ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, March 1, 2013

ආදරේට ඇසිඩ් !


"කෝ දම්මා ඇසිඩ් බෝතලේ ?"

"ඒක තියලා ඇත්තෙ උඩ ගෙදර. මලීට කතා කරලා ගෙන්නා ගනින්. උඹට මතකද ඇසිඩ් දාන්න ඕනි ගාන ? නැත්නම් ඔන්න ඕක තියෙන්ඩ ඇරහන්. මන් මේ සීට් ටික දුම් ගෙට දාලා එන්නම්"

"මලියෝ ඇසිඩ් බෝතලේ ගෙනත් දීහන්"

"ඇයි බන් ඒක උඩහ ගෙදරින් තිබ්බෙ ? ඒක හැමදාම තිබ්බෙ මේ මඩුවෙ අයිනකනෙ"

"හා එහෙම තියලා මට පොලීසිත් යන්ඩ උනා පහුගිය දවසක. උඹ දන්නෙ නෑ ඒ කතාව. හිටහන් මන් එන්නම් මේ ටික දාලා."

මම ගෙදර ගියහම මගේ පරණ යාළුවෙක් වෙච්ච ධම්මාගෙ රබර් වත්තට යන එක පුරුද්දක් විදියටම කලා. අක්කර ගණනාවක රබර් වත්තක්. දැන්නම් ඒකෙම පැත්තක තේ හිටවලා. තේ සහ රබර් වලින් හොඳ ආදායමක් ලබනවා වගේම ඒකෙන් දුප්පත් පවුල් කීපයක්ම රැකිලා තියෙනවා දශක ගනාවක් තිස්සෙම. අපි පොඩි කාලෙ ඉඳලම සෙල්ලම් කරලා කරලා එපා උනහම යන්නෙ මේ රබර් වත්තට. රබර් වත්ත සීමාවේ තිබ්බ එරමිණියා ගාලෙ දම් පාටට ඉදිච්ච එරමිණියා කන්නෙ අත පය තුවාල කරගෙන..මොකද එරමිණියා පඳුරක් වගේම ඒක ටිකක් වැලක් වගේ යන ගතියක් තිබුනා. හැම කොළයක් ළඟින්ම කොක්ක වගේ ඇතුලට නැමිච්ච තියුණු කටු තිබ්බ එරමිණියා පඳුරකට අත වැදුනහම ඒ කට්ට හම පසාරු කර ගෙන යන විදියට හමෙන් කෑල්ලක් නොගැලවෙන්න අත නිදහස් කර ගන්නවා නම් බොරු.  එරමිණියා ගෙඩි වල කන්ඩ මහා ලොකු මදයක් නැති උනාට ඉදිච්ච ගෙඩි අහුරක් කටට දාගත්තහම එන ඇඹුල් රසට එකතු වෙච්ච පැණි රහ..කටු වලට තුවාල වෙච්ච අත පය වල වේදනාව නොදැනෙන්න තරම් මිහිරියි.

ඒ අතරෙදි රබර් කිරි එකතු කරන එක..ඔට්ටපාලු ගලවන එක..වගේම රබර් කිරි ඇසිඩ් එකතු කරලා රබර් සීට් වෙන්න තැටි වල දාල සකසන හැටි බලන් ඉන්න එක අපිට හරිම ආශ්වාදයක් ගෙන දෙන කටයුත්තක් උනා. දවසකට පස්සෙ වේලිච්ච රබර් සීට් දුම් ගෙට දාලා දුම් ගස්සවලා තද පැණි පාට සහ කළු සීට් වෙළඳපලට යවනවා. රබර් කිරි වලට ඇසිඩ් දාපුවහම එන්නෙ තද දුඟදක්..රබර් කර්මාන්තශාලා අසල ඉන්න අය දන්නවා ඇති ඔය ගඳ. ඒ උනාට හුරු උනහම ඒක ගඳක් විදියට දැනෙන්නෙ නෑ. දැන් නම් ඒක සුවඳක්..දුප්පත් මිනිස්සුන්ගෙ දහඩිය  මහන්සියේ සුවඳ ඒකට එකතු වෙලා කියන තේරුම ඔළුවට එන මේ කාලෙ ඒක කොහොමත් ජීවන සුවඳක්.. මුල කාලෙ රබර් සීට් හදන හැටි බලන් හිටි අපි..පස්සෙන් පහු එව්වා කරන්න උදව් උනා. අදටත් ගමේ ගියහම රබර් සීට් හදන වැඩේට පොඩියක් අතගහලා ආවේ නැතොත් හිතට පොඩියක් හරි මදි.

"කෝ හිටහන් උඹට ඔව්වා බෑ දැන්..උඹලා ටයි වලට බෙල්ල හිර කරගෙන අයිස් කාමර වල ඉඳලා මේ වැඩ බෑ බන්.."

පොඩි ඇණුම්පදයක් එක්ක දම්මා එනවා ඇසිඩ් බෝතලෙත් අරන්.

"මොකද්ද බන් අර ඇසිඩ් බෝතලයක් හින්දා පොලීසි ගිය කතාව ?"

"අපි හැමදාම ඇසිඩ් තිබ්බෙ මේ මඩුවෙ ඔය ලෑලි බංකුව යටනෙ. පහු ගිය දවසක ඇසිඩ් බෝතලේ කවුරු හරි උස්සලා. "

"ඉතින් ඒකට පොලීසි ගිය එකද උනේ ?"

"හිටහන්කො කියනකන්"

"අර එහා ගොඩේ සේන අයියගෙ පුතා කෙල්ලෙකුට ඇසිඩ් ගැහුවා. ගහලා මූ ග්‍රැමොක්සෝන් බිව්වා."

"ඉතින් ?"

"මූ උස්සලා තියෙන්නෙ අපේ ඇසිඩ් බෝතලේ. ග්‍රැමොක්සෝන් බීලා දැන් සති එකහමාරක් ආන් මහ ඉස්පිරිතාලෙ තාම."

"සේන අයියගෙ පුතා ? මිනිහා වැඩි වයසක් නෑ නේද ?"

"ඌට විස්සත් පැනලා. ඒ කෙල්ල යාළුවෙලා හිටි කෙල්ලලු. මූ එක්ක තරහ වෙලා . ඒ කේන්තියට තමයි මූ ඇසිඩ් ගහලා වහ බීලා තියෙන්නෙ"

"සේන අයියා හිත හොඳ මනුස්සයා. කොයි වාට්ටුවෙද ඉන්නෙ බන් ? මන් ආපහු යන ගමන් බලන් යන්නම්. ඒත් මට ඔය කියන හාදයාව මතක නම් නෑ."

"22 වාටුවෙ. සේන අයියා ළඟ ඉන්නෙ. "

"යාළු වෙන්නෙ කසාද බැඳලා ජීවිත කාලෙම ආදරෙන් ඉන්න නම් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ ? "

"මන් දන්නෙ කොහොමද බන් උඹනෙ උගතා..උඹම කියහන්"

"පොතේ පතේ උගත් කම් නම් මොකටද බන් මේ කාලෙ... මේ කොල්ලො කෙල්ලො ආදරේ කරනවා කියලා කරන්නෙ බොරුවක්. හරියට ආදරේ කරනවා නම් ඇසිඩ් ගහයියෑ ? ඉතින් ඒ ගෑනු ළමයට මොකද උනේ ?"

"මොනවා වෙන්නද ඇසිඩ් වැදිලා තියෙන්නෙ අතකටයි කොන්දටයි විතරයි. අනික මේ ඇසිඩ් එච්චර සැර නෑ. "

මන් ආපහු කොළඹ එන ගමන් ගියා සේන අයියාගෙ පුතා බලන්න. මිනිහගේ තත්වය නම් ශෝචනීයයි. ග්‍රැමොක්සෝන් බීවහම සති ගානක් යන කන් විඳ විඳ ඉඳලා තමයි මැරෙන්නෙ. වමනෙ යනවවා. කටෙන් සෙම බේරෙනවා..ඒ සෙම වලට වහන මැස්සො පවා දඟලලා දඟලලා මැරිලා වැටෙනවා. කොහොමත් වහ ගහලා බේරිච්ච අයගේ ජීවිතේ ඉතුරු ටික නම් අති ශෝචනීයයි.

කය සතප්පවා ගැනීමේ අරමුණ මුදුන් පමුණුවා ගන්න ඇති කර ගන්නා සම්බන්ධකම් මිසක් මේ ජීවිත වල ආදරයක් කියලා එකක් නෑ. එහෙම හරි හමන්වට ආදරේ කලා නම් ඒ ආදරේ පදනමක් වෙනවා දවසක තමන්ව දාලා යන කෙනා දිහා උනත් උපේක්ශාවෙන් බලන්න. එහෙම ආදරයවල් තියෙන්නෙ කතන්දර වල විතරක්ද   මන්දා ?


32 comments:

  1. වහ බීල මිනිස්සු විඳවන විඳවිල්ල ගැන පෞද්ගලිකව මට අත්දැකීම් තියෙනවා. ජීවිතේ ගැන සෑහෙන්න දේවල් හිතෙනවා ඒ මිනිස්සුන්ව බලං ඉන්න අපිට!

    ReplyDelete
  2. ඒරමිනියා ගාලක පැටළුනාම ගලවගන්න බැරි තරමට ඒකට අැදිල යන විත්තිය නං අපුරුවට ලියල තිෙයනවා. ෙම්ක ෙකාරන්න බෑ ෙෙබාල අද මට සිංහල ෙකාෙචාක් දානවා. ෙහට ඒන්නං

    ReplyDelete
  3. මොලේ පෑදෙන්න කලින් නැට්ටට කිරි එරෙන එකේ වැ‍රැද්ද.....

    ReplyDelete
  4. මගේ පුන්චි කාලේත් මම ඔය වැඩේම කරල තියෙනව... ඒ කියන්නෙ දැනට අවුරුදු 15 කට විතර කලින්... දැන් ගම පැත්තෙ ගියේ නෑ අවුරුදු 10 කින් විතර... උබ ඔහොම කියද්දි මට ඉරිසියාවකුත් එනව..කොරන්ට දෙයක් නැත...

    ReplyDelete
  5. ඕක ආදරේ නෙමේ කෑදරේ..ඒකයි ඔය..

    ReplyDelete
  6. ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරිකම තමා ඉතිං ඔය...

    මේක කියෙව්වේ Rab ne bana di jodi ෆිල්ම් එක බලන අස්සේ.. හි හි...

    ReplyDelete
  7. මමත් ඒ දවස්වල අසම දෙයක් තායි ඔට්ටුපාල් බෝල හදලා සෙල්ලම් කරන එක.

    අයි වෙනී රබර් අද වලින් බඹර හදන එක, එකත් මරු වැඩේ නේද?

    ReplyDelete
  8. වහබීල මැරෙන්නෙ නැතුව ඉස්පිරිතාලෙක හිටියොත් ඒ මනුස්සයට මැරෙන එකත් එපාවෙනව. ඒ තරං දුකක් විඳින්න වෙන්නෙ.

    ඔයවගේ එවුවො ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෑ වෙනී අයියෙ.

    ReplyDelete
  9. දැන් ඉන්න ගොඩක් උන්ට එකසිය ගානට උණ.. මේ සමාජයටම බෙහෙට් දෙන කෙනෙක් ළඟදීම අත්‍යාවශ්‍යයි. ඔඩු දිව්වොත් එහෙම විනාසයි. මේ සෑම දේකටම සම්පූර්ණ වග කියන්න ඕන ජඩමාද්දියවේදින්. පත්තර කතෘවරු කියන්නේ, රට වනසන කාළකන්නි. මිවනම් ඉස්සුවත් දුක නෑ..

    ReplyDelete
  10. එතනනම් තිබිලා තියෙන්නේ ආදරයක් නෙමෙයි අයිති කර ගැනීමේ තණ්හාවක්.....

    ReplyDelete
  11. කිව්වත් වගේ තණ්හාවම තමා !

    ReplyDelete
  12. ඒවාට කියන්නේ ආදරේ නෙවේ ඇලීම කියලා.හෆොයි අහන්න වෙන ඒවා දැන්.

    ReplyDelete
  13. අර එරමිනියා ටික ගැන කියපු එකනම් සහතික ඇත්ත... දවසක් ඔය එරමිණියා ටිකක් ඉස්කෝලේ මිස් ට ගෙනිහින් දුන්නා මිස් ජීවිතේට එරමිනියා දැකලවත් අහලවත් නෑ මදැයි ඉතින් මිස් ට කන්නත් ඕනේ කන්නත් බයයි අන්තිමට දන්න කෙනෙක් හිටපු නිසා කෑවා :/

    අර අන්තිම ටිකනම් ... මැරෙන්න වහ බොන්න තීරණේ කරන එකයි ආදරේ කරපු කෙනාට ඇසිඩ් ගහන එකයි කතා කරලා වැඩක් නෑ සෝචනීයයි :(

    ReplyDelete
  14. ආදර වෛරය එකම කාසියේ දෙපැත්ත.

    (හැබැයි අර රොටි තලන රෝලර් එක ගාව එන ගඳ නම් ජීවන සුවඳක් නෙවෙයි බං, විස්තර කරන්න බැරි කුණු ගඳක්)

    ReplyDelete
  15. එක දවසක් මං රත්නපුර ඉස්පිරිතාලේ තාත්තා ගාව ඉද්දි වහ බීපු පොරක් ගෙනල්ලා ලෙඩ්ඩු ගාව ඉන්න කට්ටියම බලන්න ගියා. ඌ කෑ ගහන්නේ "අනේ දොස්තර මහත්තයෝ. මං මැරෙන්න ඉස්සෙල්ලා බෙහෙත් කරන්න කියා කියා" විඳවන කෙනෙකුට හිනා වෙන්න හොඳ නැති උණත් එදා අපිනම්....

    රබර් ගඳ සුවඳක් වගේ දැනෙනවා කියලා කියන එකනම් සහතික ඇත්ත. රබර් ශීට් මිටි බැඳලා (ෆැක්ට්‍රියේ හදපු ක්‍රේප් රබර්) ගානට කැපුවාම රැළි වැටුණු සුදු පාට මකන කෑලි වගේ එව්වා ඉතුරු වෙනවා. ඒ කාලේ මට ඒවා කන්නත් හිතිලා තියෙනවා. :0

    ආදරය බොළඳයි. අනික ඒක කරන්නේ මෙහෙමයි කියලා කවුරුවත් කොහෙවත් උගන්නන්නේ නෑ. ඒකෙ පාරක් තෙරක් ගැන මිනුම් දඬු කොහෙවත් නෑ. මට හිතෙන ආදරය මල නොතලා රෝන් ගන්න එකනම්, ඒක මට සාපේක්ෂව හරි. මල තැලුවම ඒකි මගේම වෙනවනම්, ඒ පැත්තෙන් ඒකත් හරි. ඒකිගේ සතුට වෙන කෙනෙක් ගාවනම් මම නිහඬව හිටියොත් එකත් හරි. ඒකිට තියෙන ආදරේ වැඩි කමට කොහොම හරි තුරුලට ගත්තොත් ඒත් හරි. මං ගාවට එන්නත් බැරිනම් වෙන එකෙක් ගාවට යනවට කමෙතිත් නැත්නම්.. ඒත් හරි. ඔක්කොම මට සාපේක්ෂයි. මට තේරෙන හැටියට/ තේරුම් ගන්න පුළුවන් හැටියට හරි.

    හැබැයි අනික් කෙනාගේ ජීවිතේ තමන්ගේ නෙවෙයි කියලා හිතන්නත් පුරුදු උනානම්...... ඒ හින්දා සිද්ධිය ගැන මුකුත් නොකියා ඉන්නම්.

    ReplyDelete
  16. ආදරේ කරපු මූණකට ඇසිඩ් විසි කරන්නෙ මොන හිතකින්ද කියලා නම් හිතා ගන්න බෑ මලේ. ඒක වෙනිං මොකක් හරි වෙන්න ඕනෑ.

    ReplyDelete
  17. ඔය රබර් කතන්දරේ අහල තිබ්බට දකින්ට ඉතිං මේ පැත්තෙ රබර්වගයක් වැවෙනවය. ඒවට ගන්නෙ නයිට්‍රික් ඇසිඩ් නේද. නයිට්රික් ඇසිඩ් ප්‍රබල ඔක්සිකාරකයක්නේද, මම හිතන් හිටියෙ සාන්ද්‍ර අම්ලය රබර් නිෂ්පාදනයෙදි භාවිත කරනව කියල. “අනික මේ ඇසිඩ් එච්චර සැර නෑ“ කියන්නෙ ගොඩක් තනුක කරලද ගන්නෙ.

    ආදරය කරල අහිමි වුනාට පස්සෙ පිහියෙන් අනින්න, ඇසිඩ් ගහන්න යන අය අතර තිබිල තියෙන්නෙ ආදරයක් නෙවි, කෑදරයක්. හැබෑවට ආදරය කරපු මිනිස්සු ඇය තමන්ට අහිමි වුනත් තමන්ගෙ ජීවිතේ උනත් පරිත්‍යාග කරනව. එහෙම ආදරයක් කොයිතරම් උතුම්ද? හැම දේම මිනිස්සුන්ගෙ ක්‍රියාව, හිත මත තමා තීරණය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇසිඩ් අමුවට ගන්නෙ නෑ. වතුරට කලවම් කරලයි ගන්නෙ...(අනුපාතය නම් මට මතක නෑ)

      Delete
  18. ග්‍රැමොක්සෝන් ගැහුවොත් නම් අර ඇඩ් එකේ විදියම තමයි..."දෙතුන් සැරයක් කොටන්න" ඕන නෑ.

    මතකද "කැඩපතක ඡායා" ෆිල්ම් එකේ ස්වර්ණා විජයට ඇසිඩ් ගහන දර්ශනය....?

    ReplyDelete
  19. ආදරේට එහෙම වෙනවනං මට ආදරේ එපා ඈ...

    ReplyDelete
  20. දැන් ඇසිඩුත් රැල්ලක් වෙලා

    ReplyDelete
  21. මේ ආදරේ නෙමෙයි.. මං නම් හිතන්නේ ආශාවක් විතරයි..

    ReplyDelete
  22. මේ ආදරේද නුගත් කමද සංවේදි නැති කමද දරාගැන්මට නොහැකියාවද? අගනා තරැන ජීවිත අකලට මිලින වේ..

    ReplyDelete
  23. ඇසිඩ් නම් තිබුනෙ නෑ, ඒත් නානාප්‍රකාර මැහිතෙල් නං ඕසෙට තිබුන හක්මණ අච්චිලයි අහ. අම්මල පුංචි කාලෙ ඔය මැහි තෙල් බෝතල ටැක්කර මඩුවෙ මුල්ලෙ තියනව දැකපු කවුදෝකෙනෙක් සීඅය්ගෙන් ඇහැව්වලු "රාළහාමි මේ ගෑණු දරුවො ඉන්න තැන ඕව ඔහොම තියන්නෙ හො‍ඳෙයි?" කියල.

    සීය ගත් කටටම කිව්වලු "බීල මැරෙන්න තරං මෝඩියො ඉන්නවනං ආයෙ මං මොකටෙයි නවත්තන්නෙ" කියල.

    අම්ම කියනව ඒක ඇහැව්වට පස්සෙ "වහ බොනවයි කියල දාන තර්ජන සීය පඩේකට ගනං ගන්නෙ නෑ ඒක හන්ද ඒව කොරල උන්දැලට දන්නන්න බෑ" කියල හිතුනලු.

    මං මේ කල්පනා කලේ අද කාලෙ එකියකට ඔහොම කිව්වනං "හුහ් ! මට මෝඩියි කිව්ව, මලාට කමක් නැතෙයිත් කිව්ව. කොරන්නංකො හොඳ වැඩක් බොනෝ අරිං බොතලයක්ම" කියල බීල දායි නේද කියල....

    ප.ලි : මමත් කියන්නෙ වහ බොන්න ඕන එකෙක් ඉන්නවනං බීපිය අපිට මොකෝ කියල.

    ReplyDelete
  24. //දවසක තමන්ව දාලා යන කෙනා දිහා උනත් උපේක්ශාවෙන් බලන්න. එහෙම ආදරයවල් තියෙන්නෙ කතන්දර වල විතරක්ද මන්දා ?//

    ඇත්තටම බොහෝ වෙලාවලට පොත්පත්වල, චිත්‍රපටවල තමා මේ වගේ ආදර කතා දකින්ට පුලුවන්. ආදරේ ගොඩක් වෙලාවට ආත්මාර්තකාමීයි. මම කලිනුත් කීවා. එතනදි අපි හදන්නේ කෙනෙක්ව අයිති කරගන්ට. අනෙක එයා ආදරේ නම් මමත් ආදරේ වගේ ක්‍රමයක් තමයි බොහෝ විට කෙරෙන්නේ.

    ReplyDelete
  25. පහුගිය දවස් ටිකේ ලංකාවෙන් අහන්න ලැබුනේ ආදරේ නිසා ඇසිඩ් තෑගී දුන්නු පෙන්වතුන් නේ.

    ReplyDelete
  26. ග්‍රැමොක්සෝ මොන රසයිද කියන්නකෝ දන්නා කියන කෙනෙක් ඉන්නවානම්.........

    ReplyDelete
  27. මේ වගේ පහත හන්ගීම් වලට ආදරය කියනවනම් ආදරයට මොනවද කියන්නේ?? බොහොම නිවැරදි අර්ථකථනයක් දීලා තියෙනවා එකෙන්ම

    ReplyDelete
  28. අන්තිමට කියලා තියන සුරංගනා කතන්දර ලියන්නෙත් ඔය වගේම ආදරේ ගැන අමුතුවෙන් හිතන මිනිස් හිත් වෙච්ච එකම තමයි ජීව්තේ අරුමෙ..

    ReplyDelete
  29. කමෙන්ට් තුලින් දුන් සහයෝගයට හද පත්ලෙන්ම ස්තූති වන අතර..එක් එක් කම්නෙටුවට පිළිතුරු සැපයීමට තරම් කාලය දැනට සොයා ගත් නොහැකි නිසා එසේ නොකරමි...

    ReplyDelete
  30. මෙතන සමාජයේ ඇතුළු තවත් පැති කීපයකම වැරදි තියනවා.. ඒ නිසයි මෙහෙම වෙන්නේ.

    ReplyDelete