වේ. මල් වට්ටිය ගෙන බුදුන් සිටි කුටියට ගොස් පූජා කරන විටා මා දෙනෙත ගැටුනේ ඊට මොහොතකට පෙර බුදුන්ට පූජා කල බුද්ධ පූජාවයි. කිරි හොද්දේ අල කෑල්ලක් පෙනෙන්නට තිබුනි. ඉඳිආප්ප, ආප්ප සහ තවත් වෑංජන කිහිපයක් කුඩා තැටි වල අසුරා තිබුනි. හවස් වන විට මේ සියල්ලම මල් අස් කරන කුණු ගොඩට යයි. කුසගින්න කිසිසේත් උසුලා ගත නොහැක... මූත්‍රා කිරීමට අවසර ගෙන මා හෙමිහිට රිංගා ගත්තේ බුදු කුටියටයි..මා හට බුදු පිළිමය දෙස බැලීමට නොහැක. බත් කුට්ටියක් ගෙන අල හොද්දේ පොඟවා මුව තුල බහා ගතිමි. රස නහර පිනා යයි. තවත් බත් ගුලි දෙකක් පමණ ගෙන මුව තුල ඔබා ගත්තා මතකය.


වැරෙන් ලද අතුල් පහරට මා විසී වී ගොස් අසල වූ පිළිමයක්ද පෙරලා ගෙන බිම වැටිනි.


පන්සලේ ඇබිත්ත මාමා මුළු දහම් පාසලේම සිසු සිසුවියන් මැදින් ඇද ගෙන ගොස් මා ලොකු හාමුදුරුවන් වෙත පෑවේය..එවිටත් මා අතේ ගුලි වී තිබුනු බත් ගුලිය නිසා මා වැරදි කරු වී හමාරය. වේවැලෙන් ලද පහර කීපයක් සමඟ මා බෝධිය අසල වූ ඝන්ඨාරය අසල රත් වූ වැල්ලේ දන ගසා ගෙන සිටියෙමි. රත්වූ වැලි කැට වලට දෙදණ පිලිස්සෙයි. කකුල් දෙක හරහා වැදුනු වේවැල් පහර වල වේදනාව ඇදුම් කයි. ගමෙන් භාගයකටත් වඩා වූ දහම් පාසැල් සිසු සිසුවියෝ සිනාසෙන්නේද නැද්ද යන්න මට නොපෙනෙන්නේ..මා බලා සිටින්නේ අසල වැටී ඇති වියළුණු බෝ පත් සහ ලා රත් පැහැ බෝ දලු දෙස පමණක් වන නිසාය. කිසිවකු අත යැවූ පණිවිඩ්යකින් අක්කා පැමිණ අඬමින් මා ගෙදර රැගෙන ගියාය.  ගමේ හිස ඔසවා ගෙන ගමන් කල ගොවියකු වූ කෝපාවිශ්ඨ වූ තාත්තා පේර කෝටු කීපයක්ම කැඩෙන තුරු මට තලා ගෙදරින් පිට ගියේය. මා හැඬුවාද යන්න මතක නැත. අවසාන වන විට මා හට හඬන්නට කඳුළු තිබෙන්නට නැත. කුස තුල නැගෙන්නේ කුසගින්නක් නොව වේදනාවකි.

කුලී වැඩට ගොස් හවස අම්මා එනවිට මඟදීම ඇයට කිසිවකු කථාව කියා ඇත.


" පේර කෝටු කැඩෙනකල් තැලුවා මිසක් එකෙක් හොයලා බැලුවද කොල්ලා උදේට කෑවෙ මොනවද කියලා ?"


අම්මා හැඬූ කඳුලින් තුවාල වූ තැන් වල බෙහෙත් ගැල්වූවාය...


ඊට පසු කිසි දිනක මා හට අම්මා රොටී කන්නට නොදුන්නාය. කෙසේ හෝ අල ගෙඩියක්, දෙල් ටිකක් හෝ කොස් ටිකක් තම්බා දුන්නා මිස...ඈ කිසි දිනක මා හට රොටී කෑමට වද නොකල බව මතකය. මුළු ගමම බුද්ධ පූජාව හොරෙන් කෑ එකා කියමින් අවමන් කලා මිස එය කෑමට පෙර මා කොතරම් බඩගින්නේ සිටියේද යන්න විමසූයේ නැත. අසල ගමේ වූ දහම් පාසලින් ධර්මාචාර්‍යය විභාගය සමත් වූ මා පසුව ගමේ පංසලේ එම දහම් පාසලේම වසර තුනක් ඉගැන්වීමේ කටයුතු කල බව මතකය. මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි..  වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..


දහස් වර කියවා ඇතත් අදටත් මනුතාපය කෘතිය කියවන මාගේ දෙනෙතට කඳුලක් නැගෙන්නේ මන්දැයි මා නොදනිමි. නමුත් දිය බිඳක් ඉල්ලන විට අනුකම්පා විරහිත ලෝකයෙන් ලැබෙන්නේ දිය බිඳක් නොවන බව මා දැන හිටියේ අද ඊයේ නොවේ..එදාද එලෙසමය..අදද එලෙසමය..


මෙයද කිසිවිටෙකත් අනුකම්පාව ඇයදීමක් නොවේ.. ඔබ මොහොතකට හෝ දෑස් පියා ගෙන සිටී නම් එය විවර කිරීමටය..වෙළඳ සමාජයක අනුකම්පාව යනු තවත් එක් වෙළඳ භාන්ඩයක් මිස හදවත පතුලින් නැගෙන සානුකම්පිත හැඟීමක් නොවන බව මට වැටහෙමින් සිටී...




විසල් ජල තලය මත තවමත් විසල් රැල නැගෙයි.  නැවත එය නිසල වීමට මහා කාලයක් ගත වනු ඇත.. මා ගත වියලීයාමටද බොහෝ වේලාවක් යනු ඇත.


වැවේ එහා ගොඩේ වැඩ කරමින් සිටි කෙනකු වැව් තලයේ වූ ගලක් බෝර දමා කැඩුවා යැයි  නොකීවා නම් මා සිතා සිටින්නේ මා විසි කල කැට කැබැල්ල මෙය කල බවයි.


සියළුම සංස්කාරක ධර්මයන්ගේ පවතින්නේ මේ අනිත්‍යය බවයි.

මම ඔබට කියන්නෙමි.. නැත සහෘදය මෙය  දහසකුත් එකක් චරිතයන්ට පන පොවන අවජාතක ආරච්චිලාගේ ලියන්නාගේ කතාව නොවේ.

ඔබගේ පපුවට අත තබා බලන්න..ආන්න එලෙසම ගැහෙන රිදවෙන හදවතක් හිමි වෙනීගේ කතාවයි, මේ ලියවෙන්නේ..


එවිට අන් අයකු මෙය ලිවීමට තම කාලය හා ශ්‍රමය වැය නොකරනු ඇත...


මා ජල තලය නැවතත් නිසල වන තුරු බලා සිටින්නෙමි.


නැතහොත් සසල ජල කඳ අත හැර දමා ඒ වෙනුවට සයුර අසල නිරතුරුවම බිඳෙන ජල තලය අසලට වී කාලය ගත කරන්නට අදිටන් කර ගත්තෙමි.
-----------------------------------------------------------------
ඔහොමයි ඒ කතාව එදා ඉවර කලේ..ඉවර කලා කිව්වට කොමාවක් දැමුවෙ...මේ කතාවෙ කියපු කාරනා අද වෙන කොට කොයිතරම් නම් වෙනස් වෙලාද කියලා හිතන්න කාලෙ හරි කියලා මට හිතුනත්...එහෙම හිතන හැම වෙලාවෙම මගේ හිත අරක් ගන්නෙ අර පුංචිම පුංචි ගොයම් ගස් උඩින් ගලා ගෙන යන දුඹුරු පාට වතුර කඳම තමයි...

අපේ දෙමවිපියො සොබා දහම එක්ක ගැටිලා..ඒකෙන් බැට කාලා ආයිත් ඒකට වෛර නොකර බොහොම අකම්පිතව ඒ දේ කලත්...ඒ හුරුව අපිට නැත්තෙ ඇයි..කියන මහ ලොකු ප්‍රශ්ණය හිත ඇතුලේ කරකැවෙන්නෙ මහ සුළි කුණාටුවක් වගේ..