ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, November 23, 2011

මෙන්න මෙහෙම උම්මා දෙන්න ඕනි හෙවත් ගෙඹි සාපය





ටර.... ටර.... ... ටර....
යන ශබ්දය සමඟින්ම කෘතීම සබන් බෝල මැෂිමේ නාසය තුළින් විශාල සබන් බෝලයක් නිර්මාණය වන්නට විය..
ඔබ පිටකොටුවේ පදික වේදිකා වෙළඳුන්ගෙ නව කඩ සමූහය ඉදිරිපිටින් යන අයෙක් නම් මා කියන මෙම දර්ශනය අරුමයක් නොවන්නට පුළුවන..
සෙල්ලම් පිස්තෝලයක් වන් ප්ලාස්ටික් සබන් බෝල මැෂිමේ නාසය තුළින් විශාල වන සබන් බෝලය මතට හිරු එළිය වැටීමෙන් මැවෙන දේදුන්නෙ සප්ත වර්ණ මත අවට පරිසරයේ ප්‍රතිබිම්බය මත ඇඳෙද්දී.. මාගේ සිතද කුමක්දෝ ප්‍රීතියකින් පිනා යන්නට විය..

දත් හිරි වැටී කන අගුල් වැටෙන තරමේ ක්‍රීස්ස්ස්ස්ස් යන හඬ නගමින් මාගේ එක අතක වූ බෑගයේ යම් දෙයක් වේගයෙන් වදිනවාත් සමඟම සමඟම ඇඟිලි මත තද වේදනාවක් දැනී බෑගය මා අතින් අතහැරිණි.. සමඟම යුවතියකගේ කෑ ගැසීමක් සවනට වැටුණි..කිසිවකු මා ඇදිද්දී ගිලිහුණු සමබරතාවය තවත් අයකු වත්තන් කර ගන්නවාත් සමඟම රැකුණි.

"
කොහෙද !@@#$%^^ යන්නෙ උඩ බලාගෙන"

එක් පැත්තකින් ඇසුණ කඨෝර හඬසමගම මා ගත පණ නැති වී යනවා දැනිණි
----------------------------------------------------------------------------------
"
ආත්තම්මා .. ආත්තම්මා... මේ "

"
යනවා ළමයො මට වද නොදී.. මේ වී ටික තම්බා ගෙන වේලා ගන්න ඕනි හවස වැස්ස එන්න ඉස්සර "

"
බලන්න ආත්තම්ම මට කුඹුර අයිනෙ හබරල ගාලෙ තිබිලා ලොකු සබන් බෝල ගොඩාක් හම්බ උණා මේන්"

"
ළමයෝ මන් මොකද්ද කිව්වෙ දැන් ?
හත් දෙවියනේ මේ පවිකාර කොල්ල කරල තියෙන දේ ?"

ආත්තම්මා එක් අතක් කම්මුලට ගෙන තම්බමින් සිටි වී මුට්ටියෙන් මෑත් වෙමින් කී දෙය මගේ සිතට යම් කනස්සල්ලක් ගෙනාවේ.. මෙම වචන සමූහය සමඟින් එන්නේ යම්කිසි හොඳ දෙයක් නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය. ආත්තම්ම මාගේ අතේ ඇති විශාල සබන් පෙණ කැටිය දෙස විමසිල්ලෙන් බලයි.

"
පුතේ ඔය සබන් පෙණ නෙවෙයි ගෙඹි බිත්තර.. හොඳට බලන්න චූටි ගෙඹි පැටව් ඉන්නවා ඇතුළෙ"

ඈහ්

"
යන්න යන්න ඔය ටික ගත්ත තැනින්ම තියන්න පුතේ, පව්.. දැන් ගෙඹි අම්මයි, ගෙඹි තාත්තයි හොඳටම කලබල වෙලා හොයනවා ඇති එයාලගෙ පැටව්.. දුවලා යන්න"

"
ආත්තම්මෙ මේ සබන් පෙණ නෙවීද ?'

"
නෑ නෑ පැටියො ඕක ගිහින් තියලා එන්න.. මන් හවහට මයෙ පුතාට ගෙඹි කතන්දරයක් කියලා දෙන්නම්.. හා යන්න'

මමද පෙණ කැටිය ගෙන නැවතත් කුඹුර අයිනේ වූ හබරල ගාල වෙත යන අතරතුරදී ඇසුණේ නිරන්තර ගෙඹි බක බකයකි.. මෙයාලගෙ අම්මයි තාත්තයි වෙන්න ඇති..මීට පෙර නොදුටුවද විමසිල්ලෙන් බලන කල මා හට පෙනුණේ එම පෙණකැටියේ එක් එක් සබන් බෝලය තුළ ඉතා කුඩා කලු පාට ගුලිය බැගින් නළියන ආකාරයයි.. චෙහ් ඉස්සෙල්ල දැක්කෙ නැහැනෙ.. මන් හිතුවෙම සබන් බෝල ගුලියක් කියලමනෙ.. හබරල ගාල සමීපයේම වූ පහු ගිය සුළඟකට ඇද වැටුණ කුඹුක් කොටය උඩට ගොඩ වූ මා හාත් පස බැලුවේ මේක අතට ගත්තේ කොතනින්ද යන්න සෙවීමටයි..
අන්න අතන ලොකු හබරල ගහේ අතු අතරෙ තමයි තිබ්බෙ.. හරි සතුටින් ඔද්දල් වූ සිතින් මා කුඹුක් කොටයේ සිට හබරලා ගාල වෙතට පනිනවාත් සමගම කිසිවකු මගේ කලිසමේ කකුලකින් අල්ලා ගති.. ප්‍රතිඵලය වූයේ, මා හබරල ගාල අසල වූ මඩ ගොඩමත ඇද වැටීමත් අතේ වූ පෙණ කැටිය විසිවී ගොස් හබරල ගසක් මත රැඳීමත්ය.. අයියෝ මා කුඹුක් අත්තෙන් පනින්නට පෙර කලිසමේ කකුල කුඹුක් කොටේ කුඩාඅත්තක පැටලී ඇත.. මඩ සහිත බිම ඇනුණ දණිස් දෙක තුවාල වී ලේ ගලයි. ටික වෙලාවක් අඬමින් සිටි මා.. නැගිට ගෙදර ගියේ, ආත්තම්ම විසින් මඩ සෝදා කෝපි දළු කීපයක් හොඳින් තලා තුවාලය මත තැබීමෙන් පසු මාගේ ඉකිගැසීම අවසන් විය. පාසැල ඇරී චූටි අක්කා දුන් විස්කෝතු කීපය නිසාම කකුලේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිවිය. කාලය මා පාසැලට ඇතුළත් කිරීමට වසරකට පෙර පමණ විය..

"
ආත්තම්ම ආත්තම්ම කතාව.. ගෙඹි කතාව .."

මා නිදා සිටි පැදුර වෙත අත්තම්මා මාගේ හිස ඇගේ උකුලට ගෙන අතගාන්නට විය.. චූටි අක්කාද පාඩම් කරමින් සිටි පොත පැත්තකට දමා අප දෙදෙනා අසලට වී ඉඳගත්තාය.

"
පුතේ එක කාලෙක රජ කුමාරයෙක් හිටියා..වැඩේ දාන්ගලෙමයි..කොච්චර හරි මඩේ නටනවා..කුරුල්ලො පස්සෙ පන්නනවා.. සමනලයො පස්සෙ දුවනව.. එක දවසක් ඔය කුමාරයා සබන් පෙණ කියලා හිතා ගෙන ගෙඹි පැටව් ඉන්න කූඩුවක් කැඩුවා."

මට හිකිස් ගා සිනා පහළ විය

"
ඉතින් ගෙඹි අම්මයි තාත්තයි දෙන්න බොහෝම දුකෙන් තමන්ගෙ පැටව් ටික නැති වෙච්ච සෝකෙ කිව්ව ලෝකෙටම ලොක්කා වෙච්චා මහබඹාට..මහබඹා මොකද කළේ අර කුමාරයා කරපු වැරැද්දට ශාප කළා කුමාරයා ගෙඹි කුමාරයෙක් වෙන්න කියලා.. ඉතින් ඕන්න ඔහොම ගෙඹි කුමාරයා අර පැටව් නැති වෙච්ච ගෙඹි අම්මවයි, තාත්තවයි බලා ගෙන ඉන්න වුණා. "

'
ඉතින් ආත්තම්මෙ ගෙඹි කුමාරයා කවදාවත් ඇත්ත කුමාරයෙක් වුණේ නැත්ද ?'

"
මයේ පුතේ සාපෙ කරන වෙලාවෙ මහබඹා කිව්ව ලස්සනම ලස්සන රාජ කුමාරියක් ඇවිත් මේ ගෙඹි කුමාරයාට මෙන්න මෙහෙම උම්මා එකක් දුන්නොත් තමයි සාපෙන් ගැලවෙන්නෙ කියලා.. "

ආත්තම්මා උණුසුම් උම්මා වැලක් දෙමින් කියයි.

'
ආත්තම්මෙ ලොකු අක්කා වගේ ලස්සන කුමාරියෙක් නේද ?'

චූටි අක්කා ගස්සා ගෙන නැවතත් පොත් මේසය දෙසට ඇදිණි. එදින රාත්‍රිය පුරාම මා දුටු සියලුම සිහිනවල සිටියේ එක එක ආකාරයේ ගෙම්බන්, ගෙඹි කුමාරයන් හා රාජ කුමාරියන් පමණි. පසු දින උදෑසනම අම්මා සමඟ ළිඳට ගිය මා දුව ගොස් බැලුවෙ හබරල ගාල දෙසයි..මා අතින් ගිලිහුණු ගෙඹි බිත්තර පෙණ කැටිය හබරල ගස උඩ වේලී ගොසිනි.. එම පෙණ කටි තුළ නළියමින් සිටි පැටවුන් සියල්ලම නිහඬව ඇත.. මාගේ සිත තුළ විශාල ශෝකයක්ද යම් අනියත බියක්ද මෝදු වන්නට විය. සමඟම ඇසුණේ ගෙම්බන් දෙදෙනකුගේ ශෝකාලාප හඬකි. බොහෝ කාලයක් යනතුරු මා එම හබරල ගාල දෙසට නොගියේ..යම් කිව නොහැකි හැඟීම් සමුදායකින් මා සිත වෙලා ගන්නට එම සිදුවීම බලකර සිටි නිසාය.

පැටිවියේ අප සියලු දෙනාම සබන් බෝල වලට මෙතරම් ආශා මන්දැයි කිව නොහැක. මා ඉතාමත් ආශා කළේ සුළඟක් සමඟ පාවී යන සබන් බෝල මත ඇඳෙන දේදුන්න දෙස බලා ඉන්නටයි. ෂාහ්.. සබන් බෝලයක් වගේ පා වෙලා පා වෙලා යන්න ඇත්නම්.. අම්මා රෙදි සේදීමට ළිඳට යන සෑම වාරයකම.. මා කොහෙන්හෝ හොයා ගන්නා පත්තර කොළයක් හෝ කොපි පොතක කොළයක් ගෙන පසු පස්සේ ඇදෙන්නෙ නිරායාසයෙනි. කොළය බටයක් ලෙස සකසා අම්මා සේදීම සඳහා සබන් ගා පසක තබන රෙදි වල ඇති සබන් පෙණ වලින් බටය පුරවා අති චමත්කාර සබන් බෝල ක්රීඇඩාව මට මහත් විනෝදයක් ගෙනදුනි.

ඉහත ගෙඹි සිද්ධිය සිදුවී මාස ගණනාවක් තිස්සේ මට මෙම සබන් ක්රීගඩාව නියැලෙන්නට නොහැකි වූයේ අම්මා අසනීපව සිටි බැවිනි. වනවිටසුවය ලබා නැවතත් සුපුරුදු ලෙස වැඩ කල නිසා.. එක් උදෑසනක රෙදි සේදීමට සූදානම වූයේ.. මමද පත්තර කොළ කීපයකින් කඩදාසි බට සාදා ගෙන ලෑස්ති වූයෙමි.

අම්මා එක රෙදි ගොඩක් සෝදා එයවේලෙන්නට දමන්නට අසල කුඹුරේ වූ තණ බිස්ස වෙතට ගිය අතර මා හිතේ හැටියට සබන් බෝල පුම්බමින් සිටියේය. කිසි විටෙකත් නොවූ තරම් විශාල සබන් බෝලයක් එක්වරම පිම්බුණු අතර එය හමා සුළඟත් සමඟම සෙමින් සෙමින් ඉහළට නගින්නට විය.. ළිඳ ළඟ වූ ගල මතට නැග ගත් මා එහි චමත්කාරය විඳින්නට වූයේ..සුළු මොහොතකි..සෙමින් සෙමින් ඉහළට නැගෙන සබන් බෝලය දෙසට මා පාදයේ ඇඟිලි තුඩින් එසවෙද්දී.. එක් වරම ශරීරයේ සමබරතාවය ගිලිහුණේ..මා ඇද වැටුණේ ළිඳ තුළටයි.. ළිඳ එතරම් ගැඹුරක් නොවූවද මා පොව්වන තරම් වතුර තිබිණ.. ලින් අඩිය දෙසට එක් වරක් ඇදී ගිය මා උඩට පැමිණෙන විට අතට අසු වූයේ ළිඳේ පසෙක වූ විශාල කෙකටියා පඳුරයි.. එය බදා ගෙන ඔළුව වතුරෙන් උඩට තබා ගෙන මා කෑ ගසන්නට විය.. අම්මා දුවගෙන විත් මා ළිඳෙන් ගොඩ ගන්නට පෙර මා දුටුවේ කෙකටියා පඳුර අසල වූ මහනෙල් කොළයක් මත සිට මා දෙස විමසුම් බැල්මක් හෙළන ගෙම්බෙකි..

'
ලොකු මාරකයක් තිබිලා පැන්නා ආයි එහෙම ඔහේ තනියට ඔය කොල්ලා එක්ක යනවා නෙවෙයි ළිඳට "

තාත්තා අම්මාට සැර දැම්මේය..
මේ සිද්ධියෙන් පසු අම්මා කිසි දිනක රෙදි සේදීමට යන විට මා ළිඳට ගෙන ගියේ නැත. නෑමට ළිඳට ගිය විටද මා ගන සෑමවිටම ඇහැ ගහගෙන සිටියේ ...මාද සබන් බෝල පිළිබඳ එතරම් උනන්දුවක් දැක්වූයේ නැති ගානය.

ආත්තම්මා තවත් කාලයක් අප සමඟ කාලය ගත කර ඇය අප හැර දමා ගියේ..පසු කලෙක පොත් පත් වලින් මා කියවූ සුරංගනා කතා තුළින් ඇය නිතර නිතර හමු වූවත් ඇයගේ කතාන්දර වල තිබූ වෙනස සහ ජීව ගුණය කිසිදා මා හට ලං නොවීය. අතරම විටින් විට ගෙම්බන් පිළිබඳ සිහින මා තුළ හොල්මං කරන්නට වූයේ.. එක් කාලයක් සෑමවිටම මා කණ්ණාඩිය ඉදිරියට වී මුහුණ දෙස වඩ වඩාත් විමසිල්ලෙන් බලන්නේ ගෙම්බකුගේ කිසියම් හෝ පොදු ලක්ෂණයක් මගේ මුණින් පිළිබිඹු වන්නෙද යන්න සෙවීමටය.. පසු කාලයක දැනුම මතින් මොළය වැඩෙද්දී මාගේ මේ බොළඳ ක්‍රියා ගැන මටම සිතුසේ සිනාසීමට හැකි විය.. සමඟම එම සිතුවිල්ල සදහටම මාගේ සිත තුළින් අතුරුදහන්ව ගියේය.
------------------------------------------------------------------------------

කාලය පියඹා ගොස්...
දැනට සති දෙකකට පමණ උඩදී යම් කාරණාවකට පිටකොටුවට ගොස් සිටියදී අහම්බෙන් ඇස ගැටුන මෙම සබන් බෝල පිස්තෝලය..මා සිතට අමුතු ආහ්ලාදජනක සිතුවිලි ගොන්නක් ගෙන එන්නට සමත් විය.. රු 100 ක් වැනි කුඩා මුදලක් නිසා මා මෙම පිස්තෝල දෙකක් සහ කුඩා ද්රාටවන කුප්පි දෙකක් මිලදී ගතිමි.ඉන්එකක් අසල ගෙදරක සිටින පැට්ටන්ට දීමට සිතා ගෙන සිටියෙමි.







පසු දින උදෑසන හොඳින් හිරු එළිය වැටුණ ඉරිදාවක් වූයේ.. එක් වරම මා ඇස ගැටුණේ මෙම උපකරනයයි.. සියලු වැඩ ඉවත දමා මා මිදුලට වූයේ පිස්තෝලයෙන් සබන් බෝල විදිමිනි... ගෙදර අයිතිකාර යුවළගේ සුරතල් බල්ලන් තිදෙනා ලැසී, බ්රවවුනි සහ කුකී නිතරම සිටින්නෙ මාගේ නිවස පිහිටි වත්ත විශාල බැවින් එහි සෙල්ලම් කරමිනි. සබන් පිස්තෝලයෙන් නික්මෙන ටට ටට ටට යන ශබ්දය ඔවුන්ට විශාල කුතුහලයක් එක් කළේ තිදෙනාම මා වටා එක් රැස් වූවාය.
සුළඟත් සමග නිදහසේ පියඹා යන සබන් බෝල සමඟ මටත් වඩා විනෝදවන්නට වූයේ මෑ තිදෙනාය. උඩ පනිමින් සබන් බෝල වලට හොම්බෙන් ඇන බිඳ දැමීම සඳහා තිදෙනා අතර තරඟයක් ඇති වීය. මාද වැඩි වැඩියෙන් අත ඉහළට කරමින් වඩාත් උඩට සබන් බෝල විදින්නට වූයේ..බල්ලන් තිදෙනාටම මිදුල පුරා සෙල්ලම් කිරීමට ඉඩ දෙමිනි. මේ නාඩගම මෙසේ සිදු වෙද්දී.. ඉදිරි ගේට්ටුවට තඩි බාන හඬක් ඇසීමත් සමඟම මා එක් අතක පිස්තෝලයද අනිත් අතේ කුඩා සබන් බෝල කුප්පියද ගෙන දෙසට හැරිණි. හොම්බෙන් ඇනීමට වූ සබන් බෝල ඉවර නිසා මා අසලට බල්ලන් තිදෙනාගෙන් එකෙක් මගේ අතේවූ පිස්තෝලය වෙතට පැනීමත් සමඟම මා ගේට්ටුව දෙසට යාමට තැබූ පය තැබෙන්නට ගියේ අනිත් බල්ලාගේ පිට උඩය.. එය වළක්වා ලීමට මා එක පයක් උස්සා බල්ලා මග හැර ඉදිරියට තැබීමට උත්සාහ කළත් එම පයේම සරම පැටලී ගියේ..මාගේ ශරීරයේ සමබරතාවය නැති කරමිනි..පිස්තෝලය දෙසට කුරුමානම් අල්ලමින් සිටි බල්ලාගේ ඇඟ උඩට මා ඇද වැටුණේ ..වේදනාවට පත් මගේ කකුල සපා කෑවාය..අතේ වූ පිස්තෝලය සමගම බිමට තැබූ අත නිසා එය කුඩු පට්ටම් වී ගිය අතර..මේ කලබැගෑනිය අතරේ අනිත් බල්ලන් දෙදෙනා දුව ගියාය.. මා සපා කෑවද එම බැල්ල වරද තේරුම් ගත්තාක් මෙන් වලිගය වනමින් මාගේ කකුල ලෙවකන්නට වූවාය.. සැනෙකින් වට පිට බැලූ මා පැත්තක තිබූ සරම හනික ඇද ගෙන.. ගේට්ටුව දෙසට පියමැන ගේට්ටුව විවෘත කළේ විදුලි මනු කියවන්නාටය.. ඔහු ආපසු ගිය පසු මා දුටුවේ.. බල්ලා සැපූ තුවාලයට අමතරව දණිස්දෙකම ලෙලි ගැසී ඇති බවයි..එක් අතක් බිමට තැමීමේදී එයද මදක් සීරී ඇත.. අතින් ගිලිහුණු සබන් පෙණ කුප්පිය අසල ගසක් ළඟ පෙරළී විශාල පෙණ කැටියක් බවට පත් වී හමාරය..

එය සැබවින්ම.. අර මා කඩා දැමූ ගෙඹි කැදැල්ල හා සමාන වූයේ කෙසේද ? මගේ මතකය හරහා විදුලියක් ඇදී ගියේය..මොහොතක් එදෙස බලා සිටි මා ..

වෛද්‍යවරයකු ළඟට ගියේ සියලු තුවාල වලට බෙහෙත් දමා ගනිමිනි..එහෙම ගෙඹි ශාප තියෙන්නෙ කොහෙද ? මේ මතකය කොහෙද මෙච්චර කල් තිබුණෙ ? ළමා මතකයන් අපේ සිත් වලින් කිසිදා අමතක නොවේද යන්න සිතමින් .. මා නැවතත්.. මගේම බොළඳ සිතුවිලි වලට සිනහා වී සියල්ල අමතක කළේය. සති දෙකකට පසු මගේ සියලු තුවාල යාන්තම් සුව වී තිබියදී .. මේ දැන් මොහොතකට පෙර සිදු වූ සිද්ධිය !!!!
තවමත් මාගේ දෙකකුල් වෙව්ලයි..ගතට පණ නැත.. මා වාරු කර ගත් තැනැත්තා.. අසල වූ ලොතරැයි විකුණන වේදිකාව මත මා හිඳුවා ඇත..

"
තව පොඩ්ඩෙන් බඩුම තමයි "

"
අහක බලා ගෙනනෙ ආවෙ "

"
මන් හොඳ වෙලාවට දැකලා කල් ඇතුව බ්‍රේක් ගැහුවෙ"

"
මන් කෑ ගැහුවත් ඇහුණෙ නැති නිසායිඅතින් ඇදලා ගත්තෙ.. "

"
නන්ගි අතින් ඇදලා ගත්ත නිසා තමයි බේරුණෙ. '

මට සියල්ලම ටිකින් ටික තේරුම් යන්නට පටන් ගත්තේය.. සබන් බෝලය දෙස බලමින් මා නොදැනුවත්වම මහාමාර්ගය මැදින් ගොස් ඇත.. එහෙනම් කෑ ගැහුවෙ මේ නන්ගි.. කෑ ගහලා අතින් ඇද ගත්තෙ නැත්නම්..

"
මෙන්න අයියෙ අයියගෙ බෑග් එක"

මා කෘතඥපූර්වකව ඇයගේ මූණ දෙස බැලිමි.. නිල් නුවන් යුගලක් හිමි රාජ කුමාරියක් බඳුය.

"
බොන්න අයියෙ වතුර ටිකක් "

ඇය තම බෑගයෙන් එළියට ගත් වතුර බෝතලය මා දෙසට දිගු කර ගෙන සිටී..
වටවී සිටි සෙනඟ අතරේ වූ සබන් බෝල පිස්තෝල විකුණන්නාගේ අතකවූ සබන් බෝල කුප්පියකින් විශාල සබන් පෙණ කැටි රාශියක් එළියට පැන ඇත.. හරියටම මා අතින් කැඩී ගිය ගෙඹි කැදැල්ලේ හැඩයටම !

"
ගෙඹි සාපෙන් ගැලවෙන්න නම් මයෙ පුතේ රාජ කුමාරියෙක් මේන්න මෙහෙම උම්මා එකක් දෙන්න ඕනි.."

ආත්තම්මාගේ ආදරණීය කටහඬේ ප්‍රතිරාවයයි.

.ළි. සියලුම ශාප ලත් සුරංගනා කථාවල රාජ කුමරුන් සහ රාජ කුමාරියන් ඉනික්බිතිව විවාහ වීසතුටින් එකට කාලය ගත කළේය...

කතාවට තව කොටසක් නොමැති නමුත්.. නිමි නැත.

කතාවෙහි අක්ෂර වින්‍යාසය නැවත පිරික්සා ඇත. (at15.45 on 23/11/2011)