ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, November 13, 2011

බූරු තැපීම - අවසාන දිග හැරුම

මෙහි පළමු වන සහ දෙවන කතාව මීට පෙර පළ විය...
-----------------------------------------------------------------------
මගේ මුළු ඇඟම පණ නැති වෙන්නාක් මෙන්ය. ඒ අතර බෝතලයට වතුර පුරවමින් සිටි පොලිස් අක්කා අප දෙසට හැරුනාය.

  "ආ මොකෝ ලියන්න මල්ලි ? කොහොමද දැන් අවුරුදු උත්සවේ වැඩ. ?"
ආ මේ දයානි අක්කනෙ...


"මොකද 
සමරේ අයියා ඔය ලියන්නාව අල්ලගෙන ඉන්නෙ ?"

ඒ අවසරයෙන් මා


"අයියෙ, මන් ටුක් ගාලා එන්නම් "



ලද අවසරයෙන් මා පැන ගත්තෙ වැසිකිලියටයි.  හිතේ හැටියට මද විරාමයක් ගෙන දෙවරක්ම අවශ්‍යතාවය ඉටු කරගත් මා එළියට ආවේ දරුණු යුද්ධයකින් පරාජය වීමට ඔන්න මෙන්න තිබියදී වර්ශාව නිසා කල් දැමූ පසු ගෙදර එන සෙබලකු සේය.

මා එළියට එනවිට දයානී අක්කා බෝතලය එක අතක තබා ගෙන අනිත් අතින් බිත්තිය අල්ලාගෙන දෙකට නැවී ගෙන හිනා වෙමින් සිටියාය. සමරේ අයියාද සිනහාවෙමින් සිටියද මා දුටු වහාම මුහුණ වෙනස් කර ගත්තෙ..


  "අහු වෙනකන් තමයි හිටියෙ.. ඕක තමයි දයා කියන්නෙ හොරු අපිව හොයා ගෙන එනවා කියලා "



" යන්න අරින්න සමර අයියෙ ඔය පොඩි එකාව මන් යනවා ඩියුටි "



ඒ දයානි අක්කාය.

" මෙච්චර හොරු අල්ලපු මට බෝලෙ බස්සල එදා පැන ගත්තා..අද තෝව ඉවර කරනවා "


 කියමින් මගේ අත දැඩිව අල්ලාගෙන අසල වූ මල් පාත්තියෙන් වූ අතුරු පාර දිගේ මාව ඇද ගෙන යන්නට වූයේ සමරෙ අයියායි.  මරන්න ඇද ගෙන යන හරකෙකු මෙන් මාද ඊළඟට වෙන්නේ කුමක්ද යන්න සිතමින් සිටි අතර
 ආ මේ කොහෙද මේ අරන් යන්නෙ ? ඒ පොලිස් භටයන්ගේ නිළ නිවාස පිහිටි ගොඩනැගිල්ලයි.  සමහර අය තවමත් නිදිය.. සමහරු මදුරු දැල් අස්සෙන් ඔළුව එලියට දමමින් අප දෙස බලයි.


මොකද සමරෙ ඔය පොඩි කොල්ලෙක් අල්ලා ගෙන උදේ පාන්දරම ? " 


  "අපොයි උඹ ළඟදි ගෙදර ගියෙත් නැහැ නේද ?  ඔන්න ඔය කොල්ලට යන්න ඇරපන් බන්.."


  "මේ උඹලට මතකද මන් අවුරුද්ද සතියෙ අර කිව්ව සීන් එක ? අච්චර දරුණු හොරුත් මගෙන් බේරිලා ගිහින් නැති එකේ ..එක අච්චාරු කුක්කෙක් මගෙන් පැන ගත්තා කියලා..ආන්න ඌ තමයි  මේ!අද ආවා මට බාර වෙන්නම."


සරඹ පෙළපාලියකදී සීරුවෙන් සිටින් යන විධානය ඇසූ භට පිරිසක් මෙන් මෙම කතාව ඇසූ සියල්ලෝම මා දෙස බලන්නට වූයේ සත්ව උද්යානයකට අළුතෙන්ම ගෙනත් දැමූ සත්වයෙක් නරඹන පිරිසක් මෙනි. මදුරු දැල් අතරින්ද, සපත්තු පොලිශ් කරමින්ද, සමහරු නාන කාමරයේ සිට එළියට පැමිණෙමින්ද මා දෙස  බලන්නට වූයේ..මා වික්ශිප්ත කරමිනි.


"සමරෙ අයියගෙන් පැන ගත්තා කියන්නෙ මූ නම් ඉස්සරහදි නොම්මර එකේ අයිආර්සී කාරයෙක් වෙනවා සුවර් එකටම"

"යකෝ ජීවිත කාලෙටම මූව හිරේ දමලා තියන්න ඕනි අද ඉඳලම"

"උඹ දැනන් උන්නෙ නැද්ද සමරෙ අයියා ගැන මීට ඉස්සර වෙලා"

"කොහෙ දැන ගන්නද බන් දැන් මෙහෙට ඇවිත් සති දෙකයිනෙ"

"අම්මට සිරි මේ අපේ ලියන්න මලයා නේද?"

"යකෝ මූ ඉස්කෝලෙ ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගෙයි"

"මොන දෙකද බන් මුන් තමයි ගිය අවුරුද්දෙ පොලිසි වත්තෙ කුරුම්බා හොරෙන් කෑවෙ හවුස් මීට් කාලෙ"

"දැන්මොකද සමරෙ අයියා මූට කරන්නෙ ?"

"ගහමුද ධර්ම චක්‍රයෙ ?"

"පිස්සුද බන් මේ දැන් මාව දැකපු පාරටම  මූට කලිසමේ චූ ගියා.. බය වෙච්ච බය විල්ලට.. ඒ මදෑ ! මේකා මගෙ ලොකු කොල්ලගෙ වයසෙමයි..මට ඌව මතක් උනේ බන්.."

සියළු කතා මැද මට මේ හැඟුම් බර කටහඬ ඇසුනේ අර බුරුසු රැව්ල නටවමින් අඩි පොළවේ හැප්පු ගොරහැඩියාද යන්න හරියටම නිශ්චිත කර ගැනීමට කර ගැනීමට පසු පස හැරී සමරේ අයියා දෙස බැලූ මා හට දැක ගැනීමට හැකි වූයේ ජීවිතයටවත් අමතක නොවන දර්ශණයකි. 
ඒ අවස්ථාවේ පොලිස් යුනිෆෝමයක් හැඳි දයාබරම දෑසක් මා වෙත එල්ලවී තිබිනි. ඝන රැවුල අතරින් ඇඳී ගිය හෘදයාංගම සිනහව අදටත් පොලිස් නිළධාරියකුගෙන් මා දැක ඇති අව්‍යාජම, සෙනෙහබර, සහෝදරාත්මක සිනහවයි. 


"මම මූට මන් ඉන්නකං අයිආර්සී කාරයෙක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ"

කියමින් මගේ උරහිස මත තැබූ අත තුලින් දැනුනු උණුසුම මා විඳ ඇත්තේ මාගේ පියාගෙන් පමණි.

ඔහු කී දෙය කලේය. ඔහුගේ බිරිඳ, මගේම වයසේ වූ පුතා සහ අවුරුදු 2ක් බාල දියණිය මගේම පවුලේ අය වූ අතර..

වරෙක මුළු ලංකාවම වෙළා ගත් භීශණයක අඳුරේ රට වෙලී යද්දී..මා ජීවිතය රැක ගත්තේ කාරණා තුනක් මත බව මට වැටහේ. ඒ මා එම දේශපාලන කල්ලි වලට සම්බන්ධ නොවීම, මාගේ වාසනාව හා මෙසේ  සමරේ අයියා තුලින් සමීපව පොලීසිය සමඟ බැඳුනු සම්බන්ධතාවය මත ඔවුන් අප පිළිබඳව තැබූ විශ්වාසය යන කාරණා තුනයි.මා ජීවිතයේ  ලද ජයග්‍රහණයන් වලදී අවංකවම සතුටු වූ අයවළුන් අතර සමරෙ අයියා ඉහලින්ම සිටියේය.  මා සරසවියට තේරී නොදන්නා නුපුරුදු කොළඹක ගත කල කාලයේ ඔහුද රාජකාරී කලේ කොලොම් පුරයේය. පඩි ගත් විට මා හමුවෙන ඔහු කීයක් හෝ මගේ අත මිට මොලවා යන්නේ ඔහුගේ පුතාට අහිමි වූ සරසවි වරම් ලද මා දෙස බලමින් සතුටු වෙමිනි. මගේ බොහෝ යහළුවන් ඔහු දැන සිටියේ මාගෙ එක් කුස උපන් සොයුරා ලෙසය. මාද එය නැත යන්න කීමට ගියේ නැත.

වසර 20 ක් පමණ කාලයක් හකුළුවා ගත් කල.. අද සමරේ අයියා විශ්‍රාම සුවයෙන් ඔහුගේ දුවගේ ගෙදර කාලය ගත කරයි. මෙම බ්ලොග් ලිපි පෙල මගේ එම සොයුරියගේ මාර්ගයෙන් අයියා වෙත ලැබෙන්නට සැලැස්වූ මා හට පසු ගිය සතියේ ඇය කතා කලේ..

"අයියෙ තාත්තා හොඳටම හිනා උනා අයියගෙ කතාව කියවලා.. හරිම සතුටින් කතා කලේ අයියා ගැන.. පස්සෙ මන් දැක්කා තාත්තා අපිට හොරෙන් අඬනවා.. ඉස්සර කාලෙ ගැන මතක් වෙලා වෙන්න ඇති.. අයියට නිවාඩු තියෙනවනම්.."

ඔව් හැකි ඉක්මනින් මා මගේ එක් කාලයක සොයුරකුවූ, පියකුවූ, හොඳම මිතුරකු වූ ඔහු වෙතට ගොස් ආ යුතුමය..

නීති විරෝධී බූරු තැපීමක් කර දැඩි නීතිගරුක පොලිස් නිළධාරියකුට අසු වෙන්නට ගොස්, ඒ හරහා ගොඩ නැගුනු ජීවිතයේ මෙම සංසිද්ධිය මා දිවිය තුල කිනම් අරුමයක් එක් කලේද යන්න පිළිබඳව මාගේ සිතේ ඇත්තේ වචනයට පෙරලා ගත නොහැකි තරමේ හැඟීම් සමුදායකි...

ජීවිතයේ ඉතා සුළු සිදුවීමක් හා සම්බන්ධ වෙමින් ඉදිරියට ඇදී ගලා යන සංසිද්ධීන් සමූහය වර්තමානයේ අප සමග ගැටෙන අපූරුව !


මෙම කතාව අවසානයි කීමට මට නොහැක. 

64 comments:

  1. බොහොම ලස්සන හැඟීම්බර කතාව වෙනී අයියා . මම මේ අන්තිම කොටස එනතුරු තමා බලාන හිටියේ . අවසාන නැත්නම් කමක් නෑ තව කොටසක් තිබුණා කියලා අපට වැඩිත් නෑ ..

    තවත් කතා ලියන්ඩ ..

    ReplyDelete
  2. ඔයිං ගියා මදෑ . . . ලියන්නව මලවන්නෙ නැතුව . . .

    ප.ලි.
    එකෙක් දෙන්නෙක් පජාති යක්කු හිටියට බහුතරයක් පොලිස්කාරයෝ හොඳ එවුං බං . . . අපි කොච්චර බැන්නත් උනුත් මිනිස්සුනෙ . . .

    ReplyDelete
  3. සිරා මචං!ඔහොම අය අදත් ඉන්නවා ඇති අපි කොච්චර බැන්නත්!

    ReplyDelete
  4. අයියෝ මම හිතපු විදියේ අවසානයක් නෙමෙයි නේ. මම හිතුවේ හොඳටෝම ගුටි කාල හිරෙත් ලගින්න වෙලා ඇති කියල. ශික්...! :(

    හැබැයි ඔන්න අනිත් දවසේ කතාවක කොටසක් දාන්න ඔච්චර කල් ගන්න නම් බෑ. ඇයි දෙයියනේ අපි සති ගානක් බලන් ඉන්න ඕන වුනේ මොකක්ද කියල බලාගන්න.:D

    ReplyDelete
  5. පව් සමරේ අය්යා....හිත හොඳ මනුස්සයෙක්!!!

    ReplyDelete
  6. නියමයි!

    ReplyDelete
  7. පොලීසි ඇතුලෙ හිත් හොඳ 'මනුස්සයො' ඉන්නවා...දරුනු අමනුස්සයොත් ඉන්නව....මට ඒ ගැන හොඳ අත්දැකීම් තියනව පුංචි කාලෙ.....අපේ තාත්තගෙ ගොඩාක් යාලුවො උන්නෙ පොලිසියෙ...........

    ReplyDelete
  8. මේ කතාවේ අවසානෙ මොන වගේද කියලා බලන්න ආසාවෙන් උන්නේ,,,,ඔහොම අය ගොඩක් ඉන්නවා ඒ තමා නියම මිනිස්සු

    ReplyDelete
  9. වැලිකඩ හිර ගෙදර තාප්පෙ ලියල තියෙන්නෙ 'හිරකාරයෝත් මනුෂ්‍යයෝය'
    ඒ වගේ 'පොලිස්කාරයෝත් මනුෂ්‍යයෝය'

    ප.ලි.
    ලියන්නට දෙක තුනක් ඇනල කුඩුවෙත් ටික වෙලාවක් හරි තියල ගත්ත නං තමා හරි

    ReplyDelete
  10. @ සොසී - හා එන්න සොසී තරම් ලස්සනට ලියන්න බැරි උනාට සොසී කියවන එක ලොකු හයියක් අපිට ආයි කතා ලියන්න !

    ReplyDelete
  11. @ සඳරූ - කතාවනම් මේ කොටසින් ඉවරයි..ඒත් මේ සංසිද්ධි මාලාව - ජීවිතය - ගලා ගෙන යනවා ඉස්සරහට..තත්පරෙන් තත්පරේ !

    ReplyDelete
  12. @ ඕනයා - ඔව් මලේ කොටස් කතා නම් ආයි ලියන්නෙ නැහැ..සේරම තනි කතා..මට පහු ගිය ටිකේ වැඩ වැඩි උනා එකපාරටම... තාම ගොඩ නැහැ..
    ඔව් අදටත් බහුතරය එහෙමයි කියලා තමයි මට තිතෙන්නෙ ..නරක අය සුළුතරය නිසා සේරම එක ගොන්නෙ ! ඒක ගැන ඒ අයත් ඉන්නෙ හිතේ අමාරුවෙන් !

    ReplyDelete
  13. @සබිත් - ඔව් අනිවාර්‍යෙන්ම.. හැබැයි අපි බනින ජාතියෙ වැඩ කරන පිරිසක් එතන ඉන්නවා..ඒ නිසානෙ බහුතරයක් බනින්නෙ ..

    ReplyDelete
  14. @කසුන් - ඔව් මට මොන දේ වුනත් අන්තිමෙ හිනා වෙන්න පුළුවන් අවසානයක් තමයි වෙන්නෙ..හිටින්කො ගුටි ඇන ගත්ත, ගුටි කාපු එව්වනම් කොච්චර තියේද කියන්න..
    අනිවා මට කොටස් කතා ලියන්න බැහැ..ආයි උත්සාහ කරන්නෙත් නැහැ. තනි කතාවෙන් ගහලා දමනවා දිග වුනත්

    ReplyDelete
  15. @ පොකු - ඔව් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම .. සහ මම ඉගෙන ගත්ත පාඩම තමයි අපි කෙනෙකුගෙ පිට පෙනුමෙන් සහ සීමිත ක්‍රියාකලාප වලින් මිනිස්සු මැන්නහම කොච්චර හොඳ ලෝකයක් අපෙන් අයින් වෙනවද කියන එක..

    ReplyDelete
  16. @ විසිතුරු - ස්තූතියි.. දෙන තල්ලුවට හැමදාම..

    ReplyDelete
  17. @ වින්චැට් කිරිල්ලි - ස්තූතියි ඇවිත් කියෙව්වාට.. ඔව් වර්තමානයේනම් ඔය අමනුස්සයො වැඩීද නැත්නම් මාධ්‍යවලින් එලියට එනවා වැඩීද මන්දා !

    ReplyDelete
  18. @ItaliDilan - නියම මිනිස්සු කියන වචනය අර්ථ ගන්වන්නෙ ඒ අයම තමයි..

    ReplyDelete
  19. @ ඔබා - ඔව් අයියෙ "පොලිස් කාරයොත් මනුශ්‍යයෝය" නම් තමයි.
    බොලා මේ සැරේ ආවහම අපි දෙන්න මොනා හරි ජබරියක් කරල මාට්ටු වෙමු පොලීසියට..මට තුන හතරක් වදින කොට බොටත් වදීයිනෙ එකක් හරි !

    ReplyDelete
  20. ඉතාම රසවත් ආකාරයෙන් පටන්ගෙන සංවේදී අවසානයක් තියන කතන්දරයක්. පොලිසියට කොච්චර බැන්නත් මේවගේ අයත් පොලිසිවල ඉන්නව කියල හිතෙනකොට සතුටුයි.

    ReplyDelete
  21. විහිලුවට හරි පැයක් දෙකක් කූඩුවෙ දාල තියන්නයි ති‍බ්බෙ.

    ReplyDelete
  22. අපි හැමෝම වගේ පොලිස් නිලධාරීන්ට "පොලිස් කාරයෝ" කියල දෙකයි පනහට දාල කතා කලාට එයාලත් මිනිස්සුනේ.
    නරක උන් හිටියට ඒ අතරේ ඉන්න මේ වගේ මිනිස්සු හැමතැනම ඇති. කොහොමටත් හොඳට වැඩිය නරක ඉස්මතු වෙන නිසා සමාජයේ නරක කියන කාර්ඩ් එක එයාලට වැදිලා.
    ලියන්නාගේ කතාව බොහොම ආසාවෙන් කියෙව්වා.
    තව ලියන්න, අපි එන්නම් කියවන්න.

    ReplyDelete
  23. ලියන්නගෙ කතාව යූ ටර්න් එකක් ගහලා සම්පූර්නයෙන්ම වෙනත් මගක් ගත්තනෙ. මේ කතාව කොටස් තුනකට ගියාට මට නම් අවුලක් තේරුනේ නෑ. අනික හොඳ තැන් වලින් කඩලා තිබ්බා. සියලු රසත් තිබ්බා නෙල්ලි ගෙඩියක වගෙ. හොඳ කතාවක් ලියන්නා.

    (තමාටම) හැබැයි මූට දෙකක් ඇන්න නම් තමයි හරි.

    henryblogwalker the Dude

    ReplyDelete
  24. සික්... මගේ හිතට නම් මාර අවුල්... උබට දෙකක් ඇනල.. කූඩුවෙ තියල... එහෙම උනානම් ෆුල් සැටිස් හක් හක්...

    හොඳ නිලධාරින් ඉන්නව මේ වගේ.. ඒත් හැමෝටම නරක නාමේ ගේන්න සමත් එව්වොනේ වැඩි හරියක්.. ඒක තමයි අවුල

    ReplyDelete
  25. මරු කතාව වෙනි අයියේ..... පටන් ගත්තේ කොහෙන්ද ? කෙලවර කොහෙද? මරු.

    ReplyDelete
  26. @රාජ් - ඔව් සුළුතරයක් වුනත් ඒ වගේ අය ඉන්නවා.. ඒක බහුතරයක් වුන දවසට... හැමෝම බනින එක නවතීවි.

    ReplyDelete
  27. @ ප්‍රසන්න - විහිලුවට නෙවෙයි, ඇත්තටම එහෙම වෙයි කියලා මන් බයේ ගැහි ගැහී හිටියෙ !

    ReplyDelete
  28. @ ලොකූ පුතා - තැන්කූ.. ඔව් හොඳ මිනිස්සු ඉන්නවා හැමතැනම.. අපි වෙලාවකට වාසනාවන්ත නැහැ ඒ අයව ආශ්‍රය කරන්න !

    ReplyDelete
  29. @ ඩූඩ් - හෙන් රි ඔව් එක එක අයගේ රසඥතාවය වෙනස්නෙ !
    ඇයි බොලේ අර ගුටි කෑවෙ රබර් වත්තෙදි.. මන් පස්සෙ සමරෙ අයියට කිව්ව.. ඒ කාපු ගුටි සෑහෙන සැරයි කියලා.. "බොරු කියන්න එපා පුතේ ගහපු මන් දන්නෙ නැද්ද ඒව රිදුනද නැද්ද කියලා" මන් ඒ වෙලාවෙ හිතුවෙ උඹත් රස්ති ගහන් එකෙක් කියලනෙ" කියලයි එයා කිව්වෙ !

    ReplyDelete
  30. @ පි-ප-ම - ඇයි ආන් කෑවෙ දෙක තුනක්ම ..ඒත් කූඩුවෙ හිට්ටෙ නම් නැහැ. පස්සෙ සීන් එකකදි හිටියා බලු කූඩුවෙ එක රැයක්ම !

    ReplyDelete
  31. @ ගොඩයා - ස්තූතියි ඉතින්.. කතාවෙ මුල මැද අග ඔලුවෙ තිබ්බා මුලින්.. සමහර කොටස් නම් වෙනස් කලා අතර මගදි !

    ReplyDelete
  32. හොද හිතක් තියෙන මිනිහෙක් සමරේ අයියා නම්

    ReplyDelete
  33. හිතට වැදුනා කතාව හොඳටම....!

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත....!

    ReplyDelete
  34. මාර ට්විස්ට් එකක් නේ කථාව ගැහුවේ
    එහෙම තමා නේ කාකි ඇඳුම් වලට යටින් ඉන්නෙත් අපි වාගෙම මිනිස්සු නේද?

    ReplyDelete
  35. අද තමා කොටස් 3ම කියෙව්වේ.....
    මොනව උනත් එදා වෙනී අයිය කූඩුවෙ ඉන්න තිබුන කොල්ලේක ඈ...

    ReplyDelete
  36. ඇත්තටම දන්නැති හන්දයි අහන්නෙ. මොකක්ද මේ බූරු තැපීම කියනවචනය. බූරු ගැහීම, බේබි කැපීම, 304 ගැහීම, ඕමි බැලීම අහලා තියෙනවා. බූරු තැපීමක් ගැන ඇහුවමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  37. මාර කතාවක් එක්ක මාරම අවසානයක්. ඩුඩ් එක්ක සම්පුර්නෙන්ම එකඟයි.

    ReplyDelete
  38. @චම්මා - පුදුමය කියන්නෙ වැරදි කරන අයට පෙන්නන දරුණු කම හිත ඇතුලෙ කොහොමවත්ම නැති කෙනෙක් !

    ReplyDelete
  39. @දුමී - ඔව් මගේ ජීවිතයට තදින්ම කාවැදුනු සිද්ධියක්..වචන වලට පෙරළා ගැනීමේ වෑයම සුළුවෙන් හරි සාර්ථකයි කියලා හිතෙනවා ! වන සිව්පාවුන්..අතරෙ මට දෙවි දේවතාවුන් දහස් ගනනක් හම්බ වුනා..මම හරි වාසනාවන්තයි ! ඒ අතින් නම්..

    ReplyDelete
  40. @ තිස්ස- ජීවිතේට සිද්ධ වෙන දේවල් බලන්නකො නේද ? අනිවාර්යෙන්ම ඔය කාකි යුනිෆෝම් ඇතුලෙ තියෙන්නෙත් අපි වගේම ගැහෙන හදවතක්නෙ ! ඒ අයගේ රැකියාවේ ස්වභාවය අනුව දරදඬු වුනු ඇවතුම් පැවතුම් තිබුනට !

    ReplyDelete
  41. @තාරක - ස්තූතියි තාරක වැඩ ගොඩාක් මැද්දෙ වුනත් කියවපු එක! අපොයි ඔය කොලු කාලෙ කරපු වැඩ නෙ !

    ReplyDelete
  42. @ඩූඩ් - හෙන්රි බූරු තපිනවා කියල අපි කිව්වෙ බූරු පොළවල් වල ගිහින් බූරු ගහනවා බලා ඉන්න එකට.. හැබැයි සෙල්ලම් කරන්නෙ නැහැ..බැලීමත් එක්තරා .... කියනවනෙ !

    ReplyDelete
  43. ක්සැන්ඩර්- ස්තූතියි .. ඔන්න ඔහොමයි උනේ ! අපේ ජීවිත අත්දැකීම් ලියනකොට ඒවායෙ තියෙන්නෙ ඒවාටම අනන්‍ය වෙච්ච කලාවක් ! රටාවක් !

    ReplyDelete
  44. ඒ වුණාට මම නම් කියන්නෙ කූඩුවෙ පැයක් දෙකක් දාන්නයි තිබ්බේ!!!

    ReplyDelete
  45. @පැණි දොඩම් - හෆොයි මල්ලි පැයක් හරි ඒකෙ ඉඳල තියේනම් කවදාවත් ඔය කතාව කියන්නෙ නෑ.. මන් හිටිය පහු කාලෙක එක රැයක්ම.. මොන අපායක්ද අෆ්ෆා ඒක !

    ReplyDelete
  46. අන්න නියම මිනිස්සු

    ReplyDelete
  47. අම්මෝ...මමනම් බයේ හිටියෙ ලියන්නා මල්ලිට මතක හිටින විදියට වදින්න ඇති කියලා... මම ඇස් දෙකට දැකල තියෙනව පොලිස් මාමල මිනිස්සුන්ට ගහන හැටි. ඒ අතින් සමරෙ අය්යා දෙය්යෙක් නේද? හම්බුන වෙලාවක කියන්න අපේ ප්‍රණාමය ඔහුට පුද කරන බව..

    සරෝජා

    ReplyDelete
  48. ලියන්නා මල්ලි, ඔබට පුළුවන්ද සින්හලෙන් බ්ලොග් එකක් කරන හැටි මට කියල දෙන්න.

    සරෝජා

    ReplyDelete
  49. @ බින්දි - ඔව් , ඒ වගේ අය සමාජයේ බහුතරයක් වුනොත්...(ලොකු සුසුමක් !...)

    ReplyDelete
  50. @ සරෝජා - ස්තූතියි . පුළුවන්..www.blogspot.com හරි www.wordpress.com ගිහින් ගිනුමක් තමන්ගෙ නමින්ම ඕපන් කර ගන්න. මගේ ඊ මේල් එකට ලිපියක් එවන්න.. මන් බ්ලොග් කරනය ගැන ලියවෙච්ච බ්ලොග් ටිකක් හොයලා ඒ ව එවන්නම්. එහෙම නැත්නම් මෙතනම පිලිතුර විදියට ඒ ලිපි වල ලින්ක් ටික දමන්නම් !

    ReplyDelete
  51. මාගේ අඩවියේ ඔබ තැබු සටහන ඔස්සේ පාර සොයාගතිමි..මා දුටු තවත් සුන්දර බ්ලොගයකි මේ

    ReplyDelete
  52. බොහොම ලස්සනයි.ජීවිතයේ අත්දැකීම් මත නිර්මාණකරණයට යම් ඔප මට්ටමක් ලබාගන්නවානම් ඒක හුදෙක් ජීවිතානුබද්ධ නිර්මාණයක් වෙනවා. එහිදි සංවේදී සංසිද්ධීන් හොඳින් අලංකාර කරන්නට ඉඩලැබෙනවා..ඔබ ඒ දේ කරලා තිබෙනවා. මගේ සුභ පැතුම් මිත්‍රයා

    ReplyDelete
  53. මේ කතාව මෙච්චර හැඟිම්බර වෙයි කියලනම් හිතුවේ නෑ අයියේ.... !!!

    ඉතිං අයියට නිවාඩු තිබුනත් නැතත්.....

    ReplyDelete
  54. @ රාජ් - ස්තූතියි ඔබගේ පැමිණීමට සහ කමෙන්ටුවට.. සැබෑවටම මම බ්ලොග් කියවන්නෙක් විතරයි. අවුරුදු දෙක හමාරක්ම..

    ReplyDelete
  55. @දේවසුරේන්ද්‍ර - ස්තූතියි දිරි ගැන්වීමට.. තවමත් මගේ ලිවීම නම් ළදරු මට්ටමේ.. වැඩියෙන් වැඩියෙන් කියවලා හරි ගස්සා ගන්න ඕනි..

    ReplyDelete
  56. @ප්‍රසන්න - ඔව් මල්ලි, එහෙමයි උනේ.. ලබන සති අන්තයේ අනිවා යනවා.. මේ කමෙන්ට් ටිකත් ප්‍රින්ට් කර ගෙනම..

    ReplyDelete
  57. මම නම් හිතුවෙ පොලිස් බැරැක්කෙ පැත්තට ගෙනියනකොට බඩු බනිස් කියල...

    ReplyDelete
  58. @ සපතේරු - හිකිස් ! තව පොඩ්ඩෙන් බඩු බනිස්ම තමයි 1

    ReplyDelete
  59. බොලේ මං දන්නෙ නෑ නෙව මුන්නැහේ ලියනවැයි කියල. ඉඳල ඉඳල ඇවිල්ල අල්ලගෙන තියෙන්නෙ වලිගෙන් නෙ. ඔළුවෙ ඉඳල පටන් අරං එන්නංකො.

    ReplyDelete
  60. @ නවම් - ස්තුතියි කියවල කමෙන්ට් එක දැම්මට.. මම වැඩියෙන්ම කරන්නෙ බ්ලොග් කියවන එක තමයි..ලියන්න තවම පොඩි වැඩියිදෝ මන්දා ?!

    ReplyDelete
  61. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  62. අඩෝ ඇස් දෙකට කඳුලු ආවා බන් . . .

    උගුර හිර උනා . . .

    සමරේ අයියාට නිරෝගී සුව හා ජයෙන් ජය පැතුවා කියපන් . .

    ReplyDelete
  63. @ දුකා - මම මේ කතා ටිකට අමතරව මේ කමෙන්ට් ටික ප්‍රින්ට් කර ගත්තා.. ලබන සති අන්තෙ යනවා !

    ReplyDelete