ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 30, 2013

ලියන්නාගේ මැලවීම

ලියන්නා ඇයි අපි එහෙනම් මලවනවද මේ ?

මේ කතාව බොහොම තැන් වල කියවෙච්ච සහ මගේ මූණටම අහපු ප්‍රශ්නයක් උණ නිසාම මගේ බ්ලොගය ඇයි ලියන්නා කියන නමින් දැම්මෙ කියන කතාව තමයි මේ කියන්න යන්නෙ.


මගේ උපන් ප්‍රදේශයේ කීප දෙනෙක්ම මේ බ්ලොග් එක කියවනවා කියන එක වාරයක් දෙකක්ම කමෙන්ටු වල සටහන් වෙලා තිබුණා.. නිසා මේ කියන කතාවට අදාළ කෙනා ගැන අය හෝ අයගේ වැඩිහිටියෝ හොඳටම දන්නවා. කඳු වැටි කීපෙකටම වට වෙච්ච තේ පොල් රබර්, වී සහ මහ කැලෑ වල් තියෙන ගමක් වෙච්ච අපේ ගම වටේම යහමින් පතල් කර්මාන්තයත් තිබුණා.. හරි හමන් යන්ඩ එන්ඩ පාරක් නැති ගමට ලයිට් නැති 80 දශකයේ මුල් භාගය මම පාසල් සිසුවෙක් එතකොටත්..පාසලේ 6 නැත්නම් 7 පන්ති වලට එහා ගිය කොල්ලො එච්චරම හිටියෙ නැත්තෙ ඉස්කෝලෙන් කට්ටි පැනලා පතල් කර්මාන්තෙට යන පෙළඹවීමක් තිබුණ නිසයි...


ගමේ හිටියා ලියන මහත්තයා කියලා දරුවො හය දෙනෙක් නැත්නම් හත් දෙනෙක් හිටපු මැදි වයසෙ කෙනෙක්. අදටත් නියම නම දන්නෙ නෑ. ලියන මහත්තයා කියන නමින් තමයි හැමෝම දන්නෙ. ඔහු සැබවින්ම ඔය කඩ වල් වල එහෙම පොත් පත් ලියපු කෙනෙක්. එහෙම නැත්නම් ගනුදෙනු ලියපු කෙනෙක්. එහෙමයි ඔහු ලියන මහත්තයා උණේ. ඔහුගේ කන් ඇසෙන්නෙ නෑ. ඔහු හෝ ඔහුගේ පවුලේ අය ඉදිරියේ හැමෝම ලියන මහත්තයා කීවට නැති තැන ලියන්නා නැත්නම් බීරා කියන නමින් තමයි අපේ ගමේ අය කතා කළේ. කාලෙ ප්‍රසිද්ධම වාහනයක් වෙච්ච පුට් බයිසිකලයක් ඔහු සතු උණා.. ඔහු පුදුම විදියට ළමයින්ට ආදරේ කළා. අපි පාරෙ යනවා දුටුවොත් කට පුරා හිනා වෙලා බයිසිකලේ නවත්තලා ඔළුව අත ගානවා. වගේ කරුණාවන්ත කෙනෙක් මම දැකලම නෑ කාලෙ. වගේ මයි සමහර දවස් වලට පාර අයිනෙ ඉන්න අයට ටොෆී, ලොසින්ජර එහෙම නැත්නම් පණු පෙති කියලා අපි කීව පෙපර්මින්ට් පෙති වගේ ඒවා අරගෙන දීලා ඔළුව අතගාලා යනවා


 හිනාවීම හැර කතාවක් බහක් කරනවා කිසිම දවසක අපේ කනට නොඇහෙන නිසාම කාලෙ අපිට ලියන්නා මාම ගැන තිබුණේ අමතක නොවෙන පුදුම විදියෙ බැඳීමක්.. හිතන්න කිසිදා කතා නොකරන නමුත් සිනහා වෙන මොනා හරි පැණි රහක් දීලා ඔළුව අතගාලා යන වැඩිහිටියෙක් ගැන කුඩා උන් වෙච්ච අපි තුළ ඇති උණ හැඟීම මොන වගේද කියලා.. පස්සෙන් පහු කන් නොඇහෙන නිසා කතා නොකරන බව අපිට තේරුම් යන වයසෙදි අපිත් කාරුණික බවට කෘතඥතාවයක් විදියට කටපුරා හිනා වෙන්න පුරුදු උණා.. ඒක ලියන්නා මාමට ලොකු සතුටක් උණා කියලා දැනෙන කොට අපිටත් හරි ආඩම්බරයි.

බ්ලොග් එකට හොඳ නමක් මොකද්ද කියලා හිත හිතා උන්නු කාලෙදි මොන හේතුවකට හරි මේ කාරුණික මනුස්සයා මගෙ මතකෙට ආවා..පස්සෙන් පහු හිතන කොට..අච්චාරුවක් වගේ ලියන්ඩ හිතන් උන්නු මගේ බ්ලොග් එකට නොගැළපුණත් මගේ පුංචි කාලෙ තිබ්බා සොඳුරු මතකයක් එක්ක ලියන්නා නමම තෝරා ගත්තා..


එහෙම නැතුව මහ ලොකු ලිවීමක් කරන කෙනෙක් කියන අර්ථය නෙවෙයි මෙතන තියෙන්නෙ



ඇයි අපි ලියනවා නෙවෙයිද මලවනවද කියලා අහන අයට ඇයි මම මේ නම තෝරා ගත්තෙ කියන එක පැහැදිලියි කියලා හිතෙනවා..


මිය ගොස් කාලයක් උණත් අතීතයේ මතක මං ඔස්සේ හිත සක්මන් කරන කොට ඇදිලා එන ජීවිතේට සමීප උණු ලියන මහත්තයා..වගේ ආදරණීය කෙනෙක් වෙන්න තිබුණා නම්...කියලා හිතෙන කොට නම් දුක වගේ හැඟීමක් හිත වෙලා ගන්න එක වළක්වන්න බෑ කොහොමටවත්ම..

Monday, August 26, 2013

ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය


ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය

සෙනසුරාදා හවස් ජාමෙ ගතකරපු සහ සාම්පල් සහ ඒ වෙලාවෙ හදලා දීපු කෑම බීම ජාති කාලා බඩ පුරවා ගත්ත ප්‍රදර්ශනය..
අපේ යාළු මිත්‍රයෝ කිහිප දෙනෙක්ම හිගින් තිබුනා කියලා උනත් හමු උනේ නම් අපේ අමිල මලයා විතරයි..එළවළු පලතුරු අහුරලා තියෙන ස්ටෝල් එකක බෙල් පෙපර් ගෙඩි දෙකක් ෆොටෝ ගන්ඩ ගිහින් ඒ දෙකට දෙන වදය  දැකලායි මම පොඩ්ඩක් නැවතිලා බැලුවෙ..බිම දිගා වෙලා ඉඳලා කැමරාවත් උස්සගෙන නැගිට්ට වෙලාවෙ මාව දැකලා කථා කරා..
අනිත් අය නම් ගිහින් මට කතා කලා..සමහරුන් ගිය බව දුටුවෙ මූණු පොතේ බෙදා හදා ගතපු ෆොටෝ වලින් තමයි..































ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය

Thursday, August 22, 2013

බ්ලොග්, ප්‍රදර්ශන සහ කමෙන්ට්..අතීතකාමයද මන්දා ?

Pro Food Pro Pack 2013 Ag Biz trade fair for National Agri Business 2013  මේ ප්‍රදර්ශනය මේ සැරෙත් තියෙන්නෙ ලබන 23,24, 25  BMICH එකේ තියෙනවා..මේක පෙරසැකසුම් ආහාර පාන සහ පෙර සැකසුම් ආහාර පාන දවටන..සිංහල පරිවර්තනය හරි ඇති මයෙ හිතේ..එක්කම කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනය..මේ ප්‍රදර්ශනය උදේ 10 ඉඳන් හවස 8 වෙනකම් තියෙන්න නියමිතයි.



2011 දි තිබ්බ මේ ප්‍රදර්ශනයට ගිහින් මම මගේ බ්ලොග් එකේ මුලම කාලෙ ලියපු ෆොටෝ සහ කුඩා විස්තරයක් සහිත බ්ලොග් පෝස්ට් දෙකක් මගේ ඇහැ ගැටුනෙ ඉබේමයි. ඒ පෝස්ට් දෙකට ලින්ක් මේ තියෙන්නෙ..

http://www.liyanna-liyanna.blogspot.com/2011/08/01.html


http://www.liyanna-liyanna.blogspot.com/2011/08/2.html

පරණ පෝස්ට් එකක් කියවද්දි අපි ආසාවෙන් කියවන්නෙ ඒකට වැටිච්ච කමෙන්ට් ටික..ඒ කාලෙ බ්ලොග් එක ලියලා මාස දෙකයි. මේ තියෙන්නෙ ඒ කමෙන්ට් ටික..බලද්දි මගේ හිත පිරුනෙ.මේ කමෙන්ට් දාපු සමහරෙක් අද කෝ කියන සිතුවිල්ල සහ අනිත් අය කොයි තරම් නම් අපේ ජීවීතේට ලං වෙලාද කියන සතුට පිරිච්ච හැඟීමක් එක්ක  ..

\\නදීAugust 28, 2011 at 10:15 PM

ඔයාට නම් නියමයි.අල්ලපු වැටේ නේ.මමත් ආසයි එහෙම ප්‍රදර්ශණ බලන්න යන්න.ඒත් යන්න වෙන්නෙ නෑනේ. \\

නදී මුල කාලෙ ඉඳලම මගේ බ්ලොග් එක හිටපු සොයුරියක්..අද නම් දකින්න නෑ..මගේ පාඨකයන් සමූහයෙන් ගිලිහිලා ගිය කෙනෙක්..හැබැයි කාලයක් හිටියා..ලොකු දිරියක් දුන්නෙ..

\\DudeAugust 28, 2011 at 11:24 PM
අර ඇතුලෙ ඉන්න එකා මල ඇනයක්නෙ වෙනී.කොහොම හරි ඉතුරු ටිකත් ලියන්න. මමත් හරි ආසයි ඔය ජාතියෙ ප්‍රදර්ශණ බලන්න.\\

හෙන්රි ඩූඩ්. බ්ලොග් අවකාශේ නොදන්න කෙනෙක් නැති සහෘදයෙක් නෙ අද වෙන කොට...එදා ඉඳන් අද වෙනකම්ම...මොන තරම් සුන්දර මතකයන් තීයේද ? ලංකාවට ආවහම පුළුවන් විදියට හමු වෙනවා..සයිබර් අවකාශෙට පිං සිද්ධ වෙන්න..

\\WeniAugust 29, 2011 at 4:27 AM
@ නදී - සහ ඩූඩ් - එන්න දෙන්නම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ලබන මාසෙ 11-25 වගෙයි මගෙ මතකයෙ හැටියට තියෙන්නෙ..මම හැමදාම වගේ ඒකට නම් යනව
@ඩුඩ් - ඔව් අප්පා ඒකා මේ ළඟදි ඉඳන් මං කරන්න හදන එව්වට හරස් කපනව වැඩියි..හැබැයි මගේම හොඳට තමයි..\\


\\හරී - පිණිපළසAugust 29, 2011 at 9:14 AM
පොත් ප්‍රදර්ශනේ මතක් වෙනකොට දුකේ බෑ අප්පා,, ඒක නෙමේ ඔය යන යන ප්‍රදර්ශන ගැන විස්තර ඔක්කොම ලියන්නකො අපිටත් දැන ගන්නම\\

පිණි පලස ලියන හරී ත් මගෙන් ගිලිහිලා ගිය පාඨකයෙක්

\\ObserverAugust 29, 2011 at 12:35 PM
බලාගෙන යනකොට Weni ත් මට වඩා චුට්ටනෙ බාල. ඔව්..වොව්...40 පනිනකොට සීනි විතරක් නෙමේ, තෙල් පිටි දෙකත් අඩු කොරල දැම්ම නං හොඳා. චොකලට් වල සීනිය්, තෙලුය් දෙකම සෑහෙන්න තියෙනව. හැබැය් ඕව ඔක්කොම කැපෙනව මද්‍යසාර කියන ජාතිය චුට්ට වෙන්න පාවිච්චි කලොත්.\\

ජීවත්ව ඉන්නකම් ඔබා අයියා අපිට දීපු සපෝට් එක බ්ලොග් එකට අනන්තයි අප්‍රමානයි..ඊට පස්සෙ අපි සේරම අඬවලා යන්නම ගියා..අදටත් ඔබා අයියගෙ අඩුව පිරවුනේ නෑ..

\\WeniAugust 29, 2011 at 2:33 PM
පිණි - හා මන් ලියන්නම්.. මේකෙ ඉතුරු ටිකත් ලියන්නම්..ඇයි පොත් එකට එන්න බැරිද?
@ ඔබ්සර්වර් අයියා.. මගෙ එකේ තියෙන්නෙ ඇත්තම විස්තර තමයි.. මන් හිතුවෙ දන්නව කියල..හැබැයි 40 ඉඳන් 50ට අවුරුදු 10ක් තියෙනෝ... හොඳේ...\\

\\ObserverAugust 29, 2011 at 4:24 PM
50 නෙමේ දැන් 58 ත් පැනල.\\

\\DudeAugust 30, 2011 at 10:50 PM
හෙලෝ ඔබා. ෆොටෝ එක වෙනස් කරල නේද? කොහෙද ඔය ඉඳන් ඉන්නෙ ටොයිලට් එකේ වගේ පේන්නෙ.
henryblogwalker aka Dude\\

\\ranjithAugust 31, 2011 at 3:11 PM
මම තෙ බොන්නෙත් ඔය එකක...\\

රන්ජි අයියව නම් දන්නෙ එෆ්බී සහ බ්ලොග් වලට එන්න ඉස්සර අපි පරණම කාලෙ ෆන් එල්කේ එකේ ෆන් ගන්න කාලෙ ඉඳලම...කීප සැරයක්ම හමු වෙලා තියෙන පරණම හිතවතෙක්..හමු වෙන්න උදව් උනේ සයිබර් අවකාශයම තමයි

\\නදීAugust 29, 2011 at 4:01 PM
මෙයා ගිහින් කාල කාල ඇවිත් වගේ.\\

\\prasanna86kAugust 29, 2011 at 4:11 PM
මෙයා කාලා කාලා විතරක් නාලාත් ඈවිල්ලා වගේ....\\

පස්සෙන් පහු ගෝල්ඩ් ලීෆ් උනත් ගෝල්ඩ් ෆිශ් මාළුවා..අදට බ්ලොග් එක කියවලා කමෙන්ට් නොකලත්..සෙට් වීම් වලදි නිතර හමු උන චරිතයක්..තාම අර වර්ඩ්ප්‍රෙස් එකේ ඉන්න නිසා උගේ බ්ලොග් එකට කමෙන්ට් කිරීම නම් කරන්නෙ නෑ.

\\හරී - පිණිපළසAugust 29, 2011 at 4:18 PM
රු. 40 කට ඔච්චර කෑව මදැයි අද කාලෙ,, අර ජින්ජර් බියර් බීමට දාන්නෙ මින්චි කොළයි, ජින්ජර් බියරුයි විතරද? හදලා බලන්න ඕනි\\

\\ObserverAugust 29, 2011 at 4:21 PM
මේක තාමත් අර රුපියල් හතලිහ ගැන කතාව.....බඩ පැලෙන්න කාල බීලත්.\\

\\WeniAugust 29, 2011 at 4:43 PM
@ නදී - මට දුක අපරාදෙ සෙනසුරාදා යන්න බැරි වෙච්ච එක ගැන..
@ ප්‍රසන්න - අපි එහෙම තමයි තැනකට ගියොත්..
@ පිණි - ඔව් ඔය සෙනඟ අතරෙ ඉඳන් බලන කොට දැක්කෙ.. අයිස් කැටයි..මින්චි කොලයි..මන් හරියටම දන්නෙ නැහැ නම මින්චිද කියල.. අර මෙන්තෝල් රහක් තියෙන කොල..ජින්ජර් බියර් තමයි..
@ ඔබා අයියෙ.. - මන් එහෙම කිව්වෙ මොකද දන්නවද.. ගොඩාක් අය ප්‍රදර්ශන බලන්න යන්නෙ නැහැ.. අපෝ.. ටිකට් ගන්නත් උනා.. අපරාදෙ සල්ලි කියල දුක් වෙන නිසා..\\

\\ඉන්දිකAugust 29, 2011 at 8:05 PM
affaa..යන්න හිතෙන විදියට ලියල තියෙනව!\\

එකේ වාට්ටුව ලියපු ඉන්දික...වැඩ අධික කම නිසා වෙන්න ඇති පේන්න නැත්තෙ..ඒ කාලෙ කොයි තරම් වටින බ්ලොග් එකක්ද ?

\\WeniAugust 29, 2011 at 8:47 PM
ඊළඟ ප්‍රදර්ශනේට එන්න ඉන්දික..හැබැයි මෙහෙම නොමිලෙ කෑම දෙන්නෙ කෑම ගැන තියෙන එව්වයෙ විතරයි..අනිත් දවසට පර්ස් එක හිඳෙනව..\\

\\KasunAugust 29, 2011 at 10:43 PM
මම ඉස්සෙල්ල කියෙව්වෙ මේක. විකාර වුනා එක පාරට. පස්සෙයි ටොපික් එක දැක්කෙ. ඊට පස්සෙ ගිහින් මුල් කොටස බලල ආවෙ. අනිවා 40ක් දීල 4000ක විතර කෑම වලට ශොට් එක දෙන්න ඇති\\

කසුන් දැන් ලියන්නෙත් නෑ..ෆේස් බුක් එකේ දැක්කෙත් නෑ ළඟදි..මොකද උනේ මන්දා ?

\\ChammAAugust 29, 2011 at 11:10 PM
ෂික් ,අපිට සෙට් වෙන්නේ නැහැ නේ ඔය වගේ එව්වා
චම්ම පෙරේරා ත් අද මගේ බ්ලොග් එකෙන් ගිලිහිලා ගිය පාඨකයෙක්\\

\\WeniAugust 30, 2011 at 6:36 AM
@ කසුන් - මට මුලින්ම ලියන්න බැරි උනා මේකෙ මුල කතාව ඉස්සෙල්ල එකෙන් බලන්න කියල..එහෙම දමන්න ඕනි..අනිවා.. තෑන්ක්ස් කසුන් මතක් කලාට..ඔව් සෑහෙන්න කෑවා තමයි..
@ චම්මා - ඉන්න මන් ඔයවගෙ එකක් ආයෙ තිබුනොත් ඉක්මනටම කියන්නම්.. සාමාන්‍යෙන් ප්‍රදර්ශන පටන් ගන්නෙ සිකුරාදා..එදා ඒක විවෘත කරල හවස ඉඳන් ඕනි කෙනෙකුට බලන්න් පුලුවන්..ඒත් ස්ටෝල් හරියට හදල සේරම බඩු එන්නෙ සෙනසුරාද සහ ඉරිදා තමයි..\\

\\DudeAugust 30, 2011 at 10:57 PM
වෙනියො, 
අවුරුද්දට රුපියල ගානෙනෙ ගිහින් තියෙන්නෙ. කොහොම උනත් අර ඇතුලේ ඉන්න පොර කරදර කරන එක වැරදි නෑ මට පේන්නෙ.
henryblogwalker aka Dude

WeniAugust 31, 2011 at 8:41 AM
ඔව් ඩූඩ්..ඒක නම් ඇත්ත තමයි..ඒත් සමහර වෙලාවට පොඩි පොඩි ගැටුම් තියෙනව..අන්තිමෙ මමම තමයි පරාද..

ranjithAugust 31, 2011 at 3:04 PM
යකෝ මට ඉන්විටේසන් එකක් හම්බ වෙලත් ගියෙ නෑ. අපරාදෙ....\\

\\වෙද ගෙදර මහ වෙදනාJuly 4, 2012 at 3:01 PM
මටත් ඉන්විටේෂන් ලැබුනා ගියේ නම් නැහැ. ඒත් මම දැන් ලියන පොස්ට් එකේ හැටියට ඕවෑ ඉදල අහු වුනොත් මගේ කාඩ් කුඩු. අපිටත් එක්ක කාල ආවනේ ඒ මදෑ.\\

වෙදනා නම් අදටත් හෙළ වෙදකම ගැන කියවන්න කියවලා ලොකු දැනුමක් ගන්න පුළුවන් බ්ලොග් එක ලියන සයිබර් අවකාශයෙන් මුන ගැහුනු..ආ ඔබා අයියගෙ අනුස්මරනය වෙනුවෙන් අන්තිම පේලියෙන් සංවිධානය කරපු ලේ දන්දීමේ කර්තව්‍යයේදි හමු උනු සහෘදයෙක්..

එදා සහ අද කාලය අතර වෙනස සිහි කරද්දි මට නම් තවමත් සයිබර් අවකාශය සොඳුරු හදවත් ගොන්නක් ජීවිතේට ලං කරපු එක කරපු මාධ්‍යයක්..ඒකට මම ණය ගැතියි..

ඔය අව් අස්සේ සති අන්තයේ තියෙන මේ ප්‍රදර්ශනය බලන්නම යන්න ඕනි..මේකෙ තියෙන විශේෂත්වය උයන පිහන ශෝ වලදි හොඳට කන්න බොන්න ලැබෙන එක..හැබැයි ඉතින් ටිකක් බලන් ඉන්න නම් වෙනවා තමයි..පොඩි පොඩි තරඟ වලට සහභාගි වෙලා තෑගි දිනා ගන්නත් පුළුවන් නිසා ..

ආ මේ සැරේ මට නම් ආරාධනා පත්‍රයක්ම තැපෑලෙන් ලැබුනා..අනිත් හැම ප්‍රදර්ශනේම වගේ මේ සැරේ නම් ඇතුල්වීමේ ගාස්තු වැඩි වෙලාත් ඇති..
කෑම බීම ගැන සහ කෘශිකර්මය ගැන උනන්දුවක් තියෙන අය එන්න ඕන්..

Saturday, August 17, 2013

හස්ත කර්මාන්තවල අනාගතය...

මේ දවස් ටිකේම අනිත් බ්ලොග් කියවා කියවා කමෙන්ට් කර කර ඉන්න අතරේ ඉතින් ආයි බ්ලොග් පෝස්ට් ලියන්ඩ නම් වෙලාවක් හිටීයා කියලා කවුරු හරි දෝස්මුරේ දාන්ඩ නම් එනවා නෙවෙයි ඕන් !
මේ දවස් ටිකේ ශිල්ප 2013 හස්ත කර්මාන්ත ප්‍රදර්ශනේ තියෙනවා නොවැ BMICH එකේ.. 

ඔෆිස් යද්දි එද්දි කකුල පැටලිලා වැටුනත් වැටෙන්නෙ බී එම් අයි සී එච් එකට හින්දා ම මාත් (ව්‍යාකරන ඇනෝ එයිද සරමත් උස්සගෙන මට කෙලින්ඩ ! ) ගියා හැමදාම වගේ ඔය කෙරුවාව බලන්ඩ..

අනිත් සැරවල් වල ශිල්ප ප්‍රදර්ශනය එක්ක තව තව ඒවත් එක්කහු උනාට මෙදා සැරේ හස්ත කර්මාන්ත විතරයි .

ආ ගිය අවුරුද්දෙ මරු වැඩක් උනා ඕක බලන්ඩ ගිහින්..

සුපුරුදු විදියට මාත් ගියා කැමරා රාජයත් එල්ල ගෙන ඕකෙ ඔය  හස්ත කරුමාන්ත අංශෙ ෆොටෝ ගන්ඩ..
මායි යාළුවෙකුයි ගියෙ..

ඒක සංවිධානය කරන කාර්යාලය හරියෙ සාරි ඇඳ ගත්ත ගැටිස්සියො ටිකක් එක්ක ඇඹරි ඇඹරි හිටපු ටයි දා ගත්ත "මහත්තැන්" කෙනෙක් කුලප්පු වෙච්ච වෘෂභයා සේ මගෙන් ෆොටෝ ගන්ඩ අවසර ගත්ත ලියුමක් ඉල්ලපි..

"අවසර ලියුම් නෑ..මේක නිදහස් ප්‍රදර්ශනයක් නෙ මන් (ව්‍යාකරන ඇනෝ මෙන්නෝ... ) ෆොටෝ ගන්ඩද එපාද ?"

"ෆොටෝ ගන්ඩ ඕනි නම් අවසර ගන්ඩ ලියුමක් ලිඛිතව ඕනි"

ටයි ගැටෙන්  හිරවෙච්ච ශ්වාස නාලෙන් මේ මහත්තැන් මට කියපි..

"කවුද ඉන්නෙ මෙතන බළධාරියෙක් මට කථා කරන්න "

මාත් ඇත හැරියෙ නෑ..මොකද මමත් දන්න ඔය ආයතන වල ලොකු අය ඉන්නවා..ටිකක් විතර..සියළුම පොඩ්ඩො නොදන්නවා උනාට..

"මේ අපේ සර් කෝ කොහාටද ගියේ ?"

"මිනිස්ට්‍රියට ගියා "

ඒ මේ මහත්තැන්ගෙයි සහායකයකුගෙයි කතාව..

"මේකො ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ මෙච්චර දඟලන්න ඕනි නෑ මචන්..ෆොටෝ ගන්ඩ එපානම් බලන්නත් ඕනි නෑ..අපි ෆොටෝ එකක් ගහලා කොහේ හරි  ප්‍රචාරය කලොත් මේව නිර්මාණය කරන දක්ෂයින්ටනෙ තැන..ලොක්කන්ට එපා නම් වරෙන් යන්න"

කියලා මම අර මහත්තැන්ටත් කියලම ආවා..
එන ගමන් බලන අයට ප්‍රතිචාර ලියන්ඩ තිබ්බ පොතෙත් ඒ වෙලාවෙ හිතට ආපු ආවේගෙ ලියලාම ආවා..

ෆොටෝ ගන්න තහනම් ඒ වා කොපි කරයි කියලා බය නම්..බලන්නකො මේ වගෙ නිර්මාණයක් කොපි කරලා කරන්නත් මොන තරම් දක්ශ කමක් තියෙන්ඩ ඕනිද කියලා..

මෙදා පාර නම් මම කැමරා රාජයා අරන් ගියේ නෑ..මේ ගත්ත ෆොටෝ ගත්තෙ මගේ ෆෝන් එකේ කැමරාවෙන්..මෙදා පාර නම් ලොකු කැමරාව ගෙනාවත් අවුලක් නොවන බව සුවර්..මොකද එතන ප්‍රදර්ශනයම භාරව හිටි ලොකු නෝනවත් හොඳටම දන්න කෙනෙක් නිසා..සහ සංවීධාන කටයුතුත් අනගි විදියටම කරලා තිබ්බා..

හෙටත් ඒ කියන්නෙ 18 වෙනිදත් තියෙන නිසා යන කෙනෙක් ඕන් යන්ඩලා..
..
..












නිර්මාණශීලිත්වයට සීමා මායිම් නෑ කියලා හිතුන කුටියක්..නිර්මාපකයා කියන්ඩ හදපු දේ හරියටම නොතේරුනත්..






අපේ අම්මා සර සර ගාලා පොල් කොළ වලින් පැදුරු වියපු කාලෙ මතක් උනා..ලාම්පු එලියට පූස් පැටව් විතරක් නෙවෙයි මහ පූසිත් එහෙට්ට මෙහෙට්ට යන පොල් කොලෙ එක්ක සෙල්ලම් කරන්න හරි මනාපයි..ඒක බලන් ඉන්න අපිත් හරි මනාපයි..