ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, July 30, 2012

සංනිවේදනය..

අද දවස (සෙනසුරාදා 29 ) ඇතුලත මේ වෙනකොට මට ෆෝන් කෝල් 21 ආවා. සාමාන්‍යයෙන් සිකුරාදාට වෙනදට වඩා ෆෝන් කෝල් එනව නම් තමා..ඒ ඉතින් ඔය පොඩි පහේ පාටි වගේ එව්වටම තමයි. ඒත් මේ කෝල් එන්න ගත්තෙ උදේ 8 විතර ඉඳන්.
මේ හැම කෝල් එකකම අඩංගු වෙලා තිබ්බෙ මෙන්න මේ වගේ අන්තර්ගතයක්ම තමයි.


"මචන් මොකද උනේ බන් උඹට තුවාලද ? හොඳටම අමාරුද ?"


"ඇයි බන් මන් මේ ඉන්නෙ හොඳට .. කිසිම තුවාලයක් නෑ. ඇයි එහෙම ඇහුවෙ?"


"මචන්  සංකයා කීවනේ උඹ වැටිලා හොඳටම තුවාලයි.. අද ඔෆිස් යන්නෙත් නැති වෙයි කියලා. මන් මේ ගත්තෙ උඹට කොහොමද අහන්න"


"ඌට පිස්සු වෙන්න ඇති. ගිය සතියෙ සිකුරාදයින් පස්සෙ මට ඌව හම්බ උනෙත් නෑ"


"ඇයි බන් ඌ එහෙම නම් එහෙම කියන්නෙ ? අද අප්‍රේල් පළවෙනිදාත් නොවෙච්චි කොට"


"මන් දන්නෙ නෑ බන්ස් උඹලව අන්දවන්න වෙන්න ඇති."


ඔය වගේ මට තුවාලද කියලා සැප සනීප බලන්න කෝල් දෙක තුනක්ම එනකොට මන් සංකයට ගත්තා කෝල් එකක් ඇයි එහෙම කීවෙ අහලා බලන්න වැඩක් නෑ ෆෝන් එකෙන් කිසිම චාරයක් නොමැත කියලා තමයි ආන්සර් එක එන්නෙ.. ඊළඟ කෝල් දෙක ආපුවහම මන් හොඳටම ස්ථීර කර ගත්තා මේ ලණුව දීලා තියෙන්නෙ සංකයගෙන්ම තමා කියලා. SMS දෙක තුනක් දැම්මත් ඒවා නම් ඩිලිවරි උනාට මට කෝල් කරන්න බෑ.. චාරයක් නොමැත තමයි !අපි සැරින් සැරේ ඔය වගේ ලණු දීලා අතල් ගන්න සෙට් එකේ නිසා මන් ඔය කාරනෙ පස්සෙන් පහු එලෙව්වෙ නෑ.. ආයි සෙට් වෙච්ච දවසක අහ ගන්න බැරියැ කියලයි හිටියෙ..


"මොකද්ද හු** අර මන් ගැන කීව අවලම් කතාව ඊයෙ කීදෙනෙක් නම් කතා කරාද ? හරියටම 21 දෙනෙක් කතා කලා. ඒ මදිවට උඹ ඊයෙ දවසෙම ෆෝන් එකත් ඔෆ් කරන් හිටියෙ. කොලොත් කොරන්නෙ ඔය වගෙ හු** වැඩක්ම තමයි."


මන් අද උදේ නවයට විතර නැගිට්ට ගමන්ම රින්ග්ස් යන සංකයගේ  ෆෝන් එක උස්සපු ගමන්ම බැන බැන ගෙන ගියේ ඊයෙ වෙච්ච සිද්ධියෙ නෝන්ඩියටත් එක්කම වගේ ඊට ඉස්සෙල්ලා මන් කරපු මගෝඩි වැඩේට මූ මටත් බැන්නෙ ඔය තාලෙන්ම වෙච්ච නිසාමයි.තව විනාඩි භාගයක් විතර ගියා..


ඊළඟට ඇහිච්ච සද්දෙන් තාම ඇඳෙන්වත් බැහැලා හිටියෙ නැති මහා චූ බරකුත් තියන් හිටි මට ඇඳේම චූ නොගියා විතරයි. මන් බාත් රූම් එකට නොගිහින් ටිකක් වෙලා හිටියෙත් ඉතින් ඔය උදේ පාන්දරම සියළුම පිරිමින්ට තියෙන ප්‍රශ්ණ පොඩ්ඩක් බැහැලා යනකන්.. සේරම බැස්සා හුටුශ් ගාලා ෆෝන් එක දිගේ ආපු කටහඬ එක්කම.


"අනේ ලියන්නා පුතා නේද ? පුතේ මේ අපේ සංක පුතා ෆෝන් එක දාලා ගිහින් පුතාවත් දන්නවද ගියේ කොහෙද කියලා"


ඒ සංකගේ ආච්චිගෙ කටහඬ..හත් දෙයියනේ මන් කොහොමද ආයි ඒ අවුරුදු අසූවක් විතර වෙච්ච මනුස්සයගේ මූන වත් බලන්නෙ. අමාරුම වෙලාවකදි ඉස්සරහට එන නුවන ආවෙ ඔය වෙලාවෙ තමයි.


"නෑ ලියන්නා නෙවෙයි. සොරි , රෝන්ග් නම්බර්"


මන් ටුක් ගාලා ෆෝන් එක තිබ්බා.
ඊළඟ තත්පරේ ආයි එනවා කෝල් එක සංකගෙන්..ඒ සැරේ නම් ඌම තමයි.


"සොරි රෝන්ග් නම්බර්"


කිය කියා මූ හින කනවා. මුගෙ ආච්චිගේ හිනාවයි, අම්මා ගෙයි නංගිගෙයි හිනාවයි බෑක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනවා


"මොකද්ද බන් කරන්නෙ ? දැන් උඹලගෙ ආච්චි ඉස්සෙල්ලා ගත්තෙ..අඩෝ මාව අඳුරා ගත්තද මන්දා"


"ආයි මෙතන් උඹ කොවුලා වගේ කුනුහබ්බ කියන්නෙ එහෙම නෑ ඕන්.. මන් ස්පීකර් ෆෝන් දාලයි තියෙන්නෙ"


"එතකොට ඉස්සෙල්ලා ආච්චිමද ෆෝන් කෝල් එක ගත්තෙ. විලි ලැජ්ජාවයි යකෝ"


"නෑ උඹ කුනුහබ්බ කියනකොට මන් අහන් ඉඳලා ආන්සර් කරන්න ආච්චිට දුන්නෙ"


"මට ඇහුනා මට ඇහුනා "


බෑක්ග්‍රවුන්ඩ් එකේ සංකයගෙ නංගි බෙරිහන් දෙනවා.


"උඹ ෆෝන් එක අරන් ඔතනින් එලියට වරෙන්කො.. මන් නැත්නම් තියනවා කෝල් එක"


"මොකද්ද බන් උඹ ඊයෙ කල කුජීත වැඩේ"


"ආයි කියපන් කුනුහරුප ටිකක්.. දැන් මට විතරයි ඇහෙන්නෙ"


"හම්බ උනහම කියන්ඩ ඉතුරු කරගන්නම්"


"මතකද උඹයි මමයි එදා කමියුනිකේශන් ගැන තර්ක කරද්දි උඹ කිව්වා"


"මට මතක නෑ බන්"


"උඹ තර්ක කලේ පණිඩිඩයක් අහන් ඉන්න එකා හරියට අහන් ඉන්නවා.. ඊට පස්සෙ ඌට ඕනි විදියට ඒක ඩිෆයින් කර ගන්නෙ කියලා"


"ඔව් ඔව්  ඒක තමයි ඇත්ත"



"මගේ තර්කෙ උනේ කියන පණිවීඩේ හරියට අහන්නෙම නෑ කියලනෙ"


"ඔව්"


"හරි මන් යාළුවො 25කට කතා කරලා කීවා ඊයෙ උදේම මෙන්න මෙහෙම..මචන් ලියන්නා මාලලලලල වැටිලා අතපය හොඳටම තුවාල වෙලා දන්නෙ නැද්ද කියලා"


"මාලලලල මොකද්ද බන් ඒ වචනෙ හරියට පැහැදිලි නෑනෙ සිග්නල් අඩුද කොහෙද ?"


"නෑ මන් කෝමත් කීවෙ ඒ වචනෙ පොඩ්ඩක් බ්ලර්ඩ් කරලා..කිව්ව එවුන්ගෙන් හතර දෙනයි මොකද්ද ඒ වචනෙ කියලා ආයි හරියටම ඇහුවෙ අනිත් 21 දෙනාම හරි මචන් මන් එහෙනම් කෝල් එකක් දමලා විස්තර අහන්නම් කියලා ෆෝන් එක තිබ්බා.. "


"ඉතින් මොකද්ද හුන්න්සගිරියො ඒ පැහැදිලිව කිව්වෙ නැති වචනෙ"


"ඒකෙන් කියන්නෙ මගේ තර්කෙ හරි. අපි සන්නිවේදනයෙදි පණිවිඩයක් දෙනකොට ඒක හරියටම අහන් ඉන්නෙ නෑ කියන එක"


"මොකද්ද අර වචනෙ?"


"මන් කීවෙ ලියන්නා මානසිකව වැටිලා අත පය හොඳටම තුවාල වෙලා කියලයි"


"!@@@@#$%%$^&*(*^%$#"

Thursday, July 26, 2012

ඉවරයි මීයා !


ලෝකය ගෝලාකරයි... මිනිස්සු විවිධාකරයි.. කියලා හැමෝම කියනවා. පූසා නම් කියන්නෙ ලෝකය බෝලාකරයි කියල උනත් මට ඒකෙ යම් ඇත්තක් තියෙනවා කියලා තේරුනෙ අද තමයි.. අද කියලා කිව්වත් මේ දැන් මොහොතකට කලිනුයි. 


මගේ මීයා ඉවරම උනා.. මගේ නොසැලකිල්ලෙන්ම තමයි ඒක උනේ.. ආයි කාටවත් ඒකට වරද්දක් පටවන්න ඕනි නෑ මට.. මට හරි අප්සට් මොකද ජීවිතේටවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා මේ වගේ මොහොතක.. ඒත්.. මගේ හිතට ආපු දුක කවුරු හරි එක්ක බෙදා හදා ගත්තොත් දුක අඩු වෙයි කියලා මන් හිතුවා යාළුවො කීප දෙනෙකුට මේක කියලා මොනා හරි සැනසුම් වදන් ටික අහ ගත්ත නම් මට අද රෑ නිවී හැනහිල්ලේ නිදා ගන්න තිබ්බා නේද කියලා..



ඉතින් ඕනිම වෙලාවක මුලින්ම අපි කතා කරන්නෙ අපේ හොඳම බොක්කකටනෙ..


"හෙලෝ මචන්?"


"හෙලෝ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවෙ?"


"ඈ යක්කු ගස් නගිනවද ? උඹ ඉතින් ඔය බලන් ඉන්නවද ගහ යටට වෙලා?"


"කියහන් බන් අපි මේ නිදා ගන්න හදන්නෙ "


"මචන් මගේ මීයා ඉවරයි"


"මොනවා මොනවා පොඩ්ඩක් හිටහන් මන් රූම් එකෙන් එලියට එනකන්..ඉතින් ඉතින් මොකද්ද උනේ.. උඹ අදත් අර ගුබ්බෑයමේ රිංගුවද ? අර මාතර වගේ හපලා කඩා ගත්තද ? බලහන් අපි කොයි තරම් නම් කිව්වද උඹට  ඔයවා නවත්තන්න කියලා.. කෝ ඇහුවයැ? දැන් මොකද කරන්නෙ ? හොස්පිටල් යනවද ? ඩොකාලට ඇත්තම කියනවද ? යකෝ පත්තර වල , ටීවී එකේ පවා නිව්ස් එක යයි. උඹ පට්ට විදියට ෆේමස් වෙයි"



යාළුවා කියවා ගෙන කියවා ගෙන යනවා..


"මචන් මන් තියන්නම්..ඕවා එළියට එනකොට මමත් උඹේ යාළුවෙක් විදියට ඉන්න එක මටත් හොඳ නෑ..මචන් අපි මීට පස්සෙ අපේ යාළුකම් ඉවරයි. උඹ ආයි කොහෙවත් මගේ යාළුකම ගැන කියන්න එපා"


බීප් බීප් බීප්.. සද්දෙන් කියන්නෙ යාළුවා කෝල් එක කට් කලා කියලා.. ආයිමත් ඇත්ත කතාව කියන්න කෝල් කලත් ඔයිට ඉස්සෙල්ලා දවසක මගෙන්ම අහ ගත්ත විදියට මිනිහා මගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරලා.. කෝල් ගන්න බෑ ආයිමත්.



හ්ම්ම්ම්ම්ම්...


ලොකු සුසුමක් හෙලපු මන් ඊළඟ කෝල් එක ගත්තා..


"මීයා ඉවරයි මචන්"


මගේ කටනඬ හැඬුම් බර වෙලාද මන්දා ..


"මේ උඹ මාව නම් පරීස්සනාගාර මීයෙක් කරන්න හිතුවා මදි..කවුරු රට හාවො කලත් අපි නම් අහු වෙයි ඕවට.. ඌ මැරුන නම් මගේ නම ළඟින් පට්ට හැපී කියලා ලියා ගනින්"


ඒ කෝල් එකත් කට්!



"නංගි මගේ මීයා ඉවරයි"


"අනේ අයියෙ ඇත්තද නියමයි ශෝක්.. අයියා ඕකා නිසා කොයිතරම් නම් වද වින්දද ? දවස් ගානක්ම නින්ද නෑ කියලා මාත් එක්ක රෑ කීයක් නම් පැය ගානක් ෆෝන් එකෙන් කතා කර කර හිටියද ? දැන් නම් අයියට සැපට නිදා ගත්තහැකි. නේද ? මොකද උනේ මී කතුර අහු උනාද ? නැත්නම් මී පාසනම් කෑවද ? පූසා ඇල්ලුවද ? මීයො කීයක් විතර ඉවරද ? අයියෙ අද අරයා ගෙදර ඉන්නවා.. බාත් රූම් එකේ.. අපි වෙන දවසක කතා කර කර ඉමුකො එහෙනම්.. බායි.. ප්ලීස් ටේක් කෙයාර් !"



අන්තිමේටම කියලා මාත් එක්ක එච්චරටම යාළුත් නැති තරහත් නැති මෙලෝ රහක් නැති යාළු කමක් තිබ්බ එකෙක්ට කතා කලා..


"මෙහෙමයි ලියන්නො.. දැන් මොනා කරන්නද ? ඔයා කොහොමත් පහු ගිය දවස් ටිකේම ඕක ඔනිවට වඩා අත පත ගාලා පරිහරණය කරාත් එක්ක නේද ? ඔහොම මීයො නැති වෙච්ච එකම එක්කෙනා ඔයා නෙවෙයිනෙ. පෙරලිච්ච පිට හොඳා කියලා ඕන ඔහෙ පැදන් යන්න. ඕනිම නම් සති දෙකක් යයි ඔය අළුත් සිටුවේශන් එකට හුරු වෙන්න. ඊට පස්සෙ ඔයා ඒකෙ හොඳ කියන්න පටන් ගනී"








හ්ම්ම්ම්ම්ම් පූසා හරි ලෝකය බෝලාකාරයි.. මිනිස්සු විවිධාකාරයි..
ඇත්තටම මන් මීයට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න මොහොතකට පෙර  කර කර හිටියේ මගේ බ්ලොගෙ එකේ  ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකට දමලා තිබූ කමෙන්ට් වලට පිළිතුරු ලිය ලියා..


මන් නොසැලකිල්ලෙන් මේසෙ උඩ තිබ්බ වතුර මග් එක ගන්න ගිහින් වයර් එකේ අත පැටලුනා.. පටෝල් ගාලා වැටුනෙ නැද්ද බිමටම.. ඕන් බලන්න කෑලි කැඩිච්ච හැටි..




හැබැයි තාමත් අස්සෙ තිබිච්ච ලයිට් එක නම් ශෝයි එකට පත්තු වෙනවා..


 දැන් ඉතින් ආයි අළුත් එකක් ගන්න වෙනවා..
මට මීයා වෙනුවට මේ ටච් පෑඩ් එක පාවිච්චි කරලා එච්චර පුරුදු නෑ.






ඒ නිසා.. හෙටම ඕන් අර පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර බඳිනවා..ඒ ගැන මගේ සහෘද ආදරණීය පාඨකයො බැන බැන හරි සමාව දෙයි අප්පා... මීයත් නැති අසරණයනෙ කියලා..








Wednesday, July 25, 2012

විස්මිත යථාර්ථය..


මෙය ප්‍රබන්ධයක් නොවේ, පසුගිය පැය විසි හතර තුල සිදු වූ මා විස්මයෙන් සලිත කල සත්‍ය සිදුවීමකි..


"ඩෝං"


හඬින් එක්වරම යමක් පුපුරා ගියේය. අප කරමින් සිටි සාකච්ඡාව එසැනින් බිඳී ගියේත් අප සියළු දෙනාම එක්වරම තිගැස්සී ගියේ මේ කාල සීමාව කිසියම්ම හෝ උත්සව සමයක් නොවන නිසාත් මේ වෙලාවෙ රතිඤ්ඤාවක් පිපිරීම කිස්සේත්ම කිසිවකුත් අපේක්ශා නොකල නිසාත්ය. 
අප සමඟ සුරතල් වෙමින් සහ සුරතල් කරමින් සිටි බල්ලාද අපටත් වඩා උඩ ගොස් විමතියෙන් අප සමීපයට වී වැතිර ගත්තේ ඒ ක්ශණයකිනි. 


"රතිඤ්ඤාවක් නේද ?"


"ඔව් අවුරුදු, නත්තල් වගේ රතිඤ්ඤා පත්තු කරන කාලෙට මේ ගොල්ලො සේරම මගේ කාමරේ අස්සෙන් එලියට එන්නේම නෑ" 


මා බල්ලන් දෙසට අත යොමු කරමින් කීමි. 


"ඔව් ඒ ගොල්ලන්ගේ කන් වල සංවේදීතාවය වැඩී"


අපගේ කතාබහ පොත් පත් , චිත්‍රපට හා ජීවිතය ඔස්සේ ගලා යද්දී මෙම රතිඤ්ඤාව පිපිරීම සමඟ විසිරුනු මාගේ සිතුවිලි මා රැගෙන ගියේ අතීතයේ වූ යම් සිද්ධියක් හා සමගාමීව යම් කිසි කෙටි කතාවකට අවශ්‍ය කලමනා ගොන්නක් වෙතය. ගතින් එතන වූ සාකච්ඡාව හා බද්ධ වූවත් විටින් විට මා මනස එම අතීත සිද්ධිය හා ගැටෙන්නට වූයේත් එය කෙටිකතාවකට පෙරලා ගැනීමට අවශ්‍ය සම්බන්ධක, චරිත, හා අවශ්‍ය පසුබිම වටාපිටාව මනසින් සකසා ගත්තේ එසේ කිරීම මාගේ සාමාන්‍ය රටාව වූ නිසාය. පසුව මෙය කොළයක කටු සටහනක් ලෙස කුරුටු ගා දින දෙක තුනක් එම සිද්ධිය තුල ජීවත් වීමෙන් කෙටිකතාව ගොඩ නගා ගැනීම කරනු ලැබේ.


 අපගේ සාමාන්‍ය කතා බහ දිගටම ගලා  ගියේත් බියර් කෑන් කිහිපයක් හිස් වූයේත් කාලය ගලා ගියේත් අපටම  නොදැනුවත්මය.


"ආ මචන් උඹට පොතක් ගෙනාවා"


සමු ගැනීමට මොහොතකට පෙර තම බෑගයෙන් ඇද ගත් පොත මා වෙත දිගු කලෙන් මාද ස්තූති පූර්වකව එය බාර ගත්තෙමි. සමු ගත් පසුද අප කතා බහ කල දෑ පිළිබඳ ආවර්ජනය කරමින් මා නින්දට වැටුනෙමි. ඒ අතර මා ඊළඟට ලිවීමට සිතා සිටින රතිඤ්ඤා හඬේ කතන්දරය කොළයක කුරුටු ගා තැබීමටද අමතක නොකෙලෙමි.


කාර්යාලයේ වූ විවිධ දෑ අතර ගැටෙමින් දිනය නිමා කර නිවසට පැමිණියෙමි. නිවස වට කර ඇති තාප්පය අයිනේ වූ අඹ ගසේ අතු බොහෝමයක් තාප්පය හිස මතින් පැන ගොස් අවට ලෝකයේ සිරි නරඹමින් සිටී. අඹ පල සෑදෙන කාලයට මේ අතු වල සෑදෙන සියළුම පල නෙලා ගන්නේ පාරේ යන කොලු කුරුට්ටන්ය. වාරය , අවාරය නොසලකා වසර පුරාම අඹ ගසේ අතු අතර කොහේ හෝ ගෙඩියක් දෙකක් සැඟවී සිටී. විටෙක අපටත් වඩා විමසිලිමත් වන කුරුල්ලන් ලේනන් ද විටෙක උන්ටත් වඩා සෙවිල්ලෙන් සිටින අපද මේ පල නෙලා ගැනීම කරනු ලබයි.තරමක අඳුරේ වූවද කොල්ලන් දෙදෙනකු අඹ ගසේ අතු අතරට ගල් වලින් ගසමින් සිටී. ඒ ඔවුන් දුටු අඹයක් කඩා ගැනීමට විය යුතුයි. මා දුටුවද ගනන් නොගත් නමුත් මා ගේට්ටුව වෙත යත්ම යමක් අවබෝධ වුයේ ඔවුන් හූ තබමින් දිව ගියෝය. නිවසේ දොර විවෘත කල මා විදුලි පහනේ ස්විචය දැමූවත් වෙනදා එයින් ගලා එන ආලෝකය නො එයි. 


"ආ ලයිට් කපන වෙලාවනෙ"


මටම කියාගත් මා වේලසන වෙනම තබා තිබූ ඉටිපන්දමක් ගෙන පත්තු කර එය අසල වූ ජෑම් බෝතලයක සවි කලෙමි. වෙනදා කරන කිසිම දෙයක් කල නොහැකිය..හ්ම්ම්ම්..


සුසුමක් හෙලූ මා නෙත ගැටුනේ පෙරදා මා හට කියවීමට දුන් පොතයි. 


"පිටස්තරයාගේ මරණය"


මා කිසි දිනක කියවීමට පෙර එම පොතේ ඇති ප්‍රස්තාවනාව , පටුන, නිර්දේශයන් තබා ලියන ලද්දේ කවුරුන්ද යන්න හෝ නොකියවමි. මන්ද එසේ කිය වූ විට සමහර විට එම කතාව රසවිඳීමට යම් බාධාවන් ඇති වේ. එම කතුවරයාගේ වෙනත් පොත් වල කී දෑ ආදී වේ නම් එය මනස තුලට රිංගා දැන් කියවන පොත රසවිඳීමට බාදා විය හැකි බැවින් සම්පූර්ණ පොතම කියවා අවසන අනිකුත් දෑ කියවීම මගේ සිරිතයි. නමුත් මා මිලදී ගන්නට යන පොතක් නම් මීට වඩා තත්වය වෙනස්ය. විස්තර කියවා බලා මිලදී ගෙන පසුව පොත රස විඳීම කරනු ලැබේ. 


මෙහිදී පොත පිළිබඳව සිතේ ඇති කර ගන්නාවූ පුර්ව නිගමනයන් පොත රස විඳීමට බාධාවක් වන නමුත් ඔහේ අතට අහුවෙන පොතක් විස්තර නොකියවා මිලදී ගන්නේ නම් නැත. 


මේසය මත වූ දෑ අයින් කර මෙම පොත කියවමියි සිතා  එය මේසය මත තැබූවෙමි.  වෙනදා ආලෝකයෙන් බබලන ගෙවත්ත අඳුරේ ගිලී ඇතත් මාගේ තනියට සිටිනා බල්ලන් කිහිප දෙනා ඔවුන්ගේ අයිතිකාර නිවස පිහිටි අල්ලපු වත්තේ සිට මා සිටි පෙදෙසට පැමිණෙන බව අඳුනා ගත්තේ ඔවුන්ගේ පා හඬිනි. 


"ලැසී , කුකී.. කෝ ඔයාලට වගේ රෑට මට පේන්නෙ නෑ කළුවරේ..ඉන්න ඔයාලා දෙන්නා ඔහොමම මන් ලයිට් ආවහම දෙන්නටම කන්න දෙයක් තියෙනවා දෙන්නම්.."


මා ඊට පෙරදා අසල සුපර්මාකට් එකෙන් ගෙන ආ මස් ටින් එක අමතක වීමට පෙර ඔවුන්ට දිය යුතු බවට මා මටම අණක් දී ගතිමි.


අඳුරේ වූවත් මා සමඟ වලිගය වනමින් සතුටින් ඉපිලෙන ඔවුන්ගෙන් සමුගත් මා..කුඩා විදුලි පන්දමේ ආලෝකයේ ආධාරයෙන් අනිකුත් නෑම්, කෑම් සියල්ල අවසන් කර.. මා පුටුව ඇඳ, මේසය මත වු පොත ගෙන එය ඉටි පන්දම හා මා අතර තබා ගතිමි. 






මා විස්මයෙන් ඇලලී ගියේ පොත කියවීමට පටන් ගත් විටය...


මෙය සිදු වන්නේ කෙසේදැයි මට තවමත් සිතා ගත නොහැක. මා කෙටියෙන් වූවද කියන්නට යන්නෙ මේ පොතේ මුල් පිටු දෙක මත ඇඳි වචන වලින් ආරම්භ වන සිද්ධියයි. මෙම පොත කියවා ඇති අයකු නම් මෙය ඔබගේ සිහියට නැගෙනු නොඅනුමානය. 


කතාවේ ප්‍රධාන චරිතය වික්තෝර් තම නිවෙසට පැමිණෙමින් සිටී. දෙදෙනකු ඔහු වෙතට ගල් කැට වීසි කරනු ලබයි. ඔහුගේ පෙම්වතිය ඔහු අත හැර යාම නිසා ඔහුගේ තනිය මැකීමට..ඔහු  කෑම ලබා දීමට බැරි කම නිසා සත්වෝද්‍යානයකින් කැමති අයකුට රැගෙන යාමට ඉඩදුන් ඔහුගේ පෙන්ගුවින් සුරතලා ඔහු සමඟ සිටී. ඔහු බල්බය දැල්වීමටවිදුලි ස්විචය ක්‍රියාත්මක කලද විදුලිය විසන්ධි කර ඇත. 


මේ පේලිය කියවන විට මගේ ඇඟේ රෝම කෙලින් වූයේ මන්දැයි මා නොදනිමි. 


ඔහු ඉටි පන්දමක් ගෙන පරන මයෝනිස් බෝතලයක සවි කර ඔහුගේ කාමරය ආලෝකමත් කරයි. අඳුරේ වූවද ඔහුගේ මීෂා නම් පෙන්ගුවිනයා ඔහු වෙත එන හඬ ඔහු අඳුනා ගනී.. 


ඕහ් ලැසී..හා කුකී...!


ඔහු කතුවරයෙකි. ඔහුට පද්‍ය ලිවීමට නොහැකි නමුත් ඔහු පුවත් පත් වාර්තා හා කෙටි කතා අතර වූ ඔහුගේම ශෛලයකට කෙටිම කෙටි කතා ලියයි..ඒවාට ගෙවීමක් කරන්නේ නම් ජීවත් වීමට තරම් මුදලක් උපයා ගැනීමට නොහැකි තරම් කෙටි ම කෙටි කතා වෙයි..


මේ කියන්නෙ ඔහු ගැනද නැත්නම් මා ගැනමද යන්න පිළිබඳ මා සිත විමතියෙන් විපිලිසර වන්නට වූයේ..මා තුෂ්නිම්භූත කරමිනි.


එක් වරම ඔහුට වෙඩි ශබ්දයක් ඇසෙයි.. ජනේලයේ වීදුරුවට මූණ ඔබා ගෙන බලා සිටින ඔහු ආපසු තම මේසය වෙත එන්නේ එම වෙඩි හඬ පිළිබඳ කෙටිම කෙටි කතාවක් ලිවීමට අදහස් හිතේ ගොනු කර ගනිමිනි.


"ඒ රතිඤ්ඤයක් නේද ?"


මාගේ මිතුරාගේ ප්‍රශ්ණය මාගේ දෙසවන දෝංකාර දෙයි..ඉන් පසුව මාගේ සිත තුල ගොඩ නැගුනු සිතුවිලි සමූහය ?
මෙම විස්මය මාගේ දුර්වල ස්නායූ පද්ධතියට දරා ගත නොහැකි බවක් හැඟේ. 


ඔහු එකම එක කඩදාසියක් මත තම කෙටි කතාව ලියා අවසන් කරන විටම.. විසන්ධි වී තිබූ විදුලිය නැවත පැමිණ කාමරය ආලෝකමත් කරන්නට වීය.


ඔහු තම මේසයෙන් නැගී සිටින්නේ තමාගේ සුරතලා වූ පෙන්ගුවිනයාට තම කෑම වූ මාළුන් දීමටයි. 


ඒ ක්ෂණයේදීම මා හට කෑගැස්සී හිඳි පුටුවෙන් නැගිට්ටුනේත් , අත වැදී ඉටිපන්දම මේසය මතම පෙරලී ගියේත්, මාගේ දෙ අතට මැදි වූ පොත බිමට වැටුනේත් එකම විටය. විසන්ධි වී තිබු විදුලිය පැමිණ  මාගේ කාමරය ආලෝකයෙන් බබලන්නට වීය.පොතේ අකුරු මතින් වික්තෝර්ගේ කාමරය ආලෝකයෙන් බබලන්නට වූ වැකිය කියවූ සැනින් මෙය සිදු වීම නිසා මා උඩ ගොස් බිම වැටී තිබුනි.. ඉදිරි කාමරයේ අඩවන් වූ දොර අතරින් හොම්බ ඇතුලට දමා ගෙන බලා සිටින්නේ ලැසී හා කුකීය.. ඒ මා ආහාර ලබා දෙන තෙක්ය..


මා තවමත් අදහස් ගොනු කර ගැනීමට නොහැකිව සිටිමි. මේ වනතෙක් මා කියවූයේ මේ පොතේ මුල් පිටු දෙක පමණි. පහු ගිය පැය විසි හතරේ සිදු වූ දෙය හා සමාන්තරව මෙම පොත කතාව මේ පිටු දෙක පුරා ගලා ගොස් ඇත. බල්ලන්ට දෙදෙනාගේ කෑම දී මා වෙව්ලන දෑතින් යුතුව නැවතත් පොත අතට ගතිමි. 


පිටස්තරයාගේ මරණය  මෙහි මුල් කෘතිය Death and the Penguine ලියා ඇත්තේ Andrey Kurkov   විසිනි. එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ පසන් කොඩිකාර විසිනි. ඒ පශ්චාත් රුසියානු සමය අලලායි.. මා මේ විස්තරය කියවූයේ මා විස්මයට පත් කල කාලය හා සිදුවීම් කොහි වීද යන්න තේරුම් කර ගැනීමටයි. අතීත කාලයක වෙනත් සංස්කෘතියකට අයත් වෙනත්ම පරිසරයක සිදු වූ හෝ සිදු වූවායැයි පරිකල්පිත කතාවක් මෙලෙස මාගේ නුදුරු වර්තමානයේ සිද්ධීන් සමූහයකට සමානුපාත වන්නේ කෙසේද යන්න මහත් ප්‍රහේලිකාවකි.


"ඇයි මට මේ පොත ගෙනත් දුන්නේ ?" 


යන මෝඩ ප්‍රශ්ණය ඇසීමට මෙය ගෙනත් දුන් යහළුවාගේ දුරකතන අංකය දෙස බලා..නමුත් අන්තිම මොහොතේ එම අදහස වෙනස් කර ගතිමි. 


ඒ වෙනුවට මාගේ බ්ලොගය තුල මේ සටහන තැබීමි.


ප.ලි.  - පොතේ ඉදිරිය කෙසේ වේදැයි මා නොදනිමි.. පොතේ නම පිටස්තරයාගේ මරණය යි. ඉදිරි දින කීපය තුල මා  සයිබර් අවකාශයේ නිහඬව සිටිනු ඔබ දුටුවොත් එයින් කියවෙන්නේ... 

Tuesday, July 24, 2012

සංක්‍රාන්තිය...


හෙලූ සුසුමේ අවසන් වා රොද දෙතොල් අතරින් නික්ම යත්ම ඊළඟ නිහඬ , නිසංසල නිමේශය තුල මාගේ ආත්මය විශ්වයේම වූ සිතුවිලි හා සංසක්තව යමක්... නිර්වචනය කල නොහැකි යමක් සොයා ඇදෙන්නට විය. ...
නැවතත් ඉතා සියුම් වා රොදක් නාසයේ අග ගැටෙන්නට වූයේ  කිසිම ආයාසයකින් තොරව එය නාස් පුඩු දිගේ ශ්වාසනාලයටත් එයින් පෙනහළු ගර්භයටත් සෙමින් සෙමින් ඇතුළු වූයේ ..සිතින් මඬින්නට සූදානම් වූ සිරුර තුල ගොනුවන්නට තැතනූ අපහසුතාවය යලිත් සමනය කරමිනි. 
අඩ සිය වසකටත් වැඩියෙන් සෑම තත්පරයේම අනායාසයකින් කලේ මෙයම නොවේද ? 




සෙමින් සෙමින් වාතය බිඳින් බිඳ නාස් තුඩු සිප ගනිමින් ශ්වාස නාලය ඔස්සේ පෙනහළු තුලට රිංගීම කෙරෙහි පිහිටුවා ගත් සිත වීදුරු බඳුනක් කොන්ක්‍රීට් පොළවක් මතුපිටට වැටී සිය ගණනක් වූ කෑලි වලට බිඳී යන්නාක් මෙන් කුඩු වී දසත විසිරී ගියේ..


"ඔව් ගෙදර තියෙන බඩු මුට්ටු, පිඟන්, වීදුරු පොළවේ ගැහුවහම මේ ප්‍රශ්ණ විසඳෙනවනම් මාත් එන්නම් ඉතුරු ටික පොළවේ ගහලා පොඩි කරන්න "



"පිඟන් නෙවෙයි බිඳින්න ඕනි මෙතන" 

"මොකද්ද හැබෑටම ඔහෙට වෙලා තියෙන්නෙ මෙතන?"


"ඇයි බබෙක් වගේ කතා කරන්නෙ ? ඔහේ කරන දේවල් නිසානෙ 
මටයි දුවටයි මෙහෙම පාරෙවත් බැහැලා යන්න බැරි වෙලා තියෙන්නෙ..දීග තල දෙන්න දුවෙක් ඉන්න තාත්තෙක් කරන වැඩද ඕවා ? "

"මන් කරන වැඩ නෙවෙයි ඔහේගෙ මනස්ගාතනෙ..මොකටද මගේ  ඔෆිස් එකේ ගෑනුන්ට කියන්න ගියේ මන් ඔහේට සලකන්නෙ නෑ කියලා"


"සලකන්නෙ නැති නිසා තමයි"


"සලකන්නෙ නෑ කියන්නෙ මොකද්ද කියලා මන් දන්නවා..ඔහේ වයසට යනකොට ඕනි  ඒවා විතරක් ගැන හෝප්ස් තියා ගන්නවකො"


"හෝප්ස් .. මන් කියන්නෙ නෑ වයසටද තමුසෙ අර ඔෆිස් එකේ දුවගෙ වයසෙ කෙල්ලො එක්ක නාඩගම් නටන්නෙ? "


මෙවන් අමිහිරි සාකච්ඡා වලින් ගහන උදෑසනවල්, කීයක් නම් ගෙවෙන්නට ඇත්ද ? හොඩගැහෙන මානසික පීඩනය හමුවේ වෙනදා නොතිබූ කායික වේදනාවන් හා රෝග ඉස්මතු වීම පුදුමයට කාරනයක් නොවේ.ජීවන ගමන් මගේ විසි දෙවන වියේ විවා පත් වී වසර 30ක් යනවිටත් විවාපත්වූ මුල්කාලයේ මෙන් යමෙක් යමක් බලාපොරොත්තුවීම කොතරම් අසාධාරනදැයි සිතුනත් එය බිරිඳට නොවැටහෙන්නේ මන්ද යන්න කෙතරම් කාලයක් එකට විසූවත් වටහා ගත නොහැක. 


"ඒ කාලෙ සතියකට හතර පස් සැරයක්වත් වත් අපි සතුටින් හිටියා .. දැන් වෙන ගෑණු ඔයාගෙ ජීවිතේට ලං වෙලා ඒකයි මෙහෙම"


මා තවදුරටත් ආයාසයකින් තොරවම මා අවට ඇති වාතය සෙමින් සෙමින් නාස් පුඩු ඔස්සේ පෙනහළු තුලට එකතු වන ආකාරය කෙරෙහි නැවතත් සිත යොමු කරන්නට වූයේ..සෙමින් දෑව විවර වත්ම දෑසට යොමු වුයේ නාසය අග වූ කළු පැහැ ගැන්වූ කැළලයි..නැවතත් සෙමින් දෑස දැනෙන නොදැනෙනේ ගානට පියා ගතිමි.


"උඹේ වැරැද්දෙන් නෙ හම්බ වෙන්ඩ හිටි ළමයත් 
බඩේදිම  නැති උනේ..මන් එපා කියද්දි ගිහින් කොර ගත්තෙ.."

නොපරදින විවාදයක ඉසුඹුවකදී කෝපාවිශ්ඨ වූ මාගේ සිත ඇද ගත්තේ අළුයට වූ ගිණි පුපුරක් මෙන් සැඟවී තිබූ ඒ කාලයේදී කිසිදිනක මතු කොට සිත  නොරිදවම්හයි මටම සපථ කොට තිබූ කාරණයකි. මදක් විපිලිසර වූ ඈ කොටි දෙනක් මෙන් අත වූ රූපලාවන්‍ය සකසනයක් මා වෙත දමා ගැසූවේ මාගේ නහය මත මේ කැළල ඉතිරි කර තබමිනි. මේ සිද්ධියත් හාම මෙතෙක් කල් යල් බලමින් සිටි අවසන් තීරණයට මා එළඹුනෙමි.


 "මිස්ටර්  අනිත් මිනිස්සු මේ කොළඹට එන්න පොර කනවා ඔයා දැන් කොළඹ ඉඳන් අනුරාධපුරේට යන්න දඟලනවා..මන් දන්නවා මේ ගෙදර ප්‍රශ්නෙ නිසා නේද ?"


"මිස්ටර් රත්නායක ඔය ට්‍රාන්ස්ෆර් එක හදලා දෙන්න.. දැන් එම්ඩීත් ඕකේ කරලනෙ තියෙන්නෙ"


" නෑ ඉතින් මන් කීවෙ ආයි මාස 2-3කින් දඟලන්න එපා කොළඹට එන්න එහෙම.. ඔය මෙහෙ ඉන්න තමන්ගෙ හිත ගත්ත අයව බලන්න කරන්න.. ඒකයි මන් කීවෙ"


"මිස්ටර් රත්නායක මේ මගේ පුදගලික දේවල් මන් බලා ගන්නම්.. ඔය ගොල්ලො අළුතින් මෙතනට ආව නිසා දන්නෙ නෑ. මන් අවුරුදු 20ක්ම කැන්ඩි හිටියෙ.. මෙහෙට ආවෙ ඉල්ලලා නෙවෙයි. බලන්ඩ මගේ පර්සනල් ෆයිල් දන්නෙ නැත්නම්. මන් මෙතන අවුරුදු 12ක් වැඩ කලෙත් මේ වෙනකම් කිසිම ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලලත් නෑ.. කම්පැනි එකෙන් යන්ඩ කියලත් නෑ. HR මැනේජර් විදියට ඔය දේ කරන්න බැරි නම් කියන්න මන් එම්ඩී ට කතා කරන්නම්"


දින කීපයකින් අනුමත වූ සේවා මාරුව ගැන කිසිවක්ම නිවස තුල සාකච්ඡා නොවූ අතර.. මමද එය ඕනෑකමින්ම මඟ හැරියෙමි. 


"සර් මන් නිසාද දැන් ඔෆිස් එකෙන් ට්‍රාන්ස්ෆර් ඒක් අර ගත්තෙ?"


නිමලා ඇඬුම්බර හඬින් මා අමතයි.


"සර් කවුරු මොනා කීවත් මට සර් තාත්තා කෙනෙක් වගෙයි"


"ළමයො කවුරු මොනා කීවත් හිතුවත් මටත් නිමලාව මගේම දුවෙක් වගෙයි. ඒක අපි දෙන්නවම දන්නවනෙ. ඒ නිසා දුක් වෙන්න එපා මන් යන එක ගැන..මන් දිගටම මල්ලිට ඉගෙන ගන්න ඕනි කරන සල්ලි එවන්නම්"


"හිතන්න එපා මන් දන්නෙ නෑ කියලා අර නිමලාද පත්තුවෙලාද කියන වේසි එක්ක නටන නැටුම්..තමුසෙගෙ දුවගෙ වයසෙ ඕයි ඒ ළමයා..තමුසෙ කොහොම කරනවද මන්දා ඔය ජරා වැඩේ. නිකන්වත් දුවව මතක් වෙන්නෙ නැද්ද වේසි එක්ක බුදියන වෙලාවට ?"


"ඕක උස්සපන් බන් උඹට ඔච්චර කැමති එකේ . ගෙස්ට් හවුස් එකකට නැත්නම් අපේ ගෙදර එක්කන් වරෙන් "


"තාත්තාට නම් ලැජ්ජාවක් කියලා ඒකක් නෑ අම්මා කීවා සේරම විස්තරේ.."


අපේම දරුවකු නොවූමුත් නීතියෙන් අපිටම සින්න වූ දියණිය මහත් පිළිකුලින් බලන්නට වීය.


නිමලා දුප්පත් පවුලක වූවත් ප්‍රියමනාප තරුණියක් වූයේ සැබවින්ම දැනට සිටින දියණියට වඩා මෙවන් දියණියක් වී නම් මා කෙතරම් වාසනාවන්තදැයි මා දහස් වර සිතුවේ පැතුවේ නැද්ද ? තම මලනුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ම ඈ තම රැකියාව කලේ පැමිණි විවා යෝජනා කීපයකම ඉවත දමමිනි..


"මල්ලි කැම්පස් යවලා එලියට එනකම් මන් මේක කරනවා සර්.. ඒක තමයි අම්මගෙ තාත්තගෙ හීනෙ"


"නිමලා බඳින්නෙ නැත්තෙ මිස්ටර් ලියන්නගෙන් හම්බ වෙන සැප නිසානෙ"


පාටියකදි තව මොහොතකින් මගේ සගයාගේ මුහුණ කට සමතලා වන්නට ඉඩ තිබූයේ ඊළඟ ක්ශනයේදී අනිත් සගයන් මැදිහත් වූ නිසාය.මෙම සැකයේ පිළිලය කාර්යාලයේ සිට නිවෙස වෙතද පියමන් කලේ වාර ගනනින් අඩුවූ අඹුසැමි සබඳතාවයේ අඩුව පිරවන්නට ඈට මහත් ඉවහල් වූ කාරණයක් කරමිනි. 
සියළුම ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා  ලිංගික සම්බන්ධතාවයන් තුලින්ම දැකීමට ප්‍රිය කල බහුතරයක් සිටි ලෝකයක මටත් නිමලාටත් කිසිවකුට වචනයෙන් විශ්තර කල නොහැකි වූ අපූර්ව පිතෘ-දුහිතෘ සම්බන්ධතාවයක් තිබුනි.තම පියාගෙන් නොලබන ඌණ ආදරණීය ගෞරවයත් මාගේ දුවණියගෙන් ලැබෙන ඌණ ආදරයත් අප දෙදෙනා හුවමාරු කර ගැනීම අසාධාරනයක්ද කියා විමසීමට කිසිවකුත් නොසිටීය.. එය ලෝකයාට පැවසීම නිමා කර දැමූයේ එය අසා කට කොනකට සිනහවක් ගොඩ නගා ගන්නා ලෝකයා නිසම නොවේද ?

"දුව මන් හෙට.."

කාට නොකීවත් පසු දින මේ සියල්ල හැරදා අනුරාධපුරයට යන බව කියන්නට මා දුවගේ කාමරයට ගියේ මුත් ඈ සිටියේ තම අයිෆෝනය කනේ රුවා ගෙනය..මා කී කිසිවක් ඈට නොඇසෙන්නට ඇත. 


"තාත්තා මගේ බිල් ගෙවන්න එපා දැන් මන් හම්බ කරනවනෙ. ඒවයින් මන් ඒවා කර ගන්නම්. " 


ගැරඬියකු දුටු කලක මෙන් මා අතවූ ඈගේ සියළුම දුරකතන බිල්පත් උදුරා ගත් සති කිහිපයකට පෙර වූ ඒ අවසන් සාකච්ඡාව මා  මනසේ ඇදෙන්නට වීය.
තරමක වේදනාවකින් වූවද මා කාමරයෙන් පිටතට පැමිණියෙමි..දෑස් කෙවෙණි තුලට කඳුලක් නොපිරුනා යැයි කියා ලෝකයා නොමඟ යැවීමට මට නොහැකි වන්නේ මගේ ලෙයින් නොහැදුනත් බිළිඳියක්ව සිටි ඈ නිසා මගේ ලෝකය කොතරම් නම් පිරී තිබිනිදැයි කිසිදා අමතක කල නොහැකි බැවිනි.. 

"කොහෙද යන්නෙ?"


පසු දින මා අපගේ වාහනයේ යතුර මේසය මත දමා ගෙන්වා ගත් කුලී රිය වෙත මාගේ පොත් පත් සහ ඇඳුම් බෑගයන් අඩුක් කරන විට බිරිඳ නොරිස්සුමෙන් ඇසුවාය. මා මේ සියල්ල බෑග් වලට අහුරන කලද කිසිවක් නොවිමසූ ඈ.. මා නිහඬවම සිටියෙමි. 


"ඔව් 
පලයන්, දැන් ඉතින් අරකිගෙ තුරුලටම යන්ඩ බැරියැ..මෙහෙමත් කුපාඩි වලත්ත නාකි ඉන්නවනෙ.. මුන් නම් පිරිමි සංහතියටම ලැජ්ජාවක්" 

කුලී රථ රියදුරාද විමසිල්ලෙන් මා දෙස බලන්නෙ.මා මෙම නිවසට සම්බන්ධවිය හැකි අවසාන පුරුක වූ ම අතවූ ජංගම දුරකතනයද සැටිය මත තැබූවෙමි. ඊට පෙර දිනයක එම සම්බන්ධතාවය මා විසන්ධි කලෙමි.


සෙමින් සෙමින් පිරුණු පෙනහළු වල වාතයේ ඔක්සිජන් සියල්ලම පෙරී රුධිරය හා එක වෙද්දී ශරීරය පුරා තිබූ රුධිරයේ අඩංගු ශරීරයෙන් ඉවත් විය යුතු කාබන් ඩයොක්සයිඩ් වාතය සෙමින් සෙමින් නැවතත් පෙනහළු තුලට කාන්දු වෙමින් තිබුනි..


වැහැරී යන සිරුරක ක්ශය වී යන ආශාවන් පිළිබඳ සිත තුල වන මනස්තාපී හැඟීම් සමුදාය සන්තර්පණය කිරීමට ආරම්මනයක් සොයමින් සිටින කලෙක දෑස ගැටෙන ගැටෙන මානයේ වූ බෞද්ධාගමික සංකේතයන්ගෙන් පිරි මේ මහා පින් බිම තුල සැරිසරන්නෙකු වූ මා හට මෙම භාවනා අරන ගෙන දුන්නේ ආත්මීය සැනසුමකි. කිසියම් කාලයක කිසියම් හුරු පුරුදු බවක් ගෙනදුන් නිහඬ , නිසංසල වන අරන..කිසිම මනුස්සයකුගේ කටහඬක් දෙසවන නොගැටෙන සන්සුන් හුදකලාව.. බැලූ බැලූ අත දෑස් නිවා සනහන සිහින් සුලන් රැල් සමඟ පොර බදන තුරු ලතා සමූහය..අතීතා කාමයෙන් සිත දවන සැම විටකම මා මනස් දහනේ විකසිත වූයේ ගිණිගත් සිරුර මත හලන ලද සිසිල් සඳුන් දියරයක් මෙනි..


"හැම තැනම දුවන හිත අල්ලලා බැඳලා හික්මවා ගන්නවට වඩා ලේසියි..මද කිපිච්ච වනය පුරා වියරුවෙන් දුව ඇවිදින වල් අලියෙක් අල්ලලා බැඳලා හීලෑ කර ගන්න එක"


භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වූ මුල් සතියේම යතිවරයානන් කීවේ කුමක්ද යන්න පිළිබඳ යම් හැඟීමක් හිතට දැනෙන්නේ දැන්ය..පහුගිය මාසයේ මා කොළඹ ගොස් බෞද්ධ මන්දිරයෙන් මිලදී ගත් පොත් ගොන්නෙන් පොත් කීපයක්ම වැරදීමෙන් මෙන් නිවසේ දමා ආයෙමි.. ඊයේ සවස නැවත මෙහි එන්නට වූ මොහොතේ මා එම පොත් කීපයම බෑගය තුල අසුරා ගැනීමට යද්දී..


"ඔය පොත් දෙක තුන තියලා යන්ඩ මන් කියවන්ඩ ගත්තා විතරයි"


නිවසේ වූ විය හියදම් පිළිබඳව පමණක් සුළු කතා බහක් හැර වෙන කිසිවක් නොබිනූ..මාද කිසිම වදනක් නොදෙඩූ ඇය තම හඬ අවදි කලාය.


"මෙතන තව පොත් 2ක් තිබ්බා වගේ මතකයි.. කෝ ඒ ටික?"


"දූ කියවන්නෙ අර..කාමරේ තිබ්බා ගෙනත් දෙන්නද ?"


"එපා ලබන මාසෙ ආවහම ගෙනියන්නම්."

ශරීරය තුලම තිබූ සියළුම කාබන් ඩයොක්සයිඩ්  පිරි පෙනහැල්ල තුල වූ වාතය ශ්වාසනාලය දිගේ සෙමින් සෙමින්  
ඇදෙන්නට වූයේත් මා නොදැනුවත්වම දෙතොල් මදක් විවර වී උඩ තල්ලේ හැපෙමින් දිව අගින් දෙතොල් අතරින් සෙමින් සෙමින් වා තලය හා මුසු වන්නට විය...

මා සෙමින් දෑස් හැර බලන්නට වූයේ..අඩවන් වූ දෙනෙතට ලක් වූයේ මා හිඳසිටි ගල් පඩිය ඉදිරියේ වූ බෝ පැලයේ රත් පැහැ දළු මදනල හා රඟන අපූරුවයි.

මේ සුන්දර ලෝකය මීට පෙර කොහි වීද ?



Sunday, July 22, 2012

අවංකයා.... ?!


මෙම ලිපිය මගේ පෙර ලිපිය "අවංකයා හැමදා දුකේ" ලිපිය කියවූ සහ කමෙන්ට් දැමූ සියල්ලම වෙනුවෙක් පුදමි...




http://www.zerohedge.com/news/guest-post-supreme-court-and-natural-law


ප්‍රබන්ධයක් නොවේය කියලා පටන් ගත්ත මගේ ඉස්සෙල්ලා පෝස්ට් එක.. හ්ම්ම්ම්ම් සමහර සොයුරු සොයුරියො කොහොම කීවත් පිළි අරන් තිබ්බෙ නෑ ඒක ඇත්තම කතාවක්ය කියලා.  ඒක ඇත්තම කතාව සිද්ධ උනු. මොනා හරි බොරුවක් කීව නම් ඒ ගැන තව තව අහන කොට තව තව බොරු ගොතලා කියන්න තිබුන. ඒත් හත්දෙයියනේ ඇත්ත කීවහම එතනින් එහාට තව මොනා කියන්නද ? ස්තූතියි එතන අදහස් දක්වපු ඔබ සැමටම. ඒ සිද්ධිය ගැන ඔබ ඒ කිවූ විදියටම කියන්න ඔබට සම්පූර්ණ අයිතියක් තියෙනවා.. 


හරි දේ නොකලත් බහුතරයක් වගේම මමත් කියන්නෙ ඒ මුදල මම හම්බ කර නොගත් දෙයක් නිසා මට ආපහු දෙන්න තිබුනා. කෙටි කාලසීමවක් තුල දෙතුන් සැරයක් ඇහ ගැටිච්ච සහ වචන දෙක තුනක් සවනෙ වැට්ච්ච පමණින් මට ඒ කොන්දොස්තර මල්ලි අහින්සකද නැත්නම් නැද්ද කියලා නම් තීරණයකට එන්න බැරි උනා. සාමාන්‍ය කෙනෙක්..කාටවත් අකාරුණිකව කතා කරනවා ඇහුනෙ නම් නෑ..


ඔබ 141 බස් එකක යනව නම් එක කොන්දෙක් ඉන්නවා.. ඔහුට කොන්දා කිවට කමක් නෑ.. 


"සල්ලි ගන්ඩ" 


"ටිකට් ගන්ඩ"


 "දැන් බහින්ඩ"


වගේ ඒවා කිසිම කාරුණික කමක් නැතුව අණ දෙන එකෙක්. මූණෙ ලේ පොදක් නෑ.. හිනා කඳුලක් නෑ.. 
ඊට සාපේක්ශව නම් මේ මල්ලි හොඳයි...
මට තාමත් හිතා ගන්න බෑ මන් ඇයි ඒ සල්ලි ආපහු නොදුන්නෙ කියලනම්..කරපු වැඩේ වැරදී තමයි ඒක සාධාරණීකරනය කරලා සුදු හුනු ගාන්න මන්ම ලේස්ති නෑ.. සමහර විට මන් දවස් 4ම මහන්සි වෙලා ඉඳලා තෙහෙට්ටුවට මගේ නියම සිතුවිලි වැඩ කරන්න නෑ ඒ වෙලාවෙ.. ඕන්නම් මේ සිද්ධිය පස්සෙන් පහු මගේ හිතට වද දෙනවනම් මන් ළඟ ඒ බස් ටිකට් එක තාමත් ඇති පර්ස් එකේ..හොයලා දෙන්න බැරියැ..මිනිහා ඒක ශේප් කරගන්න ඇති.. 


මේ වගේ දේවල් වලට මන් මූණපානවා හරි අඩුයි..


ඒ නිසාම අමනුස්සයෙක් වේගෙන එනවද මන්දා ? 


සුදුම සුදු රෙද්දක පොඩියට හරි මඩ තිතක් වැදුනොත් ඒක මාර විදියට හයිලයිට් වෙනවා.. ඒ උනාට තරමක් කිළුටු රෙද්දක මඩ ටිකක් ගෑවුනාට එච්චර පේන්නෙ නෑ...නිතර දෙවේලෙ නොඋනත් ඉඳහිට පස් පව් කැඩෙන අළු චරිතයක් වෙච්ච මන් ගැන පට්ට හොඳයි..පට්ට සාධාරනයි කියලනම් ජජ්මන්ට් තියන් ඉන්න එපා කවුරුවත්..ඒකට මන් බයයි..


ගිය අවුරුද්දෙ වෙසක් දවස් ටිකේ ඒ කාලෙ මගේ මේ තඩි කැමරාව නොතිබ්බ නිසාදෝ කොහෙද මීට වඩා නිදහසේ වෙසක් බලා කියා ගෙන ආවා.. දැන් වෙන්නෙ මේකෙන් ෆොටෝ ගන්න කොට කීදෙනෙක් නම් අහනවද 


"කොයි පත්තරෙන්ද මහත්තයා ? කවදා විතර පත්තරේ ෆොටෝ ටික යයිද ?"


මට පට්ට අපහසුවක් දැනෙන්නෙ.. ඒ අයටත් වඩා ගම් බයියෙක් වෙච්ච මට ඒ ගොල්ලො මහත්තයා කියන කොට සහ ඒ මිනිස්සුන්ගෙ  මූනෙ පත්තුවෙන අහිංසක ආසාව දැක්කහම..


කොහෙද දැන් කියන්න ආපු කතාව ? 


කොටුවෙන් රෑ දහයට දහයමාරට විතර මන් නාරාහේන්පිටට එන්න බස් එකට නැග්ගා. ඒ අර වෙසක් දින රෑ මහ හුළඟක් ඇවිත් කොළඹ තොරන් කීපයක්ම බිමට වැටිච්ච දවසට ඉස්සෙල්ලා දවසෙ.. බස් එකේ මැද හරියෙ සීට් එකේ ඉඳගන්නකොටම මොකක් හරි පුකේ ඇනුනා.. මන් ආයි පස්ස උස්සලා බැලින්නම් මේන් කළුපාට පර්ස් එකක්..පිම්බිලා තිබ්බ නිසා මන් පොඩ්ඩක් ඇරලා බැලුවා..


 අප්පා රුපියල් දාහෙ කොල කීපයක්ම තිබුනා.. මේක බස් එකේ කොන්දොස්තර සහ ඩ්‍රයිවර්ට දුන්න නම් ආපහු නොලැබේවි කියලා හිතපු මන් හොඳ අවධානෙන් හිටියෙ කවුරු හරි ඇවිත් හොයයිද කියලා..ම්හ්හ්හ් ඔහෙ නෑ. මන් නාරාහේන්පිට ඉඳන් පයින්ම ගෙදර ආවා.පර්ස් එකේ රුපියල් අට දාස් ගානක් තිබ්බා. ඉතින් මෙතෙන්දි මන් අහන්නෙ නෑ මොකක් කලා හියලද හිතන්නෙ කියල නම්..  ඒකේ තිබ්බ ටෙලිෆෝන් නම්බර්ස් කීපයෙන් එකකට කතා කරනකොට අයිතිකාරයා හොයා ගන්න පුළුවන් උනා. ගෑණු ලමෙක්ගෙ පර්ස් එකක්. පහුවෙන්දා බොරැල්ල නෝලිමිට් එක ළඟට එන්න කියලා මන් ගියා හම්බ වෙන්න. ගෑනු ළමයි දෙන්නෙක් ඇවිත් හිටියෙ.. මන් පර්ස් එක හරියටම එයාලගෙද කියලා සැක හැර දැන ගෙන ඒ දෙන්නට දුන්නා. මාව දැක්ක වෙලාවෙ ඉඳලම දෙන්නා නිකම් බය වෙලා වගේ හිටියෙ .. පර්ස් එක දුන්නට පස්සෙ අඩුම තරමෙ "තෑන්ක්ස්" කියලා වචනයක්වත් නොකියා දෙන්නම මන් දිහා බලන් ඉන්නවා. 


"පර්ස් එකේ තිබ්බ සේරම ටික හරියටම තියෙනවා නේද "


මන් ඇහුවා නිස්සද්දතාවය බිඳින්න... ඔව් කියලා කනට ඇහෙන නෑහෙන ගානට කීවේට පස්සෙ මන් හැරිලා ආපහු ආවා.සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයක් කරන්නෙ මොනාවත් ආපහු බලාපොරොත්තුවෙන් නොඋනට.. මන් හිතුවා අඩුම තරමින් " ස්තූතියි අයියෙ" කියලවත් කියයි කියලා.. ඒ රුපියල් අට දාහ අරන් පර්ස් එක විසි කරලා දමන්න මට ඕනි තරම් චාන්ස් එක තියෙද්දිත් මන් ඒක ආපහු දෙන්න කට්ටක් කෑවෙ කැම්පස් ඉවර වෙච්ච ගමන්ම රුපියල් 6000\= පඩියකට පලමු වෙනි ජොබ් එක කරන කාලෙ මන් කාපු කට්ට මතක් වෙලා. ඒ කාලෙ හැම රුපියලම කොයි තරම් නම් වටිනවද ?.. ණය වෙලා ගත්ත රුපියල් 10,000 සෝනි එරික්සන් ටී 100 ෆෝන් එක බස් එකේදි නැති උනහම මන් කොයිතරම් නම් අප්සෙට් එකේ හිටියද ? ඒක ගත්ත එකා පොහොසත් උනෙත් නෑ.. මන් හිඟමනට වැටුනෙත් නෑ තමයි. ..


ඒ රුපියල් 300න් මන් කොත්තු කාලා ඩීවීඩී ගත්ත බව හැබෑව. ඒත් අදටත් මගෙ පර්ස් එකේ ඒ වැඩිපුර ආපු සල්ලි තියෙනවා..ඒ කොලම නෙවෙයි උනත්.. මන් ළඟ තියෙන බස් ටිකට් එකෙන් ඒ බස් එක හොයා ගන්න පුළුවන්. ආයි රත්නපුර ගිය දවසක මට මතකයි ඒ කොන්දොස්තර මල්ලි.. දෙන්නෙ නෑ කියලා හිතන් හිටපු ඒක මන් ආපහු දෙනවා කියලා හිතා ගත්තා.. උඹලා බැනපු ඒව නම් ඉවසන් ඉන්න තිබ්බා.. ඒත් මගේ අවංකව කම ගැන කියලා පසසලා තිබ්බ කමෙන්ට් දකිද්දි මොකාටද ඉවසන් ඉන්න පුළුවන් ඔහොම..


ඒත් මන් පට්ට සුදු චරිතයක් නම් නෙවෙයි.


....මිය දෙන්න දෙන්න උණුසුමේ ඔබේ..
මා හදවතින්ම උමතුවී තියේ..


කියලා කවීශ කවිරාජ්ගෙ සින්දුව අහන් හිටපු එෆ් එම් මීටරෙ යනකොට තව පොඩ්ඩෙන් මාවත් උමතු වී ගෙනයනවා.. හොඳ වෙලාවට වැරදිලා රිමෝට් කන්ට්‍රෝල් එකේ අත වැදිලා ඊළඟ චැනල් එකට මාරු උනා. 


නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරම ලස්සන ..


කියලා නන්දා මාලනී ගයද්දි මන් ආයිමත් මේ ලෝකෙට ආවා..
ලොකු සුසුමක් එක්ක සේරම අමතක කරලා මේ සින්දු දෙක ගැන හිතන්න ගත්තා..

Saturday, July 21, 2012

අවංකයා හැමදාම දුකේ...


ප්‍රබන්ධයක් නොවේ..


පහු ගිය දවස් වල මන් ගෙදරනෙ හිටියෙ.. බණ දානෙ නිසා..සේරම ඉවර වෙලා නිදිත් මරාගෙන බොහොම මහන්සියෙන් මන් ආපහු කොළඹ එන්න පිටත් උනා. රත්නපුරෙන් බස් එකට නැග්ගා. මන් බහින තැනට ගාන රුපියල් 120\=යි. රුපියල් 100 කොළයයි 50 කොළයයි දීලා ඉතිරු බලා පොරොත්තුවෙන් ඔළුව උස්සලා බැලුවට කොන්දොස්තර මල්ලි ටිකට් එකේ අනිත් පැත්තෙ මොනාද කුරුටු ගාලා දුන්නා.. ඉතුරු රුපියල් 30 ටිකට් එක පිටිපස්සෙ ලියලා ඒක උඩින් මිනිහගෙ කුරුටු බලි වගේ අත්සනක් දමලා දුන්නා..ඒක හරියට ඔන්න ඔය වගෙයි.




 අර ගාන කීයද කියලා පේන්නෙත් නෑ..මන් හිතන්නෙ සුවර් එකටම ඉතුරු දෙන්න නැති කෙනෙක්වත් තමන්ගෙ ටිකට් එකේ පිටිපස්සෙ ඉතුරු කීයක් හරි ලියලා දීලා මිනිහා කවදාහරි කෙලවගන්න ඇති. ඊට පස්සෙ ඉඳන් මිනිහා හිතන්න ඇති ඉතුරු ගාන ලියලා ඒක උඩින් තමන්ගෙ අත්සම ගැහුවහම ඒක ආයි ගොඩනෙ. මාර මොලේ සහ අරහෙම ගාන කපා ගන්න මිනිස්සුත් ඉන්නවනෙ කියලා. බස් එකේ බුදුහාමුදුරුවන්ගෙ සහ තව නානාප්‍රකාර දෙවි දේවතාවුන්ගෙ ෆොටෝ අතරේ ගහලා තියෙනවා ...


අවංකයා හැමදා දුකේ.. කියලා බෝඩ් එකකුත්. 


හැබෑ නේන්නම් ඒ කතාව සම්පූර්ණ ඇත්ත..


දැන් මගේ මතකයෙ  හැටියට කොට්ටාව හරියට ඇවිත් ...


"ආ ඉතුරු ගන්න අය ඉල්ලා ගන්ඩ " 


කියාගෙන කොන්දොස්තර මල්ලි බස් එක මැදින් යනවා..මමත් ටිකට් එක දුන්නා.. මිනිහා ටිකට් එකේ පිට පැත්ත බැලුවා..මට ඉතුරු දෙනවා දැන්.. මිනිහගේ ඔළුවට උඩින් මට පේන්නෙ අර "අවංකයා හැමදා දුකේ" බෝඩ් එක.. මට ඉතුරු හම්බ උනා රුපියල් 330\= ක්. ඒ කියන්නෙ වැඩිපුර රුපියල් තුන්සීයක්..කොන්දා මල්ලිගෙ පාඩුව රුපියල් 420/=යි..


මම දහම් පාසල් ගිය සහ ඊට පස්සෙ දහම් පාසලේ උගන්වන්නත් ගිය කෙනෙක්. නරකයි කියලා සම්මත වැඩ කරලා සමාජයේ නෝන්ඩි නොවිච්ච සුදු චරිතයක්..නෑ අළු කියමුකො..පොඩියක් මම්ම එබිලා බැලුවා මගේම කිල්ලෝටෙ ඇතුලට.. ( බෑ බෑ කළුමයි කියල නම් කියන්නෙ නෑ ) හැබැයි පස්සෙ පසුතැවිල්ලට හේතු වෙන දෙයක් නම් කල්පන කරලා බලලා කරන්නෙම නෑ.. මොකද මේ දැන් ගත කරන ජීවිතේ එක්ක පසු තැවී තැවී ඉන්න වෙලාවක් ඇත්තේම නැති තරම් නිසා.. 


මේ වෙලාවෙ මන් මොකක් කරන්න ඇති කියලද හිතන්නෙ පිංවතුනි ? 


අවංකයා හැමදාම දුකේ !..







මන් දුන්නෙ නෑ වැඩිපුර ආපු සල්ලි .. ඒකෙන් ගත්තා බිත්තර කොත්තුවක් රෑට කන්ඩ.. අල්ලපු කඩෙන් ගත්තා ඩීවීඩී දෙකක් බලන්න.. 


"තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ නොකර අනුන්ගේ ඒවා කෑවහම පත්තියම් වෙන්නෙ නෑ"  


කියලා අපේ මාමා කියලා තිබ්බට කිසි අවුලක් උනේ නෑ පහු පාන්දර අර ටොයිලට් එකට ගියේ අපූරුවට..! 


කොන්දා මල්ලිගෙ නොසැලකිල්ලට මන් මක් කරන්නද ?

Thursday, July 19, 2012

ගහ මරා ගමු මෙහෙම..






මේ ෆොටො එක ගත්තෙ නම්,
http://www.toonpool.com


මුන්ගෙ අම්මලට !@#$$$$ #%%&%$%#@ !@!##  
කියලා පටන් ගන්න කුණු හබ්බ වැලත් එක්කම අසල්වැසි ගෙදරක පටන් ගන්න රණ්ඩුව පුන්චි කාලෙ ඉඳලම අපිට හැමදාම හවසට අහන්ඩ දකින්න වෙච්ච සුපුරුදු දසුනක් උනා. ගෙදර වැඩිහිටියො නැත්නම් හෙරෙන් හොරෙන් අහල පහල වැට ළඟට ගිහින් ඔය කියන කතා අහන්නත් සරම කරට අරන් කූට්ටම එළියෙ දමාගෙන පාර දිගේ බැන බැන යන ඩේවිඩ් මාම දිහා බලා ඉන්නත් පිඩි උන් විදියට අපි ආසයි..ඊට පස්සෙ ඕක ගැන යාළුවො එක්ක කතා කර කර ඉන්න එක සහ ඒ කිව්ව ඒවයේ අමුතු තේරුම් අපි අපේ හැටියට විග්‍රහ කරලා හිනා වෙනවා කියන්නෙ ඒ කාලෙ කරපු දෙයක්. ඔය කාලෙ මට මතක විදියට හතරෙ පහේ පන්ති වල අපි හිටියෙ. අපේ ගෙදර උනත් මොනා හරි රණ්ඩුවක් උනොත් අහල පහල ඉන්න අය පවා ඔය වැට අස්සෙන් එබිලා බලන් ඉන්නවාත් මතකයි...


රණ්ඩු, ගැටුම්, මතවාද, තර්ක , විතර්ක ඔය මොනවා උනත් අපේ වැඩීහිටියො ඒ අය කෙලින් කටින් ඉන්න වෙලාවලට කිව්වෙ නරක දෙයක්, හොඳ නැති දෙයක් , තේරුමක් නැතිම දෙයක් විදියටමයි. ඒත් ඒ අයම රණ්ඩු වෙනකොට නම් ලෝකෙ තිබ්බ ප්‍රධානම කාරණය ඒකම තමයි වගෙයි රණ්ඩු උනේ.. ඇත්තටම රණ්ඩු  වෙන එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ ? රණ්ඩු හොඳද ? හොඳ නැත්නම් ඇයි ආයි ආයි රණ්ඩු වෙන්නෙ ? එහෙම ආයි ආයි රණ්ඩු වෙනවනම් රණ්ඩු වලින් හොඳ දෙයක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය හැමදාම රණ්ඩු වලට මුල් වෙන අළු යට තියෙන ගිණි පුපුරක් වගේ මගේ හිත යට පත්තු වෙන්න ඔන මෙන්න වගේ තිබ්බා.. 


රණ්ඩු ගැන ආයි මට හරි හමන් කියවීමක් එන්නෙ ඉගෙන ගන්න කාලෙ..ඒ මන් ඉගෙන ගත් ක්ශේත්‍රයට සම්බන්ධව උනත් ඒක ඇතුලෙ තියෙන කරුණු තරමක් හොඳයි වගේම විශය ක්ශේත්‍රයෙ විතරක්ම නෙවෙයි ඊට පිටින් අපේ ජීවිතවලටත් එක්කහු කර ගන්න පුළුවන්ය කියලා හිතුන නිසා හිතුන හින්දා කියලා දාන්ඩ හිතුවා..


"අඩෝ එක !@@$% ක් හරි ආයි මේ ගැන වචනයක් හරි කතා කරලා තිබ්බොත් කැති ගාගෙන හාගෙන යන්නෙ කෙහෙල් කොටුවක් කපන්නැහේ අම්ම්පල්ලා ඕන් !@#$%$ "


කියලා ඩේවිඩ් අයියා මැරිච්ච මිනිහෙක්ගෙ නහයක් වත් කපන්න බැරි තරම් හම්පඩ කඩුවකුත් අරන් බීලා වැනි වැනී යනකොට එකදවසක් ගලක් පැටලිලා මිනිහා කඩුව උඩ වැටිලා කකුල කපා ගෙන තිබ්බා මට මතකයි.


ඔය තියෙන ප්‍රස්තාර වලින් කියන්නෙ රණ්ඩු ගැන කාලෙන් කාලෙට ආපු මති මතාන්තර තමයි. 








අපි පරණ මති මතාන්තර පැත්තකින් තියලා දැන් පිළි ගන්න මතය වෙච්ච ගැටුම් වර්ග දෙකක් තියෙනවාය.. ඒ දෙක එක ප්‍රයෝජනවත් ගැටුම් (Constructive Conflicts) සහ අනික සම්බන්ධතා ගැන ගැටුම්ය (Relationship conflicts)  කියන මතය ගමුකො.ඔය සම්බන්ධතා ගැටුම් වලදි ඉස්මතු වෙන්නෙ පුද්ගලික දේවල් මිසක් අර ගැටුමට මූලික වෙච්ච කරුණු නෙවෙයි. අන්තිමට රණ්ඩු වෙන්න පටන් ගත්තෙ මොකටද ? ඉවර වෙන්නෙ මොකකින්ද ? කියන කාරණා දෙක අහසට පොළව තරම් දුරස් වෙනවා..  විශේෂඥයො කියන්නෙ මේ ප්‍රයෝජනවත් ගැටුම් වැඩි කරලා අර අනිත් ගැටුම් නැති කරන්න එහෙම නැත්නම් අවම කරන්නයි කියලා.. ඔය පොත පතේ ඔහොම කීවට ප්‍රායෝගිකව ඕක කරන්න පුළුවන්ද ? 


බෑ...


බෑ... ප්‍රායෝගිකව ඕක කරන්න හරිම අමාරුයි..ඒත් බැරිම නෑ.. මොකද වෙන්නෙ ප්‍රයෝජනවත් විදියට රණ්ඩු වෙන්න පුළුවන් .. ඒත් ඒ රණ්ඩුව ගැඹුරට ගැබුරට යන්න මතු වෙන්නෙ අර අනිත් ගැටුම් තමයි. ඔන්න මීයා ඇදිලා එනවා ඔතනට..


ඉතින් එහෙනම් කොහොමද ගැටුම් ප්‍රයෝජනවත් විදියට පවත්වා ගෙන යන්නෙ..


එකක් තමයි ගැටුමට සහභාගි වෙන පිරිස තමන්ගේ චිත්තාවේග පාලනයට (Emotional Intellegence ) දක්ශ මනා හැකියාවක් ඇති අය වීම.. එතකොට ගැටුම නරක පැත්තක්ට යන්න ගියත් ආයි ගන්න පුළුවන් හරි පාරට..


අනික ගැටුම ඇති වෙන්ඩ දෙන්ඩ ඕනි සංසක්ත කණ්ඩායම් ඇතුලෙ.. (Cohesive Teams) ඒ මොන කණ්ඩායම්ද ? ඒ කියන්නෙ ඒ කණ්ඩායම් අතරෙ බැඳීම වැඩියි..ඒ වගේ කණ්ඩායමක් අතරේ ඇතිවෙන ගැටුමකින් පල නෙලා ගන්ඩ පුළුවන් හොඳට..


අනික තමයි ගැටුම ඇතිවෙන කණ්ඩායමේ සහයෝගී කණ්ඩායම් සාරධර්ම ඉහලින්ම තියෙන්න ඕනි..(Supportive team norms)
එතකොටත් ඒ වගේ රණ්ඩුවලින් ගන්න තියෙන ප්‍රයෝජන වැඩියි කියලයි කියන්නෙ..



මේක සයිබර් අවකාශෙත් කරන්න පුළුවන්ද ? 
ඔව් පුළුවන්.. හැබැයි ඇනෝලට කමෙන්ට් කරන්න ඉඩ දීලා හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න ඕනි රණ්ඩුව ප්‍රයෝජනවත්  පාරෙන් එළියට පැනලා සම්බන්ධතා ගැටුමක් පැත්තට යනකොට එතනින් ආපහු හරි පාරට ගන්න..



මේ කරුණු කාරනා ටික ආයි මතක් කර ගන්නත් යාවත්කාලීන කර ගන්නත් උදව් උනේ,
Organization Behavior 13th edition By Robbins, S.P. and Judge, T.A සහ Organizational Behavior : Emerging knowledge and practice for the real world 5th edition by McShane, S.L & et.all කියන පොත් තමයි ඉතින්




අන්තිමේ අපි දහයෙ පන්තියෙ ඉන්න කොට හැමදාම තමන්ගෙ පවුලෙ අය එක්ක රණ්ඩු වෙච්ච ඩේවිඩ් මාමාගෙ මූණට මිරිස් වතුර එකක් ගහලා ඇඟ පුරා කඩු පාරවල් 17ක් එක්ක මිය ඇදුනෙ අපේ නෙත් ඉදිරියෙමයි. මොනවද තමන්ගෙ ජීවිත කාලෙම රණ්ඩු වෙලා මිනිහා ඉතුරු කර ගත්තෙ කියලා අද හිතන කොට නම් හරිම දුකයි. නන්නත්තාර වෙලා ගිය පවුලක් තමයි එයා ඒ කාලෙම ලෝකයට ඉතුරු කරලා ගියේ..


ගේට්ටුවට කවුද එකෙක් තඩි බානවා...සුවර් එකටම ඔය ගෙදර ඉන්න බල්ලො ටික අවුස්සන්න තමයි මේක කරන්නෙ.. අර අහල පහල ඉන්න කොල්ලො සෙට් එක.. එහෙම අවුස්සලා බල්ලො රන්චුව බුරන කොට උන්ට ඊට වඩා ජොලියක් නැති පාටයි...


බල්ලො ටික මේ පැත්තෙ නෑ..ඒත් තවම මුන් ටික ගේට්ටුවට තඩි බානවා..


මොන !!@@#$% ද මන්දා... මමත් ගත්තා දොර මුල්ලෙ තිබ්බ යකඩ පොල්ල.. උස්සා ගත්තා සරම ටිකක් උඩට ...
බලමු !



ප.ලි. අනේ බුදු ඇනෝ මල්ලියෙ, නංගියේ, අයියෙ, අක්කෙ. මේන් වැන්දා ඕන්නම් කියහන් තව කියන තැනකටත් වඳින්නම්.. මෙතන නම් සණ්ඩු වෙන්න එපා..මන් අහිංසකයා ඕන්.. දැකපු අය දන්නවා හරි හමන් ගුටියක්වත් කා ගන්න බෑ තාම !

Wednesday, July 18, 2012

ඉපදෙනකොටම ආපු එව්වා සහ ඉටිපන්දමේ පුරස්නෙ..

මගේ මීට ඉස්සර තිබ්බ පෝස්ට් වලට මන් ඇන්ද සිත්තර දැකලා ප්‍රීතියෙන් උද්දාම වෙච්ච අපේ බීටල් පඬිතුමා මගෙ ඉටිපන්දම් පෝස්ට් එකේදි මගෙන් අහලා තිබ්බා ඇයි මන් සින්දු කියන්න පටන් ගන්නෙ නැත්තෙ චිත්‍ර අඳින එක පැත්තකින් තියලා. නමුත් සිත්තර අදින්න එපාය කියන්නෙත් නෑ කියලා..
ඒ කතාව ඇහුවහමයි මට මතක් උනේ මගේ උපතින්ම ගෙනාපු හැකියාවක් තමයි මේ සින්දු කියන එක..ඒකත් එක්ක මතකය ඇදිලා ගියේ අපේ ඉස්කෝල වල හැම මාසයකම අන්තිම සතියෙ සිකුරාදා තිබ්බ සාහිත්‍ය සමිතිය ගැන..ඒකෙදි මන් අනිවාර්‍යෙන්ම සින්දුවක් කියන්න පුරුදු වෙල හිටියා.
මුලින් මුලින් සමිතියේ න්‍යාය පත්‍රයේ මැදට වෙන්න තිබ්බ මගේ සුමුහිරි ගායනය පහු කාලෙදි අන්තිමට ආවෙ මන් හිතන්නෙ අර ඊට ඉස්සර තිබ්බ නීරස වැඩසටහන් වලට අකමැත්තෙන් උනත් අහන් බලන් ඉන්න සිසු සිසුවියො අන්තිම අයිටම් එක වෙන මගේ සින්දුව අහන්න රඳවා ගන්නයි කියලයි මන් හිතුවෙ. ඒත් මට තාම තේරෙන්නෙ නැත්තෙ ඒකෙ වැඩසටහන් න්‍යාය පත්‍රයෙ ලේකම් තුමාගෙ / තුමියගේ ස්තූති කතාවෙනුත් පස්සෙ තමයි මට සින්දු කියන්න දීල තිබ්බෙ..අමාරුවෙන් උනත් ඉස්කෝලෙ මුර මාමා මගේ සින්දුව අහන් හිටියා හෝල් එක වහන රාජකාරිය එයාට පැවරිලා තිබ්බ නිසා.


ඔහොම වැඩි දියුණු කර ගත්ත මගේ සුභාවිත ගායනය අපි යන ට්‍රිප් වලදි පවා මන් ප්‍රයෝජනයට ගත්තා.. මගේ කන්කලු මිහිරි ගායනය කරන්න අපරාදෙ කියන්න බෑ ගිය කට්ටිය ළඟ සීට් දෙක තුනක්ම මට දීලා ඒ අය හිටියෙ ටිකක් ඈතින්ම තමයි.


මේ බ්ලොග් ලියන එක අස්සෙ මන් හිතුවා මගේම කියලා සින්දු සංගත තැටියක් එලියට දමන්න. පහු ගිය දවස් ටිකේම මන් මගේම පද රචනයන් කරපු සින්දු ටිකක් තාලෙට කියන්න ගත්තා..ඒත් අවුල තියෙන්නෙ මේ  ගෙදර ඇති කරන අපේ බල්ලො සෙට් එක ලැසී, කුකී, බ්‍රවුනි සහ අනික් අහල පහල ඉන්න බල්ලො ටික උඩු බුරන්ඩ පටන් ගන්නවා මන් සින්දු කියන කොටම...
මොකද මන්දා මස් කට්ටක්වත් රිදෙයි කියලා හයියෙන් නොකන ලැසී මේ ළඟඳි මාව කන්ඩ පැන්නෙ මන් බාත් රූම් එකේ ඉඳන් සින්දුවක් කිය කියා ඉඳලා එළියට එනකොටමයි.මන් හිතා ඉන්නෙ ඔය අහල පහල යාළුවෙක්ගෙවත් ගෙදරට ගිහිල්ලා සින්දු ටික ප්‍රැක්ටිස් කරලාඉක්මනටම සංගත තැටියක් එළියට දමන්න. මන් හිතන්නෙ ඔය බීටල් පඬිතුමා කියන්නැහෙ අමුතුවෙන් මට සින්දු කියන්ඩ පුරුදු වෙන්න ඕනි නෑ..ඉපදිච්ච ගමන්මත් මන් හිතන්නෙ ඔහෑ ඔහෑ කියලා අඬනවා වෙනුවට මන් සින්දුම තමා කියලා තියෙන්නෙ..


"ඔව් උඹ පොඩි කාලෙ රැහැයියා වගේ කෑ ගහ ගහා තමයි හිටියෙ"


කියලයි අපේ ලොකු අක්කා ඒ අතීතය තාමත් ඇඬූ කඳුලින් මතක් කරන්නෙ..පව් ලොකු අක්කගෙ දකුණු කන ඇහෙන්නෙ නැතුව ගියේ ඒ කාලෙමයි.


ඕන් ඉතින් අර ඉටිපන්දම ගහන් හැටි අහලා තිබ්බ ප්‍රශ්නෙට කට්ටිය නානා ප්‍රකාර උත්තර දීලා තිබුනා නොව.. ඒ අතරින් නිර්මාණශීලී උත්තර කීපයක්ම තිබුනත් එක්ක.. මන් කීවෙ එතන පිළිතුරක් නොලීවත් පොඩ්ඩක් හිතන්නකො ඒක කරන්න පුළුවන් කොහොමද කියලා.. කියලයි. මට පුද්ගලිකව ඔය ප්‍රශ්නෙ විසඳන්න ලැබිච්ච වෙලාවෙ මට හිතුන එකම උත්තරේ තමයි ඉටිපන්දම පත්තු කරලා ඉටි ටිකක් උණු කරලා ඒකෙන් ඉටිපන්දම හයි කරනවා බිත්තියෙ කියලා..අර ඩ්‍රෝවින් පින් වලින් කරන්න දෙයක් තිබ්බෙම නෑ.
මොකද මට එහෙම හිතුනේ අපි ඉටිපන්දම් පත්තු කරලා බිමහරි මොකක් උඩ හරි හයි කරන්නෙ එහෙම නිසයි ඒ වගේ හිතුනෙ මට නම්. එහෙම උත්තරයක් එන්නෙ අපේ අතීත අත්දැකීම් වලින් තමයි.
ඒත් බලන්නකො මේක බිත්තියක හයි කරන්න තියෙන ක්‍රම රාශිය මේ පහල තියෙන පින්තූරෙන්..





මෙච්චර පොඩි ප්‍රශ්නෙකටත් මට නම් හරි හමන් උත්තරයක් ගොඩ නගා ගන්න බැරි උන එකේ මට හිතෙන්නෙ ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවිලා ගියත් ජීවිත ප්‍රශ්නවලටත් හොයන් තියෙන උත්තර වලට වඩා නිර්මාණශීලි තව උත්තර කොයිතරම් ඇත්ද කියලයි.


අපි අතීත අත්දැකීම් වලින් ගත්ත දේවල් වලින් විතරක් ගැටළුවකට උත්තර හෙව්වොත් මෙහෙම තමයි වෙන්නෙ. එහෙනම් කොහොමද මේ විදියෙ නිර්මාණශීලි උත්තර වලට යන්න පුළුවන් වෙන්නෙ ?
අපිට ගැටළුවක් ආවහම අපි ඒකට විසඳුම් විදියට මෙන්න මේක  හරි යයි කියලා අනුමානයක් අරන් ඒක තර්කානුකූලව අපිට අවශ්‍ය විසඳුමට හරියනවද කියලා තර්කානුකූලව හිතලා හිතලා එක්කො ඒක විසඳුම විදියට ගන්නවා. නැත්නම් ඒක ඉවත දමලා තව  අනුමානයක් ගන්නවා.. අපි වහ්cඅනවලට පෙරලලා නොකීවට මෙහෙම තමයි මේක අපේ ඔළු ගෙඩි ඇතුලෙ වෙන්නෙ..
ඒක ක්‍රියාවලියක්.. ඒ ක්‍රියාවලිය හැම කෙනාගෙම ඔළුවෙ තිබුනත් වැඩ
 කරන්නෙ විවිධාකාර විදියට තමයි. ඉතින් ඒක ටිකක් මලකඩ කඩලා දමලා තෙල් ටිකක් දමලා.. පොලිශ් කරලා ගත්තොත් ඉටි පන්දම ගහන්න ක්‍රම රාශියක් ගොඩ නගා ගත්තා වගේ හැම ප්‍රශ්නෙකටම උත්තර ගොඩාක් හොයා ගන්න පුළුවන් වෙයි නේද කියලයි මට හිතුනේ..අපිට නොදැනෙන නමුත් ඉබේම ඇතුලේ වෙන ක්‍රියාවලිය තමයි අදහසක් ඇති කරගැනීම ( Inspiration  ) එය ක්‍රියාවට නැංවීම (Perspiration), ඊළඟට එය ඇගයීමට ලක්කිරීම (evaluation) සහ අවසානයේ එය එය ප්‍රතිපලයක් වෙන කන් රක්කවාගෙන ඉඳීම.(Incubation).තව පෝස්ට් දෙක තුනකින් පස්සෙ බලමුකො එහෙනම් ඔය ක්‍රියාවලිය කොහොමද පොලිශ් කරලා ගන්නෙ කියලා..


මගේ සුභාවිත ගායන සංගත තැටියට එළිදැක්වුවහම කට්ටිය සප් එකක් දෙන්ඩෝනි..දැනටමත් ඈත ගොවි ගම්මානවලින් ඉල්ලුමක් තියෙනවා..කුරුල්ලො එළවන්න ගොවි පලේ තැන් තැන් වල එල්ලලා තිබ්බහම අස්වැන්න රැකබලා ගන්ඩ පුළුවන් කියලා ඒ ඉල්ලපු එක ගෙදරක හිටි පොඩි එකෙක් කීවෙ මගේ යාළුවා වෙච්ච ඒකාගෙ තාත්තගෙ ටොක්කකුත් කාගෙනමයි..

Friday, July 13, 2012

ඉටි පන්දම ගහන හැටි


ඉටි පන්දම ගහන්නෙ කොහොමද කියලා අහන්න ඉස්සෙල්ලා මං කාලෙකට ඉස්සර ඔය බිත්ති සඟරාවකට ඉදිරිපත් කරපු නිර්මාණයක් හම්බ උනා මගේ පරණ පොත් පෙට්ටියක් අස්සෙ තිබිලා. අපි හැමෝගෙම ජීවිත මේ විදියට තමයි දිනලා තියෙන්නෙ කියන එක හොඳටම සුවර්. ඒ වගේමයි මගෙ මතකයෙ හැටියට මේ පොඩි නිර්මාණය කරන්න මූලික උනේ ඔය අභියෝග ජය ගන්න කියලා තිබ්බ පොත් පිංචක තිබ්බ අදහසකින් ගත්ත එකක්..ඒක පටන් ගන්නෙ මෙහෙමයි..



මට වැරදුනා...


මම අසමත් උනා....


මම ෆේල්....


මට ඉතුරු උනේ ,


                                         දුක
                                         කඳුල 
                                         පසුතැවිල්ල විතරයි..


පරාජයන් තව තවත් මගේ හිස මත කඩා වැටෙන්න උනා...



ඒත් දවසක මට තේරුනා..


මන් ඉන්නෙ වැරදි පැත්තෙ කියලා


මන් දුවන් ගියා හරි පැත්තට..




මේ සිත්තරෙන් තේරෙනවා ඇති පරාජයන් අපි මත කඩා වැටෙද්දි අපි කොතනද ඉන්න  ඕනි කියලා..


මේ තියෙන්නෙ ඉටිපන්දම ගහන්නෙ කොහොමද කියන ගැටළුව ..
ඔබට ඉටිපන්දමක්, ගිණි කූරු පුරවපු ගිණි පෙට්ටියක් සහ ඩ්‍රෝවින් පින්ස් පැකට් එකක් දීලා ඉටිපන්දම බිත්තියෙ ගහන්න එහෙම නැතිනම් හයි කරන්න කීවොත් ඔබ කොහොමද කරන්නෙ ? 








මේකට ඔබ පිළිතුර ලියලා මෙතන පල නොකලත් කමක් නෑ පොඩ්ඩක් ඔය නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක හිතලා බලන්න..


මන් මේ හදන්නෙ මගේ ඊළඟ කතාවට හොඳ ප්‍රවේශයක් ගන්නයි ඔබේ ඒ හිතන එක හරහා..


එහෙනම් නැවත ලබන බදාදා දිහාවට හමු වෙමු. සති අන්තයේ බණක් සහ දානයක් තියෙනවානෙ සහභාගි වෙන්න..

Wednesday, July 11, 2012

එක ඉවරයි !


අච්චාරුවක් එහෙම නැත්නම් ලුණුදෙහි එකක් කාලය යන්ඩ යන්ඩ තමයි රස වැඩි වෙන්නෙ. ඒ වගේමයි අච්චාරු කියන්නෙ විශේෂයෙනම අවුරුදු කාලෙ කෑම මේසෙදි දකින්න පුළුවන් වගේම අවුරුද්දෙ ඕනිම කාලෙක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අච්චාරු ප්‍රධාන ආහාරයක් නොවෙන නිසා ඒක තිබුනත් නැතත් කාලා බඩ පුරවගන්න පුළුවන්..අච්චාරුව රස වැඩි වෙන්නෙ ඒකට දමන විවිධ දේවල් නිසාමයි.


හරියටම අදට මගේ අච්චාරු බ්ලොග් එකටත් අවුරුද්දක් වෙනවා.
විවිධාකාරයෙ ලිපි තියෙන නිසාම මන් කැමතී මෙක අච්චාරුවක් විදියට දකින්න.





ඉතින් මන් ඔන්න ඔහොම කියලා හරියටම අවුරුද්දකට කලින් මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න කොටනම් මෙච්චර දුරක් එන්න හිතුවෙ නෑ..ඒ වෙනකොටත් පටන් අරන් තිබ්බ බ්ලොග් හත වගේම මේකත් ඔය පෝස්ට් 2-3ක් ලියලා අමතක කරලා දමයි කියන අදහස තමයි තිබුනෙ..


අවුරුද්දක් ඇවිත් ආපහු බලද්දි මට පේන්නෙ මොනාද ?
හිට් කවුන්ටරේ ?
නෑ...
ෆලොවර්ස්ලා ?
පෝස්ට් සහ කමෙන්ට්ස් ද ?
නෑ..එහෙනම් ?


බ්ලොග් එකේ පළමුවෙනි පෝස්ට් එකේ ඉඳන්ම මට ධෛර්‍යයක් වෙච්ච මගේ ඔබ සියළු දෙනාම තමයි මට පේන්නෙ..එකම එක අකුරක උනත් කමෙන්ට් එකක් දමපු ඔබ නිසයි බ්ලොග් හතක්ම ලියන්ඩ ගිහින් මග දමලා ගිය මන් මේ ලියන්නා බ්ලොගය මේ අද දක්වා ඇද ගෙන ආවෙ..
කමෙන්ට් නොදමන නමුත් බ්ලොගය කියවන මගේ සහෘද පිරිස මට ඔබලා දෙන සහය පේනවා හිට් කවුන්ටරයෙන් සහ ෆලෝවර්ස්ලා ලොට් එකෙන්.. ඔබලා නොවෙන්න මන් බ්ලොග් ලෝකෙ කවුරුවත් නෙවෙයි..මහා යෝධ පතාක බ්ලොග් අතරේ බොහොම පුන්චි බ්ලොග් එකක් මට තියෙනවා කියලා නිහතමානි ආඩම්බරයකින් කියන්න පුළුවන් ඔබලා නිසයි.


මීට ඉස්සෙල්ලත් මන් කියලා ඇති මන් අවුරුදු ගනනාවකට උඩදි ඉංග්‍රීසි බ්ලොග් කියව කියවා ඉන්න කොට මොන දේකින් හරි අහු උනා අපේ සීටී මලයගෙ මාරයගෙ හෝරාව කියවන්න.. එතනින් තමයි මන් සිංහල බ්ලොග් කියවන්න සබැඳියන් අර ගත්තෙ..ඒ දවස් වල මන් කියවන්නෙක් විතරයි. කමෙන්ට් එකක් දැම්මෙවත් නෑ.. ඔහොම අවුරුදු එකහමාරක් විතර ඒ වෙනකොට පල වෙමින් තිබ්බ සියළුම බ්ලොග් පාහෙ කියවන්න ඇබ්බැහි වෙච්ච මන්.. දවසක හිතුනා..ම්ම්ම් මොනා හරි පොඩ්ඩක් ලියන්න ඕනි කියලා..


ජූලි 10 වෙනිදා ඉඳන් ඔහෙ මොනා හරි අත් අකුරින් ලියලා ඒක ස්කෑන් කරලා දම දමා හිටි මන් සිංහල යුනිකෝඩ් වලින් කොටන්න ගත්තා..ජූලි 16 මෙන්න උදේ නවයකුත් ගානට මගේ පළමුවෙනි කමෙන්ට් එක තියෙනවා




..කාගෙන්ද අපේ කතන්දර සූරින්ගෙන්..ඒ වෙනකොටත් මන් මාරයාගේ හෝරාව කියවලා ඊළඟට කියවන්න ගත්ත කතන්දරමද මේ කියලා බලන්න ලින්ක් එක දිගෙත් ගියා එක්ක..ආයි මොනාද එයාම තමයි..එච්චර ලොකු බ්ලොග් කාරයෙක් කවදාවත් මගේ මේ සිඟිති බ්ලොග් එක කියවයි කියලා නොහිතපු මම..ඒ කමෙන්ට් එකෙන් ගත්ත අප් එක නම් කියලා වැඩක් නෑ..

හැබැයි  ඉතින් කතන්දර සූරින් අදට නම් මගේ බ්ලොග් පෝස්ට් කියවන්නෙ නෑ මන් හිතන්නෙ..ඒත් එදා කියෙව්වනෙ කියලා හිතෙන කොට මට හරි සතුටුයි..


ඊළඟට අපෙන් සමු ගත්ත ඔබා අයියා මගේ බ්ලොග් එක එහෙම් පිටින්ම අන්තිම පේළියෙ පබ්ලිස් කලා..එතනින් සෙට් වෙච්ච යාළුවො කට්ටිය..දැන් නම් මූණුපොතෙන් , ඒ දවස් වල බස් එකේ.. දැන් පස් වල.. බස් රේඩියෝව..කිහිපයක් ම තිබිච්ච සුහද හමු, සයිබර් සැනකෙලිය...ඔය සේරගෙන්ම මාත් එක්ක හිතවත් වූ සහ ලං වූ මිතුරු මිතුරියන් කැල.


අවුරුදු 1ක්
හිට්ස් 85300 ක් මේකෙන් 5000ක් විතරම මගේ මුල කාලෙ සෙටින් හදන්න ඉස්සර කවුන්ට් වෙච්ච

පෝස්ට් 123 ක් 
කමෙන්ට් 5300 ක් භාගයක්ම මන් රිප්ලයි කරපු..
ෆලෝවර්ස් 231 ක්
ලොකු නමුත් අහිංසක සතුටක් !


මන් හිතන්නෙ මන් තමයි බ්ලොග් එකක් ලියලා ඒකෙන් ලබන්න පුළුවන් උපරිම සතුටක් ලබන කෙනා.. 
දන්නවද ඔබලා තමයි ඒ සතුටට වග කියන්න ඕනි..
ඒකට ස්තූතියි කියන අකුරු හතර මදි..
ඒ වෙනුවට මන් පොරොන්දු වෙන්නම්..


මන් මේ බ්ලොග් එක ලියනවා මැරෙන කම්ම ..


ඒ ඔබලා වෙනුවෙන්,
ඔබලාට කෘතුතගුණ සැලකීමක් වශයෙන්...


ප.ලි. මෙතන ඔබලා කියන වචනය ඇතුලෙ ඉන්න අපේ ආදරණීය සින්ඩිකේටර සමඟ අපේ සහෘද බ්ලොග් කරුවන් සහ කාරිනියන් ගේ තමන් කියවන ලිස්ට් එකත් වෙන එකතු විය යුතුයි ..


ඊට අමතරව මන් ඕන් අරකෙන් හැමෝටම තුති මලක් ඇන්දා...ඒකට කියන්නෙ Flower of Thanks  කියලයි

මේ වගේ මලක් කොහෙ හරි දැක්කොත් කඩා ගන්ඩ..ඒ මගේ ගානෙ..

Monday, July 9, 2012

අතින්ම අරන් තියා ගැනීම



අද මම උදේ හදිසියෙම ගත්ත තීරණයකට ගියා මගේ ගම්බිම් බලා..කිලෝමීටර් 125 යන්ඩයි එන්ඩයි එතකොට 250 ක් ගෙඩි පිටින්ම. 
දවසම ඉවරයි වැඩේට..යන එන මඟ දිගට වැස්සා, ඒත් ගිය බස් එකේ වහලක් තිබ්බ නිසා නොතෙමී ගිහින් ආවා.. 


ඒ එන බස් එකේ වෙච්ච සිදුවීමක් තමයි මන් පොඩ්ඩක් බෙදා හදා ගන්ඩ හදන්නෙ. මගේ බ්ලොග් එක කියවන පාඨකාවියො..පාඨිකාවියො..මන්දා අපේ ගෑල්ලමයි ටික ඕන් මේ කතාව පර්සනලි අරගන්නෙ එහෙම නෑ..මොකද හැමෝම මෙහෙම නෑ..නමුත් මෙහෙම අයත් ඉන්නවා.


මන් ගෙදර ගිහින් රත්නපුරේට එනකොට හවස 4ත් හතරහමාරත් අතර ඇති. එනකොටම ඒසී බස් ගහන තැන ලොකු බස් එකක් නවත්තලා තිබුනා..ඔය වෙලාව ටිකක් බස් අඩු වෙලාව නිසා මමත් දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඒක ඒසී බස් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය බස් එකක්.හැම සීට් එකේම වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳ ගෙන හිටියා. ඒත් ඒ වෙනකොටත් තව හිස් සීට් 10ක්වත් තිබුනා අඩුම තමරමෙ. මමත් බස් එකේ මැද හරියට වෙන්න තිබ්බ සීට් එකක ජනේලෙ අයිනෙ එතකොටත් පිරිමි කෙනෙක් ඉඳ ගෙන හිටියා මන් ඉඳ ගත්තා මෙහා කෙරවලෙන්ම.මේක ලොකු බස් එකක් එක පේලියක සීට් පහක් තිබ්බා..ඒ නිසාම සීට් තුනේ පේලිය සහ අනිත් පැත්තෙ සීට් දෙකේ පේලිය අතරෙ බොහොම පොඩි ඉඩක් තිබුනෙ..යන්තම් එක්කෙනෙක්ට හිර වෙලා වගේ ඉන්න පුළුවන් විදියට.


මට දැන් පේනවා බස් එකේ එලියෙ හෑන්ඩ් බෑග්ම තුනක් නැත්නම් හතරක් එල්ලා ගත්ත මහත ලේඩී කෙනෙක් බස් එකට නගිනවා.. බොහොම අමාරුවෙන් උනත් අර කෙටි ඉඩ අතරින් මෙයා ගියා බස් එකේ අනිත් දොරටුවෙන් බැහැලා ගියා අර හිස් සීට් දිහා බලලම..ඉඳ ගන්න ඉඩ තිබ්බත් බැහැලා ගියේ ඊළඟ බස් එකේ නගින්න වෙන්න ඇති..
ඊළඟ විනාඩි පහේදි බස් එකේ සේරම සීට් ටික පිරුන.. ඩ්‍රයිවර්, කන්ඩක්ටර් ආවා..ටිකට් කඩන අතරෙ තව අර බස් වලට සෙනඟ පටවන්න උදව් කරන කෙනෙකුත් ඇවිල්ලා අහල පහල ඉන්න තව අයවත් නැග්ගුවා..දැන් අර ලේඩිගෙනුත් ගිහින් මොනවද ඇහුවා..අහලා මහ හයියෙන් කියෝනවා මේ මනුස්සයා..


"ආ කොළඹ යන අන්තිම බස් එක මේක..ආයි එකක් නම් නෑයන අය නගින්න යන අය නගින්න "


කියලා මේක ඇහුනා විතරයි අර ලේඩිත් දඩ බඩ ගාලා අර හෑන්ඩ් බෑග් ටිකත් එල්ලා ගෙන නැග්ගා බස් එකට.. දැන් ආයිමත් අර මැද ඉන්න සෙනඟත් තෙරපා ගෙන යනවා බස් එක මැද්දෑවට හිස් සීට් බල බලා..මොන එතකොට සීට් නෑ..කීප දෙනෙක්ම මේ සීන් එක නෝට් කරගෙන හිනා වෙනවත් දැක්කා..


මමත් පව් තමයි ඒත් ස්ථානෝචිත ප්‍රඥාව නැති කෙනෙක්නෙ මේ වෙලාව හිතලා පොඩ්ඩක් තව බස් නෙවෙයි තියෙන බස් එකේ යන්න ඉස්සරවෙලා සීට් තියෙද්දි ඉඳ ගන්ඩයි තිබ්බෙ කියලා හිතලා මන් මගේ කල්පනා සාගරයට වැටුනා..ටිකක් වෙලා යනකොට සෙනඟ පිරුනා බස් එකේ .. ඉඳගෙන හිටියත් තෙරපිලා තමයි අපිත් හිටියෙ..


මේ සිත්තරේ මන් කලේ පොඩ්ඩක් පාට කරපු එක විතරයි..


ඔය අතරෙ මට මතක් උනා එක දවසක ඔයවගේම මම දුර ගමනක් යනවා.. මන් හිටියෙ හිට ගෙන මන් ළඟම සීට් එකේ හිටිය දෙන්නගෙන එක්කෙනෙක්  නැගිටින්න හරි බරි ගැහෙනවා ..මමත් පොඩ්ඩක් හිතට සැනසුම් සුසුමක් හෙළුවා..ගමනේ ඉතුරු ටික ඉඳ ගෙන යන්ඩ පුළුවන් වෙනවනෙ කියලා. මොන.. 
මට ටිකක් එහායින් හිටගෙන හිටි ලේඩි කෙනෙක් මේ මන් ළඟ සීට් එකේ එක්කෙනා නැගිටින්න හදනවා දුටුවාවිතරයි..මන් ළඟට ඇවිත්  මාවත් පොඩ්ඩක් තල්ලු කරලා අර සීට් එක හිස් උනහම මට ඉඳ ගන්න බැරි වෙන විදියට අතින් බැරියර් එකක් හැදෙන විදියට සීට් එකේ ඇන්ද අල්ලා ගත්තා..මට පුදුම නොරිස්සුමක් එකපාරටම ආවත්..ඒ එක්කම හිතුනා මට වැඩිය අමාරු ඇතිනෙ මෙයාට නැගිටලා යන්ඩ කියලා..හිත හදා ගත්තා..එහෙම  වයසක නෝනා කෙනෙක්නම් නෙවෙයි ඒත්..මොකද උනේ ඒ සීට් එකේ ඉන්න දෙන්නම බහින්න නැගිට්ටා මෙන්න..හැබැයි ඒ සීට් එකේ ජනේලේ ළඟට හොඳටම ඉර අව්ව වැටෙනවා..දැන් මට බැරැක්ක දාපු ලේඩි මෙන්න මට යන්ඩ ඉඩ දෙනවා සීට් එකේ ඉඳ ගන්ඩ ලින්ම..මොකද දැන් මෙයාට අව්වෙ යන්ඩ වෙනවා දඟලපු විදියට මුලින්ම සීට් එකේ ඉඳ ගන්න ගියොත්
මට එතකොටත් පහවෙලා නොගිය නොරිස්සුම නිසා හිටපියකො කියලා මන් කලේ ඉඳ ගත්තා සීට් එකේ හැබැයි ජනේලෙ තියෙන කොනට ගියේ නෑ..
අව්ව නොවැටෙන මෙහා කෙලවරේ ඉඳ ගත්තා.. ඉඳගෙන මේ ලේඩිට යන්න පුළුවන් වෙන විදියට කකුල් දෙක පොඩ්ඩක් සීට් එකෙන් එලියට දමා ගෙන මගේ පාඩුවෙ ඉන්නවා...


"එක්ස්කියුස් මී"


මන් ඔළුව උස්සලා බැලුවා..


"එහාට යන්ඩ"


ගෑණි මට ඕඩර්ස් දෙනවා


මන් මුකුත් කීවෙ නෑ.. තවත් කකුල් දෙක සීට් එකෙන් එළියට අරන් අතින් කීවා අයිනෙ සීට් එකට යන්න..කියලා..


"මන් ඉස්සරහ බහිනවා"


ගෑනි තවත් නොරිස්සුමෙන් කියනවා.


"මමත් ඉස්සරහ බහිනවා"


ඉඳ ගන්නෙ නැත්නම් හිටගෙන පල කියලා මම එළියට ගත්ත කකුල් දෙක ආයිමත් තුලට අරන්..බෑග් එකේ තිබ්බ රීඩර්ස් ඩයිජස්ට් සඟරාව අතට ගත්තා..
මෙන්න ඒපාර නම් පුපුර පුපුරා මෙයා ඉඳ ගත්තෙ නැද්ද අර අව්ව වැටෙන සීට් එකේ.සීන් එක බල බලා හිටපු පිටි පස්සෙ සීට් එකේ උන බක ගාලා හිනා වෙනවා.අන්තිමේ දෙන්නම බැස්සෙ බස් එක නවත්තන අන්තිම හෝල්ට් එකේ...යනකොටත් මට රවා ගෙන ගියේ.. මට ඔය සීන් එක මතක් වෙලා ඔය සෙනඟ අස්සෙ තනියම හිනා ගියා..


ඉතින් මේ කෑම එක්ක තරහින් වගේ කාලා මහත් වෙච්ච නෝනා අර සීට් අතරෙ හිර වෙලා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.. එයාගේ පශ්චාත් භාගය අනිත් පැත්තෙ සීට් එකේ හිටිය කෙනාගෙ කර උඩ..පව් මිනිහා අනුන්ගෙ බර කර ගහනවා.. 
සාමාන්‍යෙන් රත්නපුර කොළඹ යන බස් වල අවිස්සාවේල්ල හරියෙදි වෙන දෙයක් තමයි..ඔය ඉඳගෙන ඉන්න උදවිය අර හිට ගෙන ඉන්න උදවිය එක්ක තමන් ඉඳ ගෙන ඉන්න සීට් හුවමාරු කරන එක..ආයිමත් හෝමාගම හරිය වෙනකොට ඒ සීට් අයිතිකාරයින්ටම හම්බ වෙනවා.ඒක සාමාන්‍ය සිරිතක්..ගොඩක් අය නොවුනත් කීප දෙනෙක් හරි මේ හුවමාරුව කරනවා. මමත් ගොඩක් මහන්සියෙන් නොයන වෙලාවලට මේක කරනවාම තමයි. 
ඒත් එක වාරයක මොකද උනේ..
මන් ළඟ ටිකක් අමාරුවෙන් හිට ගෙන හිටපු ලේඩි කෙනෙක් හිටියා.. මන් ඇහැලියගොඩ හරියෙදිම හිතුවා අවිස්සාවේල්ලෙදි මෙයා බැස්සෙ නැතොත් සීට් එක දෙනවා කියලා..මොකද ගොඩක් අය අවිස්සාවේල්ල බහිනවා..


එහෙම හිතලා මන් මේ ලේඩිගෙ මූණ බලලා මනුස්සකමට හිනා උනා.. අප්පට සිරි මෙන්න හරියට මන් අර මහ වැඩේට කතා කරපු ගානට මේ ලේඩි රවලා ගස්සලා අහක බලා ගත්තෙ නැද්ද..කවුරුවත් ඔය වෙනකන් මගේ පෙනුම එච්චර කුපාඩියි කියල නොතිබිච්ච නිසා..මන් කලේ අවිස්සාවේල්ලට ආපු ගමන් මට තවත් ඉස්සරහින් හිටපු පිරිමි කෙනෙකුට ඔළුවෙන් කතා කරලා..සීට් එක දුන්නා..හෝමාගමදි සීට් එක ආපහු ලැබෙන කොටත් අර ලේඩි හිටගෙන..


දැන් මගේ බස් එක අවිස්සාවේල්ලට එනකොට ටිකක් සෙනඟ අඩු උනා..මන් ළඟ ඉස්සරහ හිටි කෙනා අර මහත ලේඩිට කතා කරලා එයා ඉඳගෙන හිටි සීට් එක දීලා මෙයා හිට ගත්තා මගේ සීට් එක ළඟ.. එතකොට අහල පහල හිටි අය සේරම වගේ අවිස්සාවේල්ලෙන් නැගපු අය නිසා මන් මගේ පාඩුවෙ සීට් එකේ හිටියා..අර ඉඳ ගත්ත ලේඩි සැරින් සැරේ ෆෝන් එක අරන් එක එක්කෙනා කතා කර කර ගියා මිසක් ආපහු සීට් එක දුන්නෙ නෑ..අර සීට් එක දුන්න කෙනාට.. හෝමාගම හරියෙදි ආයිමත් බස් එක ෆුල්..පව් අර මනුස්සයා පට්ට කට්ටක් කෑවෙ සීට් එක දීලා කොට්ටාව හරියට එනකොට මන් ළඟ හිටි කෙනා බැස්ස නිසා මේ කෙනා මන් ළඟ ඉඳ ගත්තා.. නැගිටලා ඇවිත් හරි අමාරුවෙන්..ඔය සීන් එක හොඳට නෝට් කරනවා මන් දැක්ක නිසා මිනිහා අර ලේඩිට ඇහෙන්ඩත් එක්කම කීවා..


"මන් අතින්ම අරන්තියා ගත්තා..හොඳ වැඩේ මටත්"


කියලා..


මන් හිනා වෙලා නිකන් හිටියා..
ආයි නම් ජීවිතේට මේ මනුස්සයා තමන්ගෙ සීට් එක මනුස්සකමටවත් තව කෙනෙකුට නොදේවී කියලයි මට නම් හිතුනෙ.. එහෙම හිතුවට වැරැද්දකුත් නෑ..
---------------------------------------------------------------



අපේම සහෘද කැලකගේ හෘදයාංගම ප්‍රයත්නයක් වෙන බ්ලොග් සම්මාන උළෙලට යන්න ..ගිහින් ඔබේ බ්ලොගයක් ඇතුලත් කරන්න..


අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk.


බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio.


බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/.

Friday, July 6, 2012

නිශාචර ඡායාරූප සහ යථාර්තය ..ආච්චිගෙ රෙද්ද..

මේකෙ පළමු වෙනි කොටස මෙතනින්...

තුන් රෝද රියේ අඳුරු පසු  පස අසුනෙන් හනි හනික බැස ගත් දෙදෙනා සමඟම තුන් රෝද රිය පසු කරමින් අප ඉදිරියේම බ්‍රාස් යන හඬින් නැවැත්වූ රිය දුටු විගස මා වික්ශිප්ත වනවාත් සමඟම මාගේ අත අල්ලා  ගෙන සිටි නන්නාඳුනන තරුණිය තවත් මා තුරුලට ආවේ මන්දැයි ඒ වෙලාවෙ නොදත්තෙමි..ත්‍රී වීල් රථයෙන් බැස ගත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකි. මා අසල නැවැත්වූයේ පොලිස් ජිප් රථයකි.


 මා කිසිම වරදක් නොකලා වූවත්.මහ රෑ දහය හමාරට පමණ අඳුරු මාර ගසක අඳුරේ සිට ත්‍රීවීල් රථයකට අත පාන තරුණ ළඳක් හා මැදිවියේ අයකු පිළිබඳව පොලීසිය කුමක් අදහා ගන්නවාදැයි තේරුම් යනවාත් සමඟයි මා ගත සීතල වූයේ...


නැවැත්වූ ජිප් රථයෙන්ද පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක් හනිකට බැස ගත්තේය.


"හහ් උඹට කී සැරයක් කිව්වද ඔය බිස්නස් කිරිල්ල නවත්තන්න කියලා"


එසේ ගුගුලේ එක පොලිස් නිළධාරියෙකි. මා තුශ්නිම්භූතව ඈ දෙස බැලුවෙමි. ඈගෙන් කිසිම හැඟීමක් පල නොවිනි.


"අනේ සර් මේ අයියා තමයි"


"වහපන් කට..මේ සැරේ නම් උසාවි දමලා යනවා අවුරුදු හතරකට පහකට.."


"අනේ සර් මන් මේ ගෙදර යනකොට මේ අයියා කතා කලේ.."


එක් පොලිස් නිළධාරියකු මා දෙස පිළිකුලෙන් බලන්නට වූයේ...


"පොඩ්ඩක් ඉන්ඩ රාළහාමි මන් මෙතනට එනකොට මේ ළමයා පිළියන්දලට යන්ඩ හිටියා අර ගාමන්ට් එක ඇරිලා එනවා කීවා..මට කීවා රෑ නිසා බයයි..ත්‍රීවීල් එකක් නවත්තලා දෙන්නයි කියලා..මන් මේ පාරෙ යන කෙනෙක් විතරයි ..මාව මේකට ගාව ගන්න එපා.."


මා එතනින් යන්නට උත්සාහ දැරීය..


"කොහෙද කොහෙද යන්නෙ?.. කොහෙ යන්නද ? මේක උසාවියෙන් කෙළවර වෙන කේස් එකක්"


අනිත් නිළධාරීන් දෙදෙනා මාගේ මඟ හරස්කර ගත්තේය..


"අපි දැක්කා දෙන්නා හිටි හැටි මාර ගහ අස්සෙ ගැරඬි වගේ වෙලිලා"


එක නිලධාරියෙක් සිනහ වෙමින් කීවෙ අන් අයත් එයට එක් වීය..


වසලා හමාරයි..මෙගා ටෙලි නාට්‍යයක මෙන් නුදුරු වර්තමානයේ සිට අනාගතය දක්වා මට සිදු වන දේ සියල්ලම මා ඉදිරියේ දිස් වන්නට වූයේ..


"ඇත්තමයි මන් කියන්නෙ මන් අහිංසකයි මෙතන..මට යන්ඩ දෙන්න"


"කොහෙ යන්ඩද ? කොහෙද තමුසෙ වැඩ කරන්නෙ?"


"මන් වැඩ කරන්නෙ ක්ලීනින් සර්විස් එකක..එතන වැඩ සුපර්වයිසර් ජොබ් එක කරන්නෙ"


මා ඇත්තම කීවේ කුමන හෝ බොරුවක් කීවොත් එය වැසීමට තවත් බොරු රාශියක් කීමට සිදු වන නිසාය.


"මේ මනුස්සයා අහිංසකයෙක් අපි මිනිහව යවමුද අයිපී?"


තරුණ නිළධාරියා තම වැඩිමහල්ලාගෙන ඇසීය..
මටත් යම් තරමක සැනසුම් සුසුමක් හෙලිනි.


"යවමු මේ තමුසෙ මොකද්ද ඉස්සෙල්ලා කීවෙ..මේ මිනිහා තමුසෙව අල්ලා ගන්න හැදුවා කියලා නේද ?"


ඔහු අර තරුණියගෙන් ඇසීය..


"අනේ ඔව් සර් මන් මෙතන ගෙදර යන්නයි හිටියෙ.. ඉස්සෙල්ල සැරේ අහු උනාට පස්සෙ ආයි මේ ජොබ් එක කරන්නෙ නෑ සර්..අද කඩේ සෙනඟ නිසා රෑ උනා.. මේ සර් තමයි කීවෙ එයා ඉන්නෙ පාමංකඩ ඇනෙක්ස් එකක තනියම..එන්ඩ කියලා"


මේ ප** වේ*..ඉතුරු කරන්න වටින්නෙ නෑනෙ මේ කියන් කතාවට..මන් මනුස්සකමට උදව් කරන්න ගියාම මේකි දැන් මාව උගුලට ..අහු කරලා දීලා බේරෙන්නයි යන්නෙ..


නැවතත් මා දෙස හැරුනු පොලිස් නිලදරුවා..


"ඔය පේන්නෙ අහින්සකයගෙ තරම "


"තමුසෙ කොහෙද ඉන්නෙ?"


"පාමංකඩ"


"ඇනෙක්ස් එකක තනියම?"


"ඔ ඔ ඔ ව් සර්"


"තමුසෙ බැඳලද? "


"නෑ සර් ඔව් සර්"


"ඔව් සර් නෑ සර්...සාජන් දානවා දෙන්නම ජිප් එකට පොලීසියට ගෙනිහින් දෙක දෙනකොට ඇත්තම කියවෙයි"


හැඩි දැඩි අතකින් මාගේ අත තරයේම අල්ලා ගත් විගසම මාගේ පෙර වාසනාවකට මෙන් පහුගිය දවස් කීපයේම මෙන් හාත්පස අඳුරේ ගිල්වමින් එක්වරම විදුලි බලය ඇන හිටියේය..


මේ අවස්ථාව දැක්වෙන සිත්තරයක් පාඨක සමූහයාගේ සිත සුව පිණිස ඇඳීමට මා සිතා ගත්තෙමි. එය පහත අයුරින් වේ.. වැඩි විස්තර සඳහා ප.ලි. බලන්න..






පොලිස් නිලදරුවන් සියල්ලම කුටු කුටු ගාන්නට වූයේත් මා දෙනෙත පාරෙන් එහා පැත්තේ වූ වෑන් රථය වෙත යොමු වූයේත් එක් විටමය. වෑන් රථය තුල යමක් ආලෝකයෙන් බබලමින් තිබූ අතර ඒ තුල කීප දෙනෙක්ම වීය.. 


"කවුරුවත් ළඟ සර්ච් ලයිට් එකක් නැද්ද?"


සර්ච් ලයිට් එකක් වත් නැති පොලීසියක්...???
ඒ හාම නැවත විදුලිය පැමිනියේ..


"හා දමා ගමු දෙන්නවම ජීප් එකට සාජන්"


"පොඩ්ඩක් ඉන්න රාළහාමිලාගේ අයිඩෙන්ටී කාර්ඩ් පෙන්නන්ඩ මට පොඩ්ඩක්"


"මාව ඇරෙස්ට් කරන්න ඉස්සෙල්ලා ඇයි මාව ඇරෙස්ට් කරන්නෙ කියලා අහන්න මට අයිතියක් තියෙනවා..මන් මෙතනින් අඩියක් හෙල්ලෙන්නෙ නෑ අයිඩෙන්ටි කාඩ් පෙන්නනකන්"


මා ඔවුන්ගේ අතින් මිදී අඩියක් පමණ පාර දෙසට පැමිණෙනවාත් සමඟයි මා ඔවුන්ගේ නිල ඇඳුම දෙස නෙත් යොමු කලේ. .මන්ද යත් මොනා නැතත් මේ නිළධාරීන්ගේ අංක ටික මතකයේ තබා ගත යුතු බව මගේ සිත මට මතක් කර දෙන්නට වීය..


නැවතත් මා ඇඟ සීතල වූයේ එම දර්ශණයක් සමඟයි..එක් අයකුගේවත් නිලඇඳුමේ තිබිය යුතු අංකය නැත.. මා මෙතරම් මෝඩ වූයේ කෙසේද ? මෙය මා කලයුතුව තිබූයේ මීට පෙරය. තවත් අඩියක් පසු පසට තැබූ මා ක්ශණිකව මාගේ දුරකතනය අතට ගෙන එහි වූ හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන්නට දී තිබූ තනි අංකය මත ඇඟිල්ල තබා හතිමි.


"තමුසෙලා කවුද ? තමුසෙලා පොලීසිය නෙවෙයි..මන් 119 එකෙන් ගෙන්නවනවා එකෙක් වත් ඉන්න තැන් වලින් හෙල්ලෙන්න එපා.."


මාගේ උපාය වූයේ එක් අයකු හෝ මා අල්ලා ගැනීමට ඉදිරියට ආවොත් අඩු තරමේ පාර දිගේ දුවන ගමන්ම හදිසි ඇමතුමට කතා කිරීමටය. එක් අයකුවත් සෙලවුනේවත් නැත. 


නමුත් අර තරුණිය තම හඬ අවදි කලාය. 


"හරි හරි අයියෙ අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ.. අයියා කලබල වෙන්න එපා 119 කතා කරන්නත් එපා" 


ඈ තම ආයතනික හැඳුනුම්පතක් මා වෙත දික් කලාය.මා තවත් අඩියක් පසු පසට ගොස් එය පිරික්සීයේ අනිත් සියළු දෙනා වෙත පිරික්සුම් බැල්මක් හෙළුවේය.


"ඔව් අපි මේ මීඩියා ආයතනයේ අර රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකකට තමා මේක කලේ..වෑන් එකේ කට්ටිය සේරම රෙකෝඩ් කලා"


එකවරම මගේ ඔළුවට යක්ශයා ආරූඨ වීය..


'මඟුලක් කරනවා මන් මෙතන ප්‍රෙශර් හැදිලා මැරෙන්නයි ගියේ"


ඒ හාම මට මතක් වූයේ පිටරට ටීවී ප්‍රෝග්‍රෑම් වල ඇති සමහර ප්‍රෝග්‍රෑම් පාරෙ යන අයව අපහසුවට පත්කරමින් කරන ඒවා රෙකෝඩ් කර විකාශය කරන අන්දමයි..


මගේ ඒ ගැන එතරම් අකමැත්තක් නැතත්..එවන් වැඩ සටහන් පිළිබඳව එතරම් ප්‍රසාදයක්ද නැත.


"හරි හරි සර් අකමැති නම් මේක අපි ටෙලිකාස්ට් කරන්නෙ නෑ"


"ටෙලිකාස්ට් නෙවෙයි මොන මඟුල කලත් කමක් නෑ..හැබැයි ඔය මාව අපහසුතාවයට ලක් කරලා ගත්ත ටික එහෙම මගේ අවසරය නැතුව දමලා තිබ්බොත් මන් නඩු යනවා"


තදින් නොවූවත් තරමක තිර හඬින් කිවූ මා ඔවුන්ගෙන් සමු ගත්තේ..එදිනට මාගේ රාත්‍රී ඡායාරූප ගැනීම නවතමිනි.


රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම හරි මොන මඟුල හරි කමක් නෑ කලාට ඒවා ඔය බටහිර නාලිකා වල පෙන්නන ඒවා ගෙඩිය පිටින්ම මෙහෙ ගෙනත් ඒකම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ සමාජයට හරියන විදියට වෙන්ස් කම් කරලා..


මේ සිද්ධියත් එක්කම මගේ හිත පතුලට කිඳා බැස්සෙ ඔය වගේ අදහසක් තමයි..හැබැයි මට හිතෙන ඒවා නිවැරදියි කියලම නම් මන් හිතන්නෙත්.. නෑ..


 ප.ලි.
ඉහත සිත්තරයේ ඇති ඇති එකම ආලෝකය එක් පොලිස් නිළධරයෙකුගේ අතේ වූ ජංගම දුරකතනයේ වූ එලියයි..මෙය මහපාරක් අසල වූ දෙයක් නිසා ඔය කහ පාටට තිබෙන්නේ ඈතින් එන වාහනයක එලියයි.
සයිබර් අවකාශයේ කොතරම් සිත්තරුන් සිටියත් මා තරම් පාඨකයන්ට හිත පිණිස මෙසේ අඳින ලද සිත්තරය පිළිබඳව වැඩි විස්තර නොදමන බව ඔබ දැක ඇතැයි සිතමි..හ්ම්ම් අපි එහෙමයි පාඨකයන්ට සලකන්නෙ..