ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, January 6, 2013

නොමියෙන දිවියට සඳකඩ පහණක්...

ගත වියපත් වූවද සිත අවදි කරන ඒ රුව අදත් දූවිලි පිරුණු මාවතේ අර වංගුවෙන් මොහොතකින් මතු වනු ඇතැයි මට සිතේ.

මිල අධික නොවූවද සිත් ඇද ගන්නා සුළු අයුරින් තම ඇඳුම් පැළඳුම් තේරීමට ඇයට මනා හැකියාවක් ඇතැයි මුල් වරට වුව දකින ඕනෑම අයකුට සිතෙනු ඇත. ශරීරයේ වූ අංගෝපාංග ඕනෑවට වඩා කැපී උල් වී පෙනෙන ලෙස නොවූවත් දකින අයගේ නෙත් සිත් පැහැර ගන්නා ලෙස පිළිවෙලට අඳින ඇඳුම සහ ඊටම යාවූ අත්බෑගය සහ කුඩය..සැමදා ඇයගේ අනන්‍යතාවය වීය. ඈ නෙත නොගැටෙන දිනයක සන්ධ්‍යා භාගය විශේෂ වැඩක් රාජකාරියක් නොතිබුනද මහත් අපහසුතාවයෙන් ගෙවී යන්නේ මන්දැයි මා හට තේරුම් ගත නොහැකිය.

එසේ ඈ නුදුටු එක දිනක මහත් අපහසුතාවයෙන් යුත් හැඟීම් රාශියක් සිතේ හිර කරගෙන රාත්‍රිය ගත කරද්දී...





මද අඳුරත් අසල වූ පහන් කණුවේ ආලෝකයෙන් බිත්තිය සහ වහල අතර ඇති සිදුර තුලින් කාමරයට රිංගා ගත් විදුලි එළියත් අතරින් සෙමින් සෙමින් මාගේ කුටියේ දිර විවර වන්නට වීය..මදක් විවර වූ දොර මතින් මෑත් වුයේ සුරංගනාවියක් බඳු ඈය. සුපුරුදු ලෙසම ඈ මාගේ ප්‍රියතම පාට වූ ලා නිල්පාට ඇඳුම ඇඳ ලා පැහැ බෑගය සහ කුඩය මගේ මේස කබල මත තැබුවේය..සෙමින් විත් මා නිදා සිටි ඇඳ මත හිඳ ගත් සැනින් විස්මයට පත් මා උඩු කය ඔසවා ඇඳ මත හිඳ ගත්තේය..

මා කල වැරැද්ද එයයි..එය මා හට අවබෝධ වූයේ ඒ වනතෙක්ම මා නිදා සිටි සිමෙන්ති බැම්මෙන් පහලට මා ඇද වැටීමත් සමඟය..

එය සිහිනයකි..වියපත් මාගේ කයද අවදි වී ඇත. නමුත් මා සැමදා ඈ එනතුරු බලා සිටියේ නම් එවැනි අදහසකින් නොවන බව ඉඳුරාම කිව හැකිය. විස්මිත සිත ගතේ සීමා බිඳ දමා ගියද ක්ෂණයකින් ගතද නැවතත් සුපුරුදු ලෙස සදාතනික නින්දට පත් වීය..

නැවත නැවතත් දෑස අබියස ඇදෙන සිතුවම් පටක් බඳුවූ එම සිහිනය මා සිතට ගෙන ආවෙ ලැජ්ජා සහගත හැඟීමකි..මාගේ උඩු සිත කිසිදා එවන් බලාපොරොත්තුවකින් ඈ නෙත ගැටෙන තෙක් බලා සිටියේ නැත..

දිය තුලට බලෙන් එබ්බවීමට තතනන රබර් බෝලයක් මෙන් යටි සිතේ ඇති දශක  
හත
ක එකතු වූ කුණු කන්දල් වලින් ගලන ඕජස් මෙසේ විටින් විට උඩු සිතට කාන්දු වීම වැලැක්වීමට සමතෙක් වෙත් නම් ඒ රහත් උතුමකුම පම්ණක් විය හැකිය..

ධනය, බලය, ශක්තිය සියල්ලම අතැතිව තුබූ කාලයේ නම් මෙවන් තරුණියන් සමඟ යහන් ගත වීම යනු කාලයකදී නම් දෛනිකව සිදු වූ කාලයක්ද එයම හේතුවෙන් කැඩී බිඳී ගිය ලෝකයක අතීතය වල දැමීමට මත් වතුරෙන් සහනය සෙවූ කාලයක්ද එහි ප්‍රථිඵලයක් ලෙස විටෙක මහේශාක්‍ය ලෙස ගත කල ජීවිතයේ අඩකටත් වඩා ධනය විනාශ කරමින් ගෙවූ කාලයක ඵලයක් ලෙස මාගේ වර්තමානයේ කාලය දවමින් පරක් තෙරක් නොපෙනෙන අනාගතයකට මා දිවිය පුද කරමින් සිටින්නෙමි..

පල ඇති විටෙක වටා සරනා සියොතුන් කැල රුක පල නොදරන කාලයේ අතහැර යන්නා සේ..මා වටා සිටි සියල්ලෝම විටින් විට තමන්ට සෙවන දුන්, තමන්ට අහර දුන් අතු, මුල් පවා බිඳ දමමින් මා වෙතින් ඉවතට ඇදුනේ සිත් පිත් ඇත්තන් ලෙස නම් නොවේ..අයකුගේ සල්ලාලකමට ලැබිය යුතු එම දඬුවම ඉතා අසාධාරනයැයි සිතූ සිතූවිල්ල පවා අදට නම් වලංගු නැත..නැත ඔවුන් අත වරදක් නැත..

මේ කුණු කන්ද නිසාම මා දුටු සිහිනය මතින් මා පිළිබඳවම ලැජ්ජා වීම පිළිබඳ එතරම් පුදුමයක් නැත.

දින කිහිපයක්ම මා නැවතත් එම බස් නැවතුමට නොගියෙමි..එලෙස නොගොස් මගේ සිතට නිසි ලෙස දඬුවම් ලබා දුන් මා පසු දින සීටියේ ඉතා ප්‍රීතියෙනි..

අද දින නම් ඒ සුපුරුදු රුව නැවතත් මා සිත පුබුදුවනු ඇත..

වෙනදාටත් වඩා වේලාසන මා ගොස් හැරමිටියද පසෙක තබා..සුපුරුදු ලෙස දැන් නෙත ගැටෙතැයි...දැන් නෙත ගැටෙතැයි යන මහා ආහ්ලාද ජනක සිතුවීලි සමුදායකින් යුතුව දූවිලි වැකි...යන යන වාහනය් නිසා නැවතත් නැවත නැවතත් කැළඹෙමින් සංසුන් වන දූවිලි දුමාරය තුලින් වැසුනු පාරේ ඉදිරි වංගුව දෙස බලා සිටියෙමි.

අන් පසින් වූ කිචි කිචියකින් මාගේ දැහැන් බිඳිනි.

කිරිල්ලියන් සමූහයන් බඳු ගැටිස්සියන් කීප පලක්ම පාරේ අනිත් පසින් බස් නැවතුමට පැමිණ ඇත..

"දැක්කද අර නාකිය බලපු පෙරේත බැල්ම "

"කෑ ගහන්ඩ එපා බන් ඇහෙයි"

"නෑ නෑ බන් ඔය නාකියගේ කන් ඇහෙන්නෙ නෑ..ඔයිට ඉස්සර දවසකත් අර මගේ යාළුවෙක්ගෙ ඇඟේ හැප්පුනා අපි බැන්නටත් ඇහුනෙ නෑ..ගල් පිළිමයක් වගේ හිටියා.."

එක් සවසක උදේ සිටම ආහාරයක් නොලද නිසා අප්‍රාණික සිරුරින් යුතුව බස් නැවතුමේ පඩිය උඩට නැගීමට තැත් කිරීමේදී පය පැකිලී අසල සිටි තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා සිදු වූ ඝට්ටනය දින ඈ මෙතන සිටින්නට ඇත..ඔවුන් බැන වැදුනු දෑ සියල්ලම හොඳින් ඇසුනත් මා එදින කන් නො ඇසෙන අයෙක් ලෙස රඟ පා වැඩිපුර අවුලක් නොවන සේ එම අවස්ථාව මැඩ පවත්වා ගතිමි..

"නාකි වෙලත් ගෙවල් වලට වෙලා ඉන්න බැරුව එනවා ගෑණු අස්සෙ රිංගන්න"

"හිඟන්නෙක් වෙන්ඩැති බන්"

"හිඟන්නෙක් උනත් බලපන් ඇඳුම් නම් පිරිසිදුයි."

"උඹත් බලලා තියෙන දේවල්"

හිකි හිකි ගාමින් නැවතත් ඔවුන්ගේ සුපුරුදු කතා බහේ ඔවුන් යෙදෙයි..

හොඳින් ඇස් පෙනුනද ඇස් නොපෙනෙන්නා සේ සිටීමත්..හොඳින් කන් ඇසුනද කන් නො ඇසෙන්නාක් මෙන් හිඳීමත් කෙතරම් පහසුදැයි එය කල අයෙක් මිස අනෙකකු නොදනී..

ක්ෂණයකින් නහය කඩා ගෙන යන සුපුරුදු සුවඳත් සමඟින් මා සිත නැවතත් වර්තමානයට ඇද දැමිනි..දෑස මානයේ ගැටෙන රුවත් සමඟ හුන් තැනින් නැගිටුනේ මන්දැයි මා නොදනිමි..

මොනාලිසාගේ මෙන් ගුප්ත සිනහවත් බැරෑරුම් සිතුවිල්ලත් අතර සැමදා තිබූ මුව මත ඇඳී ගියේ මනරම් සිනා රැල්ලකි..

"අංකල් පහුගිය දවස් ටිකේ දැක්කෙ නෑ මොකද අසනීපයක්වත් වෙලා හිටියද ?"

කාලාන්තරයක් දන්නා හඳුනන තැනැත්තියක් මෙන් ඈ මා විචාලයි..පළමුවරට සිනාසුනු කතාකල වාරය මෙය බව අසා සිටින්නකු විශ්වාස නොකරන බැව් නිසැකය..මගේ උගුර වියැලී ඇත..කුමන පිළිතුරක් දිය යුතුදැයි මට සිතා ගත නොහේ..කිචි බිචි ගාමින් සිටි තරුණියන් රැල එක්වරම නිහඬව අප දෙස බලා සිටී..

"ආ ඔව්..ඔව්..නෑ..ඔව් දුව අසනීප වෙලා හිටියා ඒකයි ආවෙ නැත්තෙ"

මගේ මුව මත නැගෙන සිනා රැල්ල තවමත් පිපී තිබෙන්නේ යැයි මතක් වනවිටත් අපගේ මේ දෙබස අවසන්ව ඈ තම බසය එන දෙස බලා සිටී..අර තරුණියන් රැලද නැවත තම කිචි කිචිය අරඹා ඇත.. වහා මුහුණ පෙර සේ සකසා ගෙන මා නැවතත් අසල වූ සිමෙන්ති බැම්මේ වාඩි ගතිමි.. දෙනෙත් සීමාවේ ඈ රැඳේ.

තරුණියන් රැල ඔබාගත් බසය එතැනින් පියඹා ගියේය..ඈ යන බස් රථය ඒමට තව වෙලා තිබේ..ඔරලෝඅසුවක් නැතත් මා එය දනිමි.

විඩාබර වූවද ඇගේ මුව සැඳෑ හිරු රැස් වැටීමෙන් රන්වන් පැහැයෙන් බබලයි..ඈ තම අත වූ බෑගය විවෘත කලේ..තම ලේන්සුව ගෙන මුහුණ පිස දැමීමට විය යුතුයි..

යම් පාර්සලයක් අතින් ගෙන ඈ මා දෙස හැරෙයි..මෝනාලීසාගෙ මුව මත නැවතත් සිනහවක් !

"අංකල් වැරදියට හිතන්න එපා..අපේ වැඩ පොළෙ අද පාටියක් තිබ්බා..ඒකෙන් දීපු කෑම එක..මන් දෙකක්ම ගත්තා..ආ ගන්න"

ඈ තම අත වූ පාර්සලය මා වෙත පායි..

තැනින් තැන කැඩුනු රෝස පෑ නිය ආලේපන සහිත මාපට ඇඟිල්ල සහ කිරි ගරුඬ පෑ සිහින් අතක්..මා දෝතම පා එම පාර්සලය ගතිමි..

"දුවට පින් සිද්ද වෙනවා දුවේ"

"අංකල් කොහෙද ඉන්නෙ ? හිඟ... නෙවෙයිනෙ..පවුලෙ අය කවුද ?"

"මන් කාත් කවුරුවත් නැති කෙනෙක් තමා දූ..පවුලෙ අය මාව අතෑරල දාලා ඉන්නෙ"

"අනේ පව්..එතකොට කොහෙද ඉන්නෙ ?"

"අර එහා පැත්තෙ ගොඩැල්ලට එහා ගරා වැටිච්ච ගෙයක් තියෙනවා ඒකෙ රෑට ඉන්නවා..ඉන්න පුළුවන් කාලයක්... ඒත් දැන් එතෙන්ටත් මදාවියො ටිකක් රිංගනවා තව වැඩි දවසක් එතනත් ඉන්න බැරි වෙයි..ආන් දුවගේ බස් එක එනවා..පින් සිද්ද වෙනවා දුවේ කෑම එකට"

තවමත් මුව අයාගත් දුක්මුසු මුහුණින් යුත් ඈ හනික බසය වෙත ගොඩ නැගුනාය..

මා නැවතත් ලැජ්ජාවට පත් වූයේ මාගේම පෙර 
දිනයක ඇති වූ 
 සිතුවිලි නිසාය.. දුටු මුල් වරෙක මා සිතූයේ ඈ රෑ සමනලියක වන්නට ඇතැයි කියාය..ඒ ඈ ගල්වන ලාබ සුවඳ විලවුන් නිසා වන්නට ඇත..ඊටත් වඩා අමන අතීතයක රෑ සමනලියන් ඇසුරේ ගත කල අතීතයෙන් ආ කුණු ගඳ ගහන සිතුවිල්ලක ඵලයක් වන්නටත් හැක..

ඈ දුන් ආහර පාර්සලය ඉතා රසවත් වීය..ධනයෙන් ආඨ්‍ය වූ කාල සීමාවේ නම් මෙවන් දෑ අරුමයක් නොවූ මුත් මෙතරම් රසක් දිව පිනවූයේ කාලයකිනි. ඊටත් වඩා සතුටු සිතින් දුන් දැයක් වීම වන්නට පුළුවන..ඉතා සතුටින් ගත කල රැයක්..


මා සිහිනයෙන් පුබුදාවා ලූයේ මා දමා ගිය දුවණියක් මා බලන්නට එන සිහිනයකිනි..මා සතිටින් නිවෑඅ ආලින්දයේ සිට මඟ බලා සිටියේ කවුරුන්දෝ මගේ ලොකු දූ මා බලන්නට එන පණිවිඩය දී තුබූ බැවිනි දූවිලි අවුස්සාලමින් නෙත්මානයෙන් ඉවත් වන බස් රථය තුලින් බැස මා ඉදිරියට ආවේ මාගේ ලොකු දුවයි...ඒ සැබවින්ම මා ලෙයින් ජනිත වූ ඇය නොව මේ ළඳයි..විටෙක වෛරයේ ගිණි දළු වලින් ඈ දවා හළු කල චිතකය මතින් ඈ පැමිනෙතොත් අසතුටු වන්නට බලා හුන් මා පිබිදියේ ඉතා සතුටිනි..සංසාරයේ යම් දිනයක මෑ මාගේම දුවණියක්ව ඉන්නට ඇත..

පසු දින කීපයකදී කල කතා බහෙන් ඈ නමින් යසෝමා බවද අසල වූ ගාමන්ට් ෆැක්ටරියේ සේවය කරන බවද සෑම සති අන්තයකම වාගේ දෙමව්පියන් බලන්නට ගම් රට යන බවද අසල වූ ගමේ නිවෙසක් කුලියට ගෙන ජීවත් වන බැව්ද මා දැන ගත්තෙමි. මාද නන්නාඳුනන කිසිවකුට නොකියන තරමින් වූ මාගේ ජීවිතය පිළිබඳ විස්තර ඈට කීවෙමි.

හද චිතකයේ සොහොන් කල මා බිරිඳ සහ දරු දෙදෙනා පිළිබඳ ඈ විස්මයෙන් අසා සිටියාය. සාර්ථක විශ්‍රාම දිවියක් ගත කිරීමට තිබූ අවස්ථාවන් මා මත්පැන් නිසා විනාස කරගත් බැව් ඇසීමෙන් ශෝක වූවාය..

මා කීමට යැයි කීපවාරයක්ම සිතා ගත්තත් නොකියා සිටි කාරණ කීපයක්ම වීය. එයින් එකක් වූයේ..මා ජීවත් වන්නේ සිඟන්නකු මෙන් වූවත් මා කිසිවකුට අත නොපාන කාරණයයි. මසකට අවශ්‍ය ප්‍රමාණයේ මුදලක් මා හට බැංකුවෙන් ලබා ගැනීමට ඉඩ සැලසෙන තරමේ බැංකුගත වූ ආදායම් මාර්ගයක් මා සතුව ඇති බැව් මා සියල්ලන්ට මෙන්ම ඈටද සැඟෙව්වෙමි.. මතක දශක හයක් තිස්සේ ලද අත්දැකීම් නිසා එම ආදායම් මාර්ගය ඉතා අරපරිස්සමින් පාවිච්චි කරන්නේ කෙසේදැයි කියා දීමට කිසිවකුත් අවශ්‍ය නොවුනි. සිඟන්නකු නොවූවද දකින අයකු අනුකම්පාවෙන් ලබා දෙන සුළු හෝ මුදලද නැතහොත් ආහාර ටික වුවද දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් වූ බොහෝ විට බැංකුවේ වූ ඉහත කී මුදල ආරක්ශිතවම තිබිනි..

අනෙක් කරුණ නම් මාගේ සල්ලාල ජීවිතයයි, එය සඳහා මා විසින්ම මේ ලබා දෙන දඬුවමට සාධාරනීකරනයක් ලැබීමට නම් එය මා ඉතිරි ජීවිත කාලයේම විඳිය යුතුය..ඒ මෙලෙස අප්‍රසිද්ධියේ මනස්තාපවීමෙන් පමණි. එසේම වලදමා තිබෙන එම අප්‍රසන්න කාල සීමාව ඕනෑම සමපේක්ශව සිතන්නකුගේ වූවද මහත් පිළිකුලට භාජනය වෙතැයි යන අනියත බියද මගේ මනසේ කොනක පැලපදියම් වී තිබුනි..

විටෙක පාළුවටම ගොස් තිබූ ගරා වැටෙමින් පවතින් මාගේ රාත්‍රී නවාතැන අතහැරයාම කරුණු සිදු වෙමින් තිබුනි..ඒ රාත්‍රිය වනවිට එතැනට පැමිණෙන කුඩුකාරයන්ගේ තිප්පලක් බවට පත් වීමත් සමඟය. මා සන්තකයේ තිබූ ඇඳුම් කීපයද සහිත බෑගය පවා රැක ගැනීමේ අරමුණින් මා එම ස්ථානයට සමු දුනි..උදෑසනම එතනින් පිටත් වූවත්..ඊළඟට නවතින්නේ කොතැනද යන්න පිළිබඳ අරමුණක් නැත..

දශක 6ක් පමණ තිස්සේ බදා ගෙන සිටි සියල්ලම අළුයම ලූ කෙළ පිඬක් මෙන් අතැර දමා පැමිණ මෙසේ තැනින් තැන කිසිම බැඳීමක් නැති ජීවිතය වූවද දශකයක් පමණ ගත කර උන් මා හට..දැන් නම් දමා යාමේදී දුක් වීමට එක් දෙයක් මේ පරිසරයේ තිබිනි..ඒ යසෝමායි..
අත හැර දමා යාමේදී එම ප්‍රදේශයෙන් ඉතා ඈත පළාතකට යන්නට පුරුදුව උන් මා..අද දින ලත වන්නේ..මෙයින් ඉවත්ව ගියත් මේ ප්‍රදේශය ආසන්නයේම ස්ථානයකට යා යුතු බැවි සිහි වන විටය.. ඒ එසේ වුවහොත් සෑම දිනම මෙම ස්ථානයට පැමිණ ඈ හමු වීමට හැකිය..යසෝමාද තමන්ගේ සේවා ස්ථානයෙන් නොමිලේ ඈට ලබා දෙන ආහාර සියල්ලම මා හට ගෙනත් දෙන්නට පුරුදුව සිටියාය...

මීට පෙර දිනයක මා ඇවිදිද්දී දුටු පාළුවට ගිය කනත්ත අසල වූ ගරා වැටුනු ගෙය මා මනසේ තැන්පත් කර ගෙන තිබුනි..

තරමක් දුර වූවත්..ඊට වඩා ළඟ ස්ථානයක් මා හට තවත් නොමැත..

සෑම දිනක මෙන්ම මා අදද දූවිලි වලා නගින කෑ මොර දෙමින් ඇදෙන වාහන පෙලින් මෑත්ව මා නෙතඳුනක් වූ ඈගේ ඡායාව නෙතමානයේ ගැටෙන තෙක් බලා සිටිමි..

නමුත් පෙර දිනයක වූ සිතේ සතුට, සැහැල්ලුව අද නොමැත..වෙන්වී යාමේ යම් වේදනාවක් සිත තුල ගුලි වේ...

සැඳෑ හිරුද පෙරදා මෙන් දිදුලන්නේ නැත..ඈ වටා හුන් සුදෝ සුදු වළාකුල් කුමකටදෝ මන්දා අහස සමඟ තරහ වී කළු පැහැයෙන් බුම්මා ගෙන සිටී..එයින් විටින් විට හිරු රැස් පවා අඳුරු වේ..වෙනදා තාලයකට හමන සුළඟද...අද තුරු ලතා සමඟ යම් ආරෝවක් කර ගෙන ඇත..ගස් කොළන් වේදනාවෙන් ඇඹරෙද්දී සුළං රැල් සිත් පිත් නැති අයුරින් තව තවත් ඔවුන් පීඩාවට පත් කරනු ලබයි..
මේ සියල්ලම මැද්දෙන් ඈ සුපුරුදු ලෙසින්..බස් නැවතුමට වෙතට පා නගන්නීය..

මාගේ පපුව හිර වේ..සිය වතාවක් පමණ කිය යුත්ත මේ යැයි සිතා ගත්තද..මාගේ උගුර වියලී ඇත..

"ආ අංකල් අද මොකද දුකෙන් වගේ ? ඉන්න අද අපිට ස්පෙශල් කෑම එකක් හම්බ උනා.."

ඈ සුපුරුදු සිනහවෙන් යුතුව තම බෑගය විවෘත කරයි..

"දුවේ මන්.... "

"මොකද්ද අංකල් කීවෙ..මට තේරුනේ නෑ..ආ මේ මොකද මේ අද කවදාවත් නැතුව ලොකු බෑග් එකකුත් අරන් ? අංකල් කොහෙ හරි යනවද අනේ..."

ඈ විස්මයට පත්ව අයා ගත් මුවින් යුතුව තම අත වූ පාර්සලය මා වෙත දිගු කරද්දී..

"ඔව් දුවේ මට අතනින් යන්න උනා..මන් අළුත් තැනක් හොයන් යනවා.."

වෙව්ලන දෑතින් පාර්සලය බදා ගනිමින් මා කොඳුලෙමි..

ඈ තවමත් විස්මිත අයා ගත් මුවින් කිසිත් නොදොඩා බලා,

"අනේ...අනේ..."

-------------------------------------------------------------------------------

නැත අවසනක්.... නැත සමුගැන්මක්...

මේ අරුත් නැංවෙන්නේ ජීවිතයයි...


නැවත හමුවෙමු... 

51 comments:

  1. වෙනි අයියේ මාරයි.... පුදුමාකාර ඉසව්වකට මේ ලියැවිල්ලත් එක්ක අපව අරන් යනවා.... ඔබ ජිවිතය දකින්නේ හරිම පුදුමාකාර කෝණයකින්. ඔබට ජයම වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි,

      Delete
  2. මාරයි වෙනී අයියා කියල වැඩක් නෑ ලියල තියෙන විදියනං.

    දැං කතා දෙක තුනක්ම පටං අරං තියෙනව අන්තිමට ඔක්කොම ටික ටැපලෙයිද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, අන්තිමේ එක කතාවක් ලියන්ඩ වෙයි පැටලුම් සේරම ලිහන්න...

      Delete
  3. ඇත්තටම නියමයි ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අවතාර් මලයා

      Delete
  4. නියමෙට ලියල තියෙනවා ආසාවෙන් කියෙව්වා මහුලු දිවිය කියන්නේ එක අතකින් අවලංගු කාසියක් වගේ කියන කියමන ඇත්තක්දෝ කියල හිතෙන්නේ දැන් තමයි.

    ReplyDelete
    Replies
    1. මහලු දිවිය මොන කාසියක්ද කර ගන්නෙ කියලා තීරනය වෙන්නෙ ඒ ඒ කෙනාම තමයි මල්ලි

      Delete
  5. වෙනි අන්කල් ලියලා තියෙන එක අද නම් මට ටිකක් වැඩිපුර දැනුනා... පොඩි පරණ මතකයක් එක්ක... ( මේ දවස්වල පරණ පම්පොරිමයි.. හි හි)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු අවුරුද්දෙ මුල මාස කීපය මන් කතා ලියන මාස ටිකනෙ...පස්සෙ තමා අනිත් එදිනෙදා වෙන දේවල් ලිය ලියා ඉන්නෙ !

      Delete
  6. මේක කියවලා මා ලඟ ඉඳගෙන හිටපු කෙනා කිව්වදේ විතරක් කියන්නම්.
    "ෂහ්. ඒක නම් වෙනියා ලස්සනට ලියලා තියෙනවා. මේකා සමහර වෙලාවට මේ පිස්සු පෝස්ට් දැම්මට මූට හොඳට ලියන්න පුලුවන්නෙ..."

    මම නෙවෙයි ඕං. :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙනම් දෙන්නටම ස්තූතියි..මේ ජාතියෙ කතා විතරක්ම ලීවොත් මගේ පාඨකයො ප්‍රමාණය 10ත් 15ත් අතරෙ ගානකට වැටෙයි...ඒක දැන් තියෙන 30 ගාන තියා ගන්න අනිත් පිස්සුත් ලියනවා හෙන්රි.. දෙන්නටම ස්තූතියි ඇගයීමට..

      Delete
  7. එකිනෙකට වෙනස් මාතෘකාවන් ඔස්සේ සාර්ථක කෙටිකතාවක් ගොඩනඟාගැනීමේ අපූරු හැකියාවක් වෙනී අයියට තියෙනව නොවැ. පොත්පත් කියවීමෙන් ලත් ආභාෂයත් ජීවන අත්දැකීමුත් තිබුණත් හැමෝටම මෙහෙම ලිවීමේ හැකියාවක් නෑ වෙනී අයියා, තව ටිකක් ලියල කාරිය වැඩි පාඨක පිරිසක් උදෙසා පොත් කීපයක් මුද්‍රණයෙන් එළිදක්වන්න කටයුතු කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මගේ ඔළුවෙ තියෙනවා මල්ලි, මන් කැමතී දැන් මිනීමරුවෙක් වෙලා ඉඳලා ඊළඟ මොහොතේ භාවනා කරන චරිත වලට..

      Delete
  8. එක හුස්මටම කියැව්වා..! හිතාගන්න බෑ මොන ඉසව්වකට යාවිද කියල.

    ReplyDelete
    Replies
    1. බලමු නේද ? බදාදා දිහාවට ඊලඟ කොටස දාන්න ඉන්නෙ !

      Delete
  9. ඇත්තටම වෙනිට හොඳට ලියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි..

      Delete
  10. බොහොම සුන්දර ලියවිල්ලක්... අපේ වෙනී අයියා සැබෑ දක්ෂයෙක් බව අද යලිත් පසක් වුනා... ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි, ඒත් තාම ලියන්ඩ පුරුදු වෙනවා විතරයි..

      Delete
  11. ලස්සන කතාවක් වගේ.. කියවපු ටික හොඳයි... ඉතිරියත් සුපුරුදු ලෙස රසවත් වේවි.. ඉතිරිය එන තෙක්..

    ReplyDelete
    Replies
    1. ඉතිරිය මඟ එනවා සෙන්නා..බදාදා දිහාවට !

      Delete
  12. "සුපුරුදු ලෙසම ඈ මාගේ ප්‍රියතම පාට වූ ලා නිල්පාට ඇඳුම ඇඳ ලා පැහැ බෑගය සහ කුඩය මගේ මේස කබල මත තැබුවේය.."

    වාක්‍යය හරිද?

    ReplyDelete
    Replies
    1. හීනයක් ඇතුලෙ නීති රීති පද්ධතියක් නෑ නෙ මල්ලි, එතන විතරයි අපිට ඕනි තරම් වැරදි කරන්න ඉඩ තියෙන්නෙ !

      Delete
    2. නෑ බං අයියේ මං ඇහැව්වේ ග්‍රැමර් හරිද කියලා!

      Delete
    3. මාත් කිව්වෙ හීනයක් ඇතුලෙ මොන ග්‍රැමර් ද බන් ?

      Delete
    4. ඈ බන් වෙනි අයියේ ඔහොම කතාවක් ඔය ඇහුවමයි.. හීන ඇතුලෙ කියලා ග්‍රැමර් කඩන්ඩ පුලුවන්ද ? ඇත්තටම එහෙම පුලුවන්ද ආ ?

      Delete
    5. ඔව් මේ කතාව ඔය ගොල්ලො තව සැරයක් කියෝලා බැලුවොත් පෙනෙයි ව්‍යාකරන සහ අක්ෂර වින්‍යාසය 95% ක්ම වැරදියි කියලා..සෙන්නා සහ පූසට කියන්න තීයෙන්නෙ මෙච්චරයි..ඉස්සෙල්ලා පෝස්ට් එකෙත් කිව්වනෙ මේක..බලන්න මගේ බ්ලොග් එක හදද්දිම දාපු තීම් එක..ජීවිතේ පරිපූර්ණ වෙන්න ඕනි නෑLife sholud not be perfect to enjoy it....හැම පෝස්ට් එකකම මොකක් හරි ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න නම් ඔය ගොල්ලො මේකට එන්නෙ...ඊට වඩා හොඳයි කියවලා රස විඳින්න පුළුවන් දේකට ඔය ගොල්ලො හිත යොමු කරන්ඩකෝ..අපරාදෙනෙ ඔය ගොල්ලොන්ගො කාලය . කිසිම අවුලක් නෑ ඒ ගැන..ව්‍යාකරන ගැන ඉගෙන ගන්න ඕනි තරම් හොඳ , ප්‍රබුද්ධ, ප්‍රවීන බ්ලොග් රාශියක් තියෙනවානෙ බ්ලොග් අවකාශෙ මල්ලිලා දෙන්නටම කියවන්න !

      Delete
    6. අපොයි වෙනී අයියාට තරහා ගිහින්ද මන්දා! වෙනී අයියාට අපූරුවට ලියන්න පුළුවන්. ඒ හන්ද නොවැ හැමදාම එන්නේ කියවන්න. හිතට වදින දේවල් බොහොම උවමනාවෙන් කියවනවා මම. ඒ හින්දා වෙන්න ඇති ඔය වගේ ඇබිත්තං තැන් හිට අහුවෙන්නේ! වරදට සමාව!

      Delete
    7. වෙනී අයියේ.. මෙතන වැරදි හොයන්න මගේ තුන් හිතකවත් අදහසක් තිබුනෙ නෑ.. ඒත් වෙනි අයියා කියපු එක ගැන පොඩි කුකුසක් ඇතුවුන හින්දයි එහෙම ඇහුවෙ.. බලවත් ලෙස සමාව අයදිනවා සිත් රිදවීමක් සිදුවූවානම්..


      Delete
    8. මන් කිව්වෙ මට වෙලාවක් නෑ මේවයෙ ව්‍යාකරන සහ අක්ෂර වැරදි සොයලා හරි ගස්සන්න..ඒකට මත තේරෙන්නෙත් නෑ..95%ක් විතර වැරදී..පොතක් මුද්‍රණය කරන කොට විශේෂඥයකුට දෙනවා..ඉස්සරහදිත් මේ වැරදි මේ විදියටම තියෙයි..එව්වා ගැන බලන්න ගියොත් මල්ලිලා දෙන්නටම නිර්මාණය රස විඳින්න බැරි වෙයි නේද ? කේන්ති ගියාටත් වඩා මන් බය උනේ ඒකටයි..පූසව නම් නිතර හම්බ වෙනවනෙ..පූසගෙන් ශොට් එකක් සහ සෙන්නා හම්බ වෙච්ච දවසක සෙන්නගෙ ගානෙ ප්ලේන්ටියක් හරි බීලා තමයි සමාව දෙන්නෙ..නැත්නම් මන් දෙයි සමාව !

      Delete
  13. ලියන්නාගේ තවත් නිර්මාණාත්මක ලේඛනයක්. ජය....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රදීප් මල්ලි,

      Delete
  14. නියමයි....

    මේ කතාව පත්තරෙකටවත් දාන්න බැලුවොත් මොක ද...? පාඨකයො වැඩි දෙනෙක් අතරට යවන්න පුළුවන්නෙ එතකොට...

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරන වැරදි සේරම හරි ගස්ස ගන්න පුළුවන් උනොත් දානවා සුමිත් අනිත් කොටස්ත් එක්කම..

      Delete
  15. නියමයි... මිනිස් සිත සියුම්ව විවරණය කරන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර

      Delete
  16. ලාබ සුවඳ විලවුන් ගාන්නෙ රෑ සමනලියොද වෙනි අයියෙ...:P

    ReplyDelete
    Replies
    1. ඕන් ඕන් ඉතින් පැණි දොඩම් මල්ලි බබා වෙන්නයි හදන්නෙ !

      Delete
  17. හැබෑ ජීවිතේ ගැන හරිම ලස්සන කතාවක් වෙනී...

    ඔන්න 'ලියන්නා' කියන එක හොඳටම ගැලපෙනබව දැනුනා.:)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා පොඩ්ඩි ඕන් ඔහෙ හිතෙන හිතෙන දේවල් ලියලා දානවා..

      Delete
  18. මං වෙනියා එක්ක තරහයි.. එත් ලියන්නගෙ කතා කියවන්නෙ නැතුව ඉන්න බැහැනෙ..

    ReplyDelete
    Replies
    1. මන් දන්නවා ඇයි කියලා..මාත් තරහින් ඉන්නෙ..ආවාට හම්බ වෙන්න නො ආපු එකට..පැට්ටා ටෙලිෆෝන් නම්බරේ දුන්නෙ දැන් අවුරුදු කීයකට උඩදිද ??? :-D

      Delete
  19. මිනිස් සන්තානයේ සිතිවිලි වෙනස් වන හැටි නම් පුදුමයි..සමීකරණයට දාලා විසඳන්න අමාරු ජීවිත කොච්චර තියනවාද?

    ස්තුතියි වෙනී ලස්සන කතාවට..ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ සමීකරණ වලින් නෙවෙයි මේ ජීවිතේ ගොඩ නැගෙන්නෙ..හැබැයි එක විච්ල්‍යයක් වෙනස් කරලා ගන්න පුළුවන් උත්තර ගාන නම් අනන්තයි

      Delete
  20. අර බලි කුරුටු ඇඳ ඇඳ හිටියේ උඹට හෙනහුරා ලබලා වත් උන්නාද... දිග වැඩියි සත්තරන්... රහ දේ පොඩ්ඩ පොඩ්ඩ දෙන්න සත්තරන්...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාතලන්..ඒ ඒ කාලෙට එන බනිස් වලට ඒ ඒ කෙසෙල්..හෆොයි දිග මදි කියලයි මන් හිතුවෙ..ඒ කොටසෙ ලියන්න හිතන් හිටි සේරම තමයි මේ..

      Delete
  21. නියමයි වෙනී අයියේ.. ගොඩක් කාලෙකින් කතාවක් නෑ කියලා හිත හිත ඉද්දිම සිරාම කතාවක් ලියලා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දිනේශ් මල්ලි ඔන්න ඔහේ ලියන්ඩ ගත්තා..කියවන ඇස් වලින් නෙ කතාව ඇගයෙන්නෙ

      Delete
  22. අනේ මන්දා බන් මට නම් ටිකක් මදි මදි වගේ . . ඒ කිව්වේ වෙනදා මේ වගේ ලියන සමහර ඒවා තරම්ම නෑ වගේ කියලා හිතුනනේ . . hhmm

    ReplyDelete
  23. //හොඳින් ඇස් පෙනුනද ඇස් නොපෙනෙන්නා සේ සිටීමත්..හොඳින් කන් ඇසුනද කන් නො ඇසෙන්නාක් මෙන් හිඳීමත් කෙතරම් පහසුදැයි එය කල අයෙක් මිස අනෙකකු නොදනී..//

    දැන් අපි ඔක්කොටොම මෙහෙම ඉන්න තමයි පුරුදු වෙන්න තියෙන්නේ.

    //දශක 6ක් පමණ තිස්සේ බදා ගෙන සිටි සියල්ලම අළුයම ලූ කෙළ පිඬක් මෙන් අතැර දමා පැමිණ මෙසේ තැනින් තැන කිසිම බැඳීමක් නැති ජීවිතය වූවද දශකයක් පමණ ගත කර උන් මා හට..දැන් නම් දමා යාමේදී දුක් වීමට එක් දෙයක් මේ පරිසරයේ තිබිනි..ඒ යසෝමායි..//

    වෙනි, මේක පුදුමාකාර සත්‍යයක්.. බොහෝ දේවල් අතහැර දාන්න ලෑස්ති වෙනකොට තවත් දෙයක් අපි නොදැනිම අල්ල ගන්නවා.

    ReplyDelete