ඔබ දන්නවා විටෙක නිසල දිය තලයක් දිහා භාවනානුයෝගියකු ලෙස බලා සිටිමින් කාලය හා අවකාශය අමතක කර දමමින්..දැහැන් ගත වන්නට බහුතරයක් ලැදි බව..
මාත් ඉන් එකෙක්..
එලෙසම ඊට හාත් පසින්ම වෙනස්.. නිමක් නොමැතිව බිඳී බිඳී කැලතෙන, ගැටෙන, රළ ගෙඩි දිහා නෙත් යොමා ගෙන දෙසවන් සිඳුගේ හඬින් පුරවා ගෙන කාලය නොමැති මානයක තනි වන්නටත් මා හට තිබේ නම්..අන් සියල්ල එයට යට වන බැවි ඉඳුරාම දනිමි..
අෂ්ඨලෝක ධර්මයෙන් එන සියළු විඳීම් මදකට හැර දමා මෙසේ දැහැන් ගත වන්නට මා පින් කර ඇති සේය..
පසු ගිය ලිපියෙන් මත්ස්‍ය රංචු දෙස දෑස යොමා සිත සංතර්පනය කල මා..එයින් නොනැවතී..අලංකාර එක් එක් මත්ස්‍යයන් හා ඔවුන්ගේ හැසිරීම් රටා අතරේ ඔවුන් හා ඔවුන්ගේම පරිසරයේ තනි වන්නට වූයේ මෙලෙසිනි..
එන්න මා හා නැවතත් මා ඔබව ගෙන යන්නම් එක්කෝ ඔබ නොදුටු..නැතහොත් ඔබ දැක ඇති ඒ සොඳුරු ලොව වෙත..
මෙවන් වූ අසිරිමත් ජල තලයක් මත මාළුවකු මෙන් ඉතා සැහැල්ලුවෙන් පා වෙමින් මා ගත කල ඒ කාලය...අදටත් මා මනැස වෙත ගෙන එන්නේ කුමන නම් ආහ්ලාදයක්ද ?
මෙන්න මෙයා විතර මාව කුලමත් කරපු වෙන එක්කෙනෙක් වත් නෑ..දවසක්ම පස්සෙන් පාවෙවී හිටියා මෙයා පස්සෙ..එයාටත් ගානක් නෑ..ඔහේ තමන්ගෙ පාඩුවෙ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඔය මාත් එක්කම හිටියෙ..බලන්න මෙයාගෙ ලස්සන රටා සහ වර්ණ..
අපේ කතන්දර සූරින්ට මතක් වෙලා තිබ්බ Finding Ni mo ෆිල්ම් එකේ හිටියෙ මෙයා වගේ කෙනෙක්නෙ... මටත් මෙයාව දැක ගන්න වාසනාව තිබ්බෙ නෑ..මගේ මුහුදු ජීවී මාමණ්ඩියා තමයි එකම එක දවසක මෙයාව දැකලා තිබ්බෙ..ඊට පස්සෙ දවස් ගනනාවක් හෙව්වත් ම්හ්...ආඩම්බරකාරයා !
මෙයාව නම් ගොඩාක් අය දන්නවනෙ..මුහුදු ඉකිරියෙක්..කකුලෙ ඇනුනොත් එහෙම සොරිම තමයි..විසයි ! නමුත් සාමාන්යෙන් අපි මුහුදෙ ඇවිදිද්දි මෙයා කකුලෙ ඇනෙන්න වගේ ඉන්නෙ නෑ..සාමාන්යෙන් ඉන්නෙම ගල් ඇතුලේ..ඒත් නරක් වෙලාවට මෝල් ගහත් පත්තු වෙන රටේ..පරිස්සමෙන් ඕන්..
මෙයා කොයිතරම් හැඩකාරයෙක් උනත් ඔබ දුටුවෙ නෑ කිව්වොත් මම ඒක විශ්වාස කරනවා..අනේ අම්මේ..මෙයා දවස තිස්සෙම ඉන්නෙ නම් ගල් කුලක් අස්සටම වෙලා තමයි..යාන්තම් පෙඳයක් විතරක් පේන්න එළියට ඇවිත් ආයි ඇතුලට යනවා..ඒත් දවසක් අතටම අහු උනා මෙයා කොයිතරම් හැඩකාරයෙක්ද කියලා බලන්න..ඊළඟ තත්පරෙන් මෙයා ආයිත් අර ගල ඇතුලෙ !
මෙතන නම් ලොකු කතන්දරයක් සිද්ධ උනා..මෙයා අපි අනුමාන කලේ නම් බිත්තර දමන්න වෙන්න ඇතියි කියලයි...මෙතන තියෙන ලොකු ලොකු ගල් කැට සේරම තමන්ගෙ කටින් අරගෙන ගිහින් පූස් ගාලා වෙන තැනකට විසි කරලා එතන සුද්ද පවිත්‍ර කලා වරුවක්ම...අපිටත් ඊට වඩා මෙයා දිහා බලන් ඉන්න බැරි නිසා යන්න ගියා..ඊළඟ දවසෙ නම් හිටියෙ නෑ එතන..මෙයා තරමක ලොකු මාළුවෙක්..අපි වටේම පීන පීනා එයා දිහා බලන් හිටියත් , ෆොටෝ ගැහුවත් එයා නෙවෙයි තමන්ගෙ වැඩේට ඒක බාධාවක් කර ගත්තෙ..
මේ නම් මාත් එක්ක හිනා උනාද කොහෙද !
අපි හිතන් ඉන්නෙ සර්පයො ඉන්නෙ ගොඩබිම කියලා විතරක් නම්...මෙන්න මුහුදු සර්පයෙක්..මෙයාලා විස ඇති මයෙ හිතේ..මට දැක ගන්න වාසනාව නැති උනත්..මෙයා මාමණ්ඩිව දුටු සැනින් මෙන්න මෙහෙම හැංගිල තියෙන්නෙ..
3D නයෙකුත් ඉන්නවා ළඟදි පෙන්නන්න..ඉවසන් ඉන්ඩකෝ... මූනුපොතේ නම් පොඩියක් පෙන්නුවා !
මෙයාගෙන් පොඩියක් පරිස්සම් වෙන්න..මෙයා හපනවා..පාන් දෙන්න ගිය සැරේක අත හැපුවා..අර ගල් කුල අස්සෙ ඉන්න මාළුවන්ව බලන්න ගියහමත් කකුල හැපුවා..ඒ ගල් කුල ඇතුලෙ නම් එයාගෙ පොඩි පැටව් වගයක් හිටියා එයාලව පරිස්සම් කරන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ..හැබැයි එයා අනිත් හැම වෙලාවෙම ඔහේ පීන පීනා හිටියා මිසක් පස්සෙන් පන්නා පන්නා හැපුවෙ නම් නෑ..
බලන්නකො මේ ගල ඇතුලෙ හැංගිලා ඉන්නෙ කවුද කියලා එහෙනම්..
මෙන්න සමීප දසුනක් එහෙනම්.. ඔව් කකුළුවෙක් එක්ක මේ ඉන්නෙ ෆයර් ෆිශ් Fire fish කෙනෙක් එයාත් තරමක් භයානකයි කියලයි කියවෙන්නෙ නම්...
මෙන්න මගේ ප්‍රියතම නිදියන මාළු රංචුවෙන් දෙන්නෙක්..නිදියන මාළු කිව්වෙ මමමයි..එයාලා මුහුදු පතුලටම ඇලිලා වගේ නොසෙල්වී ඉන්නවා ඇත්තටම නිදි නම් නෑ..ඒ උනාට නිදියාගෙන වගේ නිසොල්මනේ ඉන්නෙ..
මාත් එක්ක හිනා උනාද ? මාව දැකලා හිනා ගියාද කියන එකනම් දෙයියො තමයි දන්නෙ !
එහෙනම් අදට ඇතිනෙ..
පහු ගිය කාලෙ අරවා මේවා පෙරල ගෙන අඬලා දොඩලා මල විකාරයක් කරාට..මන් හිටියෙ මේ වගේ සුන්දර ලෝකෙක තනි වෙලා කියලා මට හිතෙන වාරයක් පාසාම මට ඇතිවෙන්නෙ කියන්ඩ බැරි තරමේ සතුටක්..
ඊළඟ පෝස්ට් එකෙන් 3D නයෙක් අරිනවද නැත්නම් තවත් මාළුවන්ව සහ මුහුද පෙන්නවද කියලයි මම හිතුවෙ..




