ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Tuesday, March 12, 2013
අවජාතක ආරච්චිලාගේ ලියන්නාද මේ ?
මම කැමරාවද රැගෙන ඔහේ ඉබා ගාතේ යමින් සිටියෙමි. සිතට දැනුන යම් සිත්තමක් කැමරා කාචයේ තවරා ගනිමින් මා හෝරා ගනනාවක් ඇවිදිමින් සිටියෙමි. තිබහද දැනේ..කුසගින්නක්ද කොහේ හෝ සිට හිස ඔසවා ගෙන එනු දැනේ.
ස්වාභාවිකව ගලා ගිය දිය දහර හරස් කොට කෘතීමව තැනූ පොකුණ දැන් කාලයක් තිස්සේ පැවති නිසා එය අවට පරිසරයටම බද්ධ වී ඇතුවාක් මෙන් පෙනෙන ඉදිරියේ වූ උද්‍යානයේ පොකුණ අසලම වූ බංකුව මත මා හිඳ ගතිමි. කැමරා ආම්පන්න සහිත මල්ල පසෙක තැබූ මා හට පෙනුනේ මා අසලම තණ ගොල්ලේ හිඳ සිටින තරුණ වියේ පිරිසකි. අවුරුදු 15ත් 25ත් අතර විය හැකි යැයි සිතිය හැකි සමනල් රෑනක් බඳු ඔවුන් ඉතා ප්‍රීතියෙන් කෙලි දෙලෙන් හිනා වෙමින් කාලය ගත කරයි. ඔවුන්ගෙන් කීප දෙනෙක් අසල වූ පොකුණෙ නාමින් සිටී.
ජීවිතයේ සොඳුරුතම ඉසව්ව වූ යෞවනය...මේ පිරිසට කෙතරම් නම් ප්‍රීතිජනකද යන්න මා හට ඔවුන්ගේ කතා බහින් දැඟලිල්ලෙන් පෙනේ..ඇසේ..දැනේ..
දුප්පත් කමින් බර වූ පවුලකට හිමි කම් කී මාගේ යෞවනය ගෙවී ගියේ බොහෝ විට අධ්‍යාපන කටයුතු සඳහාත්..එයින් ඉඩක හසරක් ලද විටෙක යම් කුලී වැඩක් හෝ පතල් ගොස් කීයක් හෝ හම්බ කර ගැනීමට මිස...යහළු යෙහෙලියන් හා මෙසේ විනෝද වීමට නොවේ. ගමේ ගොඩේ දුවේ පැන ගිය සොඳුරු ළමා කාලයක් තිබුනත්...අඩුලුහුඬු කම් දැනෙන්න ගන්නා කාලය වන විට ජීවිතය කෙතරම් නම් අමාරුද යන්න මා වටහා ගත්තේ ඉතා ලාබාල අවදියේය. ඒ නිසාම අධ්‍යාපනය කෙරෙහි මා තැබූ අති විශ්වාසය මා අධ්‍යාපනයේ කෙළවර කරා ගෙන යන්නට සමත් වූ බව ඉඳුරාම කිව හැකිය. නමුත් එය ආ මඟ... කිසිදා රෝස මල් ඇතුරූ මඟක් නම් නොවීය. එහි වූ කටු පඳුරු වලින් තුවාල වූ තැන් බොහොමයක් අදටත් ලේ ගලන බව මා දැක ඇත්තෙමි..
එවන් කාලයක් ලද මා මේ තරුණ පිරිස ගැන හිතන්නේ කුමක්දැ යන්න මාගෙන්ම මා විමසූයෙමි.
ඉරිසියාවකි..
එය පැහැදිලි ඉරිසියාවකි.
අනේ මටත් මෙවන් තරුණ කාලයක් තිබුනා නම්...
එය ඉතා කෙටි කාලයකට මා සිත දරන සිතුවිල්ලයි. මා අද වන විට ගෙවා දැමූ 42 වසරක ජීවිතයේ ලද අත්දැකීම් රාශිය මත මා මෙවන් ඉරිසියාවක් වැනි ලද බොළඳ සිතුවිල්ලක් මා සිතේ ස්ථාපනය වීමට ඉඩ දෙන්නේ නැත.
සියල්ලම ඇතිවී , පැවතී, නැතිවී යන ලෝකයක..මා යනු පඤ්චස්කන්ධයක් තුලින් සිත තුල ගොඩ නඟා ගත් ඉහත කී උත්පාද, ඨිති, භංග වන ශර්‍රීර කූඩුවකි. තවත් මා යැයි සිතමින් ලොබ බැඳ ගැනීමේ චේතනාව හැකි උපරිමයෙන් ඉවත් කිරීමට වෙර දරන මා හට තවත් බැඳීම් , දුක් වේදනා අවශ්‍ය නොවේ..
ඔවුන් මට වඩා ඉතා වාසනාවන්තය..
පොකුණින් නාගෙන ආ පිරිස තණ පිස්සේ හිඳ වුන් පිරිස හා එකතු වෙයි. හීන්දෑරි හාදයකු ගිටාරයක් ගෙන වයන්නට පටන් ගනී. මට සිහින මලයා සිහි වේ. මට සිනහවක් නැගෙන්නේ අප කෙලෙස විහිළු තහළු කලත්...වෙනී මාමේ කියා අමතන ඔහුගේ ප්‍රියශීලී බාවය මතක් වීමෙනි..
මා මොහොතකට දෑස පියාගෙන සුළඟ හා මුසුව එන ගිටාරයේ තත් හැඬවෙන නාදයට සිත යොමු කලෙමි..
ඉක්මනින් අසල වූ කඩයට ගොස් යමක් කා බඩගින්න මඟ හරවා ගෙන දවසේ ඉතිරියද කැමරාව තුලින් අවට දැකිය යුතුයි... නමුත් අපූරු තත් සර මාගේ කැළඹුනු සිතුවිලි නිවා දමයි...
මා කොතරම් වේලාවක් සිටියාදැයි නොදනිමි..
"එක්ස්කියුස්මී අංකල්"
මා තිගැස්සී දෑස විවර කලේ..සමහර විට මා සිටි බංකුවට තවත් අයකු පැමිණ ඉඳගැනීමට අවසර පතනවා වන්නට පුළුවන්ය යන සිතුවිල්ලත් සමඟය. මන්ද මාගේ කැමරා බෑගය බංකුවේ සෑහෙන ඉඩක් ගෙන තිබුනි. මේ සිතුවිල්ලත් සමඟම දෑස හරින ගමන් මා බෑගයද උකුලට ගතිමි.
"අංකල් අපි ගෙනාපු සැන්විචස් වගයක් තියෙනවා..අද අපේ ක්ලාස් එකේ අන්තිම දවසෙ පාටිය. මෙන්න අන්කල්ට සැන්විචස් ටිකකුයි ඩ්‍රින්ක් එකකුයි..."
අර තරුණ පිරිසෙන් මිදුනු තිදෙනකු මා අසල සැන්විචස් දීසියක් සමඟ සිසිල් බීම බෝතලයක් මා වෙතට දිගු කරමින් සිටී.
ස්තූති කර මා එය අනුභව කර එතනින් පිට වූයේ..කුමන අහ්ලාදජනක සිතුවිල්ලකින්ද යන්න මට තවමත් සතුටින් ආවර්ජනය කල හැක.
ජීවිතයේ කිසිදා නොදුටු නන්නාඳුන අයෙකුට වූවද ඔවුනට පෑ හැකි අමුතුම සෙනෙහසක් ඔවුන් තුල තිබුනි...
මේ අද කාලයේ ලයාදර තරුණයින්ගෙන් පිරිසකි..
ඔවුන් කල දේ ඉතා සුළු දෙයක් වූවත්...එහි ගැඹුර...ඔවුන් දනී නම්...
එය එසේ අවසන් වීය.
මා ඉදිරියේ ඇත්තේ විශාල ජල තලාවකි... විටින් විට නැගෙන මදනලෙන් පැන නගින රල පහරක් හැර අන් කිසිම තරංගයක් ජල තලය මත නොනඟී.. නිසල දිය ගැඹුරු බව මා අසා ඇත්තෙමි..එය එලෙස බව අවබෝධ කරගෙනද ඇත්තෙමි. ..
හිඳ සිටි තැනින් නැගී සිටි මා අසල වූ කැට කැබැල්ලක් ගෙන ජල තලය මතට වේගයෙන් දමා ගැසීමි. කැට කැබැල්ල ජල තලයේ ලිස්සා යමින් ඈතට ඇදෙන්නට වීය. ජල තලයේ එහා කෙළවර පිරිසක් යම් කාර්‍යයක් කරමින් සිටී. ඔවුන් මා හට අත වනන බව මා දෑස අගින් දුටුවෙමි. කැට කැබිලිත්ත අවසානයේ ජල තලයේ වැදී යටට යන ස්ථානය කෙරෙහි මා දෙඇස යොමු වෙද්දී...හරියටම එම ස්ථානයෙන් මහා ජල කඳක් පැන නැග්ගේ මුළු ජල තලයම කළඹිමිනි. මාගේ කුඩා කැට කැබැල්ල කලේ කුමක්ද යන්න සිතා ගන්නටත් පෙරම මාගේ ඉන තරමට ඉහල නැග ආ ජල කඳ මා නැගිට සිටි ස්ථානයෙන් මා ඔසවා බිම දැමූයේ කිසිම හිතක් පපුවක් නැති සේය. මා සියොළඟම තෙත බරිතව ඇත..
සිදු වූයේ කුමක්ද යන්න මා හට තවමත් සිතා ගත නොහැක.
සෙමින් සෙමින් නැවත ජලකඳ ජලාෂය තුල ඇදේ...එය නිසල වීමට කාලයක් ගත වනු ඇත..
එම කාලය තුල අවු රශ්මියට ගොස් මා හට තෙත බරිත වූ ගත වියලා ගත හැක..
මා සිත නැවතත් අතීතයට දිව යයි.
සැමදා මෙන්ම අකමැත්තෙන් වූවද රොටී කෑල්ලක් ලුණු මිරිස සමඟ ගිල දමන්නට එදාද උදෑසන සිදු විය... අකල් ගං වතුරින් අපට බත සරි කල කුඹුර විනාශ වී තිබූ කාලයක..කට දවන ලුණු මිරිසේ රසට කිසිම රසක් නොදැනෙන රොටී කෑම කුඩා මා හට ඉතා නීරස වීය. කෑවාද නැද්ද යන්න මතකක් නැතත්..ඒ ඉරිදා උදෑසන දහම් පාසලට ගියේ එය සැමදා කරන කාර්‍යයක් මිස වෙන වැඩි වටිනාකමක් නොදැනය. සෙමින් සෙමින් කුසගින්න වැඩි වේ. මල් වට්ටිය ගෙන බුදුන් සිටි කුටියට ගොස් පූජා කරන විටා මා දෙනෙත ගැටුනේ ඊට මොහොතකට පෙර බුදුන්ට පූජා කල බුද්ධ පූජාවයි. කිරි හොද්දේ අල කෑල්ලක් පෙනෙන්නට තිබුනි. ඉඳිආප්ප, ආප්ප සහ තවත් වෑංජන කිහිපයක් කුඩා තැටි වල අසුරා තිබුනි. හවස් වන විට මේ සියල්ලම මල් අස් කරන කුණු ගොඩට යයි. කුසගින්න කිසිසේත් උසුලා ගත නොහැක... මූත්‍රා කිරීමට අවසර ගෙන මා හෙමිහිට රිංගා ගත්තේ බුදු කුටියටයි..මා හට බුදු පිළිමය දෙස බැලීමට නොහැක. බත් කුට්ටියක් ගෙන අල හොද්දේ පොඟවා මුව තුල බහා ගතිමි. රස නහර පිනා යයි. තවත් බත් ගුලි දෙකක් පමණ ගෙන මුව තුල ඔබා ගත්තා මතකය.
වැරෙන් ලද අතුල් පහරට මා විසී වී ගොස් අසල වූ පිළිමයක්ද පෙරලා ගෙන බිම වැටිනි.
පන්සලේ ඇබිත්ත මාමා මුළු දහම් පාසලේම සිසු සිසුවියන් මැදින් ඇද ගෙන ගොස් මා ලොකු හාමුදුරුවන් වෙත පෑවේය..එවිටත් මා අතේ ගුලි වී තිබුනු බත් ගුලිය නිසා මා වැරදි කරු වී හමාරය. වේවැලෙන් ලද පහර කීපයක් සමඟ මා බෝධිය අසල වූ ඝන්ඨාරය අසල රත් වූ වැල්ලේ දන ගසා ගෙන සිටියෙමි. රත්වූ වැලි කැට වලට දෙදණ පිලිස්සෙයි. කකුල් දෙක හරහා වැදුනු වේවැල් පහර වල වේදනාව ඇදුම් කයි. ගමෙන් භාගයකටත් වඩා වූ දහම් පාසැල් සිසු සිසුවියෝ සිනාසෙන්නේද නැද්ද යන්න මට නොපෙනෙන්නේ..මා බලා සිටින්නේ අසල වැටී ඇති වියළුණු බෝ පත් සහ ලා රත් පැහැ බෝ දලු දෙස පමණක් වන නිසාය. කිසිවකු අත යැවූ පණිවිඩ්යකින් අක්කා පැමිණ අඬමින් මා ගෙදර රැගෙන ගියාය. ගමේ හිස ඔසවා ගෙන ගමන් කල ගොවියකු වූ කෝපාවිශ්ඨ වූ තාත්තා පේර කෝටු කීපයක්ම කැඩෙන තුරු මට තලා ගෙදරින් පිට ගියේය. මා හැඬුවාද යන්න මතක නැත. අවසාන වන විට මා හට හඬන්නට කඳුළු තිබෙන්නට නැත. කුස තුල නැගෙන්නේ කුසගින්නක් නොව වේදනාවකි.
කුලී වැඩට ගොස් හවස අම්මා එනවිට මඟදීම ඇයට කිසිවකු කථාව කියා ඇත.
" පේර කෝටු කැඩෙනකල් තැලුවා මිසක් එකෙක් හොයලා බැලුවද කොල්ලා උදේට කෑවෙ මොනවද කියලා ?"
අම්මා හැඬූ කඳුලින් තුවාල වූ තැන් වල බෙහෙත් ගැල්වූවාය...
ඊට පසු කිසි දිනක මා හට අම්මා රොටී කන්නට නොදුන්නාය. කෙසේ හෝ අල ගෙඩියක්, දෙල් ටිකක් හෝ කොස් ටිකක් තම්බා දුන්නා මිස...ඈ කිසි දිනක මා හට රොටී කෑමට වද නොකල බව මතකය. මුළු ගමම බුද්ධ පූජාව හොරෙන් කෑ එකා කියමින් අවමන් කලා මිස එය කෑමට පෙර මා කොතරම් බඩගින්නේ සිටියේද යන්න විමසූයේ නැත. අසල ගමේ වූ දහම් පාසලින් ධර්මාචාර්‍යය විභාගය සමත් වූ මා පසුව ගමේ පංසලේ එම දහම් පාසලේම වසර තුනක් ඉගැන්වීමේ කටයුතු කල බව මතකය. මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි.. වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..
දහස් වර කියවා ඇතත් අදටත් මනුතාපය කෘතිය කියවන මාගේ දෙනෙතට කඳුලක් නැගෙන්නේ මන්දැයි මා නොදනිමි. නමුත් දිය බිඳක් ඉල්ලන විට අනුකම්පා විරහිත ලෝකයෙන් ලැබෙන්නේ දිය බිඳක් නොවන බව මා දැන හිටියේ අද ඊයේ නොවේ..එදාද එලෙසමය..අදද එලෙසමය..
මෙයද කිසිවිටෙකත් අනුකම්පාව ඇයදීමක් නොවේ.. ඔබ මොහොතකට හෝ දෑස් පියා ගෙන සිටී නම් එය විවර කිරීමටය..වෙළඳ සමාජයක අනුකම්පාව යනු තවත් එක් වෙළඳ භාන්ඩයක් මිස හදවත පතුලින් නැගෙන සානුකම්පිත හැඟීමක් නොවන බව මට වැටහෙමින් සිටී...
විසල් ජල තලය මත තවමත් විසල් රැල නැගෙයි. නැවත එය නිසල වීමට මහා කාලයක් ගත වනු ඇත.. මා ගත වියලීයාමටද බොහෝ වේලාවක් යනු ඇත.
වැවේ එහා ගොඩේ වැඩ කරමින් සිටි කෙනකු වැව් තලයේ වූ ගලක් බෝර දමා කැඩුවා යැයි නොකීවා නම් මා සිතා සිටින්නේ මා විසි කල කැට කැබැල්ල මෙය කල බවයි.
සියළුම සංස්කාරක ධර්මයන්ගේ පවතින්නේ මේ අනිත්‍යය බවයි.
මම ඔබට කියන්නෙමි.. නැත සහෘදය මෙය දහසකුත් එකක් චරිතයන්ට පන පොවන අවජාතක ආරච්චිලාගේ ලියන්නාගේ කතාව නොවේ.
ඔබගේ පපුවට අත තබා බලන්න..ආන්න එලෙසම ගැහෙන රිදවෙන හදවතක් හිමි වෙනීගේ කතාවයි, මේ ලියවෙන්නේ..
එවිට අන් අයකු මෙය ලිවීමට තම කාලය හා ශ්‍රමය වැය නොකරනු ඇත...
මා ජල තලය නැවතත් නිසල වන තුරු බලා සිටින්නෙමි.
නැතහොත් සසල ජල කඳ අත හැර දමා ඒ වෙනුවට සයුර අසල නිරතුරුවම බිඳෙන ජල තලය අසලට වී කාලය ගත කරන්නට අදිටන් කර ගත්තෙමි.
Subscribe to:
Post Comments (Atom)
මචං වෙනියා.. උඹෙ හිත තාම තරුණයි.
ReplyDeleteඒකයි උඹ //ඔවුන් මට වඩා ඉතා වාසනාවන්තය..// කියල හිතල උන්ට ඉරිසියා නොකර, උන්ට එකතු වුනේ. උන්ගෙ සැන්විච් කාල සිසිල් බීම බීලා උන්ට සෙට් වුනේ.
අලුතෙන් එන සමාජෙට කුරිරු කම් නොකර, උන්ට එකතු වෙන එවුන්ගෙ හිත් කොච්චර සුන්දරද?
උඹ නිහතමානි මිනිහෙක් !
මොනා කියන්නද මන්දා වෙනි අයියා.ඔයාගේ කතාව මට නම් හරිම සංවේදියි.
ReplyDeleteවෙනි මේ ලියැවිල්ල හිතින් මාවත් මාරම තැනකට ගෙන ගියා. // වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..// මේ ටිකනම් මටත් හරිම අදාළයි.
ReplyDeleteඅනේ වෙනී අයියේ. . .
ReplyDeleteඋඹ අවංක වැඩී බන් . .
ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
එහෙම කියන්නේ අර එදා BMICH එකේ ශෝ එක බලන්න "අයියේ ඉවර වෙන්න කලින් ටිකට් ගනින් මම ඇවිත් උඹෙන් ඒ ටික ගන්නම්" කිව්ව පලියට මම කලුද සුදුද කියලා වත් දන්නේ නැතුව ටිකට් අරගත්තු නිසා නෙමේ.
උඹේ ලිවීම හරහා උඹේ හදවත කියවපු නිසා.
අවංක මනුස්සයෙක්ට ඉක්මනට රිදෙනවා. ඒක ඇත්ත. මම එහෙම කියන්නේ ත් අත්දැකීමෙන්.
ඒත් ඒ රිදුනු හිත ඉක්මනටම සමබර කරන ගන්න පුලුවන් කම තියෙන්නෙත් අවංක වගේම අත්දැකීම් බහුල මනුස්සයන්ට විතරයි.
මොකද උන්ට දැනෙනවා අනිත් උන්ට ඇඟිල්ල දික් කරන උන් තමන්ගේ පැත්තට ඇඟිලි තුනක් දික්වෙන බව අමතක කලාට එහෙම කරන එකාට උටත් නොදන්න මොකක් හරි අවුලක් උගේ තියෙන නිසා තමයි එහෙම කරන්නේ කියලා.
ඒක නිසා මේ කතාව ත් තවත් එක කතාවක් විතරක් කියලා අමතක කරලා දාහන් අයියේ . . .
වෙනී මම ඔබව අදටත් දැක නැහැ. ඒත් අපි බොහොම දොඩමලු වෙලා තියන බව ඔබ දන්නවනේ. ඔබේත් මගේත් පුද්ගලික මිතුරෝ කීපදෙනක්ම අපි දන්නවනේ. ඒ නිසා මම ඔබව හොදින් හදුනමි. ඔබ බාර නොගන්නා යමක් ඔබ දරා සිටින බව මට හැඟේ. ප්‍රිය මිතුර එය විසි කරන්න. ඔබ සැහැල්ලු වන්න. එපමනයි. අපි සුහදම මිතුරන් බව පමණක් සිතට ගන්න. හොද හොදටම එක් වන බව පමණක් සිතන්න. ඔබ දිනේවා!!!
ReplyDeleteවෙනි උඹ මනුස්සයෙක්.. මට කියන්න තියෙන්නේ එච්චරයි..
ReplyDeleteඔබගේ දහම් පාසලේ සිද්දියට ඉතාම සමාන සිද්දියක් මා කුඩා කල මගේ දහම් පාසලේදීත් සිද්ධ උනා... එත් අවසානය ගොඩක් වෙනස්!
ReplyDeleteමේ ලිපිය නිසා,අද මම එදා ඒ සිද්ධියේ නොදුටු පැත්තක් දැක්කා! ඉතාමත්ම සංවේදී ලිපියක්!
වෙනී,අපි ගොඩක් කතා කරල නැතත් අපි දෙන්න දන්නව.
ReplyDeleteකාගෙත් අතීතයේ දුක්මුසු තැන් බොහොමයි...
වෙනස ඔබ එය අවංකව කියා පෑමයි...
මෙයම ඔබේ ජීවිතය ගැන කැඩපතක් ලෙස මා දකිනවා...
අතීතය මෙනෙහි කරන අයෙකුට පමණයි අනාගතයේ සාර්ථකත්වය අත්වන්නේ...
ඔබට ජය.
වෙනී අයියේ, ඔයා මේකෙන් බලාපොරොත්තු උනේ අනුකම්පාව නෙවෙයි කියන එකනම් මං හොඳින්ම දන්නවා. කවුරු හරි ආදර්ශයක් ගන්නවානම්. කියන හැඟීම තමයි තියෙන්නේ.
ReplyDelete....//"මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි."//.... හැමෝම මෙහෙම හිතනවානම්... මාත් ඇතුළුව.
-----------
....//"මා ජල තලය නැවතත් නිසල වන තුරු බලා සිටින්නෙමි.
නැතහොත් සසල ජල කඳ අත හැර දමා ඒ වෙනුවට සයුර අසල නිරතුරුවම බිඳෙන ජල තලය අසලට වී කාලය ගත කරන්නට අදිටන් කර ගන්නෙමි. "//... (ගන්නෙමි ලෙසට නිවැරදි කලෙමි)
ඔක්කොම එපා වෙනකොට එහෙමත් හොඳා කියලා මටනම් හිතිලා තියෙනවා.
------------
අනේ මංදා... අදනම් කියන්න දෙයක් එන්නෙම නෑ.
වෙනී අයියේ, ඔයාගේ නිහැඬියාවකට පස්සේ ළඟ ළඟ වැටුණු පෝස්ට් වලින් නොකියවෙන දෙයක් මට දැනෙනවා. ඉස්සර කමෙන්ට් රිප්ලයි වලින් දකින සැහැල්ලුවත් අඩු වෙලා වගේ. මට දැනෙන හැටිද මංදා...
Deleteඔයා ලොකු වෘක්‍ෂයක්. සැඩ සුළං වලදී පොඩි පොඩි අතු ටිකක් කැඩුනත් මුල් හොඳින් විහිදිලා ශක්තිමත්ව. ආයෙත් හුළඟට වැටුණු මල් වෙනුවට අලුත් මල් පිරිලා පල දරයි.
ජයෙන් ජය!!
වෙනි, මචං උඹ කළු වුනාට රළු නෑ වගේ.....එහෙම බෑ කළු නම් රළු වෙන්නත් ඕන.
ReplyDelete(මෙතන මම කළු කියන්නෙ පාටකට නෙවෙයි, හොඳින් "තෙම්පරාදු වූ" කියන අදහසටයි)
මොකෑ වෙනි අයියේ අප්සැට් එක ? කිසි දෙයක් එච්චර ගනන් ගන්න නරකයි.. විශේෂයෙන් මේ උලව් අවකාශයේ වෙන ඒවා..
ReplyDeleteමට සිහි වුනේ මෙයයි.
ReplyDeleteරොටි කන්න ඔනේ ලූනුමිරිස් එක්ක.
ඉදිආප්ප කන්න ඔනේ සම්බෝල හරි කිරිහොදි හරි එක්ක.
ඒ කම්බිනේශන් මාරු කලොත් රහ නැහැ.
සන්වේදී ලිපියක්.
ඔබට ජය වෙනි.
හම්ම්... ඒත් ජල තලය නිසල වෙන්නෙ කලාතුරකින්... හුළඟක්වත් නැති උනාම... රළ බිඳෙන සයුරැ ජල තලය ඊට වඩා හිත සන්සුන් කරනවා කියලා මම හිතනවා...
ReplyDeleteවැඩි කාලයක් ජිවත් වුනා කියන්නේ ලියන්න කතන්දර ගොඩක් ඇති එක . හැමදේම මතුපිටින් පෙනෙන දේ නෙමේ .
ReplyDeleteඅපි හිතනවා අද පරපුර වාසනාවන්තයි කියල . හිතල බලන්න ඒගොල්ල අපි කියන අතීත කතා අහලා ''අනේ අපට ඒ අත්දැකීම් නැහැ '' කියා දුක් වෙනවා
මැණික් හැදෙන්නේ දවසින් දෙකෙන් නොවේ . කාලයත් සමග . එනිසා ගෙවුන කාලයේ දුක් බර මතක හදවතේ තැන්පත් වූ මැණික් . එවැනි පරණ මිනිසුන් වටින්නේ ඒ නිසා . අප කැමති ඔබේ මතක ගබඩාවේ ඇති එවැනි මැණික් අකුරු වෙලා එන එකට ..
හැම දෙයක් දිහාම පිටස්තරයෙක් වගෙ උපේක්ෂාවෙන් බලන්න පුලුවන් උඹේ මේ දැක්මට මම බොහොම මනාපයි මලේ..
ReplyDeleteමුලින් හදවත කඩාවැටෙන දුකකුත්..
ReplyDeleteපසුව උඹගැන ආඩම්බරයකුත් දැනුනා මචං.,!
ආත්ම කතනය කියන්නෙ මේවට තමයි.
පන්සලේ හාමුදුරුවන් ගැන මොනව කියන්නද...බුදුන්ගෙ දහම මෙය නොවේ කියල තම්යි කියන්න වෙන්නෙ.
උඹ ගැන හදවතටම දැනුනා මචං..!
//මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි..\\ මෙන්න මේක තරම් වටිනා වාක්‍යයක් මට ලිපිය පුරා පෙනුනේ නෑ වෙනී.... මේක ප්‍රගුණ කරන තරමට හිතට හරිම සැනසිලිදායකයි.. උඹ තරම් නොවුනත් මමත් දැන් සෑහෙන දුරට මෙහෙමයි....
ReplyDeleteමට කියන්න දෙයක් නෑ.. තාම කල්පනා කරනවා වෙනියෝ
ReplyDeleteමේක කියවද්දී හිතට දැනුන දේ කියන්න වචන නෑ වගේ ...
ReplyDeleteමේකට මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ වෙනී අයියෙ.
ReplyDeleteඅපි කොච්චර විහිළු කරත් වෙනී අයිය ඒව සීරියස් ගන්නෙ නැතුව ඒ විදියටම විහිළුවෙන් උත්තර දෙනව. ඒ අතිං වෙනී අයිය කොහොමද තරුණ නෑ කියල කියන්නෙ.
මිනිහෝ , උඹ මාව ඇඬෙව්වා
ReplyDeleteහරියටම බැලුවොත් ඔබගේ වයස මගේ පියාගේ වයසට අවුරුද්දක් අඩුයි. වෙනි මාමේ මම දැක්ක බොහොම අව්‍යාජය මනුස්සයෙක් තමයි ඔයා. මොකද මම දැන් සෑහෙන්න කාලයක් තිස්සේ අධ්‍යනය කරලා තියෙන්නේ.සමාජේ දන්නේ වෙච්ච දේට බනින්න තලන්න මිසක් උනේ ඇයි කියල හොයන්න නෙවෙයි. සල්ලි කියන දේවල් අද තියෙනවා හෙට නැහැ. මට මේ කතාව කියවද්දී මාරම දුකක් ආවේ. i salute you :)
ReplyDeleteයකො මීට පස්සේ මට අය්යේ නොකියා ලොකු අප්පච්චි කියපිය බොල .
Deleteඅඩේ එච්චර මැන්ටල් ඩයල් එකක්ද මේ අයිලාස් ලොකු අප්පච්චි :P
Deleteවෙනි මේ ආත්ම කථනය උඹ උපරිමයට කරලා තියෙනවා මලේ. ඕක උඹේ කතාව විතරක් නෙවේ බන් හුඟක් දෙනෙකුගේ කතාව. හැබැයි බොහෝ දෙනා අවසානයට ගන්නේ උඹ ගත්ත දේ නෙවේ. උන් ගන්නේ සමාජයට වෛර කරනවා කියන දේ විතරයි.
ReplyDeleteතමන්ට වෛර කරන සමාජය දෙස මේ විදිහට බලන්න පුළුවන් හුඟක් ටික දෙනෙක්ට විතරයි.
කලබල වෙලා තිබ්බ හිත සන්සුන් උනා... කියවගෙන යනකොට.
ReplyDelete42ක්! එහෙනං උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
ReplyDelete//ඔබගේ පපුවට අත තබා බලන්න..ආන්න එලෙසම ගැහෙන රිදවෙන හදවතක් හිමි වෙනීගේ කතාවයි, මේ ලියවෙන්නේ..//
ReplyDeleteහරිම සංවේදී සටහනක් වෙනී.:(
ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
මට අම්බානක දුක හිතිලා සමාව ගත්තා බොලව්... එකම ප්‍රශ්ණේ මේ කලින් ප්‍රොෆයිල් එක මගෙ ඔරිජිනල් ප්‍රොෆයිල් එකට චේන්ජ් වෙන්නේ නැති එක විතරයි..
Deleteමට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඔය පහු ගිය කාලෙ සිද්ධි නිසා වෙනී අයියා මෙතෙක් කරගෙන ආපු කිසිම දෙයක වෙනසක් කරන්න එපා කියන එකයි. ඕකෙන් සතුටක් ලබන පුද්ගලයා, එක ක්‍රමයක් වැලැකුවහම තව ක්‍රමයක් හොයාගනී, ඒ එකින් එකට ප්‍රතිචාර දක්වන්න නොයා තමන්ට කරන්න හැකි දෙය පාඩුවේ කරගෙන යාම තමයි මම දකින හොඳම උත්තරය.
ReplyDeleteයම් කිසි කෙනෙක්, ඒ වගේ වැඩ කරන්නේ තමන්ට නොලැබෙන, තව කෙනෙකුට ඔහුගේ දක්ෂතාවය, ජනප්‍රියත්වය නිසා ලැබෙන අවධානය ගැන ඇති වූ ඉරිසියාවකින්. ඒ අයට කිසිම අවධානයක් ලබා නොදෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.
හරිම සංවේදී සටහනක්...
ReplyDeleteවෙනී ගැන කතාව අතහරින්නම්. ලිපිය කියවගන යද්දී මට මතක්වෙන්නේ හරියටම මුදියන්සේ ධර්මසේන (කතුවරයා ගැන මතකය නිවැරදි නොවීමට හැක.) ලියූ අපේ ගම කතා මාලාව වගේ. ඇත්තටම මාව එතනට ඇදගෙන ගිහිං පෙන්නුවා වගේ ලියල තියනවා. විශිෂ්ඨයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමටත් හාමුදුරුවෝ දවසක් ගැහුවා සිල් ගන්න අවේ නැ කියල.මමත් පස්සේ දහම් පාසලේම ඉගැන්නුවා
ReplyDeleteමේකට කමෙන්ට් එකක් දාන්න මෙච්චර වෙලා ගියෙත් මේක කියවලා උඹේ හිත කියවන්න මම උත්සාහ කරපු නිසායි. මෑතදී සිදුවෙච්ච සිදුවීම එක්ක සම්බන්ධ කරලා බැලුවත් ඒත් මට එච්චර සම්බන්ධයක් හොයාගන්න බැරි වුනා.
ReplyDeleteඋඹ කියලා තියෙන සිද්ධි වලට යටින් යන කතාව මොකක්ද කියලා හිතා ගන්නම බෑ.
ඉතින් මට උඹ කියන දේ තේරුනා වගෙ කමෙන්ට් එකක් දාන්නෙ නැතිව මම හිතුවා උඹෙන්ම අහන්න ඇයි මචං මොකක්ද අවුල කියලා කෙලින්ම...
මහත්මයා...මෙච්චර සංවේදී දේවල් ලියන්න එපා(ඉල්ලීමකි)
ReplyDeleteසංවේදී සටහනක්. නෙලුම් කොලයට වැටෙන දිය බිදු වාගේ තමන්ගේ ජීවිතයට අදාල නොවන දේ අතහැරිය යුතුයි නේද? එතකොට අනවශ්‍ය දේවල් වලින් හිත රිදවා ගන්නේ නැතුව ඉන්න පුලුවනී.බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑනේ...
ReplyDeleteඔබ මෑතකදී ලියන ලද සියලුම ලිපිවල ඔබතුල ඇතිවූ කිසියම් කම්පනයක් පැහැදිලිවම නිරූපණය වනවා. එමෙන්ම ඔබ කිසියම් චිත්ත වික්ෂිප්තභාවයකට පත්ව තිබන බවත් පෙනෙනවා. මා හිතන්නේ ඔබ අධිෂ්ඨානශීලීව පවතින තත්වයට මුහුණ දියයුතු බවයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මට අඩුනා :(
ReplyDelete//විසල් ජල තලය මත තවමත් විසල් රැල නැගෙයි. නැවත එය නිසල වීමට මහා කාලයක් ගත වනු ඇත.. මා ගත වියලීයාමටද බොහෝ වේලාවක් යනු ඇත. //
ReplyDeleteසමරු පොතේ යාළුවෙක් ලියපු සටහනක් මතක් වුනා..
හැප්පි හැප්පි ගලනකොටයි ගඟක් ලස්සන
ගස්ස ගස්ස බලනකොටයි ඔයා ලස්සන..:)
ඔන්න ඕවා අතෑරලා හිනාවෙලා ඉන්න වෙනී..!!
Manda ban meka kiyawala weri hunduna onna whaganin...ada biwwa bothal kaalata salli eipan hwmbuna welawaka ....indagena .....
ReplyDeleteMachoooooooo.......monawada bwn me liyanne mangula..eda kol kara man kiwanee umbata.....
ReplyDeleteY
ReplyDeleteKoo meka parana ekak ne ..sansareeeeeeeessde.. mama
Yanawa nida ganna ...
ඒ කාලේ තාරුණ්‍ය ගෙවපු අපිට කන්න තිබුණත් කන්න පුළුවන් කමක් තිබුනද ? ඒ කාලේ වඩා වටිනා දේ තමයි ජීවත් වෙන එක. අදටත් ජීවත් වීම ගැන අපි සතුටු විය යුතුයි.
ReplyDelete