ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 29, 2014

ජී පී එස් වලින් පාර හොයා ගෙන මළ ගෙවල් වල යන හැටි.. How to find funeral homes with GPS enabled smart phones..

අද උදේ පාන්දරම අපේ මාරයා තුමා A4GPS කියලා පෝස්ට් එකක් දාලා තිබ්බනෙ. ඒකෙ තියෙන්නෙ පට්ට පල් අමූලික බොරුවක්. ඉන්ඩකෝ මම වෙච්ච සිද්ධිය සහසුද්දෙන්ම කියන්ඩ හරියටම. එතකොට ඇත්තයි කුප්ප මුන්ගෙ හදපු කොටසයි මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්..
ඔය සිද්ධ වෙච්ච කතාව ඇතුළෙ යන තව කතන්දර ගොඩක් නිසාත් මේකෙන් කීප දෙනනෙක්ගෙම රෙදි සට පට ගාලා ගැලවෙන නිසාත් කාටවත් කම්මැලි වෙන එකක් නෑ මේ කථාවෙන්..


මොනවද මේ කථාවෙන් එළිවෙන කරුණු ? කාගෙ කරුණුද එළි වෙන්නෙ ?


1. මගේ
2. රණාගෙ
3. පියල් හෙවත් ඇල්කෙමියගෙ
4. හෙන් රි හෙවත් බ්ලොග් වෝකර්ගෙ
5. ඕනයගෙ


සහ අර මාර පෝස්ට් එකේ කමෙන්ට් කරපු කීපදෙනක්ගෙ


ඒ අය


1. අටමා
2.අභීත
3.etc...etc...


ඕක පටාන් ගන්නෙ අපේ ඇල්කෙමියා වන පියල් මල්ලිගෙ මවගේ අභාවයෙන්..


මව්තුමිය අභාවප්‍රාප්ත වෙන්න ඉස්සෙල්ලා දවසෙත් මම බුකියෙදි චැට් කරන කොට මල්ලිගෙ ඇහැව්වා මව්ගෙ සැප දුක්..එතකොටත් කිව්වෙ දැන් නම් හොඳයි කියලයි. ඒත් පහුවෙනිදා උදෙන්ම කෙමියගෙ බුකියෙ දාලා තිබ්බ එකෙන් මගේ ඇස් අදහා ගන්න බැරි උණා..මව් තුමී වියෝ වෙලා..ජීවිතේ හැටි ඔහොම තමයි කියලා සංවේග වෙන ගමන් කල්පනා කළේ සහභාගි වෙන්න පුළුවන්ද සහ කොහොමද කියලා.මාරයා තුමාට කතා කරලා බැලුවහම මොනාද වැල්වටාරම් ටිකක් කීවා. බයික් එක කැඩිලා..හදන්න තියෙනවා..තව කොහෙද යන්න තියෙනවා වගේ දේකුත් කිව්වා මතකයි.. අනික ඔය බයික් එකේ පිටිපස්සෙ යන්න !!!! මගේ බල්ලවත් යන්නෙ නෑ ඔය අට මගලෙ පිටිපස්සෙ..අර වැප්නි උපාසකතුමාගේ ගෙදර මළ ගෙදරක ගිහින් ඔය බයික් එකේ කිලෝමීටර භාගයක් ඇවිත් මගේ කොන්දෙ ඇට කීපයක්ම එහෙ මෙහෙ වෙලා තිබ්බත් එක්ක..!!!මම ඒත් කතා කරලා බැලුවෙ කොයිබින් හරි කාර් කට්ටක්වත් සෙට් කර ගනීදෝ..නම් මටත් ඒ පානෙන්ම එළිය බැලේදෝ කියලයි..හරි ගියේ නැති කොට...


දුටුවා කෙමියා මහතා තමුන්ගෙ බ්ලොග් එකේ එන පාර දමලා තිබ්බා..අප්පට් සිරි...බද්දේගමද කොහෙද ! ඔය අතරෙ අපේ හය හතර දමිත් මලයා මට කතා කොරා. කතා කොරලා කීවා අයියෙ වරෙන් අධි වේගෙ ගාල්ලට...ඇවිත් මට කතා කොරහන් මගේ වාහනෙන් එන්න පුළුවන් මල ගෙදර යන්න කියලා..ඒ චෑන්ස් එකත් හරි..මම හිතා ගත්තා එහෙම කරනවා කියලා.වැඩේ තිබ්බෙ මම එදා ඔෆිස් එකේ වැඩ හවස හත හමාර වෙනකන්. ඒත් මහරගමින් ගාල්ලට බස් තියෙන නිසා අවුලක් නෑනෙ..එහෙම යන්නයි හිතන් හිටියෙ..


ඔය අවු අස්සෙ අපේ රණා මැති තුමා කෝල් එකක් අරන් අහපි..අයියෙ කොහොමද යන්නෙ කියලා. මම කීවා හරි මම බස් එකේ යන්නයි ඉන්නෙ එහෙනම් අපි දෙන්නම එකට යමු කියලා. එදා රණා තුමාත් මොකද්ද ලිනක්ස් ද මොකද්ද කියලා බඩුවෙක් සෙට් කරගෙන ඒක එක්ක දවසම ගත කරනවා කියලා හවස තමයි එන්න වෙන්නෙ කිව්වා..බලහල්ලකො අපේ විසේ වැඩිම කාලෙවත් මහ දවල් ඔහොම බඩු එක්ක සෙට් වෙලා තියේද ? ඔය අළුත් පරම්පරාවෙ උන්ගෙ එක එක විකෘති ආශාවන් නොවැ කියලා හිත හදා ගෙන..මම ඕකත් සෙට් කරගෙන ඉන්නකොට මේන් අපේ දමිත් මලයා කතා කොරලා කීවා.. ආන් හෙන්රි අයියටත් යන්ඩ ඕනි කිව්වා මල ගෙදර පොඩියක් කතා කොරලා බලහන් කො කියලා.. එතකොටයි මම හෙන්රිට කතා කළේ..හෙන්රි කතා කරන ගමන්ම කීවා මට ඔෆ් වෙන්න පුළුවන් නම් රෑ හතහමාරට තමයිය කියලත්..කමක් නෑ එහෙනම් එහෙම කරමු කියලා ඉන්න අවු අස්සෙ..ආ කොයි වෙලාවෙද මන්දා ඕනයත් කතා කරලා තිබ්බා..ඌත් එන්නම් කීවා අපේ කට්ටියට..රණාව දැනුවත් කළා කෝල් එකක් අරගෙන..ආ කියන්ඩ එපාය මෙන්න දෙබස..


ට්‍රීං..ට්‍රීං...


මම - හලෝ රණා මල්ලි


රණා - හහ් හහ් හහ්..කියහහ් අයියෙහ්..


මම- මල්ලි අර වැඩේ හරි අපිට හෙන්‍රි අයියගේ වෑන් එකේ ගියහැකි..
රණා- හහ්...හහ්... හා


මම - මල්ලි එහෙනම් ඔය වැඩේ ඉවර කරන්න බලන්න හතහමාර වෙද්දි කොට්ඨාවට එන්න..


රණා - හහ්...හහ් හාඅ අයියෙහ්..


ඒ වැඩෙත් හරි ආයිමත් හෙන්‍රිට කතා කළා..පිරිස ගැන කීවා
කවුද බන් රණා කියන්නෙ ?


දැන් ඉතින් මම මොකද්ද කියන්නෙ කියහන්කො..රණා එක්ක සෙට් වෙලා තිබ්බත් කීප සැරයක්ම මම දන්නෙත් ඔය බුකියෙ යන එව්වා තමයි..


රණා කියන්නෙ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් බන්


මම වැඩේ ක්ලෝස් කළා..ගමන යන්න සේරම සූජානම් කරන කොටයි මතක් උණේ මේ ගෙදරට කවුරුවත් මීට ඉස්සෙල්ලා ගිහින් තිබ්බෙ නැති නිසා කවුරුවත් පාර දැන ගන්න විදියක් නෑ..


වැඩිය ඕනි නෑ ඔය පියල් කෙමියා තුමා ඉන්නෙ මම පදිංචි වෙලා ඉන්න ඒරිය එකේම උණත් මේ වෙනකන් ගෙදරට එන පාරවත් කියලා තිබ්බෙ නෑ..කීප සැරයක්ම ඇහුවහම කිව්වෙ..ගෙදර ඉන්න බල්ලො සැරයි..උන් බැඳලත් නෑහ්..ගෙදර කවුරුවත් නෑහ්..වගේ කතන්දරම තමයි..යකෝ මම මනුස්සකමටයි යන්න හිතුවෙ..නැතුව ගෙදර බල්ලොන්ට මඟුල් කපුකම් කතා කොරන්ඩයෑ..මමත් ආයි ආයි පාර අහන එක අතෑරලා නිකන් හිටියා..දැන් නම් මගේ බල්ලවත් යන්නෙ නෑ ඔය පැත්තෙ..


හවස හතහමාරට එළි බහින්ඩ හිටි මට චෑන්ස් එකක් හම්බ උණා හවස හයට යන්න..සේරමල්ලා දැනුවත් කරලා..ඇත්තටම හෙන්රිට මේ ගමන දවාළියෙන්ම ගිහින් ඉවර කරන ඕනි තරම් ඉඩ තිබුණත් මම නිසාම ගමන කල් දැම්ම බව නම් මතක් කොරන්නම ඕනි..ඔෆිස් එකෙන් පිටවෙලා රණා මුලින් කොට්ඨාවට එනවා කිව්වට මෙන්න කොළඹ කැම්පස් එකේ අර ලෝ ෆැකල්ටි ගාවා හොල්ට් එකට එන්නම් කිව්ව නිසා මම එතනට ගියා..පවු මල්ලි ඇදිලා ගිහින්..දවසම මහන්සි වෙන්නත් ඇතිනෙ..
එතනින් කොට්ඨාවට ගිහින් ඉන්නකොට දෙතුන් සැරයක් ඕනයා කිව්වා අපි පලවත්තෙ..අපි තලවතුගොඩ..කිය කියා..


මෙන්න ඔය අවු අස්සෙ කාපු බීපු කතාවක් ඇදගෙන රණා කියපි අබියගෙ ඔෆිස් එකේ සෙට් වෙච්ච දවසක අපි බඩු ගෙනිච්චෙ අන්න අර බාර් එකෙන් කියලා..


එහෙම කියලා මෙන්න මූ අබියට කෝල් ගන්නවා. මම කිව්වා
අනේ බන් ඌට කතා කරන්න එපා. දැන් ඌ ගෙදර හිටියොත් ඌයි උගේ පවුලයි එන්න ඕනියි කීවොත් වෑන් එකේ ඉඩ නැහැනෙ කියලා..
හොඳ වෙලාවට..


කෝල් එක ආන්සර් කළේ නෑ මීමුරේ වෙන්නැති කියලා ඉන්න කොට මෙන්න වෑන් එක අපිවත් පහු කොරගෙන ගිහින් ටවුන් එකේ නවත්තලාඅ..අපිත් ගිහින් ඕන් හරි බරි ගැහිලා ඉඳ ගත්තා..
මම මුලින්ම හිතුවා වගේම එකෙක් වත් පාරවල් දන්නෙ නෑ..
පියල් තුමා බ්ලොග් එකේ පාර ලියලා තිබ්බ විදියටම..මම කොළේක ලියා ගත්තා.. කොයිකටත් ඕනි වෙයිනෙ කියලා..ඔව් ඔව් A4 කොළේක තමයි..


රණයි, ඕනයයි මදිවට ඕන හාමිණෙයි අධිවේගෙට වෑන් එක දාපු වෙලාවෙ ඉඳන්ම මාව කන්ඩ හැදුවෙ නැද්ද ? එක එක මඩ කතා අරගෙන...එකක් ඉවර වෙනකොට තව එකක්..මාත් ඉතින් ඔන්න ඔහේ මට නෙවෙයි වගේ හිටියා..හිනා වෙවී සහ ඔව්වට පෝර දදා..


ඔය අවු අස්සෙ..මේ කතාව සම්බන්ධ වෙන්නෙ අටමට නිසයි මේ අතුරු කතාව කියන්නෙ.. අටමා රණාට කෝල් එකක් ගත්තා..හෝ ඕකෙ අනිත් පැත්ත උණා..මෙන්න රණා අටමා කිව්ව එකකට මෙන්න මෙහෙම කීවා..

"වෙනියා තමයි උඹ එනවා නම් එන්නෙත් නෑ කියලා ගමන සෙට් කළේ "


කියලා ෂුවර් එකටම අටම අහන්න ඇති ඌව හළලා ගියේ කියලා..උන්ගෙ කතාව ඉවර වෙච්ච ගමන්ම මම රණාට කිව්වා අටමා ෂුවර් එකටම ඕක විශ්වාස කරයි බන්..ඔහොම කියන්ඩෙපා අටමා මාත් එක්ක ඔරොප්පු වෙයි කියලා..මුන් ඒකත් මාව බයිට් එකට ගන්නම හදාගෙන ඔහොම ඔහොම ගියා..ඔය අටමගේ සීන් එක මට නිනව්වක් නැතුව තිබ්බෙ..අද මාරයගෙ බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ටුව හරහා තමයි ඒක කොයිතරම් දුරට අටමා විශ්වාස කරලද කියන එක මට තේරුණෙ. සාමාන්‍යෙන් මම ගොඩක් ළඟම බොක්කවල් වලට ඇර ටිකක් එහෙන් මෙහෙන් දන්න අයට එච්චර විහිළු කරන්න යන්නෙ නෑ මොකද අපි නොදන්න සීමාවක් පැන්නොත් එහෙම ඒ වෙනකන් තිබ්බ යාලුකමත් ඉවර නිසා. මේ කතාව ඉවර වෙන්න නම් ඉතින් රණා ම කියන්න ඕනි අටමට ඒක ඒ වෙලාවෙ කිව්වෙ ගොතපු කතාවක් කියලා..එහෙම කියයි කියලා හිතන්නත් අමාරුයි..ඒ නිසා ඕක ඔහොමම යන්න දෙනවා..ඇයි මම මනෙ ඔය සීන් එකේ අතින්ම අරගෙන තියා ගෙන තියෙන්නෙ..බ්ලොග් ලෝකයේ හෝ සයිබරයේ මගේ ළඟම විශ්වාසවන්ත මිතුරො ඉන්නෙ අතේ ඇඟිලි දහයේ ගානට නිසා..කවුරු හරි කාගෙ හරි විහිළුවකට මම ගැන වැරදි දෙයක් හිතා ඉන්නවා නම් ඒකට මට කරන්නත් දෙයක් නෑ එච්චරම..හැබැයි අර බොක්කවල් වලින් එකකට එහෙම නම් ඕක උණේ..රණාට කනේ ඇඟිල් ගහගන්න වෙන කුණුහරුප ටිකක් කියන්නෙ මම ඔය කිව්ව නෝබිනා කතාවට..එහෙම කියලා මම නොකරපු වැරැද්දකට සමාව ඉල්ලන්න මගේ දිව නොනැමෙන්නෙ නෑ.. අර දහය කවුද කියලා ඇහුවා ?! ඔය ඉන්නෙ එකෙක් මටම මඩ ගහ ගහා බ්ලොග් වලයි බුකියෙයි..ඔය එකෙක් තමයි..මෙහෙව් මාර පුත්තරයොනෙ එහෙව් මිත්‍රයො වෙලා ඉන්නෙ..
මම කොහොමත් කොහෙ ගියත් මගේ ෆෝන් එකේ තියෙන ජීපීඑස් වලින් වැඩ කරන ඇප් කීපයෙන් එකක් දෙකක් වත් ඕපන් අරලා අරගෙන පොඩි රෙකෝඩිං පාරක් දා ගන්නවා..ඒක කරන්නෙ පස්සෙ පහුවට ඒ වෙලාවල් වලදි අපි කොහෙද හිටියෙ කියන්න සහ පිටරට ඉන්න මගේ බාරිට ඕක යැව්වහම මම ගියේ කොහේද කියලත් ෂුවර් නෙ ඉතින්. මොන මඟුල කළත් විවාහ ජීවිතේත් බේරා ගන්න එපාය.


ඔය පහළ තියෙන්නෙ ඒ වෙලාවෙ එහෙම රෙකෝඩ් කර ගත්ත එව්වයෙ තාමත් මම ළඟ තියෙන ෆොටෝ ටිකක්.. ඒ ඒ වෙලාවෙ අපි හිටියෙ කොහෙද කියන එක මේකෙන් අදටත් බලා ගන්න පුළුවන්. මේ ඇප් එක ගූගල් එකෙන් ඕනිම කෙනෙකුට ගන්න පුළුවන් ඇප් එකේ නම My Track..මේකෙන් අපි යන තැන රෙකෝඩ් වෙනවා වගේම බලා ගන්න පුළුවන් අවට ප්‍රදේශය ගැනත් ටිකක්..






අර හදපු කතාවෙ විදියට මම ළඟ ජීපීඑස් ගජට් එකක් වෙනම තිබ්බෙ නෑ.ඒක කළේ ෆෝන් එකෙන්ම තමයි..බයිට් එකට කෑලි හොය හොයා හිටි තුන් දෙනාටම මේකත් හොඳ ටොපික් එකක් උණා..ඔහොම ඔහොම අධිවේගෙන් එළියට ආපු ගමන්ම පියල් මල්ලිගෙ විස්තරේට අනුව මම කීවා අධිවේගෙන් එළියට ඇවිත් තියෙන මුල්ම පාරෙන් වමට හැරෙන්න කියලා..ඒ මුල් පාර මහා විශාල එකක් ඕකෙන් ආයි යන්නෙ අධිවේගෙටම තමයි කියලා ඕනයා කී එක රනත් අනුමත කරලා ඉස්සරහටම ගියා. මමත් සැරින් සැරේ මගේ ඇප් එකෙන් පාරෙ ඉස්සරහ බැලුවා. පාර අයිනෙ හිටිය බයිසිකල් මල්ලි කෙනෙක්ගෙන් පාර ඇහුවහමයි කීවෙ අර පහු කරන් ආපු වමට හැරෙන පාර තමයි පාර කියලා..මෙච්චර වෙලා බයිට් වෙලා හිටි මම කී දේ ආයි අහයිද මුන් සෙට් එක..


ඒ ගිය පාරෙම ඉස්සරහට ගිහින් හැරෙන්න කීවා ඒ මල්ලි..ඉස්සරහ තියෙන වංගු හතරමන් හන්දි සහ අනිත් පාරවල් මම කීවෙ හෙන්‍රිට මගේඇප් එකෙන් බල බලා..ඔව්..ඒත් සැරින් සැරේ සිග්නල් නැති නිසා ඒක අප්සට් උණා..ඔය අතරේ A4 කොළෙනුත් බලාගෙන..තමයි ඉස්සරහට ගියේ..හෙන් රිත් මම වගේම පාර කොළේක ලියා ගෙන ගිහින් තිබුණා..ඒ දෙකම ප්‍රයෝජන උණා..හෙන් රි ගෙන් එකෙන් පාර බලා ගෙන යද්දි මුන් මාව අනුභව කළා මගේ කොලේ මැප් එකත් එක්කම..
අම්මට සිරි ගජ නැන්දට රට කජු කියලා අර අති නවීන වෑන් රාජයා මහ පාළු කැලේක ඉස්සරහත් ලයිට් නෑ..පස්සෙත් ලයිට් නෑ..හිටියෙ නැද්ද ලයිටුත් නිවා ගෙන.. ගැහුවා ගැහුවා ගැහුවා මොන ස්ටාට් ! හෙන්‍රි කීවා බැට්‍රිය තමයි අවුල කියලා..ඉතින් ගෙඩි පිටින්ම කොල්ලො තුන් දෙනෙක් හිටි එකේ එකේ ඕන් තල්ලු කළා එකසිය ගානට..


කොහොමත් මීටර් 50ක් විතර තල්ලු කළා..මොන ! ස්ටාට් වෙන්නෙම නෑ..දවසම වැඩ කරලා මහන්සිත් එක්කම..මම පොඩ්ඩක් වාහනේට අත තියා ගෙන හිටියා..ඕනයා සහ රණා හති දා ගෙන තල්ලු..හෆොයි මාව වැටුණේ නැද්ද ජකාශ් ගාලා පාරෙ තිබුණු මඩ වතුර වළක..දුකේ බෑ කලිසම පුරා මඩ...ඒත් සතුටකට තිබ්බෙ ළඟම හිටි රණාගෙ ඇඟටත් මඩ වතුර ඉහිලා..!


කොහොමින් කොහොමින් හරි වෑන් එක ස්ටාට් උණා..


ආයිමත් අර බයිසිකල් මල්ලි හමු උණු නිසා පාර ගොඩ දාගෙන..පියල් මල්ලිටත් කතා කරලා...කොහොමින් කොහොමින් හරි මළ ගෙදරට සේන්දු උණා..


කාලා බීලා බීලා කිව්වට වතුර විතරයි බීවෙ.. ගෙදර මිදුලෙ තිබ්බ ලෝකල් ඇප්‍රිකට් ගහේම තිබ්බ ඉදිච්ච ගෙඩි ටිකත් සූරා ගෙන..ආපහු කොළඹට ආවා...


මෙන්න එහෙන ගෙනා ඇටේ දැන් පොඩි පැළයක් වෙලා..





යන එකනක් ඉතින් මාව තමයි කට ගැස්ම උණේ.. කමක් නෑ නැත්නම් කට්ටිය ම නිදා ගෙන ගියා නම් එහෙම හෙන්‍රි අයියත් සුක්කානම අතේ තියා ගෙනම නිදියන්න ඉඩ තිබුණා..එහෙනම් තව මළ ගෙවල් කීයක් කියලද ?


ඉතින් ඔන්න ඔහොම ඉවර වෙච්ච මළ ගෙදර ඔය ජීපීඑස් කතාව ආයිමත් ඇදිලා ආවෙ..ළඟදි වෙච්ච තවත් මළ ගෙදරකදි තමයි..ඔතනදි තමයි අපේ මාර තුමා හිටියෙ සහ..ඔය කතාව බ්ලොග් එක දානවා..නොදා ඉන්න ඕනි නම් කියල කප්පම් , අනිසි යෝජනා කළත් මම එව්වට එකඟ නොවිච්ච නිසා තමයි ඔය කතාව ඒකෙ පළ උණේ.. හැබැයි ඉතින් ඔය මල ගෙදර ගිහින් ආපහු එන වෙලාවක තමයි කිව්වෙ අනුන්ගෙ ජීපීඑස් ව්ලට හිනා උනාට මාරයා තුමාත් පහු ගිය කාලෙක කොහෙද ගිහින් ජීපී එස් වලින් පාර හොයන්න ගිහින් මේ යසට ඇහැට පෙන්ඩ තියෙන පාර පැත්තකට දාලා කොහෙද කැළෑවක රිංගුවයි කියලා....අනේ මන්දා ඔව්වා නම් ඉතින් රට්ටු කියන කතා නොවැ !


මොකක් අර උඩ ලියලා හිටි උන්ගෙ රෙදි ගැලෙව්වද ඇහුවා ? 


ආයි පිස්සුවක් ඇතෑ මම ඕක කොරන්න..ඕනි කෙනෙක් කොර ගන්න එකයි ඇත්තෙ !

Monday, January 20, 2014

ඉඩ හරින්න.... පිපෙන්න...පල දරන්න...

http://en.wikipedia.org/wiki/Bud



පුංචි උන් සංදියෙ මොනවාම හරි හේතුවක් නිසා පුරුදු වෙන එක එක පුරුදු අත් හරවන්න කොයි තරම් නම් අමාරුද ?

ඒවයින් එකක් තමයි ඇඟිල්ල උරන එක..එක්කෝ මහපටැඟිල්ල නැත්නම් දබර ඇඟිල්ල කටට යන්නෙ කොයි වෙලාවෙද කියන එක මොනවා කළත් මතක් කර ගන්න නම් බෑ..ඒත් ඒක කටෙන් එළියට එන්නෙ නම් එක්කෝ අම්මගෙ හරි අක්කලා දෙන්නගෙ හරි ඉරටු පාරකින් බව නම් මතකයි.. දත් ටික ලොඹු වෙයි කියලා කොයි තරම් නම් බණ කීවත්..ඇඟිලි උරන එක නවත්තන්න බැරි උනත්..තරමක් කාලයක් යන කම්..රෑට නොදැනුවත්වම ඇඬ්ගිල්ල කටට යන එක නවත්තන්න නම් කොහොඹ තෙල් ආලේපය හරියටම වැඩ කළා..


"මම නම් තවත් නම් එක මල් ගහක්වත් හිටවන්නෙ නෑ මිදුලෙ"


කියලා ගමටම ඇහෙන්ඩ කෑගහලා අක්කලා දෙන්නා මල් පිපෙන ගස් වවන එක නැවැත්තුවෙ මගේ තවත් එක නරක පුරුද්දක් හින්දා..
දාස් පෙතියා, සපත්තු , පොකුරු වද, සීනියාස්, වතුසුදු, කැනාස්, රෝස, බාබන්ඩේසියා, ඩේලියා, වගේ මල් ගස් හොඳට වැවෙන පළාතක් හින්දා හිටෙව්වොත් මල් හදෙන එක අනිවාර්යෙන්ම වෙන සංසිද්ධියකදි ඇයි අපේ අක්කලා දෙන්නා මල් හිටවන්නෙ නැතුව, කෝලියාස්, ක්‍රෝටන්, වගේ ලස්සන කොළ විතරක් හැදෙන ගස් වගාවට මාරු උණේ ?උත්තරය බොහොම පැහැදිලියි. මගේ අවිඥානිකව සිද්ධ වෙන තවත් එක පුරුද්දක් තමයි..මල් පොහොට්ටක් පේන්න බැරි එක..මොකද මල් පොහොට්ටක් දැක්කහම..මගේ අතැඟිලි නලියන්න ගන්නව..කකුල් දෙන නොදැනුවත්වම වගේ ඒ දිහාට ඇදිලා යනවා..මල් පොහොට්ට..හෙමිහිට කඩලා අරන්..අර පිපෙන්න ඔන්න මෙන්න..තියෙන පෙති අතරින් ඇඟිල්ලක් දාලා..මල ඇතුළෙ තියෙන සුමුටු සුවය විඳින්න මම හරි ආසයි..ඊට පස්සෙ හෙමිහිට ඇඟිල්ල විදාරණය කරලා..මල් පෙති එක එක කඩලා අරගෙන ඒවයේ නහයට දැනෙන සියුම් සුවඳ විඳින්න මම හරිම පෙරේතයි..නෑඹුල් මල් රේණු හෙමිහිට කඩලා දිව මත තියලා ඒවයෙ තියෙන නා නා විද රසය විඳින්න මගේ මුව ඕනිම වෙලාවක සූදානමින් හිටියා.ගස් ජාති ගොඩක මල් ජාති වල රසය මම විඳලා ඇති..ඒ ඒ මල් වල තිබ්බෙ ඒ ඒ රසයන්..කෙහෙල් මල් වල දිගැටි පතුරු අතරේ අන්තිම කෙළවරේ තිබ්බ පැණි බිඳු කොයිතරම් නම් බීල ඇතිද ?
ඉතින් අපේ අක්කලා කොයි තරම් මල් ගස් හිටෙව්වත් එව්වයේ මල් නොහැදෙන එක අහන්න දෙයක්ද ?


අයියගේ එළවළු වගාවෙ බණ්ඩක්කා සහ වට්ටක්ක මල් කාලා අහුවෙච්ච දවසෙ දීපු වේවැල් පාර හින්දා ඒ පැත්තෙ නම් ඊට පස්සෙම ගියේ නෑ..ඒත් මල් පත්ති වල නම්..


ඕක උණේ මම පොඩි එකා සංධියෙදි උණත් ටිකක් දැනුම් තේරුම් යනකම්ම වාර ගණන අඩු උණත් ...ඒ පුරුද්ද හොරෙන් හොරෙන් උණත් කෙරුණා..අදටත් ගහක මලක් පොහොට්ටක් තිබුණොත්..බොහොම කලාතුරකින් ඒක කඩලා කන්නෙ මටත් නොදැනුවත්වම තමයි...
පස්සෙන් පහුවට ඔය පුරුද්ද නවත්තා ගත්තෙ නම් ගහක මල් හැදෙන්නෙ ඇයි කියන දේ පාසලෙන් හරියටම ඉගෙන ගත්ත හම තමයි..පස්සෙ මලින් මලට පැණි හොයන් යන, සමනලුන්, බඹරුන්, මී මැස්සන් ගස් වල ජීවය ඉදිරියට ගෙනියන්න ගෙඩි සාදන්න කරන මෙහෙය දුටුවහම තමයි මම මල් කෑවහම වෙන හානිය තේරෙන්න ගත්තෙ..


මල් පොහොට්ට කියන්නෙ ජීවයේ පැවැත්මට තබන පළමු වෙනි පියවra හින්දා කොහෙ හැදුණත් මල් පොහොට්ටු ආරක්ෂා කරන එක අපේ හැමෝගෙම යුතුකමක්..


සති අන්තෙ පත්තරේකින් හිත පාරවන ප්‍රවෘත්තියක් විදියට කියවුණේ මාසෙකට අවුරුදු 12-15 ත් අතරේ දරුවන් 150 ක් විතර අතවරයට පත් වෙලා ප්‍රතිකාර ගන්න එන බවත් එයින් 80%ක්ම ගැහැණු දරුවන් බවත් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල තමන්ගේ ළඟම පියා හෝ ඥාතීන් අතින් මෙය සිදුවන බවත්..හැමදාම කියවෙන විදියට මව රැකියාවට විදේශගත වීම තවමත් ලොකු සාධකයක් වෙනවලු මේකට...


මල් පොහොට්ටු හැදෙන්නෙ කඩලා බිඳලා විනාශ කරන්නෙ නෙවෙයි..අනාගතයෙදි පෙති විහිදලා නිසි කල ආවහම පිපිලා පල දරන්න..


ඇයි මේක හැමෝටම හිතන්න බැරි..???

Friday, January 17, 2014

පූසො, බළලො. ගඩ්ඩො...සහ උන්ගෙ බලු වැඩ

http://www.allposters.com/-sp/Comic-Cartoon-Dog-Says-Ain-t-Love-Wonderful-as-Two-Cats-Fight-on-Fence-Posters_i8229972_.htm



අද උදේ පාන්දරම මාව ගැස්සිලා ඇහැරුණේ කන ළඟම වගේ ඇහුණු මර හඬ තැලිල්ලක් එක්කමයි. හිතට ආපු නොරිස්සුමත් එක්කම උණත්..තව පොඩ්ඩක් ඇඳේම ඇලවෙලා ඉඳලා මුලින්ම කළේ ඕනිම පිරිමියෙක් උදේ පාන්දරම කරන දේ තමයි.. (ඒක දන්නෙ නෑ කිව්වා ????)

ඒ එක්කම මට අවිඥානිකව අර මර හඬ දී ගෙන ඇහුණු සද්දයක් එක්කම හිතට ඇවිත් මුව හරහා ගිය සිනහවට හේතු හොයන ගමන්ම මදුරු දැල රෝල් කරලා ගැටයක් ගහලා පොඩි වෙච්ච ඇඳ ඇතිරිල්ලත් හරි ගස්සලා වතුර එකක් රත් කරන්න ලිප පත්තු කළා.මට ඇහිච්ච කෑ ගැහිල්ල පූසො දෙන්නෙකුගෙ රණ්ඩුවක්.. රණ්ඩුවක් කිව්වට ඕක මොකද්ද කියලා නොදන්න බබ්බු ඉන්නවයෑ ඉතින්...


ඇයි ඒත් අවිඥානිකව පූසො පොර කන සද්දෙට මට හිනා යන්නෙ? නින්ද කැඩෙන එකට හිතට එන කේන්තිය පරයා හිනාවක් එන්න තරමේ වෙච්ච සිදුවීමක් නිසයි එහෙම වෙන්නෙ..දශක දෙකහමාරකට විතර ඉස්සර වෙලා වෙච්ච දෙයක් උණත්..මේක මට අද වගේ මතකයි.


ගමේම ඉන්න බල්ලොත් අපිට වඩා ගමේ මිනිස්සුන්ගෙන් හොඳ අහපු කාලයක් වෙච්ච ඔය සංදියෙ අපේ නඩේ 10 නැත්නම් 12ක් විතර හිටියා. ගමේම තිබ්බ පොදු වැඩවලට උණත් දෙවරක් නොහිතාම..බැහැල උදව් කළා වගේම ඉතින් රෑට පානකට..වත්තක පහළක ගඩා ගෙඩියක් පැහෙන්න ඉදෙන්න අපේ බැල්මෙන් තොරව කෙරෙන්නෙ නැති තරමටම අපේ රංචුව විමසිල්ලෙන් හිටියා..


හැමෝටම මතක ඇති ඔය රූපවාහිනිය රට ගම තරණය කරපු කාලෙ බලන්න තිබුණෙ වැඩසටහන් දෙක තුනක් විතරයි. බුබුළු බුබුළු රාශියක් මැද්දෙ යන්න්තම් හෙවණැලි වගේ පින්තූර පේන කොට අපි බැලුවෙ නයිට් රයිඩර්, මංකී, ටුෆොර්ටී රොබර්ට්, මැගයිවර්, ස්ට්‍රීට් හෝක් වගේ ඉංග්‍රීසි එව්වයි දොස්තර හොඳ හිත වගේ වැඩසටහනුයි තමයි. ඔය අතරේ ටාසන් බලලා වැල් වල එල්ලිලා අත පය කඩා ගත්තෙ නැත්තෙත් නෑ. ඒ වගේමයි ටාසන්ගෙන් අපි ඉගෙන ගෙන හදා ගත්තා අපි අපි අතරෙම හොඳ සංනිවේදන ක්‍රමයක්..සත්තු කෑගහන ක්‍රම කීපයකට අපි අපිම දුන්නා එක එක අර්ථ නිරූපණ. එව්වා හොඳටම ප්‍රයෝජනවත් උණේ රෑ ගමන් යනකොට කට්ටියව ගෙදරින් එළියට ගන්න.


බල්ලො බුරන විධිය, කුරුල්ලො සහ පූසන්ගෙ ඤාව්ව තමයි වැඩියෙන්ම පාවිච්චි උණේ..


ඔය කියන කාලෙ ගමේ පූසො රැලේ වැටෙන කාලෙ. ගෙවල් වල වහල වල් දිගේ කෑ ගහ ගහ දුවන එකයි පොර කන එකයි මහාම වදයක් වෙලා තිබුණ වගේමයි ගමේ තිබ්බ මතයක් නෙ පූසො පොර කන එක අසුභ ලකුණක් කියලා... ඔය නිසා පොර කන පූසන්ට ගල් සහ පොලු පාරවල් යහමින් ලැබුණා. ගම් වල පූසන්ගෙනුත් ඉතින් අඩුවක් නෑනෙ. ගෙවල් වලට හිමිකම් කෙ පුසො වගේම ගෙවල් කීපයකට හිමිකම් කී උනුත් ගමම තමන්ගෙ සන්තකයට ගත්ත වාසනාවන්ත පූසොත් හිටියා. ඔහොම පූසන්ගෙ මල කරදර කාලෙක තමයි මේ සිදුවීම උණේ. ඒ කාලෙ ආවා ඉංග්‍රීසි ටෙලි නාට්‍යයක් ඩිනස්ටි කියලා. ඕක
වැඩිහිටියන්ට පමණයි නිසා පෙන්නුවෙ රෑ 10.30 ට වගේ. අද නම් හිතෙන්නෙ මොන මඟුලද ඒකෙ වැඩිහිටියන්ට පමණයි තිබ්බෙ කියලයි. අපි කට්ටිය ඕක බැලුවෙ එක යාළුවෙකුගෙ ගෙදර..එහෙ අම්මයි තාත්තයි හතහමාර වෙනකොට නිදි..අපිට නිදහසෙ ටීවී බලන්න ඉඩකඩ තිබුණා..

එදත් බදාදා දවසක්...රෑ නවයට විතර ඇති..රෑට කාලා මම ඩිනස්ටි බලන්න යන්න සලසුම් කරන් ඉන්නවා.. මොකද්ද මන්දා මැරෑටි වැඩක් කරලා ඕක ගමේ කවුරුහරි කෙනෙක් තාත්තගෙ කනේ තියලා. මට තාත්තා දෙනවා හොඳ බණ දේශනාවක්..


උඩහ ගෙදර කපිල ඇවිත් මට සිග්නල් දෙනවා වරෙන්
වරෙන් කියලා..කුරුල්ලෙක් කෑ ගහන සද්දෙට..මම තාත්තගේ දේශනා මාලාව දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා හිත හිතා ඉන්නවා..කපිලය බලන් ඉඳලා ඉඳලා..ඉස්සරහ මල් වැටිය ළඟ මුවා උණා..

අපි මොනාට හරි තද උණහම කුණුහරුපෙන් සංඥා දෙන්නෙ පූසො කෑ ගහන සද්දෙන්..


ටිකක් වෙලා ඉඳලා කපිල ..ඤාව්...ගෑවා..


තව සැරයක්...

තව සැරයක්..


ඊළඟ සැරේ මහා හයියෙන් ඥැඇඇඇඇඇඇඇඇඇව් ගෑවා..


තාත්තගේ දේශනාවත් ඉවර පාටයි මම එසැනින් නැගිට්ටා..


සරස්..ගාන සද්දෙයි..


දඩිහ්


ගාන සද්දෙයි එක්ක..


කපිලගේ ඊළඟ ඤාව් එකේ මැද්දෙන් ඇහුණෙ බුදු අම්මෝ කියන සද්දෙ..


මමයි තාත්තයි මල් වැට එහා පැත්තට යනකොට ඊට වඩා ඉක්මනින් අපේ අයියා ආවා එක අතක ගඩොල් කැටයක් එක්ක..


කපිල බිම පෙරළිලා පස් කනවා..කොන්ද හරහා ගඩොල් භාගයක් වැදිලා තිබ්බා..


"පොර කන පූසොන්ට මම ගැහුවෙ ගඩොල් බාගෙන්..මේ ළමය කොහෙද මේ මල් පඳුර අස්සෙ කළේ..?"


හිතා ගන්න පුළුවන්නෙ වෙච්ච දේ..


බැඳලා අලුත හිටි අයියා පොරකන පූසන්ගෙ සද්දෙට කැඩෙන් නින්ද ගැන හොඳටම කේන්තියෙන් හිටියෙ..


කැඩුම් බිඳුම් වෙද මහත්තයගෙන් තෙලක් ගාවා ගෙන කපිලව ගෙදරට ඇරලවලා ආපහු ආපු අපි..දුක් උණත්..අපේ සෙට් එක ඕකට හිනා වෙච්ච තරමක්..පස්සෙ කපිල කිව්වා අපේ ගෙදරට..එතන හිටපු කෑ ගහන පූසන්ට පොල්ලකින් ගහන්න යනකොට තමයි ගඩොල් බාගෙ කොන්දට ආවෙ කියලා..


අදටත් පූසො පොර කන කොට ඔය සිද්ධිය මතකෙට නාවත්..හිනාවක් හිතට මෝදු වෙන එක නම් වළක්වන්න ම බෑ..





අද පත්තරේ මේ ලිපිය දුටුවෙ ඔය සිද්ධිය එක්කම...පොර කන පූසන්ව අධෛර්යමත් කරන්න පූසන්ට පළඳවන මේ ආරක්ෂක ක්‍රමය ගැන..
පව් දෙයියනේ පූසන්ගෙ ඒ අවශ්‍යතාවය කෙරෙන්නෙ කොහොමද මේක ඇන්දෙව්වහම ?

Friday, January 10, 2014

බිම වැටුනු පාඩම




http://timzero4.deviantart.com/art/Slippery-When-Wet-196726621

වෙලාව උදෑසන නවය නැත්නම් නවය හමාර වෙන්න ඇති. මම කාර්යාලයට යමින් ගමන්ම තව වැඩ කීපයක් කර ගන්න තියෙන නිසා අතුරු ගමනක් විදියට බම්බලපිටියට ගියා. අතුරු වැඩ කිව්වහම කෙනෙකුට වැරදි වැටහීමක් එන්න පුළුවන් නිසා..මම ගියේ ඊට කලින් දවසෙ බම්බලපිටියෙ මාර්ගගත වෙළඳ ආයතනයකින් මම ඇණවුම් කරපු වාෂ්ප විදුම් යන්ත්‍රය ගන්න...ඈහ්  ! කියවෙච්ච අයට ආයිමත් කියන්නම්කො. අර කැච්මී ඩොට් එල්කේ කියන ඔන්ලයින් ට්‍රේඩින් කරන ආයතනයෙන් මම ඕඩර කරපු ට්‍රැවල් ස්ටීමර් එක ගන්නයි බම්බලපිටියට ගියේ.... ඔය තේරුණෙ අපූරුවට...

මාර්ගගත වෙළඳ ආයතන හතු පිපෙනවා වගේ හැමතැනම තියෙනවා දැන්. මම ඕකට මුලින්ම යොමු උණේ අර එනිතිං ඩොටෙල්කේ එකෙන්..මයිඩීල් එකෙනුත් මොනා හරි අරගෙන තියෙනවා මතකයි. වාසිය තියෙන්නෙ සාප්පු ගානෙ ඇවිද ඇවිද ඉන්න ඕනි නෑ. පරිගණකයේ අන්තර්ජාලය පිරික්සලා අවශ්‍ය දේ හොයා ගෙන ඇණවුම දාලා ඒ ඇණවුමේ පිටපතක් අරගෙන එතනට ගියහම අපිට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්. ගෙවීම් මාධ්‍යය ණය පත් වලින් වගේම භාණ්ඩය ගන්න වෙලාවෙ ගෙවන්නත් පුළුවන්. මිල අතින් වාසියක් තියෙනවා කියලා පෙනෙනවා. මොකද මේක කරන්නෙ භාණ්ඩ ප්‍රවර්ධනයට නිසා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගන්න විශාල වට්ටම් දෙනවා පේනවා.
හැම ලාභ බඩුවෙම හිලක් තියෙනවායි කියන සංකල්පය මෙතනට අදාළ වෙන්නෙ කොහොමද කියලා කියන්න නම් මේ ක්‍රමය තව කාලයක් අපේ සමාජයේ ඇදිලා යන්න ඕනි. බටහිර සමාජයේ නම් මේක බොහොම සුලභ සංසිද්ධියක් නිසා වෙළඳ ආයතන හා පාරිභෝගිකයන් අතරේ බොහොම හොඳ සම්බන්ධතාවයක් තියෙනවා පේනවා.
කියන්න ආපු කතාව මේක නෙවෙයි.


භාණ්ඩයත් මිලදී ගෙන මම ගියා මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණයට. එතනට ගියේ මට අවශ්‍ය වෙලා තිබ්බ මුදල් ප්‍රමාණයක් එතන තියෙන ඒටීඑම් එකෙන් ගන්නයි. දෙපැත්තට ඇරෙන දොර එක්කම වෙළඳ සංකීර්ණයට ඇතුළුවෙන තැන බිම ඉහළ ඉඳලා පහළට පොඩි බෑවුමකට වගේ හදලා තියෙනවා ඔබ දැකලා ඇති. වෙනදා වගේම විශාල ඉඩකඩ තියෙන වෙළඳ සංකීර්ණයේ ආලින්දය කොටසේ සෙනඟ පිරිලා හිටියා. මෙතනට වැඩියෙනම එන්නෙ තරුණ පිරිස් සහ විදේශිකයන්. 


මමත් ඒ අය දිහා බලමින්ම බිම නොබලා අඩිය තියලා තියෙන්නෙ අර පහළට නෙරුමක් විදියට තියෙන කොටසේ කියලා තේරුණෙ ඉස්සරහට තියපු අඩිය ලිස්සලා යනවා දැනෙන කොටයි. ප්‍රමාද වැඩී වෙන පියවරකට යන්න... උදේ පාන්දරම හොඳට ඔප දමලා තිබ්බ පොළවේ මාව ලිස්සලා ගියේ නොවැටී බේරෙන්න මට තියෙන සියලුම විකල්පයන් ටික සුනුවිසුනු කරමින්. ලිස්සලා ගිහින් පස්ස බිම ඇනිලා කරේ එල්ලගෙන හිටිය බෑග් එකත් චග් ගාලා බිම වැදිලා කියන එක මට තේරුණෙ ක්ෂණයකින්.එතන හිටිය සියලුම අය මා දිහා බැලුවෙ හැමෝම විටින් විට ඇරෙන වැහෙන දොර දිහා තමන්ගෙ ඇස් යොමු කරමින් හිටිය නිසා මයි. වැටෙන ඊළඟ නිමේශයෙන් මම නැගිට්ටෙ හරියට අත්භූත බලයක් ලැබිලා වගෙයි. ඒ එක්කම අර තරුණ පිරිස සහ විදේශික පිරිස දෙස බැලුනෙ නෙත් කොනකින්.. කීපදෙනෙකුගේම මුවඟ පිරි සිනහව සමඟ තරුණියන් දෙදෙනෙක් මා දෙසට එන්න තැත් කරලා මම නැගිටපු වේගෙ නිසාම ඒ අය සානුකම්පිත බැල්මකින් මා දිහා බලා ගෙන හිටියා.
තමුන්ගේ වැඩිමහල්ම සහෝදරයෙක් නැතිනම් ඥාතියෙක් හෝ පියාගේ වයසෙ හිටි මා ඇදගෙන වැටෙනවා දුටු විගසම ඔවුන්මගේ උදව්වට එන්න නැගිටින්න ඇති. හිතට මුලින්ම ආවෙ ලැජ්ජාව මුසු හැඟීමක්. ලොකු අපහසුතාවයක් හිත දැනුණා. හරියටම මම විශාල පිරිසක් ඔවුන්ගේ ඇස් මානා ගෙන ඉන්නකොට දැනෙන සියුම් කියාගන්න බැරි වික්ෂිප්තභාවයකින් මාව වෙලිලා...


....ප්‍රාඥයින් කියලා තිබුණු කතාවක් මගේ හිතට ආවෙ ක්ෂණයකින්.. තමුන් වැටුනොත් වැටුණු තැන බලන්න. ඒක ඉදිරියට වටිනවා කියන එක..


ඇත්තටම මම වැටුණේ ඇයි කියන එක ආයිමත් බලන්න ඕනි. බිම පතිත වෙලා තිබුණු බෑගය ආයිමත් කරේ එල්ලාගෙන මම නැවතත් අඩි දෙකක් පස්සට ගියා. හොඳට ඔප දමලා තිබුණු පොළවේ පහළට නෙරලා තිබ්බ කොටසේ පිරිසිදු කරන සේවකයා හෝ සේවිකාව ඔප දමන ද්‍රව්‍ය උලලා තිබ්බත් ඒක තමන්ගෙ ඔප දමන යන්ත්‍රයෙන් හරියට ඔප දමලා තිබ්බෙ නෑ.. මම අර තරුණ පිරිස දිහා බලා ගෙන ඇවිත් හරියටම සපත්තුව තියලා තියෙන්නෙ අර ඔප දමන ද්‍රව්‍ය උඩටමයි. ඉතින් ලිස්සලා වැටෙන එක අහන්න දෙයක්ද ? තාමත් සපත්තුවෙ කොනක තැවරිලා තිබ්බ ඔප දමන ද්‍රව්‍ය ටික මගේ කතාව සනාථ කළා. මෙතනින් අද දවසේ තව අයෙක් වැටෙන්න පුළුවන්. මම අවට බැලුවා. අර පිරිස තවමත් මම දිහා දෑස් දල්වලා බලා ගෙන ඉන්නවා. ටිකක් එහායින් හිටිය පිරිසිදු කරන සේවකයට මම හස්ත සංඥාවක් දීලා කැඳෙව්වා. කැඳවලා අර ඉතිරි වෙලා තිබ්බ ඔප දමන ද්‍රව්‍ය ටික පෙන්නලා මම වැටුණු හැටිත් කියලා තව කෙනෙක් ලිස්සලා නොවැටෙන්න එතන පිසදමන්න කියලා ඒක හරියටම කරනකන් ඉඳලා තමයි මම එතනින් ඉවත් උණේ...


ඇත්තටම මම ක්ෂණයකින් කළයුතු දේ ඔය ඉහළ කිව්ව දේ උණත් මම කළේ ඒක නෙවෙයි. මා දිහා මානා ගෙන ඉන්න දෑස් පනහක් විතර මඟ හැරලා මම අඩියට දෙකට බැංකු තියෙන හරියට ගියා. එක කකුලක් රිදෙනවත් එක්ක.. එතන තිබ්බ ආපනශාලවෙන් උණු තේ එකක් බීලා සල්ලිත් අරගෙන අපහු එනකොට තමයි මම එතන අයිනෙ වැඩ කරමින් හිටිය පිරිසිදු කරන සේවකයට ඔප නොදැමූ කොටස පෙන්නුවෙ. එතන තව කෙනෙක් වැටෙන්ඩ තියෙන ඉඩ පෙන්නුවහම එයා අහිංසක විදියට එතනට දුවලා ගියේ ඔතන එක සර් කෙනෙක් ඇද ගෙන වැටුණා දැන් ඩිංගකට ඉස්සරවෙලා එහෙනම් එක තමයි කියමින්..


මම ඇද ගෙන වැටෙන වෙලාවෙ හිනා ගිය හැමෝටම හොඳ අතුල් පහරක් එල්ල කරනවා වගේ කරන්න තිබ්බ මේ වැඩේ මම අතින් නොකෙරුණු එක ගැන මට තාමත් තියෙන්නෙ පොඩි පසුතැවිල්ලක්...
මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි වැටුනොත් වැටිච්ච තැන දිහා ඒ වෙලාවෙම බලන්ඩ ඕනියි කියන එක තමයි...


Wednesday, January 8, 2014

වසර අවසාන මහා සේල්...නෙවෙයි චාරිකා..




වසර අවසාන මහා චාරිකාවක් යන්න අපිත් එකතු උනා ඕන්න..
මෙන්න මෙහෙම සැලසුම් කරලා තිබ්බ චාරිකාවෙ සිතියම දකපු ගමන්ම ගොඩක් අය කීවෙ මේක යන්න නම් දවස් හතරක් වත් යයි කියලා සහ..මෙන්න බුදුන්...මෙන්න මල්...මෙන්න මං කියලා තමයි එන්න වෙන්නෙ කියලයි..ඇත්ත ඒ කතා සේරම මොකද කොළඹ ඉඳලා ලංකාවෙ නැගෙනහිර කෙළවරට ගිහින් බලා ගෙන එන්න දවස් දෙකකින්...වැඩිම වෙලාවක් බස් එක තමයි කියන හැඟීම මටත් තිබුනා..
ඒත්..


මේක කාර්යාලයෙන් තම තමන්ගෙ පවුල් සමඟ යන චාරිකාවක් නිසා මට නම් හරි සතුටුයි..මොකද කාර්යාලයේ අයගේ පවුල් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න එන එක අවස්ථාවක් මේක වීම..ඒ හින්දා දවසම බස් එකේ උනත් කමක් නෑ වගේ හැඟීමක් තමයි මට නම් තිබුනෙ. උදේ පාන්දර 4 ට විතර පටන් ගත්ත චාරිකාව...

නුවර පහු කලා අතරමඟින් ගන්න ඕනි සේරමත් එකතු කර ගෙන...


මහි‍යංගනයට  ගිහින් එතන බොහොම නිවී හැනහිල්ලේ වැඳ පුදා ගෙන..







දවල් කෑම කන්න ළඟ තිබුනු බෙලිගල්ල පන්සලට ගියා..එතන තිබුනු සඳකඩ පහනක් මෙන්න..



මහ ඔය උණුවතුර ලිං..සමහර ලිං වල නම් නාන්න පුළුවන් තරමේ රස්නයක් තිබුනත්..මේවයෙ රස්නයට තේ හදන්නත් පුළුවන්..බස් එකේදි හැමෝම විහිළු කලේ මම ෆොටෝ ගත්තෙ නාන අයගෙ කියලයි..අනේ මම එහෙම කලේ නෑ..



අරන්තලාව භික්ෂු ඝාතනය වෙච්ච තැන..එතන දැයට කිරුලත් එක්ක ළඟම තිබ්බ ඉඩමත් අරගෙන..අර ඝාතනයට ලක් වෙච්ච භික්ෂූන් හිටි සැබෑ බස් රථයම ගෙනත් ඒ සිද්ධිය අඹලා තිබ්බා හද සසල වෙන විදියට..අමතක වෙන්න නොදී රැක ගන්න ඕනි අතීතයක් ඒක..









ඊළඟට බුද්ධංගල..ඓතිහාසික පුරා විද්‍යාත්මක බිමක් උනාට අළුතින් හදපු දේවල් නිසා..අනේ මන්දා..









පහු වෙනිදා උදෙන්ම ඕළුවිල් අපේ නවාතැනේ ඉඳන් මීට 100ක් විතර එහායින් තිබ්බ වෙරළට අපි දුව ගෙන ගියේ..නැගෙනහිරින් හිරු පායන හැටි බලන්න..නපුරු වළාකුල් ඒකට ඉඩ දුන්නෙ නැතත්..අපි දකින්න තිබුනු අසිරිය නම් විඳ ගත්තා අපූරුවට..





දීඝවාපිය පුද බිමත් වැඳ පුදා ගත්ත අපි..




ඊළඟට ගියේ මුහුදු මහා විහාරයට..එතැනදී හාමුදුරුවන්ගෙන එහි විස්තර ඇතුලත් බණක්ද ශ්‍රවණය කරලා..







 ගියා ආරුගම් බේ වලට.. එතැනදී නම් නාන්න ඕනි අය මුහුදෙ පැනලා නෑවා හිතේ හැටියට..මගේ නම් මේ අවුරුද්දෙ නාන කෝටා එක ඉවර වෙලා හින්දා..දුකින් උනත් නොනාම හිටියා..

අපේ සඳරූ මලයත් කෝල් එකක්ම දීලා විස්තර ඇහුවා මේ හරියෙදි..ඒත් ඉතින් පුද්ගලික චාරිකාවක් නොවන නිසා හමු වෙන්න වෙලාවක් නම් තිබ්බෙ නෑ..ඒත් ඒ වෙලාවෙ අපේ දුක සැප කොහොමද කියලා අහලා හොයලා බලපු එකත් අපූරුයි නේ ඉතින්..

අපේ චන්දන ලියනාරච්චි මලයත් අම්පාර ටවුමෙම ඉන්නවයි කී නිසා හතර අතේ අත වන වනා ගියා..දුටුවද නම් දන්නෙ නෑ..





 එතනින් මඟුල් මහා විහාරයටත් ගිහින්








අතර මඟදී රැඟුම් පාපු මේ අයවත් බලා ගෙන මධ්‍යම රාත්‍රී 12 විතර වෙන කොට කොළඹට සැපත් උනා





 















අන්තිමේදී මුලින් දවස් හතරක්වත් යයි කියලා හිතපු චාරිකාව දවස් දෙකකින් ඉවර කර ගන්න ලැබුනා..බලන්න සැලසුම් කරලා තිබුනු තැනුත් බොහොම නිවී හැනහිල්ලේ බලා ගත්තත් එක්ක..