ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Tuesday, September 3, 2013
මදු බන්ධනය..
Photo courtesy http://en.wikipedia.org/wiki/Pineapple
කමලුයි, සමනුයි, පාලිතයි මමයි ...හතර දෙනාවම කොස් කඳට තියලා කිටි කිටියේ මදු වැලකින් ගැට ගහලා දාබරේ මාමා කේන්තියෙන් වෙව්ල වෙව්ලා ගේ පැත්තට ගියා..
"අද නම් ඉවරෙටම ඉවරයි"
අපේ කල්ලියේ හිටිය දුර්වලම එකා වෙච්ච සමනා අඬන්න ගත්තා...පාලිත
"&*((&^% අඬන්නෙ නැතුව හිටහන් බලහන් මේ වැල්පට ලිහා ගන්න පුළුවන්ද කියලා"
හතර දෙනාම උත්සාහ කළත් ලණුවක්, කඹයක් වගේ නෙවෙයි මදු වැල හරි හයියයි කඩන්න බෑ කොහෙත්ම..
අපි නාහෙට නාහන වයසක් වෙච්ච කාලයක..හයේ නැත්නම් හතේ පංතියේ හිටියෙ ඔය වෙන කොට...
ගහක කොලක ගෙඩියක් මලක් නට්ටක් පේන්ඩ බෑ වගේම තමයි ගහක් කොළයක් හරකෙක් අතින් කැඩිලා තිබුණත් ඒකටත් අපිට වග කියන්ඩ වෙච්ච කාලයක් තමයි ඒ..
ඇත්තටම අපිත් ඒ කාලෙ එච්චර ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ නෙවෙයි හිටියෙ..
සරුංගල් යවන කාලෙ උණොත් සරුංගලයක් හදා ගන්න කොළ ගන්න නූල් ගන්න වගේ දේකට කවදාවත් ගෙදරින් සල්ලි හම්බ වෙන්නෙ නැති නිසා අහල පහළ වත්තක තිබ්බ පොල් ගෙඩියක්, කෙහෙල් කැනක් , පුවක් වල්ලක් කපලා කඩේකට විකුණන්න අපි කොහොමත්ම පසුබට උණේ නෑ හැම ඉරිදාවටම දහම් පාසල් ගියත්..
දාබරේ මාමා ගමේ හිටි හොඳ , නොම්බර එකේ ගොවියෙක්..වවපු නැති දෙයක් නෑ..කුඹුරු, තේ පොල් වගේම හොඳ එළවළු පලතුරු ගොවි පොලක්ම තිබුණා..
ඉස්කෝලෙ නිවාඩුව ඉවර වෙන්න දවස් දෙකක් තියා හින්දා අපි හිටියෙ ලොකු හිතේ දුකකින්..මොකද දවස් දෙකකින් බැඳලා දාලා හිටි වහු පැටව් වගේ හිටි අපිව ඉස්කෝලෙට ගාල් වෙන්න වෙනවා කියන එක එච්චරම මිහිරි අත්දැකීමක් නොවුණු නිසා..
ඔය අව් අස්සෙම තමයි පාලිතයා අපිට ගෙනාපු හොඳම නිවුස් එක උණේ..
"දාබරේ මාමගේ අන්නාසි කොටුවෙ ගෙඩි සේරම වගේ පැහිලා සමහර ඒවා ඉදිලත් එක්ක"
අන්නාසි කිව්ව ගාමන්ම හැමෝගෙම කටට කෙළ ඉනුවා එක්කම,
"හැබැයි පුතෝ අහු උණොත් නම් ඉවරයි..දාබරේ මාමා දන්නවනෙ ඉතින් ගිනි පුක් කාරයා"
සමන් කිව්වා
ඒ කතාව සහතික ඇත්ත..අනිත් දේවල් වගේ නෙවෙයි දාබරේ මාමා තමන්ගෙ වගාවට යක් හානියක් වෙනවා නම් හොඳටම කෝප වෙච්ච එක සැරයක් ගාමිණි මාමගේ හරකෙක් කුඹුරට පැනලා කාලා ගාමිණි මාමට කැත්තෙන් කොටන්ඩ ගිය එක්කෙනෙක් තමයි.
ඒත් අපේ හීනෙ හැබෑ උණේ
"දාබරේ මාමා හොඳට ඇඳ පැළඳ ගෙන ගියා දැක්කා ටවුම පැත්තට"
කියලා කමල් අපි දවල්ට කාලා රවුමක් ගහන්නෙ කොහෙද කියලා කතා කර කර ඉන්න වෙලාවෙ කිව්ව එකෙන් තමයි.අපි හෙමිහිට හෙමිහිට දාබරේ මාමගේ ගෙවත්ත එක පැත්තක් මායිම් වෙලා තිබ්බ රබර් වත්තෙ මායිම දිගේ ඇවිද ගෙන ගිහින්..දෙපැත්තම හොඳටම ගස් කොළන් වලින් වැහිලා තිබ්බ තැනකින් කම්බි පොටවල් දෙකක් ඈත් මෑත් කරලා වත්තර රිංගා ගත්තා..
අන්නාසි කොටුව තිබුණෙ මාමලගෙ ගෙදරට ටිකක් උඩින් වෙන්න. මාමලා පදිංචි වෙලා හිටි ගෙය මේ වත්තට ගොඩක් එහා තිබුණු නිසා මේ ගෙදර මාමා නැත්නම් පාළුවට වැහිලා ගිය එකක් නිසා අපි ඒක ගැන එච්චර තැකීමක් කළේ නෑ..
අන්නාසි කොළවලට කකුල් හූරා ගෙන..හොඳ ගෙඩි දෙක තුනක් කඩා ගත්ත අපි ළඟ තිබ්බ කළු ගල පාමුල ඉඳ ගෙන අන්නාසි ගෙඩි ගලේ ගහලා කඩලා කන්න පටන් ගත්තා..ඔහොම අන්නාසි ගෙඩි තුනක් විතර කන්න ඇති..
"එකෙක් හරි දිව්වොත් අන්ඩක් කඩලා තමයි පස්ස බලන්නෙ.."
කන් බීරි කරන තරමේ ගෝරනාඩුවට කකා හිටිය අන්නාසි කෑලි එහෙම්ම කටේ..අතේ තියන් හිටි අන්නාසි කෑලි පස්සට කරගෙන හංගා ගත්තේ පුරුද්දට වගේ..ඒත් අතටම අහුවෙලා ඉවරයි කියලා තේරිලා තිබුණත්..දාබරේ මාමා අපිව රැකවල් ඉන්න අතරේ එයාගේ ලොකු පුතා මදු වැලක් අරගෙන අපිව ගැට ගැහැව්වා එතන තිබ්බ අඹ ගහට..
"කරන්නම් මීට පස්සෙ හොරකන් නොකරන්න හොඳ පාඩමක්"
කියලා ගොරවා ගොරවා තාත්තයි පුතයි ආයිමත් ගේ පැත්තට ගියේ අපිව භීතියෙන් මුසපත් කරමින්..
මෙදා නම් ඉවරයි..අපි හතර දෙනාගේම හිතට ආවෙ එහෙම හැඟීමක්..
"අපිට මොනවා කරයිද බන් ?"
ගහයි !
මරයි !
පොලීසියට භාර දෙයි !
ගෙවල් වලට කියලා මෙතනට එක්කන් එයි !
ගමටම කියයි හොරු අල්ලා ගත්තා බලන්ඩ එන්ඩ කියලා !
එකක් පිට එකක් වෙන්ඩ පුළුවන් දේවල් ඔළුවට එනකොට අපිට කලිසමේම චූ යන සයිස් එකට බය දෙගුණ තෙගුණ උණා..පැය භාගයක් යන්ඩ ඇති..
දාබරේ මාමයි පුතයි දෙන්නම අපි ඉන්න පැත්තට එනවා..අපිට ඇඬෙන්න ඔන්න මෙන්න..අඬලා වැලපිලා හරි මෙතනින් ගැලවෙමු කියලා ඉන්න කොට..
තමයි අපි දැක්කෙ ලොක්කයියා දාබරේ මාමගේ පුතාගෙ අතේ තියෙන ලොකු වට්ටිය..
ෂුවර් එකටම දිමි ගොටු වෙන්න ඇති..ඒ කාලෙ ඒ පැත්තෙ දරුණුම දඬුවමක් උණේ දිමි ගොටු ඇඟට දමලා වේවැලෙන් තලන එක..කාලයක් යන කම් ඒකේ වේදනාව මතකෙ තියෙන නිසා වෙන්න ඇති ඒක පොඩි අපිට මහ ලොකු දඬුවමක් උණේ..
ලොක්කයියා ගල් පොත්ත උඩ වට්ටිය තියලා හති අරිනවා..දාබරේ මාමා අපිව මදු වැල් බන්ධනයෙන් ලිහුවෙ..
"එකෙක් හරි දුවන්න ගත්තොත් අම්මපල්ල කඩනවා අන්ඩක්"
ඒ ගැන නම් අපිට කොහොමත් සැකයක් නොතිබ්බ හින්දා අපි මොනම හේතුවක් වත් නිසාවත් නොදුවන්න හිතා ගෙනයි හිටියෙ ඒ වෙනකොටත්...
"මෙහෙ වරෙල්ලා"
අපිව අර වට්ටිය ළඟට කැන්දෙව්වා..
වට්ටියේ තිබ්බ දේ දුටුවහම අපේ කට ඇරිලා..විස්මයෙන් මුසපත් උණා..
"මෙතන තියෙනවා එකාට අන්නාසි ගෙඩි දෙක ගානෙ ශුද්ධ කරලම..එකෙක් හරි එක කෑල්ලක් හරි ඉතුරු කරලා තිබුණොත් තොපේ මහ එකාලව මෙතනට ගෙන්නලා අච්චු කරවන්නෙ ආයි ජීවිතේට අමතක නොවෙන්න !"
දාබරේ මාමා ගිගුරුවා !
"කාපියව් !
ඔය සිද්ධිය අපේ ජීවිත වල සන්ධිස්ථානයක් උණේ නෑ කියලා කටක් ඇරලා මට නම් කියන්ඩ බෑ...
Subscribe to:
Post Comments (Atom)
ලස්සනට කතාව ලියල තියෙනව...වඩාත්ම මගෙ සිත් ගත්තෙ මාතෘකාවයි...මාතෘකාව බොහොම නිර්මාණාත්මකයි.
ReplyDeleteපුංචි සිද්ධියක් උනත්..අපි ඊට පස්සෙ දාබරේ මාමගෙ වත්තෙ මුකුත්ම හොරකන් කලේ නෑ..මාර බන්ධනයක් උනේ ඒ සිද්ධිය...
Delete//ගහක කොලක ගෙඩියක් මලක් නට්ටක් පේන්ඩ බෑ වගේම තමයි ගහක් කොළයක් හරකෙක් අතින් කැඩිලා තිබුණත් ඒකටත් අපිට වග කියන්ඩ වෙච්ච කාලයක් තමයි ඒ..//
ReplyDeleteඈ බන් බොලාල ඒ කාලේ හරක් ගානටද වැටිලා හිටියේ..?
මොනවා උනත් නියම දඬුවම.. හික්ස්.
අපොයි ගමේ හරක්ට අපිට වඩා හොඳට සැලකුවා අයිලාස්..අපි කරපු මගෝඩි වැඩ වලට ඊටත් වඩා අන්ත විදියට සලකපු කාලයක් තිබුනා..
Deleteඔව් දඬුවම මුළු ජීවිත කාලෙටම බන්ධනයක් උනා..
දාබරෙ මාමගෙ ෆොටො එකක් තියාගෙන අම්ම තාත්තට වගෙම වෑදපන්
ReplyDeleteදන ගහලා ඔළුව නමලා වැන්දෙ නැතුවට අපෙ හිත ඇතුලෙ දාබරේ මාමට ඒ වගේ ලොකු හැඟීමක් තිබුනා..පස්සෙදි පාසල් නිවාඩු කාලෙ ගොවිතැන් වැඩ වලට උදව් කරන්නත් ගියා..
Deleteඔහොම සීන් එකක් මටත් උනා. ඒ කාලෙ මම ගල්කිස්ස හෝටලේ උයන්න ඉගෙනගන්න කෝස් එකක් කරා ( අනූ එකේදි ).
ReplyDeleteඔය හෝටලෙ උත්සවවල බුෆෙ එකට දාන කෑම බෙදා නොගෙනම ඉතිරි උනත් විසි කරාට ඩෙසර්ට් බෝල් වලට එහෙම හැඳි වැදිල නැත්තං ආයි ගිහින් කූල් රූම් දානව.
ඒව ගෙනියන්නෙ අස් කරන උන් උනාට දවසක් මායි තව එකෙකුයි බුෆේ එක ගාව තොප්පි දාන් ඉඳල ඉවර වෙලා යන්න හදන කොට මෙන්න තඩ වටලප්පම් බෝල් එකක් හිනා වෙවී උන්න විදියටම් ඉන්නව! අපී දෙන්න හිමීට මේ බෝල් එක අරන් ගිහින් හෝල් එකේ තඩි ස්ක්‍රීන් එකක් අස්සෙ ඉඳන් කනකොට කරුමෙටම එක්සෙකටිව් සූ චෙෆා, ඒ කියන්නෙ පබිලිස් උන්නැහෙට පස්සෙ ඉන්න බුවා ආවෙ නැතැයි තිරේ අනික් කෙරෝලෙන්.
දෙන්නම අතටම මාට්ටු. ගෙනිච්ච පේස්ට්‍රි කිචන් එකට. ඉඳගන්න කියල අපි දෙන්නගෙ අතට එක ගානෙ තඩි වටලප්පම් බෝල් දුන්න. හරි දැන් ඉතින් ඉවරවෙනකල් කාල මිසක් නැගින්නෙ නෑ. කියල මිනහ අපිව බලා ගන්න තව කොමි පොරක්ට දීල ගියා.
අනේ අපි දෙන්න වටලප්පම් වෙලා පුටුවෙනුත් වැටුන සීනි වැඩි කමටද කොහෙද ඇඟෙ. ඉන් පස්සෙ තාම වටලප්පම් දකිද්දිත් අප්පිරියයි ( අවුරුදු විසි තුනකට පස්සෙත් ).
කරන්ඩ එපා කියලා තලලා බල කරපු වැඩ ආයි ආයි කරන්න පෙළඹුනත් ඔහොම දඬුවමක් ලැබුනහම ආයි කාලය කොයි තරම් ගෙවුනත් ඒක අපේ ජීවිතේ එක්ක බැඳිලා තියෙනවා ඉන්දික..ස්තූතියි ඔබේ අත්දැකීම අපි එක්ක බෙදා හදා ගැනීම ගැන
Deleteමඩොල් දූව මතක් උනා...
ReplyDeleteඅපේ පොඩි කාලේ ඔව්වා කරන්න ප්ලේස් තිබ්බේ නෑනේ...
අපි ඉතිං අර්ධනාගරික වස්සොනේ...
ඔව් තරියා අපි හිටියෙ පට්ට ඩොටේ ගමකනෙ..දැන් මේ කොළඹ හිටියට.. ඉතින් ඒ කාලෙ වෙච්ච දේවල් කරපු දේවල් හරිම සුන්දරයි..
Deleteමුන්දට දෙන්න තිබ්බේ හොඳ ගැට අන්නාසි ගෙඩියක්. ගෙඩිය පිටින් ගිලින්න් කියලා
ReplyDeleteහික්ස්..මල්ලි හිටියා නම් ලොක්කයියා වෙනුවට..අපිට අබ සරණයි එහෙනම් !
Deleteඅර තරිය කියපු කතාව ඇත්ත .. උපාලිලගෙ ජින්නලගෙ තක්කඩිකමක්ම තමයි ඒකනම්. උපාසකප්පුට වඩා නං හොදයි අර මනුස්සයා. ඒ වගේම උපාලිලට වඩා ලාමකයි වෙනිලා :D
ReplyDeleteළාමකයි නේන්නම් ! අපිට මඩොල් දූවේ උපාලිලා තරම් දේවල් කරන්න බැරි උනා..හිතහන්කො අයියයි අක්කලා දෙන්නෙකුයිගෙ ඇස් හයකින් වහන් වෙලා ඔව්වා කරන්න කොයි තරම් වෙහෙසෙන්න ඕනිද කියලා
Deleteහපොයි 'මදු බන්ධනය' කියනකොට දුවගෙන ආවා මොකක්ද බලන්ට. මම හිතුවී 'මදු' කියන්නේ මී පැණි. බන්ධනය කියන්නේ බැඳීම කියලනේ. :D:D
ReplyDeleteඒ උණාට අන්නාසිත් රසයි...ඇති යන්තම් ගැට අන්නාසි නොකා ගෙවල්වලට ගියා...
හප්පේ මං හිතුවේ ඇඹුල් කන්ට ආසාවක් ඇතිවෙලාය කියලා දැම්ම පොඩ්ඩිට
Deleteඒ මධු නේද පොඩ්ඩි ?
Deleteකාපු අන්නාසිත් එච්චරම ඉදිච්ච එව්වා නෙවෙයි..හැබැයි ගැටත් නෙවෙයි..අමාරුවෙන් උනත් බයටම කෑවා..
ඉවාන් කියන එක ඇත්තද පොඩ්ඩි ?
ගැට අන්නාසි කනවා තියා ඒ ගැන හිතන්නවත් එපා ඔන්න පොඩ්ඩියෙ
Deleteඅන්න දඬුවම් ....හැබැයි ඒවා හරිම අමාරු දඬුවම්. කියවනකොටනම් රසයි.
ReplyDeleteඔව් අමාරු උනත් ජීවිත කාලෙටම මතක හිටින දඬුවම් තමයි..ඔව් ඉතින් අන්නාසිත් රසයිනෙ ..
Deleteහොඳ ආදර්ශවත් ළමයි !
ReplyDeleteආයි මොනාද ඉතින් ! ඊට පස්සෙ නම් හොඳ ආදර්ශමත් ළමයි ටිකක් උනා වයලිනෝ..
Deleteඑකාට අන්නාසි ගෙඩි දෙකක්, මදි මදි හොඳටම මදි.
ReplyDeleteකොහොම උනත් නියම දඬුවම දීල තියෙන්නෙ.
හොඳ වෙලාවට බොලා ලොක්කයියා නොවුනේ ! එහෙනම් බාගදා අපිට අන්නාසි කව්වයි ලෙලි පිටින්ම !
Deleteබලපං උඹේ කතාවෙයි මගේ කතාවෙයි අවසාන කොර්ටසේ තියෙන සමාන කම!
ReplyDelete"මෙතන තියෙනවා එකාට අන්නාසි ගෙඩි දෙක ගානෙ ශුද්ධ කරලම..එකෙක් හරි එක කෑල්ලක් හරි ඉතුරු කරලා තිබුණොත් තොපේ මහ එකාලව මෙතනට ගෙන්නලා අච්චු කරවන්නෙ ආයි ජීවිතේට අමතක නොවෙන්න !"
දාබරේ මාමා ගිගුරුවා !
"කාපියව් !
-ලියන්නා
ලියන්නා:රත්නපුර දිස්ත්‍රික්කය. ශ්‍රී ලංකාව.
http://liyanna-liyanna.blogspot.com/2013/09/blog-post.html
Vs
"හැබැයි පොඩීඊඊඊඊඊ දෙයක් නම් කියන්න තියෙනවා. බොසා අපිට සමාවෙන්ටෝනැ. ගේ හරියේ තිබ්බේ නෑ ඕකට දාන්න චොක්ලට් සිරප් ඇබින්දක් හොයා ගන්න."
හදිසියෙම මගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙනවා මට දැනෙනවා.
"ඒකෙ අවුලක් නෑ." මම කියන්නේ සංසුන්බව පිටතට පෙන්නන්න හැම උත්සාහයක්ම දරමින්. "මොනවද ඒ වෙනුවට දැම්මේ, ඉතින්?"
"හංගොල්ලො." ලීච් කියනවා. "හා, දැං බීපිය ඕක!"
-Dude
ඇන්ඩි: ඕස්ට්‍රේලියාව.
http://bluejeansntshirts.blogspot.com/2013/08/91-born-to-die-part-2.html
මෙහෙමනේ හෙන්රි මහත්තයෝ වෙන්නෙ.. හොඳ පරිවර්තනයක් එහෙම නැත්නම් නිර්මාණයක් කියෙව්වහම පස්සෙන් පහුවට අපි ලියන එකට ඒක ආලෝකයක් සපයන පහනක් වෙනවා කියලා කියනවනෙ.. ඔය මහත්තයලා පත්තු කරව්ව පහන් වල ආලෝකෙ නේන්නම් අපේ කතාවලින් පේන්නෙ !
Deleteබොල වෙනියෝ. මම කිව්වෙ එහෙම එකක් නෙවෙයි. උඹ මගේ පෝස්ට් එක කියවලත් නැති බව මම දන්නවා. මම කිව්වෙ මේක මේ අහඹු සිදුවීමේ තියෙන සමානකම. අනික උඹ ලිව්වෙ උඹටම වෙච්ච දෙයක්. මම ලිව්වේ වෙනත් ඕස්ට්‍රේලියන් කාරයෙකුගේ කතාවකපරිවර්තනයක්.
Deleteනෑ හෙන්රි බ්ලොග් ලෝකෙ බ්ලොග් 10ක් - 15 ක් තියෙනවා ඒවයෙ පෝස්ට් එකක් පල උනොත් කොටයක් ඉර ඉරා හිටියත් නැගිටලා ඇවිත් පෝස්ට් එක කියවලා තමයි ඊලඟ වැඩේ පටන් ගන්නෙ...ඒකෙ මුල් පහේ ඔය හඩු ඩෙනිම තියෙනවා..මම ඒක කියෙව්වා..කමෙන්ට් කලේ නැතුවට ! මම අන්තිම කෑල්ල ගත්තෙ ඒකෙන්ම තමයි..
Deleteහුටා!
Deleteඅන්නාසි ගෙඩි දෙකක් හොඳටෝම මදි.. අඩුම ගානෙ ගෙඩි පහක් වත් දෙන්න ඕනෙ ඇස්සත් එක්කම දඞුවමත් වෙන්න නම්...
ReplyDeleteඅපිට හිටියෙ නෑනෙ අප්පා මෙහෙම දඞුවම් දෙන මාමාලා. අවාසනාව..
ඊට පස්සෙ අපි මාමලාගේ වත්තෙ උදව්වට පවා ගියා..එතකොට නම් ඕනි තරම් ගඩා ගෙඩි කන්න දුන්නා..අදටත් ඒ ගොල්ලන්ගෙ පුතාලා ගොවිතැන සරුවට කරනවා..
Deleteඅපිටටත් ඔය වගේ සිදිදියක් උනා මතකෙට ආව.අපි ශිෂ්‍යත්වේ කරන්න ඉස්කෝලේ පන්ති යන අතර මඟ තිබුන ගෙදරක රඹුටන් ගහක්.ඉතින් යන හැමදාම ඔය ගහට පොලු ගහල කඩාගෙන කාල යන්නේ.ඔය ගෙදර හිටියේ උස මහතා ලොකු මනුස්සයෙක්.දවසක් ඔය ගහට ගහපු ගෙදර ජනේලෙක වීදුරුවක් බිඳුනා,අර මනුස්සය " හිටපියව් ඔහොම අද කරනඩ වැඩේ" කියාගෙන එලියට බැස්ස.අපි නැවතුනේ ඉස්කෝලේ./././ආපහු එනකොට අර මනුස්සය ඉන්නවා රඹුටන් මලු දෙකකුත් තියාගෙන අපි එනකල්.ගහේ එක ගදියක්වත් නැහැ.මිනිහ ගහ බදු දීල මිනිස්සු ඇවිත් ඔක්කොම කඩාගෙන ගිහින්.මේ මනුස්සය අපිට රඹුටන් මලු දෙකක් තියාගෙන ඉඳල...
ReplyDeleteඔව් මඟියා ඇත්තටම නම් බහුතරයක් ගඩා ගෙඩි තියෙන අය ඒ කාලෙ ඔව්වා බෙදා හදා ගන්න එච්චර අකමැත්තක් තිබ්බෙ නෑ..අපිත් කොලු කමටද බලු කමටද මන්දා ඉල්ලන්නෙ නැතුව හොරෙන්මනෙ කන්ඩ දැඟලුවෙ !
Deleteනගරේ උන්ට නැති උනාට ගමේ උන් නම් ඔය ආතල් තාමත් ගන්නවා...
ReplyDeleteඔව් මාතලන් ඒක නම් ඇත්ත..අපේ අසල්වැසියගෙ රඹුටන් ගහක මහ රෑ දෙන්නෙක් නැගලා සෙල් ෆෝන් එක බිමට වැටිලා..උදේ තමයි ඇවිත් කෑලි ටික හොයා ගෙන ගිහින් තියෙන්නෙ..බැට්‍රියයි, පිට පැත්තෙ කවරෙයි හොයා ගන්නම බැරි වෙලා !
Deleteනැත්නං මුන් මෙහෙමවත් හැදිල ඉදීද මං අහන්නේ... පොඩි සිද්ධිය ගොජ ගොජ ගාලා පැතිරුනා නෙව. යසයි ආ ලියන්නා.. මලවයි...
ReplyDeleteඅනේද කියන්නෙ දේශකයා ... මලවන්න කතන්දර රාශියක් එකතු උනා..වෙලාව තියෙන තියෙන වෙලාවට ලියලා මලවලා දානවා !
Deleteමට මතක් උනේ අර මැටිල්ඩා කතාවෙ ප්‍රින්සිපල්.. චොක්ලට් කේක් එකක්ම කැව්වෙ... හි හි...
ReplyDeleteඔහොම එකක් උනා එක දවසක්.. අපි කතරගමද කොහෙද ගිහින් එනකොට මල්ලිලා ඔක්කොම කිරි ඕනෙ කියලා වද දුන්නා.. මං ඉතිං මෙහෙයවීම විතරනෙ කරන්නෙ කොහොමත්... හි හි අපේ බාප්ප කරපු වැඩේ එකාට කිරි හට්ටිය ගානෙයි පැණි බෝතල් බාගෙ ගානෙයි දීලා කිව්වා ඔක්කොම නොකා නැගිටින්නෙ නෑ කියල.. මං නං කොෙහාම හරි ෂේප් උනා.. මල්ලිලා ටික එනකම්ම මඟ නවත්ත නවත්ත පඳුරු ගානෙ රිංගුවා... හි හි
අපොයි...කිරි පැණි නම් ඕනිවට වඩා හොඳ නෑ නේද ? අන්නාසි නම් කොයිතරම් කෑවත්..බඩගිනි වැඩි වෙනවා විතරයිනෙ !
Deleteහහහ් හා....
ReplyDeleteඕක හොදයි තව. මම උම්බලකඩ හොරෙන් කාලා. දවසක් හෙන උම්බලකඩ කූරියෙක් ගෙනත් දුන්නා මට තනියම කාපන් කියලා. මොනාද ඉතින්... නරියා වගේ කාගෙන කාගෙන ගියා. පිනට ලැබෙන චාන්ස්නේ ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උම්බලකඩ කෑල්ලක් දෙකක් නම් කෑවහැකි.. කූරියෙක්ම කොහොමද බන් කෑවෙ ?
Deleteමේ වගේ දඬුවම් හරිම අමානුශිකයිනේ..කොහොම වුනත් ඒ කාලේ ළමයි ගැන සාධාරණව හිතන්න ඕන කියලා කාලයක් තිබුන්නෑනේ..!!
ReplyDeleteඒක නිසා වෙනීලා ඕක ගෙදර ගිහින් කීවත් ලැබෙන්නෙ සබ්බුව තමයි..!
ඒක හරිම සාධාරන දුර දිග බලලා දීපු දඬුවමක් රූ..අද කාලෙ වගේ කේන්තිය නිවෙන කම් තැලුවා නෙවෙයිනෙ..අපි නෙවෙයි ඊට පස්සෙ ඒ වත්තෙන් හොරෙන් කෑවෙ !
Deleteදෙකක් නං කන්න පුළුවන් වෙන්න ඇති නේද බං? මේ වගේ දඬුවමක් මටත් ලැබුන අම්මගෙන්. ත්‍රිපෝෂ පැකට් එකකින් හදපු ත්‍රිපෝෂ මුළුමනින්ම කන්න උනා. තත්වෙ ශෝකජනකයි.
ReplyDeleteඔව් අන්නාසි න, ඉතින් පොඩි ගෙඩි..අවුලක් නැතුව කෑවා..ත්‍රීපෝශ..ගොඩක් කන්ඩ බෑ නේද ?
Deleteයකෝ අන්නාසි නම් ගෙඩි දෙකක් නෙමේ පහක් දුන්නත් මට නම් තනියෙම කන්න පුලුවන් . . . ඉතිං එදායින් පස්සේ ගෙඩි තුන හතර ගානේ කඩන්න පුරුදු උනාද . . හෙ හෙ හේ
ReplyDeleteඔව් අන්නාසි නම් කෑවහැකි..දත් හිරි වැටෙන එකයි...කට කැපෙන එකයි තමයි වෙන්නෙ..නෑ දුකා ඊට පස්සෙ අපි ඒ වත්තෙ හොරෙන් කන්ඩ ගියේම නෑ..පස්සෙදි නිවාඩු කාලවලදි ඒ වතු වල වැඩ කරන්නත් ගියා..එච්චරටම යාළු උනා..
Deleteමම මේ කථාව කලිනුත් කියලා තියෙනවා..වෙනී අයියා තමන්ටම කියලා හදාගෙන තියෙන අනන්‍යතාව ඔබ ලියන බොහෝ ලියවිලි තුලින් හදුනාගන්න පුලුවන්...හරිම රහයි...වෙලාවක පොතකට ගොනු කලොත් නරකද මේ පැරණි සිදුවීම්...නොකලැල් ගමක් පිළිබද චිත්ත රූපයක් හරි නූතන පරපුරට මවාගන්න ඒ සටහන් ඉවහල් වේවි...පොතේ පිටකවරය මගෙන්...ජය !
ReplyDeleteඅනිවාර්යෙන්ම සිරා ඒක කරනවා පහු වෙලා..ඒකට දැනටමත් කතා කීපයක් තෝරලා ඒවයේ තියෙන ලිපියක ආකෘතිය වෙනස් කරලා කෙටි කතා ආකෘතියකට දමලා ව්‍යාකරන අක්ෂර වින්‍යාසය එහෙම හදනවා..ස්තූතියි..මුල් කවරේ ඔබට දෙනවා !
Deleteනියම දඬුවම් තමයි ඔව්වා...හඃ හඃ
ReplyDelete