ඊයෙ දවල් පටන් ගත්ත වැස්ස මහ අනෝරා වැස්සක් වෙලා නතර උනේ අද උදේ පාන්දර තමයි..මම කාර්‍යාලයට එන්නෙ පාර දිගේ කිලෝමීටරයක් විතර ඇවිද ගෙන..භාගයක් විතර අස්වද්දපු කුඹුරු යායක් මැද්දෙන් මම එන ගමන නොහොම හෙමිහිට..දවසින් දවස නිලට නිලේ දශමෙන්ට් දශමෙ උස් වෙන ගොයම් ගස් දිහා බලා ගෙන හිත නිවා ගෙන එන මේ ගමන හරිම රසවත්..
අදත් සුපුරුදු විදියට වෙල් යාය දෙපැත්තම බැලුවහම මගේ බඩ පපුව පිච්චිලා ගියා...හිතෙන් මවා ගෙන ආපු කෙටි ගොයම් පැළ සේරම වහ ගෙන ගලා බහින වතුර පාර මාව ඇඬෙව්වා..
මොහොතක් බලා ඉඳලා ජංගම දුරකතනය අතට ගත්තෙ ෆොටෝ එකක් ගන්න උනත්..මට ඒ දේ කරන්න වාරුවක් හිතට තිබුනෙ නෑ.. අද දවසම අඳුරු වෙලා තිබ්බා වගේ මගෙ හිතත් දවසම අඳුරින් බර වෙලා තියන්න මේ දර්ශනය හොඳටම ප්‍රමාණවත් උනා. මගේ ළඟම සහෘදයෙක් ගෙ කුඹුරු කෑල්ලත් එතන වතුරට යට වෙලා තිබ්බා උනත් පොදුවේ ගොවිතැනින් දිවිය සරි කර ගත්තෙ මගේ පවුලෙ අය කී සැරයක් මේ වගේ කුඹුරු ගං වතුරට අහුවෙලා ඊ ළඟ කන්නෙ එනකන් දුක් වින්දද කියන අතීතය මගේ හිත ඇතුලෙ සක්මන් කිරිල්ලත් එක්ක මට මේ කුඹුරු කරපු අයගෙ අද උදේ ඇතිවෙච්ච වේදනාවට සංවෙදී වෙන්න ලොකු දුර යන්න ඕනි උනේ නැ.
ඔය එක්කම මට මතක් උනේ ගිය අවුරුද්දෙ සිද්ධ වෙච්ච අලකංචියක් එක්ක මම ලියපු මේ ආත්මකථනය..මේකෙ ලියවෙන ප්‍රධාන සිද්ධියට මූලික උනෙත් මේ වගේම ගං වතුරකින් අපේ කුඹුරු යායම විනාශ වෙලා..බොහොම අමාරුවෙන් ගත කරපු කාලයක් තුල ම තමයි...
මතකද මම එදා ලියපු ඒ කතාව ?
------------------------------------------------------------------
මම කැමරාවද රැගෙන ඔහේ ඉබා ගාතේ යමින් සිටියෙමි. සිතට දැනුන යම් සිත්තමක් කැමරා කාචයේ තවරා ගනිමින් මා හෝරා ගනනාවක් ඇවිදිමින් සිටියෙමි. තිබහද දැනේ..කුසගින්නක්ද කොහේ හෝ සිට හිස ඔසවා ගෙන එනු දැනේ.
ස්වාභාවිකව ගලා ගිය දිය දහර හරස් කොට කෘතීමව තැනූ පොකුණ දැන් කාලයක් තිස්සේ පැවති නිසා එය අවට පරිසරයටම බද්ධ වී ඇතුවාක් මෙන් පෙනෙන ඉදිරියේ වූ උද්‍යානයේ පොකුණ අසලම වූ බංකුව මත මා හිඳ ගතිමි. කැමරා ආම්පන්න සහිත මල්ල පසෙක තැබූ මා හට පෙනුනේ මා අසලම තණ ගොල්ලේ හිඳ සිටින තරුණ වියේ පිරිසකි. අවුරුදු 15ත් 25ත් අතර විය හැකි යැයි සිතිය හැකි සමනල් රෑනක් බඳු ඔවුන් ඉතා ප්‍රීතියෙන් කෙලි දෙලෙන් හිනා වෙමින් කාලය ගත කරයි. ඔවුන්ගෙන් කීප දෙනෙක් අසල වූ පොකුණෙ නාමින් සිටී.
ජීවිතයේ සොඳුරුතම ඉසව්ව වූ යෞවනය...මේ පිරිසට කෙතරම් නම් ප්‍රීතිජනකද යන්න මා හට ඔවුන්ගේ කතා බහින් දැඟලිල්ලෙන් පෙනේ..ඇසේ..දැනේ..
දුප්පත් කමින් බර වූ පවුලකට හිමි කම් කී මාගේ යෞවනය ගෙවී ගියේ බොහෝ විට අධ්‍යාපන කටයුතු සඳහාත්..එයින් ඉඩක හසරක් ලද විටෙක යම් කුලී වැඩක් හෝ පතල් ගොස් කීයක් හෝ හම්බ කර ගැනීමට මිස...යහළු යෙහෙලියන් හා මෙසේ විනෝද වීමට නොවේ. ගමේ ගොඩේ දුවේ පැන ගිය සොඳුරු ළමා කාලයක් තිබුනත්...අඩුලුහුඬු කම් දැනෙන්න ගන්නා කාලය වන විට ජීවිතය කෙතරම් නම් අමාරුද යන්න මා වටහා ගත්තේ ඉතා ලාබාල අවදියේය. ඒ නිසාම අධ්‍යාපනය කෙරෙහි මා තැබූ අති විශ්වාසය මා අධ්‍යාපනයේ කෙළවර කරා ගෙන යන්නට සමත් වූ බව ඉඳුරාම කිව හැකිය. නමුත් එය ආ මඟ... කිසිදා රෝස මල් ඇතුරූ මඟක් නම් නොවීය. එහි වූ කටු පඳුරු වලින් තුවාල වූ තැන් බොහොමයක් අදටත් ලේ ගලන බව මා දැක ඇත්තෙමි..
එවන් කාලයක් ලද මා මේ තරුණ පිරිස ගැන හිතන්නේ කුමක්දැ යන්න මාගෙන්ම මා විමසූයෙමි.
ඉරිසියාවකි..
එය පැහැදිලි ඉරිසියාවකි.
අනේ මටත් මෙවන් තරුණ කාලයක් තිබුනා නම්...
එය ඉතා කෙටි කාලයකට මා සිත දරන සිතුවිල්ලයි. මා අද වන විට ගෙවා දැමූ 42 වසරක ජීවිතයේ ලද අත්දැකීම් රාශිය මත මා මෙවන් ඉරිසියාවක් වැනි ලද බොළඳ සිතුවිල්ලක් මා සිතේ ස්ථාපනය වීමට ඉඩ දෙන්නේ නැත.
සියල්ලම ඇතිවී , පැවතී, නැතිවී යන ලෝකයක..මා යනු පඤ්චස්කන්ධයක් තුලින් සිත තුල ගොඩ නඟා ගත් ඉහත කී උත්පාද, ඨිති, භංග වන ශර්‍රීර කූඩුවකි. තවත් මා යැයි සිතමින් ලොබ බැඳ ගැනීමේ චේතනාව හැකි උපරිමයෙන් ඉවත් කිරීමට වෙර දරන මා හට තවත් බැඳීම් , දුක් වේදනා අවශ්‍ය නොවේ..
ඔවුන් මට වඩා ඉතා වාසනාවන්තය..
පොකුණින් නාගෙන ආ පිරිස තණ පිස්සේ හිඳ වුන් පිරිස හා එකතු වෙයි. හීන්දෑරි හාදයකු ගිටාරයක් ගෙන වයන්නට පටන් ගනී. මට සිහින මලයා සිහි වේ. මට සිනහවක් නැගෙන්නේ අප කෙලෙස විහිළු තහළු කලත්...වෙනී මාමේ කියා අමතන ඔහුගේ ප්‍රියශීලී බාවය මතක් වීමෙනි..
මා මොහොතකට දෑස පියාගෙන සුළඟ හා මුසුව එන ගිටාරයේ තත් හැඬවෙන නාදයට සිත යොමු කලෙමි..
ඉක්මනින් අසල වූ කඩයට ගොස් යමක් කා බඩගින්න මඟ හරවා ගෙන දවසේ ඉතිරියද කැමරාව තුලින් අවට දැකිය යුතුයි... නමුත් අපූරු තත් සර මාගේ කැළඹුනු සිතුවිලි නිවා දමයි...
මා කොතරම් වේලාවක් සිටියාදැයි නොදනිමි..
"එක්ස්කියුස්මී අංකල්"
මා තිගැස්සී දෑස විවර කලේ..සමහර විට මා සිටි බංකුවට තවත් අයකු පැමිණ ඉඳගැනීමට අවසර පතනවා වන්නට පුළුවන්ය යන සිතුවිල්ලත් සමඟය. මන්ද මාගේ කැමරා බෑගය බංකුවේ සෑහෙන ඉඩක් ගෙන තිබුනි. මේ සිතුවිල්ලත් සමඟම දෑස හරින ගමන් මා බෑගයද උකුලට ගතිමි.
"අංකල් අපි ගෙනාපු සැන්විචස් වගයක් තියෙනවා..අද අපේ ක්ලාස් එකේ අන්තිම දවසෙ පාටිය. මෙන්න අන්කල්ට සැන්විචස් ටිකකුයි ඩ්‍රින්ක් එකකුයි..."
අර තරුණ පිරිසෙන් මිදුනු තිදෙනකු මා අසල සැන්විචස් දීසියක් සමඟ සිසිල් බීම බෝතලයක් මා වෙතට දිගු කරමින් සිටී.
ස්තූති කර මා එය අනුභව කර එතනින් පිට වූයේ..කුමන අහ්ලාදජනක සිතුවිල්ලකින්ද යන්න මට තවමත් සතුටින් ආවර්ජනය කල හැක.
ජීවිතයේ කිසිදා නොදුටු නන්නාඳුන අයෙකුට වූවද ඔවුනට පෑ හැකි අමුතුම සෙනෙහසක් ඔවුන් තුල තිබුනි...
මේ අද කාලයේ ලයාදර තරුණයින්ගෙන් පිරිසකි..
ඔවුන් කල දේ ඉතා සුළු දෙයක් වූවත්...එහි ගැඹුර...ඔවුන් දනී නම්...
එය එසේ අවසන් වීය.
මා ඉදිරියේ ඇත්තේ විශාල ජල තලාවකි... විටින් විට නැගෙන මදනලෙන් පැන නගින රල පහරක් හැර අන් කිසිම තරංගයක් ජල තලය මත නොනඟී.. නිසල දිය ගැඹුරු බව මා අසා ඇත්තෙමි..එය එලෙස බව අවබෝධ කරගෙනද ඇත්තෙමි. ..
හිඳ සිටි තැනින් නැගී සිටි මා අසල වූ කැට කැබැල්ලක් ගෙන ජල තලය මතට වේගයෙන් දමා ගැසීමි. කැට කැබැල්ල ජල තලයේ ලිස්සා යමින් ඈතට ඇදෙන්නට වීය. ජල තලයේ එහා කෙළවර පිරිසක් යම් කාර්‍යයක් කරමින් සිටී. ඔවුන් මා හට අත වනන බව මා දෑස අගින් දුටුවෙමි. කැට කැබිලිත්ත අවසානයේ ජල තලයේ වැදී යටට යන ස්ථානය කෙරෙහි මා දෙඇස යොමු වෙද්දී...හරියටම එම ස්ථානයෙන් මහා ජල කඳක් පැන නැග්ගේ මුළු ජල තලයම කළඹිමිනි. මාගේ කුඩා කැට කැබැල්ල කලේ කුමක්ද යන්න සිතා ගන්නටත් පෙරම මාගේ ඉන තරමට ඉහල නැග ආ ජල කඳ මා නැගිට සිටි ස්ථානයෙන් මා ඔසවා බිම දැමූයේ කිසිම හිතක් පපුවක් නැති සේය. මා සියොළඟම තෙත බරිතව ඇත..
සිදු වූයේ කුමක්ද යන්න මා හට තවමත් සිතා ගත නොහැක.
සෙමින් සෙමින් නැවත ජලකඳ ජලාෂය තුල ඇදේ...එය නිසල වීමට කාලයක් ගත වනු ඇත..
එම කාලය තුල අවු රශ්මියට ගොස් මා හට තෙත බරිත වූ ගත වියලා ගත හැක..
මා සිත නැවතත් අතීතයට දිව යයි.
සැමදා මෙන්ම අකමැත්තෙන් වූවද රොටී කෑල්ලක් ලුණු මිරිස සමඟ ගිල දමන්නට එදාද උදෑසන සිදු විය... අකල් ගං වතුරින් අපට බත සරි කල කුඹුර විනාශ වී තිබූ කාලයක..කට දවන ලුණු මිරිසේ රසට කිසිම රසක් නොදැනෙන රොටී කෑම කුඩා මා හට ඉතා නීරස වීය. කෑවාද නැද්ද යන්න මතකක් නැතත්..ඒ ඉරිදා උදෑසන දහම් පාසලට ගියේ එය සැමදා කරන කාර්‍යයක් මිස වෙන වැඩි වටිනාකමක් නොදැනය. සෙමින් සෙමින් කුසගින්න වැඩි වේ. මල් වට්ටිය ගෙන බුදුන් සිටි කුටියට ගොස් පූජා කරන විටා මා දෙනෙත ගැටුනේ ඊට මොහොතකට පෙර බුදුන්ට පූජා කල බුද්ධ පූජාවයි. කිරි හොද්දේ අල කෑල්ලක් පෙනෙන්නට තිබුනි. ඉඳිආප්ප, ආප්ප සහ තවත් වෑංජන කිහිපයක් කුඩා තැටි වල අසුරා තිබුනි. හවස් වන විට මේ සියල්ලම මල් අස් කරන කුණු ගොඩට යයි. කුසගින්න කිසිසේත් උසුලා ගත නොහැක... මූත්‍රා කිරීමට අවසර ගෙන මා හෙමිහිට රිංගා ගත්තේ බුදු කුටියටයි..මා හට බුදු පිළිමය දෙස බැලීමට නොහැක. බත් කුට්ටියක් ගෙන අල හොද්දේ පොඟවා මුව තුල බහා ගතිමි. රස නහර පිනා යයි. තවත් බත් ගුලි දෙකක් පමණ ගෙන මුව තුල ඔබා ගත්තා මතකය.
වැරෙන් ලද අතුල් පහරට මා විසී වී ගොස් අසල වූ පිළිමයක්ද පෙරලා ගෙන බිම වැටිනි.
පන්සලේ ඇබිත්ත මාමා මුළු දහම් පාසලේම සිසු සිසුවියන් මැදින් ඇද ගෙන ගොස් මා ලොකු හාමුදුරුවන් වෙත පෑවේය..එවිටත් මා අතේ ගුලි වී තිබුනු බත් ගුලිය නිසා මා වැරදි කරු වී හමාරය. වේවැලෙන් ලද පහර කීපයක් සමඟ මා බෝධිය අසල වූ ඝන්ඨාරය අසල රත් වූ වැල්ලේ දන ගසා ගෙන සිටියෙමි. රත්වූ වැලි කැට වලට දෙදණ පිලිස්සෙයි. කකුල් දෙක හරහා වැදුනු වේවැල් පහර වල වේදනාව ඇදුම් කයි. ගමෙන් භාගයකටත් වඩා වූ දහම් පාසැල් සිසු සිසුවියෝ සිනාසෙන්නේද නැද්ද යන්න මට නොපෙනෙන්නේ..මා බලා සිටින්නේ අසල වැටී ඇති වියළුණු බෝ පත් සහ ලා රත් පැහැ බෝ දලු දෙස පමණක් වන නිසාය. කිසිවකු අත යැවූ පණිවිඩ්යකින් අක්කා පැමිණ අඬමින් මා ගෙදර රැගෙන ගියාය. ගමේ හිස ඔසවා ගෙන ගමන් කල ගොවියකු වූ කෝපාවිශ්ඨ වූ තාත්තා පේර කෝටු කීපයක්ම කැඩෙන තුරු මට තලා ගෙදරින් පිට ගියේය. මා හැඬුවාද යන්න මතක නැත. අවසාන වන විට මා හට හඬන්නට කඳුළු තිබෙන්නට නැත. කුස තුල නැගෙන්නේ කුසගින්නක් නොව වේදනාවකි.
කුලී වැඩට ගොස් හවස අම්මා එනවිට මඟදීම ඇයට කිසිවකු කථාව කියා ඇත.
" පේර කෝටු කැඩෙනකල් තැලුවා මිසක් එකෙක් හොයලා බැලුවද කොල්ලා උදේට කෑවෙ මොනවද කියලා ?"
අම්මා හැඬූ කඳුලින් තුවාල වූ තැන් වල බෙහෙත් ගැල්වූවාය...
ඊට පසු කිසි දිනක මා හට අම්මා රොටී කන්නට නොදුන්නාය. කෙසේ හෝ අල ගෙඩියක්, දෙල් ටිකක් හෝ කොස් ටිකක් තම්බා දුන්නා මිස...ඈ කිසි දිනක මා හට රොටී කෑමට වද නොකල බව මතකය. මුළු ගමම බුද්ධ පූජාව හොරෙන් කෑ එකා කියමින් අවමන් කලා මිස එය කෑමට පෙර මා කොතරම් බඩගින්නේ සිටියේද යන්න විමසූයේ නැත. අසල ගමේ වූ දහම් පාසලින් ධර්මාචාර්‍යය විභාගය සමත් වූ මා පසුව ගමේ පංසලේ එම දහම් පාසලේම වසර තුනක් ඉගැන්වීමේ කටයුතු කල බව මතකය. මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි.. වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..
දහස් වර කියවා ඇතත් අදටත් මනුතාපය කෘතිය කියවන මාගේ දෙනෙතට කඳුලක් නැගෙන්නේ මන්දැයි මා නොදනිමි. නමුත් දිය බිඳක් ඉල්ලන විට අනුකම්පා විරහිත ලෝකයෙන් ලැබෙන්නේ දිය බිඳක් නොවන බව මා දැන හිටියේ අද ඊයේ නොවේ..එදාද එලෙසමය..අදද එලෙසමය..
මෙයද කිසිවිටෙකත් අනුකම්පාව ඇයදීමක් නොවේ.. ඔබ මොහොතකට හෝ දෑස් පියා ගෙන සිටී නම් එය විවර කිරීමටය..වෙළඳ සමාජයක අනුකම්පාව යනු තවත් එක් වෙළඳ භාන්ඩයක් මිස හදවත පතුලින් නැගෙන සානුකම්පිත හැඟීමක් නොවන බව මට වැටහෙමින් සිටී...
විසල් ජල තලය මත තවමත් විසල් රැල නැගෙයි. නැවත එය නිසල වීමට මහා කාලයක් ගත වනු ඇත.. මා ගත වියලීයාමටද බොහෝ වේලාවක් යනු ඇත.
වැවේ එහා ගොඩේ වැඩ කරමින් සිටි කෙනකු වැව් තලයේ වූ ගලක් බෝර දමා කැඩුවා යැයි නොකීවා නම් මා සිතා සිටින්නේ මා විසි කල කැට කැබැල්ල මෙය කල බවයි.
සියළුම සංස්කාරක ධර්මයන්ගේ පවතින්නේ මේ අනිත්‍යය බවයි.
මම ඔබට කියන්නෙමි.. නැත සහෘදය මෙය දහසකුත් එකක් චරිතයන්ට පන පොවන අවජාතක ආරච්චිලාගේ ලියන්නාගේ කතාව නොවේ.
ඔබගේ පපුවට අත තබා බලන්න..ආන්න එලෙසම ගැහෙන රිදවෙන හදවතක් හිමි වෙනීගේ කතාවයි, මේ ලියවෙන්නේ..
එවිට අන් අයකු මෙය ලිවීමට තම කාලය හා ශ්‍රමය වැය නොකරනු ඇත...
මා ජල තලය නැවතත් නිසල වන තුරු බලා සිටින්නෙමි.
නැතහොත් සසල ජල කඳ අත හැර දමා ඒ වෙනුවට සයුර අසල නිරතුරුවම බිඳෙන ජල තලය අසලට වී කාලය ගත කරන්නට අදිටන් කර ගත්තෙමි.
-----------------------------------------------------------------
ඔහොමයි ඒ කතාව එදා ඉවර කලේ..ඉවර කලා කිව්වට කොමාවක් දැමුවෙ...මේ කතාවෙ කියපු කාරනා අද වෙන කොට කොයිතරම් නම් වෙනස් වෙලාද කියලා හිතන්න කාලෙ හරි කියලා මට හිතුනත්...එහෙම හිතන හැම වෙලාවෙම මගේ හිත අරක් ගන්නෙ අර පුංචිම පුංචි ගොයම් ගස් උඩින් ගලා ගෙන යන දුඹුරු පාට වතුර කඳම තමයි...
අපේ දෙමවිපියො සොබා දහම එක්ක ගැටිලා..ඒකෙන් බැට කාලා ආයිත් ඒකට වෛර නොකර බොහොම අකම්පිතව ඒ දේ කලත්...ඒ හුරුව අපිට නැත්තෙ ඇයි..කියන මහ ලොකු ප්‍රශ්ණය හිත ඇතුලේ කරකැවෙන්නෙ මහ සුළි කුණාටුවක් වගේ..
සුපිරිම සුපිරි වෙනියෝ. . මගෙත් පොඩි කාලෙ සිහි ගැන්වුනා. . නියමයි. . . . . ඔය වතුරින් ගහගෙන යන දාඩිය මොන තරම්ද?
ReplyDeleteසහතික ඇත්ත මඟියා , සොබා දහම කරන්නෙම දරුණු වැඩ දහඩිය හෙලන අයටමද මන්දා ?
Deleteබඩගින්නේ සිටි ගොවියාට බුදුන් වහන්සේ බණ කීවේ තමුන්ට ලැබී තිබුණු දානයෙන් ඔහු සන්තර්පිතකලාට පස්සෙ. බුදු කරුණාවෙන් බිඳක්වත් නැති බුදුන් නාඳුනන ඊනියා බුදු පුත්තු..
ReplyDeleteඅද බුදුපුතුන් බහුතරයක් ගිහියන්ට එහා ලංකා ..
Deleteඅද ඉන්නෙ බුදු පුත්තු නෙවේ බුදුංගෙ අප්පොච්චිලා ඒකනෙ මේ හැටි බුදාගම බේරගන්ට දත කන්නේ.
Delete
ReplyDeletehttp://liyanna-liyanna.blogspot.com/2013/03/blog-post_12.html?showComment=1363125299731#c2515820318160470107
කශූ මන පරණ ලිපිය එක්ක තිබ්බ කමෙන්ට් කියවද්දි නිකමට හිතුනා කශූ මේකෙ ලින්ක් එකවත් දායිද මන්දා කියලා .. :-D
Deleteවෙනී ..... කියන්නට දෙයක් නැත. කියවූවෙමි ...... පන්සල් වලින් ඇත්තටම ජීවිතය හැඩගස්වනවාද?
ReplyDeleteඅද වෙන කොට ඉවාන් ඕක ලොකු ඔරශ්නයක් වෙලා .. බොහෝ පන්සල් අද තාරුණ්‍ය අරගෙන යන්නෙ කොහෙද මන්දා ?
Deleteකමන්ට් එකට මොනව ලියන්නද කියල හිතාගන්න බෑ..
ReplyDeleteමේ පරණ කතාව ලියන්ඩ හේතුව උන සිද්ධියක් තිබුනා සංචාරකයා , මතවාදී ගැටුමකදි මම ගැන කිසිත් නොදන්නා කීප දෙනෙක් ලියන්ඩ ගත්තා මම ගැන අවජාතක ආරච්චිලගෙ ලියන්නා කියලා. මේ ඒකට මම දීපු උත්තරය. අර ලිව්ව කාණ්ඩෙ අද නිදන් වෙලාම ගිහින්ද කොහෙද !
Delete//වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..// ඒක ඇත්ත වෙනී අයියා. අර වගේ සෙල්ලක්කාර ජීවිත ගතකරන බොහෝ දෙනෙකුට ඒ ජීවිතේ වෙනස්කමක් උනොත් සමාජයේ කෙලින් හිටගෙන ඉන්න පුලුවං හැකියාවක් නෑ.
ReplyDeleteඒ කාලෙත් පංසල් එහෙමනං දැං තියෙන ඒව ගැන කතාකරලම වැඩක් නෑ.
ප්‍රසා දැන් 43 ක් බන් මේක ලිව්වෙ ගිය අවුරුද්දෙනෙ ..
Deleteඈ... ඒ කියන්නෙ 42 දි ද හොරෙන් පිංබත් කාල අහුඋනේ. :D
Deleteහික්ස්..මේ කතාව මුලින්ම ලිව්වෙ 2013 මාර්තු වලනෙ..එතකොටනෙ 42..දැන් තවත් අවුරුද්දක් ගිහින්..
Deleteමේ....කතාව... ලංකාවෙ ...පෙකිනි වැල කපපු....උඹල ...අපේ.... කතාන්දරය ...පමණි.... ??????
ReplyDeleteඔව් කෙන්ජි ඒ හින්දම අපිටම ආවේණිකයි මේ කතා...
Deleteමං කලින් ලියපු කතාවටත් කමෙන්ට් කළා වගේ මතකයි බං
ReplyDeleteමම හැමදාමත් ඔබේ මේ “නවකතා“ පිටු කියෙව්වත් කොමෙන්ට් කරන්නේ නම් නැති තරම් , ඒකට එක හේතුවක් මේ කතා කියවල ඉවර වෙත්දි මම මගේ අතීතයට හිතින් ගිහින් , ඔබ ලියන්නේ මොන ගමක කතාවක් වුනත් මට එය දැනෙන්නේ , හුංගම , තංගල්ල , අහංගම වගේ පළාතක ඉඳන් කියවනව වගේ .
ReplyDeleteස්තුතියි :)
උඹට මතක ඇති ඉස්සර පොඩි කාලේ උදේට ස්කෝලේ රැස්වීමක් තියනවා. අව්වේ පැයක් විතර හිටගෙන ඉන්නත් වෙනවා සමහර දවසට. ඒ කාලේ ළමයි කීපදෙනෙක් ක්ලාන්තේ වෙලා වැටෙනවා මට මතකයි. ඒ දුප්පත් ළමයි බවත් මතකයි. අපිට කන්න හදලා දීලාත් නොකා ස්කෝලේ යද්දි ඒ ළමයින්ට විකල්පයක් තිබ්බේ නෑ. (ඒත් අපි ක්ලාන්තේ දාලා වැටුනෙත් නෑ. අපිට කියලා මහ ලොකු කෑමත් තිබුනේ නෑ නේ අද වගේ. (
ReplyDeleteඒත් හිතපන් අද වෙනකොට අපිට කාලා වැඩිවෙලා ක්ලාන්තේ හැදෙනවා. අපි කාපුවා දිරවන්න අරවා කරනවා මේවා කරනවා. (වේලක් බඩගින්නේ හිටියොත් මී පැටියෙක් වගේ) ඒත් ඒකාලවල තිබ්බ අර අහිංසක සුන්දරත්වය අපිට නෑ නේ බං.
කොයිදේත් පැවැත්ම ගත්තම එහෙම තමයි වෙනී. ලංකාවේ දුප්පත් ගොවියා විතරක් නෙමෙයි
ස්වභාවධර්මෙන් බැටකන බොහෝ අය ඉන්නවා. ඒත් මේ නම් අපේ රටේ සිටි ප්ලෑන් කියලා එකක් නැතිකම නැතිව ඔහොම පැයක් දෙකක් වැස්සට ගංවතුර දානවයැ.
සංවේදී කතාවක් අයියා. ඔය වගේ අත්දැකීම් තියෙන මිනිසුන්ගේ ජිවිත සුන්දරයි.
ReplyDeleteබුදු හාමුදුරුවෝ එදා බුදුගේ හිටියානම් පොඩි එකා බුද්ද පුජාව කනකන් මහා කරුණාවෙන් ඔළුව අත ගානවා . ඇස් අරවන සංවේදී සටහනක් වෙනී
ReplyDeleteනියමෙට ලියල තියෙනව.
ReplyDelete