ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 11, 2013

නොමියෙන සිහිනය...




බස් රථයේ ඇංජිමෙන් එන දෙදරුම මුළු බසය පුරාම දිව යන්නේ අප ශරීරයද මද වෙව්ලීමකට් පත් කරවමිනි. එම වෙව්ළුම විටෙක ශරීරයට  ගෙන එන්නේ ඉමහත් ආශ්වාදයකි. නමුත් එම සිහින් දෙදරුමම වඩාත් ත්‍රිව්‍ර වන විට ඉවසා ගෙන ඉන්නට බැරි තරමේ අපහසුවක් දැනේ...

එකක් පසු කර එකක් ඇදෙන පහන් කනු සහ ගස්  දෙස කිසිම අරමුණකින් තොරව බලා හිඳි මා හට බසයේ ඉදිරියේ හිඳ ගෙන යන්නන් දෙස දෙනෙත ගැටුනේ මන්දැයි නොදනිමි. මා හිඳ සිටි අසුනට ඉදිරි අසුනේ සිටියේ මහළු වියේ අයෙකි. බසය බාගයක් පමණ මඟීන්ගෙන් පිරී තිබුනි.. ඊටත් පෙර අසුනේ වූ තරුණියගේ කේශ කලාපය සෙමින් සුළඟේ ලෙල දෙන්නේ අසල වූ කව්ළුව විවෘතව ඇති බැවිනි.

එම කේශ කලාපය...දුටු මතින්ම මා සියොළඟ හිරී වැටී ගියේය...එවන් වූ තද නිල් පැහැ...කේශ කලාපයක්...එවන් වූ රන් පැහැ ග්‍රීවයක්...මා හට ඉතා සමීප හුරු පුරුදු බවක් ගෙන දුන්නේය.. මා හිඳ සිටි තැනින් නැගිට ඇය හා සමාන්තරව අනෙක් පසේ වූ..අසුන වෙතට ගොස් හිඳ ගන්නා හාම ඈ දෙස නෙත් පුරා බැලීමි.

මා සිතද ගතද ගල් ගැසී ගියේය...ඈ නෙත් ගැටුනු මා කෙසේ අසුන මත වාඩි වූයේද යන්න පිළිබඳ මට මතක නැත..

රන්වන් පැහැ වත කමල..අඩ සඳක් වන් වූ නලල් තලය..මදක් මේරූ නා දලු වල රත ගත් දෙතොල...කර පළල් හැට්ටය තුලින් එළියට පනින්නට තතනන රන් හංසයින්...හැඳ සිටි ලා රෝස පැහැ සාරිය සහ හැට්ටය අතර වූ ලා රන්වන් පැහැ නාභිය..මා සිත තුල අකුණු දහසක් ගැසුවාක් මේ ප්‍රහර්ෂයක් ගෙන දෙන්නට සමත් වීය...


දහ අට පිනූ කොල්ලකු නොව දශක 4ක් සහ තවත් වසර කීපයක්  ගෙවූ දිවියකට උරුමකම් කියනා මට මෙවන් ප්‍රහර්ශනාත්මක හැඟීම් සමුදායක් ගෙන එන්නේ තරමක විමතියකි...දශක දෙකකට ඉහත මෙය සිදු වූවා නම් එය කෙසේවත් විමතියකට කාරණයක් නොවන්නේමය..

මා නැවත ඈ දෙස බැලිමි...ලා රත් හිරු රැසින් අඳුරු වූ මුව කමලේ එක් පැත්තක්ද සුළඟට පාවෙන කෙස් රොද..මා වෙත ඉන්ද්‍රජාලික හැඟීම් රාශියක් පතිත කිරීමට සමත් වීය...

හදවතේ රිද්මය වේගවත් වන්නාසේම..මා ගතද මෙතෙක් නොවූ තරමේ ජීවයකින් පිරී යන්නට වීය..නිදහසේ සැහැල්ලුවෙන් නිද්‍රාබරව තිබූ ශරීරාංග සියල්ලම වෙත ලද වේගවත් රුධිර සැපයුම නිසා මා තරමක අපහසුතාවයක්ට පත් කරන්නට වීය..මා හිඳ සිටි අසුනෙන් මදක් නැගිට ඇඳුම් සකසමින් නැවත හිඳ ගතිමි..ඉදිරිය බලා හුන් ඈ මාගේ මේ චලනයත් සමඟම මා දෙස නෙත් හෙළුවාය..මා නොදැනීමට ඒ වනවිටත් ඈ දෙස බලා ගත් වනමය.අප සිව් නෙත් ගැටුනු වහාම...ඈගේ තද නිල් දෙනෙත් කෙවෙනි තුල එක් වරම මනරම් තාරකාවන් දෙකක් මතු වී නිවී ගියේය..


ඈ නැවතත් ඉදිරිය බලා ගත්තාය..

මා දිවිය පුරාම සෙව්වේ ඇය නොවේද ? 

සිත අතීතය වෙත ඉගිල යයි..

"උඹ මයෙන් අවුරුදු හතක් යන කන් තනේ කිරි බිව්වා "

අම්මා සෙනෙහසින් මා සිප වැළඳ ගනිමින් කිවූ කාලයේ මා ලැජ්ජාවෙන් ඈ තල්ලු කර දමමින් දිව ගිය බවක් මතක ඇත..මා පවුලේ බාලයා වූ බැවින් අම්මාගේ ආදරය නොඅඩුවම වින්දාය...අවුරුදු හතක් ගිය පසුද..ඈ තනයේ කොහොඹ යුෂ ගල්වා මා කිරි බීමේ පුරුද්දෙන් ගලවා ගත්තා යැයි කීවා මතකය.. 


"මට බෑ දෙන්නෙකුට කිරි දෙන්න...දෙන්නම පොඩි එව්වො වෙන්න හදනවා මෙතන"

ලොකු දෝනි ලද මුල් කාලයේ මා බිරිඳ මාගේ හිස තල්ලු කරන්නේ නොමනාපයෙනි...



ආර්ථික අභියෝග හමුවේ දෙවෙනියට පුතා ලද පසු අකමැත්තෙන් වූවද අප දෙදෙනා දරුවන් පිළිබඳ අවසන් තීරණයකට එළඹියද..අදටද..

"මයෙ මහත්තයට ආයි කිරි බොන්න නම් වෙන්නෙ නෑ" 

කියමින් මා හිස සිප ගන්නේ නොමද ආදරයකිනි..

එක්වරම බසය ගැසූ බ්‍රේක් පහරට බිඳී ගියේ මා අතරමංවී අතීත සිතුවිලි ගොන්නයි..


මා ජීවිත කාලයම සෙවූයේ ඇයයි..මා නැවත ඈ දෙස බැලීමි..මාගේ ඉරියව් වෙනස් වීම නෙත් කෙවෙනි මානයෙන් අනුමාන කල ඈද මා දෙස බැලුවාය. සිහින් සිනහවක් මුව මතින් ඇදී ගියේ...දෙළුම් ඇටවන් මිහිරි දත් පෙලක් මා හට දිස් වීය..

වයස අවුරුදු 10-12 වනවිට සිත තුල ඇති වන මහා අමුතු වචනයෙන් කිව නොහැකි තරමේ හදවත හිර කරන හැඟීම් ලද කාලයේ පටන්ම..නෙතට හුරු මෙන්ම .නෙතට  නුහුරු කඳුළු බිඳු ගලාගියේ ඈ වෙනුවෙනි...ජීවිතයේ හරයක්, බරක් සොයමින් හුදකලා එම කාලයේ මෙන්ම..දිවියේ අනේක විධ හැල හැප්පීම් අතරේ චලනය වන දිවියේ යට ලීයේ පීදෙන නාරිලතාව වූයේද ඇයයි. සයිබර් අවකාශය තුල දිවා රෑ පවා නොතකමින් සොයා ගියේ ඇයගේ දෙනෙත් නොවේද ?.එවන් වූ ඈ මා හා සමාන්තරව බසයේ මෑත අසුනට වී කල්පනාවෙ නිමග්න වන්නීය...

ක්ෂණයකින් සිත අතීතය වෙත දිව යයි..

"ඇයි මයෙ මහත්තයා මගේ අඩුවක් වත් තියෙනවද ?"

මා ආදරණීය බිරිඳ එලෙස විමසූයේ එක වරක් දෙවරක් නොවේ.. 

"නෑ ඇයි ?"

සම්පූර්ණයෙන්ම තෘප්ත නොවූ හෝරාවක් බාගයක් අවසන ඈ විමසන විට මා අහක බලා ගෙන විමසන්නේය. 

"නෑ මට තේරෙනවා ඔයා තව මොනාද හොයනවා වගෙයි"


"විකාර කියවන්නෙ නැතුව නිදා ගන්ඩ .."

මා අනෙක් පසට හැරී නැවතත් කල්පනාවෙ නිමග්න වෙයි..ඒ කල්පනාව තුල සෙවූ ඈ මේ මොහොතේ මා අසලයි.. 

වෙහෙහසකර රමණයක් අවසානයේ වූවද මා බිරිඳගේ දෑස මතට එබී බැලූ කල බලාපොරොත්තු වූ අපේක්ෂාවේ තරු කැට ඈ දෑස තුලින් දිදුලන්නේ නැති බව මට පසක් වෙමින් තිබිනි.. මා අසලම මදක් ඈතින් ආසනයේ හිඳ හුන් ඇය වරින් වර මා දෙස බලන්නේ දෑත තුල බබලන තාරුකා කැට දෙකක් තුලින් යැයි මට හැඟේ...


"අපිට එහෙම උඹට වගේ ගුණ යහපත් ලස්සන ගෑණියෙක් හම්බ උනා නම් එහෙම අපි උඹ වගේ සල්ලාලකමේ යන්නෙ නෑ. උඹ කරන්නෙ මහ බලු වැඩක්..ඕවා ගෑණි දැන ගත්ත දවසට ...උඹට සහ ගහනවා බන්"

අතිශය පුද්ගලික රහස් පවා දත් මාගේ මිතුරන්ගේ අදහස් එසේ වෙද්දී...මා මලින් තව මලකට ගොස් රොන් උරමින් සෙව්වේ මා හට එතෙක් හමු නොවූ යමකි..එය මේ යැයි වචනයෙන් කිව නොහැකිය..එය මා අසලම නෙලා ගත හැකි මානයේ පවතින බව මට පසක් කරමින් බසය නැවතත් බ්‍රේක් පාරක් ගැසුවේය. මදක් ඉදිරියට ගත විසි වී නැවත පසු පසට වූ ඈ තම බෑගයද අතට ගෙන අසුනෙන් නැගී සිටියේ බස් රථයෙන් බැසීමට විය යුතුය යන හැඟීමක් සමඟම මා සලිත විය.



"නුවර එළියෙ සයිට් එකේ වැඩ සේරම හිර වෙලා මම ආපහු එන්නෙ වැඩ සේරම ඉවර කර කරලයි..හදිසියක් උනොත් විතරක් කථා කරන්න මම ඇවිත් යන්න එන්නම්"

මෙසේ කියා මා බිරිඳගෙන් සමු ගත්තේ උදෑසනමය. 

"සර් පොට් එකට අළුත් කෙල්ලො කීප දෙනෙක්ම ආවා..සර්ගෙ චොයිස් එකට හරි යයි වගේ..එන්ඩකෝ සතියක් විතර ඉඳලා යන්න"

අනුරාධපුරයේ සරාගෙන් දුරකථන ඇමතුම ලැබුනේ සතියකට පමණ පෙර වූවත් මා හට මෙලෙස නිදහසේ යාමට ඉඩ ලැබුනේ අද දිනයේය..

මගේ සැලසුම වූයේ අනුරාධපුරයේ දින හතරක්වත් ගත කර ඊළඟට නුවර එළියේ වූ වැඩපල බලා යාමයි. 


කිරිගරුඬ පැහැ බඳ ප්‍රදේශය මට ගෙන ආවේ ඉමිහිරි ආශ්වාදයකි..මා වඩාත්ම ප්‍රිය කල සුවඳ විලවුන් වර්ගයක සුවඳ ඈ වෙතින් හමා එයි. දැන් දැන් තම අසුනින් නැගිටි ඈ බසයේ ඉදිරිය බලා තම ඉඟ සුඟ නලවා යතැයි මා එදෙස බලා හුනිමි..

ඒ වෙනුවට ඈ මදක් විමසිලිමත් දෑසක් මා වෙත යොමමින්..

"ලියන්නා අයියා නේද ?"

ඉමිහිරි වදනින් මා ඇමතුවේ මා සිටි ලෝකයෙන් වර්තමානයට ගෙන පොලවේ ගසා ලමිනි. මා ඈගේ දෑස දෙස බැලිමි..ඈ මා අසල වූ අසුන මතට බර වූයේ ඉතාමත් වශිකෘතවූ සිනා මලක් මුව අග රන්දා ගෙනය..

"ඔව් මම තමයි ! ඔයා ?"

මගේ හඬේ වෙව්ලීම මටද දැනේ..

ඈ සිනා සලයි..

"මම හේශාගෙ යාළුවෙක් මම දැකලා තියෙනවා අයියගේ ෆොටෝ හේශාගෙ ෆේස්බුක් එකේ වෝල් එකෙන්..ඒකයි අඳුරා ගත්තෙ"

හේශා මගේ පැරණිම යෙහෙලියකි. 

"එහෙනම් අයියෙ මම ඉස්සරහ හෝල් එකේ බහිනවා . මම රික්වෙස්ට් එකක් දාන්නම් අදම "


ඈ මූණු පොත සඳහන් කරමින් මා වික්ෂිප්ත කරමින් බසයෙන් බැස..මා දෙස අතවනා සමු ගත්තාය. 

මා ගත මෙන්ම සිතද හිරිවැටී ඇත..

කුඩා කල සිටම දශක හතරක් පමන වූ ජීවිතයම මා දෑස ඉදිරියේ මවා පාන්නේ..මා ගත කල තත්පරයෙන් තත්පරය..මා සෙවූ ජීවිතයේ හරය ඉස්මතු කරවමිනි...අධ්‍යාපනික ජීවිතය..රැකියා ජීවිතය...විවාහ ජීවිතය.සමාජීය ජීවිතය..ආදී වූ සියල්ලම තුල තවත් යමක් ළඟ කර ගැනීමේ අදිටනේ මූලය වූයේ මේ සිහිනමය කුමරිය බව මා හට පසක් වෙමින් පැවතුනි..


එය නෙලා ගැනීමට අත පෙනෙන මානයේ ඇත.

බෑගය තුල වූ ටැබ් එක දෙදරයි..මූනු පොතට මා ඇතුලුවූ සැනින් දුටුවේ යහළුවකුගෙන් ලද පණිවිඩයක් සහ යහළුවකු හා සම්බන්ධ වීමට කරන ලද ඉල්ලීමයි..

මගේ ෆෝන් නම්බර් එක...

ලෙස සඳහන් වූයේ මීට මොහොතකට පෙර හමුවූ යුවතියගේ පණිවිඩයයි. එසැනින් ඇය මා හා සම්බන්ධවීමට තැත් කරන්නීය..


...නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන...

නන්දා මාලිනියගේ මියුරු ගීතය බස් රථයේ ගී වාදන යන්ත්‍රය තුලින් මා දෙසවනට ඇදේ...

මා මූනු පොතේ මා පිළිබඳව තිබූ පිටුව අක්‍රීය කරවීමට දීමට තිබූ විධාන සියල්ලම දී..ටැබ් එක පසෙකට කලෙමි..



ජංගම දුරකතනයේ වූ සරා ගේ නම්බර එබුවෙමි..

"ආ සර් අද එනව නේද ?"

"ඔව් සරා මගේ ෆේවරිට් බයිට් එක ෆෝක් එකක් හදලා තියන්න..දවස් හතරකට විතර අළුත් කෑල්ලක් සෙට් කරලා තියන්ඩ කියලා මැඩම්ට කියන්ඩ. මම එනකොට රෑ නවය විතර වෙයි.."



"පැහැය සුවඳ කොහෙ ගිහින්ද මල් වල මම නෙලපු?"

ඈ තවමත් ගයන්නීය..

මා දෑස පියා ගතිමි...නොමියෙන හෙට දිනක් සඳහා මා හට අවැසි හුස්ම හෙලීමට මා හඹා යා යුතු සිහිනයක් තිබේ..ඒ සිහිනය ඉටුවූ දිනක , මොහොතක, තත්පරයක..එයින් පසු මා හට ජීවිතයක් අවැසි නොවනු ඇත..මා මහත් සේ බිය වූ බවක් දැනේ..

පදරුත් කරන වචන පෙලකට අවසනක් දිය හැකි වූවත්...හෙලන සුසුමක්...මත්තේම ලය පුරවා ගන්නා දිවියකට අවසනක් කොහිද ? ඒ අවසන සිහිනයෙන් පැතූ ඒ දෙනෙතක් අසලම වේ නම් එයම නිවනක් නොවන්නේද ? ළඟා නොවූ සිහිනයක අදිටන තවත් ජීවයකට මුල පිරීමක් වන්නේ කෙසේදැයි මට පසක් වන්නට වීය..




















62 comments:

  1. 'නිදහසේ සැහැල්ලුවෙන් නිද්‍රාබරව තිබූ ශරීරාංග සියල්ලම වෙත ලද වේගවත් රුධිර සැපයුම නිසා මා තරමක අපහසුතාවයක්ට පත් කරන්නට වීය' අපොයි...

    ඇත්තටම ලියන්න මොනවද ඔච්චර හෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. දශක හතරක් තිස්සේ හොඅපු දේ හමු උනහම මොනවද නොවෙන්න පුළුවන් ප්‍රසා මල්ලි ?

      Delete
  2. නෙලා ගන්න ලේසි හින්දා එපා වුනා වගේ එකක් මට තේරුනෙ.. එහෙමද ?

    ReplyDelete
    Replies
    1. අත් පත් කර ගත්තොත්..තවත් හොයන්න දෙයක් නැතුව ජීවිතේ එපාවෙයි කියලා බය හිතිච්ච දෙයක් වගේ තේරෙන්නෙ නැතෙයි ?

      Delete
    2. ඔන්න දෙවෙනි පාරට අන්තිම ටික කියෙව්වම තමා තේරුනෙ.. මේක හරි සංකීරණ මනෝ භාවයක් ගැන කෙරෙණ විග්‍රහ කිරීමක්නෙ..

      Delete
    3. හිකිස්..ඔයි තරම් සංකීර්ණ නෑ බන්..ඔහෙ ලිව්වා සරල කෙටි කතාවක්...

      Delete
  3. හ්ම්ම්, කියන්න ඕනේ මොකද්ද කියලා මට තාමත් හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අත් හැරලා දාන්න ධාරා..ඔබ වෙහෙසවන්නට හිතුවෙ නෑ කියවීම තුලින්..

      Delete
    2. මම ආයෙත් කියෙව්වා. හ්ම්ම්, මගේ හිතට ආපු හැඟීම් ගොඩක හිර වුණා, පිළිකුල, දුක, අනුකම්පාව . . . ඒත් මට දැන ගන්න ඕනේ දෙයක් තියෙනවා, මොකද්ද හේතුව? මට හිතුන විදියට මේක සල්ලාලකමක් නෙමෙයි. හ්ම්ම්,

      Delete
    3. ධාරා ඔබ කියවලා තියෙනවද ෆ්‍රොයිඩ් ගෙ death drive කියන සංකල්පය ?ඒකෙ මිනිසාගේ ක්‍රියා වලින් හැමවිටම යථාර්ථවාදී අසාර්ථකවීමක් සිදුවෙනවාමේ අසාර්ථකවීමේ හිඩැස පුරවන්න එන පෙළඹවීම death driveතමයි කියන්නෙ.මනුස්සයෙක් කවදාවත් තමන් සර්ව සම්පූර්ණයි කියන්නෙ නෑ. එක්කෝ තමන්ව විනාෂ කරන්න එන බාහිර බලවේගයන් ගැන හිතනවා නැත්නම් තමන්ට නැති දෙයක් ගැන දුක් වෙවී ඉන්නවාජීවත් වෙනවා කියන්නේ ඒකයි.ඔබ Hystricizing ego, Hystericizing, Hysteric කියන දේවල් අහලා, කියවලා තියෙනවද ?එහෙම කරලා තියෙනවා නම් මේ පිටිපස්සෙ යන කතන්දරය ඇයි එහෙම වෙන්නෙ කියන එකට උත්තරයක් තියෙනවා..

      Delete
  4. ජීවිතය.......
    එකෙකුට තව එකෙක් සල්ලාලයෙක් වගේ පෙනෙද්දී තව එකෙකුට ඌවම පරාජිත පෙම්වතෙක් විදියට පේන්නත් පුළුවන්.


    තමන් හොයන ඒක පාර්ශවික ආදරිය නැවත හොයාගෙන හැමතැනම හොයන පරාජිතයෙක්...
    එහෙමත් නැත්නම් තමන් නිසා අතරමන් උණු කෙල්ලෙකුට සාධාරණයක් කරන්න හදන කොල්ලෙක්...
    පොඩි කාලේ ලද එහෙත් සම්පූර්ණ කර ගත නුහුණු ආශාවන් සාධාරණ හේතුවක් කරගෙන වගකීම් රහිත දිවියක් ගෙවන කරුමක්කාරයෙක්....

    ReplyDelete
    Replies
    1. උඹ මෙතන ෆිල්ම් එකක් පෙන්නන්නද යන්නෙ ?

      Delete
    2. හ්ම්ම්.. අකමා සාරාංශකරනය පට්ටයි ! හොඳ පූර්වකථනයක් ...මට සතුටුයි මම කියන්න හදපු දේ අල්ලා ගත්ත එකට...පරාජිතයෙක් ?! ඔව් තෘප්තිය හමුවෙ සහ අපේක්ෂිත අරමුණු ඉදිරියේ !
      සෙන්නා ෆිල්ම් එකකට හොඳ වචන සෙට් එකක් අකමා දීලා තියෙනවා නියමෙට...

      Delete
    3. මේකේ ලින්ක් කරලා තියෙන සිංදුව බැලුවෙ දැනුයි..ඒකත් ගැලපෙනවා අකමා නියමෙට..

      Delete
    4. @ සෙන්නා; වෙනී අයියගෙන් ෆිල්ම් එකැ. මගෙන් පෝස්ටරේ.. :D

      Delete
  5. අනේ මන්දා... කියන්න දෙයක් තේරෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. සමනලී කතාව බර වැඩි නම්..අත හැරලා දාන්න..මීට වඩා සරල කරන්න තේරෙන්නෙ නෑ..

      Delete
    2. මේ හිචිචි එව්වො මේවා තේරුම් ගන්නකොට සමහරවිට පෙරහර ගිහින් වෙනි. මේවා කියවලා හෝ යථාර්තය තේරුම් ගන්න හැකිනම් වටි

      Delete
  6. ඇයි ෆේස් බුක් එක අක්‍රීය කලේ? මට ඒකයි තේරෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ආයි සම්බන්ධ වෙන්න හොයා ගන්න තියෙන පුරුක සහමුලින්ම ගලවා දැමීමක් එතන වෙන්නෙ හෙන්රි..

      Delete
    2. එහෙමනම් ඌ අර whore house එකට යන්නේ? Maybe, no emotional involvement?

      Delete
    3. එතන තියෙන්නෙ තමන්ගෙ අතෘප්තිමත් ආශාව සංසිඳවා නොගන්නා උත්සාහයක් හෙන්රි..තමන්ට මෙතෙක් නොලැබුනු යම් සිහිනයක් හොයන් යනවා..ඒ වගේමයි ඒ සිහිනය හැබෑ වෙනවටත් බයයි...සිහිනය සැබෑ වෙන තැනින් පැනලා යනවා.මොකද සිහිනය සැබෑ උනොත් තව හොයන්න දෙයක් නෑ ජීවිතේට..මැරෙනවා !
      පිස්සු හොඳම එක නේ ?!

      Delete
  7. නිර්මාණයක් සේ ගත් කල උත්තම පෝස්ටුවක්.. මේ පෝස්ටුව තුළ ඔබ සගවා කියන දෑ යමෙක් තේරුම් ගන්නවානම් එයයි වටිනකම.
    /"නෑ මට තේරෙනවා ඔයා තව මොනාද හොයනවා වගෙයි"/ මෙන්න මේ දේ හැම බිරියක්ම තේරුම් ගත යුතුම දෙයක්.
    මේ අගනා කෙටි කතාවක් බදු පෝස්ටුවට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්..එහෙනම් මගේ උත්සාහය තරමක් සාර්ථකයි කියලා හිතෙනවා..ඔබත් සැඟවුනු යමක් තේරුම් ගන්නට උත්සාහ දරා තිබෙනවා..

      Delete
  8. \\.නෙතට හුරු මෙන්ම .නෙතට නුහුරු කඳුළු බිඳු ගලාගියේ ඈ වෙනුවෙනි...ජීවිතයේ හරයක්, බරක් සොයමින් හුදකලා එම කාලයේ මෙන්ම..දිවියේ අනේක විධ හැල හැප්පීම් අතරේ චලනය වන දිවියේ යට ලීයේ පීදෙන නාරිලතාව වූයේද ඇයයි. \\
    එඩ්වඩ් ජයකොඩිගේ සිරි යහනේ ලණු ඉහිරී සින්දුව මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ ඔබ හරි ඒ කොටස ලොඉයද්දි මගේ හිතේ තිබ්බෙත් ඒ සින්දුවම තමයි..

      Delete
  9. ගෑණු පිරිමි බේදයක් නැතුව ඒ දේ සැවොම සොයනවා. බලෙන් තමයි යටපත් කරගෙන ඉන්නේ. ඇත්තටම එහෙම ඉන්න ඕනද...? ගෙයින් එළියේ අපි සිතින් කී දෙනෙක් එක්ක රමණයේ යෙදෙනවද, ගේ ඇතුලෙත් රූප පෙට්ටියේ කී දෙනක් එක්ක රමණයේ යෙදෙනවද.. ? ඇත්ත හරි තිත්තයි කියන්නේ ඒකයි.. ඒ වගේම හැඟිම් පාළණය කර ගැනීම කියන්නෙත් පුදුම දක්ෂතාවයක්... හිත මිතුරු කමක් නැතිනම්, දැන හැඳුනුම් කමක් නැතිනම්.. එහෙම වෙන්නෙ ඇයි...?

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් එහෙම කරන්න තිබුනා..නමුත් යමෙක් ඉන්න පුළුවන් නේද තමන්ගේ ෆැන්ටසිය යථාර්තය වී තමන්ගේ ජීවිතයට ඉටු කර ගන්න තවත් ෆැන්ටසියක් නැති වේවි කියන බිය තියෙන..එහෙව් කෙනෙක් මේ වගේ බයෙන් පැනලා යයි ඔහුගේ ෆැන්ටසිය හමු වූ තැනින් බොහෝ ඈතට..

      Delete
  10. ස්තූතියි සාබිත්..වචන ගොඩකින් කියන්න පුළුවන් දෙයක් සඳහා එක් සංකේතයක් යොදා ගත හැකියි

    ReplyDelete
  11. තරුණ කාලේ සිහින කුමරියගේ රූපයම මෙයාට තියෙන එකද අවුල?

    ReplyDelete
    Replies
    1. නෑ නිශාන් මල්ලි..මෙතන කිසිම අවුලක් නෑ..හැම දෙයක් අවුලක් හොයන්න යන්ඩෙපා..එතකොට පේන්නෙ අවුලක්ම තමයි..

      Delete
  12. මම මේක දිහා බලන්නේ ගැහැණු ඇහැකින් නිසා මට හිතෙන්නේ කියන්න තිටෙයන දේවල් නොකිය ඉන්න එක හොඳයි කියලා...

    ReplyDelete
    Replies
    1. හිරු ඔබ කුමන ඇහැකින් බැලුවත්...ඔබට කියන්න තියෙන අදහස කියන්න බාධාවක් නැතුවම..මොකද ඔබ කියන දේ සමස්ත ගැහැනුන්ටම කියන්න තියෙන කතන්දරයක් වෙන්නෙත් නෑ... වගේම මේ කතාවත් එක් ලියන්නෙකුගේ කතාවක් මිසක් සමස්ත පිරිමි පරම්පරාවෙම කතන්දරය වෙන්නෙත් නෑ. අපි ඒ තරමෙ පටු චින්තනයෙන් එහාට ගිහින් ගොඩ නගන්න පුළුවන් සංවාද මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා..

      Delete
    2. එහෙනං ඉතිං මට කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඒක ලියන්නගේ මේ කතාව ගැන නෙවෙයි... කතාව ඇතුලේ තියෙන කතාව ගැන...

      තමන් කරන්නේ වැරැද්දක් කියලා දන්න මිනිහා ඒ වැරද්ද තමන් කරන්නේ ඇයි කියන එක සාධාරණිකරණය කරන්න තමන්ට පුළුවන් දේ කරනවා... කියනවා... ඒත් ඇත්තටම ඒකෙන් වැරැද්ද නිවැරදි වෙන්නේ නෑ... ඒ වගේම ඒ වැරැද්දෙන් පටන් අරන් වෙන්න ඉදිරියට වෙන්න තියෙන වැරදි වලට තියෙන වගකීම තමන්ගේ කර පිටට වැටෙන එක නවත්තගන්නත් බෑ...

      ඒත් ඒ අය කරන්නේ තවදුරටත් ඒ වැරද්දෙම ගැලිලා ඉඳගෙන ප්‍රශ්න වලින් පැනලා දුවන එක... කතාව ගැන ගත්තොත් ෆේස්බුක් එකවුන්ට් එක ඩිලීට් කරලා දැම්මා වගේ...

      ඕක ගැහැණු පිරිමි කියලා බේදයක් ඇතුව කියපු දෙයක් නෙවෙයි... මිනිස්සු ගැන හිතලා කිව්වේ...

      Delete
    3. ස්තූතියි හිරු..
      ඔව් මෙතන කියන්න යන්නෙ තමන් කරන ඕනිම "ජඩ" වැඩක් කිසිම හිරිකිතයක් නැතුව සාධාරනීකරනය කරන්න දඟලන චරිතයක් ගැන තමයි..

      ෆේස් බුක් එකවුන්ට් එක මකලා දැමීමෙන් මම කියන්න ගියේ නම් එතන තමන් හොය හොයා හිටි ෆැන්ටසිය අත්පත් කර ගත්තට පස්සෙ තවත් හොයන්න දෙයක් තමන්ගෙ ජීවිතේට නැති වෙයි කියලා බය වෙන හැඟීම ඉස්මතු කරන්නයි.
      එතන ප්‍රශ්ණයෙන් පැන යාමකට වඩා ප්‍රශ්ණයට පරිපූර්ණ උත්තරය ලැබීමෙන් වලක්වාලන පැන යාමක් වගේ පෙන්නන්න මම අකුරු කරපු ඡෙදය මදි කියලයි මට හිතෙන්නෙ හිරූ..

      Delete
  13. ...නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන...
    ...නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔය තරමට ලස්සන...
    කතාව 1000% ක් ඇත්ත , නෙලා ගත්තම ඕනෑම මලක ලස්සන නැතිවෙන එකනම් වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමයක්.

    (..... මම හිතුවේ කතාව ඉදිරියට ගිහින් අහම්බෙන් වගේ සරා ගේ පොට් එකේදී හම්බවෙන අලුත් කෑල්ල එයා වෙලා ලියන්නා අනාථ වෙයි කියලා.)

    ReplyDelete
    Replies
    1. මම එකක් ටක්කෙටම කියන්නම්...මහේ පරණ කථා ගොඩක් කියවලා තියෙන හැඩයි ප්‍රගීත් මල්ලි...එහෙම කරකවන්න හිතන්නවත් බෑ මට දැන්..මගේ කතා කියවලා තියෙන ගොඩක් අය..දැන් එව්වට අහු වෙන්නෙ නෑ මල්ලි..හැබැයි ඔයා යෝජනා කරපු අවසානෙත් නියමයි !

      Delete
  14. මෙම කතාව ගැහැණු/පිරිමි දෙකොටසට ම තමන් දැන් සිටින වයසෙ,තමන් සිටින්නෙ කොතැනකද කියල හිතන්න පැති කීපයක් ගැන ලියල කියලයි මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි, එහෙම එකක් ඔළුවෙ තිබුනෙ නෑ..ඔහෙ ලියා ගෙන ගියා..ඔබ කිව්වට පස්සෙ..හ්ම්ම්ම් එහෙම පැත්තකුත් ඉස්මතු වෙනවා කියලා හිතුනා..

      Delete
  15. වෙනියෝ අර නම්බර් එක ඔන්න ඔහේ මට එවහන්

    ReplyDelete
    Replies
    1. සේරම මකලා දැම්මා රොබින්...ආයි කොහෙ හොයන්නද ???

      Delete
  16. කතාව හරිම අපූරුයි. මට ආපු ප්‍රශ්නය තමා හැම ගැහැනියකටම අවසානයේ මේ වගේ තත්වයකට මුන්න පාන්ට වෙනවද? කියන එක.

    ReplyDelete
    Replies
    1. සොරි... මුනපාන්ට වෙනවද? කියන එක.

      Delete
    2. නෑ පොඩ්ඩි කොහෙත්ම නෑ..හැම ගැහැණියකටම මෙයට මුහුණ පාන්න වෙන්නෙ නෑ..මොකද මේ එක් ජීවිත කතාවක් විතරයි...අනිත් ජීවිත කතා මීට හාත් පසින්ම වෙනස්...එකිනෙකට වෙනස් හාත්පසින්ම !

      Delete
  17. හරිම ලස්සනයි වෙනී අයියා....ඔබටම කියලා අනන්‍ය වූ ශෛලියක් ඔබේ බ්ලොග් ලියවිලි වල පවත්වාගෙන යන්නට ඔබ සමත් වී තිබෙනවා...ඒ ඔබ ඇසූපිරූ තැන් ඇති පුද්ගලයෙකු නිසාවෙන්ම විය යුතුයි. රෝස පාට සාරියට ගොඩාක් කාන්තාවො ලස්සනයි ....මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇසූ පිරූ තැන් නම් මන්දා සිරා මල්ලි...මමත් තාම ඉගෙන ගනිමින් ඉන්නවා..ඔය ඇසූ පිරූ තැන් කියන තැනට යන්න නම් මට ගමන තව බොහෝ දුරයි මල්ලි..ස්තූතියි අදහසට..

      Delete
  18. සංකීර්ණ මනෝභාවයක් විග්‍රහ උනත් අන්තිමට බැලුවම..යන්නෙම පොල්පැලේට. හෙතුපාට වලින් සධාරණීය වෙන්නෙ නැහැ. ජීවිතය.

    ReplyDelete
    Replies
    1. හරි වීයා..එහෙනම් මට ඕනිම තැනට මම ගිහින් තියෙන්නෙ..ඔන්න ඔය නෝක්කාඩුව තමයි මට කවුරු හරි කියවන්නකුගේ හිතේ මවන්න ඕනි උනේ..ස්තූතියි ඔබ ඔබට හිතුනු දේ එලෙසින්ම කී එක..යම් කිසි ලියන්නකුට පුළුවන් නම් කියවන්නකු යම් මනෝභාවයකට ගෙනියන්න..කොටින්ම කියනවා නම් නව නළු රසයෙන් යමක් මවන්න..එතැනයි ලියන කෙනාගෙ සතුට තියෙන්නෙ..පිළිකුල් රසයත් නවනළු රසයේ එකක් !

      Delete
  19. උබට වැඩිනං මට එවහං අයියෙ.
    නිර්මානය එල

    ReplyDelete
    Replies
    1. කෝ ඒකෙ කෑලිවත් නෑ දැන්..ආයි හමු උනොත් එවන්නම් !

      Delete
  20. හ්ම්ම් හෙනේ මුවෝ කරපු අලාබෙට ගෙදර මුව හම තමයි පාර කන්නෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් එහෙම පැත්තකුත් තියේ සරත් අයියෙ...

      Delete
  21. ලැබුණු දේ පස්සට තියා ගත්ත නේද...මට නම් හිතෙන්නෙ එහෙමයි

    ReplyDelete
    Replies
    1. නෑ අයියෙ අතහැරලාම දැම්මා !

      Delete
  22. මිනිස් හිත වැඩකරන්නේ හරිම අපූරු විදිහට..සමරහ වෙලාවට ජීවිතේ විඳින්න පුළුවන් ඒ නිසාම වෙන්නැති..

    ප/ලිථ
    පොටෝව සොරකම් කර ගත් බව දන්වා සිටිමි..

    ReplyDelete
    Replies
    1. ඔව්..රූ ඒ විවිධත්වයමයි අපූර්වත්වය වෙන්නෙ..
      ඔබට පූර්ව අවසරය තියෙනවා මගේ ෆොටෝ හෙරෙන් ගන්න !

      Delete
  23. මචන් මේ කවිය මම කලින් පොස්ට් දෙකකටත් දැම්මා එකම මේකටත් දානවා.

    ආදරය.. ආදරය.. ආදරය..
    උපන්දා සිට මැරෙන තෙක් සැම
    සොයන්නා වූ
    දෙයකි සැම දෙන...

    එසේ සේවුවද
    සොයන අයවත්
    නොම දනීමය
    කිමද මේ දෙය.......

    නොදත් කමටම
    බොහෝ විට අප
    වෙනත් දෙයකට
    රැවටිලා ඇත.............

    ලැබුන විටදීත්
    අපට මේ දෙය
    බැහැර කරතිය
    නොදත් කටම.......

    එසේ කරමින්
    නැවත නැවතත්
    නොදත් කටම සොයන්නේමය
    ආදරය.. ආදරය.. ආදරය..

    ReplyDelete
    Replies
    1. ඔව් අයිලාස්..ඒක තවත් අර්ථ දැක්වීමක් තමයි..මේක මෙතනට හොඳටම ගැලපෙනවා..

      Delete
  24. //ළඟා නොවූ සිහිනයක අදිටන තවත් ජීවයකට මුල පිරීමක් වන්නේ කෙසේදැයි මට පසක් වන්නට වීය..//මේක නම් ඇත්ත කතාවක් ....

    ReplyDelete
    Replies
    1. සිහින සියල්ල පල දැරුවොත්...තවත් එතන ජීවිතයක් තියෙයිද ???

      Delete
  25. වෙනිගේ හිතෙන් මවන්න බැරි චරිතයක් තියෙනවද? ඔය මනෝ භාවය මාත් විදල තියෙනවා.. හැක් හැක්.. මම කියන්නද?? උඹ බස් එකේදි අර වගේ කෙල්ලෙක් දැකල හිත සලිත වෙච්චි විත්තිය නං ඇත්ත.. හරිද???

    ReplyDelete
    Replies
    1. මගෙ හිතෙන් මවන්න බැරි චරිත බිලියන ගානක් තියෙනවා දේශකයා..එයින් එකක් වත් හරි හමන්වට මවන්න පුළුවන් උනොත් මේ ජීවිත කාලෙ ඇතුලත..
      ඒක ඇත්ත !

      Delete