ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, November 20, 2014

අපුල සහ කේන්තිය... Anger with Disgust

"බලනවා ..මම කොහොමද දැන් මෙහෙම ඔෆිස් යන්නෙ ? ළමයින්ව බස් වල ගෙනියන්නවත් දන්නෙ නැද්ද ? හරක් !"

බස් එක දෙවනත් වෙන්න බෙරිහන් දීපු ඒ මැදිවියේ මනුස්සයා ඉඳගෙන හිටපු අසුනෙන් නැගිටලා සම්පූර්ණ බස් එක දිහාවටම තම කෝපයෙන් ගිනි ගන්න දෑස යොමු කළා. ඒ ආසන්නයේම තවත් සෙනඟ පොදියකට බෑගයත් එක්කම හිර වෙලා හිටිය මමත් නිතැතින්ම දෙඇස යොමු කළා.. කහ පැහැයට හුරු කමිසයේ උඩ සාක්කුව හරියේ ඉඳන්ම කහපාටට පෙරෙන වතුර පාරක් එක්කම ඔහු මහත් අපහසුතාවයට පත් වෙලා හිටියා.. කෝපයෙන් දැවෙමින් ඉන්න මනුස්සයා ළඟම ඉඳ ගෙන හිටියෙ අම්මා කෙනෙක් සහ තවමත් අම්මගේ උකුළෙ ඉඳන් ඔළුව පහළට නවා ගෙන ඕක් ගාලා වමනෙ කරන ළදැරියක්...ක්ෂණයකින් අප හැමෝටම වෙච්ච දේ වැටහුණා..ඒ ළදැරියට පාලනයක් නැතුවම වමනෙ ගිහින්..වමනෙ ටික අර ළඟ හිටිය මහත්තයගෙ ෂර්ට් එකට හැලිලා..

අහල පහළ හිටි හැමෝම පිළිකුලෙන් තමන්ගෙ මුහුණ අහකට හරවා ගත්තෙ තමන්ගෙ ඇඟට වමනය හැලිලා වගෙයි..තරමක දුප්පත් පෙනුමක් තිබ්බ අර අම්මා මොනවද මුමුණනවා..අර දැරිවි තාමත් තමන්ගෙ හිස අම්මගෙ උකුළෙ සඟවගෙන..

"කොහොමද මම දැන් ඔෆිස් යන්නෙ ?"

අර මනුස්සයා ගුගුරණවා...

අර අම්මා තමුන්ගෙ බෑග් එකෙන් තරමක් කිලිටි වෙච්ච තුවායක් වගේ එකක් එළියට අදිනවා..

"මීට පස්සෙවත් තමුන්ගෙ ළමයින්ට පුරුදු කරනවා වමනෙ යන්ඩ එනවා නම් කල් ඇතුව කියන්ඩ ඒ එක්කම  අයිනෙ සීට් එකක් ඉල්ලා ගන්ඩ..නැතිනම් වාහනයක් කුලියට අරගෙන යනවා..දැන් මට ඔෆිස් යන්ඩත් නෑ..ගෙදර ගිහින් එන්ඩත් වෙලාව මදි.."

ඇත්තටම ඔෆිස් එකට වාහන තදබදයක් තියෙන මේ වගේ වෙලාවක ආපහු ගෙදර යන්න උණොත් එහෙම අපිට උණත් සිද්ධ වෙන අකරතැබ්බක් හිතට එනකොට අපේ හිතටත් මොහොතකින් මෝදු වෙන්ඩ ගත්තෙ කේන්තියක්ම තමයි..

අර මහත්තයා තවමත් බනිනවා අර අම්මට...

අපිත් හිතින් අර මහත්තයගෙ සහයට තව තව කාරණා සපයන අතරේ අර අම්මයි දැරිවියයි දිහා බැලුවෙ තරමක් පිළිකුලෙන් වගේම කේන්තියෙන්..

වමනෙ නවත්තපු අර දැරිවි බොහොම බයාදු බැල්මකින් බියපත් වෙච්ච මුව පොව්වෙක් වගේ ඔළුව ඔසවලා බැලුවා..

පරුෂ හඬින් තමුන්ගෙ අම්මටත් තමුන්ටත් බනින අර මනුස්සයගෙ කට දිහා බලා ඉඳලා තමන්ගෙ ඇස් තමුන්ගෙ අම්මා දිහාවට යොමු කරලා..
ඈ....ඈ...ඈ....ඈ...කියලා මහ හයියෙන් අම්මගෙ නිකට තමුන්ගෙ මූණ දිහාවට හරවලා ප්‍රශ්නාර්ථයෙන් යුක්තව බලාගෙන හිටියා....

අපිත් එතකොටයි දුටුවෙ සහ තේරුණෙ අර දැරිවි ගොළු දැරිවියක් සහ අම්මා ඒ වෙලාවෙ කොයිතරම් නම් අසරණ වෙලා හිටියද කියනවා නම් ඈට අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ අර මහත්තයගෙ ගෝරනාඩුව හමුවෙ..

අර දැරිවි තමන්ගෙ දෑතින්ම අම්මගේ කම්මුල දිගේ බේරෙන කඳුළු පිහිදනවා..

ගා....ගා....ගා...කියලා..

අපේ හිතත් කඩා වැටුණා..

මම ළඟම හිටපු තව කෙනෙක් මෙච්චර වෙලා සඟවා ගෙන හිටපු තම හඬ ඉස්මතු කළා..

"මහත්තයා වෙච්ච දේ උණා..ඒක මේ අම්මවත් , පොඩි එකාවත් හිතලා මතලා කරපු දෙයක් නෙවෙයිනෙ..දැන් මේ බස් එක ගමනාන්තෙට යනකන් බැන්නත් වැඩක් නෑ. මහත්තයා එක්කො බැහැලා ගෙදර යන්න..නැතිනම් ඔෆිස් එකට ගිහින් ඔය කමිසය හෝදා ගන්න"

අර මහත්තයා කෝපයෙන් පිපිරි පිපිරීම බස් එකෙන් බැස්සා..අර අම්මා බස් එකේ ගමනාන්තයට යනකම්ම හැඬූ කඳුළින් යන අතරේ..පොඩි එකා එක එක සද්ද කරමින්...අම්මගෙ කඳුළු පිහින්න උණා...

දවසක් දෙකක් යනකම්ම මම උණත් මේ සිද්ධිය ගැන හිතන්න උණා..ඇත්තටම අපිටත් එහෙම දෙයක් උණොත් අපි කොහොම හැසිරෙයිද.....කියන එක ගැන..

මේ සිද්ධිය වෙලා අවුරුදු පහක් හයක්ම කාලයේ වැලි තලාවට යට වෙලා මගේ හිතෙනුත් මැකිලා ගිහින් අහවර වෙලයි තිබුණෙ..

--------------------------------------------------------------------------------------------------
"තැන්ක් යූ මල්ලි, මම ටවල් එක එහෙමම බාත් රූම් එකේ තියෙන්න ඇරියා ඔන්න"

" ආ හරි ප්‍රියන්ත මහත්තයා මම ඒක ලොන්ඩ්‍රියට යවන්නම්"

අපේ නවාතැන් භාරව සිටිය නිලධාරියා මගේ අතින් යතුර අර ගන්න ගමන් කිව්වා...

හෝදපු කමිසය අයන් කළත් තවම හොඳට වේලිලා නැහැ.

උදේ කැම වෙලාව පහු උණත් ආපන ශාලාවෙ තියෙන මොනවා හරි දෙයක් බඩට දමා ගත්තෙ නැතොත් මේ දවස් වල ගිලින බෙහෙත් පෙති කන්දරාවෙ හැටියට ගැස්ට්‍රයිටිස් හදා ගෙන ඒකටත් තව බෙහෙත් පෙති බොන්ඩ වෙන එක නම් සිකුරු නිසාම මම ආපන ශාලාට ගිහින් එතන තිබුණු බිත්තර පාන් එකකුයි චයිනීස් රෝලකුයි තේ එකකුයි අරගෙන දන්න හඳුනන සොයුරියක් ඒ වෙලාවෙත් තේ බිබී ඉන්න මේසයට ගියා..

"මොනවද අයියෙ ඔයා ළඟ ගඳ ? වමනෙ නේද ?"

ඈ තමන් කකා හිටිය බනිස් ගෙඩිය අප්පිරියාවෙන පිඟානට අත හරින ගමන් ඇහුවා..

"නෑ මට බඩගිනි නෑ..."

ඈ කමින් හිටිය බනිස් ගෙඩියේ භාගය සහ තවමත් නොකාපු බිත්තර පාන් එකත් පොඩ්ඩක් බීලා ඉතුරු වෙච්ච තේ එකත් එක්කම මාව ඒ මේසෙ තනි කරලා නැගිටලා ගියා..

ගිය නුවණ ආයි ඇතුන්ටවත් අද්දන්ට පුළුවනෑ...

----------------------------------------------------------------------------------------------------------------------------
මිනිස්සුන්ට ලෙඩ දුක් අසනීප එන්නෙ කල් ඇතුව කිය කියා නම් නෙවෙයි...සමහර වෙලාවලට අපි හොඳ සෞඛ්‍යය සම්පන්නව ඉන්නම ඕනි කාලවලදි තමයි ලෙඩ දුක් පොදි බැඳ ගෙන එන්නෙත්.. ලෙඩ දුක් ආවහම ඉතින් සල්ලි වගේම වියදම් වෙන අනිත් දේ තමයි අපේ කාලය...

පහු ගිය අවුරුදු වල ඉතුරු වෙලා තිබුණු නිවාඩුත් එකතු කරලා එකතු කරලා බොහොම අමාරුවෙන් එක දිගටම ලෙඩ වෙලා ඉද්දි ගත්තු නිවාඩු ටික පඩි රහිත නිවාඩු නොවෙන ගොන්නට දමා ගත්තත්... අවුරුද්ද ඉවර වෙන්න තව මාස ගාණක් තියෙන නිසා ඉදිරි කාලය බොහොම අභියෝගාත්මකයි...බොහොම හෙමින්...ඉවසිල්ලෙන්...ඔය අතරෙම අපි විඳින අපේ ප්‍රශ්න ගැන නොදන්න අපේම සහෘදයන්ගෙ සමහර ඉල්ලීම් හමුවේ අසරණ වෙන අපි එක්ක හිත බිඳවා ගෙන අමනාප වෙන අයත් නො ඉන්නවා ම නෙවෙයි...මේක තමයි ඉතින් ජීවිතේ...

ඒ පඳුරු තැලිල්ල නම් කළේ අද උදේ වෙච්ච සිද්ධියට ඕනි කරන ඌන පූරණයක් ගන්න තමයි...කොටින්ම කියතොත්..මම මලත් නිවාඩු නම් ගන්න නම් බෑ රජෝ මේ අවුරුද්දෙ දි නම් ඕන් !

සාමාන්‍යෙන් බත්තරමුල්ලෙදි බස් එකෙන් භාගයක් විතර බහින නිසා හැමදාම වගේ ඉඳගන්න සීට් එකක් ලැබෙන එක ඉර හඳ පායනවා වගේ විශ්වාසයි. මම ළඟම සීට් එකේ හිටියෙ අවුරුද්දක විතර පොඩ්ඩෙක් අම්මා එක්ක..පොඩ්ඩා අම්මගේ කරේ හොඳටම නිදි..මමත් කාර්‍යාල බෑගය ඔඩොක්කුවෙ තියා ගෙන පොඩ්ඩක් ඇහැ පියා ගත්තෙ බස් එකේ ඔය වෙලාවට දාගෙන එන පොඩි නින්ද මාර සැපයි ආපහු වැඩ පටන් ගන්නකොට...

බස් එක මොකද්ද එකකට තිරිංග පාගනවා එක්කම සේරම මඟීන් එක්කම මාවත් ඉස්සරහට ගැස්සිලා ගිහින් අසුනට හේත්තු උණා....

ඒ වෙනකම්ම අර අම්මගෙ උර හිසේ හොඳට නිදියා ගෙන හිටපු පොඩි එකා ගැස්සුණු ගැස්සිල්ලට වෙන්න ඇති..ගොජොස් ගාලා වමනේ පාරක් දැම්මෙ නැද්ද මගේ කමිසයයි බෑග් එකයි කලිසමේ එක කකුලකයි..හීතලට වමනෙ !

හිතට එක පාරටම ආපු පිළිකුල එක්ක ආපු කේන්තියක් !

 ඒ ක්ෂණයකින්ම ඔළුව ඇතුළේ කොහේදෝ හිර වෙලා තිබුණු අර උඩ කියන සිද්ධිය තත්පරයකින් දාහකින් එකක් වගේ කාලයකදි..මනසේ රඟ දැක්වුණා...මගේ කේන්තියෙන් පිපිරෙන මුහුණ කවුරුවත් දකින්න නැතුව ඇති..අර අම්මා බියපත් මුහුණකින් බොහොම අසරණව මා දිහා බලාගෙන ඉන්නවා..කතා කර ගන්නවත් බැරුව ගොළු වෙලා....

කමිසයට උරා ගත්ත වමනය ටික සීතලට බැනියමට යටින් හමට දැනෙන අතරේ...පොඩි අයගේ නොදිරවපු කිරි වමනය මගේ නහය කඩා ගෙන යන්න හදනවා..රහත් වෙලා හරි බණ භාවනා කරලා හරි නැති යටි හිත කේන්තියෙන් පුපුරනවා..කාර්යාලයට නොගිහින්ම බැහැ..අනේ පව් ඒ අම්මා එක අතකින් පොඩි එකාව අල්ලා ගෙන අනිත් අතින් තමුන්ගෙ බෑගය අදිනවා..එතන හිටි අනිත් කාන්තාව බෑගය අරගෙන ඒකෙන් පොඩි ටවල් ඇදලා දුන්නා ඒ අම්මා අතට...

බියෙන් සලිත වෙච්ච ඒ අම්මා...මගේ බෑග් එකේ පිට පිරිලා තිබ්බ වමනෙ පිහින්ඩ හදනවා ඒ ටවල් එකෙන්......

"සොරි සර්..."

ඈ ගොත ගහනවා...

මම ක්ෂණයකින් අහක බලලා නැවත ඈ සහ දරුවා දෙස බැලුවා...

"ඔය බබාව පිහිදාන්න ඕකෙන්..මේක කමක් නෑ..මම ඔෆිස් එකට ගිහින් හෝදා ගන්නම්"

වසර ගණනාවකට ඉස්සර මේ වගේම ඉහත කිව්ව සිද්ධියට තුන්වන පාර්ශ්වයක් විදියට මුහුණ දීලා ඒ ගැන දවස් ගාණක් හිතලා නොතිබ්බා නම් මමත් සමහර විට තිරිසනෙක් වගේ අර අම්මට බනින්නත් ඉඩ තිබ්බා නේද කියලා මට හිතෙන කොට මට ඇති වෙන්නෙ හරිම ලැජ්ජාවක්...

එහෙම නොඋන එක ගැන මට සතුටුයි වගේම...මගේ මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණයි කියලා හිතන මේ වගේ වැදගත්ම සිද්ධියක් අත්‍යවශ්‍යම වෙලාවකට ක්ෂණයකින් හිත මතුපිටට ඇවිල්ලා මාව වෙනස් කරපු එක ගැන මට ලොකු ආත්ම තෘප්තියක් දැනෙන්නත් ගත්තා...

ඒත් අර කම්මලේ ඉන්න බල්ලට හෙණ ගැහුවට දැනෙන්නෙ නෑ කියනවා වගේ..කිව්වට සැරින් සැරේ මගේ සියොළඟින්ම එන කිරි වමනෙ ගඳ මට පොඩ්ඩ්ක් අපුලක් නම් ගෙනෙනවා තාමත්..

හවස කෝච්චියෙ යනකොට අනිත් සෙනඟින් පොඩ්ඩක් මෑත් වෙලා යන එක හොඳයි වගේ...

38 comments:

  1. පොඩි ළමයිට ඔහොම වෙනකම් සමහර වෙලාවට ඒ ළමයි දන්නෙත් නෑ. එක්කෝ කියා ගන්න බෑ. එහෙම නැත්තන් වමනෙට එන කොට නවත්ත ගන්න බෑ. දෙමාපියෝ සුදානමින් ඉන්නවනම් ඉතින් හොඳයි. එත් සමහර අම්මලා මොන තරම් අමාරුවෙන්ද ළමයි අරගෙන යන්නේ. සමහර වෙලාවට තනියෙන්. සමහර වෙලාවට හිතේ තියෙන ප්‍රශ්න ගොඩ නිසා ෂොපින් කවර එහෙම ගෙන්න අමතක වෙනවත් ඇති. ඒ වගේම නොසැලකිල්ල නිසා වමනේ යන වැඩිහිටියොත් අනිත් අයට කරදර කරනවා දැකල තියෙනවා.

    අයෙමත් මතක් වුනේ ළඟදී දැක්ක නිවුන්නු දෙන්නෙක් වඩා ගත්තු අම්ම කෙනෙක්. බඩු මළුත් එක්ක. අර දෙන්න තරඟෙට අඬන කොට අසරණ වුනු හැටි. ඒ වගේ වෙලාවක් මෙහෙම වමනේ එහෙම ගියොත්.

    .ඉස්කෝලේ යන කාලෙ දවසක් මගේ කලිසමට වැටුනේ දියාරු මළපහ ටිකක්. පිහ දාගන්න ගිහින් හැම තැනම ගැවුනට පස්සේ බස් එකෙන් බැහැල පොදු වැසිකිලියකට ගිහින් පුළුවන් තරම හෝදගෙන එලියට එන කොට හම්බ වුනේ පාසැල් මිතුරු පිරිස. ඒ වෙන කොටත් මගේ කලිසමේ පැත්තක් කහ පාටයි. තෙතයි. ඉතින් කාලයක් යනකම් ඒ ගැන නිතර මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් රාමා මල්ලි, හැම පැත්තම ගැන හිතන කොට මටත් හිතෙන්නෙ මේ වගේ සිදුවීම් වලින් 80% ක් විතරවත් අපිට හෝ දෙමව්පියන්ට පාලනය කර ගන්න බැරි සිදුවීම් විදියටයි..අපි ඉවසන්න පුරුදු වෙන එක තමයි හොඳම දේ කියලා මට තේරෙන්නෙත් මේ සිදුවීමෙන් පස්සෙම තමයි..

      Delete
  2. හෙට ඇවිල්ල බලන්නං

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මල්ලි මේ දවස් වල වැඩ වැඩි වගෙයි..ඡන්ද කාලෙ...මල්ලිලගෙ බිස්නස් වලට උනත් වසන්ත කාලෙ වගෙයි නේද ? සුබ පැතුම් ඕන් කල් ඇතුවම..

      Delete
  3. ඔය වගේ වෙලාවක කේන්ති යන එක නම් හිතල මතල කරන දෙයක් නෙවිනේ, ක්‍ෂණිකව ඇතිවෙන දෙයක්. ඒත් හිතට කේන්තියක් ඇතිවුනු ඕනම වෙලාවක ඒක පාලනය කරගැනීම තමයි වැදගත්ම දේ මම හිතන්නෙ. දැන් අයියල අර දැරිවියගෙයි අම්මගෙයි තත්ත්වෙ එහෙම දැක්කෙ පහුවෙලා උනාට එතන හිටපු මනුස්සය කලින් ඉඳන්ම දකින්න ඇති. එහෙමත් වෙල එක පාරම කෑ ගැහුව මදිවට දිගින් දිගටම ඒක ඇදගෙන ගියපු එක නම් හොඳටම වැරදියි. නොසැලකිල්ල නිසා වෙන වැරැද්ද වෙනයි, මනුස්සයෙකුගෙ අසරණකමට නින්දා කරන්නෙ නෑ මහත්වරු. හැම දේම වෙන්නෙ මිනිස්සුන්ටනේ.

    ඔයා නම් ඒ සිද්ධියෙන් ගන්න ඕන දේ අරගෙන, ප්‍රශංසාකටයුතු ආකාරයෙන් හැසිරිලා තියෙනව. :) එතකොට ඔපීසියෙ උන්දල ‘වසූරිය රෝගියෙක් සමඟ දිනක්‘ වගේද කටයුතු කළේ දවසෙම. නැත්නම් බඩපුරවගන්න වෙලාවට විතරද අයියා දැක්කම කෙල්ලො දිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ සිදුවීමේදි එහෙම වෙන්නත් ඇති..සමහර විට ඒ මහත්තයා ඒක නොදුටුවා වෙන්නත් පුළුවනි. කේන්තියට පොඩ්ඩක් බැන්නත් ඒක දිගටම ඇද ගෙන ගිය එක නම් වැරදියි තමයි. ඒ සිදුවීම වෙලා ඉවරයිනෙ..බැන්නට ආයි වෙනස් වෙනවයෑ..
      මගේ සිද්ධියෙදි ඇත්තටම මම දන්නෙත් නැතුව අර සිදුවීම මගේ හිතට ඇතුළු වෙලා මාව ඉබේම පාලනය උනා මල්ලි...ඒක හිතලා කල දෙයක් නම් නෙවෙයි..ඒකයි මේක මහ ලොකු දෙයක් නෙවෙයි උනත් බ්ලොග් පෝස්ට් එකකට ලියන්න හිතුවෙ..මුල කීව සිද්ධිය මගේ මතකෙන් ගිලිහිලා ගිහින් කියලයි මම හිතුවෙම...අහම්බයක් උනත් එහෙම වෙනව නම් ඉස්සරහදි උනත්..මම කැමතියි...

      Delete
  4. හුඟක් වෙලාවට බස්වල මේ වගේ ළමයි අරගෙන යන්නේ මේ තත්වය කළමනාකරණය කරගන්න දන්නේ නැති අම්මලා තාත්තලා. සාමාන්‍යයෙන් වාහනයක යද්දී හැමදාම වමනේ යන ළමයෙක් නම් වෛද්‍ය උපදෙස් මත ඇවොමින් නමැති පෙති වර්ගය දෙන්න පුළුවන්.

    අපි පොඩි කාලේදී නම් අම්මලා කලේ බුලත් කොළ කෑල්ලක් කටේ දමා හපමින් යන්න කියන එක. දරුවා ඉන්නේ අසනීපයකින් නම් පොලිතීන් බෑගයක් සූදානමින් තබාගෙන යාම ගැන සැලකිලිමත් නොවෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    අපි කවුරුත් යන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය ගමන්. ඉතිං මෙවැනි සිදුවීමක් නිසා ඒ සියල්ල අවුල් වෙන්නට පුළුවන්.

    එක අතකට බලනකොට එවැනි අයට බනින්නේ නැතුව අර මම කියලා දුන්න උපදෙස් ටික කාරුනිකවම ඒ වෙලාවට කිව්වොත් නම් එවැනි අම්මලා තාත්තලාගේ මොලයට වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි හැම එකාම, හැමදාම වමනේ දාන්නෙ නෑ විචාරක... බස් වල ගැස්සිල්ලට අපිට උනත් සමහර වෙලාවට වමනෙ යන්න එන්නෙ.... ඒක නවත්තගන්න හරි කාට හරි කියන්න හරි තේරුමක් ඇති වයසක නෙවෙයි නං ඉතිං මෙහෙම ඒව වෙනව... ළමයින්ට වත් අම්මලට වත් බැනලා වැඩක් නෑ ... ඒවට තමයි මනුස්සකම් තියෙන්න ඕනෙ කියන්නෙ...

      අනිත් එක දැං කාලේ මේ තරං පොඩි ළමයෙක් දුර ගමනක් බස්එකේ අරන් යන්නෙ ත්‍රීවීල් එකක් වත් අරං යන්න තරං සල්ලි නැති අසරණ මනුස්සයෙක් විතරයි මම දකින විදියට... එහෙම වෙලාවක පත් වෙන අසරණකම ගැන ආයිත් කතා කරන්න දෙයක් නෑ නෙ...

      ඔය අපේ පාරෙ බස් වල එහෙම සිලි බෑග් සෙට් එකක් එල්ලල තියෙනව ගොඩක් වෙලාවට මම දැකලා තියෙනව... ළමයෙක් වමනෙ දාන්න හදනව කියල පෙනුන ගමන් කොන්දොස්තර මහත්තයම ඒකෙන් බෑග් එකක් අරන් දෙනව.... හි හි....

      Delete
    2. විචාරක එක්ක එකඟයි. මනුස්සකම තියෙන්න ඕන බව හැබෑව. නමුත් අනුන්ගෙ මනුස්සකමේ සීමා හොයනවට වැඩිය සරළව කරන්න පුළුවන් දෙයක් තමයි පෙර සූදානම. හිරු කියන විදියට වෙලාවකට වමනෙ දාන එවුන් ඉන්න පුළුවන්. නමුත් ලොකුම ප්‍රතිශතය වමනෙ දාන එකා හැමදාම දානව නොද‍ාන එකා නෑ. වමනෙ දාන පොඩි එකෙක් ඉන්නව නං පෙර සූදානම ඇතිව යාම අම්ම අප්පගෙ වැඩක්. අනිත් මිනිස්සුන්ගෙ මනුස්සකම ගැන බල බල ඉඳල වැඩක් නෑ. "වමනෙ දාන ළමයෙක් ඉන්න තාත්ත කෙනෙක්" හැටියට උනත් මට හිතෙන්නෙ එහෙමයි.

      Delete
    3. පොඩි උන් වමනෙ දාන්නෙ සිග්නල් නැතිව, ෂොපින් බෑග් එක අරන් කට පිහින්න තමයි තියෙන්නෙ .

      Delete
    4. හිරු මම මෙතැනදී ඒ දෙමවුපියන්ට දොසක් නෙවෙයි කිව්වේ. ඔවුන් බොහෝදෙනෙක් මෙවැනි තත්වයන් කළමනාකරණය කරගන්න දන්නේ නැත්තේ ඒ සඳහා දැණුම නැතිකමින්. මම තවදුරටත් කියන්නේ ඔවුන්ව දැනුවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතුයි කියලයි. මම තව එකක් කියන්නද මේ වගේ ළමයින් අරගෙන යන දෙමවුපියෝ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්න දන්නවා. නමුත් වමනය දැම්මොත් මොකද කරන්නේ කියලා හිතන්නේ නැහැ. එක්කෝ ඕනෙකමක් නැහැ. නැත්නම් දැනුමක් නැහැ.

      Delete
    5. බස්වල යනකොට වමනෙ යනවයි කියල හිතෙන කෙනෙක් අනිවාර්යෙන්ම ඒකට සූදානම් වෙලා යන එක තමයි සුදුසුම. මොකද කාගෙවත් ඇඟේ දැම්මෙ නැති උනත් වීදුරුවෙන් ඔලුව එලියට දාල වමනෙ දාන එක අනික් මිනිස්සුන්ට කරදරයක් වගේම තමංගෙ ඔළුගෙඩිය නැතිකරගන්නත් හේතුවක් වෙන්න පුලුවං. සමහර විට බස්වල කොන්දොස්තරට කිවුවත් ඒ මනුස්සය කඩේකට දුවල ගිහිල්ල ෂොපිං බෑග් ගෙනත් දෙන වෙලාවල් ඕනතරං මම දැකල තියෙනව.

      Delete
    6. විචාරක මහත්තයා කියන දේ තමයි සැබවින්ම සිදු විය යුතු හොඳම දේ..අමමලා තාත්තලා පොඩි ළමයි එක්ක පොදු ප්‍රවාහන සේවයෙ යනවා නම් කල් ඇතුව පොඩ්ඩක් හිතලා බලලා මේ සේරම දේවල් හරි ගස්සගෙන එළියට බහින එක බොහොම ප්‍රඥාවන්ත දෙයක් තමයි.
      හිරු නගා (දුව ) කියන දේ තමයි අද කාලෙ සැබවින්ම ප්‍රායෝගිකව වෙන්නෙ. බොහොම දුප්පත්..අමමලා තාත්තලා තමයි ඇත්තටම බස් වල යන්නෙ ඒ අය උගත් අය නොවෙන්නත් පුළුවන් දුප්පත් කමට මුල හේතුව ඒ අඩු උඅගත් කමක් එක්ක දුර දිග බලලා වැඩ කරන්න නොහැකියාව එකතු වෙනවා..
      රාජ් ගෙ අත්දැකීම එක්ක කියන කතාව හරි තමයි...ඒත් කොයි තරම් අපුලක්, අකරතැබ්බක් උනත් අර මුල් සිදුවීමේ මහත්තයා කල ආකාරයට බනින එක ගැන නම් එකඟ වෙන්නත් බෑ රාජ් මල්ලි
      කම්මල මලයා කියන එක මම හැබහින්ම දැකලා තියෙනවා..අමමලා ශොපිං බෑග් එක ගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි තමයි..
      විචාරක මහත්තයා \\ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්න දන්නවා \\ හිකිස් මටත් දැන් නම් කට උත්තර නැහැ...

      Delete
    7. බනින එකට මාත් එකඟ නෑ. මනුස්සකම තියෙන්න ඕන. ඊට කලින් මිනිස්සු ටිකක් මොලේ කල්පනා කරන්න එපැයි.

      [හුහ්!...හිරු (දුව), ඊටත් බාල අපි මල්ලිල!]

      Delete
    8. මාමෙ මාමෙ ගාන කොට වෙන මොකක් කියන්ඩද බන් ? :-D

      Delete
  5. හරි සංවේදී සිද්ධියක්... ම‌ට මේක කියවද්දි පරණ සිද්ධියක් මතක් උනේ...

    අපේ මලයා පොඩි කාලෙදි ඌ හැමදාම ලෙඩින් හිටපු එකෙක්... අපේ අම්මලට ත්‍රීවීල් එකකවත් යන්න වත්කමක් තිබ්බෙ නැති හින්ද, මාව ඉස්කෝලෙ යවලා, ඌව කරේ තියාගෙන අපේ අම්ම බේත් ගන්න යන්නෙ... ඔහොම දවසක් බස් එකේදි මේකට ෆිට් එක හැදිල... ඒ වෙලාවෙ අම්මට සිහිකල්පනාවක් තිබ්බෙ නෑලු අඩුම ගානෙ පර්ස් එක වත් අල්ලගන්න... මල්ලිව උස්සගෙන එතනින් බැහැලා පයින්ම දිව්වලු ඉස්පිරිතාලෙටම... පර්ස් එකේ තිබිලා තියෙන්නෙ මල්ලිට ගන්න කියපු බේත් එක ගන්න ඕනෙ සල්ලි විතරමයි... බස් එකේ හිටපු මනුස්සයෙක් එයා යන ගමන පැත්තක තියල පර්ස් එක අරගෙන ඉස්පිරිතාලෙට ඇවිත් අම්මට පර්ස් එක දීලා ගිහින් තියෙන්නෙ.... අම්මට තිබ්බ කලබලේට නමවත් අහගෙන නෑ... ඒත් අදටත් අම්ම ඒ කෙනාව මතක් කරනව...

    ReplyDelete
    Replies
    1. එහෙම නන්නාදුනන සත් පුරුශයො අපිට ජීවිත කාලෙදි එක් කෙනෙක් හරි හමු වෙනවාම තමයි හිරු...ඒ අය කවුද කියලා දන්නෙ නැතුවා උනත්..හැමදාම අපේ හදවතේ ජීවත් වෙනවා..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  6. මටත් පොඩි කාලේ කලවානේ අම්මලාගේ ගමේ යන්න පිටකොටුවේ බස් නැවතුමට ගිය මොහොතේ ඉඳලාම වමනය යන්නම එනවා. බොහෝ දිනවලට දානවා, දානවාමයි. ඒත් ඔය ඔහත්තුරන්ගේ ඇඟට නං දාලා නෑ, කවදාකවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් රසිකො මහත්තයා කශූ කශූ කියලා මේ වෙනනම් වලට දැන් පුරුදු වෙන්නත් වෙලා නොවැ.. මමත් බස් වල යද්දි වමනෙ දාලා තියෙනවා..තාමත් කාගෙවත් ඇඟටම නම් දැම්මෙ නැහැ තමා...

      Delete
  7. අපේ පොඩි එකාත් වෙලාවකට බස් එකේදි වමනේ දානවා. ඒක නිසා ඕන දේකට සුදානං සරිරේ මගේ පස්සේ සාක්කෙුවේ පොඩි වෙන්න නමපු සොපින් බෑග් එකක් තියෙනවා. බස් එකේ යනව නං කලින් දවසෙම මම ඒ බෑග් එක කලිසං සාක්කුවට ඔබාගන්නවා. ඇතත්ටම වමනේ කියන්නෙ අප්පිරිය දෙයක්.. ඒත් මොනා කරන්නද පොඩි ලමයින් ගැන වද වෙලා වැඩක් තියේද? ඔන්න ලොකු එකෙක් කාරලා බස් එකේ වීදුරුවෙන් දාපු වමනේ කෑල්ලක් හුලගට ඇවිත් මුනේ වැදුනොත් කෝමද සනීපේ මට දවසක් එහෙම උනා. බනිස් කෑල්ලක්ද කොහේද වමනේ ගදත් එක්ක පෙගිලා හුළගට මගේ කටේ ඇවිත් වැදුනා. වමනේකාරයා ගැල්ලමයෙක් නිසා මම ඉවසුවා.. හැක්.

    බොට කියන්න (එහෙම කිව්වට කමක් නැද්ද මන්දා හැක්) එක දවසක් තව වෙච්චි බස් එකක මගේ ගාවම පොඩි එකෙක් හිටන් හිටියා එයාගේ අම්මත් එක්ක. ටික දුරක් යනකොට මගේ කකුල හරහා කූට්ටම තෙමාගෙන සීතලක් යනවා. බැලිනින්ං පොඩි එකා තුස්නිංබූත වෙලා වමනේ දානවා ගොජ ගොජ ගගා. ඒ කොල්ලට හරිම අමාරුයි. ඒත් අම්මා ඩිංගක් එහායින් ඉන්නේ. සෙනග නිසා හෙල්ලනේනවත් බෑ. මාත් අත් දෙකින්මයි එල්ලිල හිටියේ. ඒත් අර යකා හුස්ම අමාරුවෙන් අරගෙන වමනේ දාන කොට මට අපුල පැත්තක තියල දුකයි ආවේ. එතකොට මම බැදලවත් නෑ. ඒ පාර එක අතක් ගලවල අරන් මම උගේ පිට අතගෑවා. සනීපෙට මගේ සිලික් කලිසම පුරාම වමනේ දැම්ම අගේට. මොනා කරන්නද ඊළග ස්ටෑන්ඩ් එකේදි අහක හිිටිය අමම්ට දරුවා බාර දීලා මම බැැහැල ගිහින් කලිසම හෝදගත්තා. එදා දවසම ගන්දස්කාරයි. මට කන්නවත් බැරි උනා..

    ReplyDelete
    Replies
    1. //බනිස් කෑල්ලක්ද කොහේද වමනේ ගදත් එක්ක පෙගිලා හුළගට මගේ කටේ ඇවිත් වැදුනා//
      මීට ටිකක් වත් සමාන අප්පිරිය කතාවක් නං ඇහැව්වෙ කකාගෙ අර බැංකු පෝලිම් කතාවෙ දත අස්සෙ තිබුන ගෝව කෑල්ලක් කාපු එක.

      Delete
    2. ඔය තියෙන්නෙ දේශකයගෙ මතක ගබඩාවෙ සිදුවීම් කීපයක්ම...
      (අමතක කරලමු පැරණි කතා නේද ? )

      Delete
    3. //අමතක කරලමු පැරණි කතා නේද ?// එහෙම කොහොමද කරන්නෙ. මේකෙ තුන්වෙනි පාර්ශවයක් විදියට මටත් මැදිහත් වෙන්න අයිතියක් තියෙනව. :D

      Delete
    4. ඒක ඉවරයි බන්...කෑවා බිව්වා..වැසිකිලි ගියා...එච්චරයි..ආයි මොකටද පහු ගිය දේවල් අදින්නෙ...ඒක ප්‍රසාට කිසිම සම්බන්ධයක් නෑ නේද ? ද්විපාර්ශ්වික ඝට්ඨනයක් නොවැ උනේ...

      Delete
    5. ඔන්න ඕක තමා වෙනියත් එක්ක බැරි.. පොඩි විනෝදෙකටවත් ඔරොත්තු දෙන්නෑ. භාවාත්මක වෙන්න යනවා..හැක්.. ඉවරනං මට රික්වෙස්ට් කරහං.. එච්චරයි.

      Delete
  8. මමත් බස්වල වමනෙ දාපු එකෙක්, නානුඔය ඉදන් නුවරඑළියට ඉස්කෝලෙ යද්දී , එද්දි අනිවා දෙපාරක් දානව.
    හීතලයි, සිරිපොදෙයි හින්ද වීදුරු වහපු බස් එක ඇතුලෙ කවදාවත් හෝදන්නෙ නැති පරණ කෝට් වලින් එන හඩු ගදයි , සුරුට්ටු ගදයි මේ වමනෙ දැමිල්ලට හේතු උනා. වෙනි අයිය ගිය බස් එකේ වමනෙ දාපු පොඩිඑකාටත් ඔයවගේ හේතුවක් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මම අඩටත් අකමැතිම වැඩක් තමයි ඒ සී බස් වල යන එක..වැරදිලාවත් යන්න උනොත්..හෙමිහිට ජනේලක් ළඟ නම් ඉන්නෙ පොඩ්ඩක් ඒක අරිනවා හුළන් එන්නත් එක්කම...මම නම් එදා නාලා...ඩියෝ ගාලා එහෙම හිටියෙ..ඒ නිසා හඩු ගඳ නම් එන්න විදියක් නෑ මලයා...

      Delete
  9. මාත් ඉස්සර බස් එකක කිලෝමීටර් 15 ක් වත් වමනෙ දාන්නෙ නැතුව යන්න බැරි මනුස්සයෙක් තමයි. දැන්නං එහෙම අවුලක් නෑ.
    ඔය සමහර දුෂ්කර පාරවල් වල යනකොට වාහනේ යන හත් අට දෙනා වැඩිහිටි අය වමනෙ දානව මම දැකල තියෙනව එකපාරක් බුළුතොට ඉඳල පල්ලෙබැද්දට එනකොට.
    මොනව උනත් පොඩිඋං ඉන්නවනං සහ ලොකු උං උනත් තමංට වමනෙ යන බවට දැනීමෙන් ඉන්නවනං පෙර සූදානමින් ඉන්න එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. පෙර සූදානම තමයි හොඳම දේ..අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටිය දක්ෂම ගෑනු ලමයෙක්..එයාට ටියුෂන් වලට පැල්මඩුල්ලට එන්න බෑ..වමනෙ යන හින්දා..පව්..ඒ ළමයාට කැම්පස් එන්න ලකුනුත් මදි උනා..වමනෙ පෙති බිව්වත් හරි ගියේ නෑ..

      Delete
  10. හොද වෙලාවට වගේ මට නම් එහෙම අවුලක් නෑ.. හැබැයි මෙස්සිනා වල නැවේ රවුමක් ගිය වෙලේ නම් වමනේ යන්න ඔන්න මෙන්න ඇවිත් නැවතුනා..

    ReplyDelete
    Replies
    1. සී සික්නස් ද මොකද්ද කියලා මුහුදෙ යනකොට නම් වමනෙ යනවමලු නේද දිනේශ් මලයා..

      Delete
  11. මමයි, නංගිත් හැමදාම බස් වල වමනෙ දාපු දෙන්නෙක් මම හිතන්නෙ අවුරුදු 10ක් වගේ වෙනකන්.. අම්මි හැමදාම එක බෑග් එකක සම්පූර්ණයෙන් ගෙනියන්නෙ පරණ බෙඩ්ෂීට්, අපි දෙන්න වාඩිවුනාම පෙරවලා වගේ ෂීට් එකක් දාලා තියනවා... එකෙන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නෑ.. හැබැයි ගමන ගිහින් ඉවරවෙලා අම්මිට පැයගානක් රෙදි හෝදන්න තියනවා...

    ReplyDelete
  12. උඩ කතාවේ ළමයට කියා ගන්න බැහැ.
    ලියන්නගේ කතාවේ ළමය කිරි සප්පයෙක්...
    ඉතින් ඒ පුංචි උන් දෙන්නටම ඒ ගැන කල් ඇතුව කියන්න බැරි බව පැහැදිලියිනෙ.

    එහෙම වෙලත් උඩ සමහර වැඩිහිටියෝ දීල තියෙන උපදෙස් මහ විකාරයක්...
    කිරි සප්පයින්ට බෙහෙත් දෙන්න පුළුවන්ද...
    බස් එක බ්රේක් ගහපු පාරට බඩ තදවෙලා වමනේ යනඑක කලින් කියන්න පුළුවන් දෙයක්ද...
    එහෙනම් ඒ ළමයින්ගේ බෙල්ලේ බෑග් එකක් එල්ලගෙනම තමයි ගෙනියන්න වෙන්නේ.
    උපදෙස් දෙන එක වෙනම දෙයක්, මේ කතාවේ මටනම් වැදගත් වෙන්නේ අර හොඳ ඇඳුමක් ඇඳගෙන වසලයෙක් වගේ හැසිරුණ මිනිහව... ඌ මහ අමණයෙක්.

    මටත් වතාවක් මේ වගේම සිද්ධියක් උනා.
    පාන්දර පහට විතර කුරුණෑගල යන්න කඩුවෙල හරහා මම වාහනෙන් ගියා. කඩුවෙල පහුවෙලා බියගම පැත්තට යද්දී මම දැක්කා අවුරුදු 35 ක 40 ක වගේ තාත්ත කෙනෙක් ළමයෙක්ව වඩාගෙන ලොකු බෑග් එකකුත් එල්ලගෙන බස් එකක් එනකල් පාර අයිනේ හිටගෙන ඉන්නවා.
    එයාලව පහු කරගෙන ටික දුරක් ගියත්, ආපහු වාහනේ රිවස් කරගෙන ඇවිත් මම ඇහුවා කොහාටද යන්නේ කියලා...
    බැලුම්මහරට යන්න ඉන්නේ කියපු ඒ දෙන්නවත් නග්ගගෙන මම පිටත් උනා.
    ඒ ළමය අවුරුදු 4 ක වගේ ගෑනු ළමයෙක්, එයාගේ මොකක්දෝ ඇස්දෙකේ අසනීපෙකට පේරාදෙණි ඉස්පිරිතාලෙට එක්ක යනවලු. ඒ ගමන සුමාන දෙක තුනකට වරක් යන්න වෙන බවත් කියවුනා.
    මම යන්නේ කුරුණෑගල බවත්, අඹේපුස්ස දක්වා යා හැකි බව කියූ විට ඔහු බොහෝ සතුටු උනා.

    වාහනය ටිකක් දුර ගියා විතරයි අර ළමයා එක පාරටම මගේ ඇඟට වමනේ පාරක් විද්දා.
    බස් එකේ එක සීට් එකේ වාඩිවෙලා යන එක වගේ නෙමෙයිනේ, වාහනේක ඉස්සරහ සීට් එකේ අතරෙ ලොකු ඉඩකුත් තියෙනවනේ.
    එහෙම වෙලත් මගේ බඩ හරියේ ඉඳල වමනේ විසි උනා. ඒ මදිවට වාහනේ සීට් වලත්. වාහනේ සුද්ධ කරන එක තව ලෙඩක්...
    අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්ත වගේ සීන් එකක්නේ.

    හිතේ තරහක් ඇති උනත් මම මුකුත් කිව්වේ නැහැ, ඒ වගේම මුණෙන් තරහ පිට වෙන්න දුන්නෙත් නැහැ.
    කරන්න දෙයක් නැහැ, වෙච්ච දේ උනා...
    එච්චරයි...

    තව මේ වගේම සිද්ධි තියෙනවා... පෝස්ට් එකක් දාන්න ඕනේ.

    ReplyDelete
  13. ගොඩාක් දේවල් එකපාර වෙන සිදුවීමක් තමයි ඕක. ක්ෂණික කේන්තිය, අප්පිරියාව, දුක, යාගන්න තියෙන වැඩේට යන්න බැරිවීම, ඒ ඇඳුමම ඇඳගෙන ඉන්න වීම. පිස්සු ඩබල් වෙනවා. ඔය තත්වෙට මමත් මූණ දීලා තියෙනවා. ඒ වෙලාවට ළමයාගේ අම්මා පත්වෙන තත්වය තමයි දරාගන්න බැරි. ඔය හැම දෙයක්ම වෙන්නේ දුප්පත් මිනිස්සුටනේ.

    ReplyDelete
  14. කිරි වමනෙ කොච්චර ඇගට වැටුනත් ඔය විදියට කටයුතු කරපු නිසා කිසිම ගදක් නැහැ.දැනෙන්නෙ සුවදම විතරයි...

    ReplyDelete
  15. ලියන්නා.......... මේ පැත්තට අාවේ අදයි.................. කොහොම මගහැරුණාද කියලා හිතාගන්න බැහැ...... අලුත් බ්ලොග් හොයාගන ගිය ගමනේදි හම්බුනේ...........

    ඉතින් දිගට ම ඒන්නම්............... බ්ලොගය අගෙයි............

    ReplyDelete
  16. ඇයි බං දැන් ලියන් නැත්තෙ

    ReplyDelete