ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Thursday, February 2, 2012
තව සුට්ටෙන් රූන් කුරුල්ලා ඉවරයි...
කොළඹ මහා මාර්ග වල ඇති සංඥා පුවරු පද්ධති ක්‍රියා විරහිත වීම් හෝ අනතුරුවලට භාජනය වීම් නිතර දැක තිබුණත් ක්ෂණිකව ඒවා යථා තත්වයට ගෙන ඒම සාමාන්‍ය කටයුත්තක් බව මට නිරීක්ෂණය වී ඇත. එසේ නොවන අවස්ථා තිබිය හැකි වූවත් ඒ බොහෝ සුළුතරයක්ය. මා නවාතැන ආසන්නයේ ඇති ප්‍රධාන මංසන්ධිය වාහන නිසි හැසිරවීම සඳහා නවීන කැමරා පද්ධතියකින් සමන්විත අතර ප්‍රධාන හතරමං හන්දියක් වීම නිසා සංඥා පුවරු වල නිසි ක්‍රියාකාරීත්වයක් ඇත. කෙසේ නමුත් උදෑසන සහ සවස නම් යම් තරමක වාහන තදබදයක් ඇති වන්නේ බොහෝ වාහන මෙම හතරමං හන්දිය භාවිතා කරන බැවිනි.
-------------------------------------------------------------------------------
කුඹුරු වැඩ කාලය පොදුවේ ගත් කල පැටි වියේ උන් මා සහ මගේ සගයන් රැළ වඩාත් ප්‍රිය කළේ ගොයම් කපා මඩවන කාලයටයි. මුල්ම කාලයේ තනිකරම ශ්‍රමය යොදා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොයම් පෑගීම කරනු ලැබිනි.. ගොයම් කරල් මිට බැගින් ගෙන එහි වී ඇට සහිත කොටස් පාදයේ වළලුකර හා පතුල උපයෝගී කරගෙන එහි වී ඇට ගැලවී වැටෙන තුරු පෑගීම කරනු ලබයි. පසුව මෙය සඳහා ගවයින් යොදා ගත් අතර, ඇග්‍රිමෙක් කොළ මඩින යන්ත්‍රයද වර්තමානයේ සුනාමි යන්ත්‍රයද යොදා ගනු ලබයි.සැන්දෑවේ ආරම්භ වන මෙම කාර්යය අවසන් වන්නේ පාගා ගනු ලබන බැත හුළං කර වී ගෝනි වලට පිරවීමෙනි. මෙය අවසන් වනවිට මධ්‍යම රාත්‍රියද පසු වන්නේය. කුඩා අප වඩා ප්‍රිය කරන්නේ බැත පාගා අවසන් වනවිට පැත්තක ගොඩ ගැසෙන පිදුරු ගොඩේ බඩ පිනුම් ගැසීමටයි. වෙනදාට පොත අතට ගන්නා විටම එන නිදිමත පැත්ත පළාතක නැත.
"ඔය කාටුව ගාගෙන ඇඟ කසනවා කීවොත් එහෙම හම ගහනවා හෙට"
මෙයද කිසිදා සිදු නොවූ සිද්ධි ගොන්නට අයත් වූයේ,සියළු වැඩ අහවර වී මහ රෑ මැදියමේ වැඩිහිටියන් සමඟම අසල ඇළක හෝ දොළක යකඩ සූට් එක පිටින් නෑමේ මහඟු අවස්ථාව ලැබෙන්නේ කාලයකට පසු වීම නිසාමය.මැඩුවන් පොළේ අපගෙන් වැඩිහිටියන්ට ප්‍රයෝජන නොමැත්තේද නොවේ. නමුත් ඔවුන් විවේක ගන්නා විටක ඔවුන්ගේ වැඩ කිරීමට දත කෑම සමහර විටෙක එතරම්ම ප්‍රයෝජනයක් වූයේද යන්න සැක සහිතය.
වී සුළං කිරීම නැත හොත් වී වල ඇති බොල් අයින් කර හොඳ වී වෙනම ගොඩ ගසා ගැසීමට ඒ කාලයේ භාවිතා කළේ අතින් කරකවන ෆෑන් එකකි. එහි ඇති හැඬලයෙන් අයෙක් තදින් කරකැවිය යුතු අතර අනිකා කුල්ලකට නැතහොත් යතුරකට ගත් වී එම සුළං ධාරාවට අල්ලා හොඳ වී වෙන් කර ගනී. මෙම ෆෑන් එක කරකැවීම සඳහ ඉදිරිපත් වන්නේ කල්ලියේ සවි ශක්තිය ඇති අයකු වීම නිසා එය මහා භාරදූර ගරු කටයුතු කාර්යයක් ලෙස අපි එකල විශ්වාස කළෙමු. එම නිසා ෆෑන් එක කරකැවීම සඳහා අපද ඉසුඹුවක් ලැබෙන තුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. අපගේ කුඹුරු යායේ මැඩුවන් කිරීමේදී නිසැකවම ෆෑන් එක කැරකැවීම කරන ලද්දේ මගේ මාමා විසිනි. ප්‍රදේශයට ආවේණික පතල් කම්කරුවකු වූ මාමා මට සිහි කළේ යෝධයෙකි.
"වැහි කළුවර වැඩී හින්දා අද කොහොම හරි මේ සුමේ ඉවර කර ගමු"
අපේ තාත්තාගේ හඬ සමඟම කෙරී ගෙන යන වී සුළං කිරීමේ කටයුත්ත දෙස මා බලා සිටියේ පිදුරු ගොඩ උඩ ඇති තරම් බඩ පිනුම් ගසා ඔද්දල් වුණු ප්‍රීතිමත් සිතකිනි.
"බඩ පිනුම් ගැහුවට කමක් නෑ..ඔය හිටවලා තියෙන උල් එහෙම පුකේ ඇන ගන්නවා නෙවේ"
මාමා විටින් විට අපට අවවාද දුන්නේ සිනා සෙමිනි.ෆෑන් එක කරකැවීමේ නොතිත් ආශාවෙන් කන්කෙඳිරි ගාමින් සිටි මාහට කිසි අවස්ථාවක් නොලද්දේ සැවොම හෙට වැස්සට පෙර මෙය ඉවරකර ගැනීමේ යුද්ධයට මැදිව ඇති බැවිනි.
"මල්ලි ඔන්න ඕක පොඩ්ඩක් දීහං ඔය කොල්ලට නැත්නම් ගෙදර ගිහිනුත් චුරු චුරු ගායි.උඹලයෙ අක්කා මයෙ ඔළුවනෙ කන්නෙ"
මාමා සිනාසෙමින් මා හට ෆෑන් එකේ හැඬල් එක භාර දෙන්නේ විටක් හැපීමට අඩු වැඩිය අතට ගනිමිනි. නැවත මාමා පැමිණියත් ,
"අනේ මාමෙ තව එක සැරයයි.. එකම එක සැරයයි අනේ"
කියමින් මාමා ඉවතට යවා ගත්තේ..ඔහු කමතේ අයිනක වූ පිදුරු ගොඩ තවත් ඈතට දමන්න එදෙසට ගමන් කළේය. මාමා ගිය දෙස බලමින් ඔහු පැමිණෙන්නට පෙර ගත යුතු විනෝදයේ උපරිමය ගැනීමට මා හැකි වැර යොදමින් ෆෑන් එක කරකවමින් සිටියෙමි. ගිය ලෙසම මාමා නැවත පැමිණියේ නැත.
වේදනාත්මක කෙඳිරිගෑමක් සමඟම මාමා දෙසට දිව ගිය අප පියා සමඟ උන් අනිත් අය මාමාව ඔසවා ගෙන පැමිණියේ මාමාගේ මුහුණ වේදනාවෙන් විරූපව ගොස් තිබුණේය. එකිනෙකා පරයා නගන හඬ මැද කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මා අවසනට දුටුවේ ඔසවා ගෙන යන මාමාගෙ කකුල දිගේ ගලන ලේ ධාරවක් සමඟම ලෙයින් පෙඟුණු රෙදි කැටියක් මාමාගේ බඩ පෙදෙස ආවරණය කර ඇති බවයි. මාමා ඉල්ලපු වෙලාවෙ ෆෑන් එක දුන්නනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ..යන සිතුවිල්ල මගේ සිතට පැන නැග්ගේ එවිටමය.
"දරුණු තැන් බේරිලා තියෙන්නෙ නූලෙන්"
"ලොකු මාරකයක් තමයි පැනලා තියෙන්නෙ"
"මලයමයි ඔය කැන්ද උල් ටික හිටෙව්වෙ මැඩුවන් පිටට යනවා කියලා මාරකයක්ම තමයි පැන්නෙ"
පසු දින අම්මාගේ සහ තාත්තාගෙ දෙබස් සමඟම මා අවදි වූවත්, වෙනදා මෙන් ඔවුන් අතරට දිව නොගියේ මා දුටුවහොත් තාත්තා මා හට බැණ වදිනු නියත බව ඉවෙන් මෙන් දන්නා නිසයි. සති කිහිපයක් රෝහලේ ගත කිරීමෙන්පසු මාමා නැවත නිවසට පැමිණි අතර, වෙනදා තනියෙන්ම මාමා සහ නැන්දා සමඟ හුරතල් වන්නටත් මගේ වයසේ වූ අයියා සහ වැඩිමල් අක්කා සමඟ සෙල්ලම් කරන්නටත් නිතර දුවන මා මෙවර එහි ගියේ අම්මාද සමඟය. පුදුමය වූයේ මේ වනතෙක්ම මාමා තුවාල වීමට ප්‍රධාන වරදකරුවූ මා හට කිසිවකු කිසිම දෙයක් නොපැවසීමය. නමුත් සිද්ධිය සහසුද්දෙන්ම දන්නා මාමා නම් මා සමඟ හොඳටම තරහ වී ඇති බවට නොඅනුමානය. අම්මාගේ චීත්තයෙ එල්ලී ඇයට මුවා වෙමින් මා හොරෙන් මාමා දෙස බැලීමි. කිසිම තුවාලයක සලකුණක්වත් මාමාගෙන් දිස් නොවේ. සැමදාම වාගේ දින 5-ක් වත් නොකැපූ රැවුල ඇතුව මාමා ඇඳ මත දිගාවී සිටියේය.
"කෝ මගේ චුට්ටන් කොල්ලා.. මෙහෙ වරෙන් මොකෝ බන් උඹ මාව බලන්න ඉස්පිරිතාලෙවත් නාවෙ?"
මා ළඟට ඇදගත් මාමා රැවුල් කොට සහිත මූණ මගේ මූණේ අතුල්ලන්ට වූයේ..මා ද වෙනදා මෙන් මාමාගෙ ඔඩොක්කුවේ ඉඳ ගන්නට තැත් කළත්..මාමා එයට නම් ඉඩ දුන්නේ නැත.
"කොයිතරම් කාලයක් යනවලුද මල්ලියෙ හොඳටෝම සනීප වෙන්න?"
ඒ අම්මායි.
"මාස හයක් විතර යයි කියන්නෙ"
නැන්දා කම්මුලට අතක් තබා ගෙන මහත් විස්සෝපයෙන් සිටියේ නමුත් මා තුරුලට ගෙන,
"චුට්ටන් පුතේ ආන් මේසෙ උඩ වැලි තලප ඇති කාලා, අක්කල එක්ක සෙල්ලම් කරන්නකො"
කීවාය. මේ වනවිට නම් මාගේ වරදකාරී හැඟීම බොහෝ දුරට ඉවත්ව තිබුණේ..මුත්..
"මේ ඇහුනිද අර වත්ත පහළ තිබ්බ අළු කෙහෙල් කැන පැහිලා තිබ්බා හොඳටෝම. කපලා ගිහින් දාන්නකො මලයගෙ ගෙදරට"
ආපසු නිවසට යන අතරේදී, අම්මා අණ කළේ තාත්තාටය.
"හොඳ වෙලාවට වෙන ළමයි නොහදන්න හිතා හිටියෙ දෙන්නා "
තාත්තා හිකි හිකි ගාමින් කීවත්..
"ළමයි ඉන්න තැන් වල කියන ඒවද ඔය?"
අම්මා සුපුරුදු නෝක්කාඩු ස්වරූපයෙන් කීවාය. තුවාල සනීපවෙන්න අළු කෙසෙල් ගුණ දායක බව මට හැඟී ගියේ, තාත්තා පසුදිනම අම්ම කී දෙය වෙනදා මෙන් හත් අට වතාවක් කීමෙන් පසු නොව, එක් වරම කල නිසාය. පසු දිනක මා මාමාගෙන් ඇසුවේ
"කොහෙද මාමේ තුවාල වුණේ..? මට පෙන්නන්නකෝ අනේ"
කන්කෙඳිරි ගෑවේ මගේ කොහේ හරි තුවාල වූ විට එය හැමෝටම ප්‍රදර්ශනය කිරීමේ පුරුද්දක් මාසතු වූ බැවිනි. මාමා හක හක ගාමින් සිටියදී නැන්දා රතුවූ වතින් යුතුව සිටියාය.
"චුට්ටන් පුතේ තව සුට්ටෙන් රූන් කුරුල්ලා ඉවරයි"
මාමා මගේ රූං කුරුල්ලා මිරිකමින් කීවේ නැන්දා සිටි තැනින් ගස්සාගෙන ගෙතුළට ගිය සැණින් ආවේ පාර්සලයක් අතැතිවය.
"චුට්ටන් මෙන්න මේ හැලප ටික අම්මට දෙන්න පුතේ.."
එක් දිනක හවසක මාගේ හිතට වදදුන් ප්‍රශ්නය මා තාත්තාගෙන් විමසීය.
"මන් එදා මාමගෙන් ෆෑන් එක වදෙන් ම ඉල්ල ගත්තෙ නැත්නම් මාමාට මෙහෙම වෙන්නෙ නෑ නේද තාත්තෙ?"
මදක් කල්පනා කල තාත්තා,
"එහෙම වෙන්නත් තිබුණා චුට්ටන්, ඒත් වෙන්න දෙයක් තියේ නම් ඒක වෙනවාමයි. වෙච්ච දේවල් වලට කණගාටු වෙලා වැඩක් නෑ. ඒත් මයෙ පුතේ කවුරු හරි වැඩක් කරනව නම් එයා ඒ වැඩේට දක්ෂම කෙනා නම් පුතා ඒ වැඩේට අත දමන්න එපා. එයා පුතාගෙ උදව් ඕනි නම් ඉල්ලයි"
මෙහි සර්වකාලීන බව වැටහෙන්නේ එදාටත් වඩා අදටය.
---------------------------------------------------------------------------------
කාර්යාලය හා නවාතැන අතර සිර වූ ජීවිතයට දෛනිකව ලැබෙන එකම ව්‍යායාමය ඇවිදීම පමණක් නිසාම මා කරන්නේ උදෑසනම කිලෝමීටරයක් දෙකක් ඇවිදීමයි. මෙය හොඳින් දන්නා මගේ සහෘදයකු පසු ගිය දිනයක මා හට තෑගි වශයෙන් එවා තිබුණේ පියවර ගැනිය හැකි කුඩා උපකරණයකි.මෙම උපකරණයට අනුව පියවර 10,000ක් දිනකට යා හැකි නම් එය ප්‍රශස්ත බව කියවේ. මම ටාර්ගට් කවර් කර ඇති බව හැඟේ.
ඇවිද්ද පය දහස් වටින නිසාම මිල මුදල් අඩු කාලයක වටිනා කියන කකුල් දෙක විකුණා ගත හැකි නිසාම මමත් මේ දිනවල යහමින් ඇවිදීම කරයි.
අද උදෑසන මාර්ග සංඥා අසලදී දුටුවේ එය නියමිතව ක්‍රියාත්මක වෙද්දීම එයට විරුද්ධව එතන රාජකාරී කරන නිලදරුවන් නිසා අසරණ වූ මාතලීලාය. සංඥා රතු පැහැය දල්වා එන්න එපා කියද්දී, නිලදරුවා වේගයෙන් අත නව නවා කියන්නේ එන්න කියය. රියැදුරු තුෂ්ණිම්භූතව සිටී.ඉහළ ඇති කැමරා වලින් රියදුරන්ගේ ක්‍රියාකලාපය තවත් දුරු තැනක සිට පටිගත කරනු ඇත. අකමැත්තෙන් වූවද රියදුරන් රතු එළිය අභිබවා යද්දි නිලදරුවා දොස් පරොස් නෙතින් රවනුද නිරීක්ෂණය විය.
සංඥා පද්ධතිය තම කාර්යය නිසි ලෙසම කරද්දී එහි කර්යය වදෙන් පොරෙන් ගෙන කරන්න ගොස් එක්කෝ රියදුරු මාමලා රූන් කුරුල්ලන් පොඩිකරගනු නියතය. නැතහොත් අන්ද මන්ද වූ රියදුරකු අතින් නිළදරු මාමාගේ රූන් කුරුල්ලා කුඩු වනු නියතය යන හැඟීම සිතේ පහළ වූ මගේ ඇඟ හිරි වැටී ගියේය.
හොඳ වෙලාවට මගේ නවාතැනේ බල්ලෝ තිදෙනෙක් හැර බූරුවෙක් නැත. හිටියානම් අද උදේ ඌ මගෙන් හොඳටම ගුටි කනු ඇතැයි මට සිතෙන්නේ දැන්ය.
Subscribe to:
Post Comments (Atom)
"මුල්ම කාලයේ තනිකරම ශ්‍රමය යොදා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොයම් පෑගීම කරනු ලැබිනි.. ගොයම් කරල් මිට බැගින් ගෙන එහි වී ඇට සහිත කොටස් පාදයේ වළලුකර හා පතුල උපයෝගී කරගෙන එහි වී ඇට ගැලවී වැටෙන තුරු පෑගීම කරනු ලබයි. පසුව මෙය සඳහා ගවයින් යොදා ගත් අතර, ඇග්‍රිමෙක් කොළ මඩින යන්ත්‍රයද වර්තමානයේ සුනාමි යන්ත්‍රයද යොදා ගනු ලබයි."
ReplyDeleteදන්නවනේ විස්තරේ..මොනවා ලිව්වත්..මොනවා දෙන්න හැදුවත් අපි අල්ලගන්නේ අපිට හිත යන තැනින්නේ..ආන්න ඒ වගේ මේකෙදිත් මුලින්ම හිත ගියේ මෙතනට.. බොලා වගේම මාත් පැටි කාලේ ඉදන් කුඹුරුවල කරක් ගහපු එකා..ඔය කියාපු ටික දැක්කම ආයෙමත් ඒ කාලෙට හිත දුවන එක නවත්තන්න මක් කරලවත් ඇහැකිද..?
පයින් පාගා බැත අහක් කිරීම..ගවයන් මැඩවීම..පසුව ඇග්‍රිමෙක් යන්ත්‍රය භාවිතා කිරීම යන ක්‍රම වලට අමතරව පෝරුවේ ගැසීමත් කඳේ ගැසීමත් යන ක්‍රම දෙකත් භාවිතා කරලා බැත වෙන් කරන කාරිය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.. ඒ ක්‍රම දෙක මෙතන සදහන් නොවීම හින්දයි ඒ ගැනත් සඳහන් කරන්නට යෙදුනේ..
පෝරුවේ ගැසීමේදී කරන්නෙත් අර විදියටම ගොයම් කොලේ කුඩා මිටි වශයෙන් අරං විශාල ලෑල්ලක ගැසීම හරහා අදාල කාරිය කර ගැනීම..කඳේ ගැසීමේදී කරන්නෙත් කණු දෙකක් අතර තරමක මහත ලීයක් හරහා බැඳලා එකේ ගොයම් මිටි ගැසීමෙන් බැත වෙන් කිරීම..ඇත්තටම ඒ ක්‍රම විශාල කුඹුරු වලට ගැලපෙන්නේ නැහැ..ඒත් අපේ මාමා කෙනෙක් වත්තක් පහල වගේ තැනක හදාගත්ත ලියදි කෑලි හතරක් වැපිරුවා කාලයක්..ඒ උන්දැගේ තිබුන ආසාවටමයි..මොකද එතනට හරි හමන් ජල පහසුකමක්වත් තිබුනේ නැහැ..ඉතිං ඒ ලියදි කෑලි හතර කැපුවම ඕකට හරක් හොයන්නවත්..ඇග්‍රිමෙක් දාන්නවත් සෙයක් නැහැ..අනික ඒ වගේ තැන්වලට මැෂීමක් ගෙන්නත් අමාරුයි.. ඉතිං කරන්නේ අර වගේ කදේ ගැහීමක් තමා...
ඔය සුනාමිය ගැනනං අහලා විතරයි තියෙන්නේ තවම ඇහෙන් දකින්න බැරි උනා වැඩේ කෙරෙන හැටිනං.. හෙට අනිද්දට අම්පාර මඩකලපු ත්‍රිකුණාමල පැත්තේ සංචාරයක් යන්න හිතං ඉන්නවා ඒ යන කොටවත් කන්න කැපෙන කාලේ ඇවිත් තිබුනොත් බලං එන්ට බැරියෑ...
මාරයා ඔය පෝරුවෙ ගැසීම හා කඳේ ගැසීම ක්‍රම අපේ පැත්තෙ නුපුරුදුයි. නම් අහලා තිබ්බට හරියටම විස්තර දැන ගත්තෙ ඔබ කියවීමෙන්. ස්තූතියි. සුනාමි යන්ත්‍රය ගැන විස්තර හොයන් ඇවිත් කියන්න.
Deleteපුසාට ස්තූතියි ස්පෑම් වෙච්ච කමෙන්ට් ගොඩ දා ගන්න කියා දුන්නට..
අප්පද බොල කුලුල්ලා...
ReplyDeleteහැමෝම අහනව වගේ """අද මම එකද ?""""""
සෑම් මාරයා ගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිලා පස්සෙ තමයි හරි ගැස්සුවෙ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආයෙමත් හිත ඉගිලිලා ගියා මහප්පලෑ කුඹුරු වල එල්ලෙ ගහපු කාලෙට.. ගොයම් කපල ඉවර වෙලා ටික දවසක් යනකල් වෙලේ ඇවිදිනකොට පයට ඇනෙන ගොයම් ගස් වල තියුනු අග්ගිසි මතක් උනා.. ඒක අමුතුම මිහිරක්.. ඔය කියන ආතල් වත්මන් පරපුරට ගන්න බැරි එක දුකක්...
ReplyDeleteප.ලි. ආතල් කියන එකට සම්භාව්‍ය වචනයක් මතකෙට එන්නෙම නෑ අප්පා
සිහින මල්ලි ඒ වචනෙ ආතල් කියන එකම තමයි. අද පරම්පරාව විඳිනවා ඒ අයගේ පරිසරය යහමින් !
Deleteතව සුට්ටෙන් රූන් කුරුල්ල ඉවරයි ;)
ReplyDeleteඋඹ දාන මාතෘකා තමයි මාතෘකා...
ඒ දවස් වල කහ කුරුල්ලා කීවෙත් ඒකටමයි..ඉන්න තව කතාවක් තියේ සාතන් කහ කුරුල්ලා නූලෙන් බේරිච්ච !
Deleteඅපේ සීයලගෙ ගෙදරත් ඔය වගේ අතින් කරකවන වී හුළං කරන එකක් තිබුන.
ReplyDeleteඅර අන්තිමට කියල තියෙන පොලිස් මාමට වර්ණ අන්ධතාවයක් ඇති.
ඒ ෆෑන් දැන් නෑ ප්‍රසන්න. අනිවා ඒ රාලහාමි මාමට වර්ණ අන්ධතාවය ත්යෙන පාටයි.
Deleteහරිම රහයි නෙව මේ ලියවිලි වෙනී
ReplyDeleteහෑබෑටම සංඥා එළි තියන තැන් වලට උන්නැහෙලා ඉන්නේ මක්කටද මන්දා?
මාත් වතාවක් දෙවතාවක් ඔය වැඩේට අසුවී ඇත - අමාරුවේම වැටෙන්නේ ඉස්සරහින්ම නවත්තන වාහනේ අපි වුණහම
ඔව් තිස්ස මට පවු කියලා හිතුනා අර රියදුරා.. ඒ රාලහාමිලාට උඩින් එන නියෝග වෙන්න ඇති ..
Deleteකවුරු හරි වැඩක් කරනව නම් එයා ඒ වැඩේට දක්ෂම කෙනා නම් පුතා ඒ වැඩේට අත දමන්න එපා.
ReplyDeleteමසුරං වටින කියමන.
ඔව් රාජ් ඒක අදටත් මන් පිලිපදිනවා.. සමහර වෙලාවට අවුට් යනවා..දැන් වයස නිසාද මන්දා ?
Deleteවෙනී රතවාහන නීතිය අනුව කියන්නෙ මාර්ග සංඥා සවිකර ඇති ස්ථානයකදී පොලිස් නිළධාරියකු විසින් වාහන හසුරුවන්නේ නැතිනම් පමනක් මාර්ග සංඥා වලට අනුකූලව වාහනය පැදවිය යුතුය කියා. තනිකරම ඒ රියදුරන්ගේ වැරැද්ද.
ReplyDeleteඔය උදේට හවසට වාහන හසුරන පොලිස් නිළදරුවන්ගෙන් බහුතරය ලොකු සේවයක් කරනවා. ඔවුන්ගේ සේවය අගය කල යුතුයි . නැත්තන් ඉතින් අපේ සුවිනීත රියදුරන නිසා අඩුම ගානේ පැයක් දෙකක් වත් ඉන්න වෙයි ට්‍රැෆික් එකේ.:)
අතීත කතාව නම් උපරිමෙන් රස වින්දා
නියම ලියවිල්ලක්
නිශ් ඔබ 100% නිවැරදියි පොලිස් සේවය සහ රථ වාහන පොලිසිය ගැන කී කාරණය.. නමුත් මගේ සිද්ධියේ යම් රියදුරකු ට්‍රැෆික් ලයිට් දෙස බලාගෙන වාහනය පදවන විට එහි රතු දැල්වී ඇත්නම් ඔහු කොළ දැල්වෙන තෙක් බලා සිටී.ඒ අතරේ පොලිස් නිළධාරියා අති සන් කරනවා ඔහුට යන්න කියලා..ඔහු තුෂ්නිම්භූතයි. කොරන්නෙ මොකද්ද කියලා හිතා ගන්ඩ බැරුව ඉන්නවා.. රියදුරා දන්නවා එයාගෙ වාහනය කැමරාවෙ සටහන් වෙනවා කියලත්..මදිවට අර නිලදරුවා කේන්තිය පෙන්නනවා අර රියදුරාට.. මම ගෙදර ඇවිත් තලන්නෙ බල්ලගෙ වැඩේ කරන්න ගිය බූරුවට මිසක් ලංකාවෙම ඉන්න බූරුවන්ට නෙවෙයි.
Deleteසරලයි නේ වෙනී මන් ආයෙත් කියනව රියදුරාගෙ වැරැද්ද
Deleteඔහු රථවාහන නීතිය පිළිබඳ නිසි අවබෝදයකින් ඉන්නව නම් ඔය දෙක පිළිබඳවම අවදානයෙන් ඉන්න ඕන . මොකද කැමරාවෙ ඔහු විතරක් නෙවි පොලිස් නිළදාරියත් සටහන් වෙනවනෙ.
පොලිස් නිළදාරියාට ඔහු පිළිබඳ ඇතිවෙන නොරිස්සුම සාධාරනයි මෙතනදි.
ඈ බන් නිශ් බොලා පොලීසියෙවත්ද වැඩ කරන්නෙ ? පොරොන්දු වෙයන් හොයන් ඇවිත් හොම්බට දෙකක් අනින්නෙ නෑ කියලා ! :DD
Deleteපිස්සුද බන් අවුරුදු ගානක් උදේ හවා ට්‍රැෆික් වල කාපු චාටරේ අත්දැකීම් තමා.
Deleteඅනික මම හවසට වයිෆ්ව ගන්න යන තැන ඉන්නව පොලිස් මල්ලියෙක් එතන එච්චර ට්‍රැෆික් ඇති තැනක් නෙවෙයි ඉතින් මූ ගොඩක් වෙලාවට ඉන්නෙ පැත්තකට වෙලා බලාගෙන. මමත් ඉතින් ඕකත් එක්ක පොඩි කයියක් දාගෙන අපේ උන්දෑ එනකන් බලන් ඉන්නව. ඌ ඉතින් ඕකේ ආතල් එක ලෙසට කියනවා.
අපි කොච්චර උන්ට බැන්නත් හිතහන් බන් වාහන්වල දුන්පාරවල් කකා ඔතන හිටන් ඉන්නකොට පොඩි දේකටත් තරහ යන එක ගැන මොන කතාද.
මම දන්න තරමින් නං ලයිට් නීතිය තියෙන්නෙ මෙහෙමයි.
Delete1.නියමාකාරයෙන් ට්‍රැෆික් ලයිට් වැඩකරනව නං එතෙන්ට පොලිසිය අවශ්‍ය නැත. දෙකම එකවර තිබිය නොහැකිය.
2.පොලීසියේ කෙනෙක් සිටීනම් සිග්නල් ලයිට් නිවාදමා හෝ තාවකාලිකව දැල්වෙන නිවෙන ආකාරයේ සඥාව තිබියයුතුය.
කැමරා ඇති තැන්වලදී මෙය අනිවාර්යෙන් ක්‍රියාත්මක කලයුතු නීතියකි. එසේ නොවුවහොත් නොකල වරදකට රියදුරාට දඩුවම් ලැබීමට ඉඩ ඇත.
රාජ් කියන එක වඩාත් තර්කනුකූලයි කියලයි මටත් හිතෙන්නෙ..
Deleteරාජ් එහෙම නෑ. ට්‍රැෆික් ලයිට් තියෙන තැනකට ට්‍රැෆික් පොලීසියෙන් ආවොත් . . . එතන ඉඳල රියදුරන් යටත් වෙන්නෙ අදාල පොලිස් නිලධාරියාගේ අනට. රියදුරෙක් මේ දේ අනිවාර්යයෙන්ම දැනං ඉන්න ඕනෙ . . .
Deleteඕනෙ කියන කතාව ඇත්ත. විදේහ රටවල් වල ඔය දේ රථවාහන තදබදය පැනනැගුනු විට බහුලව සිදුවෙනවා.
Deleteයන්ත්‍ර වලට තීරණ ගැනීමේ හැකියාවක් නෑනේ. මිනිසාගේ තීරණය තමයි ප්‍රධාන සාධකය වෙන්නේ එතකොට.
අපොයි…. පොලෝසියෙ අන්කල්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ. හන්දියක හිටියොත් ට්රැකෆික් ගොඩයි. ගිය සිකුරාදා හංවැල්ලට කි. මී.2 විතර ඉදලා ට්රැකෆික්. පැයක් විතර හිටියා. බැලින්නම් පොලිස් අන්කල් කෙනෙක් හන්දියේ. කාට කියන්නද මේවා.
ReplyDeleteඔව් නිසුපා ඒක නම් හැමෝටම තියෙන අත්දැකීමක් තමයි..ඔබ වැඩ අධිකව ඉඳලා වුනත් කියවල කමෙන්ට් කලාට ස්තූතියි
Deleteවෙනි අයියේ කොහොමද ඉපනැල්ලේ සුවඳ...උබට මතකෙයි ඒවා..සහතික ඇත්ත වැඩකට සුපර්ම එකා තමා ඒ වැඩේට යොදන්ඩ ඔන හැබැ අත් උදව්වටත් එකේක් දැම්මොත් " හරිම එකාද කියල බලලා" උත් පස්සේ කාලේක වැඩ කරුවෙක් වෙයි..එතකොට එකේක් නැතිවුනොත් තවත් එකේක් ඉන්නවනේව... ඒ වගේම තමා තරමක් දුරටවත් ඔල් රවුන්ඩර් වෙන එකත් වැඩට හොඳා..එහේම නේද මොනා උනත් කොයි වැඩේත් හැබැ පරිසමෙන් නැත්තං අර සෙෆ්ටි ෆස්ට් කියන හරුපේන් වැඩක් නැතිවෙනව නොවැ
ReplyDeleteඔව් ඒක ඇත්ත තියරි නොතිබුනාට නූගත් අපේ අම්මලා තාත්තලා බුද්ධිමත්ව කලේ ඒ දේම තමයි..රාජ්
Deleteට්‍රැෆික් සිග්නල් තියෙද්දිත්, උදේට හවසට පොලිස් රාළහාමිලා වාහන හසුරවන්න හේතුවක් තියෙනවා මම හිතන්නේ... පීක් වෙලාවට හන්දියේ සමහර පැති වලට වාහන වැඩි අනිත් පැතිවලට වඩා.. ඒ අවස්තාවන් අඳුනගෙන මාර්ග එලි දැල්වෙන වෙලාව වෙනස් කරගන්න පුළුවන් තාක්ශණයෙන් ඇඩ්වාන්ස් සංඥා එලි අපිට නැහැ මම හිතන්නේ... ඒ නිසා තමයි රාළහාමිලා වැඩට බහිනවා ඇත්තේ...
ReplyDeleteඑකදවසක් මම පාරේ යද්දි ඉස්කෝල ඇරෙන වෙලාව... හන්දියක ට්‍රැෆික් රාළහාමි කෙනෙක් තරහෙන් කෑගහමින් වාහන හසුරනවා... පොඩ්ඩක් විමසිල්ලෙන් බැලින්නම් මගේ පන්තියේ හිටි යාළුවෙක්... මම වාහනේ ඌ ගාව ස්ලෝ කරලා ඇහුවා මොකද මේ මල පැනලා කියලා... ඌ එදා දුන්න උත්තරෙන් මම ට්‍රැෆික් රාළහාමිලා හැම දෙනා ගැනම වෙනස් විදියකට බලන්න පටන්ගත්තා...
ඌ කිව්වේ; "උඹට පුළුවන්නම් එක විනාඩි පහක් මෙතන අව්වේ හිටගෙන ඉඳලා බලපන්..." කියලා...
ගොයම් මඩින විස්තරේ නම් ආසාවේ බෑ... ඉස්සර අපි මැඩුවන් ගොඩ උඩ බල්ටි ගහද්දී කමතේ වැඩ කරන අයගෙන් විනෝදයට බර කෙනෙක් තමන් විසිකරන මැඩුවන් අහුර ඉඳලා හිටලා අපේ ඇගට විසි කරනවා අපිව මැඩුවන් වලින් වැහිලා යන විදියට... ඒක තමයි මම ආසම... :)
දැන්නම් මැඩුවන් තියා අපේ ගමේ ඒ කමතත් නෑ...
ඔව් බීටල් මගෙත් පොලිසියෙ යාලුවො ගොඩක් ඉන්නවා.. ඒ අයගේ අමාරුකම් නොසලකනවා නෙවෙයි.. ඔබ කියන එකත් හරි ට්‍රැෆික් ලයිට් වල ඒ අය වාහන හසුරුවන්නෙ පීක් අවර්ස් වල තමයි.
Deleteබෙල්ල ළඟට එරෙන කම් පිදුරු ගොඩක ඉන්නවා තරම් සැපක් තවත් කොහෙන්ද ?
නියමයි බන් . . . ගැමි සුවඳ බොක්කටම දැනුනා . . .
ReplyDeleteසිග්නල් ලයිට් එක හරියාකාරව ඒ වඩේ කලත් පොලෝසියේ මහත්තුරු ඒ වගකීම කරට අරන් කරන්නේ උඹ කලා වගේ බලෙන් ඉල්ලගෙන නෙමේ වෙන්ටෝන මේ කස්ටිය කියන විදිහට නම්
ඔව් දුකා ඒ අයට උඩින් එන ඕඩර්ස්.. හැබැයි ට්‍රැෆික් ඩියුටි වාසි සහගත නිසා ඉල්ලගෙන කරනවා කියලත් මම දනී..
Deleteමාරයි. ඇත්තට අර කතාව සීයට සීයක් හරි. මටනම් ට්‍රැෆික් කාරයින්ව පෙන්නන්න බෑ. එක්කෝ හන්දියක හිටියොත් පාරෙන් එකක් ට්‍රැෆික්, නැත්තන් අතකට 500. දෙකම දැම්මොත් දාහයි. කොහොමත් සමහර පාරවල් වල නිතර යන රියදුරු මහත්තුරු නම් ඉතින් ඔහොම රාළහාමිලා දිහා බලන් යන්නේ රූන් කුරුල්ලා ගලවන්න පුලුවන්නම් ගලවාගෙන යන්න.
ReplyDeleteක්සැන්ඩර්ට ගොඩක් අමිහිරි අත්දැකීම තියෙන පාටයි ඒ ගැන..
Delete" ඒත් මයෙ පුතේ කවුරු හරි වැඩක් කරනව නම් එයා ඒ වැඩේට දක්ෂම කෙනා නම් පුතා ඒ වැඩේට අත දමන්න එපා.."
ReplyDeleteතාත්තගේ මේ කියමනනම් නියමයි..
ඔව් දිනේශ් ඒවයෙ නියම වටිනාකම් අදට තමයි වඩාත් දැනෙන්නෙ !
Deleteමගේ සීයාලා දෙන්නම හොඳ ගොවියෝ. තාත්තාගේ ගම මතුගම. අම්මගේ ගම ඇල්පිටියේ යටගල. කුඹුරු වැඩ කරන කාලෙට කුඹුරු යායවල් අස් වද්දන, ඒ සුවඳ මට ආපහු උඹේ පෝස්ට් එකෙන් දැනුනා.....!
ReplyDeleteඔය මෙව්වා එකට කියන්නෙ පිඩෝ මීටර් කියලා. මමත් ඕකක් හැමදාම ඉනේ ගහගෙන තමයි ඔෆිස් එන්නේ. ඉඩ පාඩු වෙලාවට ඔෆිස් එකේ තියෙන පොඩි (කෘතිම ) ලේක් එක වටේ ඇවිදිනවා. ස්ටෙප්ස් 10,000ක් ඇවිද්ද කියන්නෙ උඹ දවසට අරගන්න කැලරි ප්‍රමාණේ පුච්චන්න අවශ්‍යය ගාණ. ඊට වැඩියෙන් ඇවිදින්න පුළුවන්නම් නියමයි.
ඔව් දුමී ඒත් අද ? මට නම් ඒ අතීතය සිහිනයක් පමණයි. ඔව් පිඩෝ මීටරයෙ 10,000 පන්නන්න හැමදාම නම් බෑ.. ඔය අමතර ශොපින් පාරක ප්‍රථිපල තමයි.. මගේ සාමාන්‍ය 6000 තමයි.
Deleteරූ කුරුල්ල කියන්නෙ මොකාද වෙනි මාමෙ.. ??
ReplyDeleteබලහන් පොඩි මෑන් පුතේ උඹත් ඉඳලා ඉඳලා අහන පුරස්න.. වෙන එකෙක් ඇහුවනම් කාරි නෑ තව ! :DD
Deleteගොයන් පාගන, බැත හුලන් කරන, කොටින්ම කිව්වොත් කමතක් පලාතක, ඉන්න බෑනෙ මට පොඩි කාලේ ඉඳලම. හචිං ගිහිල්ලම මැරෙන්න යනව.
ReplyDeleteඒක ඇලර්ජික් එකක් ඔබා අයියෙ.. මගෙ යාළුවෙකුටත් තිබුනා.. අපි ඌට කීවෙ ඌ ඉස්සර ආත්මෙ එංගලන්තෙ ඉපදිච්ච එකෙක් කියලයි.
Deleteමටත් ඔය කථාව කියනව ඔබී ටිකක් වෙනස් විදියකට, මං ලංකාවෙ ඉපදිලා තියෙන්නෙ වැරදීමකින්ලු.
Deleteලංකාවෙනං මං දන්නෙ නෑ . . . හැබැයි ඉපදිලා තියෙන්නෙ නං වැරදිලා
Deleteඕනය කොහොමද හරියටම ඕක දන්නෙ?
Deleteවෙනී අයියාගේ ලියවිලි වලින් මම විඳලා නැති විඳීම, ලබලා නැති අත්දැකීම් මටම උනා වගේ විඳීන්න පුළුවන්. අපූරුයි!
ReplyDeleteස්තූතියි පූසා මල්ලි..ආන් ස්පෑම් වැඩේ ගොඩ ආ.. තැන්කූ හරි ගස්සන හැටි කියලා දුන්නට !
Deleteකමතක කුඹුරක වැඩට ජීවිතේට ගොස් නැත...යන්නට කමත් කුඹුරු ගමේද නැත...අම්මා හා තාත්තාගේ කතන්දර පමනක් අසා ඇත...
ReplyDeleteWorldCup එකේ Pepsi AD වල දෝනි කරකවන්නෙ ඔය වගේ ෆෑන් එකක්ද?
http://dreamsofharee.blogspot.com/2011/03/world-cup-2011-pepsi.html
හරි ඒ ඇඩ් එකේ තියෙන් එක වගෙ තමයි ඒත් ඊට වඩා පොඩියි .. ස්තූතියි ඔබට..
Deleteආසාවෙන් කියවගෙන යන්නට හැකි අපූරු ලිපියක්. ඒ වගේම මාමත් තාත්තත් දෙන්නම ජීවිතයෙන් දරුවන්ට පාඩම් කියා දෙන හැටිත් අනගියි.
ReplyDeleteස්තූතියි ඔබට, ලියන්න පුරුදු වුනේ නම් ඔබලාගේ රසවත්ම බ්ලොග් ලිපි කියවලමයි..එහෙම ලියන එක පොඩ්ඩක් හරි සාර්ථක නම් ඔබලාටයි පින් !
Deleteඑලොවින් මෙලොවට
ReplyDeletehenryblogwalker the Dude
රූං කුරුල්ලා බේරා ගත්තා කොහොමින් හරි !
Deleteරූං කුරුල්ලා විතරක් නෙවෙයි මම කිව්වෙ නගරෙ ට්‍රැෆික් ලයිට් ගමේ කමතට සම්බන්ධ කරපු අපූරුව.
Deleteඋඹ ලියාගෙන යන ලියවිල්ල ඔය විදියටම දියුණු කරගෙන ගියොත් දවසක් ඒවි උඹ ලියන දේ මං වගෙ පෘතග්ජනයෙකුට මොන විදියකටවත් නොතේරෙන.
තවම නං පුලුවන්. ජය වේවා!!
මට හෙන්රිට වගේ ඉංග්‍රීසි බැරි නිසා..සිංහලෙන්ම තමයි ලියන්න වෙන්නෙ.. ස්තූතියි..
Deleteවෙන්න තියන දෙයක් ඉතින් ආයේ කාටවත් නතර කරන්න බෑ . මගේ අතිනුත් ඔය වගේම ජීවිත කාලෙම පසු තැවෙන තරමට ලොකු වරදක් වුණා ඒක මතක් වෙන වාරයක් පාසා මම ඒක වෙන්න තිබුනු දෙයක් කියලා හිත හදාගත්තා . මේ කතාව බැලුවාම හිතට ෆිට් එකක් ආවා
ReplyDeleteසඳරූ මල්ලිම හිතන්නකො දන්න තර්ක, දර්ශණ ,ආගම් දමලා.. වෙන්න තියෙන දෙයක් වෙන එක වලක්වන්න කාටවත් බෑම තමයි. ඒකට ආසන්නයේ හිටි අය නොහිටියනම් ඒත් එය වෙන ආකරයකට හරි සිදු වෙනව කියන එකයි මගේ පුද්ගලික අත්දැකීම..
Deleteමේ ලියවිල්ලත් එක්ක හරිම අපුරු අතීතයකට ගියා වෙනි අයියෙ..ආයෙත් ගමට ගිය වෙලාවක කුඹුරු යාය මැද්දෙ පුංචි දූපතක් වගේ උස් බිබක තිබුන කමත බලන්න යන්න ඕන කියල හිතුනා.අරුමෝසම් සෙල්ලම් බඩු හීනෙන්වත් දැකල නොතිබුන අපේ පුංච් කාලෙ කොච්චර ලස්සනද?
ReplyDeleteපොලිසියෙ කෙරුවාවල් ගැන වැඩිය පැහැදීමක් නැතිවුනත් උඹ අර පොලිස් රාළහාමි ගැන කියපු කතාවටනම් මම එකග නැහැ. නීතිමය තත්වය මොකක් වුනත් සිග්නල්වල කාල අන්තරය හා ගමන් කරන වාහන ප්‍රමාණය නොගැලපෙන අවස්තාවලදී ඔවුන් ක්‍රියාත්මක වීම අගය කළ යුතු දෙයක්...ට්‍රැෆික් ලයිට් තියෙද්දි බලෙන් වාහන හසුරුවන්නෙ ඇගේ අමාරුවකට නෙවෙයි බන්.
ස්තූතියි ලකී අදහසට,මන් අදත් ඔය සිද්ධිය නිරීක්ශනය කලා මන් කියන මෙතන වෙන්නෙ හරියට අත් වැසුම් පලඳින්නෙ නැති තඩි කළු නිලදාරියෙක් වාහන වලට අතින් සිග්නල් දෙනවා. උදේ පාන්දරම ඉර එළිය වැටෙන්නෙ වාහන රියදුරන්ගෙ මූණට කෙලින්ම. කලර් ලයිට් වල එලියවත් පේනවද සැකයි. ඒ අවු අස්සෙ රාලහාමිගෙ අතේ සිග්නල් එක පෙනීම ගැන කවර කතාද? මන් කියන්නෙ ඔය සිග්නල් ලයි සෙට් කරලා තියෙන්නෙ ට්‍රැෆික් වෙලාවන් වලට ගැලපෙන්න නේද? වෙන රටවල් වල මේ වගේ වෙනවද? ඒ ගොල්ලො කොහොමද කරන්නෙ මේකම ?!
Deleteමොකෝ මීටර් අරගෙන ඇවිදින්නේ,,, ඇන්ජිම පොඩ්ඩක් ලෙඩ දෙන්න අරගෙන වගේ
ReplyDeleteදැන් ඉතින් ඇන්ජිමේ බහින කලාව මල්ලි, ඕනයා නිතරම කියනවා මේ මොඩල් වල පාර්ට්ස් එන්නෙත් නෑ කියලා.. බය හිතෙනවා අෆ්ෆා !
Deleteඕනය හිතං ඉන්නෙ උගෙ මොඩ්ල් එකට පාර්ට්ස් තියෙනව කියල....හුක්ක හුකේ හූ...!!!
Deleteඅම්මපා හැබෑට අයියා කියනකම් මටත් ඕක නිච්චි උනේ නෑ.. ඒකෙත් පාර්ට්ස් නෑ නේන්නම්.. හක හක හක...
Deleteකවුරු කවුරුත් කීව වගේ උබේ ලිවිල්ල මේ මාවත් ගමට රටට ආපහු අරන් යනවා ලියන්නෝ..ඔය හරකුන්ගෙන් කොල මඩවද්දී හරක් කැරැල්ල පස්සෙ යන්නත් එකෙක් ඕන නේ..අන්තිමට ඒ කෙනාටත් වී කොටසක් ලැබෙනවා..ඒකට අපේ පැත්තෙ කියන්නෙ ගොන් බාගෙ කියල..මේ මමත් ඔය ගොන් බාගෙ අරන් තියෙනවා.ඕකෙ අමාරුම වැඩේ ගොම්පස් අල්ලන එක තමා..ඒත් මම ආසම නැතිදේ තමයි හරකුන්ට කෙවිටෙන් තලන්න..ඉතින් කෑගහලම පහුවදාට කතාකර ගන්නවත් බෑ.
ReplyDeleteකුරුම්නියා
ඔව් කුරුම්නියා.. ඒකත් තවත් රසබර අත්දැකීමක් තමයි..කුඹුරු එක්ක තියෙන අත්දැකීම් පෝස්ට් ගනනාවකට ඇති වෙයි..
Deleteමට බලන්න හම්බවෙලා නැහැ හරකුන්ගෙන් ගොයම් පාගන හැටි. කරුව උඩ නැඟලා හුලං කරන හැටි. ඉස්සරහට කොහොමත් බැහැ. ඒ කාලෙ ඉවරායි.
ReplyDeleteඒක නෙමේ. අර ගැජට් එක හයි කරන්නෙ කොහෙටද වෙනි අයියා?
මන් නම් හයි කරන් ඉන්නෙ ඉනේ ..ඒක ඔරලෝසුවක් විදියටත් බඳින්න පුළුවන්.. එතකොට වෙලාව බලන එක බඳින්න් බැරි නිසා සහ ඔරලෝසු දෙකක් බැඳහම ඔඩ් නිසා..ඉනේ ගහන් ඉන්නව මල්ලි !
Deleteමාමට එහෙම උනේ ඔයා හන්දද?
ReplyDeleteසිද්ධිය වුනු ගමන්ම හිතට ආවෙ එහෙමයි..තාත්තලා කියල දෙනකන්..මාමාගේ වෙලාව තමයි ඒක
Deletefinal destination ෆිල්ම් එක මතක් වුනා ඇත්තටම වෙන්න තියෙන දේවල් කොහොමින් හරි වෙනවා තමයි...මොන විදියකින් හරි වෙනවා ඒකට මගේ අත්දැකීමකුත් තියෙනනවා....කොහොමද මේ තරම් ලස්සනට ලියන්නේ මාරම ලස්සනයිනේ
ReplyDeleteම්ට ගමේ ගත කල කාලේ මතක් උනා .
ReplyDeleteමේ ගෑජට් එක ගෑන ටිකක් කියන්නකෝ අපිටත් දැනගන්න .
අපූරු ලියවිල්ලක් ..
හා පිඩෝ මීටරය ගැන මන් මූණුපොතේ දාන්නම් !
Deleteකුඹුරු වැඩ කාලෙනං මරු . . . එකම අවුල රෑ මැදියමේ ඩිංගක් ඇහැ පියාගන්න ගියාම ඔය සමහර ලොකු අයියලටත් ඒ වෙලාවටම ඇහැ පියාගන්න හිතෙන එකනෙ . . . .
ReplyDeleteකුඹුරු වැඩ වගේම තමා ටික දවසකට පස්සෙ පාන්දරිං නැගිටගෙන පිදුරු හතු එකතු කරන එකත් හෙනම ආතල්
පිදුරු හතු..!!! ඕනයා මගේ මතක ගබඩාවට පයින් ගැහුවා වගෙයි.. ඕන්න මතක් වුනා තව කතා කීපයක්ම ඉඳලෝලු හතු ගැනත්..
Deleteහිකිස්.... රූං කුරුල්ලා....
ReplyDeleteගෝල්ඩ් ෆිස්ටනම් ඉතින් හිනා වෙන්න බැරියැ..
Deleteකවුරු හරි වැඩක් කරනව නම් එයා ඒ වැඩේට දක්ෂම කෙනා නම් පුතා ඒ වැඩේට අත දමන්න එපා.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Pedometer
ReplyDeleteසිග්නල් ගැන මට හිතෙන්නෙ වෙන අදහසක් නිසා ලියල යන්න හිතුන. අපේ රටේ සිග්නල් වැඩකරන ක්‍රමය වෙලාව සහ ට්‍රැෆික් අනුව වෙනස් වෙන්නේ නැහැනේ... එකට පිළියමක් විදිහට තමයි පොලිසිය ඔය වැඩේ කරන්නේ, එහෙම හිතුවොත් ඒ වැඩේ හරියට කරන්න සිග්නල් වලට බැරි නිසා තියෙන විකල්පය පාවිච්චි කරනවා කියල හිතෙනවා.
ReplyDeleteඔව් එහෙම තමයි නේද ? ස්තූතියි කමල් ඔබේ අදහස් දැක්වීමට
Deleteඅම්මෝ රූන් කුරුල්ලා පවු !!
ReplyDeleteපවුද කියන්නෙ.. පවුම වැඩේ තමයි උනේ..
Deleteහීනයක් වගේ මතකයක් තියෙනවා ගොයම් කැපිල්ල... පැගිල්ල.. වී හුලං කිරීම ගැන... අද පරම්පරාවෙ උන්ට ඒවා දකින්නත් නැති තරම්...
ReplyDeleteමට මේක මග ඇරිල නෙව..
අපිට වත් ආසාවකට දක ගන්න නෑ.. මන් දැක්කා කෞතුකාගාරයේ ආදර්ශ ගොවි පලක් හදලලු..තාම මහජන ප්‍රදර්ශනය කරන්නෙ නම් නෑ. ඒකෙන් තමයි බලන්න වෙන්නෙ
Deleteහෙහ්.. ඔය වී හුලං කරන තඩි රූංපෙත්තෙ හුලඟට ඇවිස්සිච්ච වී කාටුව අස්සෙන් තමයි මං මයෙ තාත්තව ඉස් ඉස්සෙල්ලම දැක්කෙ. උන්දැ මං අත දරුව කාලෙම අරාබියෙ ගිණි නිවන්න ගියා නෙව. ආවෙ හරියටම වී හුලං කරන දවසක. අමතක වෙලා තිබිච්ච ඒ මතකෙ ආයෙම මතක් උනා.
ReplyDeleteඒ පෙත්ත කරකවන්න මුලින්ම දෑද බදල වීරිය දාල අල්ලන්න ඕනෙ. ඊට පස්සෙ නං තනි අතිං උනත් කරකව කරකව පුතය වගේ ඉන්න ඇහැකි. ෆෑන් එකේ පිටිපස්සෙ උන්නත් වටේට කැරකිලා එන හුලඟෙ කාටු ඇඟපත පුරාම.....
අෆ්ෆා නවම් ඔය තියෙන්නෙ මගේ හිතේ තිබ්බට අකුරු නොවිච්ච කතන්දරේ !
Delete