----------------------------------------------------------
ඡායාරූපය ගත්තෙ
http://www.bbc.co.uk/programmes/galleries/p00w47v9
"ලියන්නා එහෙනම් අපේ මුණුබුරායි මිනිබිරීයි දෙන්නවම මේ ආදර්ශ ගොවිපළ බලන්න එක්ක යන්න...ඩ්‍රයිවර් එක්ක විතරක් යැව්වට වැඩක් නෑ..ඔයා ඉතින් ගම් පළාත්වල ඒවා ගැන දන්න නිසා..වැඩිපුර කියලා දෙන්නත් පුළුවන් !"
ගෙදරට - ඒ කියන්නෙ මගේ ඇනෙක්ස් එකට - වෙලා ජොළියෙ ඉන්න හිතන් හිටපු ඉරිදාවක් ඔන්න ඔහොමයි ගෙවෙන්න යන්නෙ.. මගේ ඇනෙක්ස් එකේ අයිතිකාරයාගේ රට ඉන්න පුතාගෙ දුවයි පුතයි එක්ක මට සංචාරයක් සෙට් වුණේ ඔහොමයි. ගෙවල් හිමියකුටත් වඩා ඥාතියකු බඳු ඔහුගේ ඉල්ලීම කෙසේවත් බැහැර කිරීමට නොහැකි නිසා මේ කොන්ක්‍රීට් නගර සීමාවේම අසලක වූ කෘතීමව සකසන ලද ආදර්ශ ගොවිපළ නැරඹීමට සම්පූර්ණ දවසක්ම ගත කිරීමට සිදු විය. ආදර්ශය කෙසේ වෙතත් නියම සජීවී ගොවි ගම්මානයක වසර 20කට නොඅඩු කාලයක් ගත කල මා හට මෙවන් කෘතීමව සකසන ලද ගොවිපළක ඇති අරුමය සිත නැගෙත්ම නිතැතින්ම ඈනුමක් දෙකක් පිට වීම සිදු විය. මෙය එතරම්ම අලස උදාසීන කාර්යයක් විය.
නමුත් කල හැකි දෙයක් නැත. බැඳ ගත් බෙරය ගැසීමටම සිදු වේ. එම ඉරිදා දිනය..උදෑසන ආහාර ගත් සැණින් වාහනයේ රියැදුරු මා සහ දරු දෙදෙනා කැමරා, දහවල් කෑම , වතුර, පලතුරු සහ තවත් කෙටි කෑම බෑගයන් සහිතව ගමන ආරම්භ කළෙමු. මීට පෙර මෙම ආදර්ශ ගොවිපළ පිළිබඳ ලිපි කියවද්දී මා සිත නැගුණු සෝපාහාස සිතුවිල්ල තවම බැහැරව ගොස් නැත. නගරයේ සිටින අය සජීවී ගොවිපළවල් වෙත ගොස් එහි නියම අත්දැකීම් ලබා ගන්නවා විනා මෙවන් කෘතීම පරිසරයන් තුළ කෙසේවත් ප්‍රායෝගිකව ගොවි ජීවිත අත් විඳිය නොහැකිය. මෙය හුදෙක් තවත් එක් මුදල් ගරා ගන්නා ව්‍යාපෘතියක් පමණක් බව මා කිහිප විටෙකම මිතුරන් සම්ඟ තර්ක කළෙමි. ඔවුන් අද මා මෙලෙස මෙම ගොවිපළ වෙත යන බව දන්නේ නම්.. මුවින් පමණක් නොව තවත් ස්ථානයකින් හිනා වෙනු නියතය.දරු දෙදෙනා අතොරක් නොමැතිව නගන ප්‍රශ්න වලට මා සහ රියදුරා පිළිතුරු දී හෙම්බත් වෙද්දී..අප ප්‍රධාන මාර්ගයෙන් හැරුණේ අතුරු මාවතකටය.
කෙළවරක් නොපෙනෙන තරමේ ඉද්ද ගැසූවක් මෙන් කෙළින් පාරේ දිගටම කොහොඹ ගස් සරුවට දෙපැත්තේම වවා ඇත.
"අමරේ අයියෙ පොඩ්ඩක් වාහනේ නවත්තන්න"
මාවතේ මැද හරියේදී මාගේ ඉල්ලීමට රියදුරු අවනත විය. වායු සමණ රියේ දොර හැරි සැණින් නාස් පුඩු තුළින් පෙනහලු කරා ගමන් කල හුස්ම පොද මා විස්මයට පත් කරමින් දෙපයේ ඇඟිලි දක්වාත්, දෙ අතේ ඇඟිලි දක්වාත් ගමන් කරනු මා හට හොඳින්ම දැනෙන්නට විය. තවත් හුස්මක් ළය පුරා ගත් මා..හට දැනුණේ..වචනයෙන් කිව නොහැකි තරමේ සැහැල්ලුවකි. ඇඳුම් වලින් ආවරණය නොවූ ශරීරයේ දැවටෙන මුදු, මදක් සිසිල් මදනල..මා අමුතුම ලෝකයකට ගෙන ගියේය..දරුවන් දෙදෙනා සමඟ ඈතට දිවෙන කොහොඹ ගස් සමූහය සහ දෙපසින් ගලා යන සිහින් ඇල දොළ..සමගින් සවන් පිනා යන සිහින් සුළඟේ ශබ්දයට ලතාවකට ගී ගයනා සියොතුන්ගේ ශබ්දය.
"යමු ලියන්නා සර්.. එන්න බේබි... ගොවිපලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා..ඉක්මනට ගියොත් බලන්න පුළුවන්.. අක්කර විසි ගාණක්ලු "
රියදුරුගේ හඬින් මෙලොවට ආ අප නැවත රියට ගොඩ වූයෙමු.
"ඒසී ඕෆ් කරන්න අමරෙ අයියා..අපි ග්ලාස් ඇර ගෙන යමු "
කුමක්දෝ දමා යන්නට නොහැකි දුකක සේයාවක් මසිතේ පැලපදියම් වේ. කොහොඹ වැටිය අවසන පාර දෙපැත්තේම සරුවට වැඩුණු සූරියකාන්ත, දහස්පෙති, කූඩලු , හෙන්දිරික්කා , ගැට පිච්ච, ඉද්ද ආදී ගම් වලටම ආවේණික වූ මල් ගොමුව අවසානයේ ගොවි පලේ දොරටුව විය. අවසර පත් ගන්නා ඉසව්වේ පොල් කට්ටක වත් කල කහට සමඟ ලැබුණු කිතුල් හකුරු කෑල්ල...කලකින් ලද අමෘතය මෙන් විය.
අවසර පත් වල තරමක් ඉහළ මිල මා තරමක් මවිතයට සහ සිත තුළ කැකෑරෙන ගිනි පුපුරකට ගිනි ඇවිලෙන්නට විය.මිනිස්සුන්ගේ සල්ලි සූරා කා ලාභ උපයන තවත් එක ව්‍යාපෘතියක් යන්න තහවුරු කිරීමට තවත් සාක්ෂි කුමකටද ?
මම මුලින්ම සිතූ දෙය නිවැරදි යැයි මොරගාමින් මාගේ සිත යම් නරුම සතුටකින් ඉපිලෙන්නට වූවත්..අප හට ලබා දුන් මාර්ගෝපදේශකයා දුටු සැණින් එය නිවී ගියේය. මහලු වියට ආසන්න සුදු වූ කොණ්ඩය සහ රැවුල සමඟ බුලත් විට කා රත් පැහැ වූ තොල් අතරින් පැන නැගුණු අව්‍යාජ සිනහව අප සැමගේම සිත් ගත් බව නම් නොකිව මනාය. අපේ ගමේ ගොවියකු වූ පියා මෙන්ම ඔහුද බර අඩි තබමින් අපට ඉස්සර වූයේ දරු දෙදෙනා දෙ අතේම එල්ලා ගනිමිනි.
"හා ළමයි දැන් සේරම ඔය සපත්තු ගලවලා මෙතනට දෙන්න..අපි ඇවිදින්නෙ පයින් සපත්තු නැතුව..ආපහු එනකොට මෙතනින් ගනිමු"
දරු දෙදෙනා අකමැත්තෙන් වූවද එයට අවනත විය.
මම හඬ අවදි කළෙමි.
"Son you will hurt your feet dear, please don't. We will clean our shoes later.."
සිහින් මදහසක් මුව රඳවා ගත් අපේ මාර්ගෝපදේශකයා,
"Excuse me Sir, How are you going to feel the real farm life with those shoes ? Just trust me, You will feel better without shoes. A little bruise here and there is nothing serious Sir !"
මදක් බ්‍රිතාන්‍ය ඌරුවට ළංවූ වචන උච්ජාරණය මා අල්ලා පොළවේ ගැසුවාක් මෙන් විය. දුව මා දෙස බලමින් දිව දිගු කර විරිත්තන්නට විය. උද්ධච්ච නාකි මිනිහෙක් ! මෙතන ජොබ් එක කරන්න ඕනි නිසා ජීවිතේ අන්තිම කාලෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇති. මද නොරිස්සුමක් සහ තරහක් මා සිතට මෝදු වූයේ නැවතත් මා අභ්‍යන්තරයේ සිටි නරුමයා සිනා සෙමින් හිස ඔසවමිනි.
නොරිස්සුම් හැඟීමෙන් වූවත් නිහඬ වූ මාද පාවහන් ගලවා ඔවුන් හා එක්වීය. එක යායට පෙනෙන කුඹුරු යායක් අප දෙනෙත් ඉදිරියේ විද්‍යාමාන වන්නට විය. ලා කොළ පැහැ..අඟලක් දෙකක් උසට වැඩුණු කුඩා ලියැදි සහිත කුඹුරු යාය..දෙඇසට සිසිලසක් ගෙන එන්නට සමත් විය. කුඹුරේ නියර මත තරමක් උසට වැඩුණු තණ ගොල්ල මත පා තබනවාත් සමඟම.. කුඩා තණපත් අග බැඳී තිබූ සියුම් පිනි බිඳු යටිපතුල් මත පතිත වෙමින්..පාදයන්ට ගෙන ආවේ සියුම් සිසිලසකි. තණ පත් අග නිරුවත් යටි පතුල මත දැවටෙන විට සියුම්ව දැනෙන කිතිය...මා ගෙන ගියේ වචනයෙන් කිව නොහැකි තරම් සියුම් ආස්වාදයකටයි..මුළු සිරුරේම ඉන්ද්‍රීයයන් අවදිවී මා හට අවට පරිසරයේ සියුම් භාවයන් හා එකාත්මික වන්නට විය..
Come oooon uncle ! What are you waiting there freeze !?
ඔවුන් හා මා අතර පරතරය මා අඩු කළේ දුව ගොස්ය... මා හට සිහි වූයේ කුඩා කාලයේ දිනය පුරාම සරුංගලයක් අතැතිව ගම පුරාම ඇති කුඹුරු නියර දිගේ දිව ගිය කිසිම බරක් පතලක් නැති වගකීමක් නැති ජංගි කොටයක් ඇඳි කොලු ගැටයාය..
"සර් අපි යමු අර බිත්තර වී ගබඩාවට.. එන්න මේ නියරෙන් බැහැලා අපි කුඹුර මැදින් යමු.."
එක පේළියට රටාවට සිටුවා ඇති ගොයම් පැල කට්ටි අතර පොහොර දැමීමට සකසා ඇති කුඩා ඉඩ තීරුව මැදින් මේ තිදෙනා ගමන ආරම්භ කළේය. කී වාරයක් නම් අප මෙසේ ගොස් වල් නෙලා ඇත්දැයි මට සිහියට නගා ගත නොහැක.
"Uncle Why are you silent today ?"
මා වර්තමානයට පැමිණිය යුතුය..නැතහොත් අපේ මාර්ගෝපදේශක සිල්වා අංකල් මා උමතුවෙන්දැයි බලනවා නිසැකය.අඟලක් දෙකක් පමණ වූ මඩ සහිත වතුරේ චක චක හඬින් මහත් සතුටින් අප පිය මැන්නේ කුඹුරු යාය මැද වූ පිදුරු සෙවිලි කර වරිච්චි බිත්ති හා ගොම මැටි ගා පිරියම් කල නිවෙස වෙතටයි. එහි බිත්තර වී සැකසීමේ සිට ඒවා තවාන් කිරීමට බීජ පැල ඇදෙන තත්වයට ගෙන එන තෙක්ම වන ක්‍රියාවලිය එහි සජීවීව දක්වා තිබිණි.
ගමේ අපගේ නිවසේ සාලයේ පසෙක වතුරේ පොඟවන ලද වී ගොඩක් තෙත ගෝනි වලින් හා හබරල කොළ වලින් වසා ඇත. මමත් චූටි අක්කාත් බලා සිටින්නේ එහි කුඩා මුල් මතුවී වී ඇටයේ එක පැත්තකින් කුඩා අංකුර එළියට ඇදෙන තුරුය. මා වඩාත් ආශා කළේ කාටත් හොරෙන් අංකුර ඇදෙන වී ගොඩතුළට අත දමා ගෙන සිටින්නටය..එහි තුළ ඇති මද උණුසුම සමඟ එන සියුම් කිරි සුවඳ විඳ ගැනීමට කාලයෙන් බාධාවක් නැත.. විටින් විට එම වී ඇටයක් කටේ දමා සපා එහි සිහින් කිරි සහ පැණි රස විඳීමට කාගෙන්වත් බාධාවක් නැත.
"එන්න පුතා , එන්න දුව මේ හැදී ගෙන එන පැල අත ගාලා බලන්න"
මමද ඔවුන් හා එකතු වූයෙමි.
"පුතා හෙමීට ඔය පැළ කැඩෙන්නෙ නැති වෙන්න ඇඟිල්ල දමලා බලන්න ඒ ඇතුළෙ රස්නෙ"
පොඩි උන් දෙදෙනා විමතියට පත් වේ..
"ලියන්නා අංකල් දන්න දේවල්"
ඔවුන් තිදෙනාටම හොරෙන් මා අංකුර ඇදී ගෙන එන වී ඇට කීපයක් අත්ලේ සඟවා ගත්තේ ලද විටෙක රස බැලීමටය.කුඹුරු යායේ ඉහළට වන්නට මදක් මේරූ ගොයම් මෙන්ම අවසන් කෙළවර රන්වන් පැහැයෙන් හිස්බිමට නමා ගත් සරුසාර ලියැදි කීපය..හරහා අප ඇවිද ගියේ මහත් වූ ආනන්දජනක හැඟීමකිනි.
"බලන්න පුතා වී ඇට පැහෙන කොට මුළු කරලම බිමට නැමෙනවා"
"ආ..."
"අපි මේ කුඹුරු යායම අස්වද්දන්නෙ කිසිම රසායන බෙහෙත් පලිබෝධ නාශක, කෘමි නාශක පාවිච්චි කරලා නෙවෙයි..කොහොඹ වගේ සාම්ප්‍රදායික බෙහෙත් වර්ග කෘමි නාශක , පලිබෝධ නාශක විදියට පාවිච්චි කරලා වගේම කාබනික පොහොර වලින්ම තමයි."
සිල්වා අංකල්ගේ හඬ මා විමතියට පත් කරයි.
"එන්න පුතා දුව ගන්න මේ කූඩ දෙක අපි යන්නෙ ඊළඟට එළවළු කොරටුවට..මන් කියලා දෙන්නම් හොඳ මෝරපු එළවළු කොහොමද තෝරා ගන්නේ කියලා.. ඔයාලා දෙන්නා තෝරල කඩන එළවළු ඔයාලට ගෙදර ගෙනියන්න දෙනවා. මහත්තයාටත් ඕනිද?"
බුලත් කසට බැඳුණු මුවින් නැගෙන අව්‍යාජ සිනහව මැද ඔහු අසයි.
"එපා අංකල් පොඩි අයට දෙමු. "
මතකයට නගා ගත හැකි සියලුම වර්ගයේ එළවළු එහි වවා තිබුණි. පොඩි උන් දෙදෙනා අත ඇති කූඩා දෙක විවිධාකාර එළවළු වර්ග වලින් පිරී තිබුණි..ඊටත් එහා උන්ගේ හිත් පිරී ඇති බව ඔවුන්ගේ දිලිසෙන දැස් කියාපායි.
"ඔන්න පුතා දුව ඔය එළවළු ගෙදර ගෙනිහින් සේරම උයා ගෙන කන්න ඕනි. වස විෂ නැහැ ඕවායෙ ඔය සුපර් මාර්කට් වලින් ගන්න ඒවා වගේ"
"කොහොමද සිල්වා අංකල් අර වගේ ටිකට් වලට පොඩි ගණනක් අය කරලා මෙච්චර වියදමක් දරන්නෙ මේක බලන්න එන අය වෙනුවෙන් ?"
මගේ නරුම සිතට පරාජය භාරගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත...
මගේ සිත තුළ කැකෑරෙන ප්‍රශ්නය එළියට පැන්නේය. කට තුළ වූ විට හපය එළියට දමා අසළවූ කුඩා දිය දහරෙන් වතුර දෝතට ගෙන මුව සෝදා ගෙන ,
"මහත්තයා අපි මේ ගොවිපළ කරන සේරම ආණ්ඩුවේ ලොකු ජොබ් කරලා පැන්ෂන් එක අරන් ඉන්න ටීම් එකක්. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා.මේකෙන් පඩි ගන්නෙ නෑ..බලන්න මේ වගාව, ගස් කොළන් එක්ක අපි ආයි ආයි ඉපදිලා ළමා කාලය ගෙවලා තරුණ වෙනවා..ජීවිතේ පිරිලා යන්නෙ ඒ සතුටින්..සල්ලි වලට ගන්න බැරි"
මේ මඩ ගොඩේ දණ බිම ඇන මේ උතුම් පුද්ගලයාට වැඳ නොවැටෙන්නේ මන්දැයි මගේ සිත මුරගායි.
"එන්න සේරම අපි යමු සත්තු ගොවි පළට..අපේ සේරම පොහොර එන්නෙ එතනින් තමයි."
මනාව සකසන ලද සත්ව ගොවිපළ මට සිහි කළේ බටහිර චිත්‍රපට හෝ වාර්තාමය චිත්‍රපට වල දැක ඇති සිද්ධි සමූහයකි. එයද බොහෝ තරුණ හා මැදිවිය ඉක්මවූ බොහෝ පිරිසකට රැකියාව දෙන ස්ථානයක් බවද පෙනී ගියේ..නමුත් රැකියාවක් කරන බහුතරයකගෙන් දිස් වන වෙහෙසකාරී,නොසන්සුන්, පීඩනකාරී පෙනුම වෙනුවට ඔවුන්ගෙන් දිස්වූයේ මනා නින්දක් ලද මේ සැණින් අවදි වූ පිරිසකගේ පෙනුමකි. සියල්ලෝම අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන වචනයක් දෙකක් දෙඩීමට පසු බට නොවීය.
"මහත්තයා ඕන්න අල බෝග වගාව එක්ක මල් බලන්න විතරයි තව තියෙන්නෙ. එහෙමනම් අපි ඔය ඉස්සරහා ළිඳෙන් නාලා.. දවල් කෑම ගමු"
මාගේ දෑස යොමු වුණේ අතබැඳි ඔරලෝසුව වෙතටයි. පැය තුන හමාරක් ගෙවුණෙ කොහොමද ? ඉදිරියේ වූ එළි මහන් භූමිය මැද විශාල කුඹුක් ගසකි. එහි පාමුල විශාල ළිඳක්ද එයට යාව කුඩා නොගැඹුරු පොකුණක්ද විය.
"දූ පුතාලා ඔය පොකුණේ නාන්න.. එන්න මහත්තයො"
දරු දෙදෙනාට විධාන අවශ්‍ය නැත..දෙදෙනාම පොකුණ තුළ ජල ක්‍රීඩා පටන් ගති.
"මහත්තයා නාන්න අඳින්න යමක් ගෙනාවෙ නැද්ද ? එන්න මන් සරමක් දෙන්නම්.. "
රහසින් කනට කොඳුරා
"හොඳ කිතුල් රා තියෙනවා..පොඩ්ඩක් බොමුද මහත්තයා?"
ජීවිතයේ පානය කල හොඳම පානය එය විය.
කුඹුක් ගස පාමුලින් ගලා එන දිය දහරෙන් නා ගත් මා හට ඒ වන විට දැනෙමින් තිබූ වෙහෙස අතුරුදන් වූයේ කෙසේදයි මා තවමත් නොදනී.
දිවා ආහාරය වූයේ මඤ්ඤොක්කා,බතල, වැල් අල ආදී අල වර්ග වලින් සමන්විත කැකුළු හාලේ බත් සමඟ එළවළු කිහිපයකි. මස් හෝ මාළු නොමැතිව කෑම දෙසවත් නොබලන දරු දෙදෙනා බඩ පුරා කන ආකාරය මා මවිතයට පත් කළේය. දිවා ආහාරයෙන් පසු මදක් විවේක ගෙන අප මල් වගා භූමිය හරහා අපේ ගමනාන්තයට ළඟා විය.
නැවත නැවතත් ආවර්ජනය කරමින් අමන්දානන්දයට පත් විය හැකි හෝරා කීපයක් අප ගත කර තිබුණි. මාගේ පසුම්බියේ වූ සියලුම මුදල් ගෙන එය අප මෙම ගොවිපළට ඇතුළුවීමට වැයකළ මුදල මෙන් හතර පස් ගුණයක් වූවත් දෙවරක් නොසිතා කවරයක බහා අපගේ මාර්ගෝපදේශකයා අත තැබීය.
"මහත්තයලා මේ බෙලි මල් වතුර බොන්න.. මන් ටක්ගාලා එන්නම්"
සිල්වා අංකල් අතුරුදහන් වූයේ කොහාටදැයි සිතා ගත නොහැකිවිය. අප සමු ගැනීමට මොහොතක් තිබියදී ඔහු අප වෙත ආවේ සිනහා මුසු මුහුණකිනි.
"අපි සල්ලි භාර ගන්නෙ නෑ මහත්තයා රිසිට් එකක් නැතුව..මෙන්න රිසිට් එක. අපි මෙතනට එන හැමෝටම මේ තෑගිපාර්සලය දෙනවා..වටිනා පැල ටිකක් ..ඉඩ තියෙන තැනක හිටවලා දමන්න මහත්තය"
"එහෙනම් අපි ගිහින් එන්නම් සිල්වා අංකල්..අපි ආයිමත් එනවා"
ඔහුගේ දෑතම අල්වා ගනිමින් මම ඔහුගෙන් සමු ගත්තත්..දමා යන්නට බැරි දෙයක් අකමැත්තෙන් වූවත් දමා යනවා යන දුක්මුසු, ශෝකී හැඟීමක් මා සිත සමඟ පොරබදන්නට විය...
මීටම නොදෙවෙනි වූ සජීවී ගොවි ගම්මානයක්ම වූ අපේ ගම වෙත යා යුතුමය.. යන අදිටන මා සිත තුළ තැන්පත් වූයේ.. අමරේ අයියා වාහනය පණ ගන්වනවාත් සමඟය.
අපට පිටුපා සුළඟ සමඟ පොරබදන කොහොඹ අතු රිකිලි සහිත යාය වෙතින් අප සමු ගත්දී මා සතුවූ සිත පිළිබඳ මා හටම මහත් ලැජ්ජාවක් ඇති වීය
පසු දින කාර්යාලයට පැමිණි මා අපගේ පාලන අධ්‍යක්ෂ වෙත ගියේ දහසක් බලාපොරොත්තු ඇතුවය. තමා අසල වූ පරිගණක තිරයත් මේසය මත වූ ගොනු කිහිපයත් දෙස වරින් වර බලමින් ඔහු මා දෙස බැලුවේ නොරිස්සුම් ස්වරූපයක් මුහුණට ආරූඨ කර ගනිමිනි.
"සර් මට සති දෙකකට නිවාඩුවක් ගන්න ඕනි"
"What ? What are you talking Mr.Liyanna ? සති දෙකක් නිවාඩු අරන් කොහොමද? මේ අවුරුද්ද අන්තිමේ වැඩ වැඩිම කාලෙ..ඕනිම නම් දවස් දෙකක් ගන්නවා"
නැවතත් තම එක අතක වූ ගොනුවත් පරිගණක තිරයත් දෙස නෙත් යොමන්නට විය.
"සර්.."
"WHAT?"
මහා හඬින් ගොනුව මේසයට අත හැර කෝප සහගත දෙනෙතින් මා දෙසට හැරුණේ උපැස් යුවලද ගලවමිනි...
මතු සම්බන්ධයි...
-----------------------------------------------------------------
ඊළඟ කොටසින්,
"මේන් මහත්තයා"
කියමින් සියාතු මාමා දෑතින්ම සරම ඔසවා මා වෙත පෑවේය...
සියාතු මාමා ලියන්නාට සරම ඔසවා පෙන්වන්නට ඇත්තේ කුමක්ද ?
නිවැරදිව අනුමාන කර වටිනා තෑගි පාර්සලයක් දිනා ගන්න !
මට මතකයි මේ කතාව. නමුත් මෙතනින් පස්සේ මොකද වුනේ කියලා මතකයක් නෑ. උඹ ඉතිරි කොටසක් ලිව්වෙත් නැද්ද කොහෙද.
ReplyDeleteඇත්තටම ඉතුරු කොටස ඩ්‍රාෆ්ට් කරලා තිබ්බා මිසක් හරි හමන්වට ඉවර කරලා දැම්මෙ නෑ හෙන්රි දැන් තමයි ඉතුරු ටික ලියන්නෙ..
Deleteමේ ප්‍රශ්ණෙ ගෙදර අය වෙනුවෙන්. ඇත්තටම ඔහොම ෆාර්ම් එකක් ලංකාවේ තියෙනවද?
Deleteඑහෙම ඒවා හැදී ගෙන එනවා හෙන්‍රි..අපි ගිය සැරේ ඔෆිස් ට්‍රිප් එක ගියා ඔහොම තැනකට මම ළඟ විස්තර ඇති ෆොටෝත් එක්ක..මම ඒ විස්තර දාන්නම්
Deleteකියවන් යද්දී කතාවනම් මතක් වුනා.. බලමුකෝ දැන් ලියන්න යන එකේ ඉතුරු ටික..
ReplyDeleteඔව් මල්ලි ඔය ගොල්ලොනෙ ඒ දවස්වල මාත් එක්කම ඉඳලා මාව උනන්දු කලේ ලියන්ඩ කියලා..
DeleteMr .Liyanna සති දෙකක් නිවාඩු අරං ගොවිපලට නොමිලේ සේවය සපයන්න වගේ අදහස නම්.
ReplyDeleteඑත්......සියාතු මාම සරම ඉස්සුවම පේන්නෙ...............නම් ඉතිං..........ම්ම්ම්ම්.........අබුඩෙ තමා.....
බලමුකො කෙන්ජි මොකද වෙන්නෙ කියලා..අබුඩෙයක් ගහලා හිටියෙ නැත්නම් සියාතු මාමා ?
Deleteඅබුඩයක් ගහල නැතිනම්.......ම්ම් ම් ම් ම් .......ඉතිං..............තියෙන්න ඕනා අපට වඩා.....වෙ....එක්කො......ඕනෙ.....නැහැ......
Deleteමට කියන්නකො වෙනී එළවලු පාත්තියක් ලග ඉදලද සරම ඔසවා පෙන්නුවෙ කියල හොදේ.....
නෑ කෙන්ජි මහ නියරක් උඩ ඉඳන් ! හික්ස්...
Deleteමට නම් මෙහෙම කතාවක් කියෙව්වා කියලා මතකයක් නෑ.
ReplyDeleteමේ ගොවිපොළ කොහෙද තියෙන්නේ ලියන්නෝ? ඒ විස්තරත් දෙන්ටකෝ.
පොඩ්ඩිට මේ ලිපිය මුල කාලෙ මිස් වෙන්න ඇති එහෙනම්...ඊට සමාන ගොවිපලවල් ගැන විස්තරයක් දාන්නම් ඊළඟට පොඩ්ඩියෙ
Deleteසරම උස්සල සරමම තමයි පෙන්නන්න ඇත්තෙ.
ReplyDeleteඅපොයි ඒ උත්තරෙත් වැරදීයිනෙ දමිත්..උත්සාහයට ප්‍රශංසා කරමි
Deleteඑහෙනං වෙනී අයිය සියාතු මාමගෙ සරමත් ඇඳගෙන වැඩේට බහින්න වගේ ලෑස්තිය.
ReplyDeleteදැං තෑග්ගට දෙන්නෙත් සරම උස්සලද?
ඔව් ප්‍රසා මල්ලි කොයි තරම් දොස් කීවද අර පරන එව්වයෙ ඉතුරුව දාන්ඩ දාන්ඩ කියලා..ඕන් එහෙනම් !
Deleteචෙහ්..එහෙම තෑග්ගක් නෙවෙයි ඉතින්..බලමුකො කවුරුහරි උත්තරයක් කියයිද කියලා ?
සියාතු මාමා පෙන්නන්න ඇත්තෙ රඹුටන් පලදාව......
ReplyDeleteමේ උත්තරේ හරි ගියොත් මම කාටද තෑග්ග දෙන්නෙ ?
Deleteමටත් වෙලාවක හිතෙනවා ගමකට වෙලා ජීවත් වෙන්න මේ කලබලකාරී පරිසරයෙන් මිදිලා
ReplyDeleteහොඳ අදහසක් මල්ලි.
Deleteසිත් ඇදගන්න කතාවක් වෙනී ලස්සනට ලියල,මට මේක කියවන්න වෙලා නෑ,ඉතුරු හරියත් ඉක්මනටම දාන්න.
ReplyDeleteඔව් මේක අවුරුදු එක හමාරකට විතර ඉස්සර ලියපු එකක් හැලප අයියෙ..
Deleteඇත්තටම මේ ලංකාවේ තැනක් කියල හිතුනේ අර අන්තිමට සියාතු මාමා සරම උස්සලා ඔයගාව නැහැයි කියල හිතුන එක ඔයාට දුන්නයි කිව්වම ..... පැන්ෂන් ගිය සියාතු මාමාට දැන් එක වැඩක් නැතුව ඇති
ReplyDeleteමැලේත් සෝපාහාසය දන්නෙම නෑ වගේ..ඔව් එහෙම වෙන්නත් ඇති...
Deleteසිතින් ඇවිද ගියා නොදැනීම. මටත් හොයාගෙන යන්න හිතෙනවා. කොහෙද මේ තැන ?
ReplyDeleteඔයිට සමාන තැන් හැදී ගෙන එනවා..කෞතුගාරෙත් පරණ ගමක ආකෘතියක් හදලා තියෙනවලු..යන්න නම් බැරි උනා බලන්න..
Deleteමේක නං මතකයි. උඹේ කතා වලින් කැමතිම එකක්. ඊලඟ කොටස ලියපං කියල මම මීට කලිනුත් කිව්ව. දැන් ඒක ලියලද? (පැරණි කතාවට ලින්ක් එකක් දාන්නවත් බැරිද?)
ReplyDeleteපරණ කතාව ටිකක් විතර වෙනස් කලා රාජ්..ඊළඟ කොටස ඒ දවවලමයි ඩ්‍රාෆ්ට් කරලා තිබ්බෙ..ඒ කාලෙ ව්ච්ච ව්‍යාකරන වැරදි, අඩු පාඩු එහෙම හරි ගස්සනවා මේ දවස් ටිකේ..
Deleteම්චං මමත් මේ වගේ කතාවක් කියෙවුවා.... බලමු ඒ වගේද කියල....
ReplyDeleteගාලු...මේ කතාවෙ රාමුවත් බොහොම සාමාන්‍යකරනය වෙච්ච තේමාවක් නිසා..ඒ වගේ වෙන්නත් පුළුවන්..
DeleteMr.Liyanage.. (මේ නම හොඳයි උඹට )මේක කොහෙද බන් තියෙන්නේ. උඹේ ප්‍රබන්ධයක්ද? ඔවුනේ...ලියන්නාගේ සිහිනයනේ.. කොහොම උනත් පොඩි ළමයින්ටත් කියවන්න තැනක දාන්න බැරිද ළමා පත්තරයක වගේ
ReplyDeleteවෙනී.....උඹ මාතලන්ට වයිට් වෑන් පාරක් දුන්නා නේද?
Deleteබට අත කෘෂිකාර්මික ගම්මානයක් තියෙනවා..මේ කතාවෙ කියන තරම්ම නැති උනත්..එතනත් බොහොම හොඳට හදලා තියෙනවා..නමුත් අපි ගිය අවුරුද්දෙ බලන්න යනකොට නම් නඩත්තුව සවුත්තු වෙලා තිබ්බෙ..අද වෙනකොට තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ..
Deleteමී අම්මපල්ලා මාතලන්ට වෙච්ච දෙයක් නෑ..අපේ වෙදනා අයියා නම් කීවා පරිගනකයට වෛරස් ගිහින්ය කියලා..
කතාව නම් නියමයි ...ඇත්තටම අර සපත්තු ගලවලා ගොවිපොළේ ඇවිදින්න කියපු කතාව නම් සහතික ඇත්ත. තණකොළ පාගේනකොට දැනෙන සනීපෙ විඳින්නත් පිනක් තියෙන්න ඕන
ReplyDeleteපෙන්නුවෙ අමුඩෙ වෙන්න බෑ... බලමු අළුත් කොටසත් ඇවිත් තියෙනවා දැක්කා... මේක කියවලා ඒක කියවන්නේ... ඔය නිදාගෙන ඉන්න නරුමයා ඕන එකෙක් ගාව ඉන්නවා මං හිතන විදියට නම්... ඒකා ඇහැරෙන්න ඉතින් ඇත්ත මිනිහගේ උදව්වකුත් චුට්ටක් තියෙන්න ඕනා...
ReplyDeleteකුතුහලය නම් උපරිමයි.ඊළඟ කොටස බලලා කොමෙන්ට් එකක් දෙන්නම්කො... සෑහෙන්න කාලෙකින් කියවන මේ කතාවෙන් පරණ කියවපු කතා මතක් වුනා...