ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, July 19, 2011

හොල්මන

පහු ගිය කාලෙ භූත කතාවක් එක්කම ගිය වයසක ගැහැණු අය කීප දෙනෙක්ම මරල දමල තිබිච්ච සීන් එකත් එක්කම බොහෝම කාලෙකට ඉස්සර සිද්ධ වෙච්ච මේ සිදුවීම මගෙ මතක පොතේ තිබිල ඇදල ගත්ත.

1980 ගනන්වල මුල භාගය..

ඒ කාලෙ අපෙ ගමට විදුලිය තිබුනෙ නැහැ දැන් වගෙ.. භූමිතෙල් ලාම්පු තමයි තිබුනෙ..අඩි 10 පොඩි පාරක් තමයි ගම හරහා වැටිල තිබුනෙ.. ඒකෙ බස් එකක් ගියා දවසකට සැරයක් හරි දෙසැරයක් හරි

ගමේම ගෙවල් 100ක් 150ක් තිබුනා නමුත් දැන් වගේ ජනාකීර්ණ නැහැ. ගමේ මැද වගේ ගමටම අදාල පොදු සොහොන්පලක් තිබුනා.. මේ සොහොන්පල ගැන කතන්දර කීපයක්ම තියෙනව..ඒවත් පහුවට කොටන්න බලාපොරොත්තු වෙනව..ඉතින් මේ සොහොන ලඟ පාර දෙපැත්තෙම අහල පහල ගෙවල් නැහැ. ඒ නිසාම හරිම පාලු... නිකන් බය හිතෙන පරිසරයක් තමයි තිබුනෙ.. පාර දෙපැත්තෙම ඝනට වැඩිච්ච පඳුරු රාශියක් තිබුනා..

ගමට ලයිට් නැති නිසාම හවස හයෙන් පස්සෙ පාර දිගේ මෙ සොහොන්පල පහු කරගෙන යනව කියන එක ටිකක් චකිතය හිතට එන කාරනයක්.. අපි පුන්චි කාලෙනම් පට්ට බයයි.. ගෙදර අයත් එක එක හොල්මන් කතා කියල අපිව බය කරල තිබුනෙ.. ඉතින් හවස හයෙන් පස්සෙ ඔය පාරෙන් යන්නෙ වැඩිහිටි පිරිමි විතරයි යන මිනිස්සුත් කලෙ සරම කරට අරගෙන , කුනුහරුප කිය කියා යන එක තමයි.. එතකොට හොල්මන් බයයිලු... අනේ මන්ද ? දැන් නම් මතක් වෙනකොටත් හිනා යනව..

අපි ටිකක් මැරෑටි වයසට එනකොට සෙට් වෙලා ඔය පඳුරු අස්සට වෙලා .. එක්කො ඔතනින් යන මිනිස්සු කියන කුනුහරුප අහ අහ හිනා වෙනව.. නැත්නම් බලා ඉන්නව... පස්සෙ සමහරුන්ව බය කරල කාපු පරිප්පුත් තියෙනව..

මේ සිද්දියට අදාල කෙනා අපි ගුනපාල කියමුකො.. මිනිහ.. අම්බානක හොල්මන් වලට බයයි.. හවස හයෙන් පස්සෙ තමයි මිනිහ හැමදාම වැඩ ඇරිල ගෙදර එන්නෙ ඔය පාරෙන්.. අපි ගොඩාක් දවස් වල දැකල තියෙනව මිනිහ සරම කරට අරන් ඔතනින් යනව..

එක පෝය දවසකට පස්සෙ දවසෙ...මිනිහගෙ ගෙදරින් මහා හයියෙන් හූ හඬක් එක්ක කෑගහන සද්දයක් ආවා මහා රෑ මැදියමේ..අපිත් ගිහින් බැලුව..වැඩකරන වයසක මනුස්සයෙක්. මිනිහ, ටිකක් වයස.. මිනිහ හොල්මනක් දැකලයි කෑගහල තියෙන්නෙ. නිදා ඉන්නකොට..මිනිහ නිදා ගන්නෙ ඉස්තෝප්පුවෙ.මිනිහ කියන විදියට.හොල්මනක් උසට උසේ මිනිහ ලඟට ඇවිත්..පොරට සිහියක් පතක් නැහැ..පස්සෙ හොඳ තොවිලයක් නටල තමයි සනීප උනේ..අපි පස්සෙ ඇහුව උනේ මොකද්ද කියල.

"අනේ පුන්චි මහත්තයො මන් වයස උනාට මගෙ ඇස් දෙක මට විශ්වාසයි.. ඊයෙ පෝයට පන්සලෙ තිබ්බ පින්කම නිසා නිදිමරපු නිසාම මට නින්ද යාගෙන ආව විතරයි.. මොකද්ද සද්දයක් නිසා පොඩ්ඩක් ඇහැරුනා.. ඒ එක්කම මන් දැක්ක භූතයෙක් උසට උසේ මන් ලඟට එනව .. මට මතක එච්චරයි.."

අපිටත් හරි කුතුහලයක්..ඇත්තටම මොකද්ද මෙතන උනේ කියල .හොල්මන් කියල දෙයක් තියෙනවනම්.. මේ වෙනකොට සොහොන්පල ලඟ හොල්මන් කරපු අපිට හම්බ නොවී තියෙන්නෙ බැහැනෙ..

අපි ඉතින් ගුනපාල මාමගෙන් ඇහුව

"මාම දැක්කෙ නැත්ද ඔය කියන මහසෝනව?"

මාම අමුතු හිනාවක් දමල මුකුත් නොකිය හිටිය..

ගමේ තවත් ගැහැනු කීප දෙනෙක්ම ඔය කියන භූතයට බය වෙලා තොවිල් නටන්න සිද්ධ උනා.

සති 2-3 කට පස්සෙ ගුනපාල මාම අපිට කිව්ව

"පුතේ මේ අපේ එකා නම් දැකපු භූතෙක් නැහැ."

"එහෙනම්???"

අපේ කුතුහලය මැක්ස්

"මන් ඔය දවසෙ මුත්‍රා බරක් හැදිල එලියට ආව..මන් ඉතින් සරම කාමරේම ගලවල දමලයි ආවෙ..ආපහු ගේ ඇතුලට එනකොට තමයි මේ යෝදය.. ගම දෙවනත් වෙන්න බෙරිහන් දුන්නෙ.. "

අපිට නේද... හිනා කාලා මැරෙන්න ගියා ඒක අහපුවහම

අපිට මැවිල පෙනුන සිද්ධිය. ඇඟ පුරාම මවිල් පිරිච්ච ගුනපාල මාමට මහසෝන කියල බයවෙච්ච එක පුදුම වෙන්න දෙයකුත් නැහැ තමයි, මොකද අපිත් ඔයිට ඉස්සෙල්ල දැකල තියෙනව ගුනපාල මාමා ඔහොම හොල්මනක් වගේ එනව සොහොන්පල ලඟ පාරෙන්.

4 comments:

  1. හික් හික් මරු කතාව

    ReplyDelete
  2. හොල්මන කියන්නෙ සැලෙන, එහෙම නැත්තන් හෙල්ලෙන මනස කියනවනෙ

    ReplyDelete
  3. ස්තූතියි ඔබ්සර්වර් ඔබේ කමෙන්ටුවට.. මෙතන වෙලා තියෙන්නෙ ඒකම තමයි..වෙනි - ලියන්නා

    ReplyDelete
  4. එතකොට අර ගෑනු බය වුණෙත් ගුණපාල මාමගෙ මහසෝනා දැකලද?

    ReplyDelete