ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, May 13, 2014

පුංචි පුංචි වෙසක් තොරන්.. Wesak Pandols at oura childhood



වෙසක් මාසෙ කියන්නෙ අදටත් අපිට බොහොම ප්‍රීති ජනක කාලයක් තමයි. දැනට නම් ඒකට මූලික හේතුව වෙන්නෙ නිවාඩු හම්බ වෙන එක උණාට ඉස්සර කාලෙ නම් වෙසක් කාලෙ කියන්නෙ වෙසක් කූඩු හදන එකයි වෙසක් බලන්න යන එකයි දන්සැල් වන්දනාවයි තමයි වෙසඟේ හොඳම හරිය උණේ..ජීවිතේටම දෙසැරයක් සිල් අර ගෙන තිබුණා උණත් පොඩි අපිටම තේරිලා තිබ්බා සිල් අරගෙන කඩන එකට වඩා සිල් නොගෙන කැඩෙන්න අරින එක පව ටිකක් හරි අඩුයි කියලා. ඒ හින්දමයි ඉතින් සිල් නොගත්තෙ පස්සෙන් පහු..

අට පට්ටම්, තරු, නෙළුම් මල් සහ අහස් යාත්‍රා හදන එක හැමදාම සාමාන්‍යකරණය වෙච්ච දෙයක් උණු අපි දෙසැරයක්ම කොල්ලො කාණ්ඩෙ එකතු වෙලා තොරන් හැදුවා. ඔය තොරන් හැදිල්ලෙ කතන්දර දෙකම බුද්ධාලමබන ප්‍රීතියක් එක් කරමින් අවසන් නොවුන බව නම් මතකයි. 

මේ හතර අතේම බැලුවත් තියෙන්නෙ බුද්ධාලම්බනප් ප්‍රීතිය වෑහෙන දේවල් හින්දම මම හිතුවේ අපේ මේ තොරන් වෑයම් දෙකේ කතාව කියලා දාන්ඩයි ඔන්න ඔහේ. කට්ටිය එහෙනම් සාධු කාරයක් දීලම කියොවන්ඩ පටන් ගත්තා නම් හොඳා නේද ?

මුලින්ම හදන්න ගිය තොරණ තමයි ආලවක දමනය..

ඔය කාලෙ අපි ඉස්කෝල හය නැත්නම් හත ශ්‍රේණියෙ වෙන්න ඇති..ඔය වයසට තියෙන උණක් නේ ඉතින් ඔය වගේ වැඩක් කරන එක..
අපේ යාළුවෙක් වෙච්ච සුගත්ලගේ පාළුවට ගියපු ඉඩමක් ශුද්ධ කරලා ගත්තා වැඩේට. මෙතන තමයි හොඳම මොකද ගමේ පන්සලට යන පාරවල් කීපයක්ම එකතුවෙන තැනක තමයි මේ ඉඩම තිබ්බෙ...කොහෙන් පන්සල් ආවත් මේ පාර ඉඩම ළඟින් යන්න වෙන නිසා බලන්න එන අයගෙන් අඩුවක් තියෙන්න විදියක් නෑ..ඉඩම ශුද්ධ කරලා වැඩේ සැලසුම් කළා. ළඟම තිබ්බ ගල් තලාවෙ බුදු හාමුදුරුවො තියමු. එතන පහළ තියෙන වල වගේ ප්‍රදේශය ආලවක යකාගේ විමානය හදමු...කියන සැලසුමට තමයි වැඩේ කරන්න පටන් ගත්තෙ. කට්ටියක් බුදු හාමුදුරුවන්ගෙ සැකිල්ල හදලා කාඩ්බෝඩ් වලින් ඒක ආවරණය කළා..

අපි කට්ටිය ආලවක යකාගෙ විමානෙ හැදුවා කාලා දාපු මළ මිනී වල කෑලි, ඇට සැකිලි වගේ එව්වා හදන එක කොහොමත් ලේසි වැඩක්නෙ.. ඔය අතරේ අපේ රට ගිය යාලුවෙක්ගෙ තාත්තා එයාගෙ දුවට ගෙනත් දීලා තිබ්බ මහ ලොකු බෝනික්කව අර ගෙන ඒකට රජ ඇඳුම් අන්දවලා ආලවක කුමාරයා බවට පත් කළා. තොරණේ ප්‍රධානම කාරණය වෙච්ච ආලවක යකා හදන එක අන්තිමට තියා ගෙන අනිත් සියල්ලම ලහි ලහියෙ වැඩ ඉවර කළා...

මේ කතාවෙ ඊළඟ චරිතය සිමියොන් මාමා ගමේම මුල් පදිංචි කාරයො වෙච්ච ඒ ගොල්ලො ගමේ හිටිය නම ගිය චණ්ඩි රැළෙන් එක් කෙනෙක් තමයි සිමියොන් මාමා. ඇඟ පුරාම තිබ්බ මයිල් නිසා නැති තැන හැමෝම කිව්වෙ යකා කියලයි..

ආලවකයා හදන එක ඇර අනිත් වැඩ ටික ඉවර වෙන කොට හතර වටින්ම කලුවරත් වැටී ගෙන වෙසක් සඳ පායා ගෙන එන වෙලාව. ඔය කාලෙ වෙනකොට අපේ ගම්තුලානට ලයිට් හම්බ වෙලා තිබ්බ නිසා ළඟම තිබ්බ සයිමන් මාමලගෙ ගෙදරින් වයර් ඇදලා අපි ලයිට් පත්තු කර ගෙන වැඩේ පටන් ගත්තා ආලවක යකා හදන්න...

දවසම වැඩ කරලා හැමෝම තෙහෙට්ටුව නිසා ආලවක යකා හිතපු තරම් ඉක්මනට හැදෙන්නෙ නැති පාටයි..මුලින්ම හදපු ලී රාමුවේ කළු පාට කරපු ගෝනි පඩංගු ඔතලා එහෙම යකාගෙ ඇඟ ටිකක් එහෙන මෙහෙන් හැඩේ ගත්තා..

"මේක වෙලාවට හදා ගන්න පුළුවන් වෙයිද බන් ?"

එතකොටත් ගමේ හිටිය අය සිල් පවාරණය කරලා ආපු යන්ඩ පටන් අරගෙන..යන එන අය පොඩ්ඩක් නැවතිලා බලන් ඉන්න සයිස් එකක් තිබ්බෙ..

විවෘත කරන්න තිබ්බ කොටස විතරක් පොඩ්ඩක් වහලා තිබ්බට අනිත් ප්‍රදේශයම එළියෙ..

"සේරමත් හරි මේ යකාව හදන එක තමයි අමාරුම වැඩේ..අපිට තිබ්බෙ අනිත් වැඩ යන අතරෙ යකාවත් හදන්න.."

වැඩ වලදි මූලික වැඩ කොටස කරටම අර ගෙන කරපු කමල් පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න ගමන් එහෙම කිව්වා

ඔය අතරේ අතුල

"මම කියන්නද මීට වඩා හොඳ වැඩක්"

"කියහන්කො එහෙනම් "

"අපි මේ යකාව හදන වැඩේට මහන්සි නොවී සිමියොන් මාමට කීයක් හරි දීලා මෙතන හිටවලා තියමු"

හිනා කන අස්සෙ 

"කවුද ගිහින් ආරාධනා කරන්නෙ ?"

"හිටහල්ලා මම කරන්නම්"

කියලා මහ හයියෙන් කියා ගෙන එතනින් වේගයෙන් ගියේ සිමියොන් මාමගෙ පුතා..

අපි දුටුවෙත් නෑ මිනිහා බලන් ඉන්න සෙනඟ අස්සෙ ඉඳලා..

"අප්පට සිරි වැඩේ වකූර් වගේ මූ ගිහින් කියයිද ?"

"කියව්වෙදෙන් අපිට මොනා කරන්නද ?"

කියලා කිව්වට අපි හැමෝම පොඩ්ඩක් තිගැස්ස්මෙන් තමයි හිටියෙ. මොකද නාහෙට නාහන තිරිසනෙක් තමයි සිමියොන් මාමා කියන්නෙ..
කීවත් වගේ යකාගෙ දකුණු කකුල හදලා ඉවර වෙන්න ඔන්නෙ මෙන්න තියෙද්දි කුණුහරුප වැලක් කියා ගෙන කඩුවත් අරගෙන තොරන් භූමියට ඇතුළු උණේ සිමියොන් මාමා,

බුදු හාමුදුරුවො ඇරෙන්න කඩුව පොවන්න පුළුවන් හැම තැනක්ම කඩු ගාලා දාපු සිමියොන් යන්ඩ ගියේ තවත් කුණු හරුප වැලක් කියලම තමයි.

අන්තිමේ තොරන් පොළ තිබ්බෙ චතුරංගනී සේනාවට අහු වෙච්ච පරාද වෙච්ච යුද පිටියක් දිහා බොහොම සොවෙන් බලන් ඉන්න බුදුහාමුදුරුවන්ගෙ පිළිමය තමයි..

අපිට කරන්ඩ දෙයක් තිබ්බෙම නෑ. වයර් වලින් ඇදපු ලයිට් වලින් පැත්තම එළිය වෙලා තියෙද්දි, අපි ආලවක දමනය කියලා ගහපු බෝඩ් එක වෙනස් කළා

ආලවක විනාශය කියලා..

මුළු ගමම දොස් කියද්දි පස්සෙ සිමියොන් මාමා රුපියල් දෙසීයක් එවලා තිබ්බා වෙච්ච පාඩුව පියවා ගන්න.පහු වෙනිදා පංසලේ තිබ්බ පිංකම අස්සෙ ඔය රුපියල් දෙසීය මෙහෙම ආධාර පත්තරේකට එකතු වෙලා තිබ්බා

"සිමියොන් මාමට නිවන් සුව පිණිස රු. 200ක ආධාරයක් කරන්නෙ එතුමාගේ සුපින්වත් පුත්‍ර රත්නය නිමල්"

ඔය තොරණෙ කතාව අමතක වෙලා යනකන් ඉඳලා අපි සෙට් එකට ආයිමත් හැදුනනෙ තොරන් පිස්සුව..මෙදා පාර හදන්න ගත්තෙ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන සිද්ධාර්ථ උත්පත්තිය..

මහා මායා රැජින සල් අත්තක් අල්ලා ගෙන ඉන්නවා..වටේ සුදු තිර ඇදලා පරිවාර ස්ත්‍රීන් ඉන්නවා. අර සුදු තිර අතරින් මතුවෙන සිද්ධාර්ථ කුමාරය හෙමි හෙමිහිට නෙළුම් මල් හතක් උඩින් පා තබලා ගිහින් අන්තිම හත් වෙනි මල උඩ ඉඳලා අග්ඝෝ හමස්මි ලෝකස්ස..කියන උදාන වාක්‍යය කියනවා.. සරලයි එච්චරයි..

මේකෙත් සම්පූර්ණ යාන්ත්‍රික වැඩ ටික කරලා දුන්නෙ කමල්..සියල්ලමම විවෘත කිරීමට සූදානම්...යාන්ත්‍රික නොවන කොටසක් උණේ අර උදාන වාක්‍යය කියන එක සිදුහත් කුමාරයා මුල්ම නෙළුම් මලට වැඩලා තත්පර හැටකින් තමයි ඔය ගාථාව කියන කැසට් එක අතින් ආරම්භ කරන්න ඕනි. නැතිනම් ඔන් කරන්න ඕනි..ඊළඟ ටර්න් එකට විනාඩි පහක් විතර තිබ්බා..එතන තිබ්බ තිරය වහලා ආයිමත් මුල ඉඳන් පටන් ගන්න..

අපි මේක විවෘත කරන්න ආරාධනා කරලා තිබ්බෙ ගමේ හිටිය ලොකු මැණික් මුදලාලි කෙනෙකුට..

සේරම හරි..පන්සලෙ හාමුදුරුවො පන්සිල් දීලා අපේ කොල්ලො සෙට් එකේ ගුණ වරුණාවකුත් කරලා..ආරාධිත අමුත්තා මේක විවෘත කරන්න ස්විච් එක එබුවා..හෙමිහිට තිරය විවෘත උණා..පාට පාට ආලෝකයෙන් වර්ණවත් වෙච්ච ස්ටේජ් එක උඩ...පැත්තක සල් මල් පිරිච්ච ගහ ළඟ සුදු පිරිවට වලින් වැහිච්ච මහාමායා දේවිය..දෙපැත්තෙන් පරිවාර කාන්තාවො....සාධු සාධු හඬක් එක්කම..හෙමිහිට චර චර හඬක් එක්ක..අර සුදු පිරිවට අතරින් සිදුහත් කුමාරයා තම සුරත අහසට නංවා ගෙන පිරුවටය ළඟින්ම තිබ්බ නෙළුම් මල උඩට පාද තැබුවා..
මුලින් අපි හිතුවෙ සුළඟට වෙන්න ඇති කියලා මහාමායා දේවිය වට කරලා තිබ්බ සුදු පිරිවටය එහෙ මෙහෙ වෙන්ඩ ගත්තා..

අපොයි දෙයියනේ !

සිදුහත් කුමාරයාගේ පහළ දමන් හිටි අතේ ඇඟිල්ලකට අර සුදු පිරිවටය පැටලිලා..ඕක ගැන වගේ වගක් නැතුව උන්නාන්සෙ මෙන්න වඩිනවා ඊළඟ නෙළුම් මල උඩට..ක්‍රියාත්මක කළාට මැදින් නවත්තන්නෙ කොහොමද කියලා නොදන්න අපි තුෂ්ණිම්භූත වෙලා ඉද්දිම ඊළඟ මොහොතේ බලන් හිටි නරි කොලු රැලගෙන් ආවෙ මහ හූවක්...
මොනවා කරන්නද සිදුහත් කුමාරයා දේවිය වට කරලා තිබ්බ පිරුවටයත් අරගෙනම හතර වෙනි නෙළුම් මලට පාද තිබ්බා...අපි හරි හමන්වට හදලා තිබ්බෙ මහාමායා දේවියගේ පිරිවටයෙන් උඩ කොටස විතරයි..යට කොටස සාමාන්‍ය ගහක කොටයක් තිබ්බෙ.. මේ හාන්කවිශියක්වත් නොදන්න උදාන වාක්‍යය ගාථාව දාන්ඩ හිටි හාදයා සිදුහත් කුමාරයා හතර වෙනි නෙළුම් මල උඩ ඉද්දිම කැසට් එක ඔන් කළා...

හාමුදුරුවන්ටත් හිනා..
ගමම හිනා කනවා..
කොහෙන්ද දුවන් ආපි කමල් ඉස්සරහ තිරය වැහුවා..

ඊළඟ දවස් තුනේම ඕක පෙන්නපු හැම සැරේකම හිටපු එකෙක් හරි හිනා නොවී හිටියෙ නම් නෑ ඔය සිද්ධියට..

ඔයින් මත්තට අපේ සෙට් එක තොරන් හැදුවෙත් නෑ.

එහෙනම් හැමෝටම සුබ වෙසඟක් වේවා ! 

27 comments:

  1. වෙසක් දවසට කදිම කතා දෙකක්.

    ReplyDelete
    Replies
    1. ආදර්ශමත් නම් නෑ..එව්වා ඔය තියෙන්නෙ මේ දවස් වල ඕනි තරම්..

      Delete
  2. අයියේ උඹලට තව තොරන් හදන්නයි තිබ්බේ.. බලපන් ඒම උනා නම් තව කතා දෙක තුනක් එකතු වෙනවානේ..

    බඩක් සෙට් කරලා ගත්තානම් ආලවකට අන්දන්න උඹත් නරකම නෑ බන් අයියේ...

    ReplyDelete
    Replies
    1. මම කෙට්ටු වැඩීයි බන්..මිනී මස් කන එකෙක් මහතට ඉන්න එපාය..මම නම් හරි යන්නෙ නෑ

      Delete
  3. සිදුහත් උපතේ නව සංස්කරණයක් නේ කරලා තියෙන්නේ. අර ඉතිහාස ෆිල්ම් හදන ගොය්යලා ඉතිහාසේ වෙනස් කරලා තිර රචනා හදන එකේ ඕවා ගැන වැඩිය හිතන්න එපා

    ReplyDelete
    Replies
    1. ඔව් නේද ? මම ඒත් පොඩ්ඩක් චකිතයෙන් හිටියෙ ඇඟ පුරාම බෞද්ධාගම තියෙන ඇත්තෙක් මටත් නෙලා ගෙන නෙලා ගෙන යයිදෝ කියලයි

      Delete
  4. මම මේ පාර වෙසක් බලන්න මේ පැත්තට ගොඩ වෙන්න හිතන් ඉන්නේ.. වෙනි අයියා යාවිනේ කැමරාවත් අරන් ඔක්කොම කවර් කරන්න..

    ReplyDelete
    Replies
    1. මේ සැරේ වෙසක් බැලුවට පෙන්නන්න අරන් ආවෙ නම් නෑ මල්ලි.

      Delete
  5. මම හිතුවෙම අර සිමියොන් මාමා ආලවක වගේ කට ඇරගෙන ඉඳී කියලනේ...

    සිදුහත් කුමාරයා සුදු පිරුවටේ අරගෙන නෙලුම් මල් උඩ වැඩිය එකට ..හිනායනවා හොඳටම . මැවිලත් පෙනුණා. වෙසක් දවසේ හොඳ කතා දෙකක්.

    අපි මේ බලන් ඉන්නේ ඔයත් එක්ක වෙසක් බලන්ට යන්ට. දැන්මම ලෑස්තිවෙනවා...:)

    ReplyDelete
    Replies
    1. මෙදා පාර වෙසක් බැලුවෙ බොහොම අඩුවෙන් පොඩ්ඩි..සෙනඟ වැඩී ෆොටෝ ගන්න බෑ කොහොමත්ම...

      Delete
  6. අපේ බ්ලොග් සින්ඩියට මේ බ්ලොග් පේජ් එකත් එකතුකරන්න. ලින්ක් එක මෙතැනින්.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  7. ඒ කාලේ තිබුණු බුදුරැස් වළලු, පොඩි මෝටර් එහෙම දැන් ආසාවටවත් දකින්න නෑ. බල්බ් වැලක් අද්දා, කඩෙන් ගෙනාපු අටපට්ටම එල්ලුවා. සරලයි, සුගමයි. :(

    තොරන් නෙවෙයිලු හරි නම "තොරණ"ලු. ඒ උනාට "තොරන්" කිව්වම අමුතු ගතියක් තියෙනවා. හරියට "වල් අලි" වගේ. මම හිතුවේ ඒක තියෙන්නේ මට විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. මම මුලින් ලිව්වෙත් තොරණ කියලා සුබස මාමා හැදුවා තොරන කියලා..මම හරි ඇති කියලා තියෙන්නෙ ඇරියා..

      Delete
  8. දැං තියෙන්නෙ මොන වෙසක් ද...අපි පොඩි කාලෙ නං තිබ්බ වෙසක්...දැං ඉන්න පොඩි එකෙකු ට වත් කූඩුවක් හදන්ට කැසිල්ලක් එන්නෙ නෑ... ඒ කාල කොයි තරම් එක එක විදිහෙ වෙසක් කූඩු හැදුව ද...අනේ මන්ද..
    මම ත් වෙසක් ගැන ලිව්ව අවුරුදු දෙකකට කළින්

    ලැම්බා ගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. දැන් සේරම සල්ලි දීලා ගෙනාව..ඊලඟ අවුරුද්දට ගන්න අකුලලා තිබ්බා..

      Delete
  9. අපොයි වෙනී අයිය මහාමායා දේවියගෙ රෙදි ගලෝලනෙ.
    ඇත්තටම ඒ කාලෙ වෙසක් එකට කොල්ලන්ට තිබ්බ අමුරුව දැන් ගම්වලවත් තියෙනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ දැන් ගම්වලත් නෑ..සේරම කඩෙන් තමයි ගේන්නෙ.

      Delete
  10. මමත් හිතුවේ සයිමන් ළමයින්ගේ කතාව සීරියස් නොගෙන හිනා වෙයි කියල . හැබැවටම ආලවකයෙක් .
    මොනවා වුනත් ලස්සන අත්දැකීම් ටිකක්.අපිත් හරියට කුඩු හැදුවා . දැන් නම් කෙරෙන්නේ නැහැ ඉතින්. මෙහෙත් වෙසක් තිබ්බට අපේ වගේ නෙමේනේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් දැන් වෙසක් මුදලාලිලගෙ තමයි බින්දි..

      Delete
  11. පිස්සු හැදෙන කතා දෙක බන්. අපි ඒ කාලේ වෙසක් එකට වටේම යනවා. පොසොන් එකට තමයි කූඩුව ගැහුවේ. හරි ෂෝක් කාලයක් වෙනී.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙත් ලොකු ලොකු තොරන් ගැහුවෙ පොසොන් එකට තමයි..අපේ උණට අපි ඔය වෙසක් පොසොන් දෙකටම කූඩු හැදුවා..

      Delete
  12. ගම්වල වෙසක් අසිරිය හැඩ වෙන්නේ මේ වගේ කතා නිසා මිසක් ආගම දහම ගැන හිතලා නෙවි මම හිතන්නේ..ඒත් හැමෝම එකතුවෙලා සමගියෙන් කෙරෙන වැඩකින් ඇති කරන හැඟීම ජීවිත කාලෙටම පවතිනවා...

    ස්තුතියි වෙනී ..කොළඹ තොරන් කවර් කරන්නැද්ද මේ පාර?

    ReplyDelete
    Replies
    1. මේ සැරේ එච්චරම වෙසක් බලන්න ගියෙත් නෑ රූ..

      Delete
  13. බලන්න පින්වත්නි කොපමණ ආදර්ශවත් කතා දෙකක් ද? ඔයවගේ අත්දැකීම් නැති ජීවිතේ හරි නීරසයි ලියන්නෝ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කරපු කියපුවා තමයි අදටත් කියන්ඩ ලියන්ඩ තියෙන්නෙ විචාරක තුමෝ..

      Delete
  14. අනේ වෙනී අයියා.. ඔයාට බැරිද අපි කට්ටියක් ලබන අවුරුද්දේ කරන්න ඉන්න ආලවක දමනයේ යකාට ඉන්න එන්න..?

    ReplyDelete
    Replies
    1. හැමදාම මකුල් කුස් කන මහත හාදයෙක් තමයි ඕකට හරියන්නෙ..

      Delete