බස් රථයේ ඇන්ජිමෙන් නැගෙන හඬ පරයා මඟීන් ඇතුල් කරවා ගැනීමට කොන්දොස්තර සොයුරා තම හඬ අවදි කරයි..
"එපා එපා නගින්න..අපිටත් කරදරේ..ඉන්න අයටත් කරදරේ"
ඔහු විසින් යම් අයකු වලක්වන හඬක්ද ඇසේ. මා සිටින අසුනට බස් රථයේ දොර අසල සිදු වන දේ නොපෙනෙනමුත්..බස් රථයට නැගීමට තැත් කල යාචකයකු හෝ වෙළෙන්ඳකු වන්නට ඇතැයි සිතමින්..
මා නැවතත් අත වූ දුරකතනයේ තිරය වෙත දෑස යොමු කළෙමි. පෙර මෙන් නොව හෝරාවක් හෝ හෝරා එකහමාරක් පමණ බසයේ ගත කිරීමට සිදුවීම නිසා එම කාලය යම් ඵලදායී යමක සිත යොදා ගැනීමට මා හුරු වී ඇත. මුල් දින කීපයම බසයෙන් එහා නෙත ගැටෙන ස්වභාව ධර්මය මූලික කොට ගෙන නවමු දියුණුවත් සමඟ වෙනස් වන පරිසරය දෙස නෙත් යොමා සිත් අලවා සිටීම මාගේ නෙතට මහත් වූ ආශ්වාදයක් ගෙන දෙන්නක් වීය. නමුත් එයින් සංතෘප්ත නොවන සිත දැන් අයදින්නේ..එම පරිසරය හා මුසුව ඒ සමඟ ඒකාත්මික වන කාමයක් මිස දැකීමෙන් පිරී යන සංවේදී හැඟීමක් නොවේ. ඉඩ හසර ලද මොහොතක දියෙන් ඉල්පෙන රබර් බෝලයක් මෙන් මා මෙම පෙදෙසේ රස විඳීමට පැමිණෙනු නොඅනුමානය. ඒ මගේ තෙවැනි ඇසත් සමඟ වනු නොඅනුමානය..
මේ දියවන්නාව අසබඩින් දුව යන පරණ කොට්ටාව පාරයි..සුක්කානමක නොරැඳුනු දෑතකින් ඔබත් මෙහි යන විටක මේම අසිරිය විඳ ගනු නියතය. වසර 20ක් තරම් කාල පරතරයක සිදි වූ රමණීය වෙනස ඇස ගැටී ඇති මා දෙනෙත තුලින් හදවත විස්මයෙන් ගොළු වන්නේ නිතැතිනි...
ඉදින් සංතෘප්ත නොවූ ආශාවන් හදවත තුල ගුලි කරවා ගෙන මා අත වූ දුරකතන තිරයේ මැවෙන මාගේ සහෘදයකුගේ තවත් බ්ලොග් වියමනක් වෙත සිත දැහැන් ගත වෙද්දී..මා දෙසවන සිප ගත්තේ..
ඉමිහිරි බට නලා වාදනයකි..
මුලින් සිතුවේ එය නඟින්නේ මේ වෙනතෙක් තොරතෝංචියක් නැතුව හඬ දුන් අසල වූ දැවැන්ත ශබ්ද වාහිනියෙන් යැයි සිතූවත්..එහි සජීවී බව ක්ෂණයකින් දැනුනේ..මුත් අසල සිටි සෙනඟ කන්දරාව නිසා එහි හඬ අයිතිකරු දෑස මානයෙන් එපිටෙහි සිටියේය.
පැරණි විරහ ගීතයක තනුවක් දෙසවන කරා ගලා එයි..
සැබවින්ම එම වාදනය ඉමිහිරිය.. අන් වාදන භාණ්ඩ පරයා බට නලා වාදනය අපගේ සිත් ගන්නේ මන්දැයි මා නොදනිමි.
තම සහෘදයකු හැර ගිය විට තම හද පතුලේ නැගෙන වේදනාව මොනවට ඔහුගේ බට නළාව මතින් පැනවුත් මා දෙසවන් වෙලා ගනී. මා හදවතද එම වේදනාවෙන් සැලෙන්නට වූයේ...
නොදැනුවත්ම මා ඇදී ගියේ...
ඒ කුඹුක් ගස් සෙවනේ ළිඳෙන් උතුරා යන වතුර පාරට අප දෙපා හොවා ගෙන අසල වූ තුරු ලතා පිස යන සුළං හඬට සවන් යොමු කර සිටිමු..චූටි අයියාගේ බට නළාවෙන් එන හඬ ඉතාම ඉමිහිරිය...එයට වශීකෘතව සිටින අප හට කාලය ගත වෙනවා නොදැනේ..මාගේ මවුගේ පාර්ශ්වයේ ඥාති සෝවුරකු වූ ඔහු අපට වඩා වසර කීපයකින් වැඩිමල්ය.
ඔහු තුල වූ නිසඟ හැකියාවන් රාශියෙන් එකක් වූ බටනල වැයීම..ඔහු ඉගෙන ගත්තේ කෙසේදැයි අප කිසිවකුත් නොදනීමු..එම කාලයේ ග්‍රැමෆෝන් වලින්ද ගමේ කීප පලකම තිබූ ගුවන් විදුලි යන්ත්‍ර වලින්ද අප අසා සිටි සින්දු ඔහු එක් වරක් පමණක් අසා මෙසේ කුඹුරු යාය මැදවූ කුඹුක් සෙවනේ සිටනින්නාද කරවයි. තම කටහඬ ගැන ලැජ්ජාවෙන් බරිතවදෝ සියොතුන් පවා තම හඬ මදකට නවතා තම කිචි බිචිය නවතා මේ වස්දඬු රාවයට සවන් යොමු කරන්නාක් මෙනි.. ඔහු වයන්නේ අපට නොවේ.. නමුත් අප හදවතද එයින් සැලේ..
කුඩා අපහට සරුංගල් සාදා දීම.. ගොක් කොළ වලින් කැටයම් කපා දීම , විවිධ සතුන් හා සැරසිලි කිරීමට කියා දීම , පැපොල් බට හෝ කුමන හෝ බටයකින් කුඩා නලා සාදා දීම ආදී සියළු කරුණු වලින් චූටි අයියා අපේ වීරයා වීය..
විටෙක ප්‍රදේශයටම වාසනාව කැන්දවමින්ද විටෙක එයම විනාශයට මූලික වෙමින්ද පවතින මැණික් කර්මාන්තය හමුවේ අන් බොහෝ තරුණයන් මෙන් චූටි අය්යාද පාසලේ 10 ශ්‍රේණියෙන් පසු මැණික් කර්මාන්තයට යොමු වීය..
විටෙක ඔවුන් ලද මහා මහඟු මිණි කැටයම ඔහුට ගෙන ආවේ කුමන අබග්ගයක්ද ?
මිතුරන් හා එය සැමරීමට ඔවුන් රට වටා ගොස් එක් නිමේශයකදී ඔහු ජල රකුසා හට බිලිවීය.. ඔහු අහම්බෙන් බිලි උනාද නැතහොත් තමන්ගේ අතිජාත මිතුරන් නිසාම ජල රකුසාට බිලි කලාද යන්න තවමත් අභිරහසකි..ගිලෙන්නට තරම් නොවූ ජලයේ රොන් මඩ අතර ප්‍රාණය සැඟවී ගිය ඔහු නැවත අප වෙත ආවේ නිහඬවය..
නිසංසලවය..
අවට ගිගුම් දුන්නේ දුන්නේ අපගේ වේදනාබර විලාපය පමණි..
මාගේ උපැස් යුවලේ දාරය තුලින් උණුසුම්ව ගලා යන්නේ කුමක්දැයි මා දනිමි..ලේන්සුව ගෙන දෑස පිස දැම්මත්..
"ඇයි මල්ලි ප්‍රශ්ණයක්ද ?"
අසල හිඳ ගෙන උන් මැදිවියේ අග උන් මිනිසා මා විචාලයි..
"නෑ මට මේ බට නලාව එක්ක මගේ අතීතේ මතක් උනා"
මා ෆෝන් එකද වසා දමා දෑස වසා ගත්තේ මෙවන් හැඟීම් බර අවස්ථාවක මා කිසිවකු සමඟ දොඩමළු වීමට තිබූ අකමැත්ත නිසාය..
වාදකයා දිගින් දිගටම වයයි..සිංහල හා හින්දි වාදන කීපයක් අවසානයේ අපද අපගේ ගමනාන්තයට පැමිණේ..එවිටයි මා ඔහු දුටුවේ.. ඉතා අහිංසක මුහුණකින් යුත් මැදි වියේ වූවෙකි..
මා යම් වාණිජ වටිනාකමකින් යුත් නෝට්ටුවක් ඔහු අත ගුලි කල විට ඔහු විස්මයට පත් වන්නට ඇත..ඔහු යමක් මුමුණයි..මා හට එය අසා සිටීම අවශ්‍ය නොවූ නිසා මද සිනහාවකින් යුතුව මා බසයෙන් සමු ගතිමි...
කෙතරම් සංගීතය භාණ්ඩ තිබුනත් බට නලාවක හඬ තරම් අපගේ හදවත කම්පනය කරන නාදයක් නින්නාද කරන්නට සමත් නොවන්නේ මන්දැයි මා තවමත් නොදනිමි..