ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 4, 2013

මනුස්සකමේ මතකයන්...රවී..


අපි ලේසියට සහ හුරතලේට රවී කියලා කිව්වට මිනිහා සවීන්ද්‍රන්. ඔහු තමන්ගෙ අම්මා, තාත්තා සහ අක්කා එක්ක ඉන්දියාවෙ තමිල්නාඩුවෙ   ඉඳලා බදුල්ල පැත්තෙ බිස්නස් වැඩ වලට ලංකාවට ආවෙ . කොළඹ හිටි අපිට රවියා හම්බ වෙන්නෙ අපි දෙමල ඉගෙන ගන්න ගිය ආයතනයේදි..එතන භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්. අපි දෙමල ඉගෙන ගන්න යනකොට රවි ඇවිත් තිබුනෙ ඉංග්‍රීසි සහ සිංහල ඉගෙන ගන්න. 




අපිට වඩා වයසින් බාල උනාට..අපේ සෙට් එකේ හිටිය කසුනාගෙ වයසෙ නිසා ඌට සෙට් වෙලා හෙමි හෙමිහිට රවියත් අපේ සෙට් එකට ආවා..
සතියෙ දවස්වල බදුල්ලෙ හිටියත් සති අන්තෙට කොළඹට ඇවිත් හැමදාම සඳුදා ආපහු බදුල්ලට යන්න මුල් දවස් වල නම් මිනිහා ඔය බම්බා පැත්තෙ හෝටලේක ලොකු ගානක් ගෙවලා කාමරයක නැවතිලා හිටියා. පස්සෙ අපි නැවතිලා හිටිය චමරියෙ රූම් එකක් ෆ්‍රී වෙච්ච ගමන්ම අපි ඒක රවියට වෙන් කලා. මිනිහා අර හෝටලේට සති දෙකක ගෙවන ගානටත් වඩා අඩුයි අපේ චමරියෙ මාසෙටම මිනිහට ගෙවන්න වෙන ගාන. ඒ වගේමයි මුලින් සති අන්තෙ විතරක් නැවතිලා හිටි මිනිහා පස්සෙන් පහු ඔය ක්ලාස් එකේ විභාග තියෙන කාලවලට සතිය හමාර නැවතිලා ඉන්නත් අමතක කලේ නෑ..අපි එහෙන් මෙහෙන් වනන ඉංග්‍රීසි වලින් සහ එදිනෙදා ඉගෙන ගන්න දෙමල වලින් අපී සෙට් එක සහ රවියා  අතරෙ සුහද මිත්‍රත්වයක්  ඇති උනා. 

රවියගෙ ඉංග්‍රීසි පංතියෙ සහ සිංහල පංතියෙ  ඉන්න සිංහල උන් රවියට ඉංග්‍රීසී වලට අමතරව සිංහලත් උගන්නලා . ශුද්ධ සිංහල !

"මොකද්ද බන් !@#@$%% කියන්නෙ ?"

මූ අපෙන් ඉංග්‍රීසීයෙන් අහන්නෙ අර සිංහල වචනෙ බර කරලා හයියෙන්..එක එක දවසට එක එක ඒවා..ඔය කරදරේ ඉවර වෙන්න අපි කලේ එක දවසක අපේ සිංහලේ  තියෙන සේරම වගේ කුණුහබ්බ ටික මූට ලියලා කියලා දුන්නා.
.
"ඔය වගේ වචනයක් කවුරු කීවත් කියහන් ඕක නරක වචනයක් කියලා. එතකොට උඹව තම්බන්න බැයි කියලා උගන්වන එකාට තේරෙයි."

රවියත් බොහොම සතුටින් හිටියෙ ටික දවසයි ඌ සේරම කුණුහබ්බ ටික දන්නවා කාටවත් තම්බන්න බෑයි කියලා..

එක දවසක ඉංග්‍රීසි ක්ලාස් එකේදි..මූට තිබ්බ ස්පීච් එකක් තමන්ගෙ ගම ගැන කියන්න..ඕක මැදක් හරියට කියනකොට මූට පොඩ්ඩක් හිර වෙලා කියන්ඩ ඕනි වචනෙක හරිම ඉංග්‍රීසි වචනෙ මොකද්ද කියලා මීටර් වෙන්නෙ නැතුව..

O.K. Ravi carry on..carry on...

කියලා ඉංග්‍රීසි සර් කියද්දි මූ රතුවෙලා..අපිවගේම කළු එකෙක් රතු උනේ කොහොමද කියලා අහන්න නම් එපා ඉතින්...

"සර් නරක වචන කියනවා ආන්ඩවනේ..."

කියලා මූ කතාවත් නවත්තලා තියෙන්නෙ මුළු පංතියම හිනා සාගරේක ගිල්වලා තමයි..

කියන වචනෙ පද පෙරැලි සේරම කියලා දුන්නත්..රවිට ආයිමත් එක දවසක carrier  කියන වචනෙ කිව්ව මිස්ටත් ඔහොමම කියලා තිබ්බා..

අපේ චමරියෙ එක කාමරේ දෙන්නා ගානෙ තමයි හිටියෙ..රවියයි කසුනයි දෙන්න එක කාමරෙ..අපිට සෙට් වෙන්නත් ඉස්සෙල්ලා ඉඳලමනෙ උන් දෙන්නා සෙට් වෙලා හිටියෙ..රවියා සර්පයින්ට මාර බයයි..හැකරැල්ලෙක් ආවත් මූ දුවන්නෙ හූ තියා ගෙන..අපි උනත් සර්පයින්ට පොඩ්ඩක් බය උනත් රබර් සර්පයින්ට පළමු වෙනි සැරේ බය උනාට පස්සෙ ඌට බය නෑනෙ..බෝඩිමේ රබර් සර්පයො කීප දෙනෙක්ම තිබුනා..අපි අර රබර් සර්පයෙක් අල්ලලා ඉඳලා රවියව ඇල්ලුවත් ඌ කෑමොර දෙනවා..එච්චරටම බයයි..


අපි සරම් ඇන්දට රවියා අඳින්නෙ වේට්ටි..සරම වගේ මූට්ටු කරලා නැති සරම් රෙද්දක්ම තමයි ඒක..දවසක අපි රෑ 12 විතර වෙනකම් චමරියෙ සාලෙ ඕමි අතක් බල බලා ඉන්නවා..සාලෙන් බෙදිලා ගිය කොරිඩෝවෙ දෙපැත්තට තමයි අපේ කාමර තිබ්බෙ..කොරිඩෝවෙ ලයිට් නිවන්නෙ අන්තිමටම නිදා ගන්න යන එකා..

මහ රෑ දොලහට විතර..රවියගෙ කාමරේ දොර ඇරුනෙ ගිරිය යටින් කෑ ගැහිල්ලක් එක්කමයි..

අපිත් එක්ක සෙට් වෙලා කරපු මගෝඩි වැඩක සැලසුමක සේයාවක්වත් නැති හින්දා අපි හතර දෙනත් තුෂ්නිම්භූත උනා මේ සද්දෙට..ඇරිච්ච දොර ඇතුලෙන්..කෑ ගහගෙන සාලෙ මැදට දුවගෙන ආවෙ රවියා..ඇඟේ නූල් පටක්වත් නැතුව...අපිත් කලබල වෙලා ඇයි ඇයි කියාගෙන නැගිට්ටහමයි..රවියා කාමරේ දිහාවට අත් දික්කරගෙන මොනාද කියන්ඩ හැදුවත්..ඒ එක්කම ඌට මතක් උනා ඌ ඉන්නෙ යකඩ සූට් එකෙන් කියලා..සාලෙන් එලියට දුවන් ගිහින් එළියෙ වැලක තිබ්බ තුවායක් ඇඳ ගෙන එනකොටත් අපි රවියගෙ කාමරේ..

කසුනා ගොරෝ ගොරෝ බුදි..බොරුවට නිදියන් ඉන්න එකාට තමන්ගෙ කාමරේ ඉන්න එකා යටි ගිරියෙන් කෑගැහුවට ඇහැරෙයිද ?නෑනෙ සුපිංවතුනි....

රවියා ඇඳගෙන හිටි වේට්ටියෙ කෙලවරක් ඇඳේ විට්ටමට ගැට ගහලා..කොට්ටෙ උඩ රබර් සර්පයෙක්..උනේ මොකද්ද කියලා කියන්ඩ ඕනි නැහැනේ..එදා රවියා නිදා ගත්තෙම නෑ..හැබැයි පස්සෙ සතියක ඌ අපිට දුන්නා පෝරියල් එකක්  නියමෙටම..මොනාද මන්දා සැර කොච්චි ජාතියක් දාලා වඩේ හදලා ගෙනත් දුන්නා..රවියා වඩේ ගෙනාවහම අපි කන්නෙ නෑ..පොර කනවා..අතට අහු වෙන්නෙ වඩ කීයද..සේරම කටේ ඔබා ගෙන..අම්මට සිරි..මෙන්න කාලා ඊළඟ තත්පරෙන් කට්ටිය මකරො වගේ ගිණි පිඹින්න ගත්තෙ..ඊළඟ මාසෙටම තේ බොන්න ගෙනාපු සීනි කිලෝ එකහමාරම ඉවරයි උදේ වෙනකොට..

ඔය සිද්දියෙන් වෙච්ච හොඳම දේ තමයි ඊට පස්සෙ රවියා ගේන කෑම ජාති වලට අපි පොර කෑවෙ නෑ..බොහොම සංයමයෙන් තමයි කෑවෙ..


පින්තූරෙ ගත්තෙ ananmanan.com


සිංහල පංතියේ විවිධ ප්‍රසංගයට රවියට ඕනි උනා සිංදුවක් කියන්න..සිංහල සිංදුවක්..අපිත් උදව් කලා පුරුදු වෙන්න..සිංහල සින්දුවෙ MP3  එක නෙට් එකෙන් බාලා ඌට අහන්න දීලා ඒකෙ වචන ටික ලිව්වා ඉංග්‍රීසියෙන්..ඒ වචන ටික බලාගෙන මූ දැන් මුලින්ම වචන ටික කට පාඩම් කර ගත්තා..අර සිංදුව 10-15 වතාවක් ඇහුවා..ඔන්න දැන් අපිට රිහසල් එක දෙන්න ලෑස්තිය..

අපි වටවෙලා ඉන්නවා.. මූ මැද ඉඳන් පටන් ගත්තා සිංදුව.. හිතා ගන්නකො දෙමල ඌරුවට මේ සිංහල සිංදුව මිනිහා කියන්නෙ...

අඩි පාරෙ සීයා ගාව..
දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති
නෙළුම් පොඩිත්තී..


අඩි පාරෙ සීයා ගාව..
දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති
නෙළුම් පොඩිත්තී..


මේක පළමුවෙනි සැරේ කිව්වත් මීටර් නොඋනට දෙවෙනි සැරේ රිපීට් කරන කොට තමයි සෙට් එකටම මීටර් උනේ...පැය භාගයක් විතර හිනා වෙලා..තමයි වැරැද්ද හරි ගස්සලා දුන්නෙ..අරෝෂයා හිතලම සිංදුව ඉංග්‍රීසියෙන් ලියන කොට වචන මාරු කරලා..



අන්තිමේ රවියා විවිධ ප්‍රසංගෙට කිව්වෙ නම් වෙන සිංදුවක්..

මේ කතාව අපේ නම් එක්කම කියලා මෙන්න මගේ සිංහල යාළුවන්ගෙ වැඩ කියලා..වචන මාරු කරලා සිංදුව කියලා මුළු හෝල් එකම හිනා ගස්සලා තිබ්බා..


ලංකාවෙ දිගටම ඉන්නවා කියලා ආවත් අවුරුදු පහකට පස්සෙ විතර...රවිලගේ තාත්තගෙ හිත වෙනස් උන නිසා..ආයි ඒ ගොල්ලො  තමිල්නාඩුවටම ගියා පහුගිය අවුරුද්දක..

යන්න ඉස්සෙල්ලා බදුල්ලෙ ඒ ගොල්ලන්ගෙ ගෙදර අපේ සෙට් එකටම පාටියක් දුන්නා..

අපි සමු ගන්න කලින් රවි අපිව බදා ගෙන ඇඬුවා..

කිසිම නෑදෑකමක්, හිත මිතුරු කමක් තියා ලාංකික කමක් වත් අරගෙන නො ආපු රවි මනුස්සකමින් අපිත් එක්ක කොයි තරම් ලංවුනාද කියලා හිතෙන්නෙ.. 

බොහොම රළු දරඳඩු පෙනුමක් එක්ක උඩට කරකවලා රැවුලක් වවලා ඉන්න රවිගේ තාත්තා අපි එක්ක කිව්ව කතාව ඇහුවහමයි..

"වැරැද්දකට තැලුවහමවත් අඬන්නෙ නැති සවී ..මට පුදුමයි පුතාලා !"

අදටත් ස්කයිප් කෝල් එකක් ගත්තහම රවියා කතාව ඉවර කරන්නෙ..

"මෙහෙ හරි පාළුයි බන්..මම කවදා හරි ආයි ලංකාවට එනවා

කියලම තමයි...

කාලයේ වැලි තලාවෙන් ටිකෙන් ටික වැහිලා යන්න දඟලන මේ මතකයන් අකුරු කරලා නොතියන්නෙ ඇයි කියලා අහන නිර්දය විවේචකයගේ ප්‍රශ්ණයට පිලිතුරු ලියන්නම්කො එහෙනම් මේ විදියට...


56 comments:

  1. කැරියොන් කැරියොන්... අම්මප රසවත් මතකයක්.. දෙපාරක් විතර කියෙව්වා ආසාවටම.. තව එක පාරක් කියවනව හොදේ... බොට ඉතිං මට කියන්න දෙයක් නෑ.. සත්‍යය හා නිර්මාණය කියන දේ දැන්නං මට පැටලිලා.. ඒක සුවර්

    ReplyDelete
    Replies
    1. මිහිරි අතීතය වගේම දැන් නම් මතක් වෙනකොටත් දුකයි දේශකයා...

      Delete
    2. පැහැදිලියි...

      Delete
  2. පර දෙමළා/පර සිංහලයා. මුන් දෙන්නා අවබෝධයෙන් එකට එකතු වුනොත් මොනවද කරන්න බැරි. ඉස්සර වෙලාම මුන්දෙන්නා මැද්දේ තියන බාදක බිඳලා දාන්න ඕනෙ. උතුරේ අවංක දෙමල මිනිස්සු, දෙමල නායකයන් කියලා කියාගන්න එවුන් බහුතරයක් පිළිකුල් කරන්නේ, අපි අපේ දේශපාලුවන් පිළිකුල් කරන ආකාරයටමයි. මම ඒක අත්දැකීමෙනුයි කියන්නේ.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබ අත්දැකීමෙන් කියන දේ ඇත්ත බහුතරයක් දන්නවා විචාරක...බාධක බිඳෙයි ඉදිරියේදිවත්..කියලා හිතමු පතමු !

      Delete
    2. හරියටම හරි විචාර, එක තමයි වෙන්න ඕන.

      Delete
  3. ඔය සහෝදරත්වය එදා යාපනේ මිනිස්සු ලඟත් උතුරන්න තිබුනා.. තුඃ නොදකින්... කාළකන්නි දේශපාළණය......

    ReplyDelete
    Replies
    1. වෙන මොනා කියන්නද මාතලන් !

      Delete
  4. හරිම සංවේදී සටහනක් වෙනී අයියා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් දුකයි ප්‍රසා..

      Delete
  5. වෙනිය කතාව නම් අපූරුයි. මම හිතන්නෙ මෙහෙමයි බහුතරය. මොලේ ඔල්මොරොන්දම් කාරයො ඉන්නෙ ටිකයි. ඒත් උන්ගේ වැඩ තමයි ප්‍රසිද්ධ වෙන්නෙ. ඒ නිසා මෙය ලිවීම වෙනුවෙන් මගේ ආචාරය නැවත පිළිගන්න. විචාරකගේ කමෙන්ටුවත් ඉතාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් වෙදනා ඒක නම් ඇත්ත..ගොඩක් අය මේ කතාවල් සිද්ධ උනත් කියන්න අකමැති ඇයි කියන්න තේරෙන්නෙ නෑ...

      Delete
  6. අන්තිමට ඇස් දෙක තෙමුනා වෙනි අයියා..

    අර සිංදුවෙ පද මාරු කළේ කොහොමද කියලා මම මේ කල්පනා කළේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, ඇත්තටම අපිටත් ඇඬුනා අන්තිමේදි..
      අපෝ අරෝෂයා ඔය වචන මාරු කරන වැඩේට පට්ට දක්ෂයි...

      Delete
  7. අැත්තටම සත්‍යය සිදුවීමක්ද? නැතිනම් නිර්මාණයක්ද? කොහොම වුනත් අපේ රටේ සිදී ගෙන යන මනුෂ්‍යත්වය උතුරා ගලන සටහනක්.

    ReplyDelete
    Replies
    1. සටහන සාර්ථකයි කියලා හිතෙනවා ඔබේ කමෙන්ට් එක දුටුවහම...

      Delete
  8. මමත් මේ දවස් වල ඔය වගේම දේකට මුහුණ දෙන නිසා අන්තිම කොටස ගොඩක් තදින් දැනුනා. ඇත්තටම තවමත් සිංහල දෙමල සහෝදරකම් නැති වෙලා නෑ කියලයි මටනං හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ සහෝදරකම නැති වෙලා නෑ මල්ලි..ඔබේ සිදුවීම් උනත් ලියන්න හැමෝම එක්ක බෙදා ගන්න !

      Delete
  9. අඩි පාරෙ සීයා ගාව..
    දුටුවා නුඹෙ නීල දෑස
    සංකර නැති පිංකර ඇති
    නෙළුම් පොඩිත්තී..

    මේකෙ හරි වචන ටික කියහංකො මටත් හිනාවෙන්න. :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අඩි සීයෙ පාර ගාව කියලා සර්ච් කරලා අහන්න හෙන් රි...
      යූ ටුයිබ් එකේ තියෙනවා සින්දුවම..

      Delete
    3. හෙන්රි අහල තියෙන්නෙ රවී කියපු වචන සෙට් එක.මටත් ඕකම අහන්න හිතුන.

      Delete
    4. හෙන් රි ඔබ සින්දුව රස විඳ ඇතියි කියලා හිතෙනවා..

      Delete
  10. loku padamak kiyala duna.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඔව් සන්ජීව අපිත් ලොකු පාඩමක් ඉගෙන ගත්තා මේ වගේ දේවල් වලින්...ජාතිය ජන්මෙ කෙසේ වෙතත් තාරුණ්‍යය හැම තැනම සුන්දරයි..

      Delete
  11. මේ.. පරිස්සමෙන් හිටහං. ටෙලියක් කරන එකෙක් උඹව උස්සගෙන යයි. හැබැයි මම නම් ඒකට කැමතියි දැන් දකින් ටෙලි වල හැටියට

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙනස් ටෙලි හැදෙනවනම් කොයිතරම් හොඳද මල්ලි..ඒත්..

      Delete
  12. හප්පා.. මේකත් ශබ්ද නඟා කියවීම කරන්න උනා.. හැබැයි එතකොට තමයි සින්දුවේ එහෙම නියම ගතිය එන්නෙ... හි හි....

    ඔහොම මතකයක් මටත් තියෙනවා ... අපි ඉගෙන ගත්තේ යුද්ධෙ අන්තිම කාලේ නිසා සිංහල අපි අතරේ දෙමල කියන්නේ හතුරෝ කියන මානසිකත්වය තිබ්බේ නෑ.. හැම දෙමල මනුස්සයම කොටියෙක් නෙවෙයි කියලා තැනට අපිව අරන් ඇවිත් තිබ්බා... ඒත් දැන් මං දන්න විදියට ඒකෙම අනිත් පැත්ත වෙලා තියෙනවා මුස්ලිම් අය ගැන... විශේෂයෙන් 9-12 පන්තිවල ඉගෙන ගන්න ළමයි එහෙම... මේවා ආයි ආයිත් වෙන්න ඉඩ තියෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. හි හි....
      හි හි....
      හි හි....

      Delete
    2. ඔව් හිරූ..දුක ආයි මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩත් වැඩී තමයි.අතීතයෙන් මිනිස්සු පාඩම් ඉගෙන ගත්තොත්...
      හිරූ මේ හිනා වෙන ඇනෝට අපි ඉඩදෙමු නේද ? හැබැයි කොයි තරම් හොඳද හිනා වෙන එක ...

      Delete
  13. මේ වගේ අත්දැකීම ගොඩක් මටත් තියෙනවා. මොකද මහජන බැංකුවේ අපිට සිංහල දෙමළ අය එකට මුණ ගැහෙන වාර අනන්තයි. ඇත්තටම අපේ තියෙන වැරද්දක් තමයි අනිත් අයගේ සංස්කෘතීන්ට හිනා වීම. සැටලයිට් ටී.වී. එකට පින් සිද්ද වෙන්න ලෝකේ තියෙන හැම සංස්කෘතියක් ගැනම දන ගන්න පුළුවන් වෙලා තියෙනවා. හිටවත් වුනාම දෙමළ අය හරිම ලෙන්ගතු මනුෂ්‍ය කොට්ඨාශයක්.

    ReplyDelete
    Replies
    1. සුදීක ඒ අත්දැකීම් හැමෝම එක්ක බෙඝා ගන්න කාලය හරි නේද ? අනුන්ගෙ සංස්කෘතීන්ට හිනාවීම වැරැද්දක් ඒක ඇත්ත..ඔබ කියන කතාව මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්...මෙතන තියෙන්නෙ ජාතිය,ආගම, භාෂාව අබිභවා ගිය තාරුණ්‍යයේ සොඳුරුතම සිදුවීම් කීපයක්... මේ සිදුවීම හරහා අපිටත් වඩා හිනා උනු රවී..ඒකට සාක්ෂි දරාවි..

      Delete
  14. හරිම අපූරු මතකයක්නේ.....

    ReplyDelete
    Replies
    1. අපූරු සොඳුරු මතකයක් සමනලී...

      Delete
  15. හිනා වෙවී කියවගන ඇවිල්ල අන්තිම ටික කියවද්දී නම් හිතට දැනුනෙ පුදුම දුකක්.
    මතකය අකුරු කරල තියෙන විදිය නම් ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු පහක් විතර හිනා වෙවී හිටි අපි සමුගත්තෙ බොහොම දුකින් කෙන්ජි..

      Delete
  16. පියෙහි විපපයොගො දුකඛො......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඒක අපි වින්දා..ඉස්සරහටත් එහෙමමයි !

      Delete
  17. ඔය වගේ හොඳ යාලුවෝ මේ පැත්තේ ඕනි තරම් ඉන්නවා...
    අමතක නොවෙන අපූරු අත්දැකීමක්!

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි..ඕනි තරම් ඉන්නවා..ඒත් අපේ ජීවිතේට කිට්ටු වෙන්නෙ කීයෙන් කී දෙනාද ? සොඳුරු මතකයන් ඉතුරු කරලා යන්නෙ කීයෙන් කී දෙනාද ?

      Delete
  18. හොඳම යාලුවොත් එක්ක තියෙන මතක අමතක වෙන්නේ නෑ ....

    ReplyDelete
    Replies
    1. ඔව් නැවතත් නැවතත්...හොඳම යාළුවො එකතු වෙනකොට අර පරණ යාළුකම් වල මතකයන් තවත් අළුත් වෙනවා..

      Delete
  19. කාලයක් ලඟින් ආශ්‍රය කරලා වෙන් වෙන්න උනාම පුදුම වේදනාවක් තියෙන්නේ වෙනී අයියේ.

    කතාවේ මුල හරිය කියවද්දී මට හිතුනේ වෙන කතන්දරයක් කියන්න එනවා කියලා. "අපි අහුවෙයි ඕවට" කියලා හිතාගෙනම තමයි බැලුවේ. ශික් මට තාම මුන් තුන්දෙනාව පැටලෙනවනේ......

    ReplyDelete
    Replies
    1. ඔව් අකමා..දැන් බොහොම අමාරුයි මේ ගොල්ලන්ව අන්දන්න...අළුත් ට්‍රික්ස් ටිකක් හොයා ගන්ඩෝනි...

      Delete
  20. මා එක්ක දැන් කේරළේ ඉංජිනේරුවො 3ක් ඉන්නවා...උන්ගෙන් මම ඒ වටපිටාව ගැන තොරතුරු සූරගනිමින් සිටින්නෙ ඉදිරි දවසක ලියන්නම්...මොනවා වුනත් මේ වගේ මිතුරුදමක් තිබිලා වෙන්වෙන අවස්ථාවෙ ඇතිවෙන සංවේදීකම පිළිබද අත්දැකීම් මටත් තියෙනවා...කැරිඔන් වෙනී මාමෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලිගෙ කාමරෙ පාලු වෙලා තියෙන්නෙ

      Delete
  21. වෙනීට ඒ කියන්නේ දැන් ගැට ගගහා හරි දෙමල කතා කරන්න පුළුවන්නේ..
    ඒක නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ..කියන දේවල් ගොඩක් දුරට තේරෙනවා..ඒත් කථා කරන්න නම් බෑ..

      Delete
  22. අපිත් ආව වෙනි බලලා යන්න.අපිටත් දෙමල උගන්නන බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි.මාත් තවම ඉගෙන ගන්නවා විතරයි..

      Delete
  23. සුන්දරත්වය මිහිරි අතිතයක සැමරැම දෝරගලා යනවා වෙනි

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් ඒකනම් හැබෑවයි..

      Delete
  24. අඩේ අර 3 ඉඩියට්ස් එකේ වගේ සිද්දීයක්නේ වෙලා තියෙන්නේ හිකිස්....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි එහෙව් කාලයක් අපිටත් තිබුනා..

      Delete
  25. කවදා උනත් ජීවිතේ වටිනාකමක් තියෙන්නේ මේ වගේ සොඳුරු මතකයන් ඉතිරි උනොත් විතරයි,

    ReplyDelete
    Replies
    1. ජීවිතේම කියන්නෙ මේ වගේ මතකයන් ගොඩක් !

      Delete