ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, January 20, 2014

ඉඩ හරින්න.... පිපෙන්න...පල දරන්න...

http://en.wikipedia.org/wiki/Bud



පුංචි උන් සංදියෙ මොනවාම හරි හේතුවක් නිසා පුරුදු වෙන එක එක පුරුදු අත් හරවන්න කොයි තරම් නම් අමාරුද ?

ඒවයින් එකක් තමයි ඇඟිල්ල උරන එක..එක්කෝ මහපටැඟිල්ල නැත්නම් දබර ඇඟිල්ල කටට යන්නෙ කොයි වෙලාවෙද කියන එක මොනවා කළත් මතක් කර ගන්න නම් බෑ..ඒත් ඒක කටෙන් එළියට එන්නෙ නම් එක්කෝ අම්මගෙ හරි අක්කලා දෙන්නගෙ හරි ඉරටු පාරකින් බව නම් මතකයි.. දත් ටික ලොඹු වෙයි කියලා කොයි තරම් නම් බණ කීවත්..ඇඟිලි උරන එක නවත්තන්න බැරි උනත්..තරමක් කාලයක් යන කම්..රෑට නොදැනුවත්වම ඇඬ්ගිල්ල කටට යන එක නවත්තන්න නම් කොහොඹ තෙල් ආලේපය හරියටම වැඩ කළා..


"මම නම් තවත් නම් එක මල් ගහක්වත් හිටවන්නෙ නෑ මිදුලෙ"


කියලා ගමටම ඇහෙන්ඩ කෑගහලා අක්කලා දෙන්නා මල් පිපෙන ගස් වවන එක නැවැත්තුවෙ මගේ තවත් එක නරක පුරුද්දක් හින්දා..
දාස් පෙතියා, සපත්තු , පොකුරු වද, සීනියාස්, වතුසුදු, කැනාස්, රෝස, බාබන්ඩේසියා, ඩේලියා, වගේ මල් ගස් හොඳට වැවෙන පළාතක් හින්දා හිටෙව්වොත් මල් හදෙන එක අනිවාර්යෙන්ම වෙන සංසිද්ධියකදි ඇයි අපේ අක්කලා දෙන්නා මල් හිටවන්නෙ නැතුව, කෝලියාස්, ක්‍රෝටන්, වගේ ලස්සන කොළ විතරක් හැදෙන ගස් වගාවට මාරු උණේ ?උත්තරය බොහොම පැහැදිලියි. මගේ අවිඥානිකව සිද්ධ වෙන තවත් එක පුරුද්දක් තමයි..මල් පොහොට්ටක් පේන්න බැරි එක..මොකද මල් පොහොට්ටක් දැක්කහම..මගේ අතැඟිලි නලියන්න ගන්නව..කකුල් දෙන නොදැනුවත්වම වගේ ඒ දිහාට ඇදිලා යනවා..මල් පොහොට්ට..හෙමිහිට කඩලා අරන්..අර පිපෙන්න ඔන්න මෙන්න..තියෙන පෙති අතරින් ඇඟිල්ලක් දාලා..මල ඇතුළෙ තියෙන සුමුටු සුවය විඳින්න මම හරි ආසයි..ඊට පස්සෙ හෙමිහිට ඇඟිල්ල විදාරණය කරලා..මල් පෙති එක එක කඩලා අරගෙන ඒවයේ නහයට දැනෙන සියුම් සුවඳ විඳින්න මම හරිම පෙරේතයි..නෑඹුල් මල් රේණු හෙමිහිට කඩලා දිව මත තියලා ඒවයෙ තියෙන නා නා විද රසය විඳින්න මගේ මුව ඕනිම වෙලාවක සූදානමින් හිටියා.ගස් ජාති ගොඩක මල් ජාති වල රසය මම විඳලා ඇති..ඒ ඒ මල් වල තිබ්බෙ ඒ ඒ රසයන්..කෙහෙල් මල් වල දිගැටි පතුරු අතරේ අන්තිම කෙළවරේ තිබ්බ පැණි බිඳු කොයිතරම් නම් බීල ඇතිද ?
ඉතින් අපේ අක්කලා කොයි තරම් මල් ගස් හිටෙව්වත් එව්වයේ මල් නොහැදෙන එක අහන්න දෙයක්ද ?


අයියගේ එළවළු වගාවෙ බණ්ඩක්කා සහ වට්ටක්ක මල් කාලා අහුවෙච්ච දවසෙ දීපු වේවැල් පාර හින්දා ඒ පැත්තෙ නම් ඊට පස්සෙම ගියේ නෑ..ඒත් මල් පත්ති වල නම්..


ඕක උණේ මම පොඩි එකා සංධියෙදි උණත් ටිකක් දැනුම් තේරුම් යනකම්ම වාර ගණන අඩු උණත් ...ඒ පුරුද්ද හොරෙන් හොරෙන් උණත් කෙරුණා..අදටත් ගහක මලක් පොහොට්ටක් තිබුණොත්..බොහොම කලාතුරකින් ඒක කඩලා කන්නෙ මටත් නොදැනුවත්වම තමයි...
පස්සෙන් පහුවට ඔය පුරුද්ද නවත්තා ගත්තෙ නම් ගහක මල් හැදෙන්නෙ ඇයි කියන දේ පාසලෙන් හරියටම ඉගෙන ගත්ත හම තමයි..පස්සෙ මලින් මලට පැණි හොයන් යන, සමනලුන්, බඹරුන්, මී මැස්සන් ගස් වල ජීවය ඉදිරියට ගෙනියන්න ගෙඩි සාදන්න කරන මෙහෙය දුටුවහම තමයි මම මල් කෑවහම වෙන හානිය තේරෙන්න ගත්තෙ..


මල් පොහොට්ට කියන්නෙ ජීවයේ පැවැත්මට තබන පළමු වෙනි පියවra හින්දා කොහෙ හැදුණත් මල් පොහොට්ටු ආරක්ෂා කරන එක අපේ හැමෝගෙම යුතුකමක්..


සති අන්තෙ පත්තරේකින් හිත පාරවන ප්‍රවෘත්තියක් විදියට කියවුණේ මාසෙකට අවුරුදු 12-15 ත් අතරේ දරුවන් 150 ක් විතර අතවරයට පත් වෙලා ප්‍රතිකාර ගන්න එන බවත් එයින් 80%ක්ම ගැහැණු දරුවන් බවත් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල තමන්ගේ ළඟම පියා හෝ ඥාතීන් අතින් මෙය සිදුවන බවත්..හැමදාම කියවෙන විදියට මව රැකියාවට විදේශගත වීම තවමත් ලොකු සාධකයක් වෙනවලු මේකට...


මල් පොහොට්ටු හැදෙන්නෙ කඩලා බිඳලා විනාශ කරන්නෙ නෙවෙයි..අනාගතයෙදි පෙති විහිදලා නිසි කල ආවහම පිපිලා පල දරන්න..


ඇයි මේක හැමෝටම හිතන්න බැරි..???

22 comments:

  1. කතාව නම් 100% ක් ම ඇත්ත

    ReplyDelete
  2. අපේ සමාජය කොයිතරම් මානසිකව කුණුවූ සමාජයක්ද යන්න මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති වලින් දිනපතාම පැහැදිලි වෙනවා. මාධ්‍ය මගින් කෙරෙන ප්‍රදර්ශනාත්මක ධර්ම ප්‍රචාරය විහිළුවක් බව තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? හැදියාව පටන් ගන්න ඕනේ මා තුලින් මගේ ගෙදර තුලින් කියන එක අවබෝධ කරගත් දෙමවුපියන් බොහොම අඩුයි. ඔක්කොටම වඩා ලොකු සල්ලි හෙවීමේ තරගය.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම වඩා ලොකු සල්ලි සෙවීමේ තරඟය..සියළුම සමාජ පරිහානියට වග කියන්න ඕනි මේ කාරනය තමයි විචාරක..සල්ලි අවශ්‍යයි තමයි ඒත් සල්ලි හොයන් එනකොට රැක ගන්න තිබ්බ සේරම නැති වෙලා නම්.සල්ලි වලින් මොනා කරන්නද ?
      ජඩ මාධ්‍යයත් මේ හානියට වග කියන්න ඕනි...

      Delete
  3. භෞතික වශයෙන් නෙමේ අධ්‍යාත්මික වශයෙන් ලෝක විනාශයට හේතුවක් තමා අයියෙ ඔය...තමන්ගෙ දරුවන්ගෙ වයසෙ දරුවන් මේ මිනිස්සු මොන හිතකින් දූෂනේ කරනවද මන්ද....

    කතාව කියවන් යද්දි දාන්න හිතාගත්ත කමේන්ට් එක දැම්මෙ නෑ අන්තිමයට තියන ටික නිසා :D

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම පරස්පර විරෝධී කතන්දර දෙක එකට ඇමුණුවා...දමපු කමෙන්ට් එකට ස්තූතියි..
      අධ්‍යාත්මික පරිහානියේ ප්‍රතිපලයක් තමයි ඔය සිද්ධිය...

      Delete
  4. හරි මේකෙන් වෙනියාව කෙලින්ම පෝරකේට යවන්න පුළුවන්. දැන් උඹම කියනවානේ මල් පොහොට්ටු කඩලා දැම්මා විතරක් නෙමෙයි පැණිත් බීව කියලා.
    නඩු ගාස්තු ගෙවන්න ඕනේද මේකට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්න? හිටින් ණය වෙලා හරි සල්ලි හොයාගෙන බොට ගේම දෙන්න.
    ඊයේද කොහෙද මේ කතාව බීටලේ ලියලා තිබිලා දැක්කා. පුදුමය කියන්නේ මේ 2014දිත් මේවගේ දේවල් ලෝකේ කොහේ හරි වෙන එක. අපේ රට තියෙන සංස්කෘතිය හැදියාව ගැන කියවන එක පොඩ්ඩක් නතර කරලා අවධානය යොමු කරන්න ඕනේ යමක් මේ.

    ReplyDelete
    Replies
    1. හෆොයි මේ කතාව ලියන්ඩ ඉස්සෙල්ලා උඹ මේක කියවනවා කියලා අමතක උනා නොවැ..
      හොඳ වෙලාවට මම මල් වල නම් ලියලම තියෙනවා..
      පත්තර සහ අනිකුත් මාධ්‍යවල මේ සිද්ධීන් එන්න එන්නම වැඩි වෙන ප්‍රවෘත්ති තමයි ලියවෙලා තියෙන්නෙ..

      Delete
  5. අහා ලස්සන ආරම්බයක් වගේම අවසානෙට හිතට වදින්න දෙයක්.

    ReplyDelete
  6. සමාජය දැන් හුඟක් වෙනස් වෙලා වෙනී අයියේ.. හිතේ රිංගලා තියෙන ආශාවන් කොහෙන් හරි පිට කරන්නයි උත්සාහ කරන්නේ.. ඒ වෙලාවට කැකුළුද නැද්ද කියලා හිතන්නවත් ඒ හිත් වල ඉඩක් නැති තරම්..මේවා ඒ අයගේ මානසික අසංතුලිතයන්.. ඒත් අන්තිමේ දුක් විදින්නේ අහිංසකයන්..

    ReplyDelete
  7. එක අතකින් නීතිය ක්‍රියාත්මක නොවීම. අනිත් පැත්තෙන් ලිංගික සෞඛ්‍ය ගැන නිසි අධ්‍යාපනයක් නොමැතිකම.

    ReplyDelete
  8. සත්තු වගේ බොල දැන් ඉන්න හැත්ත හැදෙන්න. සීයා වුනත් විස්වාස නැහැ කොටන්න මිනිබිරිට කොටන්නමයි හදන්නෙ..

    ReplyDelete
  9. උඹ කියන එක හරියට හරි...

    ReplyDelete
  10. හැබැයි වෙනියියේ උඹ දෙවනියට කියන පොහොට්ටු තැලිල්ල අවිඥානිකව වෙන එකක් නෙවෙයි , එත් ඒ සම්බන්ධයෙන් සමාජය මීට වඩා සවිඥානිකව ඉන්නවනම් හොඳයි.

    ReplyDelete
  11. නිසි කලට නිසි අධ්‍යාපනය නොලැබීම මෙයට හේතුවෙනව කියන එක තමයි මගේ හැඟීම.

    ReplyDelete
  12. තරහ වෙන්න එපා කිව්වට. ලන්කාවෙ දරුනුම මට්ටමේ අපරාද සිද්දවෙන්නෙ ගම්වල. ප්‍රදාන හේතුව නූගත්කම සහ පහත් පෙලේ දේශපාලන ක්‍රමය. ඒ උනාට Radio, TVවල උගත් බුද්දිමත් මහදෑනමුත්තො ඈවිල්ල පම්පෝරි ගහන්නෙ ගමේ තියෙන සදාචාරය ගුනගරුකබව ගෑන. මටනම් මල පනිනව ඔය National ඇඳගත්ත හම්පඩ නාකි පන්ඩිතයන්ගෙ ගොන් කතාවලට. මේ අපරාද නෑතිකරන්න බෑහැ මේ Political System එක වෙනස්වෙනකල්. System එක වෙනස්වෙන්නෙ නෑහෑ සර්වජන චන්දබලය කියන ඔලමොට්ටල ක්‍රමය තියෙනකල්. තමන්ගෙ චන්දෙට තියෙන බලය තේරුම්ගන්න බෑරි මට්ටමේ නූගත් සහ සදාචාරයෙන් පිරිහුනු පිරිස් අතට චන්දබලය ලෑබුන දවසෙ තමයි මේ රටේ විනාශය ආරම්භවුනේ. සර්වජන චන්දබලය සහ නිදහස ලබන්න තරම් ලන්කාවෙ ජනතාව තවමත් සුදානම් නෑහැ කියල සුද්ද යන්න කලින් කිව්වෙ බොරුවට නෙමේ.

    ReplyDelete
  13. අපි සිවිලයිස් වෙච්ච එකේ වැ‍රැද්ද බං. නැත්නං ඕකෙ එච්චර ගානක් නෑ.

    ReplyDelete
  14. ඉස්සර පොඩි දවස්වල අපි ඕව කොරාට දැන් හැදෙන එවුන් ඕව කොරන්නේ නැහැ...

    ReplyDelete
  15. බොහෝ අය හිතන් ඉන්නේ ගසුත් අපේ ,පොහොට්ටුත් අපේ, මලුත් අපේ, ගෙඩිත් අපේ කියලනේ. ළමා අපචාර සම්බන්ධව රිදෙන දඬුවම් ලැබෙන්නේ ඇතුලට ගියාම හිරකාරයින්ගෙන් විතරයි කියලා මම අහලා තියෙන්නේ. මෙහේදි එහෙම අය ඇතුලට ගියාම අනිත් උන්ගෙන් හොඳ පෝරියල්ලු. අපේ රටේ ඇතුලට යවන එක තියා මූලික ක්‍රියාමාර්ගවත් සිද්ධවෙන පාටක් නැහැනේ.

    ReplyDelete
  16. ඇත්තටම මචන් කොයි රටෙද මෙව වෙන්නෙ.හරක් මරවට විරුද්දව ගිනිතියාගන්න මෙ රටෙනම් වෙන්න බැ

    ReplyDelete
  17. ඈ වෙනියෝ උඹට දැන්ද මේවගේ බර පතල කම තේරෙන්නේ.

    ReplyDelete
  18. "මල් පොහොට්ටු හැදෙන්නෙ කඩලා බිඳලා විනාශ කරන්නෙ නෙවෙයි..අනාගතයෙදි පෙති විහිදලා නිසි කල ආවහම පිපිලා පල දරන්න.."

    මේ කතාව මෙහෙම දැකලා එකෙක් දෙන්නෙක් වත් හැදුනොත් මදෑ වෙනියෝ . . .

    ReplyDelete
  19. ලියන්නාට ජයවේවා!

    ReplyDelete