ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 9, 2013

නොනිමි දිවියට සඳකඩ පහනක් ක්ෂේම භූමිය අම්බලමක්..

මෙම සිදුවීමට මොහොතකට පෙර මෙතනින් 

මා කඩි මුඩියේ ඇඳ මෙට්ටයට අත තබා උඩු කය ඉස්සුවෙමි..මදකින් ඔළුවේ බර ගතිය අඩු වන්නටත් කාමරය තුල සිදු වන්නේ කුමක්ද යන්නත් පැහැදිලි වන්නට වීය..එක්වරම සිතූයේ මා නිදා සිටි කෑල්ලට කුඩු කාරයින් යමකට පැමිණ ඇති බවය. නමුත් ක්ෂණයකින් ඊයේ රාත්‍රියේ සිදු වූ සියල්ල මතකයට පැමිණීමත් සමඟම ඉහත කී අදහස ඉවත් වීය..

සිවිලිමේ තිබූ විදුලි පහන දැල්වෙයි..

කාමරයේ අසල වූ බුදු පිළිමය අසල සිට ගෙන බුදුන් වඳින්නේ දුවණියයි..මා තිගැස්සී ඇහැරුනේ විදුලි පහන දැල්වීමත් සමඟය..බුදුන් වැඳ අවසන්ව,

"තාත්තා නැගිට්ටද ? මන් මේ කාමරේ පාවිච්චි කලේ නැති නිසා බුදු පිළිමේ තිබ්බෙ මේකේ..අපි මේක එළියෙන් තියමු අද හවසට. එතකොට තාත්තට හිතේ හැටියට නිදන්න පුළුවන්නෙ"

ඈ සිනාසෙමින් කියවයි.

"මැරුනා වගේ නින්ද ගියා දුවේ..ඔය ඔයා යන්නද?

"ඔව් මන් තේ එකක් හදලා බෝතලේට දැම්මා..උදේටයි දවල්ටයි කෑම හරි ගස්සලා ඇති. හවස මන් කෑම අරන් එන්නම්..නැත්නම් අපි ඉයමු"

"හා දුවේ එහෙනම් ගිහින් එන්න"

"තාත්තට කම්මැලි නම් කියවන්න අර එහා හන්දියේ කඩෙන් පත්තරයක් ගේන්න..සල්ලි මේසෙ උඩ ඇති"

"දූට තුණුරුවන්ගෙ සරණයි..ගිහින් එන්න"

මාගේ ලෙයින් උපන් දියණියකට පවසනවාටත් වඩා ලෙංගතු සිතකින් මා පැවසූයෙමි..

මා තරම් තවත් වාසනාවන්තයකු මෙලොව තවත් ඇත්දැයි මට සිතා ගත නොහැකිය. 

තේ එක බී පිරිසිදුවට, පිළිවෙලට තිබූ සම්පූර්ණ ගෙයම නැවත අතු ගා ස්වල්පයක් වූ බඩු භාණ්ඩ නැවතත් පිළිවෙලට අසුරා තැබූයෙමි.. තරමක් විශාල මිදුල පුරා වැවී තිබුනු තණකොල ගලවා තැනින් තැන වූ මල් පඳුරු රාශිය වෙත අසල කුණු වලක අඩියේ තුබූ පෝර පස් ලං කළෙමි. සිත ප්‍රීතියෙන් පිරුනු විට..ගත පුරා ඔඩු දුවමින් තිබූ හන්දි පත් රුදාවද අතුරුදහන් වී ඇත. අසල වූ ලිඳෙන් වතුර ගෙන නා පිරිසිදුවී දහවල කෑමද කා..අසල කඩ මණ්ඩිය වෙත ගොස් මා අත වූ මුදලින් පත්තරයක් සහ ශීතකරණයේ නොතිබූ එළවළු කීපයක්ද රැගෙන ගෙදර ආවෙමි.

වෙනදා බස් නැවතුමේ සිට ඈ එනතුරු මඟ බලා සිටි මා අද ඈගේම නිවසේ සිට මිදුලේ තබා ගත් පුටුව මතට වී මඟ බලා සිටියෙමි..අසල වූ පාරේ යන්නන් මා දෙස බලමින් සිනහ සෙමින් නිවෙස පසු කර ගෙන ගියෝය..වෙනදා පාළුවට ඇති නිවෙසෙහි ඇති වෙනස අද ඔවුනට අමුත්තක් සේ දැනෙනු නියතය.

පුවත් පතට නෙත් යොමා සිටියද තත්පර දහයෙන් දහය නෙත යොමු කලේ පාර දෙසටය..

ඈ නැත..මා නිවසේ විදුලි පහන් දමා උදෑසන පර වූ මල් සියල්ල ඉවත් කර බුදුන් වැන්දෙමි..සෑහෙන කාලයකට පසු මතක මතක හැටියට කී ගාථා නිසා මා හට මහත් සැනසුම දැනිනි..

හරියටම මෙන්න මේ වෙලාවේම,

"ආ තාත්තා සෑහෙන වැඩ කරලනෙ ගෙදර..මට එනකොටම වෙනස තේරුනා"

"ඔව් දුවේ නිකම් ඉන්නකොට ලෙඩ වැඩියි..මන් මහන්සි උනේ නෑ.. හෙමි හෙමිහිට පොඩියට වැඩ කලා"

"ආ අපි බොමු තේ එකක්..මේන් මන් ඔෆිස් එකෙන් ගෙනාවා කෑම ටිකක් තේ බොන්න"

"තාත්තා එළවළු බඩු ගෙනාවට කමක් නෑ..හැබැයි ගොඩක් වියදම් කරන්න නම් එපා..මට මේ හම්බ වෙන ටික මදැයි එදිනෙදා වියදමට.."

"හා දුව ඒත් මමත් නිකම්ම  කකා ඉන්න එකත් හොඳ නෑනෙ.."

"තාත්තගෙ සල්ලි තියා ගන්ඩකෝ..ඕවා පස්සෙදි ඕනි තාත්තට අසනීපයක් කාරිය හැදුනොත්..ඒ වගේ හදිසියකට අපි ගමු"

ආ ගිය තොරතුරු කථා කරමින් අප දෙදෙනා රාත්‍රී කෑම පිළියෙල කර ගතිමු..

මේ ලෙස දෛනික ජීවිතය දිනෙන් දින ගෙවී යද්දී...මා හට සතියේ අකමැතිම දින කීපය වූයේ සති අන්තයයි..ඒ දුව සෑම සති අන්තයේම තම මාමා සහ නැන්දා සිටින නිවෙසට ගොස් සඳුදා ආපසු පැමිණි නිසාය..එම කාලය තුල මා රූපවාහිනිය නරඹමින්, සමහර විටෙක අසල වූ කඩමන්ඩිය වෙත ගොස් එහි සිටින්නන් හා මදක් කතා බස් කර පැමිණීමෙන්ද කාලය ගත කර දැමූයෙමි..

එක් මාතෘකාවක් හැර අන් සියළු දෑ ඈ මට කී අතර වල දමා තිබූ අතීතය මාද ඈ හට කියා දැමූවෙමි..අප කතා නොකලේ ඈගෙ විවාහය ගැන පමණි..ඈ රවටා පලා ගිය පෙම්වතා පිළිබඳ ඈ තුල කෙසේවත් ඉවත් කල නොහැකි තරමේ වෛරයක්, තරහක්, කේන්තියක් ඇති බව කී ඈ ඒ පිළිබඳ කතා නොකර සිටිමුයි කී යෝජනාව මාද ඉත සිතින් පිළි ගත්තේ..අප අප දෙදෙනාගේම අතීතය කාලයේ වැලි තලා මතින් වැසී යන්නටම ඉඩ දී  වර්තමානයේ සහ අනාගතයේ ජීවත් වූ බැවිනි..
සති අන්ත දින වලට අමතරවද ඈ තම වැඩ පලේ රාත්‍රී වැඩමුරද යොදා ගත්තේ මා නිවසේ සිටි පහසුව ඉතාමත් අගයමිනි..


කාලය ඉතා යහපත් අයුරින් ගෙවී යමින් තිබුනි..


ඒ එක් සිකුරාදා දිනයකි..


මා ද නිවස පිරිසිදු කර කඩ මණ්ඩිය වෙතට යාමට සිතමින් සිටින මොහොතකි.


සාලයෙන් එක්වරම ජංගම දුරකතනයක් හැඬවෙන හඬකින් මාගේ දැහැන බිඳී ගියේය..ඒ හා සමඟම මා නෙත ගැටුනේ දුවනිය වෙනදා රැගෙන යන අත් බෑග් දෙකෙන් එකක් අද දින අමතක කර දමා ගොස් ඇති බවයි..දුරකතනය හැඬවෙන්නේ එම බෑගය තුලිනි..


මේ ලමයා අද මොන සිහියකින් ගියාද මන්දා යයි සිතමින් මා කල යුත්තේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව බෑගය දෙස බලා සිටියෙමි.
එක් වරක් නිහඬ වූ එය යලිත් නාද දුන්නේ..


ම්ම්ම් සමහර විට මොනවා හරි හදිස්සියක් වෙලා නැන්දා හරි මාමා හරි කතා කරනවද දන්නෙත් නෑ..හෙට ඒ ගොල්ලො බලන්න යන දවස..ම්ම්ම් තව පාරක් රින්ග් උනොත් කතා කරමියි සිතමින් මා මේසය අසල එහා මෙහා ගමන් කරමින් සිටියෙමි..


හරියටම විනාඩි පහකින් පමණ...


මා නොකල යුතුවම තිබූ කාර්‍යය වූ එම ජංගම දුරකතනය අතට ගෙන එහි වූ බොත්තමක් මිරිකා සවන් යුගලය වෙත ලං කලෙමි..


"පට්ට බැල්ලි තොට දැන් ෆෝන් එක උස්සන්නත් තුන් හතර සැරේ කෝල් කරන්න වෙලා නේද ?"


පිරිමිද නැත්නම්  ගැහැණුද යන්න සිතා ගත නොහැකි තරමේ ගොරෝසු කටහඬකින් ආ රළු වදන් මා වික්ෂිප්ත කරන ලද්දේය..


යමක් වැරදී ඇත..


"මේ මගේ දුවගේ ෆෝන් එක..මහත්තයට වැරදිලාද කොහෙද..අද වැඩට යන කොට අමතක වෙලා ගිහින් තියෙන්නෙ"


"කවුද යකෝ මේ නාකියා..දැන් මේකි පිට බිස්නස් කරන්නත් පටන් අරන්ද එහෙනම්"


තෙවන පාර්ශ්වයකට කී අර රළු හඬ,

"හලෝ හලෝ ඔය කවුද කතා කරන්නෙ යසෝමගේ තාත්තද ?"


"ඔව් මහත්තයෝ මට හරියට කන් ඇහෙන්නෙ නෑ..ටිකක් හයියෙන් කතා කලා නම්"


"නාකි බීරෙක්..... තාත්තලු..ඩගී මොකද කරන්නෙ මේකි අද ෆෝන් එක ගෙදර දාලා ඇවිත්, මොකද කරන්නෙ? අර කස්ටට වෙන එකියක් යවමුද ?"


"බෑ මැඩම් බෑ... මේකිමයි ඉල්ලන්නෙ..මේකිව ගිය තැනකින් අරන් එමුද ? අහන්ඩ නාකියාගෙන් ගියේ කොහෙද කියලා?"


"මේ ලොකු උන්නැහේ... අද යසෝමා යනවා කියලා ගියේ කොහෙද ? කොහේ වැඩටද ගියා කිව්වෙ?"


"ඇයි මහත්තයෝ වෙනදා යන ගාමන්ට් එකටම තමයි යනවා කීවෙ"


මා අල්ලාගත් කොටි වලිගය දැන් අතහරින්නේ කෙලෙසද ? දුරකතනය ක්‍රියා විරහිත කිරීමද කල නොහැකිය..


මා නොවන තෙවැන්නකුට මැඩම් යැයි කියා ගන්නා අමතනු මට හොඳින් ඇසේ..


"ගාමන්ට් ගිහින්ලු..ගෙදරට කියලා තියෙන්නෙ එහෙමලු..අදම ගෙදරට චොර කරන්න එපා..බලමු තව සැරයක් චාන්ස් එකක් දීලා..මොකද කියන්නෙ මන් නාකියාට..කොහොම හරි ඩගී උඹ කස්ටව ශේප් කරපන්.


මේ ලොකු උන්නැහේ තාම ෆෝන් එකේ ඉන්නවද ?"

"ඔව් මහත්තයෝ"


"එහෙනම් යසෝමට කියන්න ආපු ගමන්ම ගාමන්ට් එකේ මැඩම් කතා කලා කියලා...හෙට උදේම වැඩට එන්ඩ කියන්ඩ.. මේ යසෝමගේ ඔය ගෙදර ඇඩ්‍රස් එක මොකද්ද ලොකු උන්නැහේ"


"මාත් ගමේ ඉඳලා මේ ළඟදි තමයි මෙතනට ආවෙ මහත්තයො..මේ ඇඩ්ඩැස් එක නම් දන්නෙ නෑ.. මහ ගෙදර
ඇඩ්ඩැස්  එක දෙන්නද ?"

"හා"


මා හිතට එන අංක කීපයක් සමඟ හිතට ආ ලිපිනයක් කියා දැමූයෙමි..
දුරකථනය ක්‍රියා විරහිත කලා මාගේ දනිස් පණ නැති වී ගෙන යන්නාක් සේ දැනුනු බැවින් අසල වූ පුටුව මත හිඳ වතුර වීදුරුවක්ම බී ගෙන ගියෙමි..


ටිකින් ටික සියල්ලම පැහැදිලි වෙමින් පවතී... එහෙනම්... මා ක්ශණයකින් සිතූවේ ලිපියක් ලියා තබා මා මේ මොහොතේම මෙම නිවසින් පිට වී යා යුතුයි කියාය..නමුත් එය හුදු සිතුවිල්ලක් පමණක් වීය..මා කෙසේ නම් මෙවන් ආදරණීය දුවණියක් හැර දමා යන්නද ? කුමන දේ ව්‍යාජ වූවත් ඈ මා හට දක්වන කරුණාව හා ආදරය ඉතාමත් අව්‍යාජ වීය..එය හඳුනා ගැනීමට මොහොතක් පමණක් ප්‍රමාණවත්ය..
මෙම නව දැනීම දැන ගත්තාට වඩා දැන නොගත්තා නම් කොයි තරම් අගනේද ? 


ඒ හා සමඟම මා හට දැනී ගියේ ඈ හා මෙම මැඩම් සමඟ සිටි ඩගී යන කණ්ඩායම අතර යම් ඝට්ටනයක් ඇත..එසේනම් දූ ගොස් ඇත්තේ ඔවුන් වෙත නොවේ..වෙනත් තැනකට ගොස් ඇත..එම නිසා මැඩම් ළඟට එන කස්ටන්..සල්ලාල දිවියක් ගත කල මට මේ වචනය සක්සුදක් සේ පැහැදිලිය..නිසා යම් ප්‍රශ්ණයක් ඇති වී..දුව හඹා ඒ..ඈගේ ජීවිතයට යම් පමණක තර්ජනයක් ඇති වීමටද ඉඩ ඇත..යම් නරක දෙයක් වේ යැයි සිතේ..


මා සෙමින් නැවත ඈගේ අත් බෑගය විවෘත කර බැලූයෙමි..
සියල්ලම නිසැකය..බිල් තුණ්ඩු රාශියක් සමඟ එක කොටසක විවිධ වර්ගයේ උපත් පාලන කොපු රාශියක්ද, නොදන්නා ඖෂධ වර්ග කීපයක්ද යම් මත් පෙති විය හැකි පෙති වර්ග  කීපයක් හා විවිධ වර්ගයේ සම්බාහන ක්‍රීම් වර්ග රාශියක් එහි වීය..


බෑගය තිබූ අයුරින්ම වසා තබා මා කිසිදිනක පා නොතැබූ ඈගේ කාමරය වෙතට ගියෙමි.. එය දොරගුල් නොදමා තිබුනි..


මෙය කල යුතුද නැද්ද යන දෙගිඩියාව මත වූවද..එහි වූ පොත් පත් අතරේ වූ දින පොතක් අතට ගෙන බැලූයෙමි..


බොහෝ සති අන්තයන් ඈ විවිධ ප්‍රදේශ වල හෝටල් වල නම් ලියා තිබුනි..එසේම ඉදිරි සති අන්ත පවා..එලෙස වෙන් කර තිබුනි..
සියල්ලම සක් සුදක් සේ පැහැදිලිය...


මා දින පොත නැවත තිබූ අයුරින්ම අනිත් පොත් අතරේ තබන්නට යන විටම තඩ් හඬින් යම් බර කවරයක් බිමට වැටුනි..


ඒ තුල වූයේ ඡායාරූප රාශියකි.. ඈගේ පියාගේ ඡායාරුපය සැබවින්ම මාගේ හැඩරුවට යම් සමානකමක් දැක්වීය..ඈ මේ පිළිබඳව කියූ දෑ සියල්ල සත්‍යයක්ම වීය..


ඈගේ මවද ඉතා රූපත් කාන්තාවක් වීය..


වල දැමූ අතීතය තවත් වැඩක් නැත..අප දෙදෙනාටම ඇත්තේ වර්තමානය සහ අනාගතයයි.. ඈ මගේ දුවණියයි..ලෙයින් ජාතක නොකලත් ලෙයින් ජාතක කල් වුන්ට වඩා ආදරයක්, සෙනෙහසක්, ලෙංගතුවක් ඈ මා හට පා තිබුනි..එයම ප්‍රමාණවත්ය..කිසිවක්..මේ කිසිවක් නොසිදු වූ ලෙසම කාලය ගත කල යුතුයි..යම් දිනක ඈ මේ පිළිබඳව කිව හොත් හැර..මා උදෑසන දුරකථන ඇමතුම ලද මොහොතේ සිට මේ දක්වා වූ සියල්ලම මතකයෙන් අතුගා දැමිය යුතුයි


ඈ හට යම් නපුරක් සිදු වීමට යන්නේ නම් මා හට ඈ සමඟම වෙනත් ප්‍රදේශයකට ගොස් නිවසක් කුලියට ගෙන යම් ජීවිකාවක් ඈ සොයා ගන්නා තෙක් වියදම් කිරීමට තරම් මා සතුව ඇති ධනය ඒ සඳහා යෙදවීමට මා ඉටා ගතිමි..


පෙර දිනයක..ඈ


"තාත්තේ කොන්ද රිදෙනවා මේ බාම් එක ගානවද ?"


මා ඈගේ කොන්දේ බාම් තවරා පිටේ වූ නියපොතු පහර වල් වැනි තුවාල පිළිබඳ විමසූ විට ඈ.. ඇඟලුම් හලේ යම් යන්ත්‍රයක් ආසන්නයේ වූ යමකින් සිදු වූවක් බැව් පැවසූ ආකාරය මට සිහියට නැග්ගේ..


කුමක්දෝ නොදන්නා සිත් තැවුලකින් මා හද වේදනාවට පත් වේ.. සළෙලුන් විසින් හප කරන ලද ගත සියල්ලම දරා තම දෙමපියන් වෙතින් නොලැබෙන ආදරයේ තෙතමනය මා වෙතින් බලාපොරොත්තු වනවා ඇත..මේ වෙන තෙක් එය ලැබුනි..අදින් පසු එය තවත් වැඩි වනු ඇත..දුවණියේ මා නුඹට අතීතයේ වූයේ කුමක්දැයි නොදනිමි..යම් වැරැද්දකින් නුඹ අද මෙතන ඇත..නමුත් නුඹ ගෞරවනීය චරිතයකි..ඒ නුඹගෙන් මා හට ලැබෙන සෙනෙහසින් ඔප්පු වේ..


අසල වූ කැලැන්ඩරයක සඳකඩ පහනක රුවක් බොඳ වූ මාගේ නෙත් දෑලේ ගැටේ..


සියල්ලන්ම තම දෙපයින් පාගා ගෙන ගියත් සඳකඩ පහණ සියල්ලන්ගේම සිත නෙත සනහන ගෞරවණීය වස්තුවක් වන්නේය..නමුත් සියල්ලෝම එය තම දෙපයින් ගෙන යයි..


නුඹත් දිවියට සඳකඩ පහණක් නොවන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැකිය..

"තාත්තේ...තාත්තේ.. කොහෙද තාත්තා ?"


ඈ සජීවීව මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ කෙසේද ? මා හනික සරමින් දෙනෙත පිස දැමූයේ කඳුළු ඈගෙන් සැඟවීමටයි..


"ඇයි ඇයි මයේ දුවේ අද වැඩ නැද්ද ? මයෙ දුවට අද බෑග් එකත් අරන් යන්න බැරි වෙලා නේද ?"


"ඔව් තාත්තෙ කතා කර කර ඉන්න වෙලාවක් නෑ..මන් හෙට ඉඳන් රත්නපුරේ ගාමන්ට් එකකට මාරු කරලා තාත්තෙ"


"ආ දැන් මොකද කරන්නෙ මයෙ දුව මෙහෙ ඉඳන් ඔයි තරම් දුර යන්න හැකියෑ?"


ඈ සුපුරුදු සිනා සලයි..


"බෑ නේන්නම්..ඒ හින්දයි ඕන් අපි අදම මේ ගේ අතෑරලා රත්නපුරේ පදිංචියට යන්නෙ..තාත්තා දවල්ට කාලා තාත්තගේ බඩු ටික බෑග් වලට දා ගන්ඩකො..හවස් තුන වෙනකොට ලොරියක් එනවා සේරම බඩු ගෙනියන්න"


එසේ නම් සියල්ලම සිතූ ලෙසම හොඳින් විසඳේ...අතීතයේ කුණු කසල ගොඩ මෙහිම වල දමා නව තැනකට යා හැකිය


"එන්න තාත්තෙ මේන් කැම බෙදුවා කාලා වැඩ පටන් ගමු"


"හා එනවා දුවේ.."


මා සිත ඈ ගැන මහත් දුහිතෲ ප්‍රේමයක් ඇති වන්නට වීය..




නොනිමි දිවිය ගලා යයි..


එහි අවසනක්ද නැත..සමුගැන්මක්ද නැත..

එනමුදු සහනයක ක්ෂේම භූමියක් ??? 


ක්ෂේම භූමිය එක අම්බලමකින් පිට වී තවත් අම්බලමක් වෙත යාම පමණි..

මේ දැවී යන්නේ වර්තමානයයි..


නැවත හමු වේදැයි නොදනිමි..

28 comments:

  1. පෙර නිර්මාණය සඳහා කමෙන්ට් දැමූ සියල්ලටම ස්තූතියි..
    එක් එක් කමෙන්ටුව සඳහා පිලිතුරු ලිවීමට තරම් කාලයක් සොයා ගැන්ම අපහසු වීය..

    ReplyDelete
  2. මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. මේ වගේ කතා වලට මම හරි කැමතියි. අන්තිම වෙනකම් වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බෑනෙ. මරු.

    ReplyDelete
  3. සමාජයේ පැතිකඩක් ද මන්දා..?

    ReplyDelete
  4. වෙනි අයියේ ඔයා දැන් අපිව බැරෑරුම් විදියට නොයෙක් මාන වෙත ගෙනියනවා. ඒ හැම එකක් තුළම මානුෂියත්වය දෝරේ ගලා යනවා..

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම් ! කලින් කියවද්දී මට හිතුන දේ..ඒ ලෙසටම..

    ReplyDelete
  6. /මේ දැවී යන්නේ වර්තමානයයි..

    නැවත හමු වේදැයි නොදනිමි...../

    අනිවා, මේක නම් පත්තරේකට යා යුතුමයි...

    ReplyDelete
  7. කියන්න දෙයක් නෑ.. උපරිමයි....

    ReplyDelete
  8. අපරාදය හා දඬුවම කතාවෙ ‍රැස්කොල්නිකොවු සෝනියා ලඟ දන ගහල මෙහෙම කියනවා.(වචන හරියට මතක නැහැ.) මම මේ වඳින්නේ ඔයාට නෙවෙයි ඔයාගෙ සරීරය ඇතුලෙ ඉන්න ආත්මයට.."

    ReplyDelete
  9. කියල වැඩක් නෑ වෙනී අයියා, නියමයි.

    ReplyDelete
  10. මෙන්න මේ ලිවිල්ලටනම් සම්මානයක් දෙන්න ඕනි.. ළඟ පාත ඉන්න යාළුවෝ සෙට් එක එකතු වෙලා හවසට ........

    සුමිත් අයියා කියනවා වගේ මේක මෙතනට සීමා විය යුතු නැහැ.

    ReplyDelete
  11. හ්ම්!! අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනෙ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත ගැන තීරණ තීන්දු දෙන්ඩ...
    ඒක හිතේ තියෙනව නං මේ චරිත දෙක ගැනම වැරදි ඇහැකින් බලන්ඩ හිතෙන එකක් නෑ කාටවත්ම

    පාර අයින්වල, උද්‍යාන බංකුවල, හිස් බැල්මෙන් බලාගෙන ඉන්න මිනිස්සු ගෑනු දැක්කම, ඒ මිනිස්සුන්ගෙ හිත්වල තියෙන්නෙ මොන වගේ දේවල්ද කියල හිතන එක මගේ පුරුද්දක්!!
    එහෙම දැක්කාම වරුවක් මාත් ඔය විදියටම ඒ මිනිස්සුන්ගෙ කතාව මගේ හිතෙන් ගොතනව...
    වෙනී අයියටත් මේව හිතෙන්නෙ ඒ වගේ බලන හන්දද??

    ReplyDelete
  12. ඇඬේන්න ලියල තියෙනවා.

    ReplyDelete
  13. නියමම ලියවිල්ලක්.....

    ReplyDelete
  14. මොනා කියන්නද මන්දා, එකපාර නිකන් පොල්ලෙන් ගහපු වගේනේ සිදුවීම් වෙන්නෙ.

    ReplyDelete
  15. කියවපු හොඳම කතාවක්...අවසන් කරලා තියනවා ලස්සනයි.

    ReplyDelete
  16. ලියන්නට අපි සලකනව මදිනෙ.

    හිතන්න දේ හුඟක් ඉතුරු කරලා ගිහින්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  17. මේක තව චුට්ටෙන් මිස් වෙනවා...

    ReplyDelete
  18. කියලා වැඩක් නැ වෙනී අයියේ මැක්සා

    එහි අවසනක්ද නැත..සමුගැන්මක්ද නැත

    ReplyDelete
  19. අඩේ එකම නම හින්දා අතැරල දැම්මේ පෂ්සේ නෙව අහුඋනේ... වෙනියා අපට ටොකු අනිනවා මට හිතෙන්නේ..

    ReplyDelete
  20. සංවේදී පැතිකඩක්. නියමයි.

    ReplyDelete
  21. ලියන්නා ලියන්නෙක්ම බව තවත් වතාවක්...

    ReplyDelete
  22. හරිම සංවේදීයි..නමුත් යතාර්ථය මෙයයි...

    ReplyDelete
  23. කලින් කොටසේ අන්තිමේ අපිට භීතියෙන්, ත්‍රාසයෙන්, කුචුහලයෙන් මුසපත් කරලා, මේකෙ පුදකොටම චා කරලා තිබ්බ එක ගැන විරෝධයක් ඇති වුනා... ඒත් පස්සෙ පහු හොඳට හිතලා බලනකොට, හැම රෑකම කවුරු හරි ඇවිත් හිරිහැර කරයි කියලා බයෙන් ජීවත් වුනු කෙනෙක් ඇත්තටම මේ විදිහ අත්දැකීමක් ලබන්න පුලුවන් බව කුඩා මොලේට වැටහුනා.... අවසානයට මම කැමතියි... හැමදාම සෝකාන්තම කියවලා තියන අපිට පොඩි බලාපොරොත්තුවක් දීලා වගේ ඉවර කලාම ගතියක් තියනවා... ඇත්තට මේක පත්තරේකට යැව්වොත් මොකෑ? මේ වගේ ජීවිත ගත කරන ගෑනු උදවියට, පොඩියට හරි අනාගතේ ගැන සුභවාදීව හිතන්න පොළඹවන ලිපියක් වෙයි නේද?

    ReplyDelete
  24. කතා සෙට් එකම එක නිවී හැනහිල්ලේ කියවන්න තියාගෙන හිටියේ. ඔන්න එක හුස්මට කියෙව්වා. වෙනී අයියගේ මං ආසම ලියන්නා ආයෙමත් මතුවෙලා.

    තරුණියකගේ ජීවිතය මොහොතින් නැතිවෙලා ඒ වෙනුවට උකුසු ඇස් අතර අතරමං වුණු හිරකාර ජීවිතයක් ගැන මොනවට පහදලා දෙනවා. හිතට තදින්ම දැනෙන විදියට ලියලා තියෙනවා.

    ගොඩාක් ලස්සනයි.

    ReplyDelete