ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, February 25, 2014

මෙදාපාරවත් ඡන්දෙන් සයිබර් අවකාශයේ දිනන අයම දිනයිද ? Effectiveness of Social media networking and social media tools in Election campaigns in Sri Lanka

http://www.deccanchronicle.com/131025/news-current-affairs/article/election-commission-vet-posts-parties-candidates-social-media



මේ ලිපිය පොඩියක් විතර දේශපාලනයට බර වෙච්ච එකක්. මම සාමාන්‍යෙන් මේ බ්ලොග් එක පුරාවටම සරල රස වින්දනයට අදාළ ලිපි මිසක්කා ඔය හරබර දේශපාලන ලිපි ලියලා නැහැනේ.. මේකත් ඉතින් අදහස් එකතු කර ගැනීමකට ලියපු එකක් මිසක්කා ආයි..

එහනම් මෙන්න තොරණේ විස්තරේ..


අපි පහු ගිය කාලෙ බුකියෙ සැරිසරද්දි දුටුව දෙයක් තමයි..


ඡන්ද කාලෙට බුකියෙ දිනන පිරිසක් ඉන්නවා..ඇත්තටම නියම ලෝකෙදි දිනන්නෙ අයමද කියන එක ලොකු ගැටලුවක් වෙනවා. නිසාම අද වෙනකොට නුකිය හරහා ඇදිලා යන ඡන්ද ව්‍යාපාර විහිළුවට ලක් නොවෙනවාත් නෙවෙයි. සැබෑ ජනාධිපති කෙනෙක් පත් වෙන අතරේ බුකියෙ ජනාධිපති කෙනෙක් පත් වෙලා හිටි ආකාරයක් තමයි පහු ගිය කාලෙ අපි දුටුවෙ..


ඉතින් බුකිය බුකිය කිව්වට බ්ලොග් ලෝකෙත් ඔය සංසිද්ධිය ඔහොමම උණා වගේ මතකයි. වර්තමාන සැබෑ ජනාද්පති වෙනුවට බුකියෙනුත් තෝරාපත් කර ගෙන තිබුණෙ නම් වෙන අපේක්ෂකයෙක් තමයි.ඇත්තටම කියන්නෙ නම් බුකිය අපි කියන ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය සහ බ්ලොහ් ලෝකය ඇතුළත් සයිබර් අවකාශයම සමාජයේම කොටසක් නියෝජනය කරනවා කියන එක තමයි. එහෙම නම් සමාජයේ බහුතර පිළිගැනීම නේද සයිබර් අවකාශයෙන් ඉස්මතු වෙන්න ඕනි. එහෙමම වෙනවාද ?


මට ප්‍රශ්න දෙකක් තියෙනවා මේ ගැන..


1) " the effectiveness of the social networking/social media tools used in elections in sri lanka in general" will it benifit for collect more votes.


මම මේක ඉංග්‍රීසියෙනුත් දැම්මෙ මම දාන සිංහල අදහසෙන් කියන්නෙ මොකද්ද කියන එක පොඩ්ඩක් එහෙමෙහෙ උණොත් බලා ගන්නයි. කියන්නෙ

  අන්තර්ජාල සමාජශාලා සමූහ සහ ඒවායේ පවතින උපක්‍රම අද පවතින ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඡන්ද ගන්න ප්‍රයෝජනවත් වෙනවද නැද්ද ?


2) "the effectiveness of the social networking/social media tools used by sri lankan election candidate with compared to the traditional campaign methods" 


දෙවැනි ප්‍රශ්නෙ තමයි සාම්ප්‍රදායික ඡන්ද ලබා ගැනීමේ ක්‍රම සහ නූතන අන්තර්ජාල මත පදනම් වූ සමාජජාලා වල ක්‍රම සන්සන්දනය කළොත් කොයිකද වඩා වැදගත් වෙන්නෙ කියන එක ?


මේ හෙටානිද්දා ඡන්දයක් ඔළුවට කඩා වැටෙන්න තියෙන අවු අස්සෙ ඔන්න ඔය කියන ප්‍රශ්න දෙකට ඔය ගොල්ලන්ට කියන්න තියෙන දේවල් ටිකක් කියලා දාන්ඩකො එහෙනම්..


මේක අන්තිමේ ප්‍රයෝජනවත් වෙන කොට්ඨාශයක් ඉන්නවා මේ වෙලාවෙ


මගේ සගයෙක් මේ ගැන සොයනවා..


ඉතින් ඔබලාටත් පුළුවන් නම් ඔය තව මේගා බයිට් දෙක තුනක් ඔහොමම වියදම් කරලා ඔබගේ වටිනා කියන අදහස මෙතන ඉදිරිපත් කොරණ්ඩලකෝ එහෙනම්.


ඒකට මෙන්න මගේ හද පිරි තුතිය !

Thursday, February 13, 2014

ඉබ්බා කවදා වතුරට දායිද ? Another naked revelation about a blogger.

http://learngoodenglish.com/uncategorized/the-foolish-fox/



අපි පුංචි කාලෙ අහල තියෙන කතාව තමයි මේ..

ඔන්න ඉබ්බෙක් ගමනක් යමින් හිටියා. ඔය අතරේ ඌ නරියෙක් අටවලා තිබ්බ උගුලකට අහු උණා. නරියත් සතුටින් අහුවෙච්ච ඉබ්බව කන්ඩ ඉස්සෙල්ලා බයිට් කරන්න පටන් ගත්තා..


"මම උඹව ගින්නට දාලා BBQ දාලා කන්නයි යන්නෙ"


ඉබ්බා නෙවෙයි කන පාරකට ගත්තෙ..


"මගේ කටුව හයියයි.. ඔළුව ඇතුළට දාගත්තහම ඕනි තරම් ලැව් ගිනි වලින් මම බේරිලා තියෙනවා මේ කැලේ"


නරියත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ.


"උඹව හම ගහලා කන්නෙ"


ඉබ්බා නෙවෙයි ගාණකට ගත්තෙ..


"ඔයිට වැඩිය උනුත් ආව කන්න ආවා කොටි වලස්සු එහෙමත්..අන්තිමේ මගේ කට්ට හපන්න ගිහින් දතුත් නැති කරගෙන තමයි ආපහු ගියේ"


"එහෙමද උඹව වතුරෙ ගිල්ලලා මරලා කන්නෙ එහෙනම්"


මෙදා පාර නම් ඉබ්බා ගැස්සිලා හිටියා..මූණෙන් බය බේරෙන්න ගත්තා..


"අනේ...අනේ...අනේ.."



නරියට මාර හැපී


"මොකෝ"


"අනේ රාළහාමි මාව වතුරෙ නම් ගිල්ලවන්න එපා..ගං වතුරක් ආව්ත් මම ගහක් කොළක් උඩට ගිහින් බේරිලා තමයි ඉන්නෙ"


නරියත් සතුටින් ඉබ්බව මරන් කන්න වතුරෙ ගිල්ලවන්න පහළ තියෙන ගඟට ගිහින් ඒකට දමලා මැරෙනකන් බලා හිටියලු..


ඉබ්බා හූ තිය තියා ගඟේ එහා ඉවුරට පීනා ගෙන ගිහින් පණ බේරා ගත්තලු..


දැන් කතන්දර සූරිනුත් තමුන්ට අහවල් සින්ඩ්‍රොම් එක නෑයි ඔප්පු කොරන්ඩෙයි කියලා ආන් බ්ලොග් එකත් අතෑරලා දාලා සතියක්ද කොහෙද වනවැදිලද කොහෙදලු නේ.. අනේ මන්දා මේ මනුස්සයටත් තියෙන පිස්සුවක් අම්මපා..දවස ගානෙ ලියන්න දේවල් තියා ගෙන නොලියා ඉන්ඩ දඟලනවා..අපි ලියන්ඩ දේවල් හොයන්ඩ දඟලනවා..ලංකාවෙ හිටියා නම් ඉතින් ඔය තට්ට ගෙඩිය උඩින් ඉස කුඩිච්චියක් වත් දාන්න තිබ්බා..ආයි පරණ තත්වෙටම එන්නයි කියලා..එහෙව් එකේ අපිවත් මේ වගේ පෝස්ට් එකක් ලියලා පුරුදු වෙන්න එපාය..ඉස්සරහදි..


අම්මපා මේ හැලපෙ බ්ලොග් ලෝකෙට බෝ කරා ලෙඩක් ආයි අපිටත් බෝ වෙලා..කියන්ඩ යන කතාව පැත්තක..පඳුරු තැලිල්ල තමයි ජයටම යන්නෙ..ඔය අවු අස්සෙ අල්ලන්ඩ යන හාවා හා කෑල්ලක් සෙට් කරගෙන තමන්ගෙ ඊළඟ පරම්පරාවත් බෝ කරලා අපි පඳුරු තළලා හාවා අල්ලන්ඩ එනකොට..අහු වෙයකො හැලපෙයා දවසක හැබැහින්ම..තලන්නෙ පඳුරක් අස්සට දා ගෙන..


ඉතින් මොකද්ද මම කියන්ඩ ගියේ.. ඕපදූපයක්ම තමයි..එක අතකින් මේක එක කුමන්ත්‍රණයක හෙළිදරව්වක් කිව්වත් හරි..


අපේ කතා නායකයා වැඩේ කියන්නෙ මට මෙයා කවුද කියලා එක වචනයක වත් ඉඟියක් දෙන්න බෑ. එක වචනයක් නෙවෙයි එක ඉස්පිල්ලක්, කොමාවක් හරි විස්මයාදී ලකුණක් වැටුනොත් මෙයා කවුද කියලා කියලා හැමෝටම අහු වෙනවා. ඒ නිසා මේ ලියපු එකත් මම කීප සැරයක්ම කියවලා කියවලා සංස්කරණය කරලා තමයි පල කරන්නෙ. මහ ලොකු හූනු බිජ්ජක් නෙවෙයි තමයි ඒත්..


මෙයා බ්ලොග් ලියන කෙනෙක්..ඔතන "බ්ලොග් ලියන කෙනෙක්" කියන වචන ටිකට ඉස්සරහින් එක විශේෂණ පදයක් දමන්න ඕනි..දාපු ගමන් බඩු මාට්ටු..


එහෙනම් බලන්නකෝ ඔය පහළ තියෙන ස්ක්‍රීන් ෂොට් එහෙම නැත්නම් තිර කැපිල්ල...




ඔයකෙ තියෙන්නෙ මට සාක්ෂි එක්ක දෙන්න පුළුවන් විස්තරේ..මේකම ඔය ලෙසටම උණා ඔයිට ඉස්සෙල්ලත්..පොඩ්ඩක් හිටු බලන්න හෑන්ග් අවුට් එක පැත්තෙ..නෑ ඒකෙ තිබ්බ පණිවිඩ මකලා දාලානෙ..කොහොමත් ෆෝන් එකේ තියෙන එව්වා වැඩි කල් තියා ගන්නෙ නෑ..හැම එකාගෙම අතින් අත යන බඩුවක් වගේනෙ ෆෝන් එක..ඔය අට මගලේ තියෙන එව්වා වෙන කවුරුවත් දැකලා කියලා අනාවරණය කළොත් එහෙම ඉතින් ආයි රෙද්දක් පෙරෙද්දක් ඇඳලා එළියට යනවා නම් බොරු..


ඉතින් ඔයකෙ විදියට අහවලා තනන්නෙ මට මඩ පෝස්ට් එකක් ලියලා දාන්නනෙ..


මමත් ඕක දුටු සැණින් උණේ නම් තොල කට වේලිලා..පපුවෙ ගැස්ම වැඩිවෙලා..හිතා ගන්න බැරි වෙච්ච සීන් එකක්..ඇයි මල හත්වලාමෙ අර සීන් එකක් වත් කොහෙන් හරි ලීක් වෙලා ඒකවත්දෝ මේ යකා දාන්න යන්නෙ කියලා බයයි නොවැ..පොඩ්ඩකින් මොළේට හොඳ ඔක්සිජන් පාරක් ගිය ගමන් පොඩ්ඩක් මොළේ පෑදුනා..මම ක්ෂණිකව දුන්නෙ උත්තරේ තමයි..අවුලක් නෑ මචන් දාහන්.. කියන එක..
මෙන්න ඊයෙ රෑ ආපු පණිවිඩේ..




පේනවනෙ වෙලාවත් එක්කම..

පණිවිඩේ එමමයි..මොකාටද මේ යකා මහත්තයා එන්න ලෑස්ති වෙන්නෙ කියලා මම දැනන් හිටි නිසා..මුහුදට හත් ගව්වත් තමයි අමුඩෙ ගහන් හිටියේ සූදානම් සරීරෙන්..


හරි මචො අවුලක් නෑ කියලා දුන්නා..


මම දන්නවනෙ...සැකයක් නෑ..මඩ පෝස්ට් එකක් ඇති..කාලයක් එකට..ඔහෝ..තව පොඩ්ඩෙන් කඩුල්ල පයිනවා..


මඩ පෝස්ට් එකක් ඇති සමහර විට..හැබැයි බලන් ඉන්නෙ,


"අනේ මචෝ දාන්න එපා..මොනවා තියෙනවද දන්නෙත් නෑ.. පේනවනෙ මේ දවස් වල මට බුකියෙ තියෙන අඩන් තේට්ටම්..ගෑනු ළමයෙක් එහෙම නම් මෙලහකට ළමයිත් හම්බ වෙලා..ඒ හින්දා දාන්න නම් එපා මචන්"


කියලා මම කන් කෙඳිරි ගායි කියලා වෙන්න ඇති හෝ එහෙම කියන කම් තමයි මේ යකා මහත්තයා ළතැවෙන්නෙ..


පව් දෙයියනේ..අර එළුවගෙ දෙක වැටෙනකන් බලන් ගිය එකා සේ..මේකත්..


මම කියන්නෙම හරි මචෝ අවුලක් නෑ දාපන්
කියලමයි.


අනේ ඉතින් කවදා ඉබ්බාව වතුරට දායිද...දාන්නමයි කියද්දිත්...


ඈ ???!!!

Wednesday, February 12, 2014

අතීතයෙන් මතක පොදක්...

දරුවන් හැදිල්ලයි දරුවන් නොහැදිල්ලයි ගැන එහාට මෙහාට ඇඟිල්ල දිගු වෙන කාලෙක හැමෝටම අමතක වෙන එකක් තමයි එක ඇඟිල්ලක් තමන්ගෙන් පිටතට දිගු වන හැම වෙලාවකම අනිත් ඇඟිලි හතරම දිගු වෙන්නෙ තමුන් දිහාවට බව. අහපු කතන්දර, දේශනා මදි කියලා මම කියන්න යන්නෙ නම් උවදෙස් පත්‍රිකවක් නෙවෙයි. මෙය සත්‍යය ජීවිතයේ මම අත්දුටු දෙයක් සහ මෙහි කියවෙන චරිත අදටත් මේ පොළවේම පය ගහලා ඉන්න චරිත වීම. මම මේවා බ්ලොග් වල ලියන බවක් ඔවුන් දන්නවාද යන්න ගැන නම් හරියටම කීමට නොහැකි වූවත්..ඔවුන් මෙය දුටොත් මා හට සමාවක් දෙන බැව් නම් නියතයි. මන්ද මීට වඩා වැරදි වලට ඔවුන් ආ හට සමාව දී ඇති බැවින්.

කාලය 1994 හෝ 1995 වන්නට ඇත. මේ වනවිට මා සරසවියට යන අතරේ නැවතී සිටියේ මාගේ ඥාති සොයුරකුගේ නිවසේය. ඔහුගේම පුතුටත්, දුවටත් දක්වන සෙනෙහසට අඩු නොවන සෙනෙහසක් ලද මා මේ කාලය තුළ ජීවිතය පිළිබඳ උගත් දෑ මහමෙරටත් වඩා වැඩිය.
අදාළ දැරිය එවකට සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හදාරන ඥාති දුවණියගේ හොඳම යෙහෙළියයි. ඔවුන් දෙදෙනාම අගනුවර හොඳම පාසැලක ඉගෙන ගත් අතර සාම්ප්‍රදායිකත්වය කර පින්නා නොගත් දෙම්ව්පියන් ලැබීම ඔවුනගේ මහත් භාග්‍යයක් වීය.
සිදුවීම් දෙකක් සිහියට නැගේ.


එයින් අප්‍රධාන වූ සිදුවීම මුලින් පවසා යම් ප්‍රවේශයක් ගැනීමට සිදු වේ.
දිනක් මා හා ඥාති සොහොයුරා නිවසේ මිදුලේ යම් කටයුත්තක් කරමින් සිටියෙමු. මිදුලේ වල් ගැලවීම වන් කටයුත්තක්. ප්‍රධාන වැඩය ඔහු කරමින් සිටි අතර මා ඉඳහිට එහෙන් මෙහෙන් උදව් වෙමින් සිටියෙමි. අධ්‍යයන කටයුතු පාඩු කරගෙන නිවසේ සිදුවන කුඩා හෝ කටයුත්තකට සහය වීමට මා හට ඉඩක් නොදුන් කෙනෙකි ඔහු.. දුව සහ ඇගේ යෙහෙළිය සවස පන්ති අවසන් කර ඉක්මන් ගමනින් නිවෙස දෙසට පැමිණෙයි. ඔවුන්ගේ යම් කලබලකාරී බවක් දුටු නිසා අප දෙදෙනාද නැගිට ඒ දෙස බැලුවෙමු.


"ඔන්න ගොඩක් දුර ඉඳන් අපි පස්සෙ කොල්ලෙක් එනවා"


කියමින් ඔවුන් දෙදෙන වහා නිවෙස තුළට ගියෝය. මාගේ කේන්තිය නිම්හිම් නැත. කොල්ලෙක් සෙමින් සෙමින් වට පිට බලමින් නිවෙස දෙස බලමින්ද ඉදිරියට ඇදේ. මාගේ ඥාති සොහොයුරා කේන්තියෙන් ගැහෙමින් වූවද ඔහුටම අවේණික වූ හික්මීමකින් යුතුව නැගී සිට පාර දෙස බලා සිටී. මාද පාර දෙසට ගියෙමි.


"අපේ ළමයින්ට ඉගෙන ගන්න තියෙනවා මේ වයසේ ඔය විකාර ගැන නොහිතුවට"


අයියා මහ හඬින් එල්ලයක් නොමැතිව එම වචන පැවසුවේය. අර තරුණයා දෙස තියුණු බැල්මක් හෙළුවා මිස එතැනින් එහාට කිසිම දෙයක් සිදු නොවීය.


ඔහු දුවටත් යෙහෙළියටත් කුමන අවවාද දුන්නාද මතක නැත. එවන් සිදුවීම් නැවත සිදු නොවීය..


පාරට පැන හතර අතට නෙලා ගෙන නෙලා ගෙන යෑමට තරම් මානසිකත්වයකින් පසු වූ මා එයින් ඉගෙන ගත් දෑ බොහෝය..
වචන ටිකකින් ඔහු ඒ සියල්ලම කළේය..


දෙවන සිද්ධිය වන්නේ මා කී අර යෙහෙළියටයි.


ඈගේ පියා ගැන කිවහොත් ඒ වනවිට ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ ඔහුට සිටියේ මේ දියණිය පමණි. කොල්ලෙක් නැති ගෙදර කෙල්ලෙක් මෙන්ම කොල්ලෙක් ලෙසින්ද සෑදුණු ඇය..කෙළිලොල් බව මෙන්ම තැනට සුදුසු අයුරින් හැසිරීමේ නුවණින් අපවද පසු කර ගොස් තිබුණා මතකය. කිලෝමීටර් 4-5ක දුරකින් තිබුණු ඈගේ නිවසේ සිට අප නිවසට තිබූ දුර ඈ එන්නේ නයින්ටියකිනි හෝ එවන්වූ යතුරුපැදියකිනි. හවස හය හය හමාර වූවද ඈ තනිවම එයින් ගමන් බිමන් යෑමට බියක්ද නොදැක්වූවාය. අපගේ ඥාති පවුල මෙන්ම ඈගේ පවුලේ අයද සැම විටම ඈ පිළිබඳව සැලකිල්ලෙන් සිටි නිසා එවන් ගමන් බිමන් සියල්ලන්ටම සාමාන්‍ය දෙයක් වීය. විශ්වාස කිරීම සහ එම කරන විශ්වාසය රැකීම ඔවුන් කුඩා කල සිටම ලද පුහුණුවක් වැනි වීය.


එක් සෙනසුරාදා දිනයක ඈ එලෙස තම බයිසිකලයේ ගමන් කරන විට ඉදිරියෙන් ගමන් කල කොල්ලන් හතර දෙනෙකු කල විහිළුවක් නිසා අපි සියල්ලම මහත් භීතියට පත්වීමු. කෙල්ලකු යතුරුපැදියක යන විට කොල්ලන්ගේ කොලු කම ඉහවහා ගොස් තිබුණි. ඒ ඉදිරීයෙන් ගමන් කල කොල්ලන් හතර දෙනා විහිළුවට මෙන් පාර පුරා ගමන් කරමින් සිටියෝය. ගිය වේගයට ඈ හට බයිසිකලය නවතා ගන්නටද නොහැකි වීය. අර තරුණයන් හතර දෙනා ගේ ඇඟේ නොහැපී බයිසිකලය නවතා ගැනීමට ඈ හට කල හැකි එකම දෙය වූයේ අසල වූ විදුලි පහන් කනුව දෙසට යතුරුපැදිය හැරවීම පමණි. එහි වැදුණු ඈ තුවාල සහිතව රෝහල් ගත කෙරිණි. නළල මතද තුවාලයකි. මගේ මතකයට අනුව සති ගණනාවකකින් පසුව ඈ සුවය ලබා නිවෙසට පැමිණියාය. කලකින් හමු නොවූ නිසා තවමත් නළලේ වූ තුවාල කැළල තිබෙන්නට පුළුවන..
එම කොල්ලන් වෙනුවෙන් ගත් පියවර කුමක්ද මා නොදනිමි...යමක් සිදු නොවූවා සේ ඔවුන් සිටියා මතකය.


සියලුම තුවාල සුව වූ සැණින් ඇගේ දෙමවිපියන්ගේ අනුදැනුමද ඇතුව ඈ කළේ ආත්මාරක්ෂක පන්තියකට බැඳීමයි. එහිද බොහෝ දුර ගොස් එවකට තිබූ ආත්මාරක්ෂක ක්‍රම හඳුන්වා දීමේ රූපවාහිනී වැඩසටහන් කීපයකම ඇය මෙහෙයවීම්ද කළා මතකය.


කිසිවෙකින් නොසැලීමේ ගුණය මා දුටු එක අවස්ථාවක් වූ ඈ අද වනවිට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මා හට ඇගේ නම කීමට නොහැක්කේ පසුගියදා ප්‍රධාන පුවත් පත් කීපයකම ඈ තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා කල පර්යේෂණය පිළිබඳව බොහෝ කරුණු අඩංගුව තිබු ලිපි කීපයක්ම පල වූ බැවිනි.ඇගේ හොඳම යෙහෙළිය වූ මාගේ ඥාති දුවනියද අද වන විට ප්‍රසිද්ධ පාසැලක රසායන විද්‍යාව පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරියකි.


මේ කාලය 1995-2000 වැනි කාලයයි. අද වන විට අසන්නට දකින්නට වන දෑ මඟින් සලිත වන සිතට මා හට නැගුණු මේ සිද්ධි දාමයන් දෙක කෙතරම් අපූරුවට සම වන්නේදැයි මා හටම සිතා ගත නොහැකිය. යම් කාලයකට පෙර පාසැල් දරු දැරියන්ගෙන් අපට අසන්නට, දකින්නට නොලැබෙන තරමේ ප්‍රවෘත්ති ඇසෙන්නේත් කාලය මැවූ වෙනසක අරුමය අපට පසක් කරමිනි.


හදන්නන් වාලේ නොහදා ළමයින් හැදීම දෙමව්පියන්ගේ ප්‍රධානම යුතුකම වන බව නම් ඉඳුරාම වැටහේ.


දමිත් කේතක සොයුරා මතු කල අදහස වේසි කිව්වොත් පල පොන්නයො යන්න කියා හෝ කීමට ශක්තියක් ඇතිව ළමයින්ව සෑදීමේ අවශ්‍යතාවයනම් අන් කවරදාටත් වඩා අද පැන නැගී ඇති බව පෙනේ..
ප්‍රශ්නයක් පැන නැඟි සැණින් විකල්ප විසඳුම් රාශියක් ජනිත කර ගැනීමේ දක්ෂතාවය නම් වයස් භෙදයක් නොසලකා ප්‍රගුණ කල යුතු වූ ගුණාංගයක් බව පෙනේ.

Friday, February 7, 2014

මී මරුවා

http://becomingdomestic.com/2008/05/01/how-to-kill-a-rat/

"අම්මේ ඒ ඒ ඒ හ්"

චූටි දුවගේ හඬ නාන කාමරයේ වතුර මලෙන් වැටෙන වතුර වල ශබ්දයද පරයා නැගේ. මසිතට කේන්තියක් මුසු වූවද එය ක්ෂණයකින් මැඩ පවත්වා ගනිමින් සාලය දෙසින් නැගෙන මවගේත් චූටි දුවගේත් දෙබසට ඇහුම් කන් දෙමින්ම තුවාය අතට ගතිමි.


"බලන්නකෝ අම්මි අදත් මගේ මේස් කූට්ටමෙන් එකක් මීයො කාලා . ඔය අලුතින්ම ගෙනා කූට්ටම අනේ ඒ ඒ"


"මොනා කරන්නද මන්දා මේ මී කරදරෙත් එක්ක නම්. තාත්තා මුකුත් කරන්නෙත් නෑනෙ මේකට. මගේ අලුත්ම සාරියකුත් කපලා තිබ්බා. ඇයි චූටි ඔයාගෙ පරණ කූට්ට්මක්වත් දමන් යන්නකෝ අදට"


"මොන පරණ ඒවද ඔයක අලුතින් ග්ත්තෙ සවුත්තු උණ පරණ ඒවා අයින් කරලනෙ."


"ඊයෙ දමපු එක අදත් දමන් යන්න බෑ."


"එහෙනම් පොඩි අයියගේ එකක් දමන් යන්න"


"ඊයා එයාගෙ එව්වා නම් එපා ගඳයි. "


"ලොකු පුතේ මේ නංගිට හරියන්න ..."


"බෑ බෑ මම නම් දෙන්නෙ නෑ මගේ මේස් කූට්ටම් පිරිමි ළමයි දාන ඒවා ගෑනු ළමයින්ට හරියන්නෙත් නෑ..ඊටත් වඩා නංගිට දුන්නහම ආයි එක සැරයයි විනාශ කරලා ගේන්නෙ..මම නම් දෙන්නෙ නෑ"


"මොකද අනේ මේ කරච්චලේ ?"


"බලන්න තාත්තෙ ආයිමත් මගේ මෙස් කුට්ටම.."


"මට පේනවා මට පේනවා"


"දැන් මොකද කරන්නෙ මේ වෙලාවට සපත්තු කඩ ඇරලයෑ..'


'එහෙනම් මම ගෙදර ඉන්නවා එහෙනම් මම ගෙදර ඉන්නවා..මාව ආච්චිලයෙ ගෙදරින් දාලා යන්න'


"නංගිව මේ දවස් වල ඉස්කෝලෙ යවන්න එපා අම්මෙ ක්‍රීඩා තරඟ හින්දා උගන්වන්නෙත් නෑ..මේ ගොල්ලො බොරුවට නට නටා ඉන්න එක විතරයි.."


"ඒයි එහෙනම් ඔයා වැඩට යන ගමන් චුට්ටිව අම්මලයෙ ගෙදරින් බස්සවලා යන්න හොඳේ.."


"හූ හූ නියමයි නියමයි.."


"චුට්ටි නටන්නෙ නැතුව ලෑස්ති වෙනවා තාත්තා එක්ක යන්න"


මේ වනවිට අප සන්තකයේ තිබූ ඇඳුම් රාශියක්ම කා දමා තිබූ මීයන් පිළිබඳව මා හට ඇත්තේ නොමද කේන්තියකි. එම කේන්තිය තිබුණද ඒ පිළිබඳව කල කිසි දෙයක් නැත. අසල නිවසේ සිටි සිල්වා දුන් මී කතුර දෙවෙනි දවසේම ආපසු ගෙනගොස් දී තිබුණේ මගේ බිරිඳමය..


"පව් අනේ බඩදරු මී අම්මා කෙනෙක් අහු වෙලා හිටියේ..ආයි නම් එපා ඕන්.."

"එපා තාත්තෙ පව් මී අම්මා.."


මීයන් කල විනාශය අමතක කර දමමින් බිරිඳත් දරු තිදෙනාත් මා මීමරුවකු කරමින් දොස් පැවරීම නිසා එම නාටකය අවසන් වූයේ මාස කීපයකට පෙරය. විටින් විට උග්‍ර වන මී කරදරය මෙවර නම් අවසන් කල යුතුවම ඇත. මා වඩාත් කම්පනය කළේ මා සතුව තිබූ මඟුල් සූට් කීපයක්ම තැනින් තැන කපා දමා තිබූ ආකාරය සිහි වීමෙනි. ඒ අතර වසර 18ක් පැරණි අපගේ විවාහයේ ඇඳුම්ද වීය.


කාර්යාලයේ සගයින්ගේ උවදෙස් ද මත සවස වන විට අසල වූ කඩයකින් මීයන්ට දමන වස පැකට් එකක් රැගෙන ආවෙමි. රෝස පැහැ කුඩා කැබලි වලින් සමන්විත එය කිසි ලෙසකින්වත් භයානක පෙනුමක් නොගෙනා බැවින් මම සතුටු සිතින් එය ගෙන කාඩ්බෝඩ් කැබලි මත නිවසේ කීප පලකම තැබූවෙමි.


"අනේ මෙව්වා නම් චෝක් අනේ.."


"අල්ලන්නෙපා චූටි යන්න යන්න ගිහින් අත සෝදා ගන්න.."


"මෙව්ව කාලා මීයො මොකද කරන්නෙ තාත්තෙ"


"උන් යන්න යයි දුව"


පසුදා කාඩ් බෝඩ් මත තිබූ රෝස පැහැකැබලි බොහොමයක් අතුරුදන්ව තිබුණි. නමුත් මීයන් එකෙකුවත් පෙනෙන්නට නැත.


උන් යන්න ඇති..යාන්තම් ඒ කරදරෙත් ඉවරයි..සිතට දැනුණේ මහත් සැනසිල්ලකි.එම සැනසිල්ල..


පසුදා සවස් වනවිට මා නිවෙසට පැමිණෙන විට නිවස එකම මල ගෙයක සිරියක් ගෙන තිබුණි.


බිරිඳ ඇඬූ කඳුළිනි..චූටි දුව දෑස් රතු කරගෙන සිටියාය.
දෙවෙනි සහ ලොකු පුතා මා දෙස ඉව අල්ලන්නේ මහත් පිළිකුලකින් මෙනි..


"ආන් ඔයාගෙ යාළුවන්ගෙ උපදෙස් වැඩ කරලා මම නම් යන්නෙ නෑ කුස්සිය පැත්තෙ.."


කාර්යාලයේ ඇඳුම් වලින් කොට කලිසමකට බැස ගත් මා මුළුතැන් ගෙය දෙසට ගියෙමි. එහි මුළු වල මීයක් කීපදෙනෙකුම මැරී වැටී සිටියෝය. නිවෙසම පිරික්සීමේදී.. නිදන කාමරයේ ඇඳ යට, අල්මාරිය අසල සහ ගබඩා කාමරයේ මුළු වල සිට මීයන් 14 දෙනෙකුගේ මළකුණු මට සොයා ගන්නට හැකි වීය.


මිනීමරුවෙකු දෙස බලනාකාරයෙන් නිවැසියෝ මා දෙස ඔරවා සිටී. සියලුම් මී කුණු ගෝනියකට දමා එය වත්තේ වල දැමූයෙමි. අසල කඩයකින් ගෙනා ඉඳිආප්ප කෑ නොකෑ අපි සියල්ලෝම නින්දට වැටුනෙමු. අත්‍යවශ්‍ය දෙයක් හැර කිසිවකුත් කිසිම සුහද සාමීචියක් නැත. මසිතද හොල්මන් කරන්නේ නා නා ප්‍රමාණයේ වූ මීයන්ගෙ මලකුණුයි. ඒ සියල්ලන්ටම වගකිව යුත්තේ මාය යන්න මසිත දොස් නඟයි. නිවැසියෝ එම සිතුවිල්ල තහවුරු කමින් සිටින්නෝය.


හෙට සෙනසුරාදානෙ ගෙදර හැමෝම ඉන්න දවස නිසා ඕක අමතක වෙලා යයි..සිතමින් මාද නිදි යහනට වූයෙමි. අනෙක් සිකුරාදාවන් වල මෙන් ඈද උණුසුමින් තොරව මා තුරුලට ආවද..දැඩි වෙහෙස හා මනස්තාපය නිසා මා ද හනික නිදි දෙව්දුව වැළඳ ගත්තෙමි.
පසුදා උදෑසන මදක් පසුවී වූවද මා ඇහැරෙන විට නිවෙස තුළ තවත් කාලගෝට්ටියකි..


චිහ්..තව මීයෝ මැරිලා ඇති..


මා මුළුතැන්ගෙය තුළට පිවිසෙන විට..එහි කුඩා මේසය වට කොට බිරිඳ හා දරු දෙදෙනා ඉතා සීරුවෙන් යමක් දෙස බලා සිටී. ලොකු පුතා තම අත වූ යමකින් කිසිවක් කරයි.ඔවුන්ගේ එම කාර්යයට කොතරම් අවධානයක් යොමු කළේද යත් මා ගේ පැමිණීමද සැලකිල්ලට භාජනය නොවීය..


මා ඔවුන් දෙදෙනාගෙ හිස් වලට උඩින් දෑස යොමු කළෙමි..
පත්තර කොළයක් උඩ රෝස පැහැති කුඩා මී පැටවුන් හතර දෙනකු ඉරටු කැබලි වන් කකුල් ගසමින් දඟලයි. විටින් විට දුබල කීක් හඬක් නැගේ. ලොකු පුතා කුඩා රෙදි පාංකඩයකින් සාදා ගත් කූරකින් අසල තැටියක වූ කිරි පොද පොද ගෙන මී පැටවුන්ගේ තොල ගාන්නට තැත් කරයි. මා දුටු ඔවුන් වහා ඉවත් වී මගේ අපරාධයේ ඊළඟ දසුන මා වෙත පෑවේ නිහඬවය.


"ඇඳුම් අල්මාරියෙ අයිනක කෑ ගහන සද්දෙට මමයි දැක්කෙ. මගේ හොඳම ටී ෂර්ට් එකක් කපලා ඒක කූඩුවක් වගේ හදලා පැටවු දාලා"


ඒ ලොකූගේ හඬයි..


"මුන් මැරෙන එකක් නෑ නේද තාත්තෙ"


"දන්නෙ නෑ පුතේ.."


මම ඉතිරිව තිබූ මී නාශක පැකට්ටුව ගෙන උදැල්ලද රැගෙන වත්ත පහළට ගියෙමි. වත්තේ කොනක එය වළ දා ආපසු හැරුණු මසිතේ වූයේ නැවත කිසිදා සතුටු විය නොහැකි යන්න තැවරුණු හැඟුම් සමුදායකි. මා පිළිබඳවම කේන්තියක් මසිතට නැගේ.


"කෝ දෙවෙනියා?"


"ඔන්න යාළුවෙකුගෙ ගෙදර ගියා"


මසිතට යක්ෂාරූටයක් ආවේශ වීය..


"නිවාඩු දවසක වත් ගෙදරක ඉන්න බැරිද ඊටත් වඩා මේ උදේ පාන්දරම මොකටද ඒ ළමයව යැව්වෙ අහල පහළ ගෙවල් වලට ..ඔයා ඔයා තමයි මේ ළමයි නරක් කරන්නෙ"


විස්මිත දෑසින් බිරිඳ යමක් තතනන්නට උත්සාහ දරන අතරේ..ඈගේ හිස හා දොර කවුළුව අතරින් මා දුටුවේ දෙවෙනි කඩිනම් ගමනින් නිවෙස වෙත එන ආකාරයයි.


හොඳවැයින් දෙකක් මයෙන් අද අහ ගන්නවා මේ ළමයා නම්..


මා කේන්තියෙන් ඇයව පසෙකට තල්ලු කරමින් දොර දෙසට ගියෙමි. 

මාගේ කෝපය අනුමාන කල දෙවෙනි වහා මිදුල මැද නැවතී ගති..
ඔහුගේ එක අතක..


මීයන් අල්ලා පණ පිටින්ම වෙන තැනකට විසි කල හැකි තරමක ලොකු කූඩුවකි... 

http://hongxinwiremesh.en.alibaba.com/product/464140620-209686149/rat_trap_box.html