ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, August 31, 2011

සරුංගල් ඇරීම සහ කෙට්ටු වීම

මේ දිනවල සරුංගල් අරින කොල්ලෝද, කොල්ලන් පසුපස එලවා යන බල්ලොද අඩුවක් නොමැත.
පහු ගිය දිනකදී කොල්ලෙක් සරුංගලයක් අත දවටා ගෙන දුව ගෙන එයි.. සරුංගලයද එකසිය ගනනකට කූරියා ගසයි. මූද කූරිය ගසන සරුංගලය දෙස ආපසු හැරෙමින් බලමින් දුව ගෙන විත් හැපුනේ මගෙ ඇඟේය.. වාසනාවකට කිසිම අනතුරක් නැත.. නමුත් කොල්ලා
 "බලන්නකො අංකල් පාර බලා ගෙන යන්නකො.ඇඟේ හැප්පුනායින්මගෙ සරුංගලයක් බිම වැටුනා"
 යි කියමින් මට තගක් දමන්නට ආවේය
"ආ ඒ සරුංගලයක්ද ? මන් හිතුවෙ හුලං පෙත්තක් කියල" මමත් සෙකන්ඩ් නොවූයෙමි

ඊළඟ දිනයේ මන් මගෙ පාඩුවෙ පාරේ යන විට කොල්ලො දෙදෙනෙක් කෑ ගසමින් මා පසු පස එයි
"පොඩ්ඩක් ඉන්න අංකල් ..පොඩ්ඩක් ඉන්න අංකල් "
කියමින් මුන් දෙන්නාගේ සරුංගලයේ තිබු නූල් මගෙ කකුලෙන් ගලවන්නට විය. සිදු වී තිබුනෙ පාර මැද තිබූ නූල මගේ සපත්තුවෙ පැටලී එයත් සමඟම මා ටික දුරක් ගමන් කොට තිබීමය..මට කේන්ති ගියේ නූල කකුලේ පැටලීම නිසාද නැතහොත් මා වැනි තරුණ ගැටයෙකුට අංකල් කියා ඇමතීමද යන්න ගැන තවමත් නිශ්චිතව හිතා ගත නොහැක.

අද දින නිවාඩු නිසා මමද නිවාඩු
සුවයෙන් කාමරයට වී සිටියෙමි.. වෙලාව දහවල් 10ට වන්නට ඇත..

ශූශ්ශ්ශ්ශ්ශ්ස්ස්ස්ස්ස්ස්... යන ශබ්දයක් සමඟම කිසිවකුත් කෑ ගසන හඬක් සමග මා මිදුලට පැමිණියෙමි..

නිවාස අයිතිකාර හිමිගේ නිවස තට්ටු දෙකකි. එහි වහලට ඇස්බැස්ටස් දමා රස්ණය අඩු කර ගැනීමට උළු දමා ඇත.. වහල උඩම සිට කොල්ලෙක් කෑ ගසයි..ඒ සමඟම මා දුටුවේ බියකරු දසුනකි. තව කොල්ලෙක් වහලයේ කෙළවරේ වතුර බැස යාමට ඇති පීල්ලේ එල්ලී නැවත වහලට නැගීමට දරන උත්සාහයකි.. මා සිතුවේ කුමක්ද යන්න මතක නැත
"දඟලන්නෙ නැතුව ඉන්න පුතා ඔහොමම.. "
මගෙ අතට ඉනිමඟක් ආවේ කෙසේදැයි මම නොදනිමි. හැකි ඉක්මනින් ඉනිමග බිත්තියට තබනවාත් සමඟම.. ඔහු එල්ලී සිටින පීල්ල ගැලවී ගියේය.. නමුත් ඔහු මා තැබු ඉනිමඟ දුටු නිසා වහා ඉනිමඟට කකුලක් තබා බිත්තියට වාරු විය..මා හෙමිහිට ඔහුව බිමට බැස්සුවෙමි. අත පය හිරී ඇති මුත් වෙන කිසිඳු හානියක් නැත. නිවාස හිමිකරුද පැමිණි පසු ඔහුට වතුර එකක් බීමට දී විස්තර ඇසුවෙමු.



කොල්ලො දෙන්නාගේ සරුංගලය නූල කැඩී පාවී විත් රැඳී ඇත්තේ මෙම වහල උඩය. මුන් දෙන්න අල්ලපු වත්තේ තාප්පය දිගේ විත් වහලට නැග සරුංගලය ගැනීමට යාමේදී.. වහලය මත වූ උළු කැට මත ලිස්සා විත් පහලට වැටෙන්නට පෙර.. පීල්ල අල්ලා ගෙන ඇත. වැරදීවත් පහල වැටුනා නම් විශාල අනතුරක් වන්නට ඉඩ තිබුනි. ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා විස්තර කියාදී කොල්ලාව භාර කලේය. තුවාල කෙසේ වෙතත් පියා ගෙන් හොඳ ටොකු පාරක් නම් වැදුනි. කෙසේ වෙතත් ඔහු නොසැලකිල්ල පිළිබඳ පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ඇතිය.

මේ සිද්ධියත් සමඟම මගේ මතකය ආවේ අප කුඩා කාලයේ සරුංගල් ඇරපු ආකාරයයි. අපේ ගම වට කර තිබුනේ තේ වතු සහිත කඳු ගැට රාශියකිනි. පාසල් නිවාඩු කාලයේ උදෑසන ආහාරයෙන් පසුව මෙම කඳු ගැට උඩට සරුංගල රැගෙන යන අප ආපසු එන්නේ හවස ජාමයේය.. සරුංගල් උඩට යවා ඒවායේ නූල් තේ වත්තෙ ගිනිසීරියා - අපි කියන්නෙ ලාඩප්පා - ගස් වල බැඳ අප මුළු තේ වත්ත පුරාම රවුම් ගසයි.. අහල පහල ඇති කැලෑවල ඇති ගඩා ගෙඩි දවල් ආහාරයයි. එහෙමත් සුන්දර කාලයක්..

දැනට මම ඉන්නා මේ ප්‍රදේශයේ ළමයි තට්ටු නිවාස වල උඩම කොන්ක්‍රීට් ස්ලැබ් වලට වී සරුංගල් යවන ආකාරය දකින් විට මට නම් ඇති වන්නෙ දුකකි.

යම් කාලයකට පෙර සරුංගල් අරිනව යන්නට වෙනත් තේරුමක්ද ඇති බව දැන ගත්තේය. කොල්ලො රංචුවක් එකතු වූ විට මොකෝ බන් ඔච්චර කෙට්ටු උඹ හැමදාම සරුංගල් අරිනවද කියා ඇසුවහොත් .මේ සරුංගල් ඇරීම සහ කෙට්ටුව අතර ඇති සම්බන්ධතාවය හිතා ගත නොහැක..

Tuesday, August 30, 2011

බයිට් කතා

1.)
ලියන්නා - මෙලනි මට සිංගප්පුර් යන්න වෙලා..ඔයා මට විස්තර ටිකක් කියන්නකො

මෙලනි - මන් කවද්ද සිංගප්පුර් ගියේ ? හීනෙකින්වත් ගියේ නැහැ

ලියන්න - බොරු කියන්න එපා..ඒ දවස්වල නිව්ස් වල හරියට ගියේ ඔයාව මොනවද ටෙස් කරන්න යැව්වයි කියල

මෙලනි - ච්චක් !ඒ මෙලනින් අයියෝ.. මන් මෙලනි නේ !!


2.)
ලියන්නා - ගුඩ් මෝනිං මෙලනි කොහොමද වීක් එන්ඩ් එක?

මෙලනි - ඕන්න ඔහෙ ගෙවුනා ලියන්නා..ඔයාට කොහොමද?

ලියන්නා - මන් ඊයේ වෝටර් මෙලනි ගෙඩියක් කෑවා.. හම්මා නියම රහයි අනේ..රෑට කෑම කෑවෙත් නැහැ..එච්චරටම බඩ පිරුනා

මෙලනි - වෝටර් මෙලනි නෙවෙයි අයියෝ.. වෝටර් මෙලන්..මොනවද ඔයාගෙ ඉන්ග්ලිස්
???

ප.ලි.

සති කීපයක් සයිබර් අවකාශයෙ නොදුටුවහොත් කරුණාකර කොළඹ හදිසි අනතුරු වාට්ටුවෙ පරීක්ෂා කර බලන්න..මේ යන විදියට ගුටි කෑමට ඉතා ආසන්න බව මගෙ සියළුම මිතුරන්ගේ අදහසයි..

Monday, August 29, 2011

කෑවද ? පාර්ට් 2 (තවත් පාට් දමනවද ඉතින්? ආයිනම් ඉවසන්නෙ නැහැ ඕන්න..!@#$$%)

මෙන්න තව තැනක කස්ටිය පොර කනව කන්ඩ..මමත් ලංවෙලා බැලුව..ඊට ඉස්සෙල්ල ඔය ෆොටෝ කෑල්ල ගහ ගත්ත..



පේනවනෙ සෙනඟ..පොඩි පහෙ ෆයිට් එකක් දීලා ගත්ත පේපර් ප්ලේට් එකකට මොනවද මන්ද සුදු පාට කෑලි කැලි ටිකක්.. හුටා..බැලින්නම් මස් වලින් හදපු කෑමක්..එලවලු විතරක් කන (ඈ කරෝල, හාල්මැස්සො, බිත්තරත් එතකොට එලවලුද???) මම ඔය ජරා මස් ජාති කන්නෙ නැහැ. ඒ ටික ලඟ ඉන්න කෙනෙකුට දීල කිව්ව විස්තරෙත්.. මිනිහ නම් රහ කර අර කෑව..

මෙන්න එතනම තියෙනව චොකලට් ඇල්ලක්.. හැබැයි කුඩා පරිමාණයෙ එකක්..



ජුජුබ්ස් එකක් ටූත් පික් එකක ඇනල ඒක මේ චොකොලට් ඇල්ලට අල්ලල දෙනව.. හ්ම්ම්ම් මාරම මාර රහයි.. තුන් සැරයක් ඇවිත් ගත්ත..ඊළඟ සැරේ ආවනම් එහෙම එතන හිටිය කහ ටී ශර්ට්  හාදය මොනවහරි කියන සයිස් එකක් තමයි තිබුනෙ..

මෙන්න ඊළඟට ඊජීබී ස්ටෝල් එක.. මින්චි නැත්නම් පාස්ලි කොල බ්ලෙන්ඩ් කරල.. අයිස් කැට එක්ක ජින්ජර් බියර් එකක් දුන්න..රහ නම් ලොවෙත් නැහැ..කොහොමද මේක හදන චූටි දුවාලාගෙ අපූරුව..



ඊළඟ පෝලිම තිබුනෙ තවත් අමුතුම කෑමකට තමයි.. නම තමයි පොඩ්ඩක් "කචල්" නම "අයිස් කචල්" මේ ප්‍රදර්ශන වලට එන අය දැකල ඇති මේක.. මේ ෆොටෝ එකේ තියෙන්නෙ මේ අයිස් කචල් හදන මැශින් එක..සහ හදන හැටි.. ක්‍රශ් වෙලා එන අයිස් ටික එක ශේප් එකකට පිඟානකට දමනව.. ඊට උඩින් පාට පාට සරුවත් වගෙ එව්ව.. තව පලතුරු කෑලි ටිකක් දමනව.. ඒක කන්න පුලුවන්.. මමත් එකක් අරන් කෑවා.. නරකම නැහැ..අන්තිම ටික තමයි එච්චර රහ නැත්තෙ..ඒ උනාට මාර ඉල්ලුමක් තිබුනා.. මේ ගොල්ලො මේ මැශින් එක තමයි මාර්කට් කරන්නෙ ස්වයංරැකියාවක් විදියට කරන්න පුලුවන් කියලයි කියන්නෙ..




මේ වගේ නානාප්‍රකාර මැශින් ගොඩාක් තිබුනා..මමත් ඉතින් ඔය වෙලාව වෙන කොට කාලා බීලා ඇවිදල මහන්සි නිසා එහෙම්මම ගෙදර ආවා.
 මොනව උනත් රු 40 ට පාඩු නැහැ ගිය ගමන..

Sunday, August 28, 2011

කන්න ගියා.. ඉතින් කෑවද ??? (පාට් 01 - කවුද ඩෝ පාට් දමන්නෙ?)

ටිකක් වෙනස් විදියේ ලිපියක් තමයි මේක..

පහුගිය සිකුරාදා ඉඳන්
BMICH එකේ තිබුනා ෆූඩ් ගැන ප්‍රදර්ශනයක්.ProFood Propack. සහ කෘශිකාර්මික ප්‍රදර්ශනයක් AgriBiz.. දෙකම එකට තිබුනෙ. අද ඉරිදා හවස් ජාමෙ ඉන්න ගමන් ඕකට යන්න මන් පැලෑනක් ඇඳ ගෙන්මයි තිබුනෙ.. කොහොමත් එතන තියෙන සේරම වගේ ප්‍රදර්ශන බලන්න මම යනව. එක හේතුවක් තමයි.. මගෙ වැඩ කරන තැනට අල්ලපු වැටේ නෙ පොට් එක.. ඉතින් ඔෆිස් අහවර වෙලා මන් යනව එතෙන්ට..ඒත් සිකුරද හෝ සෙනසුරද යන්න බැරි උන නිසා..තමයි අද යන්නෙ සෙට් උනෙ..

එතන සේරම වගෙ ප්‍රදර්ශන බලන්න යන එක ගැන මගෙ සෙට් එක කියන්නෙ
"උඹට නම් ඉතින් යන්න බැරියැ..දවස් ගානෙ උනත් උඹලගෙ ඔෆිස් එකේ ඉඳන් පය පැටලිල වැටුනත් වැටෙන්නෙ BMICH  එකටනෙ.. "

ඒ කතාව ඇත්ත තමයි.
BMICH එකයි අපේ ඔෆිස් එකයි වෙන් වෙන්නෙ මලලසේකර මාවතෙන්..

ඇතුල්වීමේ ටිකට් එක නම් රු40ක්.. ඒ උනත් ඒ ගාන පාඩු නැහැ කියල ඉස්සර ගිය ප්‍රදර්ශන වලින් අත්දැකීම් තියෙනව.. යන තැනම තිබුනෙ කෘශි ප්‍රදර්ශනෙ...බීජ වර්ග, පොහොර, රසායනික සහ යන්ත්‍රෝපකරන.. ඔය තියෙන්නෙ එතන තිබුනු පිපිඤ්ඤා සහ තව භෝග වගාවන් සමග නරඹන සෙට් එකක්..




මීට අමතර විශාල වශයෙන් මල් හා විසිතුරු ගස් වැල් විකුනන්න තිබුනා..මන් එව්වත් බලා ගෙන යනකොට.. මේන්න යන්ත්‍රෝපකරන..එව්ව එක්ක හිටිය කට්ටිය තමයි ඔය..




ඔය ට්‍රැක්ටර් එකේ ඉන්න බබාගෙ තාත්ත ඉන්නව ඒත් ඔතන මැද තියෙනකණුවට වැහිලයි ඉන්නෙ.. ෆොටෝ එක එඩිට් කරද්දි තමයි දැක්කෙ මෙකෙ නිකන් පෙනෙන්නෙ.. මේ පොඩ්ඩව දඩාර ට්‍රැක්ටරේ නග්ගල තියල අම්ම තාත්ත කොහේ හරි ගිහින් වගෙයි කියල.. ඇත්ත ඒක නෙවෙයි..

ඊ ලඟට යන තැනම කෑම උයන ශෝ එකක්..ඕන්න නියම තැන..



මමත් පුටුවක් උඩ වාඩි වෙලා උයන හැටි කියල දෙනව බලා හිටියා.පැස්ට හදනව හෝ ගාලා..හ්ම්ම්ම්ම්.. ශෝ එක ඉවරයි..මෙන්න හදපු පැස්ට බෙදා ගෙන බෙදා ගෙන යනව ..



රසට හදල තිබුනා..ඒක කාල ඉවර වෙලා..මම පොඩ්ඩක් ඇවිදල බැලුව හැමතැනම
ආයිමත් ඇවිල්ල බලන්න ඕනි තැන් ටික නෝට් කර ගනිමින්ම..

මේකට වියදම් කරපු රු. 40 පාඩු කර ගැනත් බැහැනෙ..
 මෙන්න එඩ්නා එකේ ස්ටෝල් එකේ ප්‍රොමෝශන්
එකක්.. හැම එකක්ම 10%ක් අඩුවෙන්.. රු.300 ට වඩා ගත්තහම තෑග්ගක් අනිවා දෙනව.. ටී ශර්ට්, මග්, අරව මෙව්ව... මන් කලේ ගත්ත ඩාක් චොකලට් එකක්..ඒක ලබන සතියෙලු මාර්කට් එකට දමන්නෙත්..රු300 වෙන්න ගත්ත තව පොඩි චොකලට් කීපයකුත්..දැන් ඉන්නව තරගෙට පෝලිමෙ
ඔය අතරෙ මගෙ ඇතුලෙ ඉන්න එකා මට කියෝනව..

පෙරේත කමට ගත්ත වගෙ නෙවෙයි ඔය ටික සේරම තනියෙන් හෙම කනව නෙවෙයි

ඇයි

හැයි ගාන්නෙ.. හිතා ඉන්නෙ කොල්ල කියල දැන් හතලිහයි..ඔව්ව කාල සීනි එහෙම වැඩි කර ගන්නව නෙවෙයි

හරි හරි මන් බෙදා හදා ගෙන කන්නම්කො

කා එක්කද

කවුරු හරි එක්ක

එහෙම තමයි ඊයෙ අඹ ගෙඩි 10ක් ගත්තෙත් අන්තිමෙ

ච්චක්..ශට් අප්

මන් එහෙමයි ඒකව සරෙන්ඩර් කරල තියා ගන්නෙ..නැත්නම් මට ඕනි විදියට ඉන්න දෙන්නෙම නැහැ..ඇඟිලි ගහනව වැඩියි දැන් ලඟක ඉඳල මගේ නිදහසට..

මට ඉස්සර වෙලා හිටියෙ අම්මෙක් තාත්තෙක් සහ දරුවො තුන් දෙනෙක්.. පොඩි එකා අත දමල ගත්ත ඒ ගොල්ලන්ට අදාල තුන්ඩුව.. සර්වියට් පැකට් එකක් තෑග්ග..තාත්තගෙ මූන ඇඹුල් උනා..

"මන් කිව්වනෙ එපා කියල .. අපරාදෙ සල්ලි"

අර පොඩි උන් තුන් දෙනායි අම්මයි ත් මූන චොර කරගෙන එතනින් එලියට ගියා. සල්ලි අපරාදෙ නැහැ..චොකලට් ටික තියෙනවනෙ..අපරාදෙ අර මිනිහ තව හතර දෙනෙකුගෙ හිත කැඩුව වචන හයකින්.. මටනම් මොක තිබ්බත් සතුටින් භාර ගන්නව.

"ගන්න සර්"

හිනා මුහුනින් මට කියල ප්ලාස්ටික් භාජනයක් පෙන්නුව..එකේ චූටිවට රෝල් කරපු තුණ්ඩු ගොඩාක්..මමත් එකක් අත දමල අර ගත්ත..

මෙන්න මට ලැබිච්ච තෑග්ග..නරකම නැහැ


පොඩි ඇඩ්වර්ටිස්මන්ට් පාරක් වගෙ යනව මේ පෝස්ට් එකනම්.. කමක් නැහැ.. සිද්ධ උනදේනෙ..

මේ ප්‍රදර්ශනෙ වෙච්ච තව දේවල් ටිකක් තියෙනව ඒක තව සැරයකට තමයි දමන්න වෙන්නෙ..මොකද පොඩ්ඩක් බිසි වෙන්න වෙලා තියෙනව.. ඒ නිසා.. ආයිමත් හම්බ වෙමු..

Saturday, August 27, 2011

නිරුවත් සබන් භූතයා

ආආආආආආආආ හ්

ඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ හ්...




අයි පොඩ් එක කනේ ගහ ගෙන හෙමිහිට නට නටා පඩි පේලිය උඩ තට්ටුවෙ ඉඳන් ආපු දුව කෑ ගහගෙනම පඩි පෙල උඩ ඉඳ ගත්තා..

මගෙ ඇනෙක්ස් එක අයිතිකාරය එයාලගෙ ගෙදර ලොකු අළුත්වැඩියාවක් පටන් අරන්..ඒක නිසාම මගෙ පැත්තෙ ඉස්සෙල්ල තිබුනු සාමකාමී, නිහඬ බව නැත්තටම නැතිවෙලා ගිහින්. මොකද කියනවනම්..ඒ පැත්තෙ කඩල බිඳල දමන එව්ව අරන් යනකම් මගෙ පැත්තෙ මිදුලෙ තමයි ගොඩ ගහල තියෙන්නෙ.දූවිලි පිරිල..ඊයෙ පෙරේද වැස්ස නිසා ඒ ප්‍රශ්නෙ නම් ඉවරයි.. දැන් මඩ පිරිලා..ඔය ෆොටෝ කෑල්ලෙ තියෙන්නෙ..



මගෙ ඇනෙක්ස් එකයි අයිතිකාරයගෙ ගෙයයි වෙන් වෙන්නෙ අඩි 10ක් විතර උස  තාප්පෙකින්.. ඔය තාප්පෙ කඩල..ඒ ගොල්ලන්ගෙ පැත්ත ලොකු මිදුලක් කරන්න ඕනි කියල.. තාප්පෙ තිබුනට වඩා මගෙ පැත්තට අල්ලල ආයිමත් බඳින්නයි යන්නෙ..ඒකෙන් වෙන්නෙ මගෙ පැත්තෙ තිබුනු විශාල මිදුල තව ටිකක් කුඩා වෙන එක තමයි.. මගෙ ඇනෙක්ස් එකේ තියෙන හොඳම දේ තමයි මේ මිදුල.. බල්ලො ටික එක්ක රේස් තියන්න.. යාලුවො ටික එක්ක සෙට් වෙන්න නියම ඉඩ කඩ.. ඒක ටිකක් අඩු වෙනව මේ සීන් කෝන් එකෙන් පස්සෙ
. මේ වැඩේ කරන බාස්ල සහ ගෝලයො ටිකත් මහ ඇණට් ටිකක් එක වෙලාවකට.. මන් ලඟ තියෙන ගැජමැටික් දැක්කහම උන්ට පාඩම් කියල දෙන්න වෙනව වෙනමම..වෙන ගැජමැටික් නෙවෙයි පී.සී එකයි, ලැපයි, සවුන්ඩ් සිස්ටම් එකයි, දෙතුන් දාහක ඩීවීඩී ටිකයි.. (මෙන්න නයෙක් යනෝ...!)

ඊයෙ උදේ නැගිටල ඉව්ව.. මේ දවස් ටිකේම මන් උයා පිහා ගෙන ඔෆිස් යන නිසා උදෙන්ම නැගිටල කරන්නෙ උයන එක තමයි..උදේට ඉව්වහම බ්‍රෙක්ෆස්ට්.. ලන්ච් ඇන්ඩ් ඩිනර් සේරම රෙඩි.. රෑට ගෙදර ඇවිත් තව එක කරියක් හදා ගන්නව...ඉතින් මන් ගියා නා කියා ගන්න.. ශවර් එක යට විනාඩි පහක් හිටියා.. සබන් ගෑවා.. ආයිමත් නාන්න ශවර් එක ඇරියා

හුටා.. වතුර නැහැ.. හුචූස් චූස් චූස් ගාලා හුලන් තමයි එන්නෙ ශවර් එකෙන්.. මන් කේශාන්තයෙ සිට පාදාන්තය දක්වා සබන් ගා ගෙන..ටවල් එක ඉනේ පටලව ගෙන.. පොඩ්ඩක් ඔලුව දමල බැලුවා
එලියට.. කවුරුවත් නැහැ.. වැඩකරන බාස්ලා තාප්පෙන් එහා පැත්තෙ වැඩ.
 කොරන්න දෙයක් නැහැ.. ඇයි වතුර නැත්තෙ බලන්න අයිතිකාරයට කතා කරන්න මෙහෙමම එහා පැත්තට යන්න වෙනව..සබන් පෙණ වලින් පිරිච්ච ඇස් දෙක පොඩ්ඩක් පාදා ගෙන මන් එහා පැත්තට එබුනා.. බාස්ල සෙට් එක එතන පයිප්ප්යක් කඩා ගෙන.. වැරදිලා ඉල්ලන්කූරු පාරක් වැදිලා වතුර පයිප්පෙට.. ඉතින් කොහෙද මට වතුර?

"මට නාන්න වතුර නැහැ"

සෙට් එකම බැලුවා මන් දිහා.. ගැස්සිලා හිටල.. සෙට් එකටම කන්ඩ හිනා.. මට එකපාරටම මල පැන්න.. මල පැන්න සැනින් මට මතක් උනා.. මම උන් සෙට් එකේ හිටියනම් එහෙම මම මාව දකින්නෙ කොහොමද.... ඔලුවෙ ඉඳන් දෙපතුලටම සබන් පෙන වලින් වැහිච්ච.. අඩි හතරයි දෙකේ තුවායකින් යන්තම් විලි වහ ගත්ත
හයයි තුනේ පොරක් දැක්කහම...



මටත් බකස් ගාලා හිනා ගියා..මොනා කරන්නද..
" මට වතුර නැහැ... ඔය ගොල්ලො පයිප්ප කඩලා.. ඒකනෙ.. මන් කොහොමද මෙහෙම ඔෆිස් යන්නෙ?"

හිනාව නවත්තල මන් ඇහුවා..එතකොටයි අයිතිකාරය එතනට ආවෙ.. මිනිහත් මාව බලල හිනා වෙලා ලේ පිරිසිදු කර ගෙන එහෙම..

"ඕක හරි ගස්සන්න කොච්චර වෙලාවක් යනවද බාස් උන්නැහෙ?"

"බටේ කුඩුවෙලා .. අලුත් බට කෑල්ලක් පුරුද්දන්න වෙනව.. පැය භාගයක්වත් යනව"

"ලියන්න ඔයා අපේ බාත් රූම් එකෙන් නා ගන්නකො..එච්චර වෙලාව්ක් ඔහොම ඉන්නයැ..ඔය සාලෙ මැදින් යන්න එහා කාමරේට දකුණු පැත්තෙ තියෙන්නෙ බාත් රූම් එක"

සාලේ මැදින් යන්න ආපු මාව දැකපු අයිතිකාරයගෙ දුව තමා අරහෙම කෑ ගහන්න පටන් ගත්තෙ

විනාඩි 2ක් විතර කෑ ගහපු පොඩ්ඩි .. හිනා වෙන්න ගත්ත

"ලියන්න අංකල් දැන් නම් නියම සබන් භූතයෙක් වගෙ"

"එතකොට දුවා කෑ ගැහුවෙ බය වෙලා නෙවෙයිද?"

"මට පිස්සුයැ අංකල්ට බය වෙන්න? මන් දැක්ක උඩ ඉඳන්ම වෙච්ච සීන් එක"

"මමනෙ දැන් බය උනේ මෙතන මෝහිනී වගෙ කෑ ගැහුවහම"

"ආආආආආආආආහ්

ඊඊඊඊඊඊඊඊඊඊඊඊහ්

කියලද මෝහිනී කෑ ගහන්නෙ? "

අයිතිකාරයයි බාස්ලයි ආයිමත් හිනා වෙනවා..

"යන්ඩල සේරම මාවම බයිට් කරන්න හදනව මෙතන"

ඔන්න ඔහොමයි ග්‍රීස් යක්කු, භූතයො අතරට සබන් භූතයෙක් එකතු උනෙ.

Tuesday, August 23, 2011

අල්ලපු බෝඩිමේ අක්කලගෙ නන්ගිලගෙ පැන්ටිස්

මෙන්න තවත් බෝඩිම් කතාවක් කතා පෝලිමට එන්නෙ එකක් ලියනකොට.. දැන් තියෙන හොට්ම හොට් ටොපික් එක භූතයො, ග්‍රීස් යක්කු සහ ඒ වගෙ උන් ගැන නිසාත්.. මේ කියන යක්කු ඔය කොයි කාලෙත් හිටිය කියල මතක් වෙච්ච නිසාත් මේ කතාව ඔලුවට ආවා..

අපේ ඉහත කී කතාවලට සම්බන්ධ බෝඩිමට අල්ලපු වැටේ තිබුනු බෝඩිම පිරිල හිටියෙ නන්ගිලා ගොඩාක් සහ අක්කිල ගොඩාක් ගෙන් තමයි
.. අපේ හොඳ වෙලාවට අපේම බැචියො කවුරුවත් හිටියෙ නැහැ. මොකද එහෙම උනා නම් අපි ටිකක් හරි සංවරව ඉන්නවා නැත්නම් අපි කරන පිස්සු වැඩ සේරම බැච් එක පුරාම පැතිරෙනවා. අපේ බෝඩිමයි මේ කියන බෝඩිමයි වෙන් වෙලා තිබුනෙ කම්බි වැටකින් විතරයි..අපි කම්මැලි හිතිච්ච වෙලාවක සහ නන්ගලා සහ අක්කල කම්මැලි හිතිච්ච වෙලාවලට අපි ඔය කම්බි වැට දෙපැත්තෙ ඉඳන් චැට්, ඕපදූප, නිව්ස්, උද්ඝෝශන , පෙලපාලි ආදී සියලුම දේවල් කරනව..ගෙවල් වලට හිහින් ආපුවහම කෑම බීම ජාති උනත් කම්බි වැට උඩින් මාරු වෙනව.. හරිම හොඳ ලමායි ටිකක් හිටියෙ..ඒ ගොල්ලොත් අපි එක්ක හරීම හිතවත්..ඔය සෙට් එකට එක සැරයක් මීහරකා චිත්‍රපටිය බලන්න ඕනි වෙලා.. අපෙ සෙට් එක එක්ක තමයි ගිහින් බැලුවෙ..සෙට් එකටම කොල්ලො හිටියෙ නැහැ ඔය කාලෙ වෙද්දි..නැත්නම් අපිත් එක්ක එයි පිචෑර් බලන්න. ඕන්න එක දවසක් උදේම

"බලන්න මල්ලි අපේ පැන්ටීස් වගයක් උස්සල ඊයෙ රෑ.. මල්ලිලගෙ කවුරුහරිද දන්නෙ නැහැ නේද?"

කොහොමද අපේ ෆිට් එක.. ඒකටත් අපිවමයි සැක කරල තියෙන්නෙ..

උන් සෙට් එක හිනා කනව මේක කියලා
.. ඇත්තටම කියනවනම් මේ වගෙ දෙයක් උනොත් වෙන්න පුලුවන් අපේ වත්ත පැත්තෙන්ම තමයි.. මේ පැත්තෙන් විතරයි ඒ ගොල්ලන්ගෙ පැත්තට අනාරක්ශිතව යන්න පුලුවන් . ඒ ඉඩමේ වටේටම ලොකු තාප්පයක්.. අපේ පැත්තෙන් තියෙන්නෙ කම්බි වැටක් සහ මල් වැටක් විතරයි.. ඒ නිසා ඒ ගොල්ලො එහෙම කිව්ව එක සාධාරනයි.. අපේ සෙට් එකේම අයට කෙල්ලො හිටියත් සුනිල්ට කෙල්ලෙක් නැති නිසා අපි ඔය සීන් එකට බයිට් කලේ සුනිලවම තමයි.. ඒ දවස් ටිකෙ සරමක් ඇඳන් ඉන්න බැරි සයිස් එකක් තිබ්බෙ.. කවුරු හරි එකෙක් ඇවිත් සරම උස්සල බලනව..
"අඩෝ උඹ ඔය ඇඳ ගෙන ඉන්නෙ දයා අක්කගෙ පැන්ටිය නේද?"

"මේ ඒක නෙවෙයි බන්z මගෙ ජොකෙකුත් උස්සලනෙ කවුරුහරි"

යාසින් කියනව

"යකෝ උඹේ එක නහය තියෙන බල්ලෙක්වත් අරන් යයිද?"

"ආන්න ඊයෙ හවස කුනු ලොරිය ඇවිත් කුනු අරන් ගියා සුවර් එකටම අරන් යන්න ඇති"

ඔය සිද්ධිය ඔය විදියට විහිලුවට ගත්තත්.. අපි ටිකක් කල්පනාවෙන් හිටිය මොකාද මේ වැඩේ කරන්නෙ කියල.. සුවර් එකටම මොකෙක් හරි සික් කාරයෙක් අපේ බෝඩිම පැත්තෙන් පැනල තමයි මේ වැඩේ කරන්නෙ කියල අපිට හොඳටම විශ්වාසයක් තිබුනා..අපි අපෙ නන්ගි අක්කල සෙට් එකට කියලත් තිබ්බ කොහොම හරි මූව අල්ලල දෙනව කියල..එක දවසක් අපි මොනවහරි පැවරුම් ටිකක් කරල.. රෑ රූම් එකට එනකොට 12 ට කිට්ටු වෙන්න ආවා.. අපේ එකෙක් හාවෙක් අල්ලන්න එලියට ගියා නිදා ගන්න ඉස්සෙල්ල..දුවගෙන අවිත් කියපි.
"මචෝ මොකෙක් හරි ඉන්නව අල්ලපු බෝඩිම් වත්තෙ "
කියල..

අපි සෙට් එකත් අතට අහු උන පොලු කැලි දර කෑලි ගඩොල් භාග ටිකක් අතට අරන් හෙමිහිට ලන් කලා කම්බි වැට දිහාවට.. දෙන්නෙක් නතර කලා අපෙ ගේට්ටුව තියෙන මල් වැට ගාව.. මොකද මෙතන කම්බි වැටෙන් කොහෙන් පැන්නත් මූ දුවන්න වෙන්නෙ ඔය මල් වැට ලඟ ගේට්ටුවෙන්නෙ..

අපි හෙමිහිට හෙමිහිට ඒ පත්තට ලන් කරල.. එකෙක් ලඟ තිබුනු ටෝච් එක ගැහුව ඒ පැත්තට.. ම්හ්හ් මොකෙක්වත් නැහැ..හොඳටම චෙක් කරල බැලුවත් මිනිහෙක් හිටපු හෝඩුවාවක් වත් නැහැ.. එකපාරටම අපේ එකෙක් ටෝච් එක අරගෙන කම්බි වැට ලඟම තිබුනු කුණු වල දිහාවට ගැහුවා.. අප්පට සිරි මෙන්න භූතයා.. කුනු වලේ.. අපි හිටිය පැත්තෙ ඉඳල කුනු වලට මීටර් 20ක් විතර දුරයි.. අසුරු සැනින් භූතය කම්බි වැටෙන් පැන්න..දිව්ව අපෙ ගේට්ටුව දිහාවට.. අපි කෑ ගහල අපේ එතන හිටිය යාලුවො දෙන්නට කිව්ව..

අනේ මේ යකා අපෙ පොරවල් දෙකත් පෙරල ගෙන දුවල තිබුනෙ
.. හැබයි අපේ එකෙක් ඌව අඳුර ගෙන.. අනික මුගෙ සරමෙන් අල්ල ගත්ත පාරට ඒකත් දමලයි මූ දුවල තියෙන්නෙ.

"මොනවද බන්z උඹලගෙ ඇඟේ හැටියට ඔය මනුස්සයව අල්ලගන්න බැරි උනාද?අපිට තමයි කයිය ගහන්නෙ.. අරකයි මේකයි කියල"
"ඌ මාව තල්ලු කරගෙනනෙ දිව්වෙ.. බලපන් මාව සූරා ගෙන දිව්වෙ.."

"ඔය ඒ මනුස්සය සූරලද නැත්නම් ඊයේ අර මෙඩිකල් සෙන්ටර් එක ලඟ පඳුර අස්සෙ.."

"ඒක නෙවෙයි මොකද උඹ ඔය මනුස්සයගෙ සරම ගලව ගත්තෙ..උඹේ හඩු සරම වෙනුවට නේද?"

බලාගෙන යනකොට මිනිහා අහල පහල ඉන්න අංකල් කෙනෙක්ම තමයි.. පස්සෙ මේ මනුස්සය අපිව දැක්කත් මග හැරල යන සීන් එකක් තිබ්බා.. අපි කිව්ව සිද්ධිය අල්ලපු ගෙදර සෙට් එකටම.. නමුත් ඕකට මොනවවත් කරන්න ගියේ නම් නැහැ.. මොනව උනත් අපි මේ ඒරියා එකේ ඉන්න එපාය තව අවුරුදු 3ක් 3 හමාරක්ම.. ඊට මාස කීපයකට පස්සෙ.. අල්ලපු බෝඩිම දුන්න පිරිමි ලමයි සෙට් එකකට.. ආරන්චි උන හැටියට ඒ අන්කල් අල්ලපු වැටේ බෝඩිමේ අයිතිකායගෙ වයිෆ්ගෙ ලඟම නෑදෑයෙක්ලු..

Friday, August 19, 2011

සුරය



මේකත් ජී.එච් පෙරේරා මාවතෙ බෝඩිමේ ඉඳිද්දි උන සිද්ධියක්. කට්ටිය ඒකෙ ඉඳන් ෆන් ගත්තෙ කොහොමද කියල මතක් කරගන්න කියවපු නැති අය ආයිමත් කියවල එන්නකො..මෙහෙම නිදාගමු ලිපිය.


ඒ ගෙදර ඉස්සර කාමරෙ තමයි අනිත් උන් 3දෙනෙක් එක්ක යාසින් හිටියෙ. යාසින් කියන කාඩ් එක වැදුනෙත් උගෙ අත්සන ගහන්නෙ යාසින් කියල ඒ නිසයි. උගෙ කරේ හැම වෙලාවෙම සුරයක් එල්ලල තිබුන..අපි ඒකට බයිට් කරනකොට ඌ කිව්වෙ..
"මේකෙ මන් ඉන්නෙ භූතයො ටිකක් එක්ක කියල ගෙදර මිනිස්සු දන්නව.. ඒ නිසයි උන්ගෙන් බේරෙන්න මේක එල්ල ගෙන ඉන්නෙ"
"නෑ???? අපි හිතුවෙ උඹෙන් අපිව ආරක්ශා වෙන්න ඕනි නිසයි ඕක එල්ල ගෙන ඉන්නෙ කියලයි"
"උඹලගෙන් බේරෙන්න් ඕනි නම් මේක මෙතන නෙවෙයිනෙ එල්ල ගන්න ඕනි"

ඔහොම කියල ඔය සුරේට ගෝරි ගොඩයි නිකන් ඉන්න වෙලාවට.
කැම්පස් ඉන්න කොට ඉතින් කාගෙ උනත් මල ගෙයක් වෙනව කියන්නෙ හ්ම්ම්ම්ම්ම් ට්‍රිප් එකක් යන්න සෙට් උනා හා සමානයි . අවුරුද්දකට මෙහෙම මල ගෙවල් 10-15ක් අනිවා යනවාමයි. ගියහම ඉතින් ආපහු එන්නෙත් හත් දවසෙ දානයත් ඉවර වෙලා තමයි. ඉතින් අපිත් ඔය පොදු න්‍යාය පත්‍රයෙම තමයි හිටියෙ.


එක සැරයක් අපෙ වත්තල හිටපු බුවෙක්ගෙ ආ උගෙ නම එඩියා ආච්චි නැති වෙලා..ඒ කිව්වෙ මැරිලා.. අපිත් හවස හයට විතර මෙහෙන් පිටත් උනා.. ආච්චිලගෙ ගෙදර හැඳල කිව්වා.. අපේ සෙට් එක 6 දෙනාත් දැන් යනව..යාසින් ආච්චිලගෙ ගෙදරට යන පාර දන්නව කිව්ව නිසාත්දැන් කාලෙ වගෙ සෙල්ෆෝන් නැති නිසාත් දැන් කට්ටිය යනව සුදු කොඩි ගහල තියෙන දිහාවල් බල බලා ..
"ආ ඔය තියෙන්නෙ බැබලි බැබලි "
යාසින් වීරය වගෙ ඉස්සර උනා. ගෙදර හමෝම දුකින් ඉන්නව.. අපිත් ගිහින් ආචාර සමාචාර කරල මිනිය ලඟට ගියා.. හුටා.. මේ ආච්චියෙක්යැ.. තරුන හාදයෙක්නෙ මැරිල තියෙන්නෙ..වැරදි මල ගෙයකටනෙ ඇවිත් ඉන්නෙ.මොනව කරන්නද කියල හිත හිතා එලියට එනකොටම කූල් ඩ්‍රින්ක් එකකුත් ලැබුනා. වැඩිහිට්යො දෙන්නෙක් ඒ මැරිල හිටිය හාදයගෙතාත්තයි අයියයි ඇවිත්
 "මේ පුතාල අපෙ පුතාගෙ ක්ලාස් එකේද උන්නෙ? දැකල පුරුදු නම් නැහැ?"

මොනව කරන්නද ඉතින් අපි ඇත්තම විස්තරෙ කිව්ව..

"ආ ඔය කියන මල ගෙදර තියෙන්නෙ තව කිලෝමීටරයක් විතර එහා.. ඉන්න පුතාලා ගෙනාපු පාර්සලේ දෙනකම්"

අපි මල ගෙදර ගෙනියන්න ගත්ත මාරි පෙට්ටිය ආපහු දෙන්න හදනව. අපි ඒක ගත්තෙ නැහැ..මොන හිතකින් ගන්නද?

වෙච්ච වැඩේට යාසින්ට බැන බැන.. තව කිලෝමීටරයක් .. කිව්වට අපිට දැනුනෙ කිලෝමීටර් 5ක් විතර.. රෑ කලුවරේ යනකොට තමයි අපිට නියම මල ගෙදර හම්බ උනේ.. ඒ ගිහිල්ලත් ටික වෙලාවකට පස්සෙ තමයි අපෙ බුවා ආවෙ..ඊලඟ දවසෙ මල ගෙදර අවසන් කටයුතු ඉවර උනහම.. එඩියගෙ ගෙදරත් ගිහිල්ල අපි ආයෙමත් ආවා බෝඩිමට.. එතකොට හවස හය හමාරට විතර ඇති.

එනකොට

ගෙදර මොනවද ශාන්තිකර්මයක් කරනව..ඒක අපිට එච්චර අරුමයක් නෙවෙයි.. බෝඩිමේඇන්ටි හරියට ඔය ගුප්ත දේවල් ගැන විශ්වාශ කරනව. සතියකට කීප වතාවක්ම ගෙදරට එන කට්ටඩියෙක් හිටිය..ඇන්ටිගෙන් ගාන කපා ගන්නව එක එක දේවල් කියල. අපි ඇන්ටි එක්ක ඒක ගැන කතා කලත් ඇන්ටිගෙ අන්ධ විශ්වාසය නැති කරන්න බැරි නිසා.. නොකර සද්ද හිටිය ඔය ගැන... අපිට ගෙට එන්න දුන්නෙත් දෙහි ගාලා නෑවට පස්සෙයි.. ඊට පස්සෙ අපිත් ගිහින් බැලුව මොකද්ද සීන් එක කියල.

"බලන්න පුතේ අල්ලපු ගෙදර උන හූනියමක් තියල ගිහින් .. ඒක කප්පවන්නයි යන්නෙ.."

තක්කඩ්යා.. වැරදුනා කට්ටඩියා ගෝලයත් එක්ක.. යමරෙට වැඩ ..මෙදාපාර නම් ලොකු ගුස්පියක් අල්ලයි වගෙයි.. ඇන්ටිත් එක්ක ඔය අල්ලපු වැටේ ඉන්න ජෝඩුව හැමදාම කචල් .. වැට මායිමකට සහ ඒ ගොල්ලන්ගෙ වත්තෙ බැහැල යන වතුර හරවල තියෙන්නෙ ඇන්ටිගෙ කුස්සියටමයි.. වැස්ස දවසට කුස්සියට වතුර දමනව.
"ඉතින් ඇන්ටි කොහෙද ඔය හූනියම තිබ්බෙ?කොහොමද දැක්කෙ ?"
අපේ එකෙක් ඇහුවා..

"අනේ පුතේ මම ඊයෙ පොලට ගියා. හවස මල් පුජා කරන්න යනකොට මෙන්න මගෙ බුදු ගේ ඇතුලෙම තියල ගිහින් අර පරට්ටි තමයි ඕක කරන්න ඇත්තෙ"

ඇන්ටි අල්ලපු ගෙදර අක්කගෙ මව් පිය ගුණ වරුනා කරනව.. ඔය අව් අස්සෙ අපෙ යාසින් බොහොම කලබල වෙලා කාමරේට දුවනව අපි දැක්ක. අපිත් දැන් ඇන්ටිගෙ අතීතාවර්ජනය අහන් ඉන්න අතරෙ යාසින් අපිට එන්න කියල බොහෝම සැරෙන් සංඥා දෙනවඇන්ටිගෙ කතාවෙ සැර බාල වෙන්න ඇරල.. අපිත් කාමරේට රින්ගුවා.. මොකෝ යසින් ට උනෙ කියල බලන්න..

"ඇයි බන් හූනියම කපන්නත් ඉස්සෙල්ල උඹට මොකාද ආවේශ උනෙ?"
"අඩෝ මාර කෙලියනෙ,  මන් මල ගෙදර යන්න ඉස්සෙල්ල මගෙ බෙල්ලෙ බැඳල තිබ්බ සුරය ගලවල තිබ්බ ඇන්ටිගෙ බුදු ගේ ඇතුලෙ. දැන් ඒක නැහැ"

අපිට මුලු කතාවම මීටර් උනා එක සැරේටම. ඇන්ටි හූනියම කියල දැකල තියෙන්නෙ එහෙනම් යාසින්ගෙ සුරේ තමයි..ඒක සැක හැර දැන ගන්න ඕනි නිසා මමයි ලකියයි ගිහින් කට්ටඩි ගෝලයට කිට්ටු කරල භාශාව දමල ඇහුව
 "කෝ ගුරුන්නාන්සෙ දැන් ඔය කියන හූනියම අපිට පොඩ්ඩක් පෙන්නනකො.. අපි දැකලම නැහැ හූනියමක් මේ වෙනකම්"

තිබ්බ ගෝලයව මුරුන්ග අත්තෙ.. ගෝලයට ගුරුන්නාන්සෙ කිව්ව නිසාම මේක පෙන්නපි රතු පාට රෙදි කෑල්ලකින් ඔතල මොනවද මන්ද නූල් ඔතපු යාසියගෙ සුරය..
"එතකොට දැන් ගුරුන්නාන්සෙ මොකද්ද කරන්නෙ යන්නෙ මේකට?"

එතකොට මේක ඇහිච්ච මහ ගුරූ එනව අපි ලඟට ඇස් කර කව කවා
"වෙන මොනව කරනවද මහත්තයො.. හූනියම කපල ආපහු යවනව එවපු එකාව හැඳි ගෑවිලම යන්න"

අපි ආපහු කාමරේට ආවා..අරුන් අපි දිහා බලාගෙන
"ඒක බොගෙ සුරය තමයි .. අන්න ගුරා ඒක කපන්න යන්නෙ"


"මන් ගිහින් කියනව" යාසින් නැගිට්ට

"බූරුව උඹට ඕක කියන්න තිබ්බෙ මල ගෙදර යන්න ඉස්සෙල්ලනෙ ඇන්ටිට.. දැන් කිව්වොත් .. අර ගුරූල දෙන්නගෙ බිස්නස් එක ඉවරයි.. උන් දෙන්න ගෙනාපු දුම්මල ගහල එලවන්නෙ අපි සෙට් එකව තමයි.. බලපන් ලබන මාසෙ එක්සෑම්. ඒක ඉවර වෙනකම් වත් ඉන්න ඕනි නේද මෙහෙ?"

"දැන් මන් සුරේ ගැන මොනවද ගෙදරට කියන්නෙ"

යාසියා අඬනව.

"ඒක ඇත්තටම කපයිද"

"ගෙදරට කියහන් නැති උනා කියල"

බොහෝම අමාරුවෙන් එහෙම එකඟතාවයකට යාසින්ව අර ගත්ත අපි ..

හිනා තද කරගෙන එකා එකාගෙ මූන බල බලා.. හූනියම කපන හැටි බලා හිටිය.. යාසියා හැබැයි බොහෝම දුකෙන් තමයි බලා හිටියෙ..

"රුපියල් හයසීයක්ම ගියා පුතේ ඒ වැඩේට"
පහුවෙනිද ඇන්ටි අපිට කිව්ව.. අපි සෙට් එක අන්තිමේ බෝඩිමෙන් යනකොට අපේ මාසෙක තිබ්බ ඩිපොසිට් සල්ලි ගත්තෙ නැහැ.. ඇන්ටිගෙ ඔය මුදලට හරි යන්න කියල..ඒත් ඇන්ටි දන්නෙ නැහැ.. ඇත්ත කතාව.

Monday, August 15, 2011

වැටීම සහ නැගිටීම

ඉවසන් හිටපු අයට බොහෝම ස්තූතියි. දැන් තමයි නිවාඩු පාඩු වෙලාවක් ආවෙ මේ කතාව කියන්න.. ප්‍රධාන කතාවට අදාලව අතුරු කතා කිහිපයක්ම තියෙනව. නැත්නම් මේ කතාව පැහැදිලි කම පොඩ්ඩක් අඩු වෙනව.

මුලින්ම කියන්න ඕනි, මේක දේශපාලනයට සම්බන්ධ කතාවක් නෙවෙයි..මේකත් මටම වුන සිදුවීමක්. සිද්ධ උනෙ පහුගිය සෙනසුරදා (13) . දවසකට දෙකකට උඩදි හම්බ උනු සඳා නන්ගිත් ඇහුව මෙහෙම..

"ඇයි අයිය සේරම කතා අතීතයෙන්ම අදින්නෙ ඊයෙ පෙරේද වගෙ වෙච්ච දේවල් නැද්ද හැබෑටම ?"

"නැහැ නන්ගි.. ඒ කාලෙ කාපු කටු වල හැටියට දැන් හොඳටම තෙම්පරාදු වෙලා නිසා .. ඒ වගෙ එව්ව වෙන්නෙ නැහැ දැන්"

"අනේ යන්න බොරු නොකියා..එතකොට අර පහු ගිය ට්‍රිප් එක ගිහින්.."

ඒක එච්චර දෙයක් නෙවෙයිනෙ

එච්චර දෙයක් නොවෙන්නෙ මොකද? මන් ඒ කතාව දමන්නද කමෙන්ට් එකක් හැටියට

ඉන්න ඉන්න මන් ඉක්මනටම ඒ කතාව මමම දමන්නම්

හා

ඉතින් මේ පහු ගිය කාලෙ වෙච්ච සිදුවීමක් ලියන්න ඕනි කිය කිය හිටි වෙලාවක..

මගෙ බාත් රූම් එකේ එක පැත්තකින් තීරුවක්ම ස්වභාව දර්මයට විවෘතයි..හොඳ වෙලාවට ඒ තීරුව වහල එක්කමයි තියෙන්නෙ. මගෙ ඇනෙක්ස් එක තියෙන්න ටිකක් උඩ ප්‍රදේශයක..පහල තියෙන අනිත් ගෙවල් අඩි 15ක් තරම් පහලින් තියෙන්නෙ.. ඔය පින්තූරෙන් පෙනෙන්නෙ මගෙ බාත් රූම් එකට පෙනෙන දර්ශනයක්..පහල වත්තක් තියෙන්නෙ..පොල් , පුවක් , අඹ, ගස් වලින් පිරිල. අයිතිකාරයන්ගෙ ගෙවල් තියෙන්නෙ පොඩ්ඩක් එහා.. ඒ නිසා දවල් වරුවෙම හොරු, කුඩු කාරයො ඔය වත්ත සූරන් කනව



මම ඉන්නෙ උඩ සහ මගෙ බාත් රූම් එකෙන් ඔය එලි පහලිය බලන්න පුලුවන් නිසා සේරම ටික මට පෙනෙනව..මමත් බලා ඉඳල.. පොඩි ෆන් එකක් ගන්නව..ඒ කොහොමද ෆන් එකක් ගන්නෙ?

මගෙ බාත් රූම් එක පලල අඩු දිගින් වැඩි බාත් රූම් එකක්.. ශවර් එක සහ සින්ක් එක තියෙන්නෙ එක කෑල්ලක..ඊට උඩ මට්ටමෙන් අනිත් ගජට් ටික තියෙන්නෙ..ඔය පොටෝ එකෙ තියෙන්නෙ මගෙ කතාවට අදාල කොටස. ඉතින් සෙනසුරදා පෝය නිසා නිවාඩු. මම උදෙන්ම රෙදි සෝදන්න පටන් ගත්ත



රෙදි ටික භාගයක් හෝදන කොට මට ඇහෙනව සද්දයක් පහල වත්තෙ.. මම රෙදි ටික එහෙමම තියෙද්දි බැලුව .. හෆ්ෆා..ඉස්කෝලෙ නිවාඩු නිසා කොල්ලො 4 දෙනෙක් සෙට් වෙලා.. ගහෙ තියෙන කුරුම්බා වලට වැඩේ දෙන්න යන්නෙ.. උන්ට ගස් නගින්න බැරි සෙට් එකක් සුවර් එකටම.. අල්ලපු වත්තෙන් ඉනිමගකුත් අරන් ඇවිත්.. මන් බලා හිටිය
, දෙන්නෙක් ගහ මුල.. එකෙක් ඔත්තු බලනව.. අනිකා නැග්ග ගහ උඩට.. කුරුම්බ ගෙඩියට අත තියන්කොටම මන්

"ඒයි ඒයි ඔය මොනව්ද කරන්නෙ?" කියල මන් කෑ ගැහුවා..

ගහ උඩ එකා ටුක් ගාල බැස්ස.. දෙන්නෙක් ඉනිමග උස්ස ගත්ත..4 දෙනාම දිව්ව උන්ගෙ තාප්පෙ ලඟට.. මන් දැන් ආයි බලා ඉන්නව. මුන් සෙට් එක හතර අතෙ හොයනව..කවුද කෑ ගැහුවෙ.. දැන් එයි දැන් එයි කියල.. ම්ම්ම්හ්හ්හ්.. උන්ට මෙලෝ සම්මත ජාතියකට මාව පෙනෙන්නෙ නැහැ..විනාඩි 10ක් විතර බලා ඉඳල මේන්න සෙට් එක ආයිමත් ගහමුල..මන් බලා හිටිය ගහට නගිනකම්ම..

නැගල කුරුම්බෙයක් කරකවනකොටම..ආයිමත් ආවද වේ..
!@#$$%%^^^& කියල කුනුහරුප ගොන්නක් ඇද බෑව

මේ පාරනම් බය වෙච්ච සෙට් එක.. ඉනිමගත් අරන්ම තාප්පෙන් අනිත් පැත්තට පැනල යන්නම ගියා.. මට තනියෙන් හිනා..

විනාඩි 20ක් විතර ඒ ජෝගිය නටල.. මට මතක් උනා යාලුවෙක් කෝල් කරන්නම් කිව්ව කියල.. ෆෝන් එකත් බාත් රූම් එකටම ගෙනත් ආයිමත් රෙදි හෝදන වැඩේ කරන්නම් කියල හිතපු මම .. අර ස්ටෙප් එකක් වගෙ තියෙන මම හිටපු උඩ කෑල්ලෙ ඉඳල රෙදි හෝදන පහල කෑල්ලට අඩිය තිබ්බ
අප්පට සිරි.. තිබ්බ කකුල ලිස්සල ගියා.. වැටෙන එකෙන් බේරෙන්න අනිත් කකුල පහලට අරන් තිබ්බ ..ඒ කකුලත් ලිස්සල ගියා..මේ පොඩි ඉඩේ අල්ලා ගන්න එකකුත් නැහැ..ඇඟේම සමබරතාවය නැති උනා.. ඇනුනෙ නැද්ද පස්ස පැත්ත බිම ඩොක් ගාල..විනාඩියක් හිටිය හෙල්ලෙන්නෙත් නැතුව..තුනටියට නම් මොකක් හරි උනා..මුලින් තිබ්බ කකුලෙ ඇඟිලි ටික ගිහින් වැදුනෙ දොර ලඟ තියෙන සිමෙන්තියෙ අත බිම හිටිය තැනත් අප්සට්.. පොඩ්ඩක් වෙලා ඉඳල නැගිට්ට.. තුනටිය , කකුලෙ ඇඟිලි සහ අත රිදෙනව..කැඩිල බිඳිල නම් නැහැ වගෙයි..වැටුනෙ කොහොමද කියල බලද්දි තමයි මගෙ ඇඟ හිරි වැටුනෙ..දෙයියනේ පුදුම ලක් එකක් තිබුනෙ..මේ පටු තීරුවෙ ලිස්සල වැටෙද්දි.. රෙදි බේසමේ හරි.. සින්ක එකේ හරි නොවැදි කෙලින්ම ලිස්සල වැටෙන්න.. ඔය දෙකෙන් එකක හරි පැටලුනානම්.. සොරිම තමයි..එහෙම නම් සින්ක් එක කැඩිල මාව හොඳටම තුවාල වෙන්න තිබුනා.. ලිස්සල නොවැටුනානම් තමයි පුදුමෙ.. මට අමතක උනා මම රෙදි හෝද හෝද ඉන්නකොට වැටිච්ච සබන් පෙන උඩ තමයි මම අඩිය තියල තියෙන්නෙ.. කොහොමද මගේ නොසැලකිල්ලක තරම.. වැඩේ නවත්තල මම කොර ගහ ගහ ඇවිත් චෙක් කලා.. හරියට රිදෙන්නෙ තුනටිය තමයි.. අර බිම වැදුනු පාර.. තැල්ම වගෙයි..කකුලයි අතයි නම් එච්චර අවුලක් නැහැ..

ප්‍රථිපලය තමයි.. ඉරිද, සඳුද.. දවස් දෙකම ගෙදර ඉන්න වෙච්ච් එක..තවමත් ඉඳ ගන්නකොට රිදෙනව..අන්තිමේ දැන් කල්පනා කරල බලනකොට.. මට තේරෙන්නෙ..

මීට පස්සෙනම්..හොරා කාලා හරි ගන්න යන අනුන්ගෙ සැපතට බාදා කරන්නෙ නැහැ..කියල.. එතකොට ෆන් එක ???

එක්කො.. රෙදි හෝදන කොට විතරක් පහල වත්තෙ හොරුන්ට මම කරදර කරල ෆන් ගන්නෙ නැහැ කියල මටම දිවුරල පොරොන්දු උනා.. මේ සිද්ධිය කියවන අය පල්ල.. ඒ පොරොන්දුව නම් කඩන්නෙ නැහැ.

මේ කතාවට පෙර සූදානමක් විදියට ගත්ත පෝස්ට් එකේ මන් ඉඟියක් දුන්න මේ දේශපාලනය ගැන කතාවක්ද කියල.. අනේ අප්පෙ.. මගෙ දේශපාලන මති මතාන්තර නම් කෙලින්ම කතා කෙරෙන එකක්ම නැහැ.. දැන් අවුරුදු 10කට විතර උඩදි මට තේරුනෙ.. එකිනෙකාගෙ විවිධ දේශපාලන මත තිබීම සහ එව්ව කතා කිරීම නිසා මට අහිමි වෙච්ච (ඒ දේශපාලන මතයන් අයින් කලහම ඉන්න ) සොඳුරු මිනිස්සු ගොන්න..නිසා.. දේශපාලනය ඔහෙ තිබුනාවෙ.. අපි අපේ සොඳුරු ලෝකෙ ඉමු..

ඇද ගෙන වැටීම සහ නැගිටීම පශ්චාත් පරීක්ෂණය - Coming soon !

ඈ !!!!!????
ලියන්න මෙච්චර දවසක් ජෝක් ලිය ලියා ඉඳල දැන් එව්වා ලියන එක අත ඇරල ... දේශපාලනය ගැනවත්ද ලියන්න යන්නෙ ?
පොඩ්ඩක් ඉවසල බලමු..

Friday, August 12, 2011

කියවීම සහ කළිසම

මේ කතන්දරෙත් මම මුලින්ම දැම්මෙ අන්තිම පේලියෙ..http://tlr.thelastrow.net/
මේක මටම සිද්ධ වෙච්ච ඇබැද්දියක්…
ඒ කාලෙ.. ඒ කිව්වෙ 1980 ගනන් වල මුල කාලෙ 2 නැත්නම් 3නේ පංතියෙ..
ඉතින් ඒ කාලෙ අපිට ගෙදරින් මහල දෙනව කලිසම්.. නිල්පාට කලිසමයි සුදු කමිසයයි තමයි අඳින්න තියෙන නිළ  ඇඳුම.කළිසම් වල ඉස්සරහින් දැන් වගෙ සිප් හරි බොත්තම් හරි නැහැ. එහෙම කලිසම් තිබුනට එව්ව එච්චරම ජනප්‍රිය නැහැ. කලිසම ඉනට තද වෙන්න කලිසමටම පිටිපස්සෙන් ඉනට තියල මහනව ඉලාස්ටික් පටියක්.. මන් දන්නෙ නැහැ.. මේක කස්ටියට ඉමෑජින් කර ගන්න පුලුවන්ද කියල.
ඉතින් කතන්දරෙ.. මන් ඉන්නෙ පංතියෙ අන්තිම පේළියෙ දඟයො ටිකක් එක්ක.. අපිට කියවීම පීරියඩ් එකක් තියෙනව.. පිස්සු කියවීම නෙවෙයි දැන් වගෙ.. පොතේ තියන පාඩමක් බලාගෙන කියවන්න ඕනි පංතියටම ඇහෙන්න..ආ නැගිටල තමයි කියවන්න ඕනි.. එක දවසක මන් දැන් වීරය වගෙ පාඩම කියවනව.. මන් ලඟ හිටියෙ.. අසෝක කියල මහ නසරානියෙක්..දැන් නම් කොහේ ඉන්නවද කියල දන්නෙ නැහැ..
මන් කියවන අතරෙ.. මේ අසෝකය මගෙ කලිසමෙන් අල්ලල පහලට ඇද්ද.. ටීචර්ට නොපෙනෙන්න.. හුටාහ්.. කලිසම ටිකක් පරන නිසා ඒකෙ ඉලාස්ටික් පටිය මුල් කාලෙ තරම් තද නැහැ.. සුරුශ් ගාල කලිසම වැටුනෙ නැතැයි.. බිමටම.. මමත් සුටුශ් ගාලා පොත ඩෙස්ක් එක උඩ තියල ඉඳ ගත්ත පුටුව උඩින්…
මන් ඒකාලෙ පොඩි එකා.. එච්චර පොඩි කාලෙ අපි අන්ඩෙර්වෙයාර් අඳින්නේ නැහැ..
මන් දැන් පුටුව උඩ ඉඳ ගත්තට.. කලිසම තවම බිම.. යකඩ සූට් එක පිටින් මම පුටුව උඩ.. පස්සෙ පේළියෙ උන් බක ගාල හිනාවෙනව.. ටීචර් බැලුව මම මොකෝ කියවීම නවැත්තුවෙ කියල..දැන් පංතියම අනිත් පැත්ත හැරිල බලනව මන් දිහා..කොරන්න දෙයක් නැහැ.. අල්ල ගත්ත කලිසම අත් දෙකින්ම.. නැගිටල ආයිමත් ඇඳ ගත්ත.. මට මොලේ තිබ්බෙ නැහැ.. මේක වෙච්ච වෙලාවෙම ඕක කරන්න..
දැන් කතන්දරෙ ඔතනින් ඉවර නැහැ.. ටීචර්ට මල අසෝකය කරපු දෙයට.. ගෙන්නුව උප විදුහපතිතුමාව.. මුලු පංතිය ඉස්සරහම තියල දුන්න බුවාට හොඳ වේවැල් කසායක්.. ඉස්සර දැන් වගෙ නෙවෙයි.. අපිට හොඳට තලනව.. වැරදි වැඩ කලහම.. මාව කැඳෙව්ව උප විදුහල්පති තුමාගෙ කාර්යාලයට.. ඒකෙ තව ටීචර්ල ගොඩකුත් හිටිය..
ඇත්තටම ඒ සර් හරි කරුණවන්තයි.. මට කිව්ව
“පුතා ගෙදර ගිහින් අම්මට කියන්න මීට පස්සෙ කලිසම් මහනකොට ටිකක් තදට මහන්න කියල”
“දැන් බලන්න ඔයාගෙ කලිසම ටිකක් බුරුල්නෙ..”
කියල සර් පොඩ්ඩක් පහලට ඇද්ද ඒක මට ඔප්පු කරලම පෙන්නන්න..
හත් දෙයියනෙ.. ආයිමත් කලිසම බිම…
ටීචර්ල හිනා කනව…
ඊට පස්සෙ අවුරුදු ගණනක් යනකම් මට පංතියෙ උන් කොලොප්පම් කලා.. මං ඒ ජාතියෙ කලිසම් ඇන්දෙම නැහැ..බොත්තම් අල්ලපු කලිසම් තමයි ඇන්දෙ..

Wednesday, August 10, 2011

ඇඟිල්ලෙන් ඇන්නහම

දැන් අපි සෙට් එකම සුනිල්ට ඇඟිල්ලෙන් ඇනීමේ අයහපත් ප්‍රථිපල මත ඉන්නව බොරලු ගොඩේ දන ගහ ගෙනමගෙ මතකෙ විදියට.. 20 ගනනක් හිටිය.. ආර්ට් ක්ලාස් එකෙයි කොමර්ස් ක්ලාස් එකෙයි තව සා.පෙ කරන බුවාලා 2-3ක් දෙනෙකුත් හිටිය. සුනිල් විතරයි අපේ ක්ලාස් දෙකෙන්ම මේ පීරියඩ් දෙකේ පංතියෙ ඉන්නෙ.. එසෙම්බ්ලි එක ඉවර වෙලා .. දැන් සේරම කට්ටිය යනව පෙරහැරේ තම තමන්ගෙ පන්තිවලට.. අපි දිහාවෙ බලන්නෙ.. හරියට කවදාවත් දැකපු නැති සත්තු ටිකක් දිහා බලන විදියට.. අපි මේ වෙනකොටත් කැන්ටිමේදි තග දමල උන්ගෙ සල්ලි වලින් තේ බීපු ඇටිකිති කොල්ලො .. තව නැවතිලාත් බලල යනව නෝන්ඩියට..

අද අහන්නම්
.. හෙට අහන්නම් කිය කියා කල් දමපු එව්ව .. සදහටම ඉවරයි..කීප දෙනෙක්ම ඒ ගැන හිත හිතා හූල්ලනව..අපි දන ගහගෙන ඉන්න තැන පැත්තකින් තමයි.. අපේ ප්‍රින්සිබල්ගෙ රූම් එකයි, විනය සර්ගෙ රූම් එකයි දෙකම.. ඒ හින්ද අපි හෙල උනත් වැඩේ මාට්ටු.. මුල් විනාඩි 10 අවුලක් නැහැ හිටිය.. දැන් ටික ටික දනිස්ස සහ කකුල් වල ඇඟිලි රිදෙනව..බොරලු පොලවෙ ඉස්සෙල්ල දැනුනෙ නැති බොරලු කැට දැන් තමයි දැනෙන්නෙ.. මන් හොඳ වෙලාවට දන ගහල තියෙන තැන ලඟින්ම පොඩි තණකොල පඳුරු ටිකක්.. ශේප් එකේ මම ඒක උඩට ආවා..ටිකක් සනීපයි

අපේ එකෙකුටවත් විනාඩි 10ක් දඟලන්නෙ නැතුව ඉන්න බැරි ලෙඩක් තිබ්බෙ.. ඒත් දැන්..එක එකා කොහොමහරි තම තමන්ට ටිකක් පහසු වෙන ඉරියව්වලට ආව..

"මචන් ආයිනම් සුනිල්ට කවුරුවත් මොනවවත් කරනව එහෙම නෙවෙයි"

"මොනව කලත් කමක් නැහැ ඇඟිල්ලෙන් අනින්නෙ නැතුව"

"ඈ බන්z ඇයි ඌට විතරක් ඇඟිල්ලෙන් අනින කොට හුක් ගාන්නෙ?අපිට ඇනපන්කො මීක් ගාන්නෙවත් නැහැ"

"කවුද බන්z දන්නෙ?"

"ඕක ආරෙට එන එකක්ලු "
"ආරෙ අයියගෙන්ද එතකොට මූට මේක බෝ වෙලා තියෙන්නෙ"

සුනිල්ගෙ ගෙවල් ලඟ හිටිය පවුලක් ඒ ගොල්ලන්ගෙ වාසගම ආර්
.. හැමෝම කිව්වෙ ආරෙ අයිය, ආරෙ අක්කා, ආරෙ නන්ගි කියල තමයි ඒ ගොල්ලන්ට..

"යකෝ ආරෙ කිව්වෙ පරම්පරවෙන් එන එකට
..දැන් බලපිය උඹේ තාත්තත් කොටයි.උඹත් කොටයි..ඒ වගෙ.."

"එතකොට අපේ ඉස්සරහ පේලියෙ ඉන්න නන්දා
.. එයාගෙ තාත්ත උසයි අම්මත් උසයි ඒත් නන්දා කොටයිනෙ"

"ඇයි බන්z  නන්දාලගෙ අල්ලපු ගෙදර සිමියොන් මාමා කොටයි උඹ දැකල නැද්ද?"

මුන්ගෙ ජබර කතා වලට හිනා යනව
..ඒත් ප්‍රින්සිබල් දැක්කොත් එහෙම ඩබල් පනිශ්මන්ට්..

"කට පියාන ඉඳපල්ලකො මේ පැය එකහමාරවත්"

"අපි දැන් සුනිල්ව අල්ලගෙන උගෙ හැමතැනටම ඇනල බලමු හුක් ගෑවෙන්නෙ නැති තැන් තියෙනවද කියල .. නේද මචන්ල?"

"මේ වල් වසෝ උඹ කට පියාන ඉන්නවද නැත්නම් මෙතන තියෙන ගොම්බෙට්ට උලනව උඹෙ කටේ"

වසා යන්තන් විනාඩි 5ක්  කට වසා ගෙන හිටිය. මන් හිතුවෙ නාමල් කිව්ව කතාවට බයේ කියලයි. නැහැ..බැලින්නම් අපෙ කුටු කුටුව ඇහිලද කොහෙද විනය සර් අපි ඉන්න දිහාවට එනව..ඒත් ටික දුරක් ඇවිත් ආපහු හැරිල ගියා.

"ගියාද බන්z තකා සර්?"

අපි කොහොමත් විනය සර්ට කිව්වෙ තකා සර් කියලයි


"මේ ඇයි බන්z සුනිල්ට අනින කොට හුක් කියලම බෙරිහන් දෙන්නෙ?"

"එතකොට ඌ වෙන කොහොමද බෙරිහන් දෙන්න ඕනි?"


"හ්ම්ම්ම් ඔය සුවපත් වේවා කියල වගෙ එකක් උනා නම් අද මෙහෙම කට්ටක් නෑනෙ"

"මේ ඒක නෙවෙයි වසා මොකෝ බන්z උඹ ඌට ඔය භාවනාව කරන  අස්සෙම ඇන්නෙ?"

"මන් හිතුවෙ නැහැ බන්z මේකා මෙච්චර හයියෙන් කෑගහයි කියල"

"අනේ උඹ ඔය ජීවිතේටම ඌට ඇන්නමයිනෙ"

"අපි නම් ආයි උඹල ඉන්න පේලි ලඟින්වත් ඉන්නෙ නැහැ"

සාපෙ උන් ටික කෙඳිරි ගානව

"කවුද උඹලට ඉන්න කිව්වෙ
.. සාපෙ උන් සාපෙ උන් විදියට ඉන්න ඕනි..එනව අපි අස්සෙ රින්ගන්න"

"වැඩේමයි උඹල අස්සෙ රින්ගන්න..හැබෑටම උඹල කරන වැඩ දැක්කහම අපිට නම් හිතා ගන්නත් බැහැ සා.පෙ කරලද ඔතෙන්ට ආවෙ කියල"

උනුත් අතාරින්නෙම නැහැ
..සාපෙ උන් කොහොමත් අපි එක්ක ඇටෑක්.

"අනේ මේ තොපිල වගෙ නෙවෙයි අපි සබ්ජෙක්ට්
8ක් ගොඩ දමල ආවෙ.. තොපිල දැන් කරන්නෙත් හයයි..ඔව්ව බාල වැඩ"

මතකද මන්ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල එක අවුරුද්දක සාපෙට තිබ්බෙ සබ්ජෙක්ට් 6යි

"කට පියා ගන් ඕන්න ප්‍රින්සිබල් එනව"

"උඹලට මෙතනවත් එක විදියකට ඉන්න බැහැ
..පලයල්ල පංති වලට . ආයිමත් එහෙම මේ වගේ පාහර වැඩක් අහු උනොත් කිසිම සමාවක් නැහැ"

ඕන්න ඔහොමයි අපෙ පැය එකහමාරෙ පනිශ්මන්ට් එක පැය භාගෙන් ඉවර උනෙ

Tuesday, August 9, 2011

සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී.....

මේ කතාව නම් මතක් උනේ අන්තිම පේලියෙ තිබුනු කතාවක් බලල

හිනා වෙවී ඉන්න ගමන් ඒකෙ තිබුනු කමෙන්ට් එකක් දැකල තමයි..
පාසලේ උ.පෙල කරන කාලෙ.. අපෙ ආටෙකුට තිබුනු ලෙඩක් තමයි.. කිහිල්ලට ඇඟිල්ලෙන් ඇන්නොත් "හුක්" කියල මහා හයියෙන් කියවෙන එක... පහු වෙනකොට ටිකක් ඈත ඉඳල උනත් පොඩ්ඩක් ඇඟිල්ල දික් කරල අනින විදිය අනුකරනය කලත් කැපිච්ච පනුව වගෙ දඟලන ගතියක් තිබුන..මේ සිද්ධිය දන්න නිසාම පංතියෙ ගුරුවරු පවා සුනිල්ව තියල තිබ්බෙ පංතියෙ හිටපු හොඳම දෙන්නෙක් මැද තමයි..උන් කවදාවත් සුනිල්ට ඇඟිල්ලෙන් අනින්න ගියේ නැහැ. ඒකට කොමස් එකේ අපි සෙට් එක තමයි ෆුල් ෆන් එකක් ගත්තෙ.. දැන් වැඩිහිටි උනාට පස්සෙනෙ තේරෙන්නෙ මෙව්ව සවුත්තු වැඩ කියල.. හැබැයි සුනිල් කවදාවත් අපෙ ප්‍රින්සිපල්ට හෝ විනය සර්ට කිව්වෙ නැහැ කවුද ඇන්නෙ කියල.. ඒ නිසාම අහල පහල ඉන්න හැමෝටම හම්බ උනා වේවැල් කසාය..හැම සඳුදම තියෙනව අපේ මේන් එසෙම්බ්ලි එක.. මුලු පාසලම පිට්ටනියට එක් රැස් කරල තමයි තියෙන්නෙ.. එක සඳුදාවක.. දැන් ඕකෙ පන්සිල් අරගෙන ඉවර වෙලා.. භාවනාව පටන් ගත්තා.. පන්සිල් දෙන හාමුදුරුවොම දැන් මෛත්‍රිය භාවනාව පටන් ගත්තා.

"සියලු සත්වයෝ නිදුක් වෙත්වා"

"සියලු සත්වයෝ නිරෝගී..."

"හ්හ්හ්හූක්ක්ක්"

කාටවත් හිතා ගන්න බැරි උනා එකපාරටමටිකක් වෙලා ගියහම තමයි හැමෝටම මීටර් උනෙ
.. ඒකත් එක්කම ළමයි හිනා කනව..ටීචර් ල සාරියෙන් කට වහගෙන හිනා වෙනව.. සුනිල් බොහොම අසරණ වෙලා බිම බලා ගෙන ඉන්නව.. විනය සර් ගෙ අතට කොහෙන් වේවැල ආවද දන්නෙ නැහැ.. ප්‍රින්සිපල් වෙව්ලනවා කේන්තිය වැඩි කමට..මුලින්ම ඇදල ගත්තෙ සුනිල්ව

"කොයි පාහරයද මේක කලේ"


සුනිල් ඊටත් වඩා බය වෙලා

"ස ස සර්..."

"කියපන් අද ඌව ගෙදර යවලම තමයි පස්ස බලන්නෙ"

"මන් දැක්කෙ නැහැ සර් කවුද කියල" සුනිල් කිව්ව විතරයි


"තෝ දන්නෙ නැහැ තොගෙ කිහිල්ලට ඇන්න එකා"

මුලින්ම වේවැල් පාර හම්බ උනේ සුනිල්ට
 අපි සෙට් එකටම දැන් හෙන අප්සට්..කොච්චර ගුටි කෑවත් සුනිල් නෙවෙයි කිව්වෙ..

ප්‍රින්සිපල් ගත්ත අපේ පේලි දෙකම ඉස්සරහට..

"දන ගහපිය සේරම"

පවු කියන්නෙ සුනිලුත් දන ගැහැව්ව


විනය සර් සුනිල්ව පැත්තකට ගත්ත

එකාට වේවැල් පාර හතර ගානෙ වැදුනා
 අපේ ක්ලාස් එකේ විසි ගනනක් හිටිය..සේරටම හම්බ උනා..

"හිටපියව් මන් කියනකම්ම ඔහොම"

දැන් අපි උදේ පීරියඩ් දෙකක්ම අර බොරලු ගොඩේ දන ගහගෙන


ඊට පස්සෙ විනය සර් දුන්න ජීවිතේටම අමතක නොවෙන දේශණයක්


"තමුසෙලා හරිනම් සුනිල්ට ඇඟිල්ලෙන් අනින්න නෙවෙයි වැඳල සමාව ගන්නයි
.. සුනිල් වැරදිලා හරි ඇන්න පාහරය්ගෙ නම කීව්වනම් .. හෙට ඉඳල ගෙදර තමයි"

හැබැයි එදායින් පස්සෙ නම් අපි සෙට් එක කවදාවත් සුනිල්ට ඇඟිල්ලෙන් අනින්න ගියේ නැහැ
..සුනිල් අපි එක්කත් හොඳටම ෆිට් උනා..

Monday, August 8, 2011

එන්න ගඟේ නාන්න.. මාලු නැහැ.. ඉන්නෙ යාලු විතරයි

මෙම කතාව මම විසින්ම   http://tlr.thelastrow.net/හි මීට පෙරදී ලියන ලද්දකි..

මේ සිද්ධියත් මටමයි උනේ… මට වෙන්නෙ මේ වගේවම තමයි.. කියල හැමෝම හිතන්න එපා.. මීට වැඩිය එව්වත් වෙලා තියෙනව..




අපි යාලුවො සෙට් එක ගියා තව යාලුවෙකුගෙ ආච්චිගෙ මළ ගෙදරක, කහවත්ත ඒරියා එකේ..මගේ උපන්ගම තියෙන්නෙත් ඒ ළඟම උනත් අපි සෙට් එක ගියෙ කොළඹ ඉඳන්..එකට ඉගෙන ගන්න සෙට් එක…ගිහින් පළමු වෙනි දවසෙ නයිට් එක ඇදල.. දෙවෙනි දවසෙ හවස් වෙනකොට කට්ටියටම නාන්න යන්න ඕනි උනා.. ගෙදරට පහලින් තිබුන පොඩි අතු ගඟක..


නෑ නෑ ඒකෙ මාළු හිටියෙ නැහැ.. ඒකනෙ කිසිම අතුරු අන්තරාවක් නැතුව නෑවෙ..


කැලෑව මැද ටිකක් පාළු සහ පෙනෙන තෙක් මානයක කවුරුවත් නැති නිසාත් අපි වැඩිය ඇඳුම් ගෙනිහින් තිබුනෙ නැති නිසාත්..කට්ටියම නෑවෙ යකඩ සූට් එකෙන්මයි..


පැයක් දෙකක් විතර ඔහොම නෑවා.. එකපාරටම අපෙ සෙට් එක එකින් එකා ටුක් ගාල ගොඩට හිහින් තිබුනු එකම ටවල් එකෙක්න් ඇඟ පිහිදගෙන කලිසම් වලට මාරු උනා.. මන් ලඟ හිටිය එකත් ගියහම.. තමයි මං දැක්කෙ අක්කල දෙන්නෙක් එනව එතන තිබුනු පොඩි අතු පාරකින් ලොකූ රෙදි පොට්ටනි දෙකකුත් අරං හෝදන්න ගඟට..මම ටුක් ගාල වතුර පපුව හරියට තියෙන වලක් වගෙ තැනකට ගියා. අක්කල දෙන්න එන්න ඉස්සර මට ටවල් එක එවන්න කියල මන් යාළුවන්ට වැන්දෙ නැතුව විතරයි.. උනුත් බල බල හිටියෙ බයිට් සීන් එකක් එනකම්මයි..


දැන් මේ අක්කල දෙන්නත්, මමයි ගං ඉවුරයි අතරෙ තියෙන ලොකු ගල් දෙකක් උඩ ඇන තියාගෙන රෙදි හෝදන්න පටන් ගත්ත.. අපෙ උන් සෙට් එකත් මාර සීරියස් ලුක් එකක් අරන් මට පොර ටෝක් දෙනව..


“වරෙන් මචං දැන් අපිට පරක්කුත් වෙනව.. උඹ වතුරට බැස්සහම ගොඩට ගන්න බැහැනෙ.. ඇයි උඹ වියලි කලාපෙද ඉන්නෙ?”


දැන් අක්කල දෙන්නත් මමත් එක්ක හොඳට ලෙංගතු විදියට හිනා වෙලා අපෙ සෙට් එක මට ගොඩට එන්න කියල කරන දේශනා වලටත් හිනා වෙනවා.. මමත් නානව නෙවෙයි එතන වතුරෙ හිටගෙන ඉන්නව.


එකෙක් ටවල් එක ඔලුවෙ ඔතා ගෙන මට උලුක්කු කරනව..මම මෙහෙම පැය භාගයක් විතර සීතලෙ ගැහි ගැහී ඉන්න කොට.. දැන් ටවල් එක අතේ තියාන ඉන්න එකා ගලින් ගලට පැන පැන මන් ලඟම තියෙන ගලක් උඩට ආව..යන්තම් ඇති බයිට් එක ඉවරයි කියල මට හිතල ඉවර කරන්න උනෙත් නැහැ..


“මචෝ ටවල් එක ඔතනට දැම්මොත් තෙමෙන නිසා මං මේ ගල උඩින් තියනව”


කියල මූ මං ළඟම තිබුනු උස ගලක් උඩින් ටවල් එක තියල යන්න ගියා


මේ වගේ දසයන්ට යාලුවො කියල අර්ථකතනය කරපු එකා මට ඒ වෙලාවෙ අහු උනානම්..


සෙට් එක මට තවත් පොර ටෝක් දෙනව තද වෙච්ච සයිස් එකෙන්.. තවත් විනාඩි 10කට විතර පස්සෙ තමයි.. අර අක්කල දෙන්නගෙන් කෙනෙකුට  මීටර් උනෙ මන් ඉන්න තත්වෙ.. ඒ අක්ක අනිත් අක්කට කුටු කුටු ගාල මොනවද කිව්ව.. හිකි හිකි ගාල හිනා උනා..


“ආ මල්ලි ටවල් එක ගන්න”


කියල මේ දේවතාවියො දෙන්න අනිත් පැත්ත හැරිල රෙදි සෝදන්න උනා..


එදා රෑ මේ අක්කල දෙන්නත් මළ ගෙදර ආවා.. අපේ සෙට් එක එක්කම කතා කලා.. මාව දැකල වෙන මුකුත්ම ඇහුවෙ නැහැ..


“ආ මේ මල්ලි නේද?”


කියල හිකි හිකි ගාන්න ගත්ත..

Friday, August 5, 2011

මෙහෙම නිදා ගමු..

කාල වකවානුව 1994 මුල් මාස කීපය..අවුරුදු 17 කට ඉස්සර කියන්නෙ...කාලය ගෙවී ගිය ඉක්මන..
 කැම්පස් එකේ අපිට දුර එච්චර නැති නිසා හොස්ටල් ලැබුනෙ නැහැ..ඒත් හොස්ටල් වල තිබුනු සියලුම පහසුකම් වින්ඳ.. නෑම, කෑම, ටීවී බැලීම, ආදී සියල්ලම..ඒ උනාට අපි නැවතිල හිටියෙ කැම්පස් එකේ ඉඳලා පයින් යන දුරක.. ජී.එච්.පෙරේරා මාවතෙ.. ඒ පළමු වසර අවසානයට මාස තුනකට ඉස්සෙල්ල තමයි මම බෝඩිමකට සෙට් උනෙ. මොකද අපෙ ඥාති අයියලගෙ ගෙදරක ඉඳන් තමයි මම කැම්පස් ආවෙ..ඒ බෝඩිම අයිති ගොඩාක් වයස ඇන්ටි කෙනෙකුට..එක පුතෙක් හිටියා..එයා වෙන කොහෙ හරි හිටියෙ..මාසෙකට සැරයක් එනවා..ඇන්ටි බලන්න.. මන් හිතන්නෙ සල්ලි අරන් යන්න.. ඒ ඇන්ටි උයා පිහා ගෙන කෑවා.. ගෙදර ඉස්සරහ කාමර 2ක් තිබුනා.. එක කාමරයක 3න් දෙනකුත් ගෙදර ඇතුලෙ කාමරෙ 2කුත් හිටිය.. මම හිටියෙ ලසන්ත එක්ක ඇතුලෙ කාමරෙ.. අපි බෝඩිමට ආවෙ රෑට නිදියන්න විතරයි.. උදේම කැම්පස් ආවහම.. කෑම නෑම දේශන වලට යාම.. එකී මෙකී නොකී සියල්ලම කලේ කැම්පස් එකේමයි.. බෑග් එකෙ අමතර ඇඳුම්, ටූත් පේස්ට් සහ බ්‍රශ් තිබුනා..හවස දේශන ඉවර උනහම අපි ඕපන් කැන්ටිමේ හරි , වලේ හරි, නැත්නම් ජිම් එකේ හරි සෙට් එක එක්කම පාඩම් කරනව..රෑ 12 විතර වෙනකම්..ඊට පස්සෙ යනව බෝඩිමට.. මේ බෝඩිමට යන පාරෙම තිබුනා පොදු ලිඳක්..,ඒකෙන් ඇඟ පත හෝද ගෙන රූම් එකට ගිය ගමන්ම ඇඳට වැටෙනව.. උදේ වෙනකම් නිදි..මගේ තිබුනු පුරුද්දක් තමයි.. නිදියන්න ගියහම.. සමාන්‍යයෙන් කරනව වගේ .. ඇඳ උඩ ඉඳගෙන කොට්ටෙට ඔලුව තියල නිදියනව නෙවෙයි..ඇඳට රෝලින් ජම්ප් එකක් දමනව..එහෙමම නිදියනව..මගෙ රූමා හැමදාම බනිනව..
"යකෝ උඹ දවසක ඔය ඇඳ කඩනව.. මෙහෙනුත් යන්න වෙනව "
 කියල
එදත් වෙනද වගේම .. රූම් එකට ආවා.. බැස්ස සරමට.. උදේම හදල තිබුනු ඇඳ .. තියෙනව කිරි ටොයිස් එකට..එතකොටත් රූමා ඇඳේ..
ගුඩ් නයිට් මචෝ"
මන් නිව්ව ලයිට් එක.. මගේ සුපුරුදු ජම්ප් එක ඇඳට... හුටා කෝ ඇඳ??? මාව මෙට්ටෙ අතයි.. කකුලයි ගෑවෙනවත් එක්කම... මට දැනුනෙ..මෙට්ටෙ ගිලා බහිනව මාත් එක්කම.. දඩ බඩස් ගාලා සද්දයක් ආවා.. ඒ එක්කම කාමරෙ ලයිට් එක පත්තු කලා කවුරුහරි..මන් ඉන්නව දැන්.. අර පිදුරු වලකට වැටිච්ච හරක වගේ.. ඇඳේ රාමුවෙ හිරවෙලා.. මෙට්ටෙත් එක්කම..මගෙ රූමයි.. ඉස්සරහ කාමරෙ හිටිය රූමො 3 න් දෙනයි..හිනා කනව එතන. මේක මුන්ගෙ ප්ලෑන් එකක්.. මුන් කවුරුහරි දවල් ඇවිත්.. මගෙ ඇඳේ ලෑලි ටික අයින් කරල.. එක ලෑල්ලක් තියෙද්දි.. මෙට්ටෙ හරි ගස්සල.තියල කිසිම වෙනසක් නොපෙනෙන්න. ඉස්සරහ රූමො තුන් දෙනා මම ලයිට් එක නිවනකම් බලා ඉඳල තියෙන්නෙ.. ලයිට් එක දමන්න... මොකද සීන් එක හොඳට බලා ගන්න..අන්තිමේ උන්ගෙ උදව්වෙන්ම මන් ඇඳෙන් ගොඩට ආවා.. කට්ටියගෙ හිනාවට ඇන්ටිත් ඇහැරිලා..
 "මොකද ලමයිනෙ මේ කච බචේ? මහ රෑ තිස්සෙත්"
මගෙ රූම කියනව
 "නෑ ඇන්ටි මේ ලියන්නා ඇඳ කඩා ගෙන වැටිල"
"ඔය කොස් ලී දමපු ඇඳත් කැඩුවද ? මොකද ලමයි කලේ ඕන උඩ පිනුම් ගැහුවද?"
මගේ යාලුවො රැල පහු වෙනිද.. කතාව බැච් එකේම ප්‍රචාරය කලා..ඇඳ ඇත්තටම කැඩිලා තිබ්බෙ නැති නිසා බෝඩිමෙන් යන්න උනේ නම් නැහැ

photo courtsy from http://www.clipartmonsterclub.com