ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, August 16, 2012

සැදැහැ සිතින්..




සුදුම සුද හැඳ ගත් බහුතරයක් මහළු වියේ මෙන්ම සුළුතරයක් තරුණ හා ළමා ළපැටියන්ද දෑස පෙනෙන මානයට යනතෙක්ම පේළි දෙකකට සෑදී සෙමින් සෙමින් ඉදිරියට ඇදේ. ගැඹුරු හඬින් වූවද සිතට ශාන්ත හැඟුමක් එක් කරන නමුත් විදෙස් ඌරුවකින් බුදුන් දහම් සඟුන් සරණ යන ගාථා සමුච්චය සවනත වැකේ. ඉදිරියේ පැනවූ අසුන් මෙන්ම බිම එලාගත් පැදුරු, ඉටිකොළ මත හිඳ ගෙන දෑත් එක් කර ගෙන මහාත්වූ ශාන්තියකින් යුක්තව විටෙක් අහස බලමින්ද විටෙක ඉදිරියේ වූ පිළිම වහන්සේ දෙස බලමින්ද යමක් මුමුණන මහා පිරිසකි. සියල්ලන්ගේම දෑස් යම් බලාපොරොත්තුවක ආලෝකයකින් දිදුලයි. සිත ශාන්තියෙන් යුතු බව සියළුම ඉරියව් වලින් ප්‍රකට කෙරේ. 

ලොව පාශාණයකින් කරන ලද විශාලම බුදු පිළිමය මේ දිනවල එළඹෙන 19 වනදා තෙක්  BMICH හි ප්‍රදර්ශනය කෙරෙන අතර ඉහත කී දෑ මා නිරීක්ශනය කලේ එහිදීය.

ජේඩ් පාශාණයෙන් නිමවූ මෙය විශ්ව සාමය සඳහා කෙරෙන බවක් කියැවේ. 

විශ්ව සාමය සඳහා නම් කලයුත්තේ බලය පිළිබඳ රට රටවල නායකත්වයේ සහ ජාතියේ තිබෙන කෑදරකම නැති කිරීම විනා මෙවන් පිළිමයක් සමඟ පන්සලක් තැනීමද යන්න මගේ මෝඩ මොළයට පැමිණියත් හැකි ඉක්මනින් වට පිට බැලුවේ එය කාට හෝ දැනී මාගේ හොම්බ තැලීමට පැමිනෙන්නේදැයි කියාය..

මා හට මෙය කරවන අය පිළිබඳ  උපේක්ෂාව  හැර කිසිදු හැඟීමක් නොමැති නිසා මාගේ සිතට නැගෙන සිතුවිලි සියල්ල යටපත් කර ගනිමින් මද වෙලාවක් එතැන රැඳුනෙමි.

පහු ගිය දින කීපය පුරාවටම ලංකාව දසතින් ලක්ශ ගනනක් බැතිමතුන් මෙය බලා වන්දනාමාන කර ගැනීමට පැමිනෙන්නට ඇත. 
ජේඩ් පාශාණය වාසනාව සෞභාග්‍ය කැන්දන පාශානයක් ලෙස පැළඳීමට යොදා ගන්නා බව මා දන්නේ මා හටද ලැබී ඉඳ හිට පළඳින මාලය නිසාය. 

මා තවත් හොඳින් නිරීක්ශනය කලෙමි. සැමට පොදු වූයේ සුදුවත පමණි. 
එක් වයසක නෝනා මහත්මියෙක් මහත් ශෝකයෙන් මෙන් තමා සමඟ පැමිනි තරුණිය අමතයි. 

"උඹ නොවෙන්න මමත් දමන් එනවා මගේ පවුම් පහේ මාලෙ.. බලහන් අනිත් මිනිස්සු අතකර වැහෙන්ඩ රත්තරන් පොරවන් ඇවිත් ..මන් විතරයි මෙතන මොකාද වගේ අත කර පාළුවෙන් ඇවිත්.."

ඔවුන් දෙදෙනා මාගේ මානයෙන් ඉවත් වෙයි..මා නැවතත් බැලුවෙමි. ..
සැමටම පොදු සුදු වත පමණි..ස්වර්ණාභරන තරඟයක්දෝහෝයි මට සිතුනි. 
සුළුතරයක් පමණක් ඉතා චාම්ව සිටිනු පෙනේ. 

මා හට නැගෙන සිනහව මෙම පරිසරයට නොගැලපෙන බැවින් මා ඉක්මනින් මෙයි ඉවතට ඇඳුනෙමි.

මේ සියල්ලම හරි හෝ වැරදි යැයි කියන්නට මට නොහැකිය. මන්ද යත් මේ පිළිබඳව යම් විනිශ්චයකට එළඹෙන්නට තරම් මා පරිපූර්න අයකු නොවන නිසාත් එවැනි දේතුලින් හිස හා හිත පුරවා අනීවාරතේ දුක් විස්සෝප වනවාට වඩා උපේක්ශා සහගත හැඟීමකින් සිත් පුරවා ගැනීම මා සෑමවිටම ප්‍රිය කරන නිසා වනට පුළුවන. අපද කය දුබලවී සිත එඩි බිඳෙන විට කුමක් කරයිද යන්න ගැන කීමට කා හටත් නොහැකිය. 
සියළුම සැදැහැවතුන් පාහේ තම පොකැට්ටුව ඇද තමන් සතු මුදල් ප්‍රතිමාවට පූජා කරන අතර අසල පින් පෙට්ටියක්ද විශ්ව ශාන්ති බුද්ධ මන්දිරයක් සෑදීමට දායක වීමේ කර්තව්‍යක්ද , සමරු මිලදී ගත හැකි කඩ පෙලක්ද දඹදිව සංචාරයන්ට ලියා පදිංචි වන අයට වට්ටම් සහිතව ලබා දෙන මිල ගණන්ද පසෙකින් වේ. 

මාද පොකැට්ටුව හැර රුපියල් සියයේ කොල හතර අතර වූ පනහේ කොලය අසල වූ පෙට්ටියට එබුවේ උතුරා යන ශාන්තියකිනි.
තරුණ මදයෙන් ( තරුණ ??? ) මත් ව මෙහි වන්නේ ලේසියෙන් විකුනන්නට හැකි ශ්‍රද්ධාව ලෙසටම මාකට් කිරීම නොවේදැයි මාගේ මෝහයෙන් පිරුණු සිතට නැගෙන සිතුවිලි නැවතත් මර්ධනය කර ගත්තෙමි. 

මාද බොහෝ අය මෙන් මෙම විශ්ව  සාමය සඳා වූ ජේඩ් බුද්ධ ප්‍රතිමාව් වැඳ පුදා ගතිමි යන මහත් වූ ප්‍රමෝදජනක සිතුවිල්ල සමඟින් කාලය ගත කරමි. 

ලෝභ දෝශ, මෝහ දුරලා සිත, කය, වචනය සංවර කර සම්මා දිට්ඨියෙන් අරඹා සම්මා සමාධියෙන් යුක්තව නිවන් දක්නා ගමනක් පිළිබඳව මද දැනුමක් ඇති මාගේ පෘතග්ජන සිතුවිලි වලින් යමෙකුගේ සිත රිදුනේ නම් ඒ පිළිබඳ කමත්වා !

පැමිණ වන්දනාමාන කිරීමට නොහැකි බැතිමතුන් මෙම ඡායාරූපවලින් වත් සිත සනහා ගනිත්වා..
















27 comments:

  1. වෙනිය එහෙනම් පිං අතේ වැඩත් කරනව.

    ReplyDelete
  2. හික්ස්...
    නොකීවට වෙනී අයියේ ඔය සාම කේස් එක ගැනනං මටත් ඔය විදිහටම හිතුනා..
    ඒත් ඉතිං කමක් නෑ..
    කමකට නැති ආබරණ හදනවට වඩා පිලිමෙ හදපු එකත් එකක්.

    ReplyDelete
  3. මට හිතුන දේ කියලම යන්නම්....
    //විශ්ව සාමය සඳහා නම් කලයුත්තේ බලය පිළිබඳ රට රටවල නායකත්වයේ සහ ජාතියේ තිබෙන කෑදරකම නැති කිරීම විනා මෙවන් පිළිමයක් සමඟ පන්සලක් තැනීමද යන්න මගේ මෝඩ මොළයට පැමිණියත් හැකි ඉක්මනින් වට පිට බැලුවේ එය කාට හෝ දැනී මාගේ හොම්බ තැලීමට පැමිනෙන්නේදැයි කියාය..//

    වෙනි අයියා කියපු දේ හැබැයි..... සෝබන වැඩක් විතරයි...

    තරැණ අයගේ හිත් වල මොනවා හරි ශ්‍රද්ධාවක් තිබ්බත් අනේ මන්දා වයසක අය නම්.... හිත් වල කුණු ගොඩවල් පුරවගෙන පන්සල් පස්සේ යනවා.....

    ReplyDelete
  4. විශ්ව සාන්තිය ලැබෙන්නෙ මාලිගා හැදුවම වෙන්න ඇති. එහෙම වෙනවනං ඉතිං කොච්චර එකක්ද?

    වෙනී අයියත් ඔය තඩි කැමරාවයි අනික් ගැජමැටික් ටිකයි ඔතෙන්ට උස්සගෙන ගියාද. :D

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසා මල්ලි මේ සේරම ෆොටෝ ගත්තෙ මගේ ෆෝන් කැමරාවෙන්..

      Delete
    2. යකෝ ෆෝන් කැමරාවත් නරකම නැ

      Delete
  5. ඕක ඉතින් මාකටින් වැඩක්ම තමා. "ජේඩ් බුද්ධා" කියන්නේ බ්‍රෑන්ඩ් එක.

    ඒ ක්‍රමේට බුදු පිළිම වලට යොදා ගන්න අමු ද්‍රව්‍ය අනුව මේ වගේ නම් වුනත් දෙන්න පුළුවන්.


    කළු ගල් - කළු ගල් බුද්ධා
    මැටි - මැටි බුද්ධා
    ඇත් දළ - දළ බුද්ධා
    කිරි ගරුඬ - කිරි ගරුඬ බුද්ධා
    .....

    එහෙම හරි ද ?

    ඉංග්‍රීසියෙන් ජේඩ් බුද්ධා කියන බ්‍රෑන්ඩ් එක සිංහලෙන් හංගන්නේ ඇයි .. ඉංග්‍රීසි තේරෙන ලොකු ලොක්කන්ට ඒක නොතේරෙන්නේ ඇයි ?


    මට තේරෙන්නෙත් නැහැ ....

    ReplyDelete
  6. උඹට ඒකෙන් සම්මා දෘශ්ඨිය හරි පහල වුනානෙ බං. ඒ මදෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. ෆොටෝ ටිකවත් බලාගත්තා මදැයි.

    ReplyDelete
  8. කේක් එකක් හැඩ වෙන්න අයිසින් වැඩ දාන්න ඕන.හැබැයි කේක් කනව කියල අයිසින් ටිකම කකා හිටියොත් ?

    ReplyDelete
  9. මේ තමා තොරොම්බල් බුද්ධාගමේ හැඩරුව........ ;)

    ReplyDelete
  10. වෙනී අයියා බලන්නත් ගිහින්.. මමත් පහුගිය ටිකේ නෙට්‍ එකේ මේ ගැන විස්තර නම් දැක්කා..

    ReplyDelete
  11. සපුරා එකඟයි වෙනී . බුදු හිමියන් සිටියා නම ආපහු පාරිලේයිය වනයට වැදී සතුන් සමග විසිනු නියතයි.. එක යක් බුද්ධ මන්දීරයක් තනනවිට තවෙකෙක් ලොව උසම බුදු පිළිමයද තනි එහෙත් රටේ මිනිසුන් අතර සාමය උදා කිරීම මේ හැමටම වඩා බුදු මගට එකඟ බව නොපෙනෙයි.. මෙවැනි දේ ප්‍රසිද්දියේ කිවහොත් මරණයද නියත වේ.. එහි පස්සික නම්වූ දහමෙහි අරුත වටහාගැනීම වෙනුවට මහා තරඟයක්.. .

    ReplyDelete
  12. මං මේ ලියන්නෙ මාව දැඩි සේ විවේචනයට ලක්වෙන්ඩ පුලුවන් දෙයක් වුණත් මේ වගෙ ඒව දකිද්දි හිතට එන දේවල් ලියන්නෙ නැතුව ඉන්ඩ බෑ වෙනී අයියෙ..
    ඇත්තමයි පන්සල්වල තියෙන විකාර සමයං දැකල ඒවට තරහ අරන් පවු පුරවගන්නෙ මොකටද කියල වෙසක් පෝයටවත් අපි දෙන්න පන්සල් යන්නෙ නෑ... ගෙදර පහන තියනව... බුද්ධාගම ඇගේ තවරගෙන හිටියට වැඩක් නෑනෙ....හිත මඩවලක් වගේ තියාගෙන ජේඩ් බුදු පිලිමෙට දොහොත් නගා බිම පෙරලි පෙරලි වැන්දත් වැඩක්ද??
    මොනවද අනේ මේ විකාර??

    ReplyDelete
    Replies
    1. පෝයටනම් පන්සලකට යන්න හිතෙන්නෙම නෑ නේන්නම්.හිතට දැනෙන්න ඕනෙ සැනසිල්ල දැනෙන්නෙ නෑ නෙ සෙනඟ ගොඩ අස්සෙ.

      Delete
  13. අද කාලෙ පන්සලකට හරි පූජනීය ස්ථානයකට හරි ගිහිල්ලා අපේ හිතේ හැටියට වැඳ පුදා ගෙන එන්නත් ඒවයෙ කෙරෙන විගඩං විකාර ඉවසන් ඉන්නත් සෑහෙන ඉවසීමක්, උපේක්ශා සහගත මනසකින් බලන්ඩ පුරුදු වීමකුත් තියෙන්න ඕනි අනිවා.. ඒ නිසා අපි ඉවසීමෙන් බලන් ඉමු කියලයි මන් නම් හැමෝටම කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. පන්සල් වල විගඩම් විකාර වැඩිපුර කරන්නේ සැදහැති භක්තිවන්ත දායකයෝ වෙච්චි...
      අපි මොනා හරි කිව්වොත්.... බුදු අම්මෝ බලන්න එපැයි ඇවිස්සෙන අපූරැව.......

      ගොඩක් පන්සල් වල දායකයෝ තමයි හාමුදුරුවරුන්වත් නරක් කරන්නේ.... කට්ටියක් බෙන්ස් කාර් පූජා කරනවා... කට්ටියක් රත්තරන් ටයිල් කැට පූජ කරනවා.... සමහර පන්සල්, පන්සල් නෙවෙයි... පල්ලි...... හාමුදුරුවන්ගේ අම්මගෙ ස්මරකේටත් වදින්න ඕනෑ...

      Delete
  14. පිළිමෙ පින්තූර ගහන්න දෙන්නෙ නැතුව ඇති නේ??

    ReplyDelete
    Replies
    1. එහෙම එපා කියලනම් තිබ්බෙ නෑ නංගි..

      Delete
  15. මට නම් දැන් පන්සල් දැක්කම මතක් වෙන්නේ තරු පහේ හෝටල්... හැම තැනම ලයිට් දාලා තොරන් වගේ.. ඔය කොච්චර ලයිට් දැම්මත් මැටි පහනකට පරණ සුදු රෙදි කැල්ලක් අඹරල පොල්තෙල් සුට්ටක් වක්කරලා පත්තු කරන පහනකින් තරම් එළියක් ගන්න බෑ.. එළියම විතරක් නෙමේ. ඒ හැඟීම..
    ඒක නිසා බොරු ආභරණ වල වඩා මට නම් අර කළු ගල් වලින් නෙලපු සමාධි බුදු පිළිමේ අගෙයි..
    (දැන් කලේ තමන්ගේ වත්කම් පෙන්නන්න පුළුවන් හොඳම තැන තමා පන්සල.. මගුල් ගෙවල් වලට පරාදයි.. අපරාදේ කියන්න බෑ සුදු සාරිය ඇඳල ඔක්කොම වැහෙන්ට මාල පොරවන් .. වැඩිය ඕනේ නෑ.. පෝරුවේදී බැඳපු කර මාලෙත් බැඳ ගෙන තමා පන්සල් එන්නේ.. අපෙත් ඉන්නවනේ විශාකා මහා උපාසිකාවෝ.. අනේ මොකටද මගේ කට )

    ReplyDelete
  16. මේ වගේ ටැබූ සබ්ජෙක්ට්ස් වලට ඇඟිලි ගහන්න ගිහින් වෙනීත් කැපිලම යයිද දන්නෑ..

    කොහොම වුනත් උඩ පෝස්ටුවත් කොමෙන්ටුත් දැක්කාම බුදුදහම ගැන තර්කානුකූලව හිතන කීපදෙනෙක් හරි ඉන්නවානේ කියලා පහන් සංවේගයක් ඇතිවුනා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රූ ඒත් මේ වෙන දේ සහ සිතන දේ තමයි.. කැපුනොත් ආයි ගම් ජාතියක් දාලා හරි අලව ගන්න ක්‍රමයක් තියෙයි නේ..

      Delete
  17. මම දැනන් හිටියේ නැහැ මේ ගැන..

    ReplyDelete
  18. අද කාලේ තියෙන්නේ බුද්ධ ධර්මය පිළිපැදීම නෙමෙයි බුද්ධාගම ඇදහීම. අන්ධ බක්තියක් තමයි ගොඩක් අය ගාව තියෙන්නේ.

    ReplyDelete