ආදරණීය ලියන්නා වෙත,
මගේ ඉහත ආමන්ත්‍රණයේ විශේෂණ පදය අද දිනය තුළත් මා හට පාවිච්චි කල හැකි වූවත් එය හෙට දිනයටත් එසේම වේදැයි සැක සහිතය.
මේ ලිපිය කොතනින් පටන් ගෙන, කෙසේ ලියා, කොතනින් අවසන් කරන්නද, යන්න ගැන මට හාංකවිසියක් වත් නැත. කෙසේ නමුත් මා සිත තුළ නළියන මේ සිතුවිලි ගොන්න ඔබ වෙත මුදා හැරීමේ අවශ්‍යතාවය නම් මා හට අන් කවරදාටත් වඩා දැනේ.
මා පටන් ගත යුත්තේ මා ඔබ දුටු මුල් දිනය මා සිතූ හැටි වූවත්..මා පටන් ගන්නේ නම් එතැනින් නොවේ.
ජීවිතයේ දුර දිග පළල ගැන ගැඹුරින් කල්පනා කල එක් සැන්දෑවක...
සියල්ලම බොහොම සැහැල්ලුවෙන් සිතන...
ඕනිම දෙයක් විහිළුවකට පරිවර්තනය කරලා හිනා වෙලා පස්සෙ ඒකෙ ගැඹුර, දිග පළල ගැන හිතලා මතලා තීරණ ගන්න...
අනිත් කෙල්ලන්ගෙන් බේරා ගන්න තරමෙ පට්ට හැන්ඩ්සම් නැති..
ජීවිතේ අනේක විද ප්‍රශ්න රාශියක් තිබුණත් ඕනි වෙලාවක හිනා වෙලා ඉන්න පුළුවන්..
කොල්ලෙක් තමයි මම බඳින්න ඕනි කියලා හිතුව වෙලාවෙ මගේ හිතට ආවෙ ඔබවම තමයි.
පුදුම හිතුණද ඔයාට ?
මට අද කියන්ඩ පුළුවන් මම නොකියාම ඉන්නවයි කියලා හිතපු ඔයා ගැන මගේ යාළුවො කියපු කතා වලින් සමහර ටිකක්..ඒවයෙ හරය මෙන්න මේ වගේ..
"පිස්සුද බන් ඔය වගේ එකෙක් එක්ක ඇෆෙයාර් එකක පටන් ගන්න?"
"ටිකක් පාරෙ බැහැල එක්කන් යන්න පුළුවන් හැණ්ඩි එකෙක් අල්ලා ගනින්"
"බලහන් ඇවිදින විධිය ? කොකා නෙළුම් කොලේ ඇවිදිනවා වගේ"
"උඹට හරියන සල්ලි තියෙන එකෙක් හොයා ගනින් බන්"
"පොන්නයෙක් බන්"
ඔයාට දුකද ?
ඔව් ඔය අන්තිම කථාවත් කිව්වා මගේ එක යාළුවෙක්. කටහඩේ තියෙන මෘදු ගතිය සහ ටිකක් ඇදලා පැදලා කතා කරන එක පොන්නකමක් විදියට බොහොම පටුව හිතපු යාළුවොත් මට හිටිය බව ඔයාට පස්සෙ වැටහෙන්න ඇති. මම දන්නවා පස්සෙන් පහු අපි ගතකරපු අවුරුදු හයක කාලය තුළ ඔයා එහෙම කෙනෙක් නොවුණු බව. ඔයාට තිබ්බ ලොකුම දේ තමයි අනුන්ගෙ දුකට සංවේදීවීමේදී ගැහැනියෙකුටවත් යන්න බැරි තරමේ දුකකට ගිහින් හඬා වැලපෙන්න පුළුවන් තරමේ හිතක් තිබීම..ඒක හරිම සුවිශේෂීයි වගේම මම ඔයාගෙන් හැර වෙන කිසිම කෙනෙක්ගෙන නොදුටු දෙයක් තමයි ඒක..
මම මගේ යාළුවන්ගේ ඒ සියලුම කතන්දර අලුයම හෙළු කෙළ පිඬක් වගේ අහකට දාලා ඔයා එක්ක ආශ්‍රයක් පටන් ගත්තා..යහළුවෙක් වෙලා මාස හයක් හිටිය කාලෙ මම ඔයාගෙ දැකලා තිබ්බ මම පැහැදිච්ච ඒ ගතිගුණ සියල්ලම ඔය අපි පියමං කරපු අවුරුදු හය පුරාවටම තිබුණා...මට හැමදාම ඕනි උණේ ඔයාගෙ ගතිගුණ තියෙන දරුවො පස් හය දෙනෙක්ගෙ හුරතල් බලන අම්මා කෙනෙක් වෙන්නයි. මම එහෙම කිව්වහම ඔයා හැමදාම කිව්වෙ අපි වැඩිම උණොත් දරුවො තුන් දෙනෙක් හදමු කියලයි..ඔයාට මතකද ?
අපි දෙන්නගේ ආදරය පටන් ගත්තත් එක්කම මගෙන් වෙන්වෙලා ගිය මගේ බොහොමයක් යාළුවො එහෙම කළේ මට ඔයාට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්කම තියෙද්දිත් අමාරුවෙ වැටෙන්න යනවා කියන අදහසක් එක්කමයි.
පස්සෙන් පහු කාලෙදි ඒ අයම අපි එක්ක ආයිමත් එකතු උණත් එක්කම අද වෙනකොට ඒ ගොල්ලන් කීව සමහර කතා කොයිතරම් දුරට ඇත්ත වෙලාද කියන එක ඔයාට එකින් එක ඇඟිල්ලෙන් ඇනලා දෙන්න ඕනි නැති බව මම දන්නවා.
අපේ ආදරය අනිත් හැමෝගෙම වගේ බොහොම සතුටින් පිරිලා ගිය එකක් උණා..
ඔයා එක්ක තිබ්බ විශ්වාසෙ නිසාම ඔයා එන්න කිව්ව හැමතැනකටම මම ආවා.
මතකද අපි නුවර එළියෙ ගිහින් මුලින්ම ගත කරපු ඒ සති අන්තෙ..හීතලෙන් මිරිකෙමින්..ඔයාට තුරුළු වෙලා ඒ ගත කරපු දවස් දෙක තමයි මගේ මිහිරිම හෝරා කීපය උණේ ජීවිතේ ගත කරපු...ඔයාට ඕනිම නම් ඒ සති අන්තෙ මාව ඔයාගෙම කර ගන්න තිබ්බ අවස්ථා ගණන බොහොම උණත්..ඔයාගෙ පැත්තෙන් ඔයා දක්වපු ඉවසීම..ආදරය..දයාව මම ඒ වෙනකන් විඳලා තිබ්බෙ මගේ තාත්තගෙන් විතරයි..
ඇයි ඔයා ඒ දවසෙ අපි ලස්සන දවසට අපේ මිහිරිම දේවල් ඉතුරු කර ගනිමු කීවෙ ලියන්නා ?
ඇයි ඔයා ඊට පස්සෙ තනියම හමුවෙච්ච හැම දවසෙම එහෙම කියලා මගේ හිත ඇතුළෙ ඔයා වෙනුවෙන් ආදරණීය ප්‍රේමයක් ඇති කළේ...?අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතු රාගය උත්සන්න වෙද්දිත් ඇයි ඔයා ඒ සේරම පාලනය කරලා අපේ ආදරය පූජනීය දෙයක් කළේ ??
මට අදටත් නොතේරෙන එකම කරුණත් ඒකමයි. ඒත් ඒ කාරණය කවදාවත්ම මට තේරුම් ගන්න ඕනිත් නැහැ. තාත්තා කෙනෙක්ගෙන් ලද සෙනෙහස, ආරක්ෂාව මම දෙවෙනියට ලැබුවෙ ඔයාගෙන් ඒක නැහැයි කියන්න මට බැහැ...මෙච්චර අවබෝධයකින් තිබ්බ ආදරයක් පැත්තකට දාලා මම ඇයි එහෙනම් හෙට වෙන නන්නාඳුනන මනුස්සෙක් එක්ක යන්න හිත හදා ගත්තෙ ලියන්නා ?
ඇයි ?
ඔයාට තේරෙනවද ඒ ඇයි කියලා ?
මට ඕනි උණා ඔයාව සම්පුර්ණයෙන්ම මගේ කර ගන්න..බොහොම ආත්මාර්ථකාමීව මගේ විතරක් කර ගන්න...
ඒත් ඔයා ???
සමහර වෙලාවකට මට වඩා ඔයාගෙ ඔය මහ ලොකු කැමරාව ලොකු උණා...ඔව් මම අඬනවා තමයි මේ දැන්...මගේ සමහර පුංචි පුංචි ප්‍රශ්න ගැන ඊට වඩා හිතයි කියලා මම හිතලා බොහොම බලාපොරොත්තු තියන් හිටි වෙලාවක ඔයා හිටියෙ ඔයාගෙ කැමරා කාචය තුළින් දකින වෙනත් ලෝකෙක...
මගේ ඇඟිල්ල කැපිලා පොඩි ප්ලාස්ටරයක් දාගෙන ඉන්න එක ගැන හිතන්න දුක් වෙන්න වෙලාවක් නොතිබ්බ ඔයා මහා සෑහෙන වෙලාවක් ඔයාගෙ කැමරාවෙ ෆ්ලෑසරය කැඩිච්ච එක ගැන දුක් වෙන්න හිතන්න ගත්තා...
ඕනිවට එපාවට විනාඩියෙන් දෙකෙන් මගේ ෆොටෝ එකක් ගත්ත ඔයා මලක්, එළවළුවක්, මාළුවෙක් ගන්න පැය ගණන් ගත කළා..ඒ ෆොටෝ ගැන යාළුවො එක්ක කතා කළා..වාද කළා...මුලින්ම මම දුටු ඔයාගෙ ප්‍රතිරූපය..වතුර වීදුරුවක් ඇතුළට දමපු ඩිස්ප්‍රීන් පෙත්තක් වගේ දිය වෙලා යන්න ගත්තා.. මම ඒක ගැන කිව්වහම ඔයා පුරුදු විදියට හිනා වෙලා විකාර හිතන්නෙපා කියලා කිව්වත්...මම තව කාලයක් බලන් හිටියා ඔයා ආයි ඔයාම වෙයි කියලා..ඒත්..
මගේ උපන් දිනය අමතක උණාට ඔයාට ඔයාගෙ ලෝකෙ සර් සර් කිය කියා පස්සෙන් ගිය ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පින්ගේ උපන් දින කවදාවත් අමතක උණේ නැහැ. මූණු පොතට ගිහින් ඒ අයට සුබ පතලා ඒ අයගේ ප්‍රතිචාර ගැන ගොඩක් සතුටු උණා..ඒ අතරේ ඔයාට මගේ උපන් දිනේ අමතක උණා..පස්සෙ ඔයා ඒ ගැන බොහොම දුක් උණත්..
ඔයා හරිම සතුටු වෙයි කියලා මමම තෝරා ගෙන ඇඳගෙන ආපු ගවුම දිහා ඇහැක් ඇරලා නොබලපු ඔයා හෝරා ගණනාවක් ඔයාගෙ ලෝකෙ වීරයෙක් වෙලා හිටිය ඡායාරූප ශිල්පියෙක් යාලදි ගත්ත දිවියෙක්ගෙ ෆොටෝ එකක් වර්ණනා කළා..ඒ ක්ෂණයෙදි ඔයා කොයියම්ම විදියකින්වත් මගේ හිතේ තිබිච්ච වේදනාව දුටුවෙ නෑ..ඔයා ලෝකයට දක්වන සංවේදීකම බොරුවක්දෝ කියලා මට නොහිතුණාමත් නෙවෙයි. ඒත් දිගු කාලයක් දන්නා ඔයාගෙ අව්‍යාජකම ගැන මට සැකයක් නෑ...
මට ඔයාව මගේම කර ගන්න බැරි උණා ලියන්නා..මම එතනදි පැරදුණා..
මම අන්තිමේ තීරණය කළා මම හැරිලා වෙන පාරක යනවා කියලා..ඒ ගැන අඩමානෙට තීරණයක් අරගෙන මම ඒ බව කිව්වහම මතකද ඔයාගෙ ප්‍රතිචාරය..
හිරුගෙන් නැගෙන අන්තිම කිරණ වලින් ඔයාගෙ මූණ රන්වන් පාට වෙලා තිබ්බා..මට ඔයාගෙ ඇස් දෙක දිහා බලන්න අපහසුතාවයක් තිබ්බත්..ඒ වෙනකොටත් ඔයාගෙ උකුළෙ එක අතකට හිර වෙලා තිබ්බ කැමරාවෙ ෆ්ලෑසරය උඩ දිලිසෙන දිය බිඳුවක් තිබුණා..ඒ අතොරක් නැතුව හඬන මුහුදෙ රළ වලින් විසිවෙච්ච දිය බිඳුවක් නොවුන බව මට තේරුණා..
මම බොහොම හෙමින් ඔයාගෙන් ඈතට පිය මැන්නෙ...ඔයා මට ආයිමත් කතා කරයි කියලා හිතමින්..
ඔයා දුවගෙන ඇවිල්ලා මගේ අතින් අල්ලලා නෑ කෙල්ලෙ අපි ආයිමත් මුල ඉඳන් පටන් ගනිමු කියලා කියයි මගේ බොළඳ හිත මහ හයියෙන් කිව්වත්..
මම හැරිලා බලද්දිත්.. ඔයා ගල් ගැහිලා වගේ ක්ෂිතිජයෙන් මුවා වෙලායන හිරු දිහා බලන් හිටියා..අඳුරට උණත් මට ඔයාගෙ දෙකොපුල් දිලිසෙනවා දැක්කා..
මම හිත හදා ගත්තා..
ගෙදරින් ගෙනාපු මංගල යෝජනාවට මම කැමැත්ත දුන්නා. මම බලන් හිටියා මාස තුනක්ම ඔයා ආපහු මාව හොයා ගෙන එයි කියලා...ඒ වගේම මම දැනන් හිටියා..වෙඬරු පිඩක් වගේ උණුවෙන ඔයාගෙ හිත ගලක් වගේ කර ගෙන ජීවිත කාලෙම උණත් ඔයාට ඉන්න පුළුවන් කියන එකත්..
අපේ සම්බන්ධෙ ගැන හොඳටම දැනන් උන්න නැන්දා මට අර ඔපරේෂන් එක කර ගන්න ඕනිද කියලත් ඇහුවා..මම වෙච්ච ඇත්තම කීවහම නැන්දා කීවෙ..උඹ ඔය මිනිහා බැන්දානම් ජීවිත කාලෙම විඳවනවා දුවේ කියලයි. මාමගෙ සල්ලාලකම් හින්දා නැන්දා විඳවන විඳවිල්ල අපේ පවුලට අමුතු ප්‍රවෘත්තියක් නොවන නිසා මම ඒ කතාව ඉවසුවා.
ඔය අතරෙ මම දැන ගත්තා ඔයා සමනල සංධ්වනිය බලන්න ගිහින් ලොකු කඳුළු කැට දෙක දෙනෙතේ පුරවගෙන එළියට ආවා කියලා. ඔයා නොදකින්න ඇති..මගේ යාළුවෙක් ඔයාගෙ පේළියෙම ඉඳගෙන ඉඳලා තියෙනවා..ඔයා අන් අය ගැන කිසිම අවධානයක් දැක්කුවෙ නෑ කියලත් එයා කීවා..
මට බයයි ලියන්නා ඔයා ගැන..එක්කෝ ඔයා විනාශ වෙයි මත්පැන් වලින්..
නැත්නම් ඔයා කවදාවත් විවාහ නොවී ඉඳලා ජීවිතේ විනාශ කර ගනී....ඔය දෙක ගැනම බය උණත් මට ඒ ගැන තවත් කරන්න දෙයක් නෑ..
ඔයා මට එව්ව..මම ඔයාට දීපු කැමරාව..මම ආයිමත් ඔයාටම මේ එක්කම එවනවා.
මම මේ තෑග්ග දුන්නෙ ආයි ගන්න නෙවෙයි..මේක ඔයාගෙ සැබෑ කර ගන්න බැරි හීන වලින් එකක් නිසායි මම ඒ වෙලාවෙ අරගෙන දුන්නෙ..හැබැයි ඔයා එව්ව මෙමරි කාඩ් එක මම තියා ගන්නවා..ඔයා කවද්ද ? කොයි වෙලාවෙද ලියන්නා මගේ එච්චර ලස්සන ෆොටෝ ටිකක් ගත්තෙ ? ඇයි ඒවා මගෙන් හංගලා තියා ගත්තෙ ?
දැන් සියල්ලටම ප්‍රමාද වැඩී..ලියන්ඩ තව දහසක් දේවල් තිබ්බත්..මට ලියා ගන්ඩ බෑ.
මට ඔයා වෙනුවෙන් කරන්න ප්‍රාර්ථනාවක් ඇත්තෙත් නෑ ...
ඔයා මගේ ජීවිතෙන් හය අවුරුද්දක් විනාශ කළේ නෑ..ඒ ගැන දුක් වෙන්න එපා..ඔව් මට අජිත් කිව්වා ඒ කතාව ඔයා හොඳටම බීලා එහෙම කියලා ඇඬුවා කියලා..
මගේ ජීවිතේ හොඳම අවුරුදු හය තමයි ඒ ගෙවුණෙ..ඒක නම් ඉර හඳ වගේ සහතිකයි..
මේ ඔයාගෙ නොවුණු ඔයාගෙම,
ලියන්නී..
o_O
ReplyDelete:-)
ReplyDeleteහයයිද පහයිද?? ගණං බැරිද??
ReplyDeleteහයයි කියලා තියෙන්නෙ ඔය අපූරුවට !
Deleteරිපෙයාර් නැද්ද මන්දා..
Delete"කොයි වෙලාවෙද ලියන්නා මගේ එච්චර ලස්සන ෆොටෝ ටිකක් ගත්තෙ ? ඇයි ඒවා මගෙන් හංගලා තියා ගත්තෙ ?" මම හිතන්නේ මුළු කතාවම එතන තිබුනා ......අගෙයි ලියන්නා ...
ReplyDeleteඇත්තක්ද බොරුවක්ද කියලා දන්නේ නැති උනට පට්ට විදිහට ඇත්ත වගෙම ෆිල් වෙන්න ලියලා තියනවා. මොනවා උනත් ලියන්නි වගෙම ලියන්නත් පව්
ReplyDeleteහෑ.. ලියන්නිත් බ්ලොග් ලියනවද ? :O
ReplyDeleteඒක තමයි එහෙනං මේක අප්ඩේට් වෙන්නෙ නැත්තෙ. වෙනි අයියගෙ එකවුන්ට් එක හැක් කරල කවුද ගෑනු ළමයෙක්. :D
ReplyDeleteඔය ලෝකය කියනව වගේ මේ ලියන්න ඔය කැමරාව හින්ද කනව හොඳ කෑමක්.
///අනිත් කෙල්ලන්ගෙන් බේරා ගන්න තරමෙ පට්ට හැන්ඩ්සම් නැති..
ReplyDelete"පිස්සුද බන් ඔය වගේ එකෙක් එක්ක ඇෆෙයාර් එකක පටන් ගන්න?"
"ටිකක් පාරෙ බැහැල එක්කන් යන්න පුළුවන් හැණ්ඩි එකෙක් අල්ලා ගනින්"
"බලහන් ඇවිදින විධිය ? කොකා නෙළුම් කොලේ ඇවිදිනවා වගේ"
"උඹට හරියන සල්ලි තියෙන එකෙක් හොයා ගනින් බන්"
"පොන්නයෙක් බන්"///
සංස්කරණය නොකර ඒ විදිහටම දැම්ම එක ගැන සතුටුයි :D
මේ චෙලාචේ ලියන්න ගැන කියල තයෙන්නේ. (හැබැයි මූලාශ්‍රනම් කොහෙන්ද දන්නෑ.)
Deleteලෙසටම එලස්.......
ReplyDeleteහම්මටසිරි හාවෝ කයිද පොල්කොළ කිව්වලු. උත්ක්රුස්ටයි වෙනි අයියේ ඈ
ReplyDeleteඔන්න එහෙනම් හොයාගෙන ඇවිත්ම කියෙව්වා..පට්ට
ReplyDeleteකමක් නෑ කැමරාවක් හම්බ උණානේ...:) (kidding)
ReplyDeleteමේ ඇත්ත කතාවක්ද වෙනී?
නිර්මානයක් විතරයි පොඩ්ඩි .
Deleteමගේ කතාව ඔබේ කතාව තුලින් දකින්න උත්සහ කරමින්...
ReplyDeleteමොකද්ද අර කියල තියන ඔපරේෂන් කතාව, ඒක තේරුනේ නෑ
කන්‍යා පටල රෙපෙයාර් කිරීමනෙ !
Delete// .ඔයාට ඕනිම නම් ඒ සති අන්තෙ මාව ඔයාගෙම කර ගන්න තිබ්බ අවස්ථා ගණන බොහොම උණත්..ඔයාගෙ පැත්තෙන් ඔයා දක්වපු ඉවසීම..ආදරය..දයාව මම ඒ වෙනකන් විඳලා තිබ්බෙ මගේ තාත්තගෙන් විතරයි..
Deleteඇයි ඔයා ඒ දවසෙ අපි ලස්සන දවසට අපේ මිහිරිම දේවල් ඉතුරු කර ගනිමු කීවෙ ලියන්නා ?
ඇයි ඔයා ඊට පස්සෙ තනියම හමුවෙච්ච හැම දවසෙම එහෙම කියලා මගේ හිත ඇතුළෙ ඔයා වෙනුවෙන් ආදරණීය ප්‍රේමයක් ඇති කළේ...?අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතු රාගය උත්සන්න වෙද්දිත් ඇයි ඔයා ඒ සේරම පාලනය කරලා අපේ ආදරය පූජනීය දෙයක් කළේ ??
//
එහෙම නෙවේ නේද..?
ලියන්නී ලියන්නාගේම උනාවේ. වෙන් වුන එක අපරාධයක් වගේ... :(
ReplyDeleteගොළු හදවත. සංචෙදී අය තමන්ගේ සංචෙදකම මග අරගන්න (හංගගන්න) අවධානය චෙනතක යොමුකරනවා.
ReplyDeleteමගේ සිංහල පිස්සු නටනවා. ඔව්,නෑ,බෑ තරගයක් වගේ ගහන්න බැරි අකුරු නැතඉ වචන දම දමා මේක ලියන්නේ. අවුල හදාගෙනම එන්නම්.
hhmmmmmmmmmmmmmmmmmmmmm
ReplyDeleteඔය හ්ම්ම් එක ඇතුලේ ගොඩක් ඒවා තියෙනවා ලියන්නා . . . .
ඇත්තම වගේ කතාව ලියල තියෙනව බං,ඔය උඹේ කථාව
ReplyDeleteකියල ලිව්වට ඔය තියෙන්නෙ ලංකාවෙ හුඟක් පිරිමින්ගෙ සැබෑ කතාවයි.
එක් එක් කමෙන්ටුවට පිළිතුරු සැපයීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන අතර..සියළුම කමෙන්ටු සඳහා මගේ ස්තූතිය පිරි නැමේ.
ReplyDeleteඑක් එක් කමෙන්ටුවට පිළිතුරු සැපයීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන අතර..සියළුම කමෙන්ටු සඳහා මගේ ස්තූතිය පිරි නැමේ.
ReplyDelete