ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, October 15, 2012

ගහපු ගාන -Hits- මතකද ?


ගහපු ගාන මතකද ?

මට නම් මතක නැත

එහෙනම් සොරිම තමයි පේන විදියට...

ගහපු ගාන අතුරුදහන්..





අද උදේ පාන්දරම සුපුරුදු විදියටම මම අපේ අනිත් බ්ලොග් කියවන්න ගියා..

ලිපි කීපයක්ම කියවලා ආපහු එන්න යද්දි තමයි මේක දැක්කෙ..අපේ ගොඩක් බ්ලොග් ලියන අය තමන්ගෙ හිට් කවුන්ටරේ බ්ලොග් එකේ හොඳට පේන තැනක නෙ එල්ලලා තියෙන්නෙ... මෙන්න ඒක ආයි එකේ ඉඳන් කැරකැවෙනවා...අපේ ෆේමස්ම අයගේ එව්වට ගිහින් බැලුවා..ඒත් එමමයි.. ඒ කියන්නෙ මේක බ්ලොග්ස්පොට් එකෙන්ම රිසෙට් කරලා වගෙයි..අපොයි පහුගිය කාලෙක ඔය හිට් කවුන්ටරේත් එක්ක අපේ සමහරු අල්ලපු පොරයක්...අපි සින්නො...අපි කබ්බො කිය කියාඅ සමඟි වෙන්න මතිමතාන්තර වලින් වෙන් වෙන්න දඟලපු දැඟලිල්ල මතක් උනහම මට හිනාත් එක්ක...

මොන මඟුලකටද මේ හිට් කවුන්ටරේ අල්ලන් අසමඟි වෙන්න පොයින්ට් හදා ගන්නවද කියලයි මන් හිතුවෙ ඒ කාලේ..

ඒත් හිට් කවුන්ටරයෙන් බ්ලොග් ලියන අයට ලොකු තල්ලුවක් ආවා..මොකද ඒකෙන් අපි දන්නවා අපේ බ්ලොගියට ආපු ගනන සහ එක පෝස්ට් එකක් කියවපු ගනන..ඒත් මේ වෙනකොට ආපු ගාන එකතුව එන ඉලක්කම මත අපේ අය බෙදෙන්න ගන්න කොට නම් ඒකට තියෙන ගෞරවය පොඩියක් එහෙට මෙහෙට උනා..

අද උදේ ඉඳන් ආයිමත් ඒක එකේ ඉඳන් නම් කැරකෙන්නෙ...අර කීව ලියන්නන්ගේ අභිප්‍රේරනය නම් වැඩේවි..ඒත් ?!

යම් අරමුණක් වෙනුවෙන් ලියන අයට මේ හිට් කවුන්ටරය එච්චරම වැදගත් නොඋනත්..පහු ගිය කාලෙ ගිය ළඳරු තර්ක අස්සෙ මේක කොයි තරම් නම් කතාවට ලක් වුනාද ?

බ්ලොගයක තමන් නොදමපු පාඨකයො දමපු කමෙන්ට් ගනන සහ ෆලෝවර්ස් ලා ගාන තමන්ගෙ බ්ලොගිය කොයිතරම් ජනප්‍රියද කියන එක මනින්න තියෙන තව සාධක කීපයක්..

අනේ මන්දා..

ප.ලි. සමහර බ්ලොග් වල විතරයි හිට් කවුන්ටරය රිසෙට් වෙලා තියෙන්නෙ..ඒ කියන්නෙ මේක පොදුවේ හැමෝටම බලපාන තත්වයක් නොවෙන්න පුළුවන්...

ප.ප.ලි. රාජ මල්ලි හරි මන් මේ පෝස්ට් එක මකන්නත් ගිහින්..ඕන් ඔහෙ තියෙන්නෙ ඇරියා..මට හූ හූ.. :-D

Friday, October 12, 2012

වීදුරුව බිඳුනද ? (කෙටිම කෙටි කතාවක්)


මේ සිද්ධිය වෙනකොට  අනිවා..මට මතක හැටියට උ.පෙල කරන්න ගියා විතරයි..



අපි වීදුරු එක්ක සෙල්ලම් කරන්න හරි ආස මොකද ඒක එක්ක සෙල්ලම් කරද්දි සෙල්ලම වගේම නොබිඳෙන්න තරම් අවධානයෙන් , පරිස්සමින්  සෙල්ලම් කරන්න ඕනි මොකද... ආන්න ඒ වගේ අර පරිස්සමට සෙල්ලම කරමු කාලයක් තමයි ඒ කාලෙත්...වීදුරු අයිතිකාරියොත් අනෙ අප්පේ කොයි තරම් නම් අර පරිස්සමින්ද හිටියෙ !!! අද කාලෙ වගේ නෙවෙයි ඕන් ඒ කාලෙ.. අද නම් එච්චර අරපරිස්සමක් නැති නිසාදෝ කොහෙද..එව්වා බිඳුනත් එකයි නැතත් එකයි..බිඳුනොත් ආයි අලවන්න ක්‍රමත් තියෙන නිසා..ඒ කාලෙ වීදුරු එක්ක සෙල්ලම් කරල ගත්ත සතුට දැන් නැද්දෝ මන්දා ?

ඉතින් ඔහොම වදෙන් පොරෙන් වීදුරු අයිතිකාරයෙක් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා..

"ඕන් දවසම උඹලගෙ " 

කියලා ගෙවල් අයිතිකාර යාළුවා යන්න ගියා කියන්නෙ ඉතින්...
දවස අග භාගය වෙනකොට අපි  හොඳටම හෙම්බත් වෙලා..සෙල්ලම් කරන එක උනත් ඉතින් අර හීන වන උපයෝගීතාවය කියලා තියරියක් තියෙන නිසා...හා හා ආර්ථික විජ්ජාව නොකරපු අය මේ මොන කුනුහබ්බයක්ද කියලා නොහිතා ඉන්න එක හොඳයි ඕන්..ඉවරයිනෙ එතකොට...

මන් ගියා නාන කාමරේට නාලා කියලා එන්න.. මෙන්න ආපහු එනකොට...වැලහින්න සේ අඬනවා මෙච්චර වෙලා හොඳට සතුටින් සෙල්ලම් කර කර හිටපු එක්කෙනා...

"ඇයි මොකද ?"

"වීදුරුව බිඳිලා" 

ඇඬිල්ල වැඩි උනා එක පාරටම..

මමත් උඩ ගිහින් සිවිලිමේ ඔළුව වැදිච්ච වගේ තුෂ්නිම්භූත උනා..

"වෙන්ඩ බෑ වෙන්ඩ බෑ.. අපි කොයි තරම් පරිස්සමින්ද සෙල්ලම් කලේ "

මගේ උගුර කට වේලෙන්ඩ ගත්තෙ ඒ වෙලාවෙ..
මෙන්න ඇඬිල්ල තවත් වැඩි උනා..

"කොහොමද එහෙම වෙන්නෙ?"
මේ කියලා එහාට මෙහාට වෙනකොටයි දැක්කෙ..
වීදුරුව බිඳිලා නේන්නම්..නැත්නම් කොහෙන්ද ජපන් **** මෙතන ?
මගේ සියොළඟම රත් උනා..
"වෙන්න බෑ අපි පරිස්සම් උන තරම මතකයිනෙ"

"ඔව් ඒක ඇත්ත තමයි ඒත්.." ඉකිබිඳුම අස්සෙන්ම 

මට එක පාරටම මතක් උනේ මන් නාද්දි ඇඟිල්ල රිදුනෙ මොකද කියලයි..
ආයි බාත් රූම් එකට ගිහින් මන් ආවෙ කොක් හඬලලා හිනා වෙවී..

"ඇයි?"

ඇඬිල්ල මැද්දෙන් තවත් ප්‍රශ්ණයක්..

"වීදුරුව බිඳිලා නෑ අනේ..අපි සෙල්ලම් කරද්දි මගෙ මේ ඇඟිල්ල කොහෙ හරි වැදිලා මේන් තුවාල වෙලා ඒකයි ඔය"

දෙන්නටම හිනා.

නිමි

Saturday, October 6, 2012

ලතාගෙන් පැතූ අච්චුව..


"මේ එතකොට ඔය බ්ලොග් එකේ ලියනවා වගේ උඹලා ඒ කාලෙ හරිම සුදු , අහිංසක , මුව පොව්වො වගේ ඉන්ඩම ඇති.. හැක් හැක් හැක්..."

පසු ගිය වකවානුවේම නිහඬව බලා සිටි මාගේ බ්ලොගයේ  සහ ජීවිතයේ  නිර්දය විවේචකයා තම උස් හඬ අවදි කොට හිත කීරී ගස්සවාගෙන යන මහා සමච්චල් හිනාවකින් ඔහුගේ කතාවට කොමාවක් තැබීය..

"ඇයි එහෙම කියන්නෙ?"

"උඹ බබානෙ..පලයන් යන්ඩ බන් අපි දන්නෙ නැද්ද බ්ලොග් වල ඉතින් දමන්නෙම  කාගෙ හරි අනුකම්පාවක් අරන් අනේ ඔයාලා හරි හොඳයි ඒ කාලෙ.. අද තමයි මෙච්චර පිරිහිලා තියෙන්නෙ... අච්චර පිරිහිලා තියෙන්නෙ..අපි නම් බෝ පැල කියලා ලෝකෙට පෙන්නන්නනෙ"

"මොකාක්?"

විවේචනයක් හමුවේ බුද්ධිය ප්‍රමුඛ විය යුතු තැනක මාගේ හැඟීම් පෙරට පැන්නේය.

"එහෙම කොහොමද කියන්නෙ !@@#$% ? කොයි තරම් හොඳ බ්ලොග් තියෙනවද කියවලා රසවිඳලා..ඒ රසයත් එක්කම තමන්ගෙ ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන්. මන් ඒත් හිතුවා පහු ගිය කාලෙ ඔය හැකර කට වහ ගෙන ඉන්න කොට මොනවා හරි අංචියක් අල්ලන්ඩ එකතු කරනවා තමයි කියලා...මොනාද උඹ කරලා තියෙන්නෙ හැම දේම හැමදාම විවේචනය කර කර ඉන්නවා මිසක්.. එහෙනම් උඹත් ඔය කරන විවේචන වලින් අඩුපාඩු හදා ගත්ත එකක් ලියපන්කො . අපිටත් බලන්න"

"හරි නැග්ගා නේද ? නැග්ගා නේද ?..ඒ කියන්නෙ මන් හරියටම හරි දේ තමයි කියලා තියෙන්නෙ. ඇත්ත තිත්තයි..ඒක කටේ ගෑවෙන කොට ඉන්න බෑ..ඒකනේ ඔය මූලග්ගාය තද වෙච්ච එකා වගේ කියවන්නෙ"

"හරි මගේ බ්ලොග් එක එච්චර යමක් ගන්න දෙයක් නැති එකක් තමයි..මට ඒ ඒ වෙලාවට හිතෙන හිතෙන දේ ලියනවා..සමහර ලිපි වල පොඩි සරල රසයක් තියෙනවා වෙන්න පුළුවන්..ඒත් කොහොමද කියන්නෙ බ්ලොග් ලියන සේරම අය ලියන්නෙ මොනවා හරි ලියලා අනුකම්පාව හරි අවධානය හරි ගන්නයි කියලා.."

"හෝව් හෝව් හෝව්...කවුද දැන් මෙතන අනිත් බ්ලොග් ගැන කීවෙ ? මන් කීවෙ මේ ලියන්නා බ්ලොග් එක ගැන විතරයි.. පාගා ගත්තා නේද මල්ලි නැට්ට?"

"මන් කියන්නෙ නෑ පාග ගත්ත එක"

"මන් කියන්ඩ ගියේ..උඹ ඔය වලිගෙ පාගා ගන්න ඉස්සර වෙලා..මේකයි. උඹ ඔය බ්ලොග් එකේ කතන්දර වලින් ලියන තරම්ම සුදුම සුදු, අහිංසකම  අහිංසක වැඩ විතරක්ම කරපු එකෙක්ද පොඩි කාලෙ ? මැරෑටි වැඩ කලේම නැද්ද ? හා කියහන්.."

"කවුද කලේ නෑ කීවෙ මන් ඉස්සර පෝස්ට් කීපයකම ඒ ගැන ලියලා තියෙනවා.."

ඒ අතීතේ නෙ.. පහුගිය කාලෙම නිකම් මට පේන්නෙ..බෝ පැලේ වෙන්ඩ දඟලනවා වැඩී කියලයි"

"ආ එහෙමද හිටින්කො එහෙනම්"

මෙම වාදයයි මගේ මතක ගබඩාවේ මේ කොටසට ප්‍රවේශයක් ලබා දුන්නෙ...
-------------------------------------------------------------------------------
මේ කාලසීමාවද කල යුතු හොඳ හෝ නොකල යුතු නරක කිසිවකු ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්විය යුතුම වයසක වූ අපි කොල්ලෝ සියළු දෙනාම වයස අවුරුදු 8-11 අතර කාණ්ඩයේ වූ අය වීමු. ගමේ උන් කොල්ලො රැල මෙන්ම බල්ලෝ රැලද සැමවිටම සැමතැනම ඇනුම් බැනුම් සහ තාඩන පීඩන වලට ලක් නොවී නම් එය අරුමයක්ම වීය. අපද මේවා අතරින් සමනළුන්, කුරුල්ලන්, කබරයින් හෝ බූරුවන් ලෙස දිනෙන් දින කාලය ගත කරමින් සිටියෝ වෙමු.

අපගේ නිවෙසට නිවෙස් කීපයකට එහා ගුරුකම්, තොවිල් , පවිල් සහ විෂ වෙදකමට තරමක් ප්‍රසිද්ධ ගුණේරිස් මාමාගේ දුව ලතා අප කොල්ලන් සෙට් එකට නයාට අඳු කොළ මෙන් වූයේ කෙදිනකද යන්න මතකයට නගා ගත නොහැකිය. ලතා අපට වඩා අවුරුදු 3ක් වත් වැඩිමහළු වූ අතර ඈ කළු මහත කෙල්ලක් වූවාය. ගමේ එම වයසේ අන් කෙල්ලන්ට වඩා ඈ මහත නිසාම අප දිනෙන් දින ඈට තැබූ නම් වැල දිනෙන් දිනම දිගු වූවා මිස කෙටි වූයේ නම් නැත.අපගේ වහරේ ඈ බතලි, වංගෙඩී, පීප්පෙ හෝ පිටි මුට්ටෙ මිස කිසි දිනක ලතා නම් නොවූවාය...කළු කැත කෙල්ලක් ලෙස අපගේ මතකයේ ඒ කාලයේ රැඳී සිටි ඈ පසුව දැකුම්කළු බවට පත් වීම දක්වා මහා දිග කතන්දරයක් ඇතත්..මට එය සැකෙවින් ඔබ ඉදිරියේ දිග හැරීමට අවසර දෙන්න...

ලතාට අප වෛර කිරීමට හේතු වූයේ ඈ සතු ශක්තිමත් බාවයෙන් අයුතු ප්‍රයෝජන ගෙන අප කොළු රැලටම හොඳටම තඩි බාන නිසාය.. කාරණයක් තිබුනත් නැතත් ඈ කොල්ලන් අල්ලාගෙන බෙල්ල වටා අත දමා කිහිල්ලට හිර කර ගත් විට දඩු අඩුවකට හිර කලාක් මෙන් සෙලවීමටත් නොහැකිය..ඉන්පසු අනිත් අතින් අපගේ ඇඟ පුරා ගුටි දෙන විට ගුටි කනවා හැර වෙන කිසිම දෙයක් කල නොහැකිය.. අපගේ නඩේ සියළුම කොල්ලන් ලතාගෙන් මෙලෙස ගුටි කා ඇත..ඈ කොල්ලන් අල්ලා ගුටි දෙන්නට ශූරියකි. ඒ නිසාම ඈ හා අනිත් කෙල්ලන් සියල්ලම යහළුය..

"ලියන්නා මට විරිත්තුවා.. ලතා අක්කේ"

සමහර විට ඇත්තටම සමහර විටෙක බොරුවටද මෙලෙස ලතාගෙන් ගුටි දෙව්වා අපට හිනා වීමට අනිත් කෙල්ලන් සියල්ලම බොහෝ ආසා වූවාය..
මෙම මුලික හේතුව නිසාම අප කොළු රැල ලතා කෙරෙහි අනියත බියක් මෙන්ම අති මහත් වෛරයකින්ද පසු වූ බව නිසැකය.

ගුණේරිස් මාමා සහ නැන්දා මෙන්ම ලතාගේ මල්ලීද ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉතා කරුණාබර චරිත වූයේ කෙසේදැයි අපට ඒ කාලයේ අදහා ගත නොහැකි වීය. කරුණෙ - ලතාගේ මල්ලි - අපගේ කොළු නඩයේම එක සාමාජිකයෙක් වූවද ඔහුද අප මෙන්ම අක්කාගෙන් සබාවන් ඉදිරියේ ගුටි කෑවේය..ලතාද එන්න එන්නම දරුණු වූවා මිස..අප කෙරෙහි ලතැත් සිත් ඇත්තියක් නොවූ බැවින් අප කවුරුන් හෝ එක් අයකු දිනක..

"අපි කට්ටියම එකතු වෙලා ලතාට ගහමු"

කරුණේද ඇතුළු කොළු නඩයම මේ යෝජනාව එක හෙලා එක හඬින් අනුමත කලේය..

මේ යෝජනාව අනුමත වූවත් කිසිවකුත් එය ක්‍රියාත්මක කිරීමට එතරම් උනන්දුවක් නොවීය. ඒ පාසල් නිවාඩු වාරය ආරම්භ වූ අතර.. ගමේම ඇති ගස් වලට අපලම කාලයද වීය.. ගුණේරිස් මාමාගේ ගෙවත්ත පුරාම වූයේ අඹ, රඹුටන්, පැපොල්, පේර, නමිනන්, ගඩිගුඩා ආදි නොයෙකුත් පලතුරු ගස් රාශියකි.. අප ගිය දිනවල මාමා හෝ නැන්දා අපට එසැනින් කඩා ගත් පලතුරු වලින් සංග්‍රහ කිරීම කලේ ලතාගේ ගෙරවුම්, එරවුම් මධ්‍යයේය..
එලෙස ලද පලතුරු රාශිය හිස් පෝර බෑගයක දමාගෙන අප ගමේ කැලෑ බද ප්‍රදේශයක වූ මහ ගල් තලාව බලා පිය නගමින් සිටි අතරතුර.. අප ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ ලතායි.. මා අතවූ පලතුරු ගෝනිය කඩා ගත්තේ මගේ කනටද එකක් ගසමිනි.. එය රැගෙන වීරවරියක් ලෙස තම මිතුරියන් දෙතුන් දෙනා හා හූ තියමින් යන ඈ දෙස අප බලා සිටියේ මහත්ම වෛරයකිනි...

කේන්තියෙන් පිපිරෙමින් ගල් තලාවට ආ අප අසල ගසක වූ ඉතා ඇඹුල් රසැති දෙහි අඹ කීපයක් ගලේ ගසා තලා කමින් සිටියදී..

"මේක හරි යන්නෙ නෑ අපි ලතාට ගහමු"

"හරි කවද්ද?"

කීප දෙනකුගේම උස් හඬ..

"අදම"

"අක්කා නාන්ඩ ගිහින් එන්නේ තනියම අරඹෙන්.. අද රෙදි ගොඩකුත් අරන් යන්නෙ හවහට"

ඒ කරුණෙගේ හඬයි.

"එහෙනම් අපි අරඹ කෙළවරේදි අල්ල ගෙන කැලේට ඇද ගෙන යන්."

"අර කැලේ මැද තියෙන ලොකු ඇට්ටම්බා ගහ යටට ඇද ගෙන ගිහින් ගහමු ජීවිතේටම ඇති වෙන්න"

සියල්ලෝම ප්‍රීති ඝෝෂා නඟමින් එම යෝජනාව අනුමත කලෝය.

"කරුණෙ උඹ එන්න එපා උඹ නොදන්නවා වගේ ගෙදරට වෙලා හිටහන්"

අකමැත්තෙන් වූවත් කරුණෙ එයට කැමති වූවේය.

"අපිව අඳුරා ගත්තොත්?"

"නෑ අපි ඉස්සෙල්ලාම ලතාගෙ මූණ වහමු"

"මොකෙන්ද?"

"මන් ආච්චිගෙ චීත්තයක් අරන් එන්නම්"

නැවතත් ප්‍රීතිඝෝෂා මධ්‍යයේ අපි විසිර ගියෙමු..

සවස අප සියළු දෙනාම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පැමිණ අරඹේ ලොකු කුඩා ගස් වලට මුවා වී සිටියෙමු.

කියූ පරිදිම සුගත් තමන්ගේ ආච්චිගේ රෙද්දක්ද රැගෙන පැමිණියේය. ගමේ බොහෝ අයට තම ගෙවත්තේ තමන්ටම කියා ලිඳක් තිබුනද ගමේ කෙළවරක වූ කුඩා ඇල පාර රෙදි පෙරෙදි සේදීමටත් නා කියා ගැනීමටත් ඉමහත් රුකුලක් වීය.

මෙම ඇල පාර හා ගම අතර කුඩා කැලයක් වීය..අපගේ සැලසුම වූයේ ලතාව මෙම කැලයට ඇද ගෙන යාමයි..නා කියා ගෙන රෙදි පොට්ටනියත් රැගෙන ලතා ලැසි ගමනින් එයි. කිසිම අතුරු අන්තරාවක ළකුණක් හෝ නොමැති සෙයකි..ඇලේ සිට අඩි පාර අවසන්ව කැළයට යාව ඇති අඩි පාර වෙත ඈ පිවිසෙනවාත් සමඟම අප මහත් හඬින් කෑ ගසමින් ඈගේ ඇඟට පැන්නෙමු. හදිසි කෑ ගැස්ම නිසා ඈ කලබල වූයෙත් තමා අතවූ බාල්දිය අතහැරුනේත් එය බිම වැටී එයට පැටලී තණ බිස්ස මත ඇද වැටුනේත් අපගේ කාර්‍යය වඩාත් පහසු කරවමිනි.




කෑ කොස්සන් ගසමින් අත පය විදුලි වේගයෙන් වනන ලතා අක්කාගෙන් ගුටි කීපයක්ම කමින් වූවද අප කොල්ලන් 12 දෙනකු විසින් ඈගේ මුහුන සුගත්ගේ ආච්චිගේ රෙද්දෙන් වසා මරන්න ගෙන යන හරකියක් මෙන් කැලයට ඇද ගෙන යන්නට වීය. කෙල්ලන් යනු කුණුහරුප කිසිවක් නොදන්නා අය බව තරයේම අදහා සිටි අපගේ එම සිතුවිල්ල සදහටම ඉවත් වූයේ එදාය.. අත පය වීසි කර හෙම්බත් වූ ඇය රෙද්ද ඇතුලෙන් කුණුහරුප කියන්නට ගත්තත් අප කිසිවකුත් ඉන් පසුබට නොවීමු. වදෙන් පොරෙන් ඈව අප කතිකා කර ගත් කොට්ටම්බා ගහ යටට ඇද ගෙන ගිය අපි..හිතේ හැටියට ඈට මිටි කර ගත් අත්ලෙන් තැලුවෙමු. ඈ හූ තියමින් හැඬූවත් අප  තුල එකතු කර ගත් වෛරය නිවීමට එය සමත් නොවීය. 

කිසිවකු ගෙන එන ලද ලණුවකින් ඈව කොට්ටම්බා ගසට තබා බැඳ අසල වූ ගසකින් කඩා ගත් දිමි ගොටුවක්ද ඇගේ ඇඟට දමා අප එතනින් දිවුවේ හූ කියමිනි.. අප කරන ලද වීර ක්‍රියාව පිළිබඳ කොළු නඩේ සමඟ උදන් ඇනූවද අප තනි තනිව ගෙදර බලා යන්නට පටන් ගත් විට අප එකිනෙකාගෙ හිතට කාන්දු වන්නට වූයේ අති මහත් බියකි. අපෙන් ගුටි කා ලතා අක්කා මිය යනු ඇතැයිද ඒ නිසා අප එල්ලුම් ගස් යවනු ඇතැයිද අප බියවන්නට වීය..රාත්‍රී කෑම කෑ බවක්ද මතක නැත..

නමුත් හුළු අත්තක් අතින් රැගෙන මිදුලේ සිට උගුර පාදන්නේ ගුණේරිස් මාමා නොවේද ? අම්මා හා තාත්තා සමඟ මොනවාදෝ කුටු කුටු ගාන අතර මා ගුණෙරිස් මාමා කැටුව ආ කරුණෙගෙන් සියළුම විස්තර අසා දැන නොගත්තානම් එදින රෑ නින්ද නොයනු ඇත. ලතා අක්කා කෙසේ හෝ ලණු පට ගලවා ගෙන ගෙදර ගොස් ඇත. ඇඟ පුරාම දිමියන් කා ඇති බවත් ඈ ගුටි කෑ බව නොකියා..අප කොළු රැල ඈව ඇද ගෙන ගොස් ගසේ බැඳ දිමි ගොටු දැමූ බව පමණක් පවසා ඇත..ගුණේරිස් මාමා අප කොළු නඩේ සියළුම ගෙවල් වලට ගොස් මේ සිද්ධිය පිළිබඳ පැවසීමට යනබවද මා දැන ගත්තේ කරුණේගෙනි. ගුණේරිස් මාමා සමඟම එළියට බැස්ස මාගේ තාත්තාද නැවත එනවිට මා හටද නින්ද ගොස් තිබුනි

මාගේ අම්මා හෝ තාත්තා මේ පිළිබඳ රාත්‍රියේ කිසිවක් නොපැවසීම මාගේ හිතට සහනයක් වීය. සැවොම ලතා අක්කාගේ දරුණු කම නිසා අප දුන් දඬුවම අනුමත කර ඇතැයි සහන සිතින් යුතුව මාද නින්දට වැටුනෙමි. ඒ සහනය තිබුනේ පසුදා උදෑසන වන තෙක් පමණි.


පසුදා උදෑසන වනවිට සියළුම සිද්ධිය අමතකව අප ලතාට හොඳ පාඩමක් ඉගැන්වූ බව පමණක් හිතේ රන්දන සතුටක් පමණක් ඇතිව නිදි පැදුරෙන් නැගිට මුව කට සෝදා ගත්තේ ඒ වනවිටත් අම්මා සාදමින් තිබුනු රසම රස ආප්ප හකුරු සමඟ කෑමටයි. නමුත්..

"කන්ඩ දෙන්ඩත් එපා.. තේ කහට දෙන්නත් එපා"

තාත්තා හොරහැඩි හඬින් පවසා පොත් අල්මාරිය උඩ වූ වේවැල අතට ගත්තේය.

මා හට කිසිවක් සිතීමට පවා ඉඩ නොතබා කනෙන් අල්ලා කරකවා ගත්තේය. කන ගැලවී යන්නට තරම් වේදනාවක් දැනෙද්දී තාත්තා මා ඇද ගෙන යන්නේ කොහාටද ? අම්මා දොරකඩට වී කම්මුලට අත තබා ගෙන බලා සිටී. නමුත් වෙනදා මෙන් තාත්තාට හයිකාරකම් දමා මා බේරා ගැනීමට නො ආවාය. තාත්තා මා ගේ කන අත නොහැරම ඇද ගෙන ගියේ අඩි පාර දිගේ අප ලතා  බැඳ දැමූ කොට්ටම්බා ගස වෙතටයි. ඒ වනවිටත් අපගේ කොළු නඩයේ 10 දෙනකු පමණ එලෙසම ඇද ගෙන විත් කොට්ටම්බා ගසට තබා බැඳ ඇති බව මා දුටුවේ එවිටයි. ඒ සියල්ලන්ගේම තාත්තලා තම අතවූ වේවැල් ගෙන ඒවායේ ශක්තිය උරගාන්නට මෙන් ඒ අතට මේ අතට නවමින් සිටියෝය.


සම්පූර්ණ කොලු නඩයම වූ 12 දෙනාම මහ කොට්ටම්බාව වටේ බැඳ දැමූ විට හඬ අවදි කලේ පහල ගෙදර මුදියන්සේ මාමායි.. ඒ වනවිටත් හඬමින් සිටි අප හට ඔහු කීවෙ,

"කොළු කම එකයි.මේ ඊයෙ කරපු අසමජ්ජාති වැඩේ වෙන එකයි... තොපිලා මෙහෙම කරලා හැදුනොත් අපි මලගිය දවසක මිනිස්සු අපේ මිනීවලටත් කෙල ගහලා සාප කරයි .. තොපිලා වගේ පාහරයො ටිකක් ජාතක කෙරුවයි කියලා.. එහෙනම් පටන් ගනින් මලේ"

අප වේදනාවෙන් විලාප දෙද්දී කකුල් දෙකේ හම කැඩී තුවාල වී ලේ වැක්කෙරෙන තුරුම අප හට වේවැල් පහර වැදිනි. තාත්තලාගේ මුහුණෙ වූයේ කෝපයකද නැත්නම් ශෝකයක්ද යන්න මට අදටද මතක නැත.


කකුල් දෙකේම තන්ඩියෙන් පහල පිළිසෙන්නාක් මෙන් වේදනා දෙද්දී ඔවුන් තැලීම නැවැත්තුවේය. 

"ගෙනාපන් සියාතු මලේ ඔය ටික"

එක කොල්ලාට එක බැගින් දිමි ගොටු ඇඟට හලනු ලැබීය.. දිමියන් කෑ විට දැනෙන පිලිස්සී යන වේදනාව නොදැනුනු අයෙකුට එය තේරුම් ගත නොහැක. අප හට ඒ වන විට විලාප දෙන්නටවත් පන බිඳක් තිබිනිදැයි මතක නැත.. දැඟලිය හැකි අයුරින් දඟලමින් සිටීයේ ඇඟ පුරා දුවන දිමියන් බිමට දමා ගැනීමටයි..අප කොළු නඩේ සිටි කීප දෙනෙකුටම ඒ වන විටත් කලිසමේම රෙවී ඇති බව අප දැන ගත්තේ පසුවය..


"බුදු සීවරන් දෙයියනේ මේ තිරිසන්නු ටික මොකද මේ කිරිසප්පයින්ට කරන්නේ ?"

නැවතත් තැලීමට වේවැල් මානා ගත් අපගේ තාත්තලා දෙපසට තල්ලු කරමින් අප දෙසට ආවේ කවුදැයි කියා ඔබට සිතිය හැකිද ?.

දැස් අග විශාල කඳුළු බිඳු දෙකක් පුරවා ගත් ගුණෙරිස් මාමාගේ මුහුණ සහිත එදා දුටු රුව අවුරුදු ගනනාවක් ගියද අද දිනද මාගේ සිත තුල තැන්පත් වී ඇත්තේ මෙය ඊයේ සිදු වූවක් මෙන්ය..

"තොපි හැත්ත මේ නොදරුවො ටික මරන්නද යන්නෙ යකුනේ?" 


විලාප දෙමින් අප සිටි ගසත් තාත්තලාත් අතර මැදට වී දෑත දෙපසට විදහා ගනිමින් අප ආරක්ශා කිරීමට තතනන ගුණේරිස් මාමාගේ හඬ තව තවත් උස් වේ..

"මන් ඊයේ තොපිලට විඩෙන් විඩේ මොකද්ද කිව්වෙ යකුනෙ ? මගේ කෙලීත් කෙලි කමට කරන්නෙ මේ කොල්ලන්ව අල්ලන් තඩි බාන එක..කොළු කම් වලට කරන වැඩ වලට මෙහෙම...
කකුල් වල ලේ මතු වෙන කම් තලලා.. 
කන්දෙ දෙයියනේ මොන තිරිසනාද මේ කිරි සප්පයින්ට දිමි දැම්මෙ?"


ගුණේරිස් මාමා හනි හනික අපව ලණුවලින් ලිහමින් තම කරේ දමා උන් ලේන්සුව ගෙන අපගේ ඇඟේ වූ දිමියන් පිහ දමන්නට වූයේය.. 

අපගේ සිතට ඒ වෙලාවෙ දැනුනු හැඟීම් අකුරු , වචන වලට හරවන්නට මෙම ජීවිත කාලයේදී නම් නොහැකි වනු ඇතැයි මා සිතමි..

"පලයල්ලා තිරිසන් හැත්ත ගෙවල් වලට.. අම්මාපල්ලා දැම්මම තොපිලා නොගියොත් මන් වස් කවි කියනවා උඹලා සේරටම"

ඔහු අපගේ තාත්තලාට අණ දුන් සැනින් වස් කවි වලට බියේ ඔවුන් පිරිස පසු බැස්ස අතර...


"යමල්ලා පුතුනේ මන් අපේ කෙලීගේ දිමියො කාපුවට ගාන්න හදපු බෙහෙත් ඇති ඒ වා ගා ගන්න පුළුවන්" 

අප සියල්ලම රැගෙන ගියේ ගුණේරිස් මාමාගේ ගෙදරටයි.. මාමා සහ නැන්දා කරුණේද එකතුව අපගේ වේවැල් තුවාල වලටද අත් බෙහෙතක් ගාමින් දිමියන් කැ තැන් වතුරෙන් සෝදා බෙහෙත් ගැල්වීය. කරුණේගේ සරම් කෙටි කීපයක් ගෙන අපගේ කීපදෙනකුම රැගෙන ලිඳ වෙතට ගොස් සුද්ද පවිත්‍ර කරවා ගෙන ආවේ නැන්දායි..අපගේ දෙමවිපියන් ඔවුන් දෙදෙනාගෙන් ලද දෙස් දෙවොල් කන්දරාව ඇසීමට ළඟ සිටියා නම් මැන්වැයි අපට සිතුනේ එක් වරක් නම් නොවේ

අප සියල්ලටම  මීට මොහොතකට පෙර ලැබුනු ශාරීරික දඬුවම මෙතරම් දරුණු නොවීය.. 

අපගේ තාත්තලාට දෙස් දෙවොල් තබමින්..අපගේ ලොකු තුවාල දෙස බලමින් කඳුළු හෙලමින් නැන්දාද තම උදය වරුවම ගත කලේ අප හට සලකන්නටයි. අවසානයේ අප හට කුරහන් රොටීද සාදා කන්නට දුන් පසු නිවසේ පසු පස කාමරයකින් එලියට පැමිණියේ ලතාය. 

ඈට කිසිම තුවාලයක් සිදු නොවූ නමුත් දිමියන් කෑ තැන් වල පමණක් බෙහෙත් ගල්වා තිබුනි. 

අප දොලොස් දෙනාටම එතනම පොළව පලා ගෙන යන්නට හැකියාව තුබුනා නම් එලෙස කරනවා නොඅනුමානය.

"මන් හින්දනේ ඔය ගොල්ලන්ට මෙහෙම ගුටි කන්ඩ උනේ"

ලතාගේ හඬ අප කන් වල දිගු කාලයක් යනතුරු රැව් දුන් බව නියතය.

මෙම සිද්දියෙන් පසුව අපද ඈට ලතා අක්කා යනුවෙන් ආමන්ත්‍රනය කිරීමත් ඈද  හේතු රහිතව අප කොල්ලන්ට තඩි බෑමද නවතා දැමීමත් සිදු වීය. 


අප නිවසට ගොස් කීප දිනක්ම යනතෙක් මව විසින් කකුල් දෙකේ වූ තුවාල වලට බෙහෙත් ගැල්වූවාය.. මීට පෙර දින වල වේවැල් පාර කා සිටින විට මව පියාට දෙස් දෙවොල් තැබූවද මෙවර ඇආ ගොළු වත රැක්කේ එම දඬුමව සාධාරනීකරනය කරමිනි..

අපද කිසි දිනක එම දඬුවම පිළිබඳ වෛරයකින් සිතීමට උත්සාහ නොගත්තේ කොළු කමට වූවද අප කල වැරැද්දට එම දඬුවම සෑහේ යැයි අපගේ සිත් තුල මුල් බැස ගත් නිසාවෙනි..


වර්තමාන පරිසරය තුල ගිළුනු අයකුට මෙම සිද්ධිය හා බැඳුනු අප ලද දඬුවම ඉතා කෲර යැයි නීතිමය අංශ, සාදාචාරමය අංශ හා ළමා අයිතිවාසිකම් යන අංශ වලින් කරුණු ගෙන හැර පාමින් නොබිඳිය හැකි සේ ඔප්පු කල හැක..

නමුත් ඒ කෙසේ වෙතත්..

මවිල් වලින් ගැවසී වැසුනු කකුලේ වූ වේවැල් පහර වලින් ලත් තුවාල වල කැළල් දකින මා හට සිතෙන්නේ නම්..

මා දයාබර පියාණෙනි..නුඹලා එදා අප යහමඟ ගන්නට එලෙස නොතලා අප සුද්ද කරමින් පීඩිත වූ අයවළුන් මත වරද්ද පටවා අප බේරා නොගත් උත්තම ක්‍රියාව නිසා අපගේ ජීවිතයට ලං කලේ කුමක්ද ? එය කෙසේ වත් වචන වලින් විස්තර කල නොහැකි වූ අපූරවමය මිනිස් හදවත තුල නින්නාද වෙමින් අප ජීවත් කරවන හැඟුම් සමුදායක් බව නම් නොඅනුමානය.


"මට තවමත් හය්ය තියෙනවා උඹලට ඒ කාලෙ වගේ ගහන්න"

කියමින් හිකි හික් ගාන ලතා අක්කා අද ලොකු දරුවන් සිටින මවකි..
ඉහත සිද්දිය මතින් අප ගුණේරිස් මාමාගේ පවුල වෙත  ජනිත වූ ගෞරවනීය හැඟීම අදටත් බිඳක් වත් නොවෙනස්ව පවතී...



වේවැල පාසලින් ඉවත් කර දැන් බොහෝ කල්ය. මවිපියන් වූවද ළමයින්ට තැලීමට ඉඩක් නැත්තේ ළමයින්ගේ භාරත්වය තිබෙන්නේ අධිකරණය සතුවයි..

මා කිසිවිටෙක ළමුන්ට හොඳ නරක කියා දීමට ශාරීරික දඬුවම් දීම අනුමත නොකරමි. නමුත් අද සිටින මා යනු මෙවන් සිදුවීම් සියල්ලකම එකතුවක් බව මට හැඟේ..










Wednesday, October 3, 2012

අපි ලවු කරමුද ?





"අපි ලවු කරමුද ?'

මා අල්ලපු වැටේ සිටි බට්ටිගෙන් ඇසුවේ එය ප්‍රථම වතාවට බව මතකය.. ඒ වනවිට අප පාසලේ දෙවන හෝ තුන් වන පංතියේ බව යාන්තම් මතකය..

බට්ටිද තම හැඳ සිටි ජංගි කොටය එක අතකින්  අල්ලා ගෙන ,

"හා එහෙනම් අපි ලවු කරමු"

 කියමින් මා වෙතට දිව ආවාය.

"හා කෝමද ඒක කරන්නෙ?"

මාද යෝජනාව කලාට ඒ වනවිටත්  ලවු කරන හැටි දැන නොසිටියෙමි.

"ඔයා සෙල්ලම් බත් උයන්ඩ මන් මගේ පොල්පිති හරකා නාවන්නම්.. එහෙමයි ලවු කරන්නෙ"

"හා"

මා දෙස කටක් ඇරගෙන බලා සිටි බට්ටි නැවත අප දෙදෙනා සෑදූ ලී කෝටු ගසා වහලට හබරල කොළ අසුරා තැනූ සෙල්ලම් ගෙය තුලට ගියාය.

"මිනිස්සුයි ගෑණුයි තමයි ලවු කරන්නෙ"

අපට වඩා වසර දෙකක් වැඩිමාල් නමුත් එකම පන්තියේ පේල් වීම නිසා අපට වඩා උස මහත නිමල් මහදැනමුත්තෙක් ලෙස කීවෙ මේ සිද්දියට දින කීපයකට පෙරය..ඔහු කියන දේවල් ඇත්ත ලෙසම අපට පිළි ගැනීමට සිදු වූයේ ඔහු අපට වඩා වැඩිමහලු වීමත් වීමත් එලෙස පිළි නොගන්නේ නම් අපට ගුටි කෑමට සිදු වන නිසාමත්ය..

"ඉතින් කොහොමද ලවු කරන්නෙ?"

අප පංතියේ කටකාර කෙල්ලක් වූ මාලනී ඇසූවත් නිමල් රවා බැලීම නිසාම අපටද ඒ කාලයේ ලවු කරන හැටි නිමල්ගෙන නම් අසා දන ගැනීමට නොහැකි වීය.

එම නිසා ලවු කොරනවා කියන්නේද අප එදි නෙදා කරන බෝල ගැසීම..ගුඩු පැනීම , තාච්චි පැනීම, චක්කරන් පැනීම, රබර් ඇට ගැසීම , සරුංගල් ඇරීම වැනි ක්‍රීඩාවන්ම නමුත් පිරිමි ළමයකු සහ ගැහැණු ළමයකු පමණක් එක්ව කිරීම යන්න බව හැර වෙන කිසිම අදහසක් නොමැති බව සැකවින්ම වටහා ගෙන තුබූ බව නම් තාමත් මතකය..

ඊට පසු දින අම්මා සවසට තේ පානය සඳහා සෑදුවේ ගෙදර ඉතිරි වන බත් වියලා බැද පොල් සහ හකුරු එකතු කර  වංගෙඩියේ ලා කොටාගෙන ඒවා ගුලි කර සාදා ගත් රසකැවිල්ලක්ය. එවන් රසකැවිල්ලක් සෑදූ විට අපගේ නිවසේ සාමාජිකයන්ට අමතරව බට්ටිලාගේ නිවසේ බට්ටී, බට්ටිගේ මල්ලි සුට්ටාද අයියා ලොකූද බට්ටි අම්මා සහ තාත්තාද එකතු වන්නේ අප නිවසම රසගුලාවක ගිල්වමිනි..

"අම්මේ ඊයෙ මායි පොඩි අයියයි ලවු කලා"

බට්ටී කිසිම ලැජ්ජාවක් නොමැතිව සබාව ඉදිරීයේ මහා හඬින් කීවේ මා දෙස ආඩම්බරයෙන් බලමිනි. 

සියල්ලෝම මොහොතක් නිහඬව සිට ඊළඟ මොහොතේ මහා හයියෙන් හිනා වෙන්නට වූයේ..මා අති මහත් ලැජ්ජාවට පත් කරමිනි..ලැජ්ජාවට පත් වූයේ අන් කිසිවක් නිසා නොව...

" ලවු කරනවා කියලා කරන්නේ ආන් අරකලු බන්"

කියා අප පන්තියේම උන් උඩහ ගෙදර සිරී මා හට කීවේ අසල බඩවැටිය ළඟ සිට දෙපැත්තට අදිමින් සිටි කකුල් අටේ බලු ජෝඩුවක් පෙන්වමින් මා හට කීම නිසාය.. ටික වෙලාවක් අප ඒ දෙස බලා සිටි නමුත් මා හට ඒවන තෙක් ඊට පෙර දිනයේ බට්ටි නගාට මා කල යෝජනාව පිළිබඳව නාම මාත්‍රයක් සිහියට නොනැගුනි..

"ඉතින් පොඩි අයියයි බට්ටියි මොනාද කලේ ?"

සිනා හඬ මැදින් එසේ ඇසුවේ බට්ටිගෙ තාත්තා පියදාස මාමායි.

"මුකුත් නෑ.. මන් සෙල්ලම් බත් ඊවා.. පොඩ්ඩයියා සෙල්ලම් හරකව නෑවුවා"

බට්ටිද මේ වැඩිහිටියන් සිනා වෙන්නේ කුමකටදැයි තේරුම් ගත නොහැකිව විපිලිසර වෙමින් පැවසුවාය..

මේ සිද්දිය අමතක වන තුරුමත්..සහ මා අක්කලාගේ සහ අයියාගේ සිනාවට ලක් නොවන තාක් කල්  මා බට්ටි නගා සමඟ කිසිම සෙල්ලමකට නොගිය අතර ඉන් පසු වූවද ඈ මා කී දෙයක් කිසි විටකත් සබාවක් ඉදිරියේ නොකියන්නට වග බලා ගත්තාය.

අප ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ යෙදෙන්නේද වී වගා කරන කුඹුරු ආශ්‍රිතව නිසාම බොහෝ කුඹුරු තරමක් එරෙන සුළුය.. සමහර කුඹුරු ලියදි කුඩා අපගේ බඩ ප්‍රදේශය දක්වාම එරී යයි..

අප වඩාත් ආසා කලේ මෙවන් ලියදි වල මඩේ එරෙමින් සෙල්ලම් කිරීමටය.. රත්වූ වතුර සහිත මඩක දනක් එරී සිටින විට දැනෙන සනීපය..හා අස්වැන්න නෙලා අවසන්වූ පිදුරු ගොඩේ කරවටක් ගිලී ගිය විට දැනෙන සනීපය..වෙන කිසිවකිනුත් ලබා ගත නොහැකිය..

මා බට්ටි සමඟ එවන් දිනක එක ලියද්දක මඩේ එරී සෙල්ලම් කරද්දී බට්ටී ඈ තමන්ගේ පපු පෙදෙස දක්වාම එරී ගිය බැවින් හඬන්නට වූවාය..මාද බිය වී බට්ටී ඇද ගැනීමට එදෙසට ගියද..එම ප්‍රදේශය සමහර විට ගැඹුරු පතලක් තිබුනු ලියද්දක් බැවින්..මාද එරී පපු පෙදෙස දක්වා එරී ගියේය.. කුඹුරේ අසල ලියද්දක් කොටමින් සිටි තාත්තා  , අයියා සහ ගුණපාල මාමා සමඟ සිමියොන් මාමා දුව විත් අපව මඩ ගොඩින් එලියට ඇද ගත්තේය.. මඩ වල සිර වී තිබූ අපගේ ජංගි කොට දෙකද ටික වෙලාවකින් සොයා දුන්නේ සිමියොන් මාමායි..අප මඩෙන් ඇද ගන්නා විට අපගේ ජංගි කොටද මඩ තුල හිර වී ඇත. 

"මුන් දෙන්නා  මඩේ ලවු කර කර ඉඳලනෙ"

ඕනෑම එකකට මා සහ බට්ටී ට මෙලෙස කියා සිනා වීම පුරුද්දක් කර ගෙන තුබූ අයියා එලෙස  කීවත් ඒ සමඟම තාත්තාගෙන් වැදුනු කන හරහා පාර නිසා එම සමච්චලය සදහටම අවසන් වීය.

පහු ගිය වතාවක මා ගමේ ගොස් බට්ටීගේ නිවසට ගිය විට මේ සිද්දිය සිහියට නගා පැවසූ විට බට්ටි නගා මෙන්ම ඈගේ ස්වාමි පුරුෂයාද සිනහා වූ ආකාරය මට ඊයේ මෙන් මතකය..

"අද කොහෙද පොඩි අයියෙ ළමයින්ට එහෙම ලස්සන  ළමා කාලයක්?"

ඔහු බට්ටි නගා දෙස බලමින් තම දරුවන් පාඩම් කරන දෙස බලමින් විස්සෝපයෙන් මෙන් කීවේය..

"මේ ළමයි අපි වගේ කාලෙ එනකොට මතක් කරලා හිනා වෙන්ඩ ළමා කලයක් ඇත්තේම නැති තරම් "

බට්ටි නගාද හිඳ සිටි අසුනින් නැගිට්ටේ මා දෙස බලමින් සිනාසෙමිනි.

පසු ගිය දිනක සැමරූ ජාත්‍යන්තර ළමා , වැඩිහිටි දිනය පිළිබඳ  සිතමින් කාලය ගත කරන නිමේශයක මා හදවත ලැගුම් ගත් මෙම උණුසුම් ලෙස මා හදවත පුබුදවමින් මුවඟට සිනාවක් එක්කරන මේ සිද්ධිය මා මගේ සහෘදයන් සමඟ බෙදා හදා නොගන්නේ මන්දැයි යන ප්‍රශ්ණයට පිළිතුරකි මේ...

Tuesday, October 2, 2012

පොත් අතර නෙත්...


"මේ යන විදියට ඔයාලගෙ කැම්පස් පටන් ගන්නත් තව අවුරුදු තුනක් වත් යයි..ඊට පස්සෙත් තව අවුරුදු හතරක්..ඊට පස්සෙත් තව අවුරුදු 4-5ක් වත් යයි නේද ජොබ් එකක් හොයා ගෙන පිළිවෙලක් වෙන්න"

"ඔව්..එච්චර කලයක් යයි"

"ඔය උස ගොයම් ජාති වවලා පොඩ්ඩක් එහාට මෙහාට වෙලා වැස්සක් වැස්සොත් එහෙම ගොයම් කරල් බිමට වැටෙනවා ගහ එක්කම. එතකොට අස්වැන්නෙන් භාගයක්ම ඉවරයි වතුරෙ"

කියමින් තාත්තා අයියාට උපදෙස් දුන්නේ මෙවර වැඩිය උස නැති ගොයම් වර්ගයක් තවාන් කර පැල සිටුවන ලෙසටයි. වැපිරීම පසෙකලා ඉතා කෙටිව වැඩෙන වී වගා කල එහා කෙලවර නොපෙනෙන තරමේ වූ යාය අද පුරාම අද පෙනෙන්නේ අස්වැන්න නෙලා ගත් පසු ලියදි වලින් ඉහලට නැගුනු ඉතා කෙටි ගොයම් කොට සහිත යායකි.පහු ගිය දින කීපය පුරාම අස්වැන්න නෙලීමටත් , ගොයම් පිඩි ගෙන ඒමටත් ගමන් කිරීම නිසා වෙනදාට සරුවට නියර පුරා වැඩුනු තණ ගස් පෑගී පොඩි වී තුබූ නමුත් නැවත හිස ඔසවමින් සිටියේය.

මෑත අනාගතය මෙන්ම ඈත අනාගතයද අවිනිශ්චිත මා කෙටි කැපූ ගොයම් කොටමතින් පෙනෙන යායේ එහා කෙළවරටම දෙඇස යොමා දෙඇස් කෙවෙනි රිදුම් දෙනතෙක් බලා සිටියෙමි. 

"තව අවුරුදු 10 ක් නැත්නම් 12ක් කියන්නේ ලොකු කාලයක්"

"හ්ම්ම්ම්"

හ්ම් යන්න හැර ඊට වඩා සුදුසු පිළිතුරක් මා හදවතින් පැන නොගනී. 

"මන් මොකද කරන්නෙ?" ගෙදරින් කරදරේ දැන් විභාගෙත් ඉවර නිසා.. මල්ලිට අර එහා ගෙදර සඳමාලි බඳින්න ඕනි කියනවනෙ"

මන් මොකද කරන්නෙ යන්න දෙසවන් තුලින් රිංගා හදවත කළඹන කල මා අපි කරන්නෙ කුමක්ද යන්නට පිළිතුරක් සෙවීම පිණිස යායේ ඈතම ඈත කෙළවරට දෑස යොමු කර නැවතත් කල්පනාවේ නිමග්න වන්නට විය. කාලය අවකාශය තුල නතර වන්නට වීය..කෙළි ලොල් වියේ පටන්ම එකට හැදී වැඩී දෙමවිපියන්ගෙන් ලබන තරමටම  සෙනෙහසක්, ලබැඳියාවක් බෙදා හදා ගනිමින් ආලවන්ත කමකට මුල පිරූ වසර 5ක් පමණ කාලය..අප දෙදෙනා අප දෙදෙනා ගැනම කෙතරම් නම් සිහින මාලිගා තනන්නට ඇද්ද ? දෙදෙනාට දෙදෙනා නොමැති වන ජීවිත කාලයක් තබා නිමේශයක්වත් හිතා ගන්න නොහැකි වූ කාලයක..

"අපි....."

මා ගොඩ ගසා තිබූ පිදුරු ගොඩ දෙසට දෑස යොමු කලේ ඒ දිදුලන දෑසට එබී මගේ අනාගත බලාපොරොත්තුව කීමටයි. ඒ දෑස එතනින් අතුරුදන්ව තිබුනි..

නිලන්තීගේ විවාහයෙන් මාසයකට පසුව ඇගේ මලනුවන්ද සඳමාලි ගෙදරට කැඳවා ගෙන විත් තුබු බව මව මට කීවේ මාගේ හිත ඇතුලේ තිබෙන්නේ කුමක්ද යන්න කියවීමට තරම් වූ මහත් කුහුලකිනි. මහා දිය කඳක් නැවැත්වීමට හැකි වැව් ඉවුරක් මෙන් මා මේ වනවිටත් මාගේ සිතුවිලි දෙනෙතින් පිටවීම නවතා දමා තිබුනි. මව සුසුමක් හෙලා තම ප්‍රයත්නය ව්‍යවර්ථ වූ බව සපත කරගෙන හුන් තැනින් නැගිට්ටාය.

"අර කැම්පස්  එකේ හිටපු නංගිට මොකද උනේ ? අර තාත්තගෙ අවුරුද්දෙ බණට දානෙට එහෙම මෙහෙ ඇවිත් උදව් කරපු ළමයා ?"

එක් සෙනසුරාදාවක මා ගෙදර පැමිණි දිනක මා විමසන්නේ ලොකු අක්කායි. 

"දැන් ඉතින් ඔය ජොබ් කරන තැනින් වත් හොඳ කෙනෙක් හොයා ගන්න මල්ලි"

"තාම හුල්ලනෙ අර නිලන්ති සක්කර වට්ටම  ගැන වෙන්ඩෝනි"

චූටි අක්කා තරමක කෝපයෙන් පවසයි. 

"දන්නවද නිලන්තිට මොකද උනේ කියලා?"

"මන් දන්නෙත් නෑ මට දැන ගන්ඩ ඕනිත් නෑ..යකෝ නිවාඩුවට මන් ගෙදර ආවෙ මේ ගෙදර මිනිස්සුන්ගෙ දුක සැප බලන්න විතරයි"

"උඹට මූලග්ගාය ! ඒකනේ අපි මොනා හරි කීවහම ඔච්චර ඩෝන් යන්නෙ"

චූටි අක්කා තම දියණියද රැගෙන අසල වූ පුවක් ගෙඩි කීපයද ගෙන යන්නට නැගිට්ටාය.

කාලයේ වැලි තලාවට නිමේශයෙන් නිමේශය වැසී යයි. 

"අනේ මන් ඇස් දෙක පියවෙන්න කලින් මුනුපුරෙක් බලන්න නැති වෙයි"

"අම්මෙ ඔය ඉන්නෙ එක් කෙනෙක් වෙනුවට හත් දෙනෙක්ම.. හිතේ හැටියට බලා ගන්ඩකො"

මා සොයුරාගේත් සොයුරියන් දෙදෙනාගේත් දූ පුතුන් පෙන්වමින් රෝගාතූර වී සිටින මවට පැවසූවෙමි.

මව පෙර මෙන් කිසිවක් නොකියයි. ඒ වෙනුවට ඈ තම දෑස තෙත මාත්තු කර ගත්තාය...ඒ කඳුළු මතින්ම ඈ සිය දිවි ගමනේ තවත් එක නවාතැන්පලක් පසුකලා පමණි..

නාස් පුඩු අතර දැවිල්ලක් ඇති කරමින් දහස් ගනනකගෙ පයට පෑගෙන පොළව මතින් නැගී එන දුහුවිල්ල කන්දරාවද දෑස තෙහෙට්ටුවට පත් කරන්නට වැර දරන හිරු රැස්ද වලකාලමින් මා අසල වූ පොත් කඩයක සෙවනට රිංගා ගතිමි. කාච සිත්තම් උපකරණ සහිත බෑගය නිසා උරහිස තරමක් ඇදුම් කයි. දහසක් සෙනඟ තම කියවීමේ තෘප්තිය සංතෘප්ත කර ගැනීමේ අභිලාසයෙන් පොතින් පොත...කඩයෙන් කඩයට ඇදෙන්නේ ඇවිස්සුනු කඩි රැලක් මෙනි.කුඩා දරුවකු වඩා ගත් මවක් එක අතකින් තම බෑගය එල්ලාගෙන පොත් තට්ටුවක වූ පොත් තෝරයි.. වයස අවුරුදු 5-6ක් වන්නට පුළුවන් දරුවාද අසල එල්ලා තිබෙන සඟරාවක් අදිමින් එහි වූ පින්තූර දෙස විමසිල්ලෙන් බලයි.. මා කෙසේ කරේ එල්ලා ගෙන තිබූ කැමරාව ක්‍රියාත්මක කර කාචය ඇස තුලට රඳවා ගත්තාද මතක නැත. එසැනින්ම මව තම දරුවා අදින සඟරාව ඔහුගෙන් ගලවා ගැනීමට තම හිස හැරෙව්වාය. විදුලියක් කෙටුවාක් මෙන් හැඟීමක් මා හිතට දැනී..ශටරය එබීමට අමතක කරවන්නට සමත් ඒ දෑස්..



කැමරාව පහත හෙලූ සැනින් හමු වූ දෙඇස්..හඳුනා ගැනීමට තත්පරයෙන් ලක්ශයකින් එක් නිමේශයක් පමණක් ප්‍රමාණවත් වීය..

"ඉතින් ඔයා ෆොටෝ ග්‍රැපි ද කරන්නෙ ? මට ආරංචි උනා ලොකු ජොබ් එකක් කරන්නෙ කියලා. අම්මගෙ මල ගේ ආරංචි උනා ..එන්න බැරි උනේ මන් දැන් ගම් පැත්තෙ යන්නේම නැති තරම්"

මදක් විඩාබර වූවත්..කාලයත් සමඟ වියපත් වූවත් ඒ දෑස් එදා මෙන්ම දිදුලයි. හඬ එදා මෙන්ම දයාබරයි..

පොඩි එකා තමන් අතවූ බීම බොනවා වෙනුවට එහි බටය හපමින් සිටින අතර..ඈ විටින් විට විමසන ප්‍රශ්ණ මදකට නවතන්නේ තම සිසිල් බීම එක බීම සඳහායි..

"කෝ පුතාගෙ තාත්තා ලොකු දුවෙක් හිටියා නේද ?"

ඈ බියපත්ව හිසින් හා ඇසින් දරුවා පෙන්වමින් කීවේ කිසිවක් නො අසන ලෙසය..

එය තුල තේරුම් ගත හැකි කතන්දරය හා නිවසින් විටින් විට මා ලද ඉඟි එසේනම් එලෙසම වන්නට ඇත..

"මන් මෙහේ ඉන්නෙ.. " 

ඈ මටද ආසන්නම නගරයක් නමක් පවසන්නී..

"ටීචින්ග් කරනවා..දුව නම් කැම්පස්..මෙයා තාම මොන්ටිසෝරි.. පුතා මාමට කියන්නකෝ අපෙත් ෆොටෝ එකක් ගන්න කියලා.."

"මේකෙ බැට්‍රි බැහැලා..අද මන් එක්ස්ට්‍රා බැට්‍රි ගෙනත් නෑ"

මා කැමරාව අත පත ගාමින් පිළිතුරු දුන්නෙමි..

"ඇයි මට වයිෆ් දරුවො ඉන්න තැන් කියන්ඩ අකමැතිද ?"

මා මුව මත ඇඳුනේ සිනාවක් පමණි..

ඈ ඈත කෙළවරක වූ පොත් කඩයක් තෙරපෙන සෙනඟ දෙස දෑස් යොමා ගෙන සිටියාය..

කුඩා දරුවා තවමත් තම බීම එක බොනවා වෙනුවට එයට සෙමින් පිඹිමින් බෝතලය ඇතුලේ එකතු වන වා බුබුළු දෙස බලමින් සිටී..
ඈ තවමත් ඈත යොමා ගත් දෙනෙතින් යුතුව..

"අපි අපි ගැන කොයි තරම් සිහින..."

එම වචන පේළියේ ඉතිරිය මගේ දෙසවනට නොවැටුනේ..මා එතනින් අතුරුදහන් වූ බැවිනි.

ඈ විස්මයෙන් වටපිට බලනවාත් දරුවා මා ගිය දිශාව ඈට පෙන්නනවාත් මා දුටුවේ  අසල වූ මාර ගසේ අතු අතරිනි..ඒ වනවිටත් මා ප්‍රදර්ශන භූමියෙන් පිටත ගේට්ටුවත් පසු කර තිබුනි...

"ගොළු හදවත" "අහිමි ආදරය" සමඟ මිලදී ගත් බෞද්ධ පොත් පත් කීපයක නම් ඇතුලත් කුඩා රිසිට් පතේ පිටුපස වූ ජංගම දුරකතන අංකය මා නැවතත් පසුම්බිය තුලට ඔබා ගත්තේ සිය වන වාරයට වන්නට පුළුවන..

නිමි නැත...