ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, January 27, 2012

තව පොඩ්ඩෙන් බබිත් සුං බබිගේ මල්ලිත් සුං

"සර්, මම නම් සර්ව හොඳට දන්නවා.. සර්, මාව දන්නවා ඇයි මතක නැද්ද ?"

එක්වරම අයිස් වතුර පිරි බාල්දියක් මගේ ඔළුවේ හැලුවාක් මෙන් විය. මුළු ශරීරයම සීතල වෙද්දී වික්ෂිප්ත හැඟුම් රාශිය මැද්දේ දෙපයින් නැගි ගිනි දළු මා ගත වෙලා ගන්නාක් මෙන් විය.
----------------------------------------------------------------------------------



ලකුණු දෙක තුනක වෙනසක් මධ්‍යයේ මගේ සරසවි සිහිනය බිඳී යද්දී, මා ලද ප්‍රතිඵලය මත විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයකට බැඳී මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට යොමු වූයේ දෙමව්පියන්ගේ දැඩි පරිශ්‍රමය නිසාමය. ගමේ කොලු නඩය හා වැටී ජීවිතය අයාලේ යා හැකිය යන මතය නිසා ඔවුන් මා මේ මාර්ගයට යොමු කළේ වදෙන් පොරෙන් මෙනි.. ඕනෑ තරම් රැකියා විරහිත උපාධි ධාරීන් ද රැකියා සොයමින් සිටින කාල වකවානුවක් වූ එම කාලය මෙවන් දෑවුරුදු ඩිප්ලෝමා සහතිකයක් අතැතිව එළියට පැමිණෙන මාගේ තත්වය ශෝචනීය වන බව හොඳින් දන්නා නිසාම එවක ප්‍රසිද්ධ ගණකාධිකාරී ආයතනයකට බැඳී එම පාඨමාලාවද හැදෑරීම නිසා, දෙවසර අවසන මා හට පහසුවෙන්ම මනෝ විද්‍යා උපදේශන ආයතනයක සහාය ගණකාධිකාරී තනතුර සඳහා ඇතුල්වීමේ වාසනාව පෑදුණි. 

වසර කිහිපයක ඇවෑමත් සමඟම විශාල ජාත්‍යන්තර ජාලයකට අනුගත වීමේ අවස්ථාව ලද අප ආයතනය රටපුරා ව්‍යාප්ත වන්නට වූයේ ඉතා වේගයෙනි.එම කාලය වනවිට මා ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී තනතුර භාර ගෙන හමාරය. 

"මිස්ටර් ලියන්නා දැන් අපිට ලොකු එකවුන්ට් ස්ටාෆ් එකක් ඉන්න නිසා සහ ඔයා ඔය සයිකොලොජි ඩිග්‍රී එකක් කරලා තියෙන නිසා අපිට මේ ඇවිත් තියෙන ස්කොල් ලොට් එකෙන් අපිට ගන්න පුළුවන් ස්කොල් 6න් එකකට ඔයා යන්නම ඕනි."

"එක්ස්කියුස් සර් මට තියෙන්නෙ සයිකොලොජි ඩිප්ලෝමා එකක් මිස ඩිග්‍රී එකක් නෙවෙයි"

"ච්චක් ! ඩිග්‍රී.. ඩිප්ලෝමා.. ඔය හැම එකම එකයි..ඔය යවන අනිත් පස් දෙනාම ඩිග්‍රී කාරයො තමයි, ඒත් බලන්න ලියන්නා ප්‍රිපෙයාර් කරපු ප්‍රොජෙක්ට් රිපෝර්ට් නිසා තමයි අපේ ආයතනයම අද මෙතන ඉන්නෙ.. එතකොට මොනාද ඔය ඩිග්‍රී කාරයො කළේ ඔයා කරපුවයින් භාගයයිනෙ !මමයි යන අයව රෙකමන්ඩ් කරන්නෙ..මම ඔයාව නම්බර් වන් දමලා තියෙන්නෙ ෆයිනෑන්සල් නොලෙජ් බෑක්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරලා..ඉස්සරහ මාස එක හමාර ඇතුළේ ඇසිස්ටන්ට් එකවුන්ටන්ට් ජානකීට ලියන්නාගේ සේරම එකවුන්ට්ස් වැඩ භාර දීලා ලේස්ති වෙන්න මේකට. අවුරුදු 4 ඉවර වෙලා එනකොට අපේ කන්සල්ටන්ට් ටීම් එකේ හොඳ තැනක් මන් දෙනවා මිස්ටර් ලියන්නාට"

ආයතන ප්‍රධානියාගේ මැදිහත්වීම නිසාම මා මෙම උපදේශන සේවා දේශක වෘත්තීයට යොමු වූයේ වරෙක මගේ දෛවය මගෙන් සොරා ගත් සිහිනය නැවත මා හට ලබා දෙමිනි. වසර හතර අවසන නැවත මෙහි පැමිණි මා හට සිදු වූයේ රට වටා ගොස් අදාළ දේශන සඳහා මාගේ සහාය ලබා දීමය. සිහිනය මෙවන් අන්තයක් වූවත් මෙලෙස දේශන වලට සහභාගී වීමේදී මා හට තිබූ එක ගැටලුවක් වූයේ..වැදි බණ දෙසා අහ්‍යන්තර සිත සමඟ පොර බැදීම සමනය කර ගැනීමේ යුද්ධයකට මැදි වීම යැයි පැවසුවහොත් එය වැරදි නොවේ.. ඉගෙන ගත් කරුණු කාරණා අනුව මත්පැන් හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් හට මාර්ගෝපදේශ ක්‍රම, ක්‍රමෝපායන් සකසා ඔවුන් ව්‍යුත්පන්න වූ මාර්ගයෙන් නැවත නියම මාර්ගයට ගැනීමට උත්සාහ දැරීම මට පහසුවෙන් කල හැකි කාර්යයක් වූයේ අත්දැකීම් බහුලත්වය සමඟම අන්තර්ජාතික දැනුම් හා පරිචයන් සම්භාරයකට අනාවරණය වීම නිසාමය. නමුත් යහළුවන් හා එක්ව ප්‍රිය සාද වලදී මා මා ලොවටම එපා කියමින් අගුණ වයන එම මත්පැන් හෝ මත්ද්‍රව්‍යම ගනිමින් වෘත්තීය ජීවිතයේ නියැලීම සෑමවිටම මට තරමක අපහසු කර්තව්‍යක් විය. හෘදය සාක්ෂිය මා රිදවන්නට වූවත්.. මිතුරු කැල හා එක්ව මතින් මා ලබා ගන්නා වින්දනය මා හට ලබා දීමට සමත් වෙනත් විකල්පයක් නොවීය. 

"උඹ නියම, නොම්මර එකේ වැදි බණ කාරයෙක් " 

සිත, තැන නොතැන නොබලා රිදවිය හැකි උපරිම අයුරින් මා රිදවද්දී..මා උගත් මනසේ සියුම් විග්‍රහයන් යොදා ප්‍රතිප්‍රහාර එල්ල කළෙමි.
මෙය මාගේ ජීවිත අවසන් හුස්මත් සමඟම අවසන් වන ගැටුමක් බව නම් මට වැටහී අවසනය. 

"මෙච්චර කල් කොරපු එකවුන්ට්ස් හදා ගෙන හිටියා නම් ඉවරයිනෙ උඹ !"

සිත මොර ගා කියයි.

"ඒ වගේද දැන් තියෙන ප්‍රසිද්ධිය , මුදල් සහ සියලුම දේ බලපන්"

කෙසේවූවද කාලය ඇවෑමත් සමඟම මා රට පුරා තරමක් ප්‍රසිද්ධ දේශකයෙක් වූයේ..බොහෝ දේශනා සඳහා, ගුවන්විදුලි සාකච්ජා, පුවත් පත් සාකච්ජා, රූපවාහිනි සංවාද මාධ්‍ය හමු මා සඳහා විශේෂ ස්ථානයක් වෙන් කළේ අප ආයතනයද ඉතා ඉහළ තැනක තබමිනි. සමාජයෙන් ව්‍යුත්පන්න පුද්ගලයන් යහමගට ගැනීමේ වැඩසටහන් සමුදායක් සමඟම අප රටවටා යන්නට වූයේ මෙය සම්පූර්ණ වසර එක හමාරක පමණ කාලයක් ඩැහැ ගන්නා කර්තව්‍යක් විය. 

මෙහි එක් අංගයක් වූයේ සමාජයේ අසරණ වී සිටින ගණිකා වෘත්තියේ යෙදී සිටින සොයුරියන් පුනරුත්ථාපනය කිරීමය. කුඩා අවදියේ සෙල්ලම් ගෙදර අම්මා වෙමින්, බෝනික්කන් නළවමින් හුරතල් වන දියණියන් කිසිම දිනයක ගණිකා වෘත්තියේ යෙදෙන්නට සිහින නොමවනු නියතය.. කිසිම ස්ත්‍රීයක් ගණිකා වෘත්තියේ යෙදීමට තරම් අධික කාමාශාවක් ඇති වීමද කිසිදා සිදු නොවේ. එසේ නම් මෙම සොයුරියන් මෙසේ වීමට කිසිදා සිහින නොමැවූ මෙම මාවතට ඇද දමා ඇත්තේ සමාජයයි. එයින් ගොඩ ඒමට ඉඩ නොදෙන්නේද එම සමාජයමයි. පංඥේන්ද්‍රියන් සහිත සිතක් ඇති සංවේදී ඔවුන්ද එම සත්‍ය අවබෝධ කර ගෙන සිටින නිසාම එයම අවියක් කර ගන්නේ වෛරයත් සමඟ බව බොහෝ සමාජ සමීක්ෂණ වලින් හෙළි වී ඇත.


අග නගරයේ දේශන මාලාව අවසන් වූයේ කෙමෙන් ගම් වල ඇති මත් නිවාරණ කඳවුරු, නිවර්තන නිවාස හා බද්ධ වෙමින් මෙම වැඩසටහන ඉතා ප්‍රසිද්ධ වූයේ විවිධ රූපවාහිනි නාලිකාද අප සමඟම යමින් එය රට පුරා මෙන්ම පිටරටවලද ප්‍රචාරය කරනපරිසරයක් නිර්මාණය වීමත් සමඟමය.. මෙම මාධ්‍ය ප්‍රචාරය අප හට පිටිවහලක් වූයේ මුල් කාලයේ මෙම වැඩසටහන වෙත දැක්විය යුතු පිටුවහල එතරම් නොදැක්වූ ප්‍රාදේශීය දේශපාලන අධිකාරීත්වය , අධ්‍යාපන බලධාරීන්, ආරක්ෂක අංශ හා ආගමික මධ්‍යස්ථානයන්ද අප වෙත ලං කරමිනි. 

"සර් මේක මෙහෙම, මෙහෙම, මෙහෙම කරන්න.. අපි බලපු පිටරට වැඩසටහන් වල එහෙමයි තිබ්බෙ"

"මේ මිස්ටර් මීඩියා ඩිරෙක්ටර්, මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්නෙ අපේ ඇජෙන්ඩා එකට අපිට ඇචීව් කරගන්න මිෂන් එකක්, ඔබ්ජෙක්ටිව්ස් ඇන්ඩ් ගෝල්ස් තියෙනවා. බලන්න අපේ විසන් එක දිහා.. ඒක ඔය ගොල්ලන්ගෙ එක එක්ක පටලවා ගන්න එපා."

හිසරදයක් වෙමින් සමහර මාධ්‍ය කාරයන් අපගේ වැඩසටහන ඔවුන් නතු කර ගැනීමට දඟලද්දී නම් අපගේ ඉවසීමේ සීමාවන් අතික්‍රමණය වන්නට විය. ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර, අප, හා අපගේ ආයතනික මෙහෙවර හා ගැටෙන්නට වූයේ..ඔවුන් හතර වන රාජ්‍යය යන බල උද්ධච්ජ ස්වභාවය නිසාම අප කෙරෙහි වූ ප්‍රසාදය කෙමෙන් කෙමෙන් අඩු කරමිනි. 

නිවර්තන නිවාස සමූහයක් එක් කරමින් කරන ලද වැඩ සටහන අවසානයේ එක දිනක මාගේ දේශනය අවසන පැමිණ සිටි අය සඳහා ඔවුන්ගේ අදහස් හා ප්‍රශ්න යොමු කිරීමේ වාරය උදා විය. රූපවාහිනී නාලිකා කීපයක්ම මෙය පටිගත කරමින් සිටි අතර.. 
ප්‍රශ්න ඇසීමේ වාරය ලං කර ගත් ඉතා සුරූපී රුවකට හිමි කම් කී මුත් අවාසනාවන්ත අතීතයක් පාගා විත් තිබූ ඇය තම සංගීතයක් බඳු හඬ අවදි කළේ ..

----------------------------------------------------------------------------------
"සර්, මම නම් සර්ව හොඳට දන්නවා.. සර්, මාව දන්නවා ඇයි මතක නැද්ද ?"

මෙම වාක්‍යය අවසන් කිරීමට මත්තෙන්ම ඇය දෙපස සිටි දෙදෙනා ඇයගේ දෑතින් අල්ලා ඇද්දේ මහා සිනා හඬක් හා ඝෝෂාවල් මධ්‍යයේය. දෙපස සිටි ආරක්ෂක අංශ තරුණියක් දෙදෙනා ඇය අත වූ මයික්‍රෆෝනය උදුරා ගත්තෙන් ඇය ඊට පසු කීවේ කුමක්ද යන්න පැහැදිලි නොමැති විය.
මෙම වචන සමූහය තුළින් ජනිත වන අදහස මා සිත ගැටෙත්ම...
පැමිණි සිටි සියල්ලෝම සිනහා වෙන්නට පටන් ගත්තේ..ඒ වන තෙක් අපගේ විශේෂ සොයුරියන් දෙස වෛරයෙන් බලමින් අප හා සිනා සෙන්නට තැත් කල ආරක්ෂක අංශ සොයුරියෝ දෑතින්ම කට වසා ගෙන සිටියෝය. පංසලේ ලොකු හාමුදුරුවෝ හනික මේසය මතවූ වටාපත ගෙන මුව වසා ගත්තේත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක මහතා තම හිස් වැසුම ගෙන එයින් පවන් සලන්නට ගත්තේත් , පැමිණ සිටි රජයේ ඉහළ නිලධාරීන් සමූහය තම අතවූ ලිපි ගොනු වල වැරදි බලන්නට මෙන් ඒවාට හිස ඔබා ගත්තේත් එකම මොහොතකය. සිනහව , ඝෝෂාව තවම අඩු නැත. කෙස් අඩු හිස මතින් ගලා එන දහඩිය දෙකම්මුල් හරහා ගලා යයි.මොහොතකට මා ගල් වී ඇත්තාක් මෙන් දැනුණි.. රූපවාහිනී නාලිකා කැමරා කරුවෝ මා දෙසටත් , එම තරුණිය දෙසටත් විටින් විට තම කැමරාව යොමු කරන්නේ මහත් ප්‍රීතියෙනි. එම සොයුරියන්ගේ මුහුණු ආවරණය කර වැඩසටහන ප්‍රචාරය කළද අප ප්‍රසිද්ධියේම ප්‍රචාරය වේ. ඔවුන්ගේ පලිය ගැනීමේ වාරය පැමිණ ඇත.

මෙය අද දිනම රූපවාහිනිය මතින් ප්‍රචාරය වනවිට මා බිරිඳ හා දරු දෙදෙනාගේ වත මට මැවී පෙනෙන්නට විය.මාස ගණන් තිස්සේ වැඩසටහන් වලට නිවසින් පිටව සිටින මා පිළිබඳව විටෙක විස්මයට පත්වන ඈ තව දුරටත් එසේ නොවනු ඇත.

මෙතෙක් කල් උගත් සියල්ලම මාගේ පිහිටට ආ යුත්තේ මෙවන් විටක නොවේද ? මා දේශනය කල මයික්‍රෆෝනය පෝඩියම් එකෙන් ගලවා මා වේදිකාව ඉදිරියට ආවේ නැවී නැවී මාගේ කලිසම ගැලවී ඇත්දැයි බලන සෙනඟ සමූහයාට පෙනෙන්නටය. නිශ්චිතවම මෙම තරුණිය එක්කෝ තම පාසලේ ගුරුවරයාගෙන් හෝ අධ්‍යාපන බලධාරියකු අතින් දූෂණය වූ අයෙකි.එයම ඇය මෙම අඳුරු මාවතට යොමු කර ඇත. ඇය මාගේ දේශනය අසා බලා සිටින්නට ඇත්තේ තමා දූෂණය කල නරුමයා ඊට පෙර ඇය බලා සිටි ආකාරයෙන්මය.එම ගුරු ගෞරවය,භක්තිය මොහොතක සුනුවිසුනු වී යද්දී ඇය වික්ෂිප්තව, වේදනාවෙන්, අසරණව බලා සිටින්නට ඇත. එම සිද්ධිය සිහියට වන් ඈ හට මා පෙනෙන්නේද එම නරුමයා ලෙසටම වීම ගැන කිසිදු අවිශ්වාසයක් නැත.කඩා බිඳ දමා පතුලටම කා වද්දා, උඩට එන්නට නොදී වැර වෑයමෙන් සිර කර ගෙන සිටින එම සිද්ධිය මතුපිටට පැමිණ ඇත. මිනිස් සිතේ ස්වභාවය මෙයයි. ඇයගේ වෛරයේ ගිනිදළු මා වෙතට විසි කරන්නට ඇය සූදානම්ය. එයින් පිළිස්සෙන ඇයගේ නරුම කාලකණ්ණියා මා යැයි සිතා සැනහෙන්නට ඇයට වාරය එළඹ ඇති බව නිසැකය. ඇයගේ කටහඬ නිහඬ කර විනාඩියක් ගොස් ඇත. තවමත් අසල සිටි දෙදෙනා ඇයගේ අත් තරයේ අල්වා ඇය බලෙන්ම වාඩි කරවා ගෙන සිටී. ඈ ඇරුණු මුවින් යුතුව කුමක්ද කියන්නට තතනන්නී ඈ ළඟ හුන් ආරක්ෂක නිලධාරිනියගේ ග්‍රහණයට හසුව සිටියාය.

"මයික් එක දෙන්න එයාට "

මගේ කටහඬද තවමත් වෙවුලයි.

"මයික් එක දෙන්න එයාට, එයාට නැගිටින්න දෙන්න.. ඔයා කියන්න දුව "

මා අවිනිශ්චිතව වූවද පැවසූවෙමි.

"සර් මන් කොළඹ හිටියෙ එහෙ අහු වෙලා පුනරුත්ථාපනේ ඉඳිද්දි සර් දේශන වලට ආවා..එහෙන් නිදහස් වෙලා මෙහෙදි ආයි අහු වුණා.."




108 comments:

  1. උඹ එහෙනං මේ පාරත් බේරුනා ඈ...

    ReplyDelete
  2. මේ ටිකත් කියන්නම ඕනෙ 'සුපර් ලියවිල්ල' හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරියට මගේ ප්‍රණාමය අයියෙ !

      Delete
  3. තැනට සුදුසු නුවණද ගණ දෙවි නුවණද?
    කොහොම වුනත් මේ වගේ වෙලාවල්වලට අපිට නැති නුවණත් පහල වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ, ගොඩ යන්න තියේනම් ඔය සේරම එකතු වෙලා ගොඩ දමනවා .. අන්තිමේ වාසනාව තමයි !

      Delete
  4. සෑර්ගේ දේශණවල සාර්ථක බාවය, ඈ කොළඹදී අසුවී සෑර්ගේ දේශණ අසා නැවතත් වෙන තැනකදී පරන වෘත්තියේ සිටියදීම නැවත හසු වීමෙන්ට් මොනවට පැහැදිලි වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න උඹට හිතක් පපුවක් නැද්ද පූසො... ;)

      Delete
    2. //එසේ නම් මෙම සොයුරියන් මෙසේ වීමට කිසිදා සිහින නොමැවූ මෙම මාවතට ඇද දමා ඇත්තේ සමාජයයි. එයින් ගොඩ ඒමට ඉඩ නොදෙන්නේද එම සමාජයමයි. //
      පූසා මලයාට මග හැරුනු කොටස මෙය විය යුතුයි. එසේමුත් කතාව රසවිඳ එයට ඔබ එක් කල කොටස නම් හරිම අපූරුයි..ස්තූතියි එයට !

      Delete
    3. සාතන් පූසාට හිතක් පපුවක් මන්දා පණ නවයක්ම තියෙනවා ! බය නැතුව මරන්න පුළුවන් මිනීමැරුම් චෝද්නාවට ලක් නොවී !

      Delete
    4. බලහං පූසා උඹ කරන වැඩ..යකෝ අර අහිංසක ලියන්නා අයියාගේ සරම ගැලෙව්වා වගේනේ...හික් හික්...

      Delete
    5. ගලවන්න දුවන් එද්දි පූසා ඇද ගෙන වැටුනෙ පූසගෙම සරම පැටලිලා මාරෙ !

      Delete
    6. //එසේ නම් මෙම සොයුරියන් මෙසේ වීමට කිසිදා සිහින නොමැවූ මෙම මාවතට ඇද දමා ඇත්තේ සමාජයයි. එයින් ගොඩ ඒමට ඉඩ නොදෙන්නේද එම සමාජයමයි. //

      වැඩමුළු වලින් ඒ අයට සෙතක් වෙන්නේත් නැත්නම්.... සහ ඒ අයට එසේ වෙන්නේ සමාජයේ වැරැද්ද නිසාත්නම්....
      මේ තියන වැඩමුළු වලින් වැඩක් නැහැ නේද සර්

      එසේනම් දේශනා තැබිය යුත්තේ මුළුමහත් සමාජයටය.... :))

      Delete
    7. ඒ දෙකම සමගාමීව යා යුත්තක් ! සමාජ ආකල්ප හැඩගැස්වීම දිගුකාලීනවත් කලයුතුමයි. ඒක සමාජයේම වගකීමක් !

      Delete
    8. මෙහෙම හිතන්න බැරිදි....
      ඒ බිස්නස් එකෙං දවසකට ලොකු ගාණක් හෙව්ව කාන්තාව ඔය දේශන වල කියන දේවල් අහලා තම වෘත්තිය අතෑරියොත් එයාද එදාවේල හොයාගන්න සල්ලි දෙන්නේ කවුද? ගමේ ඉන්න අම්මා තාත්තට බෙහෙත් ගන්න සල්ලි දෙන්නේ කවුද? වෙනදා වගේම හොඳට ඇඳලා කරලා පාරේ බැහැලා යන්න සල්ලි දෙන්නේ කවුද?

      Delete
    9. උඩ කමෙන්ටුව දැම්මේ "මෙසේ වීමට කිසිදා සිහින නොමැවූ මෙම මාවතට ඇද දමා ඇත්තේ සමාජයයි"
      කියන කතාවට නිසයි!

      Delete
    10. එතකොට උඹ ඔය සෙමිනා එක අහවර වෙන වෙලාවෙ මැයිමාර ගහ යටට වෙලා මොකෝ කලේ ? හා කියපන්කො... ?

      Delete
    11. ඔව් පූසා, ඔබේ කමෙන්ටුව මාව තවත් අවදි කලා ඊළඟ පෝස්ට් එක තවත් හොඳට කරන්න !

      Delete
    12. නවම් මල්ලි, ඔයා හිටපු කාරනයටම තමයි මම එතන හිටියෙත් !

      Delete
  5. හික්ස්!සිරාවට පූසෝ! :) සර්ගේ සැටිපිකට් එක සර්ම දීලා!
    ලියන්නගේ හුරු පුරුදු ඇද බැඳ තබා ගැනීමේ ශෛලිය කතාව පුරාවටම තියනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාබිත් ඒ රටාව මන් ලෝබ නැතුව අර ගත්තේ ඔය සිංභල බ්ලොග් අවකාශයේ උඩින්ම තියෙන බ්ලොග් 50-60 කියවලම තමයි !

      Delete
  6. මම දැනගෙන හිටියෙ නෑනෙ වෙනී අයිය මනෝ විද්‍යා උපදේශකයෙක් කියල... එල එල... හුරතල් නැතුව කෙලින්ම අහන්නෙ, උදව්වක් ඕන වුනොත් ගන්න පුළුවන් වෙයිනෙ?..

    ReplyDelete
    Replies
    1. මල්ලි නිර්මාණය සහ නිර්මාණකරු දෙදෙනෙක්..යම් සංසිද්ධියක දෝංකාරයේ ප්‍රතිනිර්මාණයක් පමණයි !

      Delete
    2. අනේ බන් අයියෙ නිර්මාණයක් නම් එහෙම කියපන්කො පොඩි අකුරෙන් හරි... මම සිරාවටම හිතුවෙ අයියගෙ අත්දැකීමක් කියල නොවැ... මොකද අයියගෙ පුද්ගලික ජීවිතේ මම හාන්කවිසියක්වත් දන්න එකක්යැයි බන්...

      Delete
  7. සෑර්ගේ දේශන නිසා තමයි එයා බලය ජවය ශක්තිය ඇතිව ආයෙමත් වතාවක් පරන ජොබටම යොමුවෙලා තියෙන්නේ .

    එලම කිරි ඈ !!

    ReplyDelete
    Replies
    1. සඳරූ මලයත් හිතලා තියෙන දුර හැබෑවටම... ! :DDD

      Delete
  8. වෙනි අයියේ හොල්මන්ද පොල් කොළ කිව්වලු අනූ නමයෙන් නෙව බේරිලා තියෙන්නේ.
    පංකාදු පහට ලියල තියෙනෝ.D

    ප/ලි : අපිටත් උවමනා උනොත් උපදේශන සේවාවක් ලබාගත හැකි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ශානු අනූ නමයයි දශම නමයයි නමෙන් කීවොත් හරි ! උපදේශනය අවශ්‍ය විටක තමාම උපදේශකයා වෙලා බලන්න.. ප්‍රථිපල අති විශිෂ්ඨයි !

      Delete
  9. ඔයින් ගියා මදෑ බන් . . අතක් පයක් නොකැඩී . . .

    බොලාගේ හිනා මූන කැඳ හැලිය වගේ වෙන්න ඇති අර කෙල්ල අරෙහෙම කිව්වාම . . මට මැවිලා පේන්වා බොලන් . . .

    ReplyDelete
    Replies
    1. අතක් පයක් නොකැඩී... රෙදි නොගැලවී කීවොත් දුකා ... අර කැමරාවල වීඩියෝ එකේ ස්නැප් ශොට් එකක් බලමු !

      Delete
  10. පිස්සු ලියවිල්ලක් ලියන්න.කියන්න දෙයක් නැහැ.එත් මොකද එකේම කෙනා දෙපාරක් පුනුරුත්තාපනය වුනේ.

    ReplyDelete
    Replies
    1. මේ විශම සමාජය ඒ ගොල්ලන්ට ගොඩ යන්න දෙන්නෙ නෑ මල්ලි,

      Delete
    2. //එකේම කෙනා දෙපාරක් පුනුරුත්තාපනය වුනේ.//

      අසරණයා මාර සීන් අහන්නේ. හිකිස් !

      Delete
  11. වෙනි අයියේ දැන්නම් අයියා ලියන විදිය සුපිරිම සුපිරියි
    දැනගෙන හිටියේ නැනේ අයියා මනෝවිද්‍යා උපදේශක කෙනෙක් කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහිම, ඔබත් තේරුම් හත යුත්තේ නිර්මාණය සහ නිර්මාණකරු දෙදෙනෙක් වන බවයි

      Delete
  12. දැන් මට පුළුවන් වෙනී දෙපැත්තකට යෝජනා කරන්න...

    එකක් උඹ දැන් මේ ගැලරියට ටෝක් කරන එක නවත්තහං... උඹට තේරෙනවනේ කතාවත් එක්ක උඹට තව පේලියක් අල්ලං යන්න වෙලා... නැත්තං සමහර විට මේ කමෙන්ට් ටික උඹට නැති වෙන්න පුළුවන්..ඒත් ඒවයින් වටිනා කියන ලිපිවල කතා කල යුතු දේ අතෑරිලා සරල විනෝදය පැත්තට විතරක් කමෙන්ට් ගලනකොට උඹට වෙන්නේ කට ඇරං බලං ඉන්න

    අංක දෙක...
    මෙහෙමම කරගෙන පලයං..මොකද කාටවත් ඕන එව්වා නෙවෙයි උඹ ලියන්න ඕන උඹට ඕන දේ..අපිට ඕන දෙයක් තියෙනවනං ඒක උඹට කිය කිය ඉන්නේ නැතිව අපිම ලියා ගත්තනං හොඳයි නේද..? මොකද උඹ අපි හිතන විදියට ලියන්න ගියොත් වෙන්නේ උඹත් නැති අපිත් නැති අභබ්බයෙක් බිහි වීම පමණයි...


    කොහොමද ලොක්කා ම‍ගේ කමෙන්ට් එක..එළ පවුසි නේද..?

    අන්න එහෙමයි ලොකු ටෝක් දීලා ආයේ නිකං විහිළුවක් කලා වගේ කියලා පෙන්නලා මාරු වෙන්නේ..

    ආන්න එහෙම කිව්වම කමෙන්ට් එක ඇතුලේ තව කමෙන්ට් එකක් වැටෙනවා..මං ඕනනං ඔහොම දෙපැත්තට පෙරල පෙරල ඉන්නං..ඒත් එයිට වඩා හොදා තමුන්ගේ මට්ටං තංම්ට්ටං කියලා ඔ.පු. කියලා දන්න දේ කැමති විදියකට ලියනවා... දන්නවනේ කතාව..මට ඕනනං බලනවා..නැත්තං නිකා ඉන්නවා..මං කවුද බං තෝව හදන්න...

    හප්පා ඔය ඇති...

    ReplyDelete
    Replies
    1. මන් කැමතිම බෝතලයක් බොන්න දීලා අන්තීමේ ඒකෙන්ම ඔළුවට ගැහුවා වගේ වගේ දැනෙන්නෙ මොකද මන්දා ?.. ඔය ට්‍රැක් දෙකේම දුවන්නයි මගේ අදහස..මමත් වැඩිම කැමති ට්‍රැක් එක මේක.. එහෙම කියලා අනිත් එක අතාරින්නෙ නෑ..!..

      Delete
    2. කරන්න දෙයක් නැහැ පුතා මේවා උඹලා වපුරපුවා...:D:D:D

      Delete
  13. එක හුස්මට, ඊලඟට වෙන්නෙ මොකක්ද කියන කුතුහලයෙන් මඬිනලදව කියවාගෙන යා හැකි අයුරින් ලියා තියෙනවා. ඉතාම සිත් ගත්තා. ඒ වගේම පසුබිමින් කියවෙන පණිවිඩයත් ඉතාම වැදගත්. සමාජයේම එක් පිරිසක්ව වලට ඇද දමන්නටත්, ඒ වැටුණු වලෙන් ගොඩ ඒමට ඔවුන් උත්සාහ කරද්දි ඊට ඉඩ නොදී වලටම තල්ලු කරන්නටත් තරම් මේ සමාජය කුරිරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ ඇගයීමට ! මෙහෙම ලියන්න ඉගෙන් ගත්තෙත් ඔබලාගේ බ්ලොග් වලින්ම තමයි ...

      Delete
  14. අප්පේ... අජපල් විනාසෙකින් නෙව බේරිලා තියෙන්නේ.... කතාව නම් සුපිරි අහ්... අපුරුයි...

    ReplyDelete
    Replies
    1. තුති ක්සැන්ඩර් හැමදාම වගේ ..

      Delete
  15. හික් හික් හික් එළ ලියවිල්ල.....සුපිරියි.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තූතියි !

      Delete
  16. හප්පෙ ඇති ඔයින් ගියා

    ReplyDelete
  17. " නමුත් යහළුවන් හා එක්ව ප්‍රිය සාද වලදී මා මා ලොවටම එපා කියමින් අගුණ වයන එම මත්පැන් හෝ මත්ද්‍රව්‍යම ගනිමින් වෘත්තීය ජීවිතයේ නියැලීම සෑමවිටම මට තරමක අපහසු කර්තව්‍යක් විය. "

    මට හිතෙන විදිහටනම් ඒකේ කිසි අවුලක් නෑ. ගොඩක් වෙලාවට මේවාට එන්නේ මත්පැන් නිසා ජීවිතය අවුල් කරගත්ත කට්ටිය. කාට වත් කරදරයක් නැති වෙන්න, තමන්ට දරන්න පුලුවන් වියදමක ශොට් එකක් දාන එකේ කිසි අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. 100% ක්ම එකඟයි ඔබ සමඟ !

      Delete
  18. පුරුදු පරිදිම සුපිරි ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඕනයා..දුක මන් ඒ කාලෙ කියවල කියවලා මේ වගේ දවසක ලියනවා කියලා හිතපු උඹලගෙ බ්ලොග් ලියවෙන්නෙ නැති එකම තමයි !

      Delete
  19. කොහොමද කිවුවා නම් මගෙන් සේවයක් ගත්තු කෙනෙක් නේද කියලා,කලිසම ඔලුවෙන් ගලෝගෙන යන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හනේද කියන්නෙ ඩිලා එහෙම නම් එතනම ඉවරයි !

      Delete
  20. ///කෙස් අඩු හිස මතින් ගලා එන දහඩිය දෙකම්මුල් හරහා ගලා යයි.මොහොතකට මා ගල් වී ඇත්තාක් මෙන් දැනුණි..///

    කලින් කොහේදී හරි හම්බුවෙලා දේශනයක් තියපු සිසුවියෙක්ද කියලා හිතිලා වෙන්න ඕනේ මෙච්චර බය උනේ... :))

    ReplyDelete
    Replies
    1. පොඩි චකිතයක් හිතට ආවා තමයි !

      Delete
  21. ලියන්න සර් දශමෙන් බේරිලා තියෙන්නේ.. ලියපු විදිහනම් ලස්සනයි අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දීනේශ් ඔබටත් !

      Delete
  22. වෙනී අය්යා මම මීට කලින් කිව්වා වගේම ඔබ දැන් ඉතාමත් අනගි ලිපි ලියනවා.
    හොඳ පනිවිඩ අපට ලබා දෙනවා. බ්ලොග් එකක් තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඒකයි. කවුරු කෙසේ කීවත් ඔබේ හැකියාවන් ඉදිරියටම ගෙනියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි, ඔබලා මා එක්ක ඉන්නකන් ඔව් ..මගේ උපරිමය දෙන්න බලන්නම් !

      Delete
  23. ආසාවෙන් කියෙව්වා.. හොඳට ලියලා..මේ කී වෙනි ද ? හි හි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි කු - මේ ගොල්ලෝ මාව 17වෙනියා කලානේ !

      Delete
  24. පිස්සු හැදෙනවා අප්පා ලියන ලිවිල්ලට සුපිරිම තමයි ආයේ දෙකක් නෑ අන්තිම වෙනකන් මට හිතාගන්න බැරිව හිටියේ මොනා වෙයිද කියලා ආයේ නෑ බ්ලාස්ට්....

    ReplyDelete
  25. මේක නං පට්ටයි, රස වින්දා හොඳින්ම....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තීර්ථ යාත්‍රිකයා ඔබගේ ඇගයීමට !

      Delete
  26. එළ එළ... අපිටත් ඉතින් ඔය වයසට එනකොට මේවගේ හොඳට ලියන්න පුළුවන් වෙයි කියල හිත හදන් ඉන්නවා.... ලොල්...

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයාගේ පරණ සංචාර කතා කොච්චර ලස්සනට ලියලා තියේද ? ලියන්න ආයිමත්..

      Delete
  27. වෙනී මා ඔබ තරම් දියුනු නැතිව ඇති..ඒත් මට ඔය ගැන කියන්න තියෙන දේ ඔබ තේරුම් ගනී කියල හිතනවා..
    ගණිකාව ගණිකාව උනේ සමාජය නිසා කියල ඔබ කියනවා. ඒත් මං ඒක සම්පූර්ණයෙන් පිලිගන්නෙ නෑ...
    කෙසෙල් ගෙඩියක් ගමු,නාගරිකයාට කෙසෙල් ගෙඩිය පලතුරක්,ගොවියාට එය බෝගයක්,අතරමැදියාට තවත් එක කෑල්ලක්...
    ස්ත්‍රී ලිංගයෙ වටිනාකමත් එහෙමයි. ආසියානු පසුබිම තුල වසන ලද ස්ත්‍රි ලිංගයට වටිනාකම වැඩියි. අමෙරිකානු යුරෝපිය සමාජයෙ ඒ ස්ත්‍රි ලිංගයට තියෙන මානසික සහ අනෙකුත් වටිනාකම අඩුයි...
    අපේ සමාජයෙ අතර උනත් ස්ත්‍රීත්වය සහ ස්ත්‍රී ලිංගය ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. සමහර ගෑනු අයට ඒක පැන්ටසියක්, සමහර අයට ඒක හදවත මොලය වගේ පොඩි හරි දෙයක් උනොත් ජීවිතේ නැතිවෙන්න තරම් වටිනෙ දෙයක්..
    ගණිකාවක් බවට බොහෝවිට පත්වෙන්නෙ ස්ත්‍රී භාවයේ ඇති වටිනාකම(සංස්කෘතික,සමාජීය,සහ වෙනත්) අඩුයි කියන තැන ඉන්න අය...එයාලට යට කලිසම ගැලවීම තවත් එක දෙයක් විතරයි..
    නමුත් ඔවුන් සාමාන්‍ය සමාජයට එද්දි අර සාමාන්‍ය සමාජයෙ තියෙන ස්ත්‍රි වටිනාකම ආරෝපනය කරගන්න වෙනව...ඒ නිසා ඒ අයට සිදු වෙනව මීඩියා කාරයින්ට කියන්න අපි නෙමෙයි මේ සමාජය තමා අපිව නරක් කලේ කියල...
    උදාහරන විදියට අපේ ගම දිහා බස් එකේ ඉස්සර ජැක් ගහන්න ඉඩදෙන කෙල්ලෙක් කොළඹ ඇවිල්ල..ලොකු කොම්පැනියක ලොකු තැනක වැඩ කරන අතර අහම්බෙන් බස් එකක ගිහින් අර පරණ පුරුද්දට ජැක් ගහන්න එකෙක් ආවොත් සපත්තු පාරක් හම්බවෙයි..මොකද එයා ගෙ වටිනාකම සහ ස්වරූපය එයා වෙනස් කරගෙන....
    ගාමන්ට් යන කෙල්ලෙක් එක් කොල්ලෙක් අතින් අනාත වෙල තවත් කොල්ලෙක් ලගට ගිහින් සෙට් වෙලා ටිකක් ඔහොම යනකොට එයාට තේරෙනවා අනේ මේ මැසින් පෑගිල්ලට වඩා මේක කොයි තරම් ලේසියෙන් සල්ලි ගන් පුලුවන් මෙතඩ් එකක්ද කියල...එතකොට එයාට අර සංස්කෘතිය මගින් පැටවූ ස්ත්‍රී ලිංගයේ මානසික බර පොඩ්ඩක් අඩු වෙලා නිකම් තියෙන එකෙන් කීයක් හරි හම්බ කරගෙන කාට හරි සැපක් දුන්නම මොකෝ කියන තැනට එනවා..
    එතනින් පස්සෙ ආයෙ පුනුරුත්තාපනය කියන්නෙ බොරුවක්..
    මෙතනින් නවතිනව..මින් පස්සෙ තියෙන පොඩි පොඩි කෑලි බෑලි ටික වෙනි අයිය අත්දැකීමෙන්ම දන්නව ඇති..

    ReplyDelete
    Replies
    1. අමිල ඔබ සෑහෙන්න දියුණුයි.. ඒත් මේක කෙටි කතාවක් කියලා තේරුම් ගන්න බැරි තරම ප්‍රාථමිකයි.. මට දුක ඒකයි..ඔබේ සමාජ විග්‍රහය ගැන කතිකාවක් කරන්න මෙතන මන් කැමති නෑ..ඔබේ පිළිතුර හොඳයි සමාජය විද්‍යාව පැවරුමක "විමසන්න" වගේ ප්‍රශ්ණයකට පිළිතුරක් විදියට නම්..

      Delete
  28. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ වෙනී කියන්නෙ අක්කා කෙනෙක් කියලා.... ඒ පැත්තෙ ඇවිල්ලා කමෙන්ට් කලාම මම පිලිතුරු දෙන්නෙ අක්ක කෙ‍නෙක් කියලා හිතාගෙන.
    .........

    භාරදූර රාජකාරියක් වගේ වෙනී මහත්තයා කරන්නෙ.....ඔය ඉගෙන ගත්තු ක්‍රමෙයි, සම්මත ක්‍රමෙයි ඇරුනම නැද්ද මුකුත් වෙනීගේ සොයාගැනීම් කියලා කොටසක් ඔවට ඇතුලත් කරන්න. එතකොටවත් අර වගේ දේවල් නැවත නැවත වෙන එක ටිකක් වැඩිපුර අඩු කරගන්න පුලුවන් වෙයිනෙ....

    ReplyDelete
    Replies
    1. මන් බ්ලොග් ලියන්න අවුරුදු ගානකට උඩ ඉඳන් තමයි සයිබර් යාය කියවන්නෙ.. ස්තූතියි ඇවිත් කමෙන්ට් එක දැම්මට.. ඔහොම වෙනී කියන්නෙ අක්ක කෙනෙක් කියලා හිතපු පළමු වෙනි කෙනා ඔබ නෙවෙයි.. ආන් ඉන්නවා සඳරූ..ඔබ දෙවෙනියා.. තව කී දෙනෙක් එහෙම ඉන්නවා ද මන්දා ? බුද්ධි නිර්මාණය සහ නිර්මාණකරු දෙදෙනෙක්.. ඔබ මගේ "පුතා" පෝස්ට් එක කියෙව්වොත් ?!

      Delete
  29. නියම කතාවක්, අවසානය වෙනකන් කුතුහලය අඩු නැතිව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ ඇගයීමට !

      Delete
  30. වෙනී අයියා සුපිරියටම ලියලා තියනවා කියවන්න පටන්ගත්ත වෙලාවේ ඉදලම ලියවිල්ලෙන් මොහොතටකටවත් ඇහැ අහකට ගන්න හිද දෙන්නේම නෑ

    ReplyDelete
    Replies
    1. යුගා ඔබටත් තුති !

      Delete
  31. කතාවෙ සිද්ධි ඡේදනය වෙන තැන්වල තියන තියුණු කම කතාවට බොහොම උණුහුමක් ගේනව. කියවීම ලියන්න ලොකු උදව්වක් කියන එක වෙනී අයිය මේ මෑතක ඉඳල ලියන පෝස්ට් සේරගේම අපූරුවට සටහන් වෙලා තියනව. රස්සාවයි ජීවිතෙයි තියන කලබලටත් එක්ක ඉස්සර තරම් මට කියවන්න බැරි උනාට සතියකට පාරක් විතර වෙනී අයියගෙ පෝස්ට් එකෙක් කියෙව්වම ඒ හිඩැස 85% කින් විතර පිරෙනව. ඒ වගේම සිද්ධියක් [ තත්‍ය හෝ ප්‍රබන්ධ] වාර්ථාමය ස්වරූපයෙන් එහාට ගෙනියන විදිය ගැන ඉගෙන ගන්න බොහෝම කරුණු මෙතන තියනව. සුභ පැතුම් වෙනී අයියේ !

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ට් එකේ තියෙන දිරි ගැන්වීම මට ලොකු දෙයක් නවම් !

      Delete
  32. කුතුහලය අවසානය වෙනතෙක් හොඳින් රැකිල තියෙනව....සුපිරි නිර්මාණයක් වෙනී මාමේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් !

      Delete
  33. ලියන්නාගේ ලිවීම සුපිරිය. අවසානය දක්වා කුතුහලය රඳවාගෙන ලියන්නට සමත් වී ඇත.

    ඒත් දේශකයා බිය වූයේ මන්ද ??????

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් ඇහුවා ප්‍රශ්ණයක් ! යාළුවො අමාරුවෙ දාන්න හොඳ නෑ !!!

      Delete
  34. මේ කතාව ඔබගේ අත්දැකීමක් නොවේ නේද ? මම මේ කතාව අහල තියනවා මීට කලින්. මුලින්ම කිඋවනම් නේද හොද මේක ප්‍රබන්දයක් කියල.
    සමහර ය රැවටිලා ඔයාගේ ගටට wish කටලත් තියෙන්නේ :-)

    ReplyDelete
    Replies
    1. ඇනෝ . . .
      වෙනී කියන්නෙ එක්කෙනෙක් . . . ලියන්න තව කෙනෙක් . . . . ගොඩක් අය ඔය දෙන්නව පටලගන්නව

      Delete
    2. ඇනෝ කෙටිකතාවක නිධාන කතාවක් ලියන්නෙ නෑ..කොහොමද මන් මේ කතාව ගෙතුවෙ කියලා..ඒක විචාරයකයි ලියන්නෙ ! ඔබේ විමසීම ට ස්තූතියි..
      ඔබට සිතූතියි ඕනයා.. ඔය පටලවා ගැනීම තුල තමයි මන් විඳින්නෙ !

      Delete
  35. ආයෙත් රෙදි ගැලවුනා එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ආයිමත් ඔන්න මෙන්න ගියා !

      Delete
  36. සු...... පි...... රි......
    කියන්නට කිසිත් නොමැත....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් , ඔබේ ඇගයීම මට වටිනවා !

      Delete
  37. නමුත් යහළුවන් හා එක්ව ප්‍රිය සාද වලදී මා මා ලොවටම එපා කියමින් අගුණ වයන එම මත්පැන් හෝ මත්ද්‍රව්‍යම ගනිමින් වෘත්තීය ජීවිතයේ නියැලීම සෑමවිටම මට තරමක අපහසු කර්තව්‍යක් විය.
    ඔය දේමද අනිත් වැඩේටත්?
    එහෙමනං ඕං අදටත් බේරුනා!!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ් කෝ බේරෙන්න දුන්නෙ නෑ කොලේ වහල ගහපු එක ඔය එළිය ඇද්දෙ කදිමට !!!

      Delete
  38. ඔය සිද්ධියෙන් පස්සෙ නේද අර කලුපාට කණ්නාඩි දාන්න පටන් ගත්තෙ.

    සුපිරි ලියවිල්ල...

    ReplyDelete
  39. කියන්න කිසිවක් ඉතුරු නෑ ඇත්තටම සුපිරිම සුපිරි ලිවීමක් ඔයාගේ පෝස්ට් ගොඩක් මේ වන විට කියවා අවසන් පුදුම දක්ෂකමක් තියෙන්නේ ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා..ඔබට තේරෙන්න ඇති කමෙන්ට් කරන අයගේ හැකියාව මත තමයි මට යම්තම් යමක් ලියා ගන්න හැකියාව තියෙන්නෙ..

      Delete
  40. වෙනදා වගේමයි... නියමයි... :)

    අවාසනාවකට මේ බ්ලොග් එක මට ක්ලික් උනේ ගොඩක් ළඟදී... අර සබන් බෝල සාපය පෝස්ට් එකෙන්... එදා ඉදන් ලියපු හැම පෝස්ට් එකක්ම ආසාවෙන් කියෙව්වා... දැන් හෙමීට මුල ටිකත් කියවන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. බීටල් පරණ පෝස්ට් එච්චර සරු නැහැ.. නමුත් ඒවායෙ කමෙන්ට් කරපුවා නිසා තමයි.. මට යම්තම් දැන් දනගාන්න පුළුවන් !

      Delete
  41. අනේ මන්දන්නේ නෑ වෙනියෝ උඹ මොනවද ඒ ළමයින්ට දේශනා කලේ කියලා. ඒ ජීවිතෙන් මිදෙන හැටිද නැත්නම් ඒක ඊට වඩා හොඳට කරන හැටිද ? උඹ ඒකෙන් මිදෙන හැටි කියලා දුන්න නම් අර කෙල්ල ආපහු මාටු වෙන්න විදිහක් නෑනේ....!

    මොනව උනත් සිරාවටම ලියලා තියෙනවා වෙනි අයියේ (සයිබරයේ මට ඉන්න එකම අයියා ) .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී මල්ලි, අනේ මන්දා මොනවා ඉගෙන ගත්තද කියල නම් ඒ ළමයි !

      Delete
  42. එකම කමෙන්ට් එකකවත් මම දැකපු දේ නැත්තෙ ඇයි කියන ප්‍රශ්ණයක් මට ඇවිත්.මට පිස්සුද මන්දා.....

    ඔය කියන සමාජ භාවිතය එක්ක කාටවත් ඔය කියන දේශණ වලින් ඇති වැඩක් නෑ කියන එක මම දැක්කා වෙනී.අර කීවත් වගේ මේ මිනිස්සු කාටවත් ගණිකාව ගණිකාවක් නොවී ඉන්නවත් දුප්පතා දුප්පතා නොවී ඉන්නවත් අවශ්‍යතාවයක් නෑ.

    ඒකනෙ මූලාසනේ හිටපු ඔක්කොමලා එතනදි එහෙම හැසිරුනේ..

    ඒ හැමෝම හිතුවෙ ලියන්නාගෙ පැටිකිරිය මාට්ටු වුනා කියලනේ.ඒ තුළින් තමන්ගේ සෙල්ලම් වසා ගැනීමට කරපු හුදු රඟපෑමක් විතරයි හැමෝම කරේ.

    අද ඊයෙක නෙවී හැමදාම වුනේ මේක තමා.කථාව ප්‍රභන්දයක් තමයි.නමුත් ප්‍රබන්ධයක් බිහිවෙන්නෙ කොතනද?ඒක බිහිවෙන්නෙ මනසෙ.මේ අපි කවදා හරි දැකපු අහපු දෙයක්ම තමයි ප්‍රබන්ධයක් වෙන්නෙ කියන එක මම විශ්වාස කරනවා.

    අර ළඳුනේ සිංදුවත් එහෙමනෙ.මම අහල තියෙන හැටියට කට්ටිය නුවට ට්‍රිප් එකක් ගිහින් රෑට පාවිච්චි කරපු ගෑණි පහුවෙනිදා උදේ කට්ටිය දළදා වදින්න යනකොට දකිනවා.එතකොට කෙනෙක් කියනවා අර බලපන් අර ඊයෙ අපි ගහපු කෑල්ල නේද කියලා.අනිත් කෙනාගෙ උත්තරේ වෙන්නෙ ලැජ්ජා නැද්ද බං ඔය ගොන්නු දිහා බලන්න කියලා...ඒ මත තමා ඒක ලියවුනේ.

    ඔන්න ඕකයි හැමදාම වුනේ ලියන්නා මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔබ හා එකඟයි සිතුවම් ! ඒත් අර "මහත්තයො" කෑල්ලට හැර !

      Delete
  43. යකෝ මේ ෆෝටෝ එක නං පුනරුත්ථාපනය වෙච්ච කොටි හපුවෙක් විසිරයාමේ උත්සවයකදි පවත්වන කතාවක් වගෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  44. හිකීස්,,, ඔව් ඔව් ඒ වගේ තමයි ! කොටියෙක් කියලා පොලිසියට අහු වෙලා තියේ !

    ReplyDelete
  45. මාර බේරිල්ලක් නේ බේරිලා තියෙන්නේ !!

    ReplyDelete
    Replies
    1. තාම මගේ වෙලාව හොඳයි මධුරංග !

      Delete
  46. තව පොඩ්ඩෙන් වෙනියා පුනුරුත්තාපනය කරන්න වෙනවා බොල !

    ReplyDelete
    Replies
    1. අනිවා සෑම් අනිවා.. අංගොඩ තමයි නවත්වන්න වෙන්නෙ !

      Delete
  47. හ්ම්ම් වෙනි සත්‍ය කතාවත් මම කොහෙදි හරි කියෙව්වා

    එළ එළ හොඳ ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ඔව් නිශ්, ඔබ දිනපතා පත්තර කියවනවනම් ගිය සතියෙ ඔයිට සමාන නමුත්වෙනස් විදියෙ සිදුවීමක කම්පනය තමයි ඔය ...

      Delete
  48. ෆීඩ් එකේ අප්ඩේට් උනේ අද.. නැත්තං මීට කලින් මේක මම දැකලා.. මොනව උනත් මේ පාරත් මිස්ටර් ලියන්න බේරුනා ඈ...

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද සිහින මල්ලි, මොකද දන්නෙ නෑ එහෙම වෙන්නෙ, මටත් ඕකම වෙලා තියෙනවා.. හේතුව සහ ප්‍රතිකාර හොයා ගත්තොත් මටත් කියන්න.. ස්තූතියි !

      Delete
  49. මම හිතුවෙම වෙන මොකක් හරි කියන්ට යනවා කියලනේ. අර හාමුදුරුවෝ වටාපතින් මූන වහගත්තේ ඇයි අනේ? එයාට ලැජ්ජා හිතුනාවත්ද?

    ReplyDelete
  50. පොකූ ආයිමත් මාව බය කරනවද මන්දා? ඔව් ඔව් හාමුදුරුවන්ට ලැජ්ජ හිතෙන්න ඇති !

    ReplyDelete