ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 17, 2014

හිට්ස් නම් තම්බලා කන්ඩද ? හෙවත් ආදරබර ස්තූතිය.. Thank you Very much !

මාස 34ක් තිස්සෙ එක දිගටම මේක ඇද ගෙන එන්න පුළුවන් කම තිබ්බෙ මේක බලන්න ආපු මගේ ආදරණීය රසිකයො ටික නිසාම තමයි. මම කවදාවත් ඇස් මට්ටමේ එල්ලා ගන්න නොහිතුව , නමුත් මුල කාලෙ නම් එහෙම එල්ලලා තියා ගෙන හිටිය ලියන්නව කියවන්න ආපු ගණන අද වෙනකොට ලක්ෂ දෙක පැනලා. ඒ නිසාම ඔන්න අහම්බෙන් ඇහැ ගැටිච්ච ඒ ඉලක්කම එල්ල ගත්තා ඇස් මට්ටමේම. 

 සිංහල බ්ලොග් අවකාශයේ කියවන අයව බොහොම වේගයෙන් ආකර්ශනය කර ගන්න පුළුවන් එක මාතෘකාවක් තමයි  දේශපාලනය..තවත් කෙටින්ම කිව්වොත් පවතින ආණ්ඩුවට විරුද්ධව මතයක් දරා ගෙන ඒ සම්බන්ධව ලිපි ලිවීම.ගොඩක් අය ඒ වගේ ලිපි කියවන්න තමයි කැමති. ඒ වගේමයි ඒ වගේ ලිපි කියවලා මතවාද, සංවාද ,විසංවාද ගොඩ නගා ගන්න තමයි බහුතරයක් කැමතියි..සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් වලින් නම්  ඉහලින්ම තියෙන්නෙ ඒ වගේ බ්ලොග් කිහිපයක් තමයි. මම උනත් වැඩියෙන්ම කියවන්නෙත් ඒ වගේ ලිපි තියෙන බ්ලොග්ම තමයි.

ඒත් මම ලියන්ඩ  අකමැතිම මාතෘකාවත් දේශපාලනය තමයි. ඒක මගේ පුදගලික අකමැත්තක් මිසක් වෙන හේතුවක් නෑ..ඒ වගේමයි ඉතින් මම එහෙම දේශපාලන ලිපි ලිව්වා නම් මේ බ්ලොග් එකේ හිට 20කට 30 කට එහා යන්නෙ නෑ මේ වෙනකම් මොකද එච්චරටම නීරස වෙයි..මට එහෙම ලිපි ලියන්ඩ හැකියාවක් නෑ ඒකයි හේතුව..

ඒ නිසාම මගේ බ්ලොග් ලිපි පිරිලා තියෙන්නෙ මගේම ජීවිත අත්දැකීම එක්ක මිශ්‍ර වෙච්ච කෙටි නිර්මාණ ගොන්නකින් කියනඩ පුලුවන්. එහෙම බහුතරයක් ආකරෂනය කර ගන්ඩ බැරි මාතෘකා ගොන්නකින් ලියලා හොයා ගත්ත ලක්ෂ දෙක මට හරියට වටිනවා... 

කොයි තරම් කාලයක් ගියත් අතීතය නම් අමතක වෙන්නෙ නෑ..මම පටන් ගත්තෙ ලියන්න අවුරුදු ගානකට ඉස්සර මොනවා හරි දෙයක් සර්ච් කරන කොට අපේ චතුෂ මල්ලිගෙ මාරයගේ හෝරාව අහම්බෙන් ඇහැ ගැටුනා..ඒතනින් කියවන්ඩ පටන් ගත්තා..ලින්ක් හරහ සහ ගූගල් වලින් සර්ච් කර කර කියෙව්වා..අවුරුදු ගණනාවක්ම..මම ලියපු පළමුවෙනි කතාව පළ උනේ නම් අන්තිම පේළිය සයිට් එකේ..ඒකට කතා 10 ක් විතර ලියලා තමයි මම මේ ලියන්නා බ්ලොග් එක හදා ගත්තෙ..මුල්ම කමෙන්ටුව දැම්මෙ ඉතින් ආයි වෙන කවුරුත් නෙවෙයි කතන්දර ..මම කියන විදියට කශූ..

ඔහොම පටන් ගත්ත එක.. පෝස්ට් තුන් සිය ගානක් වෙලා කමෙන්ට් මහ බර ගානක් වෙලා..හිට්ස් උනත් ලක්ෂ දෙකක් වෙච්ච එක මට අහිංසක ආඩම්බරයක් තමයි. ඒ වගේමයි මේ බ්ලොග් එක හරහා සහ බුකිය හරහා පටන් ගෙන ඇත්තටම හමු වෙච්ච මිතුරු මිතුරියො කන්දරාව.. මම හිතුවෙ නෑ බොහොම පොඩියට පටන් ගත්ත මේ බ්ලොග් එක හින්දා මෙච්චර දෙයක් වෙයි කියලා නම්..

මෑතදීම සිද්ද උනේ..මම එම්සී එකට ගියා ලැප් එකට අවශ්‍ය බඩු වගයක් ගන්න. යුනිටි එක යට තියෙන පෙරේරා ඇන්ස් සන්ස් එකෙන් අයිස් කෝපි එකක් බීලා එළියට එනකොට මාත් එක්ක හිනා වෙච්ච හාදයා...
ඔහු  කතා කරලා අඳුන්වලා දුන් නිසාවෙන දැන ගත්තෙ අජිත් කියන ඔහු මගේ බ්ලොග් එක මුල කාලෙ ඉඳලම කියවපු කෙනෙක්..ඒ වගේ සිදුවීම් අනන්තවත් උනා මේ පොඩි කාල සීමාව ඇතුලෙ...

පහු ගිය කාලෙ තිස්සෙම වැඩ අධික වීමත් එක්කම බ්ලොග් එක ලියන එක සහ සහෘද බ්ලොග් වල කමෙන්ට් දමන එක පොඩ්ඩක් අඩු උනත්.. ආයිමත් මේ වැඩ ටික එහෙ මෙහෙ උන ගමන්ම පටන් ගන්න ඕනි ඒක..
හිට්ස් තම්බලා කන්ඩද කියලා ටොපික් එක දැම්මට හිට්ස් සහ කමෙන්ට් වලින් එන ආත්ම තෘප්තිය නම් මිල කරන්න බෑ..ඒ සතුටම තමයි නැවත නැවතත් මොනවා හරි ලියන්න කියලා අපේ හිත උනන්දු කරවන්නෙත්..
එහෙනම් මාත් එක්ක මේ වෙනකම් හිටිය මට ලොකු හයියක් වෙච්ච මගේ සහෘද කැලට මගේ හද පිරි ගෞරවාන්විත ස්තූතිය මෙහෙම පුද කරන්නම්...

http://herbtrends.com/6-medicinal-flowers/

Tuesday, May 13, 2014

පුංචි පුංචි වෙසක් තොරන්.. Wesak Pandols at oura childhood



වෙසක් මාසෙ කියන්නෙ අදටත් අපිට බොහොම ප්‍රීති ජනක කාලයක් තමයි. දැනට නම් ඒකට මූලික හේතුව වෙන්නෙ නිවාඩු හම්බ වෙන එක උණාට ඉස්සර කාලෙ නම් වෙසක් කාලෙ කියන්නෙ වෙසක් කූඩු හදන එකයි වෙසක් බලන්න යන එකයි දන්සැල් වන්දනාවයි තමයි වෙසඟේ හොඳම හරිය උණේ..ජීවිතේටම දෙසැරයක් සිල් අර ගෙන තිබුණා උණත් පොඩි අපිටම තේරිලා තිබ්බා සිල් අරගෙන කඩන එකට වඩා සිල් නොගෙන කැඩෙන්න අරින එක පව ටිකක් හරි අඩුයි කියලා. ඒ හින්දමයි ඉතින් සිල් නොගත්තෙ පස්සෙන් පහු..

අට පට්ටම්, තරු, නෙළුම් මල් සහ අහස් යාත්‍රා හදන එක හැමදාම සාමාන්‍යකරණය වෙච්ච දෙයක් උණු අපි දෙසැරයක්ම කොල්ලො කාණ්ඩෙ එකතු වෙලා තොරන් හැදුවා. ඔය තොරන් හැදිල්ලෙ කතන්දර දෙකම බුද්ධාලමබන ප්‍රීතියක් එක් කරමින් අවසන් නොවුන බව නම් මතකයි. 

මේ හතර අතේම බැලුවත් තියෙන්නෙ බුද්ධාලම්බනප් ප්‍රීතිය වෑහෙන දේවල් හින්දම මම හිතුවේ අපේ මේ තොරන් වෑයම් දෙකේ කතාව කියලා දාන්ඩයි ඔන්න ඔහේ. කට්ටිය එහෙනම් සාධු කාරයක් දීලම කියොවන්ඩ පටන් ගත්තා නම් හොඳා නේද ?

මුලින්ම හදන්න ගිය තොරණ තමයි ආලවක දමනය..

ඔය කාලෙ අපි ඉස්කෝල හය නැත්නම් හත ශ්‍රේණියෙ වෙන්න ඇති..ඔය වයසට තියෙන උණක් නේ ඉතින් ඔය වගේ වැඩක් කරන එක..
අපේ යාළුවෙක් වෙච්ච සුගත්ලගේ පාළුවට ගියපු ඉඩමක් ශුද්ධ කරලා ගත්තා වැඩේට. මෙතන තමයි හොඳම මොකද ගමේ පන්සලට යන පාරවල් කීපයක්ම එකතුවෙන තැනක තමයි මේ ඉඩම තිබ්බෙ...කොහෙන් පන්සල් ආවත් මේ පාර ඉඩම ළඟින් යන්න වෙන නිසා බලන්න එන අයගෙන් අඩුවක් තියෙන්න විදියක් නෑ..ඉඩම ශුද්ධ කරලා වැඩේ සැලසුම් කළා. ළඟම තිබ්බ ගල් තලාවෙ බුදු හාමුදුරුවො තියමු. එතන පහළ තියෙන වල වගේ ප්‍රදේශය ආලවක යකාගේ විමානය හදමු...කියන සැලසුමට තමයි වැඩේ කරන්න පටන් ගත්තෙ. කට්ටියක් බුදු හාමුදුරුවන්ගෙ සැකිල්ල හදලා කාඩ්බෝඩ් වලින් ඒක ආවරණය කළා..

අපි කට්ටිය ආලවක යකාගෙ විමානෙ හැදුවා කාලා දාපු මළ මිනී වල කෑලි, ඇට සැකිලි වගේ එව්වා හදන එක කොහොමත් ලේසි වැඩක්නෙ.. ඔය අතරේ අපේ රට ගිය යාලුවෙක්ගෙ තාත්තා එයාගෙ දුවට ගෙනත් දීලා තිබ්බ මහ ලොකු බෝනික්කව අර ගෙන ඒකට රජ ඇඳුම් අන්දවලා ආලවක කුමාරයා බවට පත් කළා. තොරණේ ප්‍රධානම කාරණය වෙච්ච ආලවක යකා හදන එක අන්තිමට තියා ගෙන අනිත් සියල්ලම ලහි ලහියෙ වැඩ ඉවර කළා...

මේ කතාවෙ ඊළඟ චරිතය සිමියොන් මාමා ගමේම මුල් පදිංචි කාරයො වෙච්ච ඒ ගොල්ලො ගමේ හිටිය නම ගිය චණ්ඩි රැළෙන් එක් කෙනෙක් තමයි සිමියොන් මාමා. ඇඟ පුරාම තිබ්බ මයිල් නිසා නැති තැන හැමෝම කිව්වෙ යකා කියලයි..

ආලවකයා හදන එක ඇර අනිත් වැඩ ටික ඉවර වෙන කොට හතර වටින්ම කලුවරත් වැටී ගෙන වෙසක් සඳ පායා ගෙන එන වෙලාව. ඔය කාලෙ වෙනකොට අපේ ගම්තුලානට ලයිට් හම්බ වෙලා තිබ්බ නිසා ළඟම තිබ්බ සයිමන් මාමලගෙ ගෙදරින් වයර් ඇදලා අපි ලයිට් පත්තු කර ගෙන වැඩේ පටන් ගත්තා ආලවක යකා හදන්න...

දවසම වැඩ කරලා හැමෝම තෙහෙට්ටුව නිසා ආලවක යකා හිතපු තරම් ඉක්මනට හැදෙන්නෙ නැති පාටයි..මුලින්ම හදපු ලී රාමුවේ කළු පාට කරපු ගෝනි පඩංගු ඔතලා එහෙම යකාගෙ ඇඟ ටිකක් එහෙන මෙහෙන් හැඩේ ගත්තා..

"මේක වෙලාවට හදා ගන්න පුළුවන් වෙයිද බන් ?"

එතකොටත් ගමේ හිටිය අය සිල් පවාරණය කරලා ආපු යන්ඩ පටන් අරගෙන..යන එන අය පොඩ්ඩක් නැවතිලා බලන් ඉන්න සයිස් එකක් තිබ්බෙ..

විවෘත කරන්න තිබ්බ කොටස විතරක් පොඩ්ඩක් වහලා තිබ්බට අනිත් ප්‍රදේශයම එළියෙ..

"සේරමත් හරි මේ යකාව හදන එක තමයි අමාරුම වැඩේ..අපිට තිබ්බෙ අනිත් වැඩ යන අතරෙ යකාවත් හදන්න.."

වැඩ වලදි මූලික වැඩ කොටස කරටම අර ගෙන කරපු කමල් පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න ගමන් එහෙම කිව්වා

ඔය අතරේ අතුල

"මම කියන්නද මීට වඩා හොඳ වැඩක්"

"කියහන්කො එහෙනම් "

"අපි මේ යකාව හදන වැඩේට මහන්සි නොවී සිමියොන් මාමට කීයක් හරි දීලා මෙතන හිටවලා තියමු"

හිනා කන අස්සෙ 

"කවුද ගිහින් ආරාධනා කරන්නෙ ?"

"හිටහල්ලා මම කරන්නම්"

කියලා මහ හයියෙන් කියා ගෙන එතනින් වේගයෙන් ගියේ සිමියොන් මාමගෙ පුතා..

අපි දුටුවෙත් නෑ මිනිහා බලන් ඉන්න සෙනඟ අස්සෙ ඉඳලා..

"අප්පට සිරි වැඩේ වකූර් වගේ මූ ගිහින් කියයිද ?"

"කියව්වෙදෙන් අපිට මොනා කරන්නද ?"

කියලා කිව්වට අපි හැමෝම පොඩ්ඩක් තිගැස්ස්මෙන් තමයි හිටියෙ. මොකද නාහෙට නාහන තිරිසනෙක් තමයි සිමියොන් මාමා කියන්නෙ..
කීවත් වගේ යකාගෙ දකුණු කකුල හදලා ඉවර වෙන්න ඔන්නෙ මෙන්න තියෙද්දි කුණුහරුප වැලක් කියා ගෙන කඩුවත් අරගෙන තොරන් භූමියට ඇතුළු උණේ සිමියොන් මාමා,

බුදු හාමුදුරුවො ඇරෙන්න කඩුව පොවන්න පුළුවන් හැම තැනක්ම කඩු ගාලා දාපු සිමියොන් යන්ඩ ගියේ තවත් කුණු හරුප වැලක් කියලම තමයි.

අන්තිමේ තොරන් පොළ තිබ්බෙ චතුරංගනී සේනාවට අහු වෙච්ච පරාද වෙච්ච යුද පිටියක් දිහා බොහොම සොවෙන් බලන් ඉන්න බුදුහාමුදුරුවන්ගෙ පිළිමය තමයි..

අපිට කරන්ඩ දෙයක් තිබ්බෙම නෑ. වයර් වලින් ඇදපු ලයිට් වලින් පැත්තම එළිය වෙලා තියෙද්දි, අපි ආලවක දමනය කියලා ගහපු බෝඩ් එක වෙනස් කළා

ආලවක විනාශය කියලා..

මුළු ගමම දොස් කියද්දි පස්සෙ සිමියොන් මාමා රුපියල් දෙසීයක් එවලා තිබ්බා වෙච්ච පාඩුව පියවා ගන්න.පහු වෙනිදා පංසලේ තිබ්බ පිංකම අස්සෙ ඔය රුපියල් දෙසීය මෙහෙම ආධාර පත්තරේකට එකතු වෙලා තිබ්බා

"සිමියොන් මාමට නිවන් සුව පිණිස රු. 200ක ආධාරයක් කරන්නෙ එතුමාගේ සුපින්වත් පුත්‍ර රත්නය නිමල්"

ඔය තොරණෙ කතාව අමතක වෙලා යනකන් ඉඳලා අපි සෙට් එකට ආයිමත් හැදුනනෙ තොරන් පිස්සුව..මෙදා පාර හදන්න ගත්තෙ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන සිද්ධාර්ථ උත්පත්තිය..

මහා මායා රැජින සල් අත්තක් අල්ලා ගෙන ඉන්නවා..වටේ සුදු තිර ඇදලා පරිවාර ස්ත්‍රීන් ඉන්නවා. අර සුදු තිර අතරින් මතුවෙන සිද්ධාර්ථ කුමාරය හෙමි හෙමිහිට නෙළුම් මල් හතක් උඩින් පා තබලා ගිහින් අන්තිම හත් වෙනි මල උඩ ඉඳලා අග්ඝෝ හමස්මි ලෝකස්ස..කියන උදාන වාක්‍යය කියනවා.. සරලයි එච්චරයි..

මේකෙත් සම්පූර්ණ යාන්ත්‍රික වැඩ ටික කරලා දුන්නෙ කමල්..සියල්ලමම විවෘත කිරීමට සූදානම්...යාන්ත්‍රික නොවන කොටසක් උණේ අර උදාන වාක්‍යය කියන එක සිදුහත් කුමාරයා මුල්ම නෙළුම් මලට වැඩලා තත්පර හැටකින් තමයි ඔය ගාථාව කියන කැසට් එක අතින් ආරම්භ කරන්න ඕනි. නැතිනම් ඔන් කරන්න ඕනි..ඊළඟ ටර්න් එකට විනාඩි පහක් විතර තිබ්බා..එතන තිබ්බ තිරය වහලා ආයිමත් මුල ඉඳන් පටන් ගන්න..

අපි මේක විවෘත කරන්න ආරාධනා කරලා තිබ්බෙ ගමේ හිටිය ලොකු මැණික් මුදලාලි කෙනෙකුට..

සේරම හරි..පන්සලෙ හාමුදුරුවො පන්සිල් දීලා අපේ කොල්ලො සෙට් එකේ ගුණ වරුණාවකුත් කරලා..ආරාධිත අමුත්තා මේක විවෘත කරන්න ස්විච් එක එබුවා..හෙමිහිට තිරය විවෘත උණා..පාට පාට ආලෝකයෙන් වර්ණවත් වෙච්ච ස්ටේජ් එක උඩ...පැත්තක සල් මල් පිරිච්ච ගහ ළඟ සුදු පිරිවට වලින් වැහිච්ච මහාමායා දේවිය..දෙපැත්තෙන් පරිවාර කාන්තාවො....සාධු සාධු හඬක් එක්කම..හෙමිහිට චර චර හඬක් එක්ක..අර සුදු පිරිවට අතරින් සිදුහත් කුමාරයා තම සුරත අහසට නංවා ගෙන පිරුවටය ළඟින්ම තිබ්බ නෙළුම් මල උඩට පාද තැබුවා..
මුලින් අපි හිතුවෙ සුළඟට වෙන්න ඇති කියලා මහාමායා දේවිය වට කරලා තිබ්බ සුදු පිරිවටය එහෙ මෙහෙ වෙන්ඩ ගත්තා..

අපොයි දෙයියනේ !

සිදුහත් කුමාරයාගේ පහළ දමන් හිටි අතේ ඇඟිල්ලකට අර සුදු පිරිවටය පැටලිලා..ඕක ගැන වගේ වගක් නැතුව උන්නාන්සෙ මෙන්න වඩිනවා ඊළඟ නෙළුම් මල උඩට..ක්‍රියාත්මක කළාට මැදින් නවත්තන්නෙ කොහොමද කියලා නොදන්න අපි තුෂ්ණිම්භූත වෙලා ඉද්දිම ඊළඟ මොහොතේ බලන් හිටි නරි කොලු රැලගෙන් ආවෙ මහ හූවක්...
මොනවා කරන්නද සිදුහත් කුමාරයා දේවිය වට කරලා තිබ්බ පිරුවටයත් අරගෙනම හතර වෙනි නෙළුම් මලට පාද තිබ්බා...අපි හරි හමන්වට හදලා තිබ්බෙ මහාමායා දේවියගේ පිරිවටයෙන් උඩ කොටස විතරයි..යට කොටස සාමාන්‍ය ගහක කොටයක් තිබ්බෙ.. මේ හාන්කවිශියක්වත් නොදන්න උදාන වාක්‍යය ගාථාව දාන්ඩ හිටි හාදයා සිදුහත් කුමාරයා හතර වෙනි නෙළුම් මල උඩ ඉද්දිම කැසට් එක ඔන් කළා...

හාමුදුරුවන්ටත් හිනා..
ගමම හිනා කනවා..
කොහෙන්ද දුවන් ආපි කමල් ඉස්සරහ තිරය වැහුවා..

ඊළඟ දවස් තුනේම ඕක පෙන්නපු හැම සැරේකම හිටපු එකෙක් හරි හිනා නොවී හිටියෙ නම් නෑ ඔය සිද්ධියට..

ඔයින් මත්තට අපේ සෙට් එක තොරන් හැදුවෙත් නෑ.

එහෙනම් හැමෝටම සුබ වෙසඟක් වේවා ! 

Sunday, May 11, 2014

මගේ නොවන හිත සොරා ගෙන....



---------------------------------------------------------------------------------------------------------------------
"ලියන්නා ඔය ඕෆ් වෙන්නද හදන්නෙ ? තවම ඕෆ් වෙන වෙලාව ආවෙ නැහැ නේද? "


"සර් මට හරියටම දහයට තමයි බස් එක තියෙන්නෙ..ඒක මිස් වුණොත් ඊ ළඟ බස් එකට යන්න බැරි වෙනවා සර් ඒකයි මගේ වැඩ ටික ඉක්මනට ඉවර කළේ"


"වැඩ ටික උඩින් පල්ලෙන් ගහලා දමන්න ඇති..කෝ දැන් හෙට ඕනි කරන රෙකෝර්ඩ් ටික. බලනවා ඒ ටික කරලා නෑ. "


"සර් ඔය අද ෆයිල් එක. හෙට ගන්න ඕනි ෆයිල් එකේ සේරම දමලා ඇති"


"තමුසෙලා ජොබ් එකට එනකොට නම් කලින් යන්න දඟලන කතන්දර නෑ..කියන වෙලාව එනකන් ඉන්නවා කියලයි එන්නෙ. සෙට් කර ගන්නවකො මේ අහල පහළ බෝඩිමක්. හොයා ගෙන තියෙන්නෙත් කොළඹ අන්තිම කෙළවරේ.."


බොහෝමයක් පුද්ගලික ආරක්ෂක සේවාවල රැකියා ජීවිතය  මෙහෙම තමයි.. හොඳම ලොක්කෙක් ලබන්න නම් වාසනා කරලා තියෙන්න ඕනි.. පිළිතුරු දෙන්න ගිහින් මේ වාදය දිග්ගස්ස ගෙන මට අන්තිම බස් එක වරද්දා ගන්න බෑ..ඒ නිසාම නිහඬ බව අවස්ථානුකූලව උචිත යැයි මට වැටහී ගිය බැවින්.. 


....ලියන්නා පුතා ඔයා මොන අවස්ථාවට මුහුණ දුන්නත් ආයි ආවේගශීලී වෙන්න නම් බෑ..ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් මුලින්ම හිතන්න ඒ අවස්ථාව කොයි තරම් වෙලාවක් දරා ගන්න වෙයිද කියලා ඔයාම අනුමාන කර ගන්න. ඊට පස්සෙ ඒ කාලයට හරි යන්න යම්කිසි ගානක ඉඳන් අවරෝහණ ක්‍රමයට හිතෙන් ගණන් කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම දැනෙයි ඔයාගෙ ආවේගශීලි බව අඩු වෙනවා.. ඊට වඩා මන් කියන්න ඕනි නැහැනෙ.අපි මෙච්චර දවස් ඔයාව දැනුවත් කරපු දේවල් මතකයේ තියා ගන්න... 


ගුරු පියාණන් කෙනකුගේ බඳු එම වෛද්‍ය ඔවදන් එදින පටන් මාගේ ජීවිතාරක්ෂකයෙකු බවට පත්වූ ආකාරය නම් ඉතා පුදුමාකාරය.


50,49,48,47,46,45…….


"තමුසෙ හෙටවත් වෙලාවට එනවා.. දැන් දවස් කීයක් පරක්කු වෙලා ආවද?"


37,36,35,35,34,.......


"අන්තිම චාන්ස් එක තමයි මේක..මන් හෙඩ් ඔෆිස් එකට දන්වල යවනවා එතකොට ඉවරයිනෙ.."


20,19,18,17,....


"එකෙක් මෙහෙම කරනකොට මන් කොහොමද අනිත් අයව කන්ට්‍රෝල් කරන්නෙ?"


10,9,8,7,6,5,..


"හොඳයි සර් මන් එහෙනම් යනවා.. ගුඩ් නයිට් ! "


"හ්ම්..."


එක අතක ඇති දිගු කුඩයට වාරු වෙමින් මම හනි හනිකට බස් නැවතුම වෙත පිය නැගුවෙමි..මීට සති කීපයකට ප්‍රථම මගේ ප්‍රධානියාට අවශ්‍ය ආකාරයට මගේ හෘද්‍යසාක්ෂිය විකුණූයේ නම් මෙවන් අසාධාරණ වූ දෝෂාරෝපණ වලට ලක් නොවන්නට ඉඩ තිබිණි. මස් රාත්තලම ඉල්ලන සමාජයක නියම කොටසක් වූ වර්තමාන ප්‍රධානියාගෙන් මීට ප්‍රථම සිටි ප්‍රධානියාගෙන් මෙන් කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වීම ඉදිරියේ පසුතැවිලි වීමට හේතුකාරක විය හැකි බැවින් එය ඉවත දමා බොහෝ කල්ය. මගේ වැරදි වලට බනින කොට නම් එය හදා ගන්න බැරියැ..මට අදාළ නොවන බැණුම් මා කනකට වත් නොගන්නේ එම හේතුව නිසාය. 


අද දින නම් බසය වෙනදාට වඩා සෙනඟ පිරී ඇත. සහතිකවම මීට පෙර පැමිණිය යුතුව තිබූ බසය අවලංගු වන්නට ඇත. විනාඩි 45කට වඩා යා යුතු වූ දුෂ්කර ගමන.. සීට් එකක් අයිනට වුණා නම් එක් කකුලක් සීට් එකට හේත්තු කරගෙන ටිකක් හරි පහසුවෙන් ඉන්න පුළුවන් වෙයි යන සිතුවිල්ලත් සමඟ මා බසයට නැගුනෙමි. විනෝද චාරිකාවකට හෝ එවන් ගමනකට  ගොස් ආපසු එන තරුණ පිරිසකින් බසය පිරී ගොස් තිබුණි. පාසල හැර ගිය සැනින්ම රැකියාවට යොමු වූවායැයි සිතිය හැකි තරුණ තරුණියන් පිරිසකි ඒ. නවීන පන්නයට නෑකම් කියමින් යාන්තමින් විලි වසා ගත් ඔවුන්, ඔවුන්ගේ ලෝක වල සිනා සලමින් බසය ඔවුන්ගේම කර ගනිමින් දඟලමින් පිස්සු කෙළිමින් සිටියෝය. බසයේ පසු පස දොරටුවෙන්  නැගි මා බසය පුරා බැල්මක් හෙළුවේ මදක් හෝ පහසුවෙන් හිට ගෙන යා හැක්කේ කොතනද යන්න සෙවීමටය. බසයේ ඉදිරියේම අසුන ළඟ මද ඉඩක් පෙනෙන්නට තිබුණි. ඉතා සීරුවෙන් බසයේ අසුන් අතර දෙපේළියට සිටින සැමගේම නොරිස්සුම් බැල්මන් ඉවසා ගනිමින් මම හෙමිහිට මගේ ක්ෂේම භූමිය අසලට ඇදුනි. මට අවැසි තරමට එතැන ඉඩ තිබුණත්..ඒ ළඟම සිටි තරුණියන් රොත්ත මා දෙස බලන්නට වූයේ මහත් නොරිස්සුමකින් මෙනි .

"එක්ස්කියුස් මී මිස්.."


කොඳුරමින් මා මගේ ආරක්ෂිත ස්ථානයට පැමිණීමට හැකි විය. බසයේ උඩ ඇති රාක්කයට බෑගය දැමූ මා දිගු සුසුමක් හෙළමින්.. ඉදිරි අසුන හා බසයේ රියැදුරු අතර ඇති වැට මතට මගේ බර යාන්තමින් සැහැල්ලු කළේ දකුණු කකුලෙන් පැමිණෙන වේදනාව දරා ගනිමිනි. අත තිබූ කුඩය එම කකුලට ආධාරකයක් වන සේ තබා තරමක සැහැල්ලුවක් ගත් මා දෑස පියා ගත්තේ... මද හෝ සැනසීමක් ගැනීමටයි. 



බසය පුරාම පැතිර යන කෙළිලොල් හිනා හඬ කියා පාන්නේ වගකීමක්, බරක් පතලක් නැති සොඳුරුම සොඳුරු තරුණ දිවියේ ප්‍රීතිමත් ස්වභාවයයි.. කෙළි කවට හිනා හඬ මා සිතට දැනෙන්නෙ දවස පුරාම වූ තෙහෙට්ටු ගතිය පලවා හරින ඖෂධයක් ශරීරය පුරා ගල්වන්නාක් මෙන් හැඟීමකි. වරින් වර නැගෙන පාදයේ වේදනාව මදින් මද දුරස් වේ.. බසය රළු පාර පුරා උඩ පනිමින් එහාට මෙහාට පැද්දෙමින් ඇදෙන්නේ කුඩා කොලු ගැටයෙකු මවගේ සුරතින් මිදී පාර පුරා දුවයන හිතුවක්කාර ගමන් විලාසය සිහිපත් කරමිනි. දෑසට දැනෙන කෙඩෙත්තු ස්වභාවය නිවා ගැනීමට මා දෙනෙත් වසා ගත්තේ..හෙටින් එළඹෙන සතිය පුරාවට මා අනිවාර්යෙන්ම කළයුතු කාර්යයන් සිහිපත් කර ගැනීමට උත්සාහ දරා ගනිමිනි. හෙට උදෑසනින්ම සේවා ස්ථානයට පැමිණිය යුතුව ඇත. මා සිත තුල කිසිම ක්‍රෝධයක් නැතත් මාගේ ප්‍රධානියා යම් විවේචනයක් ප්‍රධාන කාර්‍යාලයට දැන්වුවහොත් අලි මදිවට හරක් සේ තවත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වනු නියතය. වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඉඩක් ඇත්තේම නැත . දැනට තිබෙන වියදම් සහ ලැබෙන පඩිය තුලිත කරන්නට සිදු වන නිසාම දුර ප්‍රශ්නයක් වූවත් ඉතා අඩු මුදලක් ගෙවන මාගේ වර්තමාන කුලී නිවාසය අත හැර දැමිය නොහැක.. පඩි පත අතට ගත් වහාම කල යුතු කාරණා අතර මුල් කාරණය වන්නේ දැනට අපහසුවෙන් වූවත් පැළඳීමට වී තිබෙන කල් පැන ගිය කිට් එක...


"වට් අ ෆ... දැන් කී සැරයක් නම් කකුලෙ අත හැප්පුවද ? එක සැරයක් දෙකක් ඉවසුවා.. ඒ මදිවට කකුල හේත්තු කර ගන්නවා මගේ ඇඟේ.. බලන්න අයියෙ ?"


එක් වරම මා සිතුවිලි ලොවෙන් ඇද දැමූවේ දෙසවන් අසලින්ම ඇසුණු කෝප සහගත කට හඬකින් හා සියුමැලි අතකින් මා තල්ලු කර දමන වෑයමකින්ය. අනපේක්ෂිත සිද්ධිය නිසාම මා මගේ කකුලට වාරු කරගෙන තිබූ කුඩය මා අතින් ගිලිහී ගිය අතර ශරීරයේ සමබරතාවය රැක ගැනීමට එම අතින් බසයේ අසුන් ගරාදිය අල්ලා ගතිමි. ශරීරය සමබර වූයේ අසල වූ අනිත් තරුණියගේ නිතඹේ මගේ මුලු ශරීරයම ගැටීමත් සමඟය. ඇයද නොරිස්සුම් හඬින්


"මේ වනචරයො එක්ක බස් එකක වත් යන්න බෑ අප්පා.."


අවට සිටියවුන් නොසන්සුන් වනවාත් සමඟම.. ඔවුන් අතරේ සිටි තරුණයන් කිහිප දෙනා එම තරුණියන් අතරින් මා දෙසට එන්නට විය. 


"මුන් බස් වල එක්ක යන්න වටින්නෙ නෑ.. ඇදලා එළියට දමමු මචන්.."


"කෙල්ලෙක් ජීවිතේට දැකලා නැති අසහනකාරයො.. බලහන් බීලාද කොහෙද ඉන්නෙත්.. "


"ඔව් ඔව් හරියට කෙළින් ඉන්නවත් බෑ"


මීට පෙර සිදු වූ අත්දැකීම් වලින් මා උගෙන සිටියේ මෙවන් අවස්ථාවලදි කටහඬ අවදි කර තත්වය උග්‍ර කර ගන්නවාට වඩා නිහඬව සිටීම නුවණට හුරු බවයි.මාස දෙකකට පමණ පෙර මා බීමතින් සිටිනවා යැයි සිතා මෙවැනිම තරුණයන් පිරිසක් මා බසයෙන් ඇද දැමූ විට මා හට සිදුවූ අකරතැබ්බය මා හට තවමත් මතක නිසාම..


999,998,997,996,995 .....


"ඩ්‍රයිවර් අයියෙ නවත්වන්න බස් එක ඉස්සරහා.. මූව එළියට දමන්න."


එක් අයකු මාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ගත් අතර..


"මල්ලි ඔයාලට වැරදීමක් වෙලා.." 


වාක්‍යය අවසන් කරන්නට මා හට ඉඩ නොලැබුනි.


"කොහෙද යකෝ වරදින්නෙ ..කොහෙද? " 


කලිසමේ බඳ පටිය තදින් අල්ලා ගත් කාය වර්ධන ශූරයකු බඳු තරුණයා.. මා දෙස විමසිලිමත්ව බලමින් රකුසු කර ගත් මුහුණින් යුතුව...
ඔහු මිටි කරගත් අත සහ තද කරගත් ඇඟිලි වලින් ඔහුගේ අත ගෙන ගියේ මාගේ යටි බඩ දෙසටයි...
එක්වරම.. දෑස් විශාල වී.. වඩාත් විමසුම් බැල්මක් මා වෙත යොමන්නට විය.


" තමුසෙලා බස් එක ඇතුළෙ වලි දමා ගන්නව නෙවෙයි..මන් අල්ලනවා බස් එක පොලීසියට ඉස්සරහ තියෙන.. "


ඒ බස් රියදුරුගේ රළු කටහඬයි.. මගේ යටිබඩ මිරිකූ තරුණයාගේ දෑස තවමත් විශාලය.. කමිස කොලරය අල්ලා ගෙන සිටි තරුණයාගේ අතින් මා මුදවාලූ ඔහු.. 


"අතෑරලා දමමු මචන්.." 


සිහින් හඬින් මිතුරාට කීවේය. 


"ඇයි ? ඇයි ? ඇදලා දමමු මචන් එළියට මූව.."


"කියන එක අහපන් බන්..මේක අත ඇරලා දමමු.."


"ඔය ළමයි දෙන්නා මෙතන ඉඳ ගන්න.."


අසල වූ අසුනේ සිටි දෙදෙනා පෙර කලබල කල තරුණියන් දෙදෙනාට එම අසුන පරිත්‍යාග කරමින් නැගී සිටියෝය.


"මේ වගේ  උන්ට රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි ලොකුම අහේතුව..."


මා අසලම අනිත් අසුනේ සිටි මැදිවිය ඉක්මවූ ගැහැනුන් දෙදෙනා මහා හඬින්, මා දෙස පිළිකුලින් බලමින්, විශාල සාකච්ජාවකට මුල් ගල තැබූහ..
අර හැඩි දැඩි තරුණයා තවමත් මා දෙස විමසිල්ලෙන් බලා සිටී. නිහඬව සිටින ලෙස ඔහුට ඔළුවෙන් සන් කල මා..


800,799,798,797,796,795...
500,499,498,497...


ඉහත කී තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බස් රථයෙන් බැසීමට නැගී සිටියාය.කකුල මෙන්ම යටි බඩ දෙසින්ද එන වේදනාව නිසාම මා එම අසුනේ ඉඳ ගැනීමට තැත් කරන විටම අර තරුණිය වහා තම අතවූ කුඩා බෑගය ඇයත් මාත් අතරවූ හිඩැස මත තැබූයේ.. නැවතත් හදිසියේ වත් ස්පර්ශවෙතැයි යන පිළිකුලින් යුතුවය..කෙසේ හෝ මා හට ලැබුණු කුඩා ඉඩ මත මා ඉඳ ගතිමි. 


දකුණු කකුලේ දණහිස ළඟින් පැමිණෙන වේදනාව මුළු ගතම හිරි වට්ටා ගෙන යයි. .. කලිසම් කකුල රෝල් කර උඩට ගෙන දණහිසෙන් පහළ වූ ඇලුමිනියම් පාදය එය දණහිසට සම්බන්ධ කර තිබූ ගාන්චුවෙන් ගලවා පැත්තකට තැබු මා.. දුටුවේ දණහිසට පළඳවා තිබූ විශේෂ රෙදි ආවරණය මතට ලේ බිඳු උණා ඇති බවයි. මගේ ගමන් මල්ල තුල වූ  විශේෂ බෑගයේ තිබූ අයිස් කැට කීපය කකුල මත තැබූ මා හට යම් සහනයක් දැනුණි.. 


ත්‍රස්තවාදීන් අටවා පුපුරා ගිය පිටකොටුවේ බෝම්බය නිසා පාදයක් අහිමි වූ මා හට අහිමි වූයේ පාදයක් පමණක් නොවේ.. ජීවිකාව කල රැකියාව සහ මාගේ ඉදිරි පරම්පරාවයි.පෙනහැල්ල ඇතුළු ශරීරයේ බොහෝ ස්ථාන වල රැඳී ඇති යකඩ කැබලි නිසා මා හට ආවේගශීලි වීම තහනම් කර තිබෙන්නේ..එහි ප්‍රථිපලයක් වන අධික රුධිර පීඩනය මාගේ ජීවිතයට අනතුරුදායක නිසාය. එවකට සිටි රැකියාවෙන් ලද වන්දි මුදල මස් රාත්තලම ඉල්ලන සමාජයේ මාගේ නැගණියන් දෙදෙනාගේ දෑවැද්ද සඳහා දුන් මා හට දැනට කරන රැකියාව මාගේ එකම ජීවිත රැකවරණයයි. සුළු මුදලක් වන ගෙවල් කුලිය හා කෑම වලට යන වියදම හැරුණ විට ඉතිරිය වියදම් වන්නේ බෙහෙත් වලට සහ යටි බඩ පෙදෙසට පැළඳිය යුතු විශේෂ උපකරණ සඳහාය. අසරණ යැයි සමාජයට පෙන්වීමට ඉඩ නොදෙන මගේ ආඩම්බර හිත ඉවතලා හෙට සිට මාගේ අත් වාරුව රැගෙන ආ යුතුය යන්න මගේ සිතට කා වැදුණි. 


අහම්බෙන් මෙන් මා දෙස බැලූ යුවතිය ක්ෂණයකින් මා හා ඇය අතර හිර කර තැබූ බෑගය වහා අතට ගෙන මා දෙස බැලූයේ විස්මයකිනි.මා දෑස තද කර වසා ගතිමි.මේ සොඳුරු යොවුන් තරුණ තරුණියන් අත වරදක් නැත. ඔවුන් කාලයත් සමඟ මෝරන ජීවිතය තුල ක්ෂණික තීරණ වල අවලංගු බව පසක් කර ගනිමින්  බොහෝ දේ උගෙන ගනිමින් සමාජය ජීවත් කරවනු නියතය.


599,598,597,596...... 


වේදනාව පරයමින් සිනහවක් මා හද තුලින් පිපෙන්නට පටන් ගති...






පසු වදන

මේ ගීතයේම නව මානයක් හොයා ගෙන ගිහින් මම කලෙකට ඉස්සර ගොතපු මේ කතාව මගේ සිහියට නැගුනෙ අද උදේ පාන්දරම නැවතත් කනට වැකුණම තමයි...










බ්ලොග් එකේ කතාවක් ලිව්වෙ නැහැ කාලෙකට..ඒ ගැන හිතේ තියෙන අතෘප්තිකර හැඟීමත් එක්කම මට ආපු ලොකුම ප්‍රශ්ණෙ.. මේ වගේ නිර්මාණ කරන්න මගේම නොවන මට තිබ්බ මගේම හිත අද කෝ කියලයි..