ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, January 27, 2012

තව පොඩ්ඩෙන් බබිත් සුං බබිගේ මල්ලිත් සුං

"සර්, මම නම් සර්ව හොඳට දන්නවා.. සර්, මාව දන්නවා ඇයි මතක නැද්ද ?"

එක්වරම අයිස් වතුර පිරි බාල්දියක් මගේ ඔළුවේ හැලුවාක් මෙන් විය. මුළු ශරීරයම සීතල වෙද්දී වික්ෂිප්ත හැඟුම් රාශිය මැද්දේ දෙපයින් නැගි ගිනි දළු මා ගත වෙලා ගන්නාක් මෙන් විය.
----------------------------------------------------------------------------------



ලකුණු දෙක තුනක වෙනසක් මධ්‍යයේ මගේ සරසවි සිහිනය බිඳී යද්දී, මා ලද ප්‍රතිඵලය මත විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයකට බැඳී මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට යොමු වූයේ දෙමව්පියන්ගේ දැඩි පරිශ්‍රමය නිසාමය. ගමේ කොලු නඩය හා වැටී ජීවිතය අයාලේ යා හැකිය යන මතය නිසා ඔවුන් මා මේ මාර්ගයට යොමු කළේ වදෙන් පොරෙන් මෙනි.. ඕනෑ තරම් රැකියා විරහිත උපාධි ධාරීන් ද රැකියා සොයමින් සිටින කාල වකවානුවක් වූ එම කාලය මෙවන් දෑවුරුදු ඩිප්ලෝමා සහතිකයක් අතැතිව එළියට පැමිණෙන මාගේ තත්වය ශෝචනීය වන බව හොඳින් දන්නා නිසාම එවක ප්‍රසිද්ධ ගණකාධිකාරී ආයතනයකට බැඳී එම පාඨමාලාවද හැදෑරීම නිසා, දෙවසර අවසන මා හට පහසුවෙන්ම මනෝ විද්‍යා උපදේශන ආයතනයක සහාය ගණකාධිකාරී තනතුර සඳහා ඇතුල්වීමේ වාසනාව පෑදුණි. 

වසර කිහිපයක ඇවෑමත් සමඟම විශාල ජාත්‍යන්තර ජාලයකට අනුගත වීමේ අවස්ථාව ලද අප ආයතනය රටපුරා ව්‍යාප්ත වන්නට වූයේ ඉතා වේගයෙනි.එම කාලය වනවිට මා ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී තනතුර භාර ගෙන හමාරය. 

"මිස්ටර් ලියන්නා දැන් අපිට ලොකු එකවුන්ට් ස්ටාෆ් එකක් ඉන්න නිසා සහ ඔයා ඔය සයිකොලොජි ඩිග්‍රී එකක් කරලා තියෙන නිසා අපිට මේ ඇවිත් තියෙන ස්කොල් ලොට් එකෙන් අපිට ගන්න පුළුවන් ස්කොල් 6න් එකකට ඔයා යන්නම ඕනි."

"එක්ස්කියුස් සර් මට තියෙන්නෙ සයිකොලොජි ඩිප්ලෝමා එකක් මිස ඩිග්‍රී එකක් නෙවෙයි"

"ච්චක් ! ඩිග්‍රී.. ඩිප්ලෝමා.. ඔය හැම එකම එකයි..ඔය යවන අනිත් පස් දෙනාම ඩිග්‍රී කාරයො තමයි, ඒත් බලන්න ලියන්නා ප්‍රිපෙයාර් කරපු ප්‍රොජෙක්ට් රිපෝර්ට් නිසා තමයි අපේ ආයතනයම අද මෙතන ඉන්නෙ.. එතකොට මොනාද ඔය ඩිග්‍රී කාරයො කළේ ඔයා කරපුවයින් භාගයයිනෙ !මමයි යන අයව රෙකමන්ඩ් කරන්නෙ..මම ඔයාව නම්බර් වන් දමලා තියෙන්නෙ ෆයිනෑන්සල් නොලෙජ් බෑක්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරලා..ඉස්සරහ මාස එක හමාර ඇතුළේ ඇසිස්ටන්ට් එකවුන්ටන්ට් ජානකීට ලියන්නාගේ සේරම එකවුන්ට්ස් වැඩ භාර දීලා ලේස්ති වෙන්න මේකට. අවුරුදු 4 ඉවර වෙලා එනකොට අපේ කන්සල්ටන්ට් ටීම් එකේ හොඳ තැනක් මන් දෙනවා මිස්ටර් ලියන්නාට"

ආයතන ප්‍රධානියාගේ මැදිහත්වීම නිසාම මා මෙම උපදේශන සේවා දේශක වෘත්තීයට යොමු වූයේ වරෙක මගේ දෛවය මගෙන් සොරා ගත් සිහිනය නැවත මා හට ලබා දෙමිනි. වසර හතර අවසන නැවත මෙහි පැමිණි මා හට සිදු වූයේ රට වටා ගොස් අදාළ දේශන සඳහා මාගේ සහාය ලබා දීමය. සිහිනය මෙවන් අන්තයක් වූවත් මෙලෙස දේශන වලට සහභාගී වීමේදී මා හට තිබූ එක ගැටලුවක් වූයේ..වැදි බණ දෙසා අහ්‍යන්තර සිත සමඟ පොර බැදීම සමනය කර ගැනීමේ යුද්ධයකට මැදි වීම යැයි පැවසුවහොත් එය වැරදි නොවේ.. ඉගෙන ගත් කරුණු කාරණා අනුව මත්පැන් හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් හට මාර්ගෝපදේශ ක්‍රම, ක්‍රමෝපායන් සකසා ඔවුන් ව්‍යුත්පන්න වූ මාර්ගයෙන් නැවත නියම මාර්ගයට ගැනීමට උත්සාහ දැරීම මට පහසුවෙන් කල හැකි කාර්යයක් වූයේ අත්දැකීම් බහුලත්වය සමඟම අන්තර්ජාතික දැනුම් හා පරිචයන් සම්භාරයකට අනාවරණය වීම නිසාමය. නමුත් යහළුවන් හා එක්ව ප්‍රිය සාද වලදී මා මා ලොවටම එපා කියමින් අගුණ වයන එම මත්පැන් හෝ මත්ද්‍රව්‍යම ගනිමින් වෘත්තීය ජීවිතයේ නියැලීම සෑමවිටම මට තරමක අපහසු කර්තව්‍යක් විය. හෘදය සාක්ෂිය මා රිදවන්නට වූවත්.. මිතුරු කැල හා එක්ව මතින් මා ලබා ගන්නා වින්දනය මා හට ලබා දීමට සමත් වෙනත් විකල්පයක් නොවීය. 

"උඹ නියම, නොම්මර එකේ වැදි බණ කාරයෙක් " 

සිත, තැන නොතැන නොබලා රිදවිය හැකි උපරිම අයුරින් මා රිදවද්දී..මා උගත් මනසේ සියුම් විග්‍රහයන් යොදා ප්‍රතිප්‍රහාර එල්ල කළෙමි.
මෙය මාගේ ජීවිත අවසන් හුස්මත් සමඟම අවසන් වන ගැටුමක් බව නම් මට වැටහී අවසනය. 

"මෙච්චර කල් කොරපු එකවුන්ට්ස් හදා ගෙන හිටියා නම් ඉවරයිනෙ උඹ !"

සිත මොර ගා කියයි.

"ඒ වගේද දැන් තියෙන ප්‍රසිද්ධිය , මුදල් සහ සියලුම දේ බලපන්"

කෙසේවූවද කාලය ඇවෑමත් සමඟම මා රට පුරා තරමක් ප්‍රසිද්ධ දේශකයෙක් වූයේ..බොහෝ දේශනා සඳහා, ගුවන්විදුලි සාකච්ජා, පුවත් පත් සාකච්ජා, රූපවාහිනි සංවාද මාධ්‍ය හමු මා සඳහා විශේෂ ස්ථානයක් වෙන් කළේ අප ආයතනයද ඉතා ඉහළ තැනක තබමිනි. සමාජයෙන් ව්‍යුත්පන්න පුද්ගලයන් යහමගට ගැනීමේ වැඩසටහන් සමුදායක් සමඟම අප රටවටා යන්නට වූයේ මෙය සම්පූර්ණ වසර එක හමාරක පමණ කාලයක් ඩැහැ ගන්නා කර්තව්‍යක් විය. 

මෙහි එක් අංගයක් වූයේ සමාජයේ අසරණ වී සිටින ගණිකා වෘත්තියේ යෙදී සිටින සොයුරියන් පුනරුත්ථාපනය කිරීමය. කුඩා අවදියේ සෙල්ලම් ගෙදර අම්මා වෙමින්, බෝනික්කන් නළවමින් හුරතල් වන දියණියන් කිසිම දිනයක ගණිකා වෘත්තියේ යෙදෙන්නට සිහින නොමවනු නියතය.. කිසිම ස්ත්‍රීයක් ගණිකා වෘත්තියේ යෙදීමට තරම් අධික කාමාශාවක් ඇති වීමද කිසිදා සිදු නොවේ. එසේ නම් මෙම සොයුරියන් මෙසේ වීමට කිසිදා සිහින නොමැවූ මෙම මාවතට ඇද දමා ඇත්තේ සමාජයයි. එයින් ගොඩ ඒමට ඉඩ නොදෙන්නේද එම සමාජයමයි. පංඥේන්ද්‍රියන් සහිත සිතක් ඇති සංවේදී ඔවුන්ද එම සත්‍ය අවබෝධ කර ගෙන සිටින නිසාම එයම අවියක් කර ගන්නේ වෛරයත් සමඟ බව බොහෝ සමාජ සමීක්ෂණ වලින් හෙළි වී ඇත.


අග නගරයේ දේශන මාලාව අවසන් වූයේ කෙමෙන් ගම් වල ඇති මත් නිවාරණ කඳවුරු, නිවර්තන නිවාස හා බද්ධ වෙමින් මෙම වැඩසටහන ඉතා ප්‍රසිද්ධ වූයේ විවිධ රූපවාහිනි නාලිකාද අප සමඟම යමින් එය රට පුරා මෙන්ම පිටරටවලද ප්‍රචාරය කරනපරිසරයක් නිර්මාණය වීමත් සමඟමය.. මෙම මාධ්‍ය ප්‍රචාරය අප හට පිටිවහලක් වූයේ මුල් කාලයේ මෙම වැඩසටහන වෙත දැක්විය යුතු පිටුවහල එතරම් නොදැක්වූ ප්‍රාදේශීය දේශපාලන අධිකාරීත්වය , අධ්‍යාපන බලධාරීන්, ආරක්ෂක අංශ හා ආගමික මධ්‍යස්ථානයන්ද අප වෙත ලං කරමිනි. 

"සර් මේක මෙහෙම, මෙහෙම, මෙහෙම කරන්න.. අපි බලපු පිටරට වැඩසටහන් වල එහෙමයි තිබ්බෙ"

"මේ මිස්ටර් මීඩියා ඩිරෙක්ටර්, මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්නෙ අපේ ඇජෙන්ඩා එකට අපිට ඇචීව් කරගන්න මිෂන් එකක්, ඔබ්ජෙක්ටිව්ස් ඇන්ඩ් ගෝල්ස් තියෙනවා. බලන්න අපේ විසන් එක දිහා.. ඒක ඔය ගොල්ලන්ගෙ එක එක්ක පටලවා ගන්න එපා."

හිසරදයක් වෙමින් සමහර මාධ්‍ය කාරයන් අපගේ වැඩසටහන ඔවුන් නතු කර ගැනීමට දඟලද්දී නම් අපගේ ඉවසීමේ සීමාවන් අතික්‍රමණය වන්නට විය. ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර, අප, හා අපගේ ආයතනික මෙහෙවර හා ගැටෙන්නට වූයේ..ඔවුන් හතර වන රාජ්‍යය යන බල උද්ධච්ජ ස්වභාවය නිසාම අප කෙරෙහි වූ ප්‍රසාදය කෙමෙන් කෙමෙන් අඩු කරමිනි. 

නිවර්තන නිවාස සමූහයක් එක් කරමින් කරන ලද වැඩ සටහන අවසානයේ එක දිනක මාගේ දේශනය අවසන පැමිණ සිටි අය සඳහා ඔවුන්ගේ අදහස් හා ප්‍රශ්න යොමු කිරීමේ වාරය උදා විය. රූපවාහිනී නාලිකා කීපයක්ම මෙය පටිගත කරමින් සිටි අතර.. 
ප්‍රශ්න ඇසීමේ වාරය ලං කර ගත් ඉතා සුරූපී රුවකට හිමි කම් කී මුත් අවාසනාවන්ත අතීතයක් පාගා විත් තිබූ ඇය තම සංගීතයක් බඳු හඬ අවදි කළේ ..

----------------------------------------------------------------------------------
"සර්, මම නම් සර්ව හොඳට දන්නවා.. සර්, මාව දන්නවා ඇයි මතක නැද්ද ?"

මෙම වාක්‍යය අවසන් කිරීමට මත්තෙන්ම ඇය දෙපස සිටි දෙදෙනා ඇයගේ දෑතින් අල්ලා ඇද්දේ මහා සිනා හඬක් හා ඝෝෂාවල් මධ්‍යයේය. දෙපස සිටි ආරක්ෂක අංශ තරුණියක් දෙදෙනා ඇය අත වූ මයික්‍රෆෝනය උදුරා ගත්තෙන් ඇය ඊට පසු කීවේ කුමක්ද යන්න පැහැදිලි නොමැති විය.
මෙම වචන සමූහය තුළින් ජනිත වන අදහස මා සිත ගැටෙත්ම...
පැමිණි සිටි සියල්ලෝම සිනහා වෙන්නට පටන් ගත්තේ..ඒ වන තෙක් අපගේ විශේෂ සොයුරියන් දෙස වෛරයෙන් බලමින් අප හා සිනා සෙන්නට තැත් කල ආරක්ෂක අංශ සොයුරියෝ දෑතින්ම කට වසා ගෙන සිටියෝය. පංසලේ ලොකු හාමුදුරුවෝ හනික මේසය මතවූ වටාපත ගෙන මුව වසා ගත්තේත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක මහතා තම හිස් වැසුම ගෙන එයින් පවන් සලන්නට ගත්තේත් , පැමිණ සිටි රජයේ ඉහළ නිලධාරීන් සමූහය තම අතවූ ලිපි ගොනු වල වැරදි බලන්නට මෙන් ඒවාට හිස ඔබා ගත්තේත් එකම මොහොතකය. සිනහව , ඝෝෂාව තවම අඩු නැත. කෙස් අඩු හිස මතින් ගලා එන දහඩිය දෙකම්මුල් හරහා ගලා යයි.මොහොතකට මා ගල් වී ඇත්තාක් මෙන් දැනුණි.. රූපවාහිනී නාලිකා කැමරා කරුවෝ මා දෙසටත් , එම තරුණිය දෙසටත් විටින් විට තම කැමරාව යොමු කරන්නේ මහත් ප්‍රීතියෙනි. එම සොයුරියන්ගේ මුහුණු ආවරණය කර වැඩසටහන ප්‍රචාරය කළද අප ප්‍රසිද්ධියේම ප්‍රචාරය වේ. ඔවුන්ගේ පලිය ගැනීමේ වාරය පැමිණ ඇත.

මෙය අද දිනම රූපවාහිනිය මතින් ප්‍රචාරය වනවිට මා බිරිඳ හා දරු දෙදෙනාගේ වත මට මැවී පෙනෙන්නට විය.මාස ගණන් තිස්සේ වැඩසටහන් වලට නිවසින් පිටව සිටින මා පිළිබඳව විටෙක විස්මයට පත්වන ඈ තව දුරටත් එසේ නොවනු ඇත.

මෙතෙක් කල් උගත් සියල්ලම මාගේ පිහිටට ආ යුත්තේ මෙවන් විටක නොවේද ? මා දේශනය කල මයික්‍රෆෝනය පෝඩියම් එකෙන් ගලවා මා වේදිකාව ඉදිරියට ආවේ නැවී නැවී මාගේ කලිසම ගැලවී ඇත්දැයි බලන සෙනඟ සමූහයාට පෙනෙන්නටය. නිශ්චිතවම මෙම තරුණිය එක්කෝ තම පාසලේ ගුරුවරයාගෙන් හෝ අධ්‍යාපන බලධාරියකු අතින් දූෂණය වූ අයෙකි.එයම ඇය මෙම අඳුරු මාවතට යොමු කර ඇත. ඇය මාගේ දේශනය අසා බලා සිටින්නට ඇත්තේ තමා දූෂණය කල නරුමයා ඊට පෙර ඇය බලා සිටි ආකාරයෙන්මය.එම ගුරු ගෞරවය,භක්තිය මොහොතක සුනුවිසුනු වී යද්දී ඇය වික්ෂිප්තව, වේදනාවෙන්, අසරණව බලා සිටින්නට ඇත. එම සිද්ධිය සිහියට වන් ඈ හට මා පෙනෙන්නේද එම නරුමයා ලෙසටම වීම ගැන කිසිදු අවිශ්වාසයක් නැත.කඩා බිඳ දමා පතුලටම කා වද්දා, උඩට එන්නට නොදී වැර වෑයමෙන් සිර කර ගෙන සිටින එම සිද්ධිය මතුපිටට පැමිණ ඇත. මිනිස් සිතේ ස්වභාවය මෙයයි. ඇයගේ වෛරයේ ගිනිදළු මා වෙතට විසි කරන්නට ඇය සූදානම්ය. එයින් පිළිස්සෙන ඇයගේ නරුම කාලකණ්ණියා මා යැයි සිතා සැනහෙන්නට ඇයට වාරය එළඹ ඇති බව නිසැකය. ඇයගේ කටහඬ නිහඬ කර විනාඩියක් ගොස් ඇත. තවමත් අසල සිටි දෙදෙනා ඇයගේ අත් තරයේ අල්වා ඇය බලෙන්ම වාඩි කරවා ගෙන සිටී. ඈ ඇරුණු මුවින් යුතුව කුමක්ද කියන්නට තතනන්නී ඈ ළඟ හුන් ආරක්ෂක නිලධාරිනියගේ ග්‍රහණයට හසුව සිටියාය.

"මයික් එක දෙන්න එයාට "

මගේ කටහඬද තවමත් වෙවුලයි.

"මයික් එක දෙන්න එයාට, එයාට නැගිටින්න දෙන්න.. ඔයා කියන්න දුව "

මා අවිනිශ්චිතව වූවද පැවසූවෙමි.

"සර් මන් කොළඹ හිටියෙ එහෙ අහු වෙලා පුනරුත්ථාපනේ ඉඳිද්දි සර් දේශන වලට ආවා..එහෙන් නිදහස් වෙලා මෙහෙදි ආයි අහු වුණා.."




Thursday, January 26, 2012

ඇනෝ ලව්වා ටිං කිරි ගා ගැනීම !

ඇනෝනිමස්ලාට පමණයි !
ඇනොනිමස් ලව්වා ටිංකිරි ගා ගැනීම ..






වැරදි තියෙනවානම් ඒවා නොකිව්වොත් කොහොමද හදා ගන්නෙ ?


පහල තියෙන ඒවායින් එකක් හරි හිතිලා තියෙනවද ලියන්නාගෙ බ්ලොග් එක ගැනත් ?


"වැරදි තමයි ලියන එව්ව ඒත් යාළුවා නිසා මුකුත් කියන්න බෑ .. තරහ වුනොත් එහෙම.."


"දන්න හඳුනන මනුස්සයා නිසා ඇත්තටම හිතන දේ කියන්න බෑ.. පඳුර වටේ විදලා බැලුවා ඒත් හාවාට වදින පාටකුත් නෑ."


"ඔව් මෙලෝ රහක් නෑ..ඒත් කොහොමද කියන්නෙ ආධුනික අය..ඊට පස්සෙ ලියන එක අතාරැලා දමයි අත හිත දීලා බලමු ඉස්සරහදි හරි යයි..පොඩි එකෙක් වගේ දැන් ලිව්වට පස්සෙ හරි යයි."


"මම නම් මුකුත් කියන්නෙ නෑ..අර සෙට් එක එක්කමයි ඉන්නෙ.. මොනවා හරි කියන්න ගියොත් සෙට් එකම ඇවිත් නෙලන්න පටන් ගනී..අපිව නැති වෙන්නම"


"හරියටම දන්නෙ නෑ මොන මොන කනෙක්ශන් තියෙනවද කියලා.අපිට හිතෙන ඒවා කියලා නිකං ඇන ගන්නෙ මොකටද? "


"දැක්කනෙ අරයා එහෙමත් කමෙන්ට් කරලා තියෙන්නෙ සෑහෙන හොඳයි කියලනෙ..ඒ අස්සෙ අපි මොකටද ඕනි පොට්ටෙකුට පේන ඔය වැරදි පෙන්නලා දෙන්න ගිහින් කිච වෙන්නෙ?"


මෙහෙම හිතලා තමන්ගෙ යතාර්ථයෙන්ම එන කමෙන්ට් එක නොදමා තියෙනවද කවදා හරි ඔබ මේ ලියන්නගෙ බ්ලොග් එකෙත් ? එහෙම කලා නම් ඔබ ලියන්නාට කරලා තියෙන්නෙ හරිම අසාධාරණයක් තමයි. ඒ නිසාම මට මගේ බ්ලොග් එකේ තියෙන වැරදි හදා ගැනීමට තියෙන ඉඩ මග ඇහිරිලා තියෙනවා.ඔබ හැමදාම මේ බ්ලොග් එකේ කමෙන්ට් දමන්න ඇත්තෙ ඔබේ නියම නමින්මයි. මම  ඒක දන්නවා.  මොකද මේ වෙනකොට මේ බ්ලොග් එකේ ඇනෝනිමස් කමෙන්ට් තියෙන්නෙ 5කටත් වඩා අඩුවෙන්මයි. 


 ඒ නිසා කරුණාකරලා අදටවත් ඔබ ඔබේ නියම නමින් අයින් වෙලා ඇනෝනිමස් කමෙන්ට් එකක් දමන්න 


කියලා මම කිව්වොත් මන් දන්නවා..ඔබ ඒක කරාවි කියලා. ඔබට හිතෙන ඕනිම දෙයක් ලියන්න..ඒ ලියව්ල්ල තුල තියෙන හරය මම අර ගන්නම්. 


මේක ඇනෝනිමස්ලා ලව්ව ටිං කිරි ගා ගැනීමක් ලෙස දැනටමත් අදහස් දැක්වූ ඔබට ස්තූතියි මගේ මිතුර ! 


අතින් අරන් තියා ගත යුතු  තැනක එහෙම තියා ගන්න ලියන්නා එයට පැකිලෙන්න සුදානම් නෑ. අසභ්‍ය වචන තිබුනොත් හැර කිසිම කමෙන්ට් එකක් මොඩිෆයි කිරීමට බලාපොරොත්තු නොවෙමි. 


බලමු මගේ පහු ගිය කාලෙ ලියපු පෝස්ට් වලට ආපු සාමාන්‍ය කමෙන්ට් 30-40 අතර ගණන වත් ඇනෝනිමස් අවවාද දුන්නොත්..හදා ගන්න ඒ ටිකම ඇති !

Friday, January 20, 2012

නිරුවත් දෙපා

කාලය , තාලය, තැන යන සියල්ලම වෙනස් වූවත් අදටත් මා වඩාත් ප්‍රිය කරන්නේ නිරුවත් දෙපා මතින් මහ පොළව මත පය තබා යාමටයි. බර කැටයම් නොයොදා කීවොත් සෙරෙප්පු කටු දෙකක්වත් නොමැතිව ඇවිදීමටයි. නමුත් නගරයේ මෙසේ සෙරෙප්පු දෙකක් නොමැතිව යන මා දෙස කුතුහලයෙන් බලන මිනිසුන් නිසාම මෙම අවස්ථා ගණන සීමාසහිත වී ඇත. නමුත් සන්ධ්‍යා කාලවල හෝ රාත්‍රියේ අහල පහළ කඩේකට යන්නේ නම් මා කරන්නේ සෙරෙප්පු දෙක ඉවතලා අමුවේම ඇවිදීමයි. 


"මොකද මහත්තයා සෙරෙප්පු දෙකක් වත් නැතුව?"


අතරමගදී නිතර දැක කතා බහ කරන බොහෝ අය මෙම ප්‍රශ්නය විමසන විට,


"ඔව් බලන්නකො අර එහා කළුවර වංගුවේදීම හරියටම සෙරෙප්පුවක් කැඩුණනෙ.. දෙකම එතන අයිනට වීසි කළා.ආයි ගෙදර ගිහින් දමා ගෙන එන්න කම්මැලි කමට "


මා පිළිතුරු දෙමි..
හැබෑටම මේ මිනිස්සුන් කොතරම් හිත හොඳ වූවත්, බලන්න මෙතරම් අංගෝපාංග තිබුණත්, ඇයිද මන්දා කකුල් දෙක දිහාම බලන්නෙ..හොඳින් බැලුවෙ නැත්නම් ඉබේ පෙනෙන්න විදියක් නෑනෙ..
මේ හේතුව නිසාම ඉන් පසු මා කළේ සෙරෙප්පු නොපළඳින දින වල සරම ඇඳ ගෙන යාමයි. එවිට නම් නිතර හමුවෙන අය පවා මා අඳුරා ගත් බව හැඟවෙන ලකුණක් ලෙස මද සිනහා පෑම හැර කතා බහකටනොපැමිණෙනේමය. එය නම් මා හට සහනයක් වූවා කිවහොත් බොරුවක් නොවේ. සමහර විට සරමක් ඇඳි මා සමඟ කතා බහ කිරීම මදි කමක් වන්නට ඇත. නමුත් සරම හැඳි මා සහ කලිසම හැඳි මා අතර වෙනසක් නැති බව නොවැටහෙන පිරිසක් සමඟ මූණිච්චාවට වුවද සිනා සීමට, කතා කිරීමට මා හට සිදු වී තිබේ..


'ඉන්න ලැසී පැට්ටෝ මන් ඔයාට බනිසක් ගෙනත් දෙන්නම්"


වලිගය වනමින් මා පසු පස ඒමට දඟලන අපේ බලු නෑම්බියව බොහෝ අමාරුවෙන් ගේට්ටුවෙන් ඇතුළට දමා මා වෙනදා මෙන්ම නිරුවත් පා සමඟ අසල කඩේට යාමට එළියට බැස්සෙමි. ලැසී බනිස් කෑමට බොහෝ ප්‍රිය කළත් වඩා ප්‍රිය කළේ අහල පහළ සිටින බල්ලන්ට ගොරවමින් මා පසු පස කඩයට ගොස් ආපසු පැමිනීමටයි. 


ඉද්ද ගැසුවාක් මෙන් වූ කුඩා පාර එක්වරම එල් හැඩයේ වංගුවත් සමඟම හැරෙන තැන සිට මීටර් 100ක් පමණ අඳුරු ස්වරූපයක් ගන්නේ, එම ස්ථානයේ තිබූ පහන් කණු වල පහන් කොතරම් නැවත නැවත ප්‍රතිස්ථාපනය කළත් ඒවායේ ආයුෂ වැඩිම වූවොත් දින දෙකක් බවට පත් වීම නිසාය. . පෙම් කෙළින්නන්ගේ සහ සල්ලාලයන්ගෙ තිප්පොළක් වූ මෙම මීටර් 100 තුළ සතියකට 2-3 වතාවක්ම කිහිප දෙනකු පොලීසියට ගොදුරු වූවත් සදා අඳුරේය. මෙම සල්ලාලයන් එම පහන් කණුවට සවි කරන පහන පවා ගොදුරු කර ගනී. රාත්‍රී 10න් පසුව මෙම ස්ථානය පසු කර යන්නේ නම් බොහෝ විට දිලිසෙන ඇස් කීපයක් නොසලකා යාමට සිදු වීම සාමන්‍ය සංසිද්ධියකි. 


මා හරියටම එම පාරේ මැදක් එනවිටම අනෙක් පසින් වාහනයක් පැමිණෙමින් තිබුණි. මෙම පාර කුඩා අතුරු මාර්ගයක් බැවින් වාහනයක් පැමිණෙන විට අප බොහෝ අයිනට වී ඉඩ දිය යුතුයි. අතීතයේ මෙම පාර මීට වඩා පුළුල් වූවත් දෙපැත්තේම සිටින සාධු ජනයා පාර අල්ලා අඩි 10 හෝ 12 උස තාප්ප බැඳ ඇත. එම තාප්ප වලට හේත්තු වී විශාල වාහන වලට ඉඩ දීමට සිදු වන්නේ මගීන්ටය. එහි තාප්ප කඩතොලු පෙම්වතුන්ට රස ගුලාවකි. වාහනය යාමට තාප්පය අයිනටම වී ඉඩ දෙන්නට ගිය මා දෙසවන වැකුණේ හතිලන සහ කෙඳිරි ගාන හඬකි. ඉවෙන් මෙන් මෙහි වන්නේ කුමක්ද යන්න වටහා ගත් මා හනික තවත් අඩි දෙකක් පමණ ඉදිරියට පැන ගත්තේ වාහනයට යාමට ඉඩ දීමටයි. එක් පාදයක් අහම්බෙන් මෙන් තැබූයේ..යම් සුන්බුන් ගොඩක් උඩටය. යටි පතුල හිල් කර ගෙන යන වේදනාවක් සමඟ මා හට කෑ ගැස්සුන බවක මතකයක් තිබේ.. අසල අඳුරු පොදිය තුළින් එළියට ආවේ අසල ගෙවල් මණ්ඩියේ දන්නා හඳුනන පීරිස් අයියායි.. 


"හප්ඵද බොල, ලියන්නා මල්ලි, මොකද වුණේ අර වෑන් කාරයා හප්පා ගෙන ගියාද?" 


සරම අඳිමින් නැවී ගෙන මා දෙසට පැමිණෙන පීරිස් අයියාද එම අඳුරු ගොන්නෙ සිට ඉක්මන් අඩි තබමින් යන ස්ත්‍රී රුවක්ද මා නෙත ගැටුණි. 


"නෑ පීරිස් අයියෙ, මොකද්ද ඇනුණා කකුලේ.."


වේදනාව මතින්ම කකුල අකුලෙන් ඇද ගත් මා එතනම ඉඳ ගත්තේය. කකුලේ ඇනුණු යම් දෙයක් තවමත් කකුලේ පැටලී තිබේ. පීරිස් අයියා එය ඇද එලියට ගත්තේ මා කෙඳිරි ගාත්දීය.







"මේ පාහරයො යකඩ ගොඩවල් ගෙනත් දානවා පාර අයිනට ..මිනිස්සුන්ට යන්නත් නෑ.."


"ඕක දෙන්න අයියෙ..කෑලි වගයක් කැඩිලා ඇතුළේ තියෙනවා වගේ"


එය පරිගණකයක වීජීඒ පතක් (VGA Card) වැනි ඉලෙක්ට්‍රොනික කාඩ් පතකි. ලේ වැගිරෙන යටි පතුල අල්ලා බලන විට දැනුණේ එහි කෑලි කිහිපයක්ම කකුලේ රැඳී ඇති බවයි. 


"යන් මල්ලි, මෙහෙම්මම ඩොක්ටර් ළඟට, තුවාලෙ සුද්ද කරලා බෙහෙත් ටිකක් දමා ගම්මු"


අයියගේ වැඩෙත් ඩිස්ටර්බ් වුණා මන් නිසා කියන්නට ඇරුණු කට මනා සිහිය ක්ෂණිකව පහළ වීම නිසා අමාරුවෙන් වසා ගත් මා.. පීරිස් අයියා ගෙන ආ තුන් රෝද රියට නැග ගත්තේ එක් අතක මලකඩ කෑ සර්කිට් එකද රැගෙනය.
-----------------------------------------------------------------------------


"උගුරැස්ස කටු ඇන ගෙන ආවොත් පස්ස පතුරු යන්න මන් තලන්නෙ"


යන තර්ජනය කී දවසක් කළද මගේ පස්ස කිසි දිනක පතුරු ගොස් තිබුණේ නැත. සතියකට වරක් වත් ඇන ගන්නා උගුරැස්ස කටු භූමිතෙල් දමා හෝ සීනි සමඟ පොල් පොට්ටනියක් බැඳ පැය කිහිපයකින් ලොකු අක්කා ආය කට්ටක් ගෙන මා ගිරිය යටින් කෑ ගසද්දී එළියට ඇද දමයි. එසේ එළියට ගන්නා කටු එකතු කිරීමට මා දැඩි කැමැත්තක් වීය.


අපගේ වත්ත පාමුල විශාල කොහිල ගාලකි. කොහිල ගාලේ එක් පැත්තක උගුරැස්ස නැතහොත් කටු ලොවි ගහකි. වත්ත සීමාව මායිම් කරන්නේ නා නා වර්ග වලට අයත් අඹ ගස් පේලියකිනි. අඹ වාරයට යූරියා පොහොර ගෙන එන පොලිතින් මල්ලක් ගෙන විවෘත පැත්තේ කොටසක් ඉරා එය බෙල්ලට දමා ගෙන තේ නෙළන ළඳුන්ගේ තේ කූඩය මෙන් කවරය පිට පැත්තට දමා ගෙන කොහිල ගාල දෙසට උදෑසනම යන මා හට ඇසෙන ලොකු අක්කාගෙ හඬ හැමදා දකින කුකුළාගේ කරමලය මෙනි. එවකටත් 8 ශ්‍රෙණියේ උන් චූටි අක්කා කිසි දිනක අඹ ඇහිලීමේ කාර්‍යයට සහභාගී නොවූවත් මා අහුලා එන අඹ වල හොඳම කොටසට වග කීමට නම් උපන් රුසියෙක් වූවාය. හිමිදිරි පාන්දර සීතල, මීදුම නොතකා.. පරිස්සමෙන් කොහිල කටු සහිත අල මත පා නොතබමින් කොහිල ගස් අතර වූ අඹ සෙවීම නම් මා කළේ මහත් ප්‍රීතියෙනි. වවුලන් එළවීම සඳහා ටකයක් බැඳ තිබුණත්..රෑ තිස්සේ වවුලන්ගේ ක්‍රීස්...ක්‍රීස්.. හඬ මට නම් ගෙන දුන්නේ ඉමහත් ප්‍රීතියකි. මන්ද පසු දින බොහෝ අඹ, කා දමන ලද අඹ කොට රාශියක් තිබෙන බවට මෙම හඬ හොඳ ඔත්තුවක් සපයන නිසාය.


"මේ සාමා... සාමා.. එන්න අඹ දෙන්න" 


අල්ලපු ගෙදර බෝනික්කියක් මෙන් රූමත් නිලන්ති - ගෙදර නම සාමා - හරියටම මුහුණ සේදීමට ඒ අසල වූ ළිඳ වෙත එන්නේ හරියටම මෙම වේලාවටයි.


"අනේ ලියන්නයියා.. අද අඹ ගොඩාක් හම්බුනාද"


ලා රත් පැහැ වද මලක් මෙන් ඈ සිනා වෙන විට බලන්නට ලස්සනය. 


"එන්න..ආ"


හමුවූ අඹ ගෙඩි පහක් පමණ මා දෑතින් ගෙන ඈගේ විකසිත මුව වෙත වසිවී බලා සිටිමි.


"අයියගෙන් ඉල්ලලා අඹ ගන්නවා කියලා අපේ පංතියෙ කොල්ලො මට හිනා වෙනවා"


"මොකටද ඔයා ඔව්වා කියන්න ගියේ පංතියේ කොල්ලන්ට?"


මම අඹ ගෙඩි සහිත දෑත ඈ වෙත පෑවෙමි. 


"ඔච්චර ගොඩක් ගන්න මල්ලක් අරන් එන්න වෙයි"


"ඔය ගවුම පොඩ්ඩක් උස්සන්න, උස්සලා අත් දෙකින් අල්ලා ගන්න"


ගවුමේ ඔඩොක්කුව වෙත අඹ ගෙඩි කිහිපය අත හැර සිනා සලමින් නිවස වෙත දුව යන සාමා දෙස බලා සිට ප්‍රීතියෙන් යුතුව මා උඩ බලා ගෙන අඩිය තැබුවේ බිමට වැටී තිබූ උගුරැස්ස කටු පොකුරක් මතටය. රෝහල් ගත වී දින දෙකකට පසුව නිවසට පැමිණි මා නොන්ඩි ගසමින් කොහිල ගාල දෙසට යනවිට දුටුවේ උගුරැස්ස ගස සහමුලින්ම කපා දමා ඇති බවයි. අඹ නොමැති කාලයට තද පැහැ උගුරැස්ස ගෙඩියක් ගෙන හොඳට අතේ පොඩි කර එක් පැත්තකින් දතක් ගසා හිල් කර ඇතුළේ වූ රස පල්පය උරා බීම කොතරම් අහ්ලාදජනක වූයේද යත් කපා දමා තිබූ විශාල උගුරැස්ස ගස දුටු මා හට ඉකි ගසා ඇඬුණු බව මතකය.
--------------------------------------------------------------------------------
"මෙන්න මහත්තයා ඇනිලා තිබ්බ සර්කිට් කෑලි ටික. හොඳටම මලකඩ කාලා..ටෙනස් වලට ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්න.. අතන මිසී ළඟට ගිහින්"


කොර ගසමින් පීරිස් අයියා සමඟ මා ගියේ එහි සිටි රූමත් නර්ස් නෝනා අසලටයි. 


 ටෙනස් නේද කෝ එන්න "


බ්‍රිතාන්‍ය සමීක්ෂණයක ප්‍රතිඵලය වුයේ ලොව සරාගීම ළඳුන් සිටින්නේ හෙදි වෘත්තියේ බවයි. එය සැබෑවක් බව ඔප්පු කරන්නට මීට වඩා සාධක කොහිද? පීරිස් අයියාද වශීකෘතව බලා සිටින්නේ ඇය අත වූ සිරින්ජය දෙසමදැයි මට සැකයක් පහළ විය.


එදවස මා බෙරිහන් දෙද්දී ලොකු අක්කා පත්තු කරන ලද පොල්තෙල් පහන් කඩකින් පහළට වැගිරෙන උණු තෙල් බිඳු පතිත කරන්නේ මලකඩ කෑ ඇණ ඇනුණු තුවාල මතටය. එය සහ දැන් ලබා දෙන මෙම  ටෙනස්  ඉන්ජෙක්ෂන් එක අතර ඇති සම්බන්ධය කුමක්දැයි මට සිතා ගත නොහැකිය.


"කෝ උස්සන්න සරම, මේක ගහන්නෙ තට්ටමට !"


කමිසයේ අත උඩට රෝල් කර ගැනීමට ගිය මා දෙසවන් මත පතිත වූ මෙම වදන් ඇසුණු පීරිස් අයියා හනික ඔහුගේ සරම උස්සන්නට වූයේ, ක්ෂණයකින් පියවි සිහිය ලද්දේ වහා මගේ උර හිසින් අල්ලා හෙදිය වෙත මගේ පසු පස පෑවාය. වාසනාවකට මෙන් මා යට කලිසමක් ඇඳ සිටි අතර නොවූවානම් මා හට දැනෙන අපහසුතාවය ගැන සිහිවී මා හට හීන් දාඩිය දමන්නට විය. 


"හරි දැන් අතාරින්න. මේ පුළුන් කෑල්ල තියලා තද කර ගන්න." 


වහා පීරිස් අයියා පුළුන් කෑල්ල අතට ගත්තේය. 


"මෙතන බැම්මේ ඒ දවස් වල කුණු දමන අයට හෙණ හතම වැදියන් කියලා ගහලා තිබ්බා. පහු ගිය කාලෙ පේන්ට් කරන කොට ඒක වැහිලා..ආයි ලියලා දමන්න ඕනි මල්ලි..නැත්නම් කොච්චර කීවත් මේ කාලකණ්ණි ගෙදර කුණු ගෙනත් දමන්නෙ පාර අයිනටමයි"


දිලිසෙන දෑසින් යුතුව පීරිස් අයියා පාරේ බැම්ම අසල වූ අඳුරු මුල්ල දෙස බලමින් පවසයි. මා සිතේ සියුම් වේදනාවක් නැගුණත් මුව ගොළු කර ගත්තෙමි. 
මා සුරක්ෂිතව නවාතැන වෙත ඇරලූ පීරිස් අයියාට සමු ගන්නට පෙර මුව නොසෑහෙන සේ ස්තූති කල මා .. සිවිලිමේ වූ මකුළු දැල් ගණින්නට වූයේ...


"හාමිනේ පුංචි මහත්තයට හෙනහුරාගෙන් අපලයි හරියට..ඒකනේ මේ හැම වෙලාවෙම අත පය කඩා ගත්ත ගමන්ම .හෙනහුරා ජීවිත කාලෙම කරදර කරයි මේ විදියට...මෙන්න මේ පූජා ටික කරන්න.. එතකොට හෙනහුරාගේ බලපෑම අඩු වෙනවා..ගණ දෙයියන්ටත් බට කොළ කැව්ව එකානෙ"


නැකැත් මාමා අම්මාට මොනවදෝ පූජා වන් පිළිබඳ විස්තරයක් කියන්නෙ..මා පැටි අවදියේ බව යාන්තමට මතකය..


"ලියන්නා මේ ටැබ්ලට්ස් ඩ්‍රව්සි..බීලා ඩ්‍රයිවින් කරන්න එහෙම එපා" 


ඩොක්ටර්ගේ කටහඬ බිත්තියෙන් එහා පැත්තෙන් කියන්නාක් මෙන් දෝංකාර දෙයි. දෙසවන් සුමුදු හෝ හඬකින් පිරෙන්නට විය..මා මේ පාව යන්නේ වලාකුළක විය යුතුය...

Wednesday, January 18, 2012

රාජයියගේ පුනීලය

සතියේ සෑම අඟහරුවාදාම අප ප්‍රදේශයේ ඇති කුණු ගෙනයාමට කුණු ලොරිය පැමිනේ. සඳුදා දිනයේ හොඳින් නා පිරිසිදු වී සිටින්න යැයි මෙය දන්න මිතුරන් මට දැඩි සේ අවවාද දෙන්නේ මන්දැයි මා නොදනිමි. 
අද උදයේද සුපුරුදු ලෙසම කුණු ලොරිය පැමිණීමට පැය භාගයකට පමණ පෙර නගර සභා සේවක මහතකු පැමිණ දාන් දාන් යන හඬින් ප්‍රදේශයේම තිබෙන ගේට්ටු වලට ගසමින් යන්නේ කුණු බෑග් රැගෙන යාමට තව මොහොතකින් පැමිණෙන බව ඇඟවීමටයි. මෙයට විරුද්ධව ගෙවල් ඇතුලේ සිටින බලු රැල යුද්ධ ප්‍රකාශ කලත් අප නම් කිසි විටෙකත් විරුද්ධ නොවූයෙමු. සියළුම කුණු බෑග් පාර අයිනේ ගොඩ ගසා තිබෙන අතර මෙම බලු රැල නගර සභා සේවකයින් පැමිණීමට පෙර එම කුණු බෑග් තත්ව පරීක්ශාවක් කරන අතර සමහර ද්‍රව්‍ය වැඩිදුර පරීක්ශාව සඳහා තම තමන්ගේ ගෙවල් වලට රැගෙන යයි. අපේ ගෙදර සිටින බල්ලන්ද මීට වෙනස් නැත. එම නිසාම මෙම පැය භාගය අතරතුර පිටතින් තිබූ කුණු බෑගය සහ බල්ලන් පිළිබඳ විමසිලිමත් වීම අපගේ දින චර්යාවෙහි එක් අංගයක් වේ.අද දින උදෑසන අපගේ එක් බල්ලකු වැඩිදුර පිරික්සීමට රැගෙන විත් තිබුනේ පුනීලයකි.  






මෙවන් පුනීල අපගේ කුඩා කාලයේ භූමිතෙල් හා පොල් තෙල් මැනීම සඳහා භාවිතා වූ බව මගේ මතකය හඬ ගා කියන්නට විය. ඒ සමඟම මා හට සිහි ගැන්වුනු හාස්‍යජනක සිද්ධීන් සමූහයක් සිහියට නැගුනේ මා සිත සතුටින් පුරවාලමිනි. 






එම සිද්ධිය සම්පූර්ණයෙන්ම සිහියට නගා ගන්නට පෙරම තවත් බල්ලකු කුණු කූඩයකින් තරමක් ලොකු ශොපිං බෑගයක් ඩැහැගෙන යනු පෙනේ. ඒ පසු පස දිව යන්නේ අසල නිවසක සිටින රාජා අයියයි. තරමක් ස්ථූල ශරීරයක් ඇති රාජයියා පරදවමින්  එහා වත්තේ සිටින නගුටා මල්ලත් රැගෙන දිව ගියේය. රාජයියා හතිලමින් ආපසු පැමිනේ. 






"ගුඩ්මෝනිං ලියන්නා මල්ලි.. බලන්නකො මේ පර බල්ලො එක්ක බෑ..කුණු බෑග් එකක් ඇද ගෙන දිව්වා"


කී සැනින් යමක් සිහි වී ලැජ්ජාශීලි සිනහවකින් මුව සරසා ගත්තේ..මටද එම සිද්ධිය මගේ දෑස අබියස මැවී පෙනිනි..


මීට සති කිහිපයකට පෙර මෙසේම එක් අඟහරුවාදා දිනක එක් බල්ලකු කුඩා ශොපිං බෑගයක්කටින් ඩැහැගෙන දිව යයි. මමද මගේ කුණු බෑගය එළියට දමා ඒ අසල රැඳෙමින් සිටියේ ඇද දමා ඇති කුණු බෑගයන් වලින් භාගයක්ම කුණු ලොරිය නොගෙනියන බැවිනි...එදාද රාජයියා එක අතක සරමද රැගෙන බල්ලා පසු පස දිව එයි. මා කලේ බල්ලාට ගැසීමට ගල් කැටයක් ගැනීම පමණි.එම කුඩ සිලි සිලි බෑගය මා ඉදිරියේම දමා බල්ල ඈතට දිව ගියේය. තරමක් ඈතින් රාජයියා හතිලමින් දිව එයි.


 "රාජයියෙ මගේ කුණු බෑග් එකේ ඉඩ තියෙනවා මේකත් ඒකටම  දමමු"


කියමින් මා එම බෑගය අතට ගත්තේ..


"එපා මල්ලි එපා.. ඔහොමම තියන්න මන් අරං යන්නම්" 


කියමින් මා දෙසට දිව එද්දීය.
අවාසනවක මහත මා බෑගය අතට ගනිද්දීම බලු තඩියාගේ දතට හසුවූ තැනින් බෑගයේ තිබූ කුණු ටික මගේ දෙපා මුලම ඇද වැටුනේය. සබන් කොල, හිස් රින්සෝ පැකට් කිහිපයක්..පත්තර කොල කිහිපයක් සරාස් ගා ඇද වැටුනේ බිමටය. රාජයියා අනවශ්‍ය ලෙස කලබල වූයේ වහා නැවතත් සරම ඇඳ ගනිමින් බිමට නැමී අහුලන්නට තැත් කලත්..මට අනුකම්පා හිතුනේ මෙච්චර තඩි බඩක් තියා ගෙන නැමෙන්නෙ කොහොමද කියාය. 


"කමක් නෑ රාජායියෙ මගෙ අතේ කුණු ගෑවිලා තියෙන්නෙ ඉන්න මන් අහුලලා දමන්නම්.."


කියමින් මා නැවී බිම විසිරී තිබූ හිස් පැකට් කඩදාසි එකින් එක අහුලන්නට වූයේ.. එකවරම  කඩදාසි අතර තිබු කඩදාසි වලට වඩා බර යමක් ලිස්සා ගොස් තහ්ග් ගා පොලව මත පතිත විය. මගේ දෑස උඩ ගියේත් වික්ෂිප්ත වූයේත් එක්වරමය. ඊයේ රාත්‍රියේ හෝ උදෑසන පාවිච්චි කල කොපුවක් ගැටයක්ද දමා එහි විය. රාජයියා කලබල වන්නට ඇත්තේ මේ නිසායි.මා ඇද ගෙන නා ඇත. බිම ඇත්තේ එයත් සමඟම තවත් එක පත්තර කොල කැබැල්ලක් පමණි. මා හිස ඔසවා බැලුවේ රතුවූ රාජයියා සැනින් අහක බලා ගත්තේය. කල හැකි කිසිම දෙයක් නැත. ආපසු හැරුමක්ද නැත. මුලින්ම පත්තර කොලය අතට ගෙන එය මතට කොපුව උන්ඩි කර ගෙන අනිත් කුණු සියල්ලම සමඟ මා නැගී සිටියෙමි. රාජයියාගේ දෙකන්සයෙන් දහඩිය ගලයි..


"මේ ටික මේ බෑග් එකට දමන්නම් අයියෙ"


කියමින් මා සිද්ධිය අවසන් කලේ මේ මනුස්සයා තවත් අපහසුතාවයට පත් කිරීම සුදුසු නැති නිසාය. සම වයසේ අයකු වූවානම් මොනවා හරි විහිලුවක් කර තත්වයේ බරපතල කම සන්සිඳවීමක් කල හැකි වූවත් මට වඩා අවුරුදු 10ක් පමණ වැඩිමහල් ඔහු බොහෝ අපහසුතාවයට පත් වන්නට ඇත. සති කිහිපයක් යනතුරුම මා හට මුහුණ නොදුන් ඔහුට එම සිද්ධිය නැවත මතක් වන්නට ඇත. 


"මල්ලි පොඩ්ඩක් ඉන්න, අපෙ මස්සිනාල ඊයේ ආව . ගෙනාපු කෑම වගයක්  අරන් තිබ්බා මල්ලිගෙ පංගුව"


නිවස පැත්තට හැරුනේය. 
මෙවන් දෑ කුණු බෑග් සමඟ ඉවත් කරන්නේ නම් ඉතා සැලකිලිමත් විය යුත්තේ මෙවන් අනපේක්ශිත සිදුවීම් සිදුවිය හැකි නිසාය. මෙය මහා ලොකු සංසිද්ධියක් නොවූවාට මා බොහෝ විට සනීපාරක්ශක තුවා රැගෙන පාරෙ දුවන බල්ලන් බොහෝ විට දැක ඇත. කුතුහලය සහිත කුඩා දරුවකුට තම වැඩිහිට්යන්ගේ රෙදි ගැලවෙන ප්‍රශ්න ඇසීමට මේවා හොඳම අවස්ථාවන්ය. එසේම මොනතරම් අනුකම්පා සිතුනත් අනුන්ගේ කුණු බෑග් සඳහා උදවු කිරීමද එතරම් ඇඟට ගුණ නැත.


බල්ලා ගෙන එන ලද පුනීලය මල්පඳුරු අතරය. පඳුරු වටේ තැලුවාට පුනීලය රැගෙන නැවත  ඒමට සිදුවේ.   

Monday, January 16, 2012

තීරණාත්මක සතියක් !



කෙනෙක්ව අසාධාරණයට ලක් වෙන කොට සහ ඒ අසාධාරණයට එරෙහිව නැගී සිටියත් යහප්‍රතිඵලයක් නොලැබෙන බව සක් සුදක්සේ පෙනෙනවිට නිහඬ වීම හැර වෙන කුමක් කරන්නද ? අවුරුද්දක්.. දෙකක් -- තුනක්... නිහඬව හිටියා අවුරුදු අටක්ම.. දැන් තමයි විසඳෙන්න යන්නෙ ඒ අසාධාරනය. බලමු මොකද්ද වෙන්නෙ කියලා.. අසාධාරන පක්ශය තවමත් බලවත්..තනි මම ... මම විතරයි ! 


බිම ඉන්න මිනිහෙකුට වැටෙන්න තවත් පහලක් කොයින්ද ?
සියල්ලම නැතිවෙච්ච මිනිහෙකුට තවත් නැති වෙන්න යමක් තියෙයිද ? 
තවත් දවසකට මේ වාගේම ගිය අවුරුදු අටේ වගේම ලස්සනට හිරු පායලා එයි කුරුල්ලො කිචි බිචි ගාද්දි..


මමත් ඒ එක්කම අවදි වේවි ඒ හඬත් එක්කම දවසේ නැවුම් පැතුම් ගොන්නත් එක්කම.. 


හෙටත්.. අනිද්දත්.. ඊට පසු දිනත්..තීරණය කුමක් වුවත්.. ඒ විදියටම වේවි..


එක්කෝ ජීවිතය ගලා යාවි.. මේ විදියටම නැත්නම් හැරුම් ලක්ශයක් ඒවි ක්ශණයකින්..සියල්ල උඩු යටි කුරු කරමින්..


තත්පරෙන් තත්පරේ..ඔරලෝසු බට්ටා පැද්දෙනවා..


කාලය...කාලය ... කාලය...


නැවතීමක් නැති..

Sunday, January 8, 2012

ඒක අහවරයි ! දැන් මක්කැයි කොරන්නෙ ?

ලෝකයේම සිටින ජීවීන් අතරින් මිනිසා අපූර්වතම සත්වයකු වන්නේ විවිධාකාර හේතු ගණනාවක්ම නිසාය . ඒවා පෙලගැස්වුවහොත් අනිකුත් ජීවින්ගෙන් මිනිසා වෙනස් වන්නේ කෙසේද යන්න අපට මනාව පැහැදිලි වේ. මෙම ගුණාංග අතුරින් එක සුවිශේෂී  ලක්ෂණයක් වන්නේ මිනිසාට සිනා සීමට හැකි වීමයි. හිතවත්කම පෙන්වීමට මෙය මූලික වශයෙන්ම යොදා ගන්නා උපක්‍රමයකි. අප ලංකාවේ මිනිසුන් නම් ඕනෑම නොදන්නා අයකු හමු වූවද කිසිම වෙනත් ප්‍රතිලාභ නොතකා සිනාවකින් සංග්‍රහ කිරීමට පැකිලෙන්නේ නැත. එය ලොව පුරාම ප්‍රසිද්ධ රහසකි. නමුත් වර්තමානයේ නම් මෙම වටිනා හැසිරීම යම් වෙනස්වීමකට භාජනය වන්නේද යන්න පිළිබඳ යම් සැකයක් පවතී. අප කුඩාවුන් වූ ඒ කාලයේ අපිට හොඳ හැටි මතක සිද්ධියක් වූයේ අපගේ වැඩිහිටියන් තුල වූ මේ අව්‍යාජ සිනහවයි. ගම් වලට පොදු හර පද්ධතීන් තුල තිබූ එක සුවිශේෂී ගුණාංගයක් වූ එකිනෙකා හා ඇති ලෙංගතුකම පෙන්වන ඉතා ඉහල අගයක් ගත් එක් අවියක් වූයේ සිනහවයි. 


"ආ අක්කෙ නානවද ?"


දිය රෙද්දක් ඇඳ තෙත බරිත ව සිටින ගමන් ඊළඟ වතුර බාල්දිය අදින වැඩිහිටි අක්කලාගෙන් අපි සිනහා මුසු මුහුණින් ඇසීමු. ඇස් පොට්ට වෙලාද මන්දා මෙච්චර නානවා පෙනි පෙනී නානවද අහන්නෙ කියා ඔවුන් කිසිදින අපෙන් ඇසුවේ නැත. 


සිනහමුසු මුහුණින්


 "ඔව් මල්ලි, නාන්නද ආවේ ?"


යන්න ඇසුවේ තුවායක් කරේ දමාගෙන බාල්දියක රෙදි පුරවා ගෙන සිටි අප දෙස බලමිනි. ඊට පසු යම් දෙයක් දෙඩූවද නැතුවද අප දෙපිරිස අතර යම් සුහද මිත්‍රශීලී සමාගමයක් හුවමාරු වීමට එම කුඩා දෙබස ප්‍රමාණවත්ය. නමුත් පසු කාලීනව මාධ්‍ය හරහා මෙය ප්‍රබල ලෙස හාස්‍යට ලක් කර අද දින නම් මෙවන් මෝඩ ප්‍රශ්ණයක් අසනවා තබා සිතීමටවත් ඉඩ නොතබයි. අද දින මෙසේ මල්ලක් රැගෙන කඩේ යන අයකු දැක ඔහුගෙන් 


"ආ කඩේ යනවාද?"


 යන්න ඇසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ 


"නෑ මේ පීනන්න යනවා "


 යනුවෙන් කොක් හඬලා සිනහා සීමයි.ඊ ළඟ දිනයේ මෙය සිතේ තබා ගන්නා අර ඉහත කී පුද්ගලයා නැවත එම ප්‍රශ්ණය කිසිදා නොඅසනු ඇත. ඒ වෙනුවට ඔහුට කතා කිරීමට කිසිවක් නැත. තමන්ගේම සහෝදරයෙක් වන් අයකු මුණ ගැසුනත් බුම්මා ගෙන යනු විනා කතා කිරීමට කිසිවක් නැත. මෙයින් බිඳී ගියේ අපේ වටිනා සාර ධර්මයක් නොවේද ? එකිනෙකාගේම ලෝක වල තනිවූ හුදකලා මිනිස් සමාජයක්  ගොඩ නැගෙමින් පවතී කියූවහොත් එය සම්පූර්ණයෙන්ම වැරදි නොවේ. වර්තමානයේ ගම් වල මේ තත්වය තරමක් වෙනස් වූවත් නගර වල මේ තත්වය ශෝචනීය බව මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම ප්‍රචාරය වන ප්‍රවෘත්ති තුලින් අපට අවබෝධ කර ගත හැක. 


තත්වය කෙසේ වෙතත් මිනිසාගේ මූලික ආශාවක් වූ රංචුවක් ලෙස ජීවත් වීමේ ආශාව කිසිවිටෙකත් වෙනස් කල නොහැක. අප කුමන වාතාවරන වල, කුමන තත්වයන්ගෙන් සිටියත් කුමන වයස් කාණ්ඩවල සිටියත් අප වඩාත් කැමැත්තේ අළුතින් නොදන්නා අයකු දැන ගැනීමට නොවේද ?  වැඩිම යහළුවන් ගනනාවක් සිටින තැනැත්තා වඩාත් සතුටින් සිටින්නේ යන්න මගේ පුද්ගලික මතය වූවත් එයට බොහෝ අයෙක් එකඟ වනු ඇත. අයකුගේ වටිනාම වස්තුව කුමක්ද යන්නට මා නම් දෙන පිළිතුර වන්නේ ඔහුට සිටින යහළුවන් පිරිස යන්නයි ! එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහන්නේ යම් පරමාර්ථයක් ඇතිවය... එය ඔවුන්ට සතුට ගෙන දෙනු නියතය..


මෙය බ්ලොග් ලෝකයට, සිංහල බ්ලොග් ලෝකයටද වෙනසක් නැතැයි මට සිතේ.


ලියන දෙය කෙතරම් නීරස වූවත් , නොවටිනා වූවත්, එය තමන්ගේ ජීවිතයේ යම් සුළු සිද්ධියක් වූවත් එය ලිවීමට ගන්නා උත්සාහය කැමැත්ත, පෙළඹීම අනිවාර්‍යෙන්ම අගය කල යුතුමය. අද මෙසේ ලිවීමට පටන් ගන්නා කුඩා අංකුරය කොතරම් දුර ගොස් කොතරම් පතාක ගසක් වනුදැයි කීමට කිසිවකුත් නොදනී. අප පොහොර සහ වතුර දමා බැලිය යුතුමය. මෙය සිංහල සයිබර් අවකාශයට මුදා හරින සියළුම සිංහල බ්ලොග් කරුවන්ට අදාල නොවන්නේද යන්න මගේ සිත තුල දැවෙන ප්‍රශ්ණයකි. මගේ පුද්ගලික මතය නම් කුඩා වූවද නිර්මාණය ඇගයීමකට ලක් කලයුතුයි යන්නයි. 


නමුත් අද කනගාටුවට කරුණක් ලෙසින් බොහෝ අවස්ථාවල ඇස ගැටෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයයි ! 


කෙසේ වෙතත් පසු ගිය කාලයේම සිංහල බ්ලොග් ලියන පිරිස් ගාල්ලේදී හමු විය යුතුයි යන අදහසත් සමඟම බොහෝ පිරිසක් එයට දායක වී , සංවිධානය කර හමුවක් ලෙස එකට එකතු වී සතුටින් විසිර ගිය මොහොතකයි අප මේ පසු වන්නේ.. මේ ඵල ගැනුනේ සංවිධායකයන් ලෙස ප්‍රමුඛ පෙල ගෙන ක්‍රියා කල කිහිප දෙනකුට අන් සියල්ලම එකඟ වීමයි. මෙහිදී සියල්ලන්ම බ්ලොග් ලියන බව දන දැන වූවද ,


"ඔයා බ්ලොග් එකක් ලියනවද ?"


යන ප්‍රශ්නයට සිනහ මුසු පිළිතුරක් ලෙස ලැබුනේ ,


"ඔව්, ඔව්, අර බ්ලොග් එක ලියන්නේ මන්"


යන්නයි. මෙතන ගොඩ නැගුනේ අපෙන් විටෙක ගිලිහී ගිය සහෝදරත්වයේ සළකුන නොවේද ? ලෙංගතුකම නොවේද ? එකිනෙකා හැඳින ගනිමින් සිනහා නගමින්, කෙලි දෙලෙන් හා ප්‍රීතියෙන් ගත කල ඒ සීමිත වූ කාල සීමාව කෙතරම් ප්‍රබලද යන්න දැනෙන්නේ මේ දැන් නොවේ.. හෙටයි...අනිද්දායි ! ලබන මාසයේයි ! එසේ නොවේද ? 


ෆොටෝ එක ඉස්සුවෙ අභීතගෙ ඇල්බම් එකකිනි. අවසර ලබා ගෙන නොමැත. 


ඒ ලෙංගතු හිනාවත් සමඟ නැවතත් ඒ හෙට, අනිද්දා, ලබන මාසයේ අපි හමු වෙමු මීටත් වඩා උඩ පැන පැන හිනා වෙන්නට ! හිනා වෙමින් යම් ලොකු අරමුණක් ඉටු කර ගන්නට ! 

Wednesday, January 4, 2012

කොන්ක්‍රීට් ආදර්ශ ගොවිපළ හා අපි නොදන්න චෙස් !

"ලියන්නා එහෙනම් අපේ මුණුබුරායි මිණිබිරී දෙන්නවම මේ ආදර්ශ ගොවිපළ බලන්න එක්ක යන්න...ඩ්‍රයිවර් එක්ක විතරක් යැව්වට වැඩක් නෑ..ඔයා ඉතින් ගම් පළාත්වල ඒවා ගැන දන්න නිසා..වැඩිපුර කියලා දෙන්න පුළුවන් !"






ගෙදරට - ඒ කියන්නෙ මගේ ඇනෙක්ස් එකට - වෙලා ජොළියෙ ඉන්න හිතන් හිටපු ඉරිදාවක් ඔන්න ඔහොමයි ගෙවෙන්න යන්නෙ.. මගේ ඇනෙක්ස් එකේ අයිතිකාරයාගේ රට ඉන්න පුතාගෙ දුවයි පුතයි එක්ක මට සංචාරයක් සෙට් වුණේ ඔහොමයි. ගෙවල් හිමියකුටත් වඩා ඥාතියකු බඳු ඔහුගේ ඉල්ලීම කෙසේවත් බැහැර කිරීමට නොහැකි නිසා මේ කොන්ක්‍රීට් නගර සීමාවේම අසලක වූ කෘතීමව සකසන ලද ආදර්ශ ගොවිපළ නැරඹීමට සම්පූර්ණ දවසක්ම ගත කිරීමට සිදු විය. ආදර්ශය කෙසේ වෙතත් නියම සජීවී ගොවි ගම්මානයක වසර 20කට නොඅඩු කාලයක් ගත කල මා හට මෙවන් කෘතීමව සකසන ලද ගොවිපළක ඇති අරුමය සිත නැගෙත්ම නිතැතින්ම ඈනුමක් දෙකක් පිට වීම සිදු විය. මෙය එතරම්ම අලස උදාසීන කාර්යයක් විය.


නමුත් කල හැකි දෙයක් නැත. බැඳ ගත් බෙරය ගැසීමටම සිදු වේ. එම ඉරිදා දිනය..උදෑසන ආහාර ගත් සැණින් වාහනයේ රියැදුරු මා සහ දරු දෙදෙනා කැමරා, දහවල් කෑම , වතුර, පලතුරු සහ තවත් කෙටි කෑම බෑගයන් සහිතව ගමන ආරම්භ කළෙමු. මීට පෙර මෙම ආදර්ශ ගොවිපළ පිළිබඳ ලිපි කියවද්දී මා සිත නැගුණු සෝපාහාස සිතුවිල්ල තවම බැහැරව ගොස් නැත. නගරයේ සිටින අය සජීවී ගොවිපළවල් වෙත ගොස් එහි නියම අත්දැකීම් ලබා ගන්නවා විනා මෙවන් කෘතීම පරිසරයන් තුළ කෙසේවත් ප්‍රායෝගිකව ගොවි ජීවිත අත් විඳිය නොහැකිය. මෙය හුදෙක් තවත් එක් මුදල් ගරා ගන්නා ව්‍යාපෘතියක් පමණක් බව මා කිහිප විටෙකම මිතුරන් සම්ඟ තර්ක කළෙමි. ඔවුන් අද මා මෙලෙස මෙම ගොවිපළ වෙත යන බව දන්නේ නම්.. හික්ස්...දෙකොනින්ම හිනා වෙනු නියතය.දරු දෙදෙනා අතොරක් නොමැතිව නගන ප්‍රශ්න වලට මා සහ රියදුරා පිළිතුරු දී හෙම්බත් වෙද්දී..අප ප්‍රධාන මාර්ගයෙන් හැරුණේ අතුරු මාවතකටය. 


කෙළවරක් නොපෙනෙන තරමේ ඉද්ද ගැසූවක් මෙන් කෙළින් පාරේ දිගටම කොහොඹ ගස් සරුවට දෙපැත්තේම වවා ඇත. 


"අමරේ අයියෙ පොඩ්ඩක් වාහනේ නවත්තන්න"


මාවතේ මැද හරියේදී මාගේ ඉල්ලා සිටීමට රියදුරු අවනත විය. වායු සමන රියේ දොර හැරි සැණින් නාස් පුඩු තුළින් පෙනහලු කරා ගමන් කල හුස්ම පොද මා විස්මයට පත් කරමින් දෙපයේ ඇඟිලි දක්වාත්, දෙ අතේ ඇඟිලි දක්වාත් ගමන් කරනු මා හට හොඳින්ම දැනෙන්නට විය. තවත් හුස්මක් ළය පුරා ගත් මා..හට දැනුණේ..වචනයෙන් කිව නොහැකි තරමේ සැහැල්ලුවකි. ඇඳුම් වලින් ආවරණය නොවූ ශරීරයේ දැවටෙන මුදු, මදක් සිසිල් මදනල..මා අමුතුම ලෝකයකට ගෙන ගියේය..දරුවන් දෙදෙනා සමඟ ඈතට දිවෙන කොහොඹ ගස් සමූහය සහ දෙපසින් ගලා යන සිහින් ඇල දොළ..සමගින් සවන් පිනා යන සිහින් සුළඟේ ශබ්දයට ලතාවකට ගී ගයනා සියොතුන්ගේ ශබ්දය.


"යන් ලියන්නා සර්.. එන්න බේබි ගොවිපලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා..ඉක්මනට ගියොත් බලන්න පුළුවන්.. අක්කර විසි ගාණක්ලු "


රියදුරුගේ හඬින් මෙලොවට ආ අප නැවත රියට ගොඩ වූයෙමු. 


"ඒසී ඕෆ් කරන්න අමරෙ අයියා..අපි ග්ලාස් ඇර ගෙන යමු "


කුමක්දෝ දමා යන්නට නොහැකි දුකක සේයාවක් මසිතේ පැලපදියම් වේ. කොහොඹ වැටිය අවසන පාර දෙපැත්තේම සරුවට වැඩුණු සූරියකාන්ත, දහස්පෙති, කූඩලු , හෙන්දිරික්කා , ගැට පිච්ච, ඉද්ද ආදී ගම් වලටම ආවේණික වූ මල් ගොමුව අවසානයේ ගොවි පලේ දොරටුව විය. අවසර පත් ගන්නා ඉසව්වේ පොල් කට්ටක වත් කල කහට සමඟ ලැබුණු කිතුල් හකුරු කෑල්ල...කලකින් ලද අමෘතය මෙන් විය.


අවසර පත් වල තරමක් ඉහළ මිල මා තරමක් මවිතයට සහ සිත තුළ කැකෑරෙන ගිනි පුපුරකට ගිනි ඇවිලෙන්නට විය.මිනිස්සුන්ගේ සල්ලි සූරා කා ලාභ උපයන තවත් එක ව්‍යාපෘතියක් යන්න තහවුරු කිරීමට තවත් සාක්ෂි කුමකටද ? 


මන් හිතපු දේ හරි මොර ගාමින් හදවත කුරිරු සතුටකින් ඉපිලෙන්නට වූවත්..අප හට ලබා දුන් මාර්ගෝපදේශකයා දුටු සැණින් එය නිවී ගියේය. මහලු වියට ආසන්න සුදු වූ කොණ්ඩය සහ රැවුල සමඟ බුලත් විට කා රත් පැහැ වූ තොල් අතරින් පැන නැගුණු අව්‍යාජ සිනහව අප සැමගේම සිත් ගත් බව නොකිව මනාය. අපේ ගමේ ගොවියකු වූ පියා මෙන්ම ඔහුද බර අඩි තබමින් අපට ඉස්සර වූයේ දරු දෙදෙනා දෙ අතේම එල්ලා ගනිමිනි. 


"හා ළමයි දැන් සේරම ඔය සපත්තු ගලවලා මෙතනට දෙන්න..අපි ඇවිදින්නෙ පයින් සපත්තු නැතුව..ආපහු එනකොට මෙතනින් ගනිමු" 


දරු දෙදෙනා අකමැත්තෙන් වූවද එයට අවනත විය.
මා හඬ අවදි කළෙමි.


"Son you will hurt your feet dear, please don't. We will clean our shoes later.."


සිහින් මදහසක් මුව රඳවා ගත් අපේ මාර්ගෝපදේශකයා, 


"Excuse me Sir, How are you going to feel the real farm life with those shoes ? Just trust me, You will feel better without shoes. A little bruise here and there is nothing serious Sir !"


මදක් බ්‍රිතාන්‍ය ඌරුවට ළංවූ වචන උච්ජාරණය මා අල්ලා පොළවේ ගැසුවාක් මෙන් විය. දුව මා දෙස බලමින් දිව දිගු කර විරිත්තන්නට විය. උද්ධච්ච නාකි මිනිහෙක්..මෙතන ජොබ් එක කරන්න ඕනි නිසා ජීවිතේ අන්තිම කාලෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇති. මද නොරිස්සුමක් මා හිත තුළ පැලපදියම් වන්නට විය.


නිහඬ වූ මාද පාවහන් ගලවා ඔවුන් හා එක්වීය. එක යායට පෙනෙන කුඹුරු යායක් අප දෙනෙත් ඉදිරියේ විද්‍යාමාන වන්නට විය. ලා කොළ පැහැ..අඟලක් දෙකක් උසට වැඩුණු කුඩා ලියැදි සහිත කුඹුරු යාය..දෙඇසට සිසිලසක් ගෙන එන්නට සමත් විය. කුඹුරේ නියර මත තරමක් උසට වැඩුණු තණ ගොල්ල මත පා තබනවාත් සමඟම.. කුඩා තණපත් අග බැඳී තිබූ සියුම් පිනි බිඳු පා මත පතිත වෙමින්..පාදයන්ට ගෙන ආවේ සියුම් සිසිලසකි. තණ පත් අග නිරුවත් යටි පතුල මත දැවටෙන විට සියුම්ව දැනෙන කිතිය...මා ගෙන ගියේ වචනයෙන් කිව නොහැකි තරම් සියුම් ආස්වාදයකටයි..මුළු සිරුරේම ඉන්ද්‍රීයයන් අවදිවී මා හට අවට පරිසරයේ සියුම් භාවයන් හා එකාත්මික වන්නට විය..


Come oooon uncle ! What are you waiting there freeze !?


ඔවුන් හා මා අතර පරතරය මා අඩු කළේ දුව ගොස්ය... මා හට සිහි වූයේ කුඩා කාලයේ දිනය පුරාම සරුංගලයක් අතැතිව ගම පුරාම ඇති කුඹුරු නියර දිගේ දිව ගිය කිසිම බරක් පතලක් නැති වගකීමක් නැති ජංගි කොටයක් ඇඳි කොලු ගැටයාය..


"සර් අපි යමු අර බිත්තර වී ගබඩාවට.. එන්න මේ නියරෙන් බැහැලා අපි කුඹුර මැදින් යමු.."


එක පේළියට රටාවට සිටුවා ඇති ගොයම් පැල කට්ටි අතර පොහොර දැමීමට සකසා ඇති කුඩා ඉඩ තීරුව මැදින් මේ තිදෙනා ගමන ආරම්භ කළේය. කී වාරයක් නම් අප මෙසේ ගොස් වල් නෙලා ඇත්දැයි මට සිහියට නගා ගත නොහැක.


"Uncle Why are you silent today ?"


මා වර්තමානයට පැමිණිය යුතුය..නැතහොත් අපේ මාර්ගෝපදේශක සිල්වා අංකල් මා උමතුවෙන්දැයි බලනවා නිසැකය.අඟලක් දෙකක් පමණ වූ මඩ සහිත වතුරේ චක චක හඬින් මහත් සතුටින් අප පිය මැන්නේ කුඹුරු යාය මැද වූ පිදුරු සෙවිලි කර වරිච්චි බිත්ති හා ගොම මැටි ගා පිරියම් කල නිවෙස වෙතටයි. එහි බිත්තර වී සැකසීමේ සිට ඒවා තවාන් කිරීමට බීජ පැල ඇදෙන තත්වයට ගෙන එන තෙක්ම වන ක්‍රියාවලිය එහි සජීවීව දක්වා තිබිණි.


ගමේ අපගේ නිවසේ සාලයේ පසෙක වතුරේ පොඟවන ලද වී ගොඩක් තෙත ගෝනි වලින් හා හබරල කොළ වලින් වසා ඇත. මමත් චූටි අක්කාත් බලා සිටින්නේ එහි කුඩා මුල් මතුවී වී ඇටයේ එක පැත්තකින් කුඩා අංකුර එළියට ඇදෙන තුරුය. මා වඩාත් ආශා කළේ කාටත් හොරෙන් අංකුර ඇදෙන වී ගොඩතුළට අත දමා ගෙන සිටින්නටය..එහි තුළ ඇති මද උණුසුම සමඟ එන සියුම් කිරි සුවඳ විඳ ගැනීමට කාලයෙන් බාධාවක් නැත.. විටින් විට එම වී ඇටයක් කටේ දමා සපා එහි සිහින් කිරි සහ පැණි රස විඳීමට කාගෙන්වත් බාධාවක් නැත.


"එන්න පුතා , එන්න දුව මේ හැදී ගෙන එන පැල අත ගාලා බලන්න"


මමද ඔවුන් හා එකතු වූයෙමි. 


"පුතා හෙමීට ඔය පැළ කැඩෙන්නෙ නැති වෙන්න ඇඟිල්ල දමලා බලන්න ඒ ඇතුළෙ රස්නෙ"


පොඩි උන් දෙදෙනා විමතියට පත් වේ..


"ලියන්නා අංකල් දන්න දේවල්"


ඔවුන් තිදෙනාටම හොරෙන් මා අංකුර ඇදී ගෙන එන වී ඇට කීපයක් අත්ලේ සඟවා ගත්තේ ලද විටෙක රස බැලීමටය.කුඹුරු යායේ ඉහළට වන්නට මදක් මේරූ ගොයම් මෙන්ම අවසන් කෙළවර රන්වන් පැහැයෙන් හිස්බිමට නමා ගත් සරුසාර ලි‍යැදි කීපය..හරහා අප ඇවිද ගියේ මහත් වූ ආනන්දජනක හැඟීමකිනි. 


"බලන්න පුතා වී ඇට පැහෙන කොට මුළු කරලම බිමට නැමෙනවා"


"ආ..."


"අපි මේ කුඹුරු යායම අස්වද්දන්නෙ කිසිම රසායන බෙහෙත් පලිබෝධ නාශක, කෘමි නාශක පාවිච්චි කරලා නෙවෙයි..කොහොඹ වගේ සාම්ප්‍රදායික බෙහෙත් වර්ග වගේම කාබනික පොහොර වලින්ම තමයි."


සිල්වා අංකල්ගේ හඬ මා විමතියට පත් කරයි.


"එන්න පුතා දුව ගන්න මේ කූඩ දෙක අපි යන්නෙ ඊළඟට එළවළු කොරටුවට..මන් කියලා දෙන්නම් හොඳ මෝරපු එළවළු කොහොමද තෝරා ගන්නේ කියලා.. ඔයාලා දෙන්නා තෝරල කඩන එළවළු ඔයාලට ගෙදර ගෙනියන්න දෙනවා. මහත්තයාටත් ඕනිද?" 


බුලත් කසට බැඳුණු මුවින් නැගෙන අව්‍යාජ සිනහව මැද ඔහු අසයි.


 "එපා අංකල් පොඩි අයට දෙමු. "


මතකයට නගා ගත හැකි සියලුම වර්ගයේ එළවළු එහි වවා තිබුණි. පොඩි උන් දෙදෙනා අත ඇති කූඩා දෙක විවිධාකාර එළවළු වර්ග වලින් පිරී තිබුණි..ඊටත් එහා උන්ගේ හිත් පිරී ඇති බව ඔවුන්ගේ දිලිසෙන දැස් කියාපායි. 


"ඔන්න පුතා දුව ඔය එළවළු ගෙදර ගෙනිහින් සේරම උයා ගෙන කන්න ඕනි. වස විෂ නැහැ ඕවායෙ ඔය සුපර් මාර්කට් වලින් ගන්න ඒවා වගේ"


"කොහොමද සිල්වා අංකල් අර වගේ ටිකට් වලට පොඩි ගණනක් අය කරලා මෙච්චර වියදමක් දරන්නෙ මේක බලන්න එන අය වෙනුවෙන් ?"


මගේ සිත තුළ කැකෑරෙන ප්‍රශ්නය එළියට පැන්නේය. කට තුළ වූ විට හපය එළියට දමා අසළවූ කුඩා දිය දහරෙන් වතුර දෝතට ගෙන මුව සෝදා ගෙන ,


"මහත්තයා අපි මේ ගොවිපළ කරන්නෙ සේරම ආණ්ඩුවේ ලොකු ජොබ් කරලා පැන්ෂන් එක අරන් ඉන්න ටීම් එකක්. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා.මේකෙන් පඩි ගන්නෙ නෑ..බලන්න මේ වගාව, ගස් කොළන් එක්ක අපි ආයි ආයි ඉපදිලා ළමා කාලය ගෙවලා තරුණ වෙනවා..ජීවිතේ පිරිලා යන්නෙ ඒ සතුටින්..සල්ලි වලට ගන්න බැරි"


මේ මඩ ගොඩේ දණ බිම ඇන මේ උතුම් පුද්ගලයාට වැඳ නොවැටෙන්නේ මන්දැයි මගේ සිත මුරගායි.


"එන්න සේරම අපි යන් සත්තු ගොවි පළට..අපේ සේරම පොහොර එන්නෙ එතනින් තමයි."


මනාව සකසන ලද සත්ව ගොවිපළ මට සිහි කළේ බටහිර චිත්‍රපට හෝ වාර්තාමය චිත්‍රපට වල දැක ඇති සිද්ධි සමූහයකි. එයද බොහෝ තරුණ හා මැදිවිය ඉක්මවූ බොහෝ පිරිසකට රැකියාව දෙන ස්ථානයක් බවද පෙනී ගියේ..නමුත් රැකියාවක් කරන බහුතරය්කගෙන් දිස් වන වෙහෙසකාරී,නොසන්සුන්, පීඩනකාරී පෙනුම වෙනුවට ඔවුන්ගෙන් දිස්වූයේ මනා නින්දක් ලද මේ සැණින් අවදි වූ පිරිසකගේ පෙනුමකි. සියල්ලෝම අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන වචනයක් දෙක දෙඩීමට පසු බට නොවීය.


"මහත්තයා ඕන්න අල බෝග වගාව එක්ක මල් බලන්න විතරයි තව තියෙන්නෙ. එහෙමනම් අපි ඔය ඉස්සරහා ළිඳෙන් නාලා.. දවල් කෑම ගමු"


 මාගේ දෑස යොමු වුණේ අතබැඳි ඔරලෝසුව වෙතටයි. පැය තුන හමාරක් ගෙවුණෙ කොහොමද ? ඉදිරියේ වූ එළි මහන් භූමිය මැද විශාල කුඹුක් ගසකි. එහි පාමුල විශාල ළිඳක්ද එයට යාව කුඩා නොගැඹුරු පොකුණක්ද විය. 


"දූ පුතාලා ඔය පොකුණේ නාන්න.. එන්න මහත්තයො"


දරු දෙදෙනාට විධාන අවශ්‍ය නැත..දෙදෙනාම පොකුණ තුළ ජල ක්‍රීඩා පටන් ගති.


 "මහත්තයා නාන්න අඳින්න යමක් ගෙනාවෙ නැද්ද ? එන්න මන් සරමක් දෙන්නම්.. "


රහසින් කනට කොඳුරා


 "හොඳ කිතුල් රා තියෙනවා..පොඩ්ඩක් බොමුද මහත්තයා?"


ජීවිතයේ පානය කල හොඳම පානය එය විය.


කුඹුක් ගස පාමුලින් ගලා එන දිය දහරෙන් නා ගත් මා හට ඒ වන විට දැනෙමින් තිබූ වෙහෙස අතුරුදන් වූයේ කෙසේදයි මා තවමත් නොදනී.
දිවා ආහාරය වූයේ මඤ්ඤොක්කා,බතල, වැල් අල ආදී අල වර්ග වලින් සමන්විත කැකුළු හාලේ බත් සමඟ එළවළු කිහිපයකි. මස් හෝ මාළු නොමැතිව කෑම දෙසවත් නොබලන දරු දෙදෙනා බඩ පුරා කන ආකාරය මා මවිතයට පත් කළේය. දිවා ආහාරයෙන් පසු මදක් විවේක ගෙන අප මල් වගා භූමිය හරහා අපේ ගමනාන්තයට ළඟා විය. 


නැවත නැවතත් ආවර්ජනය කරමින් අමන්දානන්දයට පත් විය හැකි හෝරා කීපයක් අප ගත කර තිබුණි. මාගේ පසුම්බියේ වූ සියලුම මුදල් ගෙන එය අප මෙම ගොවිපළට ඇතුළුවීමට වැයකළ මුදල මෙන් හතර පස් ගුණයක් වූවත් දෙවරක් නොසිතා කවරයක බහා අපගේ මාර්ගෝපදේශකයා අත තැබීය. 


"මහත්තයලා මේ බෙලි මල් වතුර බොන්න.. මන් ටක්ගාලා එන්නම්"


සිල්වා අංකල් අතුරුදහන් වූයේ කොහාටදැයි සිතා ගත නොහැකිවිය. අප සමු ගැනීමට මොහොතක් තිබියදී ඔහු අප වෙත ආවේ සිනහා මුසු මුහුණකිනි.


"අපි සල්ලි භාර ගන්නෙ නෑ මහත්තයා රිසිට් එකක් නැතුව..මෙන්න රිසිට් එක. අපි මෙතනට එන හැමෝටම මේ තෑගිපාර්සලය දෙනවා..වටිනා පැල ටිකක් ..ඉඩ තියෙන තනක හිටවලා දමන්න මහත්තය"


"එහෙනම් අපි ගිහින් එන්නම් සිල්වා අංකල්..අපි ආයිමත් එනවා"


 ඔහුගේ දෑතම අල්වා ගනිමින් මම ඔහුගෙන් සමු ගත්තත්..දමා යන්නට බැරි දෙයක් අකමැත්තෙන් වූවත් දමා යනවා යන හැඟීමක් මා සිත සමඟ පොරබදන්නට විය...


මීටම නොදෙවෙනි වූ සජීවී ගොවි ගම්මානයක්ම වූ අපේ ගම වෙත යා යුතුමය.. යන අදිටන මා සිත තුළ තැන්පත් වූයේ.. අමරේ අයියා වාහනය පණ ගන්වනවාත් සමඟය.


පසු දින කාර්යාලයට පැමිණි මා අපගේ පාලන අධ්‍යක්ෂ වෙත ගියේ දහසක් බලාපොරොත්තු ඇතුවය. තමා අසල වූ පරිගණක තිරයත් මේසය මත වූ ගොනු කිහිපයත් දෙස වරින් වර බලමින් ඔහු මා දෙස බැලුවේ නොරිස්සුම් ස්වරූපයක් මුහුණට ආරූඨ කර ගනිමිනි.


"සර් මට සති දෙකකට නිවාඩුවක් ගන්න ඕනි"


"What ? What are you talking Mr.Liyanna ? සති දෙකක් නිවාඩු අරන් කොහොමද? මේ අවුරුද්ද අන්තිමේ වැඩ වැඩිම කාලෙ..ඕනිම නම් දවස් දෙකක් ගන්නවා"


නැවතත් තම එක අතක වූ ගොනුවත් පරිගණක තිරයත් දෙස නෙත් යොමන්නට විය.


"සර්.."


"WHAT?"


මහා හඬින් ගොනුව මේසයට අත හැර කෝප සහගත දෙනෙතින් මා දෙසට හැරුණේ උපැස් යුවලද ගලවමිනි...

Sunday, January 1, 2012

2012 හිනා වෙන්න උඩ පැන පැන !

එක දිගටම පිපිරුණු රතිඤ්ඤා වැල එකින් එක අඩුවෙලා ගිහින් හිටපු ගමන්ම එකක් දෙකක් පත්තු වෙන අවස්ථාවට ඇවිත් ! මගේ කකුල් දෙක ළඟම බයෙන් වෙව්ලා වෙව්ලා ගුලි ගැහිලා හිටපු බල්ලො දෙන්නත් හෙමිහිට හෙමිහිට එළියට ඇදුණා.. ඒ ගොල්ලන්ගෙ කන් වලට දැනෙන ශබ්ද සංවේදී බව වැඩි නිසා අපිවත් උඩ යන රතිඤ්ඤා සද්දෙ කොහොමද දැනෙන්නෙ කියලා තේරුම් ගන්න බෑ.. ඉඳලා හිටලා පත්තු වෙන රතිඤ්ඤා වලට වාහන වල සොරකම් වළක්වන සයිරං සද්දෙත් ක්‍රියාකාරී වෙලා..අඬනවා.. 


හැමදාම වගේ හිතට එන අදහස තමයි අපරාදෙ මේ පුච්චන සල්ලි කියන එක එක්කම එන සිතුවිල්ල තමයි රතිඤ්ඤා හදලා ජීවත් වෙන පවුල් කීයක් නම් මෙතනින් රැකෙනවද කියන එකත් එක්කම මුල සිතුවිල්ලෙන් නැගෙන සියුම් තරහව හිරු දුටු කදෝපැණියන් වගේ නැති වෙලා යනවා. 
හැම අවුරුද්දෙම මම හිත ඇතුළෙන් පුනර්ජීවයක් ලබා දෙන කතන්දර කීපයක්ම තියෙනවා..මොකද මේ කතන්දර තුළින් මගේ ජීවිතයට ලැබිච්ච දේවල් බොහෝ නිසා..දැන් ඉතින් බ්ලොග් එකක් තියෙන නිසා ඒක මගේ සහෘදයන් එක්ක බෙදා ගන්න හිතුව. 






මේ කතාව අඩංගු ලිපිය මන් මුලින්ම කියෙව්වෙ 1995 නැත්නම් 1996 වගේ කාලෙ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙ තිබිලා. මෙය කියවන්න ඉස්සර මම බොහෝම පසුතැවිල්ලෙන් හිටි කාලයක් තිබුණා..මගේ ජීවිතය සම්බන්ධව ..පොඩි පොඩි දේවල් වුණත් අඩු පාඩු සිද්ධ වෙන කොට මන් තරහින්, කලකිරීමෙන් සහ නොසන්සුන්කමකින් හිටියා.. ජීවිතය පරිපූර්ණ විය යුතුයි සතුටින් ඉන්න කියන මතයේ තමයි හිටියේ.. ඒත්...


එක පරිපූර්ණ රෝදයක් තිබුණලු. කිසිම ඇදයක්, අඩුවක් , පාඩුවක් නැති.. ඒ නිසාම ඒ රෝදයට පුළුවන් වුනාලු හැකි උපරිම වේගයෙන් පෙරළිලා යන්න.. එහෙමම ගියාලු එයා.. කඳු, මිටියාවත්, හෙල්, වැටි, ගංගා , දිය ඇලි පහු කරමින් සහ වේගයෙන් යන නිසාම ඒවා තිබුණද කියන එකවත් මේ රෝදය දන්නෙ නැතිලු.. ඒත් එක දවසක රෝදයට දැනුණා මහා අමුත්තක් ! බැලින්නම් එක කෑල්ලක් හැලිලා මග කොහෙ හරි !!!! දුකට, කනගාටුවට සහ බියට පත් වෙච්ච රෝදය - දැන් කෑල්ලක් අඩු නිසා - ඉස්සර වගේ වේගෙන් යන්නත් බැරි නිසා.. බකල් ගහ ගහා තමන් ආපු පාරේ ආපහු යන්න පටන් ගත්තලු නැති වෙච්ච කෑල්ල හොය හොයා..තමන් පහු කර ගෙන ආපු ළඟම තියෙන පඳුර ඇතුළෙ බලපුවහම දැක්කලු ලස්සන පාට පාට මල් පිරිච්ච ගහේ මල් වල වහලා පැණි බොන සමනල්ලු සහ මිහිරි හඬින් ගී කියමින් නටන කුරුල්ලො රැළ.. පඳුර අස්සෙ පුළුන් බෝල වගේ හිටපු හා පැටව්..ගුම් ගුම් හඬ නගන මී මැසි රංචුව !... ඔය වගේ හැම පඳුරක් අස්සෙම තියෙන අසිරිය ඇහැ ගැටෙමින් ... තමන් පහු කර ගෙන ආපු කඳු වැටි... දිය ඇලි.. මං මාවත්, ගොවි පළවල් සහ කොටින්ම කියනවානම් සොබා දම් මෑණියන්ගේ සියලුම සුන්දරත්වයන් දුටුවලු මේ රෝදය.. 


මේ ඉස්සෙල්ල ඇහැ නොගැටුණ සවන් නොවැකුණ මේ සුන්දරත්වයෙන් නොදැනුවත්ම සිත ප්‍රමෝදයෙන් පිරිලා යන මොහොතක රෝදය දුටුවාලු තමන්ගෙන් ගැලවිලා ගිය කෑල්ල එක පඳුරක් අයිනෙ වැටිලා තියෙනවා.. මොහොතක් කල්පනා කරපු රෝදය තීරණය කළා සම්පූර්ණ රෝදයක් විදියට වටපිට සුන්දරත්වය නොපෙනෙන වේගයකින් යනවාට වඩා අහන්න , දකින්න තියෙන සුන්දරත්වය විඳිමින් ප්‍රීතියෙන් තමන්ගෙ ගමන යන්න අඩු වෙච්ච කෑල්ල නැතුවම !


මේ කථාවේ හරය විදියට මම හැමදාම අලුතින් ඔළුවට ගන්නෙ සතුටින් ඉන්න ජීවිතේ පරිපූර්ණ වෙන්නම ඕනි නෑ. තමන්ගෙ අඩු පාඩු වෙච්ච දේවල් හොයන් හෙමිහිට අවට සුන්දරත්වය විඳිමින්කොහොමත්ම ළඟා කර ගන්න පුළුවන් ඉලක්කයන් වෙත යන එක තමයි ජීවිතේ වඩා හොඳ කියලා කියන කාරණය තමයි. එක් එක් අයගෙ ජීවිතය සහ ජීවිත දර්ශනය එකිනෙකාට වෙනස් නිසා මේ කාරණය ගැන හැමෝම එකඟ විය යුතු නෑ. ගන්න යමක් තියේ නම් ගන්නවා හැර..


අනිත් උපදේශය තමයි මන් මටම දෙන "ඔළුවට හෙණ හතක් වැදුණත් කමක් නෑ.. දත් ටික ඉතුරු වෙලා තියේ නම් හිනා වෙයන් උඩ පැන පැන 2012 මේ අවුරුද්දෙත් "
කියන කාරණෙ තමයි. 


හැබැයි ඉතින් මොන හෙණ වැදිල්ලක්ද ? දිනපතාම උඩ පැන පැන හිනා වෙන්න කාරණා නම් යෙදිලා තියෙනවා..එක දිගටම ! ඔය තියෙන්නෙ ලොකූ එකක් ජනවාරි 7 වෙනිදාම !


එහෙනම් අපි හැමෝම සතුට, හිනාව , මිත්‍රත්වය, සහෝදරත්වය දෝතින්ම අරගෙන තත්පරෙන් තත්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය මාසෙන් මාසෙ ගිහින් 2012 අවුරුද්ද තුළ කරපු සියලුම දේ ගැන හිනා වෙමු තෘප්තිමත්ව 2012 දෙසැම්බර් 31 වෙනිදාට මීට වඩා සිය දහස් ගුණයක් එකතු වෙච්ච තත්පරේකදි !


ඔබ ලෑස්තිද සහෘදය ?