මෙහි පළමු කොටසට මෙතනින්...
"සර් මට සති දෙකකට නිවාඩුවක් ගන්න ඕනි"
"What ? What are you talking Mr.Liyanna ? සති දෙකක් නිවාඩු අරන් කොහොමද? මේ අවුරුද්ද අන්තිමේ වැඩ වැඩිම කාලෙ..ඕනිම නම් දවස් දෙකක් ගන්නවා"
නැවතත් තම එක අතක වූ ගොනුවත් පරිගණක තිරයත් දෙස නෙත් යොමන්නට විය.
"සර්.."
"WHAT?"
මහා හඬින් ගොනුව මේසයට අත හැර කෝප සහගත දෙනෙතින් මා දෙසට හැරුණේ උපැස් යුවලද ගලවමිනි...
"මේ වැඩ වැඩිම කාලෙ කොහොමද සති දෙකක් නිවාඩු දෙන්නෙ ? ඕනිම නම් දවස් හතරක් ගන්න වීක් එන්ඩ් එක අල්ලලා"
මාගේ සිතටද නොමනාපයක් කාන්දු වන්නට වීය.
"මම මේ අවුරුද්දටම නිවාඩු ගත්තෙ හතරයි. මේ අවුරුද්දෙ දහවෙනි මාසෙ. මට අඩුම තරමේ සතියක්වත් නිවාඩු ඕනි. අපි අනිත් අය වගේ නිවාඩු ගන්නෙ නැති නිසාද සර් ඔහොම කරන්නෙ?"
මේ සරල සත්‍යය හමුවේ ඔහු දුර්මුඛ වීය.
"හා එහෙනම් සතියක් ගන්න. ලැප් ටොප් එක අරගෙන යන්න. ඔන්ලයින් එන බිස්නස් ටික අපි ලියන්නාගේ එකවුන්ට් එකට දාන්නම් එහෙ ඉඳන් ඒ ටික චෙකින් කරලා ප්‍රොසීඩ් කරන්න"
නොරිස්සුම් සහගතව වූවද එම විකල්පයට එකඟව නිවාඩු ගැනීම හැර වෙනත් අවස්ථාවක් මා හට නොතිබිනි. කොයිතරම් මැරීගෙන කලත් පුද්ගලික සමාගම් වලසේවකයන් පිළිබඳව මානුෂිකව හිතන අවස්ථා අඩුයැයි තර්ක කරන මා යහළුවන්ගේ අදහස කොයිතරම් නිවැරදිද යන්න වැටහෙන්නේ මෙවන් විටෙකදීය.
පසුගිය වසර දහය තුලම මා උපන් ගම වෙත ගොස් දින කීපයක් මෙසේ නැවතී සිට ඇත්තේ දෙතුන් වතාවක් පමණි. ඒද ඥාතියකුගේ මළ ගෙයක් වැනි කටයුත්තකට පමණි. ගමේ නියම සජීවී අසිරිය විඳ ගැනීමට ඇවිස්සුනු සිතින් මෙලෙස යන්නේ පළමු වෙනි වතාවට වීම විශේෂයකි.
අයියාගේ එළවළු කොටුව..අප පවුලට අයත් කුඹුරු යාය සහ හේන් ගොවිතැන් සාරව කලද දැනට අතහැරී ඇති අක්කර ගනනාවකින් යුක්ත හේන් යාය..මේ සියල්ල මතින් දිවියේ මුල් අවුරුදු 20 ඇදී ගියද කොළඹට වන් ඉතුරු අවුරුදු 20 මතින් සැකසුනු මා දිවියේ අසිරිමත්ම කාලය මුල් කාලයයි...
පසු දින උදෑසනම මහත් උද්දාමයෙන් ගම වෙත පියමැන්නෙමි..කිලෝමීටර් 150කට ආසන්න දුරක් බසයෙන් ගොස් තවත් කිමී 2ක් පමණ පයින් යන කල හමු වන්නේ මාගේ ආදරණීය ගම් පියසයි... කඳු බෑවුම් නගිමින් බසිමින් සෙමින් සෙමින් පිය නඟන කල..මා සිත ඇඳී ගියේ මා කුඩා කල දුටු ගම කොතරම් නම් වෙනස් වී ඇත්ද යන්නයි. එකට යාව යාව ගොඩනැගුනු සුවිසල් නිවෙස්..පිටි කොටන්නාක් මෙන් ඒ නිවෙස් වලින් එකිනෙකා පරයමින් ඇසෙන ශබ්දවාහිනී යන්ත්‍ර වල හඬ..පරයා අතරින් පතර සියොතුන්ගේ විලාපයද මා දෙසවන ගැටෙයි...
තාර දමා සැකසූවද, කඳු පාරක් බැවින් නියමිත් ලෙස නඩත්තු කල හැකි කානු පද්ධතියක් නැති බැවින් වල ගොඩැලි හෑරී ගිය පාර මතින් වේගයෙන් ඇදෙන වාහන පෙලින් නැගෙන දූවිලි වලාවෙන් පීඩා විඳිමින් මා නිවෙස වෙත ඇදුනෙමි.
අක්කා, අයියා සහ පුතන්ඩියා සමඟ ආගිය කතා බස් කරමින් මදක් හිඳි මා..සූදානම් වූයේ වත්ත පහල වූ ළිඳවෙත ගොස් නා කියා ගැනීමටයි.
"ඒ ළිඳට යන්ඩෙපා මල්ලි ඒ හරියෙ ජරා කරනවා අර එහා වත්තෙ සයිමන් මාමලගේ අය"
ඒ අක්කාගේ කටහඬයි..
"ඒ මොකද ඒ ගොල්ලන්ට කක්කුක්සියක් නැද්ද ?"
"අර වත්ත මායිම බෙදා ගන්න නඩුව ඇදි ඇදී යන එකට ඒ ගොල්ලො තරහෙන් ඉන්නෙ..ඒ හරියෙ මොනවාවත් වවන්න වත් බෑ..උන් විනාශ කරනවා..මතකද මම හිටවපු පොල් පැල වලට කළුතෙල් වක්කරලා තිබ්බා"
ඒ මස්සිනාගේ කටහඬයි.
"අර බාත් රූම් එකෙන් නා ගන්න මල්ලි"
අප කුඩා කාලයේ දුකට සැපට සතුටට එකට හුන් අසල්වැසියන් අද..
මා නාන කාමරය තුලට වැදී නාගෙන වත්ත පහල වූ ළිඳ පිහිටි පෙදෙසට ගියෙමි. තැනින් තැන වල් බිහිවූ සෙයක් ඇති..දියසෙවෙල වලින් ගහන ළිඳ ළිඳක් යැයි සිතීමටවත් නොහැකි තරමට පත්ව ඇත..අසල වූ වල් හබරල ගාල හරහා ළිඳ පිටාර ගලමින් යයි... බොඳවූ සිහිනයක් බඳු වූ..ඒ අතීතය ! පිහියක්ද රැගෙන ඔවුන්ගේ වත්තේ හුන් සයිමන් මාමා දුටු මා ඔහු හා සිනාසුනෙමි..අවතාරයක් දුටු කලෙක මෙන් ඔහු අනිත් පස හැරී නිවෙස බලා වේගයෙන් ගමන් කලෙන් මාද මදක් ඔද්දල් වූ සිතින් නිවෙස වෙත පිය නැගුවෙමි... දහවල භෝජනය ගත් මා..
"මම යනවා අපේ කුඹුරු යාය පැත්තෙ"
"හා...ගියාට වැඩක් නෑ මල්ලි, අවුරුදු ගානකින් ඇරිලා ගිහින් තියෙන්නෙ කුඹුර..අර පහල ලියදි කෑලි දෙක තුනක් සියාතු මාමලා කරනවා එච්චරයි..මහ නියරෙන් යන්ඩෙපා..අර මැද නියරේ තිබ්බ හුඹහේ නයෙක් ඉන්නවලු"
"කුඹුරෙ බහින්ඩෙපා මල්ලි..ගිය සුමානෙ පහල ලියැද්දෙ පතල් වැඩ කරපු සුමනෙගෙ මල්ලි කෙනෙක් මැරුනා මී උණ හැදිලා..අර මගේ බූට්ස් දෙක දා ගෙන යනවකො යනවානම්"
මස්සිනා ඌණපූරනයක් එක් කලේය..
මදක් සිත නොරිස්සුමෙන් වූවද මම කුඹුර වෙත ඇදුනෙමි..කිලෝමීටරයක් එක හමාරක් පසු කලවිට රබර් වතුයායකට මායිම්ව එක යායට ඇති කුඹුරු පෙල දකින විට මා සිත කඩා වැටුනි..පුරන්ව ගොස් ඇති මෙම කුඹුරු යාය වසර 20කට 25කට පෙර කෙතරම් නම් සශ්‍රීකව තිබුනාද යන්න මට මතක අද ඊයේ මෙනි..
කුඹුරු යායේ පහලම කෙළවර වූ ලියැදි කීපයක් නිල්වන් පැහැයෙන් බබලන්නේ සියාතු මාමාගේ පරිශ්‍රමය වන්නට පුළුවන... කුඹුරු යායට වතුර සපයන දොලා පාරට මායිම්ව මහ නියර පිහිටා තිබුනි..නා නා ගස් වලින් වැසී තිබුනු එය පසු කරගෙන කෙසේවත් යා නොහැකිය. එදා කාලයේ නම් අප නිතරම දුව ගියේ මේ මහ නියරෙන් නොවේ.දනක් වතුර පිරී තිබුනු මේ දොල දිගේ දිව යාම තරම් සතුටක් තවත් කොයින්ද ? නයි තුඹස නිසා මම සුපුරුදු ලෙසම දොල දිගේ කුඹුරු යායේ පහල කොටස වෙත යාමට සිතුවෙමි. මහ නියරත් අනිත් පස වූ දොලේ බැම්මේ ඇති කුඩා කුඩා ගස් දෙපසින්ම දොල වෙත නැමී තිබීම නිසා ගමන දුෂ්කර වූවද..ගඳපාන ගස් වලින් අත පය හූරා ගනිමින් මා කෙසේ හෝ අස්වද්දනු ලැබූ ලියැදි වෙත ඇදුනෙමි.
එකට යාව තුබූ ලියැදි කෑලි හතරක් පහක් පමණ අස්වද්දා තිබුනි. කෙටි ගොයම් සහිත වී වැපිරීම පතල් හාරන කුඹුරු වල සාමාන්‍ය කරුණකි. මන්ද සාමාන්‍ය කුඹුරු වලට වඩා ගැඹුරට එරෙන ගතියක් ඇති මෙවන් ලියැදි වල උස් ගොයම් දැමූවිට පීදෙන ගොයම් ගස් ඇද වැටෙන බැවිනි..අප ආර්ථික වශයෙන් බොහොම අගාධයකට ඇද දුන් කාල සීමාවක් වූ සියළුම කුඹුරු විනාශ වූ එක් වසරක මතකය මට මතකය. අප සියල්ලෝම වැස්සට සහ ගං වතුරට හසු වූ වී ගස් වතුර බේරෙන වතුරින් වැසී තිබූ වී එකතු කිරීමට ගත් උත්සාහය...එම උත්සාහයේ නිරර්ථක බවත් සමඟම ඉදිර් කාලයේ විඳි දුෂ්කරතා...සියල්ල මා මනසේ ඇදී මැකී ගියේය.
වී වපිරීම නොව පැල සිටුවීම කර ඇති නිසා ගොයම් පඳුරු වෙන්ව පැහැදිලිව පෙනේ. මෙහි එක වාසියක් වන්නේ ගොයම් ගස් මෙන්ම වූ වල් පඳුරු අතින්ම නෙලා දැමීමට පහසු වීමයි. ලියැදි කීපයකම වල් නෙලා ඇති බවත් ඉතිරිය වල් නෙලීමට ඇත් බවත් පෙනී යයි. ලියැදි කීපය කෙළවරවූ මහ ලියැද්ද අස්වද්දා නොතිබිනි. කලයකට පෙර පතලක් කපා හරි හැටි නොවසා ඇති බවක් පෙනීයන්නේ එම වලෙහි මානෙල් වැවී සරුසාර නිල් මහනෙල් මල් යායක් මගේ ඇස පිනවන නිසාය. සවස් ජාමයේ පන්සල වෙත ගොස් හාමුදුරුවන් හමුවීමේ අභිප්‍රාය වූ නිසා මානෙල් මල් කීපයක් කඩා ගත යුතුයැයි සිතූ මා මහ නියරෙන් කුඩා නියර වෙත පා තැබුවෙමි. එම නියර එතරම් ශක්තිමත් නැත..නියරේ කුඩා කොටසක්ද කැඩී මා පතිත වූයේ ලියැද්දටයි. සිටවා ගොයම් ගස් කීපයක්ද මා අතින් පොඩි වී ඇත. නැවතත් ඒවා සෙමින් සිටුවා මෙවර නියර මතට නොනැඟ ලියැද්ද මැද වතුර හොඳින් බැස යාමට සකසන ලද කුඩා කානුව මතින් පියවර කීපයක් තැබුවා පමණි..
"හා හා පුතේ..ඔය මොකද කරන්නේ ?"
ආපසු නොහැරුනද සියාතු මාමාගේ කටහඬ මට හඳුනා ගත හැක.
කුඹුරකට ආලය කරන ගැමියකු එම කුඹුරට වෙනත් අයකු නොසැලකිලිමත් ලෙස කරන හානිය ඉදිරියේ කෝපවනාකාරය මට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. සමාව ඉල්ලනාකාරයේ මුහුණක් සමඟ මා සෙමින් පැල නොපෑගෙන සේ ආපසු හැරුනෙමි.
"මාමේ මට මානෙල් මල් කීපයක් කඩා ගන්නයි ඕනි උනේ. නියර දිගේ යන්ඩ ගිහින් ඒකත් පොඩ්ඩක් කැඩුනා. ඒ නිසයි ලියැද්ද මැද්දෙන් යන්ඩ හිතුනෙ..පැල පෑගුනේ නම් නෑ.."
ආ මේ ලියන්නා පුතානෙ. නෑ පුතේ ඔයා නිකම්ම ඔය වතුරට බැහැලා ඉන්න නිසයි මම කෑ ගැහුවෙ. පුතේ ඒ කලෙ වගේ නෙවෙයි දැන් හැමතැනම මී උණ, අපිවත් නිකන් කුඹුරට බහින්නෙ නෑ මේ.."
සියාතු මාමා දෑතින්ම සරම ඔසවා මා වෙත පෑවේය.
දනිස්ස ළඟට වැසෙන සේ ඇඳි බූට්ස් යුවල !
"ඉන්න පුතේ මම මල් ටිකක් කඩලා දෙන්නම් "
මොහොතකින් ඇස සිත නාසය පිනවන නිල් මානෙල් මල් පොකුරක් මා අත..
"පුතාලයේ තාත්තලා හිටි කාලෙ වගේ යායම අස්වද්දන්න මට නම් හිතේ තියෙනවා ඒත් කොරන්ඩ බෑ අද කාලෙ අත්තමට කවුරුවත් එන්නෙ නෑ..සේරම කර ගන්න වෙලා තියෙන්නෙ කුලියටනෙ. තෙල් බෙහෙත් වලට යන වියදම බලද්දි කඩෙන් කන එක ලාබයි පුතේ.:
සියාතු මාමා විස්සෝපයෙන් පවසයි.
"මම යනවා මාමේ"
මා ඔහුගෙන සමුගෙන තවත් කිලෝමීටරයක් පමන එහා වූ හේන වෙත පිය මැන්නෙමි..
හේනට යාබද වූ ඉඩමේ අයියාගේ නිවෙස පිහිටා ඇත. ලොකු නෑනා මා දුටු විට ඉතා සතුටට පත් වූයේ
"මල්ලි එන බවක් වත් දන්නෙ නෑනෙ. දන්නවා නම් දොදොල් ටිකක් වත් හදලා තියන්න තිබුනා"
ගමේම උත්සව වලට අවශ්‍ය දොදොල් සෑදීම කරන්නේ ඇයයි. ඇය එයට ඉතා දක්ෂ වූවාය.
"මම ටික දවසක් ඉන්නවා අක්කේ හේම බලන්න ආවා"
"හේනෙ නම් මොනවා බලන්නද මල්ලියෙ..කැලේ විතරයි. අයියටත් කරන්න වෙලාවක් නෑ. සේරම පාලුවෙලා ගිහිල්ලා. අපි ඔය ගෙදරට ඕනි කරන මිරිස් බටු බණ්ඩක්කා ටිකක් වවා ගෙන ඉන්නවා. ඒවටත් දැන් බෙහෙත් ගහන්ඩ වෙලා . මල්ලි ඒ පැත්තෙ ගිහින් එන්න මම තේ ටිකක් වක්කරලා තියන්නම්"
අයියාගේ නිවෙසටම යාබදව වූ අක්කර ගනනාවක ඉඩම අපගේ පැරණි හේන්යායයි. වැට කඩුල්ල අසලම වූ පාත්ති කීපයක පමණක් මිරිස්, වම්බටු, තක්කාලි ගස් කීපයකින් යුත් පාත්ති කීපයක් හැරෙන්නට ඉතුරු යායම ගන කැලෑවකින් වැසී ඇත. නා නා විධ වල් පඳුරු හා වැල් ඈත් මෑත් කරමින් මා යාය මැදට වන්නට තිබූ පැල වෙත සේන්දු වූයෙමි. පාසැල් නිවාඩු කාලයේ උදෑසනින් නිවෙසින් මෙහි පැමිණෙන අප සියල්ලෝම වැඩ කර ආපසු යන්නේ හවසය. අසල වූ වැල් අල යායෙන් හෝ මඤ්ඤොක්කා යායෙන් ගලවා ගත් අල කීපයක් තම්බා පොල් ටිකක් ගා ලුනු ටිකක් ඉස දහවල සරි කර ගන්නා අප විඳි ඒ සතුට ..ගිණි මැලයක් ගසා ඒ යටට දමා පුළුස්සා ගත් බතල කට පිච්චෙමින් කෑ ආකාරය..වතුර පිපාසය සඳහා පැණි කොමඩු ගෙඩි ගලේ ගසා කමින් ගෙවුනු කාලය මා දෑසට කඳුල උනයි..
වැල් ගාල අතරේ කැලෑවට වැවී තිබූ වට්ටක්කා වැල් වලින් මා හොඳම ගෙඩියක් කඩා ගතිමි. එලෙසම පැණි කොමඩු ගෙඩි කීපයක් හා සීනි කැකිරි ගෙඩි කීපයක්ද රැගෙන මා ආපසු අයියාගේ නිවෙස වෙත පැමිණියෙමි...කැලෑවට වැවී ගියද මේම ප්‍රදේශය ඉතා සරු සාර බව මෙයින්ම කියවෙන්නේ නොවේදැයි මට සිතේ..
"මල්ලි ඕවා යනකොට අරගෙන යන්න"
අක්කා සිනාසෙමින් කීවාය..
"අපි මේ කැලේ සුද්ද කරලා දාලා ආයි වවමු අක්කේ.."
"එහෙනම් මල්ලි ඔය ජොබ් එක දාලා මෙහෙ එන්න"
දෙගිඩියා සිතින් යුතුව මා ඔවුන්ගෙන් සමු ගතිමි..
දවස පුරා ඔද්දල් උනු සිත පෑරෙමින් වේදනා ගෙන දෙයි.. කාලය වෙනස් වෙයි..තාලයද වෙනස් වෙමින් නගන රටා ඉදිරියේ අතීතයේ වූ ශ්‍රී විභූතියක් ඉල්ලා හඬන සිත බොළඳ යැයි සිතුනද..එය මගේ අනන්‍යතාවය නොවේද ?
විවා පත්වී දරු මල්ලන් සමඟ සිටින මාගේ යහළු අසල්වැසියන් හමු වීමට මම එදින රාත්‍රියේ ගියෙමි..
සාලය මැදම මහ හඬ නංවන රූපවාහිනි යන්ත්‍ර වලින් නැගෙන ඝෝෂාව මැද ඔවුන් හා සතුටු සාමීචියේ යෙදීම රූපවාහිනියේ යන වැඩසටහන් වලට ඇදුනු බැඳුනු ඔවුන්ටද මහත් වදයක් බව මම පසක් කලෙමි..
එදින රාත්‍රියේ මා සිහිනයෙන් ඇවිද ගියේ ආදර්ශ ගොවිපල තුලය..ඒ තුල කැඩී බිඳී ගිය අපගේ ගමද මනාව ගොඩනගා තිබුනි..
"මල්ලි දවස් කීපයක් ඉඳලා යනවා නේද කිව්වෙ?"
පසුදා උදෑසනින්ම නැවත කොළඹට යාමට ලෑස්ති වන මා දුටු අක්කා විමසයි..
"ඔව් අක්කෙ ඊ මේල් එකක් එවලා ඔෆිස් එකෙන් හදිසි වැඩ වගයක් හිරවෙලා කියලා. ඒකයි යන්නෙ. පස්සෙ ආපහු දවසක එන්නම්කො"
බසය නැවත අගනගරය දෙසට ඇදෙයි..ගමට පැමිණෙන විට උද්දාමයට පත්ව තිබූ සිත දැන් හැකිලී දුර්මුඛව ඇත..අවට සියල්ල නීරසය..
කාලය මැවූ වෙනසක අරුමය..
නගරය ගමේ සුන්දරත්වය උකහා ගැනීමට උත්සාහ ගනිද්දී...නගරය අළුයම හෙළු කෙල පිඬක් සේ ඉවත් කරන්නට තතනන දෑ වැළඳ ගැනීමට දඟලයි. මෙය කොතැනින් අවසන් වේදැයි මට සිතා ගත නොහැකිය.. ගමක අසිරිය බලන්නට ගමේ සිට නගරය වෙත පිරිස් ඇදී එන විකට ජවනිකාවක් මසිත ඇඳී යයි..
කොහොම හරි උඹේ නිවාඩුව ඉතිරියි. ලැප්ටොප් එක ගත්තද?
ReplyDeleteඔව් හෙන් රි නිවාඩුව ඉතුරුයි තමයි..ටවුමෙ හදලා තියෙන ගමක් වත් බලන්න යනවා එහෙනම් !
Deleteගොඩක් වෙලාවට අපේ හිතේ ඇඳිලා තියෙන්නේ, අපි දැකපු දේ නෙමේ හීනයක් වෙන්ටත් පුලුවන් වෙනී...
ReplyDeleteඔව් සහ නෑ පොඩ්ඩි...අපි ගම ගැන එල්බ ගෙන ඉන්න පොඩි කාල් චිත්‍රයටනෙ අපි මේ තරම් ලෝබ..ඒ වගකීමක්, බරක් පතලක් නොතිබිච්ච කාලෙ දකින , දැනෙන විදියයි අදයි වෙනස්නෙ !
Deleteගම්වල වෙලා තියෙන විපිරියාස දැක්කම පුදුම දුකක් ඇතිවෙන්නෙ.
ReplyDeleteමැදා සියාතු මාම සරම ඉස්සුවම බලාගන්න හිටපු දේ....
ඔය කිව්වේ කතාවක්. කෙන්ජයියේ ප්‍රශ්න දෙකක් තියෙනවා
Delete1. කෝ කළු සල්ලි
2. කෝ මාතලන්
1.නලිය ඇඹරැල්ල වෙලාද මන්ද...මල් කුමාරය හින්ද....
Delete2.එයාගෙ සේරම දේට හදහන් කාරය පුජාවක් තියල කෙලවල...
අර DDT වත් දැක්කේ නෑ සැහෙන කාලයකින්
Deleteමාතලන් හොඳින්. උගේ ලැප අවුල්වෙලා.
Deleteකෙන්ජි නම් හිතුවෙම ...අනේ මන්දා මම දැන් හිතන්නෙ කෙන්ජි ඔතන සියාතු මාමා වෙනුවට හිටිය නම් !!!??? කියලයි..
Deleteඔව් ගොඩක් අය කාලෙන් කාලෙට අපි වගේම වැඩ අධික වෙනවා ඇති නේද ? මාතලන නම් එයි වගේ ලැපා හදා ගෙන ..
අපි බලාපොරොත්තු වෙන්නෙ ඔය වගෙ නිවාඩුවට ගිහින් ගම බලන්න නෙ.නැතුව එහේ පදින්චි වෙන්නෙ නැ නෙ.ඉතින් අනිත් අයත් එහමයි.එතකොට වෙන්නෙ ඔක තමයි.අපි ගම අර විදියට නැ කියල දුක් වෙලා වැඩක් නැ
ReplyDeleteඔව් දමිත් ඒක ඇත්ත..වෙනස් වෙන හැම දෙයක්ම අපි අර ගන්න ටිකක් අකමැතියි නේ.. ඒකයි දුක ! නමුත් වෙනස් වෙච්ච ගමත් එක්ක ජීවත් උනොත් කාලයක් අපිත් ඒකට හුරු වෙයි..
Deleteලස්සන කතන්දරේ... මදෑ සරමක් උස්සපු එකක් බලන්ඩ ආවා
ReplyDeleteආ.. අනික් කාරනේ නිවාඩු ගන්ට ඔච්ච්ර අමාරු යෑ අයියා.. නිවාඩු නොගෙන ඉද හිට නිවාඩු ගන්ට ගියාම තමා ඔහොම කරදර.. අපේ නම් ඉතිං නිවාඩු ඉල්ලපුවාම අපේ බොස්ලා ඔක්කොටම කලින් අපේ ෆේස් බුක් චෙක් කරලා, නිවාඩු ඉල්ලපු හේතුවයි බුකියේ කතා කරලා තියන ඒවයි චෙක් කරලා බලලා තමා නිවාඩු දෙන්නේ.. ඇත්තටම එකෙක් මලා කිව්වත් උන් හිතන්නේ ට්‍රිප් යන්ඩ නිවාඩු ඉල්ලනවා කියලා..
වැඩිය නිවාඩු නොගත්තහම ඒක සාමාන්‍යකරනය වෙලා..ඒත් හැමදාම නිවාඩු ගන්න උන්ට නොකර සද්ද නිවාඩු දෙනවා ..
Deleteඔය නිතර නිවාඩු නොගන්න අයට නිවාඩු නොදෙන එකත්, දෙන නිවාඩුවටත් දාහක් දේවල් කියන එකත් කොම්පැනි වල සිරිත. මටනං එහෙම වෙලාවට ගමේ යද්දී ලැප්ටොප් එක අරන් යන්න අමතක වෙනවා
ReplyDeleteඔව් මල්ලි එහෙම සොඳුරු අමතක වීම් කොයිතරම් නම් ප්‍රයෝජනවත්ද ?
Deleteඅපේ ජීවිත හුරුවෙලා තියන රටාව අනුව, ගම කෙසේ වෙතත් නගරයේ තියන ඔය කියන වර්ගයේ ගොවිපොලක් වත් දැක බලාගන්න දවසක් නිවාඩු තියන අය ඉන්නේ කලාතුරකින්. අනික නගරයේදි අපිට දැනෙන විඩාව නිවාගන්න අපි තාවකාලිකව මේ වගේ ස්ථාන හොයනවා විනා, මේ තැන් වල තියන ක්‍රමයට අනුගත වෙන්න අපිට දැන් බැහැ.
ReplyDeleteමේක තමයි ඇත්තම දේ. අපි උඩ පැනගෙන ගියාට ඒ සිස්ටම් එකට හැඩ ගැහෙන්න දැන් අපිට බෑ.
Deleteගම කේසේ වෙතත් මේක මට ලංකාවට ගියාමත් වෙන දෙයක්.
ඔන්න ඉතින් කට්ටිය එක්ක දෙසැම්බර් වල ලංකාවට යන එකත් එපා කරවන්න යන්නේ
Deleteඔව් තිසර ඔන්න අය අනුගත වීමට අපිට කාලයක් නැති වෙන එකෙන් වෙන්නෙ මේ වගේ නිරර්ථක පසුතැවීම් තමයි..
Deleteබුරු බබා අත්දැකීමෙන්ම ඔය කියන්නෙ !
නෑනෑ මැලේ රාල එන්න ඔය කියන තරම් යකා කලු නෑ අප්පා !
ඔන්න ඔය වෙනී කියල තියෙන දේ තමයි සරලම සත්‍යය,අද ගම කියන ආයතනයට වෙලා තියෙන දේ ඉතාම පැහැදිලිව දැක්වෙනවා.අපේ ගම්වලත් කුඹුරුවලට ඔය සන්තැසියමයි වෙලා තියෙන්නෙ.
ReplyDeleteවානිජමය ප්‍රතිලාභය නැතිනම් කරන්නෙ නෑ අයියෙ..සෑහෙන්න කුඹුරු පාළු වෙලා ගිහින්..ඊට පස්සෙ හාල් වල ගනන් ගන චරු චුරු ගානවා ඒ අයම..ඒ කාලෙ අපේ වී අටුවක් තිබුනා..දැන් වී ඇටයක් නෑ !
Deleteමං ඉන්නෙ ගමක. දැන් ගම් කියන්නේ නගරත් නොවන ගමුත් නොවන ජාතියක්.
ReplyDeleteඔව් අයියෙ..මමත් දැනට පදිංචිය කොළඹ උනත් කුඹුරු එළවළු කොටු තියෙන ගමක තියෙන සමහර ලක්ෂන තියෙන පලාතක්...අපි පොඩි කාලෙ විඳපු ඒ ගම නම් සොයන්නම බෑ..සේරම වෙනස් වෙලා අපිත් එක්කම..ඒත් අර හීනෙ ගම ගැන තිබ්බ..ඒකත් වෙනස් කර ගන්න කාලෙ හරි වගෙයි..
Deleteමමත් මීට සමාන අත්දැකීම් වලට මුහුණ දී ඇත්තෙමි. මට දැන් අපේ ගම ගැන ඒ තරම් කැක්කුමක් නැත්තේ ඒ නිසයි.
ReplyDeleteඔව් සුදීක මටත් තියෙන්නෙ සැරින් සැරේ එන කැක්කුමක් මිස..එක දිගටම තියෙන එකක් නොවුනෙ ඔන්න ඔය දේ නිසයි..
Deleteවෙනී අයියල වගේම යන්තං ඉස්කෝලෙන් අස්උන ගමං මොකක් හරි රස්සාවක් හොයාගෙන කොළඹ දුවන ගමේ කොල්ලො ඉන්න කාලෙක හේනක් කුඹුරක් කරන්න මොකාද ගමක ඉතුරු වෙන්නෙ. ඒ කාලෙ තිබ්බෙ නැති මී උණ අර උණ මේ උණ හැදෙන්නත් ඔය වගාවට දාන කෘෂි රසායන හේතු වෙනව ඇති කියලයි මටනං හිතෙන්නෙ.
ReplyDeleteවෙනී අයිය හිතාගෙන ආපු ජාතියෙ ගමක් තියෙනවනං ඇත්තටම ඒ මිනිස්සු වාසනාවන්තයි.
සියාතු මාමා සරම ඉස්සුවෙ දනිස් දෙක ගාවට විතරයි නේද?
කතාවෙ හරය නම් හරි උනත් මම කොළඹට එන්නෙ කැම්පස් තේරිච්ච නිසා මිසක් රස්සවක් කරන්න නම් නෙවෙයි මල්ලි..ඊට පස්සෙ ගමට නොගිය එක නම් හැබෑව !
Deleteමම දනිස්සෙන් උඩට බැලුවෙ නෑ කොටින්ම !
වෙනී අද තත්වෙ ඕක තමයි. අපි බලාපොරොත්තු වෙන ගම තියෙන්නෙ පොත්පත් වල විතරයි (බොහෝවිට). දැන් අපි දැකපු ගමක් තියනවනේ, අපි නගරෙට ඇවිල්ල කාර්යබහුල උනාට පස්සෙ හිතනව ෂහ්! ගමේ හිටියනං හරි කියල. ඒත් ගමේ තියන පහසුකම් එක්ක ජීවත් වෙන්න නගරෙ මිනිහට බෑ. අනෙක් අතට අසීමාන්තික ආශාවන් වල ඉන්න මිනිහ බලාපොරොත්තු වෙනව ගමේ සුන්දරත්වයයි නගරෙ පහසුවයි දෙකම.(මේ දෙක එකසැරේ ලඟා කරගන්න බෑ) ඉතිං නගරෙ තියන පොල්අතු කඩෙන් කාල හිත හදාගන්නව. මේ කාසියෙම අනිත් පැත්ත තමයි ගමේ ඉන්න මිනිහත්.
ReplyDeleteඅපි (පවුලෙ උදවිය) අවුරුද්දකට විතර කලින් විනෝද ගමනකදි අපිට සාපේක්ෂව ගමක් යයි කිව හැකි පොලොන්නරුව පැත්තෙ ඊනියා ගමක ඉන්න යාළුවෙක් මුනගැහිල දවල් කෑම කාල එන්න ගියා. යන අතරවාරයේ කස්ටියගෙ කතාබහ තිබුනෙ ලැබෙන්න යන කෑම ගැන. වැව් මාලු, ගමේ කොල පලා ජාති ආදී වශයේ අටෝරාශියක් කෑම ගැන කතා කරමින් ගියේ.
ගෙහිමියා කෑම මේසෙ ලඟට ඇවිල්ල උඩට දාල තිබු න පත්තර කොලේ ඉස්සුව. ඒක යට තිබුනෙ ෆ්‍රයිඩ් රයිස්, ජාතික ආහාරය වන කුකුල් මස්, චිලි පේස්ට්.... වගේ දේවල්.
මේ දේවල් ගැන, පවුලේ අය වගේම ගෙහිමියා ගැනත් හිතෙන් හිනාවෙවී මම නං ඇති වෙන්න කෑව! :-)
ඔව් රාජ් කිව්ව කතාව නම් සම්පූර්න ඇත්ත..දැන් කොළඹ තියෙන ගම් වල කෑම ගම් වලවත් නෑ..
Deleteගමත් එක්තරා විකිණිමක් නෙව දැං. නියම ගම් තියෙනවා. ඒවයේ ගිහිල්ල ලගින එකත් එපා වෙනවා දැනට හුරුවෙලා තියෙන ජීවිතෙත් එක්ක..
ReplyDeleteමම මේ ලබන අවුරුද්දේ දිහාවේ එන්න හිටියේ තමා පොත් පොත් පොත් කියල හිතාන...
හැම තැනම තත්වය ඔහොමයි....ඉස්සර දැකපු විදපු සුන්දරත්වය කිසිම තැනක නෑ...යාලු මිත්‍රයො අතර පවා...හැබෑටම අපිට අතීතයම හැම වෙලේම සුන්දරව පේන්නෙ ඇයි වෙනී අයියෙ...
ReplyDeleteමේ ගැන ගමේ ඉන්න අයටම දොසක් කියන්නත් බැහැ..කාලයේ තාලය නේ..ඒත් මේ ගැන තේරුම් ගත්ත කිහිප දෙනකුටවත් වෙනසක් කරන්න පටන් ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා..
ReplyDeleteවෙනී අන්තිම ඡේදයෙන් සංක්ෂිප්ත කරල තියෙන්නෙ අපි කවුරුත් ගමේ ගියාම දකින පරිවර්තනය තමයි.. නිකමට අපි දිහාම බලන්නකෝ.. අපි කොච්චර වෙනස් වෙලාද ? ඉතින් අපි අනිත් දේ නොවෙනස්ව තිබේවි කියල හිතන එකත් අස්වාභාවිකයි නේද ?
ReplyDeleteවැඩිය ඕන්නෑ අපේ ගම මාලිබොඩ... දැන් කොන්ක්‍රීට් වනන්තරයක් වෙනවා.ඉස්සර පුංචි කැලයක් මැද්දෙන් ඇලට මූණ හෝදන්න ගිය අපිට දැන් යන්න වෙලා තියෙන්නේ ගස් කපලා දාලා තියෙන කාන්තාරයක... ඒකත් කට්ටි කරලා විකුණන්න හදනවා... ඒ කාලේ තිබුනු ලස්සන පොටෝවක් ගහගන්නවත් බැරිවෙච්චි එක ගැන මතක් වෙද්දිත් දුකයි...
ReplyDeleteනාය යෑම නවත්තන්න හෙන කොන්ක්‍රීට් තාප්ප බැඳපු වටපිටාවල්... නිසා ඉස්සර ලස්සනට ආපු වතුර පීලිවත් අද දකින්න නෑ... ඉස්සර ගමයි දැන් ගමයි මතක් වුනා මේ කතාව කියවද්දි... ඉස්සර ගමේ ගියාම සතියක් අනිවාර්යෙන් ඉන්නවා නෑදෑයො හැමෝම දැන් දවස් තුනයි... ඒකත් නෑදෑ ගෙවල් වල ගිහින් එන එක කරන්නේ... ගඟේ නාන්න වතුර නෑ කන්ද උඩහා එලි කරලා..
හිතුවට වඩා කතාව කෙටියි... ඒත් ලිවීමේ ලස්සන එහෙම්මයි... මේ වගේ කතා හැමෝම කියවනවනම් අඩු ගානේ කරන විනාසවත් ටිකක් නවත්තයි...
ජය වේවා වෙනි අයියේ... ආයෙ කාලෙකින් අහන්නේ මේ... කතා පොතක හීන පේන්නෙ නැතෙයි??