ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, March 29, 2012

ගිය නුවණ - It is generally not sharp itself !




අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවල් තියෙනවා සීමාව පැන්නහම වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව කියන දේවල්.. ඒ වගේ දේවල් අපේ ජීවිතේටම සමහර වෙලාවට හොඳට, සමහර වෙලාවට නරකට හිටිනවා. එහෙම සිද්ධ වෙච්ච වෙලාවකට ඇණයක් උණත් පස්සෙ හිතන වෙලාවල් වල ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යයක් වුණු දෙයක් තමයි මේ..






මට පහු ගිය කාලෙ ඉතින් ඔය කැමරා රාජයෙක් හම්බ උණා නොව..මන් ළඟ තිබුණු පොඩි පොඩි කැමරා එක්ක බලද්දි මේ කැමරාව උස්ස ගෙන ඉන්නත් සෑහෙන කැලරි දහනය වෙන වැඩක් තමයි. ෆොටෝ ගහන්න හොඳයි, ලස්සනයි කියලා හිතෙන සීනරීස් දැක්කත් ඔය ප්‍රශ්නෙ නිසා කැමරාව උස්සගෙන යනවා ටිකක් කම්මැලි වැඩක්ම තමයි..


ඉතින් ඔය කැමරාව එක්කම මට දවස් කීපයක කැමරා භාවිතය පිළිබඳව පුහුණුවක් ලැබුණා. කැමරාව එපා කීවත් මේ අති දුෂ්කර පුහුණුව නම් මග හරින්න කිසිම ක්‍රමයක් තිබුණෙ නෑ.ඉස්සෙල්ලා තිබුණු කැමරාවෙන් බොහෝම ලේසිවට ගත්තා ඇල්ලුවා ගැහැව්වා කියන සරල කම බොහෝම ඈතකට ගිහින් තිබ්බත් මමත් ඉතින් ඔය කැමරාවෙ මැනුවල් එක එහෙම කියවලා දැන් වැඩේ යනවා.. මැනුවල් එක කියවලා ඒකෙ තියෙන විදියටම කරනවා කියන එකත් මහ ලොකු ගේමක් නෙවී..ඒ පාඩමත් ඉවරයි..


ඊළඟට තමයි ආවෙ ගේම ! එක එක වෙලාවලට කියනවා ,


"Ah ! Now This is the best time for a perfect shot , Please take a sharp photo from this angle making all adjustmanets what you learnt so far..."


ෆොටෝ එකක් ගන්ඩ අමාරු අඩු එළිය තියෙන මොහොතවල් වල සහ දුෂ්කර ෆොටෝ ගැනීම ගැන ඔන්න ඔහොම තමයි මට ෆොටෝ ඉගෙන ගන්ඩ උණේ. මට අකමැත්තක් පෙන්නන්නත් බෑ..මොකද මෙච්චර ලොකු තෑග්ගක් දීපු කෙනාගෙ හිත රිදවන්න බැහැනෙ කොහොමත්.. අනිත් භයානකම එක අකමැත්තක් හිතන්නත් බෑ හිතන දේවල් පවා දැනෙන තරම් සමීපතමයෙක් වීම ඊටත් වඩා ලොකු හේතුවක්..ඔහොම පාඩම් දෙක තුනකට පස්සෙ මන් මහන්සිය නිසාම පොඩ්ඩක් ඇල උණා පොඩි නැප් එකකට...මගේ කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙම ජනේලෙ වීදුරුවෙ වහලා සලබයෙක්..ඌ හිතන්ඩ ඇත්තෙ වීදුරුවක් නෙවේ කියලා වෙන්ඩැති. ඕක දැක්ක විතරයි..


"Oh what a beautiful butterfly, please take sharp photo from outside dear"


මොන බටෆ්ලයියෙක්ද ? ඌ සලබයෙක් මතක් කළා සලබයාට කියන ඉංග්‍රීසි වචනෙ එන්නෙම නෑ ඔළුවට


"No no this is not a butterfly it is a kind of moth"


කියලා ෂේප් වෙච්ච මන් කැමරා උපකරණ ටික ලෑස්ති කරන් ගියා එතනට..යකඩෝ ඌ වහලා ඉන්න තැන මගේ උසට වඩා අඩි 2-3ක් උඩ. මොනවා කරන්නද වැඩිය සද්ද බද්ද නොකර පුටුවක් උස්සන් ගිහින් ගත්තා ෆොටෝ 2-3ක් ම.. පුටුව උඩ ඉඳන් එහෙ මෙහෙ වෙන්නත් බෑ හරියටම එළිය වැටෙන පැත්තෙ ඉඳන් ගන්ඩ..
ගන්න ගන්න ෆොටෝ එක බලලා ...


"Oh, this is not sharp enough ! See you cant count its legs !"


හතර පස් පාරක් ගත්තත් ෆොටෝ එක ඔය උත්තරේමයි ලැබෙන්නෙ..
පුටුවක් උඩ නැගලා මේ කැමරාව එල්ල කරන් ඉඳලා අත් දෙකයි උරහිසත් රිදෙනවා. මහන්සිය අස්සෙ මේ කැමර හිලෙන් සලභයා දිහා බලා ඉඳලම ඇස් දෙකත් රිදෙනවා..තව ෆොටෝ දෙක තුනක් අරන් ෂාප් නැහැයි කීවහම මටත් ගන දෙවි නුවන පහළ උණා පොඩ්ඩක්


"Oh,  These photos are sharp. The trouble is this butterfly itself is not sharp" 


උත්තර දීලා ෆොටෝ ගන්න එක නැවැත්තුවා.
හිනා වෙලා මොනා හරි තේරුම් අරගෙන වගේ ඒ පාඩම එතනින් ඉවර උණා කියමුකො..


මේ තියෙන්නෙ ඒ ෆොටෝ සෙට් එකේ වැඩිම ලකුණු දීපු ෆොටෝ එක.. ඒත් ලකුණු 40යි. 






ඔන්න ඔහොම කැමරා ලෙසන් ඉවර වෙලා මට වෙන කරන්න කීව වැඩක් දවස් දෙක තුනක් ම අමතක වෙලා අත පහු උණා.. මෙන්න එනවා SMS එකක් ෆෝන් එකට


This butterfly itself is not sharp :-D


කියලා.. එතකොටයි මට මීටර් උණේ මොකද්ද කියලා.. ඒ වෙලාවෙම අතපසු වෙච්ච වැඩේ ඉවර කරලා දැම්මා. දැන් කැමරාව ගෙනාවට ඕක දමලා තියා ගන්ඩ මට හරි හමන් එකක් නෑ.. කැමරාව අරන් යන බෑග් එකේම තමයි තියලා තියෙන්නෙ..දවස් කීපයක්ම ඔය කියන කැමරා ආරක්ෂක බොක්ස් එකක් බලලා තිබ්බත් මිලදී ගන්න එක අතපහු උණා.. අද උදේම චැට් එකේදි අහනවා,






"Still not buy the humidity control box for the camera ?


"Nope but soon I am gonna buy that"


"Aah this butterfly itself is not sharp"


කියලා ආවෙ නැද්ද උත්තරයක් !


ඒ වෙලාවෙම චෙක් කළා වෙලාව නවයයි කාලයි. ඔෆිස් යන්ඩ  වෙලාව තියෙනවා. ඒ ෂොප් එක එක. මේ වෙලාව ඇරලා. ගියා ගත්තා බොක්ස් එක.. ඒ වැඩෙත් ඉවරයි..


මටම හිනා මතක් වෙනකොට.. මේ වචන සෙට් එක මාව පාලනය කරන හැටි කියලා. ඇත්තටම මේක ගැන වාදයක් ගියානම්..ඒ කීවෙ
දැන් කී දවසක් ඔහොම කිය කියා ඉන්නද ..හැම වැඩේම ඔය වගෙයි කල් දම දමා ඉන්නවා වගේ එකක් කීවනම් එහෙම මගෙත් හිතත් රිදෙනවා.. මමත් මොනවා හරි ම කියනවා..අවසාන ප්‍රතිඵලය දෙන්නම් හිත් රිදවා ගන්නවා..


මේක හොඳ සාර්ථක ක්‍රමයක් තමයි එයා පාවිච්චි කරන..
මමත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා යමක් කරවා ගන්නෙ කොහොමද හිත් නොරිදවා කියලා..
හැබැයි මට එකක් ෂුවර් මගේ ජීවිත කාලෙටම සෑහෙන වාරයක්,


"Aah this butterfly itself is not sharp"


කියන එක අහන්ඩ ලැබෙයි. මට විරුද්ධ වෙන්ඩ බෑ ඒකට.. ඒ මගේම වචන !


ඒ එක්කම මගේ වැඩ අතපසු කිරීමේ නරක පුරුද්දත් නැති වෙලාම යයි.. 


Thursday, March 22, 2012

මේ අභිරහස විසඳීමට ඔබේ සහාය අවශ්‍ය හෝරාවයි...

අසෙනිය කුසුම 2012 සාහිත්‍ය මංගල්‍යයේ හොඳම බ්ලොගය සහ හොඳම පුද්ගලික බ්ලොගය සඳහා තේරුණ සඳරූ මලයාගේ හිස් අහසටත් හොඳම වින්දනාත්මක බ්ලොගය ලෙස තේරුණ බුද්ධි මලයාගේ සයිබර්යායටත් මගේ උණුසුම් සුබ පැතුම් පතමි. එලෙසම ඒ සඳහා නාම යෝජනා වූ වීදුරු ගෙවල් ලියන අපේ පූසා මලයාටත් නෙළුම් විලේ බින්දි සොයුරියටත් මගේ හද පිරි සතුට මෙයින් පල කර සිටිමි. 


මේ සියල්ලන්ම මගේ සහෘදයන් යැයි කීමේ භාග්‍යය ලත් මාද වාසනාවන්තය.


===========================================


බැලූ බැල්මට සාමාන්‍ය පොතකි. කොළ අමුණා එය බැඳ ඊට උඩින් ගන කවරයක් දමා ඇත්තේ පොතේ ආරක්ෂාවට විය යුතුයි..






"අනේ ලොකු අයියෙ එහෙනම් මේ පොතත් ඕක එක්කම දියන් හොඳේ"


මේ ඉල්ලීමද ඉතා සාමාන්‍ය එකකි.


"හා මල්ලි ඕක කම්පියුටර් නෝට් එකක්නෙ.. මටත් ඉගෙන ගන්ඩ බැරියැ මේකෙන්"


"ෂාහ් මුතු ඇට වගේ අකුරු කාගෙද ?"


මේ දෙබස එහෙ මෙහෙ වෙමින් දිගට ඇදී ගියේය...






------------------------------------------------------------------
"අම්මපා මන් කෑම එක බල්ලට දානවා දවසක් දෙකක් කියලද හැමදාම පොතක් මූණෙ ගහ ගත්ත ගමන්මයි..මෙහෙ කෑම එක වේලි වේලි තියෙනවා පැය ගාණක්"


ඒ අම්මාගේ කටහඬයි..ඔය එක්කම පොතේ හැටියට නම් සහායට ඩැනී චූටි අක්කාගේ සහ ලොකු අක්කාගේ කටහඬ ඇසිය යුතුයි..


"තේ එක හදලා තිබ්බත් එච්චරයි..නිවිලා ඇල් උණාට පස්සෙ බොන්නෙ ඒකෙ පිරිච්ච කූඹි එක්කමයි.. මොන ලෝකෙද මන්දා ඉන්නෙ?"


නාන්නෙ නෑ..මූණ හෝදන්නෙ නෑ..කක්කුස්සි ගිහින් පස්සවත් හෝධනවද මන්දා"


"සේරම හරි පන්තියෙ වෙනියා අඩු කර ගන්කො අන්න එදාට තමයි මන් ඔය පොත් ගොන්නම ගිනි තියන්නෙ" 


ඒ අයියාගෙ කටහඬයි..


"තාත්තට බොරු ගොත ගොතා කියලා සල්ලි ඉල්ල ගන්නව ඊට පස්සෙ ඒවා පොත් ගන්ඩ කඩවල් වලට පූජා කරනවා." 


ඒ චූටි අක්කායි. 


"ඔව් ඔව් ගිය සතියෙත් තාත්තගෙන් සරුංගල හදන්න ඉල්ල ගත්ත සල්ලි වලින් හදපු සරුංගලයක් නම් නෑ"


ඒ ලොකු අක්කායි..


"කෝ තවම ඉන්නවද කාමරේ?"


"අපි මොනවා හරි කතා කරන්ඩ ගත්තොත් පොත් ටික උස්සගෙන යනවා අර පල්ලැහැ ගල උඩට.. දැන් ගිහින් ඇති"


ලෝකෙ මොනවටත් වඩා වටිනාම වස්තුව වූ පොත් කියවීමට වඩා වැඩි දෙයක් නොවීය.. කිසිදා මගේ පොත් ගීනි දෙවියාට බිලි නොවූයේ මා පන්තියේ පළවෙනියාගෙන් එහෙ මෙහෙ නොවූ නිසාය. ඒ මගේ දක්ෂතාවයක් නොව මා වැනිම මැට්ටන් රාශියකගෙන් යුත් පන්තියක විභාගයට පෙර දින කියවන පොත් ටීකෙන් ගන්නා ලකුණු මත මා හට පළවෙනියා වීම මහ ලොකු කජ්ජක් නොවූ නිසාය නමුත් චූටි අක්කා තම සටන අත් නොහරී. 


"පල වෙනියාගෙන් වැඩක් නෑ අම්මෙ ඇවරේජ් ලකුණු 45යි . ඉතින් වැඩක් තියේයැ..?"


අම්මා දන්නා ඇවරේජයක් නැත.


"යනවා යන්ඩ චූටි අක්කා , පළවෙනියා උණාම ඇති අම්මේ..මේ සැරෙත් මට අලුත් පොත් දහයකට සල්ලි ඕනි පළවෙනියා උණාම හොඳේ"


ෂර්ලොක් හෝම්ස් ගේ පොත් සියල්ලම කීප වතාවක්ම කියවා ඇති මා ,


"තාත්තා ගියා නේද පහළ බුලත් කොරටුවට ?"


"ඇහ්?"


"ඔය සරමේ ලේ... ඒ කියන්නෙ, තාත්තගේ කකුල කූඩැල්ලෙක් කාලා.. කූඩැල්ලො ඉන්නෙ පහළ බුලත් කොරටුව ළඟ තියෙන තණ කොළ වල.. මන් හරි නේද ?"


"අනිනවා ටොක්කක්..පුවක් ගෙඩිය කපන්න ගිහින් ඇඟිල්ල කැපුනා මේන්"


තාත්තා රෙදි කෑල්ලකින් වෙලාගත් ඇඟිල්ල ඔසවා පෙන්වයි. 


අදටත් සිතින් ෂර්ලොක් හෝම්ස් වීමේ අරුමය සිතට ගෙනෙන්නේ මහා චමත්කාර ප්‍රීතියකි..
පසුව ඉංග්‍රීසි උගෙන මෑතකදී කියවූ ඩෑන් බ්‍රවුන්ගෙ සියලුම පොත් මා හට ගෙන ආවේද මහා චමත්කාරයකි. එහි මහාචාර්‍ය රොබර්ට් ලැන්ග්ඩන් නම් ඉතිහාසඥයා තම දැනුම යොදා සංකේත වල අර්ථයන් විග්‍රහ කරමින් රහස් නිරාවරණය කර ගනිමි ලෝකය බේරා ගැනීමේ මහත් වෑයමක යෙදෙන්නේ ඔහු මගේ ලෝකයේ විරුවෙකි..







කීපවතාවක්ම කියවා මෙන්ම චිත්‍රපටයද නරඹා ඇති "Da Vinci Code" හා "Angels and Demons" මෙන්ම Deception Point, Digital Fortress
The Lost Symbol යන පොත් තුනම මා අත තවමත් රැඳෙන්නේ ඉතා ප්‍රීතියෙනි..එවන් පසුබිමක් ඇති මා...හට 


පරිගණක අතැඹුලක් මෙන් දත් එක් සගයකු එසේම පරිගණක පිළිබඳව මෙන්ම පරිගණක චිත්‍ර පිළිබඳ අති දක්ෂයෙකු හට අතින් ලියන ලද සාමාන්‍ය පරිගණක පිළිබඳ පොතකින් තිබිය හැකි ප්‍රයෝජනය කුමක්ද ? මොහොතකට සිතන්න..උසස් පෙල කරන අයකු තවත් එවැනිම අයකුට දෙන්න කියා හෝඩි පොතක් දුන්නොත් ඔබ ඒ පිළිබඳව විමසන්නේ නැද්ද ?


මෙය මහා අභිරහසක්..


ෂර්ලොක් හෝම්ස් හා රොබර්ට් ලැන්ග්ඩන් පැන ආවිත් මා හට පවසයි. මෙය හැකි ඉක්මනින් මා සන්තකයෙන් ගිලි හී යනු ඇත. ඔරලෝසුවෙහි තත්පර කට්ට ටික් ටික් යන හඬින් පැන යන්නේ මාගේ අභිරහස විසඳීමේ කාල සීමාව තත්පරයෙන් තත්පරය ගිලිහී යාදෙමිනි. මා වහා ක්‍රියාත්මක විය යුතුයි..මාගේ ඇඩ්‍රිනලින් හෝමෝනය මා පොළඹවයි. මෙවන් අවස්ථාවක මා හට වගකීම පිළිබඳ මහා කාර්‍යභාරයක් කරට පැටවේ.. කෙසෙල් කොටුවකට පෙරුම් පුරා කල් යල් බලා පැමිණි පොඩ්ඩකුගේ අනාගතය ආරක්ෂා කර ගැනීමේ වගකීම මා මෙන්ම සයිබරයේ සැරි සරන සියල්ලගේම වගකීම නොවන්නේද ? මේ පොත හරහා යන කුමන හෝ රහස් ගොන්න අවසන් වන්නේ කුමකින්ද, එහි පංගු කාරයකුවීමට මටද සිදු වේ...




වහා සම්පුර්ණ පොතම ගෙන අංකිත පිටපත් කර ගබඩා කර ගත්තේ එය පසුව ප්‍රයෝජනවත් විය හැකි නිසාය. ඒ කීවෙ ස්කෑන් කරලා පීඩීඑෆ් කර ගත්තා කියලයි...


අත් කාච කීපයක්ම ගෙන පොතේ පිටු සියල්ලම පරීක්ෂා කරන ලද්දේ.. මා හට පෙනී ගියේ මෙහි සටහන් ලියා තිබෙන ආකාරය පිළිබඳවයි. සැබවින්ම මෙම අකුරු පිරිමි අත් අකුරු නොවේ. මාගේ සිටම මාගේ යහළුවන්ගේ හකුරු වැනි අත් අකුරු දැක ඇති මා හට එය කීමට කිසිදු විශේෂඥ දැනුම අනවශ්‍යයය. 






ඉන් පසු මෙහි ලියා ඇති දෑ පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ අනවශ්‍ය ලෙස "කෘතීම බුද්ධිය" පරිගණකයේ බුද්ධිය" සහ මිනිසා බුද්ධිමත්ද පරිගණකයට වඩා" යන මාතෘකා අනිත් ඒවාට වඩා හයි ලයිට් කර ඇති බවක් පෙනෙන්නේ මන්ද ? එසේම එම පිටුවල තැන් තැන් වල යොදා තිබෙන තරු ලකුණු, හදවත් හැඩයන් සහ විශේෂ සලකුණු සියල්ලම විසඳිය යුතු අභිරහස් රාශියකි. මෙවන් වූ අභිරහස් සංකේත රාශියක් පොත පුරා දැක ගත හැකිය. 


මෙය මට පමණක් තනිව කල හැකි දෙයක් නොවේ.. ෂර්ලොක් හෝම්ස් කථාවල සැමවිටම හෝම්ස්ගේ සහයට වොට්සන් සිටියේය. එම කතා නූතන පරිසරය හා සමපාත නොවන මුත්..ඩෑන්ගේ සියලුම කථාවල සහායට සුරූපී, ගුණවත් නැණවත් අභීත කාන්තාවක් සැමවිටම සිටියාය. 






ප.ළි. - ඉහත නිර්මාණය සඳරූ මලයාට හෝ බුද්ධි මලයාට කිසිම සම්බන්ධයක් නැති බව දහාතේ දිවුරා පොළවේ පස් කා කිව හැක. මී අම්මපල්ලා...

Tuesday, March 20, 2012

අරයයි මෙයයි එක්කෙනෙක්ද දෙන්නෙක්ද ? - අවසාන දිගහැරුම - Creator Vs Creation

"කෑ ගහන්ඩ එපා හු****පු** පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියලා ? ඇදලා දානවා බෙල්ල හරහා එක සැරෙන්ම චක බ්ලාස් වෙන්ඩ තෝ නේද වෙනියා කියන්නෙ ?"


"ඔව්, අතාරිනවා මාව මන් මාස් පඩි කරයෙක් ඕයි ආණ්ඩුවෙ වැඩ කරන..පර්ස් එකේම තියෙන්නෙ රු තුන්සීයයි..බාල චයිනීස් ෆෝන් එකයි..ඕන්නම් ඒක අරන් මට යන්ඩ දෙනවා"


"දඟලන්නෙ නැතුව හිටපන්..මන් අහන එකට විතරක් උත්තර දීපන් ..මට ඕනි නෑ තොගෙ චයිනීස් ෆෝන් එක උඹ නේද වෙනියා කියන්නෙ? කියපිය !"


"ඔව් ඔව්.. ඔය පිහියට මගේ බෙල්ල කැපෙනවා යකෝ..දැනටමත් කැපිලා..."


පිහිය මදක් බුරුල් කළද දැඩි දඩු අඬුවකට නැවතත් මගේ බෙල්ල හිර විය. අපහසුවෙන් හුස්ම පොදක් ඉහළට ගත් මා මද අඳුරේ වූවද දුටු ඒ දිලිසෙන ඇස් දෙක ..


මොනවා මේකා??!!!


"ඇයි මට මෙහෙම කරන්නෙ ? මන් මොකද්ද තමුසෙට කරපු වැරැද්ද ? මාස ගාණක් තිස්සෙ මාව පස්සෙ පන්නනවා ඇයි ?"


"වහපන් කට ! මමයි මෙතන කතා කරන්නෙ තෝ නෙවෙයි පරයො"


මැරුණු බලු කුණක් ඇද ගෙන යනවාක් මෙන් මා ඇද ගෙන යන්නෙ කනත්තේ පාළු ම පෙදෙසට නොවේද ?


පළමුවෙනි දිගහැරුමට යන්න
---------------------------------------------------------------------------


කනත්තේ වූ මේ පාළු කොටස මෑතකදී අලුතින් එක් කරන ලද අතර එය තවමත් එළි පෙහෙළි නොකරන ලද ගන බුටෑවකින් යුත් ප්‍රදේශයකි. එය කෙළවර වන්නෙ ප්‍රසිද්ධ කුණු ඇලකිණි. මේක ඇතුළට අරන් ගියොත් මන් කෑගැහුවත් කාටවත් ඇහෙන්නෙවත් නැති වෙයි..


"මාව අතෑරපන් යකෝ මේ හතළිහත් පැනපු මගෙන් උඹට ඇති වැඩේ මොකද්ද ? මන් කාටවත් වැරැද්දක් නැති අහිංසකයෙක්"


අසල වූ වියලී ගිය පඳුරක පැටලුණු කාර්යාල බෑගයද මා අතින් ගිලිහී ගියෙන් මා මේ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් කළෙමි.


"අහිංසකයා මන් කියලා දෙන්නම් අද අහිංසකයගෙ තරම"


ග්‍රහණයෙන් මුදවා ගැනීමට තැත් කල අතද දඩු අඬුවකට හිර වූවා සේ දැනිණි. 


"තමුසෙ දන්නෙ නෑ මන් අඳුරන ලොකු ලොකු කට්ටිය පොලිසියේ හමුදාවෙ පවා ඉන්නවා ඒ හින්දා මට හිරිහැර කරලා තමුසෙට බේරෙන්න වෙන්නෙ නෑ කවදාවත්..මන් මේ සේරම මතක නැති කරලා දමන්නම්. මට යන්ඩ දෙනවා ඕයි..ඔහොම ඉඳන්ම කියනවකො තමුසෙට ඕනි කරන දේවල්. මන් දෙන්නම්. ඔය කැලෑව ඇතුළට යන්ඩම ඕනි නැහැනෙ. ඕක ඇතුළෙ සරපයොත් ඇති"


"මන් මොකද්ද උඹට කතා කරන එක ගැන කිව්වෙ පරයො?"


වියරු හඬත් සමඟම අසල වූ පඳුර වෙත වේගයෙන් මා ඇද දමා ගත් ඔහු එක අතක වූ පිහිය මාගේ බෙල්ල වෙත පෑවේය.


"හරි හරි.."


ගුලි කරගත් දෑතින්ම මාගේ මුහුණ වෙත ආ එක පිට එක ආ ගුෂ්ටි ප්‍රහාරය අවසන් වීද නැතහොත් මා හට සිහිවිසඥවීද යන්න මට මතක නැත...නැවතත් මා ඇස් හරින විට සිටියේ කොහෙන්දෝ එන ලා පාට එළිය සහිත තරමක් එළි පහළි කරන ලද බිම් කඩකය..දෑතම යම් යකඩ දම්වැලකින් ගැට ගසා ඇත. මුළු මුහුණම වේදනාවෙන් පුපුරු ගසයි. වෙනදාට දෑසට පෙනෙන නහය වෙනුවට මට පෙනෙන්නේ ඉදිමුණු රත් පැහැ මස් වැදැල්ලකි.


මූ අසල කොටයක් මත හිඳ සිගරැට්ටුවක් උරමින් මා දෙස ගුප්ත දෑසින් බලා සිටී.


"ඇයියෝයි මෙහෙම මට ගැහුවෙ බලනවකො මූණ තුවාල වෙලා හොඳටම..මෙහෙම මන් කොහොමද හෙට ඔෆිස් යන්නෙ?"


"තවම තමුසෙට තේරුණෙ නැද්ද මන් තමුසෙට ගැහුවෙ ඇයි කියලා?"


"කොහේ තේරෙන්නද හරකෙකුට වගේ තඩි බානකොට?"


"මන් දැන් දෙසැරයක්ම කීවා තමුසෙට අද කතා කරන්නෙ මන් කියලා. ඒක තේරෙන්න තරම් මොලයක් නැද්ද උඹට?"


"තමුසෙ කවුද ලබන අවුරුද්දෙ ඩොක්ටරේට් එක කරන්න ඉන්න මගේ මොළේ තරම ගැන කතා කරන්ඩ?"


කොටයෙන් නැගිටිනවා දුටු මා හට ඊළඟට දැනුණේ සපත්තු පහරක් වේගයෙන් මුහුණ හරහා වදින බවයි...මුව පුරා ගොම රසක්ද නහය හකුළුවා ගෙන යන අමු තණකොළ පිළිස්සෙන ගඳක්ද දැනෙන්නට වූයේ..


"තුහ්ප්..ඔය සපත්තුවට ගොම් බෙට්ටක් පෑගිලා ඕයි..ඕක පිහිදා ගන්නවා..තමුසෙ ගංජා නේද ඔය උරන්නෙ?"


"තමුසෙ කට පියා ගන්නවද නැත්නම් මූණ පෙති ගහන්නෙ ලූණු ගෙඩියක් වගෙ"


පිහි තුඩ මුහුණ හරහා කිහිප වතාවක් ගෙන ගියේ...


"එපා එපා මන් කට පියන් ඉන්නම් තමුසෙ ඕනි දෙයක් කර ගන්නවා..මූණ සවුත්තු කරන්න එපා..මන් ඔෆිස් යන්නෙ කොහොමද ? සමාජයෙට මූණ දෙන්නෙ කොහොමද මෙහෙම මදාවියෙක් වගේ මූණෙ පිහි පාරවල් එක්ක?"


"ඔව් තමුසෙ විතරක් සමාජෙට මූණ දුන්නහන් ඇති..අනිත් මිනිස්සු ..??"


මොකද්ද මාත් එක්ක මෙච්චර තියෙන තරහ ? මන් ඔයාව දන්නෙත් නෑ..මාව පස්සෙ පහු ගිය මාස නවයක් විතරම පැන්නුවා කියල නම් මතකයි"


මා කිව හැකි පහළම ස්වරයෙන් කීවේ..


"දන්නෙ නෑ ??? හොඳට බලනවා මා දිහා.."






ඔහු මුහුණ ආලෝකය දෙසට හැරවූයේ තම දෙනෙතේ වූ ගුප්ත බව වසාලූ පට තිර මුදා හැරියේය..මගේ හදවත වඩා වේගයෙන් ගැහෙන්නට වූයේ..


"ඈහ් වෙන්ඩ බෑ.. වෙන්ඩ බෑ.."


"මොකද වෙන්ඩ බැරි මන් තමයි ලියන්නා "


"එහෙම වෙන්නෙ කොහොමද ඒක මගේ ඔළුවෙ ඇදිච්ච චරිතයක්නෙ . එහෙම කියලා කෙනෙක් නෑ "


"ඔව් ඔළුවෙ තමයි"


මුහුණ හරහා එල්ල වූ ඊළඟ පා පහර නැවතත් මාගේ සිහිය විකල් කළේය..


"කොහොමද එහෙම වෙන්නෙ ලියන්නා කියලා කෙනෙක් නෑ..ඒක මනඃකල්පිත චරිතයක් විතරයි.. තමුසෙ බොරු කාරයෙක්.. කවුරු හරි කියන්නෙ ඇති මන් ලියන ඒවා ගැන"


"ඔව් මනඃකල්පිත තමයි මුලින්ම , ඒත් තමුසෙ ..තමුසෙ.."


ඔහු දත් කූරු කයි..මා හිස අනිත් පැත්තට හැරවූයේ ආරක්ෂිත උපක්‍රමයක් ලෙසයි. මේ ගුටි කෑම ඉවර වෙන පාටක් නැත.


"තමුසෙ මාව කෑවා ඕයි.."


"ලෝකයා හිතුවෙම ලියන්නා තමුසෙම තමයි කියලයි..තමුසෙ ලියලා තියෙන ඒවා උණේ තමුසෙටම තමයි කියලා..ඒ උණාට තමුසෙ මෙලෝරහක් නැති බක පණ්ඩිත වචන ඔබ ඔබා යන යන තැන තර්ක කළේ නැද්ද නිර්මාණශිල්පියා කියන්නෙ එකෙක්.. නිර්මාණය කියන්නෙ තව එකක් කියලා .."


"නෑ නෑ මන් කොහෙද එහෙම කියලා තියෙන්නෙ ඔය පට්ට පල් බොරු" 


මා මාවම බේරා ගැනීමේ නිරර්ථක වෑයමක යෙදුණෙමි..


"කොහොමදයකෝ ඔහොම බොරු කියන්නෙ අර රංගගේ ලෝකෙ උඹ මරා ගන්ඩ ගියේ නිශ් එක්ක නේද ඕක ගැන කියලා.. අන්තිමට? . තව ඊට ඉස්සෙල්ලා ඉතිහාසයම මන් මෙතන කියලා දෙන්න ඕනිද ? අනිත් එක කාටවත් ඔය ගැන කියලා දිනන්න දෙන්නෙ නැති තරමට නේද පහු ගිය කාලෙම උඹ තර්ක කළේ ? එහෙම කරල දැන් කියන්ඩ හදන්නෙ ලියන්නා කියල කෙනෙක් නෑ කියලද ? හුහ් එහෙම කීව අපූරුව ?"


කෝපයෙන් වියරු වැටී ඇති මොහු මගේ හිස දෑතින්ම ගෙන කෝපය නිවෙන තුරු හෝ ඔහුගේ දෑත රිදෙන තුරුම බිම ඇනගෙන ඇන ගෙන ගියේය..මා හට තවදුරටත් වේදනාව නොදැනේ. වේදනාවෙන් හිරි වැටී ඇති ශරීරයට තවත් දැනීමට වේදනාවක් නොමැති සේය. මොහුගේ හිතේ වේදනාව ඉතා දැඩිය..ලියන්නා හෝ කවුරු හෝ මොහු එක්කෝ අමු පිස්සෙකි..


"අමු පිස්සෙක්..ඔව් මාව පිස්සෙක් කළා එක සැරයක්..මගේ ගෑනි රේඛාව මැරුවා..දූ සඳලිව මැරුවා.. මාව ආයි ගොඩ නේන පිස්සෙක් කළේ උඹ යකෝ !"


ඈ මම හිතන් දේ මෙයාට තේරෙනවද ? මන් අමු පිස්සෙක් කියලා හිතුවා විතරයිනෙ..


"උඹ මාව තවම ඇඳින්නෙ නෑ ..මාව කසිප්පු කාරයෙක් කරලා හිර ගෙට යවලා මදිවටද යකෝ අර තට්ට සෝමෙට කියවලා වීඩී හැදෙව්වෙ ? ආන්න එදා තමයි මන් උඹට මෙහෙම කරනවයි කියලා හිතා ගත්තෙ? ඒ මදිවට මාව බෝම්බෙකට අහු කරලා පරම්පරා කූට්ටමත් කුඩු කළා, පිරිමියෙකුට එහෙම කරන්ඩ තරම් උඹ දරුණු උණේ කොහොමද කියලා මන් දන්නෙ නෑ..එහෙම කරපු මමයි අමු පිස්සා උඹ ලෝකෙ ඉන්න හොඳම සුදනා.. මන් කොහොමද යකෝ රෙද්දක් ඇඳන් එළියට බැහැලා යන්නෙ එහෙම ලෝකෙට කිව්වහම.."


මම දන්නා සියලුම උපක්‍රම දමමින් මගේ සිතුවිලි නවත්වා ගැනීමේ නිරර්ථක වෑයමක යෙදුණෙමි..


"හුහ් නවත්තයි..මන් දන්නවා උඹ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලත් හැදුවෙ මාව අර බාර් එකේ ඉන්න බේබද්දොන්ගෙන් එකෙක් කරන්නනෙ"


\\ මේ කතාව මට ඉස්සෙල්ලා මතක් උණේ නැති හැටි..අද හෙටම ලියනවා කතාවක්. හැබැයි මේ ඔරිජිනල් කතාව කොහොමත් හංගලා මේ සැරෙත් අරයට උණා වගේම ලියනවා..ම්ම්ම් \\


"ආ ඔය මතක් උණේ.. කී සැරයක් නම් මාව කෙල්ලො ඉස්සරහා පාච්චල් කළාද ? ඒ මදිවට අර ගණිකාවො ඉස්සරහත් උන් ලව්වා හිනැස්සෙව්වා "


"මෙහමයිනෙ දැන් එව්වා වෙලා ඉවරයි..මන් ආයි.."


"මන් ආයි මොකද්ද.. තමුසෙ හිතන්නෙ මගේ ආත්මය ගැන නොහිතා මාව නැතිබංගස්ථාන කල එකාට මන් ආයි ලියන්ඩ ඉඩ තියයි කියලද ?


"හරි මන් ඒ සේරටම සමාව ගන්නම් ඊළඟ පෝස්ට් එකෙන්..එතකොට ඉවරයිනෙ"


"එතකොට ඉවරයි..එතකොට ඉවරයි..ඒක කියන ලස්සන විතරක්..මට මෙච්චර දෙයක් කරලා ඒක කියන ලස්සනඋඹල වගේ උන් හිතා ඉන්නෙ සේරම කරලා සොරි කිව්වහම හරි කියලයි"


අසල වූ පොල් පිත්තක් අතට දෑතට ගත්තේ නැවතත්..


"අනේ ගහන්ඩ එපා ඕයි රිදෙනවා.."


"තමුසෙට රිදෙන්න ඕනි..එතකොට තේරෙයි අනුන්ටත් රිදෙනවා කියලා.."


"ගහන්ඩ එපා මල්ලියෙ.."


දායි දායි යන හඬ සමඟ මුලු ඇඟම හිරි වැටී යන්නේ..තත්පරයකට කී වාරයක්ද යන්න නොදනී..


"ගහන්ඩ එපා බුදු මල්ලියේ.."


ඔහු පැත්තකට වී හති හලයි.දැන් මෙය අවසන් කල යුතුව ඇත.. 


"අනේ බුදු සර්, මල්ලියේ..දැන් මට යන්ඩ දීපන්..මන් ලියන එක නවත්වනවා..උඹේ කේන්තිය ගියානෙ දැන්"


"උඹ හිතනවද මන් උඹට යහතින් යන්ඩ දෙයි කියලා?"


"මන් දැන් හරි ප්‍රසිද්ධයි..උඹට මාව හිර කරලා තියා ගන්න බෑ..හෙටම මගේ යාළුවො ටික මාව හොයන්ඩ ගනී"


"හොයන්ඩ..හුහ් හුහ් හූ..දැක්කනෙ ලකීම කියලා තිබ්බ කතාව..ඒකෙ ඩී අකුරක්වත් පී අකුරක්වත් නෑ..උඹ අර කුණු ඇලේ ඔබලා ගියත් සෑහෙන කාලෙකට කවුරුවත් දැන ගන්නෙ එකක් නෑ..එතන ඉන්න කබරයො ටික ඇර"


උන් ගම් කබරයොද දන්නෙ නෑ.. මා ඇසුවා නොව සිතුවා පමණි..උප්ස්...


"ඔව් මන් පෙන්නන්නම් ගම් කබරයින්ට දැනෙන්න ගහන හැටි"


අසල වූ ගහක දෙබලට දැමූ මාගේ අත් ගැට ගැසූ දම්වැලින් මා ඉහළට ඇද එල්ලීය.. මරණ බිය දැනුණේ මාගේ කලිසම තෙමා ගෙන වතුර ගලා ගෙන ගියේය..දැන් නම් අනුකම්පාව ඇයදීම මිස කිසිවක් ඉතිරිව නැත..


"අනේ බුදු මල්ලි මට යන්ඩ ඇරපන්.. මාව මැරුවා කියලා උඹට වෙන සෙතක් නෑනේ..ඇත්තටම මන් මළොත් උඹට මොකද වෙන්නෙ?"


"නෑ මන් මරන්නෙ නෑ..මන් ලෝකෙටම පෙන්නනවා උඹේ වෙස් මූණ ගලවලා. සබරගමුවෙ උන්ට මූණු දෙකයි කියලා පෙන්නන්ඩ නේද අර පෙරහැරේ මූණු දෙකේ එකෙක් අරන් යන්නෙ..ආන්න ඒ වගේ උඹෙත් මූණු දෙකක් තියෙන බව මිනිස්සු දැන ගන්ඩ ඕනි..


ඕක අමුතුවෙන් පෙන්නන්න දෙයක්යැ මල්ලි ? හැමෝම ඒක දන්නවා..මිනිස්සු හැමෝම හයිඩ් ඇන්ඩ් ජෙකිල් තමයි..මන් විතරක්යැ ? "


"හයිඩ් ඇන්ඩ් ජෙකිල් ?! ගමෙන් ඇවිල්ලා තවම හරියට අවුරුදු විස්සක් උණෙත් නෑ.. ඒත් පෙරහැරේ යන මූණු දෙකෙන් කියන්නෙ මොකද්ද කියලා මතක නෑ..හැබැයි හයිඩ් ඇන්ඩ් ජෙකිල් මතකයි.."


ඔහු පිහිය ගෙන මගේ ඇඳුම් කීතු කීතු ව්ලට ඉරා දමමින් වියරු හඬින් සිනාසෙයි..


"එපා මල්ලි  එපා මේක එක්ක තව ෂර්ට් දෙකමයි තියෙන්නෙ සන්තකේටම ..අනිත් කලිසමත් හොඳටම සවුත්තු වෙලා..බෝනස් දෙන්න තව කාලයක් යන හින්දා සෑහෙන කාලෙකට කලිසමක් ගන්ඩ බැරි වෙයි.ඒ හින්දා ඔය කමිසෙයි කලිසමයිවත් ඉතුරු කරහන් බන්එපා මල්ලියෙ යට ඇඳුම් නම් ගලවන්ඩ එපා"


මගේ නිරුවත දෙස බලමින් ඔහු කොපමණ වෙලාවක් හිනා වූවාද යන්න මතක නැත.


"මේ උඹ මට කල දේම තමයි ! නැතුව අමුතු දෙයක් නෙවෙයි "


බොහෝ වේලාවකින් පසු මා ඇද ගෙන ගොස් එල්ලුවේ පාර අයිනේම වූ සොහොන් කොතකයි..මා කායික වේදනාව සහ ලැජ්ජාව නිසාම සිහි විකල්ව සිටිමි. 


"දැන් ලෝකයා දැන ගනී උඹ කවුද කියලා"


යන්තම් දෑස හැර බලන විට ලියන්නා අතුරුදන්ව ඇත..ශරීරය සෙලවීමටවත් නොහැක..පාර දෙපැත්තේම කිසිවකුත් නොමැති නමුත්..තව සුළු වෙලාවකින් එළිය වැටුණු විට සියල්ලම ලෝකයට එළි වනු ඇත.මේ සිද්ධිය පුවත් පත් වල, ශ්‍රව්‍ය ද්‍රෂ්‍ය මාධ්‍ය වල කෙසේ පල වනු ඇත්දැයි සිතෙන වාරයක් පාසාම මගේ සිහිය විකල්ව යනු දැනේ..පාරෙ එක් කෙළවරකින් යම් මිනිස් රුවක් පෙනේ..ඒ මගේ ඉටු දෙවියකු වන්නට ඇත..ළංවත්ම ළංවත්ම..මට පෙනුණේ ඒ සුනිල් නේද ?


"හත් දෙවියනේ මේ මොකද උණේ සර්ට"


මගේ දෙසවන් දෝංකාර දෙමින් එම හඬ නින්නාද දෙන්නට විය..
ඔහු මගේ උරහිසට අත තැබූයේ..මා ඇස හැර බැලීමි..දෙපස වූ මහා මාර්ගය සහ සොහොන් කොත් සියල්ලම එක්වරම අන්ත්‍රස්දාන වූයේ..
මා හනිකට පොළවට අත ගසා නැගී සිටිමි.. සුනිල් මා දෙස විස්මයෙන් බලා සිටී. මා මගේ මේසය අසල කාපට් පොළවේ වැතිර සිටියේ මන්ද ?වැඩ කරමින් සිටි ෆයිල් කීපයක්ම බිමට වැටී ඇත.. බෙල්ල සීරී ගොස් යම් වේදනාවක් දැනේ..


"මන් පොඩ්ඩක් මේසෙට ඔළුව ගහ ගත්තා සුනිල් නින්ද වැඩි කමට බිමටම වැටෙන්න ඇති"


"ඒක තමයි සර් ඔන්න වතුර වීදුරුවත් හැලිලා කලිසමේම"


සුනිල් බිම තිබූ ෆයිල් නැවත මේසය උඩ අඩුක් කරයි..මාර නින්දක් තමයි ඒක නම්..


"සර් දහය හමාරයි"


මගේ සියොලඟම සීතල වී ගියේය..


"සුනිල් බලන්න සේන කොහෙද කියලා.. මට ඇඟට අමාරුයි. සේනට කියන්ඩ වාහනය ලෑස්ති කරන්ඩ කියලා මාව ගෙදෙට්ට ගිහින් දමලා එන්ඩ"


"හා සර්"


මම අසල වූ බෑගය අතට ගතිමි.
මා වහාම මගේ නවාතැන කාර්යාලය අසලින් සොයා ගත යුතුව ඇත..නැතහොත් මේ ලිවිල්ල නැවත්විය යුතුව ඇති බව මගේ හිත මට හඬ ගා කියයි. මෙච්චර ඇත්තටම උණා වගේ හීනයක් ඔය දැක්කමයි..සැබවින්ම එය හීනයක්ද නැද්ද යන්න ගැන තවමත් මට ඇත්තේ සැකයකි. 
ඒ සැකය හාම මතුවන්නේ මා තව දුරටත් නිර්මාණ කරන්නේ නම්  නිර්මාපකයා කවුද යන උභතෝකෝටිකයටයි..


G if courtesy from - http://gifstumblr.com/cool/creator-vs-creation-983

Friday, March 16, 2012

අරයයි, මෙයයි දෙන්නෙක්ද ? එකෙක්ද ?

"සුනිල් අද නම් මන් කීය වෙන කන් ඉඳලා හරි මේ ෆයිල් ටිකේ වැඩ ටික ඉවර කරලම තමයි යන්නෙ"


"ආ සර් මන් ඉන්නම් ..වෙනී සර්ට තේ එකක් හදලා ගෙනත් දෙන්නද?"


"එපා සුනිල් මට කූල් වතුර එකක් ගෙනත් දෙන්න"


කාර්යාලයේ ගොඩ ගැසී තිබුණු වැඩ සියල්ලම ඊළඟ සතිය වන විට අවසන් කල යුතුව ඇත. සියල්ලම පාහේ එක් එක් අංශ වලට අදාළ ගොනු වල රාජකාරී කටයුතු රාශියකි. මේ සියල්ලම මෙතරම් පරක්කු වන්නට හේතු වූයේ මාගේ වරදක් නොව එක් එක් අංශ වලින් එවිය යුතු ගොනු සියල්ලම අවසන් කර මා වෙතට නිසි ලෙස එවන්නට අපොහොසත් වීමය. බොහෝ ගොනු වල ඇති අවසානාත්මක නිර්දේශය හෝ ඉහළ අනුමැතිය සඳහා අවශ්‍ය රෙකමදාරු කිරීම් සියල්ල මා කල යුතුව ඇත. එය ඉතා පහසු කාර්යයක් ලෙස පෙනුණත් එක එක කාරණයට අදාළව එක් එක් අංශයන් ගොනු කර ඇති කරුණු සියල්ලම සංසන්දනයකර බලා අවසන් තීරණය ගැනීම කල යුතුව ඇත. ඒ සඳහා නිරවුල් මනසක් මෙන්ම පහු ගිය කාලවල ක්‍රියාවලින් කල ආකාරය මෙන්ම සපුරා ලිය යුතුව ඇති නීතිමය කොන්දේසි එකින් එක ගෙන අනුකූලතාවය පිරික්සීම ඉතා සීරුවෙන් කල යුතුව ඇත.


"මෙන්න සර් කූල් වතුර එක, වෙනී සර් මන් ටීවී රූම් එකේ නිව්ස් බලන්න යන්නද? සර්ට මොනා හරි ඕනි උණොත් මිස් කෝල් එකක් ගහන්න , මන් ටුක් ගාලා එන්නම්"


"හා යන්ඩ සුනිල්, මන් ඕනි උණොත් කෝල් එකක් දෙන්නම්"


කාර්යාල වෙලාවලින් පසුව හෝ සති අන්ත දින වලදී මගේ සහයට සිටින හොඳම විශ්වාසවන්ත සේවකයා වන සුනිල් ටීවී කාමරය් වෙත ගිය පසු මා නැවතත් මා ආරම්භ කල ගොනු කිහිපය දෙස නෙත සිත යොමු කළෙමි. හ්ම්ම් මේ ෆයිල් එකට තමයි ගිය සැරේ වැඩිම ඔඩිට් ක්වෙරීස් ඇවිත් තිබ්බෙ..මේ සැරේ මේක හරියටම කරන්ඩ ඕනි. නැත්නම් මාර හිසරදයක් තමයි වෙන්නෙ..දවස තිස්සේම වැඩ කල නිසාදෝ දෙඇස යටින් සිහින් වේදනාවක් පටන් ගෙන දෙකන් දක්වා පැතිර යයි. වැඩක් පලක් නැතුව කම්මැලි කමේ ඉන්න කොට නම් කිසිම ලෙඩක් හැදෙන්නෙ නෑ. ඒත් වැඩ වැඩිම වෙලාවලදි තමයි ලෙඩ හැදෙන්නෙත්. යන්තම් මේ ෆයිල් එකේ වැඩේ ඉවරයි..තත්පරයක් ඔළුව ගහන් ඉන්න ඕනි..දැසට ගත යුතු විවේකය පිළිබඳ සිතා ඊළඟට කල යුතු ගොනුව ගෙන එය උඩම මදක් ඔළුව තබා ගත්තෙමි...


එක්කො බෑ මෙහෙම නිදා ගෙන ඉඳලා හරි යයිද..මේ වැඩේ කරලා දමලා යනවා ගෙදර , ගිහින්ම නිදා ගන්නව. සුනිල් කෝ.. ආ සුනිලුත් අතට ගත්ත පත්තරය අතේ තියා ගෙනම නිදි කිරා වැටෙනවා. පව් මිනිහටත් හොඳටම මහන්සි ඇති. වෙලාවත් දහය හමාර උනානෙ දන්නෙම නැතුව.


"සුනිල්..... සුනිල් එහෙනම් සෙක්ෂන් එක වහලා යතුරු ටික සිකුරිටි එකට භාර දෙන්න"


"සර් වාහනයක් ලේස්ති කරලා දෙන්නද සර්ට යන්න"


"අපොයි එපා සුනිල් තව ඔඩිට් ක්වෙරි එකකට උත්තර ලියන්න වෙයි එහෙම උණොත්" 


මම සිනා මුසු මුහුණින් කීවෙ ඊට පෙර අවස්ථාවක මෙලෙස වාහනයක් රැගෙන යාම නිසා ඇතිවූ ප්‍රශ්නය හිතට නගා ගනිමිනි. 


"සුනිල් මේ ඉවර කරපු ෆයිල් ටික යවන්න ෆිනෑන්ස් සෙක්ෂන් එකට හෙට උදෙන්ම. මේ අනිත් ටික මෙහෙමම තියන්න, මන් හෙට ඇවිත් වැඩ පටන් ගන්නවා"


"හා සර් ගුට් නයිට්"


"ගුඩ් නයිට් සුනිල්"


මගේ නවාතැන පිහිටියේ කාර්යාලයේ සිට කිලෝමීටර් 4-5 ක්තරම් දුරින් නිසා සම්හර දිනවල මා පයින්ම කාර්යාලයේ සිට නවාතැන කරා සෙමින් සෙමින් පිය නගමි. 


"ඔෆීස් එකේම හිර වෙලා ඉන්න අපිට කොහෙද එක්සයිස් කරන්න වෙලාවක් මෙහෙම ඇවිදන් යන එක හොඳයි ඇඟට ව්‍යායමයක් ලැබෙනවනෙ"


නමුත් අද දින නම් ඇඟට දැනෙන කෙඩෙත්තු ගතිය නිසාම බස් රථයක යා යුතු බව මා ගමන ආරම්භයේදීම තීරණය කර තිබුණි.අහෝ ඛේදයකි ඉරකි තිතකි..අවසාන බසයද නැවතුම නික්ම ගොසිනි. වෙනදා අඩුම තරමේ 2-3ක් වත් ඇති තුන් රෝද රිය පොළද පාළුය. 


"I am at Hobson's choice"


මා මටම හඬ නගා කිව ගත්තද ඒ හාම ලැජ්ජාවෙන් වට පිට බැලුණේ අවට කිසිවකුට එය ඇසුණේද යන්න සැක හැර ගැනීමටය. අහල පහළක බලු බල්ලෙක් නැත. ප්‍රධාන පාරේ කිලෝමීටරයක් පමණද අතුරු පාරවල් කිහිපයක ඉතුරු කිලෝමීටර් කීපය පිය නැගීමෙන් මා නිවෙස වෙත පැමිණිය හැක. කීප වතාවක්ම මනසින් ඇවිද ගිය මා සුසුමක් හෙලූයේ ගමන් ආරම්භ කළෙමි.අද එතරම්ම වාහනද නොමැත. ඉඳ හිට මා පසු කරමින් වාහන් එකක් දෙක ඇදේ. ඉස්සරහ වංගුවෙන් හැරුනහම කනත්ත පාර කනත්ත පාර පහු කළහම ආයිමත් පංසල පාර ඊළඟට මගේ ගෙදරට යන අතුරු පාර..
සුටු සුටු සුටු.. හඬ නගමින් මා අසලින් ඇදී ගිය යතුරු පැදිය මා පසු කර ගොස් මීටර් 50ක් පමණ ඉදිරියෙන් නැවත්වීය. මේ වෙලාවෙ මෝටර් සයිකලයක් වත් තිබ්බ නම් කොච්චර හොඳද සිතමින්ද සමහර දිනවල මෙසේ පයින් යනවිට නන්නාඳුනන මෝටර් සයිකල් කරුවන් මා රැගෙන ගොස් මාගේ නිවස අසලින් බස්සන අයුරු මනසේ සිත්තම් කර ගනිමින් මා ඉදිරියට ඇඳුණේ..නවතා තිබු මෝටර් සයිකලයේ හුන් තැනැත්තා නැවී බයිසිකලයේ යම් ස්විචයක් අත ගාමීන් සිටියේය. මා ඔහු පසු කර ගියේත් ඔහු නැවී තිබූ දුන්නක් කෙළින්වන්නාක් මෙන් මා දෙස හොඳින් බලමින් කෙළින් වූයේත් එක්වරමය. කළු පැහැති හෙල්මටය තුළින් වූවද පැහැදිලිව දැක ගත හැකි වූ ඒ දිලිසෙන ඇස් දෙක...


මේ යකා ..
මූ මොකද මෙතන කරන්නෙ ? 
අදත් මන් ගැන ඔත්තු බලනවද ?
මූ කවුද ? 
ඇයි මෙහෙම මන් පස්සෙම කැරකෙන්නෙ ?
නැත්නම් මේක අහම්බයක්ද ? 


ප්‍රශ්න රාශියක් මගේ ඔළුව තුළ භ්‍රමණය වන්නට වුයේ එක් වරමය. 
මා පසු පස හැරී බැලූයේ බයිසිකලයේ නොම්මර තහඩුව දෙසටය. එය වැසෙන සේ යම් බෑගයක් රඳවා ඇත. මා හැරෙන ආකාරය නිරීක්ෂණය කළේ ඔහු නැවතත් නැවී බයිසිකලයේ යම් ස්විචයක් අතගාන්නට වූයේය.


"මෙන්න සර් තේ එක"


කල්පනා සාගරයෙ කිමිද උන් මා එයින් මිදුණේ මා සැමදා තේ එකක් බොන්න එන කඩේ වේටර් මල්ලිගේ කට හඬිනි. සිනා මුසු මුහුණින් මා ඔහු දෙස බැලූවද මගේ දෙනෙත ගැටුණේ මගේ මේසයට මේස දෙකක් පමණ එහා මේසයක සිට මා දෙස තියුණු බැල්මක් හෙළන මේ දැන් මොහොතකට පෙර මා දෙස බැලූ දෙනෙතයි.


මේ දෙනෙත ආත්ම ගණනාවක්ම දැක හඳුනා ඇති සෙයක් එක්වරම මගේ සිතට නැගුණේ ඇයි? බොර පැහැ සාමාන්‍ය දෙනෙතක්..මට වඩා අවුරුදු 2-3ක් වත් ළාබාල යැයි සිතිය හැකි මට වඩා ක්‍රීඩකයකුගේ මෙන් නම්‍යශීලි සිරුරක් ඇති ඔහු..මා නෙත ගැටෙනවාත් සමඟම අසල වූ වීදුරු කවුළුවෙන් පිටතට නෙත් යොමු කළේ යම්කිසිවකු බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි පෙන්වීමට සේය. ඒ ඇසිල්ලේ මා ඔහු දෙස බැලූයේ එතරම් සැලකිල්ලක් නොමැතිව කොණ්ඩය පීරා මනා සේ උඩුරැවුල වවා තිබූවද මහත් නොසැලකිල්ලෙන් මුත් යම්කිසිවකුගෙන් තම නියම ස්වරූපය සඟවා ගන්නට මෙන් මුහුණ පුරා රැවුල වවා තිබුණි. බාල වර්ගයේ ටී ෂර්ටයක් හා ඩෙනිම් කලිසමක්ද බාල සෙරෙප්පු කූට්ටමක්ද පැළැඳි ඔහුගේ උරහිසේ යම් සංකීර්ණ පච්චයක් කොටා තිබුණි. ඒ කාලෙ මමත් ඔහොමම තමයි හිටියෙ..පච්චයකට ආශාව තිබුණට කලු කෙට්ටු උරහිසේ මොන පච්චයක් කොටා ගත්තත් පේන්නෙ මොකාටද කියලා ඒ අදහස අත්හැරලා දැම්මා.. මේ මිනිහට මාර නිදහසක් තියෙනවා වගේ පෙනෙන්නෙ..මා ඔහු දෙස බලා සිටිනවා දුටු නිසාම ඔහු නැගිට ඔහුගේ බිල ගෙවා යන්නට ගියේය. ඉන් පසු අවස්ථාවන් සිය ගණනකටත් වඩා වාර ගණනකදී මෙම විමසුම් දෙනෙත මා පසු පස ලුහුබඳිතැයි මට ඒත්තු යනාකාරයේ සිදුවීම් පෙළක් මගේ සිත තුළ පෙළ ගැසේ. ඊළඟ සැරේ නම් කතා කරනවා අනිවාර්යෙන්ම..සෑම විටකම එසේ සිතුවත් එය ඉටු කර ගැනීමට මට කිසිදා හැකි නොවීය. විටෙක එම දෑස මා බියපත් කරවයි. මහා ගුප්ත යම්කිසි මා හොඳින්ම දන්නා යම් දෙයක් ඔහු විශාල ගුප්ත බැල්මකින් සඟවා සිටින්නේයැයි මට හැඟෙන්නේ මන්දැයි මටම නොතේරේ. පසු ගිය මාස නවය තිස්සේම ඔහු මාගේ නවතැන සහ කාර්යාලය පිහිටි මහා මාර්ගයේදී මගේ නෙත ගැටී තිබුණි. මේ පිළිබඳව මිතුරකුට හෝ පැවසිය නොහැක..


"ආ ඔහොම මැදිවියේ ඉන්න අයට කැමති අයත් ඉන්නවලු..උඹ කොයිකටත් පරිස්සම් වෙයන්"


මිතුරන්ගේ මෙවන් විහිළු බසක් අසාගැනීමට මට කිසිදු කැමැත්තක් නොවීය.


මේක ඉවරයක් කරලා දමන්න ඕනි, ආයි සැරයක් ඇහැ ගැටිච්ච ගමන්ම මන් අහනවා කවුද කින්ද මන්ද කියලා එතකොට ඉවරයිනෙ. මා එලෙස සිතුවේ ඊළඟ අතුරු පාරට යාම සඳහා මාර්ගය මරු වෙමිනි. ඉදිරියේ වූ රාත්‍රී සමාජශාලාව සහ මත්පැන් හලින් විටින්විට එකා දෙන්නා එළියට විසි වෙයි. අසල වූ අඳුරු කොනේ පොලීස් නිලධාරීන් දෙදෙනකු විමසිලිමත්ව මත්පැන් හලේ වූ වාහන දෙස බලා සිටී. වාහන නැවතුමෙන් එළියට පැමිණෙන කාර් එක වහා අත දමා නැවැත්වූ එක් අයකු සහ අනිකා තම අත ඇති යමක් හනික වාහන රියදුරු වෙත ගෙන යයි. හහ් පුම්බන්න වෙයි බැලුමක්...


සිතනවාත් සමඟම මනස හරහා විදුලියක් කෙටුවේය. ෂාහ් ඔය තියෙන්නෙ ඊළඟ කතාවට හොඳ අයිඩියාස් එකක්..සෑහෙන කාලෙකට ඉස්සර රීඩර්ස් ඩයිජස්ට් එකේද මන්දා මන් කියෙව්වෙ මේ කතාව..මතකයේ අහුමුලු මන් පෙත් පීරමින් එම කථාවේ අග මුල ගැට ගසා ගත්තෙමි.. 


රාත්‍රීයේ මෙවන් වූ මත්පැන් හල්කින් එළියට පැමිණෙන වාහන පිරික්සීමේ නියුක්ත ආරක්ෂක නිලධාරීන් සමූහයකි..වාහන රාශියකි..හිට ගැනීමටත් නොහැකිව වීසි වෙමින් මත්පැන් හලින් එළියට පැමිණෙන තරුණයෙකි. තම අත වූ වාහනයේ යතුර ගෙන වාහන කිහිපයක්ම විවෘත කිරීමට උත්සාහ දරයි. ඔහු කොතරම් බීමත්ව සිටින්නේද යත් ඔහුට ඔහුගේම වාහනය අඳුරා ගැනීමටද නොහැකිය..කිහිප වාරයක්ම ඔහු බිම ඇද වැටේ..අසල සිටින ආරක්ෂක නිලධාරීන්ගේ කට කනේය. ඔවුන් දැඩි විමසිලිමත්ව ඔහු දෙසම බලා සිටී. ඔය අතරේ අනිත් වාහන එකින් එක පිටත්ව යයි.නිලධාරීන් සියල්ලම ඔහුගේ වාහනය එනතෙක් පුල පුලා බලා සිටී..අවසානයේ ඉතුරු වූ වාහනය ඔහුගේය. ඔහු එය පදවා ගෙන එළියට එයි.. ජයග්‍රාහී විලසින් නවත්වන නිලධරීන් ඔහුට පුම්බන්නට බැලුම් බෝලයක් දෙයි. පුදුමයකි එහි ඇල්කොහොල් බිඳක්වත් නැති බව පෙන්වයි. තවත් බැලුමක තත්වයද එසේමය. රියදුරුද නිහඬව සිටී. 


"තමුසෙ කොහොමද මෙහෙම බොරු කරන්නෙ ? අපි දැක්කනෙ තමුසෙ අර බාර් එකෙන් විසි වෙවී එළිය ඇව්ත් කාර් එක හොයාගන්නවත් බැරුව දඟලපු දැඟලිල්ල"


"ආ එහෙම කරන්න කියලා ඒ වෙලාවෙ බාර් එකේ හිටි සර්ලා මට එකතු කරලා හොඳ ගාණක් දුන්නා ..ඒ ගානෙ හැටියට මන් පොඩ්ඩක් ඕවර් ඇක්ටින් කලාත් එක්ක"


චිහ් මේ කතාව මට ඉස්සෙල්ලා මතක් උණේ නැති හැටි..අද හෙටම ලියනවා කතාවක්. හැබැයි මේ ඔරිජිනල් කතාව කොහොමත් හංගලා මේ සැරෙත් අරයට උණා වගේම ලියනවා..ම්ම්ම් මේක කොහොමද දේශීයකරණය කරන්නෙ ? කාටවත් මතක් වෙයිද මන්දා ඔරිජිනල් කතාව. අර ඉස්සෙල්ලා ඔහොම ලියපු කතා සෙට් එකම අතේම මාට්ටුනෙ.. ඒත් අර කලු මල්ලිටනෙ..මේ යකා මේ කථාවත් කොහෙන් හරි කියවලා තියෙයිද මන්දා ? ඉඳලා ඉඳලා කමෙන්ට් එකක් දමන්නෙත් ඒකත් ..චී චී පාඨකයින් ගැන එහෙම හිතන එක අන්තිම වැරදී..ඒ කමෙන්ට් එකේ අන්තිමට ඩී අකුරක් තිබ්බ. අනික ඒ කමෙන්ට් එක නිසා මටම කොච්චර හිනා ගියාද ? ඒ වෙලාවෙ තිබ්බ සිටුවේෂන් අමතක කරලා දැන් මෙහෙම අමුතුවෙන් හිතන එක වැරදී..මගේ මේ අඩුපාඩුව නම් කොහොම හරි හදා ගන්න ඕනි..


ආ ඉස්සරහ කනත්ත නේද ? ජීවත්ව සිටින කාලයේ මෙන්ම තමන්ගේ ප්‍රදේශය අයත් කර ගෙන සිටින මළවුන්ගේ සොහොන් කොත්ද එකිනෙකා පරයමින් අඳුරේම නැගී සිටී. 


"බලන්න මගේ එක තමයි ලොකුම ලස්සනම එක " 


යනුවෙන් පාරේ යන අයට කියන්නාක් මෙන් එම ස්මාරක සියල්ල නිහඬව මද අඳුරේ මා දෙස බලා සිටී. 






"මේක අස්සෙ හොල්මනුත් ඇද්ද මන්දා ?" 


හොල්මන් කියන්නෙ සෙලවුණු මනස කියනවනෙ. මා මදක් නැවතී සොහොන් කොත් අතර මගේ මනස සෙලවෙන්නේ කොතනද සෙව්වෙමි.මද සුළඟක් සමඟම අසල වූ ගස් කොළන් මෙන්ම සැරසිලි වල ඇති ඉටි කොළද සර සර හඬින් සෙලවෙයි.


"අම්මෝ ඔය ඉන්නෙ හොල්මන් සිය ගාණක්"


සිනහා සිතින් මා ඉදිරියේ වුයේ කනත්තට ඇතුළුවන විශාල ගේට්ටුවයි. එය සැමදාම දැඩි අඳුරේය. 


"ඔය හරියේ බල්බ් ටික කවදාවත්ම හයි කරලා තියෙන්න දෙන්නෙ නෑ..දන්නෙ නැද්ද මහත්තයා රෑ තිස්සෙ එන උන් මේකට..උන්ට කරදරයිනෙ ලයිට් තිබ්බහම"


මීට පෙර මෙහි මුරකරු වූ ඩේවිඩ් අයියා දිනක මා හට පැවසීය.මා දන්නා පරිදි ඩේවිඩ් අයියාට පසුව මෙහි රාත්‍රී මුරකරුවකු නොමැත. ගේට්ටුව හා අසල ප්‍රදේශයම වසා ගන්නා විශාල මාර ගසකි. 


"වවුලො කපුටො රෙයිද මන්දා ඔළුවටම?" 


එක් අතක වූ බෑගය අනිත් අතට මාරු කර ගත් සැණින් මා අවට වූ වාතයේ යම් කැළඹීමක් ඇතිවනවා මට දැනිණි..


සෙලවුණු මනස..බය වෙන්ඩ ඕනි මැරිච්ච මිනිස්සුන්ට නෙවෙයි ජීවත් වෙලා ඉන්න උන්ට...


පාරෙ එහා පැත්තට පනින්න ඕනි.වාහන කිසිවක් නැතත් සහ එය එක පැත්තකට වාහන ධාවනය වන පාරක් වූවත් පුරුද්දට මෙන් පාර දෙපැත්තම බැලුවෙමි. වාහනයක් තියා බලු බල්ලෙක් නැත. චිහ් මට එන්න තිබ්බෙ අනිත් පාරෙන් පොඩ්ඩක් දුර උණාට..එක්වරම බෙල්ල අවට රෝම උද්දීපනය වූයේ මගේ මුළු ඇඟම හිරී වැටී ගියේය. යම් දිලිසෙන යමක් දෙඇස් මානයේ වැනෙන්නට වූයේත් දඩු අඬුවකට මගේ බෙල්ල හිර වූවාක් මෙන් දැනුණේත් මා ගැලවෙන්නට දඟලද්දීම මා මාර ගස යට දැඩි අඳුරට ඇද ගෙන ගියේද සිතා ගන්නටත් බැරි තරමේ ක්ෂණයකිනි.


"කෑ ගහන්ඩ එපා ****පු** පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියලා ? ඇදලා දානවා බෙල්ල හරහා එක සැරෙන්ම චක බ්ලාස් වෙන්ඩ තෝ නේද වෙනියා කියන්නෙ ?"


"ඔව්, අතාරිනවා මාව අනේ මන් මාස් පඩි කරයෙක් ඕයි ආණ්ඩුවෙ වැඩ කරන..පර්ස් එකේම තියෙන්නෙ රු තුන්සීයයි..බාල චයිනීස් ෆෝන් එකයි..ඕන්නම් ඒක අරන් මට යන්ඩ දෙනවා"


"දඟලන්නෙ නැතුව හිටපන්..මන් අහන එකට විතරක් උත්තර දීපන් ..මට ඕනි නෑ තොගෙ චයිනීස් ෆෝන් එක උඹ නේද වෙනියා කියන්නෙ? කියපිය !"


"ඔව් ඔව්.. ඔය පිහියට මගේ බෙල්ල කැපෙනවා යකෝ..දැනටමත් කැපිලා..."


පිහිය මදක් බුරුල් කළද දැඩි දඩු අඬුවකට නැවතත් මගේ බෙල්ල හිර විය. අපහසුවෙන් හුස්ම පොදක් ඉහළට ගත් මා මද අඳුරේ වූවද දුටු ඒ දිලිසෙන ඇස් දෙක ..


මොනවා මේකා??!!!


"ඇයි මට මෙහෙම කරන්නෙ ? මන් මොකද්ද තමුසෙට කරපු වැරැද්ද ? මාස ගාණක් තිස්සෙ මාව පස්සෙ පන්නනවා ඇයි ?"


"වහපන් කට ! මමයි මෙතන කතා කරන්නෙ තෝ නෙවෙයි පරයො"


මැරුණු බලු කුණක් ඇද ගෙන යනවාක් මෙන් මා ඇද ගෙන යන්නෙ කනත්තේ පාළු ම පෙදෙසට නොවේද ?


මතු සම්බන්ධයි.. 




ප.ළි.
මෙය කොටස් දෙකකින් යුත් නිර්මාණයක් බවත් නිර්මාණ ශිල්පියා ඒ පිළිබඳව පාඨකයාගෙන් සමාව අයදී..("වැඩ වැඩී බන් මේ දවස් වල !

Wednesday, March 14, 2012

රස්සාවක් කරන්ඩ අත පය වාරු නෑ..ඒත් ළමයි හතරක් හදන්ඩ ?!





අද බස් එකේ මට ඉස්සරහ හිටිය සම වයසෙ යාළුවො දෙන්නෙක්. අද සමාජෙ වෙන දූෂණ , නාස්ති, අපරාධ ගැන ඒ ගොල්ලො හර බර සාකච්ජාවක්..මටත් එහෙන් මෙහෙන් කෑලි එකක් දෙක ඇහෙනවා..හරි හමන් අදහසක් ගන්ඩ බැරි උණත් දෙන්නම සමාජයෙ සිද්ධ වෙන දේවල් ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්න දෙන්නෙක් බව නම් මට හැඟුණා..
බස් රථ වල හිඟා කෑම සහ විවිධ දේවල් විකිණීම නීතියෙන් තහනම් කරලා කියලා පහු ගිය කාලෙ ලොකු හාහූවක් ගියා..ඒ දවස් වල බස් කොන්දොස්තරලම හිඟා කන්ඩ එන අයටයි එක එක බඩු විකුණන්න එන අයටයි බස් එකේ දොරෙන් ඇතුළට එන්න දෙන්නෙ නෑ..


"පොලීසියෙන් අල්ලනවා එන්ඩ නම් එපා..අපිටත් ලෙඩේ"


ඒත් ඒක ඒ කාලෙ විතරයි..දැන් ආයිමත් හිඟා කන අය, එක එක බඩු විකුණන අය බස් වලට එන්න පටන් අරන්. ඒක හරිද වැරදිද කියල නම් මන් හිතන්නෙ නෑ එච්චරටම. හිඟා කන අය ඇත්තටම අසරණ අය කියලා මට හිතුණොත් මන් අතේ තියෙන කීයක් හරි දෙනවා. පින් ගැන හිතන්නෙ නම් නෑ..ඒකෙන් ඒ අයගේ බඩගින්න නැතිවෙනවා ඇති කියලා සතුටක් හිතේ දරාගෙන..ඔව් ඒක බිස්නස් එකක්ලු..සල්ලි යන්නෙ මුදලාලිටලු..කතන්දර ඔළුවෙ තිබුණට ඒවා ඒ වෙලාවට නම් මතක් වෙන්නෙ නෑ. ඔතා ගෙන ඉන්න තුවාල, කැඩිච්ච අත පය, වැරහැලි කඩමාලු දිහා නෙවෙයි මන් නම් බලන්නෙ ඒ මනුස්සයගෙ ඇස් දෙක දිහා..එහෙම බලලා මට හිතෙනවා නම් මේ මනුස්සයා ඇත්තටම අසරණ කෙනෙක් කියලා එහෙම උණොත් විතරක් උදව් කරනවා.


අදත් බස් එකේ ඉස්සරහින් නැග්ග මනුස්සයා ඔය මොනවාද හෑල්ලක් කියවනවා..තමන්ගෙ, සහ පවුලෙ දුක තමයි ඉතින් කියවන්නෙ..මට ඇහෙන නෑහෙන හරියට ආවහම මන් දැක්කෙ ඒ එක්කෙනාගෙ ඇස් වලින් බේරෙන අසරණ කම..බෑග් එකේ ඉස්සරහ පොකට් එකේ තියෙන රුපියල් විස්ස අතට අරන් මන් ළඟට එනකන් හිටියා. අහන් හිටියට වඩා මට ඇහෙනවා මනුස්සයගෙ අදෝනාව..


"අනේ නෝනා මහත්තයා අසරණ මමයි, මගේ දරු පැටව් හතර දෙනායි අම්මයි කාල ඇඳලා ජීවත් වෙන්නෙ බුදු නෝනලා මහත්තයලා දෙන කීයෙන් හරි තමයි. මේ ඉන්නෙ ළමයි හතර දෙනා පොඩිම කෙනා අත දරුවා තාම මාස හයයි අනේ"


මොකද්ද ෆොටෝ එකකුත් පෙන්න පෙන්නා දුක කියවනවා. හර බර සාක්ච්ජාව නවත්තපු මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ හිටපු ඩබල මහ හයියෙන් හිනා වෙලා ළඟ තියෙන සීට් දෙක තුනකටම ඇහෙන්ඩ කියනවා.


"රස්සාවක් කරන්න අතේ පයේ හයිය නෑලු..ඒ උණාට ළමයි හතර දෙනෙක් හදන්න නම් හයිය තිබිලා තියෙනවා. බලහන්කො මේ කථාවලට රැවටිලා කී දෙනෙක් නම් සල්ලි දෙනවද කියලා"


එහෙම කියලා ඩබලම වීරයො වගේ වටේ ඉන්න අය සල්ලි දෙනවද කියලත් චෙක් කරනවා. මන් ළඟම හිටිය ගෑනු කෙනත් දෙන්න ගිය රුපියල් දහය ආයිමත් අතේම ගුලි කර ගත්තා. 


සම්පූර්ණ ඇත්ත නේද කතාව කියලා එක පාරටම හිතට ආපු අදහස එක්කම උණත් මන් ගත්ත රුපියල්  20 ඒ මනුස්සයට දුන්නා. අර ඩබල මන් දිහා බැලුවෙ ගොනෙක් දිහා බලනවා වගේ..කට කොනකින් හිනා වෙවී. ඊළඟට දෙන්නම ආයිමත් හිඟන්නො ගැන ඒගොල්ලන්ගෙ හරබර සාකච්ජාව අරන් ගියා කියලා මට ඇහුණෙ එහෙන් මෙහෙන් ඇහෙන වචන කෑලි වලින්ම තමයි. 


මේ දෙන්නා කීව කතාව සම්පූර්ණ ඇත්ත තමයි කියලා එකපාරට හිතට ආවත්...ඒ එක්කම මගේ ඔළුවට ආවෙ මන් කියවලා තිබුණු පොතක තිබුණු මෙන්න මේ අදහස..


"හැම මනූස්සයම හොයන්නෙ තෘප්තිය. තෘප්තිය දෙයාකාරයි. කායික හා මානසික කියලා. පොහොසත් මනුස්සයට මේ දෙයාකාර තෘප්තියම ලබා ගන්ඩ තරම් පහසුකම් තියෙනව. ඔහුට සපත්තු දෙකක්, කමිසයක් කලිසමක් කාර් එකක් ගන්ඩ වගේම ෆිල්ම් එකක් බලන්ඩ වෙන රටකට යන්ඩ ඕනි වෙච්ච ගමන්ම ඒක කරන්ඩ ඕනි තරම් සල්ලි තියෙනවා. නමුත් අනිත් අතට දුප්පත් මනුස්සයට මේවා කර ගන්ඩ සල්ලි නෑ. දවසම කට්ට කාලා කාලා මහන්සි වෙලා ගෙදර එනකොට එයාට ගන්ඩ තියෙන මානසික හා කායික තෘප්තිය ගන්ඩ වෙන්නෙ ගෙදර ඉන්න දුප්පත් බිරිඳගෙන් තමයි..එච්චරයි එයාට තියෙන එකම ක්‍රමය. ඒකයි දුප්පත් ගෙවල් වල ළමයි වැඩි"


සුදත් ගුණසේකර කියන විශ්‍රාම ගිය පරිපාලන සේවයේ විශිෂ්ට නිලධාරියාගේ "විය සිදුරින් අහස දුටිමි " කියන පොතේ ඔහු පරිපාලන සේවයට ඇතුළත් වෙන්නට තිබුණු සම්මුඛ පරීක්ෂණයේදී ඔහු දුප්පත් රටවල්වල උපත් අනුපාතිකය වැඩි වන්නට හේතු මොනවාද යන ප්‍රශ්නයට දුන් පිළිතුරක් ලෙස ඔය කියන අදහස තමයි දීලා තියෙන්නෙ. 


ඇත්තටම අර තරුණයන් දෙන්නගෙ නොගැඹුරු ක්ෂණික අදහස එක්ක මට මතක් වෙච්ච මේ කතාවත් එක්කම කැළඹිච්ච මගේ හිත නිවුනෙ මම වැඩිදුර නොහිතා එකපාරටම දීපු රුපියල් 20 නිසා ඇති වෙච්ච සතුටත් එක්කමයි.

Saturday, March 10, 2012

උද්ධච්ජ ගෑණිගෙ ස්ටූඩියෝ එක..

ඒ කාලෙ වගේ නෙවෙයි දැන් ඩිජිටල් ෆොටෝ තියෙන නිසා..ෆිල්ම් රෝල් ගන්ඩයි, ඒවා ශුද්ධ කරන්නයි ෆොටෝ ටික ගත්තට පස්සෙ සවුත්තු නොවී තියා ගන්නයි හැම එකකටම මාර කට්ටයක් කන්ඩ ඕනි නෑ. ඇල්ලුවා ෆොටෝ ටික ඕනිම නම් විතරක් ප්‍රින්ට් කරවාගෙන ඇල්බම් එකක් තියා ගත්තා..නැත්නම් සීඩී, ඩීවීඩී පුරෝලා තියන් ඉන්නෙ ගන්න ෆොටෝ. 






පහු ගිය දවස් ටිකේම ඉඳලා කිරුලපන මන් ඉන්න පාරෙ කාලයක් හිස් වෙලා තිබ්බ බිල්ඩින් එකක් රෙපෙයාර් කරනවා දැක දැක තිබුණා..ලංක පිඟන් සංස්ථාව තියෙන බිල්ඩිමේ පහළ තට්ටුව. ඉස්සෙල්ලා එතන තිබ්බෙ ප්‍රසිද්ධ TVS බයිසිකල් ප්‍රදර්ශනාගාරයක්. එතන අලුතින් පටන් ගන්ඩ යන්නෙ නයින්හාර්ට්ස් එකක් කියලත් කාලයක් තිස්සෙ ඉඳන් බෝඩ් ගහලත් තිබුණා. අද මාර්තු 09 එනකොට ඒකෙ විවෘත කිරීමේ උත්සවය..ඒකත් එක්කම මගේ මතකය හාරපු සිද්ධියක් විමසලා බලන්ඩ ඕනි කියලත් හිතුණා..මුලින් මේක බ්ලොග් එකේ ලියන්ඩ හිතුවෙ නෑ..ඒත් හිතට ආපු එක්තරා විදියක තාවකාලික සතුටක් නිසා ලියනව කියලා හිතුණා.


ඇත්තටම කිරුලපන ටවුන් එකේම ස්ටූඩියෝ ගණනාවක්ම තියෙනවා..තිමති එක, මන් ගොඩක් ෆොටෝ ප්‍රින්ට් කර ගත්ත ටැලන්ට් එක..සහ ඉඳුර ස්ටූඩියො එක. තව කීපයක් තියෙනවා අහු මුළු වල. මන් කීවෙ මේ ටික තියෙන්නෙ ටවුන් එකේ ටිකක් ළඟ ළඟ නිසා. 






ගිය අවුරුද්දෙ මැද භාගයෙ තමයි මන් පාස්පෝට් එක හදා ගත්තෙ..ඒකට ෆොටෝ ගන්ඩ ඕනි උණහම මන් ගියේ පොලීසිය පහු කරලා ගියහම ඒ පැත්තෙම තියෙන ස්ටූඩියෝ එකකටයි..දැන් සැලෝන් ලැවිශ් එක තියෙන තැන උඩ තට්ටුවෙ තැනක්. කිසි අවුලක් නෑ ෆොටෝ එක ගත්ත මැදිවියේ කෙනා බොහෝම හොඳයි..මන් ටයි එක විතරක් දමලා ෆොටෝ එක ගන්න යද්දි මිනිහා සජෙස්ට් කළේ පාස්පෝට් එකට නිසා කෝට් එකත් දමලම ගන්න කියලා. ගානත් සාධාරණයි. ෆොටෝ එක එක්කම නෙගටිව් එකත් දෙනවා. පස්සෙ ෆොටෝ එකේ කොපි ගහ ගන්න පුළුවන් නිසා ඒකත් වාසියි. 


ඉතින් ආපහු පහු ගිය ජනවාරි වල මට කෝස් එකකට අයිඩෙන්ටි හදන්න ෆොටෝ ඕනි නිසා අර පරණ නෙගටිව් එකත් අරන් මන් ගිහින් ෆොටෝ ගන්න ඕඩර් එක දීලා ආවා. රිසෙප්සන් එකේ හිටියා ගෑනු ලමෙක් සහ හිටපු අනිත් වැඩ කරන අය නම් සේරම වගේ පිරිමි ළමයි වගයක්. අර ගෑනු ළමයා නම් රිසෙප්සන් එකකට කොහොමවත්ම ගැලපෙන්නෙ නැතිවා වගෙයි පෙනුණෙ.සාමාන්‍යයෙන් ඕනිම ආයතනයක විශේෂයෙන්ම පුද්ගලික ආයතනවල පිළිගැනීමේ නිලධාරිනිය කියන්නෙ බොහෝම ප්‍රිය මනාප තැනැත්තියන් නෙ. ඒ අතින් මේ ළමයා අහලකින්වත් තියන්න බෑ..සෙල් ෆෝන් එකකින් කවුරු හරි එක්ක චැටක් දමා ගෙන මගේ ඕඩරෙ භාර ගත්තා..ගන්න පුළුවන් කවද්ද කියලා ඇහුවහම හෙට කියලා කීවෙ හරියට දමලා ගහන්න වගේ. සාමාන්‍යයෙන් පුද්ගලික සමාගමක මෙහෙම කස්ටම කෙයාර් දන්නේ නැති උන්ව මොකට තියා ඉන්නවද කියලයි මන් හිත හිතා ආවෙ..


ඉතින් දැන් මන් පහු වෙනිදා ගියා ෆොටෝ ටික ගන්න.. සල්ලි ගෙවලා ෆොටෝ ටික කලෙක්ට් කර ගත්තා..ඒ උණාට අර මන් දීපු නෙගටිව් එක නෑ..


"ඒක තියෙන්න ඕනි ඔය කවරෙ"


අර ළමයා මට කියනවා. 


"කවරෙ ඇතුළෙ තියෙන්නෙ ෆොටෝ ටික විතරයි"


මමත් ඒ ටෝන් එකෙන්ම කිව්වා. පොඩ්ඩක් එහෙ මෙහෙ කවර ටික අවුස්සලා බැලුවා..මේකි ඊළඟට ආයිමත් මාව ගාණක් වත් නෑ..ෆෝන් එකේ චැට් එකක්..එතන හිටි අනිත් උන් උන්ගෙ වැඩ. මමත් විනාඩි 5ක් විතර බැලුවා. සල්ලිත් ගෙවලනෙ ඉන්නෙ..


"එක්ස්කියුස් මී කෝ මගෙ නෙගටීව් එක මේ ෆොටෝ ටිකේ?"


ෆෝන් එක කනේ ගහ ගත්ත ගමන්ම මේකි ආයි ආවා රිසෙප්සන් ඩෙස්ක් එකට


"දැන් එක සැරයක් බැලුවා ඒක නෑ"


"එහෙම කියන්නෙ කොහොමද ? ඔය ගොල්ලෙ ෆොටෝ ගන්න අර ගත්ත නෙගටිව් එක ආපහු භාර දෙන එක ඔය ගොල්ලන්ගෙ වගකීම නෙවෙයිද?"


"මෙතන නැත්නම් කොහෙන් දෙන්නද?" 


මේකි මගෙන් අහනවා.මොන පට්ට කතාවක්ද මේ ?. මට නේද ගිය කේන්තියක්..


"I just want to talk to the Manager here"


මන් දෙදරලා යන්ඩ කිව්වා..එතකොටයි එතන වැඩ කර කර හිටපු කොල්ලෙ ටික ඔළුව උස්සලා බැලුවෙ. අරකි මගේ කට දිහා බලන් ඉන්නව. 


"I gave you the negatives and you made the photos with that. It is your duty to give me back the negatives or I want to talk to the Manger here"


මන් ඇද්දා කඩ්ඩෙන්ම.. දැන් අර කොල්ලොත් හොයනවා නෙගටිව් ටික. අරකි එහා පැත්තට ගිහින් කතාව ෆෝන් එකෙන්..නෙගටිව් ටික නෑ. අරකි ෆෝන් එක මට දුන්නා මැනේජර්ගෙ ලයින් එක අරන්. මන් ඌට කිව්වා කියන්න ඕනි ටික සේරම ඌට වචනයක් කතා කරන්ඩ ඉඩ නොදී.පස්සෙත් විනාඩි 10ක් විතර අර කොල්ලෙ ටික නෙගටිව් ටික හෙව්වත් හම්බ උණේ නෑ. උන් කීවෙත් අර කෙල්ල සිහිය නැතුව කොහෙ හරි දමන්න ඇති කියලා ඒකිට නෑහෙන්ඩ. එතකොටත් මේකි සෙල්ෆෝන් එක කනෙ ගහන් චැට...ඊට පස්සෙ මන් අරකිගෙ මූණටම කිව්ව,


"Keep your f**** negatives with you and learn something about custmaer care!"


කියලා මන් ආවා එළියට..දන්න එකෙකුටවත් යන්න එපා කියනවා මේ ස්ටූඩියෝ එකට කියාල හිත ගෙන. ඇත්තටම නෙගටිව් එක නැති වෙච්ච එකටත් වඩා මට කේන්තිය තිබ්බෙ මාව රස්තියාදු කරපු එකට සහ එතන පොඩ්ඩක් මනුස්සකමට වගේ කතා කළා නම් මන් එච්චර සීරියස් ගන්නෙ නෑ ඔය සීන් එක. මන් කාටවත් කියන්ඩ ගියේ නෑ ඔය සීන් එක හරි ඔතනට යන්ඩ එපා කියලා හරි පස්සෙ..ඒක අමතක වෙලා ගියා...


ඊට පස්සෙ මන් මගේ සහ ඔෆිස් එකේ ෆොටෝ ගොඩක් ප්‍රින්ට් කරවා ගත්තෙ ඔය ටැලන්ට් ස්ටූඩියො එකෙන්. එතන සෑහෙන්ඩ හොඳයි. වෙලාවක තිමති එකට ගිහිල්ලත් බලන්න ඕනි කියලා හිත හිතා ඉන්න කොට තමයි අද ඔය නයින්හාර්ට්ස් එක ඕපන් කරන සීන් එක දැක්කෙ. ඒකත් එක්කම මගේ මතකයට ආව ඔය අමිහිරි අත්දැකීම..ඒ එක්කම හිතුණෙ හොඳ වැඩේ අර ස්ටූඩියෝ එකට මිනිස්සුන්ට හරියට කතා කරන්නවත් දන්නෙ නැති ඔය වගේ ස්ටූඩියෝ වලට බිස්නස් නැති වෙලාම යන්ඩ ඕනි කියලා සතුටු වෙවී මන් නිකමට වගේ මන් බස් එකට නගින නැවතුම පහු කරලා ගිහින් පොඩ්ඩක් බැලුවා අර කුප්‍රකට ගෑනු ළමයගෙ ස්ටූඩියෝ එක.. හනේ සන්තෝසෙ බැරුවා..ඒක වැහිලම ගිහින්..ඒ බිල්ඩිමේ ඒ කොටස කුලියට දෙන්න ඇඩ් එකකුත් දමලා පුදුම වෙන්ඩ දෙයක් නෑ..මට වඩා වැඩියෙන් තද වෙන කස්ටමර්මලාට දාන්න ඇති ගෑනි සත්තම.. ඉතින් බිස්නස් නැති වෙන එක අහන්න දෙයක්ද?
මේක ඒ මොහොතෙ ආපු සතුටක් විතරයි..කාටවත් අයහපතක් වෙනවනම් ඒකෙන් සතුටු වෙන්ඩ හිත කොහොමත් ඉඩ දෙන්නෙ නෑ..


"තමන් වෙන ආයතනයකට ගියහම එතන ඉන්න අය තමන්ට කොහොම සලකනවටද තමන් කැමති ? අනිත් අයත් ඒ වගේමයි..ඒ නිසා ඒක හොඳට ඔළුවෙ තියාගෙන තමන්ගෙන් සේවය ගන්ඩ එන අයට සලකන්න"


එහෙම කීවෙ අපේ පාරිභෝගික සත්කාරය ගැන දේශන කරපු උපදේශක මහත්තෙක්.. 

Friday, March 9, 2012

ඔන්න ඔහොමයි උනේ...

මන් ඔය ජොබ් හොය හොයා ඉන්න කාලෙක එක එක තැන් වල වැඩ කලා. ටික කාලයක් වැඩ කලේ රත්තරන් බඩු සාප්පුවක. මට තිබුනේ එන කස්ටමර්ස්ලට අවශ්‍ය ආභරණ පෙන්නලා ඒ අයගේ ඕඩර් එක අරන් බඩු හදන සෙක්ශන් එකට ඒ ඕඩර් එක දෙන්න. ඔන්න එක සිකුරාදා දවසක හවස ආවා වයසක මනුස්සයෙක් එක්ක ලස්සන ගෑණු ළමෙක්. මන් හිතුවෙ එයාගෙ දුවෙක් හරි මිනිබිරියෙක් හරි වෙන්ඩ ඇති කියලයි.. ඒත් මේ මනුස්යයා,


"මට පෙන්නන්ඩ මාලයක් මගේ මේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අරන් දෙන්න"


කියලා කියනකොටයි මන් දැන ගත්තෙ මේ ජෝඩුවක් කියලා..පප්පා මහත්තයට එච්චර සල්ලි නැතුව ඇති කියලා හිතලා මන්


"බලන්න සර් මේ මාලය නම් සාමාන්‍යෙන් රු. 20,000ක් විතර තමයි යන්නෙ හැදුම් කුලී නැතුව"


"නෑ නෑ අළුත් ඩිසයින් එකක් දෙන්න ගාණ කීය උනත් කමක් නෑ"


මමත් පෙන්නුවා අළුත්ම ඩිසයින් එක


 "සර් මේකට නම් 55ක් විතර යනවා"


"මේක හොඳයිද ?"


අර ගෑනු ළමයාගෙ ඇස් දෙක දිලිසෙනවා..


"එහෙනම් මේක හදන්න"


"සර් පේ කරන්නෙ කෑශ්ද ?"


"මන් චෙක් එකක් දෙන්නම්" 


මිනිහා චෙක් පොතක් අරන් චෙක් එක ලියනවා.


 "එක්ස්කියුස් මී සර් අපි චෙක් නම් බාර ගන්නෙ නෑ"


"චෙක් බාර ගන්නෙ නෑ? හරි චෙක් බාර ගන්නෙ නැත්තෙ එකවුන්ට් එකේ සල්ලි නැතුව ඇති කියලා බයටනෙ. හරි එහෙනම් මේ චෙක් එක අරන් තියා ගන්නවා. දැන් බැංකු වහලනෙ සඳුදා උදේට බැංකුවට කතා කරලා බලලා මට කෝල් එකක් දෙනවා මේ නම්බරේට, එතකොට මන් එන්නම් මාලෙ ගෙනියන්න"


චෙක් එකයි ටෙලිෆෝන් නම්බරෙයි මට දීපු ජෝඩුව යන්න ගියා. ලොකු බිස්නස් එකක් නිසාත් මට තරමක කොමිස් මුදලක් ලැබෙන නිසාත් මමත් බැංකුවට කතා කලා උදෙන්ම.. කතා කරලා අර පප්පා මහත්තයගෙ ටෙලිෆෝන් එකට කතා කලා.


"සර් මන් මේ කතා කලේ අර ජුවලරි සාප්පුවෙන් අර රුපියල් 50,000 ක මාලයක් ඕඩර් කලේ.සර්ගෙ බැංකුවෙ එකවුන්ට් එකේ සල්ලි නැහැලුනෙ"


පප්පා මහත්තයා නිදිගැට කඩ කඩා මට උත්තර දෙනවා


"මන් දන්නවා මල්ලි, ඒ බව, තමුසෙ දන්නෙ නෑ සති අන්තෙ මන් හිටිය හැටි..හක් හක් හක්.."
---------------------------------------------------------------------------------
මන් අර මනෝ විද්‍යා ඩිප්ලෝමාවක් කරලා සහතිකයත් අතේ තියන් තැන් තැන් වල වැඩ කරපු  කාලයක් තිබුනා.. මේ එක උපදේශන ස්ථානයක වැඩ කරන කාලයක්..


මෙතනට වැඩියෙන්ම එන්නෙ විවාහ වෙලා ටික දවසකින් හෙම්බත් වුනු පවුල් ම තමයි. අපිව දමලා තිබුනෙ එතන ඉන්න ලොකු ඩොක්ටර්ස්ලා කොහොමද මේ ප්‍රශ්ණ විසඳන්නෙ කියලා බලා ඉන්න එක. හැබැයි ඒ බාරියාවො සහ ස්වාමි පුරුසයො දන්නෙ නෑ තමන්ගෙ ප්‍රශ්නෙ මෙතන ඉන්න අපි වගේ ට්‍රේනිං අයත් අහන් ඉන්නවා කියලා. අපිත් මේ ප්‍රශ්න කවදාවත් පිට ගිහින් කතා කලේ නෑ. අපෙ විශය දැනුම වැඩි කරගන්න තමයි ඒ ප්‍රශ්න වලට ඒ අයට අපිට දෙන්න පුළුවන් විසඳුම් සාකච්ජා කරන්න තමයි පාවිච්චි කලේ. මේ කියන දවසෙත් ආවා තිස් ගනන් වල විතර ජෝඩුවක් මූණ බැලුවහම කීවහැකි විවාහය හොඳට තිත්ත වෙච්ච දෙන්නෙක් බව. එදා හිටියෙ අපේ සීනියර්ම ඩොක්ටර් කෙනෙක්. එයා දෙන විසඳුම් හරි  අපූරුයි..


"මොකද්ද දෙන්නගෙ ප්‍රශ්නෙ දැන්?"


ඩොක්ටර් අහනවත් එක්කම අර ගෑණු කෙනා පැයට කිමී 200ක විතර වේගයෙන් කියා ගෙන කියා ගෙන ගියේ නැද්ද ඒ ගොල්ලන්ගෙ ලව් එකේ ඉඳන්ම විවාහය දක්වාම ඇති වෙච්ච ප්‍රශ්න..ඊට පස්සෙ ළමයි හම්බ උනාට පස්සෙ තියෙන් ප්‍රශ්න...කියව ගෙන කියවා ගෙන යනවා.. ඩොක්ටර් එකපාරටම නැගිටලා..අර ගෑණු කෙනාව තදින් බදාගෙන කිස් එකක් දුන්නා. ගෑනු කෙනා තුශ්නිම්භූත වෙලා කටත් ඇරගෙන බලා ඉන්නවා.. වැස්සක් පායලා වගේ අර කතාවත් නැවතිලා..අපේ ඩොක්ටර්,


 "බලන්න මිස්ට ඔයාගෙ නෝනට මෙන්න මේ වගේ ඕනි අඩුම වශයෙන් සතියකට තුන් සැරයක්වත්, තේරුනාද?"


අර මනුස්සයා බොහොම හෙමීට කියනවා


"හොඳයි ඩොක්ටර් එහෙනම් මන් මෙයාව සඳුදටයි, බදාදටයි, සිකුරාදටයි මේ වෙලාවටම මෙතනට එක්කන් එන්නම්කො"
----------------------------------------------------------------------------------
මම මනෝ විද්‍යා කෝස් එක කරන කාලෙ නැවතිලා හිටියේ වයසක කපල් එකකගේ ගෙදර..ඒ දෙන්නාට වයසත් එක්කම ඔය පොඩි පොඩි දේවල් අමතක වෙන ලෙඩක් තිබ්බා..දෙන්නම පට්ට බයේ හිටියෙ ඔය ගෑස් කුකර් එක වගේ එකක් නිවන්න අමතක වෙලා කුස්සියම ගිණි ගනී වගේ කියන එකකට 


"අනේ ලියන්නා පුතා ඔයා ඔය උගන්වන ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් එන්ඩකො අපේ මේ පුංචි පුංචි දේවල් අමතක වෙන ලෙඩේට මොනවහරි බෙහෙතක්"


මටත් ඕක අමතක වෙලා තිබිලම එක දවසක් අහන් ආපු මෙතඩ් එක තමයි, තමන්ට අමතක වෙනවනම් කොල කෑල්ලක් අරන් ලියා ගන්න එක තමයි හොඳම කියලා..මමත් ඒක කීවහම එයාලා පිලි ගත්තා..
එක දවසක රෑ වෙලා මන් කාමරේ නිදි, ජෝඩුව ටීවී එක බලනවා එක එක දේවල් කතා කර කර..
ඇන්ටි කියනවා 


"ඒයි මට කුස්සියෙ ෆ්‍රිජ් එකෙන් අයිස් ක්‍රීම් එකක් ගේන්නකො..මේ කොලේ ලියා ගෙන යන්න , නැත්නම් අමතක වෙයි..


"පිස්සුද මට ඕක අමතක වෙයිද?"


"ඒ උනාට වැනිලා  අයිස්ක්‍රීම් එකට චොක්ලට් අයිස්ක්‍රීම් ටිකක් දමලා අර ස්ට්‍රෝබෙරි ගෙඩි 2-3කුත් කපලා ගේන්ඩ අනේ.. ඔය ටික නම් අමතක වෙයි මේ කොලේ ලියා ගන්නකො"


"එච්චරටම මගේ මතකෙ අප්සට් නෑ ඒයි, ඉන්ඩකො මන් අරන් එන්න"


කුස්සිය පැත්තෙන් සාස් පාන් හැප්පෙන සද්දෙ ගෑස් කුකර් පත්තුවෙන සද්දෙ නිසාම මමත් පොඩ්ඩක් කාමරෙන් ඔළුව එලියට දමලා බැලුවා මොකද වෙන්නෙ  කියලා. මෙන්න එනවා අංකල් සෝසේජස් 3-4ක් බැදලා සෝස් එකකුත් එක්ක අරගෙන..මේක දැකපු ඇන්ටි හිනා කනවා..


"මන් කිව්වා ඔයාට කොලේ ලියා ගෙන යන්න නැත්නම් අමතක වෙයි කියලා..කෝ පාන් ටෝස්ට් අමතක වෙලානෙ"



Friday, March 2, 2012

සොඳුරු වන අරන හා තිරිසන්නු - අවසාන කොටස

මෙහි පළමු වන කොටසට යන්න


...... අද මා මෙයට විරුද්ධ නොවූවොත් මොහොතකට පෙර මේ තිරිසනුන්ගේ පිහියට ගෙල තබා මිය ගිය හාවුන්ගේ, මුවන්ගේ හා ගෝනුන්ගේ ආදරණීය ආත්මය පවා මට ශාප කරනු ඇත. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ඔවුන්ගේ පැටවුන් ළඟටවත් මා හට ලං වන්නට ඉඩ නොදෙනු ඇත. මාගේ අත් සහ දෙපා වෙව්ලූවද..හිතට මහත් ශක්තියක් දැනෙන්නට විය. මෙවන් සාදයන් හෙට දින එළි වෙනතෙක්ම යන බව මා දනිමි.තවත් සතුන් රාශියක් සමහර විට ඝාතනය වන්නට පෙරම මා මෙය ගාමිණීගේ මූණටම කියා මෙතනින් පිටත් විය යුතුයි. මා නැගී සිටියෙමි. ගාමිණී මස් බඳින උදුනෙන් මෑත් වෙමින් සිටී. එක් අතක රන් පැහැ මත් වතුර වීදුරුවත් අනිත් අතේ තරමක් විශාල මස් කුට්ටියත් රස බලමින් ඉදිරියට එන යක්ෂයා..ඊට පෙර දින සුරතල් හා පැටවකු අතින් ගත් ඒ දෙවියාමද යන්න මට මොහොතකට අමතක විය..මා වෙව්ලන ශරීරයෙන් යුතුව සුවිසල් කොස් ගසේ ජායාවෙන් එළියට ඇදුනෙමි. මිනිස් තිරිසනුන්ගේ රස වෙනුවෙන් මේ වනතෙක් දිවි පිදූ සත්වයින්ගේ සුදුම සුදු ආත්මයන් මාගේ ශක්තිය වෙනුවෙන් මා වටා සැරිසරනු මට පෙනේ..








වියැළී ගිය කොස් කොළ මතින් නැගෙන මගේ පා හඬ හා හදවතේ හඬ නිවස තුළින් එන සංගීතය පරයා යයි. එක් වරක් මා දැක ඉවතට හැරුණු ගාමිණී නැවතත් මා වෙතට හැරුණේ මාද ඔහු ඉදිරියට ගියෙමි.


"ඇයි සර් මෙහෙම..."


ඔහුගේ තියුණු දෑස සහිත බැල්ම සහ මුව පුරා නැගුණු සිනහව හමුවේ මා ගොළු විය..


"ආ ලියන්නා පුතා ඇයි පරක්කු මේ..එන්ඩ එන්ඩ..මන් තාත්තගෙනුත් ඇහුවා කෝ කියලා"


"මේකද සර් මේ දෙනවයි කීව අමතක නොවෙන පාටිය..පහු ගිය සැරවලත් මෙහෙමම තමයි..සර් වෙනසක් තිබ්බෙ නෑ.."


මම වියලුණු මුවින් වූවද මහ හඬින් පැවසීමි.


"වෙනසක් තිබ්බෙ නෑ ??? හොඳටම විශ්වාසද පුතාට?"


ඔහුගේ සුපුරුදු ගැඹුරු කටහඬ මත්පැන් වලින් තවම වෙනස් කර නැති සේය.


"එන්න පුතා"


මගේ අතින් අල්ලා ගත් ඔහු මා රැගෙන ගියේ බීම සහිත මේසය මතටයි. අනිත් පිරිස කමින් බොමින් සිනා සෙමින් කතා කරමින් සිටිනු මගේ නෙත් ජායාවට හසු වූවත් මා එතරම් උවමනාවෙන් බැලුවේ නැත. කෑම මේසය මතද විවිධාකාරයේ කෑම වර්ග අසුරා තිබුණි. බොහෝ ඒවා මස් වර්ග වීය. මොකද්ද මේ ගාමිණී කරන්නෙ ? රන් පැහැ මත්ද්‍රව්‍යක් වීදුරුවට වත් කර මා දෙසට දික් කළේ සිනහ මුසු මුහුණිනි. 


"පිස්සුද සර් මන් ඔය ජරාව බොන්නෙ නෑ..සර් දන්නවනෙ මන් ඔය සර් කනවා වගේ ජරා මස් කන්නෙත් නෑ"


මගේ හිත යට වූ කේන්තිය නැවත දළු ලමින් පැමිණියේය. 
ඔහු අසල වූ පුටුව ගෙන ඉඳ ගත්තේ මගේ අතින් අල්ලා ගෙන


"මස් ? ජරාව ? හහ් හහ්..හා මට තේරුණා මොකද මේ බුම්මන්ඉන්ඩ හේතුව කියලා.මේක බීලා බලනවා හාදයා..මේ ඇපල් ජූස් එකක්..ඉස්සෙල්ලා අය කළා වගේ අරක්කු නෙවෙයි.. මෙතන එක අරක්කු බෝතලයක් වත් නෑ"


ඈ..ඒකෙ තේරුම මොකද්ද?..මා නැවත වීදුරුව දෙස බැලීමි. වෙනසක් නැත අරක්කු බොන අයගේ වීදුරු මා දැක ඇත..කිසිම වෙනසක් නැත. මුහුණ ඉදිරියේ සලිත වන වීදුරුව ගෙන එක හුස්මට බීගත් මා හට දැනුණේ ඉමහත් සිසිලසකි. සැබවින්ම එය සිසිල් කල ඇපල් බීමක් විය.එතකොට මේ මස් ??..කන් වල හෝ හඬ මදක් නැවතී මුළු ඇඟම යම් උණුසුම් තත්වයකට පත් වූයේ..මා නැවතත් ගාමිණී මහතාගේ සිනහා මුහුණ ඔබ්බේ වූ කෑම දෙස බැලීමි.. බඳින ලද කුකුළන් මෙන් සකසා තිබූයේ ගෝවා ගෙඩි නොවේද? හොඳින් බැලූ කල පෙනුණේ සියලුම කෑම වර්ග එක්කෝ අල, එළවළු හා පලතුරු විය..


"එතකොට කෝ මස් මාළු නැද්ද සර්?" 


සියල්ලෙන්ම පරාජය වන මගේ සිතට එසැනින්ම යමක් සිහි විය. 


"සර් අර එළියේ හා මස් නේද අමුවෙන්ම බදින්නෙ ?"


"හා මස් එළියෙ බදිනවා? කෝ බලන්ඩ යන් "


මා අතින් ඇද ගෙන ගිනි උදුන ළඟට ගොස්,


"සිල්වා මේ ළමයට ඔය හා මස් කෑල්ලක් බැදලා ඕනි කියන්නෙ"


සියල්ලෝම එක හඬින් සිනහා වන්නට වූයේ...


"දෙමු නේද සර්"


අසල වූ බදුනෙන් විශාල හා කනක් එළියට ඇද ගත්තේ සිල්වා එය මා වෙත පෑවේය. එය විශාල හා කනක් නොව කැලෑවේ ඇති හතු වර්ගයකි. මා අන්ද මන්ද වූයේ..එහෙනම් මෙච්චර වෙලා මන් දැක්කෙ මොනවද?


"පුතා ඔයා ඉස්සර තිබ්බ පාර්ටි වල ඒවා ඔළුවෙ තියාගෙන ඇවිත් ඒවගේ දැකලා උණාට..අද අපි කිසිම මස්, මාළු වර්ගයක් මේකට අරගෙන නෑ.. අපි ඉන්නෙ මේවා ආරක්ෂා කරන්න නම්..ඔයා කියනවා වගේම අපි ඒවට ආදරය කරන්න ඕනි. මීට පස්සෙ මන් මෙහෙ ඉන්නකන් හැමදාම මෙහෙම තමයි. මුලින් අමාරු වෙයි වැඩේ. ඒත් අපි කරමු.."


මගේ ගත මෙන්ම සිතද ගොලුවී ඇත්තේ මන්දැයි මම නොදනිමි. මට සමාවෙන්ඩ බුදු සර් මන් දැන් චුට්ටකට ඉස්සෙල්ලා සර් ගැන හිතපුව දන්නවනම් සර් මාව ගහලා එළවයි මෙතනින්..සර් දෙවියකුටත් එහා ගිය මනුස්සයෙක්ම තමයි..මගේ හිත කෑ ගසා කීවේ අසල අක්කර සිය දහස් ගණනක් විහිදී ගිය වනාන්තරයටම ඇසෙන්නටය..මගේ ඇසේ කඳුළක් නැගේ.. මා දෙස විමසිල්ලෙන් බැලූ ගාමිණී මහතා,


"මොකද්ද පුතා ඔය අතේ ?"


මා ස්වයංක්‍රීයව එය ඔහු දෙසට දිගු කළේ


"අනේ සර් අර අතන මාව ලිස්සල වැටුණා එතකොට මේක කැඩුණා"


"ආ ඒකට අඩන්න ඕනිද? ෂාහ් ලස්සනට හදලා..ආන්න ඔයාගෙ යාළුවො තුන් දෙනා ගෙයි ඇති එයාලා එක්ක සෙල්ලම් කරන්න ගිහින්.. අපි ඕක පස්සෙ හදමු" 


අන් කවරදාටත් වඩා සතුටක් ප්‍රීතියක් හදේ පුරවා ගත් සාදයක් එසේ ගෙවී ගියේ..මගේ පියාද ඇතුළු සුළු පිරිසේ ප්‍රීතියට තව බොහෝ දෙනා ඉන් පසු එක් වූයේ.. ඔවුන්ද වනයට හා පරිසරයට වඩ වඩාත් ලෙංගතු පිරිසක් බවට පත් කරවමිනි.


ඊ ළඟ වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් මා සමත් වූවත් හාම ගාමිණී මහතාගේ සහ සියල්ලන්ගේම අදහස වූයේ මා නගරයට ගොස් තව දුරටත් අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි. නමුත් මාගේ සිහිනය වූයේ වනාන්තරය බලන්ට එන අයට මඟ පෙන්වන්නකු වීමය. එනිසාම තව අවුරුද්දක් ඉංග්‍රීසි සහ වන ජීවී පිළිබඳ පාඨමාලාවක් කර ඊළඟ වසරේම මා පියාගේ කාර්යාලයේම අනියම් සේවයට ගැනීමට කටයුතු කළේ ගාමිණී මහතාය. මට වඩා අධ්‍යාපනය නොලැබූවත් අත්දැකීම් අතින් පිරිපුන් මාගේ ඉහළ නිලධාරීන් සමහරෙක් මා සමඟ එතරම් හිත හොඳක් නොදැක්වූයේ මුත් මා එය එතරම් ගණන් නොගෙන මා හට පැවරූ කාර්යයන් සතුටින් තව තවත් ඉගෙන ගනිමින් කර ගෙන ගියෙමි.


පියා විශ්‍රාම ගැනීමට වසරක් තිබියදීම එක් දිනයක අලියකු පහර දීම නිසා මසක් පමණ රෝහලේ ගත කර මා අතහැර දමා ගියේ වනාන්තරය හා සබැඳි අපේ ජීවිතයේ ස්වභාවය මේ යැයි කියා පාන්නාක් මෙනි. මෙයින් මා ඉතා අසරණ වූවත් පියාගේ වන්දි මුදල් හා අනිකුත් සියලුම මුදල් වලින් ඔහුගේ එකම සිහිනය වූ අපගේ පුංචි මාළිගාව තරමක් සුව පහසු එකක් බවට පරිවර්තනය කරගන්නට හැකි විණි. 


වනාන්තරය හා වන ජීවීන් සම්බන්ධව නව පෙරළියක් අපගේ ජීවිතය හා සම්බන්ධ වනාන්තරය සමඟ නව පරිපාලනය රැගෙන ගියද මෙය නොඉවසනා පිරිසක් සිටියේ නැතුවා නොවේ. එහි ප්‍රතිඵලය වූයේ වසර පහක සේවයෙන් පසු ගාමිණී මහතා වෙනත් ස්ථානයකට මාරු කර හැරීමය. 


"අපි ජීවත් වෙන්ඩ ගන්ඩ හැම හුළං පොදක්ම අපිට ලබලා දෙන්න මේ ගහ කොළ තමයි උදව් කරන්නෙ. ඒ නිසාමයි ඒකට කෙළෙහි ගුණ දක්වන්ඩවත් අපි මේවා රැක ගන්ඩ ඕනි. ගස් කොළ එක්කම බැඳිලා ඉන්න වන සත්තු නිසා තමයි ගස් කොළං රැකිලා තියෙන්නෙත් මේක තමයි ස්වභාව ධර්මය අපි මේක රැක්කොත් අපිත් රැකෙයි ඉස්සරහට"


ගාමිණී මහතාගේ සමු ගැනීමේ කථාවේ හරය මගේ හද තුළ මරණය දක්වාම රැඳී තිබෙනු ඇතැයි මට ඒ වෙලාවෙ සිතුණි. නමුත්..


අලුතින් පැමිණි පාලකයා රළු අයකු වූයේ ඔහුගේ ප්‍රමුඛතාවය කුමක්දැයි යන්න කිසිවෙකුටත් පැහැදිලි නොවීය. ඔහුගේ පැමිණීමට වඩාත් සතුටට පත් වූයේ පෙර පාලනයෙන් අසතුටට පත්ව සිටි අය බව නම් බොහෝ විට පෙනිණි. ඒ හාම මාගේ ජීවිතයේද යම් පෙරළියක් වන්නට විය..ඒ එක දිනක, පාලන කාර්යාලයෙන් මා හට වහාම එන්න යැයි එවා තිබූ පණිවිඩයකට මා කාර්යාලයට ගිය විට,


"ලියන්නා මල්ලි අපිටත් හිතට අමාරුයි ඒත් ඉතින් උඩින් එන තීරණ නෙ ක්‍රියාත්මක කරන්ඩ වෙලා තියෙන්නෙ" 


ඒ සෝමෙ මිස් දුක්මුසුව යම් ලිපියක් මා අත තැබුවාය. නව බඳවා ගැනීමේ පරිපාටි අනුව මා දැනට කරන රැකියාව සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මා මෙම දැනට දරන සේවයෙන් අයින් කර ඇති බවද නමුත් දැනට හිස්ව ඇති කම්කරු තනතුර සඳහා අනුයුක්ත කර ඇති බවද එය වහාම භාර ගන්නා ලෙසද එහි දන්වා තිබුණි. 


මෙය කණින් කොනින් ආරංචි වී තිබූ නිසා මා මෙයින් එතරම් නොසැළිණි. වනාන්තරයේ අංකුර හට ගෙන දෙපෙති වී ඉහළට නැගෙන රුක් ලතා මෙන්ම වන සීපාවුන්ද දහස් ගණනාවක් ඇතිවී ටික කලක් දිවි ගෙවා මිය යන අයුරු දැක තිබෙන මා හට ඕනෑම දෙයක ඇති අස්ථීරත්වය වටහා ගැනීමේ හා දරා ගැනීමේ හැකියාව මේ වන විට ලැබී තිබුණි.


"හිටපු ලොක්කට දීලා උඩ ගියා වගේ තමයි දැන් ඔය හම්බ වෙලා තියෙන්නෙ මහ එකාගෙ රස්සාවම..තමන් දැන ගන්න ඕනි උඩ යන්ඩ ඉස්සෙල්ලා තමන් කවුද කියලා"


වනාන්තරය ගැන මගෙන්ම දැන අසා කියා ගත් අයවලුන්ගේ බස් මගේ සවනත වැටෙද්දී මා මදක් සසල වූවත් තරමක් කල් යනවිට,


"නිකා හිටපන් බන් ඕකා කබරයෙක් වගේ එකෙක් කොච්චර ගැහුවත් ඌට රිදෙන්නෙ නෑ.. නිකන් අපේ අත රිදෙනවා විතරයි ඌට තඩි බාලා"


පවසමින් මා මූණට ලියන්නා කියමින් සිනා සුනද මා නැති තැන කබරයා කියමින් සිනා සෙණ බව මා දැන ගතිමි. සැබවින්ම සොබා දම් මාතාව කබරයන් වැනි ඕනෑම දේකට ඔරොත්තු දෙන සතුන් වර්ග නිර්මාණය කරන්නට ඇත්තේ මෙවන් හදවත් නැති අයවලුන් සිටින නිසා වන්නට පුළුවන. මෙය සිහි වනවිට මා තනියම සිනහා වෙමින් මා ලද වැඩිපුර විවේක කාලයේදී මා වඩ වඩාත් වනාන්තරය වෙතට ආසක්ත වන්නට විය. පෙර පරිපාලනය විසින් පවතින නීතිරීති තදින්ම ක්‍රියාත්මක කළේ මුත් නව පාලනය එහි රිංගා යා හැකි සියුම් සිදුරු වඩ වඩාත් පිරිපහදු කළේ වනය හා වන සතුන් ඉමහත් ආගාධයකට හෙළමිනි.එසේම පෙර පරිපාලනය හා බැඳුණු සේවකයන් දඩයම් කිරීමේ යුගයේ ආරම්භයද එසේම සනිටුහන් වූයේ හඬක් නැති අප වැනි අසරණයින් තවත් අසරණ කරමිනි. මා එවකට කාර්යාලය අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ යෙදී සිටිනු දකින මීට පෙර මෙම වනයට ලැදි නිතරම පාහේ පැමිණෙන සංචාරකයන් විමතියට පත් වූයේ මා වෙත පැමිණ තොරතුරු විමසීම සාමාන්‍ය කරුණක් විය. මා තරමක් සත්‍ය සඟවා ඔවුනට යමක් කීවද ඔවුන්ට යම් යම් දේ බොහෝ ලෙස තේරුම් යමින් සිටි අවදියක් වීය. මෙම සිද්ධිය මටම පාරාවළල්ලක් වූයේ..එවකට කාර්යාලයේ වැසිකිළි හා කැසිකිළි පිරිසිදු කරන්නා හට මාගේ රාජකාරී සියල්ල පවරා ඔහුගේ රාජකාරී මා හට පැවරීමය..


එදින හවස ගෙදර පැමිණි මා සෙමින් සෙමින් මාගේ සුන්දර ගං කොමලිය වෙත පැමිණියෙමි. සියලු ඇඳුම් උණා තබා හැකි පමණ ඉහළට හුස්මක් ගෙන දෑත ඔසවා ඇයගේ තුරුලට පැන්නෙමි. සෙමින් සෙමින් මා පාවෙමින් විත් ගං පතුලේ දැවටිණි. ලොවම අන්ධකාරය. හිසට ඉහළින් පහළට ගලා යන වතුරේ සර සර ශබ්දය යාන්තමට මෙන් ඇසේ. හැකි තාක් සිරුර නිසලව තබා ගෙන උඩට ඇද ගත් හුස්ම පිටට යවමින් මා ගං දිය උඩට පැමිණියේ අසල ගල් තලාව මත වැතිර මදක් ගත්තෙමි.. 


ප්‍රශ්නයක් පැමිණි විට මෙසේ කිරීමෙන් හිතට දැනෙන සැහැල්ලුව කියා නිම කල නොහැක. ගතට මෙන්ම සිතටද සොබා දම් මෑනියක් දී ඇති සොඳුරු සුව ඔසු කොපමණද..කවුරුත් නොදන්නා මෙවන් ඔසු තවත් කොපමණ නම් සැඟවී ඇත්ද ? සසලව බුර බුරා නැගෙන සිතුවිලි කන්දරාව සුවපත් කිරීමට මා දෑස වසා සවන් පිය අවට පරිසරයට යොමා එකිනෙකා පරයා නැගෙන කුරුලු නාද වෙන් වෙන්ව හඳුනා ගැනීමට මනස යෙදවූයෙමි.


යම් පිරිසක් කාර්යාලයේ අකටයුතුකම් පිළිබඳව පුවත්පතකට ලිපි කීපයක් ලියා ඇති බවද එයට කාර්යාලයේ කිහිප දෙනෙක්ම සම්බන්ධ බවද සැක පහළ වී ඇති බව එහෙන් මෙහෙන් ආරංචි වී තිබූ මා හට මගේ මෙම නව සේවා වෙනස පිළිබඳව කිසිවිටෙක මවිත වන්නට නුපුළුවන. ඉදිරියේ මීටත් වඩා මෙවන් දේ බලාපොරොත්තු වන්නට පුළුවන.. පිරිසක් එක්වී පහර දෙන කබරයකුගේ දර්ශනයක් මා මනසේ ඇඳී ගියේ මා හට එකවරම සිනහා පහළ වීය.


"පුතේ දුක, නින්දාව, අපකීර්තිය වගේ දේවල් හැමදාම පවතින්නෙ නෑ..ඒවා තාවකාලිකයි..බලන්ඩ අර බිම් මල් වගේ ඒවා හැදිලා පරවෙලා යනවා..අපි ඒවා අපේ ඔලුවල ඕනිවට වඩා පුරවගෙන දුක් විඳින්න ඕනි නෑ"
පියා ආදර්ශයෙන්ද මගේ දෙව්යෙක් වූ සර් අවවාදයෙන්ද කියූවේ මෙය නොවේද? ඔවුන් එතරම් මෝරන්නට ඇත්තේ ඔවුන්ගේ ජීවිතවල මෙවන් සිද්ධීන්ට හොඳින් මුහුණ දුන් නිසාම නොවේද ?මගේ සිත ටිකින් ටික අවදි වන්නට විය.


"පුතා මොන ප්‍රශ්නයක් දිහාවත් ඒක ප්‍රශ්නයක් කියලා බලන්ඩ පුරුදු වෙන්ඩ එපා. එතකොට පෙනෙන්නෙ ප්‍රශ්නෙ විතරයි. ඒ වෙනුවට වෙන විදියකට බලන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පෙනෙයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි හොඳ චාන්ස් එකක් කියලා ඔයාට ආපු..ඊට පස්සෙ ඒකට මොකද ඔයා කරන්නෙ"


ගාමිණී සර්ගේ වදන් මගේ හිතේ මෙතෙක් කල් සැඟවී සිටියේ කොතැනද ? සැමවිටම මට අවශ්‍ය තැනදීම එය මා හට මතක් කර දීමට මගේ සිත සමත්ය. ඉතා සැහැල්ලු සිතින් මා ගල් තලාවෙන් නැගී සිටියේ..මට ලද නව වැඩ කොටස පෙර සිටි පාල අයියාටත් වඩා හොඳට කරනු ලැබූයේ බොහෝ අය විමතියට පත් කරමිනි. 


"උඹට කබරයා කියන්නෙ නිකන්යැ පුතේ..උඹේ හිත හොඳයි තාත්තා වගේම.. උඹ ඉවසන් ඉඳින් කාලයක් එයි ආයිමත්.."


හැමදා ලෙංගතු සෝමෙ මාමා දිනක් හවසක් පැවසූයේ අප දෙදෙනාම අසරණ බව පසක් කර ගනිමිනි.


නමුත් මෙයින් මට අත් වූ වාසිය නම් වඩ වඩාත් වනාන්තරයේ මාගේ පහස නොලද ඉසවු කරා ඇදෙන්නට තරම් විවේක කාලයක් ලැබීමය. ඒ අද උදෑසන පෝය නිසාම මා හට මුළු දිනයම නිවාඩුය..උදෑසනින්ම මඤ්ඤොක්කා සහ මාගේ ප්‍රියතම කොච්චි මිරිස් සම්බෝලයක් සාදා ගෙන  ගෙදරින් පිට වූයේ වනයේ ඈතම කොනක වූ කුඩා දිය කඩිති සමූහය දැක ගැනීමේ අදිටනිනි. නමුත් අතර මගදී එක් නන්නාඳුන අයකු හාවකු දඩයම් කිරීමට තැත් කරනවා දුටු මා මදක් නැවතීමි. අනිවාර්යෙන්ම ටවුමෙන් ආපු කට්ටියකගෙන් කෙනෙක් වෙන්ඩ ඇති. නීතිවිරෝධී මදිවට අද පෝය කියලවත් නොසලකන්නෙ ඒකනෙ. ඔහුට නොදැනෙන්නට සෙමෙන් ඔහු ළඟට ගොස්,


"මේ මහත්තයා කරන්න හදන වැඩේ සවුත්තුයි නේද ? අද පෝය දවස වෙලත් "


"මොකාද යකෝ මූ?"


ඒ හාම මරු මුවට ළංවෙමින් සිටි හාවා පැන ගියේය.


"මොකද්ද බන් ඒ කළේ ? අපරාදෙ ඌ පැන ගත්තා" 


තවත් කට හඬවල් කිහිපයක් අසල පඳුරු වලින් එළියට විත් අසල වූ එළිමහනට එක්වන්නට වූයේ..එහෙනම් මෙතන කාණ්ඩයක්ම ඉඳලා තියෙනවා. 


"මන් නෙවෙයි මෙන්න මේ කාලකණ්ණියා තමයි වැඩේ කෑවෙ"


"මොනවා උඹ ? මූ තමයි අර කේස් එක පත්තරේට දීලා තියෙන්නෙ මන් කීවෙ" 


ඈහ් ඒ අපගේ ආයතනයේ ප්‍රධානියාගෙ කටහඬ නොවේද?


ඔළුව හරවන්නට හදනවාත් සමඟම බෙල්ල ප්‍රදේශයෙන් නැගී ආ තද වේදනාව මගේ සිහිය වීකල් කළේය..


කාලය කොපමණ ගෙවී ගොස්ද යන්න නොදනී. 


\\ කෙමියෙන් නික් මී යන්නට තතනන වරා මල් පිහාට්ටක් තවමත් තමාව ඇද බැඳ තබා ගන්නා හුය නිසා වේදනාවෙන් මිරිකෙමින් උන්නාය. තව එකම එක සුස්මක ප්‍රාශ්වාසය පමණක්ම අවැසි පිහාට්ට මෙන් වේදනාවෙන් මිරිකෙමින් හුන් මා ඒ සමඟම හෙලුණු සුසුමත් සමඟ කෙමියෙන් වෙන්වූයේ..මහත් වූ සැනසිල්ලකිණි. කෑරලකුගේ ඉමිහිරි හඬ මා රැගෙන යන්නට පැමිණ ඇති සෙයක් දැනුනත්.. \\


තලා පොඩි කර දමන ලද ලියන්නා යැයි හැඳින්වූ පංචස්කන්ධයක් ගසක් යට අතු කොළ වලින් වසා දමා තිබුණි..කියාගත නොහැකි තරමේ සැහැල්ලු වරා මල් පිහාට්ටක් මෙන් මා වන හිස මතින් ඇදී යන්නට වූයේ කොයිබටදැයි මා නොදනිමි...


---------------------------------------------------------------------
ප.ලි. මෙම කෙටි කතාව නිර්මාණයේදී එළවළු පමණක් නොකන සියළුම අය සඳහා ලියන්නාගේ සිතේ ඇතිවන පිළිකුල වචනයට නැගීමේදී මා මෙම කතාව සඳහා එකම කමෙන්ටුවක් වත් බලාපොරොත්තු නොවූයේ අද සමාජයේ වෙජිටේරියන් ලා ඉතා සුළුතරයක් බැවිනි. නමුත් මෙම  නිර්මාණය තේරුම් ගෙන ම හට දිරියක් වන්නට මට වචනයක් හෝ කීමට  උත්සුක වූ සහෘදයන්ට මා හිස නමා ආචාර කරමි. වෙනී වෙජිටේරියන් කෙනකු නොවේ..