ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, November 20, 2014

අපුල සහ කේන්තිය... Anger with Disgust

"බලනවා ..මම කොහොමද දැන් මෙහෙම ඔෆිස් යන්නෙ ? ළමයින්ව බස් වල ගෙනියන්නවත් දන්නෙ නැද්ද ? හරක් !"

බස් එක දෙවනත් වෙන්න බෙරිහන් දීපු ඒ මැදිවියේ මනුස්සයා ඉඳගෙන හිටපු අසුනෙන් නැගිටලා සම්පූර්ණ බස් එක දිහාවටම තම කෝපයෙන් ගිනි ගන්න දෑස යොමු කළා. ඒ ආසන්නයේම තවත් සෙනඟ පොදියකට බෑගයත් එක්කම හිර වෙලා හිටිය මමත් නිතැතින්ම දෙඇස යොමු කළා.. කහ පැහැයට හුරු කමිසයේ උඩ සාක්කුව හරියේ ඉඳන්ම කහපාටට පෙරෙන වතුර පාරක් එක්කම ඔහු මහත් අපහසුතාවයට පත් වෙලා හිටියා.. කෝපයෙන් දැවෙමින් ඉන්න මනුස්සයා ළඟම ඉඳ ගෙන හිටියෙ අම්මා කෙනෙක් සහ තවමත් අම්මගේ උකුළෙ ඉඳන් ඔළුව පහළට නවා ගෙන ඕක් ගාලා වමනෙ කරන ළදැරියක්...ක්ෂණයකින් අප හැමෝටම වෙච්ච දේ වැටහුණා..ඒ ළදැරියට පාලනයක් නැතුවම වමනෙ ගිහින්..වමනෙ ටික අර ළඟ හිටිය මහත්තයගෙ ෂර්ට් එකට හැලිලා..

අහල පහළ හිටි හැමෝම පිළිකුලෙන් තමන්ගෙ මුහුණ අහකට හරවා ගත්තෙ තමන්ගෙ ඇඟට වමනය හැලිලා වගෙයි..තරමක දුප්පත් පෙනුමක් තිබ්බ අර අම්මා මොනවද මුමුණනවා..අර දැරිවි තාමත් තමන්ගෙ හිස අම්මගෙ උකුළෙ සඟවගෙන..

"කොහොමද මම දැන් ඔෆිස් යන්නෙ ?"

අර මනුස්සයා ගුගුරණවා...

අර අම්මා තමුන්ගෙ බෑග් එකෙන් තරමක් කිලිටි වෙච්ච තුවායක් වගේ එකක් එළියට අදිනවා..

"මීට පස්සෙවත් තමුන්ගෙ ළමයින්ට පුරුදු කරනවා වමනෙ යන්ඩ එනවා නම් කල් ඇතුව කියන්ඩ ඒ එක්කම  අයිනෙ සීට් එකක් ඉල්ලා ගන්ඩ..නැතිනම් වාහනයක් කුලියට අරගෙන යනවා..දැන් මට ඔෆිස් යන්ඩත් නෑ..ගෙදර ගිහින් එන්ඩත් වෙලාව මදි.."

ඇත්තටම ඔෆිස් එකට වාහන තදබදයක් තියෙන මේ වගේ වෙලාවක ආපහු ගෙදර යන්න උණොත් එහෙම අපිට උණත් සිද්ධ වෙන අකරතැබ්බක් හිතට එනකොට අපේ හිතටත් මොහොතකින් මෝදු වෙන්ඩ ගත්තෙ කේන්තියක්ම තමයි..

අර මහත්තයා තවමත් බනිනවා අර අම්මට...

අපිත් හිතින් අර මහත්තයගෙ සහයට තව තව කාරණා සපයන අතරේ අර අම්මයි දැරිවියයි දිහා බැලුවෙ තරමක් පිළිකුලෙන් වගේම කේන්තියෙන්..

වමනෙ නවත්තපු අර දැරිවි බොහොම බයාදු බැල්මකින් බියපත් වෙච්ච මුව පොව්වෙක් වගේ ඔළුව ඔසවලා බැලුවා..

පරුෂ හඬින් තමුන්ගෙ අම්මටත් තමුන්ටත් බනින අර මනුස්සයගෙ කට දිහා බලා ඉඳලා තමන්ගෙ ඇස් තමුන්ගෙ අම්මා දිහාවට යොමු කරලා..
ඈ....ඈ...ඈ....ඈ...කියලා මහ හයියෙන් අම්මගෙ නිකට තමුන්ගෙ මූණ දිහාවට හරවලා ප්‍රශ්නාර්ථයෙන් යුක්තව බලාගෙන හිටියා....

අපිත් එතකොටයි දුටුවෙ සහ තේරුණෙ අර දැරිවි ගොළු දැරිවියක් සහ අම්මා ඒ වෙලාවෙ කොයිතරම් නම් අසරණ වෙලා හිටියද කියනවා නම් ඈට අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ අර මහත්තයගෙ ගෝරනාඩුව හමුවෙ..

අර දැරිවි තමන්ගෙ දෑතින්ම අම්මගේ කම්මුල දිගේ බේරෙන කඳුළු පිහිදනවා..

ගා....ගා....ගා...කියලා..

අපේ හිතත් කඩා වැටුණා..

මම ළඟම හිටපු තව කෙනෙක් මෙච්චර වෙලා සඟවා ගෙන හිටපු තම හඬ ඉස්මතු කළා..

"මහත්තයා වෙච්ච දේ උණා..ඒක මේ අම්මවත් , පොඩි එකාවත් හිතලා මතලා කරපු දෙයක් නෙවෙයිනෙ..දැන් මේ බස් එක ගමනාන්තෙට යනකන් බැන්නත් වැඩක් නෑ. මහත්තයා එක්කො බැහැලා ගෙදර යන්න..නැතිනම් ඔෆිස් එකට ගිහින් ඔය කමිසය හෝදා ගන්න"

අර මහත්තයා කෝපයෙන් පිපිරි පිපිරීම බස් එකෙන් බැස්සා..අර අම්මා බස් එකේ ගමනාන්තයට යනකම්ම හැඬූ කඳුළින් යන අතරේ..පොඩි එකා එක එක සද්ද කරමින්...අම්මගෙ කඳුළු පිහින්න උණා...

දවසක් දෙකක් යනකම්ම මම උණත් මේ සිද්ධිය ගැන හිතන්න උණා..ඇත්තටම අපිටත් එහෙම දෙයක් උණොත් අපි කොහොම හැසිරෙයිද.....කියන එක ගැන..

මේ සිද්ධිය වෙලා අවුරුදු පහක් හයක්ම කාලයේ වැලි තලාවට යට වෙලා මගේ හිතෙනුත් මැකිලා ගිහින් අහවර වෙලයි තිබුණෙ..

--------------------------------------------------------------------------------------------------
"තැන්ක් යූ මල්ලි, මම ටවල් එක එහෙමම බාත් රූම් එකේ තියෙන්න ඇරියා ඔන්න"

" ආ හරි ප්‍රියන්ත මහත්තයා මම ඒක ලොන්ඩ්‍රියට යවන්නම්"

අපේ නවාතැන් භාරව සිටිය නිලධාරියා මගේ අතින් යතුර අර ගන්න ගමන් කිව්වා...

හෝදපු කමිසය අයන් කළත් තවම හොඳට වේලිලා නැහැ.

උදේ කැම වෙලාව පහු උණත් ආපන ශාලාවෙ තියෙන මොනවා හරි දෙයක් බඩට දමා ගත්තෙ නැතොත් මේ දවස් වල ගිලින බෙහෙත් පෙති කන්දරාවෙ හැටියට ගැස්ට්‍රයිටිස් හදා ගෙන ඒකටත් තව බෙහෙත් පෙති බොන්ඩ වෙන එක නම් සිකුරු නිසාම මම ආපන ශාලාට ගිහින් එතන තිබුණු බිත්තර පාන් එකකුයි චයිනීස් රෝලකුයි තේ එකකුයි අරගෙන දන්න හඳුනන සොයුරියක් ඒ වෙලාවෙත් තේ බිබී ඉන්න මේසයට ගියා..

"මොනවද අයියෙ ඔයා ළඟ ගඳ ? වමනෙ නේද ?"

ඈ තමන් කකා හිටිය බනිස් ගෙඩිය අප්පිරියාවෙන පිඟානට අත හරින ගමන් ඇහුවා..

"නෑ මට බඩගිනි නෑ..."

ඈ කමින් හිටිය බනිස් ගෙඩියේ භාගය සහ තවමත් නොකාපු බිත්තර පාන් එකත් පොඩ්ඩක් බීලා ඉතුරු වෙච්ච තේ එකත් එක්කම මාව ඒ මේසෙ තනි කරලා නැගිටලා ගියා..

ගිය නුවණ ආයි ඇතුන්ටවත් අද්දන්ට පුළුවනෑ...

----------------------------------------------------------------------------------------------------------------------------
මිනිස්සුන්ට ලෙඩ දුක් අසනීප එන්නෙ කල් ඇතුව කිය කියා නම් නෙවෙයි...සමහර වෙලාවලට අපි හොඳ සෞඛ්‍යය සම්පන්නව ඉන්නම ඕනි කාලවලදි තමයි ලෙඩ දුක් පොදි බැඳ ගෙන එන්නෙත්.. ලෙඩ දුක් ආවහම ඉතින් සල්ලි වගේම වියදම් වෙන අනිත් දේ තමයි අපේ කාලය...

පහු ගිය අවුරුදු වල ඉතුරු වෙලා තිබුණු නිවාඩුත් එකතු කරලා එකතු කරලා බොහොම අමාරුවෙන් එක දිගටම ලෙඩ වෙලා ඉද්දි ගත්තු නිවාඩු ටික පඩි රහිත නිවාඩු නොවෙන ගොන්නට දමා ගත්තත්... අවුරුද්ද ඉවර වෙන්න තව මාස ගාණක් තියෙන නිසා ඉදිරි කාලය බොහොම අභියෝගාත්මකයි...බොහොම හෙමින්...ඉවසිල්ලෙන්...ඔය අතරෙම අපි විඳින අපේ ප්‍රශ්න ගැන නොදන්න අපේම සහෘදයන්ගෙ සමහර ඉල්ලීම් හමුවේ අසරණ වෙන අපි එක්ක හිත බිඳවා ගෙන අමනාප වෙන අයත් නො ඉන්නවා ම නෙවෙයි...මේක තමයි ඉතින් ජීවිතේ...

ඒ පඳුරු තැලිල්ල නම් කළේ අද උදේ වෙච්ච සිද්ධියට ඕනි කරන ඌන පූරණයක් ගන්න තමයි...කොටින්ම කියතොත්..මම මලත් නිවාඩු නම් ගන්න නම් බෑ රජෝ මේ අවුරුද්දෙ දි නම් ඕන් !

සාමාන්‍යෙන් බත්තරමුල්ලෙදි බස් එකෙන් භාගයක් විතර බහින නිසා හැමදාම වගේ ඉඳගන්න සීට් එකක් ලැබෙන එක ඉර හඳ පායනවා වගේ විශ්වාසයි. මම ළඟම සීට් එකේ හිටියෙ අවුරුද්දක විතර පොඩ්ඩෙක් අම්මා එක්ක..පොඩ්ඩා අම්මගේ කරේ හොඳටම නිදි..මමත් කාර්‍යාල බෑගය ඔඩොක්කුවෙ තියා ගෙන පොඩ්ඩක් ඇහැ පියා ගත්තෙ බස් එකේ ඔය වෙලාවට දාගෙන එන පොඩි නින්ද මාර සැපයි ආපහු වැඩ පටන් ගන්නකොට...

බස් එක මොකද්ද එකකට තිරිංග පාගනවා එක්කම සේරම මඟීන් එක්කම මාවත් ඉස්සරහට ගැස්සිලා ගිහින් අසුනට හේත්තු උණා....

ඒ වෙනකම්ම අර අම්මගෙ උර හිසේ හොඳට නිදියා ගෙන හිටපු පොඩි එකා ගැස්සුණු ගැස්සිල්ලට වෙන්න ඇති..ගොජොස් ගාලා වමනේ පාරක් දැම්මෙ නැද්ද මගේ කමිසයයි බෑග් එකයි කලිසමේ එක කකුලකයි..හීතලට වමනෙ !

හිතට එක පාරටම ආපු පිළිකුල එක්ක ආපු කේන්තියක් !

 ඒ ක්ෂණයකින්ම ඔළුව ඇතුළේ කොහේදෝ හිර වෙලා තිබුණු අර උඩ කියන සිද්ධිය තත්පරයකින් දාහකින් එකක් වගේ කාලයකදි..මනසේ රඟ දැක්වුණා...මගේ කේන්තියෙන් පිපිරෙන මුහුණ කවුරුවත් දකින්න නැතුව ඇති..අර අම්මා බියපත් මුහුණකින් බොහොම අසරණව මා දිහා බලාගෙන ඉන්නවා..කතා කර ගන්නවත් බැරුව ගොළු වෙලා....

කමිසයට උරා ගත්ත වමනය ටික සීතලට බැනියමට යටින් හමට දැනෙන අතරේ...පොඩි අයගේ නොදිරවපු කිරි වමනය මගේ නහය කඩා ගෙන යන්න හදනවා..රහත් වෙලා හරි බණ භාවනා කරලා හරි නැති යටි හිත කේන්තියෙන් පුපුරනවා..කාර්යාලයට නොගිහින්ම බැහැ..අනේ පව් ඒ අම්මා එක අතකින් පොඩි එකාව අල්ලා ගෙන අනිත් අතින් තමුන්ගෙ බෑගය අදිනවා..එතන හිටි අනිත් කාන්තාව බෑගය අරගෙන ඒකෙන් පොඩි ටවල් ඇදලා දුන්නා ඒ අම්මා අතට...

බියෙන් සලිත වෙච්ච ඒ අම්මා...මගේ බෑග් එකේ පිට පිරිලා තිබ්බ වමනෙ පිහින්ඩ හදනවා ඒ ටවල් එකෙන්......

"සොරි සර්..."

ඈ ගොත ගහනවා...

මම ක්ෂණයකින් අහක බලලා නැවත ඈ සහ දරුවා දෙස බැලුවා...

"ඔය බබාව පිහිදාන්න ඕකෙන්..මේක කමක් නෑ..මම ඔෆිස් එකට ගිහින් හෝදා ගන්නම්"

වසර ගණනාවකට ඉස්සර මේ වගේම ඉහත කිව්ව සිද්ධියට තුන්වන පාර්ශ්වයක් විදියට මුහුණ දීලා ඒ ගැන දවස් ගාණක් හිතලා නොතිබ්බා නම් මමත් සමහර විට තිරිසනෙක් වගේ අර අම්මට බනින්නත් ඉඩ තිබ්බා නේද කියලා මට හිතෙන කොට මට ඇති වෙන්නෙ හරිම ලැජ්ජාවක්...

එහෙම නොඋන එක ගැන මට සතුටුයි වගේම...මගේ මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණයි කියලා හිතන මේ වගේ වැදගත්ම සිද්ධියක් අත්‍යවශ්‍යම වෙලාවකට ක්ෂණයකින් හිත මතුපිටට ඇවිල්ලා මාව වෙනස් කරපු එක ගැන මට ලොකු ආත්ම තෘප්තියක් දැනෙන්නත් ගත්තා...

ඒත් අර කම්මලේ ඉන්න බල්ලට හෙණ ගැහුවට දැනෙන්නෙ නෑ කියනවා වගේ..කිව්වට සැරින් සැරේ මගේ සියොළඟින්ම එන කිරි වමනෙ ගඳ මට පොඩ්ඩ්ක් අපුලක් නම් ගෙනෙනවා තාමත්..

හවස කෝච්චියෙ යනකොට අනිත් සෙනඟින් පොඩ්ඩක් මෑත් වෙලා යන එක හොඳයි වගේ...

Thursday, October 16, 2014

කාලයත් සමඟ මුසුවූ නිධාන කතාවක්...

නිධාන කතාව
2012 මාර්තු මස

අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවල් තියෙනවා සීමාව පැන්නහම වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව කියන දේවල්.. ඒ වගේ දේවල් අපේ ජීවිතේටම සමහර වෙලාවට හොඳට, සමහර වෙලාවට නරකට හිටිනවා. එහෙම සිද්ධ වෙච්ච වෙලාවකට ඇණයක් උණත් පස්සෙ හිතන වෙලාවල් වල ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යයක් වුණු දෙයක් තමයි මේ..



මට පහු ගිය කාලෙ ඉතින් ඔය කැමරා රාජයෙක් හම්බ උණා නොව..මන් ළඟ තිබුණු පොඩි පොඩි කැමරා එක්ක බලද්දි මේ කැමරාව උස්ස ගෙන ඉන්නත් සෑහෙන කැලරි දහනය වෙන වැඩක් තමයි. ෆොටෝ ගහන්න හොඳයි, ලස්සනයි කියලා හිතෙන සීනරීස් දැක්කත් ඔය ප්‍රශ්නෙ නිසා කැමරාව උස්සගෙන යනවා ටිකක් කම්මැලි වැඩක්ම තමයි..

ඉතින් ඔය කැමරාව එක්කම මට දවස් කීපයක කැමරා භාවිතය පිළිබඳව පුහුණුවක් ලැබුණා. කැමරාව එපා කීවත් මේ අති දුෂ්කර පුහුණුව නම් මග හරින්න කිසිම ක්‍රමයක් තිබුණෙ නෑ.ඉස්සෙල්ලා තිබුණු කැමරාවෙන් බොහෝම ලේසිවට ගත්තා ඇල්ලුවා ගැහැව්වා කියන සරල කම බොහෝම ඈතකට ගිහින් තිබ්බත් මමත් ඉතින් ඔය කැමරාවෙ මැනුවල් එක එහෙම කියවලා දැන් වැඩේ යනවා.. මැනුවල් එක කියවලා ඒකෙ තියෙන විදියටම කරනවා කියන එකත් මහ ලොකු ගේමක් නෙවී..ඒ පාඩමත් ඉවරයි..

ඊළඟට තමයි ආවෙ ගේම ! එක එක වෙලාවලට කියනවා ,

"Ah ! Now This is the best time for a perfect shot , Please take a sharp photo from this angle making all adjustmanets what you learnt so far..."

ෆොටෝ එකක් ගන්ඩ අමාරු අඩු එළිය තියෙන මොහොතවල් වල සහ දුෂ්කර ෆොටෝ ගැනීම ගැන ඔන්න ඔහොම තමයි මට ෆොටෝ ඉගෙන ගන්ඩ උණේ. මට අකමැත්තක් පෙන්නන්නත් බෑ..මොකද මෙච්චර ලොකු තෑග්ගක් දීපු කෙනාගෙ හිත රිදවන්න බැහැනෙ කොහොමත්.. අනිත් භයානකම එක අකමැත්තක් හිතන්නත් බෑ හිතන දේවල් පවා දැනෙන තරම් සමීපතමයෙක් වීම ඊටත් වඩා ලොකු හේතුවක්..ඔහොම පාඩම් දෙක තුනකට පස්සෙ මන් මහන්සිය නිසාම පොඩ්ඩක් ඇල උණා පොඩි නැප් එකකට...මගේ කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙම ජනේලෙ වීදුරුවෙ වහලා සලබයෙක්..ඌ හිතන්ඩ ඇත්තෙ වීදුරුවක් නෙවේ කියලා වෙන්ඩැති. ඕක දැක්ක විතරයි..

"Oh what a beautiful butterfly, please take sharp photo from outside dear"

මොන බටෆ්ලයියෙක්ද ? ඌ සලබයෙක් මතක් කළා සලබයාට කියන ඉංග්‍රීසි වචනෙ එන්නෙම නෑ ඔළුවට

"No no this is not a butterfly it is a kind of moth"

කියලා ෂේප් වෙච්ච මන් කැමරා උපකරණ ටික ලෑස්ති කරන් ගියා එතනට..යකඩෝ ඌ වහලා ඉන්න තැන මගේ උසට වඩා අඩි 2-3ක් උඩ. මොනවා කරන්නද වැඩිය සද්ද බද්ද නොකර පුටුවක් උස්සන් ගිහින් ගත්තා ෆොටෝ 2-3ක් ම.. පුටුව උඩ ඉඳන් එහෙ මෙහෙ වෙන්නත් බෑ හරියටම එළිය වැටෙන පැත්තෙ ඉඳන් ගන්ඩ..
ගන්න ගන්න ෆොටෝ එක බලලා ...

"Oh, this is not sharp enough ! See you cant count its legs !"

හතර පස් පාරක් ගත්තත් ෆොටෝ එක ඔය උත්තරේමයි ලැබෙන්නෙ..
පුටුවක් උඩ නැගලා මේ කැමරාව එල්ල කරන් ඉඳලා අත් දෙකයි උරහිසත් රිදෙනවා. මහන්සිය අස්සෙ මේ කැමර හිලෙන් සලභයා දිහා බලා ඉඳලම ඇස් දෙකත් රිදෙනවා..තව ෆොටෝ දෙක තුනක් අරන් ෂාප් නැහැයි කීවහම මටත් ගන දෙවි නුවන පහළ උණා පොඩ්ඩක්

"Oh,  These photos are sharp. The trouble is this butterfly itself is not sharp" 

උත්තර දීලා ෆොටෝ ගන්න එක නැවැත්තුවා.
හිනා වෙලා මොනා හරි තේරුම් අරගෙන වගේ ඒ පාඩම එතනින් ඉවර උණා කියමුකො..

මේ තියෙන්නෙ ඒ ෆොටෝ සෙට් එකේ වැඩිම ලකුණු දීපු ෆොටෝ එක.. ඒත් ලකුණු 40යි. 



ඔන්න ඔහොම කැමරා ලෙසන් ඉවර වෙලා මට වෙන කරන්න කීව වැඩක් දවස් දෙක තුනක් ම අමතක වෙලා අත පහු උණා.. මෙන්න එනවා SMS එකක් ෆෝන් එකට

This butterfly itself is not sharp :-D

කියලා.. එතකොටයි මට මීටර් උණේ මොකද්ද කියලා.. ඒ වෙලාවෙම අතපසු වෙච්ච වැඩේ ඉවර කරලා දැම්මා. දැන් කැමරාව ගෙනාවට ඕක දමලා තියා ගන්ඩ මට හරි හමන් එකක් නෑ.. කැමරාව අරන් යන බෑග් එකේම තමයි තියලා තියෙන්නෙ..දවස් කීපයක්ම ඔය කියන කැමරා ආරක්ෂක බොක්ස් එකක් බලලා තිබ්බත් මිලදී ගන්න එක අතපහු උණා.. අද උදේම චැට් එකේදි අහනවා,



"Still not buy the humidity control box for the camera ?

"Nope but soon I am gonna buy that"

"Aah this butterfly itself is not sharp"

කියලා ආවෙ නැද්ද උත්තරයක් !

ඒ වෙලාවෙම චෙක් කළා වෙලාව නවයයි කාලයි. ඔෆිස් යන්ඩ  වෙලාව තියෙනවා. ඒ ෂොප් එක එක. මේ වෙලාව ඇරලා. ගියා ගත්තා බොක්ස් එක.. ඒ වැඩෙත් ඉවරයි..

මටම හිනා මතක් වෙනකොට.. මේ වචන සෙට් එක මාව පාලනය කරන හැටි කියලා. ඇත්තටම මේක ගැන වාදයක් ගියානම්..ඒ කීවෙ
දැන් කී දවසක් ඔහොම කිය කියා ඉන්නද ..හැම වැඩේම ඔය වගෙයි කල් දම දමා ඉන්නවා වගේ එකක් කීවනම් එහෙම මගෙත් හිතත් රිදෙනවා.. මමත් මොනවා හරි ම කියනවා..අවසාන ප්‍රතිඵලය දෙන්නම් හිත් රිදවා ගන්නවා..

මේක හොඳ සාර්ථක ක්‍රමයක් තමයි එයා පාවිච්චි කරන..
මමත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා යමක් කරවා ගන්නෙ කොහොමද හිත් නොරිදවා කියලා..
හැබැයි මට එකක් ෂුවර් මගේ ජීවිත කාලෙටම සෑහෙන වාරයක්,

"Aah this butterfly itself is not sharp"

කියන එක අහන්ඩ ලැබෙයි. මට විරුද්ධ වෙන්ඩ බෑ ඒකට.. ඒ මගේම වචන !

ඒ එක්කම මගේ වැඩ අතපසු කිරීමේ නරක පුරුද්දත් නැති වෙලාම යයි.. 

වර්තමානය

තත්පරෙන් තත්පරේ...විනාඩියෙන් විනාඩිය..පැයෙන් පැය..දසින් දවස...සතියෙන් සතිය..මාසෙන් මාසෙ ගෙවිලා ගිහින් මාස 31 ගියපු වර්තමානයෙ ඉඳලා පහු ගිය කාලය දිහා ආපහු හැරිල බලද්දි..සතුට, වගේම දුකකුත් මිශ්‍රිත මහා අමුතු හැඟීමක් තමයි ඡායාරූපකරණය හා බැඳිච්ච මගේ ජීවිතය ගැන ඇති වෙන්නෙ..
ගත්ත සමහර ඡායාරූප ගැන තාවකාලිකව තෘප්තියක් ලැබුනත්..හිත පතුලෙ අසංතෘප්ත වෙච්ච මහා ලොකු පිපාසාවක් එක්ක ජීවත් වෙන මම කවදා හරි මේ පිපාසයෙන් අත්මිදෙයිද කියන එක තරමක ප්‍රශ්ණයක්...


ඒක ප්‍රශ්ණයක් වෙන්නෙ පහු ගිය කාලය තුල මා කොයි තරම් නම් කාලයක් ඡායාරූපකරණය වෙනුවෙන් වෙන් කලාද කියන එක මත තමයි..ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකට යොමු උන නිසාම ITPA එහෙම නැතිනම් ඉන්ද්‍රනාථ තේනුවර ඡායාරූප ඇකඩමියට සම්බන්ධ වීම නිසා ඒ ශිල්පය ගැන එහෙන් මෙහෙන් දැනගෙන හිටි කරුණු ගොඩක් එක්ක නව දැනුම් රාශියක් ළඟා කර ගනිමින් ඉන්නවා. ඉදිරියෙදි නම් ඒ දැනුම උරගා බලන්න හොඳ අවස්ථාවක් ලැබෙයි කියන ලොකු බලාපොරොත්තුවක් එක්ක..කාලය ගෙවෙන්නෙ ..

ඒ වගේමයි ඉතින් තමුන් නියැලිලා නොහිටිය ක්ෂේත්‍රයක් ගැන හදාරන කොට ඉතින් ඒකෙ තියෙන අහුමුළු වලට ගත සිත යොමු කරන්ඩ වෙන කාලය එක්ක ලොකු තරඟයක් එනකොට ඒ වෙනුවෙන් කැප කරන්නෙ මොන කාලයද කියන එක මත පහුගිය කාලයේම මට මග ඇරිලා ගියේ මේ ලියවිල්ල තමයි. බ්ලොග් එකේ කාලෙකට සැරයක් හරි පෝස්ට් එකක් දාන්ඩ ඕනිය කියන සිතුවිල්ල අමාරුවෙන් උනත් යටපත් කරගෙන ඉන්න උනා. ඒත් එක්කම හිතට සතුටක් එන්නෙ මේ අත්දැකීම් එක්ක ජීවිතේට එකතු වන දේවල් වලින් ලියන්ඩ තියෙන දේවල් මහාකන්දරාවක් ගොඩගැහෙන එක ගැන තමයි..




Thursday, August 14, 2014

මේ කපන කාලයයි ! Harvesting Time

කොළ පැහැයත් කහ පැහැයත් අතර වර්ණයකින් ගැවසි ගත් බණ්ඩි ගොයම ටිකින් ටික රන්වන් පැහැගැන් වෙන්නේත් ආඩම්බරයෙන් අහස දෙස බලා සිටි ගොයම් කරල් බිමට නැවෙන්නේත් බලා සිටිද්දීමය...
නියර පුරා ආරක්ෂකයන් මෙන් සිටුවා ඇති පොල් පිති වල හිඳ යාය පුරා ගොයම් කරල් වල සාරය බීමට පැමිණෙන ගොයම් මැස්සන් වෙත බැල්ම හෙළමින් සිටින් නා නා විද කුරුල්ලෝ විටින් විට යාය වෙත පියඹා ගොස් නැවත් තමන් සිටි පොල් පිති අසුන වෙත පියඹා එයි..


මේ ගොයම් පැසී ලහි ලහියේ ගොයම් කපන්නට සූදානම් වන කාලයයි...


තාත්තා වී අටුවේ කොනක ගසා තිබූ දෑකැති සමූහය ගෙන භූමිතෙල් උලා පීරකින් ඒවා නැවත මුවහත් කරද්දී... අම්මා වී වේලෙන්නට දමන මාගල් මිටිය ලිහා ඒවා තුළට වී තැනින් තැන කපා දැමූ මීයන්ට දෙස් දෙවොල් තබමින් නැවත සකසයි.. ලොකු අක්කා බට පොතු පෙට්ටිය සහ බත් කෑමට ගන්නා වට්ටි ගොන්න එළියට ගෙන අව්වේ දමා සියල්ල පිළිවෙළට සකසා ගනී.


චූටි අක්කාත් මමත් ළඟ එන සතුටුදායක දින කිහිපයකට ඇඟිලි ගනිමින් බලා සිටින්නෙමු


මාර්තු මාසයේ කැපෙන ගොයමට වඩා අප වඩාත් ආශා කළේ අගෝස්තු නිවාඩු කාලයේ ගොයම් කැපෙන සමයටයි. පාසැලේ ක්‍රීඩා උත්සව වලට මුලු කාලයම වැය කරන මාර්තු මාසයත් ඊළඟට පැමිණීමට නියමිත සිංහල අළුත් අවුරුදු සමයත් නිසාම එම කාලයේ ගොයම් කැපිල්ල නම් විටෙක හිසරදයක් වූබවත් මතකය. එනිසාම අගෝස්තු නිවාඩු කාලය ඉතා මිහිරි මතකයන් රන්දන කුඹුරු සමයක් වීම නම් අනිවාර්ය අංගයක්ම වීය.


අද මේ වෙනකොට නම් සුනාමි, භූතයා යන නම් වලින් හඳුන්වන ගොයම් නෙළීමේ යන්ත්‍ර තිබුණත් 70 දශකයේ අග හා අසූවෙ දශකය මුල සියලුම කුඹුරු වැඩ මිනිස් ශ්‍රමයෙන් කර ගත් කාලයක් තිබුණි. එලෙසම කුලියට මළියට නොව අත්තමට එකිනෙකාට උදව් කර ගනිමින් කුඹුරු කල හැටි ගැන අමතක නොවන කාලයක සැමරුම් ගොන්නත් හිත පතුලේ ඇත..


පහු ගිය දොහක..හරියටම අගෝස්තු 13 දිනය පුරාම මම මගේ අසල්වාසී අයියා කෙනෙකු වූ අබේ අයියාගේ ලියැදි කීපයකින් යුත් කුඹුරේ ගොයම් කැපීමට සහභාගී වීමි. කාර්යාල වලටම වී හොර වී ඇති ඇඟ හැමතැනකම ඇදුම් දුන්නත්එදා දිනයම ලත් සතුට නම් කාලයක් හිත පුරා දෝංකාර දෙනු නියතය.. එදින වැඩය කරන අතර තුර මා ෆෝන් කැමරා කාචය තුළ රුවා ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.












 මෙය ප්‍රභා මිය යාමට මොහොතකට පෙර ඡායාරූපයක් නොව මාගේ කොන්ද රුදාව නිසා නියරේ ඇලවී සිටිද්දී ගත් ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න !










ගොයම් කැපීම අතින් කළත් මැඩවීම නම් යන්ත්‍රයෙන් කල නිසා දවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සියලුම වැඩ නිම වීය..


අපේ ගම් වල මැණික් පතල් හෑරීම කුඹුරු වල සිදු වීම නිසාම දණිස තෙක් එරෙන කුඹුරු වල අදටත් අතින් ගොයම් කැපීම සිදුවේ. ගොයම් මැඩවීම සඳහා අද නම් සියලුම ගොවීන් පාහේ යන්ත භාවිතා කරනු දක්නට ලැබේ.


නමුත් එදා යන්ත්‍ර නොතිබූ සමයක සහ එරෙන කුඹුරු නිසා කුඹුර සැකසීමටවත් මී හරක් යොදා ගැනීමට නොහැකි කුඹුරු නිසා ගොයම් මැඩීම කළේද ගොවීන් තමන්ගෙ කකුල් මගිනි. එය හරකුන් යොදා කරනවාට වඩා කලාවකට කළයුතු දෙයක් වීය. දෙපසේ සිටවූ කරු දෙකකට රඳවනු ලැබූ දෙ අතින් අල්ලා ගතහැකි දණ්ඩ අල්ලා ගෙන තම දේපතුල් වලට මැදි කර ගත් ගොයම් මිටිය ඇට හලෙන තුරු දෙකකුලින්ම පාගනු ලබයි. මෙය ඉතා වෙහෙසකර කාර්යයක් වූවද පළපුරුදු ගොවීන්හ් අට එය ඉතා සුළු දෙයක්ම වීය.කුඩා අපද අපේ වැඩිහිටියන් ඇඹුල සප්පායම් වන විට ගොයම් කරල් 10-15 ගෙන ගොයම් මැඩීම කර ඇත්තෙමු. එහි ප්‍රතිඵලය දැනෙන්නේ කකුල සෝඅදන්නට දියට බැස්ස විටය. පාගන ගොයම් ගස් වලට සීරුණු දෙකකුල් දැවිල්ල දින කීපයක් යනතුරුම පවතී.


ගොයම් මැඩීම කරනු ලබන්නේ රාත්‍රියේ වීමද ඉතා සුන්දරය. පැට්‍රෝල් මැක්ස් ලාම්පු එළියෙන් ආලෝකමත් වන කමත මඩවා ගොඩ කරන ලද පිදුරු ගොඩ අපේ පිනුම් පිටිය වන්නේ කොයි තරම් නම් චමත්කාරයක් එක කරමින්ද ?


එවන් කාලසීමා වල සිදුවූ රසවත් සිද්ධීන් අටෝ රාශියක් හිතට නැගුණත්..එයින් එකක් අදට මගේ සිත පාරවන්නට වූයේ මේ චරිතයේ උන් නැගණිය පසුගිය සතියක අකාලයේ මියැදී මාද එම මළගමට සහභාගී වූ නිසාය...


මේ අප අවුරුදු 8 හෝ 9 ක් වූ කාල සීමාවයි. වැඩිහිටියන්ගේ සියලුම ක්‍රියා දෙස බොහෝ කුතුහලයෙන් බලන්නට පුරුදු වූ කාලයක් හා ඔවුන්ව අනුකරණය කරන්නට පෙළඹෙන කාලයක් වීය.


කිසිම අර්ථයක්, රසක් නොදැන බීඩි බී බලන්නට ගොස් කැස්ස හදා ගත් කොලු නඩයක් වූ අපි...
එක් දිනයක අසල්වාසී කුඹුරක ගොයම් මඩවන කමතකට වී මැඩුවන් ගසා දැමීම..කරල් ඇහිලීම වැනි පොඩි පහේ වැඩ කරමින් සිටියෙමු. රාත්‍රිය වනවිට..අප කමත වටා රැස් වී පිදුරු ගොඩ උඩ පිනුම් ගසමින්ද වැඩිහිටියන්ගේ ඇනුම් බැණුම් වලට ලක් වෙමින්ද සිටින විටෙක කපිල අපිට අතින් අමුතුව සන් කරනු දැක්කෙමු.


අනිත් අයට හොරෙන් එකිනෙකා පැමිණෙන මෙන් ඉල්ලා සිටි බැවින්..අපිද හොරෙන් එකා දෙන්නා කමතින් එළියට ඇදෙමින් සිටියෙමු.


නිහඬවම ඔහු පසු පස එන්නැයි අතින් සන් කල නිසාම අපිද අලිබබා සහ හොරු හතළිහ මෙන් එකා පසු පස එකා කපිල පසුපස ඇදුනෙමි. ඔහු හෙමින් යන්නේ අසල වැඩ නිමවූ කුඹුරෙහි කමත දෙසටය. පැත්තකින් කන්දක් මෙන් අඳුරේ ඉහළට නැගුණු පිදුරු ගොඩද කමතෙහි තැනින් තැන සිටවූ කණුද අතරින් තැනින් තැන පිදුරු ගැලවී වැටුණු පොඩි පැල් කොටයක්ද අඳුරෙහි වූවද වලාකුළකට මුවාවූ සඳ එළියෙහි බබළමින් තිබුණි. අපි සෙමින් සෙමින් කපිල අනුගමනය කරමින් පිදුරු ගොඩට මුවා වීමු. සඳ කෙමින් කෙමින් වලාකුළු අතරින් තම සොමි කිරණ ලොව වෙත මුදා හරිත්ම අඳුරේ වෙලී හුන් පැල්කොටය අප දෙනෙත ඉදිරියේ වඩාත් පැහැදිලි වන්නට වීය..


තැනින් තැන පිදුරු ගැලවී වැටුණු පැල් කොටය තුළ කවුරුන්දෝ අයකු සිටී..හොඳින් බලන විට එක් අයකු නොව දෙදෙනකු බව අප හට පෙනෙන්නට වීය..ඒ සෝමේ මාමා කපිල එක් තමා ළඟම සිටි එකාගෙ කනට කොඳුරා කීමත් සමඟම ක්ෂණයකින් ආරංචිය පෝලිමේ සිටි අන්තිමයාගේ කන වෙතට ඇදුනි. අනිත් කෙනා අසල්වාසී ගෙදරක සිටි සීලවතී නැන්දා බවත් දැන් සියල්ලෝම දනී...අපි සියල්ලෝම බලා සිටිනු නොදැන ඔවුන් ඔවුන්ගේ ලෝකයේය. දෙදෙනාගේ අත පය ක්‍රියාකාරීව යන පෙදෙස් දිහා සෙවනැල්ලක් මෙන් වූ රූ දෙස අපිද ඇසි පිය නොහෙළා බලා සිටින්නව වීමු.


අවාසනාවක මහත වූයේ සිරස්ව සිටි දෙදෙනා සෙමින් උක්කුටව වාඩි වීමත් සමඟ සිදු වන්නේ කුමක්ද යන්න අපගේ දර්ශන පථයෙන් ඈත් වීමය..පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය තුළ මහා විශාල දෙයක් වේයැයි සිතන මනුෂ්‍ය චින්තනය අපට සහජයෙන්ම ලැබුණු නිසා..දැන් එකිනෙකා හෙමි හෙමි පිදුරු ගොඩින් මෑත්ව පැල් කොටය වෙත ඇදේ..පැල් කොටයේ පිදුරු කඩා වැටී ඇති සිදුරකින් එබී බලන්නට උත්සාහයද එතරම්ම සාර්ථක නැත..එකිනෙකා එකා පිටිපස්සේ එකා පොරකද්දී සිදු වූයේ අප සියලුදෙනා නැගී සිටි නියර පලුවට අප සියල්ලම තවදුරටත් දරා ගැනීමට නොහැකිව අසරණ වීමයි..සිදුරු පිරුණද අසල වූ වතුර පිරුණු ලියැද්ද තුළට එකිනෙකා ඇද වැටෙද්දී හූ කීම පටන් ගත්තේ කවුරුද යන්න අදටද අබිරහසකි. අඳුරේම සරමත් අතට ගෙන ඉගිලුණු සෝමෙ මාමා පසුපස සීලවතී නැන්දාද මිටින් හල කුරුල්ලකු මෙන් දිව ගිය බව අපට පසුව කීවෙ ඒ වනවිටත් පිදුරු ගොඩ අසලා රැඳී සිටි රනාය. මේ සිද්ධිය අපට කාලයක් යනතුරු මහා විශාල විනෝදයක් ගෙන දුනි. නමුත් පසු දිනයක වූ සිද්ධියක් සමඟම අප සියල්ලම ගමේම සිටි ගම කන්ඩ ආ හැතිකරයක් ලෙස හංවඩු ගැසෙන්නටත් හේතු පාදක වූයේද මෙම සිද්ධියමය... වෙනත් වෙල් යායක ගොයම් මැඩවීමකට අප ගොස් එහි සිටි චූටික්කි නම් අවුරුදු හය හතක දැරිවියක් අසල වූ පැල් කොටයකට ගෙන ගොස් සෝමෙ මාමා මෙන් අත පත ගා බලන්නට තීරණය කර තිබුණි...


කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිම හැඟීමක් හෝ ලිංගිකත්වයක් පිළිබඳව හාංකවිසියක් ඇඟට , හිතට නොදැනෙන කාල සීමාවක..අප චූටික්කිව රවට්ටාගෙන ගොස් අත පය අත ගා බැලුවෙමු. නමුත් කිසිම වෙනසක් නැත. ඇයද සිනහ වෙමින් මෙය තවත් සෙල්ලමක් ලෙසට ගෙන සිටි බව නම් මතකය...
ඇය මේ බැව් ඇගේ අම්මාටද කිවූ බව දන්නේ දිනක් ඈ ආයි එහෙම තොපිලා චූටික්කිගෙ ජංගිය පල්ල අතගාලා තිබ්බොත් කපනවා තොපිලයෙ බිලිං ජුංඩව කෝප්පිහියකින් යැයි අප සෙල්ලම් කරන පිට්ටනියටම විත් අප සියල්ලටම බැණ වැදී ගිය නිසාවෙනි..


චූටික්කි පසුව චූටි වී අප සැමගේ හොඳම යෙහෙළිය වූවා පමණක් නොව පසු ගියා කාලයේ ලෙඩ ඇ ඳට වැටී අපගෙන් සමු ගන්නට පෙර අප ගම වෙත යන සැම දිනකම මොනවා හරි රසකැවිල්ලක් සාදා අප නිවෙස වෙතට එවන්නට තරම් හිතේෂිවන්ත කමක් තිබුණි...
අද ඒ කුඹුරු යායම පුරන්ව ගොස් ඇත...


ඒ සුන්දර වටාපිටාවේ හුන් බොහෝ අය අපව මෙහි දමා ගොස් ඇත..


අපුරු ළමාවියක් ගෙවූ අප සියල්ලෝම වැඩිහිටියන්ව ඇත..


නමුත් මනස තවමත් ඔකඳ වන්නේ ඒ සුන්දර අතීතයේම පමණි..

Monday, August 11, 2014

කාලයයි මේ.. From Hybenation..

නිදා හුන් ශිශිර නිද්‍රාවෙන් 

අවදි වන්නට කාලයයි මේ..


නෙතු මානයේ දැවටුනු 


සිහින දහසක ඡායාමාත්‍රයන්


ලුහුබඳින්නට කාලයයි මේ...


තණපත් මත රැඳුනු පිණිබිඳු


නිරුවත් දෙපා සිප ගත් කල


කය පුරා දෝරෙ ගලන


ප්‍රහර්ෂයකින් උමතු වන්නට කාලයයි මේ..


විටෙක සිඳී ගිය උමතු සිතුවිලි ගඟ


යලිත් සයිබර් අවකාශය පුරා


ගලා යවන්නට කාලයයි මේ...




Background Photo : http://www.goodfon.su/wallpaper/trava-rosa-kapli-makro-zelen.html


Friday, July 11, 2014

තුනක සතුට...එක හිතකින් උතුරලා යනකොට.. After three years..

තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් ?

ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ ?


ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...


මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ගහපු එක නිසා..ලියවිල්ල ටිකක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි ලියන්ඩ අත්දැකීම් අටෝ රාෂියක් එකතු කර ගෙන තමයි ආපහු මම එන්නෙ...


මොකද බ්ලොග් ලියවිල්ලෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන මේ කාල සීමාවෙ මම ඉන්නෙ බොහොම සුන්දර මනුස්සෙක් වෙච්ච ක්ෂේත්‍රයේම ප්‍රවීනයෙක් ළඟනෙ..මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඒක දැනෙන්ඩ ඇතිනෙ...

අවුරුදු තුනක් ...පෝස්ට් තුන් සීයක්...


මිනිය නොහැකි තරමේ සතුටක් ගෙනදුන් කමෙන්ට් රාශියක් එක්ක හිතට ලං වෙච්ච හෘදයාත්මක හිත් ගොන්නක් එක්ක ලබපු සතුට..ලබන සතුට මුදල් කෝටි ප්‍රකෝටි ගානක් තිබුනත් ගන්න බැරි දෙයක් තමයි. එච්චර වටින සතුටක් ලං කලේ මේ වෙනකම් මාත් එක්ක හිටපු ඔබ සැම තමයි.

කශූ...කතන්දර ශූරින් ගේ මුල්ම කමෙන්ටුව එක්ක පටන් ගත්ත මම...
අවුරුදු ගානකට ඉස්සෙල්ලා මොනවද මන්දා හොයද්දි අහම්බෙන් මගේ තිරය මතට ආපු මාරයගේ හෝරාවෙ පන්සල් කතාවෙන් සිංහල බ්ලොග් වලට ආදරේ බැන්ද මම..අවසානයේ අද වෙන කොට "ලියන්නා " වෙලා..
බුදු සන්තෝ මට දැනෙන සතුටක් !


සිංහල බ්ලොග් නිසා අළුතින් ජීවිතේට කී දෙනෙක් නම් ලං උනාද ? ඒකත් ගිනිය නොහැකි තරමේ ගානක්..


ඒ සේරටම බොහොම ස්තූතියි කියලා අඩුවෙන් කියන්නෙ නම් නෑ මම..
ඒ වෙනුවට ඔබ සැමව බොහොම ගෞරවයෙන් , බොහොම ලෙංගතු කමෙන් හදවතින් වැළඳ ගන්නම් !


හමු උනාම සිප වැළඳ ගන්නම්...






බත්තරමුල්ලෙ දියත උයනේ සංගීත රාවයට වර්ණ වෙනස් කරමින් රඟන වතුර මලේ වර්ණාවලියෙන් මුසපත් වෙලා හිටි මා දිහා බොහොම ආදරෙන් සඳ කුමාරි තමන්ගෙ සළු වළාකුළු මෑත් කරලා බලන මොහොතේ....



මටත් නොදැනිම මගේ අතේ තිබුනු කැමරාව ක්‍රියාත්මක උනා..

මට හිතුනෙ මම නේද මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා...

ආපහු ගෙදරට එන්න බස් එකට දෙන්න සල්ලි පසුම්බියේ නොතිබුනත්..මගේ හදවත දෝර ගලා ගෙන යන සතුට නැති කරන්න ඒක හේතුවක් උනේ නෑ..


මම හෙමි හෙමිහිට ගෙදර බලා පියමං කලා සුපුරුදු සතුටින්..


හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා..




බ්ලොග් ලිවිල්ලෙන් ලැබුන, ලබන සතුටත් එමමයි..ඒක ලබන්න මම වාසනාවන්ත උනා..

Friday, June 6, 2014

නවමු අත්දැකීමක පහස ... ආලෝක පින්තාරු..

මවකගෙ කුසින් බිහිවෙලා මුල්ම වරට ඇස් ඇරලා බලන වෙලාවෙ ඉඳන්ම අපි අපේ අවසන් හුස්ම වාතලයට එකතු කරලා දෙඇස් පියා ගන්නා තුරුම ලෝකය දකින්නෙ ආලෝකය හා අඳුර අතරෙ ඇති වෙනස තුලින් කියලයි මට හිතෙන්නෙ..මේ වෙනසේ ඇති  ගණනය කල නොහැකි තරමේ විවිධත්වය තමයි අපි ජීවිතය කියලා පින්තාරු කරන්නෙ...අනේක වාරයක් දුක් වේදනා විඳින අතරෙ සොබා දහම අපේ ජීවිත සමබර කරන්න හිත සතුටු කරන්න දීලා තියෙන එක අවස්ථාවක් තමයි කලා නිර්මාණ කියන්නෙ...නිමා කල නොහැකි තරමේ නිර්මාණ අපගේ ඇස තුලින් මනසට ගෙන එන්නෙ සතුටක්..ඒ සතුට පස්සෙ දිවියටම වෙනත් අරුතක් එකතු කරනවා..ජීවිතේ ඉස්සරහට යන්නෙ මේ අරුත් මතින්..

මම මෙහෙම ප්‍රවේශයක් ගත්තෙ...මගේ එක විනෝදාංශයක් තමයි ෆොටෝ ගන්න එක..මගේ ඇස අඳුර ආලෝකය අතරේ විඳින සුවය මට කොහේ හරි සටහන් කර ගන්න ඕනි උනා. ඇයි ඒ සතුට තව කෙනෙකුට මෝදු කරන්න අවස්ථාවක් ලැබුනොත්...කියන කාරණයත් එක්ක... අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ මොකෙන්ද කියන ප්‍රශ්ණය ඕනි කෙනෙකුගෙන් ඇහුවොත්... උත්තරය වෙන්නෙ අපිට වැඩියෙන්ම සතුටක් ලැබෙන්නෙ තව කෙනෙකුට ළඟා කරන සතුටකින් කියලයි මගේ පුද්ගලික අදහස.. ඒ නිසා වෙන්න ඇති..අපි විඳින සතුටක සේයාවක් අපි අන් අය සමඟ බෙදා ගන්න කැමති.


කැමරාවක් හම්බ උන නිසා සහ කැමරාවකට ආදරය කරන කෙනෙකු සමඟ ජීවිතය බෙදා හදා ගන්න උනු නිසා අවුරුදු ගණනාවකට උඩ ඉඳලම මමත් ෆොටෝ ගත්තා. එහෙන් මෙහෙන් කියවලා
එහෙන් මෙහෙන් යමක් දැන ගත්තා. එහෙම දැන ගත්තත් නිසි හැදෑරීමක් නම් කරලා තිබ්බෙ නෑ..මම මේ වෙනකම් මේ බ්ලොග් එකේ බෙදා හදා ගත්ත ෆොටෝ එහෙම ගත්ත ඒවා..ඒ නිසාම කෙනෙක් හිතලා තිබ්බා මම ඡායාරූප ශිල්පියෙක් කියලා. එහෙම කිව්ව හැම තැනකම මම ඒ අයව ප්‍රසිද්ධියෙම නිවැරදි කලා, මම කැමරාවක් අත දරන්නෙක් මිසක ඡායාරූප ශිල්පියෙක් නොවන වග. බුකිය පුරාම මම සිය වාරයක් එහෙම ලියලා ඇති.

ඔය අතරේ පහුගිය මාසෙක මම පුල පුලා බලා හිටිය ඉන්ද්‍රනාථ තේනුවර ෆොටෝ ඇකඩමිය (ITPA)  මට යන්න පුළුවන් නිවාඩු දවස වෙච්ච ඉරිදාවක ඒ ගොල්ලන්ගෙ අළුත්ම පාඨමාලාව පටන් ගත්තා. මම ආයි දෙසැරයක් නොහිතා එතනට සහභාගි උනා. දැන් තමයි ඡායාරූපකරණය ගැන පිළිවෙලට යමක් ඉගෙන ගන්නෙ අපේ තේනු සර්ගෙන්...ඔය පාඨමාලාවට ගිය හැමෝම සහ දන්න අය කියනවා වගේ..ඡායාරූපකරණය වගේම ඒ හා බැඳිච්ච ජීවන රටාවක් අපූරුවට අපේ මනසේ සිත්තම් කරනවා මේ ආදරණීය ගුරුවරයා..


තේනු සර්ගෙ ඡායාරූපකරණයේ නව මානයන් සොයා යාමේ නවතම එළි දැක්ම ජූනි 14 , 15 , 16 කියන දිනවල කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී. ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනවා ඉන්ද්‍රනාථ තේනුවරගේ ආලෝක පින්තාරු කියන නමින්..


මේක ගැන මේ වෙනකොට හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වෙන නිසා ගොඩක් අය ඇහැ ගැටිලා ඇතියි කියලා හිතනවා. 


මේ ලිපියෙනුත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්.. 


http://nethfm.com/article/17243

මේ ප්‍රදර්ශනය ගැන අපේ සර් මෙහෙමයි බුකියෙ කියලා තියෙන්නෙ

උපුටා ගැනීම
ආලෝක පින්තාරු හෙවත් Light Painting යන්න මීට බොහෝ වසර ගණනකට ද පෙර අත්හදා බලන ලද්දකි. හිස් අවකාශය තුළ ආලෝක පුංජයක් මගින් විවිධ චිත්‍ර ඇඳීම එහි මූලාරම්භයයි.
දෙවනු ව කුඩා ආලෝක කදම්බයක් මගින්, යම් පමණක් වස්තූන් ආලෝකවත් කරන්නට පටන් ගැණිනි. මෙම ක්‍රමය ආලෝකය වත් කිරීම හෙවත් Light Pumping යනුවෙන් ශ්‍රී ලංකාවේදී හැඳින්වුව ද, ජාත්‍යන්තර ව එය භාවිත තාක්ෂණික වචනයක් නොවේ.
පටල පට කැමරා භාවිතයේදී මෙය තරමක් පහසු මෙන් ම අපහසු ද කාර්යයකි. පටල පට කැමරාවේ ආකාරයට එහි ද්වාරය සකසා, කේබල් රිලීසයක් මගින් ද්වාරය ඇර තබා, බොහෝ වේලාවක් ගත කරමින්, එක් හෝ දෙකක් හෝ විදුලි පන්දම් ආධාරයෙන් වස්තූන් ආලෝකවත් කර ගැණිනි. එහිදී අවට ඇති ආලෝකයන් සියල්ල නිවා දැමීම මගින් අධික අඳුරක් ලබා ගැනෙන අතර, පන්දම් එහා මෙහා ගෙන යන විට, කාච වැස්ම මගින් පරෙස්සමෙන් කාචය වැසීමෙන් ඒවා අනාවරණය වීම වැළක්වා ගත හැකි විය.


නමුත් ඩිජිටල් සෙන්සරය මෙවන් අධික කාලයක් නිරාවරණය කර තැබීමේදී, එහි උෂ්ණත්වය ඉහළ ගොස් අනවශ්‍ය විශාල නොයිස් ප්‍රමාණයක් සෑදෙන්නට පටන් ගනී. එනිසා පටල පට ක්‍රමවේදය ඩිජිටල් සෙන්සරයට ආදේශ කළ නොහැකි වෙයි.


නමුත් ඩිජිටල් කැමරාව සමග සමගාමී , මෘදුකාංග භාවිතයෙන් පටලයට වඩා ඉහළ නිර්මාණ කර ගන්නට පුලුවන.


මා භාවිතා කලේ ද නිශ්චිත ස්ථාවර රාමුවක කැමරාව රඳවා, තත්පර 20 හෝ 30 හෝ අනාවරණ කාල යොදමින් ඡාවාරූප 30 - 40ක් හෝ විටෙක 60 - 70ක් පමණ හෝ ඊටත් වැඩියෙන් හෝ අනාවරණය කොට ගෙන, ඒ සියල්ල ෆොටෝෂොප් හි ලේයර් බ්ලෙන්ඩින් මෝඩ් හි ඇති විශේෂතාවයන්ගෙන් ප්‍රෙයා්ජනයෙන් එකට එක්කාසු කිරීමයි.
අප ආලෝක පින්තාරු පසුතලය මත සූදානම් වන්නේ හිරු බැස යන්නට පෙර ය. කැමරාව ස්ථාවර ව රඳවා, හිරු බැස ගිය ඔන්න මෙන්න තිබියදී පළමු රාමුව අනාවරණය කර ගනු ලැබේ. ඉන්පසු හාත්පස දැඩි අඳුර ගාල් වන තෙක් සිට, කෙළවරෙක සිට පියවරෙන් පියවර, කොටසින් කොටස විදුලි පන්දම් දෙකක් ආධාරයෙන් ආලෝක ගන්වමින් ඉදිරියට පැමිනෙන්නෙමු.


ඩිජිටල් සෙන්සරයේ වර්ණ උෂ්ණත්ව පරාස අනුව කෙල්වින් අංශක ප්‍රමාණය වෙනස් කිරීමෙන්, ටංස්ටන් බල්බයේ එළිය කහ පාටටත්, LED පන්දමේ ආලෝකය නිල් පාටටත් -සටහන් කර ගන්නෙමු. පසු සංස්කරණයේ දී මේ වර්ණ වෙනස තවත් වැඩි කර ගැනීමෙන් ඡායාරූපයට නාටකීය ස්වරූපයක් එකතු වෙයි.


අප ප්‍රධාන වශයෙන් මේ ආලෝකවත් කිරීම සඳහා භාවිතා කළේ විදුලි පන්දම් හතරකි.


අඩු බල ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත්, වැඩි ආලෝක බලයක් සහිත ටංස්ටන් සහ LED පන්දම් දෙකකුත් වශයෙනි. කැමරාවට කිට්ටු, විශාල ප්‍රෙද්ශ ආලෝකවත් කිරීම සඳහා විදුලි පන්දමේ මුහුණතට ආලෝක විසිරුමක් Diffuser යොදා ගතිමු.


කැමරා ක්‍රියාකරු සහ ආලෙක කරණය අතර සම්බන්ධිකරණය සඳහා අපි වෝකි ටෝකි 4ක් ද යොදා ගත්තෙමු.


මගේ මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු සහ එක ම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනයයි. නමුත් එය ලෝකයේ මුල් ම ආලෝක පින්තාරු ප්‍රදර්ශනය නොවන වග අවධාරණය කරන්නට කැමැත්තෙමි. නමුත් මා භාවිතා කළ තාක්ෂණය වෙනත් කිසිවකු භාවිතා කර නැති වග පමණක් දනිමි.එපමණක් ද නොව තව අවුරුදු ගණනාවක් ම යන තෙක් වෙන කෙනෙකුට තඉා මටවත් යළි මෙවැන්නක් කළ නොහැකි වනු ඇති. මන්ද එය එතරම් ම අධික මුදලක් වැය වන කාර්යයක් නිසා ය.


එමෙන් ම මවිසින් ඡායාරූපයට නගන ලද මේ දැවැන්ත පසුතලවල, විදුලි පන්දම් එළියෙන් නිර්මිත පළමු සහ එක ම ඡායාරූප සමුච්ඡය මෙය පමණක් ම වන්නේ ය..!!


විවිධ ජනමාධ්‍යයන් හි පළවන සමහර යෙදුම් අතිශයින් සාවද්‍ය ය. ඒවා ලියූ ලේඛක ලේඛිකාවන්ගේ ඡායාරූප ගැන දැනුම අල්ප වීමත්, මා කියන දෙය වෙනත් මානයකින් වටහා ගැනීමත් නිසා, සමහර කරුණු අමු අමුවේ ම වෙනස් වී තිබිණි.


නමුත් ඔවුන් ඒ සියල්ල කළේ මා වෙනුවෙනි. මට උදව් කිරීම සඳහා ය. රට පුරා සිටින ජනතාවට මගේ ප්‍රදර්ශනය ගැන කීම සඳහා ය.
එනිසා යම් පමණකින් හෝ එය නිවැරදි කරනු සඳහා මේ සටහන මෙසේ ලියා තබමි.


උපුටා ගැනීම අවසන්.


(ඉන්ද්‍රනාථ තේනුවර , ජූනි 01)




මේ තියෙන්නෙ බුකියෙ සර් හැමෝටම කරපු ආරාධනාව..

අපි නම් දවසම එතන ඉන්නවා. හැමෝම එන්න. ඇවිත් නවමු අත්දැකීමක පහස විඳ ගන්න එහෙනම්...

Monday, June 2, 2014

කුරිරු සොබාදහමද ? පැරණි කතාවක ආවර්ජනයක්

ඊයෙ දවල් පටන් ගත්ත වැස්ස මහ අනෝරා වැස්සක් වෙලා නතර උනේ අද උදේ පාන්දර තමයි..මම කාර්‍යාලයට එන්නෙ පාර දිගේ කිලෝමීටරයක් විතර ඇවිද ගෙන..භාගයක් විතර අස්වද්දපු කුඹුරු යායක් මැද්දෙන් මම එන ගමන නොහොම හෙමිහිට..දවසින් දවස නිලට නිලේ දශමෙන්ට් දශමෙ උස් වෙන ගොයම් ගස් දිහා බලා ගෙන හිත නිවා ගෙන එන මේ ගමන හරිම රසවත්..

අදත් සුපුරුදු විදියට වෙල් යාය දෙපැත්තම බැලුවහම මගේ බඩ පපුව පිච්චිලා ගියා...හිතෙන් මවා ගෙන ආපු කෙටි ගොයම් පැළ සේරම වහ ගෙන ගලා බහින වතුර  පාර මාව ඇඬෙව්වා..


මොහොතක් බලා ඉඳලා ජංගම දුරකතනය අතට ගත්තෙ ෆොටෝ එකක් ගන්න උනත්..මට ඒ දේ කරන්න වාරුවක් හිතට තිබුනෙ නෑ.. අද දවසම අඳුරු වෙලා තිබ්බා වගේ මගෙ හිතත් දවසම අඳුරින් බර වෙලා තියන්න මේ දර්ශනය හොඳටම ප්‍රමාණවත් උනා. මගේ ළඟම සහෘදයෙක් ගෙ කුඹුරු කෑල්ලත් එතන වතුරට යට වෙලා තිබ්බා උනත් පොදුවේ ගොවිතැනින් දිවිය සරි කර ගත්තෙ මගේ පවුලෙ අය කී සැරයක් මේ වගේ කුඹුරු ගං වතුරට අහුවෙලා ඊ ළඟ කන්නෙ එනකන් දුක් වින්දද කියන අතීතය මගේ හිත ඇතුලෙ සක්මන් කිරිල්ලත් එක්ක මට මේ කුඹුරු කරපු අයගෙ අද උදේ ඇතිවෙච්ච වේදනාවට සංවෙදී වෙන්න ලොකු දුර යන්න ඕනි උනේ නැ.


ඔය එක්කම මට මතක් උනේ ගිය අවුරුද්දෙ සිද්ධ වෙච්ච අලකංචියක් එක්ක මම ලියපු මේ ආත්මකථනය..මේකෙ ලියවෙන ප්‍රධාන සිද්ධියට මූලික උනෙත් මේ වගේම ගං වතුරකින් අපේ කුඹුරු යායම විනාශ වෙලා..බොහොම අමාරුවෙන් ගත කරපු කාලයක් තුල ම තමයි...

මතකද මම එදා ලියපු ඒ කතාව ?

------------------------------------------------------------------
මම කැමරාවද රැගෙන ඔහේ ඉබා ගාතේ යමින් සිටියෙමි. සිතට දැනුන යම් සිත්තමක් කැමරා කාචයේ තවරා ගනිමින් මා හෝරා ගනනාවක් ඇවිදිමින් සිටියෙමි. තිබහද දැනේ..කුසගින්නක්ද කොහේ හෝ සිට හිස ඔසවා ගෙන එනු දැනේ.


ස්වාභාවිකව ගලා ගිය දිය දහර හරස් කොට කෘතීමව තැනූ පොකුණ දැන් කාලයක් තිස්සේ පැවති නිසා එය අවට පරිසරයටම බද්ධ වී ඇතුවාක් මෙන් පෙනෙන ඉදිරියේ වූ උද්‍යානයේ පොකුණ අසලම වූ බංකුව මත මා හිඳ ගතිමි. කැමරා ආම්පන්න සහිත මල්ල පසෙක තැබූ මා හට පෙනුනේ මා අසලම තණ ගොල්ලේ හිඳ සිටින තරුණ වියේ පිරිසකි. අවුරුදු 15ත් 25ත් අතර විය හැකි යැයි සිතිය හැකි සමනල් රෑනක් බඳු ඔවුන් ඉතා ප්‍රීතියෙන් කෙලි දෙලෙන් හිනා වෙමින් කාලය ගත කරයි. ඔවුන්ගෙන් කීප දෙනෙක් අසල වූ පොකුණෙ නාමින් සිටී.


ජීවිතයේ සොඳුරුතම ඉසව්ව වූ යෞවනය...මේ පිරිසට කෙතරම් නම් ප්‍රීතිජනකද යන්න මා හට ඔවුන්ගේ කතා බහින් දැඟලිල්ලෙන් පෙනේ..ඇසේ..දැනේ..


දුප්පත් කමින් බර වූ පවුලකට හිමි කම් කී මාගේ යෞවනය ගෙවී ගියේ බොහෝ විට අධ්‍යාපන කටයුතු සඳහාත්..එයින් ඉඩක හසරක් ලද විටෙක යම් කුලී වැඩක් හෝ පතල් ගොස් කීයක් හෝ හම්බ කර ගැනීමට මිස...යහළු යෙහෙලියන් හා මෙසේ විනෝද  වීමට නොවේ.  ගමේ ගොඩේ දුවේ පැන ගිය සොඳුරු ළමා කාලයක් තිබුනත්...අඩුලුහුඬු කම් දැනෙන්න ගන්නා කාලය වන විට ජීවිතය කෙතරම් නම් අමාරුද යන්න මා වටහා ගත්තේ ඉතා ලාබාල අවදියේය. ඒ නිසාම අධ්‍යාපනය කෙරෙහි  මා තැබූ අති විශ්වාසය මා අධ්‍යාපනයේ කෙළවර කරා ගෙන යන්නට සමත් වූ බව ඉඳුරාම කිව හැකිය. නමුත් එය ආ මඟ... කිසිදා රෝස මල් ඇතුරූ මඟක් නම් නොවීය.  එහි වූ කටු පඳුරු වලින් තුවාල වූ තැන් බොහොමයක් අදටත් ලේ ගලන බව මා දැක ඇත්තෙමි..


එවන් කාලයක් ලද මා මේ තරුණ පිරිස ගැන හිතන්නේ කුමක්දැ යන්න මාගෙන්ම මා විමසූයෙමි.


ඉරිසියාවකි..


එය පැහැදිලි ඉරිසියාවකි.


අනේ මටත් මෙවන් තරුණ කාලයක් තිබුනා නම්...


එය ඉතා කෙටි කාලයකට මා සිත දරන සිතුවිල්ලයි. මා අද වන විට ගෙවා දැමූ 42 වසරක ජීවිතයේ ලද අත්දැකීම් රාශිය මත මා මෙවන් ඉරිසියාවක් වැනි ලද බොළඳ සිතුවිල්ලක් මා සිතේ ස්ථාපනය වීමට ඉඩ දෙන්නේ නැත.


සියල්ලම ඇතිවී , පැවතී, නැතිවී යන ලෝකයක..මා යනු පඤ්චස්කන්ධයක් තුලින් සිත තුල ගොඩ නඟා ගත් ඉහත කී උත්පාද, ඨිති, භංග වන ශර්‍රීර කූඩුවකි. තවත් මා යැයි සිතමින් ලොබ බැඳ ගැනීමේ චේතනාව හැකි උපරිමයෙන් ඉවත් කිරීමට වෙර දරන මා හට තවත් බැඳීම් , දුක් වේදනා අවශ්‍ය නොවේ..


ඔවුන් මට වඩා ඉතා වාසනාවන්තය..


පොකුණින් නාගෙන ආ පිරිස තණ පිස්සේ හිඳ වුන් පිරිස හා එකතු වෙයි. හීන්දෑරි හාදයකු ගිටාරයක් ගෙන වයන්නට පටන් ගනී. මට සිහින මලයා සිහි වේ.  මට සිනහවක් නැගෙන්නේ අප කෙලෙස විහිළු තහළු කලත්...වෙනී මාමේ කියා අමතන ඔහුගේ ප්‍රියශීලී බාවය මතක් වීමෙනි..


මා මොහොතකට දෑස පියාගෙන සුළඟ හා මුසුව එන ගිටාරයේ තත් හැඬවෙන නාදයට සිත යොමු කලෙමි..


ඉක්මනින් අසල වූ කඩයට ගොස් යමක් කා බඩගින්න මඟ හරවා ගෙන දවසේ ඉතිරියද කැමරාව තුලින් අවට දැකිය යුතුයි... නමුත් අපූරු තත් සර මාගේ කැළඹුනු සිතුවිලි නිවා දමයි...


මා කොතරම් වේලාවක් සිටියාදැයි නොදනිමි..


"එක්ස්කියුස්මී අංකල්"


මා තිගැස්සී දෑස විවර කලේ..සමහර විට මා සිටි බංකුවට තවත් අයකු පැමිණ ඉඳගැනීමට අවසර පතනවා වන්නට පුළුවන්ය යන සිතුවිල්ලත් සමඟය. මන්ද මාගේ කැමරා බෑගය බංකුවේ සෑහෙන ඉඩක් ගෙන තිබුනි. මේ සිතුවිල්ලත් සමඟම දෑස හරින ගමන් මා බෑගයද උකුලට ගතිමි.


"අංකල් අපි ගෙනාපු සැන්විචස් වගයක් තියෙනවා..අද අපේ ක්ලාස් එකේ අන්තිම දවසෙ පාටිය. මෙන්න අන්කල්ට සැන්විචස් ටිකකුයි ඩ්‍රින්ක් එකකුයි..."


අර තරුණ පිරිසෙන් මිදුනු තිදෙනකු මා අසල සැන්විචස් දීසියක් සමඟ සිසිල් බීම බෝතලයක් මා වෙතට දිගු කරමින් සිටී.


ස්තූති කර මා එය අනුභව කර එතනින් පිට වූයේ..කුමන අහ්ලාදජනක සිතුවිල්ලකින්ද යන්න මට තවමත් සතුටින් ආවර්ජනය කල හැක.


ජීවිතයේ කිසිදා නොදුටු නන්නාඳුන අයෙකුට වූවද ඔවුනට පෑ හැකි අමුතුම සෙනෙහසක් ඔවුන් තුල තිබුනි...


මේ අද කාලයේ ලයාදර තරුණයින්ගෙන් පිරිසකි..


ඔවුන් කල දේ ඉතා සුළු දෙයක් වූවත්...එහි ගැඹුර...ඔවුන් දනී නම්...

එය එසේ අවසන් වීය.


මා ඉදිරියේ ඇත්තේ විශාල ජල තලාවකි... විටින් විට නැගෙන මදනලෙන් පැන නගින රල පහරක් හැර අන් කිසිම තරංගයක් ජල තලය මත නොනඟී.. නිසල දිය ගැඹුරු බව මා අසා ඇත්තෙමි..එය එලෙස බව අවබෝධ කරගෙනද ඇත්තෙමි. ..


හිඳ සිටි තැනින් නැගී සිටි මා අසල වූ කැට කැබැල්ලක් ගෙන ජල තලය මතට වේගයෙන් දමා ගැසීමි. කැට කැබැල්ල ජල තලයේ ලිස්සා යමින් ඈතට ඇදෙන්නට වීය. ජල තලයේ එහා කෙළවර පිරිසක් යම් කාර්‍යයක් කරමින් සිටී. ඔවුන් මා හට අත වනන බව මා දෑස අගින් දුටුවෙමි. කැට කැබිලිත්ත අවසානයේ ජල තලයේ වැදී යටට යන ස්ථානය කෙරෙහි මා දෙඇස යොමු වෙද්දී...හරියටම එම ස්ථානයෙන් මහා ජල කඳක් පැන නැග්ගේ මුළු ජල තලයම කළඹිමිනි. මාගේ කුඩා කැට කැබැල්ල කලේ කුමක්ද යන්න සිතා ගන්නටත් පෙරම මාගේ ඉන තරමට ඉහල නැග ආ ජල කඳ මා නැගිට සිටි ස්ථානයෙන් මා ඔසවා බිම දැමූයේ කිසිම හිතක් පපුවක් නැති සේය. මා සියොළඟම තෙත බරිතව ඇත..


සිදු වූයේ කුමක්ද යන්න මා හට තවමත් සිතා ගත නොහැක.

සෙමින් සෙමින් නැවත ජලකඳ ජලාෂය තුල ඇදේ...එය නිසල වීමට කාලයක් ගත වනු ඇත..


එම කාලය තුල අවු රශ්මියට ගොස් මා හට තෙත බරිත වූ ගත වියලා ගත හැක..


මා සිත නැවතත් අතීතයට දිව යයි.


සැමදා මෙන්ම අකමැත්තෙන් වූවද රොටී කෑල්ලක් ලුණු මිරිස සමඟ ගිල දමන්නට එදාද උදෑසන සිදු විය... අකල් ගං වතුරින් අපට බත සරි කල කුඹුර විනාශ වී තිබූ කාලයක..කට දවන ලුණු මිරිසේ රසට කිසිම රසක් නොදැනෙන රොටී කෑම කුඩා මා හට ඉතා නීරස වීය. කෑවාද නැද්ද යන්න මතකක් නැතත්..ඒ ඉරිදා උදෑසන දහම් පාසලට ගියේ එය සැමදා කරන කාර්‍යයක් මිස වෙන වැඩි වටිනාකමක් නොදැනය.  සෙමින් සෙමින් කුසගින්න වැඩි වේ. මල් වට්ටිය ගෙන බුදුන් සිටි කුටියට ගොස් පූජා කරන විටා මා දෙනෙත ගැටුනේ ඊට මොහොතකට පෙර බුදුන්ට පූජා කල බුද්ධ පූජාවයි. කිරි හොද්දේ අල කෑල්ලක් පෙනෙන්නට තිබුනි. ඉඳිආප්ප, ආප්ප සහ තවත් වෑංජන කිහිපයක් කුඩා තැටි වල අසුරා තිබුනි. හවස් වන විට මේ සියල්ලම මල් අස් කරන කුණු ගොඩට යයි. කුසගින්න කිසිසේත් උසුලා ගත නොහැක... මූත්‍රා කිරීමට අවසර ගෙන මා හෙමිහිට රිංගා ගත්තේ බුදු කුටියටයි..මා හට බුදු පිළිමය දෙස බැලීමට නොහැක. බත් කුට්ටියක් ගෙන අල හොද්දේ පොඟවා මුව තුල බහා ගතිමි. රස නහර පිනා යයි. තවත් බත් ගුලි දෙකක් පමණ ගෙන මුව තුල ඔබා ගත්තා මතකය.


වැරෙන් ලද අතුල් පහරට මා විසී වී ගොස් අසල වූ පිළිමයක්ද පෙරලා ගෙන බිම වැටිනි.


පන්සලේ ඇබිත්ත මාමා මුළු දහම් පාසලේම සිසු සිසුවියන් මැදින් ඇද ගෙන ගොස් මා ලොකු හාමුදුරුවන් වෙත පෑවේය..එවිටත් මා අතේ ගුලි වී තිබුනු බත් ගුලිය නිසා මා වැරදි කරු වී හමාරය. වේවැලෙන් ලද පහර කීපයක් සමඟ මා බෝධිය අසල වූ ඝන්ඨාරය අසල රත් වූ වැල්ලේ දන ගසා ගෙන සිටියෙමි. රත්වූ වැලි කැට වලට දෙදණ පිලිස්සෙයි. කකුල් දෙක හරහා වැදුනු වේවැල් පහර වල වේදනාව ඇදුම් කයි. ගමෙන් භාගයකටත් වඩා වූ දහම් පාසැල් සිසු සිසුවියෝ සිනාසෙන්නේද නැද්ද යන්න මට නොපෙනෙන්නේ..මා බලා සිටින්නේ අසල වැටී ඇති වියළුණු බෝ පත් සහ ලා රත් පැහැ බෝ දලු දෙස පමණක් වන නිසාය. කිසිවකු අත යැවූ පණිවිඩ්යකින් අක්කා පැමිණ අඬමින් මා ගෙදර රැගෙන ගියාය.  ගමේ හිස ඔසවා ගෙන ගමන් කල ගොවියකු වූ කෝපාවිශ්ඨ වූ තාත්තා පේර කෝටු කීපයක්ම කැඩෙන තුරු මට තලා ගෙදරින් පිට ගියේය. මා හැඬුවාද යන්න මතක නැත. අවසාන වන විට මා හට හඬන්නට කඳුළු තිබෙන්නට නැත. කුස තුල නැගෙන්නේ කුසගින්නක් නොව වේදනාවකි.

කුලී වැඩට ගොස් හවස අම්මා එනවිට මඟදීම ඇයට කිසිවකු කථාව කියා ඇත.


" පේර කෝටු කැඩෙනකල් තැලුවා මිසක් එකෙක් හොයලා බැලුවද කොල්ලා උදේට කෑවෙ මොනවද කියලා ?"


අම්මා හැඬූ කඳුලින් තුවාල වූ තැන් වල බෙහෙත් ගැල්වූවාය...


ඊට පසු කිසි දිනක මා හට අම්මා රොටී කන්නට නොදුන්නාය. කෙසේ හෝ අල ගෙඩියක්, දෙල් ටිකක් හෝ කොස් ටිකක් තම්බා දුන්නා මිස...ඈ කිසි දිනක මා හට රොටී කෑමට වද නොකල බව මතකය. මුළු ගමම බුද්ධ පූජාව හොරෙන් කෑ එකා කියමින් අවමන් කලා මිස එය කෑමට පෙර මා කොතරම් බඩගින්නේ සිටියේද යන්න විමසූයේ නැත. අසල ගමේ වූ දහම් පාසලින් ධර්මාචාර්‍යය විභාගය සමත් වූ මා පසුව ගමේ පංසලේ එම දහම් පාසලේම වසර තුනක් ඉගැන්වීමේ කටයුතු කල බව මතකය. මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි..  වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..


දහස් වර කියවා ඇතත් අදටත් මනුතාපය කෘතිය කියවන මාගේ දෙනෙතට කඳුලක් නැගෙන්නේ මන්දැයි මා නොදනිමි. නමුත් දිය බිඳක් ඉල්ලන විට අනුකම්පා විරහිත ලෝකයෙන් ලැබෙන්නේ දිය බිඳක් නොවන බව මා දැන හිටියේ අද ඊයේ නොවේ..එදාද එලෙසමය..අදද එලෙසමය..


මෙයද කිසිවිටෙකත් අනුකම්පාව ඇයදීමක් නොවේ.. ඔබ මොහොතකට හෝ දෑස් පියා ගෙන සිටී නම් එය විවර කිරීමටය..වෙළඳ සමාජයක අනුකම්පාව යනු තවත් එක් වෙළඳ භාන්ඩයක් මිස හදවත පතුලින් නැගෙන සානුකම්පිත හැඟීමක් නොවන බව මට වැටහෙමින් සිටී...




විසල් ජල තලය මත තවමත් විසල් රැල නැගෙයි.  නැවත එය නිසල වීමට මහා කාලයක් ගත වනු ඇත.. මා ගත වියලීයාමටද බොහෝ වේලාවක් යනු ඇත.


වැවේ එහා ගොඩේ වැඩ කරමින් සිටි කෙනකු වැව් තලයේ වූ ගලක් බෝර දමා කැඩුවා යැයි  නොකීවා නම් මා සිතා සිටින්නේ මා විසි කල කැට කැබැල්ල මෙය කල බවයි.


සියළුම සංස්කාරක ධර්මයන්ගේ පවතින්නේ මේ අනිත්‍යය බවයි.

මම ඔබට කියන්නෙමි.. නැත සහෘදය මෙය  දහසකුත් එකක් චරිතයන්ට පන පොවන අවජාතක ආරච්චිලාගේ ලියන්නාගේ කතාව නොවේ.

ඔබගේ පපුවට අත තබා බලන්න..ආන්න එලෙසම ගැහෙන රිදවෙන හදවතක් හිමි වෙනීගේ කතාවයි, මේ ලියවෙන්නේ..


එවිට අන් අයකු මෙය ලිවීමට තම කාලය හා ශ්‍රමය වැය නොකරනු ඇත...


මා ජල තලය නැවතත් නිසල වන තුරු බලා සිටින්නෙමි.


නැතහොත් සසල ජල කඳ අත හැර දමා ඒ වෙනුවට සයුර අසල නිරතුරුවම බිඳෙන ජල තලය අසලට වී කාලය ගත කරන්නට අදිටන් කර ගත්තෙමි.
-----------------------------------------------------------------
ඔහොමයි ඒ කතාව එදා ඉවර කලේ..ඉවර කලා කිව්වට කොමාවක් දැමුවෙ...මේ කතාවෙ කියපු කාරනා අද වෙන කොට කොයිතරම් නම් වෙනස් වෙලාද කියලා හිතන්න කාලෙ හරි කියලා මට හිතුනත්...එහෙම හිතන හැම වෙලාවෙම මගේ හිත අරක් ගන්නෙ අර පුංචිම පුංචි ගොයම් ගස් උඩින් ගලා ගෙන යන දුඹුරු පාට වතුර කඳම තමයි...

අපේ දෙමවිපියො සොබා දහම එක්ක ගැටිලා..ඒකෙන් බැට කාලා ආයිත් ඒකට වෛර නොකර බොහොම අකම්පිතව ඒ දේ කලත්...ඒ හුරුව අපිට නැත්තෙ ඇයි..කියන මහ ලොකු ප්‍රශ්ණය හිත ඇතුලේ කරකැවෙන්නෙ මහ සුළි කුණාටුවක් වගේ..

Saturday, May 17, 2014

හිට්ස් නම් තම්බලා කන්ඩද ? හෙවත් ආදරබර ස්තූතිය.. Thank you Very much !

මාස 34ක් තිස්සෙ එක දිගටම මේක ඇද ගෙන එන්න පුළුවන් කම තිබ්බෙ මේක බලන්න ආපු මගේ ආදරණීය රසිකයො ටික නිසාම තමයි. මම කවදාවත් ඇස් මට්ටමේ එල්ලා ගන්න නොහිතුව , නමුත් මුල කාලෙ නම් එහෙම එල්ලලා තියා ගෙන හිටිය ලියන්නව කියවන්න ආපු ගණන අද වෙනකොට ලක්ෂ දෙක පැනලා. ඒ නිසාම ඔන්න අහම්බෙන් ඇහැ ගැටිච්ච ඒ ඉලක්කම එල්ල ගත්තා ඇස් මට්ටමේම. 

 සිංහල බ්ලොග් අවකාශයේ කියවන අයව බොහොම වේගයෙන් ආකර්ශනය කර ගන්න පුළුවන් එක මාතෘකාවක් තමයි  දේශපාලනය..තවත් කෙටින්ම කිව්වොත් පවතින ආණ්ඩුවට විරුද්ධව මතයක් දරා ගෙන ඒ සම්බන්ධව ලිපි ලිවීම.ගොඩක් අය ඒ වගේ ලිපි කියවන්න තමයි කැමති. ඒ වගේමයි ඒ වගේ ලිපි කියවලා මතවාද, සංවාද ,විසංවාද ගොඩ නගා ගන්න තමයි බහුතරයක් කැමතියි..සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් වලින් නම්  ඉහලින්ම තියෙන්නෙ ඒ වගේ බ්ලොග් කිහිපයක් තමයි. මම උනත් වැඩියෙන්ම කියවන්නෙත් ඒ වගේ ලිපි තියෙන බ්ලොග්ම තමයි.

ඒත් මම ලියන්ඩ  අකමැතිම මාතෘකාවත් දේශපාලනය තමයි. ඒක මගේ පුදගලික අකමැත්තක් මිසක් වෙන හේතුවක් නෑ..ඒ වගේමයි ඉතින් මම එහෙම දේශපාලන ලිපි ලිව්වා නම් මේ බ්ලොග් එකේ හිට 20කට 30 කට එහා යන්නෙ නෑ මේ වෙනකම් මොකද එච්චරටම නීරස වෙයි..මට එහෙම ලිපි ලියන්ඩ හැකියාවක් නෑ ඒකයි හේතුව..

ඒ නිසාම මගේ බ්ලොග් ලිපි පිරිලා තියෙන්නෙ මගේම ජීවිත අත්දැකීම එක්ක මිශ්‍ර වෙච්ච කෙටි නිර්මාණ ගොන්නකින් කියනඩ පුලුවන්. එහෙම බහුතරයක් ආකරෂනය කර ගන්ඩ බැරි මාතෘකා ගොන්නකින් ලියලා හොයා ගත්ත ලක්ෂ දෙක මට හරියට වටිනවා... 

කොයි තරම් කාලයක් ගියත් අතීතය නම් අමතක වෙන්නෙ නෑ..මම පටන් ගත්තෙ ලියන්න අවුරුදු ගානකට ඉස්සර මොනවා හරි දෙයක් සර්ච් කරන කොට අපේ චතුෂ මල්ලිගෙ මාරයගේ හෝරාව අහම්බෙන් ඇහැ ගැටුනා..ඒතනින් කියවන්ඩ පටන් ගත්තා..ලින්ක් හරහ සහ ගූගල් වලින් සර්ච් කර කර කියෙව්වා..අවුරුදු ගණනාවක්ම..මම ලියපු පළමුවෙනි කතාව පළ උනේ නම් අන්තිම පේළිය සයිට් එකේ..ඒකට කතා 10 ක් විතර ලියලා තමයි මම මේ ලියන්නා බ්ලොග් එක හදා ගත්තෙ..මුල්ම කමෙන්ටුව දැම්මෙ ඉතින් ආයි වෙන කවුරුත් නෙවෙයි කතන්දර ..මම කියන විදියට කශූ..

ඔහොම පටන් ගත්ත එක.. පෝස්ට් තුන් සිය ගානක් වෙලා කමෙන්ට් මහ බර ගානක් වෙලා..හිට්ස් උනත් ලක්ෂ දෙකක් වෙච්ච එක මට අහිංසක ආඩම්බරයක් තමයි. ඒ වගේමයි මේ බ්ලොග් එක හරහා සහ බුකිය හරහා පටන් ගෙන ඇත්තටම හමු වෙච්ච මිතුරු මිතුරියො කන්දරාව.. මම හිතුවෙ නෑ බොහොම පොඩියට පටන් ගත්ත මේ බ්ලොග් එක හින්දා මෙච්චර දෙයක් වෙයි කියලා නම්..

මෑතදීම සිද්ද උනේ..මම එම්සී එකට ගියා ලැප් එකට අවශ්‍ය බඩු වගයක් ගන්න. යුනිටි එක යට තියෙන පෙරේරා ඇන්ස් සන්ස් එකෙන් අයිස් කෝපි එකක් බීලා එළියට එනකොට මාත් එක්ක හිනා වෙච්ච හාදයා...
ඔහු  කතා කරලා අඳුන්වලා දුන් නිසාවෙන දැන ගත්තෙ අජිත් කියන ඔහු මගේ බ්ලොග් එක මුල කාලෙ ඉඳලම කියවපු කෙනෙක්..ඒ වගේ සිදුවීම් අනන්තවත් උනා මේ පොඩි කාල සීමාව ඇතුලෙ...

පහු ගිය කාලෙ තිස්සෙම වැඩ අධික වීමත් එක්කම බ්ලොග් එක ලියන එක සහ සහෘද බ්ලොග් වල කමෙන්ට් දමන එක පොඩ්ඩක් අඩු උනත්.. ආයිමත් මේ වැඩ ටික එහෙ මෙහෙ උන ගමන්ම පටන් ගන්න ඕනි ඒක..
හිට්ස් තම්බලා කන්ඩද කියලා ටොපික් එක දැම්මට හිට්ස් සහ කමෙන්ට් වලින් එන ආත්ම තෘප්තිය නම් මිල කරන්න බෑ..ඒ සතුටම තමයි නැවත නැවතත් මොනවා හරි ලියන්න කියලා අපේ හිත උනන්දු කරවන්නෙත්..
එහෙනම් මාත් එක්ක මේ වෙනකම් හිටිය මට ලොකු හයියක් වෙච්ච මගේ සහෘද කැලට මගේ හද පිරි ගෞරවාන්විත ස්තූතිය මෙහෙම පුද කරන්නම්...

http://herbtrends.com/6-medicinal-flowers/

Tuesday, May 13, 2014

පුංචි පුංචි වෙසක් තොරන්.. Wesak Pandols at oura childhood



වෙසක් මාසෙ කියන්නෙ අදටත් අපිට බොහොම ප්‍රීති ජනක කාලයක් තමයි. දැනට නම් ඒකට මූලික හේතුව වෙන්නෙ නිවාඩු හම්බ වෙන එක උණාට ඉස්සර කාලෙ නම් වෙසක් කාලෙ කියන්නෙ වෙසක් කූඩු හදන එකයි වෙසක් බලන්න යන එකයි දන්සැල් වන්දනාවයි තමයි වෙසඟේ හොඳම හරිය උණේ..ජීවිතේටම දෙසැරයක් සිල් අර ගෙන තිබුණා උණත් පොඩි අපිටම තේරිලා තිබ්බා සිල් අරගෙන කඩන එකට වඩා සිල් නොගෙන කැඩෙන්න අරින එක පව ටිකක් හරි අඩුයි කියලා. ඒ හින්දමයි ඉතින් සිල් නොගත්තෙ පස්සෙන් පහු..

අට පට්ටම්, තරු, නෙළුම් මල් සහ අහස් යාත්‍රා හදන එක හැමදාම සාමාන්‍යකරණය වෙච්ච දෙයක් උණු අපි දෙසැරයක්ම කොල්ලො කාණ්ඩෙ එකතු වෙලා තොරන් හැදුවා. ඔය තොරන් හැදිල්ලෙ කතන්දර දෙකම බුද්ධාලමබන ප්‍රීතියක් එක් කරමින් අවසන් නොවුන බව නම් මතකයි. 

මේ හතර අතේම බැලුවත් තියෙන්නෙ බුද්ධාලම්බනප් ප්‍රීතිය වෑහෙන දේවල් හින්දම මම හිතුවේ අපේ මේ තොරන් වෑයම් දෙකේ කතාව කියලා දාන්ඩයි ඔන්න ඔහේ. කට්ටිය එහෙනම් සාධු කාරයක් දීලම කියොවන්ඩ පටන් ගත්තා නම් හොඳා නේද ?

මුලින්ම හදන්න ගිය තොරණ තමයි ආලවක දමනය..

ඔය කාලෙ අපි ඉස්කෝල හය නැත්නම් හත ශ්‍රේණියෙ වෙන්න ඇති..ඔය වයසට තියෙන උණක් නේ ඉතින් ඔය වගේ වැඩක් කරන එක..
අපේ යාළුවෙක් වෙච්ච සුගත්ලගේ පාළුවට ගියපු ඉඩමක් ශුද්ධ කරලා ගත්තා වැඩේට. මෙතන තමයි හොඳම මොකද ගමේ පන්සලට යන පාරවල් කීපයක්ම එකතුවෙන තැනක තමයි මේ ඉඩම තිබ්බෙ...කොහෙන් පන්සල් ආවත් මේ පාර ඉඩම ළඟින් යන්න වෙන නිසා බලන්න එන අයගෙන් අඩුවක් තියෙන්න විදියක් නෑ..ඉඩම ශුද්ධ කරලා වැඩේ සැලසුම් කළා. ළඟම තිබ්බ ගල් තලාවෙ බුදු හාමුදුරුවො තියමු. එතන පහළ තියෙන වල වගේ ප්‍රදේශය ආලවක යකාගේ විමානය හදමු...කියන සැලසුමට තමයි වැඩේ කරන්න පටන් ගත්තෙ. කට්ටියක් බුදු හාමුදුරුවන්ගෙ සැකිල්ල හදලා කාඩ්බෝඩ් වලින් ඒක ආවරණය කළා..

අපි කට්ටිය ආලවක යකාගෙ විමානෙ හැදුවා කාලා දාපු මළ මිනී වල කෑලි, ඇට සැකිලි වගේ එව්වා හදන එක කොහොමත් ලේසි වැඩක්නෙ.. ඔය අතරේ අපේ රට ගිය යාලුවෙක්ගෙ තාත්තා එයාගෙ දුවට ගෙනත් දීලා තිබ්බ මහ ලොකු බෝනික්කව අර ගෙන ඒකට රජ ඇඳුම් අන්දවලා ආලවක කුමාරයා බවට පත් කළා. තොරණේ ප්‍රධානම කාරණය වෙච්ච ආලවක යකා හදන එක අන්තිමට තියා ගෙන අනිත් සියල්ලම ලහි ලහියෙ වැඩ ඉවර කළා...

මේ කතාවෙ ඊළඟ චරිතය සිමියොන් මාමා ගමේම මුල් පදිංචි කාරයො වෙච්ච ඒ ගොල්ලො ගමේ හිටිය නම ගිය චණ්ඩි රැළෙන් එක් කෙනෙක් තමයි සිමියොන් මාමා. ඇඟ පුරාම තිබ්බ මයිල් නිසා නැති තැන හැමෝම කිව්වෙ යකා කියලයි..

ආලවකයා හදන එක ඇර අනිත් වැඩ ටික ඉවර වෙන කොට හතර වටින්ම කලුවරත් වැටී ගෙන වෙසක් සඳ පායා ගෙන එන වෙලාව. ඔය කාලෙ වෙනකොට අපේ ගම්තුලානට ලයිට් හම්බ වෙලා තිබ්බ නිසා ළඟම තිබ්බ සයිමන් මාමලගෙ ගෙදරින් වයර් ඇදලා අපි ලයිට් පත්තු කර ගෙන වැඩේ පටන් ගත්තා ආලවක යකා හදන්න...

දවසම වැඩ කරලා හැමෝම තෙහෙට්ටුව නිසා ආලවක යකා හිතපු තරම් ඉක්මනට හැදෙන්නෙ නැති පාටයි..මුලින්ම හදපු ලී රාමුවේ කළු පාට කරපු ගෝනි පඩංගු ඔතලා එහෙම යකාගෙ ඇඟ ටිකක් එහෙන මෙහෙන් හැඩේ ගත්තා..

"මේක වෙලාවට හදා ගන්න පුළුවන් වෙයිද බන් ?"

එතකොටත් ගමේ හිටිය අය සිල් පවාරණය කරලා ආපු යන්ඩ පටන් අරගෙන..යන එන අය පොඩ්ඩක් නැවතිලා බලන් ඉන්න සයිස් එකක් තිබ්බෙ..

විවෘත කරන්න තිබ්බ කොටස විතරක් පොඩ්ඩක් වහලා තිබ්බට අනිත් ප්‍රදේශයම එළියෙ..

"සේරමත් හරි මේ යකාව හදන එක තමයි අමාරුම වැඩේ..අපිට තිබ්බෙ අනිත් වැඩ යන අතරෙ යකාවත් හදන්න.."

වැඩ වලදි මූලික වැඩ කොටස කරටම අර ගෙන කරපු කමල් පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න ගමන් එහෙම කිව්වා

ඔය අතරේ අතුල

"මම කියන්නද මීට වඩා හොඳ වැඩක්"

"කියහන්කො එහෙනම් "

"අපි මේ යකාව හදන වැඩේට මහන්සි නොවී සිමියොන් මාමට කීයක් හරි දීලා මෙතන හිටවලා තියමු"

හිනා කන අස්සෙ 

"කවුද ගිහින් ආරාධනා කරන්නෙ ?"

"හිටහල්ලා මම කරන්නම්"

කියලා මහ හයියෙන් කියා ගෙන එතනින් වේගයෙන් ගියේ සිමියොන් මාමගෙ පුතා..

අපි දුටුවෙත් නෑ මිනිහා බලන් ඉන්න සෙනඟ අස්සෙ ඉඳලා..

"අප්පට සිරි වැඩේ වකූර් වගේ මූ ගිහින් කියයිද ?"

"කියව්වෙදෙන් අපිට මොනා කරන්නද ?"

කියලා කිව්වට අපි හැමෝම පොඩ්ඩක් තිගැස්ස්මෙන් තමයි හිටියෙ. මොකද නාහෙට නාහන තිරිසනෙක් තමයි සිමියොන් මාමා කියන්නෙ..
කීවත් වගේ යකාගෙ දකුණු කකුල හදලා ඉවර වෙන්න ඔන්නෙ මෙන්න තියෙද්දි කුණුහරුප වැලක් කියා ගෙන කඩුවත් අරගෙන තොරන් භූමියට ඇතුළු උණේ සිමියොන් මාමා,

බුදු හාමුදුරුවො ඇරෙන්න කඩුව පොවන්න පුළුවන් හැම තැනක්ම කඩු ගාලා දාපු සිමියොන් යන්ඩ ගියේ තවත් කුණු හරුප වැලක් කියලම තමයි.

අන්තිමේ තොරන් පොළ තිබ්බෙ චතුරංගනී සේනාවට අහු වෙච්ච පරාද වෙච්ච යුද පිටියක් දිහා බොහොම සොවෙන් බලන් ඉන්න බුදුහාමුදුරුවන්ගෙ පිළිමය තමයි..

අපිට කරන්ඩ දෙයක් තිබ්බෙම නෑ. වයර් වලින් ඇදපු ලයිට් වලින් පැත්තම එළිය වෙලා තියෙද්දි, අපි ආලවක දමනය කියලා ගහපු බෝඩ් එක වෙනස් කළා

ආලවක විනාශය කියලා..

මුළු ගමම දොස් කියද්දි පස්සෙ සිමියොන් මාමා රුපියල් දෙසීයක් එවලා තිබ්බා වෙච්ච පාඩුව පියවා ගන්න.පහු වෙනිදා පංසලේ තිබ්බ පිංකම අස්සෙ ඔය රුපියල් දෙසීය මෙහෙම ආධාර පත්තරේකට එකතු වෙලා තිබ්බා

"සිමියොන් මාමට නිවන් සුව පිණිස රු. 200ක ආධාරයක් කරන්නෙ එතුමාගේ සුපින්වත් පුත්‍ර රත්නය නිමල්"

ඔය තොරණෙ කතාව අමතක වෙලා යනකන් ඉඳලා අපි සෙට් එකට ආයිමත් හැදුනනෙ තොරන් පිස්සුව..මෙදා පාර හදන්න ගත්තෙ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන සිද්ධාර්ථ උත්පත්තිය..

මහා මායා රැජින සල් අත්තක් අල්ලා ගෙන ඉන්නවා..වටේ සුදු තිර ඇදලා පරිවාර ස්ත්‍රීන් ඉන්නවා. අර සුදු තිර අතරින් මතුවෙන සිද්ධාර්ථ කුමාරය හෙමි හෙමිහිට නෙළුම් මල් හතක් උඩින් පා තබලා ගිහින් අන්තිම හත් වෙනි මල උඩ ඉඳලා අග්ඝෝ හමස්මි ලෝකස්ස..කියන උදාන වාක්‍යය කියනවා.. සරලයි එච්චරයි..

මේකෙත් සම්පූර්ණ යාන්ත්‍රික වැඩ ටික කරලා දුන්නෙ කමල්..සියල්ලමම විවෘත කිරීමට සූදානම්...යාන්ත්‍රික නොවන කොටසක් උණේ අර උදාන වාක්‍යය කියන එක සිදුහත් කුමාරයා මුල්ම නෙළුම් මලට වැඩලා තත්පර හැටකින් තමයි ඔය ගාථාව කියන කැසට් එක අතින් ආරම්භ කරන්න ඕනි. නැතිනම් ඔන් කරන්න ඕනි..ඊළඟ ටර්න් එකට විනාඩි පහක් විතර තිබ්බා..එතන තිබ්බ තිරය වහලා ආයිමත් මුල ඉඳන් පටන් ගන්න..

අපි මේක විවෘත කරන්න ආරාධනා කරලා තිබ්බෙ ගමේ හිටිය ලොකු මැණික් මුදලාලි කෙනෙකුට..

සේරම හරි..පන්සලෙ හාමුදුරුවො පන්සිල් දීලා අපේ කොල්ලො සෙට් එකේ ගුණ වරුණාවකුත් කරලා..ආරාධිත අමුත්තා මේක විවෘත කරන්න ස්විච් එක එබුවා..හෙමිහිට තිරය විවෘත උණා..පාට පාට ආලෝකයෙන් වර්ණවත් වෙච්ච ස්ටේජ් එක උඩ...පැත්තක සල් මල් පිරිච්ච ගහ ළඟ සුදු පිරිවට වලින් වැහිච්ච මහාමායා දේවිය..දෙපැත්තෙන් පරිවාර කාන්තාවො....සාධු සාධු හඬක් එක්කම..හෙමිහිට චර චර හඬක් එක්ක..අර සුදු පිරිවට අතරින් සිදුහත් කුමාරයා තම සුරත අහසට නංවා ගෙන පිරුවටය ළඟින්ම තිබ්බ නෙළුම් මල උඩට පාද තැබුවා..
මුලින් අපි හිතුවෙ සුළඟට වෙන්න ඇති කියලා මහාමායා දේවිය වට කරලා තිබ්බ සුදු පිරිවටය එහෙ මෙහෙ වෙන්ඩ ගත්තා..

අපොයි දෙයියනේ !

සිදුහත් කුමාරයාගේ පහළ දමන් හිටි අතේ ඇඟිල්ලකට අර සුදු පිරිවටය පැටලිලා..ඕක ගැන වගේ වගක් නැතුව උන්නාන්සෙ මෙන්න වඩිනවා ඊළඟ නෙළුම් මල උඩට..ක්‍රියාත්මක කළාට මැදින් නවත්තන්නෙ කොහොමද කියලා නොදන්න අපි තුෂ්ණිම්භූත වෙලා ඉද්දිම ඊළඟ මොහොතේ බලන් හිටි නරි කොලු රැලගෙන් ආවෙ මහ හූවක්...
මොනවා කරන්නද සිදුහත් කුමාරයා දේවිය වට කරලා තිබ්බ පිරුවටයත් අරගෙනම හතර වෙනි නෙළුම් මලට පාද තිබ්බා...අපි හරි හමන්වට හදලා තිබ්බෙ මහාමායා දේවියගේ පිරිවටයෙන් උඩ කොටස විතරයි..යට කොටස සාමාන්‍ය ගහක කොටයක් තිබ්බෙ.. මේ හාන්කවිශියක්වත් නොදන්න උදාන වාක්‍යය ගාථාව දාන්ඩ හිටි හාදයා සිදුහත් කුමාරයා හතර වෙනි නෙළුම් මල උඩ ඉද්දිම කැසට් එක ඔන් කළා...

හාමුදුරුවන්ටත් හිනා..
ගමම හිනා කනවා..
කොහෙන්ද දුවන් ආපි කමල් ඉස්සරහ තිරය වැහුවා..

ඊළඟ දවස් තුනේම ඕක පෙන්නපු හැම සැරේකම හිටපු එකෙක් හරි හිනා නොවී හිටියෙ නම් නෑ ඔය සිද්ධියට..

ඔයින් මත්තට අපේ සෙට් එක තොරන් හැදුවෙත් නෑ.

එහෙනම් හැමෝටම සුබ වෙසඟක් වේවා ! 

Sunday, May 11, 2014

මගේ නොවන හිත සොරා ගෙන....



---------------------------------------------------------------------------------------------------------------------
"ලියන්නා ඔය ඕෆ් වෙන්නද හදන්නෙ ? තවම ඕෆ් වෙන වෙලාව ආවෙ නැහැ නේද? "


"සර් මට හරියටම දහයට තමයි බස් එක තියෙන්නෙ..ඒක මිස් වුණොත් ඊ ළඟ බස් එකට යන්න බැරි වෙනවා සර් ඒකයි මගේ වැඩ ටික ඉක්මනට ඉවර කළේ"


"වැඩ ටික උඩින් පල්ලෙන් ගහලා දමන්න ඇති..කෝ දැන් හෙට ඕනි කරන රෙකෝර්ඩ් ටික. බලනවා ඒ ටික කරලා නෑ. "


"සර් ඔය අද ෆයිල් එක. හෙට ගන්න ඕනි ෆයිල් එකේ සේරම දමලා ඇති"


"තමුසෙලා ජොබ් එකට එනකොට නම් කලින් යන්න දඟලන කතන්දර නෑ..කියන වෙලාව එනකන් ඉන්නවා කියලයි එන්නෙ. සෙට් කර ගන්නවකො මේ අහල පහළ බෝඩිමක්. හොයා ගෙන තියෙන්නෙත් කොළඹ අන්තිම කෙළවරේ.."


බොහෝමයක් පුද්ගලික ආරක්ෂක සේවාවල රැකියා ජීවිතය  මෙහෙම තමයි.. හොඳම ලොක්කෙක් ලබන්න නම් වාසනා කරලා තියෙන්න ඕනි.. පිළිතුරු දෙන්න ගිහින් මේ වාදය දිග්ගස්ස ගෙන මට අන්තිම බස් එක වරද්දා ගන්න බෑ..ඒ නිසාම නිහඬ බව අවස්ථානුකූලව උචිත යැයි මට වැටහී ගිය බැවින්.. 


....ලියන්නා පුතා ඔයා මොන අවස්ථාවට මුහුණ දුන්නත් ආයි ආවේගශීලී වෙන්න නම් බෑ..ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් මුලින්ම හිතන්න ඒ අවස්ථාව කොයි තරම් වෙලාවක් දරා ගන්න වෙයිද කියලා ඔයාම අනුමාන කර ගන්න. ඊට පස්සෙ ඒ කාලයට හරි යන්න යම්කිසි ගානක ඉඳන් අවරෝහණ ක්‍රමයට හිතෙන් ගණන් කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම දැනෙයි ඔයාගෙ ආවේගශීලි බව අඩු වෙනවා.. ඊට වඩා මන් කියන්න ඕනි නැහැනෙ.අපි මෙච්චර දවස් ඔයාව දැනුවත් කරපු දේවල් මතකයේ තියා ගන්න... 


ගුරු පියාණන් කෙනකුගේ බඳු එම වෛද්‍ය ඔවදන් එදින පටන් මාගේ ජීවිතාරක්ෂකයෙකු බවට පත්වූ ආකාරය නම් ඉතා පුදුමාකාරය.


50,49,48,47,46,45…….


"තමුසෙ හෙටවත් වෙලාවට එනවා.. දැන් දවස් කීයක් පරක්කු වෙලා ආවද?"


37,36,35,35,34,.......


"අන්තිම චාන්ස් එක තමයි මේක..මන් හෙඩ් ඔෆිස් එකට දන්වල යවනවා එතකොට ඉවරයිනෙ.."


20,19,18,17,....


"එකෙක් මෙහෙම කරනකොට මන් කොහොමද අනිත් අයව කන්ට්‍රෝල් කරන්නෙ?"


10,9,8,7,6,5,..


"හොඳයි සර් මන් එහෙනම් යනවා.. ගුඩ් නයිට් ! "


"හ්ම්..."


එක අතක ඇති දිගු කුඩයට වාරු වෙමින් මම හනි හනිකට බස් නැවතුම වෙත පිය නැගුවෙමි..මීට සති කීපයකට ප්‍රථම මගේ ප්‍රධානියාට අවශ්‍ය ආකාරයට මගේ හෘද්‍යසාක්ෂිය විකුණූයේ නම් මෙවන් අසාධාරණ වූ දෝෂාරෝපණ වලට ලක් නොවන්නට ඉඩ තිබිණි. මස් රාත්තලම ඉල්ලන සමාජයක නියම කොටසක් වූ වර්තමාන ප්‍රධානියාගෙන් මීට ප්‍රථම සිටි ප්‍රධානියාගෙන් මෙන් කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වීම ඉදිරියේ පසුතැවිලි වීමට හේතුකාරක විය හැකි බැවින් එය ඉවත දමා බොහෝ කල්ය. මගේ වැරදි වලට බනින කොට නම් එය හදා ගන්න බැරියැ..මට අදාළ නොවන බැණුම් මා කනකට වත් නොගන්නේ එම හේතුව නිසාය. 


අද දින නම් බසය වෙනදාට වඩා සෙනඟ පිරී ඇත. සහතිකවම මීට පෙර පැමිණිය යුතුව තිබූ බසය අවලංගු වන්නට ඇත. විනාඩි 45කට වඩා යා යුතු වූ දුෂ්කර ගමන.. සීට් එකක් අයිනට වුණා නම් එක් කකුලක් සීට් එකට හේත්තු කරගෙන ටිකක් හරි පහසුවෙන් ඉන්න පුළුවන් වෙයි යන සිතුවිල්ලත් සමඟ මා බසයට නැගුනෙමි. විනෝද චාරිකාවකට හෝ එවන් ගමනකට  ගොස් ආපසු එන තරුණ පිරිසකින් බසය පිරී ගොස් තිබුණි. පාසල හැර ගිය සැනින්ම රැකියාවට යොමු වූවායැයි සිතිය හැකි තරුණ තරුණියන් පිරිසකි ඒ. නවීන පන්නයට නෑකම් කියමින් යාන්තමින් විලි වසා ගත් ඔවුන්, ඔවුන්ගේ ලෝක වල සිනා සලමින් බසය ඔවුන්ගේම කර ගනිමින් දඟලමින් පිස්සු කෙළිමින් සිටියෝය. බසයේ පසු පස දොරටුවෙන්  නැගි මා බසය පුරා බැල්මක් හෙළුවේ මදක් හෝ පහසුවෙන් හිට ගෙන යා හැක්කේ කොතනද යන්න සෙවීමටය. බසයේ ඉදිරියේම අසුන ළඟ මද ඉඩක් පෙනෙන්නට තිබුණි. ඉතා සීරුවෙන් බසයේ අසුන් අතර දෙපේළියට සිටින සැමගේම නොරිස්සුම් බැල්මන් ඉවසා ගනිමින් මම හෙමිහිට මගේ ක්ෂේම භූමිය අසලට ඇදුනි. මට අවැසි තරමට එතැන ඉඩ තිබුණත්..ඒ ළඟම සිටි තරුණියන් රොත්ත මා දෙස බලන්නට වූයේ මහත් නොරිස්සුමකින් මෙනි .

"එක්ස්කියුස් මී මිස්.."


කොඳුරමින් මා මගේ ආරක්ෂිත ස්ථානයට පැමිණීමට හැකි විය. බසයේ උඩ ඇති රාක්කයට බෑගය දැමූ මා දිගු සුසුමක් හෙළමින්.. ඉදිරි අසුන හා බසයේ රියැදුරු අතර ඇති වැට මතට මගේ බර යාන්තමින් සැහැල්ලු කළේ දකුණු කකුලෙන් පැමිණෙන වේදනාව දරා ගනිමිනි. අත තිබූ කුඩය එම කකුලට ආධාරකයක් වන සේ තබා තරමක සැහැල්ලුවක් ගත් මා දෑස පියා ගත්තේ... මද හෝ සැනසීමක් ගැනීමටයි. 



බසය පුරාම පැතිර යන කෙළිලොල් හිනා හඬ කියා පාන්නේ වගකීමක්, බරක් පතලක් නැති සොඳුරුම සොඳුරු තරුණ දිවියේ ප්‍රීතිමත් ස්වභාවයයි.. කෙළි කවට හිනා හඬ මා සිතට දැනෙන්නෙ දවස පුරාම වූ තෙහෙට්ටු ගතිය පලවා හරින ඖෂධයක් ශරීරය පුරා ගල්වන්නාක් මෙන් හැඟීමකි. වරින් වර නැගෙන පාදයේ වේදනාව මදින් මද දුරස් වේ.. බසය රළු පාර පුරා උඩ පනිමින් එහාට මෙහාට පැද්දෙමින් ඇදෙන්නේ කුඩා කොලු ගැටයෙකු මවගේ සුරතින් මිදී පාර පුරා දුවයන හිතුවක්කාර ගමන් විලාසය සිහිපත් කරමිනි. දෑසට දැනෙන කෙඩෙත්තු ස්වභාවය නිවා ගැනීමට මා දෙනෙත් වසා ගත්තේ..හෙටින් එළඹෙන සතිය පුරාවට මා අනිවාර්යෙන්ම කළයුතු කාර්යයන් සිහිපත් කර ගැනීමට උත්සාහ දරා ගනිමිනි. හෙට උදෑසනින්ම සේවා ස්ථානයට පැමිණිය යුතුව ඇත. මා සිත තුල කිසිම ක්‍රෝධයක් නැතත් මාගේ ප්‍රධානියා යම් විවේචනයක් ප්‍රධාන කාර්‍යාලයට දැන්වුවහොත් අලි මදිවට හරක් සේ තවත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වනු නියතය. වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඉඩක් ඇත්තේම නැත . දැනට තිබෙන වියදම් සහ ලැබෙන පඩිය තුලිත කරන්නට සිදු වන නිසාම දුර ප්‍රශ්නයක් වූවත් ඉතා අඩු මුදලක් ගෙවන මාගේ වර්තමාන කුලී නිවාසය අත හැර දැමිය නොහැක.. පඩි පත අතට ගත් වහාම කල යුතු කාරණා අතර මුල් කාරණය වන්නේ දැනට අපහසුවෙන් වූවත් පැළඳීමට වී තිබෙන කල් පැන ගිය කිට් එක...


"වට් අ ෆ... දැන් කී සැරයක් නම් කකුලෙ අත හැප්පුවද ? එක සැරයක් දෙකක් ඉවසුවා.. ඒ මදිවට කකුල හේත්තු කර ගන්නවා මගේ ඇඟේ.. බලන්න අයියෙ ?"


එක් වරම මා සිතුවිලි ලොවෙන් ඇද දැමූවේ දෙසවන් අසලින්ම ඇසුණු කෝප සහගත කට හඬකින් හා සියුමැලි අතකින් මා තල්ලු කර දමන වෑයමකින්ය. අනපේක්ෂිත සිද්ධිය නිසාම මා මගේ කකුලට වාරු කරගෙන තිබූ කුඩය මා අතින් ගිලිහී ගිය අතර ශරීරයේ සමබරතාවය රැක ගැනීමට එම අතින් බසයේ අසුන් ගරාදිය අල්ලා ගතිමි. ශරීරය සමබර වූයේ අසල වූ අනිත් තරුණියගේ නිතඹේ මගේ මුලු ශරීරයම ගැටීමත් සමඟය. ඇයද නොරිස්සුම් හඬින්


"මේ වනචරයො එක්ක බස් එකක වත් යන්න බෑ අප්පා.."


අවට සිටියවුන් නොසන්සුන් වනවාත් සමඟම.. ඔවුන් අතරේ සිටි තරුණයන් කිහිප දෙනා එම තරුණියන් අතරින් මා දෙසට එන්නට විය. 


"මුන් බස් වල එක්ක යන්න වටින්නෙ නෑ.. ඇදලා එළියට දමමු මචන්.."


"කෙල්ලෙක් ජීවිතේට දැකලා නැති අසහනකාරයො.. බලහන් බීලාද කොහෙද ඉන්නෙත්.. "


"ඔව් ඔව් හරියට කෙළින් ඉන්නවත් බෑ"


මීට පෙර සිදු වූ අත්දැකීම් වලින් මා උගෙන සිටියේ මෙවන් අවස්ථාවලදි කටහඬ අවදි කර තත්වය උග්‍ර කර ගන්නවාට වඩා නිහඬව සිටීම නුවණට හුරු බවයි.මාස දෙකකට පමණ පෙර මා බීමතින් සිටිනවා යැයි සිතා මෙවැනිම තරුණයන් පිරිසක් මා බසයෙන් ඇද දැමූ විට මා හට සිදුවූ අකරතැබ්බය මා හට තවමත් මතක නිසාම..


999,998,997,996,995 .....


"ඩ්‍රයිවර් අයියෙ නවත්වන්න බස් එක ඉස්සරහා.. මූව එළියට දමන්න."


එක් අයකු මාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ගත් අතර..


"මල්ලි ඔයාලට වැරදීමක් වෙලා.." 


වාක්‍යය අවසන් කරන්නට මා හට ඉඩ නොලැබුනි.


"කොහෙද යකෝ වරදින්නෙ ..කොහෙද? " 


කලිසමේ බඳ පටිය තදින් අල්ලා ගත් කාය වර්ධන ශූරයකු බඳු තරුණයා.. මා දෙස විමසිලිමත්ව බලමින් රකුසු කර ගත් මුහුණින් යුතුව...
ඔහු මිටි කරගත් අත සහ තද කරගත් ඇඟිලි වලින් ඔහුගේ අත ගෙන ගියේ මාගේ යටි බඩ දෙසටයි...
එක්වරම.. දෑස් විශාල වී.. වඩාත් විමසුම් බැල්මක් මා වෙත යොමන්නට විය.


" තමුසෙලා බස් එක ඇතුළෙ වලි දමා ගන්නව නෙවෙයි..මන් අල්ලනවා බස් එක පොලීසියට ඉස්සරහ තියෙන.. "


ඒ බස් රියදුරුගේ රළු කටහඬයි.. මගේ යටිබඩ මිරිකූ තරුණයාගේ දෑස තවමත් විශාලය.. කමිස කොලරය අල්ලා ගෙන සිටි තරුණයාගේ අතින් මා මුදවාලූ ඔහු.. 


"අතෑරලා දමමු මචන්.." 


සිහින් හඬින් මිතුරාට කීවේය. 


"ඇයි ? ඇයි ? ඇදලා දමමු මචන් එළියට මූව.."


"කියන එක අහපන් බන්..මේක අත ඇරලා දමමු.."


"ඔය ළමයි දෙන්නා මෙතන ඉඳ ගන්න.."


අසල වූ අසුනේ සිටි දෙදෙනා පෙර කලබල කල තරුණියන් දෙදෙනාට එම අසුන පරිත්‍යාග කරමින් නැගී සිටියෝය.


"මේ වගේ  උන්ට රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි ලොකුම අහේතුව..."


මා අසලම අනිත් අසුනේ සිටි මැදිවිය ඉක්මවූ ගැහැනුන් දෙදෙනා මහා හඬින්, මා දෙස පිළිකුලින් බලමින්, විශාල සාකච්ජාවකට මුල් ගල තැබූහ..
අර හැඩි දැඩි තරුණයා තවමත් මා දෙස විමසිල්ලෙන් බලා සිටී. නිහඬව සිටින ලෙස ඔහුට ඔළුවෙන් සන් කල මා..


800,799,798,797,796,795...
500,499,498,497...


ඉහත කී තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බස් රථයෙන් බැසීමට නැගී සිටියාය.කකුල මෙන්ම යටි බඩ දෙසින්ද එන වේදනාව නිසාම මා එම අසුනේ ඉඳ ගැනීමට තැත් කරන විටම අර තරුණිය වහා තම අතවූ කුඩා බෑගය ඇයත් මාත් අතරවූ හිඩැස මත තැබූයේ.. නැවතත් හදිසියේ වත් ස්පර්ශවෙතැයි යන පිළිකුලින් යුතුවය..කෙසේ හෝ මා හට ලැබුණු කුඩා ඉඩ මත මා ඉඳ ගතිමි. 


දකුණු කකුලේ දණහිස ළඟින් පැමිණෙන වේදනාව මුළු ගතම හිරි වට්ටා ගෙන යයි. .. කලිසම් කකුල රෝල් කර උඩට ගෙන දණහිසෙන් පහළ වූ ඇලුමිනියම් පාදය එය දණහිසට සම්බන්ධ කර තිබූ ගාන්චුවෙන් ගලවා පැත්තකට තැබු මා.. දුටුවේ දණහිසට පළඳවා තිබූ විශේෂ රෙදි ආවරණය මතට ලේ බිඳු උණා ඇති බවයි. මගේ ගමන් මල්ල තුල වූ  විශේෂ බෑගයේ තිබූ අයිස් කැට කීපය කකුල මත තැබූ මා හට යම් සහනයක් දැනුණි.. 


ත්‍රස්තවාදීන් අටවා පුපුරා ගිය පිටකොටුවේ බෝම්බය නිසා පාදයක් අහිමි වූ මා හට අහිමි වූයේ පාදයක් පමණක් නොවේ.. ජීවිකාව කල රැකියාව සහ මාගේ ඉදිරි පරම්පරාවයි.පෙනහැල්ල ඇතුළු ශරීරයේ බොහෝ ස්ථාන වල රැඳී ඇති යකඩ කැබලි නිසා මා හට ආවේගශීලි වීම තහනම් කර තිබෙන්නේ..එහි ප්‍රථිපලයක් වන අධික රුධිර පීඩනය මාගේ ජීවිතයට අනතුරුදායක නිසාය. එවකට සිටි රැකියාවෙන් ලද වන්දි මුදල මස් රාත්තලම ඉල්ලන සමාජයේ මාගේ නැගණියන් දෙදෙනාගේ දෑවැද්ද සඳහා දුන් මා හට දැනට කරන රැකියාව මාගේ එකම ජීවිත රැකවරණයයි. සුළු මුදලක් වන ගෙවල් කුලිය හා කෑම වලට යන වියදම හැරුණ විට ඉතිරිය වියදම් වන්නේ බෙහෙත් වලට සහ යටි බඩ පෙදෙසට පැළඳිය යුතු විශේෂ උපකරණ සඳහාය. අසරණ යැයි සමාජයට පෙන්වීමට ඉඩ නොදෙන මගේ ආඩම්බර හිත ඉවතලා හෙට සිට මාගේ අත් වාරුව රැගෙන ආ යුතුය යන්න මගේ සිතට කා වැදුණි. 


අහම්බෙන් මෙන් මා දෙස බැලූ යුවතිය ක්ෂණයකින් මා හා ඇය අතර හිර කර තැබූ බෑගය වහා අතට ගෙන මා දෙස බැලූයේ විස්මයකිනි.මා දෑස තද කර වසා ගතිමි.මේ සොඳුරු යොවුන් තරුණ තරුණියන් අත වරදක් නැත. ඔවුන් කාලයත් සමඟ මෝරන ජීවිතය තුල ක්ෂණික තීරණ වල අවලංගු බව පසක් කර ගනිමින්  බොහෝ දේ උගෙන ගනිමින් සමාජය ජීවත් කරවනු නියතය.


599,598,597,596...... 


වේදනාව පරයමින් සිනහවක් මා හද තුලින් පිපෙන්නට පටන් ගති...






පසු වදන

මේ ගීතයේම නව මානයක් හොයා ගෙන ගිහින් මම කලෙකට ඉස්සර ගොතපු මේ කතාව මගේ සිහියට නැගුනෙ අද උදේ පාන්දරම නැවතත් කනට වැකුණම තමයි...










බ්ලොග් එකේ කතාවක් ලිව්වෙ නැහැ කාලෙකට..ඒ ගැන හිතේ තියෙන අතෘප්තිකර හැඟීමත් එක්කම මට ආපු ලොකුම ප්‍රශ්ණෙ.. මේ වගේ නිර්මාණ කරන්න මගේම නොවන මට තිබ්බ මගේම හිත අද කෝ කියලයි..