ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, March 31, 2014

අභියෝගය - The Challenge

http://www.patheos.com/blogs/exploringourmatrix/2012/02/both-biblical-and-weak-in-faith.html

"ඕක ඔච්චර දෙයක් නෑ..පෝස්ට් එකක් ලියන්න අදහසක් එන්න තත්පර කීපයක් ඇති හොඳටම"

බොහොම වැර වෑයමෙන් තද කරගෙන ගෙන හිටිය අදහස් ටික, එහෙම නැත්නම් බොහෝ වෙලාවලට නොකියන ඇත්ත, මගේ කටෙන් එළියට පැන්නෙ මටත් නොදැනීමයි..

තත්පර කීපයක නිහඬතාවයක්..

හැමෝම මගේ දිහා විමසිල්ලෙන් බලන් සිටීමත්..

එතෙක් වෙලා බ්ලොග් පෝස්ට් එකක් හරි මොනා හරි ලිඛිත නිර්මාණයක් හරි කරන්න තියෙන අමාරුව ගැන අනිත් හැමෝගෙම අවධානය පැහැර ගනිමින් හර බර දේශනාවක් පවත්වපු කපිලගෙ මුව පොඩියක් ඇරිලා..අතට ගත්ත මත්පැන් වීදුරුව එතනම ගල් වෙලා..අනිත් අතේ බයිට් එකට ගත්ත බැදපු ඌරු මස් කෑල්ල තොල ළඟ වෙව්ලනවා....

චිහ් මගෙත් පාලනයක් නැති කට..පොඩ්ඩක් කට ගා ගත්තහම හිතන්නෙ බලන්නෙ නැතුව කියෝනවනෙ..හිත නොනවත්වාම දොස් තියන්නෙ මට

"දඩස්"

ඒ කපිල වීදුරුව මේසෙ උඩින් තියපු සද්දෙ..

"උඹලා මොන ලේඛකයොද බන් ? මේ ඊයෙ පෙරේදා සයිබර් අවකාශෙට ඇවිත් මොනව හරි කුරුටු ගාලා..කමෙන්ට් දහයක් පහලොවක් එන කොට හිට්ස් විසි තිස් දාහක් ගත්තහම උඹලා හිතන්නෙ උඹලා තමයි ලේඛකයො කියලා"

"නෑ කපිල මම කිව්වෙ ඒක නෙවෙයි.."

"ඒක නෙවෙයි මොකද්ද උඹ කිව්වෙ විනාඩි දෙක තුනකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ පුලුවන් කියලනෙ..හරි හිටහන්"

වැනෙමින් පුටුවෙන් නැගිට්ට කපිල අපි බොමින් හිටිය මේසය අසල වූ කුඩා බැම්ම මත අප ගොඩ ගසා තිබූ බෑග් එක වෙත යමින් පැවසුවා..
කීප දෙනෙක්ම මා දෙස බලමින් ඔළුවේ අත හසා ගත්තා..

කපිල යනු කාලයකට පෙර සයිබර් අවකාශයේ සිංහලෙන් ලිවීම ආරම්භ වූ කාලයේ පටන්ම බ්ලොග් කීපයක්ම ලිව්ව් අයෙක් වීමත් ඔහුගේ සැබවින්ම හොඳ ලිපි කීපයක්ම ලියවී තිබීමත් නිසා සැවොම ඔහුට අවකාශයේ මූලික අයකු ලෙස යම් ගෞරවයක් දැක්වූවා..පසුව ඔහුගේ එම ප්‍රතිරූපය ඔහුම බිඳ දමා ගත්තේ අන් මතවාද ඉවසීමේ සීමාව පටු කර ගැනීම නිසාය..ඒ වගේමයි බිව්වහම කවුරුවත් මිනිහා එක්ක වැඩි වාදයකට යන්නෙත් නෑ මොකද සමහර කරුණු හරිම නිර්දය ලෙස විවේචනය කරන්න ඔහු පෙළඹෙන නිසා..බොහොමයක්ම ළඟින් ආශ්‍රය කරපු අය දැනන් හිටියා කපිලගෙ පෞද්ගලික ජීවිතයේ තිබූ යම් යම් ප්‍රශ්ණ..ඒ නිසාම වෙන්න ඇති ඔහුගේ කාලෙකට පෙර තිබූ චින්තනයේ යම් යම් අර්බුදකාරී තත්වයක් මතුවන්නට ඇත්තෙත්..එම පුද්ගලික කරුණු මොනවාද යන්න දැන ගැනීමේ කුහුලක් අපිට නොතිබුනත් ඒ පිළිබඳව යම් සානුකම්පිත මත ඉවසා දරා ගැනීමට අප සියල්ල අතරේ නිහඬ එකඟතාවයක්ද තිබුනා..

ඔහු නැවත අප බොමින් සිටි මේසයට පැමිණියේ තමන්ගෙ නෝට් බුක් පරිගනකයක් අතැතිවයි...වැනෙමින්...ඔහු ඒ වනවිටත් තමන්ගෙ වෙරි සීමාවේ මැද භාගයට පැමිණ ඇති බව හොඳටම පෙන්නුම් කලා..

අප සැවොම සිතුවේ ඔහු විසින් බොහෝ කාලයක් ගෙන ලියන ලද අති සාර්ථක ලිපියක් අපට පෙන්වීමට ඔහු තැත් කරාවි යන්නයි..
නමුත්..

"විනාඩි දෙකක් නෙවෙයි උඹට විනාඩි දහයක් දෙන්නම්...දැන්...ඔව් මේ දැන් බ්ලොග් පෝස්ට් එකක් ලියලා පෙන්නපන්.."

ඔහු ක්‍රියාත්මක කරන ලද පරිගනකය මා වෙතට පාමින් උපහාසය සහිත සිනාවක් මුව රඳවා ගෙන සිටියා..අනිත් අතේ බඳින ලද හෝරා යන්ත්‍රය දෙස ඔහු බමන මති දෙඇස් යොමු කරන්නටද පටන් ගත්තා..

"අන්න එතකොට මම පිලිගන්නම්..උඹ කියන කතාව ඇත්තක් කියලා..විනාඩි දහයයි..ගන්නවද චැලෙන්ජ් එක ?"

අනේ අම්මපා මමත් දා ගන්න ලෙඩවල්..යන මා පිළිබඳවම හට ගන්නා නුරුස්නා හැඟීමක් සමඟම මා සිත අතීතය වෙත පියඹා ගියා..

"දික් කරපන් අත"

කීස්.....කීස්...හඬින් අඩි රූල් පහරවල් කීපයක් දකුණු අතේ අල්ල හරහා ඇදී යන්නට වූයේ අත්ලම පුපුරු ගස්සවමින්..

"අනිත් අතත් දික් කරපන්..මුන්ට ජීවිතේටම මතක හිටින්න පාඩමක් උගන්වන්න ඕනි..රචනාවක් ලියන් එන්ඩ කිව්වහම බෑ..වෙන නැටිලි නම් පුළුවන් ඕනි තරම්"

අනිත් අත්ල හරහාත් කීස් යන හඬින් ඇදී ගිය අඩි රූල් පාරවල් කීපය සමඟ වේදනාව තව තවත් වැඩි උනා..පන්තිය පසු පසින් ඇසෙන්නට වූයේ සිනා හඬක්..

"හරවපන් අතේ අනිත් පැත්ත"

මා බිය දෙගුන තෙගුන කරමින්..ගුරුවරයා ගුගුලන්නට පටන් ගත්තා..
අත්ලට වදින අඩි රූල් පහරවල් මෙන් නොව දස ගුණයක් තරමේ වේදනා දෙන දඬුවමක් වූ පිට අත්ලට වදින පහර වල් වලට කුඩා අප බොහෝ බිය උනා..

මන්ද යත් එම පහරවල් වේදනාව මුළු ශරීරයම හිරි වට්ටන්නට සමත් වූ බැවින්..පුපුරු ගසන දෙ අත්ලම පිටු පසට ගෙන ආරක්ෂා වන්නට දැරූ තැත ව්‍යවර්ථ වූයේ..ගුරුවරයා තවත් කුපිත කරවමින්..උරිස්සට මදක් පහලින් අල්ලා ගස්සා පසුපසට කර තිබූ එක් අතක් වේගයෙන් ඇද ගෙන අසල වූ ඩෙස්කය මත බලෙන්ම තබා...අඩි රූල් පාරවල් කීපයක්ම එල්ල කලේ මගේ මුළු ගතම හිරි වට්ටමින්..කඳුළු හෙලන්නට තබා වේදනාවෙන් මුර ගාන්නටවත් ඉසුබුවක් නොතබා අනිත් අතටත් එම ප්‍රතිකාරයම දුන් ඔහු..පන්තිය ඉදිරියට මා ඇද ගෙනගොස් බලෙන්ම දන ගැස්වීය..දෙ අත තුලින් ගිණි ගන්නා වේදනාව මුළු ශරීරය පුරාම ඇවිලී යයි..මගේ මුළු ඇඟම ගැහෙන්නට වූයේ වේදනාව සහ ලැජ්ජාව නිසාය..
පන්තියේ පන්ති භාර ගුරුවරයා මෙන්ම සිංහල ගුරුවරයා වූ ඔහු දේශපාලනික වශයෙන් අප පවුල සමඟ තිබූ කෝන්තරයක් නිසා කුඩා අපගෙන් බොහෝ පලි ගත් බව වැටහෙන්නේ දැනුම් තේරුම් තියෙන මේ අවදියේ වූවත්..ඒ වනවිට එවන් අවබෝධයක් නොවීය..

"මුළු පංතියටම මේක පාඩමක්..ගෙදර වැඩක් දුන්නහම ඒක කර ගෙන එන්න ඕනි කියන විදියට..නැති උන් සේරටම මේ දඬුවම තමයි"

ඊට පෙර දින පන්තියේ අවසන් කාල පරිච්ඡෙදයේ අප හට ලබා දුන් රචනාව වූයේ මා මුව පොව්වෙක් නම් යන රචනාවයි..සාමාන්‍යෙන් මා පාසලේදී ලබා දෙන ගෙදර වැඩ කිරීමට පුරුදු වී සිටියේ දහවල් විවේක කාලයේදීය..එයට කාරනා කීපයක්ම තිබිනි.. එකක් නම් පන්තියේ බහුතරයක් විවේක කාලය තුල කෑමට මොනවා හරි රැගෙන විත් හෝ පාසැලේ කැන්ටිමෙන් ලබා ගෙන කන කාලය මඟ හැරීමට හැකි වීමය.. තාත්තා අකාලයේ මියදුනාට පසු ලෙලි වලක රැකියාව කරන අම්මාට අප පවුලේ පස් දෙනකුගේ බඩ වියත රැක ගැනීමේ යුද්ධය අතරතුර අප හට අමතර පහසුකම් ලබා දීමට නොහැකි වූවාය.එම කාල සීමාව තවත් දුෂ්කර එකක් වූයේ සැම දිනකම වලේ රැකියාවද නොමැති වීමය..අප පස් දෙනා එම දවස් ගත කරන්නේ දිනයටම එක් වේලක් වූ බත් සහ පොල් සම්බෝලයක් මඟිනි..පාසැල හැරී ගෙදර දුව යන්නේ එය භුක්ති විඳ..අම්මාට ලෙලි තැලීමට උදව් කිරීමටය..සවස් කාලය පාසැලේ වැඩ කිරීමට නොහැකි වන්නේ එබැවිනි. ඊයේ නම් ගෙදර තිබූ එකම කුප්පි ලාම්පුවේ තෙල් අවසන් වීම නිසා ගණන් ටික හැදූ පසු රචනාව ලිවීමට කාලයක් ඉතුරු නොවීය..මෙම කතාව කටක් ඇර..පන්තිය ඉදිරියේ කියන්නේ කෙසේද ? පෙර දිනයක දඬුවම් ලැබීමට ඔන්න මෙන්න තිබූ මොහොතක එවන් යමක් පැවසූ විට මෙම ගුරුවරයාම සෝපාහාසයෙන් පැවසූයේ,

"ඇයි උඹලයේ මහ එකා පස්සෙන් ගිය මැම්බර් කාරයා උදව් කලේ නැද්ද?"

යන්නයි..

ගුරුවරයා තම පාඩම පටන් ගති..

වේදනාව යාන්තමින් පහව යද්දී..මා හට ඉබේම අතැඟිලි දෙස බැලිනි.. පිට අත්ල පිපිරී ලෙලි ගැසී ඇත..සමහර තැන් වල කුඩු හමද ගොස් ඇති නිසා ලේ නොගලයි..වේදනාව තවත් වැඩි වන්නට වීය..බඩ ගැස්සෙමින් හිස් කරකැවෙන්නට වීය..මා නැගී සිටියෙමි...

"කොහෙද යන්නෙ තෝ"

මා වේදනා බර එක අතකින් මුව වසා ගතිමි..ඇඟම දුන්නක් මෙන් ඇකිලී ගැස්සෙන්නට වීය..

"දුවපිය එලියට පන්තියෙ වමනේ දැම්මොත් පට්ට ගහනවා"

පන්තිය අසලවූ කොස් ගසට අත තබා මුළු ශරීරයම හකුලවමින් ආමාශයෙන් එන තිත්ත රස කෙල සමඟ කාරා ගසමින් සිටිද්දී..

"ලියන්නා පුතා මොකද ?"

ඒ කටහඬ නාලිනී ගුරුතුමියගේය..පාසැලෙන්ම මා හට ඉතා ආදරය කල ඈ..බොහෝ විට මා හට පොත් පත් පවා ලබා දීමෙන් උදව් කලාය..ඈ නොවන්නට මා පාසැලට ඒම මහත් වදයක් ලෙස සලකන්නට වුයෙමි..

"මොකද ලමයො වමනෙට එනවද ? මොනවද කෑවෙ උදේට ?ජරාවක් කන්න ඇති මොනා හරි.."

කොස් ගස පාමුල වූ පිත සහිත කහ පැහැ දියරය දෙස බලා සිටි ඈ..

"එන්න පුතා"

පවසමින් මා ගුරු කාමරය වෙත රැගෙන ගොස් ඈගේ බෑගයේ වූ ජෑම් ගෑ පාන් පෙත්තක් සහ තේ උගුරක් පොවා මා නැවතත් පන්ති කාමරයට ඇරලවූවාය..පසු කලෙක සිසුන්ට දඬුවම් කිරීමට විරුද්ධව බොහෝ රැස්වීම් වල කතා කල ගුරුවරියන්ගෙන් එක් අයකු වූ ඈ..නොබෝ කලකින්ම පාසැලින් වෙනත් පාසැලකට මාරු වීමක් ලද්දී..මාවද හැකි ඉක්මනින් එම පාසැල වෙත මාරු කර ගැනීමටද උත්සුක වූවාය..

අධ්‍යාපනයෙන් ජීවිතය ගොඩ දමා ගත හැකිය යන්න කුඩා කල සිටම මසිත රෝපණය කිරීමට සමත් වූ ගුරු දෙවියන්ගෙන් එක් අයකු වූ ඈ මා දිවිය තුල සදානුස්මරණීය වන්නේය..

වර්තමානය මෙන් දරුවන් සහ දෙමව්පියන් ගුරුවරුන් අභිබවා නොයන කාලයක් තුල මොන තරම් අමානුෂික දඬුවමක් දුන්නද එය විඳ දරා ගෙන පාසැල් ගොස් ඉගෙනුම් කටයුතු කිරීමේ අභිලෂය පෙරටු කොට ගත් කාලයක් වීය. එය හරි යැයි පැවසීමට හෝ සාධාරණීකරනය කිරීමට මට කෙසේවත් අවශ්‍යතාවයක් නොවීය. එය එසේ සිදු වීය..අසරණ කමේ අන්තයට ගොස් සිටි අප දෙමව්පියන් සැමවිටම පවසන්නට පුරුදු වී සිටියේ...

"උඹ මොනා හරි මගෝඩි වැඩක් කරන්න ඇති. ඒකනෙ ඔහොම තැලුම් කෑවෙ..ගුරුවරු කියන්නෙ දෙවිවරු හෙටම ගිහින් වැඳලා සමාව ගනින්"


යන්නයි.


දැඩි පාලනයක් යටතේ වූවද, එවන් සිද්ධීන් තුලින් අප ජීවිතයට ලබා ගත් පාඩම් බොහෝය..සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි අද පවා..එවන් වූ සිද්ධීන් වල ව්හරිත වලට වෛරී සිතුවිලි හට නොගන්නේ එබැවිනි..
නව පාසැලේ එවන් සැර පරුෂ ගුරුවරු සහ ගුරුවරියන් නොසිටියත්, එදිනෙදා දෙන වැඩ එදිනෙදාම නොපිරිහෙලා ඉටු කිරීම තුලින් පසුව මා ලබා ගත් ජයග්‍රහන නම් නිමක් නොවීය..


"මොකද කියන්නෙ දැනටමත් තත්පර දහයක් ගිහින්.. තව විනාඩි නවයයි තත්පර පනහක් තියෙනවා..චැලෙන්ජ් එක භාර ගන්නවද ?"


 කපිල වැන්නවුන්ගේ හන මිටි, උද්ධච්ච මත වාදයන් පරාදය කිරීම කෙදිනක හෝ කිසිවෙකු හෝ අතින් සිදුවිය යුතුය..නමුත් එම දිනය සහ වෙලාව මේ මොහොත නොවේ..පුද්ගලයාද මා නොවේ..
මම මද සිනහවක් මුවගට නගා ගතිමි.


"ඔන්න ඔය ලැපා තියහන් කපිල පැත්තකින්. ඔය කියන විදියට විනාඩි දහයෙන් බ්ලොග් පෝස්ට් ලියන්න පුළුවන් නම් ඉතින් ඕනිම කෙනෙක් ලියයිනෙ දවසට විස්ස තිහ..උඹ දිනුම් චැලෙන්ජ් එකෙන්"


මා මුලින් කිවූ දෙය සහ කපිල තේරුම් ගත් දෙය අතර වූ පරස්පරය නොවිසඳාම මම කපිලට ජයග්‍රහනය දී නිහඬ වී සාදයේ අරමුණ වෙත ගත සිත යොමු කරන්නට වීමි.




Thursday, March 27, 2014

ඊඩී වලට ෆිල් ටැබ්ලට්ස් ?


මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ කියලා ඩිස්ක්ලේම් එක දාලා අර කතාව ලිව්වොත් ලෝකයා ඒක පිළිගණීද ?

භෛසජ්‍යාගාරය...මොකද්ද යකඩෝ ඒ කියලා අහන අයට කියන්න කියන තියෙන්නෙ ඔය ෆාමසියට කියන සිංහල නම තමයි කියලයි.ඔසුසල කිව්වා නම් ඉවරයිනෙ බොල මහප්‍රාණ නැතුව මෙතන කියන අයට කියන්න තියෙන්නෙ හිකිස් කියලා තමයි..

ඔය ඔසු සල් නැත්නම් ෆාමසි වලින් මට හෙණ අපලයි අප්පා..අර කැම්පස් අවුට් උණ ගමන්ම රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගිහින් ෆාමසියෙ කොල්ලට වෙච්ච වැරැද්දට මට උණු සංගෙදිය දුටුවනෙ..ඕන් ඔය වගේ එව්වමයි මට ෆාමසි වලදි වෙන්නෙ. ඉංතේරුවෙන්ම පහු ගිය ආත්මෙක හරි ආත්ම ගණනාවක හරි ෆාමසි කාරයින්ට මම ලොකු අරියාදුවක් කරල තියෙන හැඩයි. ඔයක තමයි මට මේ ආත්මෙ පල දෙන්නෙ..

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

ඔය හතළිහ පැන්නහම එක එක අංශ වලින් දාන වැඩ එහෙම විසි ගණන් වල ආකාරෙටම දාන්ඩ බෑ බෑ වෙනවා කියලා ගොඩක් අය දන්නවනෙ..ඉතින් ඔව්වට කට්ටිය පෙනෙල, දූරියන්..වගේ වගේ එව්වා කනවා බොනවා..ඒවා ඉතින් පත්තියම් වෙලා මෙව්වා මෙව්ව වෙන්ඩ ටික කාලයක් යනවා කියලා ඕනි කෙනෙකුට තේරෙණවනෙ ඉතින්..
මේ කතාවට අදාළ කතා නායකයා..අපි කියමු ලේසියට සරත් කියලා.. නෑ නෑ ලංකා නෙවෙයි..උඹලට නමක් කියන්ඩ බෑ කාව හරි ඈදා ගන්නවාම තමයි..මම මේකට ප්‍රියන්ත කියලා නම දාන්ඩත් හදලා උඹලා මාතලන්ව අල්ලා ගන්න නිසයි එහෙම නොකළේ...

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

ඉතින් ඔන්න සරත් 40 පැන්න හම ටිකක් තේරිලා එහෙමයි මෙහමයි කියලා..ඕකට අර කිව්ව ජාති කාලා බීලා..ඒත් ඒවයින් ක්ෂණික විසඳුම් නො එන හින්දම..අවශ්‍ය වෙලාවලට ක්ෂණිකව ප්‍රතිඵල දෙන ටැබ්ලට් එකක් ගන්න පුරුදු වෙලා...හැමදාම නෙවෙයි බොලව්නෙ..ඒ විසි ගණන් වල..කෙරුවාවල් කොහෙද 40න් පස්සෙ..සතියකට දෙකක් නැත්නම් තුනක් විතර කියමුකො..ඔයකෙ නම හිස්තැනක් ෆිල් කියමුකො..මීට පස්සෙ ෆිල් කියන්නෙ ඔන්න ටැබ්ලට් එකට තමයි..

දවසක ඔයවා ඉවර වෙලා..එදා රෑ ට නම් නිකන් පුළුවන් පුළුවන් සයිස් එකකුත් තියන එකේ..ඕන් ඔහෙ ෆාමසියෙන් තව ටැබ්ලට් කාඩ් එකක් අරගෙන යනවා කියලා හිතලා..මොකද වැඩි වෙන්නෙ නෑ..ඒ සතියෙම සෙනසුරාද තියෙන ඡන්දෙ හින්දා ඔෆිස් වලත් නිවාඩුනෙ..සති අන්තෙම නිවී හැනහිල්ලෙ ඉන්නත් වෙන එකේ ආයි මොනාද...

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

කොහොම කොහොම කිව්වත් සරත් ටිකක් ලැජ්ජා කාරයා..ඔව් ලංකාවෙ බහුතරයක් වගේම තමයි සරතුත්..අර කොපුවක් ඉල්ලනෙත් ෆාමසි ගණනාවක් බලලා බලලා..පිරිමි පරාණයක් විතරක් කවුන්ටරේ ඉන්න..වැඩිය සෙනඟ ඉන්නෙ නැති ෆාමසියක් හොයලම තමයිලු..


ඉතින් එහෙව් ෆාමසියක් හොයා ගෙන හොයා ගෙන ගියත් ගොඩක් ෆාමසි වල හොඳටම සෙනඟ පිරිලලු..ගොඩක් කවුන්ටර වල ඉන්නෙත් ගෑනු ළමයිලු..

හොඳ වෙලාවට නගරයේ තිබ්බ තරමක් ලොකු ප්‍රසිද්ධ ෆාමසියෙ සෙනඟ වැඩිය නැති නිසාත්...කවුන්ටරෙ ඉන්නෙ කොල්ලො සෙට් එකක් නිසාත් සරත් ගියාලු මෙතනට..පොඩ්ඩක් හිටපු කට්ටිය යනකන් ඉඳලා සරත් ඇහුවලු එතන හිටි කොල්ලෙක්ගෙන්

"මල්ලි ෆිල් ටැබ්ලට්ස් එක තියෙනවද ?"

මොකද ඒ ජාතිය නැතිනම් වෙන ජාතියක් හරි ගන්න පුළුවන් නිසා..

"මොකද්ද සර් ඇහුවෙ?"

අර කොල්ලා ටිකක් හයියෙන් ඇහුවලු..

ඔය එක්කම එක පාරටම 10ක් 15ක් විතර බෙහෙත් ගන්නත් ඇවිත්..සරත්ට හීන් දාඩිය දා ගෙන එනවලු..ආයිමත් කොල්ලගෙ කනට කරලා

"ෆිල් ටැබ්ලට්"

"පොඩ්ඩක් ඉන්න මහත්තයා..

දැන් කොල්ලා ටිකක් එහා පැත්තෙ තිබ්බ බෙහෙත් පෙති අහුරලා තියෙන අල්මාරියක් ළඟ දන ගහ ගෙන එක එක ජාතියෙ පෙට්ටි අතට අර ගෙන තියනවලු..සරත් ළඟ හිටපු අනිත් කෙනාගෙ ටැබ්ලට්ස් ටික දීපු අනිත් කොල්ලා 

සර්ට මොනාද බැලුවෙ?"

කියලා සරත්ගෙන් අහලා..

"අර මල්ලි බලනවා"

කියලා සරත් පොඩ්ඩක් එහාට වෙලා..

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...


කවුන්ටරේ සෙනඟ පොදි කකා බෙහෙත් ගන්නවලු දැන්..සරත් දැන් බොහොම චකිතෙන් ඉඳලා තියෙන්නෙ මේ කොල්ලා බෙහෙත් පෙති ටික නිකම්ම කවරෙකවත් නොදා අරන් එයිද අනිත් අයට පේන්නත් එක්කම කියලා හිත හිතා ඉන්න කොට..

"හේෂාන් මොනාද බන් ඔතන දන ගහ ගෙන හොයන්නෙ? අපිට යන්නත් ඉඩ නෑනෙ.."

කියලා තව ෆාමසියෙ එකෙක් අපේ සරතගෙ බෙහෙත් හොයන එකාට දෝස්මුරයක් දාලා..

"නෑ බන් මේ ෆිල් කියලා ටැබ්ලට් එකක් හොයන්නෙ"

"ෆිල් කාටද ?


"දන ගහ ගෙන හිටපු කොල්ලා නැගිටලා සරත් දිහාවට අත දික් කරලා

"ආන් අර මහත්තයට"

කියලා මහ හයියෙන් කිව්වලු..

මුන් දෙන්නගෙ කතාවම ඇහිච්ච බෙහෙත් ගන්න ආපු අය සරත් දිහා බලන්න ගත්තෙ මහ අමුතු සතෙක් දිහා බලනවා වගේ..

වායු සමීකරණයෙන් එන හීතල පරදලා සරත්ගෙ ඇඟ දිගේම දහඩිය ගඟක් ගලන්න පට න් ගන්නෙ හරියටම මේ වෙලාවෙමයි

"මහත්තයා ෆිල් ටැබ්ලට්ස් වලට ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් තියෙනවද අපිට හරියටම නම බලා ගන්න?"

"ඔය ගොල්ලො ළඟ නැති හැඩයි..මම යන්නම්.." 

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

තවත් ගැලවෙන්න රෙදි නැති හින්දම..

කියලා තොල් මතුරපු සරත් යන්න හැරෙන කොටම....මූට නම් කොහෙදි හරි අනිනවා හොම්බට කියලා මුල්ම ඕඩරේ දීපු කොල්ලා දිහා බලන කොටලු දැක්කෙ..මෙතන පොදි කකා ඉන්න සෙනඟගේ මූණෙ තිබ්බ හිනාව...

ඒ විගසම එතනට ආපු ෆාමසියෙ ලොක්කි වගේ හිටපු උස මහත ලේඩි කෙනෙක්..


"මොනවද ඒ මහත්තය ඕනි කරන ටැබ්ලට්ස් ? ඇයි ඒවා අපි ළඟ නැත්තෙ? බලන්න ස්ටොක් එකේ අපි ළඟ නැති වෙන්න බෑ..මොනවද හේෂාන් ටැබ්ලට් එක?"

කියලා අර කොල්ලගෙන අහපි..

"ෆිල් කියලා ටැබ්ලට් එකක්.."

"ස්ස්ස්ස් කෑගහන්න එපා ළමයො ඒක ඊඩී වලට දෙන ටැබ්ලට් එකක් ඉන්න මම ස්ටොක් එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කියන්න මහත්තයට.."

"මේ සර් මහත්තයා..ඒක ඊඩී වලට දෙන ටැබ්ලට් එකක්ලු නේද ? ඉන්ඩ සර් මැඩම් ස්ටොක් එකෙන් ගෙනත් දෙන්නම් කිව්වා. තව විනාඩියක් ඉන්න සර්"

අර හේෂාන් කියන එකාගෙ කට හඬ සරත්ට ඇහුණෙ ෆාමසියේ පඩි පලේ බහින්න ඔන්න මෙන්න තියා..

ඊ ළඟට ඇහුණෙ හේශාන්ගෙ කටහඬ

"මොනාද මචන් ඊඩී කියන්නෙ"?


මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ... 

කියලා හත් සැරයක්ම කිව්වහමවත් පිළි ගනිල්ලාකො බන්...

කළකම් ගෙවෙන්නෙ පළදීමෙන්මයි කියනවනෙ ඒ කරුමෙත් ගෙව්නා කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මුකුත්ම සරත්ට ඉතුරු වෙලා තිබ්බෙ නැහැල්ලු

පව් නේහ් ! 

Tuesday, March 25, 2014

පිටරටින් එන බඩු ???



"මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැමරාවක් ගෙනත් මේ ගානට දෙන්න ලෑස්තියි වටිනවද අංකල් ?"

අසල්වැසි පුතෙක් දුවගෙන ඇවිත් මගේ ඇහුවෙ ඊයෙ හැන්දෑවෙ..

මටත් තියෙන්නෙ ගැජට් පිස්සුවෙ හොඳම එක හින්දද කොහෙද, අසල්වාසියෙක් හරි, ඔෆිස් එකේ කෙනෙක් හරි, යාළු මිත්තරයෙක් වගේ ම නෑදෑයෙක් හරි මොනවා ජරි ඉලෙක්ට්‍රික් හරි ඉලෙක්ට්‍රොනික් හරි ගැජට් එකක් ගන්නවා නම් බොහෝ වෙලාවලට මගෙන් අහනවා මෙහෙම එකක් තියේ වටිනවද දන්නෙ නෑ නේද කියලා..මමත් පාවිච්චි කරලා තියෙන දෙයක් නම් ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ බඩු ගැන තියෙන හොඳ , නරක ගැන මටත් පොඩි තක්සේරුවක් තියෙනවා..ඒකෙන් මට උදව් කරන්න පුළුවන්..ඒ වගේ මයි මාත් කරන්නෙ මොනා හරි ගැජට් එකක් හම්බ උණහම ඒක වැඩ කරන්නෙ කොහොමද, අවුලක් උණොත් හදා ගන්නෙ කොහොමද කියලා තියෙන පොත් පිංචෙ ඉඳන් අන්තර්ජාලයේ තියෙන විස්තර ඉඩ තියෙන වෙලාවට කියෝලා දානවා.

 ඒ නිසාමද කොහෙද මම මොනා හරි දෙයක් ගැන කියන්ඩ ගියහම අහන කෙනා හරි කෙනී හරි අධිතක්සේරුවක් ගන්නවද මන්දා මම ඒවා ගැන එක්ස්පර්ට් කියලා...අනේ නෑ..මම පොඩ්ඩක් කියවලා තියෙනවා විතරයි..

හැබැයි පුළුවන් තරමෙ හොඳ උපදෙසක් නම් දෙනවා ..

එක සැරයක් මරු වැඩක් උණා. ඔය එල්සීඩී මොනිටර් සහ ටීවී ආපුම කාලෙ..අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් මම ළඟට දුවන් ආවා.

"මල්ලි අර පස්ස නැති මොනිටරයක් අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් රට ඉඳන් එනකොට ගෙනත්, ඒක 20,000 කට දෙන්න හදනවා ගන්නද ?"

පස්ස නැති මොනිටරේ කිව්වෙ අර සීආර්ටී මොනිටරේ වගේ පිටිපස්ස දිගට නැති එකට..ඔය කාලෙ ඔව්වා හරි ගණන්..අපේ ඔෆිස් එකෙත් අයිටී එකේ එකක් නැත්නම් දෙකක් තිබුණා..20,000 කට දෙනවා නම් හොඳයි වගේ අඟල් කීයද අහන්න.

ටික වෙලාවකින් අක්කා කීවා අඟල් 17 කියලා..

මාත් කිව්වා එහෙනම් වටිනවා වගේ පේනවා. අපේ අයිටී එකෙනුත් අහලා බලලම ගන්න..

"අනේ ඒ ගොල්ලන්ගෙ ගණන් බලන්න බෑ මල්ලි"

මමත් පොඩ්ඩක් අන්තර්ජාලෙ ගණන් මිනුම් බලලා අක්කට ඒ ගැන වාර්තාවකුත් දුන්නා. අක්කා ඒ ගානට ඒක අරගත්තා..කාලයක් පාවිච්චි කළා..දවසක්,

"මල්ලි අර මොනිටරේ එන්න එන්නම කලු වෙනවනෙ..තැනින් තැන කලු  ඉරි"

කියල කියපි..

"අක්කෙ දූවිලි වෙන්න ඇති..හොඳට පිහදාන්න"

ප්‍රශ්නෙ තේරුම් නොගත්ත මම එහෙම කිව්වා

"ඕඩිකොලොන් දාලා පිහ දැම්මා මල්ලි ඒත් හරි යන්නෙ නෑ..අර දීපු මල්ලිත් රට ගියානෙ අහගන්න කෙනෙකුත් නෑ..මල්ලිට එන්න බැරිද මේ වීක් එන්ඩ් එකේ"

අක්කා පත්වෙලා හිටි අසරණ තත්වය නිසාම මමත් ගිය ඒ වීක් එන්ඩ් එකේ..

අම්මට සිරි..මොන්ටරේ තැනින් තැන..කලු කලු පැචස් ඇවිත්..හතර කොනේ සුදු වෙලා..එල්සීඩී මොනිටරයෙ ලොකු අවුලක් තියෙන බව පේනවා..

මම කිව්වා අර දීපු මල්ලිට කතා කරන්න කියලා..එයාට කතා කරත් එයා කියලා,

"ඇන්ටිලා කරන්ට් එකට ගහන කොට අවුලක් වෙන්න ඇති, අපේ එක නම් හොඳට වැඩ කරනවනෙ. දෙකම එකට ගත්තෙ. ඇන්ටිලට දුන්නෙත් හොඳම එක තමයි"

කියලා . එකෙන් පස්සෙ අල්ලපු ගෙදර අයත් මඟ අරිනවලු අක්කලා දුටුවහම..

මේක හදවමු කියලා මම අක්කලයෙ ගෙවල් හරියෙ ටීවී සහ පරිගණක මොනිටර් හදන තැන් කීපයකට අරන් ගියා..හැම තැනකම උත්තරේ..

"අනේ මහත්තයා අනික්වා නම් හදන්න දන්නවා..ඕවා මේ ළඟදිනෙ ආවෙ..පාර්ට්ස් ඇත්තෙත් නෑ..හදන්න දන්නෙත් නෑ"

සොරි ඩොට් කොම් කියහන්කො ඉතින්..

ගැරැන්ටියක් තියේ කියලයෑ..

පස්සෙ මමම ගියා යුනිටි ප්ලාසා එකේ පරිගණක කඩේකට රු. 17,000ක් ආයිමත් දීලා වීව්සොනික් මොනිටරයක් ගත්තා අවුරුදු තුනක වොරන්ටියක් එක්ක..ඒ මොනිටරේ තාමත් වැඩ..

අතීතෙ අමතක කරලා දාලා අක්කලා සහ අසල්වාසීන් ආයිමත් සමඟියෙන් ඉන්නවා. අර රු. 20,000 වතුරෙ තමයි..

පිටරට ඉඳන් අර ගෙන එන හැම බඩුවම ඔහොමයි කියන්න නම් බෑ තමයි..

ඔය අවු අස්සෙ තව කතාවක් මතක් උණා...

(හැලපෙ අයියෙ උඹව නම් අහු වෙයකො !)

අර අපේ සුප්‍රසිද්ධ බ්ලොග් කාරයා...ඔව් ඔව් කෑම බීම එහෙම හදන හැටි උණත් දම දමා හිටියෙ..මේ දවස් වල ඡන්ද උණ.. මිනිහා තමයි..එයාට මොකද උණේ..

එයාගෙත් ඔය ඔටුලන්තෙද කොහෙද ඉන්න යාළුවෙක් එහෙන් ටීවී එකක් ගනිද්දි නොමිලේ දීපු කැමරා පොජ්ජක් මෙයාට ලොකු ගාණක් කියලා පොඩි ගාණකට විකුණලා..ඕක ඔය මොකද්ද හොද්දක් හදද්දි ඒකෙ ෆොටෝ එකක් ගන්න ගිහින් හොද්දට වැටිලා..ආයි ඩස්ට් පෲෆ්, වෝටර් පෲෆ් කියලා කැමරා හැදුවට මොන ලෝකෙද හොදි පෲෆ් කැමරා කියලා ජාතියක් හදන්නෙ ආයි ?මෙයාත් මොකද කළේ ගෙනල්ලා තිබ්බ පාන් භාගයක් අරගෙන අර කැමරාවෙ දැව්ටිලා තිබ්බ හොදි එක්ක කාලා..මේ කැමරාව හරි සවුත්තුය..ෆොටෝ ගන්න බෑය..අරක ගත්තහම වදින්නෙ මේකය...කිය කියා කැමරාව ආයි රිටර්න් කොරන්න උත්සාහ කොළත් අනේ පිංවතුණි..ඔටුවොත් එක්ක ඔට්ටු උණු එකෙක්ව කොහෙ තම්බන්නද මෙයාගෙ ගොරකා වලින්...

ඉතින් මම මොකද්ද මේ කිය කියා හිටි කතාව..

ආ අර අසල්වැසි පුතාගෙ ප්‍රශ්නය...

මම කිව්වා 

"පුතා ඔයා හොඳම දේ තමයි යන්න ඔය බ්‍රෑන්ඩ් එක ගෙන්නන්නෙ මෙන්න මේ ගොල්ලො, සෝරූම් එක තියෙන්නෙ මෙතන..එතනට ගිහින් අහන්න ගාන කොහොමද, වොරන්ටිය කොහොමද වගේ දේවල්..ඔයාට ඔය මොඩල් එකම අතපත ගාලා බලන්නත් පුළුවන්..
ඊට පස්සෙ ඔය ලෝකල් වෙබ් සයිට් තියෙන්නෙ කැමරා ගැන..ආන්න ඒවයෙත් ගණන් මිනුම් ගැන බලන්නඅර ඔරිමජිනල් තැන ගාන සහ ඔයා ගෙවන්න යන ගාන අතරෙ මිල රු. 10,000 සහ 20,000 අතරෙ නම්..මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔරිජිනල් තැනින් ගන්න, මොකද ඔයා කොහොමත් ඔය ගාන ගෙවනවනෙ..අර අවුරුද්දක හරි දෙකක හරි වොරන්ටිය හරිම වැදගත්..ඒක ඒ ගානට වටිනවා "

මම දීපු උපදෙස කොහොම භාර ගත්තද දන්නෙ නෑ..ඒත් මගේ පුද්ගලික අදහස නම් දන්න අඳුරන අය රට ගිහින් එනකොට අරන් එන බඩු ගන්න එක ලොකු අවදානමක්. ගන්නෙ ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් නම් අවුලක් නෑ..ඒකට ගැරන්ටියක් ලැබෙනවනෙ...

මොනා හරි උණොත් බ්‍රෑන්ඩඩ් නම් තමයි ඉතින්..පාට්ස් දාන්න යන ගණන් ඇහුවහම..අර අපි සුළු මොහොතක අත් කර ගන්න ලාබෙ ගැන සතුටු වෙන්න නම් බෑ...

මම අන්තිමට කිව්වෙත්..ගන්න නමුත් හොඳට හොයලා බලන්න ඔය ගානටම අපේ ප්‍රසිද්ධ ආයතනයකින් ගන්න පුළුවන් නම් ඒ ඔප්ෂන් එකට යන්න කියලා..

ඔය වගේම සිද්ධියක් වෙලා මගේ ළඟම ඥාති සොයුරකුගෙ පුතෙකුට ඕනි උණා ලොකු කැමරාවක් ගන්න..එයා ෆොටෝ ගැනිල්ල ගැන මහ ලොකු උනන්දුවක් තිබ්බෙ නෑ...ඔය ට්‍රිප් යනකොට වගේ ෆොටෝ ගන්න. ඥාතියෙක් නිසා මම මෙහෙම කිව්වා..

"ඔය වගේ ඩී එස් එල් ආර් කැමරාවක් ඔයාට මොකටද ? මූලිකවම ඔයා ඔය ට්‍රිප් යන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න යන්නෙ ඔය දෙන්න හදන සල්ලි අපරාදෙ නෙවෙයිද ? හොඳ පොයින්ට් ඇන්ඩ් සූට් කැමරාවක් ගන්න"

කියලා.

පස්සෙ මට ආරංචි උණා ඒ අයියා කිව්වලු අපේ අක්කා එක්කම,

"එයාට ඉරිසියා ඇති අපේ පුතා කැමරාවක් ගන්න එකට ඒකයි එහෙම කියන්න ඇත්තෙ" 

කියලා..

ඉරිසියාව කෙසේ වෙතත් මට නම් ඇති උණේ දුකක්..ඉන් මත්තට මම කවුරු හරි මොනවා හරි ගන්න යනවා කියලා මගෙන් උපදෙස් පැතුවොත් ජීවිතේටවත් ඕක අරන් වැඩක් නෑ නේද කියලා නම් කියන්නෙ නෑ..ඒ වෙනුවට කියන්නෙ ඊට ඉහළ භාණ්ඩය ගන්න බැරිද කියන එක තමයි..ඇත්තටම අපි මොනවා හරි භාණ්ඩයක් ගන්න යනවා නම් ඒක ගන්නෙ කොයි තරම් ප්‍රසිද්ධ තැනකින්ද කියන එක සහ වොරන්ටිය හරිම වටිනවා. 

කයිය ගැහුවට එම්සී එකේ පරිගණක කඩේකින් මාව ඇන්දුවා නියමෙට. වයර්ලස් කී බෝඩ් එකයි මව්සයි රු, 11,000 විතර..අරන් මාස හයයි වැඩ නෑ..අරන් ගියා වොරන්ට් කාඩ් එකත් එක්කම..ෂොප් එක එමමයි...වැඩ කරන උනුත් එමමයි..කඩේ නම වෙනස් කොරලා..කාගෙන්ද කියහන්කො වොරන්ටි ඉල්ලන්නෙ ඉතින් ???

ඊට පස්සෙ නම් කඩේ නමත් ප්‍රසිද්ධද බලලා මිස බඩුවක් ගන්නෙ නෑ..ආයි අහන එකත් අහනවා මාස අයකින් විතර එනකොට ඔය ගොල්ලො නම වෙනස් කරලා නැති වෙයිද අර කඩේ වගේ කියලා කඩේ නමම කියලා..එතකොට උන් දන්නවා අපිත් ටිකක් තැම්බිච්ච උන් තමයි කියලා.. 


Saturday, March 22, 2014

ඒක තියෙන්නෙ ඉට්ටැයිල් එකටද ? Humanity in a crowded bus..

අපි ඉතින් බස් වල යන බස් මඟියොනෙ..ඒ හින්දා බස් කතා බස් ගොඩක් හිත ඇතුළෙ පිරෙනවා . මොකද දවසකට පැයක් දෙකක් වගේ මුළු කාලසීමාවක්ම ඉන්නෙ බස් එක ඇතුළේ වීම නිසා..

මේකත් ඒ වගේ කතාවක්..

මම ලියපු කතා වලින් ගොඩක් අයට මතක තියෙන්නෙ අර කැරපොත්තගෙ කතාව. හමු උණහම එක්කෙනෙක් හරි අහනවා අර කැරපොත්තගෙ සීන් එක ඇත්තද අනේ ? ඒ දැරිවි අයියා එක්ක තාම යාළුද කියලා.. ඒ කතාවම මගේ බොහොමයක් කතා වගේ මනසේ ඇඳුණු එකක් විතරයි. සත්‍ය සිදුවීමක් නෙවෙයි. නමුත් ඒක සත්‍ය සිදුවීමක් වගේ ලියලා ඒ විදියටම අරගෙන ගිය එපිසෝඩ් එකක් තමයි ඒක.

මේක සිද්ධිය මතක් වෙන්න මූලික වෙච්ච දේ උණේ නම් ඊයෙ බස් එකකදි තමයි..

සුපුරුදු විදියට මම හැමදාම ඔෆිස් එන්න නගින බස් හෝල්ට් එකෙන් බස් එකට නැගලා ඊළඟ හෝල්ට් දෙක ඇතුළතදි මට සීට් එකක් හම්බ උණා..ඒකෙ හරි බරි ගැහිලා මමත් ඉඳ ගෙන එනවා. බස් එකට නගින වෛවාරන්න මිනිස්සු දිහා බල බලා..විඩින් විඩේ පාරෙ තාප්ප වල අලවලා තියෙන පෝස්ටර් වල තියෙන හිනා මූණු සහ වැකි කියවා කියවා...එන අතරෙ...අර මේ සැරේ සිහින සයිබර් අවුරුදු උත්සවේ තියන්න සැලසුම් කරලා තියෙන බුද්ධදාස ක්‍රීඩාංගණය ළඟ බස් හෝල්ට් එකෙන් ගොඩක් අය බස් එකට නැග්ගා. ගෙදර තියෙන බෑග් වලින් එකක් ඉතුරු කරලා අනිත් සේරම තමන්ගෙ උරහිස් දෙකේ එල්ලා ගෙන තව ලොකු ෂොපිං කරන ආයතනයක නම ගහපු බෑග් දෙකක් අත් වලත් එල්ලගෙන ඔතනින් බස් එකට නැග්ගා නෝනලා දෙන්නෙක්.. හරියටම ඇවිත් හිට ගත්තෙ මම ගාවින්මයි. විශේෂයක් තිබ්බෙ නෑ ඒකට බස් එකම පිරිලා පොඩ්ඩක් හරි ඉඩ තිබ්බෙ එතන..එතනට මේ දෙන්නා තල්ලු වෙලා ආවා..බෑග් ටික එල්ලා ගෙන මේ දෙන්නා ලොකු ඕපෙකට ලෑස්තිය..

මගේ උකුළෙත් මගෙ ලැපා සහිත බෑගය තිබුණ නිසා මගේ සීමාව ආක්‍රමණය කරන්න කාටවත් ඉඩක් තිබුණෙ නෑ.. නැත්නම් සාමාන්‍යෙන් ගෑනු කෙනෙක් මගේ සීට් එක ළඟ හිටගෙන යනවට මම නම් හරි අකමැතියි. එක හේතුවක් තමා බස් එක ගැස්සෙන පැද්දෙන තාලේ ඒ ගොල්ලොත් වැනිලා එහෙ මෙහෙ වෙලා ඒ ගොල්ලන්ගෙ අංගෝපාංග අපේ උරිස්සෙ හප්පලා ඊට පස්සෙ අපි මහ ලොකු වැරැද්දක් කළා වගේ බෑග් එක අරගෙන ඒ බෑග් එක අපේ උරහිස්සට වදින්න තියාගන්නවා..මොන මල කරුමයක්ද අප්පා..කාගෙවත් බෑග් සමහර වෙලාවට හත් මාසෙකින් දූවිලි පිහලා දාලවත් නැති එව්වා අපේ ෂර්ට් එක ගාගන්න ඕනි අපි ..

නෑ පිරිමි උණත් මම ළඟ හිට ගෙන ඉන්නවට කැමති නෑ..සමහරු ඉන්නවා උවමනාවෙන්ම තමන්ගෙ තුන් කූට්ටම අපේ උරහිසේ තියා ගෙන යන්න හදන...

ඒත් සෙනඟ පිරිච්ච බස් එකක ඔය සිද්ධීන් දෙකම ඉවසගෙන යන්න වෙනවා..ඒක පුරුදු වෙලා දැන් නම්..

ඊයෙත් මේ නෝනලා ඩබල දැන් කතාව..බස් එකේ තාලෙට එහෙන් හැප්පෙනවා...මෙහෙන් හැප්පෙනවා..අර බෑග් එක්කම මම ඉන්න සීට් එකේ ඇන්ද අල්ලන් ඉන්නවා බෑග් දෙක තුනක් මගේ දනිස්ස උඩ..තව ටිකක් උරහිස්සෙ..සෙනඟ පිරිලා හින්දා මාත් මෛත්‍රී මෝඩ් එක තවත් පළල් කර ගෙන එනවා..

ඔහොම ගිහින් බත්තරමුල්ලෙන් මේ දෙන්නා බහින්න හදන ගමන් මට හින්ට් එකක් පාස් කරා..

"මනුස්සකමටවත් උස්ස ගෙන ඉන්න බෑග් එකක් අරගන්න පුරුදු වෙලා නැති හැටි නේද මෙයා?"

ඕක ඇහෙන කොටම මම ඔළුව උස්සලා බාපු නිසා මම දුටුවා අරෙහෙම කීව නෝනා ඔළුවෙන් මාව පෙන්වමින් තමයි කීවෙ..

මමත් ඒ ඩබලට ඇහෙන්නම කීවා..

"බෑග් තියන්න තමයි රැක් එකක් ගහලා තියෙන්නෙ"

කියලා.

නමුත් මනුස්සකමට මම කරපු දේ වැරදියි තමයි. මට තිබ්බෙ ඒ දෙන්නා අපහසුවෙන් දරා ගෙන ආපු බෑග් ටික අරගෙන මගේ උකුල උඩ තියා ගෙන ඉඳලා බහින කොට දෙන්න. ඕකට සල්ලි වියදන් වෙන්නෙත් නෑ..කොහෙන්වත් ගෙවෙන්නෙත් නෑ

ඒත්..

මම කියන්න යන මේ කතාව උණේ මට නෙවෙයි උණත් මගේ සුපුරුදු ශෛලියෙන් ම මම ලියන්නම්..

සාමාන්‍යෙන් මම ඔෆිස් ඇරිලා යන වෙලාව 4.45 සහ 5.00 උණාට එදා කෙටි නිවාඩුවක් දමලා එළියට බැස්සෙ යන්න තිබිච්ච අත්‍යාවශ්‍ය ගමන් කීපයක් නිසාමයි.. සාමාන්‍ය ඔෆිස් ඇරෙන වෙලාවට බස් එකේ ඇඟිල්ල ගහන්න ඉඩක් නොතිබුණත් මේ වෙලාව එච්චරම බස් එකේ සෙනඟ හිටියෙ නෑ. නමුත් බස් එකේ ඉඳගෙන යන්න ඉඩ තිබුණෙ නෑ. මට නැගපු තැනින්ම සීට් එක හම්බ උණ නිසා හොඳට ඉඳ ගෙන ගියා..
සැරින් සැරේ එක් කෙනෙක් දෙන්නෙක් බස් එකට නගිනවා බහිනවා..එක තැනකින් මැදිවියේ මැද වගේ ඉන්න ගෑනු කෙනෙක් බස් එකට නැග්ගෙ තමන්ගෙ අත් දෙකේම බෑග් දෙකක් එල්ල ගෙන..මටත් තව පැය එකහමාරක් විතර යන්න තියෙන නිසා සීට් එක දෙන්න උවමනාව තිබුණත් දවසේ උදේ කාලයෙ අධිකව වෙහෙසිච්ච නිසා ඒ අදහස අත හැරලා ඇගේ බෑග් ටික මගේ උකුලට ගත්තා..මට පොඩ්ඩක් නින්ද යාගෙන වගේ එනකොට..ඒ වෙනකොටත් බස් එකේ මැදට වගේ ගිහින් හිටපු අර මනුස්සයා බහින්න මගේ උකුළෙ තිබ්බ බෑග් දෙකත් ඉල්ලගෙන ඉස්සරහට ගියා.. ඊළඟ හෝල්ට් එකේ හරි ඊළඟ එකේ හරි එයා බහින්න ඇති..එච්චරයි..මම ආයිමත් පොඩ්ඩක් ඇස් දෙක පියා ගත්තා..බස් එක ක්ෂණයකින් තිරිංග තද කරපු නිසා හැමෝම ගැස්සිලා ගිහින් විමසිලිමත් උණා මොකද උණේ කියලා,

"පොඩ්ඩක් නවත්ත ගෙන ඉන්න"

කියලා මහ හඬින් කියපු හැඩි දැඩි තරුණයො දෙන්නෙක් බස් එකේ සෙනඟ පීරා ගෙන බස් එකට නැග්ගා.

"කවුද ඇන්ටි මනුස්සය කවුද "

පස්සෙ හැරිලා අහපු තරුණයගෙ පිටි පස්සෙ හිටියෙ මම අර බෑග් ඉල්ල ගෙන ආපි ගෑනු කෙනා,

එයා මාව පෙන්නුවා.

"මහත්තයා ලැජ්ජා නැද්ද කලිසනුත් ඇඳගෙන හොර වැඩ කරන්න? හොඳ හිතින් දීපන් මේ ඇන්ටිගෙ බෑග් එකෙන් උස්සපු ෆෝන් එක"
බස් එකට ඇහෙන්න කෑ ගහමින් අර තරුණයො දෙන්නා මා දිහාවට එනවා..සේරම බස් එකේ අයගෙ ඇස් මා දිහාවට යොමු වෙලා
"මම ගත්තෙ නෑ..මේ තියෙන්නෙ මගේ ෆෝන් එක"

ව්මතියෙන් තුෂ්ණිම්භූත වෙලා...ලැජ්ජාවෙන් මිරිකෙමින් මම මගේ ෆෝන් එක ඒ අයට පෑවා..

"මේකද ඇන්ටි?"

එක තරුණයෙක් මගේ අතින් උදුරා ගත්ත ෆෝන් එක ඒ ගෑනු කෙනාට පෑවා..

"නෑ මේක නෙවෙයි"

"හංගා ගෙන ඇති. පෙන්නපන් උඹේ බෑග් එකයි සාක්කුයි"

මේ තරුණයො දෙන්නගෙ අශීලාචාර වදන් හමුවේ මෙවර නම් මගේ ලැජ්ජාව වෙනුවට කෝපය ඇවිස්සුනා..

මම නිවැරදීයි..ඒත් හදිස්යෙන්වත් ෆෝන් එක බෑග් එකේ ඇරිලා තිබ්බ පොකට්ටුවකින් බිමටවත් වැටිලා තිබ්බොත් මගේ තත්වය තවත් ශෝචනීය වෙනාව මිසක් සහනයක් නොලැබෙන බව තේරිච්ච නිසා..මම කටහඬ අවදි කළා මෙහෙම.

"මම ෆෝන් එක ගත්තෙ නෑ. මම හොරෙක් නෙවෙයි. ඔය දෙන්නා ෆෝසස් වලද ? එහෙම නම් මම මනුස්සකමට මගේ බෑග් සාක්කු චෙක් කරන්න දෙනවා. කවුරුවත් ෆෝසස් වල කෙනෙක් මේ බස් එකේ ඉන්නවද ?"

තරුණයො දෙන්නා පොඩ්ඩක් පසු බෑවා.. කවුරුවත් නැති පාටයි..
"අල්ලන්න ඉස්සරහ පොලිසියට බස් එක"

බස් එකේ හිටිය කෙනෙක් කීවා.

"ඒක හොඳයි"

මාත් කිව්වා.

"අපිට පරක්කු වෙනවා . ඔය ඇන්ටිගෙ ෆෝන් නම්බර් එක දෙන්න අපි ඒකට කෝල් එකක් අර ගමු. එතකොට තියෙන තැනකින් රින්ග් වෙයිනෙ"

මම ළඟ හිටිය අසල්වාසී තරුණය කීවෙ ඔහු අත තිබෙන ෆෝන් එක ක්‍රියාත්මක් කරමින්..

තමන්ගෙ බෑග් එකේ තිබ්බ පරණ පොතකින් මේ ගෑනු කෙනා නොම්බරේ කියෙව්වා..

මම වෙච්ච ඇබැද්දියෙන් තාමත් ගැහෙනවා..

"ෆෝන් එක රින්ග් වෙනවා"

කියුව තරුණයා තමන්ගෙ ෆෝන් එකේ ස්පීකර් මෝඩ් එකට දමා ගත්තා..

එහා පැත්තෙන් ඇමතුමට පිළිතුර දුන්නෙ තරුණියක්..

"කවුද ඔය ? අපි මේ නැතිවෙච්ච ෆෝන් එකක් හොයනවා"

අර තරුණයා විමසුවා..

"මේ නම්බර් එක නම් අපේ අම්මගෙ..දැනට නම් අම්මා ගෙදර නෑ. ටවුමට ගියා ෆෝන් එක අමතක වෙලා"

ඊට පස්සෙ වෙච්ච දේවල් වලින් මොන විදියකින්වත් මගේ මනුස්සකම බස් එකේදි ඉස්මතු වෙන්න ඉවහල් උණේ නම් නෑ.. මිනිස්සු හිතව්වදෙන් බස් එකේදි මම හරි අමනූස්යෙක් කියලා..බෑග් එකක්වත් අරගන්නෙ නැති..ඒක වැඩිය වටිනවා නිකන් හොර නාම ගා ගන්නවට වඩා..

මටම නොඋණත් මගේම සහෘදයෙක් මුහුණ පාපු මේ සිද්ධිය මගේ ජීවිතේටත් මම බොහොම ලං කර ගෙන...බස් වලදි බෑග් අරගෙන මනුස්සකම පෙන්වන්ඩ මම නම් අදටත් යන්නෙ නෑ..

කවදා හරි මිනිස්සු තේරුම් ගනියිනෙ...ඕනිම බස් එකක දෙපැත්තෙ උඩින් රාක්ක දෙකක් තියෙන්නෙ ඉට්ටැයිල් එකට නෙවෙයි..බෑග් තියන්ඩයි කියලා.. 

Thursday, March 20, 2014

ලිෆ්ට් එකේ ජරමරේ..Mishaps in the Elevator

ලිෆ්ට් එක එහෙමත් නැත්නම් විදුලි සෝපානය..ඇමරිකන් නම් එලිවේටරය.. මම යන්න අකමැතිම වාහනයක් තමයි.. 

වාහනයක් කිව්වහම නිකන් ඔඩ් ඔඩ් වගෙයි නම් ඕන් ඕන එකක් කියා ගන්නවලා..

මම ජීවිතේ මුලින්ම විදුලි සෝපානයක ගියේ 1991 වසරෙදි තමයි. අපේ ගම් වල කොහෙද ඔව්වා. විස්ස විජ්ජාලෙට තේරුණත් 88-89 කාලෙ ගොයියලගෙ වැඩ හින්දා වහලා තිබ්බ විස්ස විජ්ජාල ටික අපිට ඇරුණෙ අවුරුදු තුනකට පස්සෙ. කියන්නෙ අවුරුදු හතරක එකට අවුරුදු හතක් බලන් හිටියා... 


ඉතින් ඔය 1991 අවුරුද්දෙ ගෙදරට වෙලා ඉන්න ගමන් ඥාති අයියා කෙනෙකුගෙ කීමට මම ඇප්ලයි කොරා අර විගණන පරීක්ෂක ජොබ් එකට තියෙන විභාගෙට..විභාගෙ තිබ්බෙ කොළඹ හින්දා ආවා මාත් මගේ තවත් ඥාති අයියා කෙනෙක්ගෙ ගෙදරට.. අයියා වැඩ කොරපු ඉන්ෂුවරන්ස් එකේ මහ ඔෆීසියෙ ලිෆ්ට් එකට තමයි මම මුලින්ම හා හා පුරා කියලා පය තිබ්බෙ..මගේ නුහුරුවට වෙන්ඩැති පළවෙනි සැරේ යද්දි මම අර අයිය්ගෙ අතින් අල්ලා ගෙනයි ගියේ..


ඔයින් ඊට පස්සෙ නම් ඉතින් ඕනි තරම් යන්ඩ ඇති ඕකෙ..


මම දැන් ඉන්න ඔෆිස් එකේ ලිෆ්ට් එක හැදුවෙ මම ඇවිත් අවුරුදු ගණනාවකට පස්සෙ..හදපු මුල් දවස් වල නම් ඉතින් පළවෙනි තට්ටුවට ගියෙත් ඕකෙමයි. පස්සෙන් පහු අඩු වෙලා අඩු වෙලා ගිහින් අදට නම් මම ඔෆිස් එකේ ලිෆ්ට් එක පාවිච්චි කරන්නේම නැති ගානයි. විශ්වාසෙට ගන්ඩ 2013 අගෝස්තුවෙ ඉඳන් අද වෙන කන් එක වතාවක්වත් මම ඔය ලිෆ්ට් එක පාවිච්චි කළේ නෑ..









ඔය තියෙන්නෙ අපේ ඔෆිසියේ ලිෆ්ට් එකේ දොරේ ගහලා තියෙන උපදේශයක්..


හේතුව නම් ඉතින් ශරීරෙට හොඳයි නෙ පඩි පෙළවල් ටිකක් නගින එක..ඔව් දවසට අවමය හතර පස් වතාවක් වත්..ඔය පඩි පෙළ තරණය කොරන එක මට දැන් සිම්පල්..තට්ටු දෙකයි නම් තමයි බිම ඉඳන් මගේ සෙක්සොන් එකට තියෙන්නෙ..


මේක උණේ අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එක පටන් ගත්ත මුල් කාලයෙදීමයි.. ස්ත්‍රී පක්ෂය ඉතින් කොහොමත් බයයි..හෝ අර මායම් වලින් එකක් විදියට අනීඊඊඊ...බයයි ඕකෙ යන්ඩ හදිසියෙවත් ලයිට් ගියොත් එහෙම..කියලා දඟලන දැඟලිල්ලකුත් තියෙනවනෙ.. හින්දම ගොල්ලො හැම වෙලාවෙම තනියෙන් ඕකෙ ගියේ නෑ..කවුරු හරි පිරිමියෙක් එක්කම තමයි ගියේ..


ඔය කියන දවසෙත් මගේ අංශයේම වැඩ කොරන ගෑවු ලමෙක්..මාත් එක්කම ඔෆිස් එකට එකම පෝස්ට් එකට ආපු ගෑවු ළමයා ඉතින්..අපි දෙන්නා හවස තේ බොන්ඩ ගියා කැන්ටිමට..දෙවැනි තට්ටුවෙන් අපි ලිෆ්ට් එකට නැග්ගා..ලිෆ්ට් එකේ තිබ්බ G බට්න් එක ඔබලා තත්පර දහයක් ගියේ නෑ..හාත්පසම කළුවර උණා සැණින්..අපි දෙන්නා විතරයි ලිෆ්ට් එකේ..මට සුටුස් ගාලා තේරුණා ලයිට් ගියා තමයි කියලා..ඒත් මගේ සහායිකාව ළමයා කෑ ගහනවා අනේ...අනේ..දැන් මොකද්ද කරන්නෙ කියලා..මගේ අතේ එල්ලිලා..හරි නම් ලයිට් ගියත් බැකප් බැට්‍රි එකකින් ලිෆ්ට් එක ඇතුළේ තියෙන ලයිට් එක පත්තු වෙන්න ඕනි..සහ වාතය ඇතුළට එන පංකාව වැඩ කරන්න ඕනි..ලයිට් එක පිච්චිලාද කොහෙද..ඒක පත්තු වෙන්නෙත් නෑ..මම සුවිච් තියෙන පුවරුව අතගාලා හොයා ගත්තා ඊට උඩින් තියෙන අනතුරු හඟවන ස්විචය..ඒක ඔබා ගෙන ඉන්න ගමන් අර ළමයට බය වෙන්නෙප කිව්වා වගේ මතකයි.. ඔයගොල්ලො දැකලා ඇති ඔය මිට්සුබිෂි ලගේ අලුත් ලිෆ්ට් වල තියෙනව මෙල්ඩ් කියලා ෆන්ක්ශන් එකක්... MELD - ඒකෙන් වෙන්නෙ හදිසි විදුලි බිඳ වැටීමකදි විදුලි සෝපානයට සම්බන්ධ කරලා තියෙන බැට්‍රියක විදුලි බලයෙන් ලිෆ්ට් එක ළඟම තියෙන පහළ තට්ටුවට අරගෙන ඇවිත් දොර ඇරලා දෙනවා..පිටින් යතුර දාලා දොර අරින කම් බලන් ඉන්න ඕනි නෑ..මම ඕක දැනන් හිටියට අර ළමයට ඒකෙ වගේ වගක් නෑ..හැබැයි ලිෆ්ට් එක ළඟම තියෙන පහළ තට්ටුවට එන්නෙ බොහොම හෙමින්..ඒකට විනාඩියක් දෙකක් යනවා..විනාඩි දෙකකින් විතර අර අපි දෙන්නා හිටපු ලිෆ්ට් එකෙත් දොර හෙමිහිට ඇරුණා..එතකොටත් මම අර අනතුර හඟවන බොත්තම ඔබා ගෙනමයි හිටලා තියෙන්නෙ.. සීනුවෙ සද්දය මුලු බිල්ඩිමට ඇහෙන්න වගේ තමයි හදලා තියෙන්නෙ..කොහොමද ඔෆිස් එකෙන් භාගයක් විතර ලිෆ්ට් එක ළඟ පිරිලා පොඩි කකා බලා ඉද්දි..හෙමිහිට ඇරෙන ලිෆ්ට් එකෙන් මම එළියට එනවා දාඩිය පෙරාගෙන.. අර ළමයවත් තුරුළු කරගෙන..ඉවරයි නේද...සේරම.. ළමයා නම් පස්සෙ කිව්වත් ලයිට් ගිය ගමන්ම මම මුලින්ම කළේ බයට මෙයාගේ බෙල්ලෙ එල්ලිච්ච එක කියලා..ඔය සීන් එක කාලයක් යනකන් ඔෆිස් එකේ කතා උණා..දැන් නම් අර ළමයත් කැනඩාවට පදිංචියට ගියා..මමත් ආයි ලිෆ්ට් එකේ යන එක නතර කරලම දැම්මා..ඕන් ඔය වගේ සංඝෙදි තමයි අපිට වෙන්නෙ..


මට  නම් ලංකාවෙ එපා කරපුම ලිෆ්ට් එක තියෙන්නෙ ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ තමයි කට්ටියට මතකද ඒ ඇයි කියලා ?

ලංකාවෙ විදුලි සෝපානවලදි යනකොට මිනිස්සුගෙ තියෙන අමුතුම චර්යාවක් ඔය ගොල්ලො නිරීක්ෂණය කරලා තියෙනවද මෙන්න මේ වගේ ?


ලිෆ්ට් එක ඇතුළේ එක් කෙනෙක් හරි කීපදෙනෙක් හරි ඉන්න කොට එක්කො වචනයක්වත් කතා කරන්නෙ නෑ..හරියට ගොළුවො වගෙයි ඉන්නෙ..කතා කළොත් ලිෆ්ට් එක නවතීවි වගේ..


අලුතින් ලිෆ්ට් එකට කෙනෙක් නගින කොට...කතා කර කර ඉන්න අය උණත් සුටුස් ගාලා කතාව කවත්තනවා..


ලිෆ්ට් එක ඇතුළෙදි මොබයිල් ෆෝන් වල සිග්නල් හොඳටම අඩු වෙනවා නැත්නම් නැත්තටම නැති වෙනවා..ඒත් නොනවත්තාම අනේ ඔයාව ඇහෙන්නෙ නෑ..කිය කියා බෙරිහන් දෙන සමහරෙක්..


ලිෆ්ට් එකෙන් බහින්න යද්දි අනිවා තට්ටුවෙන් නගින්න යන අයගේ කකුල පෑගෙන එක හරි ඇඟේ හැප්පෙන එක හරි...


ලිෆ්ට් එකක ගෙනියන්න පුළුවන් උපරිමය සීමාව පැන්න ගමන්ම නාද වෙන සීනුවත් එක්කම ලිෆ්ට් එකේ ඉන්න මහතම කෙනා දිහා හැමෝම බලන බැලිල්ල..


ලිෆ්ට් එකේ ඉන්න කවුරුම හරි එක්කෙනෙක් ලිෆ්ට් ඔපරේටර් ජොබ් එක ස්වකැමැත්තෙන්ම භාර ගන්න එක..


පිරිමි සහ ගෑනු හරි හරියට ඉන්න වෙලාවක ගෑනු අයවත් පෙරළා ගෙන බහින පිරිමි අය..


වගේ දේවල් ඔයගොල්ලො නෝට් කරලා තියේද ? නැත්නම් බලන්නකො ආයි ලිෆ්ට් එකක යද්දි..


මේ ලිස්ට් එක හදධි නම් අද මාර්තු 20 ඩේලි මිරර් එකේ පළවෙච්චි Hot Sri Lanka Danu ලිපියත් මට උදව් උණා..


.ළි. - පහු ගිය කාලයේම මගේ බ්ලොග් ලිපි ලියවිල්ල සහ කියවන ලිපි වලට කමෙන්ට් කිරිල්ල බොහොම අඩු උණා..මාත් එක්කම ජීවත් වෙච්ච ළැපී..ලෙඩ උණ හින්දා..ගොඩ දාන්න බැරිම තැන..අලුත් ලැපියෙක් අර ගත්ත හින්දා ආයිමත් ඉස්සර වගේ වැඩ දාන්න පුළුවන් වෙයි..