ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, September 8, 2013

සාහිත මසට නොනිමවූ ඒ නිමැවුම..හෙවත් පසුතැවිල්ල..

සාහිත්‍යය මාසය එළඹ ඇත...

සහිත්‍යය සඳහා මාසයක් වෙන් කර ඇත්තේ අනිත් මාස වලට සාහිත්‍යය කන්නදැයි මට සිතේ..නමුත් මවට පියාට ලෙස පටන් ගෙන සියලුම දේට දින වෙන් වෙන්කටගෙන අනුස්මරණය කරන කාල වකවානුවක සාහිත්‍යය සඳහා මාසයක් වෙන් කිරීම ගැන මසිත තුටු පහටු වන බව නම් නොඅනුමානය.


ලියන්නෝ සාහිත්‍යය මාසය වෙනුවෙන්ම ලියති. 


මසිත වද දෙන්නේ මා ද සාහිත්‍ය මාසය වෙනුවෙන් යමක් නොලියන්නේ මන්ද යන පැනයෙනි. 


සාහිත්‍ය යන්න සහිත බව යනුවෙන් අරුත් නංවා ඇති සැටියක් සිහියට නැගේ. සහිත වන්නේ කුමකින්ද ? ඒ රසයෙනි. සාහිත්‍ය රසය දැනෙන්නේ සහෘද සිතකටය. රස නවාකාරයක් ගෙන දැක්වේ. නව නළු රස - ශංගාර, හාස්‍යය, කරුණා, භිබත්ස්‍ය,අද්භුත,ශාන්ත, රෞද්‍ර, වීර, භයානක ලෙස නම් වූ මෙම රසයන් උත්පාදනය කර සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යාම සාහිත්‍යයෙහි අරමුණ වේ.


අන් අය මෙන්ම මා ද රස වෑහෙන නිර්මාණයක් කල යුතුය යන දැවෙන අවශ්‍යතාවයෙන් පෙළෙන්නට වීය. මේ දහවලට ගිනි ගහන කොන්ක්‍රීට් ගොඩනැගිලි අතරෙහි රැඳෙමින් කල හැකි නිර්මාණය කුමක්ද ? ඒ සඳහා මා යා යුත්තේ මා ඉපදුණු ඒ සුන්දර ගම්මානයටයි.


දින පහ හයක නිවාඩුවක් ගෙන මා ගම වෙත පියඹා යාමට ලක ලෑස්ති වූයෙමි. 

ඇඳුම් කීපයක්, ජංගම පරිගණකය සමඟ එයට අදාළ අනිත් උපකරණ සහ කැමරාව බෑගය වෙත අසුරා ලෑස්ති වූයේ ඊට පෙර දින සිටය..

දුරකථනය නාද වේ.

"දැන් ඔයා ගමේ ගියහම ඒ කාලෙ යාළු වෙලා හිටි කෙල්ලො එහෙම මීට් වෙලා අපිවත් අමතක වෙයි නේ "


ඇය තොඳොල් වේ..


"අපොයි එහෙම වෙන්නෙ නෑ..මම යන්නෙ මේ ටවුමෙ තියෙන කන්දොස්කිරියාවෙන් මිදිලා නිවී හැනහිල්ලෙ දවස් දෙක තුනක් ගත කරන්න නේ..ඇයි කතා කළේ ?"


"අරයා දවස් දෙකකට ගෙදර නෑ. අද එන්නකෝ මෙහෙ..හෙට උදෙන්ම මෙහෙ ඉඳලම ගෙදර යන්න බැරියෑ"


"ම්ම්ම්ම්ම්ම්ම්...."

\
"අනේ එන්ඩ එන්ඩ..ඔය කොච්චර කාලෙකට පස්සෙද ? එන්න එහෙනම් මම දැම්මම කාගිල්ස් එකට යනවා ඔයා ආසම තිබ්බොටු බැදුම හදලා තියන්නම්..බියර් ගේන්න එපා මම අරගෙන එන්නම්. ඔන්න ඔයාට තියෙන්නෙ එන්න විතරයි..හා ...නේ ?කියන්ඩකෝ.."

"හ්ම්"


කුලී නිවසේ සිට උදෑසනින්ම යාමට ඉටා ගත්තත් පසු දින ඊටත් දුර වූ නිවසේ සිට ඈගෙන් සමු ගන්නා විට උදෑසන නවයත් පසු වී තිබිණි. 

ගෙදර ගිහින් අද රෑට නම් හොඳට නිදා ගන්ඩෝනි..යන සිතුවිල්ලත් සමඟම මා බසයට නැගුනෙමි.

ගමේ හන්දියෙන් බැස්ස තැන සිටම හතර වරිගයේම හමුවන මුළු ගමම නෑයන් වූ සියල්ලෝම සමඟ ආගිය විස්තර කතා කරමින් ගෙදරට යනවිට ලොකු අක්කා අළුවා සාදා තේ වත් කර තිබුණි. 


"දැන් පැය කීයකට ඉස්සරද මන්දා හිච්චි නැන්දා කිව්වා මල්ලි බස් එකෙන් බැස්සා කියලා"


"ඔව් හිච්චි නැන්දත් මම ආපු බස් එකේ එහා ටවුමෙදි නැග්ගෙ..මග දිගට සේරමල්ලා එක්ක කතා කර කර එනකොට වෙලාව ගියා දැනුනෙම නෑ"


අළුවා කෑල්ලක් කටට කඩා ගත් විගසම එහි වූ පැණි රසයත් සමඟ දිව මත සිසිලසක් ග්නේ දෙමින් දිව යයි..මෙවන් මෘදුවට අළුවා සෑදීමට මා දන්නා තවත් අයෙක් වී නම් ඒ අම්මා පමණි. තේ උගුරකින් මුව සනහා ගත් මා..


"පුතාලත් ඉස්කෝලෙ ගිහින් එනකොට හවස් වෙයි. මල්ලි ඇඟ පත හෝදා ගෙන එන්න . මම දවල්ට උයන්නම්"


පාළුවට ගිය වෙල් යායම අල ගාලකින් වැසී ඇත..තැනින් තැන වූ ලියැද්දක් දෙකක් රන්වන් පැහැයෙන් බබළයි.. ඒ මත්තේ වී කුරුල්ලෝ රංචුවක් මනරම් රටා අඳිමින් පියඹයි. කුඹුක් ගස් සෙවණේ වූ ළිඳෙන් ගත් වතුර බාල්දිය හිස හලා ගනිද්දී මා ගත පමණක් නොව සිතද වහා නිවී ගොස් සැනහුනේ..ක්ෂණයකිනි.


"මට ආරංචි උණා උඹ ආවා කියලා"


උඩුකය නිරුවත්ව සරම් කොටයක් ගසා ගෙන අල ගාල දෙබෑ කරමින් පියල් පැමිණෙන්නේ මුව පුරා සිනහවකින් යුතුවය. 


"ඔව් බන් මේ දැන් ආවෙ. තේ එකක් බීලා නා ගන්න ආවා"


"නා ගනින් නා ගනින් උඹලා නාන්නෙම කැකෑරිච්ච වතුරනෙ එහෙ. මේ ඒක නෙවෙයි අන්න සුමනදාස මාමා ආයි ගලක් කපනවා උඹ නාගෙන වරෙන් අපේ ගෙවල් පැත්තෙ අපි බලන්න යමු"


ඉතින් බන් මාමා අපිට පේන්න ගලක් කපයිද ?"


මම සිනහා සෙමින් ඇසුවෙමි.


"උඹලට සේරම කුණුහරුප ටවුමෙ උන්නෙ. උඹ දන්නවද උඹ ගිය සැරේ ඇවිත් යද්දි කපපු ගලෙන් මොකද්ද හැදුවෙ ඒක කීයට විකුන්නද කියලා?"


"නෑ"


"ඒ ගල අලියෙක් කරා. අන්තිමේ රුපියල් විසි දාහකටද කොහෙද විකුන්නෙ. මම යනවා එහෙනම්"


"හා මම එන්නම් එහෙනම්"


නැවතත් අක්කාගේ තේ එකක් බී පියල්ගේ නිවස දෙසට ගියෙමි..පියල්ගේ නිවසේ  අය සමඟ ටිකක් කතා බහ කොට අපි සුමනෙ මාමා ගේ නිවෙස වෙත පිය නැගුණෙමු. 


ගමේ උන් හොඳම ගල් වඩුවෙක් වූ සුමනෙ මාමා කාලයක් පන්සල් වලට තම ශෛලමය නිර්මාණ පූජා කළත් ආර්ථිකමය ප්‍රශ්න හමුවේ තම නිර්මාණවලට මිලක් නියම කල ගැමියෙකි..අදටද යම් පූජ්‍යස්ථානයකින් ඉල්ලුමක් ලැබේ නම් තම ශ්‍රමය හා කාලය එය සඳහා වෙන් කරන්නෙකි. 

අප යන විටද සරම් කොටයක් ඇඳ ගෙන විශාල ගල් පර්වතයක් සමඟ හෙට්ටු වන මේ අපූර්ව මිනිසා දෙස අපි මදක් බලා සිටියෙමු. ඉහේ සිට දෙපා දක්වාම සුදු ගල් කුඩු වලින් නෑවී උන් මේ ම්නිසා අපි එතනට පැමිණි බවක් නොදත්තේ ඔහුගේ ධ්‍යානයට සම වැදී සුවිශාල ශෛලමය පර්වතයකින් බුදු රුවක් නෙලමින් සිටියේය. 

මද වෙලාවකින් සුමනෙ නැන්දා කහට කෝප්පයක් අතැතිව පැමිණියේ අප දුටුවාය..


"ආ මේ පුතාත් ඇවිත් තියෙන්නෙ ..කවද්ද පුතේ ආවෙ?"


සුමනේ මාමද තම දැහැනින් මිදුණෙ අප දෙස බැලුවේය. රැවුල පුරා රැඳි ගල් කුඩුද කට දෙපැත්තෙන් බේරෙන රත් බුලත් කෙළ පාර නිසා විකට ස්වරූපයක් ගත් මාමගේ මුවේ ඇඳුනෙ ලෙංගතු සිනහවකි. 


"මම මේ අර පූර්වාරාමෙට පිළිමයක් ඉල්ලුවා ඒක එක්ක ඔට්ටු උණා පුතේ..ලබන පෝයට ඕනිලුනෙ"


"අර හෝටලේට ඉල්ලුව ටික හැදුවද දූලගේ තාත්තෙ ? ඊයෙත් කෝල් කරලා ඇහුවා..ඔයි පිළිම නෙලුවට නම් ඉතින් මුදලක් අතට ලැබෙනවයැ? ඉන්න මම පුතාලටත් තේ එකක් හදන්නම්"


"ඔයි හෝටලේ එව්වට වඩා මෙක ඉස්මනට දෙන්න ඕනි..හෝටල් කාරයො කී සැරයක් නම් කේවල් කරලද ඕක ගන්නෙත්..මේ පිළිමෙට සල්ලි හම්බ වෙන්නෙ නෑ කියලා කී සැරයක් දොස් කිව්වද දැන් ?දවසක මම මේ සල්ලි වලට හදන එක නවත්තලම දානවා"


මාමා නුරුස්සමෙන් කිවූ,


"ඉතින් මොනවද පුතේ අළුත් තොරතුරු ?"


අසමින්ම ඔහු නැවත ගල් කටුව අතට ගත්තේය.


බුදු රුවේ මුහුණ සෙමින් සෙමින් බොහොම සීරුවෙන් කොටන ආකාරය දවසක් වූවත් බලා සිටිය හැක. අපද නිහඬව එදෙස බලා සිටියේ මේ උතුම් මිනිසාගේ දැහැන බිඳීමේ අකමැත්ත නිසාය. 


රළු ගලකට සිතුම් පැතුම් කවමින් හැඟුම් උත්පාදනය වන ආකාරයට සකසන මොහු ගැන මට ඇති වන්නේ කිව නොහැකි තරමේ ගෞරවණීය හැඟීමකි. ඉතා සීරු මාරුවට ගලට හේත්තු වී බුදු රුවේ දෙ ඇස යට ඔප මට්ටම් කරන ආකාරය ඉතා ශාන්ත හැඟීමක් ඇති කරයි...වරුවක් පමණ මේ දෙස බලා සිටි අපි දෙදෙනා ඔහුගෙන් සමු ගත්තෙමු.


"වැඩක් කරන වෙලාවට ඔය මනුස්සයා අපි එක්ක වත් වචනයක් කථා කරන්නෙ නෑ පුතේ"


"නැන්ද අපි ආවෙ මාමා වැඩ කරන හැටි බලන්න මිසක් කතා කරන්න නෙවෙයි" 


පියල්ගේ ගෙදර ගොස් දහවලට බත් සමඟ අල ගොබ මාළුව සහ තිබ්බටු මැල්ලුම සප්පායම් වූවත් නැවත ගෙදර එනවිට අක්කා කොහෙන්දෝ ගැට පොලොස් ගෙඩියක් සොයා ගෙන උයා තිබූ නිසා නැවතත් කෑවෙමි. හවස් වරුවම පුතා සමඟ ඔහුගේ පරිගනක පම්පෝරි සියල්ලටම ඇහුම් කන් දෙමින් හවස් වරුවම ගත කලෙමි.


රාත්‍රිය හොඳින් නිදියනවා යැයි සිතා ආවත් අහල පහළ ගෙවල් වලට ගොස් පැය හමාර කතා බහ කර නින්දට යෑමට නිවසට පැමිණෙන විට මධ්‍යම රාත්‍රියද පසුවී තිබුණි. ඒ වනවිටද අක්කාගේ පුතා පරිගණකය අසලට වී නවතම පරිගණක ක්‍රීඩාවක නියැලෙමින් සිටියේය..ඔහු හා එදිනෙදා දේ ගැන කතා බස් කරමින් තවත් හෝරාවක් හමාරකින් මා නින්දට වැටුණේ පසු දින ඔහු සමඟ මස්සිනාගේ අක්කාගේ නිවසේ පැවැත්වීමට නියමිත පිරිත් සජ්ගායනාවකට සහභාගී වීමේ පොරොන්දුව පිටය.


පසු දින අවදි වූයේ සිය ගණනක් වූ සියොතුන්ගේ හඬ මධ්‍යයේය. නිවසට පැමිණි විට උදෑසනම මා විඳින ඉතා මිහිරි සිත නිවන අත්දැකීම එයයි. ඇඳෙහි වැතිරීම හඬ නගන සියොතුන්ගේ එක් එක් හඬක් තනි තනිවම අසා එය හඳුනා ගැනීමේ අසාර්ථක වෑයමක යෙදුණු මා නැගී සිටියෙමි.


"ඔන්න මාමේ අද රෑ පිරිත් ගෙදර..අමතක කරනවා හෙම නෙවෙයි"


පෙරදින ශාන්ත වූ ගල් කැටයම නෙළන අයුරු දැහැන් ගත වී බලා සිටි මට දැනුණු සිතුවිලි සමූහය බල කර සිටියේ මෙම පිරිත් සජ්ගායනාවට අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බවයි.


උදෑසන දහවල සහ හවස ආහාර කිස නිමවීම හැර එම දිනය තුළ කල කිසිම වැඩක් දැනට මතකයට නගා ගත නොහැකිය. ගම පුරා කරක් ගසමින් ගමෙන් භාගයකටත් වඩා වූ නෑ පිරිස් වල ගෙවල් වලට ගොස් ඔවුන් හා මොහොතක සංවාදයකට යොමු වෙමින් සිටියදීම මා දෑස ඉදිරිපිටම දිනය හැකිළී ගියේය..


මා පැමිණියේ කුමකටද ? බෑගය තුළ වූ පරිගණකය ඉවතට ගත්තේවත් නැත.


එදින රාත්‍රිය පුරා තුබු ගිහි පිරිතෙන් නගරයේ විවිධ ඝෝෂාකාරී සංගීතයෙන් ඔද්දල් වූ සිත නිවා ගත් මා.. එම පිරිතෙන් පසු ඔවුන් සංවිධානය කර තිබූ වැඩිහිටි නිවාසයේ දානමය කටයුත්තකට සහභාගී වූයෙමි.


කාන්තා පාර්ශ්වය ඉවුම් පිහුම් කටයුතු කරද්දී..පිරිමි අප දිවියේ අවසන් අදියරක ඉසුඹු ලන වැඩිහිටි පිරිමි අය කීපදෙනෙකුගේම රැවුල් කොණ්ඩ කපා..නහවා පිරිසිදු කළෙමු. පරණ වී ගිය ඇඳුම් සෝදා ..සමහර අය හට නව අළුත් ඇඳුම් මිල දී ගෙන ඇන්දවූයෙමු..අපගේ සැලකිලි මත්තේ සමහර වැඩිහිටියන් අඬා වැළපුණේ ඔවුන්ගේ අතීතය මතක් වීමෙන් බව ඔවුන් පුන පුනා කීවෝය..දිවීයේ අබල දුබල බව හමුවේ ඔවුන් සිතින් ගත කළේද දුප්පත් මානසික තත්වයකිනි. අපගේ කාරුණික වදන් හමුවේ ඔවුන් සුළු මොහොතක් වූවත් සුවපත් වන්නට ඇතැයි සිතෙන ම සිත අදද පිරී යන්නේ මහත් ආහ්ලාදජනක සිතුවිලි ගොන්නකිනි.


 "සෝමෙ ඇවිත්..අපි යමුද උන්ගෙ හේන බලන්න අද රෑ..මේ දවස් වල අස්වැන්න නෙලන්න ළඟ කාලෙ හින්දා මිනිහා රෑ පැල් රකිනවා"


කපිලගේ මේ යෝජනාවෙන් මා සිත පිරී ගියේ එය නම් අනගි අදහසක් බව හඟිමිනි. මන්ද යත් කාලෙකින් මා රාත්‍රිය ගොවි පලක පැලක ගත කර නැත.


සෝමෙ හම්බෙගමුව ප්‍රදේශයේ සාර්ථක හේන් ගොවිතැන් කර්න්නෙකි. කෙසෙල්, මිරිස්, අල මෙන්ම එළවළු කීපයක්ද කුඹුරු යායක්ද අස්වද්දන ඔහු එයින්ම ජීවිකාව රැක ගත්තෙකි.


"පරිස්සමින් මල්ලි ඔව්වයෙ සත්තු සරුපයොත් ඉන්නවා..සෝමෙගෙ මල්ලිට මැලේරියාව හදා ගත්තෙත් ඔහෙ ගිහිල්ලා"


අක්කා මදුරු දඟර කීපයක්ම මා රැගෙන යාමට නියමිත බෑගයට ඔබමින් තම අකමැත්ත පවසන්නීය. අක්කාගේ පුතන්ඩියා පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළත්..මාගේ අකමැත්ත නිසා ඔහු මා සමඟද තරහ වී කාමරයට වැද ගති..


"ඔන්න මඤ්ඤොක්කා තම්බලා හොඳ කොච්චි මිරිසක් තලා ගම්මු රෑ කෑමට. ඔය කොළඹ වගේ නම් රහට නැති වෙයි"


සෝමෙ විස්සෝප වෙයි.


ප්‍රකෘති ස්වභාවයේ සිට ඉතා විකෘති කර ඉන් පසු නැවත ප්‍රකෘති රස ගැනීමට කෘතීම රසකාරක සහ වර්ණ යොදා පිසින කොළඹ කෑම බඩගින්න නිවා ගැනීමක් නොවේ නම් මයෙ බල්ලටවත් එපා යන ආකල්පයෙන් සිටින මට සිනහා එයි.


"මොකෝ බන් උඹ නක්කලේට වගේ හිනා වෙන්නෙ?"


"නෑ බන් මට හිනා ගියේ කොළඹ උන් පරිප්පු කන්නෙත් කුකුල් මස් රහට..උඹ මඤ්ඤොක්කා තම්බන්නෙ මොන රහටද ?"


"හහ් හහ් හා..මාත් දුටුවා ඔය විකාර වෙළඳ දැන්වීම්..මම මඤ්ඤොක්කා ඒ රහටම හදන්නම් බන්"


ගමේ සිදුවී බොහෝ දෑ පිළිබඳව සෝමෙ සහ කපිල මා යාවත්කාලීන කල අතර මා ද කොළඹ සන්නි බොහෝමයක් ඔවුන්ට පවසා හිතේ හැටියට සිනා සුණෙමු.


වනාන්තරය පාමුල අක්කර ගණනාවකින් යුක්ත වූ ඉඩමක ඔහුගේ ගොවිපළ පිහිටා තිබුණි. රැහැයියන්ගේ අතොරක් නැතුව දෙසවන් පිරෙන හඬින් යම් ව්‍යාකූලත්වයක් මනසේ ගොඩ නැඟුණද..ඊළඟ මොහොතේ එම හඬට හුරු වූ දෙසවන් එය අනිත් කාර්‍යයන්ට බාධාවක් නොවිණි.

රාත්‍රී හත පමණ වන විට හොඳ මඤ්ඤොක්කා හැළියක් තම්බා කොච්චි මිරිස් තලියක් අඹරා ගත්තෙමු. උණු උණුවේම තැම්බෙන විට මඤ්ඤොක්කා කෑලි කිහිපයක් කා අප තිදෙනාම අසල වූ ළිඳට ගොස් ඇඟ පත හෝදා ගත්තෙමු.

"පාවිච්චියක් නෑ බන්"


මගේ අකමැත්ත ඉස් මුදුනින් පිළි ගත් කපිල ඔතා ගත් සිගරැට්ටුවේ දුම් ගුලි ගුලි පිට කරන්නට වීය..


"මාත් ගහනවා බන් මේ දවස් ටිකේ අල වැල් ටිකේ කොළ කහ වෙලා හොඳ අස්වැන්නක ඇති..ඉත්තෑවොයි..උරොයින්ගෙන් බේර ගන්න බෑ..පොඩ්ඩක් සද්දයක් ඇහුණොත් ඒ පැත්තෙ රවුමක් ගහන්න ඕනිනෙ ඒකයි"


සෝමෙ අයියාද අහක් වූ නිසා කපිල


"මම එහෙනම් තනියම ගහලා බුදියා ගන්නවා"


යි සිනහා වෙමින් කියයි.


"හා තනියම ගහපන් හැබැයි අපි දෙන්නට වාතයක් වෙනවා හෙම නෙවෙයි."


සෝමෙ අයියා තුවක්කුව ගෙන පතුරමක් ඇතුල් කරමින් පවසයි.


"ඕකෙන් උඹ මොකෙක්වත් මරලා නැද්ද බන් ?"


"නෑ කාලයක් අලින්ගෙන් කරදර තිබ්බා..ඒකයි පරිස්සමට අර ගත්තෙ. එක එකා නම් දඩයමේ යන්න ඉල්ලනවා මම දෙන්නෙම නෑ..මර්ඩර් එකකට හරි රොබරියකට හරි අර ගත්තොත් මාවනෙ බන් මාට්ටු වෙන්නෙ"


කපිලයා මොහොතකින් චන්ද්‍රයා වෙත සංක්‍රමණය වන ලකුණු පෙනුණෙන් අප දෙදෙනා ආගිඅය් විස්තර කතා කළත් සුමනෙ නිතරම අවධානයෙන් තම දෑස් සහ දෙසවන් පෙනෙන නොපෙනෙන අඳුර අතර යොමමින් සිටියේය. මා හට නම් අඳුර ඉරා දෙසවන් මත පතිත වන රැහැයියන්ගේ සහ තවත් නොහඳුනන සතුන්ගේ මුර ගෑම හැර වෙනසක් නොදැනිණි..


"අල යායට ඌරො පැනලා..උඹලා දෙන්නා හිටින් මම එනකන්"

"මම එන්නම්"

විදුලි පන්දම අතට ගත් මා ඔහු පස්සේ වැටුණෙමි.


"සද්ද නොකර වරෙන් "


ඔහු තුවක්කුවද කර තබා ගෙන ඉස්සර වීය.

මීටර් පන්සියයක් පමණ ඇවිද ආ අපට පෙනුණේ එකිනෙකා පරයමින් උඩට නැගුණ පන්දම් වල එතී පහළට වැටෙනා අල යායකි..කීප වරක්ම අල යාය තුළ ගමන් කළත් අප හට කිසිදු ඌරකු හමු නොවීය..

"ඔය ටෝච් එක දියන් මෙහාට..මේ තුවක්කුව අල්ලා ගනින්"


සෝමෙ ටෝච් එක ගෙන අල යායට එහා වූ අකුල වෙතට අල්ලා පිරික්සන්නට වූයේ මා තරමක් ඈතට වී හති හලන්නට වූයෙමි. පොඩ්ඩක් ඇවිද්දත් හතිය එන්නෙ..දැන් නම් වයසට යනවානෙ යන සිතුවිල්ලත් සමඟම මා දුටුවේ ඔහු ඇල්ලූ ටෝච් එළියට අඳුරු අකුලක දිදුලන ටීක් බෝල දෙකක් වන් වූ ආලෝක ගුලි දෙකකි..සෝමෙ මදක් නැවතී එදෙස විමසිල්ලෙන් බලන බැවි තරමක් මෑතින් සිටි මා හට පෙනුණේ මේ වනවිට මා දෑසද තරමක් අඳුරට හුරු වී ඇති බැවිනි.


එක් වරම අර දිලිසෙන ටීක් බෝල දෙක සෝමෙ වෙතට එනවා හාම,


"දුවපන් "


කෑ ගසමින් ඔහු මාගේ දෑස් මානයෙන් අතුරුදහන් වීය..


කොහේ දුවන්නද ..? අඳුරට හුරු වෙමින් තිබූ දෑස හමුවේ අන්ධකාර ගුලියක් මා වෙත පැමිණෙන බව මට වටහා ගත හැකි විය. මදක් පසුපසට වූ මා..ඒ වනවිටත් සෙල්ලමට මෙන් කුරුමානම් අල්ලමින් සිටි තුවක්කුව අර අඳුරු ගුලිය දෙසට යොමු කර කොකා ඇද්දේය..


අත උරහිසින් ගැලවෙන්නට වූ තරමේ වේදනාවක් සමඟම මා හුන් තැනින් වැටුණේ මහා වෙඩි හඬින් මාගේ කන් අගුල් වට්ටවමිනි.


බිම වැටුණු මා බිම අත පත ගාන විට තුවක්කුව අත ගැටුණත්..එය අතට ගැනීමට බිය වීමි..ජීවිතයේ මුල් වරට මා සතකුට ගිනි බිඳ තිබුණි නම් ඒ මොහොතකට පෙර බව මා හට අවබෝධ වන්නාත් සමඟම මා නැවතත් අර අඳුරු ගුලිය පැමිණි දෙස බැලිණි. කිසිත් හැලහොල්මනක් නැත.

සෝමෙ විදුලි පන්දම රැගෙන එන තෙක් මා මෙතනම සිටිය යුතුය.

හූ...හූ..හූ..


මොහොතකින් අවටින් සෝමෙගේ හඬ ඇසුණි. මාද හූවකින් ප්‍රති උත්තර දුන්නද..තව මොහොතකින් අවට ආලෝකමත් කරමින් විදුලි පන්දම් එළිය මා සිටි දෙසට එන්නා හාම නහයට දැනුණු දුගඳ ඉහිලුම් නැති වන්නට වීය.


විදුලි පන්දම ලං වත්ම ලං වත්ම වැඩි වන දුඟද..


"උඹට අවුලක් නෑනේ..වෙඩි සද්දෙට බයේ ඌරා පැනලා දුවන්න ඇති..මම දුවන කොට කක්කුස්සි වළේ අඩිය තියලා ඒකට ඇඳන් වැටුණා බන්. කකුලත් උලුක්කු උණා.."


ඉහින් කණින් ජරාව පෙරා ගත් සෝමෙව පිළිකුල මැඩගත් සිතින් යුතුව වත්තන් කර ගෙන ළිඳට ගොස්  නා කියා ගෙන පැලට ගියෙමු. මතක් වන විටත් අප්‍රිය හැඟීමක් ඇති කරන එම සිද්ධිය දැනටද මට ගෙනෙන්නේ අපුලකි.


මඤ්ඤොක්කා කෑම එපාම වීය.නමුත් සුපුරුදු ලෙස සෝමෙ කා බී කපිලවද ඇහැරවා කන්නට දුන්නේය.


"මදැයි උඹ ආපු දවසෙම වෙච්ච දේ"


සෝමෙ විස්සෝප වේ..


"මට තේරෙනවා උඹලට මේ දුෂ්කර ජීවිතේ ගත කරන්න බෑ..හෙට උදෙන්ම ගෙදර යන්"


පසුදා උදෑසන කපිලගේ හිනා හඬ මැද්දේම අපි අසල වූ වෙද මහත්තයාගෙන් සෝමෙගේ කකුලට බෙහෙත්ද ගෙන ආපසු නිවස වෙත පැමිණියෙමු.


කෙසේවෙතත් මා ජීවිතයේ පළමු වරට තුවක්කුව පාවිච්චි කල හැඟීම වීරත්වයක් ලෙස කීප වාරයකම ඉස්මතු වූවත් එම වෙඩි පහරට ඌරා ලක් වූයේ නම් මට ඇති වන්නේ පසුතැවිල්ලක් බව නම් නිසැකය.

අක්කාගේ දෝස්මුරයට ඇහුංකන්දීමට සිදු වන නිසා මා ඒ පිළිබඳව කිසිවක් නොකීවෙමි. පුතාද තම නුරුස්සනා හැඟීම ඉවත් කර ගෙන මා හා දැවටෙමින් විවිධ දේ පවසන්නට වීය..

දහවල වනවිට මුළු ඇඟම රිදී ගෙන මා හට උණ සැදුනි. තුවක්කුව ගැස්සීම නිසා ගැස්සුනු ඉරහිස ළඟින් අත සෙලවීමටවත් නොහැක. දෙනෙත යටින් හිස ගිණි ගනිමින් වේදනා ගෙන එයි. අක්කා ඕඩිකොලෝන් වතුර සමඟ කලවම් කර රෙදි කඩක් පොඟවා නළලේ එළුවාය. අමාරුවෙන් වූවද දෑස පියා ගත්තත් නින්දත් නොනින්දත් අතර මා හෝරා කීයක් ගත කලාද මතක නැත. යාම්තම් ඇස පියවී ගෙන එනවිට අශූචි වලක් තුල ලැග හිඳින ඌරෙක් මා පසු පස එළවා ගෙන එනවා පෙනේ..


නින්දත් නොනින්දත් අතර රාත්‍රිය විය හැකි කාලයක මා කැඳ බොනවා මෙන්ම එය වමනය කරනවාද මතකය.. පසුදා දහඩිය වලින් නැහැවී මා අවදි වීය.


මා වඩාත් බියපත් වූයේ බිය රැඳි අක්කාගේ දෑස දුටු විටය..කෙමෙන් කෙම්නෙ ඇඟපත වේදනාව පහව යන නමුත් ඔවුන්ගේ පෙරැත්තය මත මා වෛද්‍යවරයකු හමුවී ඖෂධ ගෙන ආවෙමි. ඉතිරි දින දෙක ගෙවී ගියේ මා ඇඳ මත හොවමිනි..


"බෙඩ් රෙස්ට් කියන්නේ බෙඩ් රෙස්ට්"


වෛද්‍යවරයාගේ අණ කඩ කිරීමට සොයුරිය කිසි සේත්ම ඉඩ නොදුන්නාය.


සියල්ලන්ගේම උවටැන් ලබමින් එම දින දෙකද ගත කල මා අද (ඉරිදා) යළි කොළඹ නිවෙස වෙත ආවෙමි. හෙට සඳුදා සිට නැවතත් කාර්යාලයට..මා පිළිබඳවම කේන්තියත් ඇතිවේ..


පරිගණකය ගෙන ගියා සේම ආපසු එලෙසම ගෙන ආවෙමි..


ඉසුඹුවක් ලද ඇසිල්ලේ මා නැවතත් ආවර්ජනය කලේ මා මෙම නිවාඩුව ගත්තේ ඇයිද යන්නට හේතු කල්පනා කිරීමටය.


මට අවැසි වූයේ නවනළු රසයෙන් පිරි යම් නිර්මාණයක් ගමේ සිහිල් සෙවනේ හිඳිමින් අකුරු කිරීමටය..


එසේ මුත් සිදු වූයේ  විවිධ අලකලංචි වලට මුහුණ දී හිස් අතින්ම නැවත පැමිණීමටය..


මෙවන් විටෙක ආච්චි සිටියා න

ම්
"බොට නොකෙරෙන දීගෙට හෙවනැල්ලත් ඇදයිනෙ"

කියමින් ලොඹු කට පෙන්වා සිනහා සෙනු ඇත..

සීයාද 

"බැරි වැඩ නොකරන් අබරෝ කියන්නෙ මේ වගේ වෙලාවට තමයි"


කියනු ඇත. වාසනාවට දෙදෙනාම මෙළොව හැර ගොස් බොහෝ කල්ය.

සාහිත්‍යය මාසය ඔහේ ගියාවෙ..මට කල නොහැකි දේ වලට මුල පුරා මෙසේ පසුතැවිලි වීම් වලට හේතු භූත නොවන්නට තරයේම ඉටා ගතිමි..
ඉදිරියේ එන මහා පොත් ප්‍රදර්ශනය හා ඒකාත්මික වෙමින් තව තවත් කියවන්නට සහ කියවන්නට එන අය කියවන්නටත් කැමරා කාචයේ සිත්තම් කර ගන්නටත් ඉටා ගනිමින් මා නිමවන්නට තැනූ නිර්මාණය නොනිමවූ දුක මදකට අවම කර ගතිමි..

මාගේ අතින් නොනිමවූ ඒ නිර්මාණය පිළිබඳව මාගේ ආදරණීය සහෘද කැල සුපුරුදු ලෙස මට සමාව දෙනු ඇත..එය නිසැකය

47 comments:

  1. මේ නිර්මාණය සාහිත්‍ය මාසෙටම ඇති. හැමදාම වගේ විශිෂ්ඨ නිර්මාණයක් වෙනී අයියේ. පොත් සල්පිලේදි හදි ගැහෙන්නෙ නැතෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රදීප් ඔව්...පොත් ප්‍රදර්ශනය නම් බලන්න හිතන් ඉන්නවා හැම දවසෙම..ඔය දවස් වල ඉතින් දවසම ඉවර වෙයි එතන..ඒ නිසා ඡායාරූප පෝස්ට් තමයි දමන්න වෙන්නෙ..

      Delete
  2. සාහිත්‍යය කන්නද බං...?

    ReplyDelete
    Replies
    1. කන්ඩවත් බෑ නොවැ...ඉතින් මක්කටැයි ?

      Delete
  3. මේ කතාව තුල තිබෙනවා අමුද්‍රව්‍ය ඕනෑ තරම් කතාව විකාශය කරලා කිසියම් සන්දර්භයකට අනුව නිර්මාණයක් කරන්න. කොහෙවත් නොගිහින් විවේකව හිතලා යළි සවිස්තරව මේ සියල්ල පෙළගස්වන්න. එවිට ඔබ ඉදිරියේ නිර්මාණය මැවෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. සන්දර්භය සහ විකාශය පැත්තකට දමලා අමුද්‍රව්‍ය ටික බ්ලොග් පෝස්ට් එක මත විසුරුවා දැම්මා විචාරක..සහෘදයො අහුල ගෙන ඕනි විදියකට නිදහසේ රස විඳියිනේ කියන අරමුණින්..

      Delete
    2. ඔව් මාත් අහුලගෙන රස විඳින්න කියලා හැදුවේ අර කාර්ගීල්ස් එකෙන් බියර් ගේන්න ගිය කෙනාගේ කතා වස්තුව.. කෝ.. ඒක තිබ්බට්ටකින් නිමා උනානේ... අල්ලලා දැම්මා...

      Delete
    3. ඔයි තරම් ශෘංගාරයටම වහල් වෙන්ඩෙපා අප්පා !

      Delete
    4. අහුලං රස විදින්න හෙවුවෙම අර කාර්ගිල්ස් එකට ගියපු සීන් එකෙන් පස්සෙ ටික . . . ඒක වෙන එකෙක් කලිංම අහුලගෙනද කොහෙද

      Delete
    5. වැඩක් නැහැ ඕනයා.. තිබ්බට්ටෙන් වැඩේ නැවතිලා...

      Delete
    6. ඕනයා සහා මාරයාගේ ඉල්ලීමට ඉඩ දෙන්නත් හදලා නිකං හිටියා..මම හැබැයි නිකමට වගේ හිතුවා මේ සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් නම් එයි කියලා..
      කතන්දර :-D

      Delete
  4. ටවුමේ එක තැන පල්වුනු ජීවිතයට වඩා මෙවන් අලකලංචි කොච්චර හොඳද?!!

    ReplyDelete
    Replies
    1. ඒ අලකලංචි ඇතුලෙ වින්ද දේ හරිම වටිනවා තමයි රූ

      Delete
  5. පරණ එව්වා වාගේ නෙමෙයි රස ටිකක් අඩුවෙලා

    ReplyDelete
    Replies
    1. සමහර කාලවලට නෙල්ලි උනත් එක එක රහ අඩු වැඩිවෙනවනෙ අටම්...අල්ලගන්න පුළුවන් රහ ටික පෙලගස්වන්න පොඩි උත්සාහයක් ගත්තා...ඊළඟ වාරෙ බලන්නම් තව උත්සාහය වැඩි කරලා..

      Delete
  6. වෙනියගේ නිර්මාණයක් එළියට ආවොත් ඉතිං ඊට වඩා රස ඇති ඒවා වැලක් ම දීලා යන නිසා මට හරිම සන්තෝසයි.. කනගාටු වෙන්න එපා අහුලං කන්න ඕන තරං දේ මේකේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීල්පියා ගැන කනගාටුවක් පාඨකයාගේ හිතේ ජනිත වෙනවා නම් ඒක ශෝක රසයද ???ඒක නිවන්න අස්වැසිල්ලට යම් දෙයක් කීමෙන් ජනිත කරන්නේ කරුණා රසයද ???

      Delete
  7. නියම විස්තරයක් වෙනී අයියෙ මුල ටික කියවනකොට ඇස්වලට කඳුළු එනව. රස්සාවක් කරන්න කොළඹ යන එවුන්ට වඩා ගමේ ජීවත්වෙන එවුවො කොච්චර වාසනාවන්තද. අර ගෙනිච්ච කොම්පියුටරේ එළියට ඇදල ගත්තෙ නැති එකනං ලොකු දෙයක්.

    සොමෙ හම්බෙගමුව පැත්තෙනං එළවළු වලට අමතරව අභ්‍යවකාෂ ඉන්ධනත් නිෂ්පාදනය කරනව ඇති.

    ReplyDelete
    Replies
    1. ගමේ ඉන්නකන් හිතුවෙ කොළඹ ගැන..කොළඹ ඉන්න ටිකේ ආයි හිතන්නෙ ගම ගැබම තමයි...කොළඹත් නරක නෑ ප්‍රසා..මූණු පොතෙන් පේනවනෙ..
      සෝමෙ ගොවියෙක් විතරයි..අරවා කරන්නෙ නෑ..කරන අය බොහෝමයි ඒ හරියෙත්..

      Delete
  8. බොරු කියන්ඩ එපා උඹ පහු ගිය සතියෙම හිටියෙ ඔෆිස් එකෙයි ගෙදරයිනෙ. මම එක පුද්ගලිකවම දන්නවනෙ !

    ReplyDelete
    Replies
    1. ඈහ් මේ ඇනෝ කවුද මේ ???

      Delete
  9. මට මේක කියවද්දී මතක් වුනේ "මේ තරම් සියුමැලිද කළුගල් ...." සිංදුව.

    ඉඳල හිටලා සති අන්තෙට ගෙදර දුවන මට
    ඇය ඇවිල්ල අත වැනුවනේ එන්න කියල ගෙට
    ගෙදර ගමන අත ඇරියා හිතට අරං ගට
    මෙන්න බොලේ ඇඳපුරාම ඇත තිබ්බටු ඇට

    ReplyDelete
    Replies
    1. ඉවාන් කවිම ලියන්ඩකෝ අප්පා හරිම රහයි..මඩ උනාට !

      Delete
  10. සාහිත්‍ය මාසෙට කරලා තියෙන නිර්මාණය මට නම් ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. හොයා ගත්ත රස ටිකක් ඔබලා ලිව්වා පොඩ්ඩියෙ..

      Delete
  11. ඉතින් නිර්මාණය යස අගේට කෙරිලා තියෙන්නෙ ගමේ ඉඳන් ලිව්වත් එකයි ගෙදර ඇවිත් ලිව්වත් එකයි,රස වෑහෙන ගමේ කතාවක් ලියවිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපෙ..තිබ්බ සීමිත කාලයත් එක්ක ලොකු ගේමක් දීලා තමයි මේකත් ලිව්වෙ..

      Delete
  12. මේක හොඳටම ඇති. ගමේ ඒ කාලේ පෙම්වතිය දුටුව කෑල්ලක් තිබ්බනම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම හිත්වෙ එහෙම ලියන්නයි සුදීක..පස්සෙ ශාන්ත, කරුණා..රසයන් අස්සෙ ඔය ශෘංගාරය ඔබන්න හිත් දුන්නෙ නෑ

      Delete
  13. මේ ලියල තියන ඒක මදැයි සාහිත්‍ය මාසෙට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇපල් ආයි ලියන්ඩ නම් බෑ තමා..ලබන 14 පොත් ප්‍රදර්ශනය පටන් ගත්තහම..ගන්න පොත් කියවන්න ගියහම..ලියන්න වෙලාවක් නැති වෙයි වගේ..

      Delete
  14. ලියන්නා ලියන්න ඕනවට ලිව්වට, මේක රහයි, හැබයි නඟරයෙත් ඕන තරම් සුන්දර දේවල තියෙනවා නේද... මට නම් සුන්දරම ඒවා තියෙන්නේ නගරේ. නයිට් ක්ලබ් වල, ඩිස්කොවල, ක්‍රෙස් කැට් එකේ, ඔඩෙල් එකේ...

    ReplyDelete
    Replies
    1. ශෘංගාරය විතරයිනෙ මාතලන් ඔය කී හැමතැනම තියෙන්නෙ..මාත් එකඟයි..කතාවට..ක්ලබ් සීන් එක නම් මට එච්චර අල්ලන්නෙ නෑ..

      Delete
  15. ඔන්න නව නළු රසය දැන ගත්තේ දැන්. භිබත්ස්‍ය කියන්නේ මොකක්ද බං?
    උඹත් ගමේ ගිහින් ඒ ඔක්කොම විඳලා වගේ. කක්කත් නාගෙන තියෙන්නා. :D

    ReplyDelete
    Replies
    1. පිළිකුල් රසයනෙ..අනේ හෙන්‍රි නොදන්න නවනළු රස !

      Delete
    2. ඇත්තෙන්ම දැනගෙන හිටියේ නෑ බං. ඉංග්‍රීසි වචනයක් දන්නේ නැතිනම් ඩික්ෂනරි එකකින් බලන්න පුලුවන්, සිංහල වචනෙක තේරුම දැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි.

      Delete
  16. ගමේ කථා වලට මම නම් ගොඩාක් මනාපයි...තව ලියහං අයියෙ වැඩි වැඩියෙන්..

    ReplyDelete
    Replies
    1. ලියන්නත් පුළුවන් ඒ වගේ කතාම තමයි සුදීක..

      Delete
    2. ඈ, සිරා සුදීක උණේ කොහොමෙයි. :D

      Delete
    3. මාත් අහන්නේ කොහොමෙයි ඔහොම උනේ. තමන්ගේ පාඨකයන්ට නොහොබිනා විදියට සලකන ලියන්නෙක්.. සුදීක කියන්නේ කුනුහරුපයක්ද බං... හැක්..

      Delete
    4. සුදීකගේ සුදු, හුරතල් මූන ගැන හිත හිතා සිරාට උත්තර දීලා..චෙහ් මේකම දැක්කනෙ මුන් ටික..දැන් ඉතින් සිරායි, සුදීකයි ආයෙ නම් මේකෙ කමෙන්ට් කරන එකක් නෑ...

      Delete
  17. ඇත්තටම මම ගමට ගිහින් මේ අත්දැකීම වින්දා වගේ හැඟීමක් ඇති උනා.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ කෝරලෙ මහත්තයා..මේ කතා ටිඅක් ලියන්න ඕනි..වෙලාව හරස් වෙනවනෙ හැම වෙලාවෙම

      Delete
  18. ප්‍රභන්ධය අපූරුයි.

    අර තිබ්බටු බියර් කේස් එක විශිෂ්ඨ ප්‍රභන්ධයක්. බලං හිටියා වගේ ලියලා තියෙනවා. ඇත්ත සිදුවීම් වෙන්නෙත් ඒ විදියටම තමයි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ලැජ්ජයි ,ලැජ්ජයි වගේ තිබ්බටු කේස් එක ගැන ලිව්ව එකට !

      Delete
    2. කකා අන්න අරෙහෙ හෙන්රිට සිංහල වචනයක තේරුම දැනගන්න ඕනැවෙලා හොයනවා

      Delete