ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, April 29, 2012

ක්ෂිතිජයේ ඉම සොයා...

මා ප්‍රිය සුහද, සුහදිනිය, මෙම නිර්මාණය මා මීට පෙර ක්ෂිතිජයේ ඉම සොයා රේඛා සහ සඳලී නමින් පල කර ඇති නිර්මාණයම සුළු වෙනස් කම් කීපයක් කිරීමෙන් අනතුරුව පල කරන්නක් බව කාරුණිකව සලකන්න. මෙම නිර්මාණය පිළිබඳ නැවත යම් අදහස් ලබා ගැනීමක අවශ්‍යතාවය ඇති බැවින් මෙලෙස නැවත පල කිරීමට අදහස් කලෙමි.
===================================================================

"රේඛා..... රේඛා... කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."




සමුදුරෙන්  නිරන්තරයෙන්ම නැගෙන හෝ හෝ හඬ ජීවිතයේ ජය හමුවේ නැගෙන විජයග්‍රහණයේ සංගීතය මෙන්ම, අනන්ත දුක්ඛ දෝමනස්සයන් හමුවේ හඬන හංස විලාපය වැනිය. සමුදුරේ හඬ දෙසවන් වැකෙන්නේ කොයි මොහොතේද එතැන මගේ දිවියේ සියලු භාවයන් ක්ෂණයකින් වැසීමට නොහැකිවූ පැන්ඩෝරාගේ පෙට්ටියේ වූ සියල්ල මෙන් මගෙන් නික්මී මා සමීප අවකාශයේ සැරි සරන්නේ නැවතත් , නැවත නැවතත් මා කිසිම වගකීමක් නැති සරල සැහැල්ලු කුඩා දරුවකු බවට පත් කරමිනි. මෙම විශ්මිතය තුළ කාලයේ බාධකයන් නොතකමින් මගේ සරල සුගම ධ්‍යානයන්ට සම වැදීම මගේ කිසිදා නොසන්සිඳුණු පිපාසයක්ම විය.


"කෝ මයෙ පුතා ඔය පොත් පාඩම් කරනවද නැත්නම් මුහුද කරේ බලන් හූල්ලනවද?"


කුස නොදැරුවත්, ලේ කිරි කර නොපෙව්වත්, වචනයේ පරිසමාප්ත අරුතින්ම අම්මා වූ මේ ආදරබර ගැහැනියගේ උණුසුම් අත මා හිස මත පතිත වන තෙක් මා මුනිවත රකින්නේ..මා කුමක් හෝ ඊට පෙර දෙඩුවොත් ඈ ගේ මේ උණුසුම, ආදරය, ආදරණීය ස්පර්ශය, අහිමි වෙතැයි සැලෙන බියෙනි. 

"මයෙ පුතා ඒ අම්මයි තාත්තයි ගැනද හිතන්නෙ? හිත හිතා හූල්ලන්නෙ ?  මායි තාත්තයි කතා කරගත්තා ඒගොල්ලන්ව හොයන්න..ඉන්නකො තාත්තා මේ සැරේ මූදුකරේ ගිහින් ආවහම අපි හොයල බලමු මයෙ පුතේ"

"අම්මට නම් පිස්සු..ඕවා දමන්න එපා තාත්තයෙ ඔළුවට එහෙම"

මා ආරුඪ කර ගත් නොරිස්සුමකින් පවසමි.
මාළු ඇල්ලීම සඳහා මාස ගණන් මූදුකරයට ගොස් විඩාබර ගතින් ආපසු පැමිණෙන පියාගේ සෙනෙහසින් දිදුලන දෑස මාගේ මනැසේ ඇඳෙන්නේ ක්ෂණයකිනි.
මා ජාතක නොකළත් එතරම් පිය සෙනෙහසක් මා සම වයසේ සිටින කිසිවකු නොලබන බව මා දන්නේ අත්දැකීමෙනි.

"මන් මාව දමලා ගිය අය ගැන හිතන්නෙ නෑ මයෙ අම්මෙ.. මන් මේ  ඉස්කෝලෙ උගන්නපු පාඩමේ තියෙන කරුණු ටිකක් පත්තරවල තිබ්බ දේවල් ටිකක් එක්ක ගළපලා ඒ ගැන හිත හිතා උන්නෙ.."

"මට ඕවා දැනෙන්න මන් ඉස්කෝලෙ ගිය එකක්යැ? ඉන්න මන් මයෙ පුතාට තේ එකක් හදන් එන්නම්"

මව හා පියා කිසිම දිනෙක මා හට නිකම්ම පුතා යැයි අමතන්නේ නැත. ඔවුන් සැමදා මා ආමන්ත්‍රණය කරන්නේ "මයෙ පුතා" යන ආදරණීය වදනිනි.
ඉන්න හිටින්නට  මහ විශාල මාලිගාවක් නොවූවද සුව පහසුව , සෙනෙහස පිරුණු කැදැල්ලක් අපට තිබුණි. පියා මූදු රස්සාවද, පියාගෙ දැඩි අකමැත්ත නොතකා මව අසල සංචාරක හෝටලයක පිරිසිදුකරන්නියක් විලස සරි කර ගත් සියල්ලම වියදම් කළේ මගේ අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහායි.
කුඩා කල සිටම සමුදුර දිවියේ කොටසක් වූයේ සමුදුරු දිය මා හට මගේ හොඳම කල්‍යාණ මිතුරු තෙම වූයේ..මා පිහිනීමේ, රළ මත ලිස්සා යාමේ සහ කිමිදීමේ ශූරයකු කරමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ මා දෙමාපියන්ගේ සාඩම්බරය ඉහළ නංවමින් පාසල් කාලය තුළදීම ජාතික පිහිනුම් සූරතා කීපයක්ම දිනා ගැනීමත්, මා තව තවත් මහ මුහුදට ආදරය කිරීමත්ය. එකිනෙක පරයා නැගෙන රළ ගෙඩි අතික්‍රමණය කර පිහිනීම සහ ජයග්‍රහණය කරා යාම මගේ එකම අදිටන වූයේ මෙන්ම එසේ නොවන කල මා මහත් කැළඹීමකට පත්වීම නිරාකරණය කර ගැනීමට කෙසේවත් නොහැකිවිය.

"ඇයි පුතේ දිනුවහම වගේම පැරදුනහමත් හිත හදා ගන්න මයෙ පුතා පුරුදු වෙන්න ඕනි "

විටෙක බෝට්ටුව පුරවා මාළු රැගෙන එන තවත් විටෙක එම උපේක්ෂා සිතින්ම හිස් අතින් ගෙදර එන පියාගේ ජාන මට නොතිබිණි. ඔහු මා ජාතක කළා නම් කෙතරම් මැනව දැයි සිතුණ වාර අනන්තය. 

"මයෙ පුතා දිනුවම සතුටු වෙනවා වගේම මේ වගේ පොඩි පොඩි පරාජයන් වුණත් මැදහත් හිතින් ඉවසන්න පුරුදු වෙන්න..ඉන්න අපි තව පාරක් විභාගෙ කරමු"

සරසවි සිහිනය ලකුණු දෙක තුනකින් බිඳ වැටෙද්දී බිඳ වැටුණු මාගේ හිස අත ගාමින් පියා දෙඩූ වදන් දින කිහිපයකින් මා නැවතත් සතුටට පත් වූයේ මා ජයගත් ජාතික ක්‍රීඩා නිසා විශේෂ සරසවි පිවිසුමකට් මා ලක් වීම නිසාය. මාගේ ප්‍රියතම පරිසරය අත හැර නගරයට ආගමනය එසේ සිදු වුවත් ඉඩකඩ ලද හැකි හැම විටකම මා දිවගියේ මගේ ජන්ම භූමිය වෙතටයි.
සයුර නිසාම දිවිය දිනූ මා පසුව ජාතික තලයක ක්‍රීඩා උපදේශකයකු වීමේ භාග්‍යය ලද්දේ අග නගරයේ ස්ථීර පදිංචියට ඒම අකමැත්තෙන් වූවද සිදු වීය. කෙතරම් වද කළත් මව හෝ පියා කිසි දිනයක නගරයේ ස්ථීර පදිංචියට නොආවේ නමුත් මා හැකි හැම විටම ඔවුන් හා රැඳෙන්නට පසුබට නොවීමි. රේඛාගේ ආගමනය මගේ ජීවිතයට නව අරුතක් ගෙන ආවේ දිවිය තව තවත් යහපත් අතට පත් කරවිමිනි. 

"මොනවද ඔට්ටු පුතෙක්..හරියටම ඔයා වගේ පුතෙක් තමයි මට ඕනි"

රේඛා අපහසුවෙන් වූවද මහත් උද්දාමයෙන් පවසන්නී,

"මට නම් දුවෙක් නම් වැඩිය හොඳයි..එතකොට පස්සෙ අක්කා මල්ලියෙක්ව බලා ගනීනේ හොඳට"

"මල්ලියෙක්..හිතලා තියෙන දුර.." 

ඈ සිනා සලයි.

"පුතෙක් හරි දුවෙක් හරි..බලමු බලමු.."

අවසානයේ මගේ අනාවැකිය නිවැරදි කරමින් අපගේ දිවියට සඳලී දියණිය පැමිණියේ පරිපූර්ණ දිවිය යන්න කුමක්ද යන්න අප හට පසක් කරවමිනි. මිනිපිරිය සමඟ කාලය ගත කරන්නට මා මව හා පියා වැඩිපුර කාලයක් ගත කළත් සමුදුර හා බැඳුණු ගෘහය ඔවුන් කිසි දින අමතක කළේ නැත. ඉසුඹු ලද අඩියේ අප තිදෙනද වහා දිව යන්නේ..අපගේ ක්ෂේම භූමියක් වන් සයුරු අබියස අපගේ මාලිගයටයි. මුලින් අකමැත්ත දැක්වූවද පසුව රේඛාද මුහුදට ආලය කරන්නට වූයේ..පිහිනීමටද යම් දස්කමක් දැක්වූවාය.සඳලීට අවුරුදු තුන පිරෙද්දී අප තවත් දරුවකු ලබා ගැනීමේ උත්සාහය නිරර්තවූයේ අපගේ දිවිය යම් කිසි කම්පනයකට පත් කරවමිනි. ගැබ පීහිටා තුන් මස යද්දී ඇගේ ශරීරය එය ප්‍රතික්ෂේප කළේ..ඈ මහා විශාල ජීවිත අනතුරකට පත් කරමිනි.

"මිස්ටර් ලියන්නා අපිට රේඛාගේ වූම්බ් එක අයින් කරන්න වෙනවා..වෙන ඔප්ෂන් එකක් නෑ. සතුටු වෙන්න දුව ඉන්න එක ගැන..ඕනිම නම් පුතෙක්ව ඇඩොප්ට් කරගන්නත් පුළුවන් පහු කාලෙදි"

මෙන්න මේ ආකාරයට අප දෙදෙනාගේම පුත් සිහිනය බිඳ යද්දී..

"පුතේ අපි ළමයි වැදුවෙ නෑ..ඒත් හැදුවා පුතාව.. වෙන අම්මලා පුතාලා පහු කාලෙක දෙගොල්ලො ගැනම පසුතැවිලි වෙන කාලෙක බලන්න අපේ දිහා..අපි මේ ඉන්නෙ සතුටින්ම..ඕක එච්චර දුර හිතන්න ඕනි නෑ..හිත හදා ගෙන කාලෙක අපි පුතු පැටියෙක්ව අරන් හදා ගමු"

මගේ දෙමව්පියන්ගේ සහ රේඛාගේ අදහස මෙය වූවත් මාගේ නියම ජාතක පියා හා වැදූ මව මෙන් කිසිදා පුතකු තම නියම දෙමාපිය තුරුළින් ඉවත් නොවිය යුතුයි යන මතයේ දැඩිව සිටි මා නිසා ඔවුන්ද පුතකු අරන් හදා ගැනීම පිළිබඳ අදහස අත් හැරියෝය. කාලයත් සමඟම සඳලී අපගේ මහාර්ඝ වස්තුව බවට පත් වූවා සේම අප දෙදෙනාගේම දිවියේ විශාලම පංගුව ඈ අත් කර ගත්තාය.

මේ හේතුව නිසාමදෝ සඳලීගේ කුඩා අසනීපයකදී පවා අප දෙදෙනාම ඉතා සැලකිලිමත් වීමු. ඇයද මා මෙන්ම මහත් ලෙස සයුරට ඇලුම් කළාය. රන්වන් පැහැ වෙරළේ කුඩා රැළි නැගෙන වාර වල ඈ සිනා නගමින් සිටින්නේ..මා මෙන්ම ඈද දෙපා කිතිකවමින් යටි පතුල් යටින් සිහින්ව ඇදී යන දිය රැළ සහ වැලි කැට වල සියුම් පහස විඳ ගනිමිනි. කුඩා කල සිටම මා දවසක් වූවද මෙලෙස වෙරළේ සිට ගෙන සිටීම ප්‍රිය කළේය. ගන හිරුරැස් වල දැඩි බව මැකීමට නිරන්තර ව නගන සුළං රැල් සහ එම සුළං රැල් සමඟ තොලේ දැවටෙන සිහින් ලුණු රසය කිසිදා එපා නොවන කුඩා සංසිද්ධීන් සමූහයකි. එසේම දෙසවන හරහා මනස තුළට  කා වදින සයුරේ නොනවතින සංගීතය කිසිදා එපා නොවන මහා රස ගුලාවක් වීය.




"ඔයාගෙම පොඩ්ඩීනෙ ඉතින් කොහොමද බීච් එකෙන් එහෙ මෙහෙ කරන්නෙ ? බීච් එකෙන් ගෙදර එක්කන් එන්න හදන කොටත් අඬනවා.."

රේඛා නිතරම මවාගත් නොරිස්සුමක් මා වෙත පල කළාය. 
අපගේ නගරයේ නිවසේ සිටි මෙහෙකාරිය නිවාඩු ගිය සතියක මා හට හදිසි කැඳවීමක් ලද්දේ මාගේ සහායක උපදේශකවරයාගේ හදිසි අසනීප තත්වය නිසාමය. පුහුණු වාරයන් සියල්ලම යොදා තිබුණේ නගරයෙන් පිට ස්ථාන වල නිසා මා රේඛාට යෝජනා කළේ ඈ සඳලී සමඟ මා දෙමාපියන් වෙත යායුතු බවයි. මන්ද යත් රේඛාගේ මහ ගෙදර සිටීමට වඩා ඈ ප්‍රිය කළේ මෙම සයුරු පරිසරයට වීමයි.

"රේඛා ඩාලිං මන් ට්‍රේනිං එක ඉවර කරපු ගමන්ම එන්නම් එහෙ..අපි වීක් එන්ඩ් එකත් එහෙ ඉඳලම ආයි එමු.  ඊට පස්සෙ වීක් එන්ඩ් එකේ අපි ඔයාලගෙ අම්මලගෙ ගෙදර යන්. එතකොට හරිනෙ"

අහේතුක මද නොරිස්සුමක් මධ්‍යයේ වූවද ඇය මගේ අදහසට එකඟ වූයේ..අපගේ දෛවයේ කුරිරු සරදමට එරෙහි වන්නට ඈට සිත් පහළ නොවුයේ මන්ද යන මගේ පිළිතුරු නොමැති ප්‍රශ්නය අදටත් ඉතුරු කරමිනි.
පුහුණුවාර කීපයක් අවසන මා හට හදිසි ඇමතුමක් ලද්දේ..මා වහාම මගේ දෙමාපිය නිවස වෙත යායුතු බවට ආ පණිවිඩයත් සමඟය. සඳලී අසනීපව ඇත. පියා කිසිවිටක දුරකථනය රේඛාට නොදුන්නේ මාගේ සිත මදක් කෝපයෙන් මුළුගන්වමිනි.

"මයෙ පුතා එන්නකෝ ගෙදර හනික..ඇවිත් අපි කතා කරමු"

"තාත්තා මන් එනකම් ඉන්නෙ නැතුව සඳලීව එක්කන් යන්න චැනල් සර්විස් එකට රේඛත් එක්කම. මන් කෙළින්ම එතනට එන්නම්.. මන් ගෙදර එනවට වඩා එතනට එන එක ලේසිනෙ.. ෆෝන් එක දෙන්න  රේඛා ට"

"පුතා ගෙදර එන්නකො"

මා කෝපයෙන් මුත් කිසිත් නොකියා දුරකථනය විසන්ධි කළෙමි. 
මා කෝපයෙන් යුතුවම වාහනය ගෙදර මිදුලේ නැවතූයේ..නිවස අවට සිටි පිරිස දැක තරමක් මවිත වූයේ..

"කෝ රේඛා..අම්මේ..?"

මව හඬමින් උන්නාය. 

"මොකද මේ කෝ රේඛා ? කෝ සඳලී ?" 

මා කෝපයෙන් හා වික්ෂිප්තයෙන් ගැහෙයි.

"මයෙ පුතා ඒ දෙන්නවම අද උදේ බීච් එකේ සෙල්ලම් කර කර ඉද්දී දියඹට ගහ ගෙන ගිහිල්ලා තවම හොයනවා "

ඒ පියාගේ කටහඬද ? 

කිසිවකු මා නවත්වන්නට හදනවාත් ඔහු පසකට විසිවනවාත් සමඟම මා ඊළඟ මොහොතේ සිටියේ දිය රැළි අතර පිහිනමිනි. .. මා වටා කරකැවෙන බෝට්ටු රැළ වදෙන් පොරෙන් මෙන් මා එක් බෝට්ටුවක නංවා ගත්තේය.එහි වූ අයකුගේ කිමිදුම් කට්ටලය ඇඳ ගත් මා සිහිය විකල් වූවකු මෙන් එහි වූ ඔක්සිජන් ටැංකිය අවසන් වන තුරුම මුහුද පතුල පීරා බැලුවේ රේඛා හෝ සඳලීගේ ජායාවක් වත් නොදිටිමි..මෙය කෙලෙස විණිද යන්න ගැන කිසිවකු විටින් විට කියවයි. ඒ මගේ මවද,පියාද මට මතක නැත. 

රේඛා මාව දමලා ගිහින්..

රේඛා ඇයි මාව මෙහෙම දමලා ගියේ.. මට පිස්සු හැදෙයි..

ඇයි රේඛා සඳලිවත් එක්කරගෙන ගිහින්..

ඇයි සඳලීව එක්ක ගෙන ගියේ ?

කෝ රේඛා...

කෝ සඳලී ?

දිවිය පුරාවටම සයුරු දිය රළට මා පරාද කල නොහැකි විය.. හුස්ම ගැනීමට නොහැකි වනතුරුම දිය රැළි අතර සෙවුවද ඔවුන් ???

මෙය සිහිනයක්ම විය යුතුයි. බියකරු සිහින මා දැක නොමැත. නමුත් මෙය මා දිවියේ දකින මුල්ම බියකරු සිහිනයයි. මා මෙම නින්දෙන් අවදි වන්නේ කුමන වෙලාවෙද යන්න සිතමින් මා බලා සිටියෙමි. නමුත් බියකරු ගොර බිරම් සිහිනය මට තවමත් පෙනෙයි. වියරුවෙන් මෙන් බදා ගත් රේඛාගේත් , සඳලීගේත් සිරුරු දෙක ගොඩ ගසා ඇත..චාම් මල ගෙයක් මා දෑස අබියස මැවෙයි.යහළුවන්, සේවාස්ථානයේ සිටින්නන් හා නොහඳුනන මහා පිරිසක් එයි.. යයි..ඔවුන් මා සනසන්නටදෝ මොනවාද කියයි...සිහිනය තවම මා අවදි කරන්නේ නැත..කවුරුන් හෝ මා තදින් සොලවා අවදි කල යුතුයි.. ඒ කවුද රේඛා ම විය යුතුයි.

මා සෙමෙන් දෑස හැර බැලුවෙමි..අත පය බැඳ දමා ඇති සේය. මා තවමත් දකින්නේ සිහිනයද නැත්නම් මා සැබවින්ම ඇහැරී ඇත්ද? මුළු ශරීරයම වේදනාවෙන් ඇදුම් දෙයි. සිහියත් අසිහියත් අතර කිසිවකු, කුමක්දෝ නොදන්නා හේතුවකට  මා හට වේවැලකින් දැඩිව පහර දුන් බවක් හැඟේ. ඒ මා මේ සිහිනයෙන් මුදවා ගැනීමට විය යුතුයි. වේදනාවෙන් තැවෙන තැන් අත ගා ගැනීමට දෙ අත ඔසවා ගත නොහැක. හිස මදක් හරවා බැලීමි. මා අසලම අත පොව්වන මානයේ සඳලී නිදා ගෙන සිටිනු පෙනේ. ඇගේ ලා රෝස පැහැ කම්මුල් රන්වන් පැහැ කෙහෙරැළි වලින් වැසී ඇත. මදකින් ඈ අවදි වනු ඇත. රේඛා ඇයගේ යෙහෙළියක් සමඟම මා නිදා සිටි ඇඳ අසලම කතා කරමින් සිටිනු පෙනේ. 

"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
-------------------------------------------------------------------------------
"ආ මිසී කමලා මේ ලියන්නා ඇහැරලා දැන්..බෙහෙත් ටික දෙමුද ? "

"පොඩ්ඩක් ඉන්න චාට් එක බලන්න ඊයෙ රෑ ඉන්ජෙක්ෂන් එක දුන්නෙ එකොළහ හමාරට නේද? දැන්ම එපා. තව පැයකින් දෙමු.පහු ගිය දවස් ටිකේම සද්ද බද්දයක් නැතුව හිටි මිනිහට ඊයෙ මොකද වුණේ රම්‍යා ?"

"ලොකු මිසී මන් කේලම් කියනවා හෙම නෙවෙයි. ලියන්නා කොහොමත් ඔය බෝනික්කා ළඟ තියෙන කම් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා. ඊයේ අර සිරිපාල මරුමුස් ඇටෙන්ඩන් කාරයා බෝනික්කව බලෙන්ම අරන් වහල උඩට වීසි කළා. හොඳ පාරක් වැදුණා සිරිපාල කාරයාට..ඊට පස්සෙ තමයි ඔය කලබල සේරම"

"ලොකු යුද්ධයක් කළාලු නේද කන්ට්‍රෝල් කර ගන්න?"

"ඔව් ඔව් ඔය අත් කකුල් වලට බෙල්ට් දැම්මෙත් බොහොම අමාරුවෙන් ඩියුටි හිටි සේරම අල්ලලා..පවු ලොකු මිසී  කන්ට්‍රෝල් කරන්න බැරි තැන අර මරුමුසා අන්තිමේ වේවැලෙනුත් ගැහැව්වා හොඳටම, මන් බලා ඉන්න බැරි තැන යන්න ගියා. ඩොක්ටර් ඇවිත් තමයි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ.. එතකොට නින්ද ගියා..මම සේනට කියලා වහලෙන් අරගෙන බෝනික්කව ඔන්න ළඟින් තිබ්බා. ඇයි මිසී ලියන්නට මොකද වෙලා තියෙන්නෙ ? කවුද රේඛා කියන්නෙ ? මට කතා කරන්නෙ රේඛා කියලයි. කවුද මිසී සඳලි කියන්නෙ?"

"වයිෆුයි, දුවයිනෙ. දෙන්නම මුහුදෙ ගිලිලා මළා.ඒ නිසයි ලියන්නට පිස්සු හැදුණෙ, දන්නවද රම්‍යා ලියන්නා කියන්නෙ නම්බර් වන් ස්විමින්ග් කෝච් කෙනෙක්.  එහෙම වෙලත්  එයාට එයාගෙ නෝනවයි, දුවවයි බේරා ගන්න බැරි උණා. ඔළුව අවුල් වෙන එක අහන්න දෙයක්යැ? ඔයාට රේඛා කියනව නම් පරිස්සම් වෙන්න රම්‍යා මතකනෙ ඉස්සෙල්ලා සුසිලාට වෙච්ච දේ අර සුනිල් කියන පිස්සා මුළු ඇඟම හපාකාලා තිබුණා."

"අනේ නෑ ලොකු මිසී මගේ අතින් අල්ලන් රේඛා රේඛා කියලා එක එක දේවල් කියවනවා..සඳලී ගැනයි සඳලීගේ අනාගතය ගැනයි.මේ බෝනික්කා සඳලී කියලා තමයි හිතන් ඉන්නෙ. ලියන්නව සනීප කරන්න බැරිලුද මිසී ?"
"බෑයි කියලයි කියන්නෙ.මොළේ කෙමිකල් ඉන්බැලන්ස් එක ස්ට්‍රෝන්ග්ලු. බැලන්ස් කරන්න ස්ට්‍රෝන්ග් මෙඩිසින් දුන්නොත් සයිඩ් ඉෆෙක්ට්ස් වැඩීලු.ඒත් දිග කාලයක් බෙහෙත් දුන්නොත් හරි යන්නත් පුළුවන්ලු. රම්‍යා එහෙනම් පැයකින් බෙහෙත් ටික දෙන්න. මන් කිව්වා කියලා කියන්න සිරිපාලට ඔය බෝනික්කව ලියන්නගෙන් උදුර ගන්න එපා කියලා..ඒ පිස්සට බෙහෙත් දෙන්න ඕනි ඉස්සෙල්ලම"
--------------------------------------------------------------------------
" රේඛා... රේඛා...අනේ සඳලිව මගේ උකුලෙන් තියන්න රේඛා.. රේඛා ඔයයි , සඳලිවයි නැතුව මට පිස්සු හැදෙයි රේඛා .."

-නිමි-

23 comments:

  1. සුපිරි... දෛවය වෙනස් කරන්න අපි කාටවත් බෑ මචන්..

    ReplyDelete
  2. නියමයි.. වෙන්න තියෙන දේ වෙනවා නේ.. ජය!

    ReplyDelete
  3. මේ කතාව මුලින් කියවපු දවසට වඩා අද ටිකක් වැඩි වේදනාවක් දැනුනා...ඒකට හේතුව මානසික රෝහලකදි අත්දැකපු සිද්ධියක් පිළිබඳව මගේ මිත්‍රයෙක් මට කියපු කතාවක්... මානසික ලෙඩ්ඩුන්ව පාලනය කරන්න කීප දෙනා එක්ක පහරදෙනවලු.අධ්‍යන කටයුත්තකට මානසික රෝහලකට ගියපු හෙද සොයුරියකට පහර දීම නිසා තමා ඒ රෝගියට පහර දීලා තියෙන්නේ.පහර කනකොට ඒ රෝගියා කියලා තිබුනේ

    "ඒ මිස්ගේ මූනෙන් කිරණක් එනවා මං දැක්කා ඒකයි ගැහුවේ මං බයවුණා"

    කියලා.ඇත්තටම ඒ රෝගින් කියලා නොහිතා එහෙම සලකනවා කියලා ඇහුණම සෑහෙන්න දුකයි.වෙනි අයියා මේ කතාව මුලින් දාපු දවසේ දාලා තිබුණු කොමෙන්ට් එකත් මට මතක්වුණා.එහෙව් තැනකට ගිහින් බලන්න ඕනේ දුක තේරුම් ගන්න....

    ඔයාගේ ලිවීමේ හැකියාව උපරිමයි අයියේ.මුල චුට්ටක් වෙනස් කරපු වගක් දැනුනා.මේ වගේ සිද්ධියක් අපිට උනොත් කියලා හිතලා බලනකොටත් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. "එහෙව් තැනකට ගිහින් බලන්න ඕනේ දුක තේරුම් ගන්න"
      අපි එන්නම් වෙලාවක ගෙවල් පැත්තෙ

      Delete
  4. මම නම් කියෙව්වේ පලවෙනි පාරට. හරියට හිතට දැනෙන කතාවක්! පිස්සු හැදෙන වැඩක් නේන්නම්....

    හිතට දැනෙන විදියට ලියලා තියනවා. අන්තිම හරියට එනකල් කතාවේ අවසානය හිතා ගන්ට බැරි උනු එකත් කතාවේ රසය වැඩි කරනවා. හරිම දුකයි.:(

    ReplyDelete
  5. මන් ආසම එකක්
    අවසානය දැනගෙන හිට්යත් තප්පරයක්වත් ඇහැ ඉවතට ගන්නේ නැතුව එක හුස්මට කියෙව්වා

    ReplyDelete
  6. ගැමියා කියනවා වගේ මානසික රෝහල් වල පහර දීම් වගේ පීඩා වෙනවා මමත් පුද්ගලිකවම දැකලා තියෙනවා. සමහර වෙලාවට පාලනය කරගන්න බැරිම වුනාම පහර දීම්, බැඳ දැමීම් කරන්න වෙනවා ඇති. ඒත් එතනින් එහාට අනවශ්‍ය ලෙසත් සේවකයින් අතින් ඒවා සිදු වෙනවා. ඒ වගේම පිටස්තර සමාජයේ වගේම බලපුළුවන්කාර අය (රෝගීන්) අතින් දුර්වලයෝ එතනදී පීඩාවට පත් වෙනවා.

    කතාවනම් සුපිරි. +++++

    ReplyDelete
  7. මාත් පලවෙනි පාරට කියෙව්වේ . ඔබ නම් නියමම ''ලියන්නෙක් ''

    ReplyDelete
  8. ලියා මං මුකුත් කියන්න ඕනි නෑනේ.. උපරිමයි....

    ReplyDelete
  9. නියම කතාවක්. එක අතකට දෛවය කියන්නේ මහා පුදුම දෙයක් නේද...
    :(

    ReplyDelete
  10. වෙනි අයියා මං කියන්න ඔන්නැනේ..දැන්වත් අර පොත ප්‍රින්ට් එකට දැම්මොත් නේද හොඳ

    ReplyDelete
  11. දෙවෙනි වතාවටත් මේ කතාව කියෙවුවේ අයියේ.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  12. මාත් පළමු වතාවටයි කියෙව්වෙ මෙහෙම කතාවක්....හරිම සංවේදී කතාවක්.....

    ReplyDelete
  13. සුපිරි කතාව. ඒක ඉතිං ආයෙ කියන්න දෙයක් නැහැනෙ

    ReplyDelete
  14. නියමයි වෙනි අයියේ

    ReplyDelete
  15. මෙන්න කතා... අයේ ඉතින් කෙලින් කරන්ඩ දෙයක් නෑ....

    තව තවත්, තව තවත්... මේවාම ඕනා..

    ReplyDelete
  16. මම කීසැරයක් මේ කතාව බැලුවද කියන්න මතක නෑ වෙනී මාමේ.....ඇත්තටම කියන්න වචන නෑ......සුපිරී.............

    ReplyDelete
  17. කලින් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා එදා වගේම අදත් දුක දැනුනා.ලියවිල්ලනම් නියමයි..

    ReplyDelete
  18. කතාව මොකක්ද කියල දැන දැනත් මම මේ කතාව අයෙමත් කියෙව්වා. ඔබ ලිව්ව කතා වලින් අංක එකට තේරෙන කතා වලට මේ කතාවත් අයිතියි. මටනම් වෙනසක් දැනුනේ නෑ කතාවේ.. එහෙම එකක් තියනවද කියල ඇත්තටම මම සැලකිලිමත් උනෙත් නෑ.

    ReplyDelete
  19. කතාව නම් මම කලිනුත් කියවලා තිබ්බා තමයි. ඒක හොඳ නිර්මාණයක්. ඒ ගැන නෙමෙයි විවාදය.
    උඹ මේක ආයි දාලා අපේ අදහස් නැවත විමසනවා කියන්නෙ මාරයා යෝජනා කරපු විදියට අපිව යොදාගෙන උඹේ මනෝවිද්‍යාත්මක පරීක්ෂනයක් කරන්නනෙ.

    මෙයට චිත්තප්‍රීතියට පත් ඔබගේ
    henryblogwalker the guinea pig Dude

    ReplyDelete
    Replies
    1. අත් දෙකම උස්සල එකඟයි...
      අද ලොග් වෙන්න බෑ, මේ වෙන කෙනෙක්ගේ කොම්පීතරයක්

      ක්සැන්ඩර් | Xander

      Delete
  20. පළවෙනි වතාවට කියෙව්වේ මලේ .. සංවේදී කතාවක් අපූරුවට ලියවිලා තියෙනවා ..

    ReplyDelete
  21. ගෝඩාක් කල් ඔයාගෙ බ්ලොග් එක කියවනවා වෙනී අයියෙ ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ.ඇත්තටම ඒ තරමට කතාව සංවේදියි.

    ReplyDelete