ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, March 26, 2013

මුහුද යට අසිරිය..පළමුවෙනි කොටස..


මුහුද යට තියෙන ලස්සන ලෝකයක් පෙන්නන්න කථා කලාම ඕන් දෝස්මුර කීපයක්ම ආවනෙ..අපි ආසා කඳුකරයට..අපි ඉපදුනෙ එහෙ..වතුරට ආසා නෑ..ඊයා..වගේ කතන්දර..හරි ඉතින් මාත් ඒ කාලෙ ඔහොම තමයි..ටීවී එකේ මුහුද යට තියෙන අපූර්වත්වය දැකලා තිබ්බට..දෑහින්ම බලන්න ආසයි කියලා හිතෙන එක එක්කම ආයි හිතට දුකක් එන්නෙ..ඉනක් ළඟට තියෙන වතුරකට බැස්සට..පීනන්න පුළුවනියෑ..ඊටත් වඩා වතුර යට ඇස් දෙක ඇරන් බලන් ඉන්න පුළුවනියෑ..වගේ කතන්දර ගොඩක් තමයි හිතට එන්නෙ..

ඒ හින්දම මුහුදු වෙරලට වෙලා ඔහේ මුහුද දිහා බලන් ඉන්නවා ඇරුනහම..වතුර උඩට එන මාළු දිහා බලන් ඉඳලා ආපහු ආපු කාලයක් මටත් තිබුනා..

හැබැයි ඔය කාලෙ ඉඳලම මගේ මාමණ්ඩියා නම් ගිය ආත්මෙ මුහුදු ජීවියෙක්ද  කොහෙද..මෙහෙට ආපු දවසෙ ඉඳන්ම මුහුදෙමයි..ස්නෝකලින් සෙට් එකයි..කැමරාවයි අරන් මුහුද බැස්සහම ආයි කෑමක් බීමක් නෑමක් ගැන කිසිම අදහසක් නෑ..ඔව් ඔව් මුහුදෙ ගියාට ආයි මිනිහා නාන්නෙ නම් නැද්ද මන්දා ? මගේ හොඳ වෙලාවට මෙයා මගේ බ්ලොග් කටුව නම් කියවන්නෙ නෑ..සිංහල බැරි හින්දා..

ඒත් පහුගිය අවුරුදු වල..මාව අර මරන්න ගෙනියන හරකා වගේ මුහුදට ඇද ගෙන ගියා මේ මනුස්සයා..මම වතුරට තිබ්බෙ පුදුම භීතිකාවක් තමයි..ගඟක මුහුදක ගියත් දනිස්සෙන් උඩට වතුර තියෙන ඝරියකට බහින්නෙ නෑ..පොඩි කාලෙ ළිඳට වැටිලා..වතුර පෙවිලා ඒකෙන් වෙච්ච බයද කොහෙද ...

පස්සෙන් පහු දැන් තමයි දන්නෙ..පීනන්න තියා දියබුං  ගහන්නවත් දැනන් ඉන්න ඕනි නෑ..මුහුද යට තියෙන අසිරිය බලන්න කියලා..

අපි බලමු එහෙනම් මොනවද ඕනි කියලා..

ස්නෝකලින් මාස්ක් එකක්..එහෙම නැත්නම් ඩයිවින් මාස්ක් එක කියලත් කියනවා,

http://gzyinfeng.en.made-in-china.com/productimage/nbMmofhxIeYU-2f0j00dBPQHwoGhezE/China-Diving-Equipment-New-Design-Professional-Mask-Diving-Mask-DRJ-M6231C-.html




මේ තියෙන්නෙ ඔය කියන මාස්ක් එක..මේ මාස්ක් එක උනත් හොඳට ඇති මේ අපූර්ව ලෝකය දිහා මොහොතක් බලන්න..ඇයි මොහොතක් ?
හොඳ හුස්මක් අල්ලලා ඕක රඳවා ගෙන ඉන්න පුළුවන් කාල ප්‍රමානය තුල අවට සිරිය බලන්න මේ මාස්ක් එක විතරක් ඇති..

ඊට වඩා වැඩි වෙලාවක් බලන්න නම් ...ඉතින් මෙන්න මේ ස්නෝකල් එක ඕනි වෙනවා..

http://www.natureknights.net/2010_02_01_archive.html


එතකොට නම් පැය භාගයක් උනත් මේ ස්නෝකල් එක ආධාරයෙන් හුස්ම අරගෙන මුහුද යට බලන්න පුළුවන්..

අපිට කොයි ඉතින් ස්නෝකල්...? එහෙම අහන කම්මැලියන්ට තියෙන්නෙ ඔය ස්නෝකල් එකක් හයර් එකට ගන්න පුළුවන් පැය ගානකට..විදේශිකයන්ට දෙන්නෙ නම් ගිණි ගානට ඒත් අපිට පොඩ්ඩක් හෙට්ටු කරලා අඩු ගානකට ගන්න පුළුවන්..
මේ කිට  දාගත්තා එහෙනම් බැස්සා මුහුදට බැලුවා මාළු සහ කොරල් හිතේ හැටියට..එච්චරයිද ?

නෑ...

ඇත්තටම වතුර යට හොඳට පැහැදිලිවට බලන්න සෑහෙන සාධක ගනනාවක් බලපානවා.. එක තමයි හොඳ හිරු එළිය..උදෑසන ඉඳලා..හැන්දෑවෙන කම්...සමහර ඉර බැහැගෙන යන වෙලාවළුත් තියෙනවා හොඳම දර්ශනීය වෙලාවන්..
අනික මුහුදේ රල ස්වභාවය..රල නැගීම ගොඩක්ම අඩු වෙලාව තමයි හොඳම..ඔබ හික්කඩුවෙ යනවා නම්..කොරල් පර මුහුදෙන් ඉස්මතුව පෙනෙනවා කියන්නෙ ඒක හොඳ ලක්ෂනයක් ..කාලෙන් කාලෙට ඔය පෝය දවස් වලට..වගෙ සාධක එක්ක..සාමාන්‍යෙන් උදේ වරුවෙ 10-12 අතර හොඳම වෙලාවල් එනවා...එතකොට ඔබට පෙනෙයි කොරල පර වලට මෙහා ජල කඳ නොසෙල්වී තියෙනවා..ඔය වෙලාවට අර කොරල් පර තියෙන ඉසව්වටම ඔබ ඇවිදගෙන යන්න පුළුවන්..පීනන්න අවශ්‍ය නෑ..නමුත් සමහර තැන් තියෙනවා නොසෙල්වෙන ජලයේ උනත් තරමක් වලවල් වගේ තැන්..

හොඳම දේ තමයි පීනන්න පුළුවන් කෙනෙකුට කියන්න ඔබ ඉදිරියෙන් ඇවිදගෙන යන්න කියලා..මන් කලේම මාමණ්ඩි ඉස්සර්හින් ඇවිදන් යනකොට මන් පස්සෙන් ගියා..මට හොඳටම සුවර් මිනිහා මාව වලක දාන්නෙ නෑ කියලා..මට නැතත් එයාගෙ දුවට එයා ආදරෙයිනෙ..


මුහුද යට ෆොටෝ ගන්න හොඳ කැමරාවකුත් තියේ නම් හොඳයි ඉතින්...
මන් පාවිච්චි කලේ මේ කැමරා දෙක තමයි..






ඉතින් ඔහොම ලෑස්ති වෙලා මංතුමා කොහොමද දන්නවද මුහුදෙ අසිරිය නැරඹුවෙ..

මේ ටික නොදැම්මොත් කවුරුහරි කියන්ඩ පුළුවන් ආ ගූගල් එකෙන් ෆොටෝ ටිකක් සොයන් මේ වගේ ලිපියක් ලියන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි කියලත්..

ඊළඟ ලිපියෙන් මසුන් සහ කොරල් බලමු..ඔය අතරෙ මුහුදෙදි හමුවෙච්ච අපූරු ජීවින් තුන් දෙනෙකුත් ඉන්නවා..ඒ ගොල්ලන්ගෙ ෆොටෝත් දමන්නම්කො..


මේ ෆොටෝ එකට මං බොහොම මනාපයි..ඒ නිසාම පරිගනකයේ ඩෙස්ක්ටොප් එකට දමා ගෙන ඉන්නෙත් මේක. ඉර බැහැගෙන යනකොට..මේ පේන සුන්දරත්වය..වචනයට නගන්න නම් බැරි තරම්...








ඕන්න ලෑස්තිය අළුත් ලෝකයකට එබී බලන්නට...
















ඕන් ඔහොමලු...බැලුවෙ...සහ ෆොටෝ ගත්තෙ..






මෙන්න මෙහෙම මාළුන්ට අතින්ම කවන්නත් පුළුවන්...


මේක බලලා ඉවර උනු ගමන්ම,

කෝ !@#$%%^^^&&^%%$ ඉතින් මාළු එක්ක @#$%# කොරල්?????

 කියලා අහන පිංවතුන්ට කියන්න තියෙන්නෙ ඉවසන්න පිංවත..ඊළඟ කොටස එනකන්..

Saturday, March 16, 2013

අපූරු ලෝකයක්..ඔබෙන් සැඟවුනු..නමුත් යා හැකි...


කිරි කිරි බෝලේ...
රැලි රැලි මාලේ..මේ ළමය කොයින්දෝ..
දඩිං බිඩිං ඩෝං...

අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන රවුමට රවුමට කැරකිලා කැරකිලා..බිමට වැටිලා තමන් අවට ලෝකෙම කැරකෙන හැටි බලන් හිටියෙ අපි පොඩි කාලෙ..

අර අර අරවා ටිකක් පාවිච්චි කලහම ඇඟට දැනෙන මත් ගතියට ලොල් උනේ අපි වැඩිහිටි මේ කාලෙ..

ලස්සන කඳු වැටි, සත්තු මල් උඩින් පියාඹිලා යන්න අපි ආස මේ ඕනිම වයස කාලෙක...

එවන් වූ ඉමිහිරි අත්දැකීමකට ඔබ ගෙන යන්න මට ඉඩ දෙන්න...සමහර විට මේ වෙනකන් ඔබ අත්විඳලා නැති වෙන්නත් පුළුවන්...අවස්ථාවක් හම්බ උනත්..ඔබ ඒ අවස්ථාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් නොගත්තා වෙන්නත් පුළුවන්..බලමු...

මට මේ ලිපි ටික සහ මගේම ඡායාරූප ටික බ්ලොග් පෝස්ට් කීපයකට හරි ගස්සා ගන්න යම් කාලයක් යාවි..

එයට යන මේ කාලය අතරෙදි මන් මේ විදියට මේ ලිපි ටිකට ප්‍රවේශයක අරන් සතියකට විතර සමු ගන්නම්..


දහස් ගානක් ෆොටෝ අතරින් තොරන්න තියෙනවා හොඳම ෆොටෝ ටික ඔබවෙත පාන්නට...ඒවට විස්තර ලියන්නත් එපායැ..



සතියකින් එන්න මේ පැත්තෙ අපූරු ලෝකෙක සැඟවුනු තොරතුරු බලා ගන්න...

දැන් ඔබට අදහසක් ගන්න පුළුවන් නොවැ...යන්න හදන්නෙ කොයිබටද කියලා...

Friday, March 15, 2013

ඇනෝ වහපුවහම පට්ට ආතල් !


I know what you’re thinking, ’cause right now I’m thinking the same thing. Actually, I’ve been thinking it ever since I got here: Why oh why didn’t I take the BLUE pill?

මැට්‍රික්ස් චිත්‍රපටියේ මේ දෙබසෙ අවස්ථා සම්බන්ධය බලපු හැම කෙනෙක්ම දන්නවනෙ..

මේ සයිෆර් ඩබල් ගේමක් දෙන්න හදන වෙලාවක ඒක සාධාරනීකරනය කරන්න නියෝට කියන වාක්‍යයක්...

ඔහු වැරදි තේරීමක් කරලා ඒ ගැන පසුතැවෙන අවස්ථාව...

නමුත් ඒ වැරැද්ද නිවැරදි කරන්න ගිහින් ඔහු තමන්ගෙ කණ්ඩායමෙන් බාගයකට වඩා වැඩි පිරිසකගේත් තමන්ගේත් ජීවිත විනාශ කරනවා. නමුත් නියෝව යථාර්ථයට තවස අඩියක් ලං කරන්න ඉවහල් වෙන්නෙත් ඒ කාරණයම තමයි...මේ මඟුල් චිත්‍රපටියෙ කතාවයි..අර අපි වන්දනා ගමනක් යනකොට අතරමඟ දකින දිය ඇල්ලක් උනත් බලන්න යනවා වගේ මගේ බ්ලොග් එකෙත් මන් පොඩියක් දිශානතිය වෙනස් කරලා කරපු ඊට පස්සෙ වෙච්ච විජ්ජුම්බරේ මෙහෙම කියමුකො..

මේ සම්පූර්ණ දර්ශනයම සිද්ධ වෙන්නෙ මෙහෙමයි..

මගේ සමහර පෝස්ට් වල සමහර අය ලියන කමෙන්ට් වලට කුණුහබ්බ ලියන ඇනෝලා එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් විතර උන්නා නොවැ..නෑ නෑ තාම ඉන්නවා..මමත් දකින දකින සැරේට ඔය කමෙන්ට් මකලා දානවා. සමහර දවස් වල අන්තර්ජංජාලෙ එන්න බැරි වෙන වෙලා වල ඔහෙ දවසෙ හමාරෙ තියෙනවා..දැක්කහම මකනවා...

මන් දැන් කල්පනා කලා ඇයි මේකෙන් මොනාවත් වැඩක් ගන්නෙ නැත්තෙ කියලා..

ලිව්වා පෝස්ට් එකක් නෑ මන් අයින් කරනවා ඇනෝ පහසුකම් මින් පස්සෙ කියලා..අනිත් අයට එහෙම කරන්න කිව්වෙ නැතුවට..නිකන් එහෙම කලොත් ටොප් වගෙ අදහසකුත් දුන්නා...කුණුහබ්බ ලියන එව්වො අවජාතකයො කියලත් කිව්වා. ඒ අයගේ ළමයිත් එහෙම වෙයි කියලත් කිව්වනෙ.. මේ කොමර්ස් කරපු මන් දන්න ලබ්බක් නෑ ඔව්වා ගැන...

එහෙම කියලා බලන් හිටියෙ කොහොමද ? මේන් මෙහෙම...

මම ලියන කෙටි කතා , එදිනෙදා සිද්ධි ෆොටෝ අල්ලපු එව්වා..චිත්‍ර ඇඳපු එව්වා කියවලා ඒ වට කමෙන්ට් කරපු මගේ ආදරණීය පාඨකයො වගේම...එදිනෙදා කමෙන්ට් කරන්නෙ නැති අය උනත් මේ පොස්ට් එකට කමෙන්ට් කරන්න පටන් ගත්තා...ඇනොනිමස් පහසුකම අයින් කරපුවහම..වෙන හොඳ , නරක..ඇද කුද..කළු සුදු..සේරම කිව්වා..ඒ වගේම කුණුහරුප ලියන ඇනෝලට ලැබිය යුතු ප්‍රතිචාරය ලැබුනා.. රත්තරන් අදහස් ටික..

අළුත්ම පෝස්ට් එක මේක උනාට අපේ කතන්දර ශූරීන් මගේ ඊට ඉස්සෙල්ලා ලියලා තිබ්බ පෝස්ට් එකකට දීපු ප්‍රචාරක පටය නිසා මේ පෝස්ට් එක හිට් වෙන්න ගත්තා. හැබැයි මට කලාන්තෙ ඇල්ලුවෙ අපේ ලොකු අයියා ඔව් ඔව් එයා තමයි..එයාගෙ සයිට් එකේ මගේ පෝස්ට් එකෙන් කරන්නෙ ඇනෝලව අයින් කරන්න ගෙනියන මාෆියාවක කොටසක්ය..ඒ නමුත් ඇනෝලා බ්ලොග් ලෝකයෙ මහා වැඩ කන්දරාවක් කලාය කියලා මහා ලොකු පෝස්ට් එකක් ලියලා තිබ්බා..දැක්ක ගමන් කලාන්තෙ හැදුනත් මන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනා..මන් හිතුවෙ මගේ බ්ලොග් එකේම සෑහෙන්ඩ කමෙන්ට් වදී කියලයි.මේකෙ ලිපියක් එකක් නෙවෙයි දෙකක්ම දාන්න තරමට දුර දිග යයි කියලා නම් හිතුවෙම නෑ..

මොකද මන් ඇනොනිමස් කමෙන්ට් කිරීමේ පහසුකම අයින් කරනවා කිව්වට අයින් කලේ පැය ගානකට විතරයි. රෑ කීපයක්ම උදේ පාන්දර වෙනකම් අයින් කරා..

පුදුමයි ඒක සමහරෙක් නුදුටුව එක...

හැබැයි අර ලිපියෙ මම ගැන ලියලා තිබ්බ දේවල් සෑහෙන්න නිවැරදී..මන් මේක කලේ හිට් ගන්න..මන් ඉලංදාරියාට සත පහක් දුන්නේ නැතිය..වගේ කාරනා..ඇත්ත නේන්නම්..

හැබැයි මගේ අර පෝස්ට් එකට කමෙන්ට් ලිව්ව අයටත් පහර ගහපු එක ගැන නම් මට හරිම දුකක් ඇති උනා.. හමු උන දවසක මන් ඒ අයගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලනවා..ඒක අනිවාර්‍යයයි...කිව්වට විශ්වාස කරන්න මේ වෙනකම් තාම ඇනෝ කමෙන්ට් එකක් දැම්මෙ නෑ..කවුරුවත්ම..ඒ කියන්නෙ මං වහනවා කිව්ව එක විශ්වාස කලා මිස කවුරුවත් බැලුවෙ නෑ..ඒක ඇත්තටම වහලද කියලා නම්.. බැලුව නම් බඩු මාට්ටු..

මේ සිද්ධිය ඇතුලේ ගන්න දෙයක් තියෙනවා නේද ?


හැබැයි සම්පූර්ණ සංසිද්ධිය ඇතුලෙම මන් දැකපු අපේ සිංහල මනුස්සයගෙ ඇඟේම තියෙන සොඳුරු ගතිගුණයක්...

මතකද 2004 සුනාමිය ආපු වෙලාව..

මට මතකයි රත්නපුරේ ගංවතුරට අනාථ වෙච්ච අය ඉන්න කාලවල්..

අනේ මොන ගහ මරා ගැනීම් තිබ්බත් අපේ මිනිස්සුන්ගෙ හිත උණුවෙන හැටි...ජීවිතේට දැකලා නැති උනත්..කොයිතරම් සල්ලි වල්ට සමාජෙ යට වෙලා තියෙනවා කිව්වා උනත් තමන්ට කිසිම ප්‍රයෝජනයක් ආපහු නොලැබෙන බව දැන දැනත්..ලැබෙන්න පුළුවන් අයහපත් , අමිහිරි දෙයක් බව දැන දැනත් තව කෙනෙක්ගෙ කඳුලෙදි උණුවෙන හිත...
ආන්න ඒක මන් දැක්කා මේ සිද්ධිය පුරාවටම...

මේ උණු වෙච්ච හිතම තමයි එදා 2004දි උණු උනෙත්..

කවුරු කොහොම කීවත් තව කෙනෙක්ගෙ දුක ළඟ උණුවෙලා අනිත් අයගෙ හිත් උණු කරලා කෙනෙක්ගෙ දුක නිවන්න ඉදිරිපත් වෙන්නෙත් මේ හිත්ම තමයි..

කිව්වොත් කවුරු හරි..ඒ කියන හිත් නේද උඹ රැවැට්ටුවෙ කියලා...

පිලි ගන්නවා හැරෙන්න මට වෙන කිසිම විකල්පයක් නෑ... මේ සිද්ධිය හරහා මෙච්චර දෙයක් වෙයි කියලා මන් හිතුවෙ නෑ...

මන් නිසා මගේ පෝස්ට් එක නිසා ඒක කාගෙ හරි හිත රිදුනා නම් මට සමාව දෙන්න...

දැන් මන් දන්නවා මේ පෝස්ට් එක දුටුවහම දෙකොනින් හිනා වෙන එක අයෙක් නම්...

මන් කිවෙ නැද්ද පර්යේෂනගාර මීයො වෙන්න ඕනි නම් ඕක කියවන්න යන්න කියලා..

මී අම්මපල්ලා අතින් පයින් ගහන්න බෑ තමයි ඈත ඉඳලා ගලකින් හරි ගහලා දුවනවා..මට සහ මගේ බ්ලොග් එක ගැන ඔය කරපු නොහොබිනා කතාවට..

ආයි අපේ සුපුරුදු කෙටි කතා, ෆොටෝ වලින්ම පටන් ගමු ළඟදීම..ඊළඟ පෝස්ට් එකෙන් හැමෝවම අරන් යන්නම් වෙනම ලෝකෙකට..ලෑස්ති වෙලා ඉන්න..

ප.ලි. 
බුදු මල්ලියෙ, පුතේ, අයියේ..ඇනෝ ඇරලා තිබ්බෙ... කුණුහරුප ලියන්න එපා.වචනවලින්ම නම් !@#$%^&&& වගේ ලියන්ඩකො ඕනිම නම්...ආදරණීය ඉල්ලීමක්..

Thursday, March 14, 2013

අබ කෑ එකාගෙ මොළය සහ නොට්ටිගෙ පුතා..


"Everything that has a beginning has an end, Neo"

මේ පාඨය මා උපුටා ගන්නේ මගේ ප්‍රියතම චිත්‍රපටයක් වූ මේට්‍රික්ස් Matrix  චිත්‍රපටයෙනි. කොටස් තුනකට පලවූ මේ චිත්‍රපටය තරම් මා සිත් ගත් චිත්‍රපට වූයේ අතලොස්සකි. සීඩී, ඩීවීඩී, මෙන්ම නවතමයෙන් ආ බ්ලූ රේ තැටි ලෙසද මේ ත්‍රිත්වය මා සතුව ඇත.  යථා කාලයේ ත්‍රිමාන බ්ලුරේ ආකාරයෙන්ද අත්පත් කර ගැනීමට සිතා ඇත්තෙමි. ඒ මතු දිනයක ත්‍රිමාන රූපවාහිනියක් සතු කර ගත් දිනයකය...

ආරම්භයක් තිබූ සියළුම දෙයට අවසානයක් ඇත...එහි කියයි. එසේ කියා ඔරැකල් සහ සාතී උදෑසන හිරු නගින ආකාරය වින්දනය කරන දර්ශනයකින් සහ එතැනට පැමිනෙන මැට්‍රික්ස් හි නිර්මාණකරු හා කරන කෙටි පිළිසඳරකින් චිත්‍රපටය අවසන් වේ.. සාතී සහ ඔරැකල් නියෝ යම්කිසි දිනක. නැවත පැමිනේ යැයි බලාපොරොත්තුවක් හිත රඳවා සිටින බවක් හැඟේ..

ආරම්භයක් ගත් සියල්ල අවසන් වන මුත්...නවමු දේ දහසක් නැවත නැවතත් ආරම්භ වේ...

මෙතනට මෙය කෙසේ ගැලපෙන්නේද යන්න මීට වඩා පැහැදිලි කිරීමට මා අපොහොසත් නමුත්...

පහු ගිය ලිපියෙන් මා මතු කල මගේ ජීවිත කතාවෙ යම් සංසිද්ධියක් මාගේ අල්පයක් වූ පාඨක පිරිස කම්පනය කල බව ඔවුන් දැක්වූ අදහස් වලින් පෙනේ. අයකුගේ හදවතේ කම්පනය දැනෙන්නේ සැබවින්ම සංවේදී හදවතක් ඇත්තෙකුට පමණි. එවන් වූ සංවේදී හදවත් ඇත්තවුන් පිරිසක් ලබන්නට මා වාසනාවන්තය. මාගේ හදවතේ සුවිශේෂී තැනක් ඔවුනට හිමි වේ. ඔව් සහෘදය එතන කමෙන්ටුවක් නොකෙටුවත් ඔබත් එයට අයිතිය. 
එහි සමහරක් වූ කමෙන්ට් වලට යම් ඌණ පූරනයක් කිරීමට මා පෙළඹේ..

ජෝති මා ඔබෙන් ඉගෙන ගත්තේ කවුරු මොනා කීවත් ඔබේ ගමන එලෙසම ඔබ යන සහෘදයකු ලෙසය..සමාවී මට ඉඩ දෙන්න මීටත් වඩා සංවේදී කතා ගොන්නක් විටින් විට ඔබ හමුවට ගෙන එන්නට..

ඔව් විචාරක තුමනි, මේ කැළඹීම, මේ කම්පනය මා ආශීර්වාදයක් කර ගනිමි.  මන් මේ කැළඹිල්ලට බොහෝම මනාපයි...

අන් සියල්ලන්ගේම හැම අකුරක්ම මට ගෙනත් දුන්නේ ධෛර්‍යයක් හැමදාම වගේ..

ග්‍රීක මිථ්‍යා ඉතිහාසයේ මන් ආසම එක සතෙක් තමයි හයිඩ්‍රා කියන්නේ. අර එක ඔළුවක් කපලා දැම්මහම එතනින් ඔළු දෙකක් එනවයි කියන්නෙ. ඒ කියන්නෙ එක අදහසක් මරලා දාන්න හදන කොට තව අදහස් දෙකක් එනවානම්..චෙහ් මල් හතයිනෙ...අනික ඒ වගේ සතෙක් මරන්න හර්කියුලීස් වගේ ලෝක ප්‍රසිද්ධ වීරයෙකුට මිසක් වෙන අයෙකුට බැරි උනා නොවැ. 

කතන්දර දැන් නම් මෙලෝ රහක් නෑ වගේ උනාට ඒ කාලෙ ඒවා කොයිතරම් නම් රහයිද ? අපි වයසින් වැඩිලා හින්දා මේ කතන්දර අපිට රහ නැත්ද නැත්නම් වෙන හේතුවක්ද කියලා මන් නම් දන්නෙ නෑ.  කතන්දර ගැන කියද්දි මගේ සිහියට එන්නෙ මේ කතාව..

මගේ ආදරණීය ආච්චිලා දෙන්නගෙන් තාත්තගේ අම්ම වෙච්ච ආච්චිට තමයි මන් වැඩියෙන්ම ආදරේ. මොකද ඒ ආච්චිට කියන්න කතන්දර ගොඩක් තිබුනා. සුරංගනා කතන්දර, ජාතක කතන්දර, විහිළු කතන්දර, බත් කන්ඩ බෑ කියන කොට බය හිතෙන කතන්දර..වගේ නා නා ප්‍රකාර එව්වා. ඒ වගේමයි ආච්චිගෙ කතන්දර හරිම විවිධාකාරයි. එකම කතන්දරේ විවිධ  චරිත වලට විවිධ විදියට පණ පොවලා කියන්න ආච්චිට හැකියාව තිබ්බා. ඒ නිසාම ආච්චිගෙ එක කතන්දරයක් කවදාවත්ම තව කතන්දරයක් වගේ උනේ නෑ. එක කතාවක ගෙඹි කුමාරයා කුමාරිගෙන් හාදුවක් අරන් රාජ කුමාරයෙක් උනාට...අනිත් දවසෙ අර රාජ කුමාරිත් ගෙඹි කුමාරියෙක් වෙලා සතුටින් ගෙඹි රාජ්‍යයක රජකම් කරලා ජීවත් උනා. අපේ අම්මගෙ අම්මා වෙච්ච ආච්චිට මන් එච්චර ආදරේ නැත්තෙ...එයා දැනන් හිටියෙ එකම කතා සෙට් එක විතරයි..ඒවායෙ හැමදාම උනේ එකම විදියට..හැමදාම එකම කුමාරයා සටන් කරලා එකම කුමාරිව බේරා ගෙන සතුටින් ජීවත් වෙච්ච කථාව... මගේ ප්‍රියතම ආච්චිගෙ කතන්දර අහලා..මමත් අර කතාවල චරිත මට ඕනි විදියට එක එක අතට හරවලා කියවලා බැලුවා.. උගුරෙ ඇපල් කෑල්ල හිර වෙච්ච කුමාරි බැන්දෙ කුරුමිට්ටෙක්..එයාගෙ එක ළමයෙක් තමයි අර Beauty and the Beast එකේ ලස්සන කුමාරි... 

"උඹත් කවදාහරි උඹේ මුනුපුරන්ට මන් වගේම ලස්සන කතන්දර හදලා කියලා දෙයි "

කියලා ආච්චිගෙ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. 

හැබැයි මේ ආච්චි අපේ ගෙදර ආවෙ...මාසෙකට දවස් දෙක තුනක් විතර තමයි. මොකද ආච්චි අපේ ගෙවල් ළඟම තිබ්බ පන්සලේ තමයි සිල් ගත්තේ. පෝය දවසට ඉස්සෙල්ලා දවසෙ ඇවිත් පෝය දවසට පස්සෙ දවසෙ යන සිරිතක් තිබ්බෙ. මන් නම් කැමති උනේ මේ ආච්චි අපේ ගෙදරම ඉන්නවා නම් හොඳයි කියලයි. ඒත් තාත්තගෙ මහ ගෙදර දාලා එන්න ආච්චි කොහොමත් කැමති උනේ නෑ. 

එක දවසක පෝය දවසට ඉස්සෙල්ලා දවසෙ ආච්චි ආවා.. මන් උපායක් කල්පනා කලා කොහොමද ආච්චිව ගෙදර නවත්වා ගන්නේ කියලා. තීන්ත කුප්පිය...ඒ කාලෙ තීන්ත පෑන් වලින් ලියපු කාලය..දැන් වගේ කාබන් පෑන් තිබ්බෙ නෑ. ලොකු අක්කාගේ තීන්ත කුප්පිය ගත්තා හැලුවා ආච්චිගේ සිල් රෙද්දෙ ..මන් දන්නවා ආච්චි සුදට සුදේ සිල් රෙද්ද බැබලෙන්නෙ නැත්නම් ආයි සිල් ගන්න නොයන බව..මන් හරියට හරි පෝය දවසෙ හතට අටට නැගිටිනකොට මෙන්න ආච්චි ළිඳ ළඟ..

"ආච්චි සිල් ගන්න ගියේ නැද්ද?"

ආච්චි නෙවෙයි හුම් කිව්වෙ..අර නිල් පාට තීන්ත යවන්න දෙහි බෑවක් උලන ගමන් ආච්චි සිල් රෙද්ද හෝදනවා...

දවස පුරාම ආච්චි තීන්ත වැටිච්ච සිල් රෙද්ද ගැන කථා නොකලත් වෙනදා වගේම මට කථන්දර කියන්න නම් අමතක කලේ නෑ..

අර රෙද්දෙ නිල් පැහැය අඩු උනාට තවමත් බැබලෙන් තීන්ත පැල්ලම දකින වාරයක් ගානේ මගේ හිත ඇදුම් කනවා..

"තීන්ත බෝතලේ අක්කා අතින් හැලෙන්න ඇති නේද ආච්චියේ ?"

තව විටෙක..

"මන් ගන්න කොට මූඩිය බුරුල් වෙලා තිබිලා හැලුනද දන්නෙ නෑ"

තවත් විටෙක...

"පූසා පැන්නද දන්නෙ නෑ තීන්ත කුප්පිය පෙරලගෙන..ඔයිට ඉස්සෙල්ලා දවසෙත් ඔහොම තීන්ත කුප්පිය පෙරලලා තිබ්බා"

ආච්චි නෙවෙයි හුම් කීවෙ...

පහු වෙනිදා ආච්චි යන්න ලෑස්ති වෙනවා..

"මොකද අම්මගෙ සිල් රෙද්ද තීන්ත හැලිලා"

ඒ අපේ තාත්තා..

"මයෙ චූටි පුතා නම් ඊයෙ තුන් සැරයක් විතරම ඕක උනේ කොහොමද කියලා මට ඒත්තු ගන්වන්න නම් හැදුවා"

තාත්තා ටිකක් කල්පනා කරලා..

ඇන්නා මට ටොක්කක්

"අබ කෑ එකාගෙ මොලේ දනවා කියන්නෙ ඕකට තමයි"

මන් ටිකක් වෙලා ඔළුව අත ගගා හිටියා..

"මොකද්ද ආච්චියේ අබ කෑ එකාගෙ මොලේ දන කතාව?"

"මන් පස්සෙ කියා දෙන්නම් පුතේ..දැකලා තියෙනවද බළල්ලු ජරා කරලා වහනවා වැලි ටිකකින් හරි පස් ටිකකින් හරි..ඒත් සමහර බළල්ලු ගල උඩ රීලා පුරුද්දට ඕක වහන්න දඟලනවා..එතකොට වෙන්නෙ උන් දන්නෙම නැතුව උන්ගෙ ජරාව ඇඟ හැමතැනම ගෑවෙන එක. මන් පස්සෙ කියලා දෙන්නම්කො"

කියලා ආච්චි යන්න ගියා.

පස්සෙ දවසක ,

"අප්පා කල දේ නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. බොලායෙ තාත්තත් ඒ කාලෙ මාව ගෙදර තියා ගන්න ඔය වගේ වැඩ කොරලා තියෙනවා මයෙ පුතේ..."

ඔය කතාව අපේ ඕනයා මලයා අප්පා කල දේ නොකලොත් ඌ නොට් උගේ පුතා කියලා Not gate එක දාලා කොහෙ හරි කියලා තිබ්බා...
මන් ඔව්වා කියන්න ඔය ජාන විද්‍යාවයි...ගණිත විජ්ජාවළුයි දන්න එකක්යෑ...

මන් දන්නෙ ගමේ ගොඩේ කට  කතාවට කියන ඔය විද්‍යාත්මක පසුබිම් වලින් ඔප්පු කරලා පෙන්නන්න බැරි මිථ්‍යා මති මතාන්තර තමයි...
ඔව්වා කාට හරි ඕනි නම් නම් සුද්ද බුද්ද කරලා තමන්ගෙ ඔළු වල හරියට තැන්පත් කොර ගත්තට මයෙ  මොකෝ ? අර අච්චර වටිනා බ්ලොග් එක නොලියන සඳරූ මලයා කියන්නැහේ...සරමත් උස්සා ගෙන මන් ගහ ගන්න එනවයෑ ?

මන් මගේ ගමන මගේ පාඩුවෙ යනවා ආයිබොවන්ඩ...

Tuesday, March 12, 2013

අවජාතක ආරච්චිලාගේ ලියන්නාද මේ ?


මම කැමරාවද රැගෙන ඔහේ ඉබා ගාතේ යමින් සිටියෙමි. සිතට දැනුන යම් සිත්තමක් කැමරා කාචයේ තවරා ගනිමින් මා හෝරා ගනනාවක් ඇවිදිමින් සිටියෙමි. තිබහද දැනේ..කුසගින්නක්ද කොහේ හෝ සිට හිස ඔසවා ගෙන එනු දැනේ.

ස්වාභාවිකව ගලා ගිය දිය දහර හරස් කොට කෘතීමව තැනූ පොකුණ දැන් කාලයක් තිස්සේ පැවති නිසා එය අවට පරිසරයටම බද්ධ වී ඇතුවාක් මෙන් පෙනෙන ඉදිරියේ වූ උද්‍යානයේ පොකුණ අසලම වූ බංකුව මත මා හිඳ ගතිමි. කැමරා ආම්පන්න සහිත මල්ල පසෙක තැබූ මා හට පෙනුනේ මා අසලම තණ ගොල්ලේ හිඳ සිටින තරුණ වියේ පිරිසකි. අවුරුදු 15ත් 25ත් අතර විය හැකි යැයි සිතිය හැකි සමනල් රෑනක් බඳු ඔවුන් ඉතා ප්‍රීතියෙන් කෙලි දෙලෙන් හිනා වෙමින් කාලය ගත කරයි. ඔවුන්ගෙන් කීප දෙනෙක් අසල වූ පොකුණෙ නාමින් සිටී. 

ජීවිතයේ සොඳුරුතම ඉසව්ව වූ යෞවනය...මේ පිරිසට කෙතරම් නම් ප්‍රීතිජනකද යන්න මා හට ඔවුන්ගේ කතා බහින් දැඟලිල්ලෙන් පෙනේ..ඇසේ..දැනේ..

දුප්පත් කමින් බර වූ පවුලකට හිමි කම් කී මාගේ යෞවනය ගෙවී ගියේ බොහෝ විට අධ්‍යාපන කටයුතු සඳහාත්..එයින් ඉඩක හසරක් ලද විටෙක යම් කුලී වැඩක් හෝ පතල් ගොස් කීයක් හෝ හම්බ කර ගැනීමට මිස...යහළු යෙහෙලියන් හා මෙසේ විනෝද  වීමට නොවේ.  ගමේ ගොඩේ දුවේ පැන ගිය සොඳුරු ළමා කාලයක් තිබුනත්...අඩුලුහුඬු කම් දැනෙන්න ගන්නා කාලය වන විට ජීවිතය කෙතරම් නම් අමාරුද යන්න මා වටහා ගත්තේ ඉතා ලාබාල අවදියේය. ඒ නිසාම අධ්‍යාපනය කෙරෙහි  මා තැබූ අති විශ්වාසය මා අධ්‍යාපනයේ කෙළවර කරා ගෙන යන්නට සමත් වූ බව ඉඳුරාම කිව හැකිය. නමුත් එය ආ මඟ... කිසිදා රෝස මල් ඇතුරූ මඟක් නම් නොවීය.  එහි වූ කටු පඳුරු වලින් තුවාල වූ තැන් බොහොමයක් අදටත් ලේ ගලන බව මා දැක ඇත්තෙමි..

එවන් කාලයක් ලද මා මේ තරුණ පිරිස ගැන හිතන්නේ කුමක්දැ යන්න මාගෙන්ම මා විමසූයෙමි. 

ඉරිසියාවකි..

එය පැහැදිලි ඉරිසියාවකි. 

අනේ මටත් මෙවන් තරුණ කාලයක් තිබුනා නම්... 

එය ඉතා කෙටි කාලයකට මා සිත දරන සිතුවිල්ලයි. මා අද වන විට ගෙවා දැමූ 42 වසරක ජීවිතයේ ලද අත්දැකීම් රාශිය මත මා මෙවන් ඉරිසියාවක් වැනි ලද බොළඳ සිතුවිල්ලක් මා සිතේ ස්ථාපනය වීමට ඉඩ දෙන්නේ නැත.

සියල්ලම ඇතිවී , පැවතී, නැතිවී යන ලෝකයක..මා යනු පඤ්චස්කන්ධයක් තුලින් සිත තුල ගොඩ නඟා ගත් ඉහත කී උත්පාද, ඨිති, භංග වන ශර්‍රීර කූඩුවකි. තවත් මා යැයි සිතමින් ලොබ බැඳ ගැනීමේ චේතනාව හැකි උපරිමයෙන් ඉවත් කිරීමට වෙර දරන මා හට තවත් බැඳීම් , දුක් වේදනා අවශ්‍ය නොවේ..

ඔවුන් මට වඩා ඉතා වාසනාවන්තය..

පොකුණින් නාගෙන ආ පිරිස තණ පිස්සේ හිඳ වුන් පිරිස හා එකතු වෙයි. හීන්දෑරි හාදයකු ගිටාරයක් ගෙන වයන්නට පටන් ගනී. මට සිහින මලයා සිහි වේ.  මට සිනහවක් නැගෙන්නේ අප කෙලෙස විහිළු තහළු කලත්...වෙනී මාමේ කියා අමතන ඔහුගේ ප්‍රියශීලී බාවය මතක් වීමෙනි..

මා මොහොතකට දෑස පියාගෙන සුළඟ හා මුසුව එන ගිටාරයේ තත් හැඬවෙන නාදයට සිත යොමු කලෙමි..

ඉක්මනින් අසල වූ කඩයට ගොස් යමක් කා බඩගින්න මඟ හරවා ගෙන දවසේ ඉතිරියද කැමරාව තුලින් අවට දැකිය යුතුයි... නමුත් අපූරු තත් සර මාගේ කැළඹුනු සිතුවිලි නිවා දමයි...

මා කොතරම් වේලාවක් සිටියාදැයි නොදනිමි..

"එක්ස්කියුස්මී අංකල්"

මා තිගැස්සී දෑස විවර කලේ..සමහර විට මා සිටි බංකුවට තවත් අයකු පැමිණ ඉඳගැනීමට අවසර පතනවා වන්නට පුළුවන්ය යන සිතුවිල්ලත් සමඟය. මන්ද මාගේ කැමරා බෑගය බංකුවේ සෑහෙන ඉඩක් ගෙන තිබුනි. මේ සිතුවිල්ලත් සමඟම දෑස හරින ගමන් මා බෑගයද උකුලට ගතිමි.

"අංකල් අපි ගෙනාපු සැන්විචස් වගයක් තියෙනවා..අද අපේ ක්ලාස් එකේ අන්තිම දවසෙ පාටිය. මෙන්න අන්කල්ට සැන්විචස් ටිකකුයි ඩ්‍රින්ක් එකකුයි..."

අර තරුණ පිරිසෙන් මිදුනු තිදෙනකු මා අසල සැන්විචස් දීසියක් සමඟ සිසිල් බීම බෝතලයක් මා වෙතට දිගු කරමින් සිටී. 

ස්තූති කර මා එය අනුභව කර එතනින් පිට වූයේ..කුමන අහ්ලාදජනක සිතුවිල්ලකින්ද යන්න මට තවමත් සතුටින් ආවර්ජනය කල හැක. 

ජීවිතයේ කිසිදා නොදුටු නන්නාඳුන අයෙකුට වූවද ඔවුනට පෑ හැකි අමුතුම සෙනෙහසක් ඔවුන් තුල තිබුනි...

මේ අද කාලයේ ලයාදර තරුණයින්ගෙන් පිරිසකි..

ඔවුන් කල දේ ඉතා සුළු දෙයක් වූවත්...එහි ගැඹුර...ඔවුන් දනී නම්...
එය එසේ අවසන් වීය.

මා ඉදිරියේ ඇත්තේ විශාල ජල තලාවකි... විටින් විට නැගෙන මදනලෙන් පැන නගින රල පහරක් හැර අන් කිසිම තරංගයක් ජල තලය මත නොනඟී.. නිසල දිය ගැඹුරු බව මා අසා ඇත්තෙමි..එය එලෙස බව අවබෝධ කරගෙනද ඇත්තෙමි. ..

හිඳ සිටි තැනින් නැගී සිටි මා අසල වූ කැට කැබැල්ලක් ගෙන ජල තලය මතට වේගයෙන් දමා ගැසීමි. කැට කැබැල්ල ජල තලයේ ලිස්සා යමින් ඈතට ඇදෙන්නට වීය. ජල තලයේ එහා කෙළවර පිරිසක් යම් කාර්‍යයක් කරමින් සිටී. ඔවුන් මා හට අත වනන බව මා දෑස අගින් දුටුවෙමි. කැට කැබිලිත්ත අවසානයේ ජල තලයේ වැදී යටට යන ස්ථානය කෙරෙහි මා දෙඇස යොමු වෙද්දී...හරියටම එම ස්ථානයෙන් මහා ජල කඳක් පැන නැග්ගේ මුළු ජල තලයම කළඹිමිනි. මාගේ කුඩා කැට කැබැල්ල කලේ කුමක්ද යන්න සිතා ගන්නටත් පෙරම මාගේ ඉන තරමට ඉහල නැග ආ ජල කඳ මා නැගිට සිටි ස්ථානයෙන් මා ඔසවා බිම දැමූයේ කිසිම හිතක් පපුවක් නැති සේය. මා සියොළඟම තෙත බරිතව ඇත.. 

සිදු වූයේ කුමක්ද යන්න මා හට තවමත් සිතා ගත නොහැක.
සෙමින් සෙමින් නැවත ජලකඳ ජලාෂය තුල ඇදේ...එය නිසල වීමට කාලයක් ගත වනු ඇත..

එම කාලය තුල අවු රශ්මියට ගොස් මා හට තෙත බරිත වූ ගත වියලා ගත හැක..

මා සිත නැවතත් අතීතයට දිව යයි. 

සැමදා මෙන්ම අකමැත්තෙන් වූවද රොටී කෑල්ලක් ලුණු මිරිස සමඟ ගිල දමන්නට එදාද උදෑසන සිදු විය... අකල් ගං වතුරින් අපට බත සරි කල කුඹුර විනාශ වී තිබූ කාලයක..කට දවන ලුණු මිරිසේ රසට කිසිම රසක් නොදැනෙන රොටී කෑම කුඩා මා හට ඉතා නීරස වීය. කෑවාද නැද්ද යන්න මතකක් නැතත්..ඒ ඉරිදා උදෑසන දහම් පාසලට ගියේ එය සැමදා කරන කාර්‍යයක් මිස වෙන වැඩි වටිනාකමක් නොදැනය.  සෙමින් සෙමින් කුසගින්න වැඩි වේ. මල් වට්ටිය ගෙන බුදුන් සිටි කුටියට ගොස් පූජා කරන විටා මා දෙනෙත ගැටුනේ ඊට මොහොතකට පෙර බුදුන්ට පූජා කල බුද්ධ පූජාවයි. කිරි හොද්දේ අල කෑල්ලක් පෙනෙන්නට තිබුනි. ඉඳිආප්ප, ආප්ප සහ තවත් වෑංජන කිහිපයක් කුඩා තැටි වල අසුරා තිබුනි. හවස් වන විට මේ සියල්ලම මල් අස් කරන කුණු ගොඩට යයි. කුසගින්න කිසිසේත් උසුලා ගත නොහැක... මූත්‍රා කිරීමට අවසර ගෙන මා හෙමිහිට රිංගා ගත්තේ බුදු කුටියටයි..මා හට බුදු පිළිමය දෙස බැලීමට නොහැක. බත් කුට්ටියක් ගෙන අල හොද්දේ පොඟවා මුව තුල බහා ගතිමි. රස නහර පිනා යයි. තවත් බත් ගුලි දෙකක් පමණ ගෙන මුව තුල ඔබා ගත්තා මතකය. 

වැරෙන් ලද අතුල් පහරට මා විසී වී ගොස් අසල වූ පිළිමයක්ද පෙරලා ගෙන බිම වැටිනි. 

පන්සලේ ඇබිත්ත මාමා මුළු දහම් පාසලේම සිසු සිසුවියන් මැදින් ඇද ගෙන ගොස් මා ලොකු හාමුදුරුවන් වෙත පෑවේය..එවිටත් මා අතේ ගුලි වී තිබුනු බත් ගුලිය නිසා මා වැරදි කරු වී හමාරය. වේවැලෙන් ලද පහර කීපයක් සමඟ මා බෝධිය අසල වූ ඝන්ඨාරය අසල රත් වූ වැල්ලේ දන ගසා ගෙන සිටියෙමි. රත්වූ වැලි කැට වලට දෙදණ පිලිස්සෙයි. කකුල් දෙක හරහා වැදුනු වේවැල් පහර වල වේදනාව ඇදුම් කයි. ගමෙන් භාගයකටත් වඩා වූ දහම් පාසැල් සිසු සිසුවියෝ සිනාසෙන්නේද නැද්ද යන්න මට නොපෙනෙන්නේ..මා බලා සිටින්නේ අසල වැටී ඇති වියළුණු බෝ පත් සහ ලා රත් පැහැ බෝ දලු දෙස පමණක් වන නිසාය. කිසිවකු අත යැවූ පණිවිඩ්යකින් අක්කා පැමිණ අඬමින් මා ගෙදර රැගෙන ගියාය.  ගමේ හිස ඔසවා ගෙන ගමන් කල ගොවියකු වූ කෝපාවිශ්ඨ වූ තාත්තා පේර කෝටු කීපයක්ම කැඩෙන තුරු මට තලා ගෙදරින් පිට ගියේය. මා හැඬුවාද යන්න මතක නැත. අවසාන වන විට මා හට හඬන්නට කඳුළු තිබෙන්නට නැත. කුස තුල නැගෙන්නේ කුසගින්නක් නොව වේදනාවකි. 
කුලී වැඩට ගොස් හවස අම්මා එනවිට මඟදීම ඇයට කිසිවකු කථාව කියා ඇත. 

" පේර කෝටු කැඩෙනකල් තැලුවා මිසක් එකෙක් හොයලා බැලුවද කොල්ලා උදේට කෑවෙ මොනවද කියලා ?"

අම්මා හැඬූ කඳුලින් තුවාල වූ තැන් වල බෙහෙත් ගැල්වූවාය... 

ඊට පසු කිසි දිනක මා හට අම්මා රොටී කන්නට නොදුන්නාය. කෙසේ හෝ අල ගෙඩියක්, දෙල් ටිකක් හෝ කොස් ටිකක් තම්බා දුන්නා මිස...ඈ කිසි දිනක මා හට රොටී කෑමට වද නොකල බව මතකය. මුළු ගමම බුද්ධ පූජාව හොරෙන් කෑ එකා කියමින් අවමන් කලා මිස එය කෑමට පෙර මා කොතරම් බඩගින්නේ සිටියේද යන්න විමසූයේ නැත. අසල ගමේ වූ දහම් පාසලින් ධර්මාචාර්‍යය විභාගය සමත් වූ මා පසුව ගමේ පංසලේ එම දහම් පාසලේම වසර තුනක් ඉගැන්වීමේ කටයුතු කල බව මතකය. මට වෛර කරන සමාජයකට කිසිසේත් වෛර කිරීමේ ප්‍රතිපත්තියක් මට නොතිබුනි..  වසර 42ක ජීවිත කාලය තුල මා මිල මුදලින් පොහොසත් වනවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පොහොසත්යැයි මට හැඟේ..

දහස් වර කියවා ඇතත් අදටත් මනුතාපය කෘතිය කියවන මාගේ දෙනෙතට කඳුලක් නැගෙන්නේ මන්දැයි මා නොදනිමි. නමුත් දිය බිඳක් ඉල්ලන විට අනුකම්පා විරහිත ලෝකයෙන් ලැබෙන්නේ දිය බිඳක් නොවන බව මා දැන හිටියේ අද ඊයේ නොවේ..එදාද එලෙසමය..අදද එලෙසමය..

මෙයද කිසිවිටෙකත් අනුකම්පාව ඇයදීමක් නොවේ.. ඔබ මොහොතකට හෝ දෑස් පියා ගෙන සිටී නම් එය විවර කිරීමටය..වෙළඳ සමාජයක අනුකම්පාව යනු තවත් එක් වෙළඳ භාන්ඩයක් මිස හදවත පතුලින් නැගෙන සානුකම්පිත හැඟීමක් නොවන බව මට වැටහෙමින් සිටී...



විසල් ජල තලය මත තවමත් විසල් රැල නැගෙයි.  නැවත එය නිසල වීමට මහා කාලයක් ගත වනු ඇත.. මා ගත වියලීයාමටද බොහෝ වේලාවක් යනු ඇත. 

වැවේ එහා ගොඩේ වැඩ කරමින් සිටි කෙනකු වැව් තලයේ වූ ගලක් බෝර දමා කැඩුවා යැයි  නොකීවා නම් මා සිතා සිටින්නේ මා විසි කල කැට කැබැල්ල මෙය කල බවයි.

සියළුම සංස්කාරක ධර්මයන්ගේ පවතින්නේ මේ අනිත්‍යය බවයි. 
මම ඔබට කියන්නෙමි.. නැත සහෘදය මෙය  දහසකුත් එකක් චරිතයන්ට පන පොවන අවජාතක ආරච්චිලාගේ ලියන්නාගේ කතාව නොවේ. 
ඔබගේ පපුවට අත තබා බලන්න..ආන්න එලෙසම ගැහෙන රිදවෙන හදවතක් හිමි වෙනීගේ කතාවයි, මේ ලියවෙන්නේ..

එවිට අන් අයකු මෙය ලිවීමට තම කාලය හා ශ්‍රමය වැය නොකරනු ඇත...

මා ජල තලය නැවතත් නිසල වන තුරු බලා සිටින්නෙමි.

නැතහොත් සසල ජල කඳ අත හැර දමා ඒ වෙනුවට සයුර අසල නිරතුරුවම බිඳෙන ජල තලය අසලට වී කාලය ගත කරන්නට අදිටන් කර ගත්තෙමි. 

Friday, March 8, 2013

නැගී ගෙන එන අවජාතක පරිචය...

https://twitter.com/AnonyOps



මට අක්කලා තුන් දෙනයි..ලොකු, මද්දු සහ චූටි අක්කා.

ආච්චිට හොඳට කෑම ජාති, බත්, මාළු වගේම සිංහල කෑම ජාති කැවුම් කොකිස්, අළුව , වැලිතලප උඳුවැල් හදන්න පුළුවන් නිසා අපේ අම්මත් ඒ කාලෙ හොඳම කෑම හදන්නියක්. ලොකු අක්කා අම්මගෙන් කෑම ජාති හදන්න ඉගෙන ගත්තා..පස්සෙන් පහු කාලෙ චූටි අක්කා ලොකු අක්කාගෙන් සහ අම්මගෙන් ඔය වැඩේ අල්ලා ගත්තා. අපිට රහට උයලා දෙනවා වගේම ගමේ ගොඩේ අනිත් තැන් වල උනත් උත්සවයක් , අළුත් අවුරුද්දක් ආවොත් ඔය කැවිලි පෙවිලි හදන්න උදව්වට පදව්වට ලෝබ නැතුව මේ දෙන්නම ගියා.අම්මත් එක්කම..

ඒත් මද්දු අක්කා ???

මේ තුන් දෙනා හදන කෑම ජාති කාලා කාලා බඩ පුරවගෙන නිකන් හිටියෙ නෑ ඔව්වයෙ ඇද පළුදු කියන්න ගත්තා. මුල කාලෙ චූටි අක්කට හොඳටමත් ලොකු අක්කට සුළුවටත් කේන්ති ගියාට පස්සෙන් පහු වෙන කොට ඕක ආයි එච්චර දෙයක් උනේ නෑ.. 

"මද්දු මොනාවත් අඩුවක් කීවෙ නැද්ද?"

කියන ප්‍රශ්ණෙ අහලා නෑ කිව්වොත් විතරක් ඒ ගොල්ලො පොඩ්ඩක් දුක් උනා.

"මොකද මද්දු කන්න නැත්තෙ ලෙඩක් දුකක් වෙලාද මන්දා?"

කියලා ඒ ගොල්ලො දුක් උනා.

මන් නම් මද්දු අක්කට,

"තමුසෙ උයන්නෙත් නෑ..උයන්න උදව් වෙන්නෙත් නෑ..කන්න විතරක් එන්න එපා. ඒ මදිවට මෙතන අඩු පාඩු කියවන්නත් එනවා"

කියලා අම්මා රවද්දි උනත් මූණට කීවා. 

පස්සෙ කාලෙ ඔන්න මද්දු අක්කා කුකරි ක්ලාස් යන්න පටන් ගත්තා. 
අම්මා සහ ලොකු චූටි අක්කව පැත්තකට කරලා මෙන්න මෙයා උයන්න පිහන්න ලොක්කා වෙන්න ගත්තා.

"මට එපා මේ තහඩු වගේ ආප්ප. මට බත් ටිකක් උයලා පොල් සම්බෝලයක් හදලා දෙන්ඩ"

මන් නහයෙන් ඇඬුවා. 

"ඇයි තමුසෙගෙ ප්‍රියතම කෑමනෙ ආප්ප"

"ඔව් ඒත් මද්දු හදන ඒවා කන්න පුළුවන්ද?"

පවුලේ අනිත් අය ඒවා සද්ද නැතුව කෑවා උනත් මට වෙන මොනවා හරි හදලා දුන්නා. 

හොඳට පොල් කිරි දාලා පදම් වෙච්ච පිටියෙන් අම්ම හදන ආප්ප කාල තිබ්බ මට මද්දු බිත්තරයි, හකුරුයි තව එක එක නා නාප්‍රකාර දේවල් දාලා මහා සංකීර්ණ කරලා ආප්ප වල රහ නැත්තටම නැති කරලා දැනෙන රහ මොකද්ද කියලා හරියටම තේරෙන්න කාටවත්ම කියන්න බැරි වෙන්න හදපු ආප්ප මට කොහොමටවත් අප්‍රසන්න උනා..

අවුරුද්දක් විතර දඟලලා ආයිමත් මද්දු කුස්සියෙන් අයින් උනා. හිටියටත් වඩා ගෙදර හදන කෑම වල ගුණ දොස් තදින්ම විවේචනය කර කර තමයි එයා කාලය ගෙව්වෙ. එයා අම්මයි ලොකුයි , චූටියි හදන කෑම වලට ඉරිසියාවෙන් පුපුර පුපුරා හිටියා කිව්වොත් හරි. ඒත් තමනුත් ඒ පවුලෙ නිසා විවේචනය කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද ?

පස්සෙ කාලයත් එක්ක අක්කලා තුන් දෙනාම බැඳලා පවුලෙන් අයින් උනා..මද්දු අක්කා කසාදෙත් කඩා ගෙන ආයි ගෙදරට ආවා. 

අදටත් එයා ඉන්නෙ අපේ පවුලෙමයි..

අදටත් අපේ අක්කලා හදන කෑම ජාති හැම එකම වැරදි අඩු පාඩු ගම හැම තැනම කියවා කියවා යන එක මිසක් එයාට තාමත් හරි හමන්වට කොකිසක් වත් හදා ගන්න බෑ. 

ඒක ගමේ හැම කෙනාම දන්නවා..වගේම අදටත් ලොකු සහ චූටි අක්කලාගේ හදන කැවිලි පෙවිලි වල ජනප්‍රියතාවය කවදාවත් අඩු වෙලා නෑ. එන්න එන්නම වැඩි වෙනවා මිසක්. 

පහු ගිය අවුරුද්දෙ අම්මා මිය යන්න ඉස්සර වෙලා මද්දු අක්කා නැති තැනක අපි තුන්දෙනාට එයා හංගා ගෙන හිටි රහස කීවා.

"මද්දු අවජාතක ළමෙක්"

ඒ කාලෙ අම්මගෙ ගමේ හිටිය පවුලකින් අනාථ වෙන්න යන ළමෙක් නිසා අපේ අම්මා තත්තා අරන් හදා ගෙන තියෙන්නෙ . ඒත් අදටත් මද්දු අක්කා අපේ පවුලෙම කෙනෙක් විදියට තමයි අපි සලකන්නෙ..

එයාගෙ තමන්ගෙ අඩු පාඩු වහ ගන්න  අනුන්ගෙ අඩු පාඩු කියවා කියවා යන ගති ගුණය එයා අන්තිම හුස්ම හෙලනකම්වත් වෙනස් කර ගන්න එයාට බැරි වෙයි. මොකද එයා හිතා ඉන්නෙ එයා මහ ලොකු සේවයක් කරනවා ඒකෙන් කියලා.

අනේ පව් !

ඇනොනිමස් ඇවිත් බ්ලොග් වලට කුණුහරුප ලිය ලියා ගිහින් අනුන්ගෙ ජීවිත වල අඩු පාඩු කියවා කියවා බ්ලොග් ලියන ස්ත්‍රී හෝ පුරුෂ කියන ලිංග දෙකෙන් එකකටවත් දාන්න බැරි ඇනෝලා....

පව් දෙයියනේ !

ඒ ගොල්ලන්ගෙ ළමයිත් කවදා හරි ඔය වගේම කරයි. මොකද ඔය ජානමය ගති ලක්ෂණ තමයි පරම්පරාවෙන් ඉදිරියට යන්නෙ. 

තමන්ගෙ අවට තියෙන පරිසරයෙන් තමන්ගෙ ජීවිත වලට ලැබෙන ඌණ උත්තේජනය සමබර කර ගන්න කරන මේ වැඩ නිසා කෙටිකාලීනව ඒ ගොල්ලො යම්කිසි වින්දනයක්, තෘප්තියක් ලැබුනත් දිගු කාලීනව ඒ ගොල්ලො ලබන්න යන දේ ගැන හිතන කොට දුකයි. 

ඒ ලියන ළමයි පුදුමයි තමන්ගෙ දෙමව්පියන්ගෙ, සහෝදර සහෝදරියන්ගෙ නැත්නම් තමන්ගෙ ළමයින්ගෙ බිරිඳගෙ ඇස් දෙක දිහා බලලා අවංකෙන්ම හදවතට එකඟව කතා කරලා වැඩ කරනවා කිව්වහම..ඒ ගොල්ලො එක්ක ඉන්නවා කිව්වහම..ඒ කරන වැඩ තමන්ගෙම දෙමව්පියො දන්නවනම් තමන්ගෙ සොහොයුරු සොහොයුරියො දන්නවනම් කොයි තරම් නම් තමන්ව පිළිකුල් කරයිද ? 

ඔවුන් දැන් වපුරනු ලබන දේ ඔවුන් පසු කලෙක නෙලා ගනු ඇත...

ඒ නෙලා ගන්නා විට ඔවුන්ට බොහෝ අසරණ කමක් දැනෙනු ඇත.. එය ඒකාන්තයි..එවිට ඔවුන් ප්‍රමාද වැඩිය.. 

බෞද්ධ, ක්‍රිස්තියානි , මුස්ලිම් හෝ අන්‍යාගමික අළුත් රැල්ලේ ආගමක් නො අදහන කිසිවකු වූවත් මේ සොබා දහම් නීතියෙන් ගැලවෙන්නේ නැත. 

රස්නය පතා ඔබ දල්වන ගින්නට කිසිම පාලනයක් නැත. එය ඔබ දවන කල අප උපේක්ෂා සහගතව බලා සිටින්නෙමු.  ඔය ඔබ දැල්වූ ගින්නයි ඔබව පුළුස්සා දමන්නේ..

මේ  පරිචය තුල  අපිට අව්‍යාජ යහපත් ඇනෝලා කාණ්ඩයද අහිමි වීමේ ඛෙදවාචකයට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් සැබවින්ම මේ යහපත් ඇනෝ කණ්ඩායම කුමන හෝ නමක් තුලින් පැමිණ තම මහඟු කාර්‍යභාරය ඉටු කරන්නේ නම් එය වඩා වටී.. 

මේ තත්වය මත මා මින් පසු කිසි දිනක ඇනොනිමස් කමෙන්ට් සඳහා මගේ බ්ලොගය තුලින් ඉඩ පහසුකම් සලසා දෙන්නේ නැත. 

ඕනි නමකින් ප්‍රොෆයිල් එකක් හදා ගෙන ඇවිත් කමෙන්ට් කරන එකයි ඇත්තෙ ඒ වගේ කට්ටිය. 


ප.ලි. හොඳින් අවධාරනය කර ඇති පරිදි සහ කීප තැනකම කියා ඇති පරිදි මෙහි අවජාතක ලෙස මා හඳුන්වා ඇත්තේ බ්ලොග් වල කුණුහරුප ලියමින් යන පිරිස බව නැවතත් මෙහි අවධාරනය කරමි. යම් යම් අය මේ කාරණය වෙනත් දිශාවන් ඔස්සේ ගෙන යන බව පෙනේ. 

මා මෙසේ කිරීමට හේතු වූයේ,
පහු ගිය කාල සීමාව තුල මාගේ බ්ලොගය තුල කමෙන්ට් කරන්නට පැමිණෙන පොඩ්ඩි,බින්දි,හිරු, මාරයා , අභීත, ඉන්දික, මාතලන්, කතන්දර වැනි මගේ අතලොස්සක් පමණ වූ පාඨකයන්ගේ කමෙන්ට් වල පිළිතුරු ලෙස කුණුහරුප ලියමින් පුද්ගලික මඩ ප්‍රහාර එල්ල කිරීම බව සලකන්න. එලෙස කල සමහර කමෙන්ට් ස්පෑම් කර ඇති අතර සමහර ඒවා මකා දමා ඇත. ඒවා අයින් කරන්නට පෙර ඔවුන් දකින්නට ඇති බව මා විශ්වාස කරන්නේ පසු කලෙක ඔවුනුත් මගේ බ්ලොග් එකේ කමෙන්ට් කිරීමට මැලි වන බව දුටු නිසාය. 

ජීවිත කාලෙටම දෙපාරකට වඩා හමුවී ඇත්තේ මාරයා සහ අභීත පමණි. අන් අය මට පුද්ගලිකව හමු වී නැත.

ඔබට ඔවුන් හා පුද්ගලික කෝන්තර පිරිමසාගැනීමට තිබුනද මට ඔවුන් මගේ සහෘද කැලයි. ඔබත් එහි සිටී.

ඉහත කී අතලොස්ස හැර කිසිම ඇනොනිමස් අයකු මා බ්ලොගය ලියූ මුල් දිනවල මා දිරිමත් කලේ නැත. 

ඔවුන්ගෙන් පසු මා හා එක්වූ පිරිස අදද මා සමඟය.

හෙට සියල්ල මා හැර ගියද මා දිගටම ලියනු ඇත..

මගේ බ්ලොග් කඩමාල්ලට සිටින්නේ ඉතා සුළු පාඨක පිරිසක් බැවින් ඔවුන් හෝ රැක ගැනීම මගේ අරමුණයි.

බ්ලොග් වල කුණුහරුප වදන් ලියමින් යන්නේ ඔබ නම් මා ඔබට අවජාතක යැයි කියන්නට බිය නැත. එය ඔබගේ දරුවන්ටද යනු ඇත. එය සොබා දම් නීතියයි..

එසේ නොවන ඇනොනිමස් සහෘදය ඔබගේ හිත රිදුනා නම් මට සමාවෙන්න..එය මා ඉල්ලන්නේ හදවතිනි. ඔබගේ ඔය හිත රිදීම මාගේ හිතද රිදීමකි. එය සහෘද බව යැයි මට සිතේ...

මොන දේ උනත් අපි මද්දු අක්කා එයාගෙ ජීවිත කාලය ඉවර වෙනකම්ම ඉතාම ආදරයෙන් බලා ගන්න තීරණය කරලා ඉවරයි. මොකද මද්දු අක්කට දැන් ඉන්නෙ අපි විතරක් නිසා. 

Wednesday, March 6, 2013

දෙයියෝ සාක්කි !




"මොනවද බන් ගෑණු ජොබ් කරන්නෙ නෑ කියන්නෙ ඔහේ ගෙදරට වෙලා ජොලියෙ ඉන්න එකනෙ කරන්නෙ.. අපි මේ දවස ගානෙ ඔෆිස් ඇවිත් මැරී ගෙන වැඩ කරලා සල්ලි හම්බ කරලා ගිහින් දෙනවා.. නිවාඩු දවසටවත් නිවාඩු තියේද බන් අපිට එදාටත් ඕටී කරන්න වෙනවා..අම්මපා ගෑණියෙක් වෙලා එහෙම සැපට ඉන්ඩ තිබ්බා නම් අපිටත්"

"වෙලාම බලපන් අන්න එදාට උඹට තේරෙයි"

කාර්‍යාලයේ සහ ඉන් පිටත හමුවීම් ප්‍රිය සාද වලදී මා උදාරම් ලෙස මෙලෙස කීමට සැදී පැහැදී සිටියේ පෙරේදා  හවස් ජාමය වන තෙක් පමණි.
විටෙක මගේම බිරිඳගෙන්ද මේ මතය සම්බන්ධයෙන් මා ප්‍රතිවිරුද්ධ මත වලින් පහර ලැබූවද තර්ක කිරීමේ දක්ෂ කම නිසාම මා කෙසේ හෝ මගේ මතයම දිනවීමට උත්සාහ ගතිමි. 

ඔවුන් අවසානයේ පරාජයට පත් වූයේ, 

"වෙලාම බලපන් අන්න එදාට උඹට තේරෙයි"

යනුවෙන් කියමිනි.

කෙසේ නමුත් මම මාගේ බිරිඳ ඇතුළුව සියළුම රැකියාවන් නොකරන ස්ත්‍රීන් පිළිබඳ ඉතා දැඩි ඉරිසියාවකින් පෙළෙමින් සිටියෙමි. මා සැමදා පැතුවේ එලෙස ගෙදරට වී සතුටින් කාලය ගත කිරීමට ලැබෙන්නේ නම් ඊට වඩා දෙයක් මා හට මේ ජීවිතයට අවශ්‍ය නොවන බවයි. 

දිනය පෙරේදා රාත්‍රියයි. මා සියළුම වැඩ අවසන් කර රාත්‍රී මාගේ ආගම සිහි කරන විටද ප්‍රාර්ථනා කරන ලද්දේ එයමයි..
මා නිදි දෙව්දුව වැළඳ ගෙන සිටියදී මා ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ මාගේ ඉටු දෙවියායි.

"පුතනුව ඔබගේ ප්‍රාර්ථ්නාව එලෙසම ඉටු වනු ඇත"

සැබවින්ම ඊයේ උදෑසන මා අවදි වූයේ හිමිදිරි උදෑසන හහරටය. වෙනදා නොඇසෙන ලී කොටයක් ඉරන්නාක් මෙන් ගොරවන ශබ්දය කුමක්දැයි බැලීමට මා විදුලි පහන ක්‍රියාත්මක කලෙමි.

මාගේ ප්‍රාර්ථනාව ඉටු වී තිබුනි. දෙපා පාමුලට රොක් වී තිබුනු සරම සහිතව සැමියා ගොරවමින් නිදා සිටී. ඇඳ අතුරනය ගෙන ඔහුව වසා මා නැගී සිටියෙමි. ඇඳ සිටින සරම වෙනුවට ඇඳ අතුරනය පෙරවෙන්නේ කෙසේදැයි මා දැන් දනිමි.

කේතලයට වතුර දමා උණු වෙන්නට ඉඩ දී මුහුණ කට දොවා ගෙන විත් සියල්ලන්ට තේ සාදා ලොකු දූ වදෙන් පෙරැත්තෙන් අවදි කරවා ඇයව ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරවන්නට පොත් මේසය සකසා දී තේ කෝප්පයද ළඟට ගොස් දුනිමි. උදෑසන ආහාරයට පාන් සැන්ඩ්විච් සකස් කර සැමියාට වෙනම පරිප්පු වෑංජනයක් සමඟ සම්බෝල සාදා දහවල් ආහාරය සඳහා එළවළු කීපයක් සමඟ බත් සකසා සැමියාගේ සහ දරුවන් තිදෙනාගේම ඇඳුම් සියල්ලම මැද සපත්තු මේස් ටයි සියල්ල පිළියෙල කලෙමි. තවමත් ගොරවමින් නිදා හුන් සැමියා සහ දරුවන් දෙදෙනා ඇහැරවා ඔවුන් පාසලට ලෑස්ති කරන විටම යාන්තම් හය හමාර වී තිබුනි.දරුවන් තිදෙනා පාසැල් වාහනයට දමා ආපසු නිවෙසට පැමිණෙන විටත් තවමත් සැමියා තේ එක බී ඇත්තේ බාගයටය. 

"යන්න... යන්න... ලෑස්ති වෙන්න අද නේද උදෙන්ම මීටින් වගයක් තියෙනවා කීවෙ?"

"කෝ ළමයි ටික ගියාද ?"

"ඔව්"

"එන්නකෝ මෙහාට ඊයෙ රෑත් හරියකට නෑ..මීටින් වලට යනකොර ඔළුව හොඳින් තියෙන්න එපාය"



තවත් පැය භාගයක් ගත වෙද්දී..



සැමියා සියල්ල අවසන් කර අවසන රැකියාවට පිටත් විනි. යකා නැටූ පොළක් මෙන් වූ කාමර තුනද අපගේ නිදන කාමරයද, සාලය, කුස්සිය අස් පස් කර අතු පතු ගා සියල්ලම අවසන් වන විට යන්තම් දහය හමර වී තිබිනි. සැමියාට සහ දරුවන්ට සැකසූ පාන් වල ඉතුරුව තිබූ සියල්ල උදෑසන ආහාරය ලෙස ගත් මා ගෙවීමට තිබූ බිල්පත් ගොන්න සහ අද දින වෙළඳ පලෙන් ගත යුතුව ඇති භාණ්ඩ ලියූ සටහනද ගෙන නිවසින් එළියට බැස්සෙමි. බැංකුවේ පෝළිමේ පැයක් පමණ පොරොත්තු වී අවසන අසල වූ වෙළඳපලින් අවශ්‍ය එළවළු, පලතුරු සහ මස් මාංශ මිලදී ගෙන නිවසට පැමිණෙන විට මධ්‍යාහ්නයද පසු වී තිබිනි.

මිදුල අතු පතු ගා මල් සහ එළවළු ගස් වලට පොහොර දමා යාන්තම් ඇඟ පත සෝදා ගෙන විත් දිවා ආහාරය ගෙන රාත්‍රී ආහාරයට අවශ්‍ය සියළුම දෑ පෙර සකසා ශීතකරනයට දැම්මෙමි. දරු තිදෙනා පැමිණෙන වෙලාවයි. ඔවුන් පැමිණ තමන්ගේ ඇඳුම් පැළඳුම් ගලවා තැන තැන දමා නාන කාමරයට රිංගා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුම් සියල්ල එකතු කර පෙඟෙන්නට දමා සපත්තු කූට්ටම් තුනම පිරිසිදු කර වියලෙන්නට තැබුවෙමි. ඔවුන්ගේ කෑම මේසය සකසා දී පොඩ්ඩන් දෙදෙනාගේ පාසැල් වැඩ සියලම බැලුවෙමි. 

"අම්මේ මට කතුරකුයි ලොකු බ්‍රිස්ල් බෝඩ් එකකුයි ගෙනියන්න ඔනි හෙට"

"මට ගම් බෝතලයක්"

"අම්මේ අර ඕ ලෙවල් වලට සතර එකෙන් හොඳ අනුමාන ප්‍රශ්ණ පොතක් ගහලලු. තියෙනවා නම් අරන් එන්න."

දරුවන්ගේ ඇඳුම් සෝදා දමා නැවතත් අසල වූ නගරයට ගොස් අවශ්‍ය පාසැල් ද්‍රව්‍ය සොයා ගෙන ආපසු එනවිට සවස හතර හමාරත් පසු වී තිබුනි. 

මල් පාත්ති සහ එළවළු පාත්ති සියල්ලම වේලීමට පටන් ගෙන තිබුනි.

"ලොකූ ඔය මල්ලිලා දෙන්නා එක්ක මේ ගස් වලට වතුර ටිකක් වත් දානවකො"

"මට බෑ මට විභාගෙ"

"මටත් බෑ මට මේ කාටුන් එක තියෙනවා බලන්න"

"අම්මේ මල්ලිට ටීවී එකේ රිමෝට් එක දෙන්න කියන්න අනිත් පැත්තෙ හොඳ ක්‍රීඩා වැඩසටහනක් යනවා"

"බෑ..බෑ.."

"අම්මේ මේ අයියා ටොක්කක් ඇනලා දිව්වා"

සියළුම වියලී ගිය ගස් වලට වතුර දමා මල් වට්ටියක් කඩා බුදු මැදුරට තබා එහි මල් පහන් හඳුන් කූරු සියල්ල අළුත් කර රාත්‍රී බුදුන් වැදීමට සූදානම් කර දරුවන් තිදෙනාගේ පාසැල් වැඩ සඳහා උදව් වූයෙමි. 

රාත්‍රී හත වන විට සැමියා පැමිණෙයි.. ඔහුට ඒ ව්නවිටත් සකසා තිබූ තේ එක දී රාත්‍රී අහාරය සැකසීමට කුස්සිය වෙත ගියෙමි. රාත්‍රී නවය වන විට සියල්ලන්ම රාත්‍රී ආහාරය ගෙන අවසන්ය. හෙට උදෑසන ආහාර වලට අවශ්‍ය සියල්ල සෝදා කපා ශීතකරනයේ තැන්පත් කර පොඩ්ඩන් දෙදෙනා නිදි කරවූවෙමි. 

"ලොකූ නිදි මතනම් දැන් නිදියා ගෙන හෙට උදේ අහරින්න එලාම් එක තියා ගෙන"

"නෑ අම්මේ දහය වෙන කන් පාඩම් කරනවා"

සැමියාගේ ඇඳුම් සහ සපත්තු හරි බරි ගස්සා නාන කාමරයට ගොස් නා කියා ගත්තෙමි.

නින්දට පෙර ආගම සිහි කීරීමට ගොස් මා පැතුවේ,

....මා සිතු සියල්ලම වැරදිය..ඈ ගැන මා සිතූවේ වැරදියටය. සැබවින්ම රැකියාවක් නොකරන බිරිඳක් කරන රාජකාරි සියල්ලම සුළුපටු නොවේ...එම නිසා මා නැවත කිසි දිනක මා මෙතෙක් දැරූ මතය මත හිඳ තර්ක නොකරමි..මා නැවතත් සුපුරුදු ලෙසම සැමියාගේ තත්වය ලබ දෙනු මැනවි....

සියල්ලම අවසන්ව මා නිදි යහනට එන විට රාත්‍රී දහයට ආසන්නව තිබුනි.
සැමියා කියවමින් සිටි පත්තරය පැත්තකට දැම්මේය.

"කොහොමද අද මීටින් එක?"

"වැඩක්ම නෑ මට තව ප්‍රොජෙක්ට් කීපයකම වැඩ කරන්න වෙයි වගේ..එන්න එන්නම වැඩ වැඩි වෙනවා..මේවා ගැන හිතලම මගේ ඔළුවත් අවුල් වෙලා..මෙහෙට එන්නකෝ අද නම් නින්ද යන එකක් නෑ නැත්නම්"

"ලොකු නිදා ගන්නවා කීවෙ දහයට තව ටිකක් ඉමු"



උදෑසන අවදිවීමට එලාම් එක තැබීමට යාමේදී දුටුවේ වෙලාව රාත්‍රී එකොළහ හමාර බවයි. ඒ වනවිටත් සැමියා ගොරවමින් නිදා සිටී..

හ්ම්ම්ම්ම්ම්ම්ම් හෙට උදෙන්ම සියල්ලම යථා තත්වයට පත් වෙයිනෙ..
ලොකු සුසුමක් සමඟ මා සිතුවෙමි.

පෙරදා මෙන්ම සැමියාගේත් දරුවන් තිදෙනාගේත් සියළුම වැඩ අවසන් කර මා මොහොතක් සැටියට වී කල්පනා කරමින් සිටියේ ඊයේ රාත්‍රියේ මාගේ ඉටු දෙවියා සිහිනයෙන් කී දෙයයි. මේ වන තෙක් බොහෝ අපහසුවෙන් වූවද අමතක කර දමා සිටියද එය දෙසවන් තුල දෝංකාර දෙන්නේ මා භීතියෙන් කම්පිත කරවමිනි.

"මට ඔබව නැවත යථා තත්වයට පත් කරන්න පුළුවන්. නමුත් ඔබ තව මාස නවයක් ඉවසා සිටිය යුතු පුත..මන්ද ඔබ ඊයේ රාත්‍රියේ ගැබිණියක් බවට පත්ව ඇත. එම නිසා මාස නවය අවසන මා ඔබව නැවත යථා තත්වයට පමුනුවන්නම්"


දැන් මෙහෙම සැටියේ ඉඳ ගෙන කම්පිත වෙලා වැඩක් නෑ ලබන සෙනසුරාදා ලොකු පුතාගේ උපන් දිනේ උත්සවයට බඩු ගන්න යන්න තියෙනවා..ඉරිදා මාමයි නැන්දම්මයි එනවා කිව්වා..කොහොම කරත් නැන්දම්මගෙන් බේරිල්ලක් තියෙනවයැ..

යන්න ඕනි ටවුමට කේක් එකට ඕනි බඩු ටික ගේන්ඩ..ඉරිදයින් පස්සෙම බබෙක් හම්බ වෙන්ඩ තියන එක කියනවා කට්ටියට...



නිමි...

ප.ලි. 
නිමි වෙන්නෙ කොහොමද බන් තව මාස නවයක් තියෙනවනෙ !



Friday, March 1, 2013

ආදරේට ඇසිඩ් !


"කෝ දම්මා ඇසිඩ් බෝතලේ ?"

"ඒක තියලා ඇත්තෙ උඩ ගෙදර. මලීට කතා කරලා ගෙන්නා ගනින්. උඹට මතකද ඇසිඩ් දාන්න ඕනි ගාන ? නැත්නම් ඔන්න ඕක තියෙන්ඩ ඇරහන්. මන් මේ සීට් ටික දුම් ගෙට දාලා එන්නම්"

"මලියෝ ඇසිඩ් බෝතලේ ගෙනත් දීහන්"

"ඇයි බන් ඒක උඩහ ගෙදරින් තිබ්බෙ ? ඒක හැමදාම තිබ්බෙ මේ මඩුවෙ අයිනකනෙ"

"හා එහෙම තියලා මට පොලීසිත් යන්ඩ උනා පහුගිය දවසක. උඹ දන්නෙ නෑ ඒ කතාව. හිටහන් මන් එන්නම් මේ ටික දාලා."

මම ගෙදර ගියහම මගේ පරණ යාළුවෙක් වෙච්ච ධම්මාගෙ රබර් වත්තට යන එක පුරුද්දක් විදියටම කලා. අක්කර ගණනාවක රබර් වත්තක්. දැන්නම් ඒකෙම පැත්තක තේ හිටවලා. තේ සහ රබර් වලින් හොඳ ආදායමක් ලබනවා වගේම ඒකෙන් දුප්පත් පවුල් කීපයක්ම රැකිලා තියෙනවා දශක ගනාවක් තිස්සෙම. අපි පොඩි කාලෙ ඉඳලම සෙල්ලම් කරලා කරලා එපා උනහම යන්නෙ මේ රබර් වත්තට. රබර් වත්ත සීමාවේ තිබ්බ එරමිණියා ගාලෙ දම් පාටට ඉදිච්ච එරමිණියා කන්නෙ අත පය තුවාල කරගෙන..මොකද එරමිණියා පඳුරක් වගේම ඒක ටිකක් වැලක් වගේ යන ගතියක් තිබුනා. හැම කොළයක් ළඟින්ම කොක්ක වගේ ඇතුලට නැමිච්ච තියුණු කටු තිබ්බ එරමිණියා පඳුරකට අත වැදුනහම ඒ කට්ට හම පසාරු කර ගෙන යන විදියට හමෙන් කෑල්ලක් නොගැලවෙන්න අත නිදහස් කර ගන්නවා නම් බොරු.  එරමිණියා ගෙඩි වල කන්ඩ මහා ලොකු මදයක් නැති උනාට ඉදිච්ච ගෙඩි අහුරක් කටට දාගත්තහම එන ඇඹුල් රසට එකතු වෙච්ච පැණි රහ..කටු වලට තුවාල වෙච්ච අත පය වල වේදනාව නොදැනෙන්න තරම් මිහිරියි.

ඒ අතරෙදි රබර් කිරි එකතු කරන එක..ඔට්ටපාලු ගලවන එක..වගේම රබර් කිරි ඇසිඩ් එකතු කරලා රබර් සීට් වෙන්න තැටි වල දාල සකසන හැටි බලන් ඉන්න එක අපිට හරිම ආශ්වාදයක් ගෙන දෙන කටයුත්තක් උනා. දවසකට පස්සෙ වේලිච්ච රබර් සීට් දුම් ගෙට දාලා දුම් ගස්සවලා තද පැණි පාට සහ කළු සීට් වෙළඳපලට යවනවා. රබර් කිරි වලට ඇසිඩ් දාපුවහම එන්නෙ තද දුඟදක්..රබර් කර්මාන්තශාලා අසල ඉන්න අය දන්නවා ඇති ඔය ගඳ. ඒ උනාට හුරු උනහම ඒක ගඳක් විදියට දැනෙන්නෙ නෑ. දැන් නම් ඒක සුවඳක්..දුප්පත් මිනිස්සුන්ගෙ දහඩිය  මහන්සියේ සුවඳ ඒකට එකතු වෙලා කියන තේරුම ඔළුවට එන මේ කාලෙ ඒක කොහොමත් ජීවන සුවඳක්.. මුල කාලෙ රබර් සීට් හදන හැටි බලන් හිටි අපි..පස්සෙන් පහු එව්වා කරන්න උදව් උනා. අදටත් ගමේ ගියහම රබර් සීට් හදන වැඩේට පොඩියක් අතගහලා ආවේ නැතොත් හිතට පොඩියක් හරි මදි.

"කෝ හිටහන් උඹට ඔව්වා බෑ දැන්..උඹලා ටයි වලට බෙල්ල හිර කරගෙන අයිස් කාමර වල ඉඳලා මේ වැඩ බෑ බන්.."

පොඩි ඇණුම්පදයක් එක්ක දම්මා එනවා ඇසිඩ් බෝතලෙත් අරන්.

"මොකද්ද බන් අර ඇසිඩ් බෝතලයක් හින්දා පොලීසි ගිය කතාව ?"

"අපි හැමදාම ඇසිඩ් තිබ්බෙ මේ මඩුවෙ ඔය ලෑලි බංකුව යටනෙ. පහු ගිය දවසක ඇසිඩ් බෝතලේ කවුරු හරි උස්සලා. "

"ඉතින් ඒකට පොලීසි ගිය එකද උනේ ?"

"හිටහන්කො කියනකන්"

"අර එහා ගොඩේ සේන අයියගෙ පුතා කෙල්ලෙකුට ඇසිඩ් ගැහුවා. ගහලා මූ ග්‍රැමොක්සෝන් බිව්වා."

"ඉතින් ?"

"මූ උස්සලා තියෙන්නෙ අපේ ඇසිඩ් බෝතලේ. ග්‍රැමොක්සෝන් බීලා දැන් සති එකහමාරක් ආන් මහ ඉස්පිරිතාලෙ තාම."

"සේන අයියගෙ පුතා ? මිනිහා වැඩි වයසක් නෑ නේද ?"

"ඌට විස්සත් පැනලා. ඒ කෙල්ල යාළුවෙලා හිටි කෙල්ලලු. මූ එක්ක තරහ වෙලා . ඒ කේන්තියට තමයි මූ ඇසිඩ් ගහලා වහ බීලා තියෙන්නෙ"

"සේන අයියා හිත හොඳ මනුස්සයා. කොයි වාට්ටුවෙද ඉන්නෙ බන් ? මන් ආපහු යන ගමන් බලන් යන්නම්. ඒත් මට ඔය කියන හාදයාව මතක නම් නෑ."

"22 වාටුවෙ. සේන අයියා ළඟ ඉන්නෙ. "

"යාළු වෙන්නෙ කසාද බැඳලා ජීවිත කාලෙම ආදරෙන් ඉන්න නම් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ ? "

"මන් දන්නෙ කොහොමද බන් උඹනෙ උගතා..උඹම කියහන්"

"පොතේ පතේ උගත් කම් නම් මොකටද බන් මේ කාලෙ... මේ කොල්ලො කෙල්ලො ආදරේ කරනවා කියලා කරන්නෙ බොරුවක්. හරියට ආදරේ කරනවා නම් ඇසිඩ් ගහයියෑ ? ඉතින් ඒ ගෑනු ළමයට මොකද උනේ ?"

"මොනවා වෙන්නද ඇසිඩ් වැදිලා තියෙන්නෙ අතකටයි කොන්දටයි විතරයි. අනික මේ ඇසිඩ් එච්චර සැර නෑ. "

මන් ආපහු කොළඹ එන ගමන් ගියා සේන අයියාගෙ පුතා බලන්න. මිනිහගේ තත්වය නම් ශෝචනීයයි. ග්‍රැමොක්සෝන් බීවහම සති ගානක් යන කන් විඳ විඳ ඉඳලා තමයි මැරෙන්නෙ. වමනෙ යනවවා. කටෙන් සෙම බේරෙනවා..ඒ සෙම වලට වහන මැස්සො පවා දඟලලා දඟලලා මැරිලා වැටෙනවා. කොහොමත් වහ ගහලා බේරිච්ච අයගේ ජීවිතේ ඉතුරු ටික නම් අති ශෝචනීයයි.

කය සතප්පවා ගැනීමේ අරමුණ මුදුන් පමුණුවා ගන්න ඇති කර ගන්නා සම්බන්ධකම් මිසක් මේ ජීවිත වල ආදරයක් කියලා එකක් නෑ. එහෙම හරි හමන්වට ආදරේ කලා නම් ඒ ආදරේ පදනමක් වෙනවා දවසක තමන්ව දාලා යන කෙනා දිහා උනත් උපේක්ශාවෙන් බලන්න. එහෙම ආදරයවල් තියෙන්නෙ කතන්දර වල විතරක්ද   මන්දා ?