බනිස් කන හැටි නොදන්න කෙනෙක් මෙදියත ඉන්නවාදැයි සිතිය නොහැකිය..මන්ද යත් බනිස් කෑම වනාහි අප පොඩි කාලයේ සිටම කරනු ලබන්නකි..දශක හතරකට එහා සිට බනිස් කෑවා නම් ඉතින් තවත් ඊට එහා කතන්දර මක්කටද කියා කෙනෙකුට සිතෙන්නටහ් පුළුවන්ය.
මන් අද කියන්ඩ යන්නෙ අපි පොඩි කාලෙ බනිස් කෑ හැටිත් බනිස් සම්බන්ධ කතන්දර කිහිපයක්මය.
අද නා නා ප්‍රකාර බනිස් තිබුනත් අපි පොඩි කාලෙ තිබ්බෙ සීනි බනිස් විතරයි..කොලොම් පුරේ සහ අනිකුත් ලොකු ලොකු ටවුන් වල අය මෙහෙම කියනකොට නෑ අපි නම් ඒ කාලෙ තව තව බනිසුත් කෑවෙමු කියා කීවොත් මට නම් කියන්න වෙන්නේ...අපි හිටි හද්දා වන්නිකරේ තිබ්බ එකම එක බේකරියේ තිබ්බෙ මන් කියන සීනි බනිස් පමණක් ම බැවින් අද වන විට නා නා ප්‍රකාර බනිස් කා තිබුනද පොඩි කාලෙ නම් කෑවේ එම බනිස් විතරක්මය..
අපේ හෙන්රි ලොක්කත් එක සැරයක් අර හොරි බනිස් ගැන ලියාලා තිබ්බා !
බනිස් පුළුස්සා දවසක් ඇතුලත නම් බනිස උඩ තිබෙන සීනි කැට වෙනම කෑ හැකි අතර දින ගාන වැඩි වනවිට එම සීනි දියවී බනිසේ උඩ කට්ටමටම දියරයක් මෙන් ඇලේ.. එමනිසා බනිසේ උඩ තිබෙන සීනිවලින් අපි අළුත් බනිස් මොනවාද යන්න හඳුනා ගැනීමට පුරුදු වූයෙමු.
අපේ නිවසේ සිට මීටර් පන්සීයක් පමණ දුරින් අපේ ගමේ බේකරිය තිබුනු අතර අප හදිසියකට හැර අනිත් සෑම වෙලාවෙම අපි පාන් සහ බනිස් මිල දී ගත්තේ මේ බේකරියෙනි. බේකරියේ වැඩ කිරීමට බේකරි හිමියාට අමතරව තවත් ගෝලයන් කීපදෙනෙක්ම සිටි අතර..එක් ගෝලයෙක් අප බනිස් මිලදී ගන්නා සෑම දිනකම මේ කෙසෙල් එපාද කියා සරම උස්සා පෙන්නීමට පුරුදුව සිටි අතර.. අපද සෑම දිනම උඹම කාපන් ඔය කෙහෙල කියා හූ කීමටද පුරුදුව සිටිමු. පසු දිනක මේ ගෝලයා තම කෙසෙල අපේ සෙට් එකේම සිටි සුදු මල්ලීගේ ඇඟේ ඇතිල්ලීමට උත්සාහ කිරීම නිසා සුදු මල්ලීගේ තාත්තාගෙන ගුටි කා බේකරියෙන් අස්වී ගිය බවක් මතකයේ තිබේ...
අපි ඉස්කෝලෙ හත ශ්‍රේණිය පමණ වන තෙක්ම අපිට කෑමට ඇදිහැස විස්කෝත්තු ලබා දුන් අතර පසුව එය නතර කර දැමිනි..පසුව අර කොළඹට කිරි අපිට කැකිරි කාලයේදී නැවතත් බනිසක් හා කිරි වීදුරුවක් පාසලෙන් ලබා දුනි.. එම බනිස් කෑමට හැක්කේ සමහර දින වල පමණි..සමහර දින වල ඒවා කෑමට නොහැකි නමුත් අප එකිනෙකාට ගසා ගැනීමට නම් කදිම භාණ්ඩයක් වීය..
ඒ කාලය අප උ.පෙල කරන නාහෙට නාහන කොල්ලො රංචුවක් වූමු..පාසලේ කුමක් හෝ මගෝඩි වැඩක් වී නම්..එයට සම්බන්ධ නොවූවද සියල්ලෝම මුලින්ම සැක මුසුව බැලුවේ අප දෙසයි. එසේ බැලීමට ඕනෑ තරම් සාධක තිබුනු අතර..ඒ පිළිබඳ අප නම් කන්ගාටු නොවූයෙමු.
උ.පෙල කලා හා වාණිජ පමණක් තිබුනු අතර අප කොල්ලන් 18ක්ද කෙල්ලන් විසි ගානක්ද පන්ති දෙකේම සිටියෝය..කෙල්ලන්ට රහසිගතව..අප දෛනිකවම බනිස් බෙදන වෙලාවටම ඔවුන් අතරින් හොඳම බනිස් හිමි කෙල්ල හා නරකම බනිස් හිමි කෙල්ල තෝරා සම්මාන දීම පුරුද්දක්ව පැවති බව මතකය..
"අද ඔයා තමයි නම්බර් වන් !"
"අද ඔයා ලාස්ට් අනේ!"
යනුවෙන් ඔවුන්ටම අපි කීවද ඔවුන් කිසි දිනක ඔවුන් එසේ ඇගයීමට ලක් වන්නේ කුමන නිර්නායක මතද යන්න නම් නොදැන සිටියෝය..
"මහ වල් උඹල නම්"
කියමින් ගස්සා ගෙන යාම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නම් නොතිබුනි..
මතකයේ හැටියට නම් එදා තරමක වැසි දිනයකි..දිවා විවේක කාලයෙන් පසු තිබුනේ ආර්ථික විද්‍යා විෂයයි. නමුත් එම විෂය උගන්වමින් සිටි ගුරුතුමිය ප්‍රසූත නිවාඩු ලබා ගෙන තුබූ බැවින් නව ගුරුවරයකු පැමිණෙන තුරු අපට එම කාල පරිච්ඡේදය තරම් හොඳ වෙනත් කාල පරිච්ඡේදයක් නම් නොවිනි..
එදා ලද බනිස්ද එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට හැර වෙනත් දෙයක් කිරීමට සුදුසු තත්වයක නොතිබිනි..පාසල් කාළපරිච්ඡේද අතරේ අපගේ ක්‍රීඩා භූමිය වුයේ විද්‍යාගාරය පසු පස තිබූ නිදහස් භූමියයි..එය එක් පසකින් විද්‍යාලයේ තාප්පයකින් කෙලවර වූ අඹ ගස් කීපයකින් සෙවන ලද ප්රදේශයකි..
අපද බනිස් රැගෙන එම පැත්තට ගියේ එක්කෝ අප අපටම ප්‍රහාර එල්ල කර ගැනීමට හෝ විද්‍යාල භූමියේ සහ පිටත සිටින බල්ලන්ට ඒවායින් දමා ගැසීමටයි. බල්ලන්ද බනිස නොවදින මානයට දුව ගොස් ආපසු විත් බනිස් රැගෙන කෑමට පුරුදුව සිටියෝය..නිවැරදිම එල්ලයකට ලකුණු 10ක්ද, ආසන්නයට වදින එල්ල වලට ලකුනු 6,4, 3 ලේද ගෙන දවසේ බනිස් වීරයා තේරීමේ තරඟය අප සැමටම මහත් විනෝදයක් ගෙන දුන්නේය.
එදින බනිස් ගල් මෙන් හයිය ඒවා වූ බැවින්දෝ කවුරුන් හෝ ...ඒ සමන්ත විය යුතුයි..මන්ද ඔහු මෙවන් අපූරු වෙනස් අළුත් අදහස් දීමේදී ප්රමුඛ ස්ථානයක් ගෙන සිටි නිසයි..
"අපි අද හොඳම බනිස තෝරමු බන් අපේ සෙට් එකේ.."
"නියමයි.."
සියල්ලෝම ඒකමතිකව යෝජනාව ස්ථීර කලෝය..
කුඩා සිලි සිලි බෑග වල ඔතා තිබූ බනිස් දෙකක් ඇඳ සිටි බැනියම අතරට රිංගවා අප ඉදිරියෙන් ලාලිත ගමනක් යා යුතුයි..අප දෙන ලකුණු අනුව ඉහලම ලකුණු ලබා ගන්නා තැනැත්තා අංක එක වනු ඇත..බඩ සහ කොන්ද රිදෙන තුරු හිනා වෙමින්..අප මේ ක්‍රීඩාව කලෙමු..පළමු වටයෙන් 10 දෙනෙක්ද..එයින් දෙවන වටයට 5 දෙනෙක්ද තෝරා ගතිමු..තරඟය එන්න එන්නම තියුණු ස්වරූපයක් ගත්තේ..ලාලිත්‍ය ගමනට අමතරව බඳ සොලවමින් කරන නැටුමක්ද අවසන් වටයට එකතු වීය..
අපේ පන්තියේම හැන්ඩියා වූයේ විජේය..ඔහු පැහැපත් සිරුරකට හිමිකම් කීවෙන් මුල් වටයේ සිටම වැඩි ලකුණු ලබා ගත්තේ ඔහුය..
ඔහුගේ වාරයේ ඔහු අප මැදට විත් සුරූපී රැඟුමක් පටන් ගෙන..මද වෙලාවකින්..එක් වරම එය නැවැත්වීය..
අපද වික්ශිප්ත වීමු..කුමක්දෝ නරකක් වීමට ඔන්න මෙන්න බව අප සියළු දෙනාගේම හිත් වලට දැනෙන්නට වීය..විජේ වහා කමිසයේ බොත්තම් ගැලවීමට ගත්තත්..
"ඔහොම හිටු"
ඒ අපේ විනය භාර සර්ගේ කටහඬයි..
විජේගේ අතකින් අල්ලා ගෙන ,
"සේරම වරෙව් මාත් එක්ක..එකෙක් පනින්න එපා මන් දැන් පැය භාගයක් තිස්සේ බලන් හිටියේ උඹලගෙ විගඩම "
මොහොතකට පෙර ලද සතුට දියාරු වන්නට වූයේ ක්ෂණයකිනි..
විනය සර් විජේගෙ අත් දෙකින් අල්ලා ගෙන මරන්න ගෙන යන හරකකු සේ ඇද ගෙන යයි. ඊට පිටි පස්සෙන් අපද එක එකා පේලියට ගමන් කරයි. විද්‍යාගාරය සහ විදුහල්පති කාමරය අතර සියළුම පන්ති වල ගුරුවරු සහ ළමයින් පැති බැම්ම උඩින් දෑස් ලොකු කර ගනිමින් අප දෙස බලා සිටී. අප විජේ දෙස බැලීමු..බනිස් පෙනෙන්නට නොතිබීම අපගේ සිතට තරමක සහනයක් ගෙනාවත්..
විදුහල්පති කාමරය තුල බැලූ විට අපට එලොව පොල් පෙනුනේ..එතුල ගුරුවරියන් කීප දෙනෙක්ම වූ බැවිනි.
මේ සියල්ලෝ ඉදිරියේ විනය සර් අපගේ ක්‍රියාව විස්තර කරනු ඇත..ගැලවී යාමට තවත් රෙදි කොහිද ???
"මන් කිව්වනෙ සර්ට මුන් රැල ගැන අපි ගුරු දෙගුරු සමිතියේදි කියමු කියලා කොහෙද සර් ඇහුවෙ නෑ"
"මොකද විනය සර් ? මොකද මේ සැරේ මුන් කරලා තියෙන්නෙ?"
"මිස්ලා යන්ඩ..මට මිස්ලා ඉස්සරහ මුන් කර වැඩේ කියන්න බෑ සර්"
නුරුස්නා මුහුණින් වූවද ටීචර්ලා කිචි කිචි ගාමීන් අප දෙස බලමින් එතනින් ඉවත් වීය..
"ගලවපන් කමිසේ"
විජේ කමිසයේ පහල බොත්තම් ගලවන විටම තඩස් හඬ නගමින් බනිස් දෙක බිමට් පතිත වීය..
අප සිනා නොවී බොහෝ අමාරුවෙන් මුහුණ සකසා ගෙන සිටියේ ලෝකයේම සිටින අහිංසකම අහිංසක ළමයින් අප බව විදුහල්පතිතුමාට පෙනෙන්නටය.
බනිස් ගෙඩි දෙක අතට ගත් විනය සර්..
"මේ මුන්ට කන්න දෙන ඒවා..මේකා මේ දෙක මෙහෙම තියා ගෙන.."
විනය සර් බනිස් දෙක තම පපුවට තබා පෙන්වමින්..
"මෙහෙක් මෙහෙක් කර කර ඇවිදිනවා."
විනය සර් ඇවිද පෙන්වන විට අප තද කර ගෙන සිටි සිනහව පිටට පැන්නේය,
"මුන් හිනා වෙවී ලකුණු දානවා..අර උඩ පන්තියේ ඉන්න උන් ටිකක් පඳුරු අස්සෙ ඉඳන් බල ඉන්නවා..මේ ලොකු උන් මෙහෙම කරන කොට අපි පොඩි ළමයින්වත් හදා ගන්නේ කොහොමද සර්"
විදුහල් පති තුමාද අපහසුවෙන් සිනහව වලක්වා ඉතා බැරෑරුම් මුහුණක් මවා ගනිමින්..
"ආ ඕකට සර් ඔයි තරම් කේන්ති ගන්න එපා..අපි දෙමු හොඳ දඬුවමක්"
අපට සිදු වූයේ බනිස් දෙකත් ළඟ තබා ගෙන විදුහල්පති කාමරය ඉදිරිපිට ඊළඟ කාල පරිඡ්චේදය වන තුරුම දන ගසා ගෙන ඉන්නටයි..
සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමට අප පංති දෙකේම කෙල්ලන්ට අවශ්‍ය වූවත් කිසිවකුත් කිසිවක් නොකී නමුත් පසු දින විනය සර් එක් ටීචර් කෙනෙකුට මුළු කතන්දරයම කීම නිසා එය පාසලටම රහසක් නම් නොවූයේය..
එක් හෝටලයකට ගොස් එක් වරක් පමණක් කල හැකිව තිබූ බනිස් කෑමක් අප කලෙමු..
ඒ නම් අප 10 දෙනකු පමණ ගොස් බනිස් හා ප්ලේන් ටී ඉල්ලීමත් බනිස් ගෙඩි හතරක් පමණක් කා තවත් බනිස් ගෙඩි 2-3ක පමණ යට පැත්තෙන් කා එය නොපෙනෙන සේ අනිත් පැත්තට හරවා තබා අඩුවෙන් මිල ගෙවීමයි..පසු කාලයක වේටර් වරු ඉතුරු වන කෑම පරික්ශා කිරීමට පුරුදු වූ නිසා එය දිගු කාලයක් කර ගෙන යාමට නොහැකි වීය..
එක බනිස් ගෙඩියක් 30 දෙනකුට කෑමට හැකිද කියා කිසිවෙක් ඇසූවොත් පිළිතුර වන්නේ බැහැ යන්නයි..
නමුත් කැම්පස් රැග් සීසන් එකේ එක් තේ වෙලාවක අප 30 දෙනෙකුට දුන් අභියෝගය වූයේ එක් බනිස් ගෙඩියක් අප තිස් දෙනාම විසින් කෑමයි..
කුඩා කැබල්ල බැගින් කෑ එම බනිස ජීවිත කාලය පුරාවටම මතකයේ රැඳෙනු ඇත.. නවක වදය පිළිබඳ බොහෝ අමිහිටි කතන්දර පට බැඳෙද්දී අප ලද ඉමිහිරි සිදුවීම් ගොන්නක් ඔබ වෙත ලබා දීමට ඉටා ගෙන සිටිමි...
මේ ආකාරයෙන් බලන කල බනිස් කෑමට ප්‍රිය නොවන කිසිවකු ඇතැයි සිතිය නොහැකිය.
