ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, February 24, 2012

සොඳුරු වන අරණ හා තිරිසන්නු...

කෙමියෙන් නික් මී යන්නට තතනන වරා මල් පිහාට්ටක් තවමත් තමාව ඇද බැඳ තබා ගන්නා හුය නිසා වේදනාවෙන් මිරිකෙමින් උන්නාය. තව එකම එක සුස්මක ප්‍රාශ්වාසය පමණක්ම අවැසි පිහාට්ට මෙන් වේදනාවෙන් මිරිකෙමින් හුන් මා ඒ සමඟම හෙලුණු සුසුමත් සමඟ කෙමියෙන් වෙන්වූයේ..මහත් වූ සැනසිල්ලකිණි. කෑරලකුගේ ඉමිහිරි හඬ මා රැගෙන යන්නට පැමිණ ඇති සෙයක් දැනුනත්..
---------------------------------------------------------------------------------









"ඔය කන අත්සන ගහන්න ඉගෙන ගත්තහම මදැයි මයෙ පුතේ, මම කියලා එච්චර ඉගෙන ගත්තද ? මේ කාලා ඇඳලා ඉන්නෙ යසට"


තාත්තා එසේ කීවද නැන්දා වියරු හඬින් පරාජය පිලි නොගත්තාය.


"ඔව් ඉතින් උඹේ ඔය රට පණ්ඩිත කන් හින්දම තමයි අරකිත් දමලා යන්න ගියේ, උඹ ලෑස්ති වෙයන් පුතේ අපේ අහ යන්න, මන් උගන්නන්නම් උඹට"


"මේ අක්කෙ ගිය ගෑනි ගියා උන් මත්තෙ නහින්නෙ නෑ මන්..උඹ යන මඟුලක පල මක බෑවිලා..මගේ දරුව තියලා"


තාත්තා වියරුවේ අන්තයටම ගොස් ඇත.


ඒ සෑහෙන කාලයකට නැන්දා දුටු අන්තිම අවස්ථාව වූයේ මෙන්ම මාද කිසිදා අප හැරදා ගිය අම්මා මෙන් තාත්තාව හැර දමා නොයන්නට තරයේම අදිටන් කර ගත්තේ..යන්තම් බහ තෝරන වියේ පටන්ම කන වැකුණු කුරුලු ගී හඬ, අසල වන පෙතෙන් රෑ පුරා ඇසෙන සතුන්ගේ හඬ හා ගස් වැල් වල සිලි සිලි හඬ නොඇසෙන මානයක සිතට දැනෙන වචනයට පෙරළා ගත නොහැකි පාළුව, තනිකම නිසාමය. මව හැර ගියත් අප හැර නොගිය මවගේ ඥාතීන් මෙන්ම පියාගේ ඥාතින්ගේ නිවෙස් වල එක රැයක් හෝ නොරැඳීමට එකම නොකියූ හේතුව වූයේත් මෙයමය. පාසලේ හතර වන පංතියට පාස් වීමත් සමඟම මගේ මව සංචාරක මඟ පෙන්වන්නකු හා හාද වී අප දමා ගියේ එදින සිට කිසිම දිනයක මා හා තාත්තා අතර මව පිළිබඳ කිසිදු වචන හුවමාරුවක් නොවූයේ..ඒ පිළිබඳ සිතන සිතුවිල්ලේ පවා මට දැනෙන වේදනාකාරී බවම පියාටද ඇතැයි මා කල්පනා කල බැවිනි. අභය භූමි රක්ෂිතයක සුළු කම්කරුවකු වූ පියා කුඩා කල සිටම හැදී වැඩී ඇත්තේ මෙම වනය හා ආශ්‍රිතවය. රැකියාව කම්කරු වුවද අක්කර දහස් ගණනක් වූ මෙම වනය පියාගේ ජීවිතය හා බැඳී තිබුණේ පුදුමාකාර ලෙසිනි. 


"කපුටො වගේ නාලා එනවා මෙතන ගස් ගඳේ බෑ..තාත්තයි පුතයි දෙන්නම එකයි"


ගඟ මැදට දෙ අත් දික් කර ගත් තුරු අග වෙත බඩ ගා ගොස් එහි සිට පහළ ගලා යන ජලය වෙත පැනීම තරම් අප දෙදෙනා ප්‍රමෝදයට පත් වූ කිසිවක් නොවීය. දහඩිය සමඟ එකතුවූ ගස් වලින් නැගෙන සියුම් සුවඳ විඳ ගැනීමට මවට නොහැකි වීම නම් සැබවින්ම අරුමයකි.


මව අප හැර ගිය කාලයේ මා සිතුවේ පියාගේ ගස් ගඳ නිසා ඈ අප අතහැර ගිය බවයි. පසුව දැනුම් තේරුම් යන කාලයේ මතකයට නගා ගත හැකි සියලුම කරුණු වල වූයේ මවගේ සහ පියාගේ ජීවිතවල නොගැලපීමයි. කිසිදා මස් හෝ මාළු ආහාරයට නොගත් පියා සහ මස් මාළු ගිජු මව දිවියේ පණ නල ගැට ගසා ගන්නා ආහාරයේ සිටම නොගැලපෙන යුවලක් වීය. සිලි සිලි හඬ නගමින් ඇදී යන දිය කඳුරේ ප්‍රීතියෙන් පැන පැන යන , වරල් නඟමින් පොපියන මා සිත අමන්දානන්දයට පත් කරන මත්ස්‍යයන් ගේ දිවි හානි කර කෑමට ගැනීම තරම් බිහිසුණු බවක් තවක් කොහිද? එතරම් කලබලයක් නොකර හෙමිහිට තණ බිස්සේ දිගාවී බඩ ගා ගෙන ගිය විට කිසිදු බියක් නොමැතිව ඔවුන්ගේ පැටවුන් හා හුරතල් වීමට මා හට අවස්ථාව ලබාදුන් හාවුන්, මුවන්, ගෝනුන් හා තල ගොයින්..තලුමරමින් රහ කර කර කන මිනිසුන් හා පන්සලේ නිරූපිත අපායේ සීටින ගොර බිරම් යමපල්ලන් අතර කිසිම වෙනසක් මා නොදුටිමි.


"උඹලා දෙන්නම වස්සො.. මහ වස්සයි, වහු පැටියයි " 


කියමින් සිනා සුණු මව අප හැරදා යාම පිළිබඳ මා කිසිම දිනක ශෝක නොවුණෙමි. අතරින් පතර , යලට මහට පාසල් ගොස් සිටි මා හට තව දුරටත් පොත් පත් වල රැඳී සිටීම මහත් වදයක් ම වූයේ සේම පියාගේද කිසිම විරුද්ධත්වයක් නොවූයේ බැවින් මා පාසලට ආයුබෝවන් කියමින් සිටි කාලයකදී..පියාගේ වන අඩවි කාර්යාලයට අලුතින් පැමිණි ..


"ඔව් සර් අම්මා දාලා ගිය දවසේ ඉඳන්ම මේකා තමයි මගේ දුක සැප බලා ගෙන ඉන්නෙ"


තාත්තා දිලිසෙන ඇසින් යුතුව ගාමිණී මහතාට මා දක්වමින් කීවේය. පන්සලේ බුදු ගෙට යන දොර අසල විශාල නෙළුම් මලක් අතකින් රැගෙන සිටින මහා විශාල දේවතා රූපයක් මෙන් උස මහත එවන්ම කාන්තිමත් මුහුණක් තිබු ගාමිණි මහතා දෙවියෙක්දෝ යි මට එක්වරම සිතුණේ..මා තවත් අඩි දෙක තුනක් පස්සට විය.


"මේකා අටේ පන්තියෙ ඒත් ඉස්කෝලෙ යන්න නම් කැමත්තක් ඇත්තේම නෑ ලොකු සර් ඔය වනාන්තරේම තමයි මේකගෙ ජීවිතේ.. දැන් මටත් වඩා ගස් වැල් , සත්තු ගැන දන්නවා..ඔය දැනටමත් වනන්තරේ බලන්න යන එන අයට සත්තු ගැවසෙන තැන් කියලා දීලා තෑගි බෝග එහෙමත් අරන් තියෙන්නෙ"


තාත්තටත් ඕනි නැති දෙයක් නෑ එව්වා මොකටද කියන්න යන්නෙ මේ මහත්තයට..පළපුරුදු එහෙත් වනාන්තරය ගැන එතරම් නොඳන්නා මෙම කාර්යාලයේම සිටින මඟ පෙන්වන්නන්ගෙන් මා ටොකු කා ගුටි කා ඇති බව පියා නොදනී.


"එනවා මෙතන අපිට උගන්නන්ඩ කැලේ ගැන..උඹ ගිහින් ඉගෙන ගන් තාත්තා එක්ක අර වත්තෙ පිටියෙ වැඩක් කරන හැටි..නැත්නම් අර අලුතින් හයි කරපු කක්කුස්සි ටික හෝදන හැටි" 


ඒ මා ඔවුන්ගෙන් නිතරම ලද දිරි ගැන්වීම්ය..පියාගේ මේ වදන් නිසා මා වනාන්තරය බලන්නට එන සියලුම දෙනාගෙන් ඈත් කර තබන මෙන් මොහුද අන් අයට අණ දෙනූ ඇත.


"ආ ඇත්තද මේ පොඩි හාදයා ?"


ගැඹුරු හඬක් සමඟ විමසුම් බැල්මක් මා වෙත හෙළූ ඔහු, 


"හොඳයි හොඳයි හැබැයි ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වත් පාස් උණොත් ඒ වගේ රස්සාවක් දෙන්න බැරියැ ඉතින් මෙහෙන්ම"






පැවසූයේ..මගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් එසේ සනිටුහන් කරමිනි.
ගාමිණී මහතාගේ පැමිණීමත් සමඟම අභය භූමිය සහිත රක්ෂිතය නව මුහුණක් ගත්තේ..ඔහු සැබැවින්ම වනයට සහ වන ජීවින්ට ආදරය කරන්නකු මෙන් ගත් යම් යම් නිර්භය තීරණ නිසාය. ඒ පිළිබඳව වඩාත් සතුටු වූයේ මගේ පියා වැනිම කැලෑව හා ළබැඳි සුළුතරයක් පමණි. බලයෙන් ආඨ්‍ය වූවන්ගේ අනේක විද අවශ්‍යතා සඳහා වන කොමලිය බලහත්කාරයෙන් ඇද ගෙන ගොස් දූෂණය කිරීමට එරෙහිව පැමිණි මුල් මාස කිහිපය තුළම නව පාලනය ගත් ක්‍රියාමාර්‍ග නිසාම..ගාමිණි සර් දෙවියෙක්ය යන්න සිතේ මුලින්ම ඇඳුණු ප්‍රථම ජායාව දීනෙන් දින තහවුරු වන්නට වූයේද පියා දීනෙන් දින කාර්යාලයේ වන නව පෙරළිය පිළිබඳ වඩ වඩාත් සතුටින් කතා කරන්නට වූයේත් මාද දෙවියා පෙන්වූ මාර්ගය දිගේ යාම සඳහා අකමැත්තෙන් වූවද පාසල වෙත යම් අවධානයක් යොමු කරන්න්ට වූයෙමි. ඒ හාම ගාමිණී මහතා සමඟ වනාන්තරයේ ඇවිදීම මා කුඩ කල පටන්ම තුරු ලතා හා සිව්පාවුන් ගැන දත් සියලු රහස් ඔහුට පැවසූයේ..මාද විස්මයට පත් කරමින් ඔහුද මා හට බොහෝ දෑ උගැන්වීය. නගරයේ මාගේම වයසේ පුතුන් දෙදෙනකු හා දුවකු සිටි ඔහු බලන්නට පැමිණෙන ඔවුන්ද මගේ හොඳම යහළු යෙහෙළියන් බවට පත් වීය. නමුත් ඔහු එතරම් ස්වභාවධර්මය හා බැඳී නැති තම දරුවන්ට නැති තරමේ පිය සෙනෙහසක් මා හට දක්වන්නේ යැයි සිතුණු වාර අනන්තය. පොත් පත් වලින් මා උගත් ජාතික වීරවරයන් ගොන්න තුල මා ගාමිණී මහතාට දී තිබුනේ ඉතා ඉහලම ස්ථානයකි. අජීවී වීරයන් ගොන්න හමුවේ සජීවීව මා හට ජීවිතය මේ යැයි කියා දෙමින් සිටින් වීරවරයකු හමු වන්නේ කලාතුරකින් බවද මා එවන් වාසනාවන්තයකු බවද මා දැන සිටියෙමි.


"මස් මාළු කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් දෙන ආහරයක්..අපේ මුල්ම ඉතිහාසය බැලුවත් අපි හැදිලා තියෙන්නේම සර්වභක්ෂක අය විදියට..ඒත් ලියන්නා පුතා අකමැතිව කවදාවත් මස් , මාළු කන්න එපා..ඒකට තියෙන නිදහස ඔයාට සම්පූර්ණයෙන් තියෙනවා"


පවසමින් මංස ආහාර ගැනීම හැර ඔහුගේ කිසිම නරකක් මට කිව නොහැක. එසේ වූවද මා කිසිදා ඔහු මස් කනවා දැක තිබුණේ නැත්තේ..ඔහුගේ මෙම ආකල්පය නම් පුදුම එළවන සුළු විය.


'උඹයි මායි නොකනවා කියලා අනිත් මිනිස්සුත් නොකා ඉන්ඩ ඕනිද " 


මේ පිළිබඳව විමසූ සෑම අවස්ථාවේම මපියා කී නිසා ඒ පිළිබඳ මමද එතරම් නොසොයා සිටියෙමි. මගේ මෙම ආකල්පය වෙනස් වන්නට වැඩි කාලයක් ගත නොවීය. ගාමිණී මහතා මෙම කාර්යාලයට පැමිණ වසරක් ගතවූ දින ඔහු විසින් කාර්යාලයේ සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කර එයට ආරාධනා කළේය. කාර්යාලයේ සේවයේ නොසිටියද මා හටද මෙම ආරාධනාව ලැබූයේ..මුත් මා ඊට් පෙර කිසි දිනක මෙලෙස පවත්වන වාර්ෂික භෝජන සංග්‍රහ සඳහා සහභාගී නොවූයේ එවන් දිනයන්හි මාහට දකින්නට ලැබෙන මස් වැද්දන්ගේ පිළිකුල් සහගත චර්යාව දැක සතුටු විය නොහැකියයි යන මතයේ පියා මෙන්ම මාද උන් බැවිනි.


"එව්වා එහෙම තමයි පුතේ ඒත් දෙයියෙක් වගේ ඉන්න ගාමිණී මහත්තයා කීවහන් කොහොමද මන් උණත් නොගිහින් ඉන්නෙ? මන් උඹටත් එක්ක රෑට උයාලා යන්නම්..ඒත් උඹ එනවනම් මම සතුටුයි. කන්ඩ බොන්ඩ නොඉඳ උඹ ඇවිත් මහත්තයා එක්ක කතා කරලා ආපහු වරෙන් ගෙදර. කියහන් ඉස්කෝලෙ හදිසි වැඩ වගයක් තියෙනවා කියලා"


ඔව් එහෙම කරනවා යැයි මමද අදිටන් කර ගත්තේ, එහෙනම් මට පේන විධිය වැරදි නෑ තාත්තටත් ගාමිණි සර්ව පේන්නෙ දෙවියෙක් වගේම තමයි..


"එන්න අපේ පුතාලා එහෙමත් එනවා ලියන්නා පුතාට අද එහෙ ඉඳලා හෙටම එන්න බැරියැ..බලන්නකෝ මන් අද දෙනවා හැමෝටම අමතක නොවන සංග්‍රහයක්"


යනුවෙන් ඔහුගේ ආරාධනාව ඉවත දැමීම කෙසේවත් කල නොහැකි නිසාය.මා පහු ගිය සතිය තිස්සේම මාගේ වන අරණේ මා හට හිතවත් සතුන් සියල්ලටම මේ කාලය තුළ වහන් වී සිටින මෙන් කනට කොඳුරා කියූවේ මගේ අතීත අත්දැකීම් නිසාමය. රාජකාරිය නිසාම හදවත රිදුම් දෙමින් වූවද පියා තමන්ට වළලන්නට වූ සතුන්ගේ හම් ගණන ඇඬූ කඳුළින් සිහිකළ වාර ගණන මට මතක ඇත. තම බිරිඳ දමා ගියදා නොඇඬු මිනිසෙක්...


රෑ පාටිය කොහොම වුණත් කමක් නෑ..කොළ පැහැය නොවෙනස් වන සේ සියුම්ව අවුවේ වේලා ගත් හබරල කොළයක් ගෙන ඒ මත මගේ අනර්ඝ කුරුලු පිහාටු සහ වියලූ මල් පෙති ගෙන මමද ගාමිණි මහතාට සුබ පැතුමක් සාදා ගතිමි. පියා ඉක්මනින්ම ඔහුගේ නිල නිවාසය වෙත ගියද මා තරමක් පසු වී ඒ දෙසට පිය නැගුවෙමි. තරමක් ඈතට වූවද සිහින් සංගීත රාවයක් ඇසේ. එය ඊට පෙර තිබූ සාදයන් වලද එසේම විය. විදුලි බුබුළු රාශියකින් සරසා තිබු ගෙමිදුල දැනටමත් පිරිස් සතුටු සාමීචියේ යෙදෙමින් සිටිනු පෙනිණි.අසල වූ සුවිශාල කොස් ගසට මුවා වී මා අනිත් දිනවල මෙන්ම සිදු වන්නේ කුමක්ද යන්න බලා සිටියෙමි. නිවසේ පසු පසෙක සකසා තිබූ තාවකාලික වහල යට මේස මත රන්වන් පැහැ වීදුරු රාශියක් තබා තිබුණි. දන්නා හඳුනන සියල්ලෝම අතරට නොහඳුනන මුහුණු කීපයක්ද වීය. ඔවුන් සතුටින් විටින් විට තම අතවූ වීදුරු මුව වෙත ගෙන ගියෝය. තැනින් තැන මේස මත විශාල කෑම තසිම් තබා තිබුණි. ඒ අතරින් මා ඉමහත් පිළිකුල් කල බඳින ලද මස් යැයි සිතිය හැකි පීරිසි දුටු විගසම මාගේ බඩ දඟලන්නට විය. ඒ සමඟම තවත් තැනෙක එලිමහනේම මස් අමු අමුවෙම පුළුස්සා ගත හැකි ගිනි පෑහෙන උඳුනක් වීය. එම උඳුන වටා සිටියෝ මඳ අඳුරේ වූවද උඳුනෙන් විටින් විට නැගෙන රත් පැහැ ආලෝකයෙන් රත් පැහැයෙන් ජ්වලිත වන්නට වූයේ නැවතත් මට මැවී ගියේ අපායෙ යමපල්ලන් රාශියක් ලෙසය. මා පියා හෝ ගාමිණි මහතා තවමත් ඇස නොගැටුණි. 


ඒ හාම එක අතක වීදුරුවක් රැගෙන මස් පුළුස්සන උඳුන අසලට යන්නේ ඔහු නොවේද? මගේ ඇස් අදහා ගත නොහැක. විදුලි ආලෝකයෙන් රන්වන් පැහැ ගත් මෙම දෙවියාගේ මුහුණ එක් වරම උදුනේ ආලෝකයෙන් රත් පැහැ ගත්තේ..ඔහුද අසලක වූ මස් කුට්ටියක් ගෙන එය ඉව කරන්නට වූයේ..මගේ හිත තුළ වූ දෙවියා එක්වරම යම රජු බවට පත් කරවමිනි. රත් පැහැ මස් කුට්ටියක් ගෙන මුව තුළට ඔබා ගනු දැකීමට නොහැකි මා හනික කොස් ගස අසල වාඩි වුනිමි. අතවු සුබ පැතුම ටකස් යන හඬින් දෙකට කැඩී ගියේ සිතෙහි හට ගත් වචනයට පෙරළිය නොහැකි පෙරළිය නිසා වන්නට පුළුවන. මේ වනතෙක් මුව සම පොරවා ගෙන සිටි වෘකයා මා දෑස හමුවේම සිටී. සේරම වැදි බණ කාරයො තමයි. කොහොමද මටත් වඩා හොඳට මුවෝ , හාවො වගේ අහිංසක සත්තු ළඟට ගිහින් උන්ගේ ඔළුව ආදරෙන් - බොරු මවා පාපු ආදරයකින් - අත ගාපු කෙනා..දැන් ඒ සත්තුන්ගේම මස් අමු අමුවේම පුච්චලා කන්න තරම් හිත හදා ගත්තෙ..අනේ ඔතන ඉන්නවා ඇත්තෙ පහු ගිය සතිය පුරවටම මගේ අත ලෙවකාපු මුවෙක් වෙන්ඩ බැරිද.. හවෙක් වෙන්ඩ බැරිද ? පෙර දිනයක අප දෙදෙනාගේම අත් ලෙවකමින් අප හා සුරතල් වූ මුව පොව්වන් හා ඈතට වී බලා සිටි ඔවුන්ගේ මුව රැළ මේ මොහොතේ ගාමිණී මහත්තයාගේ සිහියට නො එන්නේ ඔහු හා මස් බුදින රුදුරු කොටියකු හෝ මෘගයකුට ඇති හිතක් ඔහුටත් ඇති නිසා වන්නට පුළුවන..මගේ කම්මුල හරහා උණුසුම්ව ගලා යන්නේ කඳුලුද මෙය දැක නිහඬව හඬන කොස් ගසේ කඳුලුද යන්න සිතා ගත නොහැක. . මස් බඳින උදුන ළඟ පැත්තක තබා තිබු විශාල භාජනයේ සුදුපාටට යමක් පුරවා තිබුණි. දෑස බොඳ වීමට පෙර මගේ හිත කීවේ ඒ සුදු පැහැ හාවුන් බවයි.


"මාළුවන්ට ස්නායු පද්ධතියක් නෑ..ඒ ඇරුණහම ලියන්නා පුතා අපි දකින මේ අහිංසක සත්තුන්ට සේරමල්ලාට වේදනාව් දැනෙනවා අපිට වගේම. පුතා එළවළු කන එකත් නවත්තයි පුතේ මන් හිතනවා ගස් වැල් වලටත් අපිට වගේම හැඟීම් දැනෙනවා කියලා..බලන්ඩ ඔයා ගස් වැල් වලට ආදරෙන් කතා කරලා අත ගාලා..ඒවයෙ මල් ගෙඩි හරි ලොකු වෙනවා පහු කාලෙක.."


පෙර දිනයක මා ඇහැ ගැටුණු උගුලක සිර වී පණ අදිමින් සිටි හා පොව්වා ඉන් ඉවතට ගෙන ඉතා සියුම්ව සාත්තු කරමින් ඔහු කී දෑ..සමඟ මා මෙම වන දෙවියා ගැන මගේ හදවත පතුලේම තබා ගත් ගෞරවණීය ආදරය..වැඩිදුර සාත්තුවට කියලා නිල නිවසයට අරන් ගිය ඒකාවත් රෑ කෑමට ගන්න ඇති එහෙනම්..පිළිකුල සමඟ දහවල ගත් ආහාරය මගේ මුවින් පිටවිය..වමනයත් සමඟම බඩ හිස් වූයේ නමුත් හිස හා හිත පෙළන මේ සිතුවිලි සමූහය ...ඊළඟට මොකද්ද කරන්නෙ ?


ඔව් මට මොනවා නැති වෙන්නද තවත් දෙවියො කියලා හිතා ගත්ත අදහා ගත්ත මිනිහත් මෙච්චර තිරිසනෙක් නම් තව මොනවද මට නැති වෙන්ඩ තියෙන්නෙ..දන්න හැම වචනයකින්ම මම මගේ හිතේ කැලෑවට වගේම සත්තුන්ට තියෙන ලෙංගතු කම කීවා වගේම ගාමිණී කියන මහත්තයාට මන් කියලා දෙනවා මෙතනම ඔය කරන වැඩේ තියෙන තිරිසන් කම..තාත්තා උණත් මගේ පැත්ත ගනී.


"මට පුළුවන් නම් මන් ගහනවා පුතේ පෙත්සමක් මේ ලොක්කායි උගේ සහචරයොයි මේ කැලෑවටයි සත්තුන්ටයි කරන විනාසෙට"


ගාමිණී කියන මහත්තයා එන්ඩ ඉස්සෙල්ලා හිටපු අය ගැන තාත්තා වේදනාවෙන් කී අයුරු මට මැවී පෙනිණි. අද මා මෙයට විරුද්ධ නොවූවොත් මොහොතකට පෙර මේ තිරිසනුන්ගේ පිහියට ගෙල තබා මිය ගිය හාවුන්ගේ, මුවන්ගේ හා ගෝනුන්ගේ ආදරණීය ආත්මය පවා මට ශාප කරනු ඇත. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ඔවුන්ගේ පැටවුන් ළඟටවත් මා හට ලං වන්නට ඉඩ නොදෙනු ඇත. මාගේ අත් සහ දෙපා වෙව්ලූවද..හිතට මහත් ශක්තියක් දැනෙන්නට විය. මෙවන් සාදයන් හෙට දින එළි වෙනතෙක්ම යන බව මා දනිමි.තවත් සතුන් රාශියක් සමහර විට ඝාතනය වන්නට පෙරම මා මෙය ගාමිණීගේ මූණටම කියා මෙතනින් පිටත් විය යුතුයි. මා නැගී සිටියෙමි. ගාමිණී මස් බඳින උදුනෙන් මෑත් වෙමින් සිටී. එක් අතක රන් පැහැ මත් වතුර වීදුරුවත් අනිත් අතේ තරමක් විශාල මස් කුට්ටියත් රස බලමින් ඉදිරියට එන යක්ෂයා..ඊට පෙර දින සුරතල් හා පැටවකු අතින් ගත් ඒ දෙවියාමද යන්න මට මොහොතකට අමතක විය..මා වෙව්ලන ශරීරයෙන් යුතුව සුවිසල් කොස් ගසේ ජායාවෙන් එළියට ඇදුනෙමි. මිනිස් තිරිසනුන්ගේ රස වෙනුවෙන් මේ වනතෙක් දිවි පිදූ සත්වයින්ගේ සුදුම සුදු ආත්මයන් මාගේ ශක්තිය වෙනුවෙන් මා වටා සැරිසරනු මට පෙනේ..




මතු සම්බන්ධයි. 

Friday, February 17, 2012

අලි මදිවට හරක් ..උපත් පාලන කොපු මදිවට සනීපාරක්ශක තුවා..

"මහත්තයා අන්න අදත් තැපැල් පෙට්ටිය පිරෙන්න ලියුම් ගොඩක් ඇවිල්ලා"


මගේ ඇඟ සීතල වී ගියේ දැනට අවුරුදු කීපයකට පෙර සිදු වූ සිදුවීම් සමූහය සිහියට නැගුණු නිසාය.


"සිරිපාල ටක් ගාල ලොකු නෝනා දකින්න ඉස්සෙල්ලා ඔය ලියුම් ටික මල්ලකට දමලා ගෙනිහින් තියන්න මගෙ ඔෆිස් කාමරෙ අර ලොක් කරලා තියෙන කබඩ් එක එහා පැත්තෙන්"


සිරිපාලගේ මහත් වූ දෑස් මා හට කීවේ විශාල අනතුරක් බවයි.


"මොනවද මොනවද කබඩ් එක එහා ඇත්තෙන් තියන්න කීවෙ?"


කර්ණ රසායන මධුර කටහඬ මගේ දෙසවන් තුළ මීබිඳු වත් කරන්නාක් මෙන් විය.


"නෑ මැඩම් ..මේ මැඩම්.."

"සිරිපාල මොකද ගොත ගහන්නෙ? මොනාද ලියන්නා ඩාලිං ?"


"නෑ අර ලියුම් වගයක් ඇවිල්ලලු..ඒක ගිහින් තියන්න කීවෙ"


"ලියුම් වගයක් ? මල්ලක දමලා ගෙනියන්න තරම්?"

අපහසුවෙන් යමක් මතකයට ගැනීමට දඟලන සේයාවක් සමඟම ඇයගේ මුහුණේ ඇඳී ගියේ කෝපයක සේයාවකි.


"ආයිමත් පටන් ගත්තද තව එකක්? සිරිපාල ගේනවා සේරම ලියුම් ටික දැන්මම"


ඇඳ සිටි ඔසරියේ පට ගෙන ඉනේ එක පැත්තක ගසා ගත් ඇය මා දෙස විමසුම් බැල්මක් හෙළන්නට වූයේ..මා අත වූ පුවත් පත දෙසට මා නැවත දෑස යොමු කළේ අසල වූ ඇල් මැරුණු තේ කෝප්පය නැවත අතට ගත්තේය.


"අර ඉස්සෙල්ලා වගේද දන්නෙ නෑ මේ සැරෙත් ? හැබෑටම තමුසෙට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද මන් අහන්නෙ ? විසි ගණන් පැනපු දුවෙක් ඉන්නවා කියලවත් ගාණක් නැති හැටි, අම්ම්පා මේ සැරේ නම් මන් දෙකෙන් එකක් කරනවා ඔන්න නොකීවයි කියන්න නම් එපා"


ලැසි ගමනින් ඈ දොර වෙත ගියේ සිරිපාල ලියුම් ගොන්න නිරුපද්‍රිතව ඈ අතටම පත් කරන්නේද යන්න සැක හැර ගැනීමටම විය යුතුය.
ගිය සැරෙත් දෙකෙන් එකක් කරපු පාර තමයි තවමත් බියට්‍රිස් තරම් දක්ෂ පුද්ගලික ලේකම් වරියක සමාගම් ජාලයටම තවම හොයා ගන්න බැරි උනේ..මා කීවා නොව සිතා නිහඬ විය.


චිහ් මේ ගෑනිට මාව සැක කරන එක ජන්ම පුරුද්දක්ද කොහෙද? නැත්නම් ගිය සැරේ ඔහොම හිස් උපත් පාලන පෙති අසුරන සහිතව ලිපි ගොන්නක් අපගේ තැපැල් පෙට්ටිය වෙත ලැබීමත් සමඟ වූ ජංජාලය මගේ සිහියට එන්නට විය.ව්‍යාපාර කටයුතු ආරම්භ කල කාලයේ අධිකව කළයුතු ලිපි ගනුදෙනු නිසාම විශේෂ තැපැල් අංකයක් සහිත තැපැල් පෙට්ටියක් ලබා ගත්තේ එය ඉතා ප්‍රයෝජනවත් වූ නිසාය. නමුත් කාලයත් සමඟම ලිපි ගනුදෙනු වලට වඩා විද්‍යුත් හුවමාරු ක්‍රම භාවිතයට ගත්තත්..මෙම තැපැල් පෙට්ටිය දිගින් දිගටම අප සමඟම සිටියේය.
දුව පිටරට අධ්‍යාපනය සඳහා නිවසින් බැහැර වූ කාලයේ පටන්ම සෝමා මා ආදරණීය බිරිඳ වඩ වඩාත් මාගේ ව්‍යාපාරික කටයුතු සමඟ බද්ධ වීමට තතනනු ලැබූයේ ඇයගේ දැඩි විවේක කාලය යම් ඵලදායී ලෙස ගෙවීමට විය යුතුයි.නමුත් එය මාගේ ව්‍යාපාරික කටයුතු සඳහා රුකුලක් වනවාට වඩා බාධකයක් වන්නට වූයේ..සේවාසථානයේ වූ ළඳුන් සමඟ ඈ ගැටීමට උත්සාහ කිරීමත් එය ආයතනික ගැටුම් ගැටුම් බවට පත් වන තත්වයක් කරා නිර්මාණය වූයේ..මාගේ දැඩි අකමැත්ත මතම ඈ හට ව්‍යාපාරික සහාය භූමිකාවෙන් ඉවත් වන්නට සිදුවිය.


"ඔව් මන් ඉන්නකොට බෑනෙ අර උඩිච්චියො එක්ක නඩලං නටන්න"

ඈ නිතර දෙවේලේ දොස් පවරන්නට වූයේ.. පසු කලක සමාජ සේවා කටයුතු කිරීමට සහභාගී වූ බැවින් එය තරමක් දුරස් විය.සමාජ සංගම් වල ආභාසය නිසාම ඇයද සුන්දර සිත් ඇද ගන්නා සුළු කාන්තාවකගේ ස්වරූපයේ සිට අධික ලෙස ආභාරණ පැළඳි , බොරු ආටෝපයෙන් පිරි පඤ්චස්කන්දයක්ම බවට පත් වීය. ඕන්න ඔය කාලයේ අපගේ තැපැල් පෙට්ටියට ලැබුණු හිස් උපත් පාලන පෙති දවටන සහිත විශාල ලියුම් කන්දරාව ඇයගේ දැඩි කෝපයට භාජනය විය.


"තමුසෙ රිංගන ගෑනුන්ගෙ ගෙවල් වල ඉන්න එවුන් තමයි ඔය එවලා තියෙන්නෙ..නැත්නම් අහවල් එකකටද මේවා අපිට එවන්නෙ..උන් බය ඇති මගේ මල්ලි හින්දා කෙළින්ම මේක මට කියන්න"


බලවත් ස්ථානයක පසු වූවද ඇගේ මල්ලී පටලවාගත් පැටලිලි බොහෝමයක් මා මඟ හරවා දුන් බව ඈට මතක තිබුණද ඈ ඒ සියල්ලම අමතක කොට හැසිරුණේ කෙලෙසදැයි මට තවම සිතා ගත නොහැක. එක්කෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුව ඉවසා ගත නොහැකි පිරිසක් විසින් මගේ පවුල් ජීවිතය කඩා බිඳ දැමීමට කරන ලද උත්සාහයක් යැයි සිතිය හැකි එම සිද්ධිය පිළිබඳ මා වැඩිදුර සොයා බැලීමට උත්සාහ ගත්තත්


"නෑ මන් තියා ගන්නවා මේ ලියුම් ටික සේරම මන් ළඟ කවදහරි ඩිවෝස් එකකට යන්න ඕනි උණොත් මේවා ප්‍රයෝජනවත් වෙයි . දැන් මේවයේ එවපු උන්ගෙ කියලා නම් ඇඩ්‍රස් එහෙමත් තියෙන්නෙ"


ඈ සියලුම ලිපි ටික ඇගේ ග්‍රහණයට ගත්තාය.එසේම ඉන්පසුව ඈ දුරකථන පණිවිඩ පිට පණිවිඩ දෙමින් අපගේ සමාගම ජාලයේ සිටි බියට්‍රිස් හට තර්ජනය කරන්නට වූයේ..එක් දිනක් කාර්යාලයටම කඩා වැදී මහා හඬින් බැණ වැදුණු බැවින් බියට්‍රිස් සමාගම අතහැර ගියාය. සියලුම සම්බන්ධීකරණ වැඩ කටයුතු වලට අති දක්ෂ තැනැත්තියක් වූ ඇයගේ අස්වීම තවමත් නැවත ගොඩ නගා ගත නොහැකි පාඩුවකි. සුරූපී බව මෙන්ම දක්ෂකම අතැතිව පැමිණි ඇයහට සමාගම ඉතා විශාල වන්දියක් ගෙවූ බව සහ දැනට වැඩ කරන තැන පවා සමාගමෙන්ම ඇයට සොයා දුන් තැනක් බව නොදන්නා නිසා සෝමාගේ මතකයෙන් එය ගිලිහී ගියත්


"ඔව් තමුසෙට මන් එක්ක තමයි ටිකක් කතා කර කර ඉන්නවත් බැරි.. අරකි එක්ක නම්..රටවල් රටවල් ගානේ ගිහින් නටපු නැටිලි වල ෆොටෝ තවම මං ළඟ තියෙනවා"

ඉතා අධිකව වෙහෙසවී පැමිණෙන රාත්‍රීන් බොහෝමයක ඈ නෝක්කාඩු කීවාය.එම ජායාරූපය වෙන කිසිවක් නොව එක් ජාත්‍යන්තර සමුළුවකදී රාත්‍රී සාදයකදී සමූහ නැටුමකදී ගත් එකක් වූ අතර එහිදී බියට්‍රිස් විසින් ඇඳි සරාගික ඇඳුම සියල්ලගේම කතාබහට ලක්වූ එකක් වීය. කෙසේ හෝ මෙම සමුළුව තුළින් අප දිනාගත් ව්‍යාපාරික ගිවිසුම් රාශිය අප සමාගම් ජාලයම රැඳවූයේ ඉතා ඉහළ දියුණු තත්වයකයි. කවුරුන් හෝ මෙම ජායාරූප පෙළක් සෝමාට එවා තිබිණි. ඇයගේ හේතු විරහිත සැකය නම් පුළුන් ගොඩට දැමූ පෙට්‍රල් ටිකක් මෙන් එය ඇවිලී ගියේය. ඈ සැක කල පරිදි මා නම් කිසි දිනක එවන් සල්ලාල ජීවිතයකට හුරු නොවූයෙක් වූයේ නමුදු එවන් ජීවිතයක් ගත කරන්නේ නම් එයට මා හට නොමද හේතු කාරණා තිබිණි. පිය පරම්පරාවෙන් මෙන්ම බිරිඳගේ පරම්පරාවෙන් ලද ධනය බලය නොමඳව හිමි මා හට එවන් ජීවිත ගත කරන මගේ මිතුරන්ගෙන් මා ලද විහිළු තහළු නම් නොමද විය. බියට්‍රිස් වූවද සමුගෙන යන විට ම දෙපතුල වැන්දේ


"සර් කවුරු කොහොම කීවත් එදා වගේම අදත් හෙටත් මට මගේ තාත්තා ළඟට මන් සලකන්නෙ ගරු කරන්නේ සර්ටම තමයි"

ලෝකයා කෙසේ කීවත් අපගේ සම්බන්ධය වචනයේ පරිසමාප්ත අරුතින්ම  එසේම වීය. ජීවිතයම බෙදා හදා ගන්නා බිරිඳ එය පිළිගන්නේ නැත්නම් අවට ලෝකයාට මා එය කෙසේ ඒත්තු ගන්වන්නද?


"සිරිපාල ගේන්න ඔය ටික අපේ කාමරේට"


සිරිපාලද මහා වරදක් කල අයකු මෙන් ලියුම් ගොන්න සහිත මල්ලද රැගෙන සෝමා පසු පස ඇදුණේය.
මොහොතකින් ආපසු පැමිණි ඔහු මා දෙස බලා සිටියේ ඉතා අසරණ අයකු මෙනි. ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් මා අපගේ නිදන කාමර්ය වෙත ඇදුණේ මෙය කුමන වර්ගයේ බෝම්බයක්ද යන්න ගැන සිතමිනි.ගොර බිරම් යකින්නියක් මෙන් ඈ ලිපි කිහිපයක් කඩා එහි වූ දෑ සියල්ල ඇඳ මත දමා තිබුණි. තව ලිපි කිහිපයක්ම ඇගේ අතේ විය.


"තමුසෙ කවදාවත්ම හැදෙන මනුස්සයෙක් නම් නෙවෙයි..බලනවා කරන වැඩ වයසටද ?  ඕන්න ආයිමත් සෙට් කර ගෙන ඇති තමුන්ගෙ දුවටත් වඩා බාල එකියක්.. ඒකනේ මේවා එවලා තියෙන්නෙ"

ලිපි කවර වලින් එළියට ඇද තිබුණේ රෝස පාට සනීපාරක්ෂක තුවා වල හිස් පැකට් රාශියකි. නැවතත් අපගේ ව්‍යාපාරය බිඳ දැමීමට ගත් උත්සාහයන් වැරදුණු විට යම් අයකු හෝ සමූහයක් විසින් අපගේ පවුල් ජීවිතය බිඳ දැමීමට උත්සාහ දරා ඇත.


 "ඔය මදැයි ඉවසුවා මමත්.. දැන් මේවා අර රට ඉන්න දූට එහෙම ආරංචි උණොත් ඉඳලා වැඩක් තියෙනවද?"

ඈ කෝපයන් නැගිට මා දෙසට පැමිණියේ මාද ආරක්ෂාව පතා එක පියවරක් පසුපසට තැබූවත්


"ඔයිට වඩා හොඳයි තමුසෙ යනවා පාරෙ ඔහොම"


ඇඳ සිටි සරම සිතා ගැනීමටත් බැරි වේගයෙන් කඩා දැමූ ඈ මා නැමී එය ගෙන හැඳ ගැනීමටත් පෙරම


"සිරිපාල.. සිරිපාල..පීරිස්ට කියන්න බෙන්ස් එක ලෑස්ති කරන්න කියලා පැය භාගයකින් යන්න ලෑස්තිවෙන්ඩ කියන්න"


ගුගුළාය.


"බෙන්ස් එක අරගෙන කොහෙ යන්නද? මට මේ සතියම බිස්නස් ට්‍රිප් තියෙනවා..වෙන වාහනයක් අරන් යනවා" 

මම සරම අඳිමින් කීවෙමි.

"මගේ සල්ලි වලින් ගත්ත බෙන්ස් එක මන් මට ඕනි දිහා අරන් යනවා..තමුසෙ ඕනි මගුලක යනවා ඕනි කෙල්ලෙක් එක්ක තව වාහන තියෙන්නෙ.. ලෑස්ති වෙනවා ඩිවෝස් එකේ වන්දි ගෙවන්න ළඟදීම..මන් මේ සැරේ ලේසියෙන් මේක අතාරින්නෙ නෑ"


"මේ රට හිනස්සවන්නෙ නැතුව ඉන්නවා මෙහෙ ගෙදරට වෙලා"


"ඔව් මන් තමයි රට හිනස්සවන්නෙ, තමුසෙ හැමතැනම ඉන්න ගෑනු එක්ක ලැගලා ඉන්න කොට හිනා වෙන්නෙ මොකාද? මගේ මල්ලි හින්දා මිනිස්සු මේවා එළියට අදින්නෙ නෑ..ඒ උණාට මෙහෙම තමයි ඕවා දන්වන්නෙ මට"


ඈ අත දිගු කරමින් ඇඳ පෙන්නුවාය. කෝපයෙන් විරූපී වුණු මුහුණක් සහිත වූ ඇය සමඟ තර්ක කර දිනීමට මෙය වෙලාව නොවේය යන්න අවුරුදු 32ක කාලය මට උගන්වා තිබුණි.


"මන් යනවා මාතලේ ගෙදරට"


ඔව් ඉතින් ගිහින් නටන්න පුළුවන් එහෙට වෙලා ඕනි නැටිල්ලක් යනුවෙන් සිතමින් මා කාර්යාල කාමරයට ගියේ ලෝයර් පෙරේරාට කතා කරන්න ඕනි යැයි සිතමිනි. ධනය හා බලය හැරෙන්නට කිසිම ගැලපීමක් නැති මේ විවාහය මෙතරම් කාලයක් ගෙවුණේ කෙසේදැයි විටෙක මාවම විස්මයට පත් කරයි. අධික රාගයකින් දැවෙමින් සිටි ඈගේ ජීවිතය නිවීමට මාගේ නිවී ගිය දිවිය කෙසේවත් නොසෑහුනි. එය සෑම විටම අවබෝධවූවත් තැබූ අඩිය කිසිදා ආපසු නොගැනුණු මා කෙසේ හෝ ඉවසීමෙන් යුතුව වසර 32ක් කාලයක් ගෙවා දැමිණි. ඉතින් ඈ හට අවශ්‍ය නම් එය නිමා කිරීමට මා ඉඩ දිය යුතුය.


මා කිසි දිනක නොකීවද ඈ සම්බන්ධව සිටි රාත්‍රී සමාජ ශාලාවලදී ඈ ඩැහැගෙන ගිය තරුණයන් සමඟ සිටි ජායාරූප මෙන්ම වීඩියෝ පවා මා සන්තකව ඇති බැවින් නීතිමය කටයුතු වලදී වැඩි වාසිය හිමිවන්නේ මා හට බව නිසැකය. ඇයගේ මේ අධික කාමුකබවම ඈ අනිත් පැත්තට මා හට ඇති බව සිතා සැක පහළ කර ගෙන මෙසේ හැසිරීම නම් ඉතා පහත් නමුත්..මාගේ මිතුරු මනෝ වෛද්‍ය මහේෂ් පවසා සිටියේ මෙය තරමක් සංකීර්ණ මුත් සාමාන්‍යයෙන් දැකිය හැකි මානසික තත්වයක් බවයි.


"මචං තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම
හුණු තියෙන එකා තමයි අනිත් උන්ගෙ තියෙන කිල්ලෝට වල තියෙන හුණු පොඩ්ඩක් දැක්කත් උඩ පනින්නෙ..ඕක අපේ සීයලා, ආච්චිලා කීවෙ කට කහනවටයැ"

සෝමා සම්බන්ධයෙන් බැලූ කල මෙය නම් සියයට සියයක්ම සත්‍ය කාරණාවක් බව මා හට අත්දැකීමෙන්ම කිව හැක. ඔවුන්ගේ ඉල්ලීම නිසාම නිවසේ වාහන වල සේවයට බඳවා ගත් තරුණ රියැදුරන් සියල්ලම සමාගම් සේවයට යොදා තලතුනා කිහිප දෙනෙක්ම සේවයට යොදා ගැනීමට වූ හේතු කාරණා දන්නේ අප කීපදෙනාම පමණි.


"සර් බණ භාවනා කරන කෙනෙක් තරම් නිවුණු කෙනෙක් නිසයි කියන්නෙ සර්..අපිට අමාරුයි සර් නෝනා එක්ක වැඩ කරන්න"


යන වදන මා ඇසූවේ දැනට සේවය කරන මැදිවියද ඉක්මවූ පීරිස්ය.
මේ සියල්ලම ගොනු කොට ලෝයර් පෙරේරාට දීම ඉතා වැදගත්බව සිතුණේ එවිටම අත තිබූ දුරකථනය නාද වන්නට වූයේ..


"හලෝ ඩැඩී මොනාද ඔයා මේ කරන ජරා වැඩ ? අන්න මමී යනවා මාතලේ. මට දැන් කීවේ අඬ අඬා.."

"දුව එයාට පිස්සුද මන්දා වැඩේම මාව සැක කරන එකමයි.. ඔයා ඕවා හිතන්න ඒපා..කොහොමද ඔයාගෙ ස්ටඩීස් දැන්? තව ටික කාලයයි නේද තියෙන්නෙ ඔය කෝස් එක ඉවර වෙන්න. ඒක ඉවර කර ගන්න"

"මමී කියනවා මේ සැරේ ඩැඩී මටත් වඩා පොඩි කෙල්ලෙක් යාළු කර ගෙනලු මොනාද ඩඩා ලැජ්ජා නැද්ද ඔයාට ? ඉස්සෙල්ලත් අර බියට්‍රිස් අක්කා එක්ක..එයාත් මට වඩා අවුරුදු 3යි වැඩිමාල්. ඔයාට නම් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ..මට ඩඩා කියන්නත් ලැජ්ජයි"


"මන් දැන් එක සැරයක් කීවනෙ එයාට පිස්සු කියලා..ඔයා ඉක්මනට ඔය ස්ටඩීස් ඉවර ක්‍ර ගෙන එන්න ළමයො එතකොට මගේ කම්පැණියෙ ඩිරෙක්ටර් බෝඩ් එකට ජොයින් වෙන්න පුළුවන්"

"එ උණාට මමී කීවෙ ඔය කේස් එක අල්ලලා ඩඩාව ඩිවෝස් කරනවා කියලා..ලැජ්ජයි ඩඩා මට ඔයා එක්ක වැඩ කරන්න.. එහෙම වුණොත් මත් ක්‍රිස්ව මැරී කරලා මෙහෙම නවතිනවා"


"කවුද ක්‍රිස් ඔයා ඉස්සෙල්ලා කීවෙ ජේක් ද කවුද කියල නේද ඔයාගෙ එෆෙයාර් එකක් තියෙනවා කියලා?"


"ජේක් මගෙ ෆස්ට් එක ඩඩා මන් කීවෙ ටෝනි ගැන ඒ අෆෙයාර් එකත් ඉවරයි.දැන් ක්‍රිස් එක්ක තමයි මන් ඉන්නෙ. ඩඩාලා අවුට් ඔෆ් ෆැෂන් කල්චර් එකක් ඔළුවෙ තියන් ඉන්නෙ ඕ ගොල්ලන්ට ඕවා තේරෙන්නෙ නෑ. ඕන්න මන් නොකීවයි කියන්න එපා ඔය කෙල්ලො පස්සෙ යන එක නවත්වන්න ඩඩා ඔයාගෙ වයස ගැනවත් හිතලා..බායි"

"බායි"


අම්මගෙම දුවනෙ ඉතින්.. දුරකථනයෙන් ලෝයර් පෙරේරා අමතා අවශ්‍ය උපදෙස් දුන් මා නව ව්‍යාපාරික පුවත් දැන ගැනීමේ අටියෙන් අසල වූ රූපවාහිනිය ක්‍රියාත්මක කළෙමි.


වෙළඳ දැන්වීම දෙස ඇස් කොනින් බලමින් මා අසල තිබූ වතුර වීදුරුව තොල ගාන්නට වූයේ එක්වරම මගේ දැහැන බිඳී ගියේ රූපවාහිනියේ දිස් වන වෙළඳ දැන්වීමක් සමඟය. මා ඇඳ මතට හෙළූ සනීපාරක්ෂක තුවා පිළිබඳ දැන්වීමක් ප්‍රචාරය වෙයි. අවසන එම සමාගම වෙතින් ප්‍රවර්ධන කටයුත්තක් ලෙස සකසන ලද යම් තරඟයක් පිළිබඳ දැක්වේ.. එහි කොන්දේසි වන්නේ හිස් දවටන කිහිපයක් සමඟ තැ.පෙ. අංක 8154 වෙත එවිය යුතු බවයි. එය මා හට හුරු පුරුදු තැපැල් පෙට්ටි අංකයකි. අපගේ සමාගම් ලිපි ශීර්ෂයක් වෙත දෑස යොමු කළවිට පෙනුණේ එය මාගේ තැපල් පෙට්ටි අංකය බවයි. වෙළඳ දැන්වීම සකසන විට ඔවුන්ගේ අංකය වැරදී ඇත. කරුණු සොයා නොබලා සෝමා මාතලේ බලා යමින් සිටින්නීය. දුරකථන නාමාවලිය ගෙන බැලූ විට පෙනුණේ ඔවුන්ගේ තැපැල් පෙට්ටි අංකය 8145 වීය. මා ඊළඟට පෙරලූයේ අර ඉහත කී උපත් පාලන ආයතනයේ ලිපිනය වෙතයි. එහි තැපැල් පෙට්ටි අංකය 8514 වීය. 


හදවතේ ඇතිවූයේ සැහැල්ලුවක්ද බරක්ද යන්න නොදැනීම මා අත වූ දුරකථනයෙන් නීතිඥ පෙරේරා අමතා සියල්ල අවලංගු කරන මෙන් ඉල්ලා ඊළඟ ඇමතුම සෝමා වෙත යොමු කළෙමි. ..

Friday, February 10, 2012

ක්ෂිතිජයේ ඉම සොයා රේඛා සහ සඳලී...

"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
----------------------------------------------------------------------------




නිරන්තරයෙන්ම හඬ නැගෙන හෝ හෝ හඬ ජීවිතයේ ජය හමුවේ නැගෙන විජයග්‍රහණයේ සංගීතය මෙන්ම, අනන්ත දුක්ඛ දෝමනස්සයන් හමුවේ හඬන හංස විලාපය වැනිය. සමුදුරේ හඬ දෙසවන් වැකෙන්නේ කොයි මොහොතේද එතැන මගේ දිවියේ සියලු භාවයන් ක්ෂණයකින් වැසීමට නොහැකිවූ පැන්ඩෝරාගේ පෙට්ටියේ වූ සියල්ල මෙන් මගෙන් නික්මී මා සමීප අවකාශයේ සැරි සරන්නේ නැවතත් , නැවත නැවතත් මා කිසිම වගකීමක් නැති සරල සැහැල්ලු කුඩා දරුවකු බවට පත් කරමිනි. මෙම විශ්මිතය තුළ කාලයේ බාධකයන් නොතකමින් මගේ සරල සුගම ධ්‍යානයන්ට සම වැදීම මගේ කිසිදා නොසන්සිඳුණු පිපාසයක්ම විය.


"කෝ මයෙ පුතා ඔය පොත් පාඩම් කරනවද නැත්නම් මුහුද කරේ බලන් හූල්ලනවද?"


කුස නොදැරුවත්, ලේ කිරි කර නොපෙව්වත්, වචනයේ පරිසමාප්ත අරුතින්ම අම්මා වූ මේ ආදරබර ගැහැනියගේ උණුසුම් අත මා හිස මත පතිත වන තෙක් මා මුනිවත රකින්නේ..මා කුමක් හෝ ඊට පෙර දෙඩුවොත් ඈ ගේ මේ උණුසුම ආදරය අහිමි වෙතැයි සැලෙන බියෙනි. 


"මයෙ පුතා ඒ අම්මයි තාත්තයි ගැනද හිතන්නෙ? මායි තාත්තයි කතා කරගත්තා ඒගොල්ලන්ව හොයන්න..ඉන්නකො තාත්තා මේ සැරේ මූදුකරේ ගිහින් ආවහම අපි හොයල බලමු මය පුතේ"


"අම්මට නම් පිස්සු..ඕවා දමන්න එපා තාත්තයෙ ඔළුවට එහෙම"


මා ආරුඪ කර ගත් නොරිස්සුමකින් පවසමි.
මාළු ඇල්ලීම සඳහා මාස ගණන් මූදුකරයට ගොස් ආපසු පැමිණෙන පියාගේ සෙනෙහසින් දිදුලන දෑස මාගේ මනැසේ ඇඳෙන්නේ ක්ෂණයකිනි.
මා ජාතක නොකළත් එතරම් පිය සෙනෙහසක් මා සම වයසේ සිටින කිසිවකු නොලබන බව මා දන්නේ අත්දැකීමෙනි.


"මන් මාව දමලා ගිය අය ගැන හිතන්නෙ නෑ මයෙ අම්මෙ.. මන් මේ පාඩමේ තියෙන කරුණු ටිකක් පත්තරවල තිබ්බ දේවල් ටිකක් එක්ක ගළපලා ඒ ගැන හිත හිතා උන්නෙ.."


"මට ඕවා දැනෙන්න මන් ඉස්කෝලෙ ගිය එකක්යැ? ඉන්න මන් පුතාට තේ එකක් හදන් එන්නම්"


මහ විශාල මාලිගාවක් නොවූවද සුව පහසුව , සෙනෙහස පිරුණු කැදැල්ලක් අපට තිබුණි. පියා මූදු රස්සාවද, පියාගෙ දැඩි අකමැත්ත නොතකා මව අසල සංචාරක හෝටලයක පිරිසිදුකරන්නියක් විලස සරි කර ගත් සියල්ලම වියදම් කළේ මගේ අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහායි.
කුඩා කල සිටම සමුදුර දිවියේ කොටසක් වූයේ සමුදුරු දිය මා හට මගේ හොඳම කල්‍යාණ මිතුරු තෙම වූයේ..මා පිහිනීමේ, රළ මත ලිස්සා යාමේ සහ කිමිදීමේ ශූරයකු කරමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ මා දෙමාපියන්ගේ සාඩම්බරය ඉහළ නංවමින් පාසල් කාලය තුළදීම ජාතික පිහිනුම් සූරතා කීපයක්ම දිනා ගැනීමත්, මා තව තවත් මහ මුහුදට ආදරය කිරීමත්ය. එකිනෙක පරයා නැගෙන රළ ගෙඩි අතික්‍රමණය කර පිහිනීම සහ ජයග්‍රහණය කරා යාම මගේ එකම අදිටන වූයේ මෙන්ම එසේ නොවන කල මා මහත් කැළඹීමකට පත්වීම නිරාකරණය කර ගැනීමට කෙසේවත් නොහැකිවිය.


"ඇයි පුතේ දිනුවහම වගේම පැරදුනහමත් හිත හදා ගන්න මයෙ පුතා පුරුදු වෙන්න ඕනි "


විටෙක බෝට්ටුව පුරවා මාළු රැගෙන එන විටෙක එම උපේක්ෂා සිතින්ම හිස් අතින් ගෙදර එන පියාගේ ජාන මට නොතිබිණි. ඔහු මා ජාතක කළා නම් කෙතරම් මැනව දැයි සිතුණ වාර අනන්තය. 


සරසවි සිහිනය ලකුණු දෙක තුනකින් බිඳ වැටෙද්දී බිඳ වැටුණු මාගේ හිස අත ගාමින් පියා දෙඩූ වදන් දින කිහිපයකින් මා නැවතත් සතුටට පත් වූයේ මා ජයගත් ජාතික ක්‍රීඩා නිසා විශේෂ සරසවි පිවිසුමකට් මා ලක් වීම නිසාය. මාගේ ප්‍රියතම පරිසරය අත හැර නගරයට ආගමනය එසේ සිදු වුවත් ඉඩකඩ ලද හැකි හැම විටකම මා දිවගියේ මගේ ජන්ම භූමිය වෙතටයි.
සයුර නිසාම දිවිය දිනූ මා පසුව ජාතික තලයක ක්‍රීඩා උපදේශකයකු වීමේ භාග්‍යය ලද්දේ අග නගරයේ ස්ථීර පදිංචිය මා හට අනිවාර්‍යය විය. කෙතරම් වද කළත් මව හෝ පියා කිසි දිනයක නගරයේ ස්ථීර පදිංචියට නොආවේ නමුත් මා හැකි හැම විටම ඔවුන් හා රැඳෙන්නට පසුබට නොවීමි. රේඛාගේ ආගමනය මගේ ජීවිතයට නව අරුතක් ගෙන ආවේ දිවිය තව තවත් යහපත් අතට පත් කරවිමිනි. 


"මොනවද ඔට්ටු පුතෙක්..හරියටම ඔයා වගේ පුතෙක් තමයි මට ඕනි"


රේඛා අපහසුවෙන් වූවද මහත් උද්දාමයෙන් පවසන්නී,


"මට නම් දුවෙක් නම් වැඩිය හොඳයි..එතකොට පස්සෙ අක්කා මල්ලියෙක්ව බලා ගනීනේ හොඳට"


"මල්ලියෙක්..හිතලා තියෙන දුර.." 


ඈ සිනා සලයි.


"පුතෙක් හරි දුවෙක් හරි..බලමු බලමු.."


අවසානයේ මගේ අනාවැකිය නිවැරදි කරමින් අපගේ දිවියට සඳලී දියණිය පැමිණියේ පරිපූර්ණ දිවිය යන්න කුමක්ද යන්න අප හට පසක් කරවමිනි. මිනිපිරිය සමඟ කාලය ගත කරන්නට මා මව හා පියා වැඩිපුර කාලයක් ගත කළත් සමුදුර හා බැඳුණු ගෘහය කිසි දින අමතක කළේ නැත. ඉසුඹු ලද අඩියේ අප තිදෙනද වහා දිව යන්නේ..අපගේ ක්ෂේම භූමියක් වන් සයුරු අබියස අපගේ මාලිගයටයි. මුලින් අකමැත්ත දැක්වූවද පසුව රේඛාද මුහුදට ආලය කරන්නට වූයේ..පිහිනීමටද යම් දස්කමක් දැක්වූවාය.සඳලීට අවුරුදු තුන පිරෙද්දී අප තවත් දරුවකු ලබා ගැනීමේ උත්සාහය නිරර්තවූයේ අපගේ දිවිය යම් කිසි කම්පනයකට පත් කරවමිනි. ගැබ පීහිටා තුන් මස යද්දී ඇගේ ශරීරය එය ප්‍රතික්ෂේප කළේ..ඈ මහා විශාල ජීවිත අනතුරකට පත් කරමිනි.


"මිස්ටර් ලියන්නා අපිට රේඛාගේ වූම්බ් එක අයින් කරන් වෙනවා..වෙන ඔප්ෂන් එකක් නෑ. සතුටු වෙන්න දුව ඉන්න එක ගැන..ඕනිම නම් පුතෙක්ව ඇඩොප්ට් කරගන්නත් පුළුවන් පහු කාලෙදි"


මෙන්න මේ ආකාරයට අප දෙදෙනාගේම පුත් සිහිනය බිඳ යද්දී..


"පුතේ අපි ළමයි වැදුවෙ නෑ..ඒත් හැදුවා පුතාව.. වෙන අම්මලා පුතාලා දෙගොල්ලො ගැනම පසුතැවිලි වෙන කාලෙක බලන්න අපේ දිහා..අපි මේ ඉන්නෙ සතුටින්ම..ඕක එච්චර දුර හිතන්න ඕනි නෑ..හිත හදා ගෙන කාලෙක අපි පුතු පැටියෙක්ව අර හදා ගමු"


මගේ දෙමව්පියන්ගේ සහ රේඛාගේ අදහස මෙය වූවත් මාගේ නියම ජාතක පියා හා වැදූ මව මෙන් කිසිදා පුතකු තම නියම දෙමාපිය තුරුළින් ඉවත් නොවිය යුතුයි යන මතයේ දැඩිව සිටි මා කාලයත් සමඟම සඳලී අපගේ මහාර්ඝ වස්තුව බවට පත් වූවාය.


මේ හේතුව නිසාමදෝ සඳලීගේ කුඩා අසනීපයකදී පවා අප දෙදෙනාම ඉතා සැලකිලිමත් වීමු. ඇයද මා මෙන්ම මහත් ලෙස සයුරට ඇලුම් කළාය. රන්වන් පැහැ වෙරළේ කුඩා රැළි නැගෙන වාර වල ඈ සිනා නගමින් සිටින්නේ..මා මෙන්ම ඈද දෙපා කිතිකවමින් යටි පතුල් යටින් සිහින්ව ඇදී යන දිය රැළ සහ වැලි කැට වල සියුම් පහස විඳ ගනිමිනි. කුඩා කල සිටම මා දවසක් වූවද මෙලෙස වෙරළේ සිට ගෙන සිටීම ප්‍රිය කළේය. ගන හිරුරැස් වල දැඩි බව මැකීමට නිරන්තර ව නගන සුළං රැල් සහ එම සුළං රැල් සමඟ තොලේ දැවටෙන සිහින් ලුණු රසය කිසිදා එපා නොවන කුඩා සංසිද්ධීන් සමූහයකි.


"ඔයාගෙම පොඩ්ඩීනෙ ඉතින් කොහොමද බීච් එකෙන් එහෙ මෙහෙ කරන්නෙ"


රේඛා නිතරම මවාගත් නොරිස්සුමක් මා වෙත පල කළාය. 
අපගේ නගරයේ නිවසේ සිටි මෙහෙකාරිය නිවාඩු ගිය සතියක මා හට හදිසි කැඳවීමක් ලද්දේ මාගේ සහායක උපදේශකවරයාගේ හදිසි අසනීප තත්වය නිසාමය. පුහුණු වාරයන් සියල්ලම යොදා තිබුණේ නගරයෙන් පිට ස්ථාන වල නිසා මා රේකාට යෝජනා කළේ ඈ සඳලී සමඟ මා දෙමාපියන් වෙත යායුතු බවයි. මන්ද යත් රේකාගේ මහ ගෙදර සිටීමට වඩා ඈ ප්‍රිය කළේ මෙම සයුරු පරිසරයට වීමයි.


"රේඛා ඩාලිං මන් ට්‍රේනිං එක ඉවර කරපු ගමන්ම එන්නම් එහෙ..අපි වීක් එන්ඩ් එකත් එහෙ ඉඳලම ආයි එමු"


අහේතුක මද නොරිස්සුමක් මධ්‍යයේ වූවද ඇය මගේ අදහසට එකඟ වූයේ..අපගේ දෛවයේ කුරිරු සරදමට එරෙහි වන්නට ඈට සිත් පහළ නොවුයේ මන්ද යන මගේ පිළිතුරු නොමැති ප්‍රශ්නය අදටත් ඉතුරු කරමිනි.
පුහුණුවාර කීපයක් අවසන මා හට හදිසි ඇමතුමක් ලද්දේ..මා වහාම මගේ දෙමාපිය නිවස වෙත යායුතු බවට ආ පණිවිඩය නිසාය. සඳලී අසනීපව ඇත. පියා කිසිවිටක දුරකථනය රේකාට නොදුන්නේ මාගේ සිත මදක් කෝපයෙන් මුළුගන්වමිනි.


"පුතා එන්නකෝ ගෙදර හනික..ඇවිත් අපි කතා කරමු"


"තාත්තා මන් එනකම් ඉන්නෙ නැතුව සඳලීව එක්කන් යන්න චැනල් සර්විස් එකට. මන් කෙළින්ම එතනට එන්නම්.. මන් ගෙදර එනවට වඩා එතනට එන එක ලේසිනෙ.. ෆෝන් එක දෙන්න  රේඛා ට"


"පුතා ගෙදර එන්නකො"


මා කෝපයෙන් මුත් කිසිත් නොකියා දුරකථනය විසන්ධි කළෙමි. 
මා කෝපයෙන් යුතුවම වාහනය ගෙදර මිදුලේ නැවතූයේ..නිවස අවට සිටි පිරිස දැක තරමක් මවිත වූයේ..


"කෝ රේඛා..අම්මේ..?"


මව හඬමින් උන්නාය. 


"මොකද මේ කෝ රේඛා ? කෝ සඳලී ?" 


මා කෝපයෙන් හා වික්ෂිප්තයෙන් ගැහෙයි.


"පුතා දෙන්නවම දියඹට ගහ ගෙන ගිහින් තවම හොයනවා"


ඒ පියාගේ කටහඬද ? 
කිසිවකු මා නවත්වන්නට හදනවාත් ඔහු පසකට විසිවන්වාත් සමඟම මා ඊළඟ මොහොතේ සිටියේ දිය රැළි අතර පිහිනමිනි. .. මා වටා කරකැවෙන බෝට්ටු රැළ වදෙන් පොරෙන් මෙන් මා එක් බෝට්ටුවක නංවා ගත්තේය.එහි වූ අයකුගේ කිමිදුම් කට්ටලය ඇඳ ගත් මා සිහිය විකල් වූවකු මෙන් එහි වූ ඔක්සිජන් ටැංකිය අවසන් වන තුරුම මුහුද පතුල පීරා බැලුවේ රේඛා හෝ සඳලීගේ ජායාවක් වත් නොදිටිමි..මෙය කෙලෙස විණිද යන්න ගැන කිසිවකු විටින් විට කියවයි. ඒ මගේ මවද,පියාද මට මතක නැත. 


රේඛා මාව දමලා ගිහින්..


රේඛා ඇයි මාව මෙහෙම දමලා ගියේ.. මට පිස්සු හැදෙයි..


ඇයි රේඛා සඳලිවත් එක්කරගෙන ගිහින්..


කෝ රේඛා...


කෝ සඳලී ?


දිවිය පුරාවටම සයුරු දිය රළට මා පරාද කල නොහැකි විය.. හුස්ම ගැනීමට නොහැකි වනතුරුම දිය රැළි අතර සෙවුවද ඔවුන් ???


මෙය සිහිනයක්ම විය යුතුයි. බියකරු සිහින මා දැක නොමැත. නමුත් මෙය මා දිවියේ දකින මුල්ම බියකරු සිහිනයයි. මා මෙම නින්දෙන් අවදි වන්නේ කුමන වෙලාවෙද යන්න සිතමින් මා බලා සිටියෙමි. නමුත් බියකරු ගොර බිරම් සිහිනය මට තවමත් පෙනෙයි. වියරුවෙන් මෙන් බදා ගත් රේකාගේත් , සඳලීගේත් සිරුරු දෙක ගොඩ ගසා ඇත..චාම් මල ගෙයක් මා දෑස අබියස මැවෙයි..සිහිනය තවම මා අවදි කරන්නේ නැත..කවුරුන් හෝ මා තදින් සොලවා අවදි කල යුතුයි.. ඒ කවුද රේඛා ම විය යුතුයි.


මා සෙමෙන් දෑස හැර බැලුවෙමි..අත පය බැඳ දමා ඇති සේය. මා තවමත් දකින්නේ සිහිනයද නැත්නම් මා සැබවින්ම ඇහැරී ඇත්ද? මුළු ශරීරයම වේදනාවෙන් ඇදුම් දෙයි. සිහියත් අසිහියත් අතර කිසිවකු මා හට වේවැලකින් දැඩිව පහර දුන් බවක් හැඟේ. ඒ මා මේ සිහිනයෙන් මුදවා ගැනීමට විය යුතුයි. වේදනාවෙන් තැවෙන තැන් අත ගා ගැනීමට දෙ අත ඔසවා ගත නොහැක. හිස මදක් හරවා බැලීමි. මා අසලම අත පොව්වන මානයේ සඳලී නිදා ගෙන සිටිනු පෙනේ. ඇගේ ලා රෝස පැහැ කම්මුල් රන්වන් පැහැ කෙහෙරැළි වලින් වැසී ඇත. මදකින් ඈ අවදි වනු ඇත. රේඛා ඇයගේ යෙහෙළියක් සමඟම මා නිදා සිටි ඇඳ අසලම කතා කරමින් සිටිනු පෙනේ. 


"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
-------------------------------------------------------------------------------
"ආ මිසී කමලා මේ ලියන්නා ඇහැරලා දැන්..බෙහෙත් ටික දෙමුද ? "


"පොඩ්ඩක් ඉන්න චාට් එක බලන්න ඊයෙ රෑ ඉන්ජෙක්ෂන් එක දුන්නෙ එකොළහ හමාරට නේද? දැන්ම එපා. තව පැයකින් දෙමු.පහු ගිය දවස් ටිකේම සද්ද බද්දයක් නැතුව හිටි මිනිහට ඊයෙ මොකද වුණේ රම්‍යා ?"


"ලොකු මිසී මන් කේලම් කියනවා හෙම නෙවෙයි. ලියන්නා කොහොමත් ඔය බෝනික්කා ළඟ තියෙන කම් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා. ඊයේ අර සිරිපාල මරුමුස් ඇටෙන්ඩන් කාරයා බෝනික්කව බලෙන්ම අරන් වහල උඩට වීසි කළා. හොඳ පාරක් වැදුණා සිරිපාල කාරයාට..ඊට පස්සෙ තමයි ඔය කලබල සේරම"


"ලොකු යුද්ධයක් කළාලු නේද කන්ට්‍රෝල් කර ගන්න?"


"ඔව් ඔව් ඔය අත් කකුල් වලට බෙල්ට් දැම්මෙත් බොහොම අමාරුවෙන් ඩියුටි හිටි සේරම අල්ලලා..පවු ලොකු මිසී අර මරුමුසා අන්තිමේ වේවැලෙන් ගැහුවා හොඳටම, මන් බලා ඉන්න බැරි තැන යන්න ගියා. ඩොක්ටර් ඇවිත් තමයි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ.. එතකොට නින්ද ගියා..මම සේනට කියලා වහලෙන් අරගෙන බෝනික්කව ඔන්න ළඟින් තිබ්බා. ඇයි මිසී ලියන්නට මොකද වෙලා තියෙන්නෙ ? කවුද රේඛා කියන්නෙ ? මට කතා කරන්නෙ රේඛා කියලයි. කවුද මිසී සඳලි කියන්නෙ?"


"වයිෆුයි, දුවයිනෙ දෙන්නම මුහුදෙ ගිලිලා මළා.ඒ නිසයි ලියන්නට පිස්සු හැදුණෙ, දන්නවද රම්‍යා ලියන්නා කියන්නෙ නම්බර් වන් ස්විමින්ග් කෝච් කෙනෙක්.  එහෙම වෙලත්  එයාට එයාගෙ නෝනවයි, දුවවයි බේරා ගන්න බැරි උණා. ඔළුව අවුල් වෙන එක අහන්න දෙයක්යැ? ඔයාට රේඛා කියනව නම් පරිස්සම් වෙන්න රම්‍යා මතකනෙ සුසිලාට වෙච්ච දේ අර සුනිල් කියන එකා මුළු ඇඟම හපාකාලා තිබුණා."


"අනේ නෑ ලොකු මිසී මගේ අතින් අල්ලන් රේඛා රේඛා කියලා එක එක දේවල් කියවනවා..සඳලී ගැන. ලියන්නව සනීප කරන්න බැරිලුද මිසී ?"


"බෑයි කියලයි කියන්නෙ.මොළේ කෙමිකල් ඉන්බැලන්ස් එක ස්ට්‍රෝන්ග්ලු. බැලන්ස් කරන්න ස්ට්‍රෝන්ග් මෙඩිසින් දුන්නොත් සයිඩ් ඉෆෙක්ට්ස් වැඩීලු.ඒත් දිග කාලයක් බෙහෙත් දුන්නොත් හරි යන්නත් පුළුවන්ලු. රම්‍යා එහෙනම් පැයකින් බෙහෙත් ටික දෙන්න. මන් කිව්වා කියලා කියන්න සිරිපාලට ඔය බෝනික්කව ලියන්නගෙන් උදුර ගන්න එපා කියලා..ඔය පිස්සට බෙහෙත් දෙන්න ඕනි ඉස්සෙල්ලම"
--------------------------------------------------------------------------


" රේඛා අනේ සඳලිව මගේ උකුලෙන් තියන්න රේඛා.. රේඛා ඔයයි , සඳලිවයි නැතුව මට පිස්සු හැදෙයි රේඛා .."

Thursday, February 2, 2012

තව සුට්ටෙන් රූන් කුරුල්ලා ඉවරයි...





කොළඹ මහා මාර්ග වල ඇති සංඥා පුවරු පද්ධති ක්‍රියා විරහිත වීම් හෝ අනතුරුවලට භාජනය වීම් නිතර දැක තිබුණත් ක්ෂණිකව ඒවා යථා තත්වයට ගෙන ඒම සාමාන්‍ය කටයුත්තක් බව මට නිරීක්ෂණය වී ඇත. එසේ නොවන අවස්ථා තිබිය හැකි වූවත් ඒ බොහෝ සුළුතරයක්ය. මා නවාතැන ආසන්නයේ ඇති ප්‍රධාන මංසන්ධිය වාහන නිසි හැසිරවීම සඳහා නවීන කැමරා පද්ධතියකින් සමන්විත අතර ප්‍රධාන හතරමං හන්දියක් වීම නිසා සංඥා පුවරු වල නිසි ක්‍රියාකාරීත්වයක් ඇත. කෙසේ නමුත් උදෑසන සහ සවස නම් යම් තරමක වාහන තදබදයක් ඇති වන්නේ බොහෝ වාහන මෙම හතරමං හන්දිය භාවිතා කරන බැවිනි.
-------------------------------------------------------------------------------


කුඹුරු වැඩ කාලය පොදුවේ ගත් කල පැටි වියේ උන් මා සහ මගේ සගයන් රැළ වඩාත් ප්‍රිය කළේ ගොයම් කපා මඩවන කාලයටයි. මුල්ම කාලයේ තනිකරම ශ්‍රමය යොදා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොයම් පෑගීම කරනු ලැබිනි.. ගොයම් කරල් මිට බැගින් ගෙන එහි වී ඇට සහිත කොටස් පාදයේ වළලුකර හා පතුල උපයෝගී කරගෙන එහි වී ඇට ගැලවී වැටෙන තුරු පෑගීම කරනු ලබයි. පසුව මෙය සඳහා ගවයින් යොදා ගත් අතර, ඇග්‍රිමෙක් කොළ මඩින යන්ත්‍රයද වර්තමානයේ සුනාමි යන්ත්‍රයද යොදා ගනු ලබයි.සැන්දෑවේ ආරම්භ වන මෙම කාර්යය අවසන් වන්නේ පාගා ගනු ලබන බැත හුළං කර වී ගෝනි වලට පිරවීමෙනි. මෙය අවසන් වනවිට මධ්‍යම රාත්‍රියද පසු වන්නේය. කුඩා අප වඩා ප්‍රිය කරන්නේ බැත පාගා අවසන් වනවිට පැත්තක ගොඩ ගැසෙන පිදුරු ගොඩේ බඩ පිනුම් ගැසීමටයි. වෙනදාට පොත අතට ගන්නා විටම එන නිදිමත පැත්ත පළාතක නැත. 


"ඔය කාටුව ගාගෙන ඇඟ කසනවා කීවොත් එහෙම හම ගහනවා හෙට"


මෙයද කිසිදා සිදු නොවූ සිද්ධි ගොන්නට අයත් වූයේ,සියළු වැඩ අහවර වී මහ රෑ මැදියමේ වැඩිහිටියන් සමඟම අසල ඇළක හෝ දොළක යකඩ සූට් එක පිටින් නෑමේ මහඟු අවස්ථාව ලැබෙන්නේ කාලයකට පසු වීම නිසාමය.මැඩුවන් පොළේ අපගෙන් වැඩිහිටියන්ට ප්‍රයෝජන නොමැත්තේද නොවේ. නමුත් ඔවුන් විවේක ගන්නා විටක ඔවුන්ගේ වැඩ කිරීමට දත කෑම සමහර විටෙක එතරම්ම ප්‍රයෝජනයක් වූයේද යන්න සැක සහිතය. 


වී සුළං කිරීම නැත හොත් වී වල ඇති බොල් අයින් කර හොඳ වී වෙනම ගොඩ ගසා ගැසීමට ඒ කාලයේ භාවිතා කළේ අතින් කරකවන ෆෑන් එකකි. එහි ඇති හැඬලයෙන් අයෙක් තදින් කරකැවිය යුතු අතර අනිකා කුල්ලකට නැතහොත් යතුරකට ගත් වී එම සුළං ධාරාවට අල්ලා හොඳ වී වෙන් කර ගනී. මෙම ෆෑන් එක කරකැවීම සඳහ ඉදිරිපත් වන්නේ කල්ලියේ සවි ශක්තිය ඇති අයකු වීම නිසා එය මහා භාරදූර ගරු කටයුතු කාර්යයක් ලෙස අපි එකල විශ්වාස කළෙමු. එම නිසා ෆෑන් එක කරකැවීම සඳහා අපද ඉසුඹුවක් ලැබෙන තුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. අපගේ කුඹුරු යායේ මැඩුවන් කිරීමේදී නිසැකවම ෆෑන් එක කැරකැවීම කරන ලද්දේ මගේ මාමා විසිනි. ප්‍රදේශයට ආවේණික පතල් කම්කරුවකු වූ මාමා මට සිහි කළේ යෝධයෙකි.


 "වැහි කළුවර වැඩී හින්දා අද කොහොම හරි මේ සුමේ ඉවර කර ගමු" 


අපේ තාත්තාගේ හඬ සමඟම කෙරී ගෙන යන වී සුළං කිරීමේ කටයුත්ත දෙස මා බලා සිටියේ පිදුරු ගොඩ උඩ ඇති තරම් බඩ පිනුම් ගසා ඔද්දල් වුණු ප්‍රීතිමත් සිතකිනි. 


"බඩ පිනුම් ගැහුවට කමක් නෑ..ඔය හිටවලා තියෙන උල් එහෙම පුකේ ඇන ගන්නවා නෙවේ" 


මාමා විටින් විට අපට අවවාද දුන්නේ සිනා සෙමිනි.ෆෑන් එක කරකැවීමේ නොතිත් ආශාවෙන් කන්කෙඳිරි ගාමින් සිටි මාහට කිසි අවස්ථාවක් නොලද්දේ සැවොම හෙට වැස්සට පෙර මෙය ඉවරකර ගැනීමේ යුද්ධයට මැදිව ඇති බැවිනි. 


"මල්ලි ඔන්න ඕක පොඩ්ඩක් දීහං ඔය කොල්ලට නැත්නම් ගෙදර ගිහිනුත් චුරු චුරු ගායි.උඹලයෙ අක්කා මයෙ ඔළුවනෙ කන්නෙ"


මාමා සිනාසෙමින් මා හට ෆෑන් එකේ හැඬල් එක භාර දෙන්නේ විටක් හැපීමට අඩු වැඩිය අතට ගනිමිනි. නැවත මාමා පැමිණියත් ,


"අනේ මාමෙ තව එක සැරයයි.. එකම එක සැරයයි අනේ"


කියමින් මාමා ඉවතට යවා ගත්තේ..ඔහු කමතේ අයිනක වූ පිදුරු ගොඩ තවත් ඈතට දමන්න එදෙසට ගමන් කළේය. මාමා ගිය දෙස බලමින් ඔහු පැමිණෙන්නට පෙර ගත යුතු විනෝදයේ උපරිමය ගැනීමට මා හැකි වැර යොදමින් ෆෑන් එක කරකවමින් සිටියෙමි. ගිය ලෙසම මාමා නැවත පැමිණියේ නැත.
වේදනාත්මක කෙඳිරිගෑමක් සමඟම මාමා දෙසට දිව ගිය අප පියා සමඟ උන් අනිත් අය මාමාව ඔසවා ගෙන පැමිණියේ මාමාගේ මුහුණ වේදනාවෙන් විරූපව ගොස් තිබුණේය. එකිනෙකා පරයා නගන හඬ මැද කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මා අවසනට දුටුවේ ඔසවා ගෙන යන මාමාගෙ කකුල දිගේ ගලන ලේ ධාරවක් සමඟම ලෙයින් පෙඟුණු රෙදි කැටියක් මාමාගේ බඩ පෙදෙස ආවරණය කර ඇති බවයි. මාමා ඉල්ලපු වෙලාවෙ ෆෑන් එක දුන්නනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ..යන සිතුවිල්ල මගේ සිතට පැන නැග්ගේ එවිටමය. 


"දරුණු තැන් බේරිලා තියෙන්නෙ නූලෙන්"


"ලොකු මාරකයක් තමයි පැනලා තියෙන්නෙ"


"මලයමයි ඔය කැන්ද උල් ටික හිටෙව්වෙ මැඩුවන් පිටට යනවා කියලා මාරකයක්ම තමයි පැන්නෙ"


පසු දින අම්මාගේ සහ තාත්තාගෙ දෙබස් සමඟම මා අවදි වූවත්, වෙනදා මෙන් ඔවුන් අතරට දිව නොගියේ මා දුටුවහොත් තාත්තා මා හට බැණ වදිනු නියත බව ඉවෙන් මෙන් දන්නා නිසයි. සති කිහිපයක් රෝහලේ ගත කිරීමෙන්පසු මාමා නැවත නිවසට පැමිණි අතර, වෙනදා තනියෙන්ම මාමා සහ නැන්දා සමඟ හුරතල් වන්නටත් මගේ වයසේ වූ අයියා සහ වැඩිමල් අක්කා සමඟ සෙල්ලම් කරන්නටත් නිතර දුවන මා මෙවර එහි ගියේ අම්මාද සමඟය. පුදුමය වූයේ මේ වනතෙක්ම මාමා තුවාල වීමට ප්‍රධාන වරදකරුවූ මා හට කිසිවකු කිසිම දෙයක් නොපැවසීමය. නමුත් සිද්ධිය සහසුද්දෙන්ම දන්නා මාමා නම් මා සමඟ හොඳටම තරහ වී ඇති බවට නොඅනුමානය. අම්මාගේ චීත්තයෙ එල්ලී ඇයට මුවා වෙමින් මා හොරෙන් මාමා දෙස බැලීමි. කිසිම තුවාලයක සලකුණක්වත් මාමාගෙන් දිස් නොවේ. සැමදාම වාගේ දින 5-ක් වත් නොකැපූ රැවුල ඇතුව මාමා ඇඳ මත දිගාවී සිටියේය. 


"කෝ මගේ චුට්ටන් කොල්ලා.. මෙහෙ වරෙන් මොකෝ බන් උඹ මාව බලන්න ඉස්පිරිතාලෙවත් නාවෙ?"


මා ළඟට ඇදගත් මාමා රැවුල් කොට සහිත මූණ මගේ මූණේ අතුල්ලන්ට වූයේ..මා ද වෙනදා මෙන් මාමාගෙ ඔඩොක්කුවේ ඉඳ ගන්නට තැත් කළත්..මාමා එයට නම් ඉඩ දුන්නේ නැත.


"කොයිතරම් කාලයක් යනවලුද මල්ලියෙ හොඳටෝම සනීප වෙන්න?" 


ඒ අම්මායි.


"මාස හයක් විතර යයි කියන්නෙ"


නැන්දා කම්මුලට අතක් තබා ගෙන මහත් විස්සෝපයෙන් සිටියේ නමුත් මා තුරුලට ගෙන,


 "චුට්ටන් පුතේ ආන් මේසෙ උඩ වැලි තලප ඇති කාලා, අක්කල එක්ක සෙල්ලම් කරන්නකො" 


කීවාය. මේ වනවිට නම් මාගේ වරදකාරී හැඟීම බොහෝ දුරට ඉවත්ව තිබුණේ..මුත්..


"මේ ඇහුනිද අර වත්ත පහළ තිබ්බ අළු කෙහෙල් කැන පැහිලා තිබ්බා හොඳටෝම. කපලා ගිහින් දාන්නකො මලයගෙ ගෙදරට" 


ආපසු නිවසට යන අතරේදී, අම්මා අණ කළේ තාත්තාටය.


"හොඳ වෙලාවට වෙන ළමයි නොහදන්න හිතා හිටියෙ දෙන්නා " 


තාත්තා හිකි හිකි ගාමින් කීවත්..


"ළමයි ඉන්න තැන් වල කියන ඒවද ඔය?"


අම්මා සුපුරුදු නෝක්කාඩු ස්වරූපයෙන් කීවාය. තුවාල සනීපවෙන්න අළු කෙසෙල් ගුණ දායක බව මට හැඟී ගියේ, තාත්තා පසුදිනම අම්ම කී දෙය වෙනදා මෙන් හත් අට වතාවක් කීමෙන් පසු නොව, එක් වරම කල නිසාය. පසු දිනක මා මාමාගෙන් ඇසුවේ 


"කොහෙද මාමේ තුවාල වුණේ..? මට පෙන්නන්කෝ අනේ"


කන්කෙඳිරි ගෑවේ මගේ කොහේ හරි තුවාල වූ විට එය හැමෝටම ප්‍රදර්ශනය කිරීමේ පුරුද්දක් මාසතු වූ බැවිනි. මාමා හක හක ගාමින් සිටියදී නැන්දා රතුවූ වතින් යුතුව සිටියාය. 


"චුට්ටන් පුතේ තව සුට්ටෙන් රූන් කුරුල්ලා ඉවරයි" 


මාමා මගේ රූං කුරුල්ලා මිරිකමින් කීවේ නැන්දා සිටි තැනින් ගස්සාගෙන ගෙතුළට ගිය සැණින් ආවේ පාර්සලයක් අතැතිවය. 


"චුට්ටන් මෙන්න මේ හැලප ටික අම්මට දෙන්න පුතේ.."


එක් දිනක හවසක මාගේ හිතට වදදුන් ප්‍රශ්නය මා තාත්තාගෙන් විමසීය.


"මන් එදා මාමගෙන් ෆෑන් එක වදෙන් ම ඉල්ල ගත්තෙ නැත්නම් මාමාට මෙහෙම වෙන්නෙ නෑ නේද තාත්තෙ?"


මදක් කල්පනා කල තාත්තා,


"එහෙම වෙන්නත් තිබුණා චුට්ටන්, ඒත් වෙන්න දෙයක් තියේ නම් ඒක වෙනවාමයි. වෙච්ච දේවල් වලට කණගාටු වෙලා වැඩක් නෑ. ඒත් මයෙ පුතේ කවුරු හරි වැඩක් කරනව නම් එයා ඒ වැඩේට දක්ෂම කෙනා නම් පුතා ඒ වැඩේට අත දමන්න එපා. එයා පුතාගෙ උදව් ඕනි නම් ඉල්ලයි"


මෙහි සර්වකාලීන බව වැටහෙන්නේ එදාටත් වඩා අදටය.
---------------------------------------------------------------------------------
කාර්යාලය හා නවාතැන අතර සිර වූ ජීවිතයට දෛනිකව ලැබෙන එකම ව්‍යායාමය ඇවිදීම පමණක් නිසාම මා කරන්නේ උදෑසනම කිලෝමීටරයක් දෙකක් ඇවිදීමයි. මෙය හොඳින් දන්නා මගේ සහෘදයකු පසු ගිය දිනයක මා හට තෑගි වශයෙන් එවා තිබුණේ පියවර ගැනිය හැකි කුඩා උපකරණයකි.මෙම උපකරණයට අනුව පියවර 10,000ක් දිනකට යා හැකි නම් එය ප්‍රශස්ත බව කියවේ. මම ටාර්ගට් කවර් කර ඇති බව හැඟේ.




ඇවිද්ද පය දහස් වටින නිසාම මිල මුදල් අඩු කාලයක වටිනා කියන කකුල් දෙක විකුණා ගත හැකි නිසාම මමත් මේ දිනවල යහමින් ඇවිදීම කරයි.


අද උදෑසන මාර්ග සංඥා අසලදී දුටුවේ එය නියමිතව ක්‍රියාත්මක වෙද්දීම එයට විරුද්ධව එතන රාජකාරී කරන නිලදරුවන් නිසා අසරණ වූ මාතලීලාය. සංඥා රතු පැහැය දල්වා එන්න එපා කියද්දී, නිලදරුවා වේගයෙන් අත නව නවා කියන්නේ එන්න කියය. රියැදුරු තුෂ්ණිම්භූතව සිටී.ඉහළ ඇති කැමරා වලින් රියදුරන්ගේ ක්‍රියාකලාපය තවත් දුරු තැනක සිට පටිගත කරනු ඇත. අකමැත්තෙන් වූවද රියදුරන් රතු එළිය අභිබවා යද්දි නිලදරුවා දොස් පරොස් නෙතින් රවනුද නිරීක්ෂණය විය.
සංඥා පද්ධතිය තම කාර්යය නිසි ලෙසම කරද්දී එහි කර්යය වදෙන් පොරෙන් ගෙන කරන්න ගොස් එක්කෝ රියදුරු මාමලා රූන් කුරුල්ලන් පොඩිකරගනු නියතය. නැතහොත් අන්ද මන්ද වූ රියදුරකු අතින් නිළදරු මාමාගේ රූන් කුරුල්ලා කුඩු වනු නියතය යන හැඟීම සිතේ පහළ වූ මගේ ඇඟ හිරි වැටී ගියේය. 


හොඳ වෙලාවට මගේ නවාතැනේ බල්ලෝ තිදෙනෙක් හැර බූරුවෙක් නැත. හිටියානම් අද උදේ ඌ මගෙන් හොඳටම ගුටි කනු ඇතැයි මට සිතෙන්නේ දැන්ය.