ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, July 24, 2012

සංක්‍රාන්තිය...


හෙලූ සුසුමේ අවසන් වා රොද දෙතොල් අතරින් නික්ම යත්ම ඊළඟ නිහඬ , නිසංසල නිමේශය තුල මාගේ ආත්මය විශ්වයේම වූ සිතුවිලි හා සංසක්තව යමක්... නිර්වචනය කල නොහැකි යමක් සොයා ඇදෙන්නට විය. ...
නැවතත් ඉතා සියුම් වා රොදක් නාසයේ අග ගැටෙන්නට වූයේ  කිසිම ආයාසයකින් තොරව එය නාස් පුඩු දිගේ ශ්වාසනාලයටත් එයින් පෙනහළු ගර්භයටත් සෙමින් සෙමින් ඇතුළු වූයේ ..සිතින් මඬින්නට සූදානම් වූ සිරුර තුල ගොනුවන්නට තැතනූ අපහසුතාවය යලිත් සමනය කරමිනි. 
අඩ සිය වසකටත් වැඩියෙන් සෑම තත්පරයේම අනායාසයකින් කලේ මෙයම නොවේද ? 




සෙමින් සෙමින් වාතය බිඳින් බිඳ නාස් තුඩු සිප ගනිමින් ශ්වාස නාලය ඔස්සේ පෙනහළු තුලට රිංගීම කෙරෙහි පිහිටුවා ගත් සිත වීදුරු බඳුනක් කොන්ක්‍රීට් පොළවක් මතුපිටට වැටී සිය ගණනක් වූ කෑලි වලට බිඳී යන්නාක් මෙන් කුඩු වී දසත විසිරී ගියේ..


"ඔව් ගෙදර තියෙන බඩු මුට්ටු, පිඟන්, වීදුරු පොළවේ ගැහුවහම මේ ප්‍රශ්ණ විසඳෙනවනම් මාත් එන්නම් ඉතුරු ටික පොළවේ ගහලා පොඩි කරන්න "



"පිඟන් නෙවෙයි බිඳින්න ඕනි මෙතන" 

"මොකද්ද හැබෑටම ඔහෙට වෙලා තියෙන්නෙ මෙතන?"


"ඇයි බබෙක් වගේ කතා කරන්නෙ ? ඔහේ කරන දේවල් නිසානෙ 
මටයි දුවටයි මෙහෙම පාරෙවත් බැහැලා යන්න බැරි වෙලා තියෙන්නෙ..දීග තල දෙන්න දුවෙක් ඉන්න තාත්තෙක් කරන වැඩද ඕවා ? "

"මන් කරන වැඩ නෙවෙයි ඔහේගෙ මනස්ගාතනෙ..මොකටද මගේ  ඔෆිස් එකේ ගෑනුන්ට කියන්න ගියේ මන් ඔහේට සලකන්නෙ නෑ කියලා"


"සලකන්නෙ නැති නිසා තමයි"


"සලකන්නෙ නෑ කියන්නෙ මොකද්ද කියලා මන් දන්නවා..ඔහේ වයසට යනකොට ඕනි  ඒවා විතරක් ගැන හෝප්ස් තියා ගන්නවකො"


"හෝප්ස් .. මන් කියන්නෙ නෑ වයසටද තමුසෙ අර ඔෆිස් එකේ දුවගෙ වයසෙ කෙල්ලො එක්ක නාඩගම් නටන්නෙ? "


මෙවන් අමිහිරි සාකච්ඡා වලින් ගහන උදෑසනවල්, කීයක් නම් ගෙවෙන්නට ඇත්ද ? හොඩගැහෙන මානසික පීඩනය හමුවේ වෙනදා නොතිබූ කායික වේදනාවන් හා රෝග ඉස්මතු වීම පුදුමයට කාරනයක් නොවේ.ජීවන ගමන් මගේ විසි දෙවන වියේ විවා පත් වී වසර 30ක් යනවිටත් විවාපත්වූ මුල්කාලයේ මෙන් යමෙක් යමක් බලාපොරොත්තුවීම කොතරම් අසාධාරනදැයි සිතුනත් එය බිරිඳට නොවැටහෙන්නේ මන්ද යන්න කෙතරම් කාලයක් එකට විසූවත් වටහා ගත නොහැක. 


"ඒ කාලෙ සතියකට හතර පස් සැරයක්වත් වත් අපි සතුටින් හිටියා .. දැන් වෙන ගෑණු ඔයාගෙ ජීවිතේට ලං වෙලා ඒකයි මෙහෙම"


මා තවදුරටත් ආයාසයකින් තොරවම මා අවට ඇති වාතය සෙමින් සෙමින් නාස් පුඩු ඔස්සේ පෙනහළු තුලට එකතු වන ආකාරය කෙරෙහි නැවතත් සිත යොමු කරන්නට වූයේ..සෙමින් දෑව විවර වත්ම දෑසට යොමු වුයේ නාසය අග වූ කළු පැහැ ගැන්වූ කැළලයි..නැවතත් සෙමින් දෑස දැනෙන නොදැනෙනේ ගානට පියා ගතිමි.


"උඹේ වැරැද්දෙන් නෙ හම්බ වෙන්ඩ හිටි ළමයත් 
බඩේදිම  නැති උනේ..මන් එපා කියද්දි ගිහින් කොර ගත්තෙ.."

නොපරදින විවාදයක ඉසුඹුවකදී කෝපාවිශ්ඨ වූ මාගේ සිත ඇද ගත්තේ අළුයට වූ ගිණි පුපුරක් මෙන් සැඟවී තිබූ ඒ කාලයේදී කිසිදිනක මතු කොට සිත  නොරිදවම්හයි මටම සපථ කොට තිබූ කාරණයකි. මදක් විපිලිසර වූ ඈ කොටි දෙනක් මෙන් අත වූ රූපලාවන්‍ය සකසනයක් මා වෙත දමා ගැසූවේ මාගේ නහය මත මේ කැළල ඉතිරි කර තබමිනි. මේ සිද්ධියත් හාම මෙතෙක් කල් යල් බලමින් සිටි අවසන් තීරණයට මා එළඹුනෙමි.


 "මිස්ටර්  අනිත් මිනිස්සු මේ කොළඹට එන්න පොර කනවා ඔයා දැන් කොළඹ ඉඳන් අනුරාධපුරේට යන්න දඟලනවා..මන් දන්නවා මේ ගෙදර ප්‍රශ්නෙ නිසා නේද ?"


"මිස්ටර් රත්නායක ඔය ට්‍රාන්ස්ෆර් එක හදලා දෙන්න.. දැන් එම්ඩීත් ඕකේ කරලනෙ තියෙන්නෙ"


" නෑ ඉතින් මන් කීවෙ ආයි මාස 2-3කින් දඟලන්න එපා කොළඹට එන්න එහෙම.. ඔය මෙහෙ ඉන්න තමන්ගෙ හිත ගත්ත අයව බලන්න කරන්න.. ඒකයි මන් කීවෙ"


"මිස්ටර් රත්නායක මේ මගේ පුදගලික දේවල් මන් බලා ගන්නම්.. ඔය ගොල්ලො අළුතින් මෙතනට ආව නිසා දන්නෙ නෑ. මන් අවුරුදු 20ක්ම කැන්ඩි හිටියෙ.. මෙහෙට ආවෙ ඉල්ලලා නෙවෙයි. බලන්ඩ මගේ පර්සනල් ෆයිල් දන්නෙ නැත්නම්. මන් මෙතන අවුරුදු 12ක් වැඩ කලෙත් මේ වෙනකම් කිසිම ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලලත් නෑ.. කම්පැනි එකෙන් යන්ඩ කියලත් නෑ. HR මැනේජර් විදියට ඔය දේ කරන්න බැරි නම් කියන්න මන් එම්ඩී ට කතා කරන්නම්"


දින කීපයකින් අනුමත වූ සේවා මාරුව ගැන කිසිවක්ම නිවස තුල සාකච්ඡා නොවූ අතර.. මමද එය ඕනෑකමින්ම මඟ හැරියෙමි. 


"සර් මන් නිසාද දැන් ඔෆිස් එකෙන් ට්‍රාන්ස්ෆර් ඒක් අර ගත්තෙ?"


නිමලා ඇඬුම්බර හඬින් මා අමතයි.


"සර් කවුරු මොනා කීවත් මට සර් තාත්තා කෙනෙක් වගෙයි"


"ළමයො කවුරු මොනා කීවත් හිතුවත් මටත් නිමලාව මගේම දුවෙක් වගෙයි. ඒක අපි දෙන්නවම දන්නවනෙ. ඒ නිසා දුක් වෙන්න එපා මන් යන එක ගැන..මන් දිගටම මල්ලිට ඉගෙන ගන්න ඕනි කරන සල්ලි එවන්නම්"


"හිතන්න එපා මන් දන්නෙ නෑ කියලා අර නිමලාද පත්තුවෙලාද කියන වේසි එක්ක නටන නැටුම්..තමුසෙගෙ දුවගෙ වයසෙ ඕයි ඒ ළමයා..තමුසෙ කොහොම කරනවද මන්දා ඔය ජරා වැඩේ. නිකන්වත් දුවව මතක් වෙන්නෙ නැද්ද වේසි එක්ක බුදියන වෙලාවට ?"


"ඕක උස්සපන් බන් උඹට ඔච්චර කැමති එකේ . ගෙස්ට් හවුස් එකකට නැත්නම් අපේ ගෙදර එක්කන් වරෙන් "


"තාත්තාට නම් ලැජ්ජාවක් කියලා ඒකක් නෑ අම්මා කීවා සේරම විස්තරේ.."


අපේම දරුවකු නොවූමුත් නීතියෙන් අපිටම සින්න වූ දියණිය මහත් පිළිකුලින් බලන්නට වීය.


නිමලා දුප්පත් පවුලක වූවත් ප්‍රියමනාප තරුණියක් වූයේ සැබවින්ම දැනට සිටින දියණියට වඩා මෙවන් දියණියක් වී නම් මා කෙතරම් වාසනාවන්තදැයි මා දහස් වර සිතුවේ පැතුවේ නැද්ද ? තම මලනුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ම ඈ තම රැකියාව කලේ පැමිණි විවා යෝජනා කීපයකම ඉවත දමමිනි..


"මල්ලි කැම්පස් යවලා එලියට එනකම් මන් මේක කරනවා සර්.. ඒක තමයි අම්මගෙ තාත්තගෙ හීනෙ"


"නිමලා බඳින්නෙ නැත්තෙ මිස්ටර් ලියන්නගෙන් හම්බ වෙන සැප නිසානෙ"


පාටියකදි තව මොහොතකින් මගේ සගයාගේ මුහුණ කට සමතලා වන්නට ඉඩ තිබූයේ ඊළඟ ක්ශනයේදී අනිත් සගයන් මැදිහත් වූ නිසාය.මෙම සැකයේ පිළිලය කාර්යාලයේ සිට නිවෙස වෙතද පියමන් කලේ වාර ගනනින් අඩුවූ අඹුසැමි සබඳතාවයේ අඩුව පිරවන්නට ඈට මහත් ඉවහල් වූ කාරණයක් කරමිනි. 
සියළුම ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා  ලිංගික සම්බන්ධතාවයන් තුලින්ම දැකීමට ප්‍රිය කල බහුතරයක් සිටි ලෝකයක මටත් නිමලාටත් කිසිවකුට වචනයෙන් විශ්තර කල නොහැකි වූ අපූර්ව පිතෘ-දුහිතෘ සම්බන්ධතාවයක් තිබුනි.තම පියාගෙන් නොලබන ඌණ ආදරණීය ගෞරවයත් මාගේ දුවණියගෙන් ලැබෙන ඌණ ආදරයත් අප දෙදෙනා හුවමාරු කර ගැනීම අසාධාරනයක්ද කියා විමසීමට කිසිවකුත් නොසිටීය.. එය ලෝකයාට පැවසීම නිමා කර දැමූයේ එය අසා කට කොනකට සිනහවක් ගොඩ නගා ගන්නා ලෝකයා නිසම නොවේද ?

"දුව මන් හෙට.."

කාට නොකීවත් පසු දින මේ සියල්ල හැරදා අනුරාධපුරයට යන බව කියන්නට මා දුවගේ කාමරයට ගියේ මුත් ඈ සිටියේ තම අයිෆෝනය කනේ රුවා ගෙනය..මා කී කිසිවක් ඈට නොඇසෙන්නට ඇත. 


"තාත්තා මගේ බිල් ගෙවන්න එපා දැන් මන් හම්බ කරනවනෙ. ඒවයින් මන් ඒවා කර ගන්නම්. " 


ගැරඬියකු දුටු කලක මෙන් මා අතවූ ඈගේ සියළුම දුරකතන බිල්පත් උදුරා ගත් සති කිහිපයකට පෙර වූ ඒ අවසන් සාකච්ඡාව මා  මනසේ ඇදෙන්නට වීය.
තරමක වේදනාවකින් වූවද මා කාමරයෙන් පිටතට පැමිණියෙමි..දෑස් කෙවෙණි තුලට කඳුලක් නොපිරුනා යැයි කියා ලෝකයා නොමඟ යැවීමට මට නොහැකි වන්නේ මගේ ලෙයින් නොහැදුනත් බිළිඳියක්ව සිටි ඈ නිසා මගේ ලෝකය කොතරම් නම් පිරී තිබිනිදැයි කිසිදා අමතක කල නොහැකි බැවිනි.. 

"කොහෙද යන්නෙ?"


පසු දින මා අපගේ වාහනයේ යතුර මේසය මත දමා ගෙන්වා ගත් කුලී රිය වෙත මාගේ පොත් පත් සහ ඇඳුම් බෑගයන් අඩුක් කරන විට බිරිඳ නොරිස්සුමෙන් ඇසුවාය. මා මේ සියල්ල බෑග් වලට අහුරන කලද කිසිවක් නොවිමසූ ඈ.. මා නිහඬවම සිටියෙමි. 


"ඔව් 
පලයන්, දැන් ඉතින් අරකිගෙ තුරුලටම යන්ඩ බැරියැ..මෙහෙමත් කුපාඩි වලත්ත නාකි ඉන්නවනෙ.. මුන් නම් පිරිමි සංහතියටම ලැජ්ජාවක්" 

කුලී රථ රියදුරාද විමසිල්ලෙන් මා දෙස බලන්නෙ.මා මෙම නිවසට සම්බන්ධවිය හැකි අවසාන පුරුක වූ ම අතවූ ජංගම දුරකතනයද සැටිය මත තැබූවෙමි. ඊට පෙර දිනයක එම සම්බන්ධතාවය මා විසන්ධි කලෙමි.


සෙමින් සෙමින් පිරුණු පෙනහළු වල වාතයේ ඔක්සිජන් සියල්ලම පෙරී රුධිරය හා එක වෙද්දී ශරීරය පුරා තිබූ රුධිරයේ අඩංගු ශරීරයෙන් ඉවත් විය යුතු කාබන් ඩයොක්සයිඩ් වාතය සෙමින් සෙමින් නැවතත් පෙනහළු තුලට කාන්දු වෙමින් තිබුනි..


වැහැරී යන සිරුරක ක්ශය වී යන ආශාවන් පිළිබඳ සිත තුල වන මනස්තාපී හැඟීම් සමුදාය සන්තර්පණය කිරීමට ආරම්මනයක් සොයමින් සිටින කලෙක දෑස ගැටෙන ගැටෙන මානයේ වූ බෞද්ධාගමික සංකේතයන්ගෙන් පිරි මේ මහා පින් බිම තුල සැරිසරන්නෙකු වූ මා හට මෙම භාවනා අරන ගෙන දුන්නේ ආත්මීය සැනසුමකි. කිසියම් කාලයක කිසියම් හුරු පුරුදු බවක් ගෙනදුන් නිහඬ , නිසංසල වන අරන..කිසිම මනුස්සයකුගේ කටහඬක් දෙසවන නොගැටෙන සන්සුන් හුදකලාව.. බැලූ බැලූ අත දෑස් නිවා සනහන සිහින් සුලන් රැල් සමඟ පොර බදන තුරු ලතා සමූහය..අතීතා කාමයෙන් සිත දවන සැම විටකම මා මනස් දහනේ විකසිත වූයේ ගිණිගත් සිරුර මත හලන ලද සිසිල් සඳුන් දියරයක් මෙනි..


"හැම තැනම දුවන හිත අල්ලලා බැඳලා හික්මවා ගන්නවට වඩා ලේසියි..මද කිපිච්ච වනය පුරා වියරුවෙන් දුව ඇවිදින වල් අලියෙක් අල්ලලා බැඳලා හීලෑ කර ගන්න එක"


භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වූ මුල් සතියේම යතිවරයානන් කීවේ කුමක්ද යන්න පිළිබඳ යම් හැඟීමක් හිතට දැනෙන්නේ දැන්ය..පහුගිය මාසයේ මා කොළඹ ගොස් බෞද්ධ මන්දිරයෙන් මිලදී ගත් පොත් ගොන්නෙන් පොත් කීපයක්ම වැරදීමෙන් මෙන් නිවසේ දමා ආයෙමි.. ඊයේ සවස නැවත මෙහි එන්නට වූ මොහොතේ මා එම පොත් කීපයම බෑගය තුල අසුරා ගැනීමට යද්දී..


"ඔය පොත් දෙක තුන තියලා යන්ඩ මන් කියවන්ඩ ගත්තා විතරයි"


නිවසේ වූ විය හියදම් පිළිබඳව පමණක් සුළු කතා බහක් හැර වෙන කිසිවක් නොබිනූ..මාද කිසිම වදනක් නොදෙඩූ ඇය තම හඬ අවදි කලාය.


"මෙතන තව පොත් 2ක් තිබ්බා වගේ මතකයි.. කෝ ඒ ටික?"


"දූ කියවන්නෙ අර..කාමරේ තිබ්බා ගෙනත් දෙන්නද ?"


"එපා ලබන මාසෙ ආවහම ගෙනියන්නම්."

ශරීරය තුලම තිබූ සියළුම කාබන් ඩයොක්සයිඩ්  පිරි පෙනහැල්ල තුල වූ වාතය ශ්වාසනාලය දිගේ සෙමින් සෙමින්  
ඇදෙන්නට වූයේත් මා නොදැනුවත්වම දෙතොල් මදක් විවර වී උඩ තල්ලේ හැපෙමින් දිව අගින් දෙතොල් අතරින් සෙමින් සෙමින් වා තලය හා මුසු වන්නට විය...

මා සෙමින් දෑස් හැර බලන්නට වූයේ..අඩවන් වූ දෙනෙතට ලක් වූයේ මා හිඳසිටි ගල් පඩිය ඉදිරියේ වූ බෝ පැලයේ රත් පැහැ දළු මදනල හා රඟන අපූරුවයි.

මේ සුන්දර ලෝකය මීට පෙර කොහි වීද ?



80 comments:

  1. කවුරු හරි යම් කෙනෙක් ගැන තරහකින් යමක් කීවට පස්සේ ඒ දේ කවදාවත්ම ආපහු ඇදලා ගන්ට බෑ. ඒ හන්දා යමක් කීමට කලින් දෙපාරක් හිතලා බලන එක ගොඩක් වැදගත්.

    කතාව හරිම සංවේදී එකක්. අද සමාජය දිහා බලනකොට අර බිරිඳට දොස් කියන්ටත් බෑ. ඒත් තමාගේ ස්වාමියාව සැක කරන එකෙන් පේන්නේ එයාට ස්වාමියා ගැන හොඳ අවබෝධයක් තිබිලා නැති බවයි. බිරිඳට නෙමේ යාලුවන්ට පවා පෙනිලා තියෙන්නේ එහෙමනේ. ගෑනු පිරිමි යාලුකම් කවදාවත් තියෙන්ට බෑ කියලා කවුදෝ කීවලු. ඒක මේ කතාවෙන් ඔප්පු වෙනවා.

    අර උඩම කොටස ලියලා තියනවා හරිම ලස්සනයි. ඒ භාෂාව මට නම් ටිකක් තේරුනෙත් නෑ.:)

    ReplyDelete
    Replies
    1. //අද සමාජය දිහා බලනකොට අර බිරිඳට දොස් කියන්ටත් බෑ//
      ඒ උනත් ඕකෙ අනිත්පැත්ත උනානං පොඩ්ඩිල පිරිමිය උලතියනව නේද? :)

      Delete
    2. රාජ්: අනවශ්‍ය දේවල් නොහිතා හිටපන් :)

      Delete
    3. සිරාවටම රාජ් අයියේ කටේ සීනි බෝලයක් දාන්න වටිනවා ඒ කතාවට.....

      Delete
    4. පොඩ්ඩි එතන අවබෝධය නැති එකටත් වඩා තියෙන්නෙ වෙනස් වෙන එක අවබෝධ කර ගන්නෙ නැති එක නේද ? අවුරුදු 30කට පස්සෙ කොයි තරම් දේවල් වෙනස් වෙන්න පුළුවන්ද ? ආන්න ඒක තේරුම් නොගන්න බිරිඳක් ඈ..
      රාජ් සහ සාතන් - ඔන්න පොඩ්ඩිව තරහ ගස්සන්නයි යන්නෙ..! :-D

      Delete
  2. තමන්ව දිරවන්නේ නැති අයගෙන් ටික කාලෙකට ඈත් වෙලා ඉන්න ඒකත් හොඳ විසඳුමක් තමා තමන්ගේ අගය පෙන්නන්න. :D

    මේ ලිවිල්ලත් බ්ලොගෙන් එලියට යන්න ඕනි දෙයක්...

    ReplyDelete
    Replies
    1. හොඳම හොඳ පිළිතුරක් මොකද එතකොට දෙන්නටම තමන්ගෙ රාමුවෙන් එළියට එහා ගිහින් හිතන්න චාන්ස් එකක් එනවයි කියලයි මටත් හිතෙන්නෙ..

      Delete
  3. කතාව බොහොම හොඳයි.. අන්තිම ටික තේරුනේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ලියන්නා භාවනා මධ්‍යස්ථානයකට ගිහින් භාවනා කරන්න පුරුදු වෙනවා..ඒකෙ නුපුහුණු සිතකට ආනාපානාසති භාවනාවෙ එක හුස්මක් ඇතුලෙ මතකයට එන තමන්ගෙ ජීවිතේ තමයි මේ..

      Delete
  4. අන්න කාලෙකින් ගැම්මට කතාවක් ලියල තියනව.
    තමන්ට අවනත කරගන්න බැරිවුනාම "බඩුව" කියල ගෑණුක්ව හඳුන්වන සමාජයක්නෙ මේක. මේ වගේ අතිදැකීමක් මටත් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්..සාමාන්‍ය ජීවිත අත්දැකීමක් මේක ලියන්න උත්සාහ කලා..

      Delete
  5. සැකය කියන එක නම්... කතා කරල වැඩක් නෑ වෙනී අයියා... එලටම ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සැකයේ මුල උන හේතුව හොයන් ගිහින් ඒකටම පිළියම් කරනවා නම්..ගොඩක් ප්‍රශ්නවලට උත්තර එතන තියෙනවා මල්ලි ..එහෙමයි මට හිතෙන්නෙ..

      Delete
  6. අෆ්ෆා ... මාව කරකවල අතෑරියා වගේ. මට නම් තාම ඔය පවුල් ප්‍රශ්න ගැන එච්චර වැටහීමක් නෑ. ඒක මේ වගේ නම් ඕනත් නෑ නෑ වගේ. :)

    ජීවිතේ ඔහොම තමයි. ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ටම නේ. හොඳම දේ ඒවයින් ඈත් වෙල නිශ්ශබ්දව ඉන්න එක. කාලය හැම ප්‍රශ්නයකටම වගේ විසඳුම් දෙනව. ඉක්මන් වෙල කරන වැඩවලින් වෙන්නෙ කවදාවත් සමාව දෙන්න බැරි බරපතල වැරදි සිද්ධවෙන එක.

    ReplyDelete
    Replies
    1. පවුල් ප්‍රශ්ණ වල අත්දැකීම් නැතත් ඔබ පොදුවේ ඒ ගැන හිතන් ඉන්න විදිය නම් සුපිරි..කාලය ප්‍රශ්ණ වලට හොඳම උත්තර දෙනවා...

      Delete
  7. සැකය ඇති වෙන්නේ අවබෝධය නැති තැන කියලා කතාවක් තියෙනවනේ. මෙතන තියෙන්නෙත් commiunication පශ්නයක් කියලයි මට හිතෙන්නේ. සැමියට තමන්ගෙ බිරිදට අවබෝධ කරලා දෙන්න පුළුවන් කමක් තිබුනද නැද්ද කියලා මේ කතාව කියවද්දි නම් කියන්න බෑ. හැබැයි මට තේරෙන විදියට නම් ඔහු කිසිම උත්සාහයක් ගන්නේ නෑ තමන්ගේ බිරිදගේ තියෙන වැරදි අවබෝධය ඇයත් එකක් කතා කරලා නැති කරන්න. එතකොට සැකය වැඩිවෙන එක තමයි වෙන්නේ.

    කතා කරලා විසද ගන්න පුළුවන් පශ්න වලට පැනලා යන එක විසදුමක් නෙවෙයි. ගෑනුන්ටත් පිරිමින්ටත් දෙගොල්ලන්ට පොදු දෙයක් ඒක. තමන් හරි බව ඇත්ත. ඒක තමන්ගේ සැමියට හරි බිරිදට හරි කියලා ඇයගේ හෝ ඔහුගේ කැමැත්ත මත කරන දෙයක් කරන්න පුළුවන් නම් එතන පශ්න හරි අඩුයි.

    කතාව ලියලා තියෙන භාෂාව නම් හරිම හිතට වදින විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. agreed.miscommunication

      Delete
    2. හිරු අවුරුදු 30ක් එකට ජීවත් වෙනකොට හැම එකම ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනිද ? දෙන්නගේ රුචි අරුචි කම් සහ ඒවායේ වෙනස් වීම ගැන දෙන්නාටම අවබෝධයක් තිබිය යුතුයි. තමන්ගේ සැමියාගේ වයස් ගත වීමත් එක්ක වෙන ලිංගික හැකියාවේ අඩුව තේරුම් ගන්නෙ නැතුව වෙන වෙන අය එක්ක ආශ්‍රය කරන නිසයි එහෙම වෙන්නෙ කියලා ප්‍රශ්ණ ඇති කරන එක සාධාරනීකරනය කරන්න මට නම් බෑ..මෙන්න මේ හරය තමයි මට දෙන්න ඕනි උනේ..ඒක කෙලින්ම නොකියා පාඨකයාට අවබෝධ කරවන්නයි ඕනි උනේ.. උත්සාහය එතරම්ම සාර්ථක නෑ..කනගාටුයි ..

      Delete
  8. විශ්වාසය නැතිව ගියාම සැකය උපදිනවා!

    ReplyDelete
    Replies
    1. ඇයි විශ්වාසය නැති උනේ ? ඇයි ප්‍රශ්ණයේ මුලටම නොයන්නෙ නේද ?

      Delete
  9. ඇත්තෙන්ම හොඳ පැතිකඩක් විවරණය කරලතියෙනවා. මේ හැසිරීම සැකය නිසාම නෙවෙයි.. පදනම වෙන්නේ ඊර්ෂ්‍යාවයි.. තමුන්ට තනිවම ලැබිය යුතු යයි සිතන සැලකිල්ල බෙදී යාමට එරෙහිවයි.. පොදු ගැහැණු ගතියක්.. අඩු වැඩි වශයෙන් බහුතරයක් කාන්තාවන් වෙත පවතින..

    ReplyDelete
    Replies
    1. \\අඩු වැඩි වශයෙන් ....\\
      හිස නමා පිලි ගනිමි ඔබේ අදහස...

      Delete
  10. අතහැරීමෙන් ඇති වන සතුට ලබන්න හැකි වෙන කුමකින්ද...?

    කාලෙකින් වෙනියා දැක්කා...

    ReplyDelete
    Replies
    1. එහෙම කරපු කෙනෙකුට හැර ... එය විහිළුවක් විය හැකියි මල්ලි..

      Delete
  11. සිරාවටම අපි මේ නටන්නේ පිස්සුවක් තමා...!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ජීවිතය..

      Delete
  12. ඕනිම ද්විපාර්ශවීය ප්‍රශ්ණයක් සමතයකට පත් වෙන්න නම් එක පාර්ශවයක් අනිවාර්යෙන්ම නිහඩවීමක් සිදුවිය යුතුයි.. මොකද දෙපැත්තම කැත්තට පොල්ල වගේ වෙන්න ගත්තොත් වැඩේ තවත් අවුල් වෙන එකයි වෙන්නේ..

    විශේෂයෙන් අඹුසැමියන් විදිහට ඉවසීම වගේම අනෙකාට ඇහුම්කන්දීම හා විශ්වාසය කියන දේවල් ගැන හොද අවධානයකින් ඉන්න ඕනි.. එහෙම හිටියොත් ලෝකේ මොනව කිව්වත් දෙපාර්ශවයේ සමගිය වගේම ආදරෙත් හැමදාම තියේවි..
    (දෙපැත්තම සුදු නම් පමණි..)

    ReplyDelete
    Replies
    1. ඔබ මට කියන්න දෙයක් ඉතිරි කරලාම නෑ..මාත් ඒක 100% පිලි ගන්නවා..

      Delete
  13. කණ්නාඩි මාරු කල විට දකින ලෝකයේ අනිත් පැත්ත..
    අපූරු වියමනක් වෙනී..

    ReplyDelete
    Replies
    1. ඒ කණ්නාඩියට මන් කැමතී..

      Delete
  14. Replies
    1. ස්තූතියි මල්ලි..

      Delete
  15. මේක පට්ටයි ලියන්නෝ,

    හිතට දැනෙන්න ලියලා තියනවා

    ReplyDelete
  16. "තාත්තා මගේ බිල් ගෙවන්න එපා දැන් මන් හම්බ කරනවනෙ. ඒවයින් මන් ඒවා කර ගන්නම්. "

    ගැරඬියකු දුටු කලක මෙන් මා අතවූ ඈගේ සියළුම දුරකතන බිල්පත් උදුරා ගත් සති කිහිපයකට පෙර වූ ඒ අවසන් සාකච්ඡාව මා මනසේ ඇදෙන්නට වීය.
    -----------------

    ඒ කියන්නෙ ඈටත්(නිමලා)ඔහුව එපාවීමක්ද? ඇත්තෙන්ම විය යුතුදෙය උනායයි මගේ හැඟීමයි.. තවදුරටත් ලියන්නා මේ කටුක අමිහිරි පරිසරයේ රැදුනිනම් එක්කෝ ඔහු, නැතහොත් නිමලා, එත් නැතහොත් බිරිඳ, දුව කාගේ හෝ ජීවිතයක් පවා නැසෙන්නට ඉඩ තිබුනායයි මට හැඟෙනවා.. එසේ වූවා නම් ඔය අනෙක් ජීවිත ද විනාශ වූවා හා සමානයි. එක් අතකට ඔය ආරංචි පතුරවන්නන් මුවින් හෝ වෙන මගකින් නිමලාගේ මලණුවන්ගේ සවනට ඒ ආරංචිය නොයාවියැයි සිතිය නොහැක.. ඉගෙනීම, විශ්ව විද්‍යාල ගමන හීනයක් වී ලියන්නාගේ දිවි තොර කිරීමක් උව සිදුවන්නට නොතිබුනා යයි කාට කිව හැකිද?

    අපේ ජීවිතවල සමහර ප්‍රශ්න හමුවේ විය යුතුම පසුබෑම විය යුතු අයුරින්ම වීඇති ලෙසකි....

    ReplyDelete
    Replies
    1. මෙතන නිමලා තමන්ගේ කාර්‍යාලයේ වැඩ කරන තරුණියක්..ඔවුන්ගේ දුව කියන්නෙ කුඩා කාලයේදීම අරන් හදා ගත් ළමෙක්..නමුත් ඒ බව දන්නෙ මේ දෙමව්පියන් විතරයි..නිමලා තමන්ගේ දුවක් වූවානම් හොඳයි ලෙස ඔහු සලකන අතර නිමලා ද තම පියාටත් වඩා ආදරය කරන්නෙ තම සේවාස්ථානයේ තමන්ගෙ මෙම ප්‍රධානියාටයි. මෙම සම්බන්ධය ලෝකයා දකින්නේ වෙනත් ආකරයකටයි. තම බිරිඳ සහ ඩුව පවා එය හරියාකාරව දැකීමට සමත් වෙන්නෙ නෑ.. මේ කොටස් පැහැදිලි නෑ තමයි කතාව ඇතුලෙ..මට ඕනි කලේ ආශ්වාසයත්, ප්‍රාශ්වාසයත් අතර ක්ශණික කාලය තුලදී මේ ප්‍රශ්ණය තම්න්ගෙ හිතට ගලා එන හැටි කියන්නයි..

      Delete
    2. //ඒ කියන්නෙ ඈටත්(නිමලා)ඔහුව එපාවීමක්ද?//

      බිල්පත් උදුරා ගත්තේ ඔහුගේ නාමික දියණියයි, අධ්‍යාත්මික දියණිය (නිමලා) නොවේ.එමෙන්ම ඇයට ඔහුව එපාවීමක් ද සිදුවී නැත.

      තනෝජාවෙනි, නැවත වතාවත් මෙය (කතාව) කියවන්නේ නම මැනැවි.

      Delete
    3. අප්පා.. සමාවෙන්න අයියා වෙනී.. ඒ බව තේරුම් ගත්තා.. ඒත් ඇත්තටම මම “දුවගේ කාමරයට“ කියන ටික දැක්කෙ නෑ.. මම වෙනම කථාවක් ගොතාගෙන...

      හැබැයි සුමිත් මහතාණෙනි ඇත්තටම මට හිතුණෙ අරහෙමයි.. මොකද සාමාන්‍යෙයන් වන්නේ එයම නිසා.. (වදින්න ගිය දේවාලේ....) නැවත කියවමි..

      Delete
    4. තනෝජා නංගි වැඩ අධික බව දන්නවා..ස්තූතියි දෙපාරක්ම කියෙව්වට..එක එක අය අර්ථකතනය කරන විදිය වෙනස්.. ඔබ දැකපු පැත්තෙත් ලොකු කතාවක් තියෙනවා..
      ස්තූතියි සුමිත්..

      Delete
  17. හැම​දේටම කෝන තියෙනවනේ... බලන කෝනේ අනුව තමා දර්ශනය වෙනස් වෙනස් වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මාළු මල්ලි ඒක එහෙමම තමයි..

      Delete
  18. සියලු ස්ත්‍රී පුරුෂ සබදතා ලිංගික සබදතා බවට ඌණනය වූ සමාජයක සංකෘතික නොවූ සොබාවික ගැහැණියකට හා සොබාවික පිරිමින්ට "සබදතා" ගැන භාව ප්‍රකාශනයක් කිරීම තේරුමක් නෑ.
    කතානායකයාගේ අවසාන තීරණය නිවැරදියි.

    හිතන්න යමක් තියෙන ලස්සන කතාංගයක්.

    ReplyDelete
    Replies
    1. සංවේදී කතාවක් සහෝ..ගොඩක් දේවල් හිතුනා..අනේ මන්ද..සැකය කියන 1 නම් හරිම නරකයි.ඒ වගේම තමයි ඇතුලත ගිනි පිටතට දෙන්නත් නරකයි...... කොහොම උනත් අපූරුවට ලියල තියනවා සහෝ..

      Delete
    2. ස්තූතියි සුමිත් ..මෙහෙම කියවන එකට සුමිත්ට ඉරිසියා කරන්නද මන්දා ? මාත් ආයිමත් කියවන්න පටන් ගන්න ඕනි..
      ඔව් හිරු ස්මපූර්ණ ඇත්ත.

      Delete
  19. සැකය.....
    ඇති යන්තම් ආයෙත් කතා ලියන්න අරගෙන.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූපා ආයි කතා ටිකක් ලියන්න ඕනි කියලා හිතුවා..

      Delete
  20. හරිම ගැඹුරු කතාවක් කියලා කියතෑකි.ඒ වගේම හැමදාමත් වගේ වෙනි අයියා අවට සමාජයේ අපි දකින කතා වෙනස්ම විදියකට ලියනවා.මට මේක කියවද්දි සෑහෙන්න දේවල් හිතට ආවා.මුලින්ම මතක් වුනේ වෙනි අයියා ලියපු අර සනීපාරක්ෂක තුවා කවර ගැන කේස් එක.තැපැල් පෙට්ටියේ අංකෙ මාරු වෙලා වෙන කේස් එක වගේ තමයි මතක....

    හැබැයි මේ කතාව අනික් කතාවලට වඩා සෑහෙන්න වෙනස්.මම හිතුවේ භාවනා කරන්න යද්දි අතරින් පතර කඩාගෙන වදින සිතුවිලි පෙල ගස්සවලා කියලා.....

    මේක කියවලා ඉවරවෙලා කල්පනා කරද්දි කාලෙකට කලින් පුංචි කුමාරිහාමි අක්කා ලියපු කතාවක් මතක් වුනා.මේ තියෙන්නේ ඒක

    එයාගේ කතාවෙත් තියෙන්නේ නමක් දිය නොහැකි සබඳතාව කියලා.වෙලාවක් ඇත්නම් එයත් කියවා බලන්න.සෑහෙන්න දුරට එකම අදහසක් වෙනස්ම කෝණ දෙකකින් වගේ තමයි...

    මේ වගේ කතා තමයි මගේ ප්‍රියතම කතා.... තව ඕනේ.ලඟදි ගැජට් එහෙම හම්බුනේ නැතෙයි??

    ReplyDelete
    Replies
    1. ඔබ හිතුව එක හරි... භාවනා කරන කොට හිතට එන දේ තමයි ලීවෙ.. එක හුස්මක් අරන් පිට කරන කාලෙ අතරෙයි වෙන්නෙ..
      ගැජට් ගැන ලියන්නත් ඕනි..

      Delete
  21. දෙන්නම වැරදියිලු.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. "ලු" ? ..ඒ උත්තරේ අපි දෙන්නම පිලි ගනිමු හෙන්රි...

      Delete
  22. ආදරේ කියන්නෙ අත්පත් කර ගැනීම නෙවෙයි කියල තේරුම් ගත්තම ගොඩක් දේවලට විසඳුම් තියෙනව කියල මට හිතෙනව වෙනී අයියෙ...

    ඉස්සර අර මං හොරෙන් ඇවිල්ල කියවල යන කාලෙ දැකපු ලියමන් පෙළක් ආයෙමත් එන්ඩ වගේ යන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් හංස කිංකිණි ..ඒත් මෙහෙම කතාවක් ලියන්න යන වෙලාව ගොඩක් වැඩී..ඒත් ලැබෙන සතුට වැඩී..

      Delete
  23. Replies
    1. තාම පොඩ්ඩොනෙ මලයා...

      Delete
  24. මේ වගේ කතා නම් කියවගෙන යනකොට කම්මැලි හිතෙන්නේ නැහැ. හොඳට ගලාගෙන යනවා. එක දිගටම බලන්න හිතුන. ජයවේවා......වාසනා වේවා.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට !

      Delete
  25. සැකයක් ගිය දුර

    ReplyDelete
    Replies
    1. ලං වෙන්න කොයිතරම් නම් දුර ගියාද ? අවසානයෙ විවෘත අවසානයෙන් එහාට හිතුවොත් මල්ලි ආයිමත් මේ පවුල එකතු වෙයි නේද ?

      Delete
  26. ඇති යාන්තං කියවන්න ලස්සන කතාවක් ලියලා..
    තැංකූ වෙනී අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ආයිමත් ලියන්න හිතන් ඉන්නවා කතා ටිකක්..

      Delete
  27. ලස්සන. සංවේදී කතාවක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට..

      Delete
  28. වෙනි අයියේ ඔන්න මට උඹ ගැන ඊරිසියා හිතුන තැනක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාලෙකට පස්සෙ සෙන්නා මටත් සතුටු කතාවක් ලිව්වෙ..

      Delete
  29. තේරුනේ නැද්ද මන්ද.. වයසක මනුස්සයා දැන් බණක් දහමක් කරනවා මිසක් ඕවට නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. අවුරුදු 30 ක් ඉඳලත් ඒ වෙනස තේරුම් අරන් නෑ මල්ලි.. ඒකයි ඒ...

      Delete
  30. නියමයි වෙනියා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම්..

      Delete
  31. වෙනී අයියා බොහොම කාලෙකින් මම මේ බ්ලොග් එකේ ආසම විදිහේ කතාවක් දාලා..

    සැකය.. ඔය ගැන නම් ඉතින්.......

    ReplyDelete
    Replies
    1. ඔව් දීනේශ් මල්ලි ආයි කතා ටිකක් ලියන්න ඕනි..

      Delete
  32. Welcome back Mr.Liyanna..
    කතාවනම් මල් හතය්. නියමෙටම ලියල තියෙනවා. අර දවසක් මාර අයියා කිව්වේ වෙනියා ගැන මිසක් ලියන්න ගැන නෙවෙයිනේ. (එහෙම නැත්නම් අහිංසක ලියන්නා වෙනියගේ පවු කරගහනවද මන්දා.)

    ReplyDelete
    Replies
    1. වෙන නම් ගම් දමලා ලියලත් ආයි එකම එක තැනක විතරක් ලියන්නාට කතාව පැටෙව්වා..

      Delete
  33. පරක්කු උනා නොවැ..කතාව උපරිමයි අයියේ.ගොඩ කාලෙකින් ලියන්නව දැක්කේ...

    ReplyDelete
    Replies
    1. එච්චර පරක්කු නෑ විමුක්ති, කියවලා රස විඳින්න !

      Delete
  34. වෙනියට මෙච්චර් හොදට ලියන්න පුළුවන් කියලා දැනගත්තේ අදනේ ?

    ReplyDelete
    Replies
    1. හොඳද නැද්ද මන්දා රොබින් ඉඳලා හිටලා මේ වගේ ඒවත් ලියනවා...

      Delete
  35. ලියන්නට ඇත්තටම උවමනාවක් තිබුනන නම් කරුණු කාරණා පහදල දීල තියෙන්නේ මේ වගේ සම්භන්ධයක් මිසක් වෙන උලව්වක් නෙමෙයි කියල තේරුම් කරල ට්‍රාන්සර් නොවී ඉන තිබුන. ඒත් බිරිඳගෙ අභූත චෝදනාව නිසා විතරක්ම නොවුනත් ලියන්නට කාලයානුරූපව කු‍ටුම්භය එපාවීමක් තිබුන කියලයි මට හිතෙන්නෙ. ලියන්න එතනින් පැනල යන්නෙ බිරිඳගේ සැකයට ඉඩදීල ඒක තවදුරටත් වර්ධ්නය වෙනන් ඉඩ ඇරල. ඒ කියන්නෙ මට උඹ එපා කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් නවම් මලයගෙ කියවීමත් අපූරුයි නොවැ..

      Delete