ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, February 27, 2013

Don't Disturb - කරදර කලොත් බලාගෙනයි !




http://live.prokhorenko.us/2009_06_01_archive.html

"උඹ කිව්වට  බං ඔව්වා කරන්න බයයි.  මාට්ටු උනොත් එහෙම වසලා හමාරයි"

"කොහෙ මාට්ටු වෙන්නද බං උඹලට සල්ලි නැද්ද ඔය ලොකු හෝටලේකට යන්ඩ ?"

"සල්ලි නම් අවුලක් නෑ.  අරයා දැනටමත් මොනාට හරි සැක කරලයි ඉන්නෙ ආව ගිය තැන් ගැන හරියට ප්‍රශ්ණ අහනවා ගිහින් ආවහම"

"හරි ඉතින් උඹේ කැරැට්ටුවත් එච්චරම හොඳ නෑනෙ"

"හරි බං ඒ ඒ කාලෙනෙ..දැන් බැඳලා හින්දා බෑ"

"බැඳලා කියලා වෙනසක් නෑ බං උඹ ඔච්චර සීරියස් වෙන්ඩ යන්ඩ එපා"

"ඔය බැඳපු එව්වන්ගෙ පවුල් කඩන්නෙ නැතුව හිටහන්"

අපේ සෙට් එකේ යාළුවො දෙන්නගේ කතාව අහන් ඉඳලා අහන් ඉඳලා මං අන්තිමේ කතාවට හොම්බ දැම්මා. අතීතයේ කරපු කොටු පැනිල්ල ගැන කියවා කියවා හිටිය අපි පහු ගිය කාලෙ බැන්ඳ සබා ට සෙට් වෙච්ච එකක් ගැනයි කතා කර කර හිටියෙ..ඌට ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ. පේරා සබාගෙ බය නැති කරන්ඩ දඟලනවා. 

"බය නම් නිකං හිටහන් . උඹ බයෙන් බයෙන් කරන්න යන එක ගෙදරට මාට්ටු වෙනවා අනිවාර්‍යෙන්ම "

මං සබාට අන්තිම අවවාදෙ දුන්නා.

"උඹ ඕක ස්ටාර් (Star) හෝටලේකට අරන් ගිහින් ඩෝන්ට් ඩිස්ටර්බ්  (Dont Disturb) බෝඩ් එක දාගෙන කාමරේ හිටහන් ආයි මොන යකෙක්වත් උඹලට ඩිස්ටර්බ් කරන්න එන්නෙ නෑ"

මට හිනා ගියේ බකස් ගාලා..

"ඇයි උඹ හිනා වෙන්නෙ ?"

"අනේ ඔය බෝඩ් කෙයාර් (care) කරන්නෙ කවුද බන් මේ ලංකාවෙ ? "

"උඹ හිතන්නෙ එහෙමද ?"

"ඇයි උඹ හිතන්නෙ වෙන විදියකටද ?"

හැමදාමත් මගේ මතයට විරුද්ධ මතයක් දරන පේරා මගෙන් ඇහුවෙ උපහාසයට වගේ.. උපහාසයට වගේ කියලා එක පාරටම හිතුනට එහෙම නෑ ඒ උගේ හැටි..අපි දෙන්නගේ විරුද්ධ මතයන් අපි දෙන්නා දරා ගෙන හිටියට ඒක අපේ මිතුරුකමට කවදාවත් බාධාවක් උනේ නෑ.

"එහෙනම් මචන් උඹලා දන්නෙ නෑ ඔය බෝඩ් එකේ වටිනාකම සිරාවටම"

"ඇත්තටම දන්නෙ නෑ පේරා කියපන්කො"

ඒ ගමන සබා බොහොම කුතුහලෙන් ඇහුවා.

ඕනිම හෝටලේක දොරේ එල්ලන්න ඔය බෝඩ් එක තියෙනවා දැකලා තියෙනවා උනත් එච්චරටම ඔය ගැන සීරියස් වට මමත් කවදාවත් හිතලා තිබ්බෙ නෑ.

"ලංකාවෙ කොහොම කෙරෙනවද  මන්දා පිටරටවල් වල නම් මේ බෝඩ් එක හෝලි (Holy)  බෝඩ් එකක් විදියට සලකන්නෙ. මේ බෝඩ් එක දාලා තිබ්බොත් ආයි පොලීසිය හැර කිසිම කෙනෙක් ඩිස්ටර්බ් (disturb)  කරන්නෙ නෑ"

"එහෙමද ?"

"අහපන්කො මේ කතාව මේක උනේ මම අහලා තියෙන විදියට වියානා වල..."

අපි දෙන්නත් පේරාගෙ ලෝක සංචාරවල දැනුමින් එන කතාවකට ඇහුන්කන් දෙන්න කන් හතරම ඒ පැත්තට යොමු කලා.

"හස්බන්ඩ් ( Husband )වියානා වල සංචාරයකට ගිහින් ඉන්න අතරෙදි එයාගෙ වයිෆ්ට (Wife) ඕනි උනා මෙසේජ් (message) එකක් දෙන්න. අද වගේ මොබයිල් ෆෝන් නැති එච්චර ෆේමස් නැති කාලෙ එයා කලේ හස්බන්ඩා නැවතිලා හිටි හෝටලේ රිසෙප්සන් (Reception)  එකට පණිවිඩයක් තිබ්බා. ඊට ටික වෙලාවකට පස්සෙ එයා ආයි කථා කලාහෝටලේ රිසෙප්සන් එකට"

"මිනිහට පණිවිඩේ ලැබිලා ?"

අපි දෙන්නම කතාවට පොඩි සප් එකක් දුන්නෙ හිස් වෙච්ච වීදුරු දෙක ආයි පුරවා ගන්න ගමන්මයි...

"රිසෙප්සන් එකෙන් කීවා සොරි මැඩම් මහත්තයගෙ කාමරේ ඩෝන්ට් ඩිස්ටර්බ් කියලා බෝඩ් එක දාලා තියෙන්නෙ ඒ නිසා අපිට පණිවිඩේ දෙන්න විදියක් නෑ කියලා"

"සිංහලෙන්ද කීවෙ ?"

"නෑ !@@#$%^&&***(&* එකෙන්.."

"හරි හරි උඹ කියහන් බන් ඔය කතාව !"

සබා ආයිමත් පේරව නිව්වා..මොන වැදගත් කතාවක් ගියත් ඕකට මොනා හරි උදැල්ලක් නොදැම්මොත් ඉතින් අපිටත් නින්ද යන්නෙම නෑ..මේක මට එන්නෙ උත්පත්තියෙන්ම වෙන්න ඕනි.

"ඔහොම දවස් දෙකක් යනකම්ම මෙසේජ් තියපු වයිෆ් අන්තිමේ පොලීසියත් එක්කම හෝටලේට ආවා. එතකොටත් මිනිහා කාමරේ ඩෝන්ට් ඩිස්ටර්බ් බෝඩ් එක දාගෙන හිටියෙ. පොලීසියෙන් කාමරෙ ඇරියා"

"මිනිහා මාට්ටු උනා වෙන කෙනෙක් එක්ක ඉඳලා ???"

මටත් ඉවසන්නම බැරි තැන ඇහුවා,

"නෑ බන් මිනිහා කාමරේම මැරිලා වැටිලා හිටියා.."

"හරි දැන් ඔය කට වහ ගනින් ඕකට මැස්සො රිංගයි"

"මිනිහා මැරිලා තියෙන්නෙ හාට් ඇටෑක් එකකින්..දවස් දෙකකට කලින්. 
වයිෆ් හෝටලේට නඩුවක් දැම්මා තමන් මුලින්ම හෝටලේට කථා කරපු දවසේ කාමරේ ඇරලා බැලුව නම් තමන්ගේ සුවාමිපුරුෂයා අදටත් ජීවත් වෙනවා කියලා"

"ඇත්තනෙ බන් හෝටලෙ උන්ගෙ වැරැද්ද නිසයි මිනිහා මැරුනෙ ගෑණිට හොඳ වන්දියක් ගන්න පුළුවන් වෙන්න ඇති.."

ඒ සැරේ මැදට පැන්නෙ සබා,

"නෑ අධිකරණය තීරණය කලේ ඩෝන්ට් ඩිස්ටර්බ් බෝඩ් එකට ගරු කරපු හෝටලෙ නිවැරදියි කියලයි.."

අපේ ලංකාවෙ මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද සහ නීති පරිචයේ මේ වගේ දේවල් වෙලා තියෙනවද කියන එක නම් මම නොදනිමි. නමුත් අපේ දේශකයා දැන් බ්ලොග් වර්ජනය අතෑරලා නම් අහ ගන්න පුළුවන්. 


එහෙම නැත්නම් ඔහොම හෝටල් වලට ගිය අයත් දන්නවා ඇති..


අපේ සුහද හමුවේ කතාව  කොහොම පටන් ගත්තත් අන්තිමේ ඉවර වෙන කොට සබා තීරණය කරලා තිබ්බා  බඳින්න කලින් ගත කරපු තමන්ගේ සල්ලාල ජීවිතේ නැවත පටන් ගන්නෙ නෑ කියලා. උගේ ජීවිතේ අකුරක් නෑරම දැනන් හිටි කීප දෙනාගෙන් දෙන්නෙක් වෙච්ච මමයි පේරයි දෙන්නම ඒකට සුබ පැතුවෙ බොක්කෙන්මයි..

බඳින්න ඉස්සර වෙලා කොහොම හිටියත් බැන්ඳට පස්සෙ වෙන්න ඕනි මෙහෙම තමයි සත්තකින්ම !

Saturday, February 23, 2013

හිතන එක ලියවෙන හැටි..


මම කාර්‍යාලයේ වැඩ කටයුතු අවසන් කර ගෙදර ගියෙමි. මම  කාර්‍යාලයේ සිට පළමු (මෙතන මොන ල යන්නද ල ද ළ ද ???? විනාඩි පහක් පමණ (මේ ණ යන්න හරිද ??? තවත් විනාඩි පහක්... ) බසය ගැනීමට කිලෝමීටර් තුන්කාලක් පමණ (ආයි මේ ණයන්නෙ කේස් එක ?) පයින් ඇවිද යන්නෙමි (මොන හු..ඇවිදින්නෙ පයින් නේන්නම් ) මම කාර්‍යාලයේ සිට පළමු බසය ගැනීමට කිලෝමීටර් තුන්කාලක් පමණ (මා හට නණලළ නීති  (87නෙ සාමාන්‍ය පෙළ (?) විභාගය සඳහා අධ්‍යයන කටයුතු වලට සිංහල ඉගෙන ගත්තෙ )අමතකව ගොස් ඇත...) මා හට කිව්වොත් වාක්‍යය කතෘ කාරක නෙවෙයිනෙ..එතකොට කර්ම කාරකද ? කර්ම කාරකයට ගොස් ඇත කියලා වාක්‍යය අවසන් කරන්න පුළුවන්ද ? මා නැවතත් මේ නීති සියල්ලම හැදෑරිය යුතුය..කර්තෘ කාරකද මේක කර්ම කාරකද ???

මොන හුයන්නක්ද මේ ???

මා හට  දැන් ලිවීමට සිතා ගත්තේ කුමක්ද යන්න සිහියේ  නොමැතිය. මේ වාක්‍යය නම් නිසැකවම වැරදිය..

ආ ලියන්න ගියේ අර සමනලයා මාර ගහේ අත්තක ඉඳලා ලයිට් කණුවෙ පත්තු වෙවී තිබ්බ ලයිට් එක දිහාව පියාඹපු එකද නැත්නම් අර  කළුවරෙ මාර ගහ පිටි පස්සෙ මුත්‍රා කර කර හිටිය මනුස්සයා ගැනද?

ආ ආ..මේක ලියලා හමාරයි. දැන් ඉතින් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ඕනිනෙ. අපරාදෙ මේ ව්‍යාකරන සහ අක්ෂර වින්‍යාසය ගැන හිත හිතා හිටි පැය 2-3 මම ලියන්න හිටි කතාව ලියලා ඉවර කරන්නම තිබුනා.

මෙච්චර කල් බලු පුකේ සිංහලෙන් ලිව්වා වගේම මේ කෙරුවාව ලියනවද නැත්නම් ආයි සිංහල ලියන්න ඉගෙන ගෙන ලියනවද ? 

\\පොඩි ඇටව් කාලෙ...හරි හරි පැටව් කාලෙ තමයි.. නැත්නම් කීප දෙනෙක්ම ඕකෙ අක්ෂර වින්‍යාසෙ හරි ගස්සන්න දඟලයි කතන්දරෙ කියවලා රස විඳින එක පැත්තකින් තියලා..\\

මේ තියෙන්නෙ මන් ඉස්සෙල්ලා ලිපියට කලින් දාපු ලිපිය පටන් ගත්තු විදිය..මේකට රිටර්න් එක හම්බ උනේ මෙතනින් ..මීට පස්සෙ ලිපියෙදි තමයි.. මේ තියෙන්නෙ ඒක..

\\බල්ලාගේ පුකේ සිංහලනේ ලියලා තියෙන්නේ. එක්කෝ මම කියලා ලියනවා නැත්නම් මං කියලා ලියනවා. 'මන්' කියන්නේ හින්දිද? 'මා ....කෙනිත්තුවෙමි'. බල්ලාගේ පුකේ කියන්නේ ඒකයි. 'පෙමින් වෙලී සිටි පෙම්වතියන්' ඇයි යකෝ පෙම්වතිය කියන්නේ පෙමින් වෙලෙන්නේ නැතුව වෙන මොන මගුලක් කරන එකීටද? 'දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත්' ඉතින් දෙමවුපියන්ගේ නැකත් සහ තමන් දෙදෙපොල අතර සම්බන්ධය කුමක්ද? සිංහල නොදන්නාකම නිසයි මෙවැනි අමන සිංහල ලියවෙන්නේ. 

කුණු ගොඩකට කුණු ගොඩක් එක්වීම කියලා ලිව්වනම් හොඳයි.\\

මගේ මුල්ම ලිපි වලදි අපෙන් සමුගත් ඔබා අයියා ඈ බොල උඹ දෙකක් නවා ගෙනද මේක ලිව්වෙ මෙච්චර වැරදි...කියලයි අහන්නෙ.. ඒ ආදරේට..

අපේ පූසා මලයා සහ සෙන්නාත් කීප වතාවක් මගේ මේ වැරදි සොයලා දුන්නා (මුන් දෙන්නා ආදරේටද ඒක කලේ කියලා නම් තාම හොයා ගන්න බැරි උනා..පූසා හම්බ උනත් සෙන්නාව හම්බ වෙලා තිබුනෙ නෑ).මං දන්නවා ඔව්වො දෙන්නා ප්‍රසිද්ධියේ නොකිවට මට ආදරෙයි...මුල කාලෙ ඉඳන්ම මට කමෙන්ට් වලින් දිරිය දීපු ප්‍රවීන බ්ලොග් කරුවො දෙන්නෙක්නෙ..

ආයිත් කතන්දර වගේ ප්‍රවීනයො උනත් සමහර කතාවල් හොඳයි පොතකට පත්තරේකට යවන්න හරි ගස්සලා කියලා උපදෙස් දුන්නා..

එතකොට මේ අපේ හෙන්රියා.. ආයි වරකො බොලා අපේ ඔෆිස් පැත්තෙ ? මී අම්මපල්ලා ගහන්නෙ හැලප පොල්ලකින්...ආ වැරදුනා හැලප ඔතන අර කැන්ද ගහක පොල්ලකින්.. 

ඕක මතක තියන් ඉඳලා ආවෙ නැතොත් එහෙම අම්මපා එනවා බොලාලගේ ගෙදර සතියක් විතර නතර වෙලා ඉන්න..චෙහ් සතියකට මගේ කෑම බීම වියදම ශේප් එතකොට !.. ඕන්නම් හැලප තුනක් අරන් එන්නම්..දීපටයි පුතාටයි බොලාටයි !

(යකෝ වෙනියො  ඔහොමද තෝ ඉංග්‍රීසි ගුරුවරයෙකුට කතා කරන්නෙ ? - නිර්දය විවේචකයා )

හරි හරි බන් උඹලා ඔව්වා හොයලා හිතේ තියන් ඉන්නෙ නැතුව කියන්නෙ මට තියෙන ආදරේට බව මන් දන්නවා !

ඒත් කොහෙද මගේ බලු වලිගෙ උණ පුරුකෙ දාලා ඇද අරින්න බෑ වගේ මේ වැරදි මට හදා ගන්නත් බෑ ඕන්.. 

වෙලාවක් නෑ...යන්තම් හිත ඇතුලෙ නලියන සිතුවිලි අකුරු කරනවා ඇර..ඔව්වයේ වැරදි හද හදා ඉන්න වෙලාවක් කලාවක් කොයි ? 

පොතක් ගහන දවසට ඔය ඇත්තො හොයලා දීපු වැරදිත් හදා ගෙනම ලියන්නම්කො..එතකන් ඕන් ඔහේ සමාව දීලා ඉන්ඩකො..වැරැද්දක් තියේ නම් පෙන්නන්ඩ..මන් හදා ගන්නම් පොතට ගන්න ප්‍රින්ට් එකේ.. 

හැබැයි බ්ලොග් පෝස්ට් එක වැරැද්ද පෙන්නුවට පස්සෙ හදන්නෙ නෑ...මොකද එතකොට ඔබලා පෙන්නපු වැරැද්ද මොකද්ද කියලා ඕනිම කෙනෙකුට පේනවනෙ..

මං එච්චර අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරන ගැන නොහිතා සිද්ධීන් ලියලා දාන්නම්..ම්ම්ම් ඔයගොල්ලන් ඒවා රස විඳිනව නම් එච්චරයි..



http://a-step-forward.blogspot.com/2012/03/dear-employer-i-am-confused.html
-------------------------------------------------------------------------------

වෙනදා වගේම පස්වරු හතයි කාලෙ ඉඳන් මන් කාල හෝරා යන්ත්‍රය දිහා ඇහි පිය නේලා බලන හිටියෙ මගේ සේවා කාලයේ අන්තිම හෝරා කාල අවසන් වෙනතුරු..

අවසන් හෝරා කාල අවසන් වීමට විනාඩි පහක් පමන තියෙද්දි අංශයේ අජීවී ගෘහභාණ්ඩ සහ උපකරණ වලට මං සමු දුන්නේ ආයි මං හෙට එනකන් පරිස්සමින් හිටහල්ලා කියලා හිතින් කියවමින්ම තමයි.. අස්ථීර ජීවිතයක් මනුස්ස කූඩුවක රඳවා ගෙන ඉන්න අපිට ඊළඟ තත්පරේ මොනවා වෙලා අවසන් හුස්ම හෙලන්න වෙයිද කියලා අපිම නොදන්න කාලෙක.. එහෙම උනොත් මං උඹලයෙන් මේ සමුගන්නෙ අවසන් වතාවට කියලා මං මගේ ආදරණීය බර දරපු මේසෙටයි පුටුවටයි කිව්වා..ඒත් හිතින්මයි..

ආරක්ෂක අංශවලට මගේ අංශයේ යතුරු බාර දීලා..මගේ පලමු වෙනි බස් රථය ගන්න බස් නැවතුමට..එතනට කිලෝමීටර් තුන් කාලක් විතර පයින් යන්න තියෙනවා.. සුවිසල් ගොඩනැගිලි මැද්දෙන් උනත් වසර සීයක් විතර වයස සුවිසල් මාර ගස් වියනක් යටින් මේ කිලෝමීටර් තුන් කාලෙන් භගයක්ම යන්න තියෙන්නෙ..

තැනින් තැන තියෙන ලා කහ පාට එළිය විහිදුවන පහන් කනු අතර මැද අඳුර ඉසුඹු ලනවා..ආලෝකයෙන් අඳුරට..අදුරින් ආලෝකයට..මං හෙමින් හෙමින් පිය මැන්නා..

දොහ් ගාලා උරිස්සට වැටුන දෙයින් මම ගැස්සුනත් එක්කම පස්ස හැරිලා බලද්දි දැක්කෙ..මාර ගහක පොඩි අතු කෑල්ලක් - මැරිච්ච අතු කෑල්ලක් - කැඩිලා මගේ ඇඟටයි වැටිලා තියෙන්නෙ. මං හිතුවෙ අර පහු ගිය දවසක වගේ මොකෙක් හරි කුරුල්ලෙක් රුන්නා කියලා.. ඒ ශර්ට් එකේ  බෙටි පැල්ලම යවන්නම බැරි උනා.. ක්‍රීස්...ගාලා අතු පතරෙ ඉඳන් ඒ සොරි කිව්වෙ වවුලෙක් වෙන්න ඇති.. මෙයා හින්දා තමයි මගේ ඇඟට වැටිච්ච අත්ත කැඩෙන්න ඇත්තෙ..කමක් නෑ බන් මට රිදුනෙ නෑ..මං එහෙම හිතුවා..

අවට පරිසරය ආලෝක කලාට පහන් කණුව යට එකතු වෙලා හිටියෙ අඳුර..

තැනින් තැන ගොනු වෙලා හිටි අඳුර මේ පහන් ආලෝකය ගැන ඉරිසියාවෙන් කුමන්ත්‍රනය කරනවයි කියලයි මං හිතුවෙම..

ලෝකයට ආලෝකයක් වෙන බහුතරයක් මිනිස්සුත් මේ පහන් කනු වගේ නේද කියලා හිතන කොටම මං යන්න හිටි ඉස්සරහ අඳුරු කුට්ටිය අස්සෙන් යමක් සෙලවෙනවා දුටුවා..ඒ එක්කම මං එක පාරටම හිතුවෙ ඒ කුරුල්ලෙක් කියලයි..ඒත් එ සමනලයෙක්..හෝ සලබයෙක්..ලොකු එකෙක්.. උදේ සහ දවල් කොයි තරම් දැකලා තිබුනත් රෑකට මෙහෙම එළියෙ පියාඹන සමනලයෙක් දැක්කමද කොහෙද මෙහෙම..ඌ අඳුර තුලින් එලියට පියාඹලා ආවත් පහන් ආලෝකයට වල්මත් වෙලා වගේ තමයි පහන් කණුව දිහාවට පියාඹුවෙ..

මලකින් මලකට පරාග ගෙනිහින් ශාක ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන්න මී මැස්සො, බඹරු, දෙබරු කොයි තරම් හිටියත්...ඒ වැඩේම කරන්නත්..අවට පරිසරය ලස්සන කරලා මිනිස් අපේ සිත් සතන් සැහැල්ලුවෙන් තියන්නත්..සොබා දම් මෑණියන්..සමනළුන්ව නිර්මාණය කරන්න ඇති කියලා හිතමින් මම අර මහා පහන් කණුවෙ ආලෝකයට වසඟ වෙලා ඒ දිහාවට පියාබන සමනලයා දිහා බැලුවෙ පොඩියක් විතර දුකින්..

ශෲස්...ස්පට්...ගාන සද්දෙන් අර සමනලයා මගේ දර්ශන පථයෙන් ක්ෂනිකව අතුරුදහන් උනා..

කොහේ හරි මුල්ලක සැඟවිලා වහල හිටි නිශාචර පක්ෂියෙක් මගේ මේ දෑස ඉස්සරහම තමන්ගෙ රාත්‍රී ආහාර වේල කර ගනිද්දි..ඉස්සරහට ඇවිදන් යන මගේ පාමුලට වැටුනෙ මෙච්චර වෙලා පණ ගැහෙමින් හිටිය අර ලස්සන ලොකු සමනලයගෙ පිහාට්ටක්.. නොරිදෙන්න තරමට ඒක අතට ගත්ත මං හෙමිහිට බෑග් එකේ පොතක් අතරට ඒක බහා ගත්තා...

මටත් නොදැනීම මගෙන් ලොකු සුසුමක් පිට උනා...

ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්...

සුසුමක් කියන්නෙ පඤ්චේන්ද්‍රියන් වලින් අපේ සිතුවිලි හරහා පපුව තුල එකතු වෙන මහා බරෙන් ටිකක් හරි එළියට පිට කරන උපක්‍රමයක් වීම කොයිතරම් නම් හොඳද ?

ඉස්සරහ තියෙන වංගුවත් එක්කම තියෙන මීටර් 100ක 150ක එක දිගටම තියෙන පාරේ තියෙන්නෙම එකම එක මාර ගහයි..මාර ගහ කොයිතරම් විශාලෙට තියෙනද කියනවනම්..දෙපැත්තෙම තියෙන පහන කනු දෙකට කොහොමවත් බෑ එතන අඳුර මකන්න..

එතන අඳුරයි ආලෝකයයි අතරෙ මනුස්සයෙක් මුත්‍රා කරනවා..ඇත්තටම මේ පාර හරියෙදි කාට හරි මුත්‍රා බරක් හැදුනොත් ඉතින් මේ මාර ගස්  පුදුම පිහිටක් වෙන්නෙ කියලා හිතන කොට..

මේ මනුස්සයා ඉන්න ඉරියව්ව දැක්කහම මට පොඩ්ඩක් සැක හිතුනා ඇත්තටම මුත්‍රා කරනවද කියලා..යන පාරෙ ඉස්සරහ නිසා මමත් ඒ දිහා ටිකක් සැලකිල්ලෙන් බැලුවා..

එතකොටයි සීන් එක තේරුනෙ..

ජීවිතයේ කොතන හරි වෙච්ච යම් සිදුවීමකින් වැරදි කා වැදීමක් වෙලා ඒක එක්කම ජීවත් වෙන මනුස්සයෙක්..

මනුස්ස ජීවිත ගැන මම කියෙව්ව හොඳම පොත් වලින් එකක් වෙච්ච ඩෙස්මන් මොරිස්ගෙ නිරුවත් වානරයා සහ මනුසත් උයන පොත් වල එහෙමයි මේ ජීවිත ගැන විග්‍රහ කරලා තිබ්බෙ.. මං ඒ දිහා බැලුවට...ඒ ගැන සැලකිල්ලක් නෑ කියලා පෙන්නන්න ඕනි නිසා ආයිමත් පාරෙ ඉස්සරහ බලා ගෙන ඉක්මනට එතනින් පිය මැන්නා.. 

තව පොඩ්ඩක් බලන් හිටිය නම් උඹටත් වෙන්නෙ අර හාල් සේරුවයි එක බෙට්ටයි කියන කතාව කියන්නයි කියලා නැත්නම් පස්සෙ පහු කාලෙකදි ඕනයා මතක් කරයි මේ ගැන කී දවසක...

ආහ් මං යන බස් එක හෝල්ට් එකට ඇවිත්..මන් දුවන ගමන්ම සාක්කුවට
දා ගෙන තිබ්බ රුපියල් දහය අතට ගත්තා..
-------------------------------------------------------------------------------
විනාඩි පහකින් දහයකින් මේ වගේ සටහනක් ලියලා දාන එක එච්චර ජීවිතේට බරක් නොවුනට...මේ ලිපියෙම හරි වැරදි හොයලා දාන්න උනොත් නම්.. මේක කරන්න වෙන එකක් නෑ...

ඒ හින්දා මේන් මේ ගමන ඕන් ඔහේ මේ විදියටම යනවා..


මේකෙන් වෙච්ච එකම හොඳ දේ තමයි අපේ සුදු පූසා එක්ක බුකියෙ වලියක් දා ගත්ත එක ! මීට පස්සෙ නම් වෙන එකෙක් අල්ලා ගන්න ඕනි..


ඔව් ඔව් අර වීදුරු ගෙවල් ලියන්නෙ නැත්තෙ මේ දවස් වල නම්...


මේකටම තව එකතු කරන්න පොඩි කෑල්ලක් තියේ..ඒ තමයි පහු ගිය කාලෙ තිබ්බ ඔය අපේම සහෘදයො කරපු සම්මාන උළෙලවල් වලට අපේ තවත් සහෘදයො කීප දෙනෙක්ම මගෙන් ඇහුවෙ,

"දාපන්කො බන් උඹේ බ්ලොග් එකත් ඔය සම්මාන උළෙලකට"

"අපෝ බෑ"

"හුහ් ලොකු එකනෙ උඹෙත්..මෙව්වා පොඩි සම්මාන උළෙලවල්නෙ..ලොකුම එකක් තියනකන් වෙන්න ඇති බලන් ඉන්නෙ"


දැන් මං සම්මාන දෙන එව්වට මේක දාන්නෙ නැත්තෙ ඇයි කියලා කියන්නම්..

මෙච්චර ලියන සිංහලේ වැරදිත් තියා ගෙන.. ඔය ඉල්ලන කැටගරි එකකින් වෙන මුකුත් ඉල්ලපු බ්ලොග් නොතිබිලා මගේ එක තේරුනොත් එහෙම ..

මම ලියපු එව්වයෙ වැරදි මටම පෙනිලා එව්වත් හිතේ තියා ගෙන ආයි රෙද්දක් ඇඳ ගෙන කොහොමෙයි ඔය කියන සම්මානෙ ලබා ගන්නෙ ???

අර මගේ සහෘදයො හිතපු තරම් ලොකු එකක් නිසා නෙවෙයි මං එහෙම කලේ...

කාලයක් එයි නිවාඩු පාඩුවෙ ලියන්න.. නියම හරි සිංහලෙන්..ආන්න එහෙම ලියන කාලෙක බලමුකෝ...







Thursday, February 21, 2013

මධු සමය - Honeymoon


Photo courtesy form http://www.asia.com/travel-guide/asia-honeymoon/

මැදියම් රැයක් ගෙවෙන තුරු දවසේ නේක දෑ සමඟ පොර ඇල්ලූ නිසාවෙන්මදෝ එලාම් ඔරලෝසුව හඬ නගන තෙක්ම මා හට හොඳහැටි නින්ද ගොස් තිබිනි. 

ශරීරය හා ගැටෙන මුදු සුමුදු පහස නිවසේ තරම්ම සුවපහසුවක් දනවයි.. වායු සමීකරණයෙන් නැගෙන වා රැලි අසලම ඇති සුවඳ විහිදුවනයෙන් නැගෙන සුවඳ සමඟ මිශ්‍ර වී නැගෙන්නේ සිත ප්‍රබෝධකරන ආශ්වාසයකි..
නින්ද අඩුවෙන් ලැබුවත්  සිත හා ගත ප්‍රබෝධයෙන් ඇලලෙයි. 

දැස් හැර බැලුවෙමි..මොහොතකට පෙර මා හා වෙලී නිදා හුන් ඈ නාන කාමරයේ විය යුතුය..

අසල කුඩා මේසය මත වූ බකාඩි බෝතලය ගෙන තව උගුරක් හිස් බඩම අතහැරිය මා නැවතත් දෑස වසා ගත්තේ..තව මොහොතකින් නැවතත් පටන් ගන්නා මහා යුද්ධයට සිත හා ගත සනසා ගැනීමේ පරම අදිටනනි..

"ඒයි බබා මේ..."

ඇගේ සුකුමල ලාලිත කටහඬ..

"ඇස් අරින්නකෝ බබා බඩුවක් පෙන්නන්න.."

"ඊයේ රෑ තිස්සෙ බැලුවෙ.."

"ඒක නෙවෙයි මේ.."

යාන්තම් දෑස විවර කලා මා දෙනෙත ගැටුනේ..කුමක්ද යන්න හොඳිනම් බලා ගැනීමට වහා දෙනෙත පුළුල් කලෙමි..

දුහුල් නිදන ඇඳුමෙන් යුතුව ඈ අත ඇත්තේ සුදු රෙද්දකි..

ඒ මත....

අප දෙදෙනාගේම පවුල් වලින් යෝජිත වූ විවාහයක කොටස් කාරියන් වූ අප දෙදෙනා මාස හයක් පමණ සුළු ඇසුරකින් පසු විවා දිවියට පත් වූයේ පෙර දිනයේයි..

හනිමුන් එක සඳහා සතියක්වත් පිට රටක යාම පසුවට කල් තැබුනේ..අධික ලෙස ජ්‍යෝතිෂය විශ්වාස කල අප දෙදෙනාගේම දෙමවුපියන්ගේ නැකත් සමඟ එකඟ වීමට අපට සිදු වූ බැවිනි.

පෙමින් වෙලී සිටි පෙම්වතියන් කීප දෙනෙකුටම සමු දී මේ විවාහයට එළඹීමට සිදු වූයේද අප දෙමව්පියන්ගේ ව්‍යාපාර ජාලය ශක්තිමත් පදනමකට ගෙන ඒමේ අති මහත් බලාපොරොත්තුවට සහායක් වීම විනා අන් කවරක්වත් මා සිත නොතිබුනි.. 

නමුත් මා සිත් ගත් යම් යම් ගතිගුණ ඈ සතු වීය..

දුහුල් නිදන ඇඳුමෙන් යුතුව ඈ අත ඇත්තේ සුදු රෙද්දකි..

ඒ මත....

හැඩයක් සිතා ගත නොහැකි කළු පැහැයට හුරු රත් පැහැ පැල්ලම් කීපයකි..

"මන් හරි නේ බබා..."

ඈ මා හට තවත් තුරුළු වෙමින් කොඳුරයි..

"අපරාදෙ බබා ඔයා ඕකට කරපු වියදම.."

ඈ තුෂ්නිම්භූත වූවාක් මෙන් මා වෙතින් ක්ෂනයකින් ඉවත් වීය..

"මොකටද ?"

ඈගේ හඬ වෙව්ලයි.

"ඕකට"

තමන්ගේ දෑතට පොඩි වූ සුදු රෙදි කඩ වෙතට මා ඇඟිල්ලක් දිගු කලෙමි.

"කොහොමද ඔයා දන්නෙ ?"

ඈ කෙඳිරියක් නගයි..

"ඔයාට දැන ගන්නම ඕනෙද ?"

හඬක් නොනැගුවද මුහුනේ තිබෙන්නේ ඔව් යන්නයි..

"මාස එකහමාරකට උඩදි ක්‍රෙඩි කාඩ් කම්පැණිය ඔය වියදම හරි කියලා මගෙන් තමයි කන්ෆමේශන් ගත්තෙ..මන් විස්තර ඇහැව්වා..ඔයාගෙ මේකප් වලට යන වියදම් ප්‍රශ්ණයක් නොවුනට ඔය මෙඩිකල් සෙන්ටර් එකට යන ඔයි ලොකු ගාන ගැන මට පොඩි සැකයක් ඇති උනා..අනික එතන ඔය වැඩේටමනෙ ප්‍රසිද්ධ..ඉතින් මන් ඕකේ කලා..මන් ඔව්වා ගනන් ගන්නෙ නැති විත්තිය බබා දන්නවනෙ.."

මා ඈගේ කම්මුල කෙනිත්තුවෙමි..

"කොහොමත් ඕක පෙන්නන්න මගේ අම්මටයි ඔයාගෙ අම්මටයි දෙන්නටම...එතකොට කරපු වියදමට පොඩි හරි ප්‍රයෝජනයක් තියෙනවනෙ.."

"ඒ කියන්නෙ ඔයා දැනන් උන්නා..?"

"ඔව් ඔයාගෙ ප්‍රොපෝසල් එක ගෙදරින් ඇවිත් සතියකින් ඔයාගෙ හිටපු කුළුඳුල් ප්‍රේමවන්තයා..අර රොමේශ්ද මොකාද කියන එකා ඔයා මත්තෙම හැපිලා බීලා බීලා විනාශ උනේ...ඌ මාව හම්බ වෙලා ඔයා ගැන සේරම විස්තර කිව්වා. ෆොටෝත් පෙන්නුවා..ඊට පස්සෙ ඔයාගෙ අනික් එෆෙයාර් පහක් හයක් ගැනත්  සේරම විස්තර කිව්වා..

ඇයි ඔය ඔයා අඬන්නෙ ?"

"සේරම දැනන් ඉඳලා මට කිව්වෙ නැතුව රැවැට්ටුවා..මමත් දන්නවා ඔයාගෙ.."

"හෝව් හෝව් හෝව්..මන් බබාව බැන්දෙ ඔය සේරම දැන ගෙන තමයි. මොකද අපි දෙන්නගෙ මැච් වෙන කොලිටීස් කීපයක් තියෙනවනෙ..ආන්න ඒ නිසා...මගේ එෆෙයාර්ස් තිබ්බා, තියෙනවා ඉස්සරහටත් තියෙයි..."

 "එහෙනම් අපි දැන් මොකද කරන්නෙ?"

"මොනවා කරන්නද මීට පස්සෙවත් අපි නිකම් බොරුවට බොරු වහ ගෙන ඉන්නෙ නැතුව මේ ජීවිතේ අරන් යමුද ? අපි දෙන්නා බැන්ඳෙත් අපේ ෆැමිලි වල බිස්නස් නිසා මිසක් වෙන මොකටවත් නෙවෙයිනෙ..
මතක ඇතුව ඔය රෙද්ද අම්මලටම දෙන්න.. ඔය කඳුළු පිහිදන් ලෑස්ති වෙන්න දැන් ඉතින් ආයි මේකප් කාරයින්ගෙ දස වද බන්ධනයට මූන දෙන්න එපාය ! "

---------------------------------------------------------------------------
කතාව නිමි නැත..පටන් ගත්තා විතරයිනෙ...දෙවැනි කොටසක් නැත.

Tuesday, February 19, 2013

ඇට්ටර මගෝඩියෝ...


පින්තූරෙ ගත්තෙ..
http://www.amazingposts.com/2011/08/are-you-bully.html

පොඩි ඇටව් කාලෙ...හරි හරි පැටව් කාලෙ තමයි.. නැත්නම් කීප දෙනෙක්ම ඕකෙ අක්ෂර වින්‍යාසෙ හරි ගස්සන්න දඟලයි කතන්දරෙ කියවලා රස විඳින එක පැත්තකින් තියලා..

ඉතින් පොඩි පැටව් කාලෙ..ඒ කිව්වෙ අවුරුදු 6 යේ 7 ඉඳලා අවුරුදු 16 විතර වෙන කන්..ගමේ අපි තරම් හොඳ, ගුණ යහපත්, ආදර්ශමත් කොල්ලො රැලක් නොහිටිය බව මේ බ්ලොග් එකේ පරණ කතා කියවපු හැම කෙනෙක්ම දන්නවනෙ.. ආන්න ඒ කාලෙ වෙච්ච නැත්නම් සුපේශල හිතකාමී අපි බොහොම වැර වීරියෙන් කරපු හපන් කම් ටිකක් තමයි මේ කියන්න යන්නෙත්...

අපි හිතනවා මෑත කාලෙ තමයි මේ ඉස්කෝලවලට අළුතින් ළමෝ ආවහම සහ කැම්පස් එකේ අළුත් බැච් එකක් ආවහම තමයි පට්ට විදියට රැග් එක දෙන්නෙ කියලා.. අද වෙනකොට නම් බලෙන්ම ඔය කියන රැග් එක කැම්පස් එකෙන් නම් සෑහෙන්න පලවලා හැරලා නිසා..සහ ඉස්කෝලවලත් රැග් නිසා වෙච්ච අමිහිරි අත්දැකීම් නිසා එව්වා නැත්තටම නැති වෙලා ගිහින් වගේ තියෙනවා.. ඔව්වයෙ මුල් පටන් ගැන්ම කවදා කොහොම උනාද කියන එකට කතන්දර අනන්තවත් තියෙනවා උනත්..80 දශකයේ මුල් කාලෙ මේ සිද්ධි ටිකට දෙන්න පුළුවන් අර්ථකතනයක් රැග් එක ඇතුලෙ තියෙනවා කියලා හිටිහිච්ච නිසයි කතාවෙ පඳුරු තලන කොට ඔය රැග් එක ගැන කෑලි ටිකක් එළියට විසි උනේ..

ඔය කාලෙ අපේ ගමේ පදිංචියට ආවා එක පවුලක්..අපේ වයසෙම කොල්ලා අපි සංක කියමු..අවුරුදු 4කට විතර බාල මල්ලි කපිල..ඒ ගොල්ලන්ගෙ අම්මට තව බබෙක් හම්බ වෙන්න හිටියෙ..ඔය කාලෙ.. ඒ ගොල්ලන්ගෙ තාත්තා වැඩ කරපු ඔෆිස් එකෙන් අපේ ළඟ ටවුමෙ ඔෆිස් එකකට මාරු වීමක් ඇවිත්..ඒ ගොල්ලන්ගෙ මහ ගෙවල් අතෑරලා රැකියාව නිසාම මෙහෙ පදිංචියට එන්න උනා..ඒ ගොල්ලො ඇවිත් නතර උනේ අපේ ගෙවල් ළඟම තිබුනු ගෙදරක කුලියට..ඒ එක්කම සංකයි කපිලයි ළඟම ඉස්කෝලෙට දැම්මා..අපි ගියේ මේ ඉස්කෝලෙ නෙවෙයි ගමේම තිබ්බ ඉස්කෝලෙ..

මේ ගොල්ලො ඉස්සෙල්ලා හිටියෙ අගනුවරට කිට්ටුව සහ මේ අය ගිහින් තිබ්බෙ ලොකු ලොකු ඉස්කෝල වලට සහ ඒ ගොල්ලො හිටපු පරිසරය  ටවුන් එක නිසා අපේ ගමේ බයියන්ට  ගම ගැන තිබ්බ දැනුම ගෑවිලාවත් නොතිබිච්ච ටවුමෙ පියරු බාබාලා දෙන්නෙක් මේ දෙන්නා..ඔය කිව්වෙ ඒ ගොල්ලො ආපුම කාලෙ..

මේ ගොල්ලො ඇවිත් දවස් දෙක තුනක් යනකම් ඒ ගොල්ලොන්ටම උරුම වෙච්ච අපිට මැජික් වෙච්ච සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කර කර ඉඳලා..හෙමිහිට හෙමිහිට අපි එක්ක අර පොල් පිත්තෙන් කපපු බැට් එකෙන් රබර් බෝලෙන් එහෙම නැත්නම් ආර්පිකෝ බම්පි බම්පි බෝලෙන් අපිත් එක්ක ක්‍රිකට් ගහන්න සෙට් වෙන කාලෙ වෙන කොට...

ඔය කාලෙ ක්‍රිකට් වල තමයි අර බෝලෙ කැලේකට ගියොත් ආයි හම්බ වෙනකම්ම ලකුණු දුවන්න පුළුවන්.. ගස් වල , වහලේ දිගේ රූටලා එන බෝල ගස් කැච් වලටත් ගහන එකා අවුට් කරන්න පුළුවන්.. බෝලෙ තනි අතින් කැච් එකක් ඇල්ලුවොත් මුළු පිලම අවුට් කරන්න පුළුවන් ක්‍රිකට් ගහපු කාලෙ තමයි ඔය කියන්නෙ..

ඉතින් අපි සෙට් එක මුලින්ම කලේ,

ගහන්න බෝලයක් නැතුව ඉන්නක කොට.. ඊට ඉස්සර දවසක නැති වෙච්ච බෝලයක් හොය හොයා හිටියා..එතකොට අපේ සංකගේ අම්මා ඇවිත්,

"පුතාලා මේ අපේ පුතාල දෙන්නවත් ගන්නකො ඔය ගොල්ලන්ගෙ බෝල සෙල්ලමට"

"හා නැන්දෙ"

අපි එක හඬින් කිව්වා..ඔය වන ලන්දෙ අපි දැන් හැම තැනම බෝලෙ හොයනවා..

"සංක ඔය මල්ලිත් එක්ක අන්න අර පඳුරු ටික ඈත් මෑත් කරලා බලන්න..සමහර විට ඒ හරියෙ ඇති බෝලෙ.."

එහෙම උපදෙස් දුන්නෙ අපේ කණ්ඩායමේ හිටිය සුනිල්..

අපි හිනා තද කර ගෙන ඉද්දි..දෙන්නම අර පඳුරු ටික අතින් එහා මෙහා කර කර...කකුලින් පඳුරු ටික තල තලා..බෝලෙ හොයනවා...
අපිත් දැක්කෙ නෑ වගේ අපේ පාඩුවෙ බෝලෙ හොයනවා..විනඩි පහක් ගියේ නෑ..කපිල අත පය කස කසා අඬනවා..සංකත් ඒ සෙතේමයි..දෙන්නම අපිව දාලා ගෙදර දිව්වා..

කවදාවත් උනේ මොකද්ද කියලා නො අහපු සංකගේ අම්මා පහු ගිය දවසෙ දෙන්නවම අපේ සෙල්ලමට එව්වෙ..ඒ ගොල්ලො අතේ ගෙදර හදපු කෑම ජාතිත් එක්කමයි..එහ්ටකොටත් ඒ ගොල්ලන්ගෙ අත පය රතු වෙලා ගෙඩි ගැහිලා තිබ්බා,

මොකද දන්න අය දන්නවා කහඹිලියා පඳුරක් ඇඟේ ගෑවුනහම කසන කැසිල්ල..

මේ දෙන්නටම ඊට පස්සෙ දවසක කවුරු හරි කියලා අර තුත්තිරි ගස් වල කොලයක් අරන ඇඟිලි දෙකට තියලා හයියෙන් අල්ලලා ඇද්දහම අත කොළ පාට වෙනවා කියලා.. ඇත්තටම වෙන්නෙ තුත්තිරි කොළය හරිම තියුණුයි..ඒකට අත කැපෙන්නෙ හරියට අළුත් බ්ලේඩ් තලේකට වගෙයි.. දෙන්නම ටික දවසක් යනකම් බත් කෑවෙ හැන්දෙන්..

අපි මුල කාලෙ හැංගිමුත්තම් කරන්න ගමේම තියෙන තේ වතු වලයි රබර් වතු වලයි රිංග ගෙන හැංගෙන කොට.. අපි එක දවසක් කපිලවයි සංකවයි හැංගුවෙ අර මානා එහෙම නැත්නම් පොඩිසිංඤොමරං කියන අකුලක් අස්සෙ.. ටික වෙලාවකින් මෙන්න දෙන්නම එනවා මුළු ඇඟම කහ කහ.. ඒ මානං ගස් වල මල් ඇඟට වැටුනහම ඇඟ කසන ගතියක් වගේම අර මානා කොලවලට අත පය කැපිලා සීරෙන ගතියක් තිබ්බා..

හැබැයි එක සැරයකින් පස්සෙ මේ ගොල්ලො මේ ගස් කොලන් ගැන දැන ගත්තා..ඊට පස්සෙ අහු උනේ නම් නෑ..

රබර් වතු වල රබර් ඇට වැටෙන කාල වලට කපිලගෙයි සංකගෙයි විතරක් නෙවෙයි අපෙත් ඇඟ හමතැනම පිච්චිච්ච කැලැල් තිබුනා..හැබැයි මේ දෙන්නා මුලින්ම මේ අත්දැකීම ලබා ගත්තේ නම් අපේ ගමෙන්ම තමයි.. රබර් ඇටයක් අරන් ගලක අතුල්ලලා අතුල්ලලා ගිණියම් උන හම ඕක ඇඟේ කොහෙ හරි තැනක තියලා අහු නොවෙන්න දුවන එක තරම් ජොලි වැඩක් තිබ්බෙම නෑ අපිට ඒ කාලෙ නම්...

අළුත් අවුරුදු කාලෙ එනකොට කොයි ගෙදරද කැවුම් නොහදන්නෙ ? ටවුමට හුරුවෙලා හිටපු මේ අය ගෙදර කේක් හදන කොට අපෙ ගෙවල් වල අය හැදුවෙ කැවුම්.. මුන් කැවුම් වඩන කොට ඕකෙ මැදට සැර කොච්චි කරලක් දාලා හදලා කපිට කවලා අපි හිනා උන තරම අදටත් මතකයි..

අන්තිමට වගේ මට මතක හැටියට...අපි කපිලලා ලවුවා කර ගත්ත මජිරිම වැඩේ තමා...

ගමේ ගොඩේ හක්කලන් කරන අපිට ගමේ රහසක් නොවිච්ච දෙයක් තිබ්බෙම නෑ..

කුඹුකෙ ගෙදර කුසුමෙ නැන්දගෙයි බැද්ද පාළුවෙ සමරෙ මාමගෙයි තිබ්බ මුකුළුව අපි දැනන් හිටියෙ ඕක කුසුමෙ නැන්දා බැඳලා හිටි මාමට ඔය හොරේ අහුවෙලා සමරේ මාමා උදළු පාරකුත් කාලා දුවන්ඩ අවුරුදු ගානකට ඉස්සර..

දවසක හැන්දෑ ජාමෙ සමරෙ මාමා සරමක් කෙටි කරගෙන හොර මීයා වගේ අපි බෝල ගහ ගහ හිටි තැනින් ඇදෙන කොටම අපි දන්නවා ඉතින් ඉතුරු කතන්දරේ..

අපිත් ටික වෙලාව්කින් බෝල ගහන සෙල්ලම නවත්තලා හැංගි මුත්තන් කරන්න පටන් ගත්තා.. එක එක්කෙනා ගම පුරාම හැංගිලා හොයන කෙනා අහු වෙන අහුවෙන කෙනා එක්ක අනිත් අයව හොයන එක තමා කරන්නෙ..

අපේ සුනිලා අහු උනා අපි තව දෙන්නෙක් එක්කම..කපිල අහු උන නිසා..
අපි තුන් දෙනා දැන් අනිත් අයව හොයනවා..

කුසුමෙ නැන්දගෙ ගෙවල් පේන මානෙට ආපු ගමන් සුනිල් කලේ..

"කපිල සුවර් එකටම අජියයි, කළුවයි කුසුමෙ නැන්දගෙ ගෙදර හැංගිලා ඇති.. අර දිරත් අඩ්වල් කරලා තියෙන්නෙ..

උඹ දොර ඇරන් ඇතුලට පලයන්..අපි කුස්සිය පැත්තෙන් එන්නම්"

කපිල අඩවල් කර ගෙන තිබ්බ දොරත් ඇරගෙන 

"අඩෝ අජියෝ..අහු උනෝ..."

කියලා කෑ ගහ ගෙන ඇතුලට දුවගෙන ගිය පාරටම ආයි රිංගපු දොරින්ම එළියට ඇවිත් ආපහු ගෙදර දුවලා තිබ්බා..

අපි දැක්කෙ කුස්සියේ දොරින් ඊ ගහක වේගෙන සරමත් අතින් අරන් එහා පැත්තෙ තිබ්බ කැලේට දිව්වා සමරේ මාමව..

මුලින්ම මුකුත්ම දැක්කෙ නෑ කියලා දහ අතේ දිවුරපු කපිල පස්සෙ දැකපු එව්වා අතින් දාලා විස්තර කලේ..අපිත් එක්ක හොඳටම ෆිට් වෙච්ච කාලෙක..

දැන් මේක කියෙව්ව අය හිතනවා නම්

යකෝ මුන් වගේ පට්ට පඳුරු මගෝඩි ටිකක් පොඩි කාලෙ කියලා..

ඔව් නේන්නම්...

කියලා හිනා වෙනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නම් නෑ මට ඕන්..
කපිල සහ සංක අදටත් කලාතුරකින් උනත් සෙට් වෙන දවසකට කියන්නෙම,

"අනේ තොපිලා අපි ගමට ආවහම දීපු රැගක්"

කියලා මයි...


ඉතින් ඒ කාලෙ රැග් තිබ්බෙ නෑ කියලා කියන්ඩ පුළුවන් කාටද ?
රැග්  කියන්නෙ RAG = Royal Academic Game  ලු..

Wednesday, February 13, 2013

ආදරය මොන වගේද ?


ආදරය කියන්නෙ මොකද්ද කියලා යන්තම් චූ බරට එව්වා මෙව්වා වෙන කාලෙ ඉඳන්ම හොයලා බලලා.....

අන්තිමේ තීරණය කලේ ආදරය කියන්නෙ අසීමාන්තික කිසිම කොන්දේසියක් නැතුව දෙදෙනකු අතරේ ඇති වෙන හැඟීමක් කියලයි..

වෙළඳ ලෝකෙ වැලන්ටයින් කියලා විකුණ ගෙන කන්නෙ නම් උන්ගෙ වාණිජ පරමාර්ථ තමයි..මාත් ඉතින් එස් එම් එස් එකක් ගහයි අයි ලවු යූ කියලා...ස්කයිප් එකෙනුත් ඉතින් ඔය වගේම බොළඳ දේවල් ටිකක් දොඩවයි අනිත් අය වගේම..


ඒත් අපි දෙන්නා අතරේ තියෙන්නෙ සැබෑ ආදරයක් කියලා හිතෙන කොට ඇති වෙන හැඟීම තරම් තවත් දෙයක් , සතුටක්, තෘප්තියක් මේ ජීවිතේටම නෑ..

හතලිහ පැනපු කෙනෙක් ආදරේ ගැන කියවන එක ටිකක් ඔඩ් වගේ තමයි ඒත්...

අපි දෙන්නට තියෙන්නෙ අපි දෙන්නටම ආවේනික වෙච්ච ආදරයක් කියලා හිතෙන කොට....

අනන්තය කියන්නේ ආදරයට කොහොමවත් සීමාවක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ..

වර්තමානයේ ආදරය කියන්නෙ බහුතරයකට ලිංගික එක් වීමට මහා ලොකු ඉඩක් මහා ලොකු පදාසයක් වෙන් කරපු බැඳීමක් වෙච්ච ලෝකෙක..

ඔයාට ලිංගික අවශ්‍යතාවයක් තියෙනවා නම් කවුරු එක්ක එකතු උනත් මට එච්චර දෙයක් නෑ..මට ලොකු අපේ ආදරේ..මන් දන්නවා මේ අවුරුදු ගාන ඇතුලෙම ගොඩ නැගිච්ච ඒ ආදරේ වෙනස් කරන්න වෙන කාටවත් බැරි බව ...

වගේ අදහසක් ඔබේ පෙම්වතිය ඔබට කීවොත් කෙනෙක් කියයි එතන තියෙන්නෙ ආදරයක්ද කියලා ? 

මටත් ඒ වගේ කතාවක් හදවත පතුලෙන්ම කියන්න පුළුවන්කම තියෙන ආදරයක් මගේ ජීවිතයේ පැත්තකින් ඉන්න බව කීවොත් කෙනෙක් කියයි එතන තියෙන්නෙ ආදරයක්ද කියලා..

මෙන්න මේ අපේ සංස්කෘතියේ තියෙන බොරු සොබ්බෙ නැති බොහොම විවෘත මනසක් තියෙන කෙනෙක් මගේ ආදරයේ  කොටස් කාරියෙක් වෙච්ච එක ගැන මට තියෙන්නෙ නම් මහා ආඩම්බරයක්ම තමයි..

අපි දෙන්නම වැලන්ටයින් ඇදහුවෙ නැතත්..

ආදරයේ පණිවිඩයක් අපි දෙන්නා අතරේ හුවමාරු වෙයි හෙට පෙබරවාරි 14 වෙනිදා..

සංනිවේදන තාක්ෂණය හරහා..

ඒත් අත් දෙක අල්ලා ගෙන උඩ පැනලා 

අපි දෙන්නාගේ මේ ලෝකෙ කිසිම සීමාවකට යටත් නැති ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්ඩ කෑ ගහලා කියන්ඩ තිබ්බා නම් කොයි තරම ශෝක්ද කියලා නොහිතෙන්නෙත් නෑ..

කොයි තරම් වයසට ගියත් මන් ඇතුලෙ ඉන්න මේ බොළඳ කමට මන් ආසයි..

හැමෝටම ආදරයෙන් පිරිච්ච ජීවිතයක් පතන මා

වෙනී ලියන්නා සමඟ නි. වීවේචක

Saturday, February 9, 2013

හමුවීද ක්ෂිතිජයේ ඉම ?


ක්ෂිතිජයට ඉමක් තිබේද ?

එය සොයා යාම අර්ථාන්විත දෙයක්ද ?

එය ක්ෂණයකින් නැති වී යා හැකි කාරණා සිය දහසක් මැද දිවි ගෙවන මේ ජීවිතයට කිසිදා හෝ හමුවේද ?




දෙසවන් තුලට අන් ශබ්දයක් යා නොදී හෝ හෝ හඬින් හා එම හඬ තුල ජීවිතයේ සියළු දුක්ඛ දෝමනස්සයන් භාව රාව ප්‍රතිරාව දෙන්නා වු වෙරල සමීපයේ වූ පොල් කොටය මත හිඳ මා මගෙන්ම මෙම ප්‍රශ්ණ අසා ගත්තෙමි.

ක්ෂිතිජයේ ඈත ඉම කොනක හිරු රාජයා ලොවින් සමු ගැනීමට ඉතා ආසන්නය..

ඉහත ප්‍රශ්ණ තුනටම පිළිතුර,

"ඔව්"

යන්න හැර වෙන කිසිම පිළිතුරක් මා හද සන්තානයේ නොමැත.

මම දනිමි.

"මොන හරකෙක්ද බන් ඒ?"

"හරිම ගොන් උත්තරයක් ඒක."

"මෙලෝ ඉගෙනීමක් නැති කෙනෙක් උනත් ඔයිට වඩා බුද්ධිමත් උත්තරයක් දෙයි."

"වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැතුව ඇති.."

"මේ වගේ  මෝඩ හරක්නෙ ඉන්නෙ අපි එක්කත් ලොකුවට.."

"අවුරුදු හතලිහක් ජීවත් වෙලා තියෙන්නෙ අන්ධයෙක් , ගොළුවෙක් බීරෙක් වගේනෙ.."


"අමු පිස්සෙක්නෙ !"


දස දෙසින් සමච්චල් සිනා හඬ ඇසෙනු ඇත...

ඒත් සමා වෙන්න සොයුර සොයුරිය..

ඔව් 

යන්න හැර වෙනත් කිසිම පිළිතුරක් මා හට නැත.

ක්ෂිතිජ ඉම රේඛාව මා දෑස් ඉදිරියේම අඳුර විසින් ගිල ගනී..

මට දුකක් නැත..

හෙට උදෑසනත් මෙය මෙලෙසම මා දෙනෙත ඉදිරියේ එන්න සබඳ මා වෙත පවසමින් අනේක වූ බලාපොරොත්තු දහසක් හිත රඳවා ගෙන මා එනතුරු බලා සිටිනු ඇත..

මා හිඳ සිටි තැනින් නැගී සිටියෙමි...

මා කෙදිනක හෝ ඔබ වෙත එමි..

මා කෙදිනක හෝ ඔබව සොයා ගනිමි...


මීට පෙර ලිපියේ මා යම් කඩ ඉමක සේයාවක් පිළිබඳ අදහසක් මාගේ සහෘදයන් වෙත ලබා දුන්නා මතක ඇතැයි සිතමි..

මේ ලිපිය එම කඩ ඉමයි..

වසර එකහමාරක් තුලදී මා ලියූ 200 වෙනි ලිපිය මෙයයි..

මා අතිශය විශ්මයට පත් වෙමි..

මන්ද ?

මා මෙවන් දුරක් එතැයි මා නොසිතුවෙමි.

වැපා සහ මරණෙ අපි ගොඩක් අය අඳුරන දෙන්නෙක්..ඔවුන් මේ බ්ලොගයට නො එනවා උනත් අතීතයේ යම් දිනයක ඒ අපි අම්පාර උහන විද්‍යාලයට පුස්තකාල පොත් ලබා දීමට යන අතරතුරදීය..

"බ්ලොග් එකක් උපරිම උනොත් අවුරුදු තුනයි ලියන්ඩ පුළුවන්..කවුරු කොහොම කීවත් ඒක හැමෝටම පොදුයි"

දෙදෙනාම එක හඬින් කීවෝය..

මා එදිනද එකඟ නොවූයෙමි..

අදද ඔවුන් දෙදෙනා හා එකඟ නොවෙමි..

බොහෝ අයට එලෙස වන්නට පුළුවන..

සුහද මා ඔබේ මතයට එකඟ නොවූවද එයට ගරු කරමි..

බලන්න ..

මා යන්නේ...

ක්ෂිතිජයේ ඉම සොයා..

ඔබ නැවතත් සමච්චලයෙන් සිනහා වූවත්...

මම එය සොයා යමි..

ඒ සොයා යන එක නිමේෂයක් වූවද මට මහා කතන්දර ගොන්නක් අකුරු කර ඔබ වෙත පෑ හැකිය.. එහි සාර්ථක අසාර්ථකබව රැඳෙන්නේ..මා එයට යොදවන කාලය හා ශ්‍රමයේ සීමාවන් නිසාය..නමුත් යම් දිනයක එම සීමාවන්ද බිඳෙනු ඇත.. 

මා ලියූ බොහෝ ලිපි වලට අවම වශයෙන් එක් අයෙක් වත් ඇසූ ප්‍රශ්ණයක් වූයේ..

මේක ඇත්තටම සිදු උනාද ?

යන්නයි..

ඉඩ දෙන්න මට අද එයට යම් පිළිතුරක් ලබා දෙන්නට..

මෙම පිළිතුරම අඩු වැඩි වශයෙන් මා විවිධ අවස්ථාවල පවසා ඇත..

මා හට යම් යම් චරිත වලට ආවේශ වීමේ හැකියාවක් ඇත. එය සුවිශේෂී හැකියාවක් නොවේ. එය ඕනෑම අයකුට ක්ෂණයකින් කල හැක.බොහෝ සාමාන්‍ය දෙයකි..එම ආවේශය තුල හිඳ මා මේ වන තෙක් පඤ්චේන්ද්‍රීයයන් තුලින් මගේ මතක ගබඩාවට ගොනු කර ගත් සියළු දේ එම චරිතය තුලට පුරවා...ඒ තුලින් ලොව දැකීමේ නොතිත් ආශාවකින් මා පෙලේ..මා නිර්මාණයක් ලෙස එලි දක්වන්නේ එම සිතුවිලි ගොන්නයි..

එයින් මිදුනු මා හට නිර්මාණය පසු කලෙක දකින කියවන විට මා විසින්ම මෙය ලිව්වේද යන්න විස්මයට කාරණයකි.

මා ලියන්නෙකු නොවෙමි...මා තවමත් ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක් වැන්න..

යම් චරිතයකට ආවේශවීම එම නිසාම තාමත් මට දුෂ්කරය. සාර්ථක ලියන්නකු හට එය කජු කනවා මෙන් පහසු විය යුතුයි..

එක නිදසුනක් පවසන්නම්..

පෙර ලියූ කඩ ඉමක සීමා.. මිනී කපන්නකු මෙන් සිත සිතා දින කිහිපයක් ගත කලෙමි..වීඩියෝ කීපයක්ම නැරඹුවෙමි..සිතින් කී වාරයක් මිනී කීයක් කැපුවාද මතක නැත..තවමත් දිනෙක රෑ නින්දෙන් බිය වී අවදි වන්නේ මා මිනී කාමරයක තනි වී ඇති සිහිනයක් දැකීමෙනි..

එනිසා මා තවමත් සාර්ථක ලියන්නකු නොවේ..

මා ලියන්නේ කෙසේදැයි හදාරන සිසුවෙක්මි..යම් දිනක...එය අද හෝ හෙට නොවෙනු ඇත.. මා ලියන්නකු වනු ඇත..ඒ මගේ සිහිනයයි..

මා කිසි දිනක මෙතරම් දුර ලිවීමක් නොකරනු ඇත...

නමුත් මා මෙතරම් දුර ලියා ඇත..

ඒ සහෘද ඔබ නිසාය..

ඔබගේ අදහස් දක්වමින් කරන කමෙන්ට් නිසාය..

කමෙන්ට් කිරීමට තරම් විවේකයක් නොලදත් මෙහි පැමිණ ඇති පිරිස දක්වන හිට්ස් නිසාය..

මට අති මහත් ධෛර්‍යයක් වූයේ එයම බව මා තරයේ අදහමි..


මාගේ බ්ලොගය තුල කමෙන්ට් කරන ඔබ මටත් වඩා අති දක්ෂ ලියන්නකු බව මම බ්ලොග් ලියන ඔබගේ ලිපි තුලින් දකිමි..ඒවායින් මා ලබා ගන්නා දැනුම අති මහත්ය..එවන් වූ දක්ෂ තවත් ලියන්නන් රාශියකගෙන් එක් වදනක හෝ කමෙන්ට් එකක් ලැබීමට මා ඉතා වාසනාවන්තය..මා වැනි අංකුර ලියන්නකුට එය මහඟුය..

එයට සදා තුති පුද කිරීමට මට ඉඩ දෙන්න..

මා මේ ක්ෂිතිජ ඉම සොයා යන ගමනේ සමුච්චිත වන දෑ සියල්ලම යතුරු පුවරුවේ වචන හරහා ඉඩ හසර ලද විගස ඔබ වෙත ගෙන එන්නම්..

-----------------------------------------------------------------------


"හ්ම්ම්ම් ඔය ඇතිනෙ 200 ට ලිව්වා..අපිටත් ලියන්න ඕනි මොනවා හරි..."

මාව තිගැස්සිලා ඉඳ ගෙන හිටි පුටුවෙන් බිමට නොවැටුනා විතරයි..

"මේ මගේ බ්ලොග් එක මන් ඇයි කාටවත් ලියන්න දෙන්නෙ මෙ පෝස්ට් එකේ?"

හොඳට දන්න ගොරහැඩි කටහඬ දිහා නොබලම මන් උත්තර දුන්නා..මන් දන්නවා මේ කටහඬ කාලෙකින් මේ පැත්තෙ නො ආවත් මගේ නිර්දය විවේචකයගෙ කියලා..

"හිතන් ඇති 200 ලිව්වා කියලා මහ ලොකු බ්ලොග් කාරයෙක් කියලා..."

"අත ඇරපන් බෙල්ල....."

--------------------------------------------------------------------
ඊට පස්සෙ ආන් වෙනියා කාමරෙන් එලියෙ..
අපි දෙන්නා මුකුත් නොලිව්වොත් මේ පෝස්ට් එක සම්පූර්ණ වෙන්නෙ නෑ..

මෙච්චර වෙලා ඌ කිව්ව දේවල් වල ඇත්ත මන් කියන්නම් මෙතන ඉඳන්..

200 යි කියලා මෙතන පඩ ශෝ දැම්මට ඔය 200න් 190ක්ම වල් පල් ..කිසිම දෙයක් ගන්න නැති පල් හෑලි විතරයි...ඕනිම උනොත් ලිපි 10ක් ඇති මොනවා හරි දෙයක් ගන්න..

මහ ලොකු මහන්සියක් වෙනවා කියන්නෙ එක ලිපියක් ලියන්න..

හුහ් අනේ මගේ කට..දවසක ගලවනවා මුන්දැගෙ රෙදි සේරම..මෙහෙම ගියොත්..

බස් එකේ පැයක් එක හමාරක් යන ගමන් අමුන අමුනා ගිහින්..ඔය වෙලාවට මනුස්සෙක් මූණ බැලුවට හිනා වෙනවද..නෑනෙ..හිත හිතා ගිය දේවල් ගෙදරදි ටයිප් කරලා ඔෆිස් එකෙදි දාලා..මෙතන පෙන්නන්ඩ හදන බොරුව මොකද්ද ?  කාවද මෙහෙම රවට්ටන්නෙ කියලා මේක කියවන සේරම තේරුම් ගත්තොත් හොඳයි..

මේ වැඩේ ඕනි ටිං කිරි කොල්ලෙක් කරයි..

එච්චරයි..

මේකට ඇවිත් කමෙන්ට් කරන ඔය ගොල්ලො නොවෙන්න මූ ලියයි..

බලමු කොරන හැටි..ටික කාලයකට මේ බ්ලොග් එක තියෙන්නෙ අපි දෙන්නා අතේ..

ඔව් මේ පෝස්ට් එකෙන් පස්සෙ කමෙන්ට් කරන්නෙත් අපි දෙන්නා..
අහන්න මූ ගැන ඕනි දෙයක් අපි කියන්නම්..

"ඒයි ලියන්නා මල්ලි ඔය සිගරැට් එක විසි කරලා වරෙන් මෙහෙ..උඹත් ලියනවද මොනවා හරි මේකෙ.."

මූ කියන විදියට මන් - නිර්දය විවේචකයා -

----------------------------------------------------------------------
මන් මොනවා ලියන්නද මගේ නම විකුනන් කාපු එකා ගැන..ඔව් සල්ලි නම් හම්බ කර ගත්තෙ නෑ තමයි ..ඒත් ලියන්නා ලියන්නා කියලා හම්බ කර ගත්ත මිනිස්සු කන්දරාව..මීට පස්සෙ වෙනියා එළියෙ අපි දෙන්නා තමයි මේක රන් කරන්නෙ..

"ඒයි කොහොමද මචන් මේකෙ පාස් වර්ඩ් වෙනස් කරන්නෙ මූට ආයි එන්න බැරි වෙන්න ?"



Thursday, February 7, 2013

කඩඉමක සේයා...


"අද පන්සලේ හාමුදුරුවන්ගෙ බණ ටික නම් මසුරන් ඒයි.."

'තග්' යන හඬින් ලී කොටය උඩ තැබූ මාළුවාට දුන් මන්නා පහරින් ඌ දෙකඩ වීය..

"හ්ම්ම්ම්"

"බලන් ඉන්න ආසයි ඒ හාමුදුරුවො බණ කියනවා. නෙලපු රූපයක් වගේ මූණ කට රත්තරන් පාටයි"

"බලන් ඉන්න ආසයි ?"

"නෑ මන් කිව්වෙ අහන් ඉන්න ආසයි බණ දේශනා කරන කොට කියලා"

කුණු ලේ පාට බඩ බොකු සියල්ලම ඇඟිලි වලින් අල්ලා එලියට ඇද අසල වූ මැටි කෝප්පයකට දමන ගමන් ඈ පවසයි.

"මේ ටික අර හොර බැළලි කන්ඩ ඉස්සර අර කෙසෙල් ගහ යට වලක් කපලා යට කරන්ඩකෝ"

"පස්සෙ බැරියැ"

"සේරම පස්සෙ බැරියැ..පස්සෙ බැරියැ තමයි..අනේ මන්දා ඔයා නම්.."

"හ්ම්"

මාළුවාගේ කොරපොතු සුද්ද කර ලේ වැකුණු කැබලි අසල වූ හට්ටියකට අඩුක් කරමින් නුරුස්සනා හඬකින් ,

"හ්ම්ම් හ්ම්ම්ම් ගාන්නෙ බකුස්සො..මොන වැඩේ පස්සට දැම්මත්  වැඩ දෙකක් නම් පස්සට දානෙ නෑ මොන යකා කීවත්"

"වැඩ දෙකක්?"

"ඔව් කන එකයි.."

"අනික?"

"අනික මන් මෙතන කියන්නෙ නෑ කන එක..."

"කියන්ඩකො ඉතින් ආයි ළමයි දෙන්නත් අම්මලාගෙ ගෙදර ගිහින්නෙ..හෙට නේද එනවා කිව්වෙ"

"නැතුව ආයි හෙට දිහා එයි..ඔය මාළු ටික දිහා භාවනා කරනවද? "

"නෑ"

"අමු මාළු දිහා බලන් ඉන්න එපා..පස්සෙ අප්පිරියා වෙයි කන්න.."

"හා"

"දන්නවද අද පන්සලේ හාමුදුරුවො බණට කීවෙ මොනාද කියලා?"

"නෑ"

"ඔව් ඉතින් කොහේ දැන ගන්නද ? පන්න්සලක් පැත්තෙ යන්නෙ නෑ..ඔයා ඔය කොළඹ වැඩ කරනවයි කියන කඩේ ඉන්නකොටවත් වැරදිලාවත් පන්සලකට යන්නෙ නැද්ද?"

"නෑ"

"මනුස්සයො දැන් අපි ඉතින් වල පයයි ගොඩ පයයි තියන් ඉන්න එකේ මලක් පානක් පත්තු කරලා ගාථාවක් දෙකක් කියලා..වෙලාවක් තියෙන වෙලාවකටවත් පන්සලක් පැත්තෙ ගියොත් නරකද මන් අහන්නෙ?"

"නරක නෑ"

"අපි මේ කුණු ශරීරෙට ආසා කරන්න හොඳ නෑ..ලස්සනට , සුදට , සුවඳට තිබ්බට මේක ඇතුල මහා කුණු ගොඩක්. අපි අන්න ඒ අනිත්‍යය තමයි නිතර සිහි කරන්න ඕනි. එතකොට අපි පිළිකුල් භාවනාව වඩන්න ඕනි. 
මේ කුණු ශරීරයේ තියෙන අස්ථීර බව මතක් කර කර.."

"අර හාමුදුරුවොද කීවෙ"

කොයි?"

"අර රත්තරන් පාට?"

"ඔව් ඔව්..නෑ.. කොයි හාමුදුරුවො දේශණා කලත් ඔය දේ තමයි .. අපි මේ රඟේට මෙහෙම හිටියට අපේ දෙතිස් කුණුපයම ජරාවයි අනිත්‍යයි.."

"එහෙමත් කීවද?"

"ඔව් ඉතින් ඔහේ කවද්ද මේ දර්මෙ ඇදහුවෙ ? අනේ මන්දා මලහම කොහෙ යයිද කියලා. ඔය රේඩියෝවෙ යන බණ පදයක් වත් අහලා මේ ජරා ජීර්ණ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් හිත පහදවා ගෙන නිවන් අවබෝධ කර ගන්න පොඩියට හරි හිතා ගන්නවකො"

"හා"

"නැත්නම් මලහම ඔය වැඩ කරනවා කියන කඩේ මීයෙක් වෙයි නැත්නම් මේ ගෙදර මන් පස්සෙ එන පූසෙක්වත් වෙයි...බඩගිනිද ඈනුම් අරින්නෙ?"

"ඔව් මේක කන්න"

"නිකන් ඉන්නවකො තමුසෙට නම් එන්න එන්නම විසේ වැඩි වෙනවා..වයසට යනකොට හරි නම් තැන්පත් වෙන්ඩෝනි"

"තැන්පත් වෙමු රෑට කාලා"

"මගේ අහගන්නෙ නැතුව ඉන්නවා මුකුත්..ඕන් ඔය මාලු හොද්ද පොඩ්ඩක් බලලා ගින්දර අඩු කරන්ඩ මන් ඇඟ පත හෝදගෙන එන්නම්"

"හා"

කිරි කිරි හඬින් බාල්දිය දෙපසට වැනෙන හඬ දෙසවනින් ඈත්ව යයි..
ගොද ගොද හඬින් උතුරා යන මාළු හොද්ද සහිත ලිපේ ගින්දර අඩු කර ඉනේ ගසා සිටි සිගරට් පෙට්ටියේ වූ අවසන් සිගරට්ටුව පත්තු කර ගත්තෙමි. 

"උඹ ඔය කොලොම් පුරේ කඩ වල් වල බඩු කිර කිරා හිටපන්..සති දෙක තුනකට සැරයක් ගමට එන්නෙ..උඹ දන්නවද අර පහල ගෙදර කරුණෙ මේ ගෙවල් පැත්තෙ කැරකෙනවා හැම වෙලාවෙම කියලා"

මගේ විවාහයට පෙර සිටම විරුද්ධ වූ ලොකු අක්කා පහත් ස්වරයෙන් මුමුණයි. ඈට අවශ්‍ය වූයේ ඈගේ මිතුරියකගේ නැගණිය මා හට විවාහ කර දීමටය.

"උඹ ඕක පොරවෙන් කපන්න වෙනකම් තියා ගන්න එපා..නැත්නම් මෙච්චර ලොකු දරුවො ඉන්න ගෑණියෙකුට තියෙන්න ඕනි දාංගලයක්ද තියෙන්නෙ"

මා මුවින් නොදොඩා නැගී සිටියේ විසි පහක් තිහක් පමණ බලන්නට ආ සියළු මනමාලයන්ගේ කුමක් හෝ අඩුවක් දුටු ඈ ඒ හේතුවෙන්ම අවිවාහකව තම සොයුරු සොයුරියන්ගේ දරු කැලතට කරන සේවයට කරන කෘතගුණයක් ලෙසිනි.

රාත්‍රී ආහාරයෙන් පසුව,

"ආ ඔන්න ඔයාගේ බෑග් එක හරි ඉතින් හෙට උදෙන්ම යන්නත් එපාය නේ..මන් මාළු ඇඹුල් තියල් එක වෙනම දැම්මා.. දවස් දෙක තුනක්වත් තියා ගෙන කන්න හොඳේ"

ආහාර කිසයෙන් අනතුරුව මා ටවුමේ ෆාමසියෙන් ලබා ගත් පෙති 2 සමඟ වතුර උගුරු කීපයක් ගිල දමා නින්දට වූයෙමි..

රාත්‍රිය පුරාම හතර වතාවක් ඇහැරුනු අතර උදෑසන හය වන විට මා මූණ කට සෝදා ගෙන ලෑස්ති වන විටත් ඈ කෙඳිරි ගාමින් නිදයි...

"ඒයි ඒයි තේ එකක් වක්කරනවකො"

"මට හරි අමාරුයි අනේ..
කොහෙද වලහා පහුරු ගහන්නා වගේ..තමුසෙ කංසා වත් කෑවද රෑ?"

"නෑ"

"නැති වෙන්න බෑ..මේ බලනවා...දැන් ඉතින් සතියක් වත් යන කන් ඉන්න බෑ අමාරුයි"

"තව සැරයක්?"

"බෑ බෑ...ඉන්නවා මන් තේ එකක් වක් කරලා දෙන්න..කෝ එහාට වෙනවකො"

"උඹ ඕකිට ගහලා බැනලා හරි ඔය දාංගලේ අඩු කර ගන්න කියපන්"

අක්කාගේ ගුප්ත කටහඬ මා හිස වටා කරකැවෙයි..

"තේ එපා මන් වතුර එකක් බීලා යන්නම්..ආයි එන්නෙ ලබන සතියෙනෙ.."

"අනේ නිකා ඉන්නවකෝ...ඊළඟ සැරේ එනකොටවත් ශරීරෙ පිලිකුල් භාවනාව වඩලා එනවකො..එතකොට ඔය විසේ අඩු වෙයි"

වෙනදාට වඩා නිවසින් ඒමට ප්‍රමාද වූ නිසා වැඩ පලට එනවිට තරමක් දහවල් වී තිබුනි..

නවාතැනේ කිසිවකුද නැත..නවාතැනද වැඩ පලට යාව ඇත. පැය විසිහතරම වැඩ කිරීමට සිදුවන නිසා අවම වශයෙන් රාත්‍රී මුරය කරන දෙදෙනකු හෝ මේ වනවිට නිදා සිටිය යුතු වූවද..

මෙයින් පැවසෙන්නේ හදිසියේ වැඩ අධික තත්වයක් පැමිණ සියළුම අය තවමත් වැඩ බවයි..

හ්ම්ම්ම්ම් ගමේ අය ගෙදර අය මා මෙවන් ස්ථානයක වැඩ කරන බව දන්නේ නම්...

සැඟවිය යුතු උපරිමය දක්වා සමහර විට ඔවුන්ගේ ජීවිත කාලය තුලම සැඟවී යන රහසක් ලෙස මෙය පවතිනු ඇත..
මා ඇඳුම් මාරු කර ගෙන වහා වැඩ පල වෙත අඩිය ඉක්මන් කලෙමි..

"උඹ පරක්කු මොකෝ ලියන්නයියෙ..ආන්න මැනේජර් මහත්තයා පරල වෙලා..උඹටත් කෑ ගහයි දැන්"

"ඇයි මොකද වෙලා තියෙන්නෙ"

"ඊයෙ නිමල් කරපු එකක් අප්සට් ගිහින් අද උදෙන්ම කම්ප්ලේන් ගොඩයි..අළුතින් පහක් නැත්නම් හයක් ආවා"

"නෑහ් ?!"

"නෑහ් නෙවෙයි හොව්..මැනේජර් කාරයා අපිට කෑගැහුවට උඹට මුකුත් කියන එකක් නෑ..උඹ ඉතින් වැඩර්නෙ..ඉක්මනට පලයන් උඹ දැක්කහම පාලයටයි සෝමයටයි හුස්ම ටිකක් වැටෙයි"

"හා මන් එහෙනම් ඉක්මනට යන්නම්"

"මන් මේ දෙක හිස් කරලා එන්නම්"

මා හනික ඇතුල්වීම තහනම් බෝඩ් එක එහාට කර කාමරය තුලට ඇතුල් උනෙමි.

පාල සහ සෝමෙ බරටම වැඩය..

මනේජර් මා දුටු විගස,

"උඹ යාන්තම් ආවද අනේ කොලුවො මේ හයම අද හවස වෙනකොට ගෙනියන්න එනවා කිව්වා..පටන් ගනින් පටන් ගනින් ඉක්මනට"

මා අදාල උපකරණ සියල්ලම ගෙන මේසය අසලට ගියෙමි..

"වහ ගහලා"




හිස ඔසවා මා දෙස නොබැලූ සෝමෙ මහ හඬින් කියයි

ඉතා තරුණ රූමත් තරුණියකගේ මල සිරුරක් මා ඉදිරියේ ඇත..


"අපි මේ කුණු ශරීරෙට ආසා කරන්න හොඳ නෑ..ලස්සනට , සුදට , සුවඳට තිබ්බට මේක ඇතුල මහා කුණු ගොඩක්. අපි අන්න ඒ අනිත්‍යය තමයි නිතර සිහි කරන්න ඕනි. එතකොට අපි පිළිකුල් භාවනාව වඩන්න ඕනි. 
මේ කුණු ශරීරයේ තියෙන අස්ථීර බව මතක් කර කර.."

බිරිඳගේ දෝංකාර දෙන හඬ මතක් වී මා මුවගේ සිනහවක් ඇඳී මැකී ගියේය..


සිත සිතා සිටීමට කාලයක් නැත..

හයක් කියන්නෙ කපලා කොටලා සේරම අයින් කරලා බෙහෙත් ගහලා සෙට් වෙන්න තියන්න වෙන කාලයක් එක්ක බැලුවහම කාලය එක්ක මාර ගේමක් දෙන්න වෙනවා..
-------------------------------------------------------------------------

අවසනක් නැති දිවියක ක්ෂිතිජයේ මායිමක් සොයා යන තවත් මොහොතක අවසනයයි මේ..

Wednesday, February 6, 2013

ජීවන සුවඳ...


"මොකද සුමිතා අද සපෝට් එකටද මේ කොලු පැට්ටෙකුත් අරන් ඇවිත් ඉන්නෙ?"

"අනේ නෝනා ලොකු කෙලිත් දැන් අර රෙදි වැඩපලේ වැඩට යනවනේ මේකව ගෙදර දාලා එන්න විදියක් නෑ..වෙනදට අල්ලපු ගෙදර සෝමෙ කෙලී ගාවා දාලා එනවා ඒකිත් ළමයා හම්බ වෙන්න ඉස්පිටිතාලෙ නැවතුනානෙ"

"හා හා ඒකට කමක් නෑ වැඩ එහෙම අතපසු කරන් නෑ අපේ ලොකු මැඩම් සුපවයිස් කරන්න එන වෙලාව දන්නවනෙ ඒ වෙලාවට ඔය මුල්ලකට කරලා තියහන් . නැත්නම් දන්නවනෙ අපිටත් ලෙඩේ වැටෙයි"

"හා නෝනා"

"ඒ අපේ සුපවයිස නෝනා පුතේ..මන් කියන වෙලාවට උඹ සුටුශ් ගාලා මෙන්න මේ කාමරේට රිංගන් වහං වෙලා හිටින්..අනිත් වෙලාවට ඔය අහල පහලට වෙලා හිටින් . ඔය නොදන්නා බඩු මුට්ටු එහෙම අදින්න එපා..හෙට අනිද්දා ඉඳන් ආයි සෝමෙ නැන්දා ගෙ මල්ලියා හරි නංගියා එක්ක හරි සෙල්ලම් කර කර ඉන්න බැරියැ.."

"හා"

"එහෙනම් මන් ගිහින් අර ටොය්ලැට් ටික හෝදලා දාලා එන්නම්..උඹ මේ හරියෙම හිටින්..පස්සෙ මන් කැන්ටිමෙන් බනිසක් ගෙනත් දෙන්නම්කො"

අපොයි සෝමෙ නැන්දලාගෙ හෙදර ඉන්නවට වඩා නම් මෙතන ඉන්න එක නියමයි..හැම තැනම එක එක ජාතියෙ ලයිට් හයි කරලා තියෙන හින්දා මහ දවල් වගේ එළිය..ආ ඒත් තාම මහ දවල් වෙලා නෑනෙ..අම්මා හනිකට විශාල බාල්දියක් වැනි උපකරණයක් සහ කොස්සක් වැනි මිටක අග අසල නගරයෙන් පැන ආ බූලා ගේ නැට්ට වැනි විශාල මයිල් සහිත නැටි රාශියක් හයි කර තිබූ උපකරනයක් ගෙන අසල වූ කාමරයට වැදුනාය. 

වෙනදාට සෝමෙ නැන්දලාගේ ගෙදර ඉන්න විට ඇසෙන අහල පහල උන්ගේ කච කචය මෙහි කොහෙත්ම නැත..මහා හයියෙන් දැමූ නා ගහ යට ටීවී එකේ සමහර විට  යන ඇසෙන විට නිදිමත හැදෙන ජාතියේ සින්දු නොනවත්වාම කොහෙන්හෝ ඇසෙයි..සෑමතැනටම ඇස් යොමු කලවිට සුදුම සුදු පාට සිවිලිමේ තැනින් තැන සවි කර ඇති ඉස්පීකරවලින් එම සින්දු ඇසෙන බව මා සොයා ගතිමි. අම්මා ආ පසු ඒ බව කිව යුතුය. ලබන අවුරුද්දේ සිට මා අසල වූ පාසලට යවන බව පැවසූ අම්මා ඒ වෙනතෙක් ගෙදර සිටිය යුතු බව පවසා සිටියද ඒ ඉස්කෝලේම ඉගෙන ගත් අක්කා විභාග ෆේල් නිසා පසු ගිය දොහක සිට ළඟ ඇති රෙදි හදන පැක්ටේරියක වැඩ කරන්න යන නිසා මා විටෙක ඇසුවේ මට ඉස්කෝල් නොගිහින්ම රෙදි වැඩ පලේ යන්ඩ බැරිද කියායි. ඒ මා පාසල ගියද විභාග නම පාස් නිවන බව හොඳටම සුවර් නිසාය. මොකද අක්කා විභාග ෆේල් උනත් කවි කතා කීමට ඉතා දක්ෂ නිසාත් මට තවමත් කොල ඉරී ගිය පොතේ මුල පිටුවෙන් එහාට කිසිම අකුරක හෝ වචනයක් කීමට නොහැකි නිසාත්ය. 

සෝමෙ නැන්දලාගෙ ගෙදර සිටියා නම් මේ වනවිට කීප සැරයක්ම මොනවා හරි කන බව නම් හොඳටම සුවර්ය. බබෙක් හමබ වෙන්න ඉන්න නිසා සෝමෙ නැන්දාගෙ මාමා පියල් මාමා සැමවිටම නැන්දාට මොනවා හරි ගෙනත් දෙයි. එයින් කොටසක් මා හට ලැබෙන්නෙ..

"අනේ මටත් ඕනි මෙන්න මේ වගේ කොලු පැටවෙක් තමයි..."

කියමින් මාව ළඟට ඇද ගෙන සිඹිමිනි. 

අසලින් ගලා යන කුණු ඇලෙන් නැගෙන නහය කඩා ගෙන යන සුවඳ මෙහි නැත..

මීට මොහොතකට පෙර අම්මා විසින් යම් බඳුනකින් චූස් චූස් හඬ නගමින් අහල පහල සෑම තැනකට ඉසින ලද යම් දෙයක ගඳක් නාසය අසලින් නිතරම හමා යයි..එය තරමක හුස්ම හිර කරන තරමේ එකකි..අපගේ ගෙවල් මණ්ඩියට විටෙක කොළඹ නෝනලා වගයක් අපිට දීමට තෑගි රැගෙන ආවා මතකය. එම තෑගි අප අසල වූ කුණු කන්දෙන් එකතු කර ගන්නා බෙලෙක් ටින් කබල් වලින් අපම සාදා ගන්නා සෙල්ලම් බඩු තරම් මිහිරක් අපට නොගෙනාවත්...එම නෝනලා ළඟ තිබුනේද මෙවන් ගන්ධයකි.

"ඒ සැන්ට් වල සුවඳ බන්"

කාලයක් කොළඹ බංගලාවක වැඩ කර ඉස්පිටිතාලෙන් නැවත ආපසු අප වෙතම ආ අපට වඩා වැඩිමල් සුනිල් පණ්ඩිත ලෙස පවසයි.මේත් සැන්ට් ජාතියක්ම වෙන්ඩැති..සුනිලද අපේ අක්කා ගිය පාසලටම ගියත් උගේ තාත්තා අම්මා සහ නංගි අතහැර වෙන ගෑණියක් එක්ක පැනලා ගියාට පස්සෙ සුනිල් පාසල් නොගොස් කොළඹ ගෙදරක වැඩට ගියේය. අපේ තාත්තත් අර මාළු මාකට් එකේ වැඩ කරලා වැඩ කරලා බීලා ඇවිත් රෑට අම්මා එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව වෙන ගෑණියෙක් එක්ක ගියානම් ඉවරයි කියලා මට හිතුනත් සුනිල් ඒ ගෙදරින් ඉස්පිටිතාලෙ යන්ඩ වෙච්ච කතාව ඇහුවම නම් ඒ අදහස ඉස්මනටම වෙනස් කර ගත්තේ ඒ දවස් වලමය.

ඒ ඒ ගෙදරම වැඩට හිටි ගුණදාස මාමා සුනිල්ට මොන මොනවද කර පසුව එයින් සුනිල් තුවාල වී ඉස්පිටිතාලෙන් නැවත ගෙදර ඇරලවූ බවත් ඒ ගැන පොලීසි නොගියාට ලොකු මුදලක් සුනිල්ගෙ අම්මාට දුන් බවත් ඔහුම පැවසීමෙන් අපද එම කතාව දැන උන්නෙමු. විටින් විට සුනිල් කිවූ කරුණු නිසාම සෝමෙ නැන්දාගේ පියල් මාමා පහු ගිය දිනයක නැන්දා නාන්නට පයිප්පයට ගිය විට 

"අනේ අපිටත් මේ වගේ කොල්ලෙක් ඉන්නවනම්"

කියමින් මාව ඉඹින්නටත්..ඔසවා ගෙන ඇඳ උඩ දමා ගෙන හුරතල් කරන්නට යද්දී සුනිල් කී කතා මතක් වී මා කෙසේ හෝ ගැලවී සෝමෙ නැන්දලා නාන පයිප්පය වෙත දුව ගියෙමි.

අපෝ සෝමෙ නැන්දලගෙ ගෙදරට වඩා මෙහෙ අම්මා එක්ක වැඩට එන එක හොඳයි..කීප වතාවක්ම මට ගනන් කල හැකි පහ දක්වා අසල වු පඩි පෙලේ පඩි ගැන අවසන් වන විට අම්මා මොහොතකට පෙර ඇතුල් වූ කාමරයෙන් එළියට පැමිණියේ මහත් වෙහෙසට පත් වූ සෙයකිනි.
අම්මාගේ  සියොළඟම අර සැන්ට් සුවඳින් පිරී ගොස් ඇත..නමුත් අම්මා වෙහසට පත්ව ඇත. 



"මයෙ පුතේ අපේ ලොකු නෝනා දැන් එනවා මෙව්වා චැක් කරන්න. උඹ පොඩියක් මේ කාමරේට  වෙලා හිටහන් මන් එනකම්. ඔය නා නා විකාර බඩු එහෙම අඳින්නෙ නෑ ඕන්"

නා නා ප්‍රකාර බඩු අස්සෙ..පාට පාට බඳුන් වල තිබුනේ අම්මා මොහොතකට පෙර චූස් චූස් ගා මිරිකූ සැන්ට් නෙ..එක් එක් බඳුන ගෙන නහයට අල්ලා බලා තිබූ මා..එයින් එකක් ගෙන නහයට අල්ලා පොඩ්ඩක් මිරිකා බැලුවෙමි. මුහුණපුරා විසිරී ගිය වතුර සමඟ මාගේ හුස්ම හිර වෙනවා මට මතකය. පසුව මතකය අවදි වන්නේ ඉස්පිටිතාලයෙනි.


"උඹට ඔය සැන්ට් ජාති ඇලජික්ලු දොස්තර මහත්තයා කිව්වෙ"

මට දිරවන්නේ නැති සියළු උන් හා දෑ සියල්ලම වෙනුවට මාගේ ශබ්ද කෝෂයට ඇලජික් වචනය සපැමිණියේ එලෙසය. සිටින තැන ලියන්නයියා ලෙසද නැති තැන ඇලජික් අයියා හෝ ඇලජියා ලෙස බවුස්තීස්ම ලැබූ මා ජීවිත කාලයටම සෙන්ට් හෝ සුවඳ කාරක ස්ප්‍රේ වලට ඇලජික් වීය. අධික ලෙස නිරාවරනය වූවොත් රෝහල්ගත වීම දක්වා දරුණු විය හැකි රෝගී තත්වය මත අටේ පන්තියෙන් පාසල හැර ගොස් තැන තැන රස්තියාදු වී අවසන මේ රැකියාවෙන් දිවිය දවමින් සිටින්නෙමු.




"මොකද කරන්නෙ ඇලජියායියා අපි මේ කුණු ටික පටවන් බලන් ඉන්නවා... උඹ මනෝ ගහනවා... ඕක කරකවලා ගනින්කො "

කුණු ටැට්ටරේ සගයෝ දෙන්නා පසු පස සිට කෑ මොර දෙයි.

මොහොතකට පෙර එකෙක් කුණු බෑගයකින් අයින් කර ගත්  භාගයක් ඉවර වූ සෙන්ට් බෝතලය  අසල අසුනේ රන්වන් පැහැයෙන් බබලයි. 

අකමැත්තෙන් වූවද එයින් මා සිත හා ගත වර්තමානයට ඇද ගත් මා....

පාරේ වෙනත් වාහන වලින් නිරුපද්‍රිතව ටැට්ටරය ගැනීමට පාරේ අනිත් පස බැලූ මා දෙනෙත ගැටෙන්නේ තම සාරී වලින් නහය වසා ගෙන පිලිකුල් වතින් යුතුව හනි හනිකව පියමන් කරන තරුණියන් රාශියකි.

ඩර ඩර හඬින් වාහනයේ දෙදරුම සුපුරුදු ලෙස ශරීරය පුරා විහිදී යයි.