ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 6, 2012

ඇඟිල්ල ගහ ගත්ත ගමන්මද ඉන්නෙ ?





"මන් දැන් ඔය ඇඟිල්ල කපනවා පිහියක් අරන් ..කොච්චරවත් කටේ ගහ ගත්ත ගමන්මයි"

දවසකට ඔය කතාව කී සැරයක්නම් අම්මගෙ කටින් පිට වෙනවද මන්දා ? පස්සෙන් පහු වෙනකොට අක්කටත් ඔය ලෙඩේම බෝ උනා. ඒකට චූටි අක්කා නම් කලේ ,

"අම්මේ මෙන්නෝ ඇඟිල්ල..."

කියලා ගෙදර හරි වත්ත හරි එහෙම නැත්නම් වත්තෙන් පිට ගියා නම් ගම හරි දෙවනත් වෙන්න කෑ ගහපු එක තමයි. ඒ වගේමයි ...

"කෝ ගෙනාපල්ලා ඔය පිහියක් මේක කපලා දාන්න"

කියලා අම්මා කී සැනින්ම චූටි අක්කගෙ අතට පිහියක් එන්නෙ කොහොමද කියලා නම් මට අදටත් හිතා ගන්න බෑ.. 

"අම්මෙ මේකත් කපලම දාන්න"

කියලා ඉනෙන් පහලට වැටෙන සහ විනාඩියකට සැරයක් ඉන හරියෙන් අල්ලලා මමම උඩට ඇද ගන්න කලිසම් කොටේ දනිස්සෙනුත් පහලට ඇදලා දමලා මගෙන් ගුටියක් නොකා ඈතට දුවන්නත් චූටි අක්කා හරි සමතා ඒ කාලෙදිම..

මන් මතක ඇති කාලෙ ඉඳලා ඇඟිල්ල උරන පුරුද්ද තිබ්බා.. කොහොමින් කොහොමින් හරි බය කරලා තර්ජනය කරලා ඇහැරලා ඉන්න වෙලාවලට ඔය පුරුද්ද නැති කලත්... රෑට නින්ද යනකොට ඉබේම ඇඟිල්ල කටේ ! ඒත් එකදවසක මන් ඇහැරුනෙ කටට ආපු අමිහිරි තිත්ත රහක් එක්කමයි.. මන් අඬා ගෙන නැගිට්ටත් අම්මලා අක්කලා අයියලා හිනා වෙවී උන්නා යස අගේට... ඔට සංසිද්ධිය දවස් කීපයක් උනාමත් හරි ඇඟිලි උරන පුරුද්ද මගෙන් ඉබේම මඟෑරිලා ගියා. ඇත්තටම සෑහෙන කාලයක් යනකම් මගේ වැඩ ගැන සුවර් නැති නිසා වෙන්න ඇති අම්මලා මන් උරන ඇඟිල්ලේ කොහොඹ තෙල් ගාලා තිබ්බ එකයි...කිරි දත් එන කාලෙ ඕසෙට ඇඟිල්ල උරපු එකේ ප්‍රථිඵලය උනේ නම් අදටත් තියෙන මගේ බොල්ලෑ දත් සෙට් එක.. මන් බය වෙලා හිටියේ ඒ කාලෙ අර එක චිත්‍ර කතා පත්තරේක.. මට මතක හැටියට සිත්තර පත්තරේද කොහෙද..ගිය කතාවක නෙල්ලි කැලේ බුරියගෙ වගේ මගේ දත් ටික එයි කියලයි..එහෙම වෙනවාමයි කියලයි අපේ චූටි අක්කා කියලා තිබ්බෙ.. 

ඔය වගේම මට බෝ වෙලා තිබ්බ අප්‍රසන්න පුරුද්දක් තමයි පොතක හරි පත්තරයක හරි පිටු පෙරලනකොට ඇඟිල්ල දිවේ ගාන එක.. ටික කාලයක් යනකොට මන් පවිච්චි කරපු පොත් අඳුරගන්න පුළුවන් අනන්‍යතා ලක්ශනයක් උනේ කොලේ උඩ කෙලවරේ කුණු සලකුණක් තියෙන එක... පස්සෙ නම් ඒ පුරුද්ද නැති උනේ පොත් පත්තර කියවන්න තියෙන ආසාව නිසාම වෙන්න ඇති. කාලයක් වතුර කෝප්පයක් අරන් ළඟ තිබා ගෙන කියවන්ඩ පටන් ගන්නවත් මතකයි..
මේ ඇඟිලි උරන , කෙල ගාලා පොත් පෙරලන අතීතය අද මතකෙට ආවෙ බස් එකදි වෙච්ච සිද්ධියක් නිසාමයි. මන් දැන් අළුත් තැන ඉඳන් පැය භාගයක් විතර බස් එකේ එන නිසා..ඒ වෙලාව මන් යොදා ගන්නෙ කියවන්න බැරි වෙච්ච බ්ලොග් කියවන්න..සහ එව්වට ලියන්න කමෙන්ට් හිතන්නයි.. 

ඉතින් බස් එකේ මොකෝ උනේ..මගේ කියලා ළඟ හිටි සුරූපී නංගිගෙ ඇඟිල්ලවත් උරන්න ගියාද ?

නෑ පිංවතුනි මෙන්න මේකයි උනේ..මන් සල්ලි දීලා කොන්දොස්තර දිහා බැලුවෙ ටිකට් එකක් ඉල්ලනයි. මොකද බස් එකෙ යන අන්තිම කෙළවරටම යම නිසාඔය අතරෙ චෙකර්ස්ලා පැන්නොත් එහෙම.. 
මිනිහා කලේ මොකද.. ඇඟීල්ල දීවේ ගෑවා කැඩුවා ටිකට් එක මගේ අතට දුන්නා..මන් ටිකට් එකේ අග කෙළවරින් අල්ලලා ගත්තත් එක්කම මන් දැක්කෙ මිනිහා අල්ලා ගෙන හිටි කෙළවරේ කෙළ තප්පයක්..
හිතට එක පාරටම ආවෙ අප්‍රසන්න බවක්..ටිකට් එක ගන්න උස්සපු අත එහෙමම තියන් මන් කීවා බොහෝම හෙමිහිට මිනිහට ඇහෙන්න විතර සද්දෙන්..

"මට වෙන ටිකට් එකක් දෙන්න"

"ඇයි ඒ මොකද ? බොරැල්ලට රුපියල් තිහයි.. ඔය තිහේ ටිකට් එකක් දීලා තියෙන්නෙ"

කියලා මිනිහා ටිකක් හය්යෙන් කීවෙ බස් එකටම ඇහෙන්න වගෙයි. මන් සාමාන්‍යෙන් කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන විදියට කතා කරන්න අකමැති උනත් මට ඇල්ලුවෙ නෑ මිනිහගෙ ටෝන් එක...මිනිහා හෙමිහිට ඕක කීව නම් මාත් ශේප් එකේ කාරනෙ කියනවා. 

"බලන්ඩ කටේ ඇඟිල්ල ගහලා ටිකට් එක කඩලා දුන්නා. ටිකට් එකේ තියෙන කෙළ තලිය.. මෙකත් එක්ක මට කියන්නෙ සාක්කුවට දමා ගන්න කියලද?

මමත් මිනිහට නොදෙවෙනි සද්දෙකින් ඇහුවා. කොරන්න දෙයක් නෑ..මිනිහට හෙන අප්සට්.. ඇදලා ගත්තා ඒ ටිකට් එක ..ආයිමත් පුරුද්දට වගේ ඇඟිල්ල කටට යන්නත් ගිහින් අමාරුවෙන් ඒක නවත්තගෙන මට ටිකට් එකක් දුන්නා.. බස් එකේම ඉන්න අය වගේ මිනිහා දිහා බලලා පිළිකුලෙන් වගේ තමන්ගෙ ටිකට් දමා ගත්තෙ කොහෙද කියලා වෙන්න ඇති බලන්න ඇත්තෙ..

අද වෙනකොට ගොඩක් බස් වල ටිකට් කඩන මැශින් තියෙන නිසා මේ ප්‍රශ්නෙ එච්චරටම නැති උනත්.. අර ලෑල්ලක ගහන් ඉන්න කොන්දොස්තර මහත්තුරු ටිකට් දෙනකොට බලන්න වෙනවා ඒ ගොල්ලො කොහොමද ටිකට් එක කඩන්නෙ කියලා,..

ලෙඩක් දුකක් උනහම කෙනෙක් ජරාජීර්ණ උනහම එයාව අතපත ගාලා සුද්ද කරන්න පිරිසිදු කරන්න කැත හිතක් කොහොමත්ම එන්නෙ නැති උනාට මේ වගේ සිද්ධියකදි අප්‍රසන්න හැඟීමක් එන එක වලක්වා ගන්න නම් අමාරුයි.. 

45 comments:

  1. ඇඟිලි ගැන කෙල ගැන නං කතා ගොඩක් තියනව. ඒලෙවෙල් කරන කාලෙ අපේ එකෙක් කෙල්ලෙකුට ට්‍රයි කලා. යාන්තමට විතර ලකුණුත් වැටිගෙන ආව. දවසක් මේ කෙල්ලගෙ දබර ඇඟිල්ලෙ නියපොත්තෙ විතරක් රතුපාට ගාල තිබුන. අපේ මෑන් කට තියාගෙන ඉන්න බැරුව ඇහුව "උදේ පාන්දරම ඇඟිල්ල කොහේද ගහගත්තෙ" කියල. ධන රින වෙලා බොහොම අමාරුවෙන් කාලයක් ගිහිල්ල යාළු කරගත්ත.

    අපේ ජූනියර් බැච් එකක මල්ලි කෙනෙක් දවසක් අපේ එකෙක් එක්ක කතාව. මූ කියනව රස්සාවක් හොයල දෙන්න කියල. අපේ එකා කියනව "හරි මල්ලී පෝස්ට් ඔෆීස් එකක අවුලක් නැද්ද?" "කමක් නෑ අයියේ, මොකද්ද පෝස්ට් එක" "මුද්දර අලවන්න එන අයට කෙල ගාගන්න දිව ඇදගෙන ඉන්නඑක".

    කතා ඇති. දැන් උඹේ මාතෘකාව. සීතල කාලගුණය ඇති දවසට පොත් පත්තර පෙරලන වෙලාවට ඔය අවුල තියනව. රස්නෙ දවසට නං ඇඟිලි අග දහදිය ගතිය නිසා අවුලක් වෙන්නෙ නෑ. මේ දෙකේ වෙනස අත්දැකල තියනවද?

    ReplyDelete
    Replies
    1. මගේ නම් ඔය පුරුදු දෙකම පොඩි කාලෙදිම නවත්තා ගත්තා..ආ ඔව් ඔව් අන්තිම නිරීක්ශනය කරලා තියෙනවා.. දැන් නම් ගත්ත ගමන් පොත කීප සැරයක්ම එහාට මෙහාට පෙරලලා කොළ ටික හරි ගස්සා ගන්නවා

      Delete
  2. කතාවක් තියෙනවා ඒ උනාට මේකේ කියන එක හරි නෑ. අපේ මිනිස්සුන්ගේ කොච්චරනම් කැත පුරුදු තියෙනවද....? මම උඹේ කට ගැන කියන්න ගියේ ඒත් උඹම ඒක මේකේ ලියලනේ....

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මාතලන් ඕන් ඔහෙ ලියලා දාන්න මෙතන.. කැත පුරුදු තියෙනවා කියලා තේරුම් ගන්නවනම් එව්වා නැති කරගන්න මුල්ම පියවර ඒකම තමයි..

      Delete
  3. මටත් පොඩිකාලේ නම් තිබුනා කටේ ඇඟිලි ගහන පුරුද්ද.කොහොම හරි ඒක මගහැරුනා. අපිත් එක්ක ඕ ලෙවල් පන්තියේදි හිටපු යාලුවෙක් නිතරම කටේ ඇඟිල්ල ගහගෙන නියපොතු කනවා. එයාගේ නියපොතු කාලා කාලම හුඟක් පොඩියි. ඒක නම් රෝගයක් කියලා අහලා තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් අහලා තියෙනවා නියපොතු කන එක ලෙඩක් කියලා..අපේ ඥාති දුවෙක් හිටියා එයා අර ප්ලාස්ටික් අඩි රූල් කනවා..

      Delete
  4. Replies
    1. ඕන් ඔහොමයි උනේ ඉතින් !

      Delete
  5. අනේ මන්දා ඔය පුරුද්දනම් ගොඩක් කට්ටියට තියනවනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් බලන් ඉන්න අයට ටිකක් අප්‍රසන්නයි නේ !

      Delete
  6. කෙල සීන් හොටු සීන් ඔක්කොම එකයි...
    මං අදුරන බුවෙක් හිටියා නහය හාරලා ඇගිල්ල ලෙවකන..
    හික්ස්...

    ReplyDelete
    Replies
    1. ඇඟිලි උරන එක තව හොඳයි.. ඒව පොඩි කාලෙදිම කියලා හදලා නැති එක තමා !

      Delete
  7. ඇගිල්ල කටේ ගැහුවම දත්ටික නෙල්ලිකැළේ බුරියගෙ වගේ වෙන්නෙ නෑ. ටිකක් බොල්ලෑ වෙලා රදනක දත් වල යට දාරෙ වක්‍ර වෙනවා. එතකොට එකනින් දිව ට්කක් එළියට එනවා. ඒක තමයි වෙනියට වෙලා තියෙන්නෙ...

    පොත් පිටු පෙරන්න කෙළ ගාන එකනම් මට පේන්න බැරි වැඩක්. පිටුව පෙරලන්න පොතේ ඉහළ දකුණු පැත්තට වෙන්න මහපට ඇගිල්ල තියලා ටිකක් ටච් කළාම, පිටුව ඉස්සෙනවා එතකොට දබර ඇගිල්ල ආධාරයෙන් පිටුව පෙරලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් මාත් ඒ කාලෙදිම ඔය මෙතඩ් එකට මාරු උනා..අනික මන් කොහොමත් මිනිස්සුන්ටත් වඩා පොත් වලට ආදරේ නිසාම..ඒ පුරුද්ද නවත්තා ගත්තා ඉක්මනින්ම !

      Delete
  8. මං නම් හිතන්නෙම අරක කැපුවනම් මොනා වෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. බය හිතෙන කතා කියන්නෙපා බං.

      Delete
    2. හිතුවට කමක් නෑ කරලා හෙම බලන්න යනවා නෙවෙයි, ඕං

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. වැඩිහිටියෝ කියන දේ අහන්ඩ ළමයා ! නැත්නම් පස්සෙන් පහු කියයි මේ පෝස්ට් එකෙන් ගත්ත ආදර්ශෙ තමයි කියලා..

      Delete
  9. ඔය කෙළ ගාල පි‍ටු පෙරලන පුරුද්ද මටත් බලා ඉන්න අපිරියයි. බැංකු වල තෙත ස්පොන්ජ් එකක් තියෙනවා දැකලා තියෙනවද ටෙලර්ස්ලට පාවිච්චි කරන්න.
    ඉස්සර පේප මාකිං ගියාමත් ඔහොම උන් හම්බ වෙනවා.
    ඕකෙ වැඩේ පුරුදු උනාම තමයි ඔය ඔක්කොම ප්‍රශ්ණ. ඒ පුරුද්ද නැති එකා ඔය අගේට පි‍ටු පෙරලන්නෙ.
    හා කතාව ඉවරයි. ඒයි ඒ ගමන කොහෙද ඔය ඇඟිල්ල ගහගෙන ඉන්නෙ මොනිටරේ දිහා බලාගෙන?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔව් පුරුද්ද තමයි ඒක..නැත්නම් දැන් තියෙන පොත් වල කොළ පෙරලන්න හරිම පහසුයි..අර ඒ කාලෙ තමයි බාල කොළ තියෙන පොත් පෙරළන්න අමාරුයි...
      චික් බලන් ඉඳලා වගේ ඇඟිල්ල ගහන් ඉන්න තැන කියපු අපූරුව !

      Delete
  10. අපෝ ඇඟිලි ගහන පුරුදුනම් මට නෑ. මමත් හරිම අකමැති වැඩක් ඔය විදියට කෙල ගාගෙන පොත්වල පිටු පෙරලන එක. විශේෂයෙන් මගේ පොතක් කවුරුහරි එහෙම පෙරලනව නම් මට ඌරුජුවල්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය පුරුද්ද ඇති උනේ අවුරුදු 8-9දී වගේ..තේරෙන කාලෙ එනකොට නැති කර ගත්තා..ඇයි පොත් වල බුක් මාර්ක් නොතියා කොළ නවන අය..මගෙන් ආණ්ඩුවෙ ලොකු ලොක්කො පවා බැනුම් අහලා ඇති ඔය වැඩේට නම්..

      Delete
    2. ආහ්.. මටත් පොත් වල පිටු නවන එවුන් නම් පෙනෙන්න බෑ. දුටු තැන සොරි තමා. එක්කෝ කොලයක් නවල තීයාපන්. ඒක බෑ..

      Delete
    3. කොහොමද මචං මෙහෙම කොලම් දෙකකට කමෙන්ට් දාන්නේ :O

      Delete
    4. DDT ගෙන්ම තමයි ඒක අහන්න වෙන්නෙ !මාත් ඒක නෝට් කලේ බීටල් කීවහම තමයි..
      අපි දැන් කොළ නවන අයට හැමෝටම බුක් මාක් දෙනවා..බලා ඉඳලම..ඒ ගොල්ලො ලොකු ලොක්කො තමා..ඒත් ඒ වැරැද්ද ආයිමත් කරන්නෙ නෑ..

      Delete
  11. අප්පා මට පෙන්නන්න බැරි වැඩක් තමා පිටු පෙරලන්න කෙල ගාන්න ලැප්ටොප්එක කෙල ගාලා ඇරියත් කමක් නෑ පොත් පිටුවල කෙලගාන්නේ නැතිව

    එක නෙවේ වෙනි අයියා බ්ලොග් පිටු පෙරලන්නෙත් කෙලගාලද...

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      මීයගේ බෝලෙ කරකවලා ! කොහොමද එක්සෑම් එක මල්ලි ?

      Delete
  12. අපේ ලොකු දෝණි පටන් ගත්තා නිය පොතූ කන්ඩ.
    මම මොකද දන්නවද කරේ.

    අනේ පුතේ මෙන්න මේ ටිකත් කන්ඩ කියලා මගේ කකූල් දෙක දික්කරා කෙල්ලට හැමවේලාවකම , අන්තිමට මගේ කරදරය හන්දා කෙල්ල වැඩේ නැවැත්තූවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් නියම වැඩක් තමයි මල්ලි.. ඔය වගේ ට්‍රික්ස් වලින් ලේසියෙන්ම පුළුවන් පුරුදු නවත්වන්න !

      Delete
  13. අර රස්සාවක් නැති කාලේ පොස්ට් ඔෆිසියේ දිව දික් කරන් හිටි කාලේ වෙනියට අමතකයි දැන් !

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ බන් අයියෙ ඒක අමතක වෙන්නෙ නෑ..මගේ පර්ෆොර්මන් මදි කියලා අයින් කරද්දි අයියට ප්‍රොමෝශන් එකක් හම්බ උනා නොවැ...

      Delete
  14. ඔය වැඩේ හැමෝම වගේ පුරුද්දට කරනව.
    ඒත් කඩදාසි වලට ඇඟිල්ල හුරු උනාම කොළ පෙල්ලන්න කෙළ ගාන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා..ඒක පුරුද්දම තමයි..නැත්නම් ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි..
      සද්දෙ වහල උපන්දිනේ සැමරුවා නේ..හිටුකො දවසක සෙට් එක එක්කම ඇවිත් පාටියක් ගන්ඩ !

      Delete
  15. නියපොතු කන ලෙඩේනම් මටත් පොඩි කාලෙ ඉදලා තිබිලා බොහොම අමාරුවෙන් නවත්තගත්තා. පොත් පෙරලන්න කෙළ ගාන එකනම් මට පේන්න බැරි වැඩක්.

    ReplyDelete
    Replies
    1. නියපොතු කන අය නියපොත්ත ඉවර කරලා ඇඟිල්ලත් කනවා මන් දැකලා තියෙනවා..හැබැයි පොඩි කාලෙ ඉවර වෙද්දි..ඒ පුරුදුත් නැති වෙලා යනවා..

      Delete
  16. නියම විවෙචනයක් වෙනි අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි, විවේචනයක්ම නෙවෙයි..නිරීක්ශනයක් කියමු..

      Delete
  17. මාර සීන් එක. ප්‍රයිවෙට් බස් එකක ඔහොම සීන් එකක් වෙලා මම ටිකට් එක ජනේලෙන් එලියට වීසි කළා. චෙකර්ලා අවොත් කියන්නේ ටිකට් දුන්නේ නෑ කියලා. බලමුකෝ වෙන්නේ මොකද කියලා..

    ReplyDelete
    Replies
    1. දැන් නම් නිතර නිතර චෙකර්ලා පනිනව්ව ක්සැන්ඩර්.. ප්‍රයිවෙට් බස් වල උනත් දැන් එහෙමයි.. ඒත් එක එක්කෙනා ළඟට ඇවිත් නම් ටිකට් චෙක් කරන්නෙ නෑ..

      Delete
  18. ඇත්ත ඇත්ත එපාම වෙනවා එතකොට නම්.

    ReplyDelete
  19. මේක කියෙව්වෙත් නියපොතු කන ගමන්... :(

    ReplyDelete
    Replies
    1. අත වලද කකුල් වලද බීටල් දැන් නියපොතු කෑවෙ ?

      Delete
  20. ඔය වගේ අමුතු පුරුදු අපි හැමෝටම තියනවා නේ..
    මම නම් අම්මගෙනුයි අප්පචිගෙනුයි ඇති තරම් බැණුම් අහන්නෙ වමතින් කෑම කාලා...
    ඒ දෙන්නා ගොඩක් මහන්සි වුනා දකුණු අතට මාරු කරවන්න..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ අපි හැමෝම ගාවා මොනා හරි ඔය වගේ පුරුද්දක් තියෙනවා..මඟ හරවා ගන්න පුළුවන් හැබැයි...

      Delete