අවසානයක් නැති දිවියේ එක් හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය මෙතනින්..
"අනේ අනේ ...."
ඈ විපිලිසරව දුක් මුසු මුහුණින් මොහොතක් බලා සිටින්නී..ඊ ළඟට විමසූ දැයින් මාගේ දෙසවන් අදහා ගැනීමට පවා මද වේලාවක් ගති.
"මන් අහන්ඩමයි හිටියෙ අංකල්ගෙන්.... මන් දැන් ඉන්න ගෙදර, ඉන්නෙ තනියෙම... අංකල් ඇවිත් නවතින්න මාත් එක්ක. මගේ තනියට වගේම ආරක්ෂාවටත් හොඳයිනෙ"
ප්‍රති උත්තර බඳින්නේ කුමකින්දැයි මට වචන තෝරා බේරා ගත නොහැක..
"නෑ අංකල් කැමති නැත්නම්..."
මා වහා නැගිට අසල වූ බෑගය අතට ගත්තේ යන්ත්‍රානුසාරයෙන් මෙනි. ගුප්ත සිනහවකින් යුත් මොනාලීසාගේ සිනහවේ සුන්දරත්වය කොතරම්දැයි මට පෙනුනේ එවිටයි. දෑස කුඩා කරගෙන හදවත පතුලේ සිටම පැමිණෙන සිනහවකින් ඈ මුව පුරවා ගෙන සිටින්නී..
"බස් එකේ යන්න බෑ මේ බෑග් අරන්... අපි ත්‍රීවීල් එකක් කතා කර ගම්මු"
මේ අර පාළු ගෙදර සීතල සිමෙන්ති බිමේ ඇලවී සිටින විට දකින තවත් සිහිනයක්දෝහෝයි මට සිතේ..
"ඉඳා... මොකද අංකල් ඔය අඬන්නෙ?"
"සතුටු කඳුළු මයෙ දුවේ..මන් හීනෙන් දැක්කා දවස් කීපයක්ම මගේ ලොකු දුව ඇවිත් මාව එක්කරන් යනවා..ඒ හීනෙ..."
"හා දැන් ඔය කඳුළු පිහිදා ගන්නකෝ..මේ ඉන්නෙ තාත්තගේ ලොකු දූ තමයි කියලා හිතා ගන්න. "
මෙය නම් සිහිනයක් නොවේ..සිහිනයක් නම් මේ මතින්ම සදාකාලික නින්දට වැටේනම් එය ලැබීමට තරම් වාසනාවන්තයකු මා හැර මේ ලොව තුල වෙනත් අයකු සිටිය නොහැකිය..
"හා යන් තාත්තේ ආන් ත්‍රීවීල් එකක් එනවා"
තම මව පසුපස ඇවිද යන කුඩා දරුවෙකු සේ මාද ඈ පසු පස්සේ ඇඳුනෙමි.. ත්‍රී වීල් එක තුලදී අප කිසිවක් කතා නොකලේ අප දෙදෙනාගේම චිත්ත ප්‍රීතිය ත්‍රීවීල් රථ රියැදුරාට දැන ගැනීමට තිබීම හොඳ නැතැයි අප දෙදෙනාම සිතූ බැවිනි..
"ඔව් අයියෙ මගේ තනියටත් එක්ක ගමේ ගෙදර හිටි තාත්තා එක්කන් ආවා"
ඈ ත්‍රීවීල් රියැදුරා අඳුනන සැටියක් පෙන්වූවාය..
විනාඩි විස්සකින් පමණ පසුව අප ගොඩ වූයේ තරමක විශාල මිදුලක්ද සහිත පරණ තාලේ කුඩා නිවසකටයි..ඒ වනවිටත් අවට වූ තරමක විශාල නිවාස දෙකේ විදුලි පහන් දැල්වෙමින් තිබුනි. සිහිනයක් නොවූවත් මා සිත තවමත් විස්මයෙන් ඇළලෙමින් පවතී..
"එන්න අංකල්...ආ මන් තාත්තා කියලම කියන්නම්කො..එන්න මන් අපේ ගෙවල් අයිතිකාරයාට අඳුන්වලා දෙන්න"
අකාලයේ මිය ගිය පුතු හා තවමත් ජීවත් වන දුවරු දෙදෙනා දශක තුන හතරකට එහා කාලයේ ආමන්ත්‍රණය කලාටත් වඩා ආදරණීය හඬකින් ඈ මා අමතයි..
"හා දුව එන්නම්"
"මිස්ටර් පෙරේරා මේ තමයි මන් කීව අපේ තාත්තා..මන් හිතන් හිටියෙ ලබන සතියෙ එක්කන් එන්නයි. ඒත් අදම එක්කන් ආවා..අම්මත් නැතුව තනියෙම එහෙ මහ ගෙදර ඉන්නවා බලන් ඉන්න බෑනෙ.."
එසේ නම් ඈ මේ සියල්ලම කල් ඇතුව සැලසුම් කර ගෙන තිබුනා වන්නට ඇත..
"තාත්තා කථා කරනවා නම් අඩුයි මිස්ටර් පෙරේරා මොකද වයසට කන් ඇහෙනවා අඩු නිසා"
ඉතා ප්‍රිය මනාප යුවලක් වූ ඔවුන් දෙදෙනාද එතරම් විස්තර විමසූවේ නැත.
"ඔන්න තාත්තට ඉන්න පුළුවන් මේ ඉස්සරහ කාමරේ. දැනට නම් පරණ බෙඩ් සීට් එකක් කොට්ටයක් තියෙන්නෙ ඇඳේ..අපි මේ සති අන්තෙ අළුතින් ඔව්වා ගම්මුකො"
"අනේ දුවේ උඹට බොහොම පිං..මේ ඕනිවටත් වඩා හොඳයි..මන් හිටි විදියට....
"ස්ස්ස්ස්ස්ස්ස් ඒ ගැන නම් කොයි යම්ම වෙලාවකවත් කථා කරන්න එපා තාත්තෙ..අහල පහල ඉන්න අය මන් ගැන මගේ පවුලෙ අය ගැන මොනාත් විස්තර දන්නෙ නෑ..ඒ නිසා ඒ අය එක්ක කථා කරන කොට ඔය මොනා කීවත් ඒ විස්තර කියන්ඩෙපා. අම්මා නැති වෙලා තාත්තා තනියම මහ ගෙදර ඉන්න නිසා මන් එක්කන් ආවා කියලා කියන්ඩකෝ..මේ අහල පහල ඉන්න අයත් හරි හොඳයි. දුකකට පිහිටක් වෙනවා මිස එක එක විස්තර නම් අහන්නෙ නෑ"
මුව කට දොවා ගෙන උණුම උණු තේ එකක් බොමින් මා කුස්සියේ වූ පුටුවක් මත හිඳගෙන සිටියෙමි. අත්‍යාවශ්‍යම දේ හැර අනිත් සුඛෝපභෝගී භාණ්ඩ නොමැති කුස්සියද නිවසේ සාලය මෙන්ට ඉතා පිරිසිදුවට සහ පිළිවෙලට තිබුනි.
දූ කඩිමුඩියේ බත් සහ වෑංජන කීපයක් පිසින්නීය..
"තාත්තට උයන්න පුළුවන්ද ?"
"පුළුවන් දුවේ ඔය බතක් උයලා පොඩියට වගේ වෑංජනෙයක් හදා ගන්න පුළුවන්"
"මොකද මන් සිකුරාදා හවස ගියහම ආයි එන්නෙ සඳුදා උදේ තමයි..ඒ වෙනකන් නැත්නම් තාත්තට කඩෙන් කන්නයි වෙන්නෙ"
වචන කීපයකට වරක්ම තාත්තා යන වචනය ඇසෙන වාරයක් පාසාම හිත අමුතුම ප්‍රහර්ශයකින් පිබිදෙන්නේ..විටෙක දෑසට කඳුළු උනමිනි..
"ඔව් මයෙ පුතේ මන් ඒ දවසට උයා ගන්නම්..මන් අතෙත් පොඩියට සල්ලි වගෙයක් තියෙනවා..මයේ පුතාම මගේ වියදම් බලන්ඩ ඕනි නෑ"
"තාත්තා ඒ සල්ලි පරිස්සම් කරලා තියා ගන්ඩකෝ..අපි ඕනි උනොත් විතරක් ගමු"
බොහෝ කාලයකට පසු උණු උණු ආහාර වේලක් බඩ පුරා ගතිමි..ඊටත් වඩා සතුටින් ඉල්පෙන සිත..මේ වනතෙක් සිත දවමින් තිබූ සියළු අනාරක්ශිත, අනාදර, අසන්තුෂ්ටීන් සියල්ලම එකින් එක මා වෙතින් ඉවත් කරමින් සිටී..ඈ පවසන පරිදි ඈගේ මව හෝ පියා නොමැත. ඈ හදා වඩා ගෙන ඇත්තේ ඈගේ නැන්දා සහ මාමා කෙනෙකු විසිනි..ඈ සෑම සති අන්තයේ යන්නේ ඈත ගමක වෙසෙන ඔවුන් බැලීමටය..
"අපේ නැන්දා අපේ තාත්තාගෙ ෆොටෝ එකක් දුන්නා කාලෙකට ඉස්සර..තාත්තා හිටියා නම් හරියටම ඔය තාත්තගෙ හැඩ රුවම වෙන්න තිබුනා කියලයි මට තාත්තව අර බස් හෝල්ට් එකේ දකිද්දි මුලින්ම හිතුනෙ තාත්තෙ"
"ඉතින් ඒ ෆොටෝ එක කෝ"
"ඉස්සෙල්ලා ගෙදර ඉඳන් මෙහෙට එද්දි ඒ ෆොටෝ එක තිබ්බ ඇල්බම් එකම කොහෙට හරි වෙලා තාත්තෙ. ඒ රූපෙ දැන් මගේ හිතේ විතරයි තියෙන්නෙ"
"එහෙනම් තාත්තා නිදා ගන්න..ඕන් දවල් වෙනකන් නින්ද ගියොත් හෙම..මන් කථා කරන්නෙ නෑ..ඉස්සරහ දොර වහලා යනවා. කෑම බෙදා ගෙන කන්ඩ..දවල්ට කම්මැලි නම් ටීවී එක දාගෙන බලන්න..දොර ඇර දාලා කොහෙවත් යන්න එහෙම එපා.. මේ පැත්තෙ හොරු නම් නෑ..ඒත් අපි නිකන් ඉන්න අයව හොරු කරන්නෙ මොකටද ? "
"හා දුවේ මන් උදෙන්ම නැගිටිනවා"
මා හට එදින රාත්‍රිය ඉතා දිගු වීය..
මාගේ කටුක කර්කශ දිවි පෙවෙත අවසන්ව ඇත..කරන ලද යම් කුශල කර්මයක් මෙසේ පල දෙමින් පවතී.
දෙසවන් පුරා රැව් දෙමින් පවතින්නේ එකම කටහඬකි..
"තාත්තට කැමති කාලයක් ඔය මෙහෙ වැටිලා ඉන්න පුළුවන්..කාලෙන් කාලෙට ගාමන්ට් එකෙන් අපිව මාරු කරනවා..ඒත් මේ ලංකාවෙ කොහෙ හරිනෙ. ඔය තියෙන විදියට කාලා ඇඳලා ඉමු"
සිමෙන්ති පොළව මත කාඩ්බෝඩ් අතුරා සාදා ගන්නා තාවකාලික ඇඳ සහ මේ මෙට්ටය සහ කොට්ටය සැබවින්ම මෙය දිව්‍ය යහනාවකි.. හිරිකිඩ, සීතල සුළඟ හෝ අසල ගැවසෙන කුඩු කාරයන්ගේ සමයන් විකාර කිසිත් නොමැත..පරිසරය නිශාචර කෘමින්ගේ මිහිරි ශබ්දයෙන් පිරී පවතී..
මා කල වැරදි වලට දුක් වීම හැර වළ දැමූ අතීතය පිළිබඳ මනස්තාප වීමේ පුරුද්ද සදහටම පහ වී ගොස් දිගු කලක්ය..දමා ගිය බිරිඳ, දරුවන් සහ මහා වස්තු කන්දරාව සියල්ල පිළිබඳවම කිසිදු හැඟීමක් සිතට නො ඒ.. ඒ වෙනුවට හෙට උදෑසනින් ආරම්භ වන නවමු ලෝකය පිළිබඳ සිතුවිලි වලින් මා සිත පිරෙන්නට වීය..
සිත පුරා දෝරෙ ගලන සතුට නිසාම මා සෙමින් දෑස වසා ගතිමි..කාමරයේ ජනේල් පළුවල රාමු අතරීන් කාමරයට පෙරී එන සඳ එලිය හා එක වූ අසල පාරේ ඇති විදුලි බුබුලේ එලියද මා දෑසින් ඉවත් වන්නට වීය..
එකවරම පාරේ ගමන් කල යම් වාහනයක් බ්‍රාස් හඬින් නවතනවාත් සමඟම අසල වූ නිවසක දොර ඇරෙනවා මෙන් ඇසිනි..කිසිවකු කුටු කුටු හඬින් යමක් කොඳුරනවා මෙන්ම මී මැස්සන් රොදකගේ මුමු මුමුවකින් මා දෙසවන් පිරී යන්නට වීය..
ඊළඟ මොහොතේ..මා දෑස් නිලංකාර කරමින් යම් ආලෝකයක් මා දෑස අභියස බබලන්නට වූයේ මා සිටින්නේ කොහිද කරන්නේ කුමක්ද යන්න පවා එක් වරම සිතට නගා ගැටීමට පවා ඉඩක් හසරක් නොදෙමිනි..
කිසිවකු මාගේ හිස කොට්ටය මත තබා ඔබා සිටින්නාක් මෙන් හිස බර ව මට දැනුනි..මා භීතියෙන් මුසපත් වීමි....
මා උගුරින් කෙඳිරියක් පිට වෙනවාත් සමඟම මාගේ නිදහස්ව තුබූ අත ඇඳ මෙට්ටය මත තබා නැගිටීමට උත්සාහ දැරිමි.
-------------------------------------------------
නොනිමි දිවිය ගලා යයි..
එහි අවසනක්ද නැත..සමුගැන්මක්ද නැත..
එනමුදු සහනයක ක්ෂේම භූමියක් ???
නැවත හමුවෙමු...
අපොයි. අපොයි. මාර ලස්සන කතාවක්නේ. ඉක්මනට කතාව කියාගෙන යමු. මහන්සි බලන්ට එපා. අපි තේ, කෝපි ඔක්කොම ලඟට ගෙනත් දෙන්නම්...:)
ReplyDeleteඇත්තමයි... ලියාගෙන යමු වෙනී අන්කල්...
Deleteහා හා වෙනී අන්කල් කියලා අපේ කොල්ලට එහෙම කෝචොක් එක දාන්න එපා හිරු.. අරිද ? කටපුරා වෙනී අයියෙ කියන්න බැරිද ?
Deleteමේ කොටස පොඩ්ඩක් අභව්‍යයි වගේ... ඒත් සත්‍ය ප්‍රබන්ධයට වඩා විශ්මය ජනකයි කියනවානේ... බලමු..
ReplyDeleteයකඩෝ මේකා හරි හපනෙක් නෙව.. යං යං.. හදවත වැලපේ තව දෙනකං..
ReplyDeleteපොඩ්ඩී තේත් හදල දෙයි.. රසයි බං.. ටිකක් දිගට ලියහන්කො..
ReplyDeleteනියම ලියවිල්ලක්.
ReplyDeleteවෙන්න බැරිත් නෑ අද රටේ ව්න දේවල් වල හැටියට...
ReplyDeleteමම කැමති ලියන්නා... :)
ReplyDeleteහැබැයි අන්තිමට සිද්දවුන එක නම් තේරුනේ නෑ හරියට..
මේක ප්ලෑන් කරල කරපු වැඩක් වගෙයි.
ReplyDeleteඅම්මෝ..හුස්මත් හිරවුනා එක හුස්මට කියවං ගිහින්....
ReplyDeleteම් ම් ම් ම් ම් හැබෑ ලොකේ මෙහෙම දේවල් වෙන්න පුලුවන් බන් . . . මේ කොටස හොඳයි . . තව කොටස් කීයක් තියෙයිද?
ReplyDeleteඔන්න මාත් කියවන්න එකතු උනා. මේ කොටස නම් තදින්ම හිතට වැදුනා.ලිය,උ ඉතිරි ටිකත්..
ReplyDeleteඕන් මාත් කියෙව්වා.රසවත්.හැබැයි අන්තිමට වුනු ටික නම් තෙරුන් නෑ.බලමුකෝ ඊලග කොටසෙන්.....
ReplyDeleteනියමයි වෙනි අයියා..ඉතිරි කොටස ඉක්මනට ඕනෑ..
ReplyDeleteඑන්න එන්නම ලස්සන වෙනවා කතාව එල
ReplyDeleteදැන් මේකත් අර අමිත්ලගේ කතාවෙම කෑලිද..?
ReplyDeleteමේ මනුස්සයට පටලන්න එපා බං. :D
DeletePrasa +++++++++
Deleteඋඹ කාගෙන්ද බොල මේ කතාවක හොඳම තැනින් කඩන්න ඉගන ගත්තෙ. දැන් ඉතින් බලා හිටපංකො උඹ කස කස ඉතුරු ටික ලියනකල් විවේකීව.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මුල හරියෙදි නම් මමත් හිත හිත ආවෙ ඇත්තෙන්ම මෙහෙම වෙන්න පුළුවන්ද කියල, ඒත් අවසානය පැහැදිලි නැති නිසා දැන් නම් ඒක එහෙමද කියල ප්‍රශ්නයක්.
ReplyDeleteඑකාතකට නාකි හිඟන්නෙක් ගෙදර ගෙනිච්චත් අවුලක් නෑ, අද කාලෙ අහන එවුවයෙ හැටියට ඒ අය කෝටිපතියො.
දැන් එතකොට අයියත් අර අටම් අයියයි, හිරූයි වගේ රබර් අදින්නද කම්පනාව, තව කොටස් කීයකට විතර කතාව කඩන්නද අදහස.
කුතුහලයක් ඉතුරු උණා.
ReplyDeleteහීනයක් වෙන්ටැ....
ReplyDeleteහෆ්ෆා.. හොදම ටිකන් නවත්තලා.. අනිත් එකත් ඉක්මනට දාමු..
ReplyDeleteවෙනී අයියගෙන් මම ඉගෙන ගත්ත පාඩම තමයි දීර්ඝ කථාවක් කොටස් කරන කොට කුතුහලය උපරිමයට ඇවිස්සෙන තැනදි කැඩීම... මේ කථාව මුල ඉදන්ම බොහොම නිසොල්මනේ ගලාගෙන යන ආකාරයි කදිමයි.
ReplyDeleteකුතුහලය නම් උපරිමයි..!
ReplyDeleteකලින් කියෙව්වත් කමෙන්ට් කරන්න බැරි උනා.