ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, April 14, 2016

ජීවිතය හා ක්ෂිතිජ ඉම.. Life without Borders

මෙය මීට පෙර වියන ලද සැඳෑ සමයද ?  යන නිර්මාණය හා ඊට පසුව ලියන ලද මැදියමට ආසන්නව ජීවිත යථාර්ථය යන වියමන් හා සබැඳේ..

--------------------------------------------------------------------------





මල්ලි ! මදන විසේ ඔළුවට ගහලා ළමයි දෙන්නවත් මරා ගෙන මල්ලිව දාලා ගිය ඕකි ආපහු මේ ගෙදරට අර ගත්තොත් එහෙම මල්ලිට අපිව නම් නෑ යි කියලා හිතා ගන්ඩ ඕන් !
මෙච්චර කල් අපි මල්ලිව බලා ගත්තෙ නැද්ද එහෙනම් ?


අක්කාගේ ගෝරනාඩුව මෙලෙස මගේ සවනත වැටුණේ පළමුවන වරට නොවන බව නම් නිසැකය.


මල්ලිට කොයි තරම් නම් කිව්වද මේ ගෙදර තනියම ඉන්ඩ එපා..එක්කො අපේ ගෙදර එන්ඩ නැතිනම් ලොකු පුතාව එවන්ඩද මල්ලිගෙ තනියටත් එක්ක. ඌත් දැන් ගෙදරටම වෙලා ඉන්නෙ ජොබ් එකක් හොයා ගන්නවත් කිසි උනන්දුවක් නෑ. මේ ගෙවල් දොරවල්වත් බලා ගෙන ඉන්නෙ නැතෑ..


සමන්, අක්කගෙ ලොකු පුතා, .පාසැල් ඉගෙනීම කඩා කප්පල් කරගෙන ගෙදරටම වෙලා ඉන්න හාදයා..කි වාරයක් නම් ඔය පුත්තු තුන් දෙනාගෙන් එක්කෙනෙක් මේ ගෙදරට එවන්ඩ දත කෑවද ?


මම සමන්ට ලයිසන් ගන්නත් කිව්වා.. මල්ලිගෙ ඔය වැඩකට ගන්නෙ නැති කාරෙකවත් හයර් කරලා කීයක් හරි හොයා ගනීනෙ කියලා..


ගොනා හැරෙන්නේ පොල්පැලේට බව මට වැටහී බොහෝ කල්ය.


ලොකු නගාගේ වදන් මගේ සැකය තවත් තහවුරු කලේය




අයියාගෙ පවුල කඩන්ඩ ගොඩක් දේවල් කළේ අක්කා කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ ඉතින් අයියට අයිති වෙලා තියෙන බූදලේට අයිතිය කියන්ඩ ලේසියිනෙ..අක්කව හරි ඒ අයගෙ පවුලෙ අයව හරි නම් ළඟට ගන්ඩෙපා අයියෙ. අයියට අපි ඉන්නවනෙ. මම අපේ මහත්තයට කියන්නම් මල්ලි ඔෆිස් එකෙන් රට යන වෙලාවට මේ ගෙවල් දොරවල් බලා ගන්ඩයි කියලා..අර සමන්ව එහෙම ගෙට වද්දගන්න එපා අයියෙ..සේරම කාබාසිනියා කරලා යන්ඩ යයි


හ්ම්ම්...


මම ගොලුවත රැක්කේ මුවින් පිටවන වදනකින් වන හානියට වඩා එය බොහෝ අඩු බැවිනි..


දික්කසාදයෙන් පසුව බිරිඳ උන්නාද මළාද හෝ ඔවුන්ගේ පවුලේ අය පිළිබඳවද කිසිම විස්තරයක් නොසෙවූවද, ඇයගේ බාල මල්ලිට කාලයෙන් කාලයට මා හට දුරකථන ඇමතුමක් දී සැප දුක් සෙවීමේ පුරුද්දක් තිබුණි. ඒ ඔහුට විදේශ ශිෂ්‍යත්වයක් ගැනීමට උදව් කර ඉදිරි ඉගෙනීමේ කටයුතු සියල්ලම සඳහා මාගෙන් ලද සහය ඔහුගේ මනසේ නිති රැඳීම නිසා වෙනි.


ඔහු මගේ සැපදුක් සෙවූවද, ඔහු, ඔහුගේ සොයුරියගේ විස්තර කිසි දිනක මා සමඟ නොකීවා මෙන්ම මා ඔහුට මුල් කාලයේදීම එසේ නොකරන ලෙසද එලෙස ඔවුන්ගේ විස්තර කියන්නේ නම් කිසි දිනක මා හට ඇමතුම් ලබා නොදෙන මෙන්ද මා දැඩිවම ඉල්ලා සිටීමද නිසා මා එම පවුල උන්නාද මළාද කියාවත් දන්නේ නැත..


අයියෙ, මගෙන් අහන්ඩ එපාය කිව්ව හින්දා මම මුකුත් කිව්වෙ නෑ. පෑරිච්ච අයියගෙ හිත ආයි පාරවන්ඩ ඕනි නැති නිසා. ගොඩක් දේවල් සිද්ධ උණා. අයියෙ..මම ලන්කාවෙ හිටියා නම් මම දැම්මම අයියව හමු වෙන්න එනවා. ගත වෙච්ච අවුරුදු විස්ස ඇතුළෙ වෙච්ච දේවල් බොහොමයි. අයියා ලියා ගන්ඩ මේ එඩ්‍රස් එක. අපේ අම්මව හමු වෙන්න. අයියෙ අයියා අහන දකින දේවල් වලට ෂොක් වෙන්ඩ එපා අයියෙ..මම දන්නවා අයියා කොයි තරම් සෙන්සිටිව්ද කියලා ඒකයි මම මේ අර්ලි වෝනින්ග් එකක් දුන්නෙ.


දැනට කැනඩා රාජ්‍යයේ වෙසෙන බිරිඳගේ සොයුරාගේ මේ හතර බීරී කතාව නිසා මම ඔහු දුන් ලිපිනය සොයා යාමට අභිනවයෙන් පිරූ සින්හල අවුරුදු දිනයන්ද නොසලකා කාලයක් තිස්සේ ගරාජය තුළම පාළුවෙන් ගත කල වාහනය පාරට දැම්මෙමි. පාර පාළුවට ගොස් ඇති අතර ලිපිනයේ වූ ප්‍රදේශය අමාරුවෙන් සොයා ගත් අතර බෝක්කුවක් උඩ රස්තියාදු ගසමින් සිටි තරුණයන් පිරිසකගේ ආධාරයෙන් අදාළ නිවස සොයා ගත්තෙමි.


ඔවුන් සිටියාට වඩා නවීන නිවසක්..නමුත් කිසිවකුත් පෙනෙන්නට නොමැත. වාහනය ගේට්ටුව අසල නවතා එහි වූ සීනුව නාද කළෙමි..
නන්නාදුනන තරුණයෙක් මා දෙස විමසිල්ලෙන් , විමතියෙන් බලා ගේට්ටුව දෙසට පැමිණෙයි.


මහත්තයා කවුද හොයන්නෙ ?


අර මාග්‍රට් වික්‍රමසේකර ලගෙ ගෙදරද මේ ?


මම බිරිඳගේ මවගේ නමින් විමසුවේ බිරිඳ සමහර විට මෙහි නොසිටින්නට වුවද හැකි නිසාය.


ඔව් මහත්තයා. ලොකු නෝනලා ගියා ළමා නිවාසෙට පොඩි බේබිව එක්කන් එන්න. නිවාසෙ අවුරුදු උත්සවේ හින්දා මේ සැරේ පොඩි බේබි අවුරුද්දටවත් ආවෙ නෑ ගෙදර..මට මහත්තයාව දැකලා නම් හොඳට පුරුදුයි වගේ..


මහත්තයා ඉන්නවද නෝනල එනකම් ?


ඔව්


ඉන්න මහත්තයා මම ගේට්ටුව අරින කම්....


මම නිවසේ පෝටිකෝව යට වාහනය නවතා..ගෙවත්තේ වූ එළිමහන් පුටුවක් මත මා ගත වාරු කළෙමි.

.
ළමා නිවාසයක කවුද ඉන්න පොඩි බේබි ??? ..බිරිඳ සහ ඔහුගේ බාල සොයුරා පමණක් වූ නිවසේ බාල සොයුරු තම පවුල සමඟ කැනඩාවෙ පදින්චිව සිටින අතර ඔවුන් හට දරුවන් නොමැත. නිවස හා ගෙවත්ත යම් සුඛෝපභෝගී බවක් ඇත. මල්ලි කැනඩාවෙ කරන රැකියාව සමෘද්ධිමත් එකක් වන්නට ඇත. ඔහු තම මවගේ සුඛ විහරණය සඳහා මුදල් එවා මෙය ගොඩ නගන්නට ඇත.


එසේ නොවන්නට මෙම පවුලට මෙලෙස ගොඩ එන්නට වෙනත් ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබූ බව මට නම් නිසැකය.


නිවස බලා ගැනීමට සිටි තරුණයා සේවකයකු වන්නට ඇත. ඔහු පැමිණි පසු ඔහුගෙන් යම් යම් කරුණු කීපයක් හෝ අනාවරණය කර ගත හැකි වනු නො අනුමානය.


නිවස පිටුපසින් ගිය එම තරුණයා..නිවසේ ඉදිරි පස දොර විවෘත කළේය. විශාල සෙටියක් සහිත සාලය එක් කොනක දැවැන්ත රූපවාහිනියක්ද විශාල කැබිනෙට්ටුවක්ද දර්ශනය වීය. එම කැබිනෙට්ටුව මත යම් අයකුගේ ඡායාරූපයක්ද එය මත රඳවා ඇති මල් මාලාවක්ද මා දෙනෙත ගැටිණි.තරුණයා මගේ විමසිලිමත් දෑස දකින්නට ඇති නිෂාවෙන්දෝ වහා නිවසේ ඉදිරි දොර වසා දමමින් මා වෙත සිනහවක් පාමින් පැමිණියේය.


මහත්තයා මට හොඳට දැකලා පුරුදුයි වගේ..මම කල්පනා කළේ කොහෙන්ද කියලයි. මහත්තයට මොනවා හරි බොන්ඩ ගේන්නද ? කූල් එකක් ?


පෙරදා රාත්‍රියේ ගත් මත්පැන් නිසාමදෝ උගුර කට වේලී ඇත.


ඔව් කූල් එකක් ගේන්න..


ඉදිරිපස දොර විවෘත කරමින් ඔහු මා දෙස හැරී බැලූයෙන් මා හට නැවතත් සාලයේ කැබිනෙට්ටුව මත මල් මාලය දමා තිබූ ඡායාරූපය කාගේදැයි නිශ්චිතව බලා ගැනීමට නොහැකි වීය. චෙහ් ! කණ්ණාඩි කූට්ටම දාගෙන හිටියා නම් පේනවා මීට වඩා..නමුත් හොඳට දැකලා පුරුදු මුහුණක චායවක් බැව් නම් නිසැකය..


සේවක තරුණයා ඉදිරි පස දොරගුල් දමන ශබ්දය ඇසූ මා හට යම් ලැජ්ජාවක් ඇති විණ. මා නිවස වෙතින් දෑස් ඉවතට යොමු කර ගෙවත්ත දෙස හිස් බැල්මක් යෙමුවෙමි..විශාල ගෙවත්ත පිළිවෙළකට මල් සහ ඒළවළු වවා තිබුණි..


// අපේ අම්මව හමු වෙන්න. අයියෙ අයියා අහන දකින දේවල් වලට ෂොක් වෙන්ඩ එපා අයියෙ..මම දන්නවා අයියා කොයි තරම් සෙන්සිටිව්ද කියලා//


මස්සිනා නොකියා කිවූ මේ කථාවෙහි තේරුම කුමක්ද ? කුතුහලය මගේ හිස තුළ කරකැවෙන්නට වූයේ..ආමාශයේ ආම්ලිකතාවයද ඉහළ දමමිනි..
ඉදිරි දොරගුල ඇරෙන ශබ්දය මා සවනත හොඳින් වැටුණද මා එදෙසට හිස නොහැරෙව්වෙමි.


ආ මහත්තයා බොන්න


සිසිල් බීම වීදුරුවක් බන්දේසියක් මත තබා මා වෙත පිළිගැන්වූවේ..බුලත් කට බැඳි මුව මත සිනහවක්ද සමඟිනි.


මට මතකයි මහත්තයා කවුද කියලා..නිරෝමි නෝනා..


නිරෝමි..මගේ බිරිඳගේ නම ඇසෙන විට මා මුවට ගත් සිසිල් බීම රොදක් ස්වාසනාලය තුළට ගොස් කැස්සක් ඇති වීය..


නිරෝමි නෝනා ළඟ තිබුණ ෆොටෝ වලින් මට මහත්තයව පෙන්නලා තියෙනවා


මාගේ කුතුහලය උපරිමයට ළඟා වූයේත්..ගේට්ටුව අසල වූ වාහනයක් හෝන් එක නාද කරන්නට වුයේත් එක් වරමය.


ආ ලොකු නෝනලා ඇවිත්...පොඩ්ඩක් ඉන්න මහත්තයා..මම ගේට්ටුව ඇරලා එන්නම්..


කලබල වූ ඔහු විටෙක නිවසේ දොර වෙත ගොස් එය වසා..නැවතත් වෙන යමක් සිහිවූ කලක මෙන් දොර විවෘත කර ආපසු ගේට්ටුව දෙසට දුව ගියේය. විවෘත වුණු ගේට්ටුව තුළින් පෝටිකෝව දෙසට හැරවුණු සුඛෝපභෝගී වාහනය මාගේ වාහනය නවතා ඇති බැවින් ගෙවත්තේ වෙනත් පැත්තකට හැරවූවේය.


මා යමක් ක්ෂණිකව සිහිපත් වූයෙන් දෙනෙත වහා නිවසේ විවෘත වූ දොර දෙසට යොමු කළේ සාක්කුවේ රැඳි..කණ්ණාඩි කූට්ටම අතට ගනිමිනි.
පැමිණි වාහනයේ දොර හැරෙනවාත්... කීප දෙනෙක් එයින් පිටතට පැමිණෙන ශබ්දය ඔවුන්ගේ කථාවෙන් මගේ සවනත වැටුණේත්..උපැස් යුවළ රැඳි මා දෙනෙත සාලය දෙස යොමු උණේත් එකම විටය. දෑසේ එක් කොනකින් යම් දැරිවියක් මා හිඳගෙන සිටින දෙසට එනවා දුටුවත් මා සිත හා අවධානය දැඩිව බැඳුණේ සාලයේ කැබිනෙට්ටුව මත තබා ඇති ඡායාරූපය දෙසය.. අවසන මා දෙනෙත එම ඡායාරූපය සොයා ගෙන සිත හා අවධානය නාභිගත වන්නේත්..මාගේ පැත්තකින් සිටගෙන මා දෙස විමසිල්ලෙන් බලා සිටින ළදැරිය තම දෑස ඔසවා යම් චලනයක් කරන්නේත් එකම විටය..


දෙවියනේ...!!!!


හිසමුදුනින් නැඟි හිරියක් මගේ දෙපතුල දක්වාම ක්ෂණයකින් ඇදී ගියේ මා ගත පණ නැති කරමිනි..


තාත්තේ...


දෙපා වාරු නැතිවී ගොස් අසල වූ සිමෙන්ති පුටුවේ ගරාදිය මත මා අත තබනවාවත් සමඟම මා දෙසවන වැටුණු ඒ කටහඬත් සමඟම මා දෑස මා දෙස බලා හුන් බව ඇස් අගින් පෙනුණු ළදැරිය වෙත යොමු කළෙමි..
කිසිදා මා දෙනෙතට හසු නොවූ කටහඬ කිසිදා දෙසවන නොගැටුනු..ළදැරියක් මා දෙස ඈගේ දෑත විදහා මා අඳුරා ගත් විලාසයක් පෙන්නුම් කරන්නීය.


තාත්තේ...මගේ සුදු තාත්තා මාව බලන්ඩ ඇවිල්ලා...


මා තුෂ්ණිම්භූත කරමින් ඈ විදහා ගත් දෑතින් මා වෙත දිව විත් මාගේ ඉණ බදා ගත්තේ..මහත් වූ ප්‍රීතියකින්ය..


දෙවියනේ ඈගේ දෑස !


වරක් නොව දෙතුන් වාරයක්ම මා සියොළඟ හිරිවැටී ගියේ මා අසළවූ පුටුව මත ඇද වැටුණේ..ළදැරියගේ වැළඳගැනීමටත් වඩා මේ සිදුවන සියල්ල මාගේ දුර්වල ස්නායු පද්ධතියට තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසාය..


මතු සම්බන්ධයි...

12 comments:

  1. දැන්නම් වැඩේ සීරියස් වේගන යන්නේ. ෆොටෝ එක බිරිඳගෙ කියලා අනුමාන කරනවා....ඒත් තාත්තා කියන දරුවෙක් !!! දෙන්නම මලා කිව්වා නේද ?? බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව්..දෙන්නම මලා නෙවෙයි නිරෝමි මරා ගත්තා කියලයි කිව්වෙ..ට්‍රිප් එකක් ගිහින් නාන්න ගිය වෙලාවක වැවේ ගිලිලා මැරිච්ච පොඩි උන් දෙන්නගෙ නිව්ස් එක ඒ දවස් වල මීඩියා වල පට්ට පතුරු ගැහුවෙ..

      Delete
  2. මතු සම්බන්දයි දකින කොට අවුල් අප්ප.ඉක්මනට ඉතුරු ටික දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. කනගාටුයි එක දිගටම තනි කතාවක් විදියට ලියන්න ඉඩ හසර නොලැබෙන එක නම්..

      Delete
  3. "ගත වෙච්ච අවුරුදු විස්ස ඇතුළෙ වෙච්ච දේවල් බොහොමයි"

    මචන් ළදැරියක් වෙන්න පුළුවන්ද?
    මම අවුල්ද නැත්නම් උඹට මිස් වෙලාද මොනා හරි?

    ReplyDelete
    Replies
    1. පොඩි බේබි...බූරු බබා පොඩි බේබි..

      Delete
  4. වෙනීස් ස්ටයිල් කතාවක්..අන්තිම මොහොතේ කරකවලා අතෑරියා වගේ වුනා..ඔහොම යං..ඔහොම යං..

    ReplyDelete
  5. ඔන්න මමත් ආවා. බලමුකෝ කතාව. රසවත් වගේ.

    ReplyDelete
  6. අනේ මංද වෙනී අයියෙ මොනව වෙන්න යනවද කියල. හරිම මාඤ්ඤමිකයි වගේ.
    බලමුකො ඉතුරු ටිකත්.

    ReplyDelete
  7. we need the story soon. do you live in weera mawatha, pannipitiya?

    ReplyDelete
  8. ලස්සනයි කතාව.

    ReplyDelete
  9. අපූරු කතාවක් . ඉදිරිය කියවන්න නොඉවසිල්ලෙන් .....

    ReplyDelete