ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 27, 2012

වස් දඬු රාවයක විස්මය...


බස් රථයේ ඇන්ජිමෙන් නැගෙන හඬ පරයා මඟීන් ඇතුල් කරවා ගැනීමට කොන්දොස්තර සොයුරා තම හඬ අවදි කරයි..

"එපා එපා නගින්න..අපිටත් කරදරේ..ඉන්න අයටත් කරදරේ"


ඔහු විසින් යම් අයකු වලක්වන හඬක්ද ඇසේ. මා සිටින අසුනට බස් රථයේ දොර අසල සිදු වන දේ නොපෙනෙනමුත්..බස් රථයට නැගීමට තැත් කල යාචකයකු හෝ වෙළෙන්ඳකු වන්නට ඇතැයි සිතමින්..


මා නැවතත් අත වූ දුරකතනයේ තිරය වෙත දෑස යොමු කළෙමි. පෙර මෙන් නොව හෝරාවක් හෝ හෝරා එකහමාරක් පමණ බසයේ ගත කිරීමට සිදුවීම  නිසා එම කාලය යම් ඵලදායී යමක සිත යොදා ගැනීමට මා හුරු වී ඇත. මුල් දින කීපයම බසයෙන් එහා නෙත ගැටෙන ස්වභාව ධර්මය මූලික කොට ගෙන  නවමු දියුණුවත් සමඟ වෙනස් වන පරිසරය දෙස නෙත් යොමා සිත් අලවා සිටීම මාගේ නෙතට මහත් වූ ආශ්වාදයක් ගෙන දෙන්නක් වීය. නමුත් එයින් සංතෘප්ත නොවන සිත දැන් අයදින්නේ..එම පරිසරය හා මුසුව ඒ සමඟ ඒකාත්මික වන කාමයක් මිස දැකීමෙන් පිරී යන සංවේදී හැඟීමක් නොවේ. ඉඩ හසර ලද මොහොතක දියෙන් ඉල්පෙන රබර් බෝලයක් මෙන් මා මෙම පෙදෙසේ රස විඳීමට පැමිණෙනු නොඅනුමානය. ඒ මගේ තෙවැනි ඇසත් සමඟ වනු නොඅනුමානය..



මේ දියවන්නාව අසබඩින් දුව යන පරණ කොට්ටාව පාරයි..සුක්කානමක නොරැඳුනු දෑතකින් ඔබත් මෙහි යන විටක මේම අසිරිය විඳ ගනු නියතය. වසර 20ක් තරම් කාල පරතරයක සිදි වූ රමණීය වෙනස ඇස ගැටී ඇති මා දෙනෙත තුලින් හදවත විස්මයෙන් ගොළු වන්නේ නිතැතිනි...

ඉදින් සංතෘප්ත නොවූ ආශාවන් හදවත තුල ගුලි කරවා ගෙන මා අත වූ දුරකතන තිරයේ මැවෙන මාගේ සහෘදයකුගේ තවත් බ්ලොග් වියමනක් වෙත සිත දැහැන් ගත වෙද්දී..මා දෙසවන සිප ගත්තේ..




ඉමිහිරි බට නලා වාදනයකි..

මුලින් සිතුවේ එය නඟින්නේ මේ වෙනතෙක් තොරතෝංචියක් නැතුව හඬ දුන් අසල වූ දැවැන්ත ශබ්ද වාහිනියෙන් යැයි සිතූවත්..එහි සජීවී බව ක්ෂණයකින් දැනුනේ..මුත් අසල සිටි සෙනඟ කන්දරාව නිසා එහි හඬ අයිතිකරු දෑස මානයෙන් එපිටෙහි සිටියේය.

පැරණි විරහ ගීතයක තනුවක් දෙසවන කරා ගලා එයි..

සැබවින්ම එම වාදනය ඉමිහිරිය.. අන් වාදන භාණ්ඩ පරයා බට නලා වාදනය අපගේ සිත් ගන්නේ මන්දැයි මා නොදනිමි.


තම සහෘදයකු හැර ගිය විට තම හද පතුලේ නැගෙන වේදනාව මොනවට ඔහුගේ බට නළාව මතින් පැනවුත් මා දෙසවන් වෙලා ගනී. මා හදවතද එම වේදනාවෙන් සැලෙන්නට වූයේ...

නොදැනුවත්ම මා ඇදී ගියේ...

ඒ කුඹුක් ගස් සෙවනේ ළිඳෙන් උතුරා යන වතුර පාරට අප දෙපා හොවා ගෙන අසල වූ තුරු ලතා පිස යන සුළං හඬට සවන් යොමු කර සිටිමු..චූටි අයියාගේ බට නළාවෙන් එන හඬ ඉතාම ඉමිහිරිය...එයට වශීකෘතව සිටින අප හට කාලය ගත වෙනවා නොදැනේ..මාගේ මවුගේ පාර්ශ්වයේ ඥාති සෝවුරකු වූ ඔහු අපට වඩා වසර කීපයකින් වැඩිමල්ය.
ඔහු තුල වූ නිසඟ හැකියාවන් රාශියෙන් එකක් වූ බටනල වැයීම..ඔහු ඉගෙන ගත්තේ කෙසේදැයි අප කිසිවකුත් නොදනීමු..එම කාලයේ ග්‍රැමෆෝන් වලින්ද ගමේ කීප පලකම තිබූ ගුවන් විදුලි යන්ත්‍ර වලින්ද අප අසා සිටි සින්දු ඔහු එක් වරක් පමණක් අසා මෙසේ කුඹුරු යාය මැදවූ කුඹුක් සෙවනේ සිටනින්නාද කරවයි. තම කටහඬ ගැන ලැජ්ජාවෙන් බරිතවදෝ සියොතුන් පවා තම හඬ මදකට නවතා තම කිචි බිචිය නවතා මේ වස්දඬු රාවයට සවන් යොමු කරන්නාක් මෙනි.. ඔහු වයන්නේ අපට නොවේ.. නමුත් අප හදවතද එයින් සැලේ..

කුඩා අපහට සරුංගල් සාදා දීම.. ගොක් කොළ වලින් කැටයම් කපා දීම , විවිධ සතුන් හා සැරසිලි කිරීමට කියා දීම , පැපොල් බට හෝ කුමන හෝ බටයකින් කුඩා නලා සාදා දීම ආදී සියළු කරුණු වලින් චූටි අයියා අපේ වීරයා වීය..


විටෙක ප්‍රදේශයටම වාසනාව කැන්දවමින්ද විටෙක එයම විනාශයට මූලික වෙමින්ද පවතින මැණික් කර්මාන්තය හමුවේ අන් බොහෝ   තරුණයන් මෙන් චූටි අය්යාද පාසලේ 10 ශ්‍රේණියෙන් පසු මැණික් කර්මාන්තයට යොමු වීය..


විටෙක ඔවුන් ලද මහා මහඟු මිණි කැටයම ඔහුට ගෙන ආවේ කුමන අබග්ගයක්ද ?


මිතුරන් හා එය සැමරීමට ඔවුන් රට වටා ගොස් එක් නිමේශයකදී ඔහු ජල රකුසා හට බිලිවීය.. ඔහු අහම්බෙන් බිලි උනාද නැතහොත් තමන්ගේ අතිජාත මිතුරන් නිසාම ජල රකුසාට බිලි කලාද යන්න තවමත් අභිරහසකි..ගිලෙන්නට තරම් නොවූ ජලයේ රොන් මඩ අතර ප්‍රාණය සැඟවී ගිය ඔහු නැවත  අප වෙත ආවේ නිහඬවය.. 

 නිසංසලවය..

අවට ගිගුම් දුන්නේ දුන්නේ අපගේ වේදනාබර විලාපය පමණි..

මාගේ උපැස් යුවලේ දාරය තුලින් උණුසුම්ව ගලා යන්නේ කුමක්දැයි මා දනිමි..ලේන්සුව ගෙන දෑස පිස දැම්මත්..

"ඇයි මල්ලි ප්‍රශ්ණයක්ද ?"


අසල හිඳ ගෙන උන් මැදිවියේ අග උන් මිනිසා මා විචාලයි..

"නෑ මට මේ බට නලාව එක්ක මගේ අතීතේ මතක් උනා"

මා ෆෝන් එකද වසා දමා දෑස වසා ගත්තේ මෙවන් හැඟීම් බර අවස්ථාවක මා කිසිවකු සමඟ දොඩමළු වීමට තිබූ අකමැත්ත නිසාය..

වාදකයා දිගින් දිගටම වයයි..සිංහල හා හින්දි වාදන කීපයක් අවසානයේ අපද අපගේ ගමනාන්තයට පැමිණේ..එවිටයි මා ඔහු දුටුවේ.. ඉතා අහිංසක මුහුණකින් යුත් මැදි වියේ වූවෙකි..

මා යම් වාණිජ වටිනාකමකින් යුත් නෝට්ටුවක් ඔහු අත ගුලි කල විට ඔහු විස්මයට පත් වන්නට ඇත..ඔහු යමක් මුමුණයි..මා හට එය අසා සිටීම අවශ්‍ය නොවූ නිසා මද සිනහාවකින් යුතුව මා බසයෙන් සමු ගතිමි...

කෙතරම් සංගීතය භාණ්ඩ තිබුනත් බට නලාවක හඬ  තරම් අපගේ හදවත කම්පනය කරන නාදයක් නින්නාද කරන්නට සමත් නොවන්නේ මන්දැයි මා තවමත් නොදනිමි..






Wednesday, September 26, 2012

3 දෙනෙකුගේ 3...


ඔන්න ලියන්නා දැකපු තවත් තුන් දෙනෙක්ගෙ සිත්තර...
හැබැයි දෙයියනේ තවත් කීප දෙනෙක් එවපු සිත්තර කීපයක්ම තිබුනා. මගේ කොම්පීතරේ සිය දිවි නහ ගන්න හදලා...බොහොම අමාරුවෙන් ඊයේ තමයි ගොඩ දා ගත්තෙ... බ්‍රේන් වොශ් එකක්ම දුන්නා.. ආයි ඒකෙ තිබ්බ ඩේටා සියල්ල ලොස්ට්..බැකප් අරන් තිබ්බ එව්වා ඇරෙන්න..
ඊයෙ රෑ තිස්සෙම මේල් එක චෙක් කරලා හොයා ගත්තේ මේ අපේ තුන් දෙනා එවපු තුන තමයි.

හැබැයි තව 3ක් විතර තිබ්බා.. හත් දෙයියනේ ඒවා කොහෙන් හොයන්නද මන්දා ? හැබැයි වෙන මොනා හරි හොයන කොට ඕන් හම්බ වෙයි සුවර් එකටම..


මේක අපේ හෙන් රි ද බ්ලොග් වෝකර් ගෙන්...

මේක දුටුවමහම මට දුක හිතුනෙ.. අනේ මගේ බල්ලො ටික මන් නැතුව කොහොම ඉන්නවද මන්දා ? යන්න ඕනි ළඟදි දවසක බලලා එන්න..






මේක අපේ ප්‍රසන්න මලයගෙන්... ගෝල්ඩ් ෆිස් මලයා කිව්වොත්නෙ හැමෝම දන්නෙ.. නැත්නම් අපේ දෙමල නයන්න මලයා එක්ක පැටලෙන්න ඉඩ තියෙනවා.. 




මේක එව්වෙ අපේ සෙන්නා මලයා..මේ රතු පාට ශර්ට් එක මගේ ෆේවරිට්..ඒත් රටේ රතු පාට හින්දා අඳින්නෙ නම් කලාතුරකින් තමයි..




මේ තියෙන්නෙ අපේ අවතාර් එවපු එක... එතකොට නම් ටොපික් එක වෙනස් කරන්න වෙනවා.. ඕන් ඔහෙ තියෙද්දෙන් ඒක එහෙමම..

අනේ මන් තාමත් හෙව්වෙ අපේ මේ එක සොයුරෙක් එවපු මගේ ෆේවරිට්ම බලි කුරුටු සිත්තරේ.. සුවර් එකටම ඒක ඇති ඔෆිස් කම්පියුටර් එකේ.. ඒක අප්ඩේට් කරන්නම් දවල් වෙලා...

Friday, September 21, 2012

පොත් ගනිමු... අපි ගයමු...


දවස් තුනක්ම එකදිගටම පොත් ප්‍රදර්ශණේට ගිහිල්ලා පෝස්ට් තුනක් දාලා ෆොටෝත් එක්කම අදත් දාන්න යන පෝස්ට් එක පොත් ගැනමද ???

ම්ම්ම්ම්ම්ම් නෑ කියන්ඩත් පුළුවන්...

ඔව් කියන්ඩත් පුළුවන්..

අපේ වැප් මල්ලි මීට කලින් මේ ගැන පෝස්ට් එකක් දමලා තිබ්බා..
අපි ගයමු කියන මේ සහන් රන්වල ඇතුළු ශිල්පීන් හැම මාසෙකම අන්තිම සෙනසුරාදා හවස් ජාමෙ තියෙන සින්දු කියන වැඩසටහන ගැන තමයි ඒ..මේක ටිකක් වෙනස් වැඩසටහනක්..

රංවල ඇතුළු කණ්ඩායම සංගීතය සපයලා ගයන සින්දු කීපයක්..

මොකද්ද වෙනස ? 

අපිට තියෙන්නෙ දැහැන් ගත වෙලා සින්දු අහන්න නෙවෙයි..අපි තමයි සින්දු කියන්නෙ..ඒ අය තාලය අල්ලලා දීලා සංගීතය සපයනවා..

ඉතින් ඔය සින්දු වල වචන මතක තියෙන්නෙ කාටද ?

ඒකට කලින්ම සකස් කරපු පොත් පිංචක් ලැබෙනවා..ඒකෙන් අපිට වචන බලා ගන්ඩ පුළුවන් අපි ට්‍රිපක් ගියාම ... ගෙට් එකකදි... පැදුරු පාටියකදි.. සින්දු කියන්න දැනටමත් දන්න අඳුනන යාළු මිත්‍රයො එක්ක.. මෙතනදි..පහු වෙන කොට දැන අඳුනා ගන්න අවස්ථාවක් ලැබුනත්..ඒ වෙලාවෙදි නාඳුනන පිරිසක් එක්ක එකම ගීය ඒකාත්මිකව ගයන කොට දැනෙන වෙනස්ම හැඟීමක්....ඒකාත්මිකව... ඇහුනනෙ...

ලබන සෙනසුරාදා පෝය නිසා මෙවර වැඩසටහන තියෙන්නෙ මේ සෙනසුරාදා.. ඒ කියන්නෙ 22 දා තමයි.. තියෙන්නෙ BMICH එකේ නිසාත්...මීට සමගාමීව තීයෙන පොත් ප්‍රදර්ශණය නිසාත් මන් හිතන්නෙ අද එන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් වෙයි...මේක තියෙන්නෙ BMICH එකේ කමතේ..ඒ කියන්නෙ එළිමහන් රංගපීඨයේ..ඇතුල්වීම නොමිලේ..වගේම පහුගිය පාර නම් අතර මඟ විවේකයෙදි රසම රස සව් කෝප්පයක් ලැබුනා..පුද්ගලික අනුග්‍රහයකින් ..පහලින් තියෙන්නෙ ගිය මාසෙ සෙනසුරාදා වැස්ස නිසා එළිමහන් රංග පීඨයෙන් ශාලාවක තිබ්බ මේ ප්‍රසංගය.. අපේ වැප් මලයා, ගෝල්ඩ් ෆීස් මලයා සහ වැප් මල්ලිගෙ යාළු මලයෙක් ආවා.. මාත් හිටියා..ඕන් එකේ ගත්ත ෆොටෝ ටිකක් මේන් තියෙනවා..

එහෙනම් පොත් බලලා අපි ගයමු එකටත් එන්න කියනවා ...ඇවිත් බලන්නකෝ..












ඒ ෆොටෝ ටික එතනින් ඉවර උනාට අද පොත් ප්‍රදර්ශනේ ගත්ත ෆොටෝ ටිකකුත් නොදමා හොඳ නෑ නොව... ඕන් එහෙනම්..මේ 21 වෙනි සිකුරාද ගත්ත ෆොටෝ ටිකක්..




















22 වෙනිදාත් කට්ටිය ගොඩක් හම්බ වෙයිද ????
මොන මොනා වෙයිද මන්දා ???
නන්නාඳුනන අය ෆොටෝ ගන්නවා දැකලත් ඉවසන් හිටියත් දන්න සෙට් එක එහෙම ඉවසන් ඉඳීද මන්දා ???

ඕන් අදත් පොත්මයි...


අද (20) පොත් ප්‍රදර්ශනයේ තුන් වන දවස..ඊයෙ නම් හිතුවෙ අද උදෙන්ම යනවයි කියලයි. ඒත් ඕන්න උදෙන්ම වහින්ඩ ගත්ත හින්දාම අදත් මෙතෙන්ට එනකොට වෙනද වෙලාවමයි..

හැබැයි අද වෙනස තමා පෙර දින දෙකටම වඩා සෙනඟක් උදෙන්ම ඇවිත් ඉඳීම.. ඒ නිසාම ටිකට් කවුන්ටරේ නම් එච්චර නැතත් ටිකට් එක දෙකට කඩලා ඇතුල් කරන තැන නම් තරමක පෝලිමක් තිබුනා. මොකද එතන ඉන්න මල්ලිලා දෙන්නට පාලනය කර ගන්න බැරි තරමේ සෙනඟ කන්දරාවක් තමා හිටියෙ.. ඉස්සරහට මන් හිතන්නෙ..... එතන ගේට්ටුව ඔයිට වඩා පලල් කරලා ටිකට් එක ඉරලා ඇතුල් කර ගන්න රාජකාරියට තව කීප දෙනෙක් දමාවි කියලත් හිතුනා බලමුකෝ..



ඉස්කෝල වල ළමයි ගොඩක් ඇවිත් හිටියා.. ඒ අයටයි කැම්පස් වල අයටයි නොමිලේ තමා ඇතුල්වීම. අපිටත් පාස් කීපයක් හම්බ වෙලා තිබුනත්..මන් තීරණය කලේ යන හැම සැරේම රුපියල් 10ක් දීලා ටිකට් එක ගන්නයි. මොකද මේ සල්ලි යන්නෙ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදලට නිසා..

ඉස්කෝල වලින් එන කොල්ලො නම් ඉතින් කොලු කමට ශර්ට් උඩින් දමාගෙන උඩ බොත්තම් ගලවා ගෙන එනවා බොහෝම සැහැල්ලුවෙන්.. අර ඇතුල්වෙන ගේට්ටුවෙ ඉන්න මල්ලිලා ඒ අයව ආයි පැත්තකට යවනවා ශර්ට් යට කරගෙන බොත්තම් දමාගෙන එන්නයි කියලා.. ඒක නම් තරමක හොඳ දෙයක්..පාසල් දරුවො කියලා අපිටත් ගෞරවයක් ඇති වෙන්නෙ ඒ වගේ යම් විනයකින් ඉන්නවා දැක්කොත් තමයි ඉතින්..

හැබැයි ඉතින් කොල්ලො කොල්ලොම තමයි..අවුරුදු 25ක් 30 ක් ගියත් අපි කොරපු කෙලි අමතක නෑ ඕන්..



මට මතකයි මුල්ම කාලෙ එක ප්‍රදර්ශණයකදි ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයකුගේ මුදල් ලක්ශ ගනනක් කොල්ල කෑවා ප්‍රදර්ශණ භූමියේදීම.. ඊට පස්සෙ ඉඳන් ආරක්ෂාව අන්තිම හොඳයි මන් හිතන්නෙ.. පොලීසිය වගේම ආයතනික ආරක්ශක නිළධාරීනුත් කඩියො වගේ එහේ මෙහෙ දුව දුවා තමන්ගෙ රාජකාරී අකුරටම ඉටු කරන බවක් පෙනුනා..
ඒ වගේමයි පොත් කඩ වල් ඇතුලෙත්..මොකද එන සෙනඟ අතරේදි පොත් උස්සන එක බොහොම ලේසි වැඩක් වගෙයි පේන්නෙ..


මන් අඳුරන පොත් කඩේක මල්ලි කෙනෙකුගෙන් පහුගිය අත්දැකීම් ගැන ඇහුවා..
ගිය අවුරුද්දෙ එක ජැන්ඩි පහට ඇඳ ගත්ත කොල්ලෙක් පොතක තිබ්බ ඩීවීඩී එකක් කාටත් හොරෙන් තමන්ගෙ බෑග් එකට දමා ගෙන..එතනම පොත් ගන්නවා වගේ තෝර තෝරා හිටි කඩේ සේවකයෙක් මේක දැකලා..පිටවෙන කොට අල්ලලා.. මේ කොල්ලා කියලා සල්ලි දීලා ගන්ඩ හිටියෙ අමතක උනයි කියලා.. එහෙනම් ගන්ඩ කීවහම ඌ ළඟ සල්ලිත් නැහැලු.. පස්සෙ පොලීසියට අල්ලලා දීලා..

ඔය වගේ සිද්ධි නිසාම පොත් කඩ හිමියොත් වෙනදට වඩා සීරුවෙන්..


හොඳට බලන්න ඔබ පොත් තෝරන වෙලාවට ඔබ ළඟම තව පොත් බෑග් එකක් කරේ එල්ලගෙන බොහොම උනන්දුවෙන් පොත් තෝරන කෙනා සමහර විට පොත් කඩ හිමියා දමාපු තමන්ගෙ සේවකයෙක් වෙන්න පුළුවන්..

පොතක් කියන්නෙ ප්‍රඥාව වඩන්න කියවලා ජීවිතේට යමක් එකතු කරන දෙයක් උනත් රාජකාරී ජීවිතයේම තරාතිරම කොයි උනත් පොත් උස්සන,  පරිච්ඡේද පිටින් ඉරා ගෙන යන අයවළුන් දැකලා තියෙන මට මේක හරිම සාමාන්‍ය දෙයක්.. මේ සැරේ එහෙම වෙච්ච දේවල් ගැන පසු විපරමකදි මන් කියන්නම්කො...




ප්‍රදර්ශණයේ ආරක්ෂාව භාරව..

සෑහෙන්ඩ සුවර් මන් මේ සැරේ කන්ඩ ඉඩ තියෙන්නෙ මගේ සගයෝ කියන විදියට ගෑල්ලමයින්ගෙ ෆොටෝ අරන් නෙමෙයි.. මෙහෙම පොලිස් මාමලාගේ ෆොටෝ අල්ලන්න ගිහින් කියලයි මට හිතෙන්නෙ.. බලන්න කීප සැරයක්ම එරෙව්වත් එක්ක..හිමිහිට ශේප් එකක් දමා ගන්ඩ ඕනි..










අද 20 වෙනි බ්‍රහස්පතින්දා ගුරු ගෙදරින්...



ගුරු ගෙදර සංකල්පයේ නිර්මාතෘ දයා දිසානායක මහත්තයා
සුනේත්‍රා රාජකරුණා සමඟ..



බටුවන්ගල රාහුල හිමි












ප්‍රදර්ශණයේ තැනින් තැන...

















ඔය අතරේ අපේ හෙන්රි සහෝ අහලා තිබ්බා මගෙන් මොකෝ බන් අළුත් තැනට ගියාට පස්සෙ ඔච්චර බිසි කියලා..
මන් එතන උත්තරයක් නොදුන්නෙ මේ ප්‍රශ්ණෙ කීප දෙනෙක්ම අහලා තිබ්බ නිසාමයි..

හේතුව තමයි දැන් මගේ දවසේ පැය 24න් පැය 3ක් හෝ තුන හමාරක්ම බස් එනතුරු හෝ බසය තුල ගෙවා දමන එක තමයි.. 

බස් එකේදි නම් මන් කරන්නෙ ෆෝන් එකෙන් බ්ලොග් ටික කියවා කියවා යන එක..එව්වා කියවලා කමෙන්ට් කරන්නෙ මොනාද කියලත් හිතන්න වෙලාව තියෙනවා.. 

කියවන්න සහ හිතන්න වෙලාව තිබ්බත් ලියන්න තිබ්බ වෙලාව සීමා වෙලා තියෙන්නෙ.. හැබැයි තව ටික කාලයක් යනකොට මේ සෙටින්ග්ස් වලට මාව පුරුදු වෙලා සුපුරුදු විදියට ලියන්නත් පුළුවන් වෙයි..

අද ඒ කියන්නෙ 21 වෙනි සිකුරාදා  නම් සයිබර් අවකාශයේ කීප දෙනෙක් හම්බ වෙයි... හම්බ වෙයි... කියලා සුවර් එකකුත් තියෙනවා..