ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 30, 2013

බඩේ ලෙඩක්..බඩේ ලෙබෙක් !

කාපු බීපු එව්වා මොනවා මොනවා හරි වෙලා වෙන්ඩ ඕනි..පහුගිය දොහක මට හැදුනා හොඳවයින් බඩේ අමාරුවක්.. බඩේ අමාරු විවිධාකාරෙන් තියෙන නිසා මට තිබ්බ රෝග ලක්ෂණ තමයි..බඩ පුරවලා දැමීම..ඒ කියන්නෙ කෑවත් නැතත් බඩ පිරිලා වගේ දැනෙන එක , බඩ රිදෙන එක සහ උදේට බඩ දැවිල්ලක් එක්ක වමනෙ යන එක..

මල පාන්දර මූණ කට හෝද ගන්න ගිහින් ළිඳ ළඟට වෙලා ඔවෑක් ඔවෑක් ගාලා වමනෙ පාරක් නොදැම්මොත් ඉතින් දවසම ඉවරයි..ඔහොම දවස් කීපයක් නිදහසේ වමනෙ දැම්මත් පස්සෙන් පහු වෙනකොට අල්ලපු වැටේ ඇන්ටි තමන්ගෙ කුස්සියෙ ඉඳන් මේක දිහා බලලා බොහොම විස්සෝපෙන් කම්මුලේ අත තියන් ඉන්නවා දුටුවම නම් මට වමනේ කරන්න තිබ්බ නිදහසත් නැතුව ගියා. 


මොනා කරන්නද ඩොක්ස් ලා කීප දෙනෙක් ළඟින්ම බෙහෙත් ගත්තත් බෙහෙත් නොබොන්න කලින් තිබ්බ බඩේ අමාරුවට අමතරව බීපු බෙහෙත් නිසා ආපු අතුරු ආබාධ එක්ක බලන කොට උන්නු විදිය හොඳා කියලා නොහිතුනාමත් නෙවෙය්. අර ඩොක්ස් ලා රෙකමදාරු කරපු සේරම ටෙස්ටින් කරලා රිපෝට් අරගෙන බෙහෙත් අරන් උනත් බෙහෙත් ඉවර උනහම ආයි ලෙඩේ මතු වෙන නිසා අන්තිමට අන්තිමේ තීරණය කරා ඉස්පිරිතාලෙක ලැගලම බෙහෙත් ගන්ඩෝනි කියලා..ළඟ තියෙන ප්‍රසිද්ධ ඉස්පිරිතාලෙට ගියේ නම් ඇත්තටම බෙහෙත් අරන් ආපහු එනවයි කියලා හිතලයි. ඒත් එතන හිටි ඩොක්ටර් 

"මෙහෙමයි මේක දැන් පේන විදියට ටික කාලයක් තිබ්බ නිසා අපි නැවතිලා තව ටෙස්ට් ටිකක් කරලා බලමු"




කිව්ව නිසයි හැබෑවටම ඉස්පිරිතාලෙ ලැගලා බෙහෙත් ගන්න උනේ ..
හැබැයි දන්න කියන ළඟම ඥාති සහ යාළුවො කීප දෙනෙක් ඇරෙන්න අනිත් අයට කියන්න නොගියේ මේක ආරංචි උනු ගමන්ම ඉතින් වැල නොකැඩී එන කට්ටිය නිකන් අත පය විසි කර කර එන්නෙ නෑ...ගේන කෑම ජාති බීම ජාති මේ තනි මන්ම කන්න එපාය..ගිය සැරේ ඔහොම ලෙඩ වෙලා හැදුනෙ පොඩි උණක්..අන්තිමේ ලෙඩා බලන්න ආපු අය ගෙනා ජාති කාලා කාලා තව පොඩ්ඩෙන් නවතින්නෙ ඩයබිටික් ක්ලිනික් එකේ තමයි..ඔය හේතුව නිසා මන් මේක පබ්ලිස් නොකර හිටියා..
දවසින් දවස එක එක ජාතියේ ටෙස්ට් කරා..


පහු ගිය කාලෙ අර ඩෙංගූ උණ හැදිලා බෙඩ් රෙස්ට් කරන කාලෙ ගත්ත රිපෝට් වල තියෙන අරවා මෙව්වා ගූගල් දෙයියන්ගෙන් අහලා හරි තේරුම් කර ගත්ත මමත් ඉතින් ලොකු කෙනා සේ අර මට එන රිපෝට් කියවා කියවා නොතේරුනත් තේරුනා සේ හිටියා. නර්ස් නෝනලා සහ ඩොක්ටර්ස් ලා නම් හරිම හොඳයි අපරාධෙ කියන්න බෑ. ළඟ හිටි ලෙඩ්ඩු දෙන්නත් ලෙඩේ අමතක වෙන්න මොනවා හරි බයිලා කියන දෙන්නෙක් වීම මගේ වාසනාවක්..


මේ හොස්පිටල් එක ළඟදි පරිගණක ගත කරලා තියෙන්නෙ..සේරම රිපෝට් පරිගණකය හරහා තමයි හුවමාරු වෙන්නෙ..ඒ වාට්ටුවට අදාල ලෙඩ්ඩුන්ගෙ නියමිත රිපෝට් විතරක් ප්‍රින්ට් කරලා ඩොක්ට විසිට් කරන වෙලාවට මල් වට්ටිය සේ පිලිගන්වනවා නර්ස් නෝනලා..
ඕන් මගේ මුත්‍රා පරීක්ශනයක් තිබ්බා පහුවෙන්දා ඩොක්ට මාව බලන්න ආවා..


"ගුඩ් මෝනිං ඩොක්ට මන් දැන් දවක් 3ක් ම හිටි නිසා අද යන්න පුළුවන් වෙයි නේද ඩොක්ට?"


හොස්පිටල් සික් ෆීලිං එක හැදී ගෙන එන මන් එහෙම ඇහුවෙ බලාපොරොත්තු ගොඩක් තියං..


"බලමු බලමු ලියන්නා. මිසී කෝ මේ ලියන්නගෙ යූරින් ටෙස්ට් එකේ රිපෝට් එක ? ඒක මේ ෆයිල් එකට අමුණලා නෑනෙ"


අද උදේ ඉඳලම වාට්ටුවෙ කොනක හිටි එක ලෙඩෙක් අමාරු උන ඒ මත්තෙම නැහුනු මිසීලා  අපි දිහා බැලුවෙවත් නෑ..සේරම වැඩ අවුල් කර ගෙන..


මිසී දුවන් ගියා පරිගණකය ළඟට..


රිපෝට් එක එනකම් ඩොක්ට මගේ අසල්වාසී ලෙඩා ළඟ..මන් ඉතින් අර කවුද වගේ ශර්ට් එකත් ගලවගෙන බඩ පපුව එලිය දාගෙන ඉන්නවා රිපෝට් එක එන කම්.. ජරාස් බරාස් ගාපු ප්‍රින්ටරේ නැවතිච්ච සැනින් මෙන්න මිසී මගේ රිපෝට් එකත් අරන් ඩොක්ටර් ළඟ..


අසල්වාසී ලෙඩා බලලා එයාව ගෙදර යවන්න නියෝග දීපු ඩොක්ටර් මගේ රිපෝට් එක ගත්තා. 


එක සැරයක් බැලුවා.. 


මිසීගෙ මූණ බැලුවා. 


ඩොක්ට ගෙ මූණ සීරියස් උනා. 


මගේ බඩ පපුව පත්තු වෙලා ගියා. 


ඇයි හත් දෙයිට්යනේ කුරා කූඹියෙකුටවත් වරදක් වංචාවක් නොකරන මන්..මට මොනවා හරි වෙලාද දන්නෙ නෑ. මේ රිපෝට් එකට අනුව..
පපුඩ ඩොග් ඩොග් ගානවා..


ඩොක්ටස මගේ බඩ ටිකක් මිරිකලා එහෙම.. අර වෙද නලාව බඩට තියලා හොඳට අහන් ඉන්නවා.. ඩොක්ටට අමතක වෙලා වෙන්න ඇති..
සාමාන්‍යෙන් ඒක තියන්නෙ පපුවට වෙනදට නම්..


"මිසී ලියන්නව වෙන වාට්ටුවකට මාරු කරන්න වෙනවා..වෝඩ් නම්බර් 23"


"ඩොක්ට ඒක.."


"ප්‍රශ්ණ අහන්න එපා මිසී මේ රිපෝට් එකට අනුව.."


"ඒත් ඩොක්ට ඒ වෝඩ් එක.."


අනිවා ඩෙෆා ඒ වෝඩ් එක අමාරුම ලෙඩ්ඩු දාන එකක් වෙන්ඩැති..
දෙයියනේ මන් ඉවරයි කියලා හිතන් ඉන්න කොට..


"කවුද මිසීද මේ රිපෝට් එක ගත්තෙ ?"


"ඔව් ඩොක්ටර්"


"මේ රිපෝට් එකට අනුව ලියන්නා ගැබිණියක්..වෝඩ් නම්බර් 23 හැර වෙන කොයිකටද මන් ලියන්නවා යවන්නෙ?"


ඈහ්....මට කලන්තෙ දාන්න වගේ ආවා..මේ මොකද්ද මේ කතාවෙ තේරුම..
මිසීත් අන්දුන් කුන්දුන් වෙලා.

.
"මිසී කම්පියුටර් අළුත් උනාට මිසීලා පරණයිනෙ..මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න..මන් නිසා හොඳයි..ලොකු ඩොක්ට උනා නම් එහෙම මිසීට උත්තර බඳින්නත් වෙනවා මේකට"


"මේ බලන්න ලියන්න බයත් වෙලා..දාඩියත් දාලා..ලියන්නා බය වෙන්න එපා..ඔයාට බබෙක් හමබ වෙන්න නෑ..රිපෝට් එක හරියට බලලා ගේන්න මිසී.


වෙලා තියෙන්නෙ මිසී කලබලේට වෙන ගැබිණියක්ගෙ මුත්‍රා පරීක්ශනා වාර්තාවක් උස්සන් ඇවිත් තියෙන්නෙ..


කොහොම හරි එන එන එක්කෙනා ඇටන්ඩන් පවා මන් දිහා බැලුවෙ හිනා වෙවී.. අසල්වාසී ලෙඩ්ඩු දෙන්නගෙ හිනාව නවත්තා ගත්තෙ.. 


"ඔහොම හිනා වෙන්ඩ එපා බන් උඹලගෙ ඔය ලෙඩේ වැඩිවෙලා මැරෙයි "
කියලා බය කරාට පස්සෙ තමයි...
පහුවෙන්දාට පහුවෙන්දා මගේ ටිකට් කැපුවත් යන්ඩ ඉස්සරවෙලාත් මිසීලා ඩොක්ටර්ස්ලා කිව්වෙ,


"ආයි බඩේ අමාරුවක් හැදුනොත් ළඟ තියෙන මව්වරුන්ගෙ ක්ලිනික් එකකින් බලවා ගන්ඩ"


කියලයි..

ඕයි සිද්ධිය වෙලා දැන් මේ සති 2-3ක් ගියාට පස්සෙ තමා මට තේරුනෙ මට මිස් උනේ මොන තරම් ලොකු වාසනාවක්ද කියලයි..


අරක අරෙහෙමම උනා නම් මේ වෙනකොට මන් 


පත්තර වල හෙඩිමේ , මුල් පිටුවෙ පොල් ගෙඩි අකුරු වලින් ෆොටෝ වලින් සැරසිලා.. 


ටීවී නාලිකා හැම එකකම වගේ සම්මුඛ සාකච්ඡා තියලා..


එෆ් එම් නාලිකා වල ප්‍රචාරය වෙලා.. 


අන්තර්ජාලෙ පවා කොයි තරම් නම් ප්‍රසිද්ධ වෙලාද ,


කියලා හිතෙන කොට නම් පපුව වාවන්නෙ නෑ අප්පා !

Thursday, January 24, 2013

යාන්තමින් බේරා ගත්...

"ඉක්මනට වරෙන් බන් මන් උඹට දවස් කීයකට උඩදිද මේ ගමන ගැන කීවෙ..බලහන් උඹ දැන් මල පෙරේතයා වගෙ උදේට මූණ හෝදලාත් නැද්ද මන්දා ?"

"හරි හරි උඹ කිව්වා තමා දවස් කීපෙකට උඩදි . ඒත් උඹ තියන පොලු වල හැටියට මේක විශ්වාස කරන්න පුළුවන්ද?"


"හරි හරි බන් දැන් ලෑස්ති වෙලා වරෙන්කෝ..උඹව් සිරාවටම උදේට මූණ හෝදලා නේද ඉන්නෙ?"


"මගෙන් මුකුත් අහා ගන්න එපා..අපි උදෙන්ම නැගිටලා මූණ කට සෝදා ගෙන ඉන්නෙ..බලපන් මූනෙ සිරියාව උඹලගෙ වගේද ?"


"හරි හරි බන් ඔය වැලේ තියෙන්නෙ කමිසයක් දාගෙන නැගපන්කො මේකට"


හුටු හුටු ගාන නයින්ටි බයිසිකලේ ස්ටාට් එකේ තියාගෙනම පාලිතයා කෑ ගහනවා..


"යකෝ මේ රෑට ඇඳන් හිටි සරම පිටින්ම..හිටින් මන් කලිසමක් දමන් එන කම්..."


"බෑ බන් වෙලාව මදි වෙයි එතකොට..උඹ කලිසම් පටලවන් එන කොට අරෙහෙ කෝච්චිය ගිහින් තියෙයි..ඕන් ඔය සර්ට් එක දාගෙන වරෙන් බන්"


"මෙහෙම මේ සරම පිටින්.."


"ඔව් ඔව් උඹ ඉස්ටැයිල් එකට ඉඳලා වැඩක් නෑ එතන මන් නෙ ඉන්ඩ ඕනි..බැබලි බැබලි"


මාත් වැලේ තිබ්බ ශර්ට් එක යන්තම් ඇඟට  දා ගෙන දුවලා ගිහින් බයික් එකේ පිටි පස්සෙ සීට් එකෙන් ඉඳ ගත්තා... අද කාලෙ වගේ නෙවෙයි ඒ කාලෙ බඩු අදින්න තිබ්බ ඔය පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන යනවා කියන්නෙ මහා අමාරු දෙයක්..



ඒ සීට් එක ගැන අයිඩියා එකක් ගන්න මේ ෆොටෝ එක 



බලන්නකෝ..නැත්නම් පස්සෙන් පහු ප්‍රශ්න දාහක් අහන්න වෙයි..


වෙලාවකට මේ මනුස්සයව මැව්වයි කියන මහ බඹා එක්ක මට එන කේන්තියක් අප්පේ...කියලා වැඩක් නෑ..එහෙම මහ බඹෙක් නැත්නම් ස්වභාව ධර්ම නීතියෙන් පරිනාමය වෙන කොට සමහර අංගෝපාංග හැදිච්ච විදිය ගැන මට නම් මහා අප්‍රසාදයක තමා තියෙන්නෙ..ඒත් මක්කා කොරන්නද ඉතින් ඔය හැදිලා තියෙන විදියටම අපිම එල්ලා ගෙන ඉන්න එපාය..


මන් බයික් එකේ ඉඳ ගන්නවත් එක්කම මට යාන්තමට ඇහුනා..


"යන දීපංකරේක පලයන් මේ හදපු කොළ කැඳ එක බීලා.."


ඒ අම්මගේ කටහඬ..


ඔහොම කිව්වට ආයි කීයට ආවත් ඔය කැඳ වීදුරුව ආයිමත් රත් කර කරලා මගේ අතට ලබෙන එක බුදු සුවර්..අපි මේ උදැනැහැක්කෙම කඩි මුඩියේ දුවන්න දඟලන්නෙ පාලිතයා තාම්ත් හිතෙන් විතරක් පෙම් කරන ගෑණු ළමයා වැඩට යන වෙලාවට බස් හෝල්ට් එකට ගිහින් බැලම දමා ගෙන ඉන්න මිසක්කා ආයි රටට ලෝකෙට වැඩක් කරන්න නම් නෙවෙයි..මුල දවස් වල නම් අපි ඉන්න දිහාවෙ බැලුවෙ නැතත්..දැන් නම් ටිකක් බලලා හිනා වෙන ගතියක් තිබ්බ නිසා..අපේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිපල නැහැයි කියන්ඩ බෑ..


මේ ළමයා යන බස් හෝල්ට් එක තිබ්බෙ අපේ ගෙවල් වල ඉඳලා කොහොමත් හැතම්මක් එක හමාරක් නිසාත් මාත් එක්ක කතා කර කර ඉන්ඩ වෙලාව ගිය නිසාත් දැන් මේකා පිඹලා යනවා..පාරවල් කිව්වට ඉතින් ඔය ගම් වල පාරවල් කියන්නෙ වල ගොඩැලි කඳු සියල්ලන්ගෙන්ම සපිරි නිසා මමත් උඩ විසි වෙවී එහෙට මෙහෙට වැනි වැනී යනවා පිටිපස්සෙ..


ටික දුරක් යන කොට පාරෙ තිබ්බ ලොකු වලක වැටිලා මාවත් උඩ ගිහින් ආයි අර සීට් එකට වැටෙන කොට මට කෑ ගැස්සුනා..ඇයි යකෝ අඩියක් දෙකක් උඩ ගිහින් ආයි බිමට වැටෙන කොට රිදෙන රිදිල්ල දන්නෙ ඔව්වයෙ පස්සෙ ගිය කෙනෙක්ම තමා.


ඒ එක්කම මට තේරුනා සිදු නොවිය යුතු යමක් සිද්ධ උනා කියලා.


"නවත්තපන් නවත්තපන් බයික් එක"


"ඇයි යකෝ කෑ ගහන්නෙ තව හැතැම්ම භාගයයිනෙ ඔහොම හිටහන් ඉඳගෙන"


"නෑ යකෝ නවත්තපන් පොඩ්ඩක් මගේ ** හිර උනා මේ මල මගුලේ.."


සුටුශ් ගාලා බයික් එක නවත්තපු පාලිතයා


"හෙමින් බැහැපන් හෙමින්"


මොන බැහිල්ලක්ද..එකක් විතරක් යන්ඩ පුළුවන්  පොඩි හිලකින් එකක් පස්සෙ එකක් දෙකක්ම ගිහින් අනිත් පැත්තට සෙට් උනහම ආයි කවර කතාද ?


"බෑ බන් නැගිටින්න බෑ.."


"මල මගුලයි මොකද්ද කරන්නෙ දැන්?"


"බයික් එක අරන් යන් අර දොල ළඟ තියෙන අකුල අස්සට..මොනවාවත් කරන්න බෑ මේ මිනිස්සු යන මහ පාරෙ"


"නැත්නම් අපි ඔහොමම යන්ද අර ටවුම වින්කලේට"


"පිස්සුද යකෝ තොට එතන ටවුමෙන් භාගයක්ම ඉන්නවා ඔය වින්කලේ අස්සෙ"


පාලිතයාගෙ හිනාවට මට මල..


"හා යමන් යමන්  නැත්නම් අපි බස් හෝල්ට් එකට ගිහින් ආපහු එන ගමන් යන්ද බන්..ඉතින් උඹ ඔහොම්මම ඉඳ ගෙන හිටින්..මන් එනකන්..


"පිස්සු කෙලින්ඩ එපා බන් යමන් අර අරඹට.."


ඔය කියන අරඹට යන්න තිබ්බෙ සියාතු මාමගේ වත්ත මැදින් තිබ්බ අඩි පාරකින්..නැත්නම් ටවුන් එකට ගිහින් හෙන වටයක් එන්න වෙනවා ඔය කෙටි පාර නැත්නම්.. ඒත් තමන්ගෙ වත්ත මැදින් පාරක් යනවට අකමැති සියාතු මාමා වැටක් ගහලා තමන් ප්‍රිය මනාප අයට විතරයි ඔය කෙටි පාර පාවිච්චි කරන්න දුන්නෙ..


"යනවනම් පලයල්ලා හැබැයි බයික් එක තල්ලු කර ගෙන. උඹලා ඔය දඬු මොනර වල අස්ප රේස් ගිහින් මගේ වගාව විනාශ කරනවා නෙවෙයි.."


ඔන්න සියාතු මාමගෙ නීති කොන්දේසි..පලිතයා සියාතු මාමව පැත්තකට අරන් ගිහින් කාරනෙ කිව්වහම තමයි මිනිහගේ හිත පොඩ්ඩක් බුරුල් උනේ..


හිනාව තද කරන් හිටියට සියාතු මාමා මන් දිහා බලපු බැල්මට මට ලැජ්ජා නොහිතුනාමත් නොවෙයි. මොනවා කරන්නද ?


එච්චර මිනිස් වාසයක් නැති අකුලක් අස්සට බයිසිකලේ අරන් ගිය පාලිතයා


"දැන් හෙමින් නැගිටපන්.."


"නැගිටින්න බෑ බන් හිර වෙලා..මේක ගලවලා යයි.."


"එහෙනම් කොහොමද කරන්නෙ?"


"හෙමිහිට එකක් අරන් මේ ගිය හිලෙන් ආපහු තල්ලු කරන්න ඕනි..ඊට පස්සෙ අනික"


"ඉතින් එහෙම කරල නැගිටපන්..තාම බස් එක යන්න වෙලාව තියෙනවා."


"යකෝ මට එච්චර නැමෙන්න බෑ මෙහෙම ඉඳ ගෙන..උඹ හෙමිහිට කරහන්"


"ඊඊයා මට නම් බැ.."


"යකෝ...මන් ආවෙ උඹේ වැඩේට..දැන්...."


කියන කොටම සියාතූ මාමා එනවා මේන් බෝතලෙයක් අරන්..
සියාතු මාමා හෙමිහිට අර බෝතලේ තිබ්බ  පොල්තෙල් ටිකක් ගාලා බොහොම සීරු මාරුවෙන් වැඩේ කලා..


ඊට පස්සෙ මේ න් දෙන්නා එක්කම හිනා කනවා..මන් වේදනාවෙන් බිම ඉඳ ගෙන ඉන්නවා ඊට වඩා වෙච්ච නව නිංගිරාව..මොන ජගතාටවත්  මේ සිද්ධිය අනිත් උන් දැන ගන්න එක නවත්තන්න බැයි කියල මතක් වෙනකොට නම්..මට එන කේන්තියක්..


"මන් එන්නෙ නෑ මීට පස්සෙ ඔය වන්ඩියෙ..උඹ පලයන් මන් පයින්ම එන්නම්"


සියතු මාමා තමන්ගෙ පලේ තිබ්බ කොට්ටයක් දාලා සීට් එකේ අනතුරුදායක කම අඩු කල නිසා මන් පයින් ගෙදර ගියේ නෑ..අන්තිමේ පාලිතයා බැන්ඳෙත් ඒ ළමයවම තමයි..බාල කෙලීගෙ වැඩිවිය පත් වෙච්ච මංගල්ලෙට පහු ගිය දිහක  මන් ගිය ගමන් මේ  කතාව මූ සභාව මැද්දෙම ඇදලා ගත්ත නිසා මගෙත් මතක වැලි තලාවෙන් වැහිලා ගිහින් තිබ්බ සිද්ධිය ආයි මතක් උනා..




ප.ලි.
මේක වෙන කෙනෙකුට උනාය..කියලා මන් ඔළුවෙන් හිටං කිව්වත් වැඩක් නොවන බව දන්න නිසාත්..මගේ වර්ශන් එක මෙහෙම ලිව්වා..මෙහෙම කතාවක් අහලා තියෙන වගක් කාට හරි මතක් වේ නම්..ඔව්..මම මේ කතාව මේ වගේ තව කතාවක කමෙන්ට් එකකට ලිවා මතකයි..

Tuesday, January 22, 2013

එන්ඩ වෙන්නෙ නැති ගෙට්ටුව...



http://cyberfestival.blogspot.com/
අද වගේ මතකයි, එදා ගාල්ලේ ගෙට්ටුව.. ඊට පස්සෙ සිහින අවුරුදු උළෙල..

මොනවා අමතක උනත් සදහටම මතක මානයෙන් අයින් වෙන්නෙම නැති අවස්ථාවන් දෙකක්..

මේ වෙනකම්ම උපරිම උත්සාහ කලේ 27 වෙනිදට එන්නම තමයි.. මොකද අපි ආයි ආයි එක්කහු වෙන්න දඟලන්නෙ අපි සතුටින්ම ගත කරපු හෝරා කීපයන් නැවතත් එළඹෙන නිසානෙ..

ඒත් කරපු උපරිම උත්සාහයත් මේ විදියට වතුර වීදුරුවකට දාපු ඩිස්ප්‍රීන් පෙත්තක් වගේ දිය වෙලා යද්දි,


අන්තිම තීරනේ දුකින් උනත් ගැනෙනවා.. අනේ මට 27 ගම්පහ ගෙට්ටුවට යන්න වෙන්නෙ නෑනෙ..කියලා හිතලා දුක් වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? 

ඒත් ගෙට්ටුවට සෙට් වෙන අයගේ සියළු රසමුසු තැන් ෆොටෝ එක්කම කියවද්දි යන්ඩ බැරි වෙන අපිත් එතන හිටියා වගේ දැනේවි අනිවාර්‍යෙන්ම..

එහෙනම් පතන්නම් සතුටුම සතුටු ෆන් පිරිච්ච හෝරා කීපයකට ගම්පහදි..
හැබැයි කවුරු කීවත්,  මොන රාජකාරිය යෙදිලා තිබ්බත් අප්‍රේල් සිහින අවුරුදු උළෙල නම් මග හැර ගන්නෙ නෑ...

Wednesday, January 16, 2013

එසේනම් දුක් වන්නෙ කුමකටද ?


සමුගනිමි...
සයිබර් අවකාශයෙන්
සදහටම නොවෙන මුත්..
යම් නිශ්චිත කාලයකට..

මා වෙනුවෙන්..
මගේ නිර්මාණයන් වෙනුවෙන්..
ඔබ තැබූ එකම එක් සටහනක් වූවත්
එයම ඊළඟ නිමැවුමට ශක්තියක් වූ බව
කෘතඥපූර්වකව හදවත පතුලේ තබා ගනිමින්..

ආයිමත් එන්නම් දවසක..
මීටත් වඩා සිතුවිලි ගොන්නක් 
හදවත පතුලේ කැකෑරෙන
කෙටි කතාවක් ලෙසින්
සයිබර් අවකාශයට මුදා හරින්නට




ඇහැ නොගැටෙන විට කමෙන්ටුවක් 
හෝ එයට පිළිතුරක්
සත්තයි ඔබට මා අමතක වන බව..

ඊටත් වඩා සත්තයි
මා නැවත පැමිණෙන විට
ආදරයෙන් වැළඳ ගන්නා බව..

එසේනම් දුක් වන්නේ කුමකටද ?

Wednesday, January 9, 2013

නොනිමි දිවියට සඳකඩ පහනක් ක්ෂේම භූමිය අම්බලමක්..

මෙම සිදුවීමට මොහොතකට පෙර මෙතනින් 

මා කඩි මුඩියේ ඇඳ මෙට්ටයට අත තබා උඩු කය ඉස්සුවෙමි..මදකින් ඔළුවේ බර ගතිය අඩු වන්නටත් කාමරය තුල සිදු වන්නේ කුමක්ද යන්නත් පැහැදිලි වන්නට වීය..එක්වරම සිතූයේ මා නිදා සිටි කෑල්ලට කුඩු කාරයින් යමකට පැමිණ ඇති බවය. නමුත් ක්ෂණයකින් ඊයේ රාත්‍රියේ සිදු වූ සියල්ල මතකයට පැමිණීමත් සමඟම ඉහත කී අදහස ඉවත් වීය..

සිවිලිමේ තිබූ විදුලි පහන දැල්වෙයි..

කාමරයේ අසල වූ බුදු පිළිමය අසල සිට ගෙන බුදුන් වඳින්නේ දුවණියයි..මා තිගැස්සී ඇහැරුනේ විදුලි පහන දැල්වීමත් සමඟය..බුදුන් වැඳ අවසන්ව,

"තාත්තා නැගිට්ටද ? මන් මේ කාමරේ පාවිච්චි කලේ නැති නිසා බුදු පිළිමේ තිබ්බෙ මේකේ..අපි මේක එළියෙන් තියමු අද හවසට. එතකොට තාත්තට හිතේ හැටියට නිදන්න පුළුවන්නෙ"

ඈ සිනාසෙමින් කියවයි.

"මැරුනා වගේ නින්ද ගියා දුවේ..ඔය ඔයා යන්නද?

"ඔව් මන් තේ එකක් හදලා බෝතලේට දැම්මා..උදේටයි දවල්ටයි කෑම හරි ගස්සලා ඇති. හවස මන් කෑම අරන් එන්නම්..නැත්නම් අපි ඉයමු"

"හා දුවේ එහෙනම් ගිහින් එන්න"

"තාත්තට කම්මැලි නම් කියවන්න අර එහා හන්දියේ කඩෙන් පත්තරයක් ගේන්න..සල්ලි මේසෙ උඩ ඇති"

"දූට තුණුරුවන්ගෙ සරණයි..ගිහින් එන්න"

මාගේ ලෙයින් උපන් දියණියකට පවසනවාටත් වඩා ලෙංගතු සිතකින් මා පැවසූයෙමි..

මා තරම් තවත් වාසනාවන්තයකු මෙලොව තවත් ඇත්දැයි මට සිතා ගත නොහැකිය. 

තේ එක බී පිරිසිදුවට, පිළිවෙලට තිබූ සම්පූර්ණ ගෙයම නැවත අතු ගා ස්වල්පයක් වූ බඩු භාණ්ඩ නැවතත් පිළිවෙලට අසුරා තැබූයෙමි.. තරමක් විශාල මිදුල පුරා වැවී තිබුනු තණකොල ගලවා තැනින් තැන වූ මල් පඳුරු රාශිය වෙත අසල කුණු වලක අඩියේ තුබූ පෝර පස් ලං කළෙමි. සිත ප්‍රීතියෙන් පිරුනු විට..ගත පුරා ඔඩු දුවමින් තිබූ හන්දි පත් රුදාවද අතුරුදහන් වී ඇත. අසල වූ ලිඳෙන් වතුර ගෙන නා පිරිසිදුවී දහවල කෑමද කා..අසල කඩ මණ්ඩිය වෙත ගොස් මා අත වූ මුදලින් පත්තරයක් සහ ශීතකරණයේ නොතිබූ එළවළු කීපයක්ද රැගෙන ගෙදර ආවෙමි.

වෙනදා බස් නැවතුමේ සිට ඈ එනතුරු මඟ බලා සිටි මා අද ඈගේම නිවසේ සිට මිදුලේ තබා ගත් පුටුව මතට වී මඟ බලා සිටියෙමි..අසල වූ පාරේ යන්නන් මා දෙස බලමින් සිනහ සෙමින් නිවෙස පසු කර ගෙන ගියෝය..වෙනදා පාළුවට ඇති නිවෙසෙහි ඇති වෙනස අද ඔවුනට අමුත්තක් සේ දැනෙනු නියතය.

පුවත් පතට නෙත් යොමා සිටියද තත්පර දහයෙන් දහය නෙත යොමු කලේ පාර දෙසටය..

ඈ නැත..මා නිවසේ විදුලි පහන් දමා උදෑසන පර වූ මල් සියල්ල ඉවත් කර බුදුන් වැන්දෙමි..සෑහෙන කාලයකට පසු මතක මතක හැටියට කී ගාථා නිසා මා හට මහත් සැනසුම දැනිනි..

හරියටම මෙන්න මේ වෙලාවේම,

"ආ තාත්තා සෑහෙන වැඩ කරලනෙ ගෙදර..මට එනකොටම වෙනස තේරුනා"

"ඔව් දුවේ නිකම් ඉන්නකොට ලෙඩ වැඩියි..මන් මහන්සි උනේ නෑ.. හෙමි හෙමිහිට පොඩියට වැඩ කලා"

"ආ අපි බොමු තේ එකක්..මේන් මන් ඔෆිස් එකෙන් ගෙනාවා කෑම ටිකක් තේ බොන්න"

"තාත්තා එළවළු බඩු ගෙනාවට කමක් නෑ..හැබැයි ගොඩක් වියදම් කරන්න නම් එපා..මට මේ හම්බ වෙන ටික මදැයි එදිනෙදා වියදමට.."

"හා දුව ඒත් මමත් නිකම්ම  කකා ඉන්න එකත් හොඳ නෑනෙ.."

"තාත්තගෙ සල්ලි තියා ගන්ඩකෝ..ඕවා පස්සෙදි ඕනි තාත්තට අසනීපයක් කාරිය හැදුනොත්..ඒ වගේ හදිසියකට අපි ගමු"

ආ ගිය තොරතුරු කථා කරමින් අප දෙදෙනා රාත්‍රී කෑම පිළියෙල කර ගතිමු..

මේ ලෙස දෛනික ජීවිතය දිනෙන් දින ගෙවී යද්දී...මා හට සතියේ අකමැතිම දින කීපය වූයේ සති අන්තයයි..ඒ දුව සෑම සති අන්තයේම තම මාමා සහ නැන්දා සිටින නිවෙසට ගොස් සඳුදා ආපසු පැමිණි නිසාය..එම කාලය තුල මා රූපවාහිනිය නරඹමින්, සමහර විටෙක අසල වූ කඩමන්ඩිය වෙත ගොස් එහි සිටින්නන් හා මදක් කතා බස් කර පැමිණීමෙන්ද කාලය ගත කර දැමූයෙමි..

එක් මාතෘකාවක් හැර අන් සියළු දෑ ඈ මට කී අතර වල දමා තිබූ අතීතය මාද ඈ හට කියා දැමූවෙමි..අප කතා නොකලේ ඈගෙ විවාහය ගැන පමණි..ඈ රවටා පලා ගිය පෙම්වතා පිළිබඳ ඈ තුල කෙසේවත් ඉවත් කල නොහැකි තරමේ වෛරයක්, තරහක්, කේන්තියක් ඇති බව කී ඈ ඒ පිළිබඳ කතා නොකර සිටිමුයි කී යෝජනාව මාද ඉත සිතින් පිළි ගත්තේ..අප අප දෙදෙනාගේම අතීතය කාලයේ වැලි තලා මතින් වැසී යන්නටම ඉඩ දී  වර්තමානයේ සහ අනාගතයේ ජීවත් වූ බැවිනි..
සති අන්ත දින වලට අමතරවද ඈ තම වැඩ පලේ රාත්‍රී වැඩමුරද යොදා ගත්තේ මා නිවසේ සිටි පහසුව ඉතාමත් අගයමිනි..


කාලය ඉතා යහපත් අයුරින් ගෙවී යමින් තිබුනි..


ඒ එක් සිකුරාදා දිනයකි..


මා ද නිවස පිරිසිදු කර කඩ මණ්ඩිය වෙතට යාමට සිතමින් සිටින මොහොතකි.


සාලයෙන් එක්වරම ජංගම දුරකතනයක් හැඬවෙන හඬකින් මාගේ දැහැන බිඳී ගියේය..ඒ හා සමඟම මා නෙත ගැටුනේ දුවනිය වෙනදා රැගෙන යන අත් බෑග් දෙකෙන් එකක් අද දින අමතක කර දමා ගොස් ඇති බවයි..දුරකතනය හැඬවෙන්නේ එම බෑගය තුලිනි..


මේ ලමයා අද මොන සිහියකින් ගියාද මන්දා යයි සිතමින් මා කල යුත්තේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව බෑගය දෙස බලා සිටියෙමි.
එක් වරක් නිහඬ වූ එය යලිත් නාද දුන්නේ..


ම්ම්ම් සමහර විට මොනවා හරි හදිස්සියක් වෙලා නැන්දා හරි මාමා හරි කතා කරනවද දන්නෙත් නෑ..හෙට ඒ ගොල්ලො බලන්න යන දවස..ම්ම්ම් තව පාරක් රින්ග් උනොත් කතා කරමියි සිතමින් මා මේසය අසල එහා මෙහා ගමන් කරමින් සිටියෙමි..


හරියටම විනාඩි පහකින් පමණ...


මා නොකල යුතුවම තිබූ කාර්‍යය වූ එම ජංගම දුරකතනය අතට ගෙන එහි වූ බොත්තමක් මිරිකා සවන් යුගලය වෙත ලං කලෙමි..


"පට්ට බැල්ලි තොට දැන් ෆෝන් එක උස්සන්නත් තුන් හතර සැරේ කෝල් කරන්න වෙලා නේද ?"


පිරිමිද නැත්නම්  ගැහැණුද යන්න සිතා ගත නොහැකි තරමේ ගොරෝසු කටහඬකින් ආ රළු වදන් මා වික්ෂිප්ත කරන ලද්දේය..


යමක් වැරදී ඇත..


"මේ මගේ දුවගේ ෆෝන් එක..මහත්තයට වැරදිලාද කොහෙද..අද වැඩට යන කොට අමතක වෙලා ගිහින් තියෙන්නෙ"


"කවුද යකෝ මේ නාකියා..දැන් මේකි පිට බිස්නස් කරන්නත් පටන් අරන්ද එහෙනම්"


තෙවන පාර්ශ්වයකට කී අර රළු හඬ,

"හලෝ හලෝ ඔය කවුද කතා කරන්නෙ යසෝමගේ තාත්තද ?"


"ඔව් මහත්තයෝ මට හරියට කන් ඇහෙන්නෙ නෑ..ටිකක් හයියෙන් කතා කලා නම්"


"නාකි බීරෙක්..... තාත්තලු..ඩගී මොකද කරන්නෙ මේකි අද ෆෝන් එක ගෙදර දාලා ඇවිත්, මොකද කරන්නෙ? අර කස්ටට වෙන එකියක් යවමුද ?"


"බෑ මැඩම් බෑ... මේකිමයි ඉල්ලන්නෙ..මේකිව ගිය තැනකින් අරන් එමුද ? අහන්ඩ නාකියාගෙන් ගියේ කොහෙද කියලා?"


"මේ ලොකු උන්නැහේ... අද යසෝමා යනවා කියලා ගියේ කොහෙද ? කොහේ වැඩටද ගියා කිව්වෙ?"


"ඇයි මහත්තයෝ වෙනදා යන ගාමන්ට් එකටම තමයි යනවා කීවෙ"


මා අල්ලාගත් කොටි වලිගය දැන් අතහරින්නේ කෙලෙසද ? දුරකතනය ක්‍රියා විරහිත කිරීමද කල නොහැකිය..


මා නොවන තෙවැන්නකුට මැඩම් යැයි කියා ගන්නා අමතනු මට හොඳින් ඇසේ..


"ගාමන්ට් ගිහින්ලු..ගෙදරට කියලා තියෙන්නෙ එහෙමලු..අදම ගෙදරට චොර කරන්න එපා..බලමු තව සැරයක් චාන්ස් එකක් දීලා..මොකද කියන්නෙ මන් නාකියාට..කොහොම හරි ඩගී උඹ කස්ටව ශේප් කරපන්.


මේ ලොකු උන්නැහේ තාම ෆෝන් එකේ ඉන්නවද ?"

"ඔව් මහත්තයෝ"


"එහෙනම් යසෝමට කියන්න ආපු ගමන්ම ගාමන්ට් එකේ මැඩම් කතා කලා කියලා...හෙට උදේම වැඩට එන්ඩ කියන්ඩ.. මේ යසෝමගේ ඔය ගෙදර ඇඩ්‍රස් එක මොකද්ද ලොකු උන්නැහේ"


"මාත් ගමේ ඉඳලා මේ ළඟදි තමයි මෙතනට ආවෙ මහත්තයො..මේ ඇඩ්ඩැස් එක නම් දන්නෙ නෑ.. මහ ගෙදර
ඇඩ්ඩැස්  එක දෙන්නද ?"

"හා"


මා හිතට එන අංක කීපයක් සමඟ හිතට ආ ලිපිනයක් කියා දැමූයෙමි..
දුරකථනය ක්‍රියා විරහිත කලා මාගේ දනිස් පණ නැති වී ගෙන යන්නාක් සේ දැනුනු බැවින් අසල වූ පුටුව මත හිඳ වතුර වීදුරුවක්ම බී ගෙන ගියෙමි..


ටිකින් ටික සියල්ලම පැහැදිලි වෙමින් පවතී... එහෙනම්... මා ක්ශණයකින් සිතූවේ ලිපියක් ලියා තබා මා මේ මොහොතේම මෙම නිවසින් පිට වී යා යුතුයි කියාය..නමුත් එය හුදු සිතුවිල්ලක් පමණක් වීය..මා කෙසේ නම් මෙවන් ආදරණීය දුවණියක් හැර දමා යන්නද ? කුමන දේ ව්‍යාජ වූවත් ඈ මා හට දක්වන කරුණාව හා ආදරය ඉතාමත් අව්‍යාජ වීය..එය හඳුනා ගැනීමට මොහොතක් පමණක් ප්‍රමාණවත්ය..
මෙම නව දැනීම දැන ගත්තාට වඩා දැන නොගත්තා නම් කොයි තරම් අගනේද ? 


ඒ හා සමඟම මා හට දැනී ගියේ ඈ හා මෙම මැඩම් සමඟ සිටි ඩගී යන කණ්ඩායම අතර යම් ඝට්ටනයක් ඇත..එසේනම් දූ ගොස් ඇත්තේ ඔවුන් වෙත නොවේ..වෙනත් තැනකට ගොස් ඇත..එම නිසා මැඩම් ළඟට එන කස්ටන්..සල්ලාල දිවියක් ගත කල මට මේ වචනය සක්සුදක් සේ පැහැදිලිය..නිසා යම් ප්‍රශ්ණයක් ඇති වී..දුව හඹා ඒ..ඈගේ ජීවිතයට යම් පමණක තර්ජනයක් ඇති වීමටද ඉඩ ඇත..යම් නරක දෙයක් වේ යැයි සිතේ..


මා සෙමින් නැවත ඈගේ අත් බෑගය විවෘත කර බැලූයෙමි..
සියල්ලම නිසැකය..බිල් තුණ්ඩු රාශියක් සමඟ එක කොටසක විවිධ වර්ගයේ උපත් පාලන කොපු රාශියක්ද, නොදන්නා ඖෂධ වර්ග කීපයක්ද යම් මත් පෙති විය හැකි පෙති වර්ග  කීපයක් හා විවිධ වර්ගයේ සම්බාහන ක්‍රීම් වර්ග රාශියක් එහි වීය..


බෑගය තිබූ අයුරින්ම වසා තබා මා කිසිදිනක පා නොතැබූ ඈගේ කාමරය වෙතට ගියෙමි.. එය දොරගුල් නොදමා තිබුනි..


මෙය කල යුතුද නැද්ද යන දෙගිඩියාව මත වූවද..එහි වූ පොත් පත් අතරේ වූ දින පොතක් අතට ගෙන බැලූයෙමි..


බොහෝ සති අන්තයන් ඈ විවිධ ප්‍රදේශ වල හෝටල් වල නම් ලියා තිබුනි..එසේම ඉදිරි සති අන්ත පවා..එලෙස වෙන් කර තිබුනි..
සියල්ලම සක් සුදක් සේ පැහැදිලිය...


මා දින පොත නැවත තිබූ අයුරින්ම අනිත් පොත් අතරේ තබන්නට යන විටම තඩ් හඬින් යම් බර කවරයක් බිමට වැටුනි..


ඒ තුල වූයේ ඡායාරූප රාශියකි.. ඈගේ පියාගේ ඡායාරුපය සැබවින්ම මාගේ හැඩරුවට යම් සමානකමක් දැක්වීය..ඈ මේ පිළිබඳව කියූ දෑ සියල්ල සත්‍යයක්ම වීය..


ඈගේ මවද ඉතා රූපත් කාන්තාවක් වීය..


වල දැමූ අතීතය තවත් වැඩක් නැත..අප දෙදෙනාටම ඇත්තේ වර්තමානය සහ අනාගතයයි.. ඈ මගේ දුවණියයි..ලෙයින් ජාතක නොකලත් ලෙයින් ජාතක කල් වුන්ට වඩා ආදරයක්, සෙනෙහසක්, ලෙංගතුවක් ඈ මා හට පා තිබුනි..එයම ප්‍රමාණවත්ය..කිසිවක්..මේ කිසිවක් නොසිදු වූ ලෙසම කාලය ගත කල යුතුයි..යම් දිනක ඈ මේ පිළිබඳව කිව හොත් හැර..මා උදෑසන දුරකථන ඇමතුම ලද මොහොතේ සිට මේ දක්වා වූ සියල්ලම මතකයෙන් අතුගා දැමිය යුතුයි


ඈ හට යම් නපුරක් සිදු වීමට යන්නේ නම් මා හට ඈ සමඟම වෙනත් ප්‍රදේශයකට ගොස් නිවසක් කුලියට ගෙන යම් ජීවිකාවක් ඈ සොයා ගන්නා තෙක් වියදම් කිරීමට තරම් මා සතුව ඇති ධනය ඒ සඳහා යෙදවීමට මා ඉටා ගතිමි..


පෙර දිනයක..ඈ


"තාත්තේ කොන්ද රිදෙනවා මේ බාම් එක ගානවද ?"


මා ඈගේ කොන්දේ බාම් තවරා පිටේ වූ නියපොතු පහර වල් වැනි තුවාල පිළිබඳ විමසූ විට ඈ.. ඇඟලුම් හලේ යම් යන්ත්‍රයක් ආසන්නයේ වූ යමකින් සිදු වූවක් බැව් පැවසූ ආකාරය මට සිහියට නැග්ගේ..


කුමක්දෝ නොදන්නා සිත් තැවුලකින් මා හද වේදනාවට පත් වේ.. සළෙලුන් විසින් හප කරන ලද ගත සියල්ලම දරා තම දෙමපියන් වෙතින් නොලැබෙන ආදරයේ තෙතමනය මා වෙතින් බලාපොරොත්තු වනවා ඇත..මේ වෙන තෙක් එය ලැබුනි..අදින් පසු එය තවත් වැඩි වනු ඇත..දුවණියේ මා නුඹට අතීතයේ වූයේ කුමක්දැයි නොදනිමි..යම් වැරැද්දකින් නුඹ අද මෙතන ඇත..නමුත් නුඹ ගෞරවනීය චරිතයකි..ඒ නුඹගෙන් මා හට ලැබෙන සෙනෙහසින් ඔප්පු වේ..


අසල වූ කැලැන්ඩරයක සඳකඩ පහනක රුවක් බොඳ වූ මාගේ නෙත් දෑලේ ගැටේ..


සියල්ලන්ම තම දෙපයින් පාගා ගෙන ගියත් සඳකඩ පහණ සියල්ලන්ගේම සිත නෙත සනහන ගෞරවණීය වස්තුවක් වන්නේය..නමුත් සියල්ලෝම එය තම දෙපයින් ගෙන යයි..


නුඹත් දිවියට සඳකඩ පහණක් නොවන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැකිය..

"තාත්තේ...තාත්තේ.. කොහෙද තාත්තා ?"


ඈ සජීවීව මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ කෙසේද ? මා හනික සරමින් දෙනෙත පිස දැමූයේ කඳුළු ඈගෙන් සැඟවීමටයි..


"ඇයි ඇයි මයේ දුවේ අද වැඩ නැද්ද ? මයෙ දුවට අද බෑග් එකත් අරන් යන්න බැරි වෙලා නේද ?"


"ඔව් තාත්තෙ කතා කර කර ඉන්න වෙලාවක් නෑ..මන් හෙට ඉඳන් රත්නපුරේ ගාමන්ට් එකකට මාරු කරලා තාත්තෙ"


"ආ දැන් මොකද කරන්නෙ මයෙ දුව මෙහෙ ඉඳන් ඔයි තරම් දුර යන්න හැකියෑ?"


ඈ සුපුරුදු සිනා සලයි..


"බෑ නේන්නම්..ඒ හින්දයි ඕන් අපි අදම මේ ගේ අතෑරලා රත්නපුරේ පදිංචියට යන්නෙ..තාත්තා දවල්ට කාලා තාත්තගේ බඩු ටික බෑග් වලට දා ගන්ඩකො..හවස් තුන වෙනකොට ලොරියක් එනවා සේරම බඩු ගෙනියන්න"


එසේ නම් සියල්ලම සිතූ ලෙසම හොඳින් විසඳේ...අතීතයේ කුණු කසල ගොඩ මෙහිම වල දමා නව තැනකට යා හැකිය


"එන්න තාත්තෙ මේන් කැම බෙදුවා කාලා වැඩ පටන් ගමු"


"හා එනවා දුවේ.."


මා සිත ඈ ගැන මහත් දුහිතෲ ප්‍රේමයක් ඇති වන්නට වීය..




නොනිමි දිවිය ගලා යයි..


එහි අවසනක්ද නැත..සමුගැන්මක්ද නැත..

එනමුදු සහනයක ක්ෂේම භූමියක් ??? 


ක්ෂේම භූමිය එක අම්බලමකින් පිට වී තවත් අම්බලමක් වෙත යාම පමණි..

මේ දැවී යන්නේ වර්තමානයයි..


නැවත හමු වේදැයි නොදනිමි..

Tuesday, January 8, 2013

නොමියෙන දිවියට සඳකඩ පහණක්! ... ක්ෂේම භූමියක් ?

අවසානයක් නැති දිවියේ එක් හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය මෙතනින්..

"අනේ අනේ ...."

ඈ විපිලිසරව දුක් මුසු මුහුණින් මොහොතක් බලා සිටින්නී..ඊ ළඟට විමසූ දැයින් මාගේ දෙසවන් අදහා ගැනීමට පවා මද වේලාවක්
 ගති.

"මන් අහන්ඩමයි හිටියෙ අංකල්ගෙන්.... මන් දැන් ඉන්න ගෙදර, ඉන්නෙ තනියෙම... අංකල් ඇවිත් නවතින්න මාත් එක්ක. මගේ තනියට වගේම ආරක්ෂාවටත් හොඳයිනෙ"


ප්‍රති උත්තර බඳින්නේ කුමකින්දැයි මට වචන තෝරා බේරා ගත නොහැක..


"නෑ අංකල් කැමති නැත්නම්..."


මා වහා නැගිට අසල වූ බෑගය අතට ගත්තේ යන්ත්‍රානුසාරයෙන් මෙනි. ගුප්ත සිනහවකින් යුත් මොනාලීසාගේ සිනහවේ සුන්දරත්වය කොතරම්දැයි මට පෙනුනේ එවිටයි. දෑස කුඩා කරගෙන හදවත පතුලේ සිටම පැමිණෙන සිනහවකින් ඈ මුව පුරවා ගෙන සිටින්නී..


"බස් එකේ යන්න බෑ මේ බෑග්  අරන්... අපි ත්‍රීවීල් එකක් කතා කර ගම්මු"


මේ අර පාළු ගෙදර සීතල සිමෙන්ති බිමේ ඇලවී සිටින විට දකින තවත් සිහිනයක්දෝහෝයි මට සිතේ..


"ඉඳා... මොකද අංකල් ඔය අඬන්නෙ?"


"සතුටු කඳුළු මයෙ දුවේ..මන් හීනෙන් දැක්කා දවස් කීපයක්ම මගේ ලොකු දුව ඇවිත් මාව එක්කරන් යනවා..ඒ හීනෙ..."


"හා දැන් ඔය කඳුළු පිහිදා ගන්නකෝ..මේ ඉන්නෙ තාත්තගේ ලොකු දූ තමයි කියලා හිතා ගන්න. "


මෙය නම් සිහිනයක් නොවේ..සිහිනයක් නම් මේ මතින්ම සදාකාලික නින්දට වැටේනම් එය ලැබීමට තරම් වාසනාවන්තයකු මා හැර මේ ලොව තුල වෙනත් අයකු සිටිය නොහැකිය..


"හා යන් තාත්තේ ආන් ත්‍රීවීල් එකක් එනවා"


තම මව පසුපස ඇවිද යන කුඩා දරුවෙකු සේ මාද ඈ පසු පස්සේ ඇඳුනෙමි.. ත්‍රී වීල් එක තුලදී අප කිසිවක් කතා නොකලේ අප දෙදෙනාගේම චිත්ත ප්‍රීතිය ත්‍රීවීල් රථ රියැදුරාට දැන ගැනීමට තිබීම හොඳ නැතැයි අප දෙදෙනාම සිතූ බැවිනි..


"ඔව් අයියෙ මගේ තනියටත් එක්ක ගමේ ගෙදර හිටි තාත්තා එක්කන් ආවා"


ඈ ත්‍රීවීල් රියැදුරා අඳුනන සැටියක් පෙන්වූවාය..


විනාඩි විස්සකින් පමණ පසුව අප ගොඩ වූයේ තරමක විශාල මිදුලක්ද සහිත පරණ තාලේ කුඩා නිවසකටයි..ඒ වනවිටත් අවට වූ තරමක විශාල නිවාස දෙකේ විදුලි පහන් දැල්වෙමින් තිබුනි. සිහිනයක් නොවූවත් මා සිත තවමත් විස්මයෙන් ඇළලෙමින් පවතී..


 "එන්න අංකල්...ආ මන් තාත්තා කියලම කියන්නම්කො..එන්න මන් අපේ ගෙවල් අයිතිකාරයාට අඳුන්වලා දෙන්න"

අකාලයේ මිය ගිය පුතු හා තවමත් ජීවත් වන දුවරු දෙදෙනා දශක තුන හතරකට එහා කාලයේ ආමන්ත්‍රණය කලාටත් වඩා ආදරණීය හඬකින් ඈ මා අමතයි..


"හා දුව එන්නම්"


"මිස්ටර් පෙරේරා මේ තමයි මන් කීව අපේ තාත්තා..මන් හිතන් හිටියෙ ලබන සතියෙ එක්කන් එන්නයි. ඒත් අදම එක්කන් ආවා..අම්මත් නැතුව තනියෙම එහෙ මහ ගෙදර ඉන්නවා බලන් ඉන්න බෑනෙ.."


එසේ නම් ඈ මේ සියල්ලම කල් ඇතුව සැලසුම් කර ගෙන තිබුනා වන්නට ඇත.. 


"තාත්තා කථා කරනවා නම් අඩුයි  මිස්ටර් පෙරේරා මොකද වයසට කන් ඇහෙනවා අඩු නිසා"


ඉතා ප්‍රිය මනාප යුවලක් වූ ඔවුන් දෙදෙනාද එතරම් විස්තර විමසූවේ නැත.


"ඔන්න තාත්තට ඉන්න පුළුවන් මේ ඉස්සරහ කාමරේ. දැනට නම් පරණ බෙඩ් සීට් එකක් කොට්ටයක් තියෙන්නෙ ඇඳේ..අපි මේ සති අන්තෙ අළුතින් ඔව්වා ගම්මුකො"


"අනේ දුවේ උඹට බොහොම පිං..මේ ඕනිවටත් වඩා හොඳයි..මන් හිටි විදියට....


"ස්ස්ස්ස්ස්ස්ස් ඒ ගැන නම් කොයි යම්ම වෙලාවකවත් කථා කරන්න එපා තාත්තෙ..අහල පහල ඉන්න අය මන් ගැන මගේ පවුලෙ අය ගැන මොනාත් විස්තර දන්නෙ නෑ..ඒ නිසා ඒ අය එක්ක කථා කරන කොට ඔය මොනා කීවත් ඒ විස්තර කියන්ඩෙපා. අම්මා නැති වෙලා තාත්තා තනියම මහ ගෙදර ඉන්න නිසා මන් එක්කන් ආවා කියලා කියන්ඩකෝ..මේ අහල පහල ඉන්න අයත් හරි හොඳයි. දුකකට පිහිටක් වෙනවා මිස එක එක විස්තර  නම් අහන්නෙ නෑ"


මුව කට දොවා ගෙන උණුම උණු තේ එකක් බොමින් මා කුස්සියේ වූ පුටුවක් මත හිඳගෙන සිටියෙමි. අත්‍යාවශ්‍යම දේ හැර අනිත් සුඛෝපභෝගී  භාණ්ඩ නොමැති කුස්සියද නිවසේ සාලය මෙන්ට ඉතා පිරිසිදුවට සහ පිළිවෙලට තිබුනි. 


දූ කඩිමුඩියේ බත් සහ වෑංජන කීපයක් පිසින්නීය..


"තාත්තට උයන්න පුළුවන්ද ?"


"පුළුවන් දුවේ ඔය බතක් උයලා පොඩියට වගේ වෑංජනෙයක් හදා ගන්න පුළුවන්"


"මොකද මන් සිකුරාදා හවස ගියහම ආයි එන්නෙ සඳුදා උදේ තමයි..ඒ වෙනකන් නැත්නම් තාත්තට කඩෙන් කන්නයි වෙන්නෙ"


වචන කීපයකට වරක්ම තාත්තා යන වචනය ඇසෙන වාරයක් පාසාම හිත අමුතුම ප්‍රහර්ශයකින් පිබිදෙන්නේ..විටෙක දෑසට කඳුළු උනමිනි..


"ඔව් මයෙ පුතේ මන් ඒ දවසට උයා ගන්නම්..මන් අතෙත් පොඩියට සල්ලි වගෙයක් තියෙනවා..මයේ පුතාම මගේ වියදම් බලන්ඩ ඕනි නෑ"


"තාත්තා ඒ සල්ලි පරිස්සම් කරලා තියා ගන්ඩකෝ..අපි ඕනි උනොත් විතරක් ගමු"


බොහෝ කාලයකට පසු උණු උණු ආහාර වේලක් බඩ පුරා ගතිමි..ඊටත් වඩා සතුටින් ඉල්පෙන සිත..මේ වනතෙක් සිත දවමින් තිබූ සියළු අනාරක්ශිත, අනාදර, අසන්තුෂ්ටීන් සියල්ලම එකින් එක මා වෙතින් ඉවත් කරමින් සිටී..ඈ පවසන පරිදි ඈගේ මව හෝ පියා නොමැත. ඈ හදා වඩා ගෙන ඇත්තේ ඈගේ නැන්දා සහ මාමා කෙනෙකු විසිනි..ඈ සෑම සති අන්තයේ යන්නේ ඈත ගමක වෙසෙන ඔවුන් බැලීමටය..


"අපේ නැන්දා අපේ තාත්තාගෙ ෆොටෝ එකක් දුන්නා කාලෙකට ඉස්සර..තාත්තා හිටියා නම් හරියටම ඔය තාත්තගෙ හැඩ රුවම වෙන්න තිබුනා කියලයි මට තාත්තව අර බස් හෝල්ට් එකේ දකිද්දි මුලින්ම හිතුනෙ තාත්තෙ"


"ඉතින් ඒ ෆොටෝ එක කෝ"


"ඉස්සෙල්ලා ගෙදර ඉඳන් මෙහෙට එද්දි ඒ ෆොටෝ එක තිබ්බ ඇල්බම් එකම කොහෙට හරි වෙලා තාත්තෙ. ඒ රූපෙ දැන් මගේ හිතේ විතරයි තියෙන්නෙ"


"එහෙනම් තාත්තා නිදා ගන්න..ඕන් දවල් වෙනකන් නින්ද ගියොත් හෙම..මන් කථා කරන්නෙ නෑ..ඉස්සරහ දොර වහලා යනවා. කෑම බෙදා  ගෙන කන්ඩ..දවල්ට කම්මැලි නම් ටීවී එක දාගෙන බලන්න..දොර ඇර දාලා කොහෙවත් යන්න එහෙම එපා.. මේ පැත්තෙ හොරු නම් නෑ..ඒත් අපි නිකන් ඉන්න අයව හොරු කරන්නෙ මොකටද ? "


"හා දුවේ මන් උදෙන්ම නැගිටිනවා"


මා හට එදින රාත්‍රිය ඉතා දිගු වීය..


මාගේ කටුක කර්කශ දිවි පෙවෙත  අවසන්ව ඇත..කරන ලද යම් කුශල කර්මයක් මෙසේ පල දෙමින් පවතී.


දෙසවන් පුරා රැව් දෙමින් පවතින්නේ එකම කටහඬකි..


"තාත්තට කැමති කාලයක් ඔය මෙහෙ වැටිලා ඉන්න පුළුවන්..කාලෙන් කාලෙට ගාමන්ට් එකෙන් අපිව මාරු කරනවා..ඒත් මේ ලංකාවෙ කොහෙ හරිනෙ. ඔය තියෙන විදියට කාලා ඇඳලා ඉමු"


සිමෙන්ති පොළව මත කාඩ්බෝඩ් අතුරා සාදා ගන්නා තාවකාලික ඇඳ සහ මේ මෙට්ටය සහ කොට්ටය සැබවින්ම මෙය දිව්‍ය යහනාවකි.. හිරිකිඩ, සීතල සුළඟ හෝ අසල ගැවසෙන කුඩු කාරයන්ගේ සමයන් විකාර කිසිත් නොමැත..පරිසරය නිශාචර කෘමින්ගේ මිහිරි ශබ්දයෙන් පිරී පවතී..


මා කල වැරදි වලට දුක් වීම හැර වළ දැමූ අතීතය පිළිබඳ මනස්තාප වීමේ පුරුද්ද සදහටම පහ වී ගොස් දිගු කලක්ය..දමා ගිය බිරිඳ, දරුවන් සහ මහා වස්තු කන්දරාව සියල්ල පිළිබඳවම කිසිදු හැඟීමක් සිතට නො ඒ.. ඒ වෙනුවට හෙට උදෑසනින් ආරම්භ වන නවමු ලෝකය පිළිබඳ සිතුවිලි වලින් මා සිත පිරෙන්නට වීය..




සිත පුරා දෝරෙ ගලන සතුට නිසාම මා සෙමින් දෑස වසා ගතිමි..කාමරයේ ජනේල් පළුවල රාමු අතරීන් කාමරයට පෙරී එන සඳ එලිය හා එක වූ අසල පාරේ ඇති විදුලි බුබුලේ එලියද මා දෑසින් ඉවත් වන්නට වීය..

එකවරම පාරේ ගමන් කල යම් වාහනයක් බ්‍රාස් හඬින් නවතනවාත් සමඟම අසල වූ නිවසක  දොර ඇරෙනවා මෙන් ඇසිනි..කිසිවකු කුටු කුටු හඬින් යමක් කොඳුරනවා මෙන්ම මී මැස්සන් රොදකගේ  මුමු මුමුවකින් මා දෙසවන් පිරී යන්නට වීය.. 


ඊළඟ මොහොතේ..මා දෑස් නිලංකාර කරමින් යම් ආලෝකයක් මා දෑස අභියස බබලන්නට වූයේ මා සිටින්නේ කොහිද කරන්නේ කුමක්ද යන්න පවා එක් වරම සිතට නගා ගැටීමට පවා ඉඩක් හසරක් නොදෙමිනි..

කිසිවකු මාගේ හිස කොට්ටය මත තබා ඔබා සිටින්නාක් මෙන් හිස බර ව මට දැනුනි..මා භීතියෙන් මුසපත් වීමි....

මා උගුරින් කෙඳිරියක් පිට වෙනවාත් සමඟම මාගේ නිදහස්ව තුබූ අත ඇඳ මෙට්ටය
 මත තබා නැගිටීමට උත්සාහ දැරිමි.






-------------------------------------------------

නොනිමි දිවිය ගලා යයි..


එහි අවසනක්ද නැත..සමුගැන්මක්ද නැත..


එනමුදු සහනයක ක්ෂේම භූමියක් ???

නැවත හමුවෙමු...

Sunday, January 6, 2013

නොමියෙන දිවියට සඳකඩ පහණක්...

ගත වියපත් වූවද සිත අවදි කරන ඒ රුව අදත් දූවිලි පිරුණු මාවතේ අර වංගුවෙන් මොහොතකින් මතු වනු ඇතැයි මට සිතේ.

මිල අධික නොවූවද සිත් ඇද ගන්නා සුළු අයුරින් තම ඇඳුම් පැළඳුම් තේරීමට ඇයට මනා හැකියාවක් ඇතැයි මුල් වරට වුව දකින ඕනෑම අයකුට සිතෙනු ඇත. ශරීරයේ වූ අංගෝපාංග ඕනෑවට වඩා කැපී උල් වී පෙනෙන ලෙස නොවූවත් දකින අයගේ නෙත් සිත් පැහැර ගන්නා ලෙස පිළිවෙලට අඳින ඇඳුම සහ ඊටම යාවූ අත්බෑගය සහ කුඩය..සැමදා ඇයගේ අනන්‍යතාවය වීය. ඈ නෙත නොගැටෙන දිනයක සන්ධ්‍යා භාගය විශේෂ වැඩක් රාජකාරියක් නොතිබුනද මහත් අපහසුතාවයෙන් ගෙවී යන්නේ මන්දැයි මා හට තේරුම් ගත නොහැකිය.

එසේ ඈ නුදුටු එක දිනක මහත් අපහසුතාවයෙන් යුත් හැඟීම් රාශියක් සිතේ හිර කරගෙන රාත්‍රිය ගත කරද්දී...





මද අඳුරත් අසල වූ පහන් කණුවේ ආලෝකයෙන් බිත්තිය සහ වහල අතර ඇති සිදුර තුලින් කාමරයට රිංගා ගත් විදුලි එළියත් අතරින් සෙමින් සෙමින් මාගේ කුටියේ දිර විවර වන්නට වීය..මදක් විවර වූ දොර මතින් මෑත් වුයේ සුරංගනාවියක් බඳු ඈය. සුපුරුදු ලෙසම ඈ මාගේ ප්‍රියතම පාට වූ ලා නිල්පාට ඇඳුම ඇඳ ලා පැහැ බෑගය සහ කුඩය මගේ මේස කබල මත තැබුවේය..සෙමින් විත් මා නිදා සිටි ඇඳ මත හිඳ ගත් සැනින් විස්මයට පත් මා උඩු කය ඔසවා ඇඳ මත හිඳ ගත්තේය..

මා කල වැරැද්ද එයයි..එය මා හට අවබෝධ වූයේ ඒ වනතෙක්ම මා නිදා සිටි සිමෙන්ති බැම්මෙන් පහලට මා ඇද වැටීමත් සමඟය..

එය සිහිනයකි..වියපත් මාගේ කයද අවදි වී ඇත. නමුත් මා සැමදා ඈ එනතුරු බලා සිටියේ නම් එවැනි අදහසකින් නොවන බව ඉඳුරාම කිව හැකිය. විස්මිත සිත ගතේ සීමා බිඳ දමා ගියද ක්ෂණයකින් ගතද නැවතත් සුපුරුදු ලෙස සදාතනික නින්දට පත් වීය..

නැවත නැවතත් දෑස අබියස ඇදෙන සිතුවම් පටක් බඳුවූ එම සිහිනය මා සිතට ගෙන ආවෙ ලැජ්ජා සහගත හැඟීමකි..මාගේ උඩු සිත කිසිදා එවන් බලාපොරොත්තුවකින් ඈ නෙත ගැටෙන තෙක් බලා සිටියේ නැත..

දිය තුලට බලෙන් එබ්බවීමට තතනන රබර් බෝලයක් මෙන් යටි සිතේ ඇති දශක  
හත
ක එකතු වූ කුණු කන්දල් වලින් ගලන ඕජස් මෙසේ විටින් විට උඩු සිතට කාන්දු වීම වැලැක්වීමට සමතෙක් වෙත් නම් ඒ රහත් උතුමකුම පම්ණක් විය හැකිය..

ධනය, බලය, ශක්තිය සියල්ලම අතැතිව තුබූ කාලයේ නම් මෙවන් තරුණියන් සමඟ යහන් ගත වීම යනු කාලයකදී නම් දෛනිකව සිදු වූ කාලයක්ද එයම හේතුවෙන් කැඩී බිඳී ගිය ලෝකයක අතීතය වල දැමීමට මත් වතුරෙන් සහනය සෙවූ කාලයක්ද එහි ප්‍රථිඵලයක් ලෙස විටෙක මහේශාක්‍ය ලෙස ගත කල ජීවිතයේ අඩකටත් වඩා ධනය විනාශ කරමින් ගෙවූ කාලයක ඵලයක් ලෙස මාගේ වර්තමානයේ කාලය දවමින් පරක් තෙරක් නොපෙනෙන අනාගතයකට මා දිවිය පුද කරමින් සිටින්නෙමි..

පල ඇති විටෙක වටා සරනා සියොතුන් කැල රුක පල නොදරන කාලයේ අතහැර යන්නා සේ..මා වටා සිටි සියල්ලෝම විටින් විට තමන්ට සෙවන දුන්, තමන්ට අහර දුන් අතු, මුල් පවා බිඳ දමමින් මා වෙතින් ඉවතට ඇදුනේ සිත් පිත් ඇත්තන් ලෙස නම් නොවේ..අයකුගේ සල්ලාලකමට ලැබිය යුතු එම දඬුවම ඉතා අසාධාරනයැයි සිතූ සිතූවිල්ල පවා අදට නම් වලංගු නැත..නැත ඔවුන් අත වරදක් නැත..

මේ කුණු කන්ද නිසාම මා දුටු සිහිනය මතින් මා පිළිබඳවම ලැජ්ජා වීම පිළිබඳ එතරම් පුදුමයක් නැත.

දින කිහිපයක්ම මා නැවතත් එම බස් නැවතුමට නොගියෙමි..එලෙස නොගොස් මගේ සිතට නිසි ලෙස දඬුවම් ලබා දුන් මා පසු දින සීටියේ ඉතා ප්‍රීතියෙනි..

අද දින නම් ඒ සුපුරුදු රුව නැවතත් මා සිත පුබුදුවනු ඇත..

වෙනදාටත් වඩා වේලාසන මා ගොස් හැරමිටියද පසෙක තබා..සුපුරුදු ලෙස දැන් නෙත ගැටෙතැයි...දැන් නෙත ගැටෙතැයි යන මහා ආහ්ලාද ජනක සිතුවීලි සමුදායකින් යුතුව දූවිලි වැකි...යන යන වාහනය් නිසා නැවතත් නැවත නැවතත් කැළඹෙමින් සංසුන් වන දූවිලි දුමාරය තුලින් වැසුනු පාරේ ඉදිරි වංගුව දෙස බලා සිටියෙමි.

අන් පසින් වූ කිචි කිචියකින් මාගේ දැහැන් බිඳිනි.

කිරිල්ලියන් සමූහයන් බඳු ගැටිස්සියන් කීප පලක්ම පාරේ අනිත් පසින් බස් නැවතුමට පැමිණ ඇත..

"දැක්කද අර නාකිය බලපු පෙරේත බැල්ම "

"කෑ ගහන්ඩ එපා බන් ඇහෙයි"

"නෑ නෑ බන් ඔය නාකියගේ කන් ඇහෙන්නෙ නෑ..ඔයිට ඉස්සර දවසකත් අර මගේ යාළුවෙක්ගෙ ඇඟේ හැප්පුනා අපි බැන්නටත් ඇහුනෙ නෑ..ගල් පිළිමයක් වගේ හිටියා.."

එක් සවසක උදේ සිටම ආහාරයක් නොලද නිසා අප්‍රාණික සිරුරින් යුතුව බස් නැවතුමේ පඩිය උඩට නැගීමට තැත් කිරීමේදී පය පැකිලී අසල සිටි තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා සිදු වූ ඝට්ටනය දින ඈ මෙතන සිටින්නට ඇත..ඔවුන් බැන වැදුනු දෑ සියල්ලම හොඳින් ඇසුනත් මා එදින කන් නො ඇසෙන අයෙක් ලෙස රඟ පා වැඩිපුර අවුලක් නොවන සේ එම අවස්ථාව මැඩ පවත්වා ගතිමි..

"නාකි වෙලත් ගෙවල් වලට වෙලා ඉන්න බැරුව එනවා ගෑණු අස්සෙ රිංගන්න"

"හිඟන්නෙක් වෙන්ඩැති බන්"

"හිඟන්නෙක් උනත් බලපන් ඇඳුම් නම් පිරිසිදුයි."

"උඹත් බලලා තියෙන දේවල්"

හිකි හිකි ගාමින් නැවතත් ඔවුන්ගේ සුපුරුදු කතා බහේ ඔවුන් යෙදෙයි..

හොඳින් ඇස් පෙනුනද ඇස් නොපෙනෙන්නා සේ සිටීමත්..හොඳින් කන් ඇසුනද කන් නො ඇසෙන්නාක් මෙන් හිඳීමත් කෙතරම් පහසුදැයි එය කල අයෙක් මිස අනෙකකු නොදනී..

ක්ෂණයකින් නහය කඩා ගෙන යන සුපුරුදු සුවඳත් සමඟින් මා සිත නැවතත් වර්තමානයට ඇද දැමිනි..දෑස මානයේ ගැටෙන රුවත් සමඟ හුන් තැනින් නැගිටුනේ මන්දැයි මා නොදනිමි..

මොනාලිසාගේ මෙන් ගුප්ත සිනහවත් බැරෑරුම් සිතුවිල්ලත් අතර සැමදා තිබූ මුව මත ඇඳී ගියේ මනරම් සිනා රැල්ලකි..

"අංකල් පහුගිය දවස් ටිකේ දැක්කෙ නෑ මොකද අසනීපයක්වත් වෙලා හිටියද ?"

කාලාන්තරයක් දන්නා හඳුනන තැනැත්තියක් මෙන් ඈ මා විචාලයි..පළමුවරට සිනාසුනු කතාකල වාරය මෙය බව අසා සිටින්නකු විශ්වාස නොකරන බැව් නිසැකය..මගේ උගුර වියැලී ඇත..කුමන පිළිතුරක් දිය යුතුදැයි මට සිතා ගත නොහේ..කිචි බිචි ගාමින් සිටි තරුණියන් රැල එක්වරම නිහඬව අප දෙස බලා සිටී..

"ආ ඔව්..ඔව්..නෑ..ඔව් දුව අසනීප වෙලා හිටියා ඒකයි ආවෙ නැත්තෙ"

මගේ මුව මත නැගෙන සිනා රැල්ල තවමත් පිපී තිබෙන්නේ යැයි මතක් වනවිටත් අපගේ මේ දෙබස අවසන්ව ඈ තම බසය එන දෙස බලා සිටී..අර තරුණියන් රැලද නැවත තම කිචි කිචිය අරඹා ඇත.. වහා මුහුණ පෙර සේ සකසා ගෙන මා නැවතත් අසල වූ සිමෙන්ති බැම්මේ වාඩි ගතිමි.. දෙනෙත් සීමාවේ ඈ රැඳේ.

තරුණියන් රැල ඔබාගත් බසය එතැනින් පියඹා ගියේය..ඈ යන බස් රථය ඒමට තව වෙලා තිබේ..ඔරලෝඅසුවක් නැතත් මා එය දනිමි.

විඩාබර වූවද ඇගේ මුව සැඳෑ හිරු රැස් වැටීමෙන් රන්වන් පැහැයෙන් බබලයි..ඈ තම අත වූ බෑගය විවෘත කලේ..තම ලේන්සුව ගෙන මුහුණ පිස දැමීමට විය යුතුයි..

යම් පාර්සලයක් අතින් ගෙන ඈ මා දෙස හැරෙයි..මෝනාලීසාගෙ මුව මත නැවතත් සිනහවක් !

"අංකල් වැරදියට හිතන්න එපා..අපේ වැඩ පොළෙ අද පාටියක් තිබ්බා..ඒකෙන් දීපු කෑම එක..මන් දෙකක්ම ගත්තා..ආ ගන්න"

ඈ තම අත වූ පාර්සලය මා වෙත පායි..

තැනින් තැන කැඩුනු රෝස පෑ නිය ආලේපන සහිත මාපට ඇඟිල්ල සහ කිරි ගරුඬ පෑ සිහින් අතක්..මා දෝතම පා එම පාර්සලය ගතිමි..

"දුවට පින් සිද්ද වෙනවා දුවේ"

"අංකල් කොහෙද ඉන්නෙ ? හිඟ... නෙවෙයිනෙ..පවුලෙ අය කවුද ?"

"මන් කාත් කවුරුවත් නැති කෙනෙක් තමා දූ..පවුලෙ අය මාව අතෑරල දාලා ඉන්නෙ"

"අනේ පව්..එතකොට කොහෙද ඉන්නෙ ?"

"අර එහා පැත්තෙ ගොඩැල්ලට එහා ගරා වැටිච්ච ගෙයක් තියෙනවා ඒකෙ රෑට ඉන්නවා..ඉන්න පුළුවන් කාලයක්... ඒත් දැන් එතෙන්ටත් මදාවියො ටිකක් රිංගනවා තව වැඩි දවසක් එතනත් ඉන්න බැරි වෙයි..ආන් දුවගේ බස් එක එනවා..පින් සිද්ද වෙනවා දුවේ කෑම එකට"

තවමත් මුව අයාගත් දුක්මුසු මුහුණින් යුත් ඈ හනික බසය වෙත ගොඩ නැගුනාය..

මා නැවතත් ලැජ්ජාවට පත් වූයේ මාගේම පෙර 
දිනයක ඇති වූ 
 සිතුවිලි නිසාය.. දුටු මුල් වරෙක මා සිතූයේ ඈ රෑ සමනලියක වන්නට ඇතැයි කියාය..ඒ ඈ ගල්වන ලාබ සුවඳ විලවුන් නිසා වන්නට ඇත..ඊටත් වඩා අමන අතීතයක රෑ සමනලියන් ඇසුරේ ගත කල අතීතයෙන් ආ කුණු ගඳ ගහන සිතුවිල්ලක ඵලයක් වන්නටත් හැක..

ඈ දුන් ආහර පාර්සලය ඉතා රසවත් වීය..ධනයෙන් ආඨ්‍ය වූ කාල සීමාවේ නම් මෙවන් දෑ අරුමයක් නොවූ මුත් මෙතරම් රසක් දිව පිනවූයේ කාලයකිනි. ඊටත් වඩා සතුටු සිතින් දුන් දැයක් වීම වන්නට පුළුවන..ඉතා සතුටින් ගත කල රැයක්..


මා සිහිනයෙන් පුබුදාවා ලූයේ මා දමා ගිය දුවණියක් මා බලන්නට එන සිහිනයකිනි..මා සතිටින් නිවෑඅ ආලින්දයේ සිට මඟ බලා සිටියේ කවුරුන්දෝ මගේ ලොකු දූ මා බලන්නට එන පණිවිඩය දී තුබූ බැවිනි දූවිලි අවුස්සාලමින් නෙත්මානයෙන් ඉවත් වන බස් රථය තුලින් බැස මා ඉදිරියට ආවේ මාගේ ලොකු දුවයි...ඒ සැබවින්ම මා ලෙයින් ජනිත වූ ඇය නොව මේ ළඳයි..විටෙක වෛරයේ ගිණි දළු වලින් ඈ දවා හළු කල චිතකය මතින් ඈ පැමිනෙතොත් අසතුටු වන්නට බලා හුන් මා පිබිදියේ ඉතා සතුටිනි..සංසාරයේ යම් දිනයක මෑ මාගේම දුවණියක්ව ඉන්නට ඇත..

පසු දින කීපයකදී කල කතා බහෙන් ඈ නමින් යසෝමා බවද අසල වූ ගාමන්ට් ෆැක්ටරියේ සේවය කරන බවද සෑම සති අන්තයකම වාගේ දෙමව්පියන් බලන්නට ගම් රට යන බවද අසල වූ ගමේ නිවෙසක් කුලියට ගෙන ජීවත් වන බැව්ද මා දැන ගත්තෙමි. මාද නන්නාඳුනන කිසිවකුට නොකියන තරමින් වූ මාගේ ජීවිතය පිළිබඳ විස්තර ඈට කීවෙමි.

හද චිතකයේ සොහොන් කල මා බිරිඳ සහ දරු දෙදෙනා පිළිබඳ ඈ විස්මයෙන් අසා සිටියාය. සාර්ථක විශ්‍රාම දිවියක් ගත කිරීමට තිබූ අවස්ථාවන් මා මත්පැන් නිසා විනාස කරගත් බැව් ඇසීමෙන් ශෝක වූවාය..

මා කීමට යැයි කීපවාරයක්ම සිතා ගත්තත් නොකියා සිටි කාරණ කීපයක්ම වීය. එයින් එකක් වූයේ..මා ජීවත් වන්නේ සිඟන්නකු මෙන් වූවත් මා කිසිවකුට අත නොපාන කාරණයයි. මසකට අවශ්‍ය ප්‍රමාණයේ මුදලක් මා හට බැංකුවෙන් ලබා ගැනීමට ඉඩ සැලසෙන තරමේ බැංකුගත වූ ආදායම් මාර්ගයක් මා සතුව ඇති බැව් මා සියල්ලන්ට මෙන්ම ඈටද සැඟෙව්වෙමි.. මතක දශක හයක් තිස්සේ ලද අත්දැකීම් නිසා එම ආදායම් මාර්ගය ඉතා අරපරිස්සමින් පාවිච්චි කරන්නේ කෙසේදැයි කියා දීමට කිසිවකුත් අවශ්‍ය නොවුනි. සිඟන්නකු නොවූවද දකින අයකු අනුකම්පාවෙන් ලබා දෙන සුළු හෝ මුදලද නැතහොත් ආහාර ටික වුවද දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් වූ බොහෝ විට බැංකුවේ වූ ඉහත කී මුදල ආරක්ශිතවම තිබිනි..

අනෙක් කරුණ නම් මාගේ සල්ලාල ජීවිතයයි, එය සඳහා මා විසින්ම මේ ලබා දෙන දඬුවමට සාධාරනීකරනයක් ලැබීමට නම් එය මා ඉතිරි ජීවිත කාලයේම විඳිය යුතුය..ඒ මෙලෙස අප්‍රසිද්ධියේ මනස්තාපවීමෙන් පමණි. එසේම වලදමා තිබෙන එම අප්‍රසන්න කාල සීමාව ඕනෑම සමපේක්ශව සිතන්නකුගේ වූවද මහත් පිළිකුලට භාජනය වෙතැයි යන අනියත බියද මගේ මනසේ කොනක පැලපදියම් වී තිබුනි..

විටෙක පාළුවටම ගොස් තිබූ ගරා වැටෙමින් පවතින් මාගේ රාත්‍රී නවාතැන අතහැරයාම කරුණු සිදු වෙමින් තිබුනි..ඒ රාත්‍රිය වනවිට එතැනට පැමිණෙන කුඩුකාරයන්ගේ තිප්පලක් බවට පත් වීමත් සමඟය. මා සන්තකයේ තිබූ ඇඳුම් කීපයද සහිත බෑගය පවා රැක ගැනීමේ අරමුණින් මා එම ස්ථානයට සමු දුනි..උදෑසනම එතනින් පිටත් වූවත්..ඊළඟට නවතින්නේ කොතැනද යන්න පිළිබඳ අරමුණක් නැත..

දශක 6ක් පමණ තිස්සේ බදා ගෙන සිටි සියල්ලම අළුයම ලූ කෙළ පිඬක් මෙන් අතැර දමා පැමිණ මෙසේ තැනින් තැන කිසිම බැඳීමක් නැති ජීවිතය වූවද දශකයක් පමණ ගත කර උන් මා හට..දැන් නම් දමා යාමේදී දුක් වීමට එක් දෙයක් මේ පරිසරයේ තිබිනි..ඒ යසෝමායි..
අත හැර දමා යාමේදී එම ප්‍රදේශයෙන් ඉතා ඈත පළාතකට යන්නට පුරුදුව උන් මා..අද දින ලත වන්නේ..මෙයින් ඉවත්ව ගියත් මේ ප්‍රදේශය ආසන්නයේම ස්ථානයකට යා යුතු බැවි සිහි වන විටය.. ඒ එසේ වුවහොත් සෑම දිනම මෙම ස්ථානයට පැමිණ ඈ හමු වීමට හැකිය..යසෝමාද තමන්ගේ සේවා ස්ථානයෙන් නොමිලේ ඈට ලබා දෙන ආහාර සියල්ලම මා හට ගෙනත් දෙන්නට පුරුදුව සිටියාය...

මීට පෙර දිනයක මා ඇවිදිද්දී දුටු පාළුවට ගිය කනත්ත අසල වූ ගරා වැටුනු ගෙය මා මනසේ තැන්පත් කර ගෙන තිබුනි..

තරමක් දුර වූවත්..ඊට වඩා ළඟ ස්ථානයක් මා හට තවත් නොමැත..

සෑම දිනක මෙන්ම මා අදද දූවිලි වලා නගින කෑ මොර දෙමින් ඇදෙන වාහන පෙලින් මෑත්ව මා නෙතඳුනක් වූ ඈගේ ඡායාව නෙතමානයේ ගැටෙන තෙක් බලා සිටිමි..

නමුත් පෙර දිනයක වූ සිතේ සතුට, සැහැල්ලුව අද නොමැත..වෙන්වී යාමේ යම් වේදනාවක් සිත තුල ගුලි වේ...

සැඳෑ හිරුද පෙරදා මෙන් දිදුලන්නේ නැත..ඈ වටා හුන් සුදෝ සුදු වළාකුල් කුමකටදෝ මන්දා අහස සමඟ තරහ වී කළු පැහැයෙන් බුම්මා ගෙන සිටී..එයින් විටින් විට හිරු රැස් පවා අඳුරු වේ..වෙනදා තාලයකට හමන සුළඟද...අද තුරු ලතා සමඟ යම් ආරෝවක් කර ගෙන ඇත..ගස් කොළන් වේදනාවෙන් ඇඹරෙද්දී සුළං රැල් සිත් පිත් නැති අයුරින් තව තවත් ඔවුන් පීඩාවට පත් කරනු ලබයි..
මේ සියල්ලම මැද්දෙන් ඈ සුපුරුදු ලෙසින්..බස් නැවතුමට වෙතට පා නගන්නීය..

මාගේ පපුව හිර වේ..සිය වතාවක් පමණ කිය යුත්ත මේ යැයි සිතා ගත්තද..මාගේ උගුර වියලී ඇත..

"ආ අංකල් අද මොකද දුකෙන් වගේ ? ඉන්න අද අපිට ස්පෙශල් කෑම එකක් හම්බ උනා.."

ඈ සුපුරුදු සිනහවෙන් යුතුව තම බෑගය විවෘත කරයි..

"දුවේ මන්.... "

"මොකද්ද අංකල් කීවෙ..මට තේරුනේ නෑ..ආ මේ මොකද මේ අද කවදාවත් නැතුව ලොකු බෑග් එකකුත් අරන් ? අංකල් කොහෙ හරි යනවද අනේ..."

ඈ විස්මයට පත්ව අයා ගත් මුවින් යුතුව තම අත වූ පාර්සලය මා වෙත දිගු කරද්දී..

"ඔව් දුවේ මට අතනින් යන්න උනා..මන් අළුත් තැනක් හොයන් යනවා.."

වෙව්ලන දෑතින් පාර්සලය බදා ගනිමින් මා කොඳුලෙමි..

ඈ තවමත් විස්මිත අයා ගත් මුවින් කිසිත් නොදොඩා බලා,

"අනේ...අනේ..."

-------------------------------------------------------------------------------

නැත අවසනක්.... නැත සමුගැන්මක්...

මේ අරුත් නැංවෙන්නේ ජීවිතයයි...


නැවත හමුවෙමු... 

Friday, January 4, 2013

ගමක, ගැමි කමක (අ )සුන්දර සුවඳ..

මෙහි ආරම්භක කතාවට  මෙතනින්

"ආ එන්න ඊළඟට ඉන්න කෙනා. ඔය අම්මා නේද ? 
ඔය අම්මට එන්න ඉඩ දෙන්න ඔතනින්"

"ඉඳ ගන්න අම්මේ . මොකද්ද අම්මට තියෙන ප්‍රශ්නෙ ? "


"අනේ බුදු මහත්තයෝ මගේ දරුවො මට සලකන්නෙ නෑ"


"කෝ අම්මගෙ
දරුවො ඇවිත් ඉන්නවද මෙතනට ?"

"හිටියා මහත්තයෝ ආන් අරෙහෙ අර අඹ ගහ මුල ඉඳ ගෙන හිටියෙ"


"මේ කවුද ? ඔය ළමයා දරුවත් එක්ක ඉඳ ගන්න මේ පුටුවෙන්. ඔය අම්මගෙ මල්ල අයින් කරන මේ ළමයට ඉඳ ගන්න"


"පෙලට ඉඳ ගන්ඩෝනි නෑ සර් , මේ මගේ නැන්දම්මා , අපි පුළුවන් විදියට නැන්දම්මාට සලකනවා තමයි.. ඒත් එයාට කොයි තරම් කලත් මදි. අපිත් එක්ක රණ්ඩු වෙන්නමයි එන්නෙ"


"උඹ කට වහ ගනින් . උඹට මෙතන කතාවක් නෑ. උඹ පිට එකී..රොඩී හැත්ත ඉනා කවලා අපේ කොල්ලව රවට්ටා ගත්තා මදිවට මෙතන.."


"මොනවද අම්මෙ කුටු කුටු ගාන්නෙ ? කෝ අම්මගේ පුතා. "

මොකද්ද නම ? 

සාජන් ගිහින් එන්න කියනවා"

"මාන්නක්කාර මුදියන්සෙලාගේ ලියන්නා මහත්තයෝ"


"තමුන්ද මාන්නක්කාර් මුදියන්සෙලාගේ ලියන්නා කියන්නේ ?"


දිසාපති - අමන්ත වීරසිංහ යනුවෙන් කළු පැහැ විසල් බෝඩ් එකක සුදු පැහැයෙන් දිලෙන අකුරු දෙස නෙත් යොමු කර ගත් වනම මා සිටියේ දරා ගත නොහැකි කෝපයකිනි. මේ කාළකන්නි ගෑනි ගෙදර ඉඳන් අපිට දෙන වද මදිවට දැන් මේ කොහෙවත් ඉන්න පිට මිනිස්සු ඉස්සරහත් අපිව කන්ඩයි හදන්නෙ යන සිතුවිල්ලත් සමඟ නගින කෝපය දරා ගත නොහැක.


"තමුන්ද මාන්නක්කාර මුදියන්සෙලාගේ ලියන්නා කියන්නෙ?"


නැවතත් ඒ ගාම්බීර හඬ..


"මාන්නක්කාර මුදියන්සෙලාගේ කියලා කෑල්ලක් නෑ. ලියන්නා තමයි නම"


"මොකද ඔච්චර සද්ද ?  ආ ..? සර්ට ගරු සරුවට කථා කරන්න ඉගෙන ගන්නවා"


ඒ අසල සිටි පොලිස් රාළහාමිය. 


"මේ ගෑනිට අපි කන්න දෙනවා, බොන්න දෙනව, ඇඳුම් පැළඳුම් ටික අරන් දෙනවා. ලෙඩට දුකට බේත් හේත් ටික අරන් දීලා මගේ ගෑනි තමයි රෑ නිදි මරා ගෙන සේරම සුමේ කරන්නෙ. ඒ මදි වෙලා අපිත් එක්ක හැමවෙලාවෙම හරි අල්ලනවා . මගේ ගෑනිවයි ළමයවයි  කන්ඩ හදනවා මන් නැති වෙලාවට "


"මොකක් ????
මොකක් ?? කාටද තමුන් ඔය ගෑනි ගෑනි කියලා කතා කරන්නෙ ? තමුන් හදපු වඩපු අම්මට නේද ?"

දිසාපති ගුගුරයි...


විමලා තම අත වූ දරුවා අනිත් අතට ගෙන මාගේ කකුල කොනිත්තයි..


"මන් කිව්වෙ බුදු මහත්තයෝ..ඔහොමම තමා මේ වසවර්තියා. මේ සේර්ම මේ රොදිච්චිව බැඳ ගත්තට පස්සෙ තමයි. අපේ එකාව රවට්ටා ගෙන"


නාකිච්චිගේ එළියට ඉල්පුනු උගුරු ඇටය බරස් යන හඬින් කඩා දැමීමට ඇත්නම්...


"කවුද අම්මේ රොඩිච්චි කියන්නෙ ? ඔය ලමයගේ නම මොකද්ද ?"


"විමලා සර්...මන් මෙයැයිට කීවා මේ කුලමල ප්‍රශ්න එන නිසා අපි බඳින්නෙ නැතුව ඉම්මු කියලා"


ඈ කන් කෙඳිරි ගායි..


යක්ෂයා මගේ ඔළුවට ආරූඨ වීය.


"මෙන්න මේ ගෑනිගෙයි , අර මැරිච්ච මහ මිනිහගෙයි මාන්නක්කාරකම තමයි..කොහෙද රොඩී ඉන්නෙ ? ඉපදෙන කොට එව්වා අච්චු වෙලා එනවද ? මන් බැන්ඳෙ මට ඕනි කෙනා..මේ ගෑණිට අපි දෙන දෙයක් කාලා ඉන්ඩ බැයි නම් යන දීපංකරේක තොලොංජි උනට අපිට කමක් නෑ. අපිට ඉන්ඩ ඇරලා අපේ පාඩුවෙ. නැත්නම් උඹත් පල අර මහ එකා ගිය පාරේම "


හිත තුල කැකෑරෙමින් තිබූ සියල්ලම මාගේ මුවින් පිට වෙමින් තිබුනි..
ඊළඟ මොහොතෙ මාගේ මුහුණ වෙත ආවේ අසල උන පොලිස් නිළධාරියාගේ මිටි කර ගත් හස්තයයි..සමබරතාවය ගිලිහුනු මා එතැනම බිම වැටුනද ඔළුව ගිණි ගත් කෝපය තවත් දැඩි වන්නට වීය.

"සර් මූ දැනටමත් කසිප්පු බීලා ඉන්නෙ. දාමු සර් සති දෙක තුනකට ලකප් එකට"


හකු පාඩා හිරි වැටී, තොල් පැලී ලේ ගලා එයි..


"ගහන්න එපා ඔය මනුස්සයට"


"නෑ සර් තමුන්ගෙ අම්මට මෙහෙම කතා කරන තිරිසනෙකුට වෙන මොනවා කරන්නද සර් කියන්නෙ ?"


"අනේ බුදු මහත්තයෝ මේ ගෑනි ගෙනාපු දවසෙ ඉඳන් ඔහොමමයි මේ යකා. තාත්තා එක්කත් හරි අල්ලලා අල්ලලා ඒ මිනිහව මරා ගත්තා. දොස්තරලා නම් කීවෙ පපුවෙ අමාරුවෙන් මලේ කියලා. ඒත් ඒ මිනිහට ගහන්ඩ එලවං ගියා ඇඳ පොල්ලකින් ඊට පස්සෙ තමා මැරිලා වැටුනේ..මට බයයි කවදා හරි මාවත් මරා ගනී කියලා මේ රොඩිච්චි එක්ක එකතු වෙලා"


"කවදක හරි නෙවෙයි තෝ ඔය රොඩී කතාව කිව්වොත් 
මගෙන් මැරුම් කන්ඩ වැඩි දවසක්...."

මා කී වාක්‍යය අවසන් කිරීමට මත්තෙන් පොලිස් සපත්තු පහර මුව වෙත පැමිණි නිසා එය වලක්වා ගැනීමට මා හට සිදු වීය...


"දානවා සාජන් මේ මිනිහව කූඩුවට...තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නෙ නැති අයට නීතියෙන් දඬුවම් තියෙනවා අද. මට්ටු වෙලා එනවකෝ හිරේ වැටිලා"


"ඔව් ඔය මහ එකා කියන එකා ගමේ එවුන් එක්ක එකතු වෙලා කාලෙකට උඩදි අපේ ගමේ හිටපු පවුලක හතර දෙනෙක්ම මරලා දැම්මා.රොඩී කියලා.එතකොට ඔය නිලදාරීයි බලදාරීයි නැට්ට පුකේ ගහ ගෙන හිටියෙ..සල්ලි වලට බලපුලුවන්කාරකම් වලට පන්සලේ මහ ගනයගේ කටට බයේ ඒවා ගැන හෙව්වෙ නෑ..තාමත් ඒ අහිංසකයො හතර දෙනාගේ ඇටකටු අර පාතාල උමඟෙ ඇති.මහ ලොකුව තානාන්තරේ බෝඩ් එකේ ගහ ගෙන ඔය දුන්කල නැට්ට බෙල්ලෙ හිර කරගෙන හිටියට වැඩක් නෑ මහත්තයලාත් අහිංසකෙක් ගන්ජා පැලයක් හිටෙව්වොත්, කසිප්පු බූලියක් පෙරුවොත්, හාවෙක් මීමින්නෙක් මැරුවොත් නම් රෙද්ද උස්සගෙන ගිහින් උන්ව දඬුකඳේ ගහයි, පොලිසිය කඩන්නෙත් අපේ ඇට තමයි, අපිව නම් හිරේ දාන්ඩ දත කයි
"

"සාජන් රාලහාමි මේ මනුස්සයව අරන් යනවා එළියට"


"අනේ සර් මනුස්සයට නුහුගුණේ වගේ තියෙනවා..කාලෙන් කාලෙට බෙහෙත් බොනවා..අනේ බුදු සර් පොලිසි දාන්න එපා.."


විමලා ඉකි ගසයි..පොලිස් මරුමුස්සා  මගේ බෙල්ල හිර කරගෙන අසල වූ බංකුවට ඔබා ගෙන සිටී.


"මොකද්ද අර හතර දෙනෙක් මරපු කතාවක් කීවෙ ?"


විනාඩි කීපයක නිහඬතාවයක්...


"මොකද්ද අම්මේ ඒ කතාව ?"


"ඕක ඔය ළමයා ඉගෙන ගන්න කාලෙ අපේ ගමේ හිටියා රොඩී පවුලක්..ඔය පිට ගමකින් ආපු එවුන් ටිකක්ද කොහෙද ඒ පවුලම මරලා අර පතුලක් පේන්නෙ නැති උමඟට දාලා තිබ්බා..ඒ ගොල්ලන්ගෙ මුළු ගේම පුච්චලා තිබ්බා. ඔය සිද්ධියෙන් පස්සෙ තමා ඔය ළමයගේ නුහුගුණේ ආවෙ"


"කොහෙද ඕක උනේ ?"

"අපි මෙහෙ මගේ මහගෙදර වලව්වට එන්ඩ ඉස්සරවෙලා පදිංචි වෙලා හිටි හතර මහ ලියැද්දෙ මහත්තයෝ..ඒ හිටපු සාගරයක් වගේ තිබ්බ  වලව්වම ගිණිබත් කොලා මේ වසවර්තියා නුහුගුණේ වැඩි වෙලා"


"පිට ගමකින් ආපු උන් නෙවෙයි මහ එකා තමයි ගමේ හිටිය අනිත් අය එක්ක ඒ පවුල මැරෙව්වෙ?..ඔව් මන් ඒ මහ උද්දච්ච වලව්ව ගිනිබත් කොරා තමයි..අර අහින්සක
යින්ට දැනිච්ච දේ තොපිට දැනෙන්නයි එහෙම කලේ "

මා සත්‍ය පැවසූවද එය ඔවුන්ට ඇසුනාදැයි මතක නැත..



"ඉතින් මිනීමැරුම්  හොයා ගත්තෙ නැද්ද ? 

"නෑ අර චේ ගුවේරා කලබල ආවනෙ ඔය එක්කම "


"අම්මේ, අම්මත් ඔය කුල මල ගැන කියවන්නෙ නැතුව ළමයිත් එක්ක සමඟියෙන් ඉන්න බලන්න..ඇයි අම්මට වෙන ළමයි නැද්ද ?"


"රට ඉන්නවා ලොකු එකා මුගේ වැඩ හින්දා එන්නෙම නෑ..තියෙන ඉඩ කඩම්  වලින් එන සේරම ගොඩ ගහ ගන්නෙ මේන්න මේකි තමා"


"නෑ සර් අපි වත්තෙන් එන ආදායමෙන් තමයි කාලා ඇඳලා අම්මටත් සලකාගෙන ඉන්නෙ"


"එහෙනම් ඔය ගොල්ලො යන්ඩ දැන් ලියන්නාව පොලීසියට ගෙනිහින් කට උත්තරයක් ලියා ගෙන එවයි. අම්මට කරදර නම් ඕනිම බදාදා දවසක ඇවිත් මාව හම්බ වෙන්න. විමලත් බොහොම ඉවසීමෙන් වැඩ කරන්න වැඩිහිටියො වෙනකොට ඒ අය පොඩි ලමයි වගේ..ලියන්නාගෙ බීම නවත්තා ගන්න කියන්ඩ. ඔය පොඩි ළමයගේ අනාගතයටත් ඒක හොඳ නෑනෙ"

 කට උත්තරය ගැනීමට පොලිසියට රැගෙන ගිය මා..


"මූ අපේ සර්ට පාට් එක දැම්මා .. හොඳට සලකලා යවහන්"


ඒ අණ පොලිස් පොඩ්ඩන් නිසියාකාරව ඉටු කරන ලදී..



පොලිසියේ කට උත්තරය ගත් දිනයේ සිට සතියක් පමණ වන විට මා හට යන්තම් පොළවේ පය ගසා ඇවිදීමට හැකි වූ අතර මැහැළියද තම හඬ වඩාත් පණ පොවා ගැනීමට මෙය කාරණයක් කර ගත්තේය. 

"අනේ ඔයා සද්ද නොකර ඉවසීමෙන් ඉන්න"


විමලා මන්තරයක් මෙන් මා දෙසවනට කෙඳිරූවද...ඈට රොදිච්චී යනුවෙන් ඇමතීම තරම් මා කෝප කල කිසි දෙයක් නොවිනි. 


අනිවාරතයෙන්ම දිනයක මෑ මා අතින් මිය යනු ඇතැයි මා හට සිතුනු වාර අනන්තය. 

ඊට පෙර මේ කාලකන්නි නිවසින් අප තිදෙනාම ඉවත් විය යුතුය..
අපට අයත්ව තිබූ අක්කර දෙකක පමණ දවට ගහ ලියැද්ද ඉඩම මෙයට සුදුසුය.. පොඩියට හෝ පැල් කොටයක් තනා එයට පදිංචි වීම පිළිබඳ මා විමලා සමඟ කතා කල විට,


"අනේ ඔයාගෙ අම්මා කන්ඩ බොන්ඩවත් නැතුව මැරිලා යයි මේ පාළු වලව්වෙ අපි එහාට ගියහම"


"එහෙනම් උඹලා තුන් දෙනා හිටපල්ලා..මගේ මේ කැඩිච්ච කකුල හරි ගිය ගමන්ම මන් යනවා පැල් කොටයක් හදා ගෙන"


පසුදා උදෑසන පාළුවට ගොස් තිබූ වත්තම මහත් කලබලයකට පත් කරන ලද්දේ මහත් හඬ නගමින් නැවැත්වූ වාහනයක සද්දයෙනි. 


"ඔයා හැංගෙන්න, ඔයා හැන්ගෙන්න... දිසාපති වාහනේ..ආයි පොලෝසි ගෙනිහින් ඔයාව මරලා දායි...
යන්න අනේ යන්න"

කකුල අද්දවමින් මා ඇද ගෙන ගොස් දර මඩුව පසෙකට කල විමලා පිලිකන්න දෙසින් මිදුල දෙසට වන්නීය.


"කෝ ලියන්නා ?"


ඒ ගොර බිරම්
දිසාපතියාගේ හඬ...

"අනේ බුදු සර් ගෙදර නෑ. අර පහල ගෙදරකට ගියා..පොලෝසියෙන් කඩපු කකුල යාන්තම් හොඳ උනා විතරයි සර්. ඒ අහිංසකයව ආයි පොලීසි යවන්න එපා සර්"


"පොලීසියෙන් කකුලක් කැඩුවා ? මන් දන්නෙ නෑ එහෙම කතාවක් ?"


අනේ මූ මෙතන ඔක්ක බබා වෙන්ඩ හදනවා..ඔව්වො සේරම එකයි. මොකටද මන් බය වෙන්නෙ.. දැන් ගිය සැරේ කඩන්න තියෙන සේරම ඇට ටික කැඩුවනෙ. හිටපියකෝ මන්ම කියන්ඩ හොඳවයින් දෙකක් උන්දැට.. දර මඩුවේ පසෙක සඟවා තිබූ කසිප්පු භාගය කටේ හලා ගත් මා ගත කෝපයෙන් දැවෙන්නට වීය.


"ඇයි මහත්තයෝ ආයි මාව කොල නැති ගහේ යවන්නද ? අර නාකිච්චි ආයි ඔහේට ගතු කිව්වද ?සලකන්නෙ නෑ කියලා?"


"ආ මේ ඉන්නෙ ලියන්නා..මට ලියන්නට කතා කරන්න ඕනි. ඒකයි මන් ආවෙ"


"කියන්ඩ කියන්ඩ මහත්තයා එදා කියපු පාර මේ තියෙන්නෙ ..දැන් කටේ දත් හතරක්ම අඩුයි. කකුල දැන් තමයි යන්තම් පොලවේ පය ගහලා ඇවිදින්න පුළුවන්..සතියක් යනකන් කන්ඩ බොන්ඩත් බෑ..ආයි
කියන්ඩ මහත්තයා..තව කඩන්න ඇට ඉතුරු වෙලා තියෙනවා..මේ ශරීර පංජරේ ඕන්"

"මන් පොලීසියෙන් මේ ගැන හොයලා බලන්නම් ලියන්නා...මන් දන්නෙ නෑ මෙහෙම ගහපු බවක්.."


"සේරෝම බබ්බු මහත්තයෝ බබ්බු...අහිංසක අපි ඉන්නවනේ ඉතින් ඔව්වා පිටින් යවන්න"


"යන් අපි අර කජු ගහ යට බංකුවට"


දිසාපතියා මගේ උරහිසින් අල්ලා ගනී..


"අතාරින්ඩ මහත්තයා ඔය ශ්‍රී හස්තෙ
 අපේ කුණු ශරීරයේ ගාවා ගන්න එපා"

"පුදුම වෛරයක් නේ තියෙන්නෙ!.. මොකද්ද අර එදා කීව අර ගමේ හිටිය රොඩී පවුලක් මරපු කතාව? ඇයි ලියන්නාගේ අම්මා තමුන්ගේ බිරිඳට රොඩී කියලා බනින්නෙ ?"


මගේ යක්ශයා ඔළුවට වඩම්මා ගෙන එයි...


"මේ මන් බුදුන් වඳින්නෙ නෑ..දෙයියන් පුදන්නෙ නෑ. බුදුන් දෙයියන් සේරම ඉන්නෙ මිනිස්සුන්ගෙ හිත් වල. ඒත් මන් මගේ මේ දෑතින් කාටවත් කිසිම වැරැද්දක් කරලා  නෑ. මගේ ගෑනි විමලා ඒ ගෑණි නැත්නම් මෙලහකට මන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා . ඔව් ඒකි ඔය පහත් කුලේ කියන රොඩී තමයි..ඒත් ඒකි රත්තරන් කඳක් මහත්තයෝ..මගේ දරුවා පල්ලා..මන් ඒකිව බැන්ඳෙ අපේ මහ එකාගෙයි මහ ගෑනිගෙයි තියෙන උද්දච්චකම නැති කරන්ඩයි...පස්සෙ තේරුනෙ මන් බැඳ ගත්තෙ දේවින්නාන්සෙ කෙනෙක් කියලා..මගේ දරුවාපල්ලා මහත්තයෝ..මොකා හරී මොකී හරි මට ලොකු නෑ ඔය වචනෙ ඒකිට හරි ලමයට හරි කීවොත් කඩනවා බෙල්ල දෙකට..කඩලා මන් යනවා කොල නැති ගහේ.
"

"හරි හරි අපි යන් අර බංකුවට ගිහින්
 කතා කරමුකො"

දිසාපති මහත්තයාගේ සපත්තු කූට්ටම හිරු එළියට දිලිසෙයි...මා මදක් එදෙස බලා සිටියෙමි..


" ඒ  ගමේ හිටිය කුලවන්තයො කියන ඔය අපේ මහ එකීයි වලකජ්ජ ගහපු මහ එකයි එක්ක හිටපු ඒ ජාතියෙම  බල්ලන්ට වඩා උසස් ගතිගුණ තිබ්බ පවුලක් හිටියා මහත්තයෝ..අමිත් කියන්නෙ මගේ හොඳම යාළුවා එයැයි එයාගේ නංගියි අම්මයි තාත්තයි...මීට අවුරුදු විස්සකට උඩදි..ඒ  ගමේ මිනිස්සු එකතු වෙලා මරලා දැම්මා"


"ඒ මොකෝ? මොකද්ද ඒ අය කරපු වැරැද්ද ?"


"අමිත් ඒ අවුරුද්දෙ හොඳටම ඕලෙවල් පාස් උනා...ඒ ප්‍රථිපලේ තාමත් ගමේ ඉකෝලෙ තියෙන හොඳ
ප්‍රථිපලේ..ඒක මේ ඉන්න උන්ට දරා ගන්න බැරි උනා..අපේ මහ මිනිහා තමයි අනේ අර අහිංසක පවුල මරන්න මුල් උනේ" 

මාගේ කම්මුල් හරහා උණුසුම් දිය දහරාවක් ගලා යයි..


"ඉන්ඩ මහත්තයෝ මන් කක්කුස්සියට ගිහින් එන්නම්"


මා කුස්සියට යනවිට විමලා විමතියෙන් බලා මා දෙස බැලුවාය..


"මන් තේ එකක් හදන්ඩද  මහත්තයට ?"


"එපා අර නාකිච්චි එදා කියෙව්ව කුල මල කතා හින්දා  ඒ ගොල්ලො අපෙන් තේ බොන එකක් නෑ..පස්සෙ තැඹිලි ගෙඩියක් කපලා දෙමු, 
කෝ අර ඇඳ යට තිබ්බ භාගෙ?"

"ආන් අර අටුවෙ වී බිස්ස එහා පැත්තෙ තිබ්බා...ඔව්වා බොන්ඩ එපා මනුස්සයෝ...කෝ කිව්වට කන පාරෙ යන එකක්යෑ?"


දුක්බර අතීතයක මතක සටහන් වලින් බිඳී යාමට තතනන සිත් කසිප්පු වඩියෙන් නැවතත් සවිමත් වෙයි...


මා ආපසු යන විට දිසාපති මා දෙස හොඳින් බලනු ඈත සිටම දුටුවෙමි.. 

නිල්  පැහැ ටයි එක මත අලංකාර රටාවකින් යුත් වියමනක් තිබුනි...

"ඉතින් අර අමිත්ලගේ මිනී හම්බ උනාද පුච්චපු ගෙදර තිබිලා?"


"මොන මහත්තයෝ ? ඒක අහු වෙයි කියලා මිනී මරුවො මේ හතර දෙනාව මරලා අර පාතාල උමඟට දාලා..ඕකට එබුවහම ආයි කාටවත් හොයන්න බැරි බව දන්නවනෙ..අනේ ගෙදර හිටිය බල්ලා මේසෙ කකුලට ගැට ගහලා හිටි විදියටම පිච්චිලා මැරිලා හිටියා. අමිත් හරි නංගි හරි ජීවත් උනා නම් බල්ලව බේරා ගෙන තමයි යන්නෙ..පවු අහිංසකයො නිදි පැදුරේම මරන්න ඇති."


"ඉතින් ඇයි ලියන්නා තමන්ගෙ තාත්තව ඕකට සැක කරන්නෙ ?"


"මට ඔය මහ එකයි, ගෑණියි දවසක් රෑ ඕක ගැන කියනවනවා ඇහුනා මහත්තයෝ"


"මැරුවා කියලද ?"


"ගේ පුච්චන්න ඔය මහ මිනිහත් ගිහින් තියෙනවා..ඔය ගිය කට්ටියමනෙ මිනී මරන්නත් ඇත්තෙ"


"ඉතින් ඇයි ලියන්නා ඉගෙන ගත්තෙ නැත්තෙ ? ලියන්නත් ඕ ලෙවල් පාස් උනා කීවා නේද ?"


"කවුද කීවෙ මහත්තයට ? මන් ගියා ටවුන් එකේ ඉස්කෝලෙට...ඒත් හැමදාම මහ රෑට මට හීනෙන් පේන්ඩ ගත්තා අමිත්වයි නංගිවයි...අර පාතාල ගුහාවෙ ඇතුලෙ ඉඳන් ඒ අය මගේ උදව් ඉල්ලනවා , කතා කරනවා... පවු දෙයියනේ මුළු ගමෙන්ම කොන් වෙලා හිටියත් මට පුදුම ලෙංගතු කමක තිබ්බෙ..මගේ ඔළුව තෝන්තු උනා මහත්තයෝ..එහෙ ඉස්කෝලෙන් මාව ඉස්පිරිතාලෙට යවලා එහෙන් පිස්සන් කොටුවට යැව්වා..ඔයින් මගේ ඉගෙනීම කැලේ.. මේ කසිප්පු ටික නැත්නම් මගේ ඔළුව ආයිමත් තෝන්තු වෙනවා මහත්තයෝ...නැත්නම් අර රත්තරන් ගෑනිගෙ බහට මන් අවනත වෙලා මේ ජරා බීම නවත්තනවා.."


එක් වරම උණුසුම් අතක් මගේ කලවා මත පතිත වීය..


"එපා මහත්තයෝ..මේ ජරා වෙච්ච කඩමාලු සරමෙ තියෙන කුණු මහත්තයගේ අතේ ගෑවෙයි.."


"ලියන්නා මම අමිත්"


බිඳෙන කට හඬක්.. මා නැවත අර ටයි පටියේ වූ රටා දෙස බලා දිලිසෙන සපත්තු කූට්ටම දෙස බැලීමි..


"මේ මහත්තයෝ...අපි නූගත් තමයි..
මහත්තයා වගේ මහ ලොකු දිසාපති විභාග පාස් කරලා නැතුවත් තමයි.ටයි, කෝට්, බෝට් නෙවෙයි මේ සරම් කඩමාල්ල තමයි අඳින්නෙ ඒත්....ඒත් මහත්තයා හිතන තරම් මොන්ගල්  මෝඩ ඩයල් එකක් නෙවෙයි මේ ලියන්නා..ඔව් මට කාලයක් පිස්සු හැදිලා හිටියා තමයි..ඒ අච්චර ලෙංගතු කමින් හිටි අමිත් ගෙ මරණෙ හින්දයි , ඒකට මුල් උනේ මන් පීතු පාදං කියලා වැඳපු මගේම මහ එකයි හින්දයි.. අමන්ත වීරසිංහ මහත්තයෝ මට දැන් ඒ පිස්සුව සනීපයි..ඒක මතක තියා ගන්ඩ"

මගේ කෝපය බුර බුරා නැගෙන ගින්නක් මෙන් වීය..


"ඔය මොකද්ද යකෝ කරන්නෙ මොකද මගේ සරම උස්සන්නෙ ?"


මා කෑ ගසමින් ඉවතට පැන්නෙමි..


"දනිස්ස..දකුණු කකුලෙ දනිස්ස මට පෙන්නහන්"


එය නැවතත් ගාම්භීර අණකි..මා සරමේ පැත්තක් ඔසවා දනිස් පෙන්නුවෙමි.. හරියටම දනිස්ස මත වූ රවුම් තුවාල කැලල..


"බලහන් ලියන්නා මගේ මූණ දිහා..උඹ මෙච්චර වෙලා කතා කලාට මගේ ඇස් දෙක දිහා බැලුවෙ නෑ.. බලපන් යකෝ"


දෙනෙත් කෙවෙනි තුලට ගොනු වූ කඳුළු බිඳු දෙකක් සහිත ඒ කාරුණික දෙ ඇස දෙස මා මෙපමණ වෙලාවක් නොබැලූවේ මන්දැයි නොදනිමි.. 

වම් ඇසේ කළු ඉංගිරියාවට දකුණු පසින් වූ මදක් රත් පැහැ වූ ඒ ලපය...

"බලපන් මගේ දනිස්ස දිහා.. මොකද්ද මේ තුවාල කැලල..මොකද්ද ?"


කලිසම දනිස්ස දෙසට නවා ගෙන මා හට පාන එම කකුලේ දනිස්ස දෙස මා දෑස ගියේ නිමේශයෙනි... 





"පැනපං පොල්ල උඩට දුව ගෙන ඇවිත්"

 
අමිත් කෑ ගසයි..


මාද දුවගෙන ගොස් අ
මිත් උස්සාගෙන සිටින අත අස්සෙන් පොල්ල උඩට පැන්නෙමි..

ඉලක්කය තරමක් හරි ගියද මාගේ තට්ටම් දෙක හරියටම පොල්ල උඩ නොරැඳීම නිසාත් මාගේ සමබරතාවය බිඳී ගොස් එහාට මෙහාට වැනෙන්නට වීය..මට පොල්ල උඩට පනින්නට උස්සාගත් අත අ
මිත් ආපසු තැබුවේ බයිසිකලයේ හැඬලයේ නොව මාගේ කොන්ද මතයි..තරමක වේගයෙන් ඉදිරියට ඇදී යන බයිසිකලය අසල තුබූ වැටක වැදී වැලි පාර අයිනේ වූ කානුව මතට රූටා ගියේ අප දෙදෙනාද සමඟිනි.......






අමිත්ගේත් මගේත් දෙදෙනාගේම දනිස්ස මතවූ මේ රුපියල් දෙකක කාසියක හැඩයෙන් යුත්  වූ  තුවාල කැලල පිළිබඳ අප කී දවසක් නම් හිනා වන්නට ඇද්ද ?

මා නැවතත් එම දෙනෙත දෙස බැලීමි..විශාල කඳුළු කැට දෙකක් රූරා බසින රන්වන් පැහැ මුහුණ මත උදෑසන ලා හිරු කිරණ පතිත තවත් රන්වන් පැහැයෙන් බබලයි...

වර්තමානය, අනාගතය හෝ අතීතය නොමැති කාලාවකාශයකට මා පියඹා යන්නාක් මෙන් මට දැනෙන්නට වීය..

අමන්ත වීරසිංහ දිසාපති මහත්තයා දෙ අත විහිදුවා මා දෙසට පැමිණෙයි..


මා අඩියක් පසු පසට ගොස් බිමට නැමුණු කජු ගසේ අත්ත අල්ලා ගත් සැනින් වම් අත තුලින් පටන් ගත් අකුණක් ගැසූවාක් මෙන් වේදනාවක් පපු කුහරය තුලට හාරා ගෙන යන්නට වීය..
--------------------------------------------------------------------------- 


 සජීවී  සටහනක් අවසානයි...... නිමි......  ඉවරයි..... කියා අවසන් කරන්නේ කෙසේදැයි අසරණ මා හට නොතේරේ...එබැවින් මෙම කතාව අවසානයි නොව..මේ තවත් ආරම්භයක් බව පවසමින් මා සමු ගනිමි...



Wednesday, January 2, 2013

ගමක (අ )සුන්දර සුවඳ...

"පැනපං පොල්ල උඩට දුව ගෙන ඇවිත්"

අමිත් කෑ ගසයි..


මාද දුවගෙන ගොස් අ
මිත් උස්සාගෙන සිටින අත අස්සෙන් පොල්ල උඩට පැන්නෙමි..

ඉලක්කය තරමක් හරි ගියද මාගේ තට්ටම් දෙක හරියටම පොල්ල උඩ නොරැඳීම නිසාත් මාගේ සමබරතාවය බිඳී ගොස් එහාට මෙහාට වැනෙන්නට වීය..මට පොල්ල උඩට පනින්නට උස්සාගත් අත අ
මිත් ආපසු තැබුවේ බයිසිකලයේ හැඬලයේ නොව මාගේ කොන්ද මතයි..තරමක වේගයෙන් ඉදිරියට ඇදී යන බයිසිකලය අසල තුබූ වැටක වැදී වැලි පාර අයිනේ වූ කානුව මතට රූටා ගියේ අප දෙදෙනාද සමඟිනි.
ඒ වෙලාවෙ ඇඬුවාද සිනාසුනාද යන්න මතක නැති මුත් වැලමිටි, මැණික් කටු දනිස් සහ විළුඹ ලෙලි ගැසී තිබූ බව නම් මතකය. පහල කොරටුවේ සිටි ජේමිස් මාමා මට බනිමින් මා වඩා ගෙන ගෙදරට බාර දුන් පසු නම් මා ඇඬුවා මතකය.. ඒ ,

"ඔය රොඩීත් එක්ක ආශ්‍රය නවත්තන්න කියලා කොයිතරම් නම් කියලා තියෙනවද ? අහන්නෙ නැති එකා අතපය නෙවෙයි මුළු සරුවාංගෙම කඩා බිඳගෙන ආවත් මන් නම් බලන්නෙ නෑ"


අම්මාගේ ගෝරනාඩුව මැද තාත්තාගේ වේවැල් පාර හත අට..බයිසිකලෙන් වැටී තුවාල සිදු වූ වේදනාවතත් වඩා දැඩි වීය.
ජේමිස් මාමා කටේ දමා හප කරන ලද කෝපි දළු වලට සියළු තුවාල පසු කලක සනීප වූවත්..


මාගේ සහ අ
මිත්ගේ මිතුරුකම කිසිදා නිමා නොවීය..

"මොකද්ද රොඩී කියන්නෙ ? ඒ මිනිස්සුන්ගෙ ඇඟේ ගහලා තියෙනවද ඕක?" අර බුදු හාමුදුරුවො නජජ්ජා වසලෝ හෝති කියල දේශණා කලේ මොකද්ද ? පන්සලේ මහා දායකයා වෙච්ච තාත්තාත් ඔව්වා පිලි ගන්නවනම් ඉතින් අනික් ම්නිස්සු මොකද ?" 


කර දඬු උස් මහත් වනවිට වේවැලට අවනත නොවන වයසේ මා ප්‍රතිතර්ක ගෙනාවද වැඩිහිටියන් කිසිදා තම මතය වෙනස් කලේ නැත..

ගමේ කෙළවරක වූ කටු මැටි ගෙයක ජීවත් වූ අ
මිත්, ඔහුගේ නංගී අම්මා සහ තාත්තා ගමේ සියල්ලන්ම සැලකුවේ පහත් කුලයට අයත් පවුලක් ලෙසය. උසස් යැයි සම්මත මුළු ගමටම වඩා උසස් ගතිගුණ රාශියක් ඔවුන් සතු වූ බව මා දන්නේ මා එම නිවසට නිතර යන එය අයකු වීම නිසාය. මිත්ද මාගේ පන්තියේම වූවත් ඔහු පන්තියෙන්ද කොන් කර තිබිනි. එක් කකුලක් කැඩුනු මේසයක් සහ කබල් පුටුවක් ඔහුට සැමදා වෙන්වී තිබුනි.

නමුත් ඉගෙනීමේ අති දක්ශයකු වූ අමිත් පන්තියේ සිටින විසි දෙනාගෙන් පහලොස් වෙනියාගෙන් මෙහාට කිසිදා පැමිණියේ නැත. එයට හේතුව පාසලේ අපට ඉගැන්වීමට සිටි මාන්නක්කාර ගුරුවරු සහ ගුරුවරියන් නිසාය. 

ඔවුන් කිසිදා අ
මිත්ට හෝ ඔහුගේ නැගනියට පාසලේ විශයන්ට ඔවුන්ට හිමි ළකුණු දුන්නේ නැත. 

එය වඩාත් පැහැදිලි වූයේ පාසැල් විභාග වලදී වැරදුණු ගනන් සහ වැරදියට මා සපයා තිබූ උත්තර සහ අ
මිත්ගේ හරි උත්තර සැසඳුවද ඔහුගේ ලකුනු ප්‍රමාණය මට වඩා අඩු වීම නිසාය.

"එන්න එපා රොඩියා අපි එක්ක සෙල්ලමට"


මූණටම කියන්න තරම් දරුණු වූ අප පාසලේ අනිත් ළමයින් සියල්ල මටද අප්‍රසන්න වුවත්..මා සහ අ
මිත්ගේ දැඩි මිතුරු කම එක් අතකින් මුළු ගමටද මුළු පාසලටමද තරමක රහසක් වීය..

"එපා ඔයා මාත් එක්ක කතා කරන්න අනික් අය ඉද්දී...ඔයාත් කොන් වෙයි ඒ ගොල්ලන්ගෙන්.. අපිට නම් මේවා පුරුදුයි"


"පිස්සුනෙ උන්ට අ
මිත් මන් ලෑස්ති නෑ ඔය ගමේ එකාලා කියන කියන විදියට ඉන්ඩ..මට ඕනි විදියට මන් ඉන්නෙ"

"එහෙනම් අපේ යාළු කමත් මෙතනින්ම ඉවර වෙයි ඕන්"


"මේ පුංචි මහත්තයා අපේ කොල්ලා එක්ක තියෙන පයුරු පාසානම නවත්තන්න. ඔය ගොල්ලන්ගෙ ලොකු මහත්තයා ලොකු නෝනා එහෙම දැන ගත්තොත් අපිට ගමෙත් ඉන්න හම්බ වෙන්නෙ නෑ..යාන්තම් මේ අගුවෙ වැටිලා ඉඳලා මේ පොඩි උන් දෙන්නට අකුරු ශාස්තරේ උගන්නා ගෙන අපිත් මෙහෙන් යනවා පොඩි මහත්තයො"


අමිත් සහ ඔහුගේ මව ගේ මේ අදහස් නිසාම මාද තව දුරටත් ඔවුන් හා ආශ්‍රය රහසක් ලෙසම පවත්වා ගෙන ගියෙමි. 


"ඔව් අපි රොඩී තමයි යකෝ ඔය කුලවන්තයින්ට තියෙන එව්වාමයි අපිටත් තියෙන්නෙ මේන් බලපියව්"


එක දිනක හවසක හොඳටම බී ගත් සොයි මාමා අ
මිත්ගේ පියා නිරුවතින්ම ගම හරහා ගොස් තිබුනේ යම් කටයුත්තකට පන්සලේ සහාය ලබා ගැනීමට ගොස් එහි හාමුදුරුවන් වහන්සේ ඇතුළු දායක සභාව ඔහුගේ ඉල්ලීම සපුරාම ප්‍රතික්ශේප කර තිබූ බැවිනි.

"ආ මේ කුලවන්ත පොඩි මහත්තයා වඩින්ඩ ඔබතුමාගේ ගෙදරට.... මෙහෙ මේ රොඩී ගේ අස්සෙ රිංගන්ඩ එපා ආයි "


කිසිදා නොවූ ආකාරයට මාද සෝපාහාසයට ලක් වූයේ දායක සභාවේ මුලසුන දැරුවේ මා පියා නිසාය..


නැවතත් දින කීපයකින්ම ඔහු මාගේ දර්ශණය එතරම් ගනන් ගත්තේ නැත...පෙරදා මෙන්ම අ
මිත් සහ ඔහුගේ නැගණිය මාගේ සොයුරන් හා සොයුරියන් වූවෝය. 

"ආ බන් මොකද්ද ඇත්තටම රොඩී කියන්නෙ බලහන්කො උඹටයි මායි තියෙන්නෙ එකම ජාතියෙ ඒවම තමයි..අර උඹලගේ තාත්තා කීව කතාව හරි තමා"


ගෙදරට හොරෙන් ගම පහල ගලා යන අතු ගංගාවේ  කලිසන් කොට දෙක අසල අත්තක රඳවා දියබුන් ගසමින් පිහිනමින් සිටි මා අ
මිත්ට කීවෙ ඔහු කොක් හඬලා සිනා සෙන්නට වීය. 

"ඔය සේරම මිනිස්සුන්ගෙ මනස්ගාත බන්. කවදා හරි ඕවා වෙනස් වෙනවා එදාට ඔය සේරම මිනිස්සු දුක් වෙයි කවදාක හරි තමන් වගේම මිනිස්සු ටිකක් පහත් කරලා සලකපු එක ගැන"


මුළු ගමෙන්ම කොන් වී සිටි අ
මිත් සහ නැගනිය අන් අය හා සෙල්ලම් කරන මුළු කාලයම ගත කලේ පොත් කියවීමටය. මා දන්නා පරිදි පොත් 2000ක් පමණ වූ සම්පූර්ණ පුස්තකාලයම ඔහු කියවා තිබිනි. එනිසා මිත් එවකටත් එම වයසේ සිටින අපට වඩා මහා දැනමුත්තෙක් වීය..නමුත් විටෙක මා හැර ගමේ කිසිවෙක් ඔහුගේ එම දැනමුතුකමින් ප්‍රයෝජන ගත්තේ නැත. 

විටෙක සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වන සාහිත්‍ය රචනා තරඟයට මාගේ නමින් මා ඉදිරිපත් කලේ අ
මිත්ගේ නිර්මාණයයි. ඒ මූලිකව මිත් ඉදිරිපත් කරන නිර්මාණය මුලින්ම කුණු කූඩයට යන නිසාය. 

එය අන්තර්පාසැල් තරඟවලින් ප්‍රථමස්ථානය ලද අතර එයම ඉදිරිපත් කල දිස්ත්‍රීක් තරඟවලින්ද ජය ගත්තේය. නමුත් අන්තර් දිස්ත්‍රීක්ක තරඟය එම වෙලාවේම දුන් මාතෘකාවක් අරඹයා ලිවිය යුතු එකක් වූ අතර මාගේ නිර්මාණය මුල් නිර්මාණ 25 අතරේවත් නොතිබුනි.


"උඹ මොකද අර රොඩින්ගෙ ගේ අස්සෙ රිංගනවා කියන්නෙ ?"


"කවුද කීවෙ ?"


"අර සොපි අක්කා දැක්කා කිව්වෙ හවස උන් එක්ක කනවා බොනවා ලැජ්ජා නැද්ද යකෝ තොට ඔවුන්ගෙ කන්න බොන්න ? අපි උඹලට මෙතන කන බොන එව්වා අඩුවක් කරලා තියෙනවද කවදාවත්"


"ඔය සොපි ආච්චිගෙ බොරු. මන් කෑවේ බිව්වෙ නෑ. අ
මිත්ගෙන් පොත් කීපයක් ඉල්ලා ගන්ඩ ගෙදරට නම් ගියා"

ඇත්තම තත්වය නම් අ
මිත්ගේ අම්මා උයන පිහින තරම් රසට ඉවීමට අපේ අම්මාට කිසිදා නොහැකි වීමය. ගමේ ගොඩේ වැවෙන අල, පලා කොල සියල්ලම පුදුම රහට ඉවීමට ඈට මනා හැකියාවක් තිබිනි. තාත්තා පොලට ගොස් රැගෙන එන අල, බෝංචි, පරිප්පු කා ඇති වී තිබූ මට මිත්ගේ ගෙදර බත් මාලු දිව බොජුන් පැරැදවීය. ඔවුන්ද ඉතා කැමැත්තෙන් මාගේ පංගුව වෙනම තබා තිබිනි..

කාලය මෙසේ ගත වෙද්දී අප පාසැලේ සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වෙමින් සීටියෙමු. මාගේ අයියාද මේ වන විට උසස් පෙල හැදෑරීමට කොළඹ පාසලකට ගොස් තිබූ නිසාම අප පවුලේ සියල්ලෝම මට අවශ්‍ය සියළු පහසුකම් ලබා දුන්නේ විභාගය ඉතා ඉහලින් සමත් වෙතැයි බලාපොරොත්තුවෙනි.


අමිත්ගේ බලකිරීම් සහ උදව් නොවන්නට මා කිසි දිනක විභාගයකට පොතක් අත තබන්නේවත් නැත..


දෙසැම්බරයේ තිබූ විභාගයේ ප්‍රථිපල පැමිණියේ අප්‍රේල් මාසයේ මුල සතියේය. යාන්තම් කලා විශයන් කිරීමට පමණක් සමත් වී තිබූ මා වඩාත් සතුටු වූයේ අ
මිත්ට අවසානයේ සාධාරනය ඉෂ්ඨ වී තිබූ බැවිනි. විෂයන් අටටම ඩී සාමාර්ථ ලබා ගනිමින්..ඒ කාලයේ සාමාන්‍ය පෙල විෂයන් අටක් වූ අතර ලබා ගත හැකි උසස්ම සාමාර්ථය වූයේ ඩී ය. උසස් ලෙසින් සාමාන්‍ය පෙල සමත් වී තිබිනි.එය පාසලේම මේ වෙනතෙක් තිබූ උසස්ම ප්‍රථිපලය වීය.

සැබැවින්ම සතුටු විය යුතු තැනක මාන්නක්කාරයන් විසින් සතුටු වූයේ මූනිච්ඡාවට පමණි..


අමිත්ගේ පවුලම සතුටින්ම ගත කලා දින කීපය එම දින කීපය වීය..
"මන් කොහොම හරි කොල්ලව කොළඹ ඉස්කෝලෙකට දානවා. මෙච්චර ගින්දර කෑවෙ මන් මේ ටිකට නේන්නම්" 


මාමා සතුටු කඳුළු වගුරුවයි..


"මන් නම් එහා ටවුන් එකේ ඉස්කෝලෙට තමා ඒ ලෙවල් කරන්න යන්නෙ"


"තව සැරයක් කරහන් බන් උඹට මන් පොත් ටික සේරම දෙන්නම්"


"පිස්සුද බන් ආයි පාඩම කරන්න බෑ"


කොවුල් කූජනයෙන් මුළු ගමම ඇළලී යද්දී සැවොම සිංහල අළුත් අවුරුද්දට සැරසෙන්නට වීය.


ඒ අප්‍රේල් 11 වෙනිදාය..යාන්තම් බිම් කරුවල පහ වෙද්දී සොපි 
ආච්චී කෑ ගසමින් අප නිවසට දිව ආවේය. 

"අරුන් ඉවරයි අරුන් ඉවරයි"


ඈ හති හලයි.. මාද ඇස් වල කබ කඩමින් ඇඳෙන් බිම බැස්සෙමි. 


"කවුද බන් අරුන් කියන්නෙ "


මදක් නැවතී හුස්ම අල්ලා ගත් ඈ ,


"රොඩියලගේ ගේ පුච්චලා ඊයෙ රෑ..බිමටම සමතලා වෙලා"





සැතපුම් භාගයක දුරක් මා දිව ආවේ කෙසේදැයි මා හට මතක නැත. ගමේ උන් කීප දෙනෙක් බිමට සමතලා වූ ගේ අසල රොක් වෙමින් සිටී. අයෙක් තවමත් පිළිස්සෙමින් තිබූ වහලේ රීප්ප අවුස්සමින් ඒවා පිරික්සයි...
මාගේ සියොළඟම ගිණි ඇවිලෙන්නට වීය. 


අනේ මොවුන් හතර දෙනා මේක යට ඉන්න නම් එපා ...දෙයියනේ..ඒක නම් වෙන්න එපා..මගේ සියළුම ඉන්ද්‍රීයන් කෑ මොර දෙන්නේ එකම ප්‍රාර්ථනාවකිනි...


"කවුද බන් මේ තිරිසන් වැඩේ කලේ ?"


"කවුද බන් දන්නෙ ? උඹ නොකර සද්ද හිටින්.... අපිටත් ඕවට වග උත්තර බඳින්න වෙයි..හැබැයි මහ රොඩියා හිටියෙ උගෙ පුතන්ඩියා ඉස්සර කරගෙන මහ ඒජන්ත වෙන්නනෙ"


ගිණි ගෙන දැවෙන මාගේ පඤ්චෙන්ද්‍රීයන් හා ගැටෙන්නේ අසල වූ කාගේ කටහඬඳැයි නිච්චි නැත.. 


අනේ මේ ගින්නට මේ හතර දෙනා අහුවෙලා තියෙන්න නම් එපා...මා සිත මුමුණයි..


අප සිටි පැත්තට විරුද්ධ පැත්තේ සිට තවමත් පිලිස්සෙමින් අඟුරු වෙමින් පවතින සුන් බුන් අවුස්සමින් සිටි පිරිස,


"අයියෝ...."


හඬ නගන්නට වූයේ මා සියොළඟම හිරිවට්ටමිනි...






 


මතු සම්බන්ධයි...

Tuesday, January 1, 2013

මගේ පුංචි පැතුම එයයි... 2013



"අනේ මාමේ ඇයි මෙහෙම කරන්නෙ ?"

දූෂණය කරන්න ඔන්න මෙන්න තියෙද්දි හත් හැවිරිදි දැරියක් තමන්ව දූෂණය කරන්ඩ ගිය කෙනාගෙන් ඇහුවහම මිනිහගේ හිත උණු වෙලා ආපහු ළමයව ගෙදරට යවලා කියලා පුවතක් පහු ගිය කාලෙ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා නොඅහපු, නොදැකපු කෙනෙක් නැතිතරම්...


අපරාධයක්...මොන ගනයේ උනත්..ඒක කරන්න මොහොතකට ඉස්සෙල්ලා හරි..ඇත්ත වශයෙන්ම වෙන්න ඕනි සමාජ විරෝධී දෙයක් කරන්න යම් අදහසක් හිතට ඇතුල්වෙනවත් එක්කම ඒ පිළිබඳව අගතියට පත් වෙන පාර්ශ්වය ගැන සංවේදී හැඟීම් ඇතිවීම වගේම මේ අපරාධය සිදු උනාට පස්සෙ තම්න්ට විඳින්න වෙන පසුගාමී ප්‍රථිඵල මොනවාද කියන එක සිතුවිලි වලට එකතු වෙලා ඒ දෙය කිරීමෙන් වැලැක්වෙන මානසික තත්වයක් ඇති වෙන එක තමයි.


ඉඳලා හිටලා එෆ් එම් නාලිකාවක ප්‍රවෘත්තියක් අහනවා සහ ටීවී එකක ප්‍රවෘත්තියක් බලනවා ඇරුනහම..මගේ වගකීම් වල කොටසක් වෙලා තියෙන්නෙ දවසකට පත්තර හයක් කියවන එක..මොකද අපේ ක්ශේත්‍රයට අදාල ලිපි කියවන්න පුවත් පතේ අහුමුළු සියල්ලම කියවන්න සිදු වීම නිසා මගේ ඇහැට ගැටෙන අපරාධ පිළිබඳ සිද්ධීන් නම් අනන්තයි. සතියට , සති අන්ත පත්තර 7 කුත් එක්කම පත්තර 43ක් තුල තියෙන සහාසික, දරුණු අපරාධ ඇහැ ගැටිලා හිත කීරීගැහිලා යන වාර ගාන සිය දහස් වාරයක්..මේවට ලක් වෙන්නෙ මගේ ඥාතීන් නොවුනත් ඊළඟට ලක් වෙන්න පුළුවන් ඔවුන් නේද කියලා හිතෙන කොට මැරි මැරී ඉපදෙන්නයි වෙන්නෙ... 


අපි අළුත් අවුරුද්දකට ප්‍රාර්ථනා කරන්නෙ කිරියෙන් , පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් වසරකට තමයි හැම අවුරුද්දෙම..ඒ ප්‍රාර්ථනාවන් ඒ විදියටම ඉෂ්ඨ සිද්ධ වෙද්දෙන් කියලා මන් නම් ප්‍රාර්ථනා කරන්නෙ,



සියළුම මිනිසුන්  එකිනෙකා කෙරෙහිත් සමාජය කෙරෙහිත් සංවේදී වන නව වසරක් වේවා !



කියලයි..




ඉතින් හැමෝම වගේ මාත් 2012 වසරේ උනේ මොනවද, එව්වයින් ගත යුත්තේ මොනවද කියලා හැරිලා බලන්නත් අමතක කලේ නම් නෑ..
හැම අවුරුද්දෙම වාගේ අර ලෝක ධර්ම අටටම මූණ දීලා, මෝරලා වැඩෙන ඔළු ගෙඩිය තව තවත් පහලටම අරන් පොළවේ ඉන්න දරපු වසරක්ම තමා මේකත්..එහෙන් මෙහෙන් ටික ටික උඩ යනකොට දන්නෙම නෑ බිමට වැටිලා රිදෙනවා..එතකොට ආයිමත් දඟලන්නෙ බිමම ඉන්ඩ තමා...බිමින් තව කොහේට වැටෙන්නද ? 


බ්ලොග් එක හරහා එක්සිත් වෙච්ච යාළුවො ගොන්න සහ ඒකටම උල් පන්දම් දෙන්න හිටි බුකිය සහ ඒකෙ යාළුවො එක්ක ගෙවුනු අවුරුද්ද නම් සදා අමරණීයයි..


මතකද මන්දා ගිය අවුරුද්දෙ එතකොට මන් බ්ලොග් ලියන්ඩ වෙලා නම් මාස 8ක් විතර ඇති..2012 හිනා වෙන්න උඩ පැන පැන කියලා ලියපු පෝස්ට් එක..ඒකට කමෙන්ට් දාන්න එකතු වෙච්ච කතන්දර, පූසා , පොඩ්ඩි, අභීත වෙදනා, ලොකු ජෝන් , පැණි දොඩම්, මධුරංග, ලොකු පුතා, රාජ් , සාබිත් , නාකියා , බට්ටි, ඊමේල් කවිකාරී, වින්චැට් කිරිල්ලි, අසරණයා, වර්ණා , අපිව හැමෝම අඬවලා අපිව දාලා ගිය ඔබා අයියා , ගීතක , සඳරූ, මකුළුවා , අනික් රාජ් , ක්සැන්ඩර් , ගොඩයා , නිසූපා , ලකී, දුමී, දුකා , සිතුම්, මාරයා , බීටල් අද වෙනකොට අපි කොයිතරම් නම් එකට හිනා උනාද කියලා හිතෙන කොට මට නම් අවුරුද්දක කාලය හරිම සදාදරණීයයි කියලයි හිතෙන්නෙ...

හිමින් ගමනත්..
යන එන අවට බැළුමත්..
නැවතී නිවීමත්..
පසක් කරදෙයි දිවියෙ රහසත්... (මේ මාරයාගේ එදා කමෙන්ට් එකෙන්..)




මේ යාළුවො ගොන්නට අද එකතුවෙලා ඉන්න අළුත් බ්ලොග් යාළුවොත් 

එක්කම මන් කියන්නෙ අපි හිනා වෙමු සහෘදය ඇති වෙනකන් එකට 

2013 වසර පුරාවටම .....
 !


ඔබ ලෑස්තිද  ?


ජනවාරි 27 ගම්පහෙන්ම පටන් ගමු නේද ?